Saturday, December 16, 2023

සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය

සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය



ලෝකයේ අවිද්‍යා අන්ධකාරය නසමින් ප්‍රඥාලෝකය පතුරුවන බුදුරජාණන් වහන්සේ නමැති සූර්යයාගේ දේශනාව දෙපරිද්දෙකින් විග්‍රහ කැරේ. සංයුත්ත නිකායට්ඨ කථාවේ බුද්ධ දේශනාව දෙපරිද්දකින් සිදුවන බව දක්වා, එම කොටස් දෙක මෙසේ විස්තර කර ඇත.

“දුවෙ සච්චානි අක්ඛාසි
සම්බුද්ධො වදතං වරො
සම්මුතිං පරමත්ථංච
තතියං නූපලබ්භති”

“සංකෙත වචනං සච්චං
ලෝක සම්මුති කාරණා
පරමත්ථ වචනං සච්චං
ධම්මානං භූත ලක්‍ඛණා”

දහම් දෙසන්න වුන් අතරින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ සම්මුති හා පරමාර්ථ වශයෙන් සත්‍ය දෙකක්ම වදාරති. තෙවැනි සත්‍යයක් මෙහි කිසි ලෙසකින් වත් නොලැබෙයි. ලෝක සම්මුතිය නිසා සංකේතාත්මකව පැවසෙන සම්මුතිය සත්‍යය වේ. ධර්මයන්ගේ ඇති තතු පවසන හෙයින් පරමාර්ථ වචනයද සත්‍යය වේ.

මේ අනුව බුද්ධ දේශනාව

1. සම්මුති සත්‍ය දේශනාව

2. පරමාර්ථ සත්‍ය දේශනාව

යනුවෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය.

එහි සත්ත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති සත්‍ය දේශනාවයි. ස්කන්ධ ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ සත්‍ය දේශනාවයි. පරමාර්ථ දේශනාව සිදුකිරීමේ දී සම්මුතිය අත්නොහැර ම එම දේශනාව පැවැත්වීම බුදුවරුන්ගේ සිරිතයි. උන්වහන්සේ සම්මුති සත්‍ය දේශනාව සිදු කළත්, පරමාර්ථ සත්‍ය දේශනාව සිදු කළත් එකම සත්‍යයක් ම දේශනා කරති.

සාමාන්‍යයෙන් සූත්‍ර පිටකයේ එන බුද්ධ දේශනාත් විනය පිටකයේ එන විනය ප්‍රඥප්ති දේශනාත් සම්මුති සත්‍යයෙන් පැවැත් වූ බුද්ධ දේශනා ලෙස සලකනු ලැබේ. අභිධර්ම පිටකය පරමාර්ථ දේශනාවක් ලෙසින් සලකනු ලැබේ. එය නිෂ්පුද්ගල දේශනාවකි. මෙසේ සලකනු ලැබූවත් සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් සමහර තැනකදී පරමාර්ථ දේශනා අපට හමුවේ. සංයුක්ත නිකායේ මෙම දේශනා දෙකම ඇතුළත් සූත්‍ර ධර්ම ඇති බව පෙනී යන කරුණකි.

එහි අභිසමය සංයුත්තයේ දුක්ඛ වර්ගයේ පළමු සූත්‍රය ආරම්භ වනුයේ සම්මුති සත්‍ය දේශනාවෙනි. “අවිජ්ජාගතො පුරිස පුග්ගලො” යනුවෙන් සම්මුති සත්‍යය දේශිත ය. පුද්ගලයකු පිළිබඳව කියැවේ. එම සූත්‍රය අවසන් වනුයේ පරමාර්ථ ධර්ම පිළිබඳ දේශනාවකිනි. සංස්කාරයන්ගේ නිරෝධයේ සිට ජරා මරණ නිරෝධය දක්වා කරන අනුපිළිවෙළ දෙසුමකින් දුක්ඛ වග්ගයේ පළමු පරිවිමංසන සූත්‍රය නිම වෙයි. මෙය සම්මුතිය අත්නොහැර ම පරමාර්ථ දේශනාව පැවැත්වීමට උදාහරණයකි.

බුදු සමයෙහි පුහුදුන් පුද්ගලයෝ දෙදෙනෙක් දැක්වූහ.

“ දුවෙ පුථුජ්ජනා වුත්තා
බුද්ධෙනාදිච්ච බන්ධුතා
අෙන්‍ධා පුථුජ්ජනො එකො
කල්‍යාණෙකො පුථුජ්ජනො”

සූර්යවංශික වූ බුදුරජාණන් වහන්සේ විසින් පුහුදුන් පුද්ගලයෝ දෙකොටසක් බව දැක්වූහ. එක් කොටසක් අන්ධ පෘථජ්ජනයෝ ය. දෙවන කොටස කල්‍යාණ පෘථජ්ජනයෝ ය.

මෙහි මුලින් දැක් වූ අන්ධ පුථුජ්ජන පුද්ගලයාට ම “අස්සුතවා පුථුජ්ජනො” යන පාඨය පෙළෙහි යෙදී ඇත. “අස්සුත්වා” යනු ස්කන්ධ, ධාතු, ආයතන, ප්‍රත්‍යාකාර, සතිපට්ඨානාදියෙහි ඉගෙනීම්, ප්‍රශ්න කිරීම්, විනිශ්චය කිරීම් ආදිය කළ නොහැකි වූ පුද්ගලයා යි. ඔහු අශ්‍රැතවත් අඳ පුහුදුන් පුද්ගලයෙකි.

මෝහයෙන් වෙලුණු මෙබඳු පුද්ගලයෝ බුදුරදුන්ගේ පරමාර්ථ දේශනාව අවබෝධ කර ගැනීමට සමත් නොවෙති. එ නිසා මෙබඳු පුද්ගලයන්ට දහම් දෙසීමේ දී උන්වහන්සේ සම්මුති සත්‍යය උපයෝගී කරගත්හ.

දෙවන කල්‍යාණ පෘථජ්ජන පුද්ගලයා ස්කන්ධ, ධාතු, ආයතනාදී පරමාර්ථ ධර්ම පිළිබඳ ඉගෙනීම (ධාරණ) පිළිවිසීම (පටිපුච්ඡන) විමසීම (විමංසන) යනාදියෙහි දක්‍ෂ වෙයි. ඔහු ශ්‍රැතවත් ආර්යශ්‍රාවක (සුතවා අරිය සාවකො) යනුවෙන් හැඳින්වෙයි.

බුදුපියාණන් වහන්සේ පරමාර්ථ සත්‍ය දේශනා පවත්වනුයේ මෙබඳු නුවණැති පුහුදුන් පුද්ගලයන් අරමුණු කරගෙනයි.

සම්මුති වශයෙන් ලෝකයේ විවිධ සත්තු සිටිති. ගහ කොළ විවිධ නගර, ගම් නියම් ගම් පවතියි. සංඥා නාම පවතියි. එය සමාජය පිළිගත් සම්මුතීන් ය. නමුත් පරමාර්ථ සත්‍ය වශයෙන් ගත් විට, ලොව පවතිනුයේ ස්කන්ධ සමූහයකි. අභිධර්මයෙහි සත්වයෙක් පුද්ගලයෙක් පිළිබඳ නොපැවසෙයි. “සම්මුති” යන පාලි වචනයේ අර්ථ කිහිපයක් ම ඇති බව පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ පෙන්වා දෙති.

