Wednesday, November 29, 2023

ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ

අසු මහා ශ්රාවක වහන්සේලා - 7
(හත්වන ලිපිය )

මිහිරි කටහෙඬන් අග්ර වූ ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ

විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ ඛේම නම් මිගදායී වනයෙහි මොහු කෝකිලයෙක් ලෙස උපත ලැබුවේ ‘චිත්රපත්ර’ නාමයෙනි. තම දරුවන් උදෙසා මිහිරි ඵලයක් තුඩින් රැගෙන පියාසර කරන මෙම පක්ෂියා පැහැදී ගියේ මහ මඟ වඩින විපස්සී බුදුන් වහන්සේගේ දසුනෙනි. ඒ මොහොතේ ම කෝකිලයා ගුවනින් බැස පොළෝ තළය වෙත පියාසර කළේතමා සතු එකම වස්තුව වූ මිහිරි අඹ ඵලය පූජා කිරීමට ය.

කෝකිලයෙකු නඟන මියුරු නාදය සේ මධුර මනෝහර කට හඬකින් යුතු ලකුණ්ඨක භද්දිය මහ රහතන් වහන්සේ ඒ උදෙසා සසරේ කළ පින් දහම් අපමණ ය. එයට හේතු වූයේ මෙයට අවුරුදු කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුන් වහන්සේගෙන් එක්තරා කුල පුත්රයෙක් ලෙස මොහු සදහම් අසද්දී දුටු පින්බර දසුන යි.

ඒ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මධුර මනෝහර හඬකින් යුතු භික්ෂූන් වහන්සේ අතරින් අග්රස්ථානය ලැබීම යි. ඒ දසුනෙන් පැහැදුන කුල පුත්රයා තමා ද අනාගතයේ මෙවන් පදවියක් ලබමි’යි සිතා කළ පින් දහම් බහුල ය. බුද්ධ ප්රමුඛ මහා සඟ රුවනට සත් දිනක් මුළුල්ලේ ම මහා දන් පුදා තම පැතුම පදුමුත්තර බුදුන් වහන්සේට දන්වා සිටියේ ගෞරව බහුමානයෙන් වැඳ නමස්කාර කරමිනි.

පදුමුත්තර බුදුන් වහන්සේගෙන් නියත විවරණ ලැබූ මෙම කුල පුත්රයාගේ පැතුම මෙයින් කල්ප ලක්ෂයකට පසුව බුද්ධත්වයට පත්වන ගෞතම බුද්ධ ශාසනයේ දී ඉෂ්ඨ සිද්ධ වන බව දැන ඒ උදෙසා ඔහු කළ පින් දහම් විශිෂ්ට ය.

විපස්සී බුදුන් වහන්සේගේ කාලයේ ඛේම නම් මිගදායී වනයෙහි මොහු කෝකිලයෙක් ලෙස උපත ලැබුවේ ‘චිත්රපත්ර’ නාමයෙනි. තම දරුවන් උදෙසා මිහිරි ඵලයක් තුඩින් රැගෙන පියාසර කරන මෙම පක්ෂියා පැහැදී ගියේ මහ මඟ වඩින විපස්සී බුදුන් වහන්සේගේ දසුනෙනි. ඒ මොහොතේ ම කෝකිලයා ගුවනින් බැස පොළෝ තළය වෙත පියාසර කළේතමා සතු එකම වස්තුව වූ මිහිරි අඹ ඵලය පූජා කිරීමට ය.

මේ අදහස දත් විපස්සී බුදුන් වහන්සේ බුද්ධ පාත්රය දෝතට ගත්තේ මහා කරුණාවෙනි. කෝකිලයා තුඩින් රැගත් මිහිරි අඹ ඵලය,පාත්රයට පූජා කළේ සතුටු සිතිනි. විපස්සී බුදුන් වහන්සේ මිහිරි අඹ ඵල වැළඳූ දසුනින් සතියක් පුරාම සතුටු සිතින් කල් ගත කළ ‘චිත්ර පත්ර’ කෝකිලයා උපත ලැබුවේ දෙව් ලොව ය.

පින්කම කිරීමට පෙර පැවැති සිතත්, පින්කම කිරීමේ දී මතු වූ සිතත්, පින්කමට පසුව ඇති වූ පින්බර සිතත් නිසා කෝකිලයා උපත ලැබුවේ සුගතිගාමී භවයක ය. මෙලෙස චිත්ර පත්ර සත්ව ආත්ම භාවයක් ලැබූව ද කළ පින්කම විචිත්ර ය.

නැවතත් කාශ්යප බුදුන් වහන්සේගේ කාලයේ මොහු මනු ලොවඋපත ලැබුවේ වඩු කාර්මිකයෙක් ලෙස ය. කාශ්යප බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසුව ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට චෛත්යයක් ඉදිකිරීමට බොහෝ පිරිස කළ යෝජනා අපමණ ය. ඇතැම්හු එය සත් යොදුන් සෑයක් සේ ඉදිකිරීමට සැරසුණ හ. ඇතැමුන් එය සය යොදුන්, පස් යොදුන්, සතර යොදුන් සෑයක් ලෙස ප්රාමාණික කිරීමට සිතූහ. එකල සිටි ප්රධාන වඩුවා පැවසුවේ මෙවන් සුවිසල් සෑයක් සුණු පිරියම් කිරීම අපහසු බැවින් එය එක් යොදුන් ව ප්රාමාණික කළ යුතු බව යි.

මෙලෙස ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට යෝජිත සෑය ප්රාමාණික කළේ අප්රමාණික ගුණ කදම්භයකින් සපිරි කාශ්යප බුදුන් වහන්සේට යි. මේ පාපයෙන් ඔහු සෑම ආත්ම භාවයක දී ම උපත ලැබුවේ මිටි සිරුරකිනි.

මෙලෙස තෘෂ්ණාව නමැති වඩුවාට පැරදී සෑය ප්රාමාණික ව ඉදිකළ වඩුවා සසර මඟ පියමං කළේ මිටි සිරුරකින් යුතුව ය. කර්මය තමා පසු පස ම හඹා යන්නේ සෙවණැල්ල සේ ය. තෘෂ්ණාව ඊතලයක් බවත්, එහි අවිද්යාව නමැති විෂ තිබෙන බවත් මජ්ක්ධිම නිකායේ සුනක්ඛත්ත සූත්රයේ ද සඳහන් ය. මේ අනුව පින් දහම් කළ යුත්තේ නිසි අවබෝධයෙන් බව මනාව පසක් වෙයි.

ගෞතම බුදුන් වහන්සේගේ කාලයේ දී මොහු සැවැත් නුවර ධනවත් කුලයක‘භද්දිය’ නමින් උපත ලබා බණ දහම් අසා පැවිදි වී නොබෝ දිනකින් විදර්ශනා වඩා රහත් ව ලැබූ පදවිය ද අසිරිමත් ය. ඒ මධුර මනෝහර හඬකින් යුතු භික්ෂූන් වහන්සේලා අතුරෙන් අග්රස්ථානය ලැබීම යි. එහෙත් උන්වහන්සේ රහත් වුව ද සසරේ කළ පාපය අවසන් ආත්ම භාවය දක්වා ම ගලා ගියේ මිටි ව පිහිටි සිරුරකින් යුතු ව ය.ඒ හැඩ රුව නිසාම උන්වහන්සේ හැඳීන්වූවේ ‘ලකුණ්ටක භද්දිය’ නාමයෙනි. උන්වහන්සේ රහතන් වහන්සේ නමක් වුව ද ඒ බව නොදත් ඇතැම් භික්ෂූන් වහන්සේ , උන්වහන්සේගේ සිරුර පිහිටි ස්වරූපයට අගෞරව කරමින් සිදු කළ තාඩන පීඩන අපමණ ය. එහෙත් ලකුණ්ටක භද්දිය මහා රහතන් වහන්සේ අන් අයගේ ප්රසාදයට පත් වූයේ හමු වූ තාඩන පීඩන හමුවේ වුව ද නොසැලී සිටීමේ ගුණය නිස යි.එයට හේතුව විමසූ භික්ෂූන් වහන්සේලා විමතියට පත් ව ගියේ බුදුන් වහන්සේ නැඟූ පිළිතුරට ය. ඒ ‘ලකුණ්ටක භද්දිය’සිරුරෙන් මිටි වුව ද සව් කෙලෙසුන් නැසූ මහාරහතන් වහන්සේ නමක් බව යි.

මේ අනුව සුළු දෙයටත් තරහා ගන්නා, කරුණු නොසොයා ක්රියා කරන පුද්ගලයන් හමුවේ ලකුණ්ටක භද්දිය හිමියන්ගේ චරිතයෙන් පෙන්වා දෙන්නේ කදිම ආදර්ශයකි.

ලකුණ්ටක භද්දිය හිමියන් උදෙසා බුදුන් වහන්සේ වදාළ දේශනය ධම්මපද අට්ඨ කතාවෙහි මෙසේ සඳහන් ය. හමා එන සුවිසල් සුළඟකින් මහා ගල් පර්වතයක් නොසෙල්වෙන්නා සේ විමුක්තිය අවබෝධ කරගත් රහතන් වහන්සේලා ලාභ - අලාභ, යස - අයස , නින්දා – ප්රශංසා, දුක - සැප ආදී අටලෝ දහමින් කම්පා නොවන බව යි.

තෙරුවන් සරණයි ..!

(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්රමාණ පිං රැස්කර ගන්න )

දාන පාරමිතා

Sunday, November 26, 2023

රන් සෑයෙක්

රන් සෑයෙක්

පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ව සාවකෙ

පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ.

(ආමිස ප්‍රතිපත්ති දෙකින්) පිදීමට සුදුසු වූ, (තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන්) ප්‍රපංචයන් මොනොවට ඉක්මියා වූ, ඉක්ම ගිය ශෝක පරිද්‍රව ඇති (හෙවත් ශෝකපරිද්‍රව දුඃඛයෙන් එතෙර ට ගියා වූ) බුදු පසේබුදුන් ද නොහොත් බුදුසව්වන් ද වන්‍දනමානනාදියෙන් සිවු පසයෙනුත් යමෙක් පුදා ද,

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතොභයෙ

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමපි කෙනචි.

රාගාදි කෙලෙස්ගිනි නිවීමෙන් නිවුනු සිත් ඇති, කිසි බියෙකින් වත් අරමුණෙකින් වත් උවදුරක් නැත්තා වූ, එ බඳු (හෙවත් මෙකී ගුණෙන් යුත්) ඒ බුදු පසේබුදු සව්වන් (දිවමන් කල්හි ද පිරිනිවි කල්හි ද) පුදන්නහුගේ පින්කම් මේ මෙතෙකැ යි ගණින්නට කිසි පුද්ගලයකු විසිනුදු නො පිළිවනි.

