Thursday, November 21, 2024

අසු මහා ශ්‍රාවක වහන්සේලා - 19 (දහනවය ලිපිය ) වක්කලි මහ රහතන් වහන්සේ


අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයන් අතර ශ්රද්ධා විමුක්තීන් අතර අග තනතුර ලබන ලද්දේ වක්කලි මහ රහතන් වහන්සේ ය. අනෙකුත් බොහෝ ශ්රාවකයන් මෙන් උන්වහන්සේ ද පදුමුත්තර බුදුරදුන්ගේ අවධියේ දී විවරණය ලබා දාන ආදි මහා පින්කම් අසීමිත ලෙස සිදු කරමින් මේ අග තනතුර ලැබීම සඳහා මහත් උත්සාහයෙන් ක්රියා කර විවරණ ලැබූ සේක.

ගෞතම බුදුරදුන් ලොව පහළ වීමත් සමඟ බ්රාහ්මණ කුලයේ උප්පත්තිය ලැබූ මේ වක්කලි හිමියන් එක් දිනක් පිඬුසිඟා වඩින බුදුරදුන් දුටුසේක. ඒ බුදුරදුන්ගේ රූපශ්රීය පිළිබඳ දැඩි ඇල්මක් දැක් වූ ඒ බ්රාහ්මණ කුමරු බුදුරදුන්ගේ රූපය දැකීමේ බලවත් ආශාවෙන් උන්වහන්සේ පසු පස විහාරයට ගමන් කළේ ය.

බුදුරදුන් විවේක සුවයෙන් කල්ගත කරන සමයෙහි, දම් දෙසන සමයෙහි, වෙනත් ඉරියව්වක් ගත කරන විටත් බුදුරදුන් දෙස බලමින් සිටීමටම දැඩි උත්සාහයක් ගත්තේ ය. බුදු සිරුර දැකීමට අපමණ සිත් ඇතිව ආහාර ගැනීම, නිදාගැනිම හෝ වෙනත් පෞද්ගලික අවශ්යතාවක යෙදීමට වඩා බුදු සිරුර දකිමින් සිටීම සඳහා තදබල ආශාවකින් ක්රියා කිරීම මෙම තරුණයාගේ දෛනික චර්යාව විය.

උතුම් වූ බුදුකෙනෙකුන් කෙරෙහි සිත් ඇද ගන්නා වර්ණනීය කරුණු තුනකි. අතීත චරිත කතාව, ශරීර ලක්ෂණ සහ බුදුරදුන් සතු වූ ගුණය යනුවෙන් දැක්වෙන්නේ ඒ කරුණු ය. ඒ අතුරින් බුදුවරයෙකුගේ අතීත ආත්ම ගත කළ ආකාරය පැහැදිලි කෙරෙන චරිත කතාව ඉතාමත් වැදගත් ය . මනුෂ්ය ආත්මයක් හෝ දේවාත්මයක් නොවේ නම්, වෙනත් තිරිසන් ආත්මයක් ලබා සිටියත් ඒ තත්ත්වයේ ජීවත් වන අන් අයට වඩා ගුණ නුවණ හා වෙනත් ආකල්පයන්ගෙන් උසස් වූ තත්ත්වයක් බෝසතුන් තුළ පැවතුණහ . පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ඒ බව මනා ලෙස පැහැදිලි කර දී තිබේ.

සියලු කෙලෙස් නසා බුද්ධ රාජ්යයට පත් වීමත් සමඟ උන්වහන්සේ තුළ ඇති ගුණ මෙපමණ යැයි සඳහන් කිරීම අපහසු ය. අරහං ආදි නවගුණ පාඨයෙන් විද්යමාන ඒ උතුම් ප්රධාන ගුණ නවයක් පමණ ය. තවත් වර්ණනා කළයුතු ශරීරයේ පිහිටා ඇති ලක්ෂණ ය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසූවක් පමණ වූ අනූ ව්යඤ්ජන ලක්ෂණයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරය උපලක්ශිත ය. මෙයට බොහෝ දුරට සමාන වූ ශරීරයක් ඇත්තේ සක්විති රජකෙනෙකුට පමණ ය. ශාසන ඉතිහාසය විමසන කළ බොහෝ අන්යාගමිකයන් පළමුව බුදුරදුන් කෙරෙහි පැහැදීම ඇතිව තිබෙනුයේ ධර්ම දේශනාවකට සවන් දීමෙන් නොව ශරීර ලක්ෂණ දක්නට ලැබීමෙන් බව සුපැහැදිලි ය . උගත් ද්රෝණ බමුණා පළමුව ශරීර ලක්ෂණයන්ට පැහැදී, පසුව බුදුරදුන් වෙත පැමිණ සාකච්ඡා කළ බව ද්රෝණ සූත්රය පැහැදිලිව පෙන්වා දී තිබේ. පසුව විරුද්ධ කම් කළ මාගන්ධිය බමුණා වුවත් පළමුව බුදුරදුන්ගේ සිරුරට බෙහෙවින් පැහැදුණේ ය.

බුදු සිරුර දැකීමට දැඩි කැමැත්තක් දැක් වූ වක්කලී තරුණයා පැවිද්ද ලබා ගනු ලැබුවේ ද පිළිවෙත් පුරා සසර සයුරෙන් එතෙර වීමේ පරමාර්ථයෙන් නොව වඩාත් සමීපව සම්බුදු සිරුර බැලීමට පහසුය යන හැඟීම නිසාවෙනි . පසුව සැවැත්නුවර සිට වස් එළැඹීම සඳහා බුදුරදුන් රජගහනුවරට වඩින විට මෙම වක්කලී හිමියන් උන්වහන්සේ පසුපස ම වැඩම කරමින් කලින් මෙන්ම බුදු සිරුර දෙස බලමින් කල් ගත කරන්න පටන් ගත්තේ ය.

බුදුරදුන් එක් අවස්ථාවක වක්කලි හිමියන් අමතා කිං තෙ වක්කලි ඉමිනා පූතිකායේන දිඨෙටථ යනුවෙන් වක්කලී ඔබට මගේ මේ කුණු ශරීරය බලා සිටීමෙන් ඇති ප්රයෝජනය කුමක් ද? යනුවෙන් පවසා ඔබට මා හරිහැටි දකින්නට ඕනෑනම්, මා දේශනා කළ ධර්මය හරි හැටි දකින්න යැයි ඉතා ගැඹුරු වූත්, අර්ථවත් වූත් අවවාදයක් දුන්හ. මෙයින් ද වක්කලි හිමියන්ගේ ඉරියව්වෙහි වෙනසක් නොවූ හෙයින් වහා මෙතනින් පිටව යන ලෙස නියම කළහ.