පිළිගැන්ම, නියමය, සම්මතය, ප්‍රකාශය, ව්‍යවහාරය, යන එම අර්ථ ය. ලෝක පිළිගැනීම හා සම්මතය අනුව සත්වයෝ පුද්ගලයෝ සිටිති. නමුත් පරමාර්ථ වශයෙන් එබන්දෝ නොසිටිති පරමාර්ථ සත්‍යය යටතේ විග්‍රහ කරනුයේ ලෝකයේ යථා ස්වභාවයයි. සත්‍ය වශයෙන් ම ඇති තත්ත්වයයි. මෙලොව පවතිනුයේ ස්කන්ධ පංචකයක් බව පරමාර්ථ දේශනාවෙහි පැවසෙයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධයන්ගේ පැවැත්ම, සම්මුතිය යටතේ ‘සත්වයා’ පුද්ගලයා ලෙස වහරනු ලැබේ.

මිලින්ද ප්‍රශ්නයේ දී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. “රථය” යනු ප්‍රඥප්තියකි. පැනවීමකි. සත්‍ය වශයෙන්ම “රථය” යන්නක් විද්‍යාමාන නොවන බව, එහිදී නාගසේන හිමියෝ මිළිඳු රජුට පෙන්වා දෙති.

“ප්‍රාණඝාත” යන පදය විග්‍රහ කරන සංයුත්ත නිකායට්ඨකථාව මේ සත්‍ය දෙකම පෙන්වා දෙයි. “එහි ප්‍රාණයාගේ වේගවත් වැටීම ප්‍රාණඝාත යයි. ප්‍රාණයක් වදයක් වීම ප්‍රාණඝාත නම් වෙයි. “ප්‍රාණ” යනු සම්මුති වශයෙන් සත්වයායි. පරමාර්ථ වශයෙන් ජීවිතින්ද්‍රියයි.

ඒ ප්‍රාණය යන හැඟීම් ඇති සත්ත්වයා කෙරෙහි ජීවත්වීමේ ශක්තිය සිඳ දමන උපක්‍රමය, කායවාග් ද්වාරයන්ගේ එකකින් පවතින වධකමය චේතනාව ප්‍රාණඝාතයයි”

“සත්වයා” යන සම්මුතිය පරමාර්ථ දේශනාව යටතේ “ජීවිතින්ද්‍රිය” ලෙස විවරණය වන බව, මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. ජීවිතින්ද්‍රිය යනු චිත්ත චෛතසිකයන්ගේ ජීවත්වීමේ ශක්තිය ලෙස අභිධර්ම අටුවාවන්හි විස්තර කෙරේ. එවිට පරමාර්ථ සත්‍ය දේශනාව යටතේ ප්‍රකාශ වනුයේ මේ ලෝකයේ පැවැත්ම යනු, ශක්ති ප්‍රවාහයක් ඉපිද නැසෙමින් පැවතීමක්, අවිච්ඡින්න ක්‍රියාවලියක් බවයි.

මෙහි දී ගිනි පෙනෙල්ලේ උපමාවෙන් මෙම සත්‍ය දේශනා දෙක අවබෝධ කර ගැනීම පහසු යැයි සිතමි. ගිනි පෙනෙල්ලක් ගෙන කරකවන විට අපට ගිනි වළල්ලක් ඇති බවක් පෙනෙයි. අපි එයට ගිනි වළල්ල යැයි කියමු. එය සම්මුතිය යි. නමුත් සත්‍ය වශයෙන් එහි ඇත්තේ, ගිනි පෙනෙල්ලකි. එය පරමාර්ථය යි.

සත්වයා සසර රැගෙන යන ප්‍රපංච

 

සත්වයා සසර රැගෙන යන ප්‍රපංච



‘පපංච’ සහ ‘නිෂ්පපංච’ යන වචන දෙක බුදු දහමෙන් ම පමණක් ප්‍රකාශිත, දහමෙහි සත්‍යාසත්‍යතාව ප්‍රකට කරන අතිශය වැදගත් දහම් පද දෙකක් බව කිව යුතුය. ඉතා ගැඹුරු ධර්ම කරුණු රැසක් මෙම ‘පපංච’ යන වචනය තුළ කැටි කොට දක්වා ඇත. එහි ගැබ්ව ඇත්තේ ධර්මයේ හරය යැයි කීවොත් එය නිවැරැදිය.

පුහුදුන්හු ප්‍රපංචයේ ගිලී සිටින අතර, රහතන් වහන්සේ ඒ තත්ත්වයෙන් මිදී සුවසේ වසන බව ධර්මයෙහි සඳහන් වෙයි.

“පපංචාභිරතා පජා
නිප්පපංචා තථාගතා”

යනුවෙන් සඳහන් වන්නේ එම අදහසයි.

මේ අනුව ‘පපංච’ තත්ත්වය පුහුදුන් සත්වයාටත්, ‘නිප්පපංච’ තත්ත්වය රහතන් වහන්සේටත් අයත් ධර්ම බව පැහැදිලි වෙයි.

එසේ නම් පුහුදුන් සත්වයා ඇලී ගැලී සිටීමට රුචි කරන ප්‍රපංච තත්ත්වය කුමක්ද? රහතන් වහන්සේ සතු ඒ නිප්පපංච තත්ත්වය කුමක්ද?

පුහුදුන් සත්වයා සිත තුළ ගොඩ නඟා ගන්නා අරමුණු යළි යළිත් සිහිපත් කරමින් සංකල්ප ගොඩනඟා ගනිමින් ඒ තුළ ගැලී සිටීමට ප්‍රිය කරයි.

ඔහු එසේ තැන්පත් කර ගන්නා ප්‍රිය අරමුණුවල ඇලෙයි; අප්‍රිය අරමුණුවල ගැටෙයි; ඒවා සුඛ දුක්ඛ, උපේක්ඛා වශයෙන් වින්දනය කරයි. අභිනන්දනය කරයි.

‘පපංච’ යනුවෙන් අප විසින් හඳුන්වනු ලබන්නේ මේ අයුරින් සිත තුළ ගොඩ නගා ගන්නා එම සංකල්පය.

මජ්ඣිම නිකායේ මධුපිණ්ඩික සූත්‍රයේ ‘පපංච’ යන වචනය පිළිබඳ මනා විග්‍රහයක් ඉදිරිපත් කොට ඇත.

ඇසත් - රූපයත් නිසා චක්ඛු විඤ්ඤාණයත්,
කණත් - ශබ්දයත් නිසා සෝත විඤ්ඤාණයත්,
නාසයත් - ගන්ධයත් නිසා ඝාණ විඤ්ඤාණයත්,
දිවත් - රසයත් නිසා ජිව්හා විඤ්ඤණයත්,
කයත් - ස්පර්ශයත් නිසා කාය විඤ්ඤණයත්,
මනසත් - ධර්මත් නිසා මනෝ විඤ්ඤාණයත්
ඇති වෙයි.

