Wednesday, September 15, 2021

කප්පින සූත්‍රය



කප්පින සූත්‍රය

245

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති ආයුෂ්මත් මහා කප්පිණ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ එන්නාවූ ආයුෂ්මත් මහාකප්පිණ තෙරුන් දුරදීම දුටුසේක. දැක, භික්ෂූන්හට කථාකළ සේක.

“මහණෙනි, තෙපි එන්නාවූ සුදුපැහැයෙන් යුක්තවූ සිහින්වූ, උස්වූ නැහැයකින් යුක්තවූ, ඒ මහණ දක්නහුද?” “එසේය, ස්වාමීනි.”

“මහණෙනි, ඒ මහණතෙම වනාහි මහත්වූ ඍද්ධි ඇත්තේය. මහත්වූ ආනුභාව ඇත්තේය. ඒ භික්ෂුව විසින් සමනොවදිනලද විරූ යම් සමාපත්තියක් වේද, එවැනි සමාපත්තියක් සුලබ නොවේ. යමක් සඳහා කුලපුත්‍රයෝ මනාකොට ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙත්ද, මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාව අවසානකොට ඇත්තාවූ ඒ උතුම් අර්ථය මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්‍රත්‍යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියායි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.

(1) “ගෝත්‍ර සොයන්නාවූ යම් සත්වයෝ වෙත්ද, (ඔවුන් කෙරෙහි) ක්ෂත්‍රියතෙම ශ්‍රේෂ්ඨ වෙයි. දෙවි මිනිසුන් කෙරෙහි අෂ්ටවිද්‍යා පසළොස් චරණධර්මයන්ගෙන් යුක්ත තැනැත්තේ ශ්‍රේෂ්ඨ වෙයි.”

(2) “සූර්‍ය්‍යයා දවල් බබලයි. චන්ද්‍රයා රෑ බබලයි. ක්ෂත්‍රියතෙම සන්නාහසන්නද්ධ වූයේ බබලයි. ක්ෂීණාශ්‍රව තෙම ධ්‍යානයෙන් යුක්ත වූයේ බබලයි. එහෙත් බුදු රජාණන් වහන්සේ දිවා රෑ දෙක්හිම තේජසින් බබලන සේක.”

(එකොළොස්වෙනි කප්පින සූත්‍රය නිමි.)


Wednesday, September 8, 2021

ජීවිතය කෙසේ සමබර විය යුතු ද?


ජීවිතය කෙසේ සමබර විය යුතු ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ

බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

පාතේගම ඤාණිස්සර හිමි


බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය.


සමබර ජීවිතයක් ගතකිරීමට නම්, මනා සිහිකල්පනාව, ඉවසීම හා අරපරෙස්සම යන ගුණාංගයන් තිර වශයෙන් ම පැවතිය යුතු ය. එසේ නොවූ විට ජීවිතය සමබර ව පවත්වාගෙන යාමට හැකියාවක් නැත. ආර්ථිකය ද ධර්මය ද සමානව තිබිය යුතු ය. පුද්ගල චරිතය සැමවිට ම ධර්මයෙන් පෝෂණය විය යුතු ය. බොහෝ දුරට පෙර කළ පින හා පව ද මෙයට හේතු වේ. ඇතැම් අවස්ථාවල ආර්ථිකය ශක්තිමත් වන විට ධර්මය පුද්ගලයා තුළ දක්නට නොලැබෙන අවස්ථා ද තිබේ. ධර්මය සහ නීතිරීති බිඳ දමා ආර්ථික මාර්ග ඔස්සේ ගමන් කරන්නෝ ද සිටිති. කෙසේ වුව ද, මෙම අංශ දෙක ම සෑම පුද්ගල චරිතයක ම පැවතිය යුතු ය.


එක් කලෙක බුදුරජාණන් වහන්සේ මගධ රට දක්ෂිණගිරියෙහි ඒකනළ නම් බමුණු ගමෙහි වැඩ වාසය කළ සේක. එකල කසී භාරද්වාජ බමුණාගේ වප් මගුල වෙත බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක. නඟුල් පන්සියයක් යොදා ගනිමින් ගොවිතැන් කරන ස්ථානය තුළ බමුණා ආහාර බෙදමින් සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ද එම ස්ථානයටම වැඩම කළ සේක.


බුදුරජාණන් වහන්සේ පාත්‍රය ද සහිතව වැඩ සිටිනු දුටු කසී භාරද්වාජ බමුණාට කේන්ති ගියේ ය. එම කේන්ති සහගත සිතිවිලි අතරින් බමුණා බුදුරජාණන් වහන්සේ ඇමතී ය. “ශ්‍රමණය, ඔබත් සී සාන්න, වපුරන්න එසේ කොට ආහාර අනුභව කරන්න” යනුවෙනි.


“බමුණ මම සී සෑමත් කරමි. වැපිරීමත් කරමි. සී සෑමත්, වැපිරීමත් කොට අනුභව කරමි. බුදුරජාණන් වහන්සේ වදාළහ.


සී සෑමට අවශ්‍ය උපකරණ කිසිවක් පෙනෙන්නට නැත. විය ගහ, නගුල, කෙවිට දක්නට නැත. නමුත් සී සා ආහාර අනුභව කරන බව ප්‍රකාශ කරයි. එය කුමන ආකාරයේ සී සෑමක් ද? බමුණා සිතී ය. එවිට බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් වදාළ සේක.


ශ්‍රද්ධාව බීජයකි. තපස වැස්සයි. ප්‍රඥාව නගුල සහ වියගහයි. ලජ්ජාව, නගුලිසයි. මනස සොතයි, සිහිය හී වැල හා කෙවිටයි. කයින්, වචනයෙන්, සුරක්ෂිතව ,ආහාරයෙහි සංවරව සත්‍යයෙන් නෙළීම කරමි. රහත් බව මාගේ මිදීම යි. එවිට, බමුණා කරුණු කාරණා තේරුම්ගෙන බුදුරජාණන් වහන්සේට දානය වළඳන ලෙස ඉල්ලා සිටියේ ය.


බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. ගාථා කියා ලත් ආහාර මවිසින් නො ගත යුතු ය. මහා පාරිශුද්ධිය දකින අයගේ පිළිවෙළ එය නොවේ. බුදුවරු ගාථාහි ගීතය බැහැර කරති.


බුදුරජාණන් වහන්සේ එසේ වදාළ විට බමුණාට සත්‍ය අවබෝධ විය. තමන් එල්බ සිටියේ සාවද්‍ය මතයක බවත්, බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් තමන්ගේ මනසට යමක් ඇතුලු වූ බවත්, වචන කිහිපයක් පමණක් කතා කළ ද, එය වැටහී යාම නිසා මහත් අස්වැසිල්ලක් උදාවූ බවත් ඔහුට අවබෝධ විය.


බමුණා විසින් කරනු ලැබුවේ කුඹුර වැපිරීම ය. එය ධන ධාන්‍ය ලැබීමට මඟකි. පුද්ගලයකුට භෞතික දියුණුව අත්‍යවශ්‍යය යි . දියුණුවක් නොමැතිවීම පුද්ගල පිරිහීමේ ආරම්භය යි. එනිසා ම පුද්ගලයා අලසකම ඉවත ලා වීර්යයෙත්.ධනය හම්බ කළ යුතු ය. පුද්ගලයකු කෙතරම් ධනය ඉපයුව ද එහි වැඩි වීමක් නැත. නමුත් පුද්ගල ජීවිතයට ආර්ථික දියුණුව පමණක් ළගා කර ගැනීම ප්‍රමාණවත් ද? බුදුරජාණන් වහන්සේ විසින් බමුණාට දේශනා කරනු ලැබුවේ ආර්ථික දියුණුව ලැබූ පුද්ගලයකු විසින් අධ්‍යාත්මික දියුණුව ද ඇතිකර ගත යුතු බව ය. බුදු දහම එම මඟ පෙන්වීම නිතර කරයි. මෙලොව ජීවිතය නිවැරැදි ව ගත නොකළ පුද්ගලයෙකුට පරලොව ජීවිතය ගත කිරීමේ හැකියාවක් නැත. නිර්වාණගාමී මාවතට පිවිසි බෞද්ධයා විසින් මෙලොව ජීවිතය සාර්ථක කරගත යුතු ය. එබැවින් පුද්ගලයා නිතර ම තම ආත්ම දමනය පිළිබඳව කල්පනා කළ යුතු ය. එය තමා විසින් ම අවබෝධයෙන් කළ යුතු ය. වෙනත් පුද්ගලයකු යමක් පෙන්වා දෙනතුරු නොසිට තම වරද දැකීමේ හැකියාව තමාට තිබිය යුතු ය. අවංක ගති සිරිත් තිබෙනවා නම්, පමණක් එසේ කළ හැකි වුව ද, සාමාන්‍ය ක්‍රමය තමාගේ වරද, නොපෙනීම ය. අන්‍යයාගේ වරද බහුල ලෙස දර්ශනය වනු ඇත. එබඳු තත්වයනට පත් නොවී තම වරද, අඩුපාඩු වටහා ගත හැකි අයකු බවට පත්විය හැක්කේ ආත්ම දමනයේ ක්‍රමවේදය ට අනුව ය. එය පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන්නා සේ ම, සමාජයේ හිත සුව පිණිස ද බලපායි.


පුද්ගලයා තම ජීවිතය සකස් කර ගන්නේ තම නැණ නුවණ අනුව ය. තමනට සිතෙන සියලු දෙය ම නිවැරැදිව එක ලෙස නොසිතිය යුතු ය. තමන්ට වඩා දැනුමෙන් හා අවබෝධයෙන් පිරි කෙනෙකුට වඩාත් වැඩි නිවැරැදි ක්‍රමවේදයක් කල්පනා විය හැකි ය. බමුණාගේ සිතිවිලිවලට වඩා වැඩි යමක් බුදුහිමියන්ගේ දේශනාව අනුව ඔහුට ම කල්පනා විය.


හේමමාලා රන්දුනු



ධම්මානුපස්සනාව - බොජ්ඣංග


ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි සමාධි සම්බොජ්ඣංගය:

සිත තැන්පත් නම් ලබන සුවය උතුම්
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

සමාධි සම්බොජ්ඣංගය චිත්ත සන්ථානය ප්‍රබෝධවත් කරමින්, සති, සමාධි, ඥාන දියුණු කරන විශේෂ ධර්මතාවයක්. බොජ්ඣංග ධර්ම දියුණු කර ගැනීම හැමෝටම යහපතක්. මෙලොව යහපතට , පරලොව සුගතියට , නිවන් පසක් කිරීම සඳහා අත්‍යවශ්‍ය කරන උපකාරක ධර්ම පද්ධතියක්.

සුගති මඟ, නිවන් මඟ ගමන් කරන අයට අවශ්‍ය කරන්නේ දාන, ශීල, භාවනා පින්කම් ටික යි. නිවන් සම්පත් වෙනුවෙන් විශේෂයෙන් ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කිරීම යි. මෙලොව දියුණුව සලසාගෙන, පරලොව සුගතියක සිට නිවන් පසක් කිරීම සඳහා විශේෂයෙන් මහෝපකාරී වන්නේ.