බුදුරදුන් දැකීමට නොලැබී යාමනිසා වේදනාවට පත් වක්කලි හිමියන් අනතුරුව ගිජ්ඣකූට පර්වතයට නඟින ලද්දේ එයින් පැන සිය දිවි තොර කර ගැනීමේ බලවත් අධිෂ්ඨානයෙනි. මේ බව දිවැසින් දුටු බුදුරදුන් බුද්ධ රශ්මි මාලාවක් විහිදුවා තමා එහි වැඩ සිටින ආකාරය දකින්නට සලස්වා වක්කලි මෙහි එන්න, යැයි ශ්රී හස්තය දිගු කළහ. එයින් වක්කලි හිමියන්ගේ සිත වහා වෙනසකට පත්ව බුදුරදුන් කෙරෙහි මහත් ප්රසාදයක් ඇති වීමත් සමඟ පෙර පින් ඇති වක්කලි හිමියන් රහත් භාවයට පත් වුහ. පෙර සිදු කරන ලද කුසල බලයෙන් සියලු කෙලෙස් නසා රහත් භාවයට පත් වූ වක්කලි හිමියන් බුදුරදුන් දුටු අවස්ථාවේ පටන් සිතෙහි වර්ධනය වී ආ සැදැහැවත් බව අන් කිසිම ශ්රාවකයෙකුට සමාන කළ නොහැකි ය.එම නිසා සැදැහැවත් භික්ෂූන් අතර ද අග තනතුරට පත් වූයේ වක්කලී මහරහතන් වහන්සේ ය. උන්වහන්සේට පමණක් නොව සාමාන්ය ලෞකික ජීවිතයක් ගත කරන කවර කෙනෙකු වුවත් බුදුරදුන් කෙරෙහි ප්රසාදය ඇතිව සරණ ගත වන්නේනම්, න තෙ ගමිස්සන්ති අපායං යනුවෙන් පෙළ දහමෙහි විවරණය වන ආකාරයට අපායෙන් මිදීමට එය හේතු වන බව සිතට ගත යුතු ය .


Tuesday, November 19, 2024

ජරා සූත්‍රය


 රකිංසු යාව ජරා සාධූ - කිංසු සාධු පතිට්ඨිතං

කිංසු නරානං රතනං - කිංසු චොරෙහි දූහරන්ති


සීලං යාව ජරා සාධූ - සද්ධා සාධූ පතිට්ඨිතා

පඤ්ඤා නරානං රතනං - පුඤ්ඤං චොරෙහිදූහරන්ති


සංයුක්ත නිකායට අයත් ජරා වර්ගයේ ජරා සූත්‍රයයි. මෙම සූත්‍රයට අනුව දෙවියෙකු විසින් අසන ලද ප්‍රශ්නාවලියකට පිළිතුරු වශයෙන් මේ දහම් කරුණු ඉදිරිපත් කොට ඇත. දිනක් බුදුරදුන් හමුවීමට පැමිණෙන දෙවියෙක් ප්‍රශ්න කීපයක් මෙහි පළමු ගාථාව අනුව අසයි. මෙහි දෙවන ගාථාවෙන් එම ප්‍රශ්නවලට පිළිතුරු සැපයූ අයුරු පෙන්වා දෙයි.

මිනිසා ජරාවට වයසට යෑම දක්වාම කළ යුත්තේ කුමක්ද? මෙයට පිළිතුරු ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ ‘සීලං යාව ජරා සාධු’ යනුවෙන්. මිනිසා වයසට යෑම දක්වාම සිල් රැකීම යහපත් බව පැහැදිලි කරයි. 

මෙහි දෙවන ප්‍රශ්නය වන්නේ මිනිසා කවරක පිහිටිය හොත් යහපත් වේද? යන්නයි. එයට පිළිතුරු දෙන බුදුරදුන් ‘සද්ධා සාධු පතිට්ඨිතා’ යනුවෙන් ශ්‍රද්ධාවෙහි පිහිටීම ඉතා යහපත් බව දේශනා කළහ. 

තුන්වන ප්‍රශ්නය වන්නේ මිනිසාගේ වටිනාම රත්නය යන්නේ කුමක්ද? යන්නයි. මේ සඳහා බුදුරදුන් දෙනු ලබන පිළිතුර වන්නේ ‘පඤ්ඤා නරානං රතනං’ යන්නයි. මිනිසාට ඇති වටිනාම වස්තුව වන්නේ ප්‍රඥාවයි.

අවසාන ප්‍රශ්නය දෙවියා විසින් අසන්නේ සොර සතුරන්ට ගත නොහැකි දේ කුමක්ද? යන්නයි. මේ සඳහා බුදුරදුන්ගේ පිළිතුර වන්නේ ‘පුඤ්ඤං චොරේහි දූහරං’ යන්නයි. මින් අදහස් කරන්නේ මිනිසා කරනු ලබන පින කිසිදා සොර සතුරෙකුට ගත නොහැකි බවයි. 

