සමුදය සත්‍ය: දුක හටගන්නේ කෙසේදබුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ බෝධිසත්ව අවධි පසුකරමින්, පැමිණ, එදා වෙසක් පුර පසළොස්වක පෝදා අවබෝධ කරගත්තේ මේ ලෝකයේ යථා ස්වභාවය යි. එය හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය හැටියටයි. උතුම් ශ්‍රේෂ්ඨ ධර්මතා හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහි දී අපට පෙන්වා වදාළ සේක. එනම් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙනුයි. දුක්ඛ ආර්ය සත්‍යය යනු, දුක පිළිබඳව තිබෙන යථා ස්වභාවය යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යනු දුක හට ගැනීම පිළිබඳ යථා ස්වභාවයයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය යනු දුක නැති කිරීම පිළිබඳ යථා ස්වභාවය යි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය නම් දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථා ස්වභාවය යි. සමුදය යන්නෙන් හඳුන්වන්නේ හට ගැනීම පිළිබඳව යි. එනම් ඉපදීම පිළිබඳව යි. උප්පත්තිය ලැබීම පිළිබඳව යි. කුමක් ඉපදීම පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව යි. දුක්ඛ සමුදය පිළිබඳවයි. දුක හට ගන්නා හේතු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා දුක හටගන්නවා නෙමෙයි. දුක හට ගන්නේ කොහොමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදීව සොයා, පරීක්ෂා කර නිගමනයකට පැමිණ අපට දේශනා කළා. උන්වහන්සේ විසින් සොයා ගත් දහම එනම්, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය උන්වහන්සේ දකිනවා. ඉතාමත් හොඳින් දකිනවා. සත්වයා දුකට පත්ව ඉන්නවා. දුකට පත්ව සිටිනවා නම් දුක හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ඊළඟ පර්යේෂණය ඒ සඳහායි. එනම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. ආර්ය සත්‍ය නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කළත්, වෙන කෙනෙක් දේශනා කළත් මේ ලෝකයේ යථා ස්වභාවය යි. අදටත් අප කොයිකවුරුත් මේ දුකෙහි වෙළී ඉන්නේ දුක හට ගන්නා දේ අප ළගින් ඉවත් කර ගැනීමට නොහැකි නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක හට ගන්නේ කොහොමද කියන කාරණාව ධම්මචක්කපවත්වන සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක. එනම් බුද්ධත්වයෙන් පසුව ලෝකයා ඉදිරියේ තමන් වහන්සේගේ පළමු ධර්මානුශාසනාව මංගල දේශනාව පවත්වන තැන දී දේශනා කළ සේක. මේ ලෝකයේ යම් කිසි සත්වයෙක් තණ්හාවෙන්, නන්දිරාගයෙන් ඒ ඒ දේ් පිළිබඳව ඇලීම් ඇතිකරගෙන කටයුතු කරනවා නම්, එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මේවා කෙරෙහි ඇලීමෙන් කටයුතු කිරීමෙන් මේ දුක හට ගැනීම සිදුවන්නේ ය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. මේ ලෝකයේ “සමුදය සත්‍යය” නැතිනම් “දුක්ඛ සමුදය සත්‍යයෙන්” ප්‍රධාන වශයෙන් අදහස් වන්නේ තෘෂ්ණාව යි, දුක්ඛ සමුදය නම් දුක හට ගැනීම සිදුවෙනවා. දුක