Wednesday, August 25, 2021

ධම්මානුපස්සනාව - සති සම්බොජ්ඣංගය


ධම්මානුපස්සනාව - සති සම්බොජ්ඣංගය:

සෑම දෙයකටම වැදගත් සිහි කල්පනාව
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ආරණ්‍ය සේනාසනයේ
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

බොජ්ඣංග භාවනාව ගැන සඳහන් කිරීමේ දී කරුණු හතකින් සමන්නාගත විදසුන් භාවනා ක්‍රමයක්. බුදුරජාණන් වහන්සේ විවේකස්ථානයක වැඩ සිට තමන්ගේ සිත ගැන විමසා බලමින් බොජ්ඣංග භාවනාව වැඩිය යුතු බව පැහැදිලි කළා.

බෝධි අංග බොජ්ඣංග නම් වෙයි. නිවන් සම්පත් අවබෝධ කර ගැනීම සඳහා බුදු , පසේ බුදු, මහ රහත් පදවි ලබා ගැනීම සඳහා සෝවාන්, සකෘදාගාමී , අනාගාමී, අර්හත් යන මාර්ග ඵලයන් ලබා ගැනීමට අවශ්‍ය කරන විශේෂ ගුණ ධර්ම හතකට බොජ්ඣංග යනුවෙන් සඳහන් කරයි. බොජ්ඣංග ධර්මත් මොහොතින්, මොහොත වෙනස් ව යයි. එක මොහොතක හටගෙන නැවත නැති වී යයි. එවිට සිහි කල්පනාවෙන් සෑම දෙයක් ම විය යුතු යි. එවිට නුවණ යෙදෙයි. සිහි කල්පනාවෙන් යමක් කරනවා නම්, බොජ්ඣංග ධර්ම ටික හොඳට දියුණු කරගන්න පුළුවන්කම තිබෙනවා. මේ ගැන දෙවියෙක්,බ්‍රහ්මයෙක් , කියනවා නෙවෙයි, අන්‍ය ආගමක කෙනෙක් කියනවා නෙවෙයි, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ ම යි බොජ්ඣංග ධර්ම ගැන පැහැදිලි කරන්නේ.

බොජ්ඣංග යන උතුම් වචනය බුදු දහමේ පමණයි තිබෙන්නේ. ඒවා දියුණු තියුණු කරන සෑම කෙනෙක් ම සිහි නුවණින් වාසය කළ යුතු යි. ඕනෑම පින්කමක් කරන විට සිහි නුවණින් වාසය කරනවා නම්, බොජ්ඣංග ධර්ම පහළ වෙයි. මුලින් ම තමන් විවේකස්ථානයක වාඩි වෙලා, තම තමන්ගේ සිත ගැන විමසා බලමින්, බොජ්ඣංග භාවනාව වැඩිය යුතු යි. සති සම්බොජ්ඣංග ආදී දියුණු කරගැනීමේ දී තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගයක් ඇති කල්හි, තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගය තිබෙන බව දැනගත යුතු යි. දෙවන ක්‍රමය තම සිතෙහි සති සම්බොජ්ඣංගය නැති කල්හි තමන්ගේ සිතෙහි සති සම්බොජ්ඣංගය නැති බව දැනගත යුතු යි. තම සිතෙහි නූපන් සති සම්බොජ්ඣංගය උපදවා ගන්නේ ය යනුවෙන් විමසා බැලිය යුතු යි. තමන්ගේ සිතෙහි නූපන් බොජ්ඣංගය වැඩි දියුණු කරගත යුතු යි. එවිට මෙම කරුණු සොයා බැලීමේ දී තමන්ට සති සම්බොජ්ඣංගය හොඳට දියුණු කරගන්න පුළුවන්. සිහියත් වෙනස් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, ඒ නිසා සති සම්බොජ්ඣංගයත් අනිත්‍ය, දුක්ඛ , අනාත්ම කියා මෙනෙහි කළ යුතු යි. වෙනස් නොවන්නේ අසංඛත ධාතු යි. එනම් සංඛ්‍යාත නිර්වාණය යි. එය වෙනස් වන්නේ නැහැ. එසේ ම ලෝකෝත්තර සිතෙහි චිත්ත, චෛතසික වෙනස් වන්නේ නැහැ. ඒවා ස්ථිර යි. අනෙක් සියල්ල ම වෙනස් ව යයි. මාර්ග සිත සැමදාමත් මාර්ග සිතම යි. එය වෙනස් කරන්නට පුළුවන්කමක් නැහැ.