Monday, November 18, 2024

ශාක්‍ය - කොලියයන්ගේ දියදබරය




 දවස තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ අලුයම ලොව බලා වදාරණ සේක් යුදට සැරසී ගත් දෙපස නෑයන් දැක “මා මෙහි නො ගියහොත් මූ හැම දෙන යුදබිම නැසී යන්නාහ, එහෙයින් මා දැන් එහි යා යුතුය” යි සිතා එකලාව ම අහසින් වැඩ රොහිණී ගඟ මැඳ අහසෙහි පලක් බැඳ වැඩ හුන් සේක. යුද පිණිස ගඟබඩ දෙපස රැස් වූ නෑයෝ බුදුරජුන් දැක යුද අවි බිම දමා දොහොත් මුදුන් දී වැඳ සිටියහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ “මහරජුනි! මේ කලහය කුමක් නිසා?” යි විචාළවිට “නො දනිමු ස්වාමීනි!” යි ඔවුහු කීහ. “කවරෙක් දනී දැ?” යි විචාළවිට “සෙනෙවිරද්හු දනිති” යි කීහ. සෙනෙවිරදුන් විවාළ විට “යුවරජහු දනිති” යි කීහ. මෙලෙසින් දස් කම්කරුවන් තෙක් චිචාරා ඔවුන් දියදබරයෙකැ යි කීවිට “මහරජුනි! මෙය දියදබරයෙකැ යි කියත්, එසේ නම් දබරයට මුල් වූ දියත්ත වටිනා කමින් කොතෙක් වටී ද, දිය මිලට ගන්නේ ද නො වේ, වටිනාකම කිය හැක්කේ දිය මිලට ගණිතොත් පමණි, දිය සිඳී බොන්නට නාන්නට දිය නැති ව ගිය කල්හි වුව ද දියෙහි වටිනා කමෙක් නෑ නො වේ දැ” යි වදාළ විට “එසේ ය ස්වාමීනි! දියෙහි වටිනාකමෙක් නැත, දිය සිඳී ගිය කල්හි ද දියෙහි වටිනා කමෙක් නැතැ” යි ඔවුහු කීහ. “එසේ නම් අගයක් නැති දියත්තක් නිසා යුද වැද සිටුනා තොපගෙන් එකක්හුගේ වටිනාකම කොතරම් වේ දැ?” යි ඇසූ කල්හි “තිලෝගුරු හිමියනේ! අප එකක්හුගේ වටිනා කම නො කිය හැකිය, අගය මෙතෙකැ යි පමණ නො කිය හැකිය” යි කීහ. බුදුරජානන් වහන්සේ “එසේ නම් වැඩි වටිනාකමක් නැති වටිතත් තුට්ටුවක් තරමිනුත් නො වටිනා දියත්තක් නිසා පමණ නො කටහැකි අගය ඇති එක් රජදරු කෙනෙකුන් වුව ද මේ නිසා නැසී ගියහොත් එය තොපට තරම් දැ” යි අසා වදාළ සේක. එහිදී ඔවුහු සැම දෙන නිහඬ වූහ. බුදුරජානන් වහන්සේ ඔවුන් අමතා “මහරජුනි! කුමක් නිසා මෙබඳු නො සුදුසු ගැරහිය යුතු කරුණක් ඉදිරියට ගෙණ අවි ගැටුම් දිවිනැසුම් කරන්නහු ද, මම දැන් මෙහි නො ආයෙම් නම් අද මෙහි මේ ගඟ ලේගඟක් වනු එකාන්ත ය, තෙපි ඉදිරිපත් වූවහු අයුත්තක් අපරාධයක් කරන්නට ය, තෙපි උනුන් කෙරෙහි වෛරී ව වසන්නහු ය, මම වෛර නැත්තෙම් වෙමි, තෙපි කෙලෙස් ලෙඩින් පීඩිත ව වසන්නහු ය, මම කෙලෙස් ලෙඩින් නො ද පීඩිත වෙමි, තෙපි සසර දිග් ගසන පස්කම් බැඳුම් සෙවුමෙහි උත්සාහ ඇති ව වසන්නහු ය, මම එහි උත්සාහ රහිත ව වසමි” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සුසුඛං වත ජීවාම වෙරිනෙසු අවෙරිනො,

වෙරිනෙසු මනුස්සෙසු විහරාම අවෙරිනො.

.

සුසුඛං වත ජීවාම ආතුරෙසු අනාතුරා,

ආතුරෙසු මනුස්සෙසු, විහරාම අනාතුරා.

.

සුසුඛං වත ජීවාම උස්සුකෙසු අනුස්සුකා

උස්සුකෙසු මනුස්සෙසු විහරාම අනුස්සුකා.

වෛර ඇති මිනිසුන් අතුරෙහි අවෛරි වූ අපි, මිනිසුන් වෛර ඇතිව වසන කල්හි අවෛරී ව වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.

ආතුර වූවන් අතුරෙහි නො ද ආතුර වූ අපි, මිනිසුන් ආතුර ව වසන කල්හි අනාතුර ම වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.

උත්සාහ ඇත්තවුන් අතුරෙහි උත්සාහ රහිත වූ අපි, මිනිසුන් උත්සාහ ඇති ව වසන කල්හි උත්සාහ රහිත ව වසමු ද, (ඒ අපි) එකාන්තයෙන් ඉතා සුවසේ ජීවත් වන්නෙමු.

Sunday, November 17, 2024

සීවලී මහ රහතන් වහන්සේ


අසු මහා ශ්රාවක වහන්සේලා - 18
(දහඅටවන ලිපිය )

සීවලී මහ රහතන් වහන්සේ

කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී හංසවතී රාජධානියේ ක්ෂත්රීය රජකුව සීවලී මහා රහතන් වහන්සේ උපන්හ. දිනක් ධර්ම ශ්රවණය පිණිස වෙහෙරට ගිය විට සුදර්ශන නම් මහරහතන් වහන්සේට සිවුපසලාභීන්ගේ අග්රස්ථානය පිළිගැන්වීම දුටුවේ ය. මෙයින් අතිශය ප්රමුදිත වූ මේ රජු සතියක් පුරාවටම බුද්ධ ප්රමුඛ මහා සංඝරත්නයට දන් පිළිගැන්වූවේ ය. මේ කුසල කර්මය හේතුවෙන් අනාගත සම්බුදු සසුනක ප්රත්යලාභීන් අතුරෙන් අග තනතුරු ලැබ විමුක්තිය ලබා ගැනීමට ප්රාර්ථනා කළේ ය.