නී - වාන යන පදය එකතු කරලා, ආදේශ වලින් පැනෙව්ව විට නිබ්බාණ නම් පදයක් හැදෙයි. එනම්, නිවීම කියන එකයි. කෙලෙසුන්ගේ නිවීම යි. විශේෂයෙන් තණ්හාවන්ගේ නිවීම නිර්වාණය යි. තණ්හාව නැති කරන එක සැමටම පුළුවන් දෙයක් නොවෙයි. අමාරු කරුණක්. තණ්හාව දුරු කර ගැනීම සඳහා ශීල, සමාධි, ප්‍රඥා ගුණ අනිවාර්යෙන් දියුණු කළ යුතු යි. සතර සතිපට්ඨානය දියුණු කර ගැනීම සඳහා ශීලාදී ප්‍රතිපත්ති ද හොඳින් දියුණු කරගත් විට නිවන් මඟ පහසුවෙන් යන්නට පුළුවන්කම ලැබෙනවා.

නිර්මල ධර්මය අවබෝධ කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක්. එසේනම්, සමාධි සම්බොජ්ඣංගය යනු සිතේ තැන්පත් කමෙන් ලැබෙන උතුම් අවස්ථාවක්. උපචාර සමාධි, අර්පනා සමාධි වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රථම ධ්‍යාන සමාධිය, ද්වීතීය ධ්‍යාන සමාධිය , තෘතීය ධ්‍යාන සමාධිය , චතුර්ථ ධ්‍යාන සමාධිය , පංචම ධ්‍යාන සමාධිය වශයෙන් කොටස්වලට බෙදෙනවා. එසේම අරූපාවචර සමාධිය, දක්වා යනවා. එසේම තම සිතෙහි යම් සන්සුන්කමක් ඇතිනම්, එය සමාධි නම් වෙයි. ඒකග්‍රතා චෛතසිකය ද සමාධි නම් වෙයි. සම්මා සමාධි යන මාර්ගාංගයෙන් ද ප්‍රකාශ වන්නේ සමාධි අවස්ථාවයි. සමාධි සම්බොජ්ඣංගයක් හැටියට පෙන්වන්නේ නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා අවශ්‍ය කරන සුවිශේෂී දෙයක් හැටියට යි. සමාධි සම්බොජ්ඣංගය දියුණු කර ගන්නට උපකාරක ධර්ම එකොළහක් තිබෙයි. තමන් වෙසෙන තැන, පරිභෝග කරන බඩු බාහිර ආදිය , වස්ත්‍ර ආදිය පිරිසුදුව තබා ගැනීමෙන් බාහිර වස්තු ද , නියපොතු කැපීම්, විරේක කිරීම් ආදිය අධ්‍යාත්මික වස්තූන් ද නිර්මලව තබා ගැනීමෙන් චිත්ත සමාධිය ලබන්නට පුළුවන්. ශ්‍රද්ධාව - ප්‍රඥාව දෙක ද, සමාධි - වීර්යය දෙක ද, සතියෙන් යුක්ත කොට එකට එකක් වැඩි අඩු නොවන පරිද්දෙන් සමව තබා ගැනීමෙන් සමාධි සම්බොජ්ඣංගය දියුණු කර ගන්න පුළුවන්.

තෙවන කාරණාව භාවනාවට යෝග්‍ය කසිණ නිමිති ගැනීමේ දක්ෂ බව යි. එවිට කසිණ භාවනා ආදියෙන් චිත්ත සමාධිය තහවුරු කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතා සවි ශක්තිමත් ලෙස සමාධිය තහවුරු කර ගන්න පුළුවන්. කසිණ නිමිති ආදියෙන් ගන්නා සමාධිය බොහොම දැඩි වෙයි. පඨවි කසිණ, ආපෝ කසිණ , ආදී වශයෙන් කසිණ දහයක් වෙන අතර මේ මඟින් ගන්නා සමාධිය බොහොම ඉහළ වෙයි.

හතරවැන්න සිත අනලස්ව, ලිහිල්ව ගිය කල්හි එසේ වෙනු නොදී ධම්මවිඡය සම්බොජ්ඣංගය , වීර්යය, පීති, බොජ්ඣංග උපදවා ගනිමින් සිත උත්සාහවත් කළ යුතු ය. එයින් සමාධි සම්බොජ්ඣංගය තවත් තහවුරු කර ගන්න පුළුවන්.

පස්වැන්න අධික වූ වීර්යය වැඩීමෙන් සිත කලබල ව, අවිවේක වන කල්හි පස්සද්ධි, සමාධි, උපේක්ෂා බොජ්ඣංග උපදවා ගනිමින් වීිර්යය අධිකත්වය අඩුකරගත යුතු ය. වීර්යය අධික කර ගන්නා විට සමාධිය තහවුරු කරගන්න පුළුවන්කම තිබෙන්නේ කායික වේදනා, මානසික වේදනා අඩු නිස යි.

හයවැන්න යම් අවස්ථාවක ප්‍රඥාව මඳකමකින් හෝ නිවන් සුවය නො වැටහීමෙන් හෝ භාවනාවේ සිත නොඇලේ ද එවිට ජාති, ජරා, ව්‍යාධි ආදිය සංවේග වස්තූන් නිතර නිතර සිහිපත් කර ගැනීමෙන් රත්නත්‍රයේ ගුණ මෙනෙහි කර ගැනීමෙන් සිතේ පහන් බවත්, ආලෝකවත් බවත් ඇති කරගත යුතු යි. එවිට සමාධි සම්බොජ්ඣංගය හොඳට පහළ කරගන්න, දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා.

හත්වැන්න යම් අවස්ථාවක සිත කම්මැළිබවට හෝ කලබල බවට නොගොස් මැදහත්ව භාවනාවේ සුදුසු පරිදි යොදා ගන්න පුළුවන්නම්, එවිට සිත උනන්දු කිරීමෙන් හෝ සිතේ වේගය අඩු කිරීමෙහි හෝ යුහුසුළු නොවී මධ්‍යස්ථව වාසය කිරීමෙහි සමාධි සම්බොජ්ඣංගය තහවුරු කර ගන්න පුළුවන්.

අටවැනි කාරණාව භාවනාවේ දී සිත එකඟ කර නොගත් අසමාහිත පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකීම යි. සිතෙහි තැන්පත් කමක් නැති, විසුරුණු මනසක් ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීමෙන් වැළකිය යුතු යි. ඒ අය සමාධි සම්බොජ්ඣංගය ආදිය දියුණු කරනවාට කැමැති නැහැ. පිනට දහමට කැමැති නැහැ. එසේනම් සමාධිය තහවුරු කර ගත යුතු යි. එසේම භාවනාවේ එකඟ කරගත් සිත් ඇති උදවිය ආශ්‍රය කළ යුතු යි. භාවනා කරන, බණ අසන , සිතේ තැන්පත්කම දියුණු කරන අය ආශ්‍රය කරන විට සිත භාවනාවේ තබා ගැනීම නිසා සමාධි සම්බොජ්ඣංගය තහවුරු කරගන්න පුළුවන්කම තිබෙනවා.

දහවැන්න තමා ලැබූ ධ්‍යාන, අභිඤ්ඤා , විපස්සනා , මාර්ග ඵල , නිවන ආදිය මෙනෙහි කළ යුතු යි. එය මෙනෙහි කරන විටත් සිතේ තැන්පත්කම තහවුරු වෙයි. සමාධි සම්බොජ්ඣංගය ශක්තිමත් වෙයි.

එකොළොස්වැන්න සිත එකඟ කර ගැනීමෙන් භාවනාවේ ඇලී ගැලීමෙන් විසීම යි. සිත තැන්පත් කරගන්නා විට එලෙස කලක් වාසය කරන්න පුළුවන්කම තිබෙනවා. මෙම කරුණු පුරුදු කර ගැනීමෙන් නූපන් සමාධිය උපදවා ගන්නට පුළුවන්. උපන් සමාධිය දියුණු කරන්නට පුළුවන්. සමාධියත් මොහොතක් පාසාම ඇතිව නැති වී යයි. ඒ නිසා සමාධි සම්බොජ්ඣංගය ද අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. නූපන් සමාධිය උපදිනවා, උපන් සමාධිය දියුණු වෙනවා. නැවත නැතිවී යනවා. විශාල වෙහෙසක් දරාගෙනයි සමාධි අවස්ථාවට එළඹ තිබෙන්නේ. ඒ නිසා කවුරුත් සමාධිය තහවුරු කර ගැනීම සඳහා ගුණ ධර්ම දියුණු කර ගනිමින්, චිත්ත සමාධිය දියුණු කර ගනිමින් කටයුතු කළ යුතු යි. ශීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විමුක්තියට , විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයට, විමුක්ති දර්ශනය යනු ප්‍රත්‍යවේක්ෂා ඥාන යි. ලබාගත්තා වූ දේ හොඳින් සිතෙන් මෙනෙහි කළ යුතු යි. සමාධිය කියන එකේ කෙටිම තේරුම සිත තැන්පත් කමයි. ඒ සිතෙහි තැන්පත්කම නැත්නම්, කිසිම දෙයක් කර කියා ගන්නට බැහැ. අධ්‍යාපනය, රැකී රක්ෂාව, දෛනික වැඩ , ගෙදර දොර වැඩ , බාහිර වැඩ කටයුතු පවා කරගන්නට බැහැ. බණ ඇසීම, භාවනා කිරීම , සියලු ශාසනික කටයුතු දියුණු කර ගැනීම සඳහා සිතේ තැන්පත්කම අත්‍යවශ්‍යම කාරණයක්. ඒ සමාධිය ධ්‍යාන ක්‍රමවලට පවා බෙදා වෙන්කර තිබෙන්නේ. ඒ නිසා කවුරුත් උත්සාහවන්තව සමාධිය තහවුරු කරගත යුතු යි.

ආනාපාන සති භාවනාව මෙනෙහි කරගෙන යාමෙන් අපට සමාධිය ලබා ගන්න පුළුවන්. එය අපහසු අය බුදුගුණ භාවනාවෙන් සමාධිය ලබා ගත හැකි අතර ඒ මඟින් ධ්‍යාන තත්ත්වයට යන්නේ නැත්තේ පින වැඩි නිසයි. කායගතාසතියෙන් කේශා ආදියෙන් එකම අරමුණ මෙනෙහි කරගෙන යාමෙන් ධ්‍යාන තත්ත්වයට යන්න පුළුවන්, සමාධිය තහවුරු වුණායින් පසුව. ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මරණසති භාවනාව මෙනෙහි කිරීමෙන් සමාධිය හොඳින් තහවුරු කරගන්න පුළුවන්. සමාධි සම්බොජ්ඣංගය ද හොඳින් වැඩෙයි. සිතේ තැන්පත්කම, සිතේ සමාධිය, කොයි කවුරු වුණත් අගේ කොට සැලකිය යුතු යි. එක අරමුණක් දිගට ම මෙනෙහි කරගෙන යාමෙන් සමාධිය හොඳින් තහවුරු වෙයි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! අරමුණ දිගටම මෙනෙහි කරගෙන යාමෙන් ශාන්තව මේ සමාධිය ලබන්න පුළුවන්. සමාධි සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා. නිවන් සුවය ලබා ගැනීම සඳහා හැම ධර්මතාවයකටම මුල් කාරණය සමාධිය යි. සිතේ තැන්පත් කමයි. එවිට නුවණ පහළ කරගන්න ලෙහෙසියි. වික්ෂිප්ත නැතිව තැන්පත්ව සියලු කටයුතු දිගට කරගෙන යාමට පුළුවන්කම තිබෙනවා. එවිට සම්මා දිට්ඨි - නිවැරැදි ප්‍රඥාව හොඳට සිතේ පහළ වෙනවා. සම්මා සංකප්ප - උතුම්ම අදහස් සිතිවිලි පහළ කරගන්න පුළුවන්. සම්මා වාචා - නිවැරැදි වචන පාවිච්චි කරන්න පුළුවන්. සම්මා කම්මන්ත - නිවැරැදි වැඩ කටයුතුවල යෙදෙන්න පුළුවන්. සම්මා ආජීව - දැහැමිව ජීවත් වෙනවා, සම්මා වායාම - සිතේ සමාධිය නිසා උත්සාහය හොඳට තහවුරු කරගන්න පුළුවන්. සම්මා සති - සිතේ සමාධිය නිසා සිහිය දියුණු කරන්න පුළුවන්. එසේනම්, සම්මා සමාධිය අගනා වෙයි. සිතේ තැන්පත්කම හොඳට දියුණු කරගන්න පුළුවන්. මේ කරුණු හොඳට ඉගෙන කියාගෙන සිතේ තැන්පත්කම ලබා ගැනීමේ අභිලාෂයෙන් කටයුතු කළ යුතු යි. පොතක් කියවන විට දිගටම කියාගෙන යාමෙන් සමාධිය තහවුරු වෙයි. වික්ෂිප්ත මනසකින් පොත පත කියවන්න බැහැ. බණ , භාවනා කරන්න නොහැකිව සිතේ වික්ෂිප්තකම නිසා සිත එහෙ මෙහෙ දුව පැන ඇවිදිනවා. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගෙන තමන්ගේ ශ්‍රද්ධාදී ගුණ ටික දියුණුවට උත්සාහයෙන් වැඩ කළ යුතු යි. එවිට යන ගමන් මඟ පිරිසුදු වෙයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණුවෙන් තමන්ගේ ජීවිතය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන්න පුළුවන්කම තියෙනවා. බෝධිකාරක ධර්ම අඩු පාඩුවක් නැතිව දියුණු කරගන්න පුළුවන්. තමන්ගේ සිතේ , ගතේ දියුණුව, යහපත , අඩුවක් වෙන්නෙත් නැහැ.