සති සම්බොජ්ඣංගය උපදවා ගැනීමට උපකාරක ධර්ම හතරක් තිබෙයි. සති සම්පජඤ්ඤය ( සෑම දෙයක් ම සිහි කල්පනාවෙන් කිරීම), සිහිය ඇති පුද්ගලයන් ආශ්‍රය කිරීම, සිහි කල්පනාව නැති අය ආශ්‍රය නොකළ යුතු යි, සිහි කල්පනාවෙන් ම සෑම දෙයක් කෙරෙහි ම ඇලී ගැලී කටයුතු කළ යුතු යි. හැබැයි, ඒ තණ්හාව නෙවෙයි. මුළාව නෙවෙයි, එය ඤාණ සම්ප්‍රයුක්ත ලක්ෂණයක්. එසේනම්, මේ කරුණු සතරින් සමන්නාගත වූ සිහි කල්පනාව සති සම්බොජ්ඣංගය දියුණු කිරීම සඳහා කවුරුත් මහන්සි ගත යුතු යි.

කුඩා දරුවන් ඉහළට සමත් වීමට හොඳට මතක ශක්තිය ලබා ගන්න සිහි කල්පනාව තිබිය යුතු යි. එයට ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව පුරුදු පුහුණු කර, සිහිය දියුණු කළ යුතු යි. එවිටත් වැඩෙන්නේ සති සම්බොජ්ඣංගය යි. රැකියාව, වෙළෙඳාම, ගොවිතැන් වැඩ සිහි කල්පනාවෙන් කළ යුතු යි. එසේම බණ ඇසීමෙන්, භාවනා කිරීමෙන් සති සම්බොජ්ඣංගය හොඳට වැඩෙනවා. සියලු පින්කම් සිහි කල්පනාවෙන් සිදු කළොත් එහි දී සති සම්බොජ්ඣංග වැඩෙයි. උදේ කාලයේ දාන මාන පූජාව සුදුසු වන අතර එය හවසට කළොත් එතැන සති සම්බොජ්ඣංගය නැහැ. අකාලයේ ඒ ගැන සිතා බලා කටයුතු කිරීමට ශක්තිය නැහැ. ඒ නිසා දාන, ශීල, භාවනා සියලු පින්කම් ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන සේ කරගන්නට නම්, අත්‍යවශ්‍යම කාරණය සති සම්බොජ්ඣංගය යි.

එය දියුණු කරගත් විට කොයි කාටත් මෙලොව, පරලොව දෙලොවටත් , සංසාරෙටමත් හොඳ යි. සිහි කල්පනාව නැති නිසා හැම දුක් කරදරයකට මුහුණ පාන්න සිදු වෙයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්යය ඉන්ද්‍රිය , සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය සහ ප්‍රඥා ඉන්ද්‍රියයන් අතේ තිබෙන ඇඟිලි පහක් වගෙයි. මෙම ඉන්ද්‍රිය ධර්ම පහ සම මට්ටමකට ගේන්නට සිහි කල්පනාව අත්‍යවශ්‍යය යි.

