Sunday, February 6, 2022

ද්වේශය දුරු කරන්නේ කෙසේ ද?

 

ද්වේශය දුරු කරන්නේ කෙසේ ද?

තරහව, ද්වේශය, නැත්නම් ක්‍රෝධය, වහා කිපෙන සුළු බව. එහෙම නැතිනම් පටිඝය, මේ කොයි ලෙසින් කීවත් එකම ධර්මතාවයක් තමයි අරමුණු වෙන්නේ. එනම් අරමුණෙහි ගැටෙන ස්වභාවය යි. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසින් කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා අරමුණු සමඟ මනස ගැටෙනවා. එය ප‍‍්‍රතික්ෂේප කරනවා. ඒ ස්වභාවය තමයි ද්වේශය ආදී නම්වලින් හැඳීන්වෙන්නේ.

තරහව උපදින අවස්ථා දහයක් පිළිබඳව, උපදින හේතු දහයක් පිළිබඳ ව ආඝාත වස්තු සුත‍‍්‍රයේ දී බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරනවා. එම හේතු ලෙස, එක් පුද්ගලයෙක් අරමුණු කරගෙන,

මේ පුද්ගලයා මට පෙරත් ද්වේශ කළා.

එහෙම නැතිනම්, පෙරත් මට වැරැදි කළා, දැනුත් වැරදි කරනවා, අනාගතයේදීත් වැරදි කරයි කියලා තමා මුල්කරගෙන තුන් ආකාරයකින් ද්වේශය උපදවා ගන්නවා.

සරල ආකාරයට මෙම කාරණා සම්බන්ධ විස්තරය මෙසේ ය.

අල්ලපු ගෙදර පුද්ගලයා පෙර දවසක මට දොස් කිව්වා. මෙන්න මේ කාරණය තමන්ගේ හිතේ තැන්පත් වෙනවා. අනතුරුව මේ කාරණය හිතේ තැන්පත්වෙලා තියෙන තාක්කල් ඔහු දකින වාරයක් පාසා තමන්ගේ හිතේ මොකක් ද ඇති වෙන්නේ? අප‍‍්‍රසන්න භාවයක්. මේ ආකාරයට තමයි පෙර සඳහන් කළ ද්වේශය හටගන්නේ. එම මොහොතේ කිසිම හැඟීමක් ඇතිවෙන්නේ නැහැ. මොහු මට පෙර මෙහෙම බැන්නා, මොහු මට පෙර ද්වේශ කළා. ඒ කිසිත් මතුවෙලා එන්නේ නෑ. නමුත් දකිනකොට ම එක්තරා අප‍‍්‍රසන්න බවක් ඇතිවෙනවා. ඒ අප‍‍්‍රසන්න බව ඇතිවීමේ මූලික සාධකය මොකක් ද? පෙර දවසක මොහු මට දොස් කිව්වා කියන සංඥාව. ඒ සංකල්පනාව අභ්‍යන්තරයේ උපාදානය වෙලා තියෙනවා. ඒ උපාදානය අභ්‍යන්තරයේ පවතින තාක්කල් නැවත නැවතත් ඔහු දකින, ඔහුගේ කටහඬ ඇසෙන, ඔහු සිහිකරන, ඔහු ගැන කතා කරන මේ සෑම මොහොතක ම තමන්ගේ මනස ඔහුගේ නම සමඟ පවා ගැටෙනවා. නම ඇසූ සැනෙකින් මේ අර කියන පුද්ගලයා කියලා රූපයෙන් ඔහු අරමුණු කරනවා. කටහඬින් ඔහු ව අරමුණු කරනවා. ඒ වාගේ ම හැසිරීම් ආකාරයෙන් අරමුණු කරනවා. තමන්ට බැන්න ආකාරය අරමුණු කරනවා.

මේ සියලු විස්තර රූපයෙන් මනසේ මවාගෙන අර අකුරු ටික දෙස බලාගෙන අපි මනසින් ගැටෙනවා. කෙනෙක් ඔහු පිළිබඳ ව කතා කරනවා අහලා මේ කතා කරන දේ තමන්ගේ කනට ඇසෙන කොට ම අර මුලින් ඔහු තමන්ට කළ අපහාසය, උපහාසය සිහිකරගෙන එයින් චිත්ත රූප මවාගෙන අපි ඔහු සමඟ මනසින් ගැටෙනවා. මෙන්න මේ විදිහටයි මොහු අතීතයේ මට නපුරක් කළා කියලා අප මිනිසුන් සමඟ ගැටෙන්නේ. මේ ආකාරයට අනාගතයේදීත් නපුරක් කරයි කියලා හිතලා මනසින් ගැටෙනවා.

මේ හතර ආකාරයට නිරන්තරයෙන් මනසින් ඇතිකරගනු ලබන ගැටීම් හේතුවෙන් අපේ ශරීරයේ රසායනික ප‍‍්‍රතික‍ි‍්‍රයාවක් සිදුවනු ලබනවා. එමගින් සෛල දහස් ගණනක් එකවර විනාශ වෙනවා. සිතේ ඇතිවන නො සන්සුන්භාවය නිතර නිතර ඇතිවීම හේතුවෙන් හිතේ අසහනය ඇතිවෙනවා. ඒ තුළින් ආහාර අරුචිය, ආහාර දිරවීමේ අපහසුව තුළින් ආතතිය ඇතිවීම. බාහිර පෙනුමට හානි පැමිණීම, තරහව, වෛරය තුළින් බද්ධ වෛරය, සංසාරගත භවය දිග්ගස්සන තරම් හේතුවෙනවා. දිගුකාලීනව මෙම තත්වය පැවතීම තුළින් විශාදය වැනි තත්වයන් ඇතිවිය හැකි යි. මෙවැනි පුද්ගලයන්ගේ අන්තර් පුද්ගල සබඳතාවයන් ඉතා දුර්වල වේ.

තරහව පාලනය කිරීම යනු කාරණා යටපත් කිරීම නොවේ. මෙසේ සිටීමෙන් පුද්ගල ජීවිතයට තර්ජනයක් විය හැකි ය. මෙහි දී පුද්ගලයා නො දැනුවත්ව ම තරහව මනස තුළ තැන්පත් වේ. අනපේක්ෂිත අවස්ථාවක දරුණු ලෙස මෙම තරහව ඔහු තුළින් පිටවිය හැකි ය. මෙහි දී ජීවිතහානි පවා සිදුවිය හැක. ඇතැම් පුද්ගලයෝ තැන නො තැන ගැන සැලකිලිමත් නොවී තමන්ගේ තරහව පිටකරති. එවිට බොහෝ විට සිදුවන්නේ තමන්ගේ චරිතය විනාශ වීමයි. 

නැතිනම් අනෙක් පාර්ශ්වයන් මත පීඩනයන් පිටකිරීම තුළ ඔහු සේසසන් ඉදිරියේ අපහසුතාවට මුහුණ දෙන අතර, ඇතැම්විට ආවේගශීලි වීම. ගුටිබැට හුවමාරුව, මිනීමැරීම, සියදිවි හානිකර ගැනීම දක්වා දුරදිග යා හැක.

වඩා සුදුසු ක‍ර්මය වන්නේ තරහව යම් පමණකට සාමාන්‍ය වූ පසුව ඒ පිළිබඳ ව බුද්ධියෙන් විග‍‍්‍රහ කර බැලීම යි. මෙහි දී තමන් ගැන තමන්ගේ කෝණයෙන් බැලීම පමණක් නො කළ යුතු අතර, දෙවන පාර්ශ්වයන් සිටීනම්, එම පාර්ශ්වයන්ගේ උපකාර ලබාගෙන මධ්‍යස්ථ දෘෂ්ටියකින් බැලීම ඉතා ම වැදගත් වේ.

යම් ස්ථානයක දී තරහව ඇති වූ විගස හැකි ඉක්මණින් නිශ්ශබ්දව එම ස්ථානයෙන් පිටත් වීම කළ යුතු ය. තරහව ඇතිවීමට හේතුව බුද්ධිමත්ව විමසා බැලීම, එසේ ම තරහවට හේතුව යම් පුද්ගලයෙක් නම්, ඔහුත් සමඟ එයට තුඩුදුන් ගැටලුව පිළිබඳ ව සාකච්ඡා කිරීම, තවදුරටත් හිතේ යම් වූ පීඩාවක් පවතින්නේ නම්, තමන්ට හිතවත් අයෙකුට එම ගැටලූව පිළිබඳ ව කියා හිත නිදහස් කරගැනීම සිදු කළ හැකි ය. 

”යෝ කෝපනෙයෙය නකරෝති කෝපං
නකුජ්ඣති සප්පුරිසො කදාචි
කුදෙ ධාපි සො නාවිකරෝති කෝපං
තං වෙ නරං සමණමාහු ලෝකෙ”

කෝප කළ යුතු තැන කෝප නො වෙනවා නම් එයයි සැබෑ ඉවසීම. සමහර කෙනෙකුට අනික් අවස්ථාවල දී කෝප නොවී ඉන්න පුළුවන් විය හැකියි. නමුත් කෝප වෙන්නට කරුණු පැමිණෙද්දිත්, කෝප නොවී ඉන්නට පුළුවන් නම්; එයයි ඉවසීම කියන්නේ.

ආසවක්ඛයා වහං හෝතු

 

ආසවක්ඛයා වහං හෝතු

උපන් මිනිසාට මුණගැසෙන වටිනාම සම්පත බුදුරජාණන් වහන්සේ ය. එහෙත් ඒ බව නො දන්නෝ ඒ සම්පත අතහැර දමති. නො වටිනා දහසකුත් දෑ ළංකර ගන්නට ඉමහත් වෙහෙසක් දරති. අවසානයේ සුන් වූ බලාපොරොත්තු මැද මරු මුව වැද ශෝක කරමින් ජීවිතයෙන් සමුගන්නේ අනාථයන් විලසිනි. 

එනමුත් සරණ පතා තමා වෙත පැමිණි කිසිවෙකුටත් එවන් අනාථ මරණයක් හිමි නො වන්නට මග පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ විමුක්තියේ උදානය ලෙසින් සැදැහැති ජන සන්තානයෙහි අදත් වැඩ සිටින්නේ බුදුගුණ සුවඳ දිගන්තයෙහි විහිදුවමිනි.

නැති බැරිකම් වගේම ඇති හැකිකම් ද එකසේ දුකක් වන්නේ සිතක ඇති කෙලෙස් ධර්ම වල පමණින් ය. 

පුද්ගලයෙකුගේ ජීවිතය හා චින්තනයට අනුව සකස් වූ චර්යාවන් පිළිබඳ මනා අවබෝධයක් නොමැතිකම නිසා නොයෙක් ආකාරයේ පීඩාවන්ට හේතුවන කරුණු තමාම එකතු කොට ගෙන පසුතැවෙනවාට වඩා මිනිස් ජීවිතය අර්ථවත් කරගැනීමට නම් ඒකාන්තයෙන් ම බුදුරදුන්ගේ මාර්ගෝපදේශකත්වය ලබාගත යුතු ය. ඊට අනුව පිළිපැදිය යුතු ය. බුදුරදුන් වදාළ යෝනිසෝ මනසිකාරය තරම් සුවපත් සිතක් ඇති කරදී ජීවිතයෙහි සෑම තත්පරයක් ම අර්ථවත් කරන වෙනයම් ධර්මයක් නොමැති තරම් ය. පුද්ගලයන්ට වැළඳෙන තාක් මනෝ රෝග නිවාරණයට බෙහෙත වන්නේ ද එයයි. යෝනිසෝ මනසිකාරය යනු කුමක්දැයි නො දන්නාකම තරම් අන් ව්‍යසනයක් ද සත්වයන්ට නැත.