සමාධි සම්බොජ්ඣංගයත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් නිබඳවම මෙනෙහි කරන්නට පුරුදු පුහුණු වන්න.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල


 

Tuesday, September 7, 2021

විසාඛ සූත්‍රය

 


විසාඛ සූත්‍රය  

241

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වාසය කරන සේක. එසමයෙහි වනාහි පඤ්චාලිපුත්‍ර ආයුෂ්මත් විශාඛ ස්ථවිරතෙම උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි’ තියුණු කරවයි, සතුටු කරවයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේක ස්ථානයෙන් නැඟීසිටියේ උපස්ථාන ශාලාව යම් තැනෙක්හිද, එතැන්හි වැඩිසේක. වැඩ, පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ වනාහි භික්ෂූන්ට කථාකළ සේක.

“මහණෙනි, කවරෙක් වනාහි උපස්ථාන ශාලාවෙහිදී ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍යසත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්මකථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයිද, (ඔවුන් එහි) සමාදන් කරවයිද, තියුණු කරවයිද, සතුටු කරවයිද කියායි.”

“ස්වාමීනි, පඤ්චාලිපුත්‍රවූ ආයුෂ්මත් විසාඛ ස්ථවිර තෙම උපස්ථාන ශාලාවෙහිදී, ගැමි නොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වයි. (ඔවුන් එහි) සමාදන් කරවයි, තියුණු කරවයි, සතුටු කරවයි” කියා කීයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පඤ්චාලිපුත්‍රවූ ඇවැත් විසාඛහට ඇමතූසේක. “සාධු! සාධු!! විසාඛය, විසාඛය, නුඹ වනාහි මැනවි. ගැමිනොවූ, පැහැදිළිවූ, කෙළතොළු නොවූ, අර්ථය හැඟවීමට පොහොසත්වූ, චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් යුක්තවූ, ලෞකික දේ ඇසුරු නොකළාවූ, වචනයෙන් ධර්ම කථාවෙන් භික්ෂූන්හට කරුණු දක්වහි. (ඔවුන් එහි) සමාදන් කරහි, තියුණු කරහි, සතුටු කරහියි” වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනාකොට, ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.

(1) “බාලයන් හා සමග මිශ්‍රවූ, පණ්ඩිතයා කථා නොකරනතාක් නොදනිත්. අමෘත පදය දේශනා කළ කල්හිම දනිත්.”

(2) “ධර්මය කියන්නේය. පතුරුවන්නේය. ඍෂීන් ගේ ධජය (අරිහත් ධජය) ඔසවන්නේය. ඍෂීහු සුභාෂිතය ධජය (කොඩිය) කොට ඇත්තෝය. ඍෂීන්ගේ ධජය වනාහි ධර්මයයි.”

(හත්වෙනි විසාඛ සූත්‍රය නිමි.)


Thursday, September 2, 2021

ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය


ධම්මානුපස්සනාව - බොජ්ඣංග විදර්ශනාවෙහි පස්සද්ධි සම්බොජ්ඣංගය:

දරදඬු නැති සිත
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

සති ගණනාවක් ම සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ විස්තර ද, භාවනා කරන ක්‍රමය ද සඳහන් කළා. බොජ්ඣංග විදර්ශනාව, සෝවාන් ආදී මාර්ග ඵල හැර අනෙක් සියලුම දේ වෙනස්ව යයි. බොජ්ඣංග ද ඇතිවෙනවා, නැතිවෙනවා, නීවරණ ද ඇතිවී නැතිවී යනවා.