ලොවුතුරා බුදු කෙනෙක් ධර්ම දේශනා කරන විට, හැම දෙනාගේම සිහි කල්පනාව එක අරමුණක තබා ගැනීමට යි, දේශනය පවත්වන්නේ. බුදුවරයෙක් දේශනාවක් කරන විට කිසිවකුගේ සිත විවිධ අරමුණු කරා යන්නේ නැහැ. එක අරමුණකින් සිහිය පිහිටුවා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා තමයි, ඒ අයට ධ්‍යාන අභිඤ්ඤා, විපස්සනා ඤාණ ආදී උත්තරීතර ධර්ම අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ ගැන කොයි කවුරුත් කල්පනා කර, සති සම්බොජ්ඣංගය නම් වූ උත්තරීතර ධර්මය දියුණු කර ගැනීම සඳහා අනිවාර්යෙන් කටයුතු කළ යුතු යි. එවිට තමන් ගමන් කරන මඟ වැරැදි සහගත නැතිව, නිවැරැදි මඟක යන්නට පුළුවන්.

සති සම්බොජ්ඣංගය වැඩෙන විට, සම්මා දිට්ඨිය පිරිපුන් ව දියුණු වෙයි. සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම පදයකට ම සතිය, සති සම්බොජ්ඣංගය අනිවාර්යෙන් සම්බන්ධ යි. සම්මා සතිය නැතිව , සති සම්බොජ්ඣංගය නැතිව සම්මා දිට්ඨි ආදී මාර්ගාංග පහළ වන්නට බැහැ. එසේම මෙම බොජ්ඣංගය නැතිව කවර දවසකවත් ප්‍රථම ධ්‍යානය, දුතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය ලබන්නට බැහැ. අරූපාවචර ධ්‍යාන ලබන්නට බැහැ. සෝවාන්, සකෘදාගාමී,අනාගාමී, අර්හත් , පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය ආදී විශේෂ තනතුරු ලබන්න පුළුවන්කමක් නැහැ. එසේනම්, සති සම්බොජ්ඣංගය යනු ප්‍රධාන දෙයක්. එය දියුණු කළොත් විතරයි, උත්තරීතර ධර්ම වලට පත්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ අනුව බෝධි පාක්ෂික ධර්මයන්ගේ ප්‍රධානියා ලෙස සති සම්බොජ්ඣංගය සලකන්නට පුළුවන්.

ගමනක් බිමනක් යන්නට, වාහනයක ගමනක් යන්න, කඩයකට යන්න, අධ්‍යාපනය ලබන්න සෑම දෙයකටම අවශ්‍ය කරන්නේ සිහි කල්පනාවයි. සිහිය නැතිනම්, කිසිම වැඩ රාජකාරියක් කරන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා කවුරුත් මෙම ගුණ ටික දියුණු කර ගැනීම සඳහා , සති , සමාධි, ඤාණ දියුණු කර ගැනීම සඳහා බලවත් උත්සාහයෙන් වැඩ කිරීම සඳහා සති සම්බොජ්ඣංගය හෙවත් සිහි කල්පනාවෙන් ම වැඩ කටයුතු කළ යුතු යි. එවිට කාය, වාග්, මනෝ ද්වාරත්‍රයත් සංවරයි. ශීලයත් හොඳින් රැකෙයි. පස් පවින් වළකියි. ඒ අනුව බලද්දී සම්මා සතියට , සති සම්බොජ්ඣංගයට සියලු ම දේ අනුයුක්ත ව තිබෙනවා. සිහිය නැතිනම් කුමන දෙයක්වත් දියුණු කරන්නට බැහැ. එසේනම්, බුදු දහමට අනුව වැඩ කරන සියල්ලෝම සම්මා සතිය, සති සම්බොජ්ඣංගය යන මේවා හොඳට නුවණින් පිරික්සා බලා කටයුතු කළ යුතු යි.

බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ අබියස දී ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සතර , අරූපාවචර ධ්‍යාන උපදවා ගත්තේ සති සම්බොජ්ඣංගය හොඳට තිබුණ නිස යි. එසේම බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී පංචවග්ගිය භික්ෂූන් වහන්සේලාත්, දෙවියෝත්, බ්‍රහ්මයෝත් අමතා කළ විශේෂ ධර්ම දේශනාවෙන් අසංඛ්‍යෙයක් නිවනට පත් වුණේ, සියලු දෙනාම සති සම්බොජ්ඣංගය වැඩෙන සේ බණ ටික ශ්‍රවණය කළ නිසයි. දේශනාවේ දී අඤ්ඤා කොණ්ඩඤ්ඤා ස්වාමීන් වහන්සේ අසංඛ්‍යෙයක් සෝවාන්, ආදී මාර්ග ඵල ලැබීම ම කෙතරම් විශේෂ කරුණක් ලෙස සැලකිය යුතු ද? ප්‍රථම මංගල දේශනාවේදී එලෙස නිවන් අවබෝධ කළා. ඒ අනුව කල්පනා කර අපටත්, මේ ජීවිතයේ මඟ ඵල නිවන් සුව ලැබේවා, යන පැතුමත්, මේ ජීවිතයේ ම නොලැබුණොත් ඉක්මන් භවයකදී ම නිවන් සම්පත් අවබෝධ කරගන්නට ලැබේවා යන ප්‍රාර්ථනාව කවුරුත් සිතෙහි තබාගෙන සියලු පින් දහම්වල යෙදෙන්නට අවශ්‍යය යි.

කවරදේ කරන්න ගියත්, සිතේ සතුට තිබිය යුතු යි. සිතේ අසතුට ආවොත්, කෙදිනකවත් සිත සති සම්බොජ්ඣංගය කෙරෙහි ගෙනෙන්නට බැහැ. සති සම්බොජ්ඣංගය පිහිටුවාගෙන කටයුතු කිරීමට නම්, කොයි කාගෙත් හිත හොඳ විය යුතු යි. තණ්හාව, තරහව, වෛරය , ඊර්ෂ්‍යාව වැනි පහත් සිතිවිලි හැකිතාක් දුරු කර, තමන්ගේ චිත්ත සන්ථානය ආලෝකවත් කර ඉදිරියට යාම වැදගත් ම කාරණය යි. ඒවා දියුණු තියුණු කර ගැනීමෙන් පාරමී ගුණ හොඳට දියුණු කරගන්න පුළුවන්. එසේම සිත ශක්තිමත් කරගන්නට පුළුවන්කම තිබෙනවා. එපමණක් නොවෙයි, තමන් බලාපොරොත්තු වන උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීමට නම්, සති සම්බොජ්ඣංගය ඉතාම හොඳට පැහැදිලිව තිබෙන්නට අවශ්‍යය යි. එලෙස කටයුතු කරගෙන යන අයට පමණක් ලැබෙන, උත්තරීතර දෙය වන්නේ ධර්මය යි. උත්තරීතර ධර්ම සියල්ලක්ම සති සම්බොජ්ඣංගයට යටත්ව තිබෙනවා. ඒ අනුව සලකා බලනවිට බුදු , පසේ බුදු, මහරහතන් වහන්සේ දීර්ඝ කාලයක් පුරා පුරන ලද පාරමිතාවන්ගේ ආනුභාවයෙන් තමන් වහන්සේලාට පුළුවන්කම ලැබුණා, සිහි කල්පනාව හොඳින් දියුණු වී තිබුණ නිසා, තථාගත ධර්මය අවබෝධ කරගැනීමට. එය සැමටම බැහැ. බොහොම ස්වල්ප වූ පින්ඇත්තෝ පමණයි එය අවබෝධ කරගන්නේ. පිනට, දහමට, ගුණයට නැඹුරු අය පමණක් ධර්මය අවබෝධ කරගන්නවා. අන් කිසිවෙකුට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. මේ ගැන හසල දැනුමක් කවුරුත් ඇතිකරගෙන, සති සම්බොජ්ඣංගයත් ඇතිවෙලා, නැතිවෙලා යනවා. ඒ නිසා සති සම්බොජ්ඣංගයත් අනිත්‍යයයි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. උපදින ආකාරය, පවතින ආකාරය, නැතිවෙන ආකාරය බැලිය යුතු යි. සෑම සිතකම පහළ නොවන ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිතක පමණක් පහළ වන මේ බොජ්ඣංග ධර්ම ගැන දැනගෙන කොයි කවුරුත් සිහියෙන් ම වැඩ කටයුතු කර, පාරමී ගුණ ද දියුණුවෙන්, ඉක්මන් භවයක දී ම නිවන් පසක් කරගන්නට හේතු වාසනා වේවා!