යම් අරමුණක් අනුව කල්පනා කරනවිට සිත - කය - වචනය අසංවර කරන අදහස් පහළ වී , එම පුද්ගලයා පවට බර වේ නම්, කාමුකත්වයට, හිංසනයට, සීමාන්තික බවට නැඹුරු වේ නම් ඔහුගේ සිත පවතින්නේ අයෝනිසෝ මනසිකාරය තුළ යි. එසේ නොවී යම් චින්තනයකින් පුද්ගලයා උපශාන්ත පැවතුම් ඇති, අල්ප අවශ්‍යතා ඇති අයෙකු බවට පත් කෙරේ නම්, ඒ තුළ ඇත්තේ යෝනිසෝ මනසිකාරය යි. කෙටියෙන් කිවහොත් නූපන් කෙලෙස් නූපදින හා උපන් කෙලෙස් දුරුවී යන අයුරින් සිතන්නට පුරුදුවීම යෝනිසෝ මනසිකාරය යැයි කිව හැකි ය. සත්ත්වයන්ට අනාදිමත් සසරක උරුම වූ සෑම දුකකට ම හේතුව වන්නේ අයෝනිසෝ මනසිකාරය බව පෙන්වා වදාරණ බුදුරදුන් එය දුරුකිරීමටත්

යෝනිසෝ මනසිකාරය ප‍‍්‍රගුණ කිරීමටත් තුඩුදෙන අයුරින් ගිහියා හා පැවිද්දා විසින් කටයුතු කළ යුතු ආකාරය උගන්වා වදාරා ඇත.

එහිදී ප‍‍්‍රථමයෙන් තම චිත්තාචාරයන්ට හා හැසිරීම්වලට සීමාවක් තබා ගැනීම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි අගෝචරයෙහි හැසිරෙන පුද්ගලයාට ඒ තුළින් ඇතිවන දහසකුත් එකක් කරදර බාධක එම අගෝචරය දුරුකිරීමෙන් ඇති නොවේ. නපුරු සතුන් හා කෲර පවිටු මිනිසුන් ඇති ප‍‍්‍රදේශවලට නො යාම, ආරක්ෂාවක් නැති අනතුරු ඇඟවීම් සහිත ස්ථාන හා මාර්ගයන් කල්තියා හඳුනාගෙන ඉන් ඉවත් වීම, පාප මිත‍‍්‍රයන් හඳුනා ඔවුන් කෙරෙන් ඉවත් වීම, යහපත් මිතුරන් වෙත පැමිණ ඔවුන් ඇසුරු කිරීම වැනි ආරක්ෂාකාරී පැවතුම් ඇති පුද්ගලයාට බොහෝ අනතුරු පීඩා වළක්වා ගත හැකි ය. රාග, ද්වේෂාදී කෙලෙස් ධර්මයන් ද පාලනය කර ගැනීමට ද එම ඇවතුම් හේතුවන නිසා සිත් පීඩා අවම වීමට ද උපකාර වේ. සබ්බාසව සූත‍‍්‍රයේ “පරිවජ්ජනා පහාතබ්බා ධම්මා”

යනුවෙන් වදාරා ඇත්තේ එය යි.

ඉවසීම හෙවත් අධිවාසනය ද පීඩා හිරිහැර අවම කරගැනීමට උපකාර වේ. බොහෝ දෙනාට ඇතිවන දුක් පීඩාවන්ගෙන් බොහෝමයක් පැමිණෙන්නේ නො ඉවසීම හේතුවෙනි. ස්වල්ප දෙයක් නමුත් ඉවසා දරාගත නොහැකි අයට ජීවිතය පුරාවට විඳවීමක් විනා සැපයක් ලද නොහැකි බව තථාගතයන් වහන්සේ වදාළහ. 

සීතල - උණුසුම - බඩගින්න, පිපාසය, මැසි මදුරු පීඩා, නපුරු වචන ඉවසන්නට පුරුදු විය යුතුය. යම් හෙයකින් නො ඉවසන්නා වූ ඔහුට දැවිලි සහිත වෙහෙසකර රාග ද්වේෂාදිය උපදී නම් ඉවසීම නිසාම ඒ සියල්ල දුරුකර දමා බාධක ගණනාවකින් ජීවිතය බේරාගත හැකි වනු ඇත. කෙබඳු තරාතිරමක අයෙකුට වුවද ඉවසීමක් නැත්නම් ඔහුගේ ජීවිතය නො මගකට වැටුනකි. සිතලූවන්ට වසඟගවීම නිසා ඉවසනසුලූ බව නැතිවේ. පව් පුරා හිරේ විලංගුවේ ද, අපා මුඛයට ද වැටෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් ඉවසීමේ හැකියාව නැත්තෝ ය. ”අධිවාසනා පහාතබ්බා ධම්මා” යනුවෙන් තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ඉවසීම දියුණුකර එමගින් දුරුකළ යුතු අයහපත් කායික හා මානසික තත්වයන් පිළිබඳව යි.

ආහාරපාන වස්ත්‍රාභරණ ගේදොර ඉඩකඩම් යාන වාහනාදී වස්තු පරිභෝගය ද අවසිහියෙන් කරන්නාට යෝනිසෝ මනසිකාරය නැතිවීම නිසා අතෘප්තිය, අසහනය, ඉරිසියාව, මසුරුකම, ගුණමකු බව, වැනි බොහෝ මානසික රෝගයන් ඇති වේ. දිරණ මැරෙණ ජීවිතය යම්තමින් කලක් පවත්වා ගැනීමට අවශ්‍ය වන ආහාරපාන, වස්ත්‍ර, නිවාසාදී දෑ සැපයක් යැයි වරදවා ගත්තවුන්ට එනිසා ඇතිවන බලවත් අසහනයන් නිසා මුලූ ජීවිතයම අඳෝනාවක් බවට පත්ව ඇත. බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි ජීවිතය පැවැත්වීම නම් වූ ප‍‍්‍රයෝජනය සලකා ආහාර වස්ත්‍රා‍දිය සොයයි නම්, එය ඔහුට කිසිවිටෙක වෙහෙසකර සෙවීමක් නො වනු ඇත. 

බුදු සසුනේ භික්ෂුව සිව්පස පරිභෝගය තණ්හා මානාදී කෙලෙසුන්ගෙන් සිත කිලූටු නොවන පරිදි සිදුකළ යුතුය. යෝනිසෝ මනසිකාරය උපදවා නුවණින් සලකා ප‍‍්‍රත්‍යවේක්ෂා ඤාණයෙන් යුතුව ප‍‍්‍රත්‍ය පරිභෝගය මගින් නූපන් කෙලෙස් දැවිලි ඇති නො වන බව ප‍‍්‍රත්‍යක්ෂ සත්‍යයකි. මදය හා ප‍‍්‍රමාදය වැඩුණ පසු පුද්ගලයා මුලා වූ මාවතක ගමන් කොට දෙලොවින්ම පිරිහෙන සැටි මහා කරුණාවෙන් පෙන්වා වදාරණ බුදුරදුන් ඉන් බේරීම පිණිස දිවි වැටුම උදෙසා ළංකර ගන්නා සියුම් දෑ යෝනිසෝ මනසිකාරයෙන්ම පරිහරණය කරන්නට උගන්වා වදාරා ඇත. ”පටිසේවනා පහාතබ්බා ධම්මා” යනුවෙන් සබ්බාසව සූත‍‍්‍රයේ සඳහන් වන්නේ එයයි.

දෝස සැලකීම් සහිත වීර්යයෙන් පහකළ යුතු පාපී මානසිකත්වයන් ද යෝනිසෝ මනසිකාරයෙන් හඳුනා ගත යුතුය. සිතක ඇතිවන කාම විතර්කය ඉන් එකකි. පමණ ඉක්මවූ අධික ආසාවන් නිසා සිතේ ඇතිවන අසහනය ආසාවන් අඩුකර ගැනීමෙන් නැතිවී යයි. උපන් කිසිවෙකුට තමා කැමති සියල්ල එලෙසින්ම ලද හැක්කේ නොවේ. සාගරයක් බඳු බලාපොරොත්තු ඇතත් ජීවිත කාලය තුළ සැබෑ වන්නේ අතට ගත් ජල දෝතකටත් වඩා අඩු ප‍‍්‍රමාණයකි. එය සත්‍යයක් වුවද පිළිගැනීමට ඇති නො හැකියාව නිසා කාමුකත්වයට, වෛරයට, හිංසනයට වසඟ වී බොහෝ පිරිසක් වල්මත් ව ඇත.

උපන් රාග සිතිවිලි, වෛර සිතිවිලි, හිංසන සිතිවිලි රස කරමින් සිතේ තබා නොගෙන අභ්‍යන්තර සතුරන් ලෙස සලකා ඉවත් කිරීමට වීර්යය පිහිටුවීම මගින් දුකට පක්ෂ වූ හේතු ගණනාවක මූලච්ඡේදය සිදුවනු ඇත. එමගින් වන පළමු ප‍‍්‍රතිලාභය නිවුන සැනසුන මනෝභාවයක් තමාටම අත්විඳීය හැකි වීමයි. දෙවනුව ඇසුරු කරන්නන්ට ද මහඟු සෙතක් සැලසෙනු ඇත. ”විනොදනා පහාතබ්බා ධම්මා”

නමින් එම කරුණ තථාගත ධර්මයේ සඳහන් වේ. ඉන්ද්‍රිය සංවරය පුරුදු කිරීම ද මෙහිලා සාකච්ඡා කළ යුතු ය . ඇස, කන ආදියෙන් රූප ශබ්දාදී අරමුණු ගෙන රාග ද්වේෂාදී පාපී ධර්ම උපදින අයුරින් කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරය වැඩීමකි. එමගින් අභ්‍යන්තරයම අවුල් වියවුල් ගොඩකට ඇද වැටේ. චක්ෂුරාදී ඉඳුරන්ගේ ද රූපාදී ආරම්මණයන්ගේ ද ඇති ජරා මරණ ලක්ෂණ, සංඛත ස්වභාවය, දුඞඛ ජනන මූලය සැලකීමෙන් අනාත්මීය හේතු - ඵලෝදය, සත්ව පුද්ගල සංඥාවෙන් වරදවා ගෙන ඇති බව තේරුම් ගත හැකිය.

ඒ අනුව කල්පනා කර ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන අතර ඇති සම්බන්ධය යෝනිසෝ මනසිකාරයට නතුකර ජවන් අවස්ථාවන්ට බැස ගන්නා සිත අකුසලයක් නොවීමට වග බලා ගත යුතුය.

සෘජුවම කෙලෙස් නසන වැඩපිළිවෙලෙහි ආරම්භය වන්නේ ද මෙයයි. කාමාවචර වූ ද නුවණින් සිහිකිරීම් ඇත්තා වූ ද චිත්තෝපාදයන් අනවරතයෙන් උපදින්නට සැලැස්වීම උපචාර භාවනාවයි.

මත්තෙහි ”අර්පණා” හෙවත් ධ්‍යාන ප‍‍්‍රතිලාභයට ද මගඵල ලැබීමට ද මේ ඉන්ද්‍රිය සංවරය මහෝපකාර වන බව කිව යුතු ය. ඉන්ද්‍රිය සංවරය පුරුදු කිරීමෙන් දුරුකළ යුතු කෙලෙස් ධර්ම ”සංවරා පහාතබ්බා

ධම්මා” නමින් වදාරා ඇත.

ඉහත කරුණු අනුව ජීවිතය හසුරුවා ගන්නා පුද්ගලයාට ”දස්සනේන පහාතබ්බා ධම්මා” නමින් හඳුන්වන සෝවාන් මාර්ග දර්ශනයෙන් ප‍‍්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම ප‍‍්‍රහාණය පිණිස අවස්ථාව එළැඹේ. ප‍‍්‍රමාණික කාලයක් අඛණ්ඩව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කුසල් සිත වඩමින් කටයුතු කරන විට තථාගත ධර්මය විෂයෙහි දක්ෂයෙක් වේ.

ඒ දක්ෂතාවය ද හුදු ධර්මය ඇසීම් පමණින් ම නොව නුවණින් විමසීමේ හැකියාව ද සහිතව ම දියුණු වූවකි. ඒ හැකියාව නිසා ඔහුට අයෝනිසෝ මනසිකාරය මුල් කොට ඇතිවූ අතීත, වර්තමාන,අනාගත යන කාලත‍‍්‍ර‍ය පිළිබඳ ඇතිවන සොළොස් වැදෑරුම් සැකයන් දුරුකිරීමට හේතුවේ.