සම්මා සම්බුදුරජානන් වහන්සේ දවසෙක සැවැතින් නික්ම බරණැස බලා මහාභික්‍ෂුසඞ්ඝයා පිරිවර කොට ඇති ව වඩිනා සේක්, අතරමග තොදෙය්‍ය ගම සමීපයෙහි වූ එක්තරා දෙවොලකට ගොඩවැද අනඳ තෙරුන් යවා ඒ අසල ගොවිකම් කරමින් හුන් බමුණකු කැඳවා ලූ සේක. එ බමුණු පැමිණ බුදුරජුන් නො වැඳ එහි දෙවොල වැඳ සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ ද “බමුණ! මේ පෙදෙස කිමැ යි හඟනෙහි දැ?” යි අසා වදාළ සේක. ඔහු “මෙ තැන අපගේ පරපුරෙන් ආ සෑ තැනෙකි, භවත් ගෞතමයන් වහන්ස! ඒ නිසා වඳිමි” යි පිළිතුරු දින. බුදුරජානන් වහන්සේ “තා විසින් කළ සෑ වැඳීම ඉතා අගනේ ය, මෙ තැන වඳින තා විසින් කරන ලද්දේ ඉතා යහපත් ක්‍රියාවකැ”යි බමුණා සතුටු කළ සේක. ඒ වේලෙහි එහි හුන් භික්‍ෂූන් වහන්සේ බුදුරජානන් වහන්සේ බමුණාට කළ ස්තුතිය අසා “කුමක් නිසා භාග්‍යවතුන් වහන්සේ මොහුට මෙබඳු උසස් පැසසීමක් කළ සේක් දැ” යි සැකයක් ඉපද වූහ. ඉක්බිති බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් ගේ සැකය දුරු කරණු පිණිස මැදුම්සඟියෙහි ආ ඝටීකාර සූත්‍රය වදාළ සේක. නැවැත ස්වකීය ඍද්ධ්‍යනුභාවයෙන් කසුප් බුදුරජුන්ගේ යොත්නක් උස් වූ රන්සෑය අනෙක් රන්සෑයක් කොට අහසැ මවා මහාජනයාට දැක්වූ සේක. “බමුණ! මෙසේ කිරීම, පිදිය යුත්තන්ට පිදීම ඉතා සුදුසු ය” යි වදාරා මහාපරිනිර්‍වාණ සූත්‍රයෙහි වදාළ ලෙසින් ම බුද්ධාදී වූ චතුර්විධස්තුපාර්‍හයන් මේ මේ ය යි පැහැදිලි කොට දුන්හ. නැවත එහිදී ශාරීරික - උද්දෙසික - පාරිභෝගික යන ත්‍රිවිධ චෛත්‍යයන් වෙසෙසින් දක්වා මේ ධර්‍මදේශනාව ද කළ සේක.

පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ච සාවකෙ,

පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ,

.

තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතෝ භයෙ,

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමිති කෙනචීති.

පූජාවට සුදුසු වූ ප්‍රපඤ්චයන් ඉක්මවා ගිය ඉක්මවාලු ශෝක පරිදේවයන් ඇති බුදුවරුන් ද නොහොත් බුදු සව්වන් ද (යමෙක්) පුදා ද, නිවුනු සිත් ඇති කොතැනිනුත් බියරහිත වූ එබඳු පුද්ගලයන් පුදන්නහුගේ පිණ මේ මෙතෙකැ යි ගණින්නට කිසිවකුටත් නො හැකි ය.

පූජාරහෙ = පිදීමට සුදුසු වූ. පිදිය යුතු වූ.

ආමිෂපූජා-ප්‍රතිපත්තිපූජා යි ඉතා කොටින් පූජා දෙකෙකි. විස්තර මතු එන්නේ ය. ඒ දෙ පරිදි වූ ම පූජාවන්ට සුදුසු වූවෝ කවරහු ද, යනු ගාථායෙහි එන අනෙක් පදයන්ගෙන් මතු වන්නේ ය.

පූජයතො = පුදා ද.

 ශබ්ද ප්‍රථමා විභක්ති එකවචනය වූ ‘යො’ යනු අපේක්‍ෂා කොට සිටියේ ය.

බුද්ධෙ = බුදුවරුන්ද. [1]

සාවකෙ = බුදුසව්වන් ද. [2]

පපඤ්චසමතික්කන්තෙ = ප්‍රපඤ්චයන් ඉක්මවා ගිය.

පපඤ්ච නම්, තෘෂ්ණාදෘෂ්ටිමානයෝ ය. තෘෂ්ණාදෘෂ්ටිමානයෝ සත්ත්‍වයන් සසර බොහෝ කල් තබත්නු යි පපඤ්ච නම් වෙත්. “පපඤ්චෙන්ති සත්තෙ සංසාරෙ චිරං ඨපෙන්තීති = පපඤ්චා” යනු විවෘති යි. සත්ත්‍වයන් සසර මත් වූවන් සේ පමාවූවන් සේ තබත්නු යි ද පපඤ්ච. මේ ඒ කියූ සැටි:- “පපඤ්චෙන්ති සත්තෙ මත්තපමත්තාකාරෙනාති = පපඤ්චා” යි. තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ විස්තර යට කියන ලදි. ප්‍රපඤ්චසඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි මානයන් ඉක්මවා ගියෝ ආර්‍ය්‍යයන් වහන්සේ ය. උන්වහන්සේ ස්‍රෝතාපත්ත්‍යාදී ආර්‍ය්‍යමාර්‍ගඥානයෙන් ඔවුන් ඉක්මවා ගියහ. එහෙයින් ආර්‍ය්‍යයෝ පපඤ්චසමතික්කන්ත නම්.

තිණ්ණසොක පරිද්දවෙ = තරණය කළ ශොක පරිදෙවයන් ඇති. පරිදෙවයන් නැසූ.

ශෝක පරිදේව විස්තරය කියන ලද්දේ ය. ශෝක පරිදේව ද නැසිය යුත්තේ තරණය කළ යුත්තේ මාර්‍ගඥානයෙනි.

තෙ තාදිසෙ = එබඳු වූ ඔවුන්.

බුදු-පසේබුදු-මහරහතුන් වහන්සේ ගැණෙත්.

පූජයතො = පුදන්නහුට, නැත, පුදන්නහුගේ.

නිබ්බුතෙ = නිවී ගිය සිත් ඇති.

රාග - දෝස - මෝහ - ජාති - ජරා - මරණ - සෝක - පරිදේව - දුක්ඛ - දෝමනස්ස - උපායාස යන මොවුන් සත්ත්‍වයන් දවාලන කෙලෙස් ගිනි ය. මේ ගිනිවලින් නො දැවෙන එක ද පෘථග්ජනයෙක්, ලෝකයෙහි කො තැනකත් නැත්තේ ය. මුළු සත්ත්‍වලෝකය දිවා රෑ දෙක්හි අතර නො තබා ම ඇවිළ දන්නේ ය. මේ ගිනි නිවීම වන්නේ ආර්‍ය්‍යමාර්‍ගඥානප්‍රතිලාභයෙනි. එහෙයින් මේ ගිනි නිවුවෝ ආර්‍ය්‍යමාර්‍ගඥානප්‍රතිලාභයෙන් කෘතකෘත්‍ය වූ ආර්‍ය්‍යයන් වහන්සේ ය. බුද්ධාදි උත්තමයෝ ය. උන්වහන්සේ ය නිබ්බුත. කෙලෙස්ගිනි මුළුමනින් නිවාලූ බැවිනි.

අකුතො භයෙ = කො තැනිනුදු බිය රහිත වූ.

දිව්‍ය - බ්‍රහ්ම - මනුෂ්‍ය - නරක - තිර්‍ය්‍යක් - ප්‍රේත - අසුර යන මේ කිසිතැනකින් අරමුණෙකින් ඉපැදුම් - පෙළුම් - දිරුම් - මැරුම් ඈ කිසි පෙරැළියෙකින් නො බිය වන්නෝ බිය නැත්තෝ ලෝකාතීත වූ බුද්ධාදි ආර්‍ය්‍යයන් වහන්සේ ය. එසේ ම ලෝකධර්‍මයන් ගෙන් නො තැවෙන්නෝ නො ද සැලෙන්නෝ මුන්වහන්සේ ය. එහෙයින් මුන්වහන්සේ අකුතො භය නම් වෙත්.

ප්‍රථම ගාථායෙහි එන පූජාරහෙ - පපඤ්චසමතික්කන්තෙ - තිණ්ණසොකපරිද්දවෙ යන තෙ පදය එක් ව බුද්ධ - සාවකෙ යන දෙ පදයට විශේෂණ විසින් සිටියේ ය. ද්වීතීය ගාථායෙහි එන තාදිසෙ - නිබ්බුතෙ - අකුතො භයෙ යන තෙ පදය තෙ යන්නට විශේෂණව සිටියේ ය.

න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමිති කෙන චි = පිණ මේ මෙතෙකැ යි ගණන්නට කිසිවකු විසිනුදු නො හැකි ය. පිණ ගණින්නට කිසිවකුටත් නො හැකි ය. පිණෙහි අණ ගුණ යට කියන ලදි.

පිදිය යුතු වූ, ඉක්මවා සිටි ප්‍රපඤ්ච ඇති එතෙර කළ ශෝක පරිදේව ඇති බුදුවරුන් බුදුසව්වන් යමෙක් පුදා ද, නිවුනු රාගාදි ගිනි ඇති කො තැනිනුත් බිය නැති එබඳු පුද්ගලයන් වඳින්නහුට පුදන්නහුට ගැබෙන පිණ, පිණෙහි පමණ මේ මෙතෙකැයි කිය හැක්කෙක් ලෝකයෙහි නැත්තේ ය. දෙවියකු විසින් බ්‍රහ්මයකු විසින් මාරයකු විසින් මනුෂ්‍යයකු විසින් ඒ ලැබෙන පිහි පමණ නො කිය හැකි ය. මෙබඳු ගුණවත් මහා පුරුෂයන් ජීවත් ව ඉන්ද දී හෝ පිරිනිවී ගිය කල්හි හෝ, වඳින පුදන කල්හි, ඒ වඳින්නහුට පුදන්නහුට තම සිත සම සේ පිහිටුවා ගත හැකි නම් ඔවුනට ලැබෙන විපාක ඵලය සමාන වේ. බුද්ධාදී වූ උතුමන් කෙරෙහි වන චිත්තප්‍රසාද හේතුවෙන් පමණකුත් සත්ත්‍වයෝ සුගතියට යන්නාහ.