ඉන්ද්‍රිය, ආරම්මණ, විඤ්ඤාණ යන ත්‍රිත්වයේ ගැටීම හෙවත් ස්පර්ශයත්, ඒ නිසා වින්දනයත් ඇති වෙයි. වින්දනය කරන දේ හඳුනා ගනී. හඳුනා ගන්නා දේ හොඳ - නරක වශයෙන් විනිශ්චය කරයි. ඉන් පසු එසේ විනිශ්චය කළ දේ තණ්හා, දිට්ඨි, මාන වශයෙන් ග්‍රහණය කර ගනියි.

මේ අයුරින් සිතිවිලි ගොඩක පැටලී එහි ඇලී ගැලී සිටීම යහපත් දෙයක් නොවේ. එය නිවන් අවබෝධ කිරීමට ඉමහත් බාධාවකි. ‘පපංච’ යන වචනයේ තවත් අර්ථයක් නම් ‘බාධාව‘ යන්නයි. ප්‍රපංචයක් සිත තුළ ගොඩ නගා ගැනීම නිවනට බාධාවකි. සතිය නොවැඩූ පුහුදුන් සත්වයා සුභ - අසුභ ආරම්මණත් එකසේ පිළිගනිමින් ලෝභ, දෝෂ හා මෝහයෙන් යුතුව එම අරමුණු මම මගේ යන ආත්ම සංකල්පයෙන් උපාදානය කර ගනිමින් සසර ගමන සකස් කරයි.

ප්‍රපංචයේ බිහිසුණු බව එයයි.

‘නිප්පපංච’ නම් ඒ තත්ත්වයෙන් මිදීම යි. රහතන් වහන්සේ මේ සියලු ප්‍රපංච තත්ත්ව වලින් මිදුණු සේක.

‘පපංච නිරෝධ’ ‘පපංච වූ පසම’ යන නම් වලින් පපංච තත්ත්වයෙන් මිදීම හඳුන්වා ඇත.

මෙයින් අපට පැහැදිලි වන එක් කරුණක් ඇත. මෙම පපංච තත්ත්වය භවයෝ පැවැත්ම සකස්වීමට ප්‍රත්‍ය වන බවයි.

‘සංඛාර’, මෙන්ම ‘පපංච’ තත්ත්වයෙන්ද සිදුවන්නේ සත්ත්වයාගේ විඤ්ඤාණය සකස්වීමයි.

එසේ සකස් වූ ප්‍රසන්න හෝ අප්‍රසන්න විඤ්ඤාණය අනුව මරණාසන්න සිතට කම්ම, කම්ම නිමිති හෝ ගති නිමිති පහළ වී ඒ අනුව සත්ත්වයාට සුගතිය හෝ දුගතිය ලබා දෙයි.

මෙසේ බලන විට මෙම පපංචය ධර්ම සසර ගමන පෝෂණයට කොතරම් ඉවහල් වේද යන්න සිතා ගත හැකි ය.

එසේම පපංච තත්ත්වයෙන් මිදීමේ මාර්ගය ද බුදුරදුන් පෙන්වා දී ඇත.

මෝඝරාජට උන්වහන්සේ දේශනා කරන ලද්දේ ආත්ම දෘෂ්ටියෙන් මිදී සිහියෙන් යුතුව සියලු කල්හි ශුන්‍ය වශයෙන් බලන ලෙස යි.

ලෝකය යනු චෛතසික නිර්මාණයක් මිස, සත්‍ය වශයෙන් විද්‍යමාන ධර්මයක් නොවන බව බුදුරදුන් මෝඝරාජට පැහැදිලි කර ඇත. පපංචයෙන් කැරෙන්නේ නැති ලෝකයක් සිත තුළ මවාපෑමයි. එම නිසා ප්‍රපංච මමත්වයෙන් උපාදානයෙන් කරමින් ලෝකයෙහි ඇලී සිටීමට පුහුදුන්හු ප්‍රිය කරති.

බාහිය දාරුචීරියට කළ දේශනාවකින් බුදුන් වහන්සේ මෙම පපංච තත්ත්වයෙන් මිදෙන අයුරු පෙන්වා දුන්හ.

මෙම දේශනාවේ දී බුදුන් වහවන්සේ බාහියට උපදෙස් දෙන්නේ මේ අයුරිනි.

‘ගතෝත්වං බාහිය
දිට්ටේ දිට්ඨ මත්තං
සුතේ සුත මත්තං
විඤ්ඤතේ විඤ්ඤාමත්තං”
ආදී වශයෙනි.

ඉන්ද්‍රිය සයට අරමුණු වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යන ආලම්බන ඒ අයුරින්ම සිත තුළට වැද්ද නො දී ඉවත දැමීම දුක් කෙළවර කිරීමට හේතු වන බව බුදුන් වහන්සේ එම දෙසුමෙන් බාහියට පෙන්වා දුන්හ.

මෙම දේශනාවෙන් පසු බාහිය රහත් භාවයට පත් විය. ඉඳුරන්ගෙන් අරමුණු ගෙන ගොඩනගා ගෙන සිටි ලෝකයෙන් ; ‘පපංච’ තත්ත්වයෙන් මිදී ‘නිප්පංච’ තත්ත්වයට; රහත් භාවයට බාහිය පත් විය.

විදර්ශනා භාවනාවේදී පටිනිස්සග්ගානු පස්සනාවෙන් කැරෙන්නේ සිතේ් මවාගත් මෙම ප්‍රපංච තත්ත්ව එකින් එක බැහැර කිරීමයි. අතහැර දැමීමයි.

දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ දී, “චාගෝ පටිනිස්සග්ගෝ, මුත්ති, අනාලයෝ” යන වචන තුළින් ද දක්වා ඇත්තේ අනාදිමත් කාලයක් තිස්සේ සිත තුළ ගබඩා කර ගත් එම ‘මනෝ ලෝකය’ බැහැර කිරීමයි.

සුභූති මහරහතන් වහන්සේ

අසු මහා ශ්රාවක වහන්සේලා - 13
(දහතුන්වන ලිපිය )

සුභූති මහරහතන් වහන්සේ

අප ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි නික්ලේශී වහරණ ඇති සහ දක්ෂිණාර්ග භික්ෂූන් අතුරින් අග තනතුර ලබන ලද්දේ සුභූති මහරහතන් වහන්සේයි.