ස්කන්ධ ද එලෙසම යි. ආයතන ද එසේම යි. වෙනස් නොවන්නේ ලෝකෝත්තර ධර්ම පමණ යි. නව ලොවුතුරා ධර්මය සොලවන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඒ ධර්ම පිළිබඳ හොඳ දැනීමකින් යුතුව සීලාදී ප්‍රතිපත්ති ද අනුගමනයෙන් ඉදිරියට යා යුතු යි. නිවන් මඟෙහි දොරටු වසා ඉදිරියට යන පින්බර ගමන අහුරන්නේ කෙලෙස් මඟින්. ප්‍රධාන වශයෙන් ලෝභ, දෝස, මෝහ යන ත්‍රිවිධ අංග අකුසල මූල නම් වෙයි. මේ මඟින් කෙලෙස් එක්දහස් පන්සියයක් ඇති වෙයි. භාවනාවේ දී සිදු වන්නේ මේ ලෝභ, දෝස , මෝහ අකුසල මූල ඉවත්කර ගැනීම යි. ලෝභ, දෝස, මෝහ සිතෙහි තබාගෙන බණ, භාවනා කරන්නට , පින්කම් කරන්නට තබා සාර්ථකව කිසිවක් කරන්නට බැහැ. නිවන් සුව පතා කරන පින්කමක දී මේ කරුණු තුන සිතෙහි තිබුණොත් නිවන් සුව ලබන්නට බැහැ. ඒ නිසා සියලු අකුසල ධර්මයෝ උත්පාදනය කරන ලෝභ, දෝස, මෝහ තිදෙනා ටිකෙන් ටික ඉවත් කළ යුතු යි. තණ්හාව, තරහව දෙදෙනා නය යි, පොළග යි වගෙ යි. මේ දෙදෙනා ඉවත් කර ගැනීම ලෙහෙසි පහසු දෙයක් නො වෙයි. එසේනම්, කවුරුත් මේ අකුසල මූල සිතෙන් ගළවා ගන්නට මහන්සි ගත යුතු යි. දන්දීමෙන් ලෝභයත්, සීලයෙන්, මෛත්‍රී භාවනාවෙන් තරහවත් දුරු කර ගන්න පුළුවන්. බණ, භාවනාවෙන්, ඉගෙනීමෙන් මෝහය දුරු කළ හැකි යි. මෙම පාපී සිතිවිලි තිදෙන ඉවත්කලොත්, තම තමාට පුළුවන්කම තිබෙනවා, නිවන් මඟ විවෘත කර ගන්න. එසේ නොවුණොත් නිවන් මඟ අහුරාගෙන වාසය කරනවා.

අද සඳහන් කරන්නේ පස්සද්ධි සම්බොජ්ඣංගය පිළිබඳව යි. භාවනා කරන්නේ කෙසේදැ’යි දැන ගැනීම යි. පස්සද්ධි යනු දරදඬු ගතිය නැති බව යි. පස්සද්ධි තම සිතෙහි පහළ කර ගත යුතු යි. එය ලබන්නට නම් තමන්ට හොඳ ශක්තියක් සිතෙහි ඇතිකර ගත යුතු යි. පස්සද්ධි සම්බොජ්ඣංගය උපදවා ගන්නට උපකාරක ධර්ම හතක් තිබෙනවා. භෝජන සප්පය – ලෝභ, දෝස, මෝහ ආදී දුරු කර ගන්න සුදුසු ආහාරයක් ලැබිය යුතු යි. කර්කෂ ආහාර ලබාගෙන එම ක්‍රම අනුගමනය කරන්නට බැහැ. මාතික මාතා යනුවෙන් උපාසිකාවක් බුද්ධ කාලයේ සිටියා. එතුමිය සිටි ප්‍රදේශයට ස්වාමීන් වහන්සේ පිරිසක් වැඩම කළා, වස්සාන කාලය ගත කරන්න. ඉතින්, ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අපටත් බණ , භාවනාවක් කියලා දුන්නොත්, යනුවෙන් ඉල්ලීමක් කළ විට භාවනාවක් කියා දුන්නා. ඒ මඟින් මාතික මාතාව අනාගාමී මාර්ග ඵල ලැබුවා. තමන්ගේ නුවණින් විමසුවා, ස්වාමීන් වහන්සේ කෙලෙස ද? කියා. ඒ උත්තමයන්ට තාම උසස් තත්ත්වයක් නැහැ. හේතුව වුණේ දාන මානවල අඩුපාඩුව යි. එතුමිය ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය සියලු පහසුකම් ලබා දුන්නා. නොබෝ දිනකින් ම ස්වාමීන් වහන්සේලා රහත් බව ලැබුවා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළ ස්වාමීන් වහන්සේලා මෙලෙස පැවසුවා. ස්වාමීනි, මාතික මාතා මව් කෙනෙක් මෙන් අපට හොඳින් උපස්ථාන කළා. ඒ නිසා අපට පහසුවෙන් මාර්ග ඵල අවස්ථාවට පත් වෙන්නට පුළුවන්කම ලැබුණා. පස්සද්ධි සම්බොජ්ඣංගය ලබා ගන්නට නම් භෝජන සප්පය තිබිය යුතු යි.

ඍතු සප්පය – අධිකතර සීතල සහ අධිකතර උෂ්ණත්වය තිබුණොත්, මේ ක්‍රමය ගෙනියන්ට බැහැ. බණ, භාවනා කටයුතුවලට මධ්‍යස්ථ ඍතුවක් තිබිය යුතු යි. සීත ඍතු , උෂ්ණ ඍතු අධික ලෙස පවතින කාල වකවානුවෙන් තොරව මධ්‍යස්ථ දේශගුණයක් පවතින කාලයක බණ, භාවනා කටයුතු පහසුවෙන් ගෙනි යන්නට පුළුවන්.

පහසු ඉරියව් ඇසුරු කිරීම – සක්මන් භාවනාවෙන්, වාඩිවී භාවනා කිරීමෙන් , එසේම සිටගෙන භාවනා කිරීමෙන් , අසනීප ආදිය නම්, නිදන ඉරියව්වෙන් භාවනා කිරීමෙන් යනුවෙන් සතර ඉරියව්වෙන් තමන්ට පහසු ඉරියව්ව තෝරාගත යුතු යි. ඉරියව් මාරු කරන්නට ද අවශ්‍යය වෙයි. මෙලෙස සිතෙහි ඇති පස්සද්ධිය දියුණු කළ හැකි යි.