පදුමුත්තර බුදුසසුනේ කල්ප ලක්ෂයකින් මත්තේ බුදු බවට පත්වන ගෞතම බුදු සසුනේ සීවලී නමින් පැවිදි දක්ෂිණාලාභීන් අතුරින් අග තනතුරු ලබන බවට නියත විවරණ දුන්හ. අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සුගති සම්පත් විඳ විපස්සි බුදුරදුන්ගේ කාලයෙහි පිටිසර ගමක මෙතුමා ඉපදුණේ ය. තමාගේ ස්වාමියා වෙත කිරිත්, මී පැණිත් ගෙන යන අවස්ථාවේ රජතුමා ඇතුළු විශාල පිරිසක් බුදුරදුන් ප්රමුඛ මහා සංඝරත්නයට දානය සකස් කරනු දුටුවේ ය. අග තනතුරු ප්රාර්ථනාවෙන් කිරිත්, මී පැණිත් පූජා කිරීමට මෙතුමාට අවස්ථාව ලැබුණේ ය. ඉන්පසු නේක විධ පින් දහම් කොට අප ගෞතම බුදුරදුන් සමයේ කෝලිය වංශයෙහි සුප්පාවාසා නම් රජ දියණියගේ කුසෙහි පිළිසිඳ ගත්තේ ය. ඔහුගේ පිළිසිඳ ගැනීමෙන් පසු එම කුමරියට අසිරිමත් සිදුවීම් සිදුවන්නට වූවා ය. වැපිරීමට ඇති බීජ ඇය ස්පර්ශ කළ විට එක බීජයකින් බීජ සිය දහස් ගණනක් පැන නඟින්නේ ය. අටුවෙන් ධාන්ය ගත් විට අටුව නැවතත් ධාන්යවලින් පිරුණි. සුප්පාවාස බිසව ගැබ්ගත් දවසට පසුවදා නුවර සිව් දෙසින් ම තුටු පඬුරු ලැබිණි. කිසි කලෙක නො ලැබූ තරම් සම්පත් වලින් රජ මැදුර පිරී ගියේ ය. දරු ගැබ සෙමින් වැඩිණ. දස මසක් ගෙවුන ද දරුවා නො ලැබිණ. විසි මසක් ගෙවී ගිය ද දරුවා නොලැබිණ. තුන් වසරක් ගෙවිණ. සත් වසරක් ගෙවිණ, එහෙත් දරුවා නොලැබිණ. මව අති මහත් වූ වේදනාවකට පත්ව සිටියා ය. ගැබ තුළ දඟලන දරුවා ඇසට නො පෙනුන ද ඇගේ සිතට පෙනිණ. අවුරුදු හතක්, මාස හතක් ඉක්ම වූ කල්හි පින්වත් සීවලී කුමරු මෙලොව ජනිත විය.

සීවලී කුමරු සත් අවුරුදු, සත් මසක් දරු ගැබ තුළ සිරවී සිටියේ ඇයි, ඔහුගේ මව සත් දිනක් ඉතා බරපතල ලෙස විළිරුදාවෙන් පෙළුනේ ඇයි, මේ ප්රශ්නවලට පසු දිනක බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්හ.

සීවලී පෙර රජකම් කළ සමයක එක් කුඩා රාජ්යයක් අල්ලා ගැනීමට සටනක් කළේ ය. රාජ්ය යටත් කරගත නොහැකි විය. මේ නිසා ඒ රටට ආහාර එන මාර්ග වසා දැමී ය. සත් අවුරුදු සත් මසක් මාර්ග පාලනය කරමින් රැකවල් දැමුවේ ය.

එයින්ද ඵලක් නො වුණි. ආහාර සපයන උමඟක් ගැන රජුගේ මවට අසන්නට ලැබිණි. ඒ උමඟ වසා දමන්න යැයි සිය පුත් රජුට උපදෙස් දුන්නා ය. සත් දිනක් තිස්සේ ආහාර නො ලැබ ප්රකෝප වූ රට වැසියෝ සිය රජු මරා සතුරු රජුට යටත් වී ආහාර ලැබෙන මාර්ග විවෘත කරවා ගත්හ. මෙම අකුසල කර්මය නිසා දරුණු ලෙස සත් අවුරුදු සත් මසක් විළිරුදා විඳින්නට විය.

සීවලී කුමරු බිහිව සත්වැනිදා මහා ලිච්ඡවි රජ මැදුරේ දී බුදුරදුන් ප්රමුඛ මහ සඟ රුවනට දානයක් පිරිනැමිණ. දානය අවසන සුප්පාවාසා බිසව සිය පුතු සමඟ බුදු හිමියන් සහ භික්ෂූන් වහන්සේගේ පා වැඳීමේ යෙදුණා ය. මුලින්ම බුදු සිරිපා වැඳගත් සීවලී කුමරු පසුව සැරියුත් හිමියන් අසලට පැමිණියේ ය.

සීවලී කුමරු විහාරයට කැඳවා ගෙන ගිය සැරියුත් හිමියෝ මෙසේ කීහ.

“සත් වසරකටත් වැඩි කාලයක් මවු කුසේ සිරවී විඳි දුක් හොඳින් සිහිපත් කරන්න.” යි කියමින් උන්වහන්සේ කුමරුගේ පළමු කෙස් රොද කපා අතට දුන්නේ ය. එය දකින විටම සීවලී කුමරු සෝවාන් ඵලයට පත් වූයේ ය. දෙවන කෙස් රොද අතට ගැනීමත් සමඟ සකෘදාගාමී ඵලයට පත් විය. තෙවැනි කෙස් රොද අතට ගැනීමත් සමඟ අනාගාමී ඵලයට පත්විය.

සියලු කෙස් කපා අවසන් වීමට පෙර සියලු කෙලෙසුන්ගෙන් දුරුවෙමින් අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන සිව් පිළිසිඹියාපත් මහරහත් බවට පැමිණියේ ය. රහත් වූ දින පටන් සීවලී මහරහතන් වහන්සේට දානමානවලින් අඩුවක් නොවී ය. එපමණක් නොව ත්රිපිටකධාරී බවට ද පත්වූහ. තුන් සිවුරු අට පිරිකර දැරුවේ රහත් නමක් වීමට පසුව ය.

සීවලී මහරහතන් වහන්සේගේ පින් බලයෙන් දිනපතා දහස් ගණන් දානාදිය ලැබුණි. චීවර ප්රත්යය ද, ලැබුණි. ඒ සියල්ලම උන්වහන්සේ මහා සංඝයා වහන්සේට පූජා කළහ. දිනක් සීවලී රහතන් වහන්සේ මෙසේ සිතූ සේක. ‘මට මේ පූජා ලැබෙන්නේ නගරවලදී පමණක් ද? ඈත ප්රත්යන්ත ප්රදේශවලදීත් ලැබේ ද? මෙය පරීක්ෂාකර බැලිය යුතු යයි සිතා දිනක් බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන පන්සියයක් රහතුන් වහන්සේ සමඟ පළමු ව හිම වත කැලයකට වැඩ නුගගසක් යට සිටිසේක. එවිට දේවතාවෝ සත් දිනක් දිව්යහාර පූජා කළහ. දෙවන වර පාණ්ඩව පර්වතයට ද තෙවනුව අචිරවති ගංතෙර අසලට ද, සිව්වන වර සාගර තලයට ද, පස්වන වර හිමවන්තයට ද, හයවන වර ඡද්දන්තයයට ද, සත්වන වර ගන්ධමාදන පර්වතයටද වැඩියහ. මේ දින 49 තුළ දේවතාවෝ සීවලී මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේට දිව්යමය ආහාර පූජා කළහ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී සිවුවණක් පිරිස මැද දී සීවලී මහරහතන් වහන්සේට ප්රත්යලාභීන් අතර ප්රධාන තැන පැවරූ සේක.