- ජම්මික ප්‍රබෝධනී වැලිකල




 

චක්ඛු සූත්‍රය



චක්ඛු සූත්‍රය

188

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

ඉක්බිති ආයුෂ්මත් ‘රාහුල’ මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ‘රාහුල’ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක් නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි”යි කියායි.

“රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”-‘ස්වාමීනි, අනිත්‍යය.’

‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ ‘ස්වාමීනි, දුකය.’

‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම් එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’

“කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”-‘ස්වාමීනි, අනිත්‍යය’

‘යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.

‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’

නැහැය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’

‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’

‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු ද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’

‘දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’

‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’

‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට

සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.

කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි අනිත්‍යය.’

‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-

‘ස්වාමීනි දුකය.’

‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’

‘සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’

‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’

‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’

රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇසෙහිත් කලකිරෙයි. කණෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නො ඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙයි. (ක්ලෙශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලෙශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්ම චර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැන ගනියි.

(පළමුවෙනි චක්ඛු සූත්‍රය නිමි.)



Sunday, August 22, 2021

අවබෝධයෙන් ධර්මය දැකීම



අවබෝධයෙන් ධර්මය දැකීම

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම

සදහම් සෙනසුනෙහි

ප්‍රධාන අනුශාසක

ආචාර්ය

මිරිස්සේ ධම්මික නා හිමි


භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අංගුත්තර නිකායේ සඳහන්වන මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයන් තිදෙනෙක් පිළිබඳව වන දේශනාවේ එන පළමු පුද්ගලයා ලෙස දක්වන්නේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා ය.


භික්ෂූන් වහන්සේ නමක් මුල, මැද, අග නම් වූ ස්ථාන තුනම රාග, ද්වේෂ, මෝහ සංසිඳවමින් පිරිසුදු ධර්මය දේශනා කරනවා. එහෙත් ධර්ම මාර්ගය පිළිබඳව නිසි අවබෝධයක් හෝ මූලික පුහුණුවක් නැති ශ්‍රාවකයෙක් ඒ ධර්මය අසාගෙන සිටිනවා. එහෙත් ඔහු තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන්නේ නැහැ. ඔහු ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව නැඟිට ගොස් එදිනෙදා ජීවිතය පැවැත්වීමේ දී රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයකින් කටයුතු කරන්නේ නෑ. පුරුදු පරිදිම ඇස, කන ආදී ඉන්ද්‍රියයන් රූප, ශබ්ද ආදී ආරම්මණයන් හි පවත්වන්නේ මෝහයෙන් යුතුව සකස්වන මනසකිනි. ඇලීමෙන් සහ ගැටීමෙන් යුක්තවයි. ප්‍රිය අරමුණු ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් සොයමිනි. ඒවා තමා සතුකර ගන්නට ලුහුබැඳ යෑම හෙවත් වෙහෙසීම, මහන්සිවී කටයුතු කිරීම සිදුවෙයි. මේ ගමනේ දී අකැමැති අරමුණුවලට මුහුණ දෙන විට තරහව, වෛරය, අමනාපය, ඊර්ෂ්‍යාව, පළිගැනීම ආදී දුර්ගුණයන් ද තමාගේ සිතෙහි වඩාගෙන ඒවා වචනයෙන්, ක්‍රියාවෙන් බලගන්වා ක්‍රියාත්මක කරන්නට පෙළඹේ.