බුදුරජානන් වහන්සේ රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ වසනා දවසෙක ඉතා අලුයම් කාලයෙහි බුදුරජුන් විසින් පුරුදු පුහුණු කළ මහාකරුණා සමාපත්තියට සමවැදී එයින් නැගී සිට, ලොව බලා වදාළ සේක්, එනුවර සැඩොල් ගෙයක වසන එක් සැඩොල් මැහැල්ලියක දුටු සේක. දැක ඇය කෙරෙහි නැගුනු මහත් කරුණා ඇති බුදුරජානන් වහන්සේ තමන් වහන්සේගේ නුවණැස යොදා බලන සේක්, ඇය ආයු ගෙවී ඇති බැවින් හා නිරයෙහි උපදවන පෙර කළ අකුශල කර්‍මයක් විපාකදාන අවස්ථාවට එළඹ සිටුනා බැවින් අදම කලුරිය කොට අපායයෙහි උපදනා බව දැන, ඇය ලවා දෙව්ලොව ඉපදීමට කරුණු වන කුශලකර්‍මයක් කරවන්නට මහණගණයාත් පිරිවරා ගෙණ රජගහනුවර පිඩු සිඟා වැඩි සේක. සැඩොලිය ද සැරයටිකොණ එල්බ කොළපතක් අතට ගෙණ නුවරින් බැහැර යන්නී බුදුරජුන් දැක ඒ දෙසට මූණ දී සිටියා ය. බුදුරජානන් වහන්සේ ඇයගේ ගමන් වළකන්නා සේ ඇය ඉදිරියෙහි වැඩ සිටි සේක. එකල්හි ආයුෂ්මත් මහාමෞද්ගල්‍යායන මහාස්ථවිරයන් වහන්සේ බුදුරජානන් වහන්සේගේ අදහස් දැන ආයු ගෙවී ගිය බැගෑපත් සැඩොල් මැහැල්ලිය ද දැක ඈ ලවා බුදුරජුන්ගේ පා වන්දවනු පිණිස මහත් කරුණායෙන් මෙසේ වදාළ සේක:-

“සැඩොලිය! මුන්වහන්සේ එසේ මෙසේ කෙනෙක් නො වෙත්, මුන්වහන්සේ සියලු මුනිවරයන්ට උතුම් වූ සියල්ල දත් මහාකාරුණික වූ ගෞතම බුදුරජානන් වහන්සේ ය, තී කෙරෙහි මහත් අනුකම්පායෙන් නුවරට නො වැඩ තිට පරලොවින් යහ පතක් කරනු සඳහා මහසඟුන් පිරිවරා ගෙණ මෙහි වැඩ සිටින සේක, දෙවිමිනිසුන් විසින් කරණු ලබන කුදුමහත් පූජා, මහත් විපාක ඇත්තක් කිරීමෙහි සමර්‍ත්‍ථ වූ මුන්වහන්සේ කෙරෙහි සිත පහදා ගණුව, තීගේ ජීවිතය පවත්නා කාලය ඉතා සුලු ය, වැඩි කල් නො පවත්නේ ය, එය දැන් බිඳ වැටෙනු ඇත, එහෙයින් දොහොත් මුදුන් දී බුදුරජානන් වහන්සේගේ සිරිපා වහා වදුව” යි.

සැඩොලිය එ බස් අසා හටගත් වෙවුලුම් ඇත්තේ පහන් සිතින් පසඟ පිහිටුවා වැඳ බුදුරජුන් කෙරෙහි වූ ප්‍රීතියෙන් එකඟ වූ සිත් ඇති ව සිටියා ය. බුදුරජානන් වහන්සේ ද සැඩොලිය තමන් වහන්සේ කෙරෙහි පහන් ව ගිය බව දැන මෙය මෑට දෙව්ලොව ඉපදීමට පමණැ යි මහණගණයාත් ගෙණ නුවර පිඬු සිඟා වැඩිසේක. ඒ වේලෙහි අලුත වැදු ගව දෙනක් වසුපැටියාත් සමග එ තැනින් දුවන්නී බුදුරජුන් වෙත ම බැල්ම හෙලා සිටි මැහැල්ලට අඟින් ඇණ ඇය ජීවිතක්‍ෂයට පත් කළා ය. එකෙණහි ඕ තොමෝ බුදුරජුන් කෙරෙහි කළ චිත්තප්‍රසාදමාත්‍ර හේතුවෙන් තව්තිසා දෙව් ලොව මහත් වූ රන් විමනෙක දෙවඟනන් සිය දහසක් පිරිවර කොටි උපන්නී ය. එසේ උපත ලැබූ ඒ දෙව්දු තොමෝ තමන්ගේ දිවඉසුරු බලා උදම්ව “මම කිනම් කුසලයක් කොට මෙබඳු මහත් දෙව් සැපතක් ලැබීම් දැ” යි බලන්නී මුගලන් මහා තෙරුන්ගේ නියමයෙන් බුදුරජුන්ගේ සිරිපා වැඳ උන්වහන්සේ කෙරෙහි කළ චිත්ත ප්‍රසාදමාත්‍රයෙන් ලදැ යි දැක බුදුරජුන්ගේ හා මහාතෙරුන්ගේ ගුණ සිහි කොට “මහා තෙරුන් දක්නට යෙමි” යි සිතා විමානය සමග මිනිස් ලොවට අවුත් මහතෙරුන් කරා එළැඹ විමන අහස්හි රඳවා විමනින් බැස, “මහාවීරයන් වහන්ස! දිව්‍යද්ධිර්යට පැමිණි මම මේ වනයෙහි එකලාව වැඩ හිඳනා ක්‍ෂය කළ ආශ්‍රව ඇති පහ වූ රාගාදිරජස් ඒ ඇති තෘෂ්ණාරහිත වූ මහත් අනුභාව ඇති ඔබ වහන්සේ වඳිමි” යි වැඳ සිටියා ය.

එකල්හි මුගලන් මහා තෙරණුවන් “මා වඳින තී කවරහ” යි අසා වදාළ විට “ස්වාමීනි! එදා ඔබ වහන්සේ විසින් බුදුරජුන්ගේ පා වඳුව යි නියෝග කරන ලද මම මහත් ප්‍රසාදයෙන් උන්වහන්සේගේ පා වැඳ සිටි සැඩොල් මැහැලිය වෙමි, එ කෙණෙහි ම කුළු දෙනක විසින් ඇණ මරණ ලද්දී දැන් තව්තිසා දෙව්ලොව රන් විමනෙක ඉපිද සිටිමි, සියදහසක් දෙවඟනෝ මට පිරිවරව සිටිත්, ඒ හැම එකියකට ම වඩා මම. සිරුරු පැහැයෙන් හා පිරිවර සැපතින් ප්‍රධාන වෙමි, මේ මහත් සැපත ලැබීමට මම ලොකු පින් කමක් නො කෙළෙමි, මේ සැපත ලැබීමට කරුණු වූයේ පින්වතුන් වහන්සේගේ නියෝගයෙන් මග වඩනා බුදු රජානන් වහන්සේගේ පා වැඳ උන්වහන්සේ කෙරෙහි කළ චිත්ත ප්‍රසාදමාත්‍රය” යි කියා ඒ දෙව්දු තොමෝ දෙව්ලොවට ගියා ය.

මේ ඒ දෙව්දුවගේ ප්‍රකාශය පොතෙහි ආ සැටි:-

“අහං භදන්තෙ චණ්ඩාලී තයා වීරෙන පෙසිතා,

වන්‍දිං අරහතො පාදෙ ගොතමස්ස යසස්සිනො.

.

සාහං වන්‍දිත්‍ව පාදානි චුතා චණ්ඩාලයොනියා,

විමානං සබ්බතො භද්දං උපපන්නම්භි නන්‍දනං.

.

අච්ඡරානං සතසහස්සං පුරක්ඛත්‍වාන තිට්ඨති,

තාසාහං පවරා සෙට්ඨා වණ්ණෙන යස්සා යුතා.

.

පහූතකතකල්‍යාණා සම්පජානා පතිස්සතා,

මුනිං කාරුණිකං ලොකෙ තං භන්තෙ වන්‍දිතුමාගතාති”

තමන් වෙත අලුත උපන් දෙව්දුවක දැක සක්දෙව්රජ තෙමේ “සොඳුර! තී පෙර මිනිසත් බවේදී කිනම් කුසලයක් කෙළෙහි ද? මේ මහත් දිව්‍ය විපාකය කිනම් කුශලකර්‍මයක් කොට ලද දැ?” යි. ඇසී ය. “සක්දෙව්රජතුමනි! මම එදා රජගහනුවර එක්තරා ගැහැණියක් වීමි, ඒ මම ඉතා උදෑසන නින්දෙන් නැගිට මුණකට සෝදා ගෙයි කටයුතු කොට පිරිසිදුව ඇඳ පැලඳ ගෙණ වැටකොලු මල් සතරක් කඩා ගෙන අජාසත් රජු විසින් බුදුරජුන් පිරිනිවි කල්හි බුදුරජුන්ගේ සිරුරුද නිදන් කොට ගොඩ නැගු දාගැබට පුදනට මග බැස ගියෙමි, වටපිට නො බලා බුදුගුණ සිහි කරමින් මග බැස ගිය මා වෙතට දුව ආ දෙනකු විසින් දුන් අං පහරින් මම එතැන ම මැරී වැටුනෙමි, දාගැබට මල් පුදන්නට නො හැකි වීමි, ඒ මල් දා පුදන්නට සිතා ගත් පමණින් මේ මහත් සැපත ලැබීමි, ඉදින් මල් පුදන්නට ඉඩ ලැබුනේ නම්, මෙයට වඩා මහත් සැපතක් ලබනු එකාන්තය” යි ඒ දෙව්දූ තොමෝ කීවා ය.

මේ දෙව් දුව කී සැටි:-

“කොසාතකී නාම ලතත්‍ථි භන්තෙ, තිත්තිකා අනභිච්ඡිතා,

තස්සා චත්තාරි පුප්ඵානි, ථූපං අභිහරිං අහං.

.

සත්‍ථු සරීරමුද්දිස්ස, විප්පසන්නෙන චෙතසා,

නාස්ස මග්ගං අවෙක්ඛිස්සං, න තග්ගමනසා සතී.

.

තතො මං අවධී ගාවී, ථූපං අපත්තමානසං,

තඤ්චාහං අභිසඤ්චෙය්‍යං, භිය්‍යො නූන ඉතො සියා.

.

තෙන කම්මෙන දෙවින්‍ද, මඝවා දෙවකුඤ්ජර,

පහාය මානුසං දෙහං, තව සහබ්‍යමාගතා”

එකල්හි සක්දෙව්රජ තෙමේ මාතලී දෙව්පුත් අමතා “මාතලි! පුදුමයෙක්, මේ විසිතුරු වූ කර්‍මවිපාකය බලව, ටික විසිනුදු කළ කුශලකර්‍මය මහත් ඵල ඇත්තේ ය, තථාගත වූ සම්බුදු රජුන් කෙරෙහි හෝ උන්වහන්සේගේ සව්වකු කෙරෙහි හෝ සිත පහන් කල්හි දක්‍ෂිණාව ස්වල්ප නො වන්නී ය, මාතලි! එව, අපි වඩ වඩාත් තථාගතයන් වහන්සේගේ ධාතූන් පුදමු, එහිලා මඳකුදු පසුබට විය යුතු නොවේ, පින් රැස් කිරීම සැප යි, බුදුරජුන් දිවමන් කල්හි හෝ පිරිනිවී කල්හි උන්වහන්සේ කෙරෙහි සිත පහන් කල්හි සම වූ විපාක වන්නේ ය, යම් තැනක පුද සැලකිලි කොට සත්ත්‍වයෝ සග සැපටත් නිවන් සැපටත් යත් ද, තථාගතයන් වහන්සේ ඒ හේතුයෙන් බොහෝ දෙනාට හිත සැප පිණිස ලොව පහළ වන්නාහ” යි කී ය.

එදා සැඩොල් මැහැල්ලියක් ව සිටි මැයට මේ මහත් උදාර වූ දෙව්සැපත ලැබීමට කරුණු වූයේ අතර මග දී දිවමන් බුදුරජුන් සියැසින් දැක උන්වහන්සේගේ මහත් ගුණයෙහි ඉපද වූ චිත්ත ප්‍රසාදමාත්‍රය යි.

එදා එක්තරා කුලගෙයක ඉපද සිටි මැයට මේ මහත් උදාර වූ දෙව්සැපත ලැබීමට කරුණු වූයේ සිරුරුදා නිදන් කොට කළ දාගැබක් මලින් පුදන්නට කළ චිත්තොත්පාදය යි. මේ දෙ දෙනාගේ චිත්තප්‍රසාදයත් චිත්තොත්පාදයත් දෙක ම බුදුරජුන් අරමුණු කොට වී ය. පිරිනිවි බුදුරජුන් කෙරෙහි හෝ පිරිනිවි බුදුසව්වෙකු කෙරෙහි හෝ සියැසින් නො දැක ද චිත්තප්‍රසාද මාත්‍රයෙන් දිව සැපත් ලැබීම සසුන් පිළිවෙතෙහි නො වඳ බව කියාලන්නේ ය.

බුදු සව්වන් කෙරෙහි සැදෑ සිතින් කරණ සත්කාරයෙහි ඉෂ්ට විපාකය බලනු මැනැවි.

 රජගහනුවර වැසි එක්තරා සැදැහැති උපාසකයෙක් සඞ්ඝයා උදෙසා නිතිබත් සතරක් දෙන්නට නියම කොට එය සකස් කොට දෙන්නේ ය. ඔහුගේ ගෙය පිහිටි පෙදෙස නිතර සොරුන් හැසිරෙන පෙදෙසක් වූ බැවින් සොරුන්ගෙන් උවදුරු වේ ය යන බියෙන් ඒ වළකාලනු පිණිස නිතර ගෙයි දොර වසා තබන්නේ ය. මේ නිසා සිඟා වඩනා භික්‍ෂූන් වහන්සේ ඇතැම් දවසක එහි පිඬු සිඟා වැඩියාහු ද පිඬු නො ලැබ හැරී එන්නාහ. දවසක් උපාසක තෙමේ “සොඳුර! කිම අපගේ ස්වාමීන් වහන්සේ පිඬු සිඟා මෙහි වඩනා සේක් ද? උන්වහන්සේට භික්‍ෂාව පිරි නමන්නී දැ” යි සිය බිරිය අතින් විචාළේ ය. එවිට ඕ තොමෝ “හිමියෙනි! ඇතැම් දවස්හි උන්වහන්සේ මෙහි නො වඩිනා සේක, ඒ නො වඩිනා දවස්වල දන් පිරිනමන්නට නො ලැබේ ය” යි කිවු ය. “මා නිතිබත් සතරක් පිළියෙල කොට තිබිය දී උන්වහන්සේ දිනපතා මෙහි නො වඩින්නේ කුමක් නිසා දැ” යි උපාසකයා ඇසූ විට “දිනපතා වාගේ මේ ගෙයි දොර වසා තිබෙන බැවින් උන්වහන්සේ එසේ නො වඩිනු ඇතැ” යි උපාසිකා තොමෝ කිවා ය. උපාසක මේ අසා මහත් සංවේගයට පැමිණ එක් මිනිසකු දොරටුපල්ලකු කොට එහි සිටුවා “තමුසේ අද පටන් මේ ගෙය රැක බලා ගෙණ මෙහි නැවතී සිටිය යුතු ය, පිඬු සිඟා වඩිනා ස්වාමීන් වහන්සේ මේ ගෙට වැඩියා ම දොර හැර උන්වහන්සේ ගෙය තුළට වැඩම කරවා පාත්‍රය පිළිගෙන අසුන් පැණවීම් පා දෙවීම් ඈ සියලු වතාවත් දැන මැනැවින් කළ යුතු ය” යි නියම කෙළේ ය. දොරටුපල් තෙමේ “මැනැවැ” යි එය පිළිගෙණ එතැන් පටන් එසේ කරණුයේ ගෙට වඩිනා භික්‍ෂූන් වහන්සේට වතාවත් කොට දන් පිළිගන්වා අවසානයෙහි උන්වහන්සේ වෙතින් බණ අසා උපන් සැදෑ ඇතියේ කම්පල අදහා සරණසිල් පන්සිල්හි පිහිටා ගත්තේ ය. කලක් ගෙවී ගිය තැන මිය ගොස් යාම දේවලෝකයෙහි උපන්නේ ය. දොරටුපල්ලා අනුන්ගේ දානයෙහි වතාවත් කිරීමෙන් හා එහි පින් අනුමෝදන් වීමෙන් මිය ගොස් තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සොළොස් යොදුන් පමණ වූ රන් විමනෙක් පහළ වී ය.

දවසෙක දෙව්ලොව චාරිකායෙහි වැඩම කළ මුගලන් මහා තෙරුන්ට හමු වූ මේ දෙව්පුත් තෙමේ “ස්වාමීනි! මෙහි ඉපැත්මට මා කළ පින්කම උපාසකයාගේ ගෙට වඩනා බුදුසව්වනට අසුන් පණවා දී, මෙහි වැඩ හිඳිනු මැනැව, ආර්‍ය්‍යයන්ගේ ආරෝග්‍යය කෙසේ ද? වසන තැන් සුවපහසු කම් ඇත්තේ දැ? යි පැවැත් වූ පටිසන්‍ථාර කථාමාත්‍රය හා, මොවුහු බ්‍රහ්මචාරීහු ය, ධර්‍මචාරීහු ය, සිල්වත්හ යි යන ඈ විසින් සිතෙහි පැවැති ප්‍රසාදමාත්‍රය” යි දන්වා සිටියේ ය.

මේ දෙව්පුත්හුගේ ප්‍රකාශය:-

“දිබ්බං මමං වස්සසහස්සමායු

වාචාභිගීතං මනසා පවත්තිතං,

එත්තාවතා ඨස්සති පුඤ්ඤකම්මො

දිබ්බෙහි කාමෙහි සමඞ්ගිභූතො” යි.

බණපොතෙහි ආ මේ ද දන්නේ ය.

“තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි සමෙ චිත්තෙ සමං ඵලං,

චෙතො පණිධිහෙතූහි සත්තා ගච්ඡන්ති සුග්ගතිං

බහුන්නං වත අත්‍ථාය උප්පජ්ජන්ති තථාගතා,

යත්‍ථ කාරං කරිත්‍වාන සග්ගං ගච්ඡන්ති දායකා”

එහෙයින් තෙරුවන් ගුණ සලකා පහන් සිතින් කරණ කුදු මහත් හැම පිදිවිල්ලක් ම විපාකදානයෙන් මහත් වන බැවින් කරණ කුසලය කුඩා ය යි කිසිවකු විසිනුත් පින් කිරීමට පසු බට නො විය යුතු ය. පිණට අවමන් නො කළ යුතු ය. දෙවියන්ගේ හෝ මිනිසුන්ගේ ජීවිතය වැඩී යනුයේ පින් කළ තරමටැ යි දැන පින් කළ යුතු ය. යහතින් දිවි ගෙවන්නට නම් තෙරුවන් කෙරෙහි පහන් සිත් ඇතිව පින් කළ යුතු ය.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ බමුණු තෙමේ සෝවන් වූයේ ය. යොත්නක් පමණ වූ රන්සෑය සත් දවසක් අහස ම රැඳී සිටියේ ය. එහි රැස් වූ මහාජනකාය ද ඉතා මහත් වී ය. ඔවුහු සතිය මුළුල්ලෙහි නොයෙක් අයුරින් සෑය පිදූහ. එහි රැස්ව හුන් මිසදිටු ගත්තවුන්ගේ මිසදිටු ද බිඳී ගියේ ය. සතිය කෙළවර සෑය බුදුරජුන්ගේ ආනුභාවයෙන් තුබූ තැන ම පිහිටා ගත්තේ ය. රන්සෑය පිහිටා තිබූ තැන එ කෙණෙහි ම ගල්සෑයෙක් පහළ ව සිට ගතු. ඒ මහාජනසමාගමයෙහි අසූසාර දහසක් දෙනාහට ධර්‍මාවබෝධය වූයේ ය.

ස්වර්‍ණචෛත්‍ය වස්තුව නිමි.

භද්දිය මහ රහතන් වහන්සේ

අසු මහා ශ්රාවක වහන්සේලා - 6
(හයවන ලිපිය )

උසස් කුලයෙහි උපන් භික්ෂුන් අතරින් අග්ර කාළිගෝඨාපුත්ත භද්දිය මහ රහතන් වහන්සේ..!

මෙම මහා භද්රකල්පයෙහි කල්ප ලක්ෂයකට පෙර “පදුමුත්තර” නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි භද්දිය රහතන් වහන්සේ මහත් ධනවත් පරපුරක ඉපිද සිටියේය. පදුමුත්තර බුදුන්ගෙන් බණ ඇසීමට ගොස් සිටි අවස්ථාවක උන් වහන්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමකට කුලීන භික්ෂූන් වහන්සේ අතර අග තනතුර ප්රදානය කළ සේක. එය දුටු හෙතෙම පසු දින බුද්ධ ප්රමුඛ මහා සංඝ රත්නය උදෙසා මහා දන් පිරිනමා, “ස්වාමීනි, මේ මම කළ මහත් පිනෙන් දේව බ්රහ්ම ආදී සැප නොපතමි. යම් බුදුවරයෙක් හමුවේ කුලීන භික්ෂූන් අතර අග තනතුර පතන්නෙමි” යනුවෙන් ප්රකාශ කළ විට අනාගතය දෙස දිවැසින් බැලූ ඒ බුදු හිමියෝ, මතු බුදුවන ‘ගෞතම’ නම් බුදු සසුනෙහි එම තනතුර ලැබෙන බවට විවරණ දී වදාළ සේක.

‘ඒ සඳහා කළ යුතු පින් දහම් මොනවාදැ’ යි භික්ෂූන්ගෙන් විචාල විට ධර්මාසන කැරවීම, ධර්මාසන වලට ඇතිරිලි දැමීම, විජිනිපත් පූජා කිරීම, ධර්ම දේශකයන් වහන්සේලාට උපස්ථාන ආදිය කිරීම, පහන් පූජා පැවැත්වීම, ආදී පන්කම් කළයුතු බව දැන්වූහ. ඔහු ද එවැනි බොහෝ පින්කම් කොටැ මිය ගොස්, කාශ්යප බුදුන් සමයෙහි බරණැස් නුවර එක්තරා කෙළඹි පුත්රයකු වශයෙන් ඉපැදිනි. එසමයෙහි ගන්ධමාන පර්වතයෙන් වැඩමවන පසේ බුදුවරයන් වහන්සේලාට වැඩ සිටීමට ගල් පුවරු අටක් කරවා පූජා කැරෙන ලදී. තව තවත් දානාදී පිංකම් බොහෝ කොටැ, එයින් ද මිය පරලොව ගොස් දෙව් මිනිස් සැප විඳ, අප ගෞතම බුදුන් සමයෙහි කිඹුල්වත් පුරයෙහි විසූ ‘කාලිගෝධා’ නම් ක්ෂත්රිය මෙහෙසියගේ කුසයෙහි උපන්නේය. හෙතෙම ‘භද්දිය’ යන නම ලැබීය.

තරුණ වියෙහි දීමැ රාජ්යත්වයට ද පත් විය. ඉතා කුලුපග මිතුරකු වූ ‘අනුරුද්ධ’ කුමාරයාගේ ඉල්ලීම පරිදි, ඔහු සමග පැවිදි වීමට එකග විය. අනතුරුවැ ඔවුන්ගේ යහලු කුමාර වරුන් වන ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන කුමාර වරුන්ද ඔවුනට එක්වූහ. ඔවුන් සියලු දෙනාම පැවිදි බව ලබා ගැනීමට පිටත්වැ රාජ්ය සීමාවට පැමිණ තම තමන් සතු වටිනා ආභරණ ආදිය තමන්ගේ සේවකයකු වන ‘උපාලි’ නම් කරණවෑමියා අතට දී, ඒවා ශාක්යයන්ට භාර දෙන මෙන් දන්වා පිටත්වැ ගියහ.