නික්ලේශී රහතන් වහන්සේ වශයෙන් අගතනතුරට පත් වූවත් අනෙකුත් රහතන් වහන්සේලාත් සියලු කෙලෙස් නැති කරන ලද බව පැහැදිලියි. එසේ වුවත් ධර්ම දේශනා කිරීමේ දී බුදුරදුන් හා සමාන ලෙසම ඒ ආකාරයටම අල්පවූ ද ලෝභ ආදී ක්ලේශයක් ඇති නොවන අන්දමට දේශනා පැවැත්වීම සුභූති රහතන් වහන්සේගේ ලක්ෂණයයි. රහත් වූවත් අන් බොහෝ අය තුළ මේ සඳහන් කළ ලක්ෂණය නෑ. ධර්මය අසා සිටින සමහරුන්ගේ සිත් තුළ නොදැනීම කෙලෙස් ඇති වන්නට පුළුවනි. මේ තත්ත්වය සුභුති රහතන් වහන්සේගේ දේශන තුළින් ඇති වන්නේ නෑ. අග තනතුර ලැබූ දෙවන කරුණ දක්ෂිණාර්හ භාවයයි. අනෙකුත් ශ්රාවක සංඝයා වහන්සේ දක්ෂිණාර්හ වූවත් මේ තුළ විශේෂත්වයක් තිබුණා. පිඬු පිණිස හැසිරෙන කල්හි ගෙයක් ගෙයක් පාසා මෛත්රි ධ්යානයට සම වැදි ඉන් නැගිට පිඬු සිඟන නිවස වෙත වැඩම වනවා. හැම නිවසකින්ම පිඬු ලබා ගැනීමට පෙර මෙසේ ධ්යානයට සම වදින වෙනත් භික්ෂු නමක් සොයා ගැනීම අමාරුයි. මේ අන්දමට පිණ්ඩපාතය ලැබීමට පෙර ධ්යානයට සම වැදීම නිසා දායකයන් හට දානය පූජා කිරීමෙන් මහත් ආනිශංසයක් ලැබෙනවා. මේ නිසා බුදුරදුන් “ඵදග්ගං භික්ඛවේ මම සාවකානං භික්ඛුණං අරණ විහාරීනං දක්ඛිණෙය්යතං යදිදං සුභූති” යනුවෙන් නික්ලේශී විහරණය සහ දක්ෂිණාර්හත්වය සලකා සුභූති හිමියන්ට අග්රස්ථානය පිරිනැමුවා.

සුභූති මහරහතන් වහන්සේ මේ අග තනතුර ලබා ගැනීම සඳහා කල්ප ලක්ෂයක් වැනි දීර්ඝ කාලයක් පාරම්තා පිරූ බව ධර්ම ග්රන්ථ පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් පදුමුත්තර බුදුරදුන්ගේ කාලයෙහි නන්ද නමින් උපත ලබා කුඩා අවධියේ දී ත්රිවේදයෙහි කෙළවර තෙක් ඉගෙන ගත්තා. එහි හරයක් නොදැන මහත් පිරිවර සමග හිමාලයට ගොස් තවුස් පැවිද්ද ලබා භාවනා කොට පඤ්චාභිඥා හා අෂ්ටසමාපත්ති උපදවා ගත්තා.

බුදුරදුන් ලෝකයේ පහළ වීමට පෙර විමුක්තිය පතා භාවනා කළ අපමණ තවුසන් සිටියා. එයින් සමහර අය භාවනා කිරීමේ බලයෙන් සිත දියුණු කොට ඉහත සඳහන් අභිඥා සහ සමාපත්ති උපදවා ගත් බව අසිත සහ ආලාර කාලාම වැනි තවුසන්ගෙන් පැහැදිලි වනවා. ඒ අතුරින් අභිඥා පස උපදවා ගැනීම ප්රාග් බෞද්ධ යුගයෙහි ඉතා උසස් ගෞරවණීය දෙයක්. අහසෙන් යාම, නොපෙනීයාම ආදී දේ සිදු කිරීමට පුළුවන් වන සෘද්ධිවිධ ඥානය අභිඥා පහෙන් එකක්. දිව්ය ශෝත ඥානය නමින් දැක්වෙන ඥානයෙන් අපේ සාමාන්ය කණට නොඇසෙන ඉතා දුරවූත් ඉතා සියුම් වූත් ශබ්ද ඇසීමට පුළුවන් වෙනවා. එක් එක් පුද්ගලයන්ගේ සිත් වල ඇතිවන රාග, දෝස, මෝහ සහිත තත්ත්වයන් දැනගැනීමට පරචිත්ත විජානන ඥානය නිසා පුළුවන් වෙනවා. සිවුවනවූ පූර්වේ නිවාසානුස්මෘති ඥානය ලැබීම නිසා මෙයට පෙර ආත්මවල කවර කවර ආත්මයන් ලබා කවර ආකාරයෙන් ජීවත් වූයේ දැයි දැන ගන්නට හැකි වෙනවා. පස්වැන්න වූ දිව්ය චක්ෂූර් ඥානය ලැබූ විට සාමාන්ය ඇසට නොපෙනෙන ඉතා ඈත තිබෙන නොයෙක් දේ දැක ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මෙයටත් වඩා සිත දියුණු කිරීමෙන් තමයි අෂ්ට සමාපත්ති උපදවා ගන්නේ.

ධ්යාන ලබා ගැනීමට සිත දියුණු කිරීමේ දී කෙලෙස් නැති වෙනවා. සාමාන්යයෙන් තමා ආසාවෙන් රැස් කරන ධනය කෙරෙහි ආසාවක් නැතිව වියදම් කොට දානයක් දෙන කෙනෙකුගේ සිතෙහි ද කෙලෙස් නැතිවෙනවා. හැබැයි එය ඒ වෙලාවට පමණක් කෙළෙස් නැති කිරීමෙන් සිදු කරන කුසලයක් චිත්ත භාවනාවේ යෙදීමෙන් කලින් දැක් වූ අන්දමට ධ්යාන උපදවා ගත් විට සම්පූර්ණයෙන් කෙලෙස් නොපෙනෙන අන්දමට යටපත් වී තිබෙනවා. එය හරියට අලු හෝ වැලි යට ගිනි පුපුරු තිබෙනවා වගෙයි. කවර හෝ රාගික හැඟීමක් ඇති වුවහොත් කෙලෙස් මතු වීම නිසා ලබා තිබූ සියලු ධ්යාන නැති වන්නට පුළුවන්. විදර්ශනා ප්රඥාව වැඩීම නිසා ඒ සැඟවී සිටින සියලු කෙලෙස් නැති කර දාන්න පුළුවනි. එසේ කළ තැනැත්තා රහතන් වහන්සේ නමින් හඳුන්වනවා.

ඉහත දැක් වූ සුභූති හිමියන් භාවනා කිරීමෙන් කෙලෙස් යටපත් කොට ධ්යාන උපදවා ගන්න සමත් වුණා. දිවැස් යොමු කළ පදුමුත්තර බුදුරදුන් නන්ද තවුසාණන් වෙත වැඩමවා සිටියෙන් තම පිරිස සමග නොකඩවා සත් දිනක් බුදුරදුන් ප්රධාන සංඝ රත්නයට දන් පුදා උපස්ථාන කරන්නට පුළුවන්කම ලැබුණා. අප බුදුරදුන් කළ ඉහත දැක් වූ තනතුර ලබන බවට විවරණය ලැබුවේ මෙහිදී.

කල්ප ලක්ෂයක් සැරි සරා අප ගෞතම බුදුරදුන් කළ සැවැත් නුවර සුමණ සිටු නිවසෙහි ‘බබලන ශරීරයක් ඇත’ යන අර්ථය ඇති සුභූති නමින් උපත ලැබුවා. බුදුසසුනෙහි පැහැදුනු අනේපිඬු සිටුතුමා සමග ජේතවනාරාමයට ගොස් බන අසා පැහැද පැවිදිව භාවනා කොට රහත් භාවය ලබා ගත්තා. සුභූති රහත් හිමිපාණන්ගේ ක්ලේශයන් ගෙන් තොර වූ දේශනාවත්, දායක පක්ෂයට මහත් ආනිශංස ලබාදෙන දක්ෂිණාර්භ තත්ත්වයත් බුදුරදුන් අගය කොට දැක්වීම නිසා අගතනතුර ලබා ගැනීමට හැකි වුණා.

