පින්කම් කළොත් පුණ්‍යවන්තයෙකු වෙයි
මොහුගේ නිවසේ භික්ෂූන් වහන්සේ දෙදහසක් පමණ දිනපතා දන් වළඳති. මේ අයුරින්ම විශාඛා මහෝපාසිකාවගේ නිවසේ ද දෙදහසක් පමණ භික්ෂු නිතිපතා දන් වළඳති. සැවැත්නුවර වැසි බොහෝ ජනයා බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය තම තමන්ගේ නිවෙස්වලට වැඩමවා දානය පිරිනැමීමට කටයුතු කරති. එම අවස්ථාවන්ට සහභාගිවන ලෙස අනේපිඬු සිටුතුමාටත්, විශාඛාවටත් ආරාධනා කරති. මේ දෙදෙනාගේ පැමිණීම ඉතා වැදගත් යැයි ඔවුහු කල්පනා කළහ. ඔවුන්ගේ සහභාගිත්වය නොමැතිව දෙන දානයෙහි බැබළීමක්, වටිනාකමක් නැතැයි සිතූහ. දානය දෙන්නේ කෙසේද? දන් බෙදන්නේ කෙබඳු ආකාරයකට ද? භික්ෂූන් වහන්සේගේ ඕනෑ එපාකම් මොනවාද? එහි දී අනුගමනය කළ යුතු චාරිත්‍ර වාරිත්‍ර මොනවාදැයි මේ දෙපළට ම හොඳ අවබෝධයක් තිබිණි. මේ දෙදෙනා සිටින තැන භික්ෂූන් වහන්සේ ද පි‍්‍රයශීලී ව හොඳින් දානය වළඳති. මෙසේ බොහෝ ඉල්ලීම් අනුව පිට නිවෙස්වල දානමය පින්කම් සඳහා නිතර සහභාගි වන නිසා තමන්ගේ සිටු මැදුරුවල නිතිපතා පිරිනමන දානමය පින්කමට සහභාගි විය හැකි අවස්ථා අවම විය. මේ ගැන සිතූ විශාඛාව තම සිටු මැදුරෙහි නිතිපතා සිදුකෙරෙන දානමය පින්කම අඩුපාඩුවක් නොමැති ව වගකීමකින් යුතුව ඉටුකරලීම සඳහා තම මිණිබිරියට කටයුතු පැවරී ය. අනේපිඬු සිටුතුමා ද තම සිටු මැදුරේ දානමය පින්කම් වගකීමකින් යුතු ව ඉටු කරන්නට තම දියණිය වූ මහා සුභද්‍රාවට පැවැරුවේ ය. ඇය ඉතා ශ්‍රද්ධාවෙන් ඒ සියලු කටයුතු ඉටු කළා ය. බුදුහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට උපස්ථාන කළා ය. දහම් අසා සෝවාන් ඵලයට ද පත් වූවා ය. ටික කලකින් ඇය විවාහ දිවියට පත් වූ නිසා නිවසේ දානමය පින්කම් හි සියලු කටයුතු සොයා බැලීම සිටුතුමාගේ සුමනා දියණියට පැවැරිණි. ඇය ද බොහෝ ශ්‍රද්ධාවන්ත ය. අනලස් ව සතුටු සිතින් සියලු දේ ඉටු කළා ය. දිනපතාම ධර්මය ශ්‍රවණය කළා ය. හොඳින් ධර්මය අවබෝධ කළ ඇය සකදාගාමී ඵලයට පත් වූවා ය. මේ යුතුකම් හා වගකීම් ඉටුකරමින් කල්ගෙවූ ඇය හදිසියේම බරපතළ ලෙස රෝගී විය. අසාධ්‍ය වූ ඇය තමා වෙත පැමිණෙන ලෙස සිය පියාණන්ට පණිවුඩයක් යැවී ය. ‘දියණියනි, මට එන්නට කීවේ කිමද? වහාම පැමිණ සිටුතුමා ඇසුවේ ය. ‘බාල සහෝදරය, ඔබ කුමක් පවසනවාද?’ ඇයි දියණියනි, මේ විකාරයෙන් දොඩවන්නේ’, “බාල සහෝදරය, මම විකාර නොදොඩවමි”, දියණියනි, ඔබ බියට පත්වීද? නැත මා කුමක් නිසා බිය වන්නද? මෙසේ කී සුමනා සුළු මොහොතකින් මිය ගියා ය. සෝවාන් වී සිටිය ද, තම දියණියගේ අකල් මරණය අනේපිඬු සිටුතුමාට දරාගත නොහැකි විය. ආදාහන කටයුතු නිමවා බුදුරදුන් හමුවට ගොස් ශෝකී මුහුණින් පසෙකට වී සිටියේ ය. “සිටුවරය, ඔබ කුමක් නිසා ශෝක වන්නේ ද?” බුදුරදුහු සිටුතුමාගෙන් ඇසූහ. ‘අනේ, බුදු හිමියණි, මගේ දුවණිය මිය ගියා, ඇයගේ වියෝව මට දරාගන්න අමාරුයි.” සිටුවරය, අප සියල්ලෝම මරණයට පත්වෙනවා නොවේද? එයින් නිදහස් වන්නට කිසිවෙකුටත් නොහැකියි. ඒ නිසා දුක් වන්න එපා. එය ලෝක සත්වයාට නියත දෙයක්. “බුදුහිමියනි, මගේ ප්‍රශ්නය එය නොවෙයි. ලජ්ජා, භය ඇතිව හැදුණු වැඩුණු මගේ දියණිය අවසන් මොහොතේ නන්දොඩවන්නට පටන් ගත්තා. ඇය මට කතා කළේ බාල සහෝදරයා කියලයි.” දුව නුඹ බියට පත්වුණාදැයි මම ඇයගෙන් ඇසුවෙමි. බිය නොවූ බවද ඇය කීවා. ඒ මොහොතේ ඇය අවසන් ගමන් ගියා.” සිටුතුමනි, සුමනාවෝ නන් දෙඩෙව්වා නොවෙයි, බියට පත් වීද නැත. ඇය ඔබට බාල සහෝදරයා යැයි කීවේ කරුණු සහිතවයි. සුමනා සකදාගාමී ඵලයට පත් වූ තරුණියක්. ඔබ පත්ව සිටින්නේ සෝවාන් ඵලයට පමණයි. මේ නිසයි ඇය ඔබට එලෙස ආමන්ත්‍රණය කළේ. වෙනත් හේතුවක් නිසා නොවේ. අනේ බුදුහිමියනි, මගේ සුමනා දැන් ඉපදී සිටින්නේ කොහේද? ඔබගේ පුණ්‍යවන්ත දියණිය තුසිත දෙව්ලොව උපත ලබා සිටින්නී යැයි දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ ‘පින්කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙයි, පරලොවත් සතුටු වෙයි. දෙලොව ම සතුටු වෙයි, මා විසින් පින්කම් කර ඇතැයි සුගතියට ගියේ ද එහි දීත් සතුටු වෙයි, යන අදහස දක්වන, ‘ඉධ නන්දති පෙච්ච නන්දති යන ගාථා ධර්මය දේශනා කළ සේක. සුමනාවගේ චරිතය දෙස බලන්න. මොන තරම් පින්කම් කළ තැනැත්තියක් ද? ඇය නිතර බුදුරදුන් වෙතින් ධර්මය ඇසුවා ය. දිනපතා භික්ෂූන්ට දානය පූජා කළා ය. සතුටින් දානය පිළිගැන්වූවා ය. භික්ෂූන් වහන්සේගේ අවශ්‍යතා සොයා බැලුවා ය. මේ සියලු කටයුතු කළේ ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙනි. මේ ජීවිතය මොනතරම් පුණ්‍යවන්තද? සුමනාවගේ චරිතය අපගේ ජීවිතවලට මහඟු ආදර්ශයකි. ඇයට මෙන් ධනය වියදම් කර ඒ ආකාරයෙන් දානමාන පූජා කිරීම අපට කළ නොහැකි ය. එහෙත් සාමාන්‍ය ජීවිතයේ දී පින්දහම් කිරීමට ධනයම, මුදල්ම අවශ්‍ය නොවේ. ඕනෑකම තිබේ නම් ගෙදර දී වුව ද ඕනෑතරම් පින්කම් කිරීමට පුළුවන. සෑම දිනකම උදේ හවස බුදුන් වඳින්න. විනාඩි පහක් පමණක්වත් මෛත්‍රී භාවනාව වඩන්න. මවුපියන්ට, වැඩිහිටියන්ට හැකි පමණින් උදව් උපකාර කරන්න. ගරු කරන්න. මේවාට මුදල් අවශ්‍ය නැත. නිතිපතා ගේ දොර අතුපතු ගා පිරිසුදුව තබා ගන්න. ගෙදරට එන අයට ප්‍රසන්න පරිසරයක් ගොඩනගන්න. මේ පිරිසුදු කිරීම කරන්නේ හැම දෙනාට ම සෞඛ්‍ය සම්පන්න ව, නිරෝගී ව ජීවත් වීම සඳහා යැයි සිතන්න. උයන පිහන විටත් ඒ කාර්යයන් පිරිසුදුව කරන්න. මේවා කරන්නේ අන්‍යයන්ගේ සුවය වෙනුවෙන් යැයි සිතන්න. පිඟන් කෝප්ප සෝදන විට පවා එසේ සිතන්න. ඔබගේ නිවස ඉදිරිපිට ඇති පාරක්, ඒ කොටස අතුපතු ගා කුණු ඉවත්කර පිරිසුදු කර තැබිය හැකි නම් මොනතරම් හොඳ ද? ගෙදරට එන ආගන්තුකයන් සාදරයෙන් පිළිගන්න, ඔවුන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරන්න. සුහදව, පි‍්‍රයශීලීව, කතාබහ කරන්න. පවුලේ අයට ලෙඩක් දුකක් ඇති වූ විට කළ හැකි උදව් උපකාර කරන්න. නියමිත වෙලාවට බෙහෙත් ටික දෙන්න. මේ අයුරින් ඔබට ගෙදර දී කළ හැකි දේ බොහෝ ය. අසල් වැසියන් සමග සුහදශීලීව කටයුතු කරන්න. මේ අයුරින් අනුන් දෙස බලා ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, දොස් කීම, අඩුපාඩු සෙවීම හොඳ දෙයක්ද? එහි ප්‍රතිඵලය කුමක් වේද? එවැනි පුද්ගලයින් කායික හා මානසික රෝගීන් වීම හැර අසහනයට හා වේදනාවට පත්වීම හැර වෙනත් ප්‍රතිඵලයක් නැත. විවේචනයට ඊර්ෂ්‍යාවට ලක්වෙන පුද්ගලයාට කිසිදු ගැටලුවක් නැත. ඔහු තම කටයුතු හොඳින් කරගෙන යනු ඇත. කොපමණ ඊර්ෂ්‍යා කළත් අසල් වැසි නිවසේ ළමයා ඉගෙන ගනියි. වැරැදි චින්තනයේ ප්‍රතිඵල ඒ ගැන සිතන්නාටම භුක්ති විඳීමට සිදුවනු ඇත. වර්තමාන සමාජයේ අපගේ බොහෝ කාර්යයන් තරගකාරී ස්වභාවයක් ගෙන ඇත. බොහෝ දෙනෙකු උත්සාහ කරන්නේ අනිත් අයට වඩා ඉහළින් සිටීමටයි. මෙහිදී ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම ක්‍රියාත්මක වනු ඇත. තරගයක් නැතිව අපට අවශ්‍ය දෑ ඉටුකරගත නොහැකිද? මේ ගැන සිතා බලන්න. ජීවිතයේ මූලික පරමාර්ථය විය යුත්තේ සතුටින් ජීවත් වීමයි. එය අවංක, සාධාරණ සතුටක් විය යුතු ය. අද සමාජයේ බොහෝ දෙනා සතුටින් ඉන්න බව පෙන්නුම් කළත් ඔවුන් හදවතින් හඬා වැළපෙනවා. අප මේ යන්නේ අතෘප්තිකර ගමනකි. ලැබෙන සතුට තාවකාලික ය. ඒ සතුට ඉතා ඉක්මනින් අප වෙතින් පලායනු ඇත. ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්න. ඒ අනුව කරුණාවෙන් මෛත්‍රියෙන් ලෝකය දෙස බලන්න. ඒ අනුව මෙත් සිතින් කතා කරන්න. ඔබ කරන හැම වැඩක් ම මෙත් සිතින් ඉටු කිරීමට උත්සාහවත් වන්න. ජීවිතය ධර්මානුකූලව හැඩගස්වා ගන්න. අන්‍යයන්ට විපතක්, කරදරයක් වූ විට කළ හැකි උදව්ව, උපකාරය අවංක චේතනාවෙන් ඉටු කරන්න. ගෙදර අනෙක් අය තමන්ගේ සිත රිදෙන ලෙස කතා කළත්, කරදරකාරී ප්‍රශ්න ඇති කළත් ඒවා නොසලකා හරින්න. තමන් කරන දේ අනුන්ට කරදරයක් නොවන අයුරින් නිවැරැදිව ඉටු කරන්න. ඔබ දවස පුරා පින් රැස් කරගන්නා පුණ්‍යවන්තයෙකු වනු ඒකාන්ත ය. එලෙස වැඩි වැඩියෙන් පින්කරන්න. ඔබගේ පින්වත් චරිතය තුළින් මෙලොවත් ඔබ සතුටුවනු ඇත. පරලොව ද ඔබ සතුටට පත්වනු ඇත. ඔබගේ සසර ගමන ද පුණ්‍යවන්ත වනු ඒකාන්ත ය |
No comments:
Post a Comment