මා හට අතීත ජීවිතයක් තිබුණේද? නැතිද? කවරෙක් වීම් ද? කෙසේ වීම් ද? කවරෙක් ව සිට කෙබඳු නමකින් යුතුව උපන්නෙම් ද ? යැයි මෙවන් අදහස් සිතක පහළ වන්නේ හේතු ඵල ධර්මය පිළිබඳව අනවබෝධය නිසා ම ය. යෝනිසෝ මනසිකාරය නිසා සති - සමාධි - ප‍‍්‍රඥා ගුණ මෝරන විට හේතුඵල ඤාණය දියුණු වේ. එවිට ඉහත සඳහන් සැක සංකා පහව යනු ඇත. එපමණක් නොවේ. අනාගත අද්ධය ගැන ද පැහැදිලි විනිශ්චයක් ඇති වේ. කුසල සංස්කාරයන් වැඩූ පසු කාම සුගතියක හෝ රූප ලෝකයකට ප‍‍්‍රතිසන්ධි වශයෙන් එළැඹෙන සැටි බුදුරදුන් වදාරා ඇති නිසා ද, තමාටත් ඒ පිළිබඳ වැටහීමක් ප‍‍්‍රඥාවක් පහළ වූ නිසා ද හේතුඵල දහමක ඇති යථාර්ථවාදී බව පිළිබිඹු වේ. 

ආනෙඤජාභි සංස්ඛාරයක් වැඩූ පසු අරූප ලෝකයකට ප‍‍්‍රතිසන්ධි වශයෙන් එළැඹෙන ආකාරය ද අකුසල සංස්ඛාර නිසා දුගතීන්ට එළැඹෙන ආකාරය ද, දක්නා ශ‍‍්‍රාවකයා තථාගත ධර්මාවබෝධය ලබා ඒ තෙවැදෑරුම් සංස්ඛාරයන් ප‍‍්‍රහාණය කළ පසු ප‍‍්‍රතිසන්ධි - ප‍‍්‍රවෘත්ති විඤ්ඤාණයාගේ ඉපදීමක් නැති බවත්, එවිට ජාතිය සි¼දී යන ආකාරයත් දැකගනී. ජාතිය මුල් කොට උරුම වූ ජරා මරණ දුඞඛය පිටු දැකීමට නම් ජාති නිරෝධයම සිදුකළ යුතුය. එබැවින් මේ උතුම් වැඩපිළිවෙල ජාති නිරෝධගාමිනී ප‍‍්‍රතිපදාව ලෙස ද, ජරා මරණ නිරෝධගාමිනී ප‍‍්‍රතිපදාව වදාරා ඇත.

දේවවාද, මැවුම්වාද, නිර්මාණ වාදයන් පටලවා ගෙන මුලා වූ ජනයාට යෝනිසෝ මනසිකාරය හුරු කරවීමෙන් වත්මන් ජීවිතය පිළිබඳව ද මම වෙමි ද? නොවෙමි ද? කවරෙක් වෙමි ද? කෙසේ වෙමි ද? මේ සත්ත්වයා කොයින් ආවේ ද? කොහි යහි ද? කියා මෙලෙසින් ඇතිවන සියලු සැකයන් පහව යනු ඇත.

ඒත් සමගම ආත්මයක් ඇත, ආත්මයක් නැත යනාදී වශයෙන් ආකාර සයකින් පඤ්ච උපාධානස්ඛන්ධය අරභයා ඇතිවන මිථ්‍යා ග‍‍්‍රහණයන් හෙවත් මිසදිටු වැටහීම් පහව යයි; ඔහු මේ දුකයැයි නුවණින් මෙනෙහි කරයි. දුක්ඛ සමුදය වන්නේ මෙයයි කියා විමසා දැන ගනියි. දුඞඛ නිරෝධය ද අවබෝධ කර ගනී. දුඞඛ නිරෝධයගාමිනී ප‍‍්‍රතිපදාව අංග අටකින් යුක්ත ආර්ය මාර්ගය බව දැක ගනී; දැනගෙන එම මාර්ගයේ ම අප‍‍්‍රමාදී ව ඉදිරියට යන විට පංච උපාධානස්කන්ධ පිළිබඳව පැවති විසි වැදෑරුම් සක්කාය දෘෂ්ඨිය පහව යයි; බුදුරදුන්ගේ ධර්ම මාර්ගය හා ශ‍‍්‍රාවක සංඝරත්නය ගැන අචල ප‍‍්‍රසාදයක් ඇතිවේ. නිවන් පිණිස මෙය හැර අන් මාවතක් නැති බව ප‍‍්‍රත්‍යක්ෂ ලෙසම වැටහී යයි; එවන් අවබෝධයකට පැමිණි ඔහු සෝවාන් ආර්ය ශ‍‍්‍රාවකයා නමින් හඳුන්වයි. අටවන භවයක් කරා නොගොස් සසරින් සමුගන්නා යන අර්ථයෙන්, බුදුරදුන් විසින් ”සත්තක්ඛත්තු පරම” යන ගෞරව නාමයෙන් ඔහු හඳුන්වනු ලබයි.

ඉතා බලවත් යෝනිසෝ මනසිකාරයක් ස්ථිර ලෙසම පිහිටන එම අවස්ථාවට පත් ශ්‍රාවකයා විරාගය හෙවත් නිවනට නැමීගත්, විවේකය හෙවත් කෙලෙසුන්ගෙන් තොරව සිත පැවැත්වීමේ හැකියාව තවදුරටත් දියුණු කළ යුතු ය; ඒ සඳහා යෝනිසෝ මනසිකාරයෙන් අන‍ුග්‍රහ ලද සතිය, ප‍‍්‍රඥාව, වීර්යය, ප‍ී‍්‍රතිය, කාය - චිත්ත සන්සි¼දීම, සමාධිය හා උපේක්ෂාව යන මේ සත් වැදෑරුම් නිර්වාණය පිණිස පවතින අංගයන් වැඩිය යුතු ය. එලෙසින් වැඩුණ සිතට මුලින් අකුණු එළියෙන් දුටු රන් භාජනයක් වැනි නිර්වාණය, පිළිවෙලින් පහන් එළියෙන්, සඳ එළියෙන්, හිරු එළියෙන් දැකීමත් සදිසි සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ග ඤාණය පහළ වී හැම දුක් සිඳී යන පින්බර මොහොත උදාවනු ඇත.

කෙලෙස් බර බහා තැබූ, භව සංයෝජන සිඳ දැමූ, ආශ‍‍්‍රවයන් ක්ෂය වී ගිය ඒ උතුමන් වහන්සේ මහා රහතන් වහන්සේ ම ය. විරාගයේ ද, අවිහිංසාවේ ද, මෛත‍ි‍්‍රයේ ද, කරුණාවේ ද, දයාවේ ද, අනුකම්පාවේ ද,ස්වර්ණමය මූර්තිය වන එවන් උතුමන්ගේ නවාතැන්පළ වන බුදු සසුන බොහෝකල් පවත්වන්නේ උන්වහන්සේලා ම ය. 

ඔබ මා සේ ඒ උතුමෝ පෙර දිනෙක නිවන් පතා ආ ගමනේ දී පින් රැස් කොට එකම අභිලාෂයකට පණ පෙවූහ. එනම් මාගේ මේ පින සව් කෙලෙසුන් නසා දැමීමට හේතුවේවා” හෙවත් ”ආසවක්ඛයා වහං හෝතු” යන මේ පිවිතුරු ප‍‍්‍රාර්ථනාවයි


සත්‍යානුභාවයෙන් සෙත සදන අඟුල්මල් පිරිත

 

සත්‍යානුභාවයෙන් සෙත සදන අඟුල්මල් පිරිත

පුරිස දම්ම සාරථී යනු නව අරහාදී බුදු ගුණවලින් එකකි. බුදුරජාණන් වහන්සේ තුළ දමනය කළයුතු දුර්දාන්තයන් දමනය කිරීමෙහි ඇති සාමර්ථ්‍යය ඉන් අදහස් වෙයි. මෙකී බුද්ධ ගුණය විචිත්‍ර වූ නිදසුන් කතා සහිත ව අතිශයින් ම වර්ණනාත්මක ව හා රසාලිප්ත ව කියැවෙන සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්‍රන්ථය විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණයි. 

අංගුලිමාල දමනය බුත්සරණෙහි අතිශය චමත්කාර ජනක ව, බුදු බැතිය වඩාලමින් ප්‍රකාශිත එක් වෘත්තාන්තයකි. ඒ වූ කලී මැදුම් සඟිය මැදුම් පණ්ණාසකයෙහි එන අංගුලිමාල සූත්‍රය ද වෙසෙසින් ම අට්ඨකතාවෙහි එන එම සුත්‍ර වර්ණනාව ද ඇසුරු කොට ගෙන විද්‍යා චක්‍රවර්තීන් විසින් සිය නිසඟ කවිත්වය ද ප්‍රකට කරමින් කළ අපූර්ව නිර්මාණයකි. ඉහත කී අංගුලිමාල සූත්‍රයෙහි දක්නා නොලැබෙන තොරතුරු රාශියක් අටුවාවෙහි මෙන් ම බුත්සරණෙහි ද දැකගත හැකි ය. විශේෂයෙන් ම අහිංසක නම් කුමරු දිසාපාමොක් ඇදුරු සමීපයේ ශිල්ප හැදෑරීම, සිසුන් ඔහු පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමන් නොමග යැවීම, ගුරුතුමන් විසින් දහසක් ඇඟිලි මාලයකින් ගුරුන් පිදීමට නියම කිරීමාදී තොරතුරු සූත්‍රයෙහි දක්නා නොලැබෙයි. එම තොරතුරු කථා වස්තුව සම්පූර්ණ කිරීමට පුරාණාචාර්යවරුන් විසින් ඇතුළත් කර ඇත. සූත්‍රයෙහි මෙන්ම කතා වස්තුවෙහි ද එන අංගුලිමාල පිරිත ගැබිනි මව්වරුන්ට සෙත් ශාන්ති උදා කර දෙන මහා බලගතු පිරිත් දේශනාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. දැනුදු එය භාවිතයෙහි ඇත. 

සියලු සත්වයන්ගේ සුවසෙත, සැපත පතන මෛත්‍රීය, දුක්ඛිත සත්වයන් කෙරේ අව්‍යාජ ව උපදනා හද කම්පනය නම් වූ කරුණාව, අනුන්ගේ සතුට, සැපත, ජයග්‍රහණය දැක ඊර්ෂ්‍යා නොකොට සතුටට පත්වීම හෙවත් මුදිතාව, සකලවිධ විෂමතා අන්තවාද පසෙක ලූ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයෝ බුදු දහමෙහි එන කේන්ද්‍රීය සාරධර්මයෝ ය. බුදුරදුන් විසින් තමන් ඝාතනය කරන්නට ආ දෙව්දත්ට, නාලාගිරි ඇත් රජුට මෙන් ම, අඟුල් මල් නම් වූ ඒ මනුෂ්‍ය ඝාතකයාට ද, රාහුල කුමරුට ද සම සේ කරුණා මෛත්‍රිය පතුරුවන ලද්දේ ය. දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පයේ පදනම ද මෙම චින්තනය විය යුතු ය. එයට අනුගත වන ක්‍රියාකාරකම් විය යුතු ය. ඒ අනුව එකට එක කිරීමක, පළිගැනීමක ස්වරූපය ගන්න අපරාධකරු නැවත යහපත් පුද්ගලයකු බවට පත්කර ගැන්මට ඉඩක් නොතබන මරණ දඬුවම බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූල වන්නේ ද නැත. බෞද්ධ ඉතිහාසයේ වාර්තා වන අංගුලිමාල නම් සාහසික මහා මනුෂ්‍ය ඝාතකයා නසන්නට කොසොල් මහරජු සියල්ල සූදානම් කොට තිබිණ. එහෙත් කල් ඇතිව ම අඟුල්මල් වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ අවි ආයුධ භාවිතයෙන්, දණ්ඩනයෙන් තොර ව හුදෙක් කරුණා මෛත්‍රියෙන් අඟුල්මල් දමනය කළ සේක. ඔහු කිසි කලෙකත් මතුවට පරපණ නොනසන රහත් උතුමෙකු බවට පත්කළහ. මෙයින් පැහැදිලි වන්නේ කවර අපරාධකරුවකු තුළ වුව ද අහිංසකයෙකු සිටින බව ය. විවිධ හේතු සාධක මත අහිංසක අබිබවා හිංසක නැගී සිටියේ අඟුල්මල් මනුෂ්‍ය ඝාතකයා බිහි කරමිනි. ඔහු පරමාදර්ශී පුද්ගලයෙකු කළ බුදුරජාණන් වහන්සේ කිසි කලෙකත් එවැනි සාපරාධී ක්‍රියාවක් නොකරන තැනට එම චරිතය සංවර්ධනය කළහ. ඔහුගේ ආධ්‍යාත්මය ගොඩනැඟූහ.උන්වහන්සේ අංගුලිමාල නම් ඒ මහා මනුෂ්‍ය ඝාතකයාට රජු විසින් මරණ දඬුවම දීම වළකාලූහ. එහි ලා සක්‍රිය වූයේ ද අර්ථවත් වූයේ ද මෙත්තා, කරුණා දී බ්‍රහ්ම විහරණයන් ය.