Sunday, September 8, 2024

පහාරාද සූත්‍රය




බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර ක්‍රම උපයෝගී කර ගනිමින් බුදු සසුනෙහි පවත්නා සුවිශේෂ ලක්ෂණ බිඳක්, පහාරාදයනට හුරු පුරුදු මහා සාගරය හා සසඳමින්, හෙළි කළ සේක.

බුදුන් වහන්සේ - පහාරාදයෙනි ඔබ මහ සාගරය ඇසුරුකොට වසන්නේ වෙහිද?
පහාරාද - එසේය ස්වාමිනි, මම මහා සාගරය ඇසුරුකොට ගෙනම වසන්නේ වෙමි
බුදුන් වහන්සේ - ඇයි, පහාරාදයෙනි, ඔබ එසේ මහා සාගරය ඇසුරු කොටගෙනම වසන්නේ?
පහාරාද - ස්වාමීනි, මහා සාගරයෙහි ස්ථිතික ගති ලක්ෂණ අටක් මම දකිමි.

1. මේ සාගරයෙහි වෙරළේ සිට පතුල දක්වා ඉතා ක්‍රමානුකූ®ලව ඉදිරියට ඇති බස්මක්, ගැඹුරක් ඇත. එහි පතුල දක්නා රිසි යමෙක් වේ ද ඔහු සයුරෙහි වෙරළ, රැල්ල, ගල්පර, ගැඹුර , දියවැල් හා නපුරු සතුන් යනාදී අනේකවිධ බාධක මැඬගෙන සිහිනුවණින් යුතුව පතුල කරා ළඟා විය යුතුය. මහා සාගරයෙහි මනා පිහිටීමට බෙහෙවින් ඇළුම්කරන හෙයින් මම සයුර ඇසුරුකොට ගෙන ම වසනු රිසි වෙමි.

2. එතෙකුදු නොවේය. පෙරළි පෙරළී පෙණකැටි නංවමින් වෙරළ සිප ගැනීමේ අටියෙන් වේගයෙන් වෙරළ කරා ඇදෙන මේ රැල්ල ස්වභාවික බලපෑමකින් මිස වෙන කිසි අයුරකින් වෙරළ ඉක්මවන්නේ ද නැත. මහ සයුරට පමණක් ආවේණික වූ ඒ ලක්ෂණය ද මා මහා සයුර ඇසුරුකොට විසීමට හේතුවකි.

3. සතර දිගින් මහා සාගරය වෙත ගලා එන්නා වූ ජලකඳ සයුර සිපගන්නේ තනිවම නොවේ. කරපින්නාගෙන එන කැතකුණු, ජරාව, මළකුණ ආදී කොතෙකුත් අපද්‍රව්‍ය ද සමඟ ය. එහෙත් මේ මහා සාගරය තමනට අවශ්‍ය ජලය පමණක් රඳවා ගනිමින් අන්සියලු අපවිත්‍ර දෑ රැල්ල උපයෝගි කොට ගනිමින් ගොඩට ඇඳ දමා තම පවිත්‍රතාව රැක ගනියි. මා හට මේ සයුර ඇසුරේ දිවි ගෙවීමට එකරුණ ද ඉමහත් සේ බලපා ඇත. බුදුපියාණනි!

4. මේ දඹදිව් තලය පුරා ගලා බස්නා ගංගා, යමුනා, අචරවතී, ගාම්භීරව ගලාවිත් මහ සයුරට සම්ප්‍රාප්ත වෙති. එවිට ඒ ජලය ‘සාගර ජලය’ නමින් හඳුන්වනවා මිස ඔවුනොවුන්ගේ පූර්ව නාමයන්ගෙන් හඳුන්වනු නොලැබේ. තම ප්‍රෞඩත්වය එසේ රැක ගන්නා ඒ මහා සාගරය මගේ නිවහනයි, බුදු සමිදුනි!

5. එපමණක්ද නොවේ. වැසි, ඇළ, දොළ, ගංගා වැව් පොකුණු වලින් කොතෙක් ජලය ගලා ආවද සාගරය පිරී ඉතිරෙන්නේ ද නැත. ඒවායින් ගලා එන ජලය අඩු වුවද කිසි දා එය සිඳලන්නේ ද නැත. ඒ නම් ආශ්චර්යයක්ම ය.

6. බලන්න. බුදු හාමුදුරුවනේ! මේ අනන්ත සයුරේ කොතනකින් දිය බිඳක් ගත්තද එයලුණු රසම ය. සයුරෙහි ඒ අනන්‍යතාවට මම මහත් සේ ගරු කරන්නෙමි.

7. ඔබ වහන්සේ වසන මේ ගොඩබිමට වඩා මා වාසය කරන්නා වූ මේ මහා සාගරය වටිනා ධන සම්පත්තියෙන් ආඪ්‍ය ය. ධනය උපතට සයුර ආකාරයකි. එහි සක්, ශිලා , වෛරෝඩි, පුෂ්පරාග, රන්, රිදී, මුතු, මැණික්, පබළු ආදි නේක රත්නයෝ පැතිර ඇත්තාහ. 8. එතෙක් ද නොවේ. ස්වාමිනී, මේ ගොඩබිමෙහි ජීවත් වන විශාලතම සතා ඇතා වුව ද මේ මහ සයුර පතුලෙහි ඊටත් වඩා අති විශාල ආනන්ද, තිමිල, තිමිල පිංගලාදී සත්වයෝ සයුර පතුල නිවහන ;කාට වෙසෙති.

මේ හේතුන් නිසාද මම මහ සයුර ඇසුර කොටගෙන වසමි. එහෙත් මට ද ගැටලුවක් ඇත. අවසර බුදු සමිඳුනි! ඔබ සසුනෙහි භික්ෂූ, භික්ෂුණි , උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ඔබ වහන්සේ ඇසුරුකොට වාසය කරන්නේ ඇයිදැයි දැනගනු රිසිවෙමි.

බුදුන් වහන්සේ - පහාරාදයනි, ක්‍රමයෙන් ගැඹුරට යන එක්වරම ප්‍රපාතයක් දැකිය නොහැකි මහ සයුරේ පතුල සොයා යන අයකුට බාධක මැඩ ඉදිරියට යෑමට සිදුවන්නේ යම් සේ ද මාගේ ශාසනය නමැති මහා සාගරයේදී පතුල (නිවන) සොයා යන නුවණැති පුද්ගලයා අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන මුල, මැද, අග මනාව ගැලපෙන්නා වූ අනුපූර්ව ප්‍රතිපදා මාර්ගයක් ගත යුතුව ඇත.