උපාලි තෙමේ ද මෙම වටිනා ආභරණ ගෙන ගියහොත් ශාක්යයන් තමන් කුමාරවරුන්ට අනතුරක් කරන්නට ඇතැ’යි සැක කරනු ඇති’යි සිතා, එම ආභරණ පොදිය කැමැති කෙනෙක් ගනිත්වා’යි ගසක එල්ලා කුමාරවරුන් වෙතට ගියේය. ඔහු පැමිණෙනු දුටු කුමාරවරු ඔබ කළේ ඉතා යහපත් ක්රියාවකි’යි ඔහුට ප්රශංසා කළහ. පසුව කුමාරවරු උපාලි නම් එම කරණවෑමියා සමග බුදුන් වහන්සේ වෙතැ එළඹ, “ස්වාමීනි! ශාක්යයෝ වන අපි ඔබ වහන්සේ ළඟ පැවිදිවීමට ආවෙමු. එසේම අපි කුල මානයෙන් යුතු ජන වර්ගයක් බැවින් අපගේ කුල මානය දුරු කරනු පිණිස, අපගේ කරණවෑමියා පළමුවැ පැවිදි කරනු මැනවි. එවිට ඔහුට වැදීම් ගරු බුහුමන් කිරීමෙන් අපගේ කුල මානය දුරු කැර ගත හැකිය” යනුවෙන් සැළ කර සිටියහ. බුදුරජාණන් වහ්නසේ ද උපාලි කපුවා පළමුව පැවිදි කළ සේක. මෙසේ කුමාරවරුන් සියලු දෙනාම පැවිදි බව ලබාගෙන නොබෝ කලෙකින් මාර්ග ඵල, ධ්යාන ආදිය ලබා ගත්හ. එක්තරා දිනක බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ දී භික්ෂූන් වහන්සේලා අමතා “ඒතදග්ගං භික්ඛවේ මම කාවකානං භික්ඛුනං උච්චාකුලීනං යදිදං පුත්තෝ භද්දියෝ” යනුවෙන්.

“මහණෙනි, මාගේ ශාසනයෙහි කුලීන භික්ෂූන් වහන්සේ අතර මෙම කාලිගෝඨාවගේ පුත් භද්දිය තෙමේ අග්ර වන්නේය” යි අග තනතුර දෙවා වදාළ සේක. මෙලෙස කල්ප ලක්ෂයක් පෙරුම් පුරමින් පැමිණ අග තනතුරු ලැබූ භද්දිය මහරහතන් වහන්සේ බොහෝ කාලයක් ලෝ වැඩ සළසමින් සිට නිරුපධිශේෂ පරිණිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පා වදාළ සේක.
උතුම් ධර්ම දානය පිණිස කියවා බෙදා හරින්න.

තෙරුවන් සරණයි .
දාන පාරමිතා

Tuesday, November 14, 2023

බොහෝ භික්‍ෂූන් එක්ව කළ කථාවක්


සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා

සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො.

සම්‍යක්සම්බුද්ධවරයන්ගේ ඉපැද්ම සුවයට කාරණ ය. සද්ධර්‍මදේශනාව ද සුවයට කාරණ ය. ඝඞ්ඝයා ගේ සමග බව ද (එක් සිත් බව ද) සුවයට කාරණ ය. සමග වූ භික්‍ෂූන් ගේ තපස ද (බුඞවචනය උගන්නට ද ධූතාංග පරිහරණයට ද මහණදම් රක්නට ද පිළිවන් හෙයින්) සුවට කාරණ ය.


එක් දවසක් පන් සියයක් පමණ භික්‍ෂුහු උවැටන්හලෙහි රැස් ව “ඇවැත්නි! මේ ලෝකයෙහි සැපය කුමක් දැ” යි කතාවක් ඉපදවුහ. එහි සමහරු “රජසැපය තරම් සැපයෙක් නැතැ” යි කීහ. සමහරු “කම් සැපය තරම් සැපයෙක් නැතැ” යි කීහ. මේ අතර එහි වැඩම කළ භාග්‍යවත් බුදුරජානන් වහන්සේ “මහණෙනි! තමුසේලා මා මෙහි එන්නට පෙරාතුව කුමක් ගැන කතා කරමින් හුන්නහු දැ?” යි අසා වදාළ සේක. ඔවුන් “ස්වාමිනි! අපි මේ ලෝකයෙහි ඇති සැපය කුමක් දැ යි කතා කරමින් හුන්නමෝ ය” යි කී කල්හි “මහණෙනි! තමුසේලා කුමක් කියහු ද? මේ තමුසේලා කියන හැම සැපයක් ම සසර දුකෙහි ගැලී සිටියේ ම ය, මේ ලෝකයෙහි ඇති සැපය නම් බුද්ධෝත්පාදය ධර්‍මශ්‍රවණය සඞ්ඝසාමග්‍රිය යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

සුඛො බුද්ධානං උප්පාදො සුඛා සද්ධම්මදෙසනා

සුඛා සඞ්ඝස්ස සාමග්ගී සමග්ගානං තපො සුඛො ති.

බුදුවරුන්ගේ ඉපදීම සැපයි. සද්ධර්‍මදේශනා සැපයි. සඞ්ඝයාගේ සාමග්‍රිය සැප යි. සමග වූවන්ට තපස සැප යි.

සුඛො බුදධානං උප්පාදො = බුදුවරුන්ගේ උපත සැප ය.

මෙහි සුඛ ශබ්දය, සුඛො-සුඛා යි සිටියේ තිලිඟු බැවිනි. සුඛං යි නපුංසකලිඞ්ගයෙහි ද වේ. ලෝකයෙහි බුදුවරු උපදනාහු දුක්ඛිත සත්ත්‍වයන් ජාතිකාන්තරාදියෙන් එතෙර කොට නිවන් පුර පමුනුවා මුළුමනින් සුඛිතයන් කරණු සඳහා ය. එහෙයින් බුදුවරුන්ගේ ලොව ඉපැත්ම නිවන් සුවයට කරුණු වන බැවින් සැපය යි වදාළ සේක.

දෙවියන් සහිත ලෝකයට හිතයක් සිදු කළ හැකි ජීවිතයක් පිළියෙල වන්නට ගත වන කාලය කළයුතු වීර්‍ය්‍යය විඳියයුතු වෙහෙස හළ යුතු සැපත මෙ තරම් ය යි මොන ලෙසකිනුත් කියන්නට නො පිළිවන. ගුණයෙන් හා දැනුමෙන් පරම කොටියට නො පත් වූ ජීවිතයකට නියම විසින් ක්‍රමවත් සේවාවක් කළ නො හැකි ය. එහෙයින් මේ ජීවිතය දානයෙන් ශීලයෙන් නෛශ්ක්‍රම්‍යයෙන් ප්‍රඥායෙන් වීර්‍ය්‍යයෙන් ක්‍ෂාන්තියෙන් සත්‍යයෙන් අධිෂ්ඨානයෙන් මෛත්‍රියයෙන් උපේක්‍ෂායෙන් යන මේ මහත් ගුණයන්ගෙන් පශ්චිම කොටියෙන් කල්ප ලක්‍ෂයක් අධික කොට ඇති චතුරසඞ්ඛ්‍යයක් මුළුල්ලෙහි හැදී වැඩී යා යුතු ය. මෙ කියූ ගුණයගෙන් වැඩුනු ජීවිත අතුරෙහි එය අද්වීතීය විය යුතු ය. අසහාය විය යුතු ය. අප්‍රතිම විය යුතු ය. අප්‍රතිසම විය යුතු ය. අප්‍රතිභාග විය යුතු ය. අසම විය යුතු ය. අසමසම විය යුතු ය. අග්‍ර විය යුතු ය. මෙලෙසින් සකස් වූ ජීවිත ඇත්තෝ ම ලෝක සේවාවෙහි සමර්‍ත්‍ථ වේ. ඔවුහු නම් සම්මා සම්බුදුවරයෝ ය. උන්වහන්සේලාගේ උපත සැපය යි වදාළේ බුදුවරුන්ගේ ලොව පහළවීම නිසා මෙම ප්‍රඥාචක්‍ෂුසගේ ප්‍රඥාලෝකයාගේ ප්‍රඥාවභාසයාගේ සවැදෑරුම් අනුත්තරිය ධර්‍මයන්ගේ පහළවීම වන්නේ ද, සිවු පිළිසැඹියාවන්ගේ ප්‍රත්‍යක්‍ෂ කිරීම වන්නේ ද, අනේකධාතු නානා ධාතූන්ගේ ප්‍රතිවේධය වන්නේ ද, සෝවන් සෙදගැමි අනගැමි රහත් මගපලයන්ගේ සාක්‍ෂාත් කිරීම වන්නේ ද එහෙයිනි.

මෙසේ ගුණනුවණින් කුළුගැන්වුනු බුදුවරුන්ගේ උපත නිසා ම සත්ත්‍වලෝකය සසර දුකින් මිදී යන්නේ ය. නැත, නො ද මිදෙන්නේ ය. යම් ඉගැන්වීම් මගෙක අරිඅටඟිමග නො ඉගැන්වේ නම්, ඒ ඉගැන්වීම් මඟ සිස් ය. නිසරු ය. අර්‍ත්‍ථ රහිත ය. එය සත්ත්‍වයාගේ විමුක්තිය පිණිස පවතී යනු සත්‍ය නො වේ. එය අසත්‍යයෙකි. නො ද පිළිගත යුතු ය. අරිඅටඟිමග නො ලැබෙන ඉගැන්වීම් මඟකින් දුක - දුක් හට ගැණිම - දුක් සන්සිඳීම ගැන පිළිසමුපා ගැන දැනුමක් මොන ලෙසකිනුන් නො ලද හැකි ය. එකල්හි සත්ත්‍වවිමුක්තියෙක් නැත්තේ ය. සත්ත්‍වයාහට දුකෙන් මිදීමෙක් කවදාවත් නො ලැබෙන්නේය. දුකෙහි ම ගැලෙන්නේය. සසරින් මිදෙන එක් ම මග වූ ඒ මේ අරී අටඟි මග ඇති දහම්මග එලිපෙහෙලි වනුයේ බුදුවරුන්ගේ උපතින් ම ය. එහෙයින් බුදුවරුන්ගේ උපත සැපැයි දත යුතු ය. එහෙත් එය දුර්‍ලභ ය. “ඉමස්ස ඛො භික්ඛවෙ! එකපුග්ගලස්ස පාතුභාවො දුල්ලභො ලොකස්මිං” යනු එහිලා සාධක සූත්‍ර යි.