අංගුලිමාල සූත්‍රාවසානයෙහි සඳහන් වන පරිදි “යමෙක් පෙර (පළමුව) ප්‍රමාදය හේතුවෙන් සාපරාධී ක්‍රියාවනට පෙළඹුන ද, ඔහු පසුව (දෙවනුව) නොපමා වේ ද (එනම් වරද වරදක් ලෙසින්ම පිළිගනියි ද, තමා කළ වරද තේරුම් ගනියි ද එයින් සපුරා වළකියි ද) හෙතෙම රාහුගෙන් මිදුණු සඳ මෙන් මේ ලෝකය බබුළුවන්නේ ය’” එසේ ම බුදුරජාණන් වහන්සේ තවත් තැනක වදාළ පරිදි යමෙකු විසින් කරන ලද පාප කර්මය පසු කලෙක කුසල කර්මයෙන් එනම්, කළ වරද වටහාගෙන ඉන් මිදී නිවැරැදි ක්‍රියාවෙන් එබඳු වරදක් මතු නොවන සේ වළකාලයි ද හෙතෙම ලොව බබුළුවන්නේ ය. අංගුලිමාල ද එලෙස ලෝකය බබුළුවාලීමේ ආදර්ශය ගෙනහැර පෑවේ ය. මහා අපරාධකරුවෙකු වූ හෙතෙම බුදුන් දැක, සිත් නිවා, සිය වරද වටහා ගෙන, පරමාදර්ශී රහත් උතුමෙකු වූයේ ය. වඩාත් බරපතළ වූ මව මැරීම, පියා මැරීම, රහතුන් නැසීම, බුදු සිරුරේ ලේ සෙලවීම සහ සංඝභේදය යන ආනන්තරිය පව්කම්වලින් එකක් කළ තැනැත්තාට කලණ මිතුරෙකුගේ මඟ පෙන්වීම ඇතත් ඒ පව්කම් වසාලිය නොහැකි බව ද, ඔහුට පිහිටක් නම් නැති බව ද, දෙව්දත් තෙරුන්ට මෙන් මෙලොව දී හෝ පරලොව දී දුක් විපාක ම ලැබෙන බව ද පුරාණාචාර්යවරු පෙන්වා දෙති. අංගුලිමාලයෝ බුදුරදුන්ගේ මහා කරුණා දැළට ම හසුවූවෝ අවසන් මොහොතේ සිදුවිය හැකි ව තිබූ ඒ මහා පව්කම්වලින් ද ගැලවුණෝ ය. ඔහුට ඇති උතුම් කලණ මිතුරෙකු කල් ඇතිව ම හමුවිය. ඒ බුදුරජාණන් වහන්සේ ය.මේ අනුව නිවැරැදි, නිසි මඟ පෙන්වීම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හා යථාවබෝධය ද ඇති තැන මහා අපරාධකරුවෙකු වුව ද ලොව එළිය කරන උතුම් පුද්ගලයෙකු බවට පත් කළ හැකි බව බුදු දහම පෙන්වා දෙයි. දඬුවම, මිනිසෙකු වරදින් මුදවා ගත හැකි එක ම මාර්ගය නොවේ. අංගුලිමාලයන් අපරාධකරුවෙකු බවට පත් කරන ලද්දේ ඔහුගේ චිත්ත සන්තානගත ව පැවති රාග, ද්වේශ,මෝහාදී ක්ලේශ ධර්මයන් ය. එකී කෙලෙස් සිතිවිලි විසින් මෙහෙයවන ලද ඔහු අමනුෂ්‍යයෙකු සේ හැසිරුණේ ය. මහා සාහසිකකම් කළේ ය. සියලු කෙලෙස් නසා බුදුරදුන්ගේ මාර්ගෝපදේශනය අනුව මතුවට කිසිදු පව්කමක්, අපරාධයක් නොකෙරෙන තැනට එනම් මහ රහත් බවට අංගුලිමාලයෝ පත්වූහ. සුප්‍රකට රතන සූත්‍ර දේශනාව අනුව “ඒ (සෝවාන්) පුද්ගල තෙමේ කයින්, වචනයෙන් හෝ සිතින් කෙරෙන්නා වූ සඟවා ගත් පව්කම් නැත්තෙකි. ඔහු වෙතින් එසේ සඟවා ගැන්මක් නොවන්නේ ය. යථාර්ථය දක්නා තැනැත්තා තුළ සඟවා ගත් වරදක් නැත. ඔහු තිදොරින් ම පිරිසුදු ය. විවෘත ය.”

ජනපි‍්‍රය වූ බලගතු අංගුලිමාල පිරිත නම් වූ සත්‍යක්‍රියාව දැක්වෙන්නේ ද අංගුලිමාල සූත්‍රයේ ය. මූඪ ගර්භවැ ප්‍රසව වේදනාවෙන් පෙළෙන එක්තරා ගැහැනියක දුටු අඟුල්මල් තෙරුන් ඒ බව බුදුරදුන්ට සැළ කළ බව ද, ඉන් පසු උන්වහන්සේ විසින් එම සත්‍යක්‍රියාව උගන්වා වදාළ බව ද එහි දැක්වෙයි. “අංගුලිමාලයෙනි. එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව. ඇයට මෙසේ කියව. නැගැණියෙනි. යම් දවසකැ මා ආර්ය ජාතියෙහි උපන්නෙම් ද එතැන් පටන් (දැන දැන) සිතාමතා සත්වයෙකුගේ දිවි තොර නොකෙළෙමි. ප්‍රාණඝාතයක් නොකෙළෙමි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා. ඔබේ කුසට ද සෙත් වේවා” . මේ අංගුලිමාල පිරිත නම් වූ , බුදුරදුන් අංගුලිමාල තෙරණුවන්ට ලබා දුන් සත්‍යක්‍රියා බලය රැගත් ප්‍රකාශයයි. අංගුලිමාල තෙරණුවෝ එම සත්‍යක්‍රියාව සිදු කොට එකී මව සුවපත් කළහ. 

මෙහි ආර්ය ජාතියෙහි උපන් තැන යනු අංගුලිමාලයන් පැවිදිවූ අවස්ථාව ය. ආර්ය ජාතියෙහි ඉපදීම යනු සසුන්ගත වීමයි. ඔහුගේ කළ පව් ගෙවී ගියේ ය. හෙතෙම යළිත් එම පව්කමට නොපෙළඹෙන පැවිද්දෙකු විය. එතැන් පටන් කිසි විටෙකත් සිතාමතා සතෙකු නොමැරූ බව ඇත්තකි. ඒ සත්‍යානුභාවය ඔහුගේ බලය වූයේ ය. මෙහි දී කිව යුත්තක් නම්, සාරිපුත්ත, මොග්ගල්ලානාදී ඕනෑ ම රහතුන් වහන්සේ නමකට මේ සත්‍යක්‍රියාව කළ හැකි වුව ද නොරහත් සිල්වතුන් වහන්සේලා අතර ඕනෑ ම භික්ෂුවකට වුව ද මෙය කළ හැකි වුව ද බුදුරදුන් විසින් පෙර පරපණ සිය ගණනින් නැති කළ සුප්‍රකට මනුෂ්‍ය ඝාතකයෙකු ව සිටි, පසුවැ පැවිදිව රහත් වූ අංගුලිමාල තෙරණුවන්ට ම එය අනුදැන වදාළ බව ය. ඉන් ප්‍රකට කරන ලද්දේ ද පිරිපුන් චරිත සංවර්ධනයට පත් නැවතත් සාපරාදී ක්‍රියාවන් සිදු නොකරන්නෙකු වූ තැනැත්තාට ලෝකයට අපමණ ශාන්තියක් කළ හැකි බව ය. එමගින් අංගුලිමාල තෙරණුවන් සමාජය තුළ මහා ශාන්ති දායකයෙකු ලෙස පිළිගන්නා ලද බවට සැකයක් නැත. එම සත්‍යක්‍රියා සංඛ්‍යාත අංගුලිමාල පිරිත දැනුදු උන්වහන්සේ වෙත මහා ගෞරවයක් හා බලයක් ලබා දී තිබේ. මහා පීඩාවක් වූ ප්‍රසව වේදනාවෙන් පෙළෙන අපමණ මව්වරු අංගුලිමාල පිරිතේ ආශිර්වාදයෙන් දැනුදු සුවපත් වෙති.

කඨින චීවර දානය

 

කඨින චීවර දානය

රේරුකානේ චන්දවිමල මහා නා හිමි



කඨින චීවර දානය යනු විශේෂ චීවර දානයෙකි. එය පෙර වස් වසා පවාරණය කදළ භික්ෂූන්ට වර්ෂයකට එක් වරක් පමණක් දිය හැකි දානයෙකි.

වප් මස අව පෑළවිය දිනයේ පටන් ඉල් මස පුර පසළොස්වක දිනය දක්වා ඇති මසක් වූ කාලය කඨිනය දිය හැකි කාලය ය. ඒ කාලයට චීවර මාසය යි ද කියනු ලැබේ. 

කඨින චීවරය ලැබීම නිසා පස් මසක් ගත වන තුරු භික්ෂූන් වහන්සේලාට විනය ප්‍රතිපත්ති පසක් පිළිබඳ ව විශේෂ පහසුකම් ඇතිවන බැවින් ඒ චීවරය භික්ෂූන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් චීවරයකි. අන් සිවුරු දහසක් ලැබීමෙනුදු භික්ෂූන් වහන්සේට ඒ පහසුකම්වලින් එකකුදු නො ලැබේ. එබැවින් කඨිනය දෙන දායකයන්ට ද අන් සිවුරු පිදීමෙන් ලැබෙන කුසලයට වඩා අනුසස් ඇති කුසලයක් ලැබේ. එය එක්තරා ගරු පුණ්‍යකර්මයකි.

කඨින දිය යුත්තේ මෙසේ ය.

ඇසළ මස අව පෑළවිය දිනයෙහි පෙර වස් එළඹ වප් මස පුර පසළොස්වක පොහෝ දිනයෙහි පවාරණය කළා වූ භික්ෂූන් වහන්සේලා ඇති ස්ථානයකට චීවර මාසය තුළ දී තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණය වන අලුත් වස්ත්‍රයක් සිවුරු කිරීමට වුවමනා ඉදිකටු නූල් පඬු ආදී උපකරණත් සමග සිවුරු කරන භික්ෂූන්ට ආහාර පානාදියත් ගෙන ගොස් ඉතා උදෑසන එය සංඝයාට පූජා කළ යුතු ය. උදෑසන ම පූජා කළ යුත්තේ ඒ වස්ත්‍රයෙන් එදින ම සිවුරක් කර ගත යුතු බැවිනි. කපා මසා ප¾ඩු පොවා අවසන් කළ සිවුරක් ද කඨින චීවරය වශයෙන් පිදිය හැකිය. වැඩ නිම වූ සිවුරකින් කඨිනය පුද කරත හොත් කවර වේලාවක වූව ද පූජා කළාට වරදක් නැත. පරිවාර පරිෂ්කාරයන්ගෙන් යුක්ත කිරීමෙන් කඨින දානය කැමති පමණට මහා දානයක් කර ගත හැකි ය. කලාතුරකින් කරන්නට ලැබෙන මේ පින්කම හැකි තාක් මහත් කොට කිරීම බෞද්ධයන්ගේ සිරිත ය. කඨින චීවරයට පරිවාර පරිෂ්කාර වශයෙන් තවත් සිවුරු ද, ආහාර පාන හා බෙහෙත් වර්ග ද, ඇඳ පුටු මේස ආදි දැව භාණ්ඩ ද, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ද, පිඟන් කෝප්ප සැලි ආදි මැටි බඳුන් ද, කුඩා සැළි, කළ, කල්දේරම් ආදී තඹ පිත්තල බඩු ද, කැති පොරෝ, මන්නා පිහියා, උදලු ආදී යකඩ බඩු ද, ඉදල් මුසුන් වට්ටි පෙට්ටි පෙරහන්කඩ ආදිය ද විහාරස්ථානවලට හා භික්ෂූන් වහන්සේලාට ප්‍රයෝජනවත් තවත් නොයෙක් දේ ද එක්කොට පිදිය හැකි ය. එක් අයෙකු පිදූ කඨින වස්ත්‍රය කපා මසා පඬු පොවා කඨිනස්ථාර විනය කර්මය කරන්නට මත්තෙන් අනෙකෙක් තවත් බොහෝ පරිවාර වස්ත්‍රාදිය සමඟ කඨින වස්ත්‍රයක් ගෙන ආව හොත් සංඝයා විසින් එය ද පිළිගත යුතු බව

“සචේ තස්මිං අනත්ථතෙ එව අඤ්ඤො කඨින සාටකං ආහරති. අඤ්ඤානි ච බහූනි කඨිනානිසංස වත්ථානි දෙති. යො ආනිසංසං බහුං දෙති. තස්ස සන්තකෙන අත්ථරිතබ්බං ඉතරො තථා තථා ඔවදිත්වා සඤ්ඤාපෙතබ්බො” යනුවෙන් විනයෙහි දක්වා තිබේ.