ඔබේ මහ සයුර සිසාරා පෙරළි පෙරළි වෙරළට එන රැල්ල වෙරළ නොඉක්මන්නේ යම් සේ ද මාගේ ශාසනයද මහා සාගරයේ රැල්ල මෙන් කිසිදා කිසිවිටක විනාශය නමැති සීමාව ඉක්මවන්නේ් නැත.

එමෙන්ම පහාරාදයෙනි මහ සයුර එහි කිසි අපවිත්‍ර දෙයක් රඳවා නොගන්නා සේ ශාසනය නම් වූ මහ සයුරද පරම පවිත්‍රත්වයෙන් යුත්තය. ශීල, සමාධි, ප්‍රඥා ත්‍රී ශික්ෂාව වඩමින් නිවන සොයා යන සිල්වතුන්ගෙන් අනූන එහි දුශ්ශීලයනට ඉඩක් නැත. මාගේ ශාසනය බුද්ධිමතුනට පමණකි. මෝඩයිනට එහි අවකාශ නැත.

ඔබේ සයුරට විවිධ නමින් යුත් ගංගා ගෙනෙන ජලය සයුරුගත වූ පසු ‘මුහුදු ජලය’ ම වන්නා සේ, මාගේ ශාසනය නමැති මහ සයුරට එක්වන ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛදශ්‍ය ශුද්‍ර යනාදී කවර කුලයක අය වුවද සසුන්ගත වූ පසු ඔව්හු සියල්ලෝම බුද්ධ ශ්‍රාවකයෝ ම වෙති.

ඔබ ඇසුරුකොට පවත්වා මහ සයුර කොතරම් ජල කඳක් ලැබුණ ද උතුරා නොයන්නාක් මෙන් ද, ජලය හිඟ වුව ද සිඳී නොයන්නාක් මෙන් ද, මාගේ ශාසන සාගරය ද අතීත , වර්තමාන, අනාගත යන තුන්් කල්හිම කොතරම් රහතුන් වැඩ සිටියද උතුරා නොයන්නා සේ ම, රහතුන් විරල වුවද සිඳීමක් සිදු නොවන්නේ ම ය.

ඔබේ සයුරු ජලය කොතනකින් ගත්තද ලුණු රසම දැනෙන්නක් මෙන් - මාගේ ශාසන සාගරයේ කොතනකින් වුවද ගන්නා දහම් දිය බිඳෙන් පෙරී එන්නේ පිරිපුන් නිවන් රසයම ය.

එමෙන්ම පහාරාදයෙනි. ඔබේ ඇසුරැති මහ සයුර අගනා වස්තූන්ගෙන් සපිරි ධන ආකරයක් වන්නේ යම්සේ ද ආර්ය ශ්‍රාවකයන්ගෙන් පිරුණු මාගේ ශාසන සාගරයෙහි සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධන් වීර්ය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බෝධ්‍යාංග හා ආය්‍ය¡ අෂ්ටාංගික මාර්ගය යන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම නම් වූ මිණි රුවනින් යුක්තය.

මේවා වඩන මාගේ ආර්ය ශ්‍රාවකයෝ සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, අර්හත් යන සතර මගද එකී සතරඵල ද නිවන ද නම් වූ නව ලෝකෝත්තර දහම් සපුරා මාගේ ශාසන සාගරයෙහි පතුල නම් වූ ‘නිවන’ ට පැමිණෙන්නාහුය.

එහෙයින්, පහාරාදයෙනි, මාගේ ශාසනයේ භික්ෂු , භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස මවිසින් හෙළිකරන ලද නිවනේ දොරටු විවර කර දෙන ශ්‍රී සද්ධර්මය සරණ කොටගෙන, ඇසුරු කොටගෙන වෙසෙති යි දේශනා කොට වදාළ සේක.

Friday, December 29, 2023

දෙලොවට හානිදායක වාචසික අසංවරය

දෙලොවට හානිදායක වාචසික අසංවරය

නමෝ තස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

පූරිසස්සහි ජාතස්ස
කුඨාරි ජායතෙ මුඛෙ
යාය ජින්දති අත්තානං
බාලෝ දුබ්භාසිතං භණං
(සංයුත්ත නිකාය
කෝකාලික සූත්‍රය )


අද බුදුසරණ දම්දෙසුම මගින් වාචසික අසංවරයෙන් ලැබෙන නරක ප්‍රතිඵල පහදා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහත දක්වා ඇති දහම් ගාථාව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් “ කෝකාලික “ නම් භික්‍ෂූන් වහන්සේ මුල්කරගෙන දේශනා කරන ලද්දකි.

අනුවණ පුද්ගලයා තමා මුවෙහි ඇති කෙටේරියක් වැනි අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් තමා විසින්ම තම ජීවිතය විපතට පත්කර ගන්නා බව එම ගාථාවේ සරල අදහස වේ.

“ කෝකාලික “ යනු දේවදත්ත හිමියෝ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ අගසව් සැරියුත්- මුගලන් මහරහත් දෙනම පිළිබඳ වෛරයෙන් පසුවූහ.

දිනක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ “කෝකාලික “ හිමියන් සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේ දෙනමට නින්දා අපහාස කළහ. ඉතා පහත් ආශාවන්ට වසඟ වී ඉතා නරක ජීවිතයක් ගත කරන දෙනමක් ලෙස උන් වහන්සේලාට චෝදනා කළහ. රහතන් වහන්සේලාට එසේ නින්දා අපහාස නොකරන ලෙස තථාගතයන් වහන්සේ තුන්වරක්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.

එහෙත් එම හිමියෝ බුද්ධ අවවාදය නොපිළිගත්හ.

සැරියුත් - මුගලන් මහරහත් දෙනමට තව තවත් දොස් පවරා ජේතවනාරාමයෙන් පිටව ගිය කෝකාලික හිමියන්ගේ ශරීරය පුරා තුවාල මතු වී ඒවා පුපුරා ගොස් අපමණ වේදනාවට පත්ව එදින රැයේදීම අපවත් විය.

රෑ මැදියම බුදුරදුන් හමුවට පැමිණි “ සහම්පති” මහා බ්‍රහ්මයා “ කෝකාලික” හිමියන් මරණයට පත්ව පදුම නරකයේ උපන් බව දැන්වීය.