සුඛා සදධම්මදෙසනා = සද්ධර්‍මදේශනා සැප ය. [1]

සද්ධර්‍ම ශ්‍රවණයට පැමිණ දහම් අසා ධර්‍මය වූ පරිදී දිවි ගලවන සත්ත්‍වයෝ ජාති ජරාමරණාදි දුඃඛරාශියෙන් මිදෙත් ද, මෙසේ සද්ධර්‍මදේශනා, සැපයට කරුණු වන බැවින් සැපය යි වදාළ සේක. එහි සද්ධම්ම නම්:- බුදුරජානන් වහන්සේ විසින් සත්ත්‍වහිතානුකම්පායෙන් සංසාර විමුක්තිය පිණිස දේශනා කොට වදාළ ධර්‍ම සමූහය යි. ඒ සමූහය, ධර්‍මයට අනුව දව රෑ දෙක්හි ද්වාරාත්‍රයය හසුරු වන හැම සත්ත්‍වයන් සසර දුකෙහි, අපායයෙහි හෙන්නට නො දී දරා සිටුනා බැවින් ධර්‍ම නම් වී ය. ප්‍රථම තරඞ්ගයෙහි ‘සහිතං’ යනට කළ පරිකථාව බලනු. ඒ ම ශෝභන වූයේ පරම සත්පුරුෂ වූ බුදුරජුන් විසින් වදාරණ ලදුයේ සද්ධම්ම නමැ යි කියනු ලැබේ. “සොභනො ධම්මො = සද්ධම්මො, සතං වා බුද්ධාදි සප්පුරිසානං ධම්මො = සද්ධම්මො” යනු එහි ලා දත යුතු ය.

ඒ මේ සද්ධර්‍මදේශනාව සම්මුති-පරමාර්‍ත්‍ථ විසින් දෙ පරිදි ය. එහි අනිත්‍ය-දුඃඛ-අනාත්ම ලක්‍ෂණ නො දක්වා, ස්කන්‍ධ-ධාතු-ආයතන-සමෘතිප්‍රස්ථාන නො දෙසා, සත්ත්‍ව-පුද්ගල-ස්ත්‍රී-පුරුෂ-ක්‍ෂත්‍රිය-බ්‍රාහමණ-දේව-මාර-යක්‍ෂ-රාක්‍ෂස-නාග-සුපර්‍ණාදීන්ගේ වශයෙන් ලෝකය බෙදා විග්‍රහ කොට, ලෝකයාගේ ව්‍යවහාර විසින් කරණ දේශනා සම්මුති දේශනා ය. සත්ත්‍වපුද්ගලාදී වූ ලෝක ව්‍යවහාරය නො ගෙන, අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම ය, ස්කන්‍ධ ය, ධාතු ය, ආයතනය, සමෘතිප්‍රස්ථාන ය, යන ඈ විසින් පංචස්කන්‍ධ ය බෙදා විග්‍රහ කොට, ඇති තතු විසින් කරන දේශනා පරමාර්‍ත්‍ථ දේශනා ය. යම් කෙනෙක් ලෝක ව්‍යවහාර ගෙණ කරණ දේශනාව අසා අර්‍ත්‍ථප්‍රතිවේධය කොට මොහඳුරු නසා මගපල ලබන්නට පොහොසත් වෙත් ද, සම්මුතිදේශනාව ඔවුන් සඳහා ය. යම් කෙනෙක් පරමාර්‍ත්‍ථ විසින් කරණ දේශනාව අසා අර්‍ත්‍ථප්‍රතිවේධය කොට මොහඳුරු නසා මඟපල ලබන්නට පොහොසත් වෙත් ද පරමාර්‍ත්‍ථ දේශනාව ඔවුන් සඳහා වූ ය. ද්වාදශ තරඞ්ගයෙහි “අත්තානං චෙ පියං ජඤ්ඤා” යන්නට කළ පරිකථාව බලනු.

ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා - ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා - පුද්ගලාධිෂ්ඨාන පුද්ගලදේශනා - පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා යි ධර්‍ම - පුද්ගල වශයෙන් සද්ධර්‍මදේශනාව සිවු පරිදි වන්නී ය. එහි “නාහං භික්ඛවෙ! අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං භාවිතං කම්මනියං හොති, යථයිදං චිත්තං, චිත්තං භික්ඛවෙ! භාවිතං කම්මනියං හොති” යි මෙබඳු වූවා ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා ය. “අට්ඨානමෙතං භික්ඛවෙ! අනවකාසො යං දිටඨිසම්පන්නො, පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්‍ය නෙතං ඨානං විජ්ජති” යි මෙබඳු වුවා ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා ය. “එකපුග්ගලො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්‍ථාය හිතාය සුඛාය දේවමනුස්සානං” යි මෙබඳු වූවා පුද්ගලාධිෂ්ඨාන පුද්ගලදේශනා ය. “එකපුග්ගලස්ස භික්ඛවෙ! පාතුභාවා මහතො චක්ඛුස්ස පාතුභාවො හොති” යි මෙබඳු වූවා පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා ය.

එහි ධර්‍මය ප්‍රධානස්ථානය කොට තබා ධර්‍මාවබෝධය කරවීමට ධර්‍ම විසින් කරන දේශනා ධර්‍මාධිෂ්ඨාන ධර්‍මදේශනා නමු. ධර්‍මය ප්‍රධාන විසින් ගෙන එය පුද්ගලයා මතු පිට තබා කරණ දේශනා ධර්‍මාධිෂ්ඨාන පුද්ගලදේශනා නමු. පුද්ගලයා ප්‍රධාන විසින් ගෙණ පුද්ගලයාගේ වශයෙන් ම කරණ දේශනා පුද්ගලාධිෂ්ට්ඨාන පුද්ගලදේශනා නමු. පුද්ගලයා ප්‍රධාන කොට තබා ධර්‍මය විසින් කරණ දේශනා පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා නමු.

තව ද ආනුපූර්වීධර්‍මදේශනා - පර්‍ය්‍යායදර්ශිනීධර්‍මදේශනා - කරුණාපූර්‍වඞ්ගමධර්‍මදේශනා - ලාභානපේක්‍ෂිතධර්‍මදේශනා - අවිහිංසාපූර්‍වඞ්ගමධර්‍මදේශනා යනු විසිනුදු සද්ධර්‍මදේශනා පස් වැදෑරුම් ය. එහි දානයට අනතුරුව ශීලය, ශීලයට අනතුරුව ස්වර්‍ගය යන ඈ ලෙසින් වූවා ආනුපූර්වීදේශනා ය. ඒ ඒ අර්‍ත්‍ථය ගැණ, නුවණින් සලකා එයට හේතු උදාහරණ දී කරුණු දක්වමින් ආවා පර්‍ය්‍යායදර්ශිනීදේශනා ය. සසර දුකෙහි බැඳී සිටුනා සත්ත්‍වයන් දැක ඔවුන් එයින් මුදාලනු පිණිස වූවා කරුණාපූර්‍වඞ්ගමදේශනා ය. චීවරාදී වූ සිවුපසය ලබනු රිසියෙන් නො වූවා ලාභානපේක්‍ෂිත දේශනා ය. තමන් හුවා දැක්වීම, පරා හෙළා දැකීම ඈ විසින් තමන් හා අනුන් හා නො ද පෙළනු රිසියෙන් වූවා අවිහිංසාපූර්‍වගම දේශනා ය.

ශාසනිකධර්‍මදේශනාවන්හි ආදියෙහි ශීලය මද්ධ්‍යයෙහි මාර්‍ගය අවසානයෙහි නිවන පැවැසෙන්නේ ය. එසේ පැවැසෙනුයේ බුදුරජානන් වහන්සේගේ දහම් දෙසීම එසේ බැවිනි. මේ එයට සාධක:- “සො ධම්මං දෙසෙති ආදිකල්‍යාණං මජ්ඣෙ කල්‍යාණං පරියොසාන කල්‍යාණං” යනු. ආදියෙහි ශීලය පැවැසෙන ධර්‍ම දේශනා ආදිකල්‍යණ ය. මද්ධ්‍යයෙහි මාර්‍ගය පැවැසෙන ධර්‍ම දේශනා මජ්ඣෙකල්‍යාණ ය. අවසානයෙහි නිවන පැවැසෙන ධර්‍ම දේශනා පරියොසානකල්‍යාණ ය. තව ද ශාසනයාගේ ආදි නම්, ශීල සමාධි විදර්‍ශනා ය. “කො චාදි කුසලානං ධම්මානං සීලං ච විසුද්ධං දිට්ඨි ච උජුකා” යනු සාධක යි. මද්ධ්‍යය නම්, ආර්‍ය්‍ය මාර්‍ගය යි. “අත්‍ථි භික්ඛවෙ! මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා” යනු සාධක යි. පර්‍ය්‍යයවසාන නම්, ඵලය හා නිවන ය. මෙය එයට, සාධක විසින් දන්නේ ය. “තස්මා තිහ ත්‍වං බ්‍රාහ්මණ! බ්‍රහ්මචරියං එතං සාරං එතං පරියොසානං” යනු. “ නිබ්බානොගධං හි ආවුසො විසාඛ! බ්‍රහ්මචරියං වුස්සති නිබ්බානපරායණං නිබ්බාන පරියොසානං” යන මෙයින් නිවන අවසානය යි කියන ලදි.

මෙසේ ම ශාසනිකදේශනා නම්, ස්ත්‍රීපුරුෂාදි වර්‍ණනා නිශ්ශ්‍රිත නො වූ සිවු සීවටන් ඈ ගැඹුරු දහම් ඇසුරු කොට සිටි දෙවියන් සහිත ලෝකයට හැමතකී වැඩ සහිත වූ ශිථිල-ධනිත-දීර්‍ඝ-ගරුක-ලහුක-නිග්ගහීත-සම්බන්‍ධ-ව්‍යවස්ථිත-විමුක්ත යන ව්‍යඤ්ජන නො නසා සමාන ව්‍යඤ්ජනයෙන් යුක්ත වූ සියල්ල නො අඩු වූ එසේ ම නො වැඩි වූ චීවරාදී වූ සිවුපසය ලැබීමෙහි ආශාවෙන් නො කිලිටි වූ ශීල-සමාධි-ප්‍රඥා යන ශික්‍ෂත්‍රය ගැබ් කොට සිටි දේශනා ය. “සාත්‍ථං සබ්‍යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති” යන මෙයින් දක්වා වදාළේ බුදුරජානන් වහන්සේගේ ධර්‍ම දේශනා මෙ කී ගුණයන්ගෙන් පරිපූර්‍ණ ව සිටුනා බව ය. මෙහි ධර්‍ම දේශනා ක්‍රම මෙ මතු ම නො වේ. තව ද ඇත්තේ ය. පාය්‍යර්‍ත්‍ථකථාශ්‍රයයෙන් ඒ දත යුතු ය.

සුඛා සඞ්ඝස්ස සාමග්ගි = සඞ්ඝයාගේ සාමග්‍රිය සැප ය.

යම් හෙයකින් සඞ්ඝයාගේ සමඟි බව එක් සිත් ඇති බව දෙවියන් සහිත ලෝකයට හිත පිණිස සැප පිණිස වැටේ ද එහෙයින් සඞ්ඝයාගේ සමඟි බව සැප ය යි වදාළ සේක.

සඞ්ඝස්ස යන මෙහි සඞ්ඝ නම්, සසුන් පිළිවෙතෙහි ගොස් කෙලෙස් නසා සසරදුක් මුළුමනින් නසා සිටි උසස් පිරිස හා කෙලෙස් නසන්නට දිවි නො තකා පිළිවෙත් පුරන්නා වූ පිරිස ය. සඞ්ඝ යනු, දක්‍ෂිණාර්‍හ-සම්මුති විසින් ගැණෙන සඞ්ඝයා කෙරෙහි හෙන්නේ ද මෙහිලා නැගී සිටියේ ගිහි දහම් සිඳහැර සසුන් පැවිද්දෙන් පැවිදි ව සිවු පිරිසිදු සිල් පුරන්නා වූ දුහඟ රකින්නා වූ සම්මුතිසඞ්ඝ තෙමේ ය. මෙහි ත්‍රයොදශwතරඞ්ගයෙහි දානං යනු විස්තර කළ ධර්‍මකථාව බැලිය යුතු ය.

සාමග්ගි නම්, එක්වීම ය. එය සිතින් හා කයින් වන්නේ ය. උනුන්ගේ සිත් එකෙනෙකට අවිරුද්ධ ව පැවැත්ම එක් දෘෂ්ටියෙක පිහිටීම සිතින් වන එක්වීම ය. කායසාමග්‍රිදානයෙන් එක් සීමායෙක්හි සිටීම කයින් වන එක්වීම ය. “සමග්ගො නාම සඞ්ඝො සමානසංවාසකො සමානසීමයං ඨිතො” යනු විනයපදභාජනයෙහි ආයේ ය. සඞ්ඝසාමග්‍රී නම්, සඞ්ඝයාගේ එක්වීම වෙනසක් නැති බව සමවිනයකම් ඇති බව සමඋදෙසීම් ඇති බවැයි අර්‍ත්‍ථ කථායෙහි කියන ලදි. “සඞ්ඝසාමග්ගීති සඞ්ඝස්ස සමග්ග භාවො භෙදා භාවො එකකම්මතා එකුද්දෙසතා ච” යනු අර්‍ත්‍ථ කථාය.

උපාලි මහරහතුන් වහන්සේ :- කති නු ඛො භන්තෙ! සඞ්ඝසාමග්ගියො? ස්වාමීනි! සඞ්ඝසාමග්‍රීහු කෙතෙක් ද?

බුදුරජානන් වහන්සේ :- ද්වෙමා උපාලි! සඞ්ඝසාමග්ගියො. අත්‍ථුපාලි සඞ්ඝසාමග්ගි, අත්‍ථාපෙතා බ්‍යඤ්ජනුපෙතා. අත්‍ථුපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනුපෙතා ච.

කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථාපෙතා ව්‍යඤ්ජනූපෙතා? යස්මිං උපාලි, වත්‍ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්‍ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්‍ථුං අවිනිච්ඡිනිත්‍වා අමූලා මූලං ගන්ත්‍වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථාපෙතා ව්‍යඤ්ජනුපෙතා. කතමා ච සා උපාලි, සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනුපෙතා ච? යස්මිං උපාලි, වත්‍ථුස්මිං හොති සඞ්ඝස්ස භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්‍ථානං සඞ්ඝනානාකරණං, සඞ්ඝො තං වත්‍ථුං විනිච්ඡිනිත්‍වා මූලා මූලං ගන්ත්‍වා සඞ්ඝසාමග්ගිං කරොති, අයං වුච්චති, උපාලි! සඞ්ඝසාමග්ගි අත්‍ථුපෙතා ච ව්‍යඤ්ජනූපෙතා ච. = “උපාලි! සඞ්ඝසාමග්‍රි දෙකෙකි. උපාලි! අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුකත වූත් සඞ්ඝසාමග්‍රියෙක් ඇත. උපාලි! අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රි කවරී ද? යත්: උපාලි! යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝයාගේ ඩබරයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝයාගේ බිඳීමෙක් සඞ්ඝයාගේ ඉරි තැලීමෙක් සඞ්ඝයාගේ වෙන් වීමෙක් සඞ්ඝයාගේ වෙනස් බවෙක් වේ ද, සඞ්ඝ තෙමේ ඒ වස්තුව විනිශ්චය නො කොට අමූලයෙන් මූලයට ගොස් සඞ්ඝසාමග්‍රිය කෙරේද, උපාලි! මේ අර්‍ත්‍ථයෙන් තොර වූ පදයෙන් යුක්ත වූ සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ.

උපාලි! අර්‍ත්‍ථයෙන් නො තොර වූ පදයෙන් යුක්ත වූ ඒ සඞ්ඝසාමග්‍රිය කවරී ද? යත්: උපාලි! යම් වස්තුවක් නිමිති කොට සඞ්ඝසාමග්‍රිය කෙරේ ද, උපාලි! මේ අර්‍ත්‍ථයෙන් යුක්ත වූත් පදයෙන් යුක්ත වූත් සඞ්ඝසාමග්‍රිය යි කියනු ලැබේ”

අනතුරු ව උපාලි ස්ථවිරයන් වහන්සේ මෙය අසා උගෙණ හුනස්නෙන් නැගිට උතුරු සඟසිවුර එකස් කොට වැඳ සිය වෙහෙර බලා වැඩියහ. බුදුරජානන් වහන්සේ මෙසේ වදාළ සේක:- “එකධම්මො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජනහිතාය බහුජනසුඛාය බහුනො ජනස්ස අත්‍ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. කතමො එක ධම්මො? සඞ්ඝසාමග්ගි. සඞ්ඝෙ ඛො පන භික්ඛවෙ සමග්ගෙ න චෙව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිභාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛෙපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්‍ථ අප්පසන්නා චෙව පසීදන්ති, පසන්නානඤ්ච භිය්‍යොභාවො හොතීති” යනු. “මහණෙනි! ලෝකයෙහි සදේවලෝකයාහට හිත සැප පිණිස වැඩ පිණිස පවත්නා වු එක් ධර්‍මයෙක් ඇත්තේ ය, ඒ නම් සඞ්ඝසාමග්‍රිය යි, මහණෙනි! සඞ්ඝයා සමග වූ කල්හි කයින් හා සිතින් එක්ව බැඳී සිටි කල්හි උනුන් අතර කලහයෝ තර්‍ජනයෝ පිරිහෙළීම් අත්හැරීම් නො වන්නාහ, එහිලා නො පහන් වූවෝ පහදිත්, පහන් වූවන්ගේ පහන්බව වඩවඩාත් දියුණු වන්නේ ය” යනු ඒ සූත්‍රයෙහි ඉතා කෙටි අදහස ය.

සංඝයාගේ සමඟි බව සැපයට කරුණු ය. සමඟි වූවනට අනු බල දීම ද සුව එළවන්නේ වේ. සමඟි බවෙහි ඇලුනා වූ ධර්‍මයෙහි පිහිටි පුද්ගල තෙමේ නිවනින් නො පිරිහෙයි. සඞ්ඝයා සමඟි කොට කල්පයක් දෙව්ලොව සතුටු වේ, යි බුදුරජානන් වහන්සේ වදාළ සේක. මේ ඒ වදාළ සැටි:-

“සුඛා සඞ්ඝස්ස සාමග්ගි සමග්ගානඤ්ච අනුග්ගහො

සමග්ගරතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති

සඞ්ඝං සමග්ගං කත්‍වාන කප්පං සග්ගම්හි මොදතීති”

“එකධම්මො භික්ඛවෙ! ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති” යනාදීන් වදාළා වූ දේශනායෙහි ‘එකධම්මො’ යනු යෙදුනේ සඞ්ඝසාමග්‍රියෙන් උපදනා පුණ්‍යරාශිය දක්වනු සඳහා ය. සඞ්ඝසාමග්‍රිය වනාහි එක් කුශලධර්‍මයෙකි, එක් අනවද්‍යධර්‍මයෙකැ යි අටුවායෙහි කීයේ එහෙයිනි. “මේ ය ධර්‍ම ය, මේ ධර්‍මය නො වේ” යි යන ඈ විසින් සඞ්ඝයා අතර යම් විවාදයෙක් උපන්නේ නම් එහිලා විනය දන්නහු විසින් “සඞ්ඝයා අතර උපන් මේ විවාදය අනර්‍ත්‍ථකර ය, බිහිසුණු ය, ඉදිරියෙහි වැඩී ගියේ නම්, එය සඞ්ඝසාමග්‍රිය ඉරිතැලීමට සඞ්ඝයාගේ බිඳීයෑමට කරුණුය” යි සලකා තමාත් පක්‍ෂයක බැස සිටියේ නම්, ගිනිගත් අඟුරු රැසක් පාගන්නකු සේ වහා එයින් වැළකිය යුතු ය. මෙරමා විසිනුදු ගන්නා ලද එය, තමාට සන්සිඳවිය හැක්කේ නම්, එහිලා උත්සාහවත් ව ඉතා දුර බැහැර ගොසින් හෝ එය සන්සිඳවිය යුතු ය. තෙමේ ඒ පිණිස අපොහොසත් නම්, විවාදයත් වැඩේ නම්, එහි දී සුදුසු ප්‍රතිබලසම්පන්න වූ ශික්‍ෂාකාමී සබ්‍රහ්මචාරීන් වෙත ගොස් ඔවුන් උත්සාහවත් කරවා ධර්‍මවිනය ශාස්තෘශාසනය පරිදි ඔවුන් ලවා සන්සිඳවාලිය යුතු ය. මෙසේ මේ විවාදය සන්සිඳවීමෙන් සඞ්ඝයා සමග කිරීමෙහිලා විවාදය සසිඳවන්නහුගේ සිත්හි හට ගන්නා ධාර්මිකඋද්‍යෝගය මහත් කුසලයක් බැවින් එය ‘එකධම්මා’ යන මෙයින් දක්වා වදාළ සේක. මේ උද්‍යෝගය දෙපසට බෙදී ගිය භික්‍ෂූන්ට හා ඒ දෙපසට අනුව වැටෙන මෙහෙණ-උවසු-උවැසියනට ද එසේ උන් අරක් ගත් දෙව් බඹුන්ට ද වන්නට ගිය අහිතකර වූ දුක් එළවන ඒ අධර්‍මය වළකාලීම කුසල් රැස් වන්නට කරුණු බැවින් දෙවියන් සහිත ලෝකයට සැප එළවන්නේ වේ.

“යාවකීවඤ්ච භික්ඛවෙ, භික්ඛූ සමග්ගා සන්නිපතිස්සන්තී, සමග්ගා වුට්ඨහිස්සන්ති, සමග්ගා සඞ්ඝකරණීයානි කරිස්සන්ති, වුද්ධියෙව භික්ඛවෙ, භික්ඛූනං පාටිකඞ්ඛා නො පරිහානි” මහා පරිනිබ්බාන සූත්‍රයෙහි ආ මේ ද සිත්හි දැරිය යුතු ය. “මහණෙනි! භික්‍ෂුහු යම් තාක් කල් සිතින් හා කයින් සමග ව රැස්වන්නාහු ද, සිතින් හා කයින් සමග ව නැගී සිටින්නාහු ද, සිතින් හා කයින් සමග ව සඞ්ඝකර්‍ම කරන්නාහු ද, මහණෙනි! මෙසේ පවත්නා තාක් භික්‍ෂූන්ට වැඩීමක් ම මුත් පිරිහීමෙක් නම් නො වන්නේ ම ය” යනු එහි කෙටි අදහස ය.

සෑ පිළිදැගුම් කරණු පිණිස හෝ බෝගෙය, පොහොයගෙය වසා පිළියෙල කරනු පිණිස හෝ කතිකාවක් නියම කරගණු කැමැත්තෙන් හෝ අවවාද දෙනු කැමැත්තෙන් හෝ රැස් වන්නට ගෙඩිය ගැසූ කල, කිසිත් නො බැණ අන් හැම වැඩක් බහා තබා සියල්ලට පළමු මම රැස්වීමට යමි යි එක්වරට ම නැගී සිටිත් නම්, ඔවුහු ය සමග ව රැස්වෙන්නාහු.