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි

Friday, February 4, 2022

පෙහෙරකෙල්ලගේ මරණය

 

පෙහෙරකෙල්ලගේ මරණය 

අන්‍ධභූතො අයං ලොකො තනුකෙත්‍ථ විපස්සති.

සකුන්තො ජාලමුත්තො’ව අප්පො සග්ගාය ගච්ඡති.

මේ ලොවී මහ ජන තෙම නුවණැස් නැතියෙන් අන්‍ධ ය. මේ මහජනයා අතුරෙහි ස්වල්ප සත්ත්‍වයෙක් ම අනිත්‍යාදි වශයෙන් ස්කන්‍ධපංචකය දක්නේ ය. (ලිහිණිවැද්දකු දැමූ) දැලට හසු වැ එයින් මිදී පලා යන වටුවකු මෙන් (මාරජලයෙන් වැසුනු සත්ත්‍වයන් අතුරෙන්) ස්වල්ප වූ කිසි සත්ත්‍වයෙක් ම (සුෂටු අග්‍ර හෙයින් සග්ග යැ යි කියන ලද) සුගතියට ද නිවනට ද යන්නේ ය.

බුදුරජානන් වහන්සේ අලව් නුවරට වැඩි ගමනෙක එහි වැස්සෝ උන්වහන්සේට ආරාධනා කොට දන් පිළිගැන්නූහ. උන්වහන්සේ වළඳා අවසානයෙහි “ජීවිත ය අස්ථිර ය, මරණය ඒකාන්ත ය, මම මැරෙන්නෙමි, මාගේ ජීවිතය මරණය කෙළවර කොට සිටියේ ය, ජීවිතය අනියත ය, මරණය නියත ය, මේ සැටියෙන් මරණය ගැන නිතර සිහිකළ යුතු ය, යම්කෙනකුන් මරණසතිය මෙසේ නො වඩන ලද නම්, ඔවුහු පසු කල්හි නයකු දැක බියට පත් පුරුෂයකු සේ සන්තාපයට පැමිණෙන්නාහ. මරහඬ නගමින් කලුරිය කරන්නාහ, යම් කෙනෙකුන් මරණසතිය වඩන ලද නම්, ඔවුහු දුරදීම නයකු දැක කෝටුවෙන් ගෙණ වීසි කොට සිටි පුරුෂයකු සේ තැති නො ගන්නෝ ය, බියපත් නො වන්නෝ ය, ඒ නිසා හැම කෙනකුන් මරණසතිය වැඩිය යුතු ය” යි ධර්‍මදේශනා කළ සේක. එහෙත් ඒ දේශනාව ඇසූ හැම දෙනෙක් පෙර සේ ගෙදර දොරේ කටයුතු වලම යෙදී හුන්හ. ඒ දේශනාව අනුව යෙදෙන බවෙක් නො වී ය. එහි එක් සොළොසැවිරිදි පෙහෙර කෙල්ලක්, “බුදුරජානන් වහන්සේගේ දේශනාව කොතරම් අගී ද, උන්වහන්සේ වදාළෝ අපට වැඩ වන්නක් ය, අවැඩට වැටෙන්නක් කවදාවත් නො වදාරණ සේක, එහෙයින් මා මරණසතිය වැඩිය යුතුය” යි දිවා රෑ දෙක්හි ම මරණසතිය වැඩූ ය. බුදුරජානන් වහන්සේ ද දෙව්රම් බලා පෙරළා වැඩි සේක. ඒ තරුණිය ද මරණසතිය වඩමින් තුන් අවුරුද්දක් ම කල් ගෙවූ ය. 

මේ කාලයෙහි දවසෙක බුදුරජානන් වහන්සේ අලුයම් වේලෙහි ලොව බලා වදාරණ සේක් මැය දැක “මැයට කුමක් වන්නේදැ” යි විමසා බැලූහ. එහිදී “ඇය බණ අසා සෝවාන් වන බවත්, ඇය නිසා එහිදී කරණ ධර්‍මදේශනාව මහාජනයාට වැඩ සහිත වන බවත් දැක භික්‍ෂුගණයාත් ගෙණ ජේතවනයෙන් නික්ම අග්ගාලව විහාරයට වැඩි සේක. අලව් නුවර වැස්සෝ ඒ දැන බුදුරජුන් දකිනු රිසියෙන් එහි ගියහ. ගොස් දානමානාදියෙන් උන්වහන්සේට සඞ්ග්‍රහ කළහ. පෙහෙර තරුණිය ද බුදුරජුන් වැඩි බව අසා තුටු සිත් ඇති ව “මා මෙයින් තෙවසකට උඩ දී රන්වන් වූ බුදුරජානන් වහන්සේ දක්නා ලදහ, දැන් උන්වහන්සේගේ සවර්‍ණවර්‍ණ වූ ශ්‍රීදේහය දකින්නට මිහිරි වූ උතුම් දහම් අසන්නට ලබන්නෙමි” යි සිතූ ය. 

එදා පෙහෙරහලට යන ඇයගේ පියා, “දුව! අනුන්ගේ, රෙද්දක් වියනට ගතිමි, එහි තව වියතක් පමණ වියන්නට ඉතිරිව ඇත, අද ඒ ටික වියා අවසන් කළ යුතු ය, ඒ නිසා පිළීවියන සරදඬුවෙහි නූල් ඕතා ගෙණ වහා එව” යි කියා ගියේ ය. එකල්හි ඕ තොමෝ “මම බණ අසන්නට යන්නට සිතා ගෙණ සිටියෙමි, තාත්තා පිළීවියන සරස්දඬුව පිළියෙල කොට ගෙණ එන්නැයි කියයි, දැන් මෙයට කුමක් කෙරෙම් ද, බණ අසන්නට යම් ද, නැත, සරස්දඬුව ගෙණ යම් ද, සරස්දඬුව ගෙණ නො ගියොත්, තාත්තා මට තළන්නේ ය, හොඳයි, තසරය වඩා ගෙණ ගොස් දී පස්සේ බණ අසන්නට යමි” යි සිතා මිටි පුටුවක හිඳ තසරයෙහි නූල් එතුවා ය. අලව් වැස්සෝ බුදු රජුන් වළඳවාලා අවසන් කොට පාත්‍රය ගෙණ අනුමෙවෙනි බණ අසන්නට සූදානම් ව සිටියහ. එකල්හි බුදුරජානන් වහන්සේ “මම මෙ තෙක් දුර තිස් යොදුන් මඟ ගෙවා යම් කුල දැරියක නිසා ආයෙම් නම්, ඈට මෙහි එන්නට තවම ඉඩ නැත්තේ ය, එහෙයින් ඈ මෙහි ආ විටෙක අනුමෙවෙනි බණ වදාරන්නෙමි” යි කිසිත් නො බැණ වැඩ හුන් සේක. 

බුදුරජානන් වහන්සේ කිසිත් නො බැණ වැඩහුන් සේක් ද, ඒ ගැන කිසිත් කියන්නට ශක්තියක් දෙවියන් සහිත ලෝකයෙහි කිසිවකුටත් නැත්තේ ය. පෙහෙරදැරිය, තසරයෙහි නූල් වඩා අවසන් කොට එය පසෙක ලා ගෙණ පෙහෙරහලට යන්නී බුදු රජුන් වැඩ හිඳුනා තැනින් බුදුරජුන් දෙස බල බලා ගියා ය. උන්වහන්සේ ද කර ඔසොවා ඈ දෙස බැලූහ. ඕ තොමෝ බුදුරජුන් බැලු බැල්මෙන් “තමන් දෙස බලා ය” යි දැන පුදුමයි, මෙතරම් මහත් පිරිසක් මැද වැඩ හිඳ මා දෙස බැලීම, එකතින් බුදුරජානන් වහන්සේ තමන්වහන්සේ වෙතට මා පැමිණෙනු බලාපොරොත්තු වන සේකැ, යි තසරය බහා තුබූ පැස පසෙක තබා බුදුරජුන් වෙත ගියා ය. “මෝ තොමෝ මා වෙත නො පැමිණ ගියොත් අනියත ගති ඇතිව පුහුදුන්ව කලුරිය කරන්නී ය, මා වෙත පැමිණ මාගෙන් බණ අසා ගියොත් සෝවන්ව නියතගති ඇතිව කලුරිය කොට තුසිතදෙව්විමන්හි උපදින්නීය” යි දැන බුදුරජානන් වහන්සේ ඈ දෙස බැලූ සේක. එදා ඈ මැරෙණු ඒකාන්ත ය. ඇයට එදා මරණය පැමිණෙනු වළකාලනු නො හැකි ය. 

පෙහෙරදැරිය බුදුරජුන් බැලූ බැල්මෙන් ම බුදුරජුන් වෙත ඇදී ගියා සවණක් රැස් අතරට වැද එයින් සැරහී දොහොත් මුදුනේ තබා වැඳ පසෙකට වී හුන්නී ය. ඒ සා මහත් පිරිසක් මැද එතෙක් වේලා කිසිත් නො බැණ වැඩ හුන් බුදුරජානන් වහන්සේ ඇය වැඳ සිටි කල්හි මෙසේ අසා වදාළ සේක.

බුදුරජානන් වහන්සේ 

:-

ලමයා කොහි සිට ආයෙහි ද? 

දැරිය 

:-

සවාමීනි! මම කොහි සිට ආයෙම් දැයි නො දනිමි. 

බුදුරජානන් වහන්සේ 

:-

හා හොඳයි, දැන් මේ කොතැනක යෙහි? 

දැරිය 

:-

එය ද නො දනිමි ස්වාමීනි! 

බුදුරජානන් වහන්සේ 

:-

නො දනිහි? 

දැරිය 

:-

දනිමි, ස්වාමිනි! 

බුදුරජානන් වහන්සේ 

:-

දනිහි? 

දැරිය 

:-

නො දනිමි, ස්වාමීනි! 

එහි මෙය අසා සිටි මිනිස්සු කෝපයෙන් ඉල්පී ගියෝ “බලා පියවු, ඇරෑගේ හැටි, මේ පෙහෙරකෙල්ල බුදුරජුන් ඉදිරියෙහි කටට ආ ආවක් කියා, මොක ද, මැගේ මේ ඔළමොළ කම්, කොහි සිට ආයෙහි දැ යි ඇසූ කල්හි කියන්නට තුබුනේ පෙහෙරගෙදර සිට ආ බව නේ ද කොතැනක යෙහි දැ? යි ඇසූ වේලේ කිය යුතුව තිබුණේ රෙදි වියන තැනට යන බව නේ ද, එසේ නො කියා මෑ කටට ආ ආ බස්ම කීවා ය” යි කෑකෝ ගසන්නට වූහ. 

බුදුරජානන් වහන්සේ මහජනයා නිශ්ශබ්ද කොට නැවැත “ලමයා, කොහි සිට ආයෙහි දැ” යි මා ඇසූ විට, නො දනිමි, යි කීයෙහි කුමක් නිසා දැ?” යි ඇසූහ. “ස්වාමීනි! තිලෝගුරු හිමියෙනි! ම පියානෙනි! පියානන් වහන්සේ මා පෙහෙරගෙදර සිට ආ බව දන්නා සේක් ය, එසේ දැන, කොහි සිට ආයෙහි දැ, යි විචාළ සේක්, කොතැනින් චුත ව මෙහි උපන්නී දැ, යි මා ලවා කියවනු සඳහාය, යි මට සිතුනේ ය, මම කොතැනින් චුත ව අවුත් මෙහි උපන්මි යි මා නො දන්නා බැවින්, නො දනිමි, යි කීයෙමි” යි ඕ තොමෝ කිවු ය. “බොහොම හරි ලමයා, මා ඇසු ප්‍රශ්නයට පිළිතුරු දුන් සැටි, මාගේ ප්‍රශ්නයට ලමයාගේ පිළිතුර නියම පිළිතුරු” යි බුදුරජානන් වහන්සේ සාධුකාර දුන්හ. 

නැවැත “ආ’ ලමයා! කොතැනක යෙහි, යි මා ඇසූ ප්‍රශ්නයට, නො දනිමි, යි කීයෙහි කුමක් නිසාදැ?” යි ඇසූ කල්හි “ම පියානන් වහන්ස! පියානන් වහන්සේ මා තසරය පැසෙක බහා ගෙණ පෙහෙරහලට යන බව දැන දැන මෙසේ අසා වදාළ සේක් මෙතැන මැරී ගොස් කොතැනක උපදින්නිහි දැ යි, මා ලවා කියවා ගන්නට ය, උත්පත්තිවශයෙන් මෙතැනින් කො තැනකට යනු දැ යි මා නො දන්නා බැවින් නො දනිමි යි. කීයෙමි” යි පෙහෙරිය කිවූ ය. බුදුරජානන් වහන්සේ එවරද ඇයට පෙරසේ වදාරා සාධුකාර දුන්හ. 

නැවැත, “ආ’ ලමයා! මා තෙවන වර නො දනිහි දැයි ඇසූ වචනයට, දනිමි යි කීයෙහි කුමක් සලකා දැ?” යි බුදුරජානන් වහන්සේ ඇසූහ. “ම පියානන් වහන්ස! මා මැරෙණ බව දන්නා බැවින් දනිමි, යි කීයෙමි” යි ඇය කිවූ ය. එවරද බුදුරජානන් වහන්සේ සාධු කාර දුන්හ. 

නැවැත “ආ’ ලමයා! මා සිවුවන වරට ඇසූ දන්නෙහි දැයි යන්නට නො දනිමි යි කීයෙහි, ඒ කුමක් නිසා දැ” යි අසා වදාළ කල්හි “ම පියානන් වහන්ස! මා මැරෙණ බව මුත්, කොයි දවසෙක, කොයි වේලෙක, කොයි පැයෙක මැරෙන්නෙම් දැයි නො දන්නා බැවින් නො දනිමි, යි කීමි” යි පෙහෙර දැරිය කීවා ය. එවරද බුදුරජානන් වහන්සේ ඇයට සාධුකාර දී රැස්ව සිටි පිරිස අමතා “මෙතෙක් දෙනා අනුනට දොඩන්නට ගරහන්නට දන්නා පමණ මුත්, මේ දැරිය කීවා ගැණ කිසිත් නො දන්නහු ය, යමකුට යමක් තේරුම් ගැණිමට නුවණැස නැත්තේ නම්, මසැස තුබුනේ ද ඔහු දෑස් නැති අන්‍ධයෙක් ම ය, යමකුට පැණැස තිබේ නම් ඔහු ම ය ඇස් ඇත්තේ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක. 

අන්‍ධභූතො අයං ලොකො තනුකෙත්‍ථ විපස්සති, 

සකුන්තො ජාලමුත්තොව අපොස්සග්ගාය ගච්ඡතීති. 

මේ ලෝකීය මහාජන තෙමේ අන්‍ධ ය. ටික දෙනෙක් ම වෙසෙසා දකිත්. දැලින් මිදුනු වටුවකු සේ ටික දෙනෙක් ම දෙව් ලොවට යත්. 

අයං ලොකො අන්‍ධභූතො = මේ ලෝවැසිතෙමේ දෑස් නැත්තේ ය. 

මසැස තුබුනේ ද, පැණැස නැත්තේ නම් හේ අන්‍ධයෙකි. ලෝකීයමහාජන තෙමේ එසේ ය. සත්ත්‍වලෝකය “සස්සතො ලොකො අන්තවා ලොකො” යි ගත්තේ එහෙයිනි. නුවණැස නැත්තේ නම්, මසැසින් වැඩෙක් නො වන්නේ ය. සත්ත්‍වලෝකය ශාස්වත ය, කෙළවර ඇත්තේය යි ගත්තේ මසැස ඇති මේ ලෝකයයි. ආර්‍ය්‍යයන් වහන්සේ මේ මහාජන පක්‍ෂයෙහි නො වෙත්. මේ කීම උන්වහන්සේ පිළිබඳ නො වේ. උන්වහන්සේ පැණැස් ඇත්තෝය. අන්‍ධකථාව පෘථග්ජනලෝකය පිළිබඳ ය. මේ දන්නේය. 

“යථා හි නාම ජච්චන්‍ධො නරො අපරිණායකො, 

එකදා යාති මග්ගෙන කුම්මග්ගෙනාපි එකදා” 

උපතින්ම දෑස් නැත්තේ, එහා මෙහා ගෙන යන්නකු නැති කල්හි සමහර වේලක නියම මගිනුත් සමහර වේලක නො මගිනුත් යන්නේ ය. 

“සංසාරෙ සංසරං බාලො තථා අපරිණායකො, 

කරොති එකදා පුඤ්ඤං අපුඤ්ඤම්පි ච එකදා” 

එසේ නුවණැස් නැති අඥජන තෙමේ අර්‍හනමාර්‍ගයට පමුණු වන්නකු නැති විට සසර එහා මෙහා ඇවිදිනුයේ, සමහර කලෙක පින් කරන්නේ ය. සමහර කලෙක පව් කරන්නේ ය. 

“භුත්‍වාතිඝොරම්පි සුදීඝරත්තං 

අනන්තදුක්ඛං භවවාරකෙසු, 

න තත්‍ථ උක්කණ්ට්ඨති බාලසත්තො 

ලද්ධා සඛී තෙනහි තණ්හවිජ්ජා” 

අඥ තෙමේ සසර නැමැති සිරගෙයි ඉතා දිගුකලක් ඉතා දරුණු වූ කෙළවරක් නැති දුක් විඳ ද එහි නො කළකිරෙන්නේය. මෝඩයාට සසර කළකිරීමෙක් නැත. තෘෂ්ණා අවිද්‍යාවනට යටව සිටුනා බැවිනි. 

“යෙනානුභූතං අමිතං ච යත්‍ථ 

පතිට්ඨිතං දුක්ඛමනාදි කාලෙ 

තමෙව පත්‍ථති පුනප්පුනම්පි 

අඤ්ඤාණජාලස්ස යමානුභාවො” 

කොණක් මිම්මක් නැති කාලයෙහි සිට කොණක් මිම්මක් නැති දරුණු දුක් වින්දේ ද, නැවැත නැවැතත් එයම පතන්නේ ය. බලාපොරොත්තු වන්නේ ය. මේ වනාහි අන්‍ධ භාවයේ අනුභාවය යි. 

අන්‍ධ යනු මෙහි නැගී සිටියේ අඥයා උඩ ය. ලෝක ව්‍යවහාරයෙහි ආයේ දෑස් නැත්තා කෙරෙහි ය. “ සුඤ්ඤො අන්‍ධො ද්වයෙනථ” යනු කෝෂාගතය.

පියවි ඇසට වඩා මිනිසාට පැණැසම ශ්‍රේෂ්ඨ වේ. මිනිසා විසින් ලැබිය යුත්තේ ඒමය. හොඳ - නො හොඳ - මග - නො මග - යුතු - අයුතු - නිත්‍ය - අනිත්‍ය - ශුභ - අශූභ - සුඛ - දුක්ඛ - ස්ථිර - අස්ථිර - කළයුතු - නො කළයුතු - වරද - නිවරද - කුසල් - අකුසල් ඈ විසින් මෙලොව හිතයෙහි හා පරලොව හිතයෙහි හා වැටෙන නො වැටෙන හැම දෙයක් පෙන්නුම් කරන්නහු පැණැස බැවිනි. පියවි ඇසින් තොර වූයේ මෙලොව කටයුත්තෙහි ම නො නගින්නේ ය. නො යෙදෙන්නේ ය. පැණසින් තොර වූයේ එලොව මෙලොව දෙක්හි ම නො නගින්නේ ය. නො යෙදෙන්නේ ය. එහෙයින් දෙයකින්ම නො නගින්නහු අන්‍ධ යි හැඳින්වීම යුක්තිතර ය. අන්‍ධවුයේ අන්‍ධභූත නමි. ‘භූත’ යන්නෙහි විශේෂාර්‍ත්‍ථයක් නැත.

ලොක යනු මෙහි සත්ත්‍වලෝකයෙහි වැටේ. ඉන්‍ද්‍රියබද්ධ රූපාරූපධර්‍මසමූහය සත්ත්‍වලෝක නම්. රූපශබ්දාදියෙහි ඇලෙන ගැලෙන මුසපත් වන බැවින් සත්ත්‍වලෝකයි කියනු ලැබේ. එහි සත්ත්‍ව ගණයෙහි කුසල් අකුසල් හා කුසල් අකුසල් විපාක හා දක්නා ලැබේ නුයි ලෝක නම්. “ලොකීයති එත්‍ථ කුසලාකුසලං තබ්බිපාකො චා ති = ලොකො” යනු හා “ ලොකීයන්ති එත්‍ථ පුඤ්ඤපාපඵලානි ලුජ්ජනට්ඨෙනෙව වා = ලොකො” යනු හා නිරුක්ති. මෙසේ බැවින් ඉන්‍ද්‍රියබද්ධ රූපධර්‍ම අරූපධර්‍ම රූපාරූප ධර්‍මයන්ගේ සන්තාන වශයෙන් පවත්නාවුන්ගේ සමූහය සත්ත්‍වලෝක නමැ යි ගතයුතු ය. කාමභව, රූපභව, අරූප භව, එකවෝකාර භව, චතුවෝකාර භව, පංචවෝකාර භව, සඤ්ඤී භව, අසඤ්ඤී භව, නෙවසඤ්ඤීනාසඤ්ඤී භව යන නවවැදෑරුම් භවයන්හි වූ සත්ත්‍වගණයය සත්ත්‍වලෝක.

එත්‍ථ තනුකො විපස්සති = මෙහි ස්වල්ප වූ සත්ත්‍වයෙක් වෙසෙසා දකියි. 

නව වැදෑරුම් සත්ත්‍වාවාසයන්හි වූ සත්ත්‍වගණය මෙතෙක් මහත ය, මෙතෙක් විශාල ය, ගණනින් මෙපමණ ය, යනාදීන් කොණක් කෙළවරක් කිසිලෙසකින් පිරිසිඳුනු නො හැකි ය. සත්ත්‍වවිෂය අචින්ත්‍යයි වදාළෝ එබැවිනි. “මහා ඛො පනායං ලොකසන්නිවාසො” යනු සාධකය. 

ඒ මේ ලෝකසන්නිවාසයෙහි ටික දෙනෙක්ම පංචස්කන්‍ධය දකිත්. පංචස්කන්‍ධයෙහි වෙසෙසා දැක්ම නම් අනිත්‍ය වශයෙන් එහි තතු දැක්මය. කාම, රූප, අරූප භූමීන් පිළිබඳ නාම රූප ධර්‍මයන්ගේ දිරීම, බිඳීම, පෙරළීම, ඔවුන්ගේ ම නිති පෙළීම, වෙහෙසීම, ඔවුන්ගේ ම නො පවත්නා බව දැක්ම ය. මෙසේ පංචස්කන්‍ධය අනිච්චානුපස්සනාවන්ගේ වශයෙන් බලන්නෝ, මේ මිනිසුන් අතර ඉතා ටික දෙනෙක් ම වෙත්. ඒත් එදා ය. අද නම් නැත්තාහු මැයි කියයුතු සේ පෙණෙත්. 