මේ පිළිබඳව ධර්ම කතාවේ පෙන්වා දෙන උපමාව නම් “කළයක් යටිකුරු කොට තබා උඩින් වතුර වත්කිරීම” හා සමාන බවයි. කළයක් යටිකුරුකොට තබා එයට උඩින් වතුර වත්කරන විට ඇතුළට වතුර පිරෙන්නේ නැති බව ඉතා ම පැහැදිලියි. මේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා යටිකුරු කොට පවත්නා කළයක් වගේ ම මනසක් ඇති පුද්ගලයෙක් ලෙස ධර්මයේ පෙන්වා දී තිබෙනවා. මුල, මැද, අග යන අවස්ථා ඉතා ම පිරිසුදුව එනම් රාගාධී කෙලෙසුන්ගෙන් බැහැරව දේශනා කළත් මෙය අසාගෙන සිටිනවා ය කියන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ට එය වැටහෙන්නේ නැහැ. එසේ නොමැති නම් වටහා ගන්නට වුවමනාවක් නැහැ.


මේ නිසා කාමඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධච්චකුක්කුච්ඡ, විචිකිච්ඡා නම් වූ නීවරණ ධර්මයන්ට හසු වී, නීවරණ ධර්මයන් තුළ පැවැතෙමින් කෙලෙස් උපදවා ගන්නා ආකාරයත් දකින්නට තිබෙනවා. අසාගෙන සිටින විට රාගාදී කෙලෙස් නොසන්සිඳේ නම්, ඉන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට රාගාධි කෙලෙස් සංසිඳවන ආකාරයෙන් ධර්ම මාර්ගය සකස්වීමක් කෙසේවත් සිදුවිය නො හැකියි. මෙවැනි පුද්ගලයන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සේ ම, වර්තමාන පරිසරය තුළත් බොහෝමයක් සිටිය හැකියි. මෙයට හේතුව කුමක් ද? කාරුණික සිතින් යුතුව බලමු.


පළමු පියවර ලෙස දකින්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයකින් සරණ නො යෑමයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කර නොගැනීමයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුපිළිවෙලින් සිහි නොකිරීමයි. සිතා නොබැලීමයි. එනම් ධර්මය ඉගෙන නො ගැනීමයි.


එවිට සිදු වන්නේ එදිනෙදා ජීවිත පැවැත් ම පිණිස චාරිත්‍රයක් වශයෙන් ධර්ම ශ්‍රවණය ආදී පින්කම්වල නියුතුවීමයි. ඔබේ සිතෙහි ගැටීමක් ඇති නොකොට මේ නිදසුන් පිළිබඳව සිහිපත් කොට බලන්න. බොහෝ දෙනෙක් ධර්ම දේශනා සූදානම් කිරීමේ දී අරමුණ හැටියට නිරතුරුව ම පෙන්වා දෙන්නේ මළගිය ඥාතීන්ට පින් දීම පිළිබඳවයි. එසේ නොමැති නම් විවාහ සංවත්සර, උපන් දින ආදී වශයෙනුයි. මේවා එපා යැයි හෝ වැරැදි යැයි කිසිවිටෙකවත් සඳහන් කරන්නේ නැහැ. ඒවා කළ යුතු ම යි.


එනමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන ශ්‍රාවක, ශ්‍රාවිකාවන්ගේ මූලික ම පරමාර්ථය විය යුත්තේ තමා ධර්මය දැක ගැනීම හෙවත් අවබෝධ කර ගැනීමයි. තමා ධර්මය දැක ගෙන අවබෝධ කරගෙන, මිය ගිය ඥාතීන්ට පින් දීම හෝ උපන්දින, විවාහ සංවත්සර, ගිලන් වූ අයට සෙත් පැතීම ආදී වශයෙන් කටයුතