දෙලොවට හානිදායක වාචසික අසංවරය
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පූරිසස්සහි ජාතස්ස
කුඨාරි ජායතෙ මුඛෙ
යාය ජින්දති අත්තානං
බාලෝ දුබ්භාසිතං භණං
(සංයුත්ත නිකාය
කෝකාලික සූත්‍රය )
අද බුදුසරණ දම්දෙසුම මගින් වාචසික අසංවරයෙන් ලැබෙන නරක ප්‍රතිඵල පහදා දීමට අදහස් කරමි. ඒ සඳහා ඉහත දක්වා ඇති දහම් ගාථාව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් “ කෝකාලික “ නම් භික්‍ෂූන් වහන්සේ මුල්කරගෙන දේශනා කරන ලද්දකි.
අනුවණ පුද්ගලයා තමා මුවෙහි ඇති කෙටේරියක් වැනි අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් තමා විසින්ම තම ජීවිතය විපතට පත්කර ගන්නා බව එම ගාථාවේ සරල අදහස වේ.
“ කෝකාලික “ යනු දේවදත්ත හිමියෝ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ අගසව් සැරියුත්- මුගලන් මහරහත් දෙනම පිළිබඳ වෛරයෙන් පසුවූහ.
දිනක් බුදු රජාණන් වහන්සේ හමුවට පැමිණ “කෝකාලික “ හිමියන් සැරියුත් - මුගලන් මහරහතන් වහන්සේ දෙනමට නින්දා අපහාස කළහ. ඉතා පහත් ආශාවන්ට වසඟ වී ඉතා නරක ජීවිතයක් ගත කරන දෙනමක් ලෙස උන් වහන්සේලාට චෝදනා කළහ. රහතන් වහන්සේලාට එසේ නින්දා අපහාස නොකරන ලෙස තථාගතයන් වහන්සේ තුන්වරක්ම උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ.
එහෙත් එම හිමියෝ බුද්ධ අවවාදය නොපිළිගත්හ.
සැරියුත් - මුගලන් මහරහත් දෙනමට තව තවත් දොස් පවරා ජේතවනාරාමයෙන් පිටව ගිය කෝකාලික හිමියන්ගේ ශරීරය පුරා තුවාල මතු වී ඒවා පුපුරා ගොස් අපමණ වේදනාවට පත්ව එදින රැයේදීම අපවත් විය.
රෑ මැදියම බුදුරදුන් හමුවට පැමිණි “ සහම්පති” මහා බ්‍රහ්මයා “ කෝකාලික” හිමියන් මරණයට පත්ව පදුම නරකයේ උපන් බව දැන්වීය.
බුදුරජාණන් වහන්සේ පසු දින දම් සභාවේදී එම සිද්ධිය සිහි පත් කරමින් කෝකාලික සූත්‍රයෙන් ධර්ම දේශනා කළහ.
එම සූත්‍රයට අයත් ඉහත සඳහන් ගාථාවෙහි සර්වකාලීන අගයෙන් යුතු දහම් පණිවිඩයක් තිබේ. එය නම් වාචසික අසංවරයෙන් මුහුණ දීමට සිදුවන කටුක ප්‍රතිවිපාකයයි.
No comments:
Post a Comment