Sunday, January 2, 2022

විචාර චක්කය: මෙනෙහි කරන වාරයක් පාසාම මාර්ග සත්‍යයේ ගමන් කරනවා

 විචාර චක්කය: 

මෙනෙහි කරන වාරයක් පාසාම මාර්ග සත්‍යයේ ගමන් කරනවා

සතිපට්ඨාන භාවනා පාඩම තුළින් දීර්ඝ විස්තරයක් දැනගන්න, ඉගෙන ගන්න, භාවනාවට නැඹුරු වී කටයුතු කරන්න පහසුකම් සැලැසුණා. තණ්හාව, දුක් රැස් කරන දේ හැටියට යි සලකන්නේ. සෑම දෙනාම බුදු දහමට ලැදිව කටයුතු කිරීමට නම්, දුක නැති කිරීම සඳහාම මහන්සි ගත යුතු යි. 

තණ්හාව නිරුද්ධ කළ යුතු යි. ඇලීම දුරු කරන්නට, තණ්හාවෙන් මිදෙන්නට, නිර්වාණය සාක්ෂාත් කර ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ නිවැරැදි ප්‍රතිපත්ති මාර්ගයක් අපට දේශනා කර වදාළා. නිවන් සම්පත් ලබන සැවොම දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, සත්‍ය පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, ශාන්ති පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ෂා පාරමිතාව, සම්පූර්ණ කළ යුතු යි. 

පසේ බුදු වන්න කැමැති අය පාරමිතා උප පාරමිතා වශයෙන් විස්සක් සම්පූර්ණ කළ යුතු යි. ලොව්තුරා බුදු වන උත්තමයෙක් නම්, පාරමිතා, උප පාරමිතා, පරමත්ථ පාරමිතා යනුවෙන් තිස් ආකාරයකින් සම්පූර්ණ කළ යුතු යි. ගෞතම බෝසතාණන් වහන්සේ නිවන් මඟට බැසගෙන යද්දී භාවනා පිළිවෙත් මඟ අනුගමනය කළා. ඒ සියල්ලම සතිපට්ඨාන සූත්‍රයට ඇතුළත් වෙනවා. 

විචාර යනු අරමුණේ හැසිරවීම යි. විතර්කයෙන් ගත් අරමුණෙහි හැසිරවීම යි. තණ්හාවෙහි හැසිරවීම යි. එවිට විචාරය කොටස් හයකට බෙදෙයි. රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ඨබ්භ විචාර, ධම්ම විචාර යනුවෙනි. එවිට විචාර චක්කයෙන් ප්‍රකාශ වන්නේ තණ්හාව රැස් කිරීම යි. දුක් රැස් කිරීම යි. තණ්හාව දියුණු කිරීම සහ දුක් රැස් කිරීමයි. මෙහි ප්‍රතිවිරුද්ධ පැත්ත තණ්හාව දුරු කරන්නට හේතු වෙයි. 

මෙම භාවනා පාඩම ගැඹුරු වුවත්, එසේ නො සිතා සුළුවෙන් හෝ මෙනෙහි කර අර්ථය වටහා ගන්න. රූප විචාරය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා රූප විචාරය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ශබ්ද විචාරය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ශබ්ද විචාරය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්මයි. ගන්ධ විචාරය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ගන්ධ විචාරය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස විචාරය මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රස විචාරය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. පොට්ඨටබ්භ විචාරය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා පොට්ඨබ්භ විචාරය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ධම්ම විචාර මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ධම්ම විචාර අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳව ම මෙනෙහි කළ යුතු යි. එවිට ප්‍රිය වූ ස්වභාවය ඇති, මධුර වූ ස්වභාවය ඇති මේ තෘෂ්ණාව හට ගනියි. මෙහි බැසගෙන සිටිනවා. එය ම යි, විචාර චක්කයේ ලක්ෂණය . මේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇතිකරගෙන කරුණු හය හොඳින් මෙනෙහි කළ යුතු යි. රූපයෙන් හට ගන්නා තණ්හාව කෙරෙහි හැසිරවීම යි. ශබ්දයේ හැසිරවීම ආදී අරමුණු හයෙහි සිත හසුරවනවා. එවිට, තෘෂ්ණාව උපදිනවා. ඇසෙන් රූපයක් දුටුවහම , කනෙන් ශබ්දයක් ඇසුවහම , නාසිකාවෙන් සුවඳක් ආඝ්‍රහණය වුණහම, දිවෙන් රස ආහාරයක් ගත්තහම , කයට ස්පර්ශයක් ලැබුණහම , සිතට අනිත්‍ය ධර්ම අරමුණු ලැබුණහම මේවා වෙන වෙනම කල්පනා කර බැලූ විට ප්‍රිය වූ දෙයක්. මිහිරි වූ දෙයක්. තණ්හාව බැසගෙන වාසය කරනවා. එයින් දුක් හටගන්නවා මිස සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කමක් නැහැ. තණ්හාව වැඩි වෙනවා, දුක් රැස් වෙනවා, සසර දිග් වෙනවා. නිවන ඈත් වෙනවා. නිවන් මඟට බැස ගන්න පුළුවන්කමක් නැහැ. නිවන් මඟට බැසගැනීම නම්, සම්මා දිට්ඨි ආදී මාර්ගාංගයන්ට බැසගෙන කටයුතු කිරීම යි. මාර්ගාංග අට බුදු කෙනෙකුයි, ලෝකයට පහදා දුන්නේ. බුද්ධාදී උතුමෝ අනුගමනය කළා, භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ධර්මය ශ්‍රවණය කර, එයට අනුගාමීව කටයුතු කළා. ඒ නිසා ඔබ, අප සැවොම මේ කරුණු හය සිතෙන් මෙනෙහි කරගෙන යනවිට, තණ්හාව නැතිවී යනවා, දුක අවබෝධ වෙනවා. මෙනෙහි කරන වාරයක් පාසාම මාර්ග සත්‍ය ගමන් කරනවා. බෝධි පාක්ෂික ධර්ම තිස් හතත් , පාරමිතාවෝ ත් සම්පූර්ණ වෙයි. 

මේ දේශනාව අවසානයේ ම තිස් දහසක් ස්වාමීන් වහන්සේ රහත් වුණේ තණ්හාව නැති කරලා, දුක අවබෝධ කළා. ඒ ගැන සිතා කල්පනාවෙන්, කවුරුත් මේ කියන තෘෂ්ණාව නැති කරන ක්‍රමයට බැසගත යුතු යි. නුවණ දියුණු කර ගැනීමේ අදහසින් කටයුතු කළ යුතු යි. සීලා දී ප්‍රතිපත්ති ටික හොඳින් දියුණු කරගත යුතු යි. එවිට කරදර , පීඩාවක් නැතිව මේ ගමන ඉදිරියට යා හැකි යි. සමුදය සත්‍ය නිර්දේශය මේ වෙද්දී චක්ක දහයක් සඳහන් කළා. අජ්ඣත්තික ආයතන චක්කය, බාහිර ආයතන චක්කය, විඤ්ඤාණ චක්කය, ථස්ස චක්කය, වේදනා චක්කය, සංඥා චක්කය, චේතනා චක්කය, තණ්හා චක්කය, විතක්ක චක්කය, විචාර චක්කය වශයෙන් චක්ක දහයක් ද කරුණු හැටක් ද උගන්වනු ලබයි. මේ හැටෙන්ම කියන්නේ තණ්හාව උපදින ආකාරය යි. 

තණ්හාව උපදින ආකාර හැටක් පැහැදිලි කරන්නේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පමණ යි. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේ කියැවුණු මේ කරුණු හැට කොළයක සටහන් තබා හෝ එකිනෙක මෙනෙහි කරන්න පුරුදු වන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහා ගැනීමත් වටියි. එක් වරක් මෙනෙහි කළත් පිනක්. දෙවරක්, තුන්වරක්, සියවර, දහස් වර , දස දහස්වර මෙනෙහි කළොත් කොපමණ පිනක් ලැබෙයි ද? ඒ නිසා විවේකයක් ලද විගස මේ අරමුණු හොඳින් මෙනෙහි කර, පුරුදු පුහුණු වන්න. වේලාවක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. යන එන විටදී හෝ නින්දට යන තුරා මේ කරුණු සියල්ල බැරි වුවත් එකක් හෝ මෙනෙහි කරගෙන යන්න. කරුණු හැට ම මෙනෙහි කරන්න පුළුවන් නම්, වටිනවා. එවිට දහම් දැනුමත්, තණ්හාව දුරු කර ගැනීමේ ක්‍රමත්, දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමට පහසුකම්, පහසු විහරණ සැලසෙනවා. මේ ගැන සිතා කල්පනාවෙන්, තම සිතම දියුණු කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වන්න. 

අවසාන මරණ සිත තණ්හාවක් වුණොත් බොහොම බරපතල යි. අපාගත වන්නට වෙනවා, හොඳ සිතකින් අවසන් ගමන ගියොත්, සුගතිගාමී විය හැකි යි. මේවා බුදු දහමෙන් ලබා ගන්නවා මිස, වෙන කිසිම ආගමකින්, දහමකින් ලබන්න බැහැ. සෑම ආගමකම කියන්නේ මරණින් මතු ස්වර්ගයට යන බව යි. ඉන්නකම් පව් වැඩ කරනවා, සතුන් මරණවා, කළ හැකි සියලු පව් වැඩ කර කොහේ සුගතියකට යන්නද? නරකාදී ලෝකවලට ම යනවා මිස, සුගතියකට යන්නට බැහැ. සමහර ශාස්තෘවරු කියන්නේ මරණින් මතු උපතක් නොමැති බව යි. ඒ අයට මේවා තේරුම් බේරුම් කරගන්න හොඳ නුවණක් නැහැ.

බුදුරජාණන් වහන්සේ මේ සියල්ල ප්‍රතික්ෂේප කර, සංසාර ගමනක්, නැවත උපතක්, ජාති – ජරා මරණ, මනු ලොව, සතර අපාය, දෙව් ලොව- බඹ ලොව, පින් –පව්, කර්ම ඵල තියෙන බවට ආදී සෑම දෙයක් පිළිබඳව ම දේශනා කර වදාළා. මේ ලෝකත්, තවත් අනන්ත ලෝකත් ඇති බව බුදු නුවණට පෙනී ගියා. එවැනි උතුමාණන් වහන්සේ නමක් තමයි, අපට භාවනා කමටහන් දේශනා කර දුන්නේ. තණ්හාව හට ගන්නවා, දුක් හට ගන්නවා යනුවෙන් මේවා නැති කරන ක්‍රමය කියා දෙන්නේ බුදු කෙනෙක්ම පමණ යි. ඒ නිසා විචාර චක්කය හොඳින් ප්‍රගුණ කර, එකක් පාසාම හොඳින් මෙනෙහි කරන්න. අවසානයේ සමුදය සත්‍ය නිර්දේශයෙන් සඳහන් කළ කාරණා හැටම පොතක සටහන් තබා හෝ එකක් පාසාම මෙනෙහි කර, සජ්ඣායනා කරගෙන යන්න. ඊළඟට වැටහෙන එක බොහෝ වේලාවක් මෙනෙහි කරගෙන යන්න මහන්සි ගත යුතු යි. 

එවැනි උතුම් දේශනාවක් තථාගත බුදු පියාණන් වහන්සේ පහදා දුන්නා. අපහසු යැයි ද, ගැඹුරු යැයි ද නොසිතා මේවා පුරුදු පුහුණු වුණොත්, සිත දියුණු කරගන්නට, මාර්ග ඵල අවස්ථාවට පත්වීමට පුළුවන්කම තිබෙන්නේ. බුද්ධ ධර්මයේ සඳහන් කරනවා, ආත්ම හතකින් උපත නතරව සෝවාන් මාර්ගඥානය ලැබුවහම. ඇතැම් විට ආත්ම දෙක තුනකින් වෙන්නත් පුළුවන්. එක් භවයක යි, සකදාගාමී උතුමෝ මනුලොව වාසය කරන්නේ. අනාගාමී උතුමෝ මනු ලොව වාසය නොකරම ශුද්ධාවාස බඹලොවදී උපත ලබා එහි දී රහත් වනවා. රහතන් වහන්සේ නැවත උපදින්නේ ම නැහැ. ඒ උන්වහන්සේගේ අවසන් ආත්ම භාවය යි. මෙවැනි උත්තරීතර දේශනාවක් බුදු කෙනෙකුට හැර කාටවත් කියන්න බැහැ. පසේ බුදුවරු ලොව වාසය කළත්, ඒ අයට මාර්ගඵල අවස්ථාවට පත් කරන්න බැහැ. තමාගේ පුණ්‍ය ශක්තිය අනුව පසේ බුදු වනවා මිස පසේ බුද්ධත්වයට තව කෙනෙකු පත් කරන්න පුළුවන්කමක් නැහැ. ලොවුතුරා බුදු කෙනෙක් මනුස්සයෝ ද , දෙවියෝ ද , බ්‍රහ්මයෝ ද සූවිසි අසංඛ්‍යෙයක් සත්ත්වයන් නිවනට පත් කර තිබෙනවා. 

මේ ගැන කවුරුත් දැනුම වැඩිකර සීලා දී ප්‍රතිපත්ති ටික ද වැඩිකර , තමන්ට උතුම් නිවන් මඟ පිරිසුදුවට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පාඩම හොඳින් තේරුම් කරගෙන අඩුපාඩුකම් ඇත්නම්, ඒවා යටකර දමා තණ්හාව නැති කර ගැනීම සඳහා උත්සාහ කළ යුතු යි. යටත් පිරිසෙන් තණ්හාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් හෝ මෙනෙහි කරන්න පුළුවන්නම් එය ප්‍රමාණවත්. මේ පාඩම දිගට ගෙනයන්නට පුළුවන් අය කරුණු හැටම මෙනෙහි කරලා අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් සැලකිය යුතු යි. එවිට ඒ මොහොතේ තණ්හාව, තරහ, වෛර, ක්‍රෝධ කිසිවක් නැහැ. ඒ මොහොතේ සිත බොහොම පිරිසුදු යි. මේ ගැන හොඳ කල්පනාවෙන් ගැඹුරු දේශනාවක් වූ සතිපට්ඨාන සූත්‍ර දේශනාව හොඳට දැන කියාගෙන බුදු දහමට ලැදිව කටයුතු කර තම ගුණ ධර්ම ද , ශීල - සමාධි – ප්‍රඥා ගුණ ධර්මයන් ද දියුණුවෙන් අදට වඩා හෙට, හෙට ට වඩා අනිද්දා, සියලුම පාරමිතා ගුණ හොඳින් දියුණුවෙන් පාරමී ගුණ සම්පත් හොඳට වඩා වර්ධනය කර මෙලොව ජීවිත හොඳින් සකස් කරගෙන සංසාර ගමන කෙටි කර ගැනීම සඳහා අධිෂ්ඨානය සිතෙහි තබා ගෙන නිවන් සුවයම ප්‍රාර්ථනා කළ යුතු යි. භාවනාවෙන් දෙව්ලොව, බඹලොව ප්‍රාර්ථනා නොකර නිවන් සැප ලැබේවා යන පැතුම ම සිතෙහි තබාගෙන කවුරුත් බණ , භාවනා කටයුතු දියුණු කළ යුතු යි.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...