සද්ධර්ම කීර්ති ශ්රී ත්රිපිටකාචාර්ය
දිවියාගහ යසස්සි නා හිමි

Tuesday, December 5, 2023

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ


අසු මහා ශ්රාවක වහන්සේලා - 12
(දොලොස්වන ලිපිය )

චුල්ලපන්ථක මහරහතන් වහන්සේ

සාරිපුත්ත ජාතික අධ්යාපන
විද්යා පීඨයේ
තණමල්විල රාහුල හිමි

රජගහනුවර ධනවත් හා කීර්තිමත් සිටු පවුලක් විය. මෙම සිටුපවුලට සිටියේ රූමත් දියණියක් පමණක් ම නිසා ඇයට ආදරයෙන් නම් අඩුවක් වූයේ නැත. ඇගේ ප්රේමය දිනාගත්තේ සිටුමැදුරේ කඩවසම් මෙහෙකරුවෙකි. නොබෝ කලකින් ඇය ඔහු හා පැන ගියා ය.මවුපියන් ඇය සිටු පවුලෙන් ඉවත් කළේ මියගියා යැයි සලකමිනි.

තම කුළුදුල් දරුවා ලබන්නට සූදානම් වූ ඇයට තම මව් සෙනෙහස ලැබීම අවැසි විය. ඇය සැමියා සමග තම මව වෙත යන්නේ, අතරමගදී දරුවා බිහිවිය. ඔවුහු මහ මග උපන් දරුවාට “පන්ථක” යැයි නම් තැබූහ. කාලය ගලා ගියේ ය. දැන් ඇය තම දෙවෙනි දරු උපතට ද සූදානම් ය. ඇය තම සැමියා සමග මව වෙත යන්නේ අතර මගදී දෙවන දරුවා ද බිහිවිය. ඔවුන් තම පුංචි සුරතලාටද නම තැබුවේ “ පන්ථක” කියා ය. දැන් වැඩිමලා මහා පන්ථකය. පුංචි පුතා චුල්ල පන්ථක ය. නොබෝ කලකින් මේ සුරතල් දරුවන් දෙදෙනාට තම මුතුන්මිත්තන් දැකීමට සිත් විය. අසල්වැසි ගම්දරුවන් සමඟ සෙල්ලම් කරන මහාපන්ථක කුමරා ඔවුන් බාප්පා, මුත්තා, අත්තම්මා කියනු අසා ”අපට නෑයෝ නැද්දැ” යි මවගෙන් ඇසී ය.

”රජගහනුවර මහධන සිටාණෝ නුඹගේ මුත්තණුවෝ ය. එහි බොහෝ නෑයෝ වෙති” යි මව කීවා ය. එහි නො යාමට හේතු පහදා දුන් නමුත්, දරුවන්ගේ ඇවිටිලි බොහෝ වූ හෙයින් රජගහ නුවරට යාමට තීරණය කළහ. එසේ ගිය පසු නුවර දොරටුවෙහි නවාතැන් ගත් ඔවුහු තමන් ආ බව දන්වා යැවූහ. මවුපියෝ ඒ අසා “මුන් දෙදෙනා අපගේ වංශයට හානි කළහ. අපේ ඇසට පෙනෙමින් ළඟ නො සිටිය යුතුය” කියා කැමති තැනෙක ගොස් ජීවත් වීමට වස්තු සම්පත් දෙවා සිටු යුවල චුල්ල පන්ථක හා මහා පන්ථක තම සිටුමැදුරේ නවතා ගැනීමට කැමති වූහ.

දැන් ඔවුන් දෙදෙනා ජීවත්වන්නේ තම ආච්චි හා සීයා භාරයේ ය. මහාපන්ථක සීයාගෙන් අවසර ගෙන පැවිදි විය. උන්වහන්සේ නොබෝ කලකින් විදසුන් වඩා රහත් වූහ. ටික දවසක් යනවිට චුල්ලපන්ථකටත් ගිහි ජීවිතය එපා විය. ඔහුත් මහා පන්ථක හාමුදුරුවන්ගේ පන්සලට ගොස් මහණ විය . මහණ වූ දවසේ සිටම කාල සටහනක් අනුව වැඩ කරන්නත්, ගාථා කට පාඩම් කරන්නත් පන්ථක පොඩි හාමුදුරුවන්ට සිදු විය. මහා පන්ථක හාමුදුරුවෝ ගාථාවක් කට පාඩම් කරන්න යැයි චුල්ලපන්ථක හාමුදුරුවන්ට උගැන්වූහ. ගාථාවේ පදයෙන් පදය අර්ථය සමග වටහා දුන්හ. එහෙත් පොඩි පන්ථක හාමුදුරුවන්ට කට පාඩම් කරන එක සිතට වද දෙන වැඩක් විය.

දස දහස් වාරයක් පාඩම් කළද එක පදයක් හෝ මතක තබා ගැනීමට නොහැකි විය.මාස හතරක් තිස්සේ උත්සාහ කළත් එක අකුරක් හෝ මතක තබා ගත නොහැකි විය. මහා පන්ථක හිමියෝ පොඩි පන්ථක හිමි කැඳවූහ. “පන්ථක ඔබට මහණකම් හරියන්නේ නැහැ. එක බණ පදයක් මතක තියා ගන්න බැරිව මොන මහණකම ද? ඒ නිසා ඔබ ගෙදර යන්නයි පැවසූහ.”

මේ අතර ජීවක වෙද මහතා පන්සලට පැමිණ, බුදුරදුන් ප්රධාන මහ සඟනට පසුවදා දවල් දනට ආරාධනා කළේය.

මහා පන්ථක හිමියෝ චුල්ල පන්ථක හිමියන් හැර ආරාධනාව පිළිගත්හ. ඒ බව දැනගත් චුල්ල පන්ථක හාමුදුරුවන්ගේ කනගාටුව, ශෝකය, කලකිරීම තව තවත් වැඩිවිය. මේ පන්සලේ නොරැඳෙමි සිතූ චුල්ල පන්ථක හිමියෝ පසු දා උදෙන් ම පන්සලෙන් පිටත් වූහ. මහා කරුණා සමාපත්තියට සමවැදී ලෝකය දෙස බලන බුදු පියාණෝ කලකිරී ගෙදර යන චුල්ල පන්ථක පොඩි හිමියන් දුටු සේක. පා සිවුරු ගත් බුදු පියාණෝ පන්ථක හිමි යන මගට සෘද්ධියෙන් වැඩිසේක. “පන්ථක කොහෙද මේ යන්නෙ?” බුදුපියාණෝ විමසූහ. “අයියා කිව්වා මට මහණකම් කරන්න බැරි බව. ඒ නිසා මම ගෙදර යනවා බුදුහාමුදුරුවනේ” මහා කරුණාවෙන් ළතෙත් සිතැති මහා ශාන්ති නායකයාණෝ චුල්ල පන්ථක පොඩි හාමුදුරුවන්ගේ හිස පිරිමදිමින් මෙසේ වදාළහ.