කර්ම විපාකය මෙනෙහි කරමින් මධ්‍යස්ථව කටයුතු කිරීම – කුසල, අකුසල කර්මයෙන් මෙවැනි විපාක ද ලැබෙනවා යනුවෙන් මධ්‍යස්ථ විය යුතු යි. මධ්‍යස්ථ වීමෙනුත් පස්සද්ධි සම්බොජ්ඣංගය හොඳින් වැඩෙයි. කර්මය සහ කර්ම විපායකය බොහොම දරුණු වෙයි. අකුසල කර්ම විපාකයෙන් දරුණු විපාක ද, කුසල විපාකයෙන් සැපවත් විපාක ද ලබා දෙයි. එසේනම්, අකුසල කර්ම ඉවත් කර, කුසල කර්ම රැස් කරද්දී අපේ සිත තවත් දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා . කොයි දේටත් මධ්‍යස්ථ විය යුතු යි.

සිත , කය දෙකෙහි බර ගතියෙන් ගිලන්ව , අලසව සිටින පුද්ගලයන් ආශ්‍රයෙන් දුරු කිරීම. කම්මැළි පුද්ගලයන්, අලස පුද්ගලයන්, ගිලන් පුද්ගලයන්, මන්දෝත්සාහී පුද්ගලයන් ආශ්‍රයෙන් වැළකීම. පස්සද්ධි සම්බොජ්ඣංගය ඉදිරියට ගෙන යාමට ඒ පුද්ගලයන්ගේ ආශ්‍රයෙන් වැළකිය යුතු යි. ඒ උදවිය බණ භාවනා කටයුතු දියුණු කිරීමෙන් ඉදිරියට යන්නට කැමැති නැහැ. තමන් බලාපොරොත්තු වන කරුණු කාරණාවෝ ඉෂ්ඨ කර ගන්න, පුළුවන්කමකුත් නැහැ.

සිත කය දෙකෙහි සැහැල්ලු බව ඇති අනලස්ව සිටින පුද්ගලයන් ආශ්‍රය කිරීම – පිනට දහමට කැමැති, ශීල , සමාධි ප්‍රඥා ගුණ දියුණු කරන , වාසනාවන්ත ගති පැවතුම් ඇති අය ආශ්‍රය කළ යුතු යි. එවිට සිත ගත පිනවා යනවා. නිවන් මඟ පැහැදිලිව ගමන් කළ හැකි යි. සීලාදී ප්‍රතිපත්ති ටික හොඳින් අනුගමනය කරන්න පුළුවන්කම තිබෙනවා. එසේනම්, පස්සද්ධි සම්බොජ්ඣංගය තහවුරු කර ගැනීමට ආශ්‍රය කරන පුද්ගලයන් හොඳ වන්නට අවශ්‍යය යි.

සැහැල්ලු අනලස් ජීවිතයේ නියැළුණු කෙනෙක් වීම – සැහැල්ලු පැවතුම් ඇති, කම්මැළි නොවන , හැම ධර්මතාවයකම නියැළුණු කෙනෙක් විය යුතු යි. එවිට පස්සද්ධි සම්බොජ්ඣංගය සිතෙහි දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. හැම දෙනාටම මෙය දියුණු කරගන්නට අපහසු යි. සිත නිතරම දරදඬු ගතියෙන් සමන්විත යි. හැම දෙයක් පිළිබඳව ම සන්සිඳවා ගැනීමේ ශක්තිය හදාගත යුතු යි. එයට එක අරමුණක් දිගමට ම මෙනෙහි කළ යුතු යි. නූපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය උපන්න බවත්, උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංගය දියුණු වූ බවත් හොඳට දැනගත යුතු යි. එවිට තමන්ගේ නුවණ, ධර්ම දැනුම වැඩි දියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කරුණු හත ඇති කර ගැනීමෙන් උපන්නේ නැති පස්සද්ධි නම් සම්බොජ්ඣංගය උපදවා ගැනීමටත් , උපන්නා වූ පස්සද්ධි සම්බොජ්ඣංග වැඩි දියුණු කර ගැනීමටත්, පුළුවන්කම තිබෙනවා. එසේනම්, පස්සද්ධි සම්බොජ්ඣංගය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

පස්සද්ධිය නම්, සිතේ දරදඬු ගතිය නැතිව, අනලස්කම නැතිව උත්සාහයෙන් පවතින සංසිඳුණු බව යි. සිතේ කයේ සංසිඳුණු බව යි. මේවා හොඳින් දැන කියාගෙන සීලා දී ප්‍රතිපත්ති ද අනුගමනයෙන් තමන්ගේ නිවැරැදි ප්‍රතිපත්ති අනුගමනයෙන් ඉදිරියට යන්නට අවශ්‍යය යි. ඡන්ද ඍද්ධිපාද, චිත්ත ඍද්ධිපාද, විරිය ඍද්ධිපාද, වීමංස ඍද්ධිපාද ආදිය දියුණු කරන ධර්මතා හතරක් තියෙනවා. බණ, භාවනා කටයුතු කෙරෙහි බලපවත්වන බලවත් සිතක් තිබිය යුතු යි. නොසෙල්වන, පැහැදිලි, පිරිසුදු සිතක් අවශ්‍යය යි. එය චිත්ත ඍද්ධිපාද නම් වෙයි. භාවනාවට ඇති කැමැත්ත ඡන්ද ඍද්ධිපාද නම් වෙයි. කම්මැළි, මන්දෝත්සාහී පුද්ගලයෙකුට බණ, භාවනා කටයුතු ගෙනියන්නට බැහැ. ඒ තැනැත්තාට උත්සාහය අවශ්‍යය යි. එය විරිය ඍද්ධිපාද වෙයි. විමසා බලා කටයුතු කරන හොඳ නුවණක් තිබීම බණ, භාවනා කටයුතු වලට අවශ්‍ය වෙයි. ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීම කරා යන්නට අවශ්‍ය යි. ඒ නිසා හොඳ වීමංසාවක් අවශ්‍ය ය යි. ප්‍රඥාව වීමංස ඍද්ධිපාද නම් වෙයි.

බුදුරජාණන් වහන්සේ ද දීර්ඝ කාලයක් බණ භාවනා කටයුතු අනුගමනයෙන් පස්සද්ධිය , සංසිඳීම තමන් වහන්සේ ලබා ගත්තේ. හැම කෙනෙකුගේ ම සිත නොයෙක් අරමුණු ඔස්සේ ගමන් කරනවා. ලෝභ, දෝස, මෝහ ඔස්සේ අලෝභ, අදෝස, අමෝහ ඔස්සේ ගමන් කරනවා. ඒ සිත තමන්ගේ නුවණ හොඳට වැටහුණොත්, තේරුම් බේරුම් කරගෙන, පව් අඩුකර, පින වැඩිකළ යුතු යි. ඇතැම් ජීවිත නැති කරගන්නේ සිත හදාගන්න නොහැකිව යි. ඒ වගේම තමන්ගේ ජීවිත නොයෙක් නොයෙක් කරදර පීඩාවලට පත් වන්නේ සිත හදාගන්න නොහැකිව යි. ඒනිසා කවුරුත් පස්සද්ධි සම්බොජ්ඣංගය පිළිබඳ වැටහීමක් ඇතිකරගෙන, පුළුවන්තරම් සිත දියුණු කරගන්න මහන්සි ගත යුතු යි. සෑම ඉරියව්වකම භාවනාවක් මෙනෙහි කරන්නට පුරුදු පුහුණු විය යුතු යි. එවිට පස්සද්ධිය හොඳට ලැබෙයි. දරදඬු ගති ඉවත්ව, පාපී සිතිවිලි ඉවත්ව , කුසල සිතිවිලි මතුව , බෝධිපාක්ෂික ධර්ම ටික, පාරමී ධර්ම ටික හොඳින් ඉස්මතු කර ගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගැන හසල දැනුමකින් සම්මා සම්බුද්ධ ශාසනය පවතින කාලය තුළ පුළුවන්තරම් ගුණ ධර්ම ටික දියුණු කරගන්නට අධිෂ්ඨාන ප්‍රාර්ථනා තබාගෙන කටයුතු කළොත්, නිවන් මඟ වරදින්නේ නැතිව ඉදිරියට ගෙනයන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බුදු දහම පිටිවහල් කරගෙන සම්බුද්ධ ශාසනයෙන් ලබාගත යුතු සියලුම දේත් ලබාගෙන, මෙලොව ජීවිතය ශක්තිමත් කරගත යුතු යි. ශීලාදී ප්‍රතිපත්ති දියුණුවෙන් , තමන් ලබාගන්නා දහම් දැනුම බොහෝ දෙනා අතරට පත් කළ යුතු යි. තමන්ගේ සැනසුම තමා හොයා ගත යුතු යි. කරදර පීඩා යටකරගෙන පාරමී ගුණ ටික දියුණුවෙන් ඉතා ඉක්මන් භවයකදී ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ශාන්ති ලක්ෂණ නිවන් පසක් කිරීමට පස්සද්ධි සම්බොජ්ඣංග භාවනාව ද හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල

 

Wednesday, September 1, 2021

සත්ති සූත්‍රය


සත්ති සූත්‍රය  

227

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, යම්සේ වනාහි තියුණු තලයකින් යුක්තවූ ආයුධයක් වේද, ඉක්බිති පුරුෂයෙක් එන්නේය. (අවුත්) ‘මම මේ ආයුධය අතින් හෝ මිටින් හෝ අගින් (අල්ලා) දෙකට නමන්නෙමි. මැදින් දෙකට නමන්නෙමි. නැවත දිග හරින්නෙමියි කියයි’ නම් මහණෙනි, ඒ කිමැයි සිතන්නහුද? ඒ පුරුෂතෙම මේ තියුණු තලයෙකින් යුක්තවූ ආයුධය අතින් හෝ මිටින් හෝ ගසා, අගින් (අල්ලා) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ සුදුසු (හැකි) වන්නේද?”

“ස්වාමීනි, එය නොවේමය.”

“ඊට හේතුව කවරේද?”

“ස්වාමීනි, මේ ආයුධය වනාහි තියුණු තලයකින් යුක්ත වූයේය. අතින් හෝ මිටින් හෝ ගසා අගින් (ගෙන) දෙකට නැමීමට හෝ මැදින් දෙකට නැමීමට හෝ නැවත දිගහැරීමට හෝ පහසු නොවේ. යම්තාක් (ඒ සඳහා උත්සාහ කරයිද) ඒතාක් ඒ පුරුෂතෙම වෙහෙසීමේ, විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.”

“මහණෙනි, එසේම වනාහි යම්කිසි භික්ෂුවක් විසින් මෛත්‍රී සහගත සමාධිය වඩනලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වේ. ඉදින් ඒ මහණහුගේ සිත කැලඹීමට යම් අමනුෂ්‍යයෙක් සිතන්නේ නම්, ඉක්බිති ඒ අමනුෂ්‍යයා තෙමේම වෙහෙසීමේ විපතට පත්වීමේ කොටස්කාරයෙක් වන්නේය.’

“මහණෙනි, එනිසා මෙහිදී, මෙසේ හික්මිය යුතු යි (කෙසේද?) ‘අපගේ මෛත්‍රී සහගත සමාධිය වඩන ලද්දේ, නැවත නැවත භාවිතා කරන ලද්දේ, යානාවක් මෙන් කරන ලද්දේ, වස්තුවක් මෙන් කරන ලද්දේ, එළඹසිටින ලද්දේ, මනාකොට පටන් ගන්නා ලද්දේ වන්නේය’ කියායි. මහණෙනි, තොප මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(පස්වෙනි සත්ති සූත්‍රය නිමි.



පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...