බුදුරජාණන් වහන්සේ පසු දින දම් සභාවේදී එම සිද්ධිය සිහි පත් කරමින් කෝකාලික සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ.

එම සූත්‍රයට අයත් ඉහත සඳහන් ගාථාවෙහි සර්වකාලීන අගයෙන් යුතු දහම් පණිවිඩයක් තිබේ. එය නම් වාචසික අසංවරයෙන් මුහුණ දීමට සිදුවන කටුක ප්‍රතිවිපාකයයි.


ආර්ය අෂ්ටාංගික මාර්ගය

 


දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය නමින් හැඳින්වෙන පරිදි දුක නැති කිරීම වෙත ගෙනයන ප්‍රතිපදාව “මාර්ග සත්‍යය” නම් වෙයි. එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීම මෙම අංග අටෙන් අදහස් වෙයි.

1. සම්මා දිට්ඨි
2. සම්මා සංකප්ප (ප්‍රඥා)
3. සම්මා වාචා
4.සම්මා කම්මන්ත
5.සම්මා ආජීව(සීල)
6. සම්මා වායාම
7. සම්මා සති
8. සම්මා සමාධි(සමාධි)

පන්සාලිස් වසක් පුරාම බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය මෙම මාර්ගය අරමුණු කොට පවතියි. නගර සූත්‍රයේදී (ස.නි) බුදුරදුන් දේශනා කර ඇත්තේ අංග අටකින් යුත් මෙම මාර්ගය පෙර විසූ බුදුවරුන් විසින් ද අනුගමනය කරන ලද මාර්ගයක් බවත්, තමන් වහන්සේ ද නැවතත් එම මාර්ගය සොයා ගෙන එය ලෝකයාට අවබෝධ කරවා දෙන බවත් ය.

එය වඩාත් සරලව මෙසේ පැහැදිලි කර ඇත. “මහණෙනි, මහ වනයෙහි හැසිරෙන මිනිසෙක් පෙර විසූ මිනිසුන් ගමන්ගත් පැරැණි මාර්ගයක් දකියි. ඒ අනුව ඉදිරියට යන ඔහුට මල්වතු, වන උයන්, පොකුණු හා පවුරු සහිත රමණීය පුරාණ නගරයක් හමුවෙයි. එසේ දුටු ඔහු තම රජුට හෝ මහ ඇමතියාට තමන් දුටු මාර්ගයත්, පැරැණි නුවර හා ජනපදය ගැනත්, විස්තර කර දෙයි. ඒ බස් අසා රජු හෝ මහඇමති එය නගරයක් බවට පත් කරයි. ඒ නගරය පසුව සියලු සැප සම්පත්වලින් පිරුණු බොහෝ දෙනාට ඉතා ප්‍රයෝජනවත් වූ ජනාකීර්ණ දියුණු තත්ත්වයකට පත්වෙයි. ඒ ආකාරයට මම ද පැරැණි බුදුවරයන් විසින් අනුගමනය කරන ලද පුරාණ මාර්ගයක් දුටුවෙමි. එය අනුගමනය කොට මම ද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළෙමි.

බුදු සසුනෙහි හැර වෙනත් කිසි සසුනක මෙබඳු මගක් නොමැති බව මෙහිදී වෙසෙසින් සඳහන් කළ යුතු ය. බුදුරදුන් වෙත පැමිණි ඒ ඒ පුද්ගලයන් ගේ දියුණුවේ ප්‍රමාණයත්, ධර්මය තේරුම් ගෙන එය පිළිපැදීමට ඔවුන් තුළ පැවැති හැකියාවන් අනුව නොයෙක් ආකාරයෙන් ද නොයෙක් වචනවලින් ද, උන්වහන්සේ මෙම මාර්ගය විස්තර කර දුන්හ.

ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවක් වන්නේ අන්ත බැහැර කර ඇති බැවිනි. විමුක්තිය ලැබීමට නම් ශරීරයට උපරිම ලෙස සැප දිය යුතුය යන අදහස ගත් කාමසුඛල්ලිකානුයෝගයත්, විමුක්තිය ලැබීමට නම් ශරීරයට දැඩි ලෙස දුක් දිය යුතුය යන අදහස ගත් අත්තකිලමථානුයෝගයත් යන අන්ත දෙකට අයත් නොවන හෙයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව නම් වෙයි.

1. සම්මා දිට්ඨි

සම්මා දිට්ඨිය නම් ‘නිවැරැදි දැකීමයි’ යම් කිසිවක් ඇති පරිද්දෙන් දැකීම මින් අදහස් වෙයි. එසේ දැකගත හැකි වන්නේ චතුරාර්ය සත්‍යය මගිනි. මෙම දැකීම සිවු ආකාරයකට පෙන්වා දී ඇත. එනම්,

1. දුක දන්නා නුවණ
2. දුක හට ගැනීම
දන්නා නුවණ
3. දුක නැති කිරීම
දන්නා නුවණ
4. දුක නැති කිරීමේ
මග දන්නා නුවණ යනුවෙනි.

2.සම්මා සංකප්ප

චත්තාරීසක සූත්‍රයට අනුව ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පළමු අංග එයට පසුව එන අංගවලට හේතුවන බව පැහැදිලි කර ඇත. ඒ අනුව සම්මා දිට්ඨිය ඇති තැනැත්තා ගේ කල්පනා නිවැරැදි වෙයි. එය ‘සම්මා සංකප්ප’ නම් වේ. එය තෙවැදෑරුම් ය.

1. නෙක්ඛම්ම සංකප්ප (කාම සංකල්පනවලින් වෙන්වීම)
2. අව්‍යා පාද සංකප්ප (කෝප සහගත සංකල්පවලින් වෙන්වීම)
3. අවිහිංසා සංකප්ප(හිංසාකාරී කල්පනාවලින් වෙන්වීම) මේ තුළින් මනස නිවන් මගට නතු කරවීමක් සිදු වෙයි.

3. සම්මා වාචා

සම්මා සංකප්ප නිසා සම්මා වාචා ඇති වෙයි. යහපත් කල්පනා ඇතිවිට කතා කරන වචන ද යහපත් වන බැවිනි. මෙහි සම්මා වාචා නම්,

1. මුසාවාදය (බොරු කීම)
2. පිසුණාවාචා (පුද්ගලයන් අතර හෝ පිරිස් අතර හෝ වෛරය, අසමඟිය ඇතිවීමට හේතුවන කේලාම් කීම)
3. ඵරුසා වාචා (සිත් රිදවන නපුරු රළු වචන කීම)
4. සම්ඵප්පලාප (වැඩකට නැති හිස් වචන කතා කිරීම) යන අහිතකර වචනවලින් වැළකී සිටීමයි.

4. සම්මා කම්මන්ත.

සම්මා කම්මන්ත යනු “කාය සුචරිතයයි”. එනම් තමන්ටත්, අනුන්ටත්, යහපත සැලසෙන නිවැරැදි ක්‍රියාවන් හි යෙදීම යි. ත්‍රිවිධ කාය දුශ්චරිතයන් ගෙන් වැළකීම මින් අදහස් කෙරේ. එනම්,

1. ප්‍රාණඝාත (දිවි තොර කිරීම)
2. අදත්තාදාන (සොරකම් ඇතුළු වංක වැඩවල යෙදීම)
3. කාමමිථ්‍යාචාර (කාමයෙහි නොනිසි ලෙස හැසිරීම)

සම්මා වාචා හා සම්මා කම්මන්ත යන මාර්ගාංග දෙකම “විරති” හෙවත් “වැළකීම්” වශයෙන් උගන්වා ඇත.

5. සම්මා ආජීව

සම්මා ආජීව යනු “යහපත් දිවි පැවැත්ම” යි. වැරැදි ජීවිකාව අතහැර නිවැරැදි අන්දමින් දැහැමින් සෙමෙන් ජීවත් වේ නම් එය සම්මා ආජීවයයි.

මෙමගින් මාරක අවි ආයුධ වෙළඳාම, මත් ද්‍රව්‍ය වෙළඳාම, විෂ වෙළඳාම, මස් පිණිස සතුන් විකිණීම, මස් වෙළඳාම කූට ව්‍යාපාර යනාදී වශයෙන් අනුන්ගේ විපතට හේතුවන රැකියාවල නොයෙදී දැහැමි, නොකිලිටි, රැකියාවක යෙදිය යුතු බව ඉගැන්වේ. කෘෂි කර්මාන්තය, වෙළඳාම, රාජ්‍ය සේවය ආදිය බුදුදහම අනුමත කළ දැහැමි රැකියාවන් ය.

6. සම්මා වායාම

සම්මා වායාම යනු නිවැරැදි උත්සාහයයි. සතර සම්‍යක් ප්‍රධන් වීර්යය මෙයින් අදහස් කෙරේ. එනම්,

1. නූපන් අකුසල් නොඉපදීමට කරන උත්සාහය.
2. උපන් අකුසල් නැති කරනු පිණිස ගන්නා උත්සාහය.
3. නූපන් කුසල් ඉපදීම සඳහා කරන උත්සාහය.
4. උපන් කුසල් වැඩිදියුණු කරනු පිණිස ගන්නා උත්සාහය යන සතරයි.

7. සම්මා සති

සිහිය මනාකොට පිහිටුවා ගැනීම නම් වූ සතර සතිපට්ඨානය “සම්මා සති” යන්නෙන් අදහස් කෙරේ. එනම්

1. කායානුපස්සනා - කය හා වචනයේ පැවැත්ම පිළිබදව සිහිය පිහිටුවා ගැනීම.
2.වේදනානුපස්සනා - සුඛ, දුක්ඛ, උපේක්‍ඛා යන වේදනාවන් අනුව සිහිය පිහිටුවා ගැනීම.
3. චිත්තානුපස්සනා - සිතේ හැසිරීම අනුව සිහිය පිහිටුවා ගැනීම.
4.ධම්මානුපස්සනා - සත්තිස් බෝධි පාක්ෂිත ධර්ම අනුව සිත පිහිටුවා ගැනීමයි.
 

8. සම්මා සමාධි

රූප ධ්‍යාන සතර වඩා එමඟින් පංච නීවරණ හෙවත් නිවන් මග අවහිර කරන ධර්ම තාවකාලිකව යටපත් කොට සිත සමාධිගත කරගැනීම (එකඟ කිරීම) සම්මා සමාධි නම් වේ.

රූප ධ්‍යාන සතර -

1. විතක්ක, විචාර, පීති, සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධ්‍යාන සිත
2. පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතීය ධ්‍යාන සිත
3. සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධ්‍යාන සිත
4. උපේක්‍ඛා ඒකග්ගතා සහිත චතුර්ථ

ධ්‍යාන සිත

කෙලෙස් දැවීමත්, සිත වැඩීමත් ධ්‍යාන යන්නෙන් අදහස් කෙරේ. ඒ අනුව ප්‍රථම ධ්‍යානය කොටස් 05 කින් යුක්ත ය. භාවනා, අරමුණක් කෙරෙහි සිත නැඹුරු කරවීම “විතක්කය” යි. එම අරමුණෙහි සිත හැසිරවීම “විචාර” යන්නෙහි අදහසයි. පංච නීවරණ යටපත් වන නිසා සිත ඉන් පිනායාම “පීති” යයි එම පී‍්‍රතිය කරණ කොට ගෙන ඇතිවන නිරාමිස සුවය “සුඛය” යි තාවකාලිකව කෙලෙස් යටපත්වීමෙන් සිතෙහි ඇතිවන එකඟතාව “ඒකග්ගතාව“ යි.ද්විතීය ධ්‍යානයේ දී විතක්ක, විචාර දෙක යටපත් වේ. තෘතීය ධ්‍යානයේ දී පීතිය යටපත් වන අතර චතුර්ථ ධ්‍යානයේ දී සුඛ, දුක්ඛ, වේදනා යටපත් කර සොම්නස හා දොම්නස යන දෙකම නැතිව උපේක්‍ෂාවෙන් වෙසෙයි. මෙහි පංච නීවරණ යනු නිවන් මග අවහිර කරන ධර්ම පහක් බව කියැවිණි. එම පංච නීවරණ නම්,

1. කාමච්ඡන්ද (කාමරාගය)
2. ව්‍යාපාද (ක්‍රෝධය)
3. ථීන මිද්ධ (සිතේ හා කයේ මැලිබව)
4. උද්දච්ච කුක්කුච්ච (නොසන්සුන් බව )
5. විචිකිච්ඡාව (සැකය) යන නිවරණයි

නිවන් මග අවහිර කරන මෙම ධර්මයන් රූප ධ්‍යාන මගින් මැඩ පවත්වයි. මෙසේ අනුක්‍රමයෙන් සමාධියට පත්වීමේ දී නිවන මග අවබෝධ කර ගැනීමට යෝග්‍ය මානසික පසුබිම සකස් වෙයි.