මෙසේ රැස් වූවෝ සිතා මතා කතා කොට කළ යුතු දැය කොට එක්ව ම නො නැගී සිටින්නෝ නම්, ඔවුහු සමගව නැගී සිටින්නෝ නො වෙත්. තව ද “අසුවල් තැන වෙදහෙදකම් කරණ නැකැත් කියන බලි බිලි දෙන බලිහුනියම් කරණ දෙවොල් නටන දෙවියන් පුදන පඬුරු බඳින ගිහින් අයත් මෙහෙවර කරණ පවිටු මහණෝ සසුන වනසත්, දහම් නො දහම් කරත්, විනය අවිනය කරත්, අඹුදරුවන් රකිත්, කවරෙක් එහි ගොස් ඔවුනට නිග්‍රහ කරන්නේ දැ” යි විචාළ කල්හි “මම යමි, මම යමි” යි යම් කෙනෙක් යන්නට නැගී සිටිත් නම්, ඔවුහු ය සමගව නැගී සිටින්නාහු.

ආගන්තුකයකු දැක “මේ පිරිවෙණට යව, අර පිරිවෙණට යව, අපි කවුරු වෙමු දැ” යි නො බැණ ඒ ආගන්තුකයා පිළිබඳ වත් කරන්නෝ ද, දිරාගිය පාසිවුරු දරන්නකු දැක ඔහු පිණිස පා සිවුරු සොයන්නෝ ද, ගිලන්හට ගිලන් බෙහෙත් පිරිකර සපයන්නෝ ද ඉතා බැගෑපත් කිසි ද පිහිටක් නැති ගිලනකු දැක “අසුවල් පිරිවෙණට යව, අසුවල් පිරිවෙණට යව” යි නො කියා තමන්ගේ පිරිවෙණට කැඳවා ගෙන ගොස් පිරිදැගුම් කරන්නෝ ද, ඉගෙණීමෙහි පසුබස්නා දුර්‍වලයකු දැක වහා නුවණැති ඇදුරකු සංග්‍රහ කොට ඔහු වෙත පමුණුවා ඔහු ලවා ඔහුගේ දැනුම ඔසොවා තබන්නෝ ද, උපසම්පදා පරිවාස මානත්ත අබ්භානාදි සඞ්ඝකර්‍ම කරන්නෝ ද සමග ව එක් ව බැඳී සිට සඞ්ඝකෙමී කරන්නෝ වෙත්.

මෙසේ සඞ්ඝසාමග්‍රියෙහි පැවැත්මට හැම තැන සමග ව රැස් වීම සමග ව නැගී සිටීම සමගව සඞ්ඝකර්‍ම කිරීම යන මෙ තුණ ප්‍රධාන විසින් ගත යුත්තේ ය.

පාරිලෙය්‍යක වනයට වඩින ගමනේදී අරලියගස්වනයට වැඩි,

බුදුරජානන් වහන්සේ

:-

අනුරුද්ධයෙනි! කිම ඉවසිය හැකි ද? කිම දිවි ගැලවිය හැකි ද? කිම පිණ්ඩපාතයෙන් වෙහෙස නැත්තහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

නැත, පින්වතුන් වහන්ස! ඉවසිය හැකියි. දිවි යැවිය හැකියි. පිණ්ඩපාතයෙන් වෙහෙසෙක් නැත.

බුදුරජානන් වහන්සේ

:-

කොහොම ද? අනුරුද්ධයෙනි! එක්සිත් ඇති ව සතුටු ව වාද විවාද නැති ව තමුසේලා කිරි හා දිය එක් වූවා සේ උනුන් දෙස ප්‍රිය ඇසින් බලන්නහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! එසේ ය, අපි සමග ව සතුටු ව වාද විවාද නැති ව එක් වූ කිරි හා දිය සේ නො වෙනස් ව උනුන් දෙස දිය ඇසින් බලමින් වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

අනුරුද්ධයෙනි! තමුසේලා කෙසේ සමගවහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! මෙහි මෙබඳු හොඳ සබ්රම්සරුන් හා එක් ව වසන්නට ලැබීම අප හැමට මහත් ලාභයෙකැ යි අපට නිතර සිහි වන්නේ ය. එසේ සිහිවත් ම අපි ඉතා හොඳින් එක්සත් ව වසන්නෙමු. ස්වාමීනි! මේ ආයුෂ්මතුන් වහන්සේලා කෙරෙහි මාගේ මෛත්‍රී සහගත කායවාඞ්මනස්කර්‍ම ප්‍රකට ව ද අප්‍රකටව ද එළැඹ සිටියේ ය. එකල්හි ස්වාමීනි! මාගේ සිත මේ ආයුෂ්මතුන් වහන්සේලාගේ සිතට යටත් කොට උන්වහන්සේලාගේ සිතට අනුකූල ව පවත්වන්නේ නම්, මැනැවැ යි මට අදහස් වේ. එකල්හි මම මාගේ සිත උන්වහන්සේගේ සිතට යටත් කොට උවූහන්සේගේ සිතට එකඟ ව පවත්වන්නෙමි. ස්වාමීනි! අපගේ ශරීරයෝ ම වෙන් ව පවතිත්. සිරුරුවලින් ම පමණක් අපි වෙන් ව සිටුම්හ. අපට ඇත්තේ එක් සිතෙක් ම ය. සිතෙන් වෙනස් බවෙක් අපට නැත්තේ ය.

බුදුරජානන් වහන්සේ

:-

නන්‍දිය! නන්‍දියගේ අදහස කෙසේ ද? නන්‍දිය මෙහි කුමක් කියන්නේ ද?

නන්‍දිය ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! මෙහිලා මාගේ අදහසෙහි වෙනස් බවෙක් නැත. අප කාගේත් අදහස එකෙක්ම ය. අපට වෙන් වෙන් වූ සිත් නැත. වෙන් වෙන් වූ අදහස් නැත. අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ යම් සේ කියූ නම් මා කියන්නේත් එසේ ය.

බුදුරජානන් වහන්සේ

:-

කිම්බිල! කොහොම ද, මේ දෙනමගේ අදහසට කිම්බිලත් එකඟ ද?

කිම්බිල ස්ථවිරයන් වහන්සේ

:-

එසේය, තිලෝගුරු හිමියෙනි! අපගේ අදහස් වල වෙනසක් නැත්තේ ය. පැවැතුම්වල වෙනසක් නැත්තේ ය.

බුදුරජානන් වහන්සේ

:-

හොඳයි! හොඳයි! අනුරුද්ධයෙනි! අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසහු ද තමුසේලා?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනි! අපි එකාන්තයෙන් අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

හොඳයි! අනුරුද්ධයෙනි! කෙසේ නම් තමුසේලා අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසහු ද?

අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේ

:-

ස්වාමීනී! මෙහි අප අතර යමෙක් පළමු කොට ගමින් පිඬු සිඟා ගෙණ ආයේ නම්, හෙතෙමේ අසුන් පණවා පැන් බඳුන හා පිරිබෝදිය බඳුන එළවා තබා ඉඳුල් ලන බඳුන ගෙණවුත් තබයි. යමෙක් පසුව ගමින් පිඬු සිඟාගෙණ ආයේ නම්, හෙතෙමේ වළඳා ඉතිරි වූ දැය කැමැති නම් වළඳයි. නො කැමැති නම් තණ නැති බිමක හෝ බහයි. නැත, සතුන් නැති දියෙහි හෝ පාකොට හරියි. යමෙක් පැන් කළය, පිරිබෝදිය කළය, වැසිකිළිදිය කළය සිස්වූවන් දකියි ද හෙතෙමේ ඒ හැම එකක් දියෙන් පුරවා එළවා තබයි. ඔහුට එය එකලා ව කළ නො හැක්ක් නම් හස්ත සංඥායෙන් දෙවැන්නකු ගෙන්වා ගෙණ අත් විලඟුයෙන් ගෙණ එළවා තබයි. ඒ නිසා කිසි කතාබහෙක් අප අතර නැත. ස්වාමීනි! අපි පස් දවසකට වරක් එක්තැන් ව මුළු රෑම දැහැමි බණකතා කියමින් හිඳින්නෙමු. ස්වාමීනි! අපි මෙසේ අප්‍රමත්ත ව කෙලෙස් තවන වැර ඇති ව හළ ආත්මාලය ඇති ව වසන්නෙමු.

බුදුරජානන් වහන්සේ

:-

මැනැවි. මැනැවි. අනුරුද්ධයෙනි! යයි වදාළ සේක.

සමග ව එක්සිත් වන්නට පිළිපැදිය යුත්තේ කෙසේ ද, යනු මෙයින් පැහැදිලි වන්නේ ය. සඞ්ඝසාමග්‍රිය සංඝයාගේ පහසුව පිණිස සසුනෙහි කල් පැවැත්ම පිණිස නිවන් පසක් කරණු පිණිස උපකාර වන්නා සේ මහණ-මෙහෙණ උවසු උවැසියන්ගේ හා දෙව් බඹුන් ඈ හැම කෙනෙකුගේ එලොව මෙලොව දියුණුව පිණිස එලොව මෙලොව සැප විහරණය පිණිස වන්නේ යනු දතයුතු ය.

සමග්ගානං තපො සුඛො = සමග වූවන්ට තපස සැප ය. [2]

විශේෂ විසින් භික්‍ෂූන් වහන්සේගේ සමග බව බුදුවදන් උගෙණීමට ධූතඞ්ගපරිහරණයට මහණ දහම් පුරනට ප්‍රබල හේතු බැවින් සමගවූවන්ට තපස සැපැයි වදාළ සේක.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු රහත්බැව්හි පිහිටියාහු ය. දේශනා තොමෝ මහාජනයාට වැඩ සහිත වූ ය.

අසු මහා ශ්‍රාවක වහන්සේලා - 5 (පස්වන ලිපිය ) අනුරුද්ධ මහා රහතන් වහන්සේ

ගිහි ක​ල සිද්ධාර්ථ කුමාරයාගේ ඥාති සහෝදරයෙකු වූ අනුරුද්ධ කුමාරයා පසු කාලයකදී උපාලි කරණවෑමියා, ආනන්ද කුමරු ස​හ දේවදත්ත කුමරු ආදී තමන්ගේ ඥාතී පිරිසක් සමග බුදුරජාණන් වහන්සේ හමුවී පැවිදි බව ලබා ගත්තා. විදසුන් වඩා මහරහත් භාවයට පත්වුණු උන්වහන්සේ දිවැස් ලාභීන් අතර අග්රස්ථානයට පත් වුණා. බුද්ධ පරිනිර්වාණය අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විවිධ සමාපත්තීන්වලට සම වැදෙද්දී උන්වහන්සේ පිරිනිවන් පා ඇතැයි ශිෂ්ය භික්ෂූන් වහන්සේලා සැක පළ කළා. ඒ අවස්ථාවේදී දිවැසින් බලා බුදුරජාණන් වහන්සේ තවම පිරිනිවන් පා නොමැති බවත් විවිධ සමාපත්තිවලට සම වැදී ඇති බව අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්රකාශ කළා. පළමු ධර්ම සංගායනාවෙන් පසුව අංගුත්තර නිකාය ආරක්ෂා කර ගැනීමේ වගකීම අනුරුද්ධ මහරහතන් ​වහන්සේ ප්රමුඛ ශිෂ්ය පරපුරට පැවරුණා.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...