හටගන්නේ කුමක් නිසා ද? තෘෂ්ණාව නිසා. අකුසල මූල ධර්මවල දී ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මුල් ගත් විට මුල් ම කරුණ හැටියට සලකන්නේ ලෝභය යි. එනම් ලෝකයේ දුක හට ගැනීමට තෘෂ්ණාව වගේ ම තවත් සමහර කරුණු අනුසංගික වශයෙන් බලපෑවත් ප්‍රධාන වශයෙන් ඉලක්ක වන්නේ තෘෂ්ණාවයි. ඒ නිසා “තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං” තෘෂ්ණාව ඉවත් කිරීම, තෘෂ්ණාව ක්ෂය කිරීම. නිර්වාණය හැටියට භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක දී සඳහන් කරනවා. තෘෂ්ණාව වැඩිවෙන්න, වැඩිවෙන්න ගැටලු වැඩියි. තෘෂ්ණාව අඩුවෙන්න, අඩුවෙන්න ගැටලු අඩුයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉවත් කළාම අපට ගැටලුවලින් සම්පූර්ණයෙන් ම විනිර්මුක්ත විය හැකියි. යම් කිසි කෙනෙක් පවසනවා නම් අපට හරියට ගැටලු, ප්‍රශ්න කියා එහි යටි අදහස නම් ඔහුට බැඳීම් තිබෙනවා. තෘෂ්ණාව තිබෙනවා. අත්හැරීමේ දක්ෂතාවය පුරුදු කර නැහැ කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සියලු ම දේ පිළිබඳ ව ආශ්වාද වශයෙන් ගැනීම ඒ ගන්නා වූ විරාගය නිරෝධ යැයි පවසන්නේ. අපට පුළුව න් නම් තෘෂ්ණාව නිරෝධයක් බවට පත්කරගන්න, මේ ආශ්වාදය නිරෝධයක් බවට පත් කර ගන්න. එවිට දුක අඩුකර ගැනීම සඳහා, එනම් දුක්ඛ සමුදය සඳහා නොවෙයි දුක්ඛ නිරෝධය සඳහා කටයුතු කරන්න පුළුවන් වෙනවා. ගිහිවේවා, පැවිදි වේවා, දිව්‍ය වේවා මේ කාටත් අංශු මාත්‍රයකින් හෝ තෘෂ්ණා ශක්තියක් තිබෙනවා. මේ තෘෂ්ණාව ලියලන්න ලියලන්න ඒ ඒ අයගේ ඕනෑ එපාකම් වැඩිවෙනවා. පංචස්කන්ධය ගත් විට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සංචිත්තේන පංචු උපාදානස්ඛන්ධා දුක්ඛා” මේ පංචස්කන්ධයම දුකක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්භ, ස්පර්ශ මේ සියල්ලම දුක මතම පිහිටා තිබෙන්නේ දුකින් ම ය. මේ දුක විනිවිදව දකින්න පුළුවන් තරමට අපගේ මනස දියුණු කර නොමැතිකම නිසා ඉන්ද්‍රියන් පිළිබඳව වර්ණනා කරනවා. නමුත් ඒ ඇතුලේ පවතින භයානක දුක පේන්නේ නැහැ. උදාහරණයක් වශයෙන් යම් කිසි රසවත් කැවිලි විශේෂයක් පවතිනවා. එයට කවුරු හෝ විෂ වර්ගයක් කවා තිබෙනවා. නමුත් මතුපිටින් පෙනෙන රසවත් පෙනුම නිසා අපට මේ පිළිබඳව තෘෂ්ණාවක් ඇතිවෙනවා. එය අනුභව කිරීමෙන් දීර්ඝකාලීනව අපට ලබන්න තිබෙන දුක වැසී අර ඉන්ද්‍රියන් පිනවීම සඳහා කටයුතු කරනවා. එනම් එය ආහාරයට ගන්නවා. අවසානයේ දී මාරාන්තික විය හැකියි. මරණාසන්න විය හැකියි. දින කිහිපයක අසනීප නැතිනම් දීර්ඝකාලීන අසනීප තත්ත්වයකට පත්විය හැකියි. ඒ වගේ ම ඉන්ද්රියයන් සතුටු කිරීම සඳහා, පංචකාමය දියුණු කිරීම සඳහා අප ගන්නා උත්සාහයත්, බලාපොරොත්තු සංසාරිකව දීර්ඝකාලීන දුකකට අප පත්කරන්න පුළුවනි. ඒ නිසා අප දක්ෂවෙන්න ඕනේ මේ ඉන්ද්රියයන් පිනවීමේ දී ඉන්ද්රිය අවශ්‍යතා සපිරීමේ දී මේවා මොනතරම් අපේ සංසාර ගමනට බලපානවාද? මේ තුළින් අපගේ දුක කෙතරම් අඩුවැඩි වෙනවාද? දැන ගැනීමට ඒ ගැන පැහිදිලි කිරීමට අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා මේ දුක්ඛ සමුදයය එසේ නැතිනම් දුක ඉපදීමට පළමුවන කරුණ ලෙස දකින්නේ තෘෂ්ණාව යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කාම තණ්හාව එනම්, මේ කාම ලෝකයේ කාම වස්තූන් පිනවීමට අප ගන්නා උත්සාහය යි. ඇස් දෙක පිනවන්න කොතරම් උත්සාහ ගන්නවා ද? කය පිනවන්න කොපමණ වෙහෙස ගන්නවා ද? සමහර විට වැස්සෙ තෙමී, අව්වෙ වේලී, අනුන්ගෙන් බැනුම් අසාගෙන, නොයෙකුත් දුක් විඳගෙන මේ සියල්ලම විඳින්නේ ඉන්ද්රිය සංතර්පනය සඳහායි. නමුත් මේ ඉන්ද්රිය සන්තර්පනයට ගන්නා සමහර දේ සමහර විට වංචනිකව, බොරු කියා, සොරකම් කර ලබා ගන්නවා. මේ සියල්ලම සිදු කරන්නේ තෘෂ්ණාව නිසා මයි. මේ නිසා දුක් ගොඩක් එකතු කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාම තණ්හාව, ඒවගේ ම භව තණ්හා, සමහරවිට බලාපොරොත්තු ගොඩාක් තබාගෙන කටයුතු කරනවා. ඊළඟ භවයන් සුවපත් කර ගැනීම සඳහා. ඊළඟ භවය මීට වඩා දියුණු කර ගැනීම සඳහා ආදී වශයෙන්. භවයන් පිළිබඳව ඇලීමෙන් කටයුතු කරනවා. එයත් එක අතකින් ගත් විට තෘෂ්ණාවක්. ඒ නිසා මේ කවර ආකාරයකින් වේවා කාම, භව, විභව ආදී ආකාර තුනකින් යුක්ත තෘෂ්ණාවන් අයින් කර ගන්නට උත්සාහ කරන්නට පුළුවන් නම්, එය ඉතාමත් වැදගත් වෙනවා. ඒවගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයෙහි ජීවත්වන සත්වයාට හොඳින් ධර්ම ඥානය, නැතිනම් ධර්ම ඥාන චක්සුතය, එනම් ධර්ම ඇස දියුණු කර ගන්න පුළුවන්නම් ඔහු මේ ගන්නා වූ අරමුණුවල දුර්විපාක මොනවාද කියා විනිවිදව දකිනවා. මුලින් සඳහන් කළ රස කැවිල්ල කන්නට කලින් ඒ පිළිබඳව විශේෂඥයෙකුට, නිගමනයක් කරන්න පුළුවන් මේ රස කැවිල්ල කෑමට ගැනීම තුළින් මේ වගේ ආදීනවයන්ට අනාගතයේ දී මුහුණ දෙන්නට සිදුවෙනවා කියා, එය බැලූ බැල්මෙන් ඒ පිළිබඳව අවබෝධයක් නැති, ඒ පිළිබඳ දැනීමක් නැති අයෙකුට හිතළුවක් හැටියට පෙනුණත් එය විහිළුවක් හැටියට පෙනුණත් ඒ පිළිබඳව නියමාකාරයෙන් සිත දියුණු කළ අයෙකුට, ඒ තාක්ෂණය, ඒ විද්‍යාව දියුණු කළ අයෙකුට ඒ පිළිබඳ බියක් ඇතිවෙනවා. අන්න ඒ වගේ ධර්ම ඤාණය, ධර්ම චක්සුතය දියුණු කළ කෙනෙක් මේ පංච ඉන්ද්රියයන් පිනවීමට යෑමේ දී ඔහු අනෙකෙකුට වඩා එහි ප්‍රතිවිපාක දකින්න පටන් ගන්නවා. ඒ නිසා ඔහුට පුළුවන්කමක් ලැබෙනවා, අනෙකා පත්වුණ දුකෙන් මිදෙන්නට. ඒ නිසා හැම වෙලාවක දී ම දුක්ඛ සමුදයට හේතු මොනවාද? දුක් ගොඩකර ගන්නා හේතු මොනවාද? දුක් උපදවන හේතු මොනවා ද? යැයි බලා ඈත්වෙන්න පුළුවන්නම්, දුක්ඛ නිරෝධය සඳහා මාවතක් සකස් කර ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ මුලින් සඳහන් කළ ආකාරයට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ආකාර තුනකින් ගොඩනගා ගන්නවා. එයට හේතුව ධර්මය පිළිබඳව කිඳා බැසගත් නුවණක් නොමැතිකම යි. කිඳා බැසගත් නුවණින් අපට බලන්නට පුළුවන්නම්, මේ දුක්ඛ සමුදය කුමක් ද කියන කාරණය හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. |