ජාලමුත්තො සකුන්තො ඉව = දැලින් මිදුනු වටුවකු සේ. දැලට හසු නො වී පැන ගිය වටුවකු මෙන්.

දක්‍ෂ වූ ළිහිණිවැද්දකු විසින් දැල් දමා දැලට හසු කොට ගන්නා වටුවන් අතර කිසිවෙක් ම දැලින් මිදී පලා යන්නේ ය. සකුන්ත ශබ්දය අවිශේෂයෙන් පක්‍ෂිවාචක ය. එහෙත් ඇතැම් කෝෂකාරකයෝ ඝොෂ්ටකුක්කුට පක්‍ෂියා ‘සකුන්ත’ යි කියත්. භාෂාවෙහි අවිශේෂයෙන් පක්‍ෂීන් කෙරෙහි වැටුනු තැන් කොතෙකුත් දක්නා ලැබේ. එහෙයින් ‘සකුන්ත’ ශබ්දයෙන් වටුවා ද කිය හැකි ය. අටුවාවේ ආවේ ද එහෙයින් ය.“සක්කොති උදධං ගන්තුන්ති = සකුන්තො” යන නිරුක්ති විසින් ගත්කල සකුන්ත ශබ්දය පක්‍ෂීන් කෙරෙහි යෙදීම වරදෙක් නො වේ. ජාලමුත්තනම්, දැලෙන් මිදුනේ ය. වේගයෙන් පලා යන මෘගාදීන් හසු කොට ගන්නේ ජාල නම්. “ ජෙ සීඝගතෙ ධාවන්තෙ මිගාදයො ලාති ගණ්හාති ති - ජාලං” යනු නිරුක්ති යි. 

අප්පො සග්ගාය ගච්ඡති = ස්වල්ප වූ සත්ත්‍වයෙක් ස්වර්‍ගයට යයි. 

මාරජාලයෙහි බැඳුනු මාරයාගේ පස්කම් ගුණ නැමැති දැලින් වැසුනු දැලට අසු වූ සත්ත්‍වයන් අතර බොහෝ දෙනෙක් ම අපාය යට යෙත්. ඉතා ටික දෙනෙක් ම සවර්‍ගයට යෙත්. නිවන් ලබන්නෝ ඊටත් වඩා ටික දෙනෙක් වෙත්. මෙහිලා මිනිස් ලොවින් චුත ව නැවැත මිනිස්ලොව ම උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් මිනිස් ලොවින් චුත ව නිරයෙහි උපදින්නෝ, තිරිසයෝනියෙහි උපදින්නෝ, ප්‍රේත ලෝකයෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්. එසේ ම මිනිස්ලොවින් චුත ව දෙව්ලොව උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් මිනිස් ලොවින් චුත ව නිරයෙහි, තිරිසන් යෝනියෙහි, ප්‍රේත ලෝකයෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්. එසේම දෙව්ලොවින් චුත ව නැවැත දෙව්ලොව උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් දෙව්ලොවින් චුත ව නිරයෙහි, තිරිසන් යෝනියෙහි, ප්‍රේතලෝකයෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්. එසේ ම දෙව්ලොවින් චුත ව මිනිස්ලොව උපදින්නෝ ටික දෙනෙක් වෙත්. එහෙත් දෙව්ලොවින් ගිලිහී නිරයෙහි, තිරිසන්යෝනියෙහි, ප්‍රේතලෝක යෙහි උපදින්නෝ ඉතා බොහෝ වෙත්, යි යනාදීන් වදාළ දේශනාව සිත්හි දැරිය යුතු ය. අඞ්ගුත්තරනිකායයෙහි එකක නිපාතයෙහි සිවුවන වගෙහි මේ එන්නේ ය. විස්තර විසින් එයින් දන්නේ ය. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි පෙහෙරිය සෝවන් වූ ය. දේශනාව මහාජනයාටත් වැඩ සහිත වූවා ය. යලි ඕතොමෝ පැසත් ගෙණ පියා වෙත ගියා ය. එවේලෙහි ඔහු හිඳගෙණ ම නින්දට වැටී සිටියේ ය. පෙහෙරිය ද එගැණ නො සලකා පැස එළවන ගමනේ පැස්වෙම කෙළවර හැපී හඬ නගා වැටුනී ය. නින්දෙන් පිබිදුනු පෙහෙර තෙමේ ගති නිමිත්තෙන් ම පළමු ලෙසින් දුරදිග your නො බලා සිරදඩුව ඇද්දේ ය. වෙම් කෙළවර ගොස් තරුණියගේ උරෙහි ඇණුනේ ය. එයින් ඕ එතැන ම මැරී වැටුනා ය. පෙහෙර තෙමේ ලේ පෙරා මැරී වැටුනු ඇය දැක හඬමින් වැලපෙමින් “මාගේ මේ ශෝකය සන්සිඳවනට ඉන්නෝ බුදුරජානන් වහන්සේ පමණැ” යි බුදුරජුන් වෙත ගොස් “ස්වාමීනි! මා දුව මළා, ශෝකය නම් නො ඉවසිය හැකි ය” යි හඬ හඬා කියා සිටියේ ය. බුදුරජානන් වහන්සේ ඔහු අස්වසා “මේ අක් මුල් නැති සසර තා දූලාගේ මරණ ගැණ ම වැගිර වූ කඳුළු සිවු සයුරෙහි දියකඳට වැඩිය” යි අනමතග්ගකථාව වදාළ සේක. ඔහු එයින් තුනී වූ ශෝක ඇති ව බුදුරජුන් වෙතින් ලැබූ මහණ උපසපන් බැව් ඇත්තේ නොබෝ දිනකින් රහත් මගට පැමිණියේ ය.

පේසකාරදුහිතෘ වස්තුව නිමි

අසත්පුරුෂ දාන පස

 


අසත්පුරුෂ දාන පස

රේරුකානේ චන්දවිමල මහා නා හිමි

“පඤ්චිමානි භික්ඛවෙ, අසප්පුරිස දානානි, කතමානි පඤ්ච? අසක්කච්චං දානං දෙති, අචිත්තී කත්වා දානං දෙති, අසහත්ථා දානං දෙති. අපවිද්ධං දානං දෙති. අනාගමන දිට්ඨිකෝ දානං දෙති. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච අසප්පුරිස දනානි”. යනුවෙන් ‘අංගුත්තර නිකාය’ පඤ්චක නිපාතයෙහි අසත්පුරුෂ දාන පසක් දක්වා තිබේ. ඒ මෙසේ ය.

ප්‍රතිග්‍රාහකයන්ට සුවසේ වැළඳිය හැකි වන පරිද්දෙන් සකස් නො කොට, නො මනා කොට දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

දාන වස්තුව කෙරෙහි හා ප්‍රතිග්‍රාහකයන් කෙරෙහි ආදර ගෞරවයක් නැතිව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි. සියතින් නොදී වැඩකාරාදී අනුන් ලවා දෙවන දානය එක් අසත්පුරුෂ දානයෙකි. නිතර නොදී නරක් වූ දෙයක් අහක දමන්නාක් මෙන් කලාතුරකින් දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි. මතු පුණ්‍ය ඵලය ලැබීමේ බලාපොරොත්තුව නැති ව දෙන දානය එක් අසත්පුරුෂ දානයෙකි.

දීමට පිළියෙළ කරන ආහාරය මනා වර්ණයෙන් හා ගන්ධයෙන් ද රසයෙන් හා ඕජාවෙන් ද යුක්ත කොට පිළියෙළ කිරීම දාන වස්තුවට ගෞරවාදර කිරීම ය. එසේ නොකොට වැලිකැට, ගල්කැට සහිත ව ලුණු ඇඹුල් නැති ව දානය පිළියෙළ කිරීම දාන වස්තුවට අනාදර අගෞරව කිරීම ය. දෙන කල්හි දීමට සුදුසු උත්තම ප්‍රතිග්‍රාහකයන් සොයා ඔවුනට දීම, ප්‍රතිග්‍රාහකයන්ට ගෞරවාදර කිරීම ය. දෙන දෙය කාහට ගියත් කම් නැතැයි ප්‍රතිග්‍රාහකයන් නො සොයා දුටු කෙනකුට දීම, ප්‍රතිග්‍රාහකයන්ට අනාදර අගෞරව කිරීම ය. ප්‍රතිග්‍රාහකයන්ගේ වැඩ පාඵ වන සැටියට බොහෝ දුර සිට ගෙන්වා දෙන දාන ද ප්‍රතිග්‍රාහකයන් බොහෝ ගණනක් ගෙන්වා සුළු දෙයක් දීම ද තම තමන්ගේ තැන්වල සිසිල් සෙවණේ කරදරයක් නැතිව ආහාරයක් ගන්නා වූ භික්ෂූන්ට එයට ඉඩ නොදී බොහෝ දුර තද අව්වේ ගෙන්වා වෙහෙසවා දෙන දාන ද අසත්පුරුෂ දාන සංඛ්‍යාවට ඇතුළත් වන බව කිය යුතු ය. දන් දෙන කල්හි ඒ දෙන දානය අසත්පුරුෂ දානයක් නොවී සත්පුරුෂ දානයක් වන හැටියට ම දන් දීම කළ යුතු ය. දානය යහපත් වනුයේ ප්‍රතිග්‍රාහකයන්ට එයින් යහපතක් වන සැටියට දුන හොත් ය. ප්‍රතිග්‍රාහකයන්ට අලාභහානි කරදර වන සැටියට දෙන දානයක් නොදීම ම යහපතකි. භික්ෂූන්ට දන් දෙන ඇතැම්හු තමන්ගේ දානය භික්ෂූන් බොහෝ ගණනක් ගෙන්වා ගෙන දෙන්නට කල්පනා කරනවා මිස, ඒවා පිළිගන්නට වඩින භික්ෂූන්ට වන කරදර අලාභහානි ගැන කල්පනා නො කරති. දෙන දානයෙන් ප්‍රතිග්‍රාහකයාට ලැබෙන ලාභයට වඩා මහත් කරදරයක් අලාභයක් වේ නම්, ඒ දීමෙහි කිසි තේරුමක් නැත

පින්කම් කළොත් පුණ්‍යවන්තයෙකු වෙයි

 

පින්කම් කළොත් පුණ්‍යවන්තයෙකු වෙයි


සැවැත්නුවර සුමන සිටුවරයාගේ පුත්‍රයා සුදත්ත නම් විය. ඔහු ගැල් සාත්තුවලින් නොයෙක් ජනපදවලට භාණ්ඩ යැවීමෙන් හා එම ජනපදවල නිෂ්පාදන සැවැත්නුවරට ගෙන්වා අලෙවි කිරීමෙන් ද විශාල ධනවතෙක් බවට පත් විය. කාරුණික හදවතකින් යුත් මොහු අසරණයන්ට විවිධ අයුරින් උදව් උපකාර කළ නිසා අනාථ පිණ්ඩික නමින් ප්‍රකට වූ අතර, ඔහු තුළ පැවැති යහපත් ගති පැවැතුම් නිසාම හැම දෙනාගේ ම ගෞරවයටත් ආදරයටත් පත්විණි. 

මොහුගේ නිවසේ භික්ෂූන් වහන්සේ දෙදහසක් පමණ දිනපතා දන් වළඳති. මේ අයුරින්ම විශාඛා මහෝපාසිකාවගේ නිවසේ ද දෙදහසක් පමණ භික්ෂු නිතිපතා දන් වළඳති. සැවැත්නුවර වැසි බොහෝ ජනයා බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය තම තමන්ගේ නිවෙස්වලට වැඩමවා දානය පිරිනැමීමට කටයුතු කරති. එම අවස්ථාවන්ට සහභාගිවන ලෙස අනේපිඬු සිටුතුමාටත්, විශාඛාවටත් ආරාධනා කරති. මේ දෙදෙනාගේ පැමිණීම ඉතා වැදගත් යැයි ඔවුහු කල්පනා කළහ. ඔවුන්ගේ සහභාගිත්වය නොමැතිව දෙන දානයෙහි බැබළීමක්, වටිනාකමක් නැතැයි සිතූහ. දානය දෙන්නේ කෙසේද? දන් බෙදන්නේ කෙබඳු ආකාරයකට ද? භික්ෂූන් වහන්සේගේ ඕනෑ එපාකම් මොනවාද? එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර මොනවාදැයි මේ දෙපළට ම හොඳ අවබෝධයක් තිබිණි. මේ දෙදෙනා සිටින තැන භික්ෂූන් වහන්සේ ද පි‍්‍රයශීලී ව හොඳින් දානය 

වළඳති. මෙසේ බොහෝ ඉල්ලීම් අනුව පිට නිවෙස්වල දානමය පින්කම් සඳහා නිතර සහභාගි වන නිසා තමන්ගේ සිටු මැදුරුවල නිතිපතා පිරිනමන දානමය පින්කමට සහභාගි විය හැකි අවස්ථා අවම විය. 