“පන්ථක, ගාථා පාඩම් කර ගන්න මහන්සි වෙන්න ඕනෙ නැහැ. නුඹට එක දෙයක් කරන්න පුළුවන්ද?” “ඒ මොකක්ද, බුදුහාමුදුරුවනේ?,,” “පන්ථක ඔබට සිත හදා ගන්න පුළුවන් ද?” “පුළුවන් බුදුහාමුදුරුවනේ” ඉන්පසු බුදුහාමුදුරුවෝ සුදුරෙදි කැබැල්ලක් දී එය කිළිටි හරිමි, කිළිටි හරිමි යි කියමින් අත්ලේ පිරිමදින්නැයි පන්ථක හිමියන්ට කීහ.

පන්ථක පොඩි හාමුදුරුවෝ බුදුපියාණන් වදාළ පරිදි කමටහන ක්රියාත්මක කළහ. ක්රමයෙන් අත්ලේ පිරිමැදි රෙදි කැබැල්ල කිළිටි වන්නට විය. ඒ කෙරේ සිහිය ඇති කරගත් පන්ථක හිමියෝ, පෙර වැඩූ කුසල් ඇත්තේ සිතේ කිළිටි ස්වභාවයත්, සංස්කාරයන්ගේ අනිත්ය ස්වභාවයත් මැනවින් තේරුම් ගෙන සියලු කෙලෙසුන් නසා රහත් බව ලබා සියලු දුකින් මිදුණහ.

චුල්ලපන්ථක තෙරණුවෝ පෙර භවයෙක රජෙක් ව ඉපිද නුවර පැදකුණු කරන වේලෙහි නළලින් ගැලූ දහ¼ඩිය පිරිසුදු සළුවෙන් පිසදැමී ය. සළුව කිළිටි විය. අපවිත්ර ශරීරය නිසා පවිත්ර සළුව කිළිටි විය. ඒ හේතුවෙන් උපන් සියල්ල මෙසේ අනිත්යතාවයෙන් යුක්තය කියා ඇති වූ අනිත්ය සංඥාවම මෙකල රජෝහරණය ම උන්වහන්සේට රහත්වීම සඳහා හේතු වූයේ ය.

ජීවක භාග්යවතුන් වහන්සේට පැන් පිළිගැන්වී ය. උන්වහන්සේ ආරාමයේ තව භික්ෂූහු සිටිති” යි යි අතින් පාත්රය වැසූ සේක. මහාපන්ථක තෙර ”ස්වාමීනි, විහාරයෙහි භික්ෂූහු නැතැ” යි කීය. භාග්යවතුන් වහන්සේ ඇති නැති බව දැන එව’ යි මිනිසකු යැවූහ. චුල්ලපන්ථක තෙරණුවෝ ”මාගේ සොහොයුරාණන්ට භික්ෂූන් ඇති බව පෙන්වමි” සිතා සිවුරු මහන, සිවුරු හෝදන, සිවුරු පඬු පොවන, පාඩම් කරන දහස් ගණන් භික්ෂූන් අඹ වනය පුරා මැවූහ. ඒ පුරුෂයා දිවගොස් අපමණ භික්ෂූහු සිටිතැයි සැළකළේ ය.

”චුල්ලපන්ථක කැඳවා ගෙන එව” බුදුන් වදාළ කල්හි එහි ගිය පුරුෂයා චුල්ලපන්ථකයන් කැඳවතියී කීය. සියල්ලෝම ”මම චුල්ලපන්ථක වෙමි. මම චුල්ලපන්ථක වෙමි” නැගී සිටියහ. ඔහු ගොස් ඒ බව සැළ කළේය. ”එසේ නම් පළමු කීවහු අතින් අල්වා ගන්න. එවිට සෙස්සන් අතුරුදහන් වෙති” වදාළහ. එපරිද්දෙන් චුල්ලපන්ථක තෙරුන් කැඳවාගෙන ආපසු දන් වළඳා අනුමෙවෙනි බණ දෙසීම පන්ථක තෙරුන්ට පවරා විහාරයට වැඩි සේක. සවස් වේලෙහි දම් සභාවට රැස් වූ භික්ෂූන් වහන්සේ මේ පුවත මුල්කොට බුදුරජාණන් වහන්සේගේ ගුණ කථා කියමින් හුන්හ. එහි වැඩි භාග්යවතුන් වහන්සේ ”චුල්ලපන්ථක දැන් මා නිසා ධර්ම මහත්වයට පැමිණියේ ය. පෙර මා නිසා භෝග මහත්වයට පැමිණියේ ය” යි වදාළ සේක.

චුල්ල පන්ථක මහ රහතන් වහන්සේගේ අතීත කථාව පැහැදිළි කළහ. කාශ්යප බුදුරජාණන් වහන්සේ කාලයේ දී පැවිදි ජීවිතයක් ගත කළ චුල්ල පන්ථක හිමියෝ එකල වියත් තෙරණු කෙනෙක් වූහ. ඉගෙනීමෙහි දක්ෂ වූහ. එහෙත් උන්වහන්සේ වැඩසිටි පන්සලේ නුවණ මඳ, ඉගනීමෙහි අදක්ෂ, පාඩම් නො සිටින ස්වාමීන් වහන්සේ නමක් වූහ. එකල පණ්ඩිතමානි වැනි වූ චුල්ල පන්ථක හිමියෝ නුවණ මඳ හිමියන්ට නොයෙක් අපහාස උපහාස කරමින් සිනාසුනහ. එහි ප්රථිඵලයක් වශයෙන් රහත්වීමට පින තිබූ උන්වහන්සේට මෙකල සිව් මසක් ගත වුවත් එක ගාථා පදයක්වත් පාඩම් කරගත නොහැකි විය.

චුල්ල පන්ථක හිමියන්ගේ කතාව පණ්ඩිතමානි නුවණ මඳ, නිසි උගත්කමක් නොමැති පුද්ගලයන්ට ගරහන, ඔවුන් හිනාවට උපහාසයට, අපහාසයට ලක් කරන අයට කදිම පාඩමකි.



කරණීයමෙත්ත සූත්‍රය

 


කරණීයමෙත්ත සූත්රය - නිධාන කතාව හා පදයෙන් පදය අර්ථය

කරණීය මෙත්ත සූත්රය (මෙත්ත සූත්රය) බෞද්ධයන් අතර ආරක්ෂක පිරිතක් ලෙස ද භාවනා ධර්මයක් ලෙස ද ඉතා ප්රකටය. තුන් සූත්රය ලෙස මහා මංගල සහ රතන සූත්ර සමගද භාවිත වන්නක් වීමෙන් පිරිත් දේශනාවන්හිද නැතිවම බැරි අංගයක් වන මෙත්ත සූත්රය එහි පදයෙන් පදය අර්ථයත් සමග දහම් පිපාසිත ඔට අතට පත් කිරීමට මෙසේ අදහස් කරමි. මේ සූත්ර දේශනාව කුඩා කල පටන් අසන අප එහි අරුතද දැන සිටීම වටින්නේය. මෙය පස්වැනි ඛුද්දක නිකායේ ඉතා පැරණිම ශ්රී මුඛ දේශනා ඇතුළත් සුත්ත නිපාතයේ ඇතුලත් දේශනාවකි.

නිධාන කතාව: බුදුරජාණන්වහන්සේ සැවැත්නුවර වැඩවාසය කරන සමයක පන්සියයක් භික්ෂුන් වහන්සේලා සුදුසු කමටහන් ලබාගෙන බුදුන් වහන්සේගේ අනතුරු ඇඟවීම් මැද වුවත් වස් තුන් මස විවේකීව බවුන් වැඩීමේ අදහසින් සුදුසු තැනක් සොයා පිටත්ව ගියහ. උන්වහන්සේලා එක්තරා ගමකට වැඩම කළ අවස්ථාවේදී එහි වාසය කළ මිනිස්සු උන්වහන්සේලාගේ අදහස දැනගෙන ගම අසල ඇති වන ලැහැබක් ඊට සුදුසු බව දන්වා සිටියහ. ගමට ඉතා ආසන්න නොවී ඉතා දුරින්ද නොපිහිටි වන ලැහැබක් බැවින් භික්ෂූන්වහන්සේලාත් ඒ වන ලැහැබට වැඩම කර තම භාවනා කර්මය පටන් ගත්හ.

මේ වනලැහැබට අරක්ගත් රුක්ෂ දේවතාවුන් සමූහය මේ සිල්වත් භික්ෂූන්වහන්සේලා බිම හිඳිද්දී තමන් උඩ හිඳීම නුසුදුසු යැයි සිතා බිමට බැස්සහ. ඊළඟ දිනයෙත් පිඬුසිඟා වැඩීමෙන් පසු උන්වහන්සේලා පැමිණීමෙන් දේවතාවුන්ට බිමට බැසීමට සිදුවිය. මේ ආකාරයට දින කිහිපයක් ගතවීමෙන් පසු දේවතාවන්ට පෙනීගියේ මේ යෝගාවචර සඟ පිරිස දිගු කලක් නැවතී සිටිනු ඇති බවය.ඔවුහු කතිකා කර භික්ෂූන්වහන්සේලා බියගන්වා එලවාදැමීමට උපක්රම යෙදූහ. දේවතාවුන් විසින් අමනුෂ්ය රූප මළකඳවල් ආදී බියජනක දෑ මවා පෙන්වීමෙන් ඒ ස්වාමීන්වහන්සේලාගේ බවුන් වැඩීමට බාධා කළහ. උන්වහන්සේලාගේ ශරීර සුදුමැලිව බියෙන් තැති ගැණුනහ. සිත් එකඟ කළ නොහැකිව භාවනා අසාර්ථක විය. දිනක් පැන් ගෙන ඒමට දිය කඩිත්තට ගිය අවස්ථාවේ සංඝ ස්ථවිරයන් වහන්සේ තමන් වහන්සේ සේම අන්ය භික්ෂූන් ද ශරීරයෙන් කෘෂව වැහැරී සිටිනු දැක මෞන වෘතය රැකීම හෙවත් මුවින් ඩචනයක් පිට නොකර සීටීම යන භාවනා වෘතය එතෙකින් නවතා අනෙකුත් ස්වාමීන් වහන්සේලාගෙන් මේ ගැන විමසා බැලූහ. “කිමෙක්ද ඇවැත්නි, ඔබ වහන්සේලා ශරීරයෙන් කෘෂව සුදුමැලි බවට පත් වූයේ කිනම් කරැණකින්දැ”යි විමසූහ. එවිට තමන්වහන්සේට සේම සද්ධිවිහාරික අනෙකුත් භික්ෂූන් වහන්සේලාට ද ඇත්තේ අමුනුෂ්ය කරදර බව දැන එතැන තමන්ට සුදුසු තැනක් නොවන්නේ යැයි සිතූ උන්වහන්සේලා පෙරළා බුදුහිමියන් වෙත පැමිණ තම අත්දැකීම සැල කළහ.

“ස්වාමීනි, මේ විදියෙ උපද්රව වලට මුහුණදෙන්න වුණ එම සෙනසුන බවුන් වැඩීමට සුදුසු නැති බවයි පේන්නෙ.”
“නැහැ මහණෙනි, එතැනමයි සුදුසු. මේ වතාවේ නුඹලා ආයුධයක් අරගෙනයි යා යුත්තේ.”
“ස්වාමීනි, කුමක්ද ඒ ආයුධය?”

ඒ අයුධය තමයි කරණීයමෙත්ත සූත්රය. මෙම පිරිත ඉගෙන ගොස් මසකට අට වරක් බණ අසන දිනයන්හිදී සජ්ඣායනා කරන්න........මෙය පදනම් කර ධර්ම සභාව රැස් වන්න..... මෙය කර්මස්ථානයක් වශයෙන් වඩන්නැයි" අවවාද දී කරණීය මෙත්ත සූත්රය දේශනා කළ සේක. මේ උපදෙස් අනුගමනය කළ එම භික්ෂූන්වහන්සේලාට දේවතාවුන්ගේ හිරිහැර නැති වී ගොස් නිතිපතා දෙවිදේවතාවුන්ගේ ද උපකාර ලැබ භාවනා කිරීමෙන් වස්තුන් මස අවසානයේ දී උන්වහන්සේලා පන්සිය නමම අර්හත් ඵල සමාපත්තියට පත්ව උත්තරීතර නිවන් අවබෝධයෙන් සැනසිල්ල උදාකරගත්හ. සාධු! සාධු! සාධු!
මෙම අනර්ඝ සූත්ර දේශනාවේ මෛත්රීය වැඩීමේ උපදෙස්මාලාවක් ඇතුලත් වන අතර එම බුද්ධ වචන භාවනා කර්මයක් දක්වා පහසුවෙන් වැඩීමට ඔබටත් හැකිය. නිවසේදී පිරිත් කියන විට ඔබ අර්ථය බලමින් කියවා මෙම අර්ථ ඔබට හුරු කරවාගෙන නිතර මෙනෙහි කරන විට අර්ථ සහිතවම මෙනෙහි කිරීමෙන් තම තමන්ට ආලෝකයක් තමාවිසින්ම සපයා ගත හැකිය. සූත්රයේ අවසානයට සඳහන්වන පරිදි ඔබත් නැවත මව් කුසක පිළිසිඳ නොගැනීමට භාවනා වීර්යය උපදවන්නේ නම් මේ ඔබට සුදුසුම සූත්ර දේශනාවයි. එයින් ඔබට නිරන්තර ආරක්ෂාව ලැබෙනු ඇත. එසේ වන්නේ ඔබේ මෛත්රී චිත්තයේ මහිමයෙන් සලිත වී යන අමනුෂ්යයෝ ඔබට කරදර නොකොට පිං බලාපොරොත්තුවෙන් ඔබව ආරක්ෂා කිරීමට පෙළඹෙන නිසාය. දෙවියෝ ද ඔබ උපද්රව වලින් වලක්වනු ඇත. ඔබේ සිත ද සැමට සුව සළසන මෛත්රී පිණ්ඬයක් වේවා! මේ දිනූ මනුෂ්ය ජීවිතයේ දීම ධර්ම ප්රාර්ථනා සමෘද කොට ගෙන ශාන්ත ලක්ඛණ අමා නිවනින් සැනසීම උදා කරගැනීමට මේ මහඟු බුද්ධ වචන ඔබට නිතිපතා උපකාරී වේවා!

කරණීයමත්ථ කුසලෙන (=කරණීය+ අත්ථ) – තමාට අර්ථයක් හෙවත් යහපතක් කරගන්නෙක් විසින්
යං තං සන්තං පදං අභිසමෙච්ච – ඒ ශාන්ත පදය(නිවන) අවබෝධයෙන්
සක්කො – දක්ෂයෙක්
උජු ච – ඍජු/අවංක (වූවෙක්)
සූජු ච – වඩාත් / සිතින් පවා අවංක (වූවෙක්)
සුවචො චස්ස – කීකරු වූවෙක්
මුදු අනතිමානී – මුදු නිහතමානී (වූවෙක් විය යුතුය)
සන්තුස්සකො ච – ලද දෙයින් සතුටු වන
සුභරො ච – පහසුවෙන් රැකිය හැකි
අප්ප කිච්චො ච – අල්ප වූ වැඩ කටයුතු ඇති
සල්ලහුක වුත්ති – ලහුක (සැහැල්ලු) පැවතුම් ඇති
සන්තින්ද්රියො ච – සන්සුන් (පස්) ඉඳුරන් ඇති
නිපකො ච - ඥානවන්ත වූ
අප්පගබ්භො - (ප්රගල්භ නොවන හෙවත්) සැහැසි /රළු නොවූ
කුලෙසු අනනුගිද්ධෝ - කුලයන්හි නොඇලුණු (හෙවත් දායක පවුල් වලට නොඇලුණු අයෙක් වියයුතුය)
න ච ඛුද්දං සමාචරෙ – සුළු වූත් හැසිරීමක් නැත
කිඤ්චි යෙන විඤ්ඤූ පරෙ – යම් ඒ අනෙක් නුවණැත්තන්
උපවදෙය්යුං - විසින් ගැරහීමට ලක්විය හැකි
සුඛිනො වා - (කයිනුත්) සුවපත්
ඛෙමිනො හොන්තු – නොබිය වූ
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා - සියලු සත්වයෝ (සිතිනුත්) සුවපත් වේවා!
යෙ කෙචි පාණ භූතත්ථි - යම්තාක් පණඇතියවුන් සිටින්නේ නම්
තසා වා - තැතිගත් හෝ
ථාවරා වා - ස්ථාවර හෙවත් තැති නොගත් (අර්හත්ඵල සමාපත්තියට පැමිණී උතුමන් තැති නොගත් යන්නෙන් අදහස් වේ)
අනවසෙසා - ඉතුරු නැතිවම
දීඝා වා – දිග් වූ හෝ
යෙ මහන්තා වා – මහත් වූ
මජ්ඣිමා- මධ්යම ප්රමාණ කය ඇති
රස්සක –කෙටි ප්රමාණ කය ඇති
(අ)ණුක - ඉතා සියුම්
ථූලා – ස්ථූල වූ
දිට්ඨා වා - දුටු සත්ත්වයන් (මෙන්ම)
යෙව අද්දිට්ඨා - යම් නුදුටු සත්ත්වයන් ද
යෙ ච දූරෙ - යම් දුර සිටින සත්ත්වයන් හෝ
වසන්ති අවිදූරෙ – නොදුරේ හෙවත් ළඟ වසන සත්ත්වයන්
භූතා වා - හටගත් හෙවත් ඉපදුණු හෝ
සම්භවෙසී වා- නොඉපදුනු, (මවුකුස සිටින හෝ බිත්තර අවස්ථාවේ සිටින)
සබ්බෙ සත්තා භවන්තු සුඛිතත්තා – සියලු සත්ත්වයෝ සුවපත් (සිතැති) වේවා!
න පරො පරං නිකුබ්බෙථ – එකෙක් තවකෙකුට වංචා නොකෙරේවා
නාතිමඤ්ඤෙත (න+අතිමඤ්ඤෙත) - හෙලා නොදකිත්වා
කත්ථචි නං කඤ්චි – කොතැන කිසිවෙකුත්
බ්යාරොසනා – කෝපවී
පඨිඝසඤ්ඤා – ගැටෙන අදහසින්
න+(අ)ඤ්ඤමඤ්ඤස්ස – එකෙක් අනෙකෙකුගේ
දුක්ඛම්+ඉච්ඡෙය්ය – දුක කැමතිවන්නේ නැත
මාතා යථා – යම් මවක් මෙන්
නියං පුත්තං – පුතෙකු සිටින
ආයුසා – පණ වැනිව
එක පුත්තං+අනුරක්ඛෙ - එක ම පුතු රකියි ද
එවම්පි– එලෙසම
සබ්බ භූතෙසු - සියලු සත්ත්වයනට
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිතවූ මනසක් වැඩිය යුතුය
මෙත්තං ච සබ්බ ලොකස්මිං - සකල ලෝකය වෙත මෙත පතුරවා
මානසං භාවයෙ අපරිමාණං – අපරිමිත වූ මනසක් වැඩිය යුතුය
උද්ධං - උඩ ද
අධො ච –යට ද
තිරියං ච – හරහට /තිරස / ආදී දිසානු දිසාවන්ද
අසම්බාධං – බාධා නැතිව
අවෙරං – අවෛරීව
අසපත්තං - සතුරු නැතිව
තිට්ඨං - හිටගෙන සිටිද්දී හෝ
චරං –ඇවිදින විට හෝ
නිසින්නො වා – ආසනයක හිඳගෙන විටින විට හෝ
සයානො වා – සයනය කරමින් හෝ
යාවතස්ස විගතමිද්ධො – නින්දෙන් වෙන්ව සිටිනතාක් හෙවෙත් අවදියෙන් සිටින සෑම විට ම
එතං සතිං අධිට්ඨෙය්ය – මෙසේ සිහිය අදිටන් කොටගත යුත්තේය
බ්රහ්මං+එතං විහාරං ඉධං+ආහු – මෙසේ විසීම බ්රහ්ම විහරණයකැයි ලොව (නුවණැත්තෝ) කියත්
දිට්ඨිංච අනුපගම්ම - (සත්වයෙක් පුද්ගලයෙක් ඇත යන) දෘෂ්ඨියට නොගොස්
සීලවා - (සිදුරු නැතිව) සිල්වත් වන්නේ
දස්සනෙන සම්පන්නො – නිවැරදි දැක්මෙන් යුතුව
කාමෙසු විනෙය්ය ගෙධං – පංචකාමයන් කෙරෙහි ගිජුබව හෙවත් ඇලෙන ස්වභාවය දුරු කොටගෙන (අනාගාමී වී)
න හි ජාතු ගබ්භසෙය්යං පුනරෙතී ‘ ති. – මවු ගැබක සැතපීමට නැවත නොපැමිණෙන්නේ මය.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...