Tuesday, January 4, 2022

උස්සංඛපාදො ච උද්ධග්ගලොමො ච

 

උස්සංඛපාදො ච උද්ධග්ගලොමො ච

උස්සංඛපාදො ච හොති
උද්ධග්ගලොමො ච

“යම් පි, භික්ඛවෙ තථාගතො පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකෙතං පුබ්බෙ මනුස්සභූතො සමානො”

තථාගතයන් වහන්සේ පෙර මනුෂ්‍ය ආත්මයන් හි වාසය කරන සමයෙහි “බහුනො ජනස්ස අත්ථූපසංහිතං, ධම්මූපසංහිතං වාචං හාසිතා අහොසි” බොහෝ ජනයාට අර්ථ සහිත, ධර්ම සහිත වචන ම ප්‍රකාශ කළ සේක.

බොහෝ විට කතා කරන්නේ, පින් පව්, කුසල් අකුසල්, ගැන. ඒ වගේ ම අර්ථ සහිත, ධර්මය සහිත වචනම ප්‍රකාශ කළ නිසා, බොහෝ ජනතාවට හිතවත් ව කතා කළ නිසා, බොහෝ මිත්‍රශීලිව කතා කළ නිසා, සිත රිදෙන ආකාරයට, සිතට අකැමැත්තක් ඇතිවන ආකාරයට, ධර්ම කතිකාවන්ට බාධාවක් ඇතිවන ආකාරයට කිසිම වෙලාවක කිසිම අවස්ථාවක කතාවක් කතා නොකළහ. 

‘බහුජනං නිදංසෙයි’ බොහෝ ජනතාවට හිතවත් ව කතා කළ නිසා, ‘පාණීනං හිතසුඛාවහො ධම්මයාගී” ප්‍රාණීන්ට සැප ගෙනදෙන ධර්ම යාගය සිදු කළ නිසා මෙහි යාගය නම් බොහෝ සෙයින් ම කළා කියන අර්ථයයි. බෝසතාණන් වහන්සේ පෙර ජීවිතවල ධර්ම දානය සිදු කර තිබෙනවා. ධර්ම දේශනා කර තිබෙනවා. ඒ වගේ ම බොහෝ සෙයින් ම ධර්ම දානයට උදව් කර තියෙනවා.

බෝසතාණන් වහන්සේ පෙර ජීවිතයන්හි ධර්මදානය, සිදු කළා. බොහෝ ජනයාට අර්ථ සහිත දේ කතා කළා. ධර්මය සහිත වචන ම කතා කළා. ජනයාට හිතවත් වචන කතා කළා. යහපත ගෙන දුන්නා. නරකයෙන් ඈත් කරවූවා. අකුසලයෙන් ඈත් කර වූවා. පවෙන් ඈත් කර සංසාරේ සැපගෙන දෙන ධර්ම දේශනාවන් පැවැත්වූ වා.

‘සො තස්ස කම්මස්ස කටත්තා.... පෙ....සො තතො චුතො ඉත්ථත්තං ආගතො සමානො ඉමානි ද්වෙ මහාපුරිසලක්ඛණානි පටිලභති” මේ කර්මය කරන ලද හෙයින්, රැස් කරන ලද හෙයින්, එසවෙන ආකාරයට රැස් කරන ලද හෙයින්, පැතිරෙන ආකාරයට රැස් කරන ලද හෙයින්, සාරා සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පුරාවට ම මෙම සතර ආකාරයෙන් පුණ්‍ය කර්මය සිදු කර මරණයට පත්ව දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලබා, නැවතත් මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබා සිදු කළ පුණ්‍ය කර්මය සිදු කළ උත්තමයන් වහන්සේ “උස්සංඛපාදො ච” ගොප් ඇටය උඩින් පිහිටන ලක්ෂණයත්, “උද්ධග්ගලොමො ච” රෝමයන් උඩු අතට යොමු ව පිහිටීමත් යන මහා පුරුෂ ලක්ෂණ දෙක ලබනවා.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ගොප් ඇටය පතුලට වඩා ඉහළින් පිහිටා තිබෙන්නේ. ඒ නිසා ඕනෑම අතකට ශ්‍රී පතුල හැරවීමට පුළුවනි. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෙන් නොව ශ්‍රී ශරීරයේ රෝම කූපයන් උඩු අතට යොමු ව පවතිනවා. 

සො තෙහි ලක්ඛණෙහි සමන්නාගතො, සචෙ අගාරං අජ්ඣාවසති, රාජා හොති චක්කවත්තී’...පෙ...රාජා සමානො කිං ලභති?” මේ ලක්ෂණ දෙක ලබන පුද්ගලයා ගිහි ගෙදරක වාසය කරන්නේ නම්, සක්විති රජ වෙනවා. සක්විති රජු වූ විට කුමක් ද ලබන්නේ? “අග්ගොච” සියල්ලන්ට ම අග්‍ර වෙනවා. ‘හොති සෙට්ඨො ච” සියල්ලන්ට ම ශ්‍රේෂ්ඨ වෙනවා. ‘පාමොක්ඛො ච” සියල්ලන්ට ම ප්‍රමුඛ වෙනවා. “උත්තමො ච” සියල්ලන්ට ම උත්තම වෙනවා. “පවරො ච කාමභොගීනං” කාමභෝගීන් අතර අති උතුම් වෙනවා.

“රාජා සමානො ඉදං ලභති...බුද්ධො සමානො කිං ලභති? ගිහි ගෙය අත්හැර බුද්ධත්වයට පත් වූ පසු මොනවාද ලබන්නේ. “අග්ගො ච, “සෙට්ඨො ච, පාමොක්ඛො ච, උත්තමො ච”, එනම් අග්‍රවෙමි, ශ්‍රේෂ්ඨ වෙමි. ප්‍රමුඛ වෙමි. උත්තම වෙමි. “ පවරො ච සබ්බසත්තානං” සියලු සත්වයන්ට අති උතුම් වෙනවා. සක්විති රජ කෙනෙක් අග්‍ර වන්නේ, ශ්‍රේෂ්ඨ වන්නේ, උත්තම වන්නේ, ප්‍රමුඛ වන්නේ මනුෂ්‍ය ලෝකයේ සත්ත්වයන්ට පමණි. එනම් කාමභෝගීන් ට පමණයි උතුම් වන්නේ. මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබා ගෞරව කරනවා නම්, ඒ සියලු දෙනා ගෞරව කරන්නේ භාග්‍යවතුන් වහන්සේට. 

මෙම අවස්ථාවට අමතර කාරණාවක් එක් කරන්නේ නම්, භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත්ව, උන්වහන්සේ ලෝකය දෙස බලනවා මම කාට ද ගරු කරන්න අවශ්‍ය යැයි කියා. ඒ අවස්ථාවේ දී උන්වහන්සේ මනුෂ්‍ය ලෝකය දෙස හා සක්වල දෙස බලනවා. කවුරුත් නැහැ. විවිධ විවිධ දිශාවන් දෙස බලනවා. කවුරුත් නැහැ. මෙය කෙසේ වූව ද උන්වහන්සේ මවු කුසින් බිහි වූ අවස්ථාවේ දී උන්වහන්සේ අතට ගෙන ඇත්තේ බ්‍රහ්ම ලෝකයේ අනාගාමී වහන්සේලා හතර නමක් විසින්. ඒ අවස්ථාවේ දී සිද්ධාර්ථ කුමාරයා අසනවා, මට වඩා ගෞරව කරන කෙනෙක් දකුණු දිශාවේ ඉන්නවාද? යැයි දකුණු දිශාවෙන් පැමිණි දෙවිවරුන්ගෙන් අසනවා. එලෙස පිළිවෙලින් උතුරු දිශාවෙන්, නැගෙනහිර දිශාවෙන්, බටහිර දිශාවෙන්, උඩ යට දිශාවෙන් ආදී වශයෙන් හැම දිශාවකින් ම ආ දෙවිවරුන්ගෙන් අසනවා මට වඩා ගෞරව කරන කෙනෙක් ඒ දිශාවල ඉන්නවා ද කියා.

එතැන දී සඳහන් වෙනවා. ඔබවහන්සේට වඩා හෝ ඔබ වහන්සේට සමාන කෙනෙක්වත් නැතැයි සතර දිශාවෙන් ආ සියලු බ්‍රහ්මයන් වහන්සේලා පවසනවා. ඒ සියලු දෙවිවරු, බ්‍රහ්මයෝ පැමිණ බෝසතාණන් වහන්සේ වන්දනා කරනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයන්හි සිටිනා බ්‍රහ්මයෝ පැමිණ පවසනවා. නුඹමයි ශ්‍රේෂ්ඨ නුඹමයි ජ්‍යෙෂ්ඨ. ඔබට වඩා උතුම් කෙනෙක් හෝ ඔබ වහන්සේට සමාන කෙනෙක් හෝ නොමැති යැයි ප්‍රකාශ කළා. 

සතර දිශා, සතර අනුදිශා, උඩ යට යන මේ සියලු දිශාවන් බලා බෝසතාණන් වහන්සේ පවසනවා ‘අග්ගෝ හමස්මිං ලෝකස්ස, ජෙට්ඨෝ හමස්මිං ලෝකස්ස, සෙට්ඨෝ හමස්මි ලෝකස්ස” යනුවෙන් ප්‍රකාශ කළ සේක. බෝසතාණන් වහන්සේ උප්පත්තිය ලද අවස්ථාවේ දී මෙවැන්නක් දේශනා කළා නම් බුද්ධත්වයට පත් වූ පසුව ලොවට ජ්‍යෙෂ්ඨ වන සේක. ශ්‍රේෂ්ඨ වන සේක නම් කවර කතාවක් ද?

අට්ඨ කතාවේ මේ ආකාරයට සඳහන් වෙනවා. “අත්තූප සංහිතාය” අර්ථවත් දේ කතා කළ යැයි කියන්නේ මේ ලෝකයේ සහ පරලෝකයේ දේ ය. බෝසතාණන් වහන්සේ සංසාරේ අර්ථ සම්පන්න මොනවගේ දේ ද කතා කර තියෙන්නේ. මේ ලෝකයට හා පරලෝකයට යහපත්වන දේ ය. ඒ වගේ ම ධර්ම කතා මොනවා ද? දස කුසල කර්ම පථ . කර්මය හැටියට පවතින්නේ දීර්ඝ කාලයක් මේ ආකාරයෙන් යහපත් දේ කතා කළ එක. යම් කිසි කෙනෙක් උසස් වචන කතා කර නැත්නම්, අට්ඨ කතාවේ පැවසෙනවා යම් කිසි කෙනෙක් උසස් වචන කතා කරන්නේ නැත්නම් ඒ වගේ අය මෙන්න මේ වගේ කාරණාවලින් හඳුනාගත හැකි බවයි. එනම් ගොප් මැටිය පහළින් පිහිටීම. උසස් වචන කතා නොකළ නිසා රෝම කූප පහතට වැටී ඇති නිදාගත් ස්වරූපයෙන් පිහිටන්නේලු. අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාදෙක ඉතා උසස් අන්දමින් ම ඉටු කළ නිසා මේ මහා පුරුෂලක්ෂණ දෙක ලබා ඇත.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...