මේ ගැන සිතූ විශාඛාව තම සිටු මැදුරෙහි නිතිපතා සිදුකෙරෙන දානමය පින්කම අඩුපාඩුවක් නොමැති ව වගකීමකින් යුතුව ඉටුකරලීම සඳහා තම මිණිබිරියට කටයුතු පැවරී ය. අනේපිඬු සිටුතුමා ද තම සිටු මැදුරේ දානමය පින්කම් වගකීමකින් යුතු ව ඉටු කරන්නට තම දියණිය වූ මහා සුභද්‍රාවට පැවැරුවේ ය. ඇය ඉතා ශ්‍රද්ධාවෙන් ඒ සියලු කටයුතු ඉටු කළා ය. බුදුහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කළා ය. දහම් අසා සෝවාන් ඵලයට ද පත් වූවා ය. ටික කලකින් ඇය විවාහ දිවියට පත් වූ නිසා නිවසේ දානමය පින්කම් හි සියලු කටයුතු සොයා බැලීම සිටුතුමාගේ සුමනා දියණියට පැවැරිණි. ඇය ද බොහෝ ශ්‍රද්ධාවන්ත ය. අනලස් ව සතුටු සිතින් සියලු දේ ඉටු කළා ය. දිනපතාම ධර්මය ශ්‍රවණය කළා ය. හොඳින් ධර්මය අවබෝධ කළ ඇය සකදාගාමී ඵලයට පත් වූවා ය. මේ යුතුකම් හා වගකීම් ඉටුකරමින් කල්ගෙවූ ඇය හදිසියේම බරපතළ ලෙස රෝගී විය. අසාධ්‍ය වූ ඇය තමා වෙත පැමිණෙන ලෙස සිය පියාණන්ට පණිවුඩයක් යැවී ය. ‘දියණියනි, මට එන්නට කීවේ කිමද? වහාම පැමිණ සිටුතුමා ඇසුවේ ය.

‘බාල සහෝදරය, ඔබ කුමක් පවසනවාද?’ ඇයි දියණියනි, මේ විකාරයෙන් දොඩවන්නේ’, “බාල සහෝදරය, මම විකාර නොදොඩවමි”, දියණියනි, ඔබ බියට පත්වීද? නැත මා කුමක් නිසා බිය වන්නද? මෙසේ කී සුමනා සුළු මොහොතකින් මිය ගියා ය. සෝවාන් වී සිටිය ද, තම දියණියගේ අකල් මරණය අනේපිඬු සිටුතුමාට දරාගත නොහැකි විය. ආදාහන කටයුතු නිමවා බුදුරදුන් හමුවට ගොස් ශෝකී මුහුණින් පසෙකට වී සිටියේ ය. 

“සිටුවරය, ඔබ කුමක් නිසා ශෝක වන්නේ ද?” බුදුරදුහු සිටුතුමාගෙන් ඇසූහ. 

‘අනේ, බුදු හිමියණි, මගේ දුවණිය මිය ගියා, ඇයගේ වියෝව මට දරාගන්න අමාරුයි.”

සිටුවරය, අප සියල්ලෝම මරණයට පත්වෙනවා නොවේද? එයින් නිදහස් වන්නට කිසිවෙකුටත් නොහැකියි. ඒ නිසා දුක් වන්න එපා. එය ලෝක සත්වයාට නියත දෙයක්. “බුදුහිමියනි, මගේ ප්‍රශ්නය එය නොවෙයි. ලජ්ජා, භය ඇතිව හැදුණු වැඩුණු මගේ දියණිය අවසන් මොහොතේ නන්දොඩවන්නට පටන් ගත්තා. ඇය මට කතා කළේ බාල සහෝදරයා කියලයි.” දුව නුඹ බියට පත්වුණාදැයි මම ඇයගෙන් ඇසුවෙමි. බිය නොවූ බවද ඇය කීවා. ඒ මොහොතේ ඇය අවසන් ගමන් ගියා.” 

සිටුතුමනි, සුමනාවෝ නන් දෙඩෙව්වා නොවෙයි, බියට පත් වීද නැත. ඇය ඔබට බාල සහෝදරයා යැයි කීවේ කරුණු සහිතවයි. සුමනා සකදාගාමී ඵලයට පත් වූ තරුණියක්. ඔබ පත්ව සිටින්නේ සෝවාන් ඵලයට පමණයි. මේ නිසයි ඇය ඔබට එලෙස ආමන්ත්‍රණය කළේ. වෙනත් හේතුවක් නිසා නොවේ.

අනේ බුදුහිමියනි, මගේ සුමනා දැන් ඉපදී සිටින්නේ කොහේද? 

ඔබගේ පුණ්‍යවන්ත දියණිය තුසිත දෙව්ලොව උපත ලබා සිටින්නී යැයි දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ ‘පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි, පරලොවත් සතුටු වෙයි. දෙලොව ම සතුටු වෙයි, මා විසින් පින්කම් කර ඇතැයි සුගතියට ගියේ ද එහි දීත් සතුටු වෙයි, යන අදහස දක්වන, 

‘ඉධ නන්දති පෙච්ච නන්දති 
කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති 
පුඤ්ඤං මෙ කතන්ති නන්දති 
භිය්‍යො නන්දති සුග්ගතිං ගතො 

යන ගාථා ධර්මය දේශනා කළ සේක. සුමනාවගේ චරිතය දෙස බලන්න. මොන තරම් පින්කම් කළ තැනැත්තියක් ද? ඇය නිතර බුදුරදුන් වෙතින් ධර්මය ඇසුවා ය. දිනපතා භික්ෂූන්ට දානය පූජා කළා ය. සතුටින් දානය පිළිගැන්වූවා ය. භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා සොයා බැලුවා ය. මේ සියලු කටයුතු කළේ ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙනි. මේ ජීවිතය මොනතරම් පුණ්‍යවන්තද? සුමනාවගේ චරිතය අපගේ ජීවිතවලට මහඟු ආදර්ශයකි. ඇයට මෙන් ධනය වියදම් කර ඒ ආකාරයෙන් දානමාන පූජා කිරීම අපට කළ නොහැකි ය. එහෙත් සාමාන්‍ය ජීවිතයේ දී පින්දහම් කිරීමට ධනයම, මුදල්ම අවශ්‍ය නොවේ. ඕනෑකම තිබේ නම් ගෙදර දී වුව ද ඕනෑතරම් පින්කම් කිරීමට පුළුවන. 

සෑම දිනකම උදේ හවස බුදුන් වඳින්න. විනාඩි පහක් පමණක්වත් මෛත්‍රී භාවනාව වඩන්න. මවුපියන්ට, වැඩිහිටියන්ට හැකි පමණින් උදව් උපකාර කරන්න. ගරු කරන්න. මේවාට මුදල් අවශ්‍ය නැත. නිතිපතා ගේ දොර අතුපතු ගා පිරිසුදුව තබා ගන්න. ගෙදරට එන අයට ප්‍රසන්න පරිසරයක් ගොඩනගන්න. මේ පිරිසුදු කිරීම කරන්නේ හැම දෙනාට ම සෞඛ්‍ය සම්පන්න ව, නිරෝගී ව ජීවත් වීම සඳහා යැයි සිතන්න. උයන පිහන විටත් ඒ කාර්යයන් පිරිසුදුව කරන්න. මේවා කරන්නේ අන්‍යයන්ගේ සුවය වෙනුවෙන් යැයි සිතන්න.

පිඟන් කෝප්ප සෝදන විට පවා එසේ සිතන්න. ඔබගේ නිවස ඉදිරිපිට ඇති පාරක්, ඒ කොටස අතුපතු ගා කුණු ඉවත්කර පිරිසුදු කර තැබිය හැකි නම් මොනතරම් හොඳ ද? ගෙදරට එන ආගන්තුකයන් සාදරයෙන් පිළිගන්න, ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරන්න. සුහදව, පි‍්‍රයශීලීව, කතාබහ කරන්න. පවුලේ අයට ලෙඩක් දුකක් ඇති වූ විට කළ හැකි උදව් උපකාර කරන්න. නියමිත වෙලාවට බෙහෙත් ටික දෙන්න. මේ අයුරින් ඔබට ගෙදර දී කළ හැකි දේ බොහෝ ය. අසල් වැසියන් සමග සුහදශීලීව කටයුතු කරන්න. 

මේ අයුරින් අනුන් දෙස බලා ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, දොස් කීම, අඩුපාඩු සෙවීම හොඳ දෙයක්ද? එහි ප්‍රතිඵලය කුමක් වේද? එවැනි පුද්ගලයින් කායික හා මානසික රෝගීන් වීම හැර අසහනයට හා වේදනාවට පත්වීම හැර වෙනත් ප්‍රතිඵලයක් නැත. විවේචනයට ඊර්ෂ්‍යාවට ලක්වෙන පුද්ගලයාට කිසිදු ගැටලුවක් නැත. ඔහු තම කටයුතු හොඳින් කරගෙන යනු ඇත. කොපමණ ඊර්ෂ්‍යා කළත් අසල් වැසි නිවසේ ළමයා ඉගෙන ගනියි. වැරැදි චින්තනයේ ප්‍රතිඵල ඒ ගැන සිතන්නාටම භුක්ති විඳීමට සිදුවනු ඇත. 

වර්තමාන සමාජයේ අපගේ බොහෝ කාර්යයන් තරගකාරී ස්වභාවයක් ගෙන ඇත. බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ අනිත් අයට වඩා ඉහළින් සිටීමටයි. මෙහිදී ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම ක්‍රියාත්මක වනු ඇත. තරගයක් නැතිව අපට අවශ්‍ය දෑ ඉටුකරගත නොහැකිද? මේ ගැන සිතා බලන්න. ජීවිතයේ මූලික පරමාර්ථය විය යුත්තේ සතුටින් ජීවත් වීමයි. එය අවංක, සාධාරණ සතුටක් විය යුතු ය. අද සමාජයේ බොහෝ දෙනා සතුටින් ඉන්න බව පෙන්නුම් කළත් ඔවුන් හදවතින් හඬා වැළපෙනවා. අප මේ යන්නේ අතෘප්තිකර ගමනකි. ලැබෙන සතුට තාවකාලික ය. ඒ සතුට ඉතා ඉක්මනින් අප වෙතින් පලායනු ඇත. 

ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න. ඒ අනුව කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝකය දෙස බලන්න. ඒ අනුව මෙත් සිතින් කතා කරන්න. ඔබ කරන හැම වැඩක් ම මෙත් සිතින් ඉටු කිරීමට උත්සාහවත් වන්න. ජීවිතය ධර්මානුකූලව හැඩගස්වා ගන්න. අන්‍යයන්ට විපතක්, කරදරයක් වූ විට කළ හැකි උදව්ව, උපකාරය අවංක චේතනාවෙන් ඉටු කරන්න. ගෙදර අනෙක් අය තමන්ගේ සිත රිදෙන ලෙස කතා කළත්, කරදරකාරී ප්‍රශ්න ඇති කළත් ඒවා නොසලකා හරින්න. තමන් කරන දේ අනුන්ට කරදරයක් නොවන අයුරින් නිවැරැදිව ඉටු කරන්න. ඔබ දවස පුරා පින් රැස් කරගන්නා පුණ්‍යවන්තයෙකු වනු ඒකාන්ත ය. එලෙස වැඩි වැඩියෙන් පින්කරන්න. ඔබගේ පින්වත් චරිතය තුළින් මෙලොවත් ඔබ සතුටුවනු ඇත. පරලොව ද ඔබ සතුටට පත්වනු ඇත. ඔබගේ සසර ගමන ද පුණ්‍යවන්ත වනු ඒකාන්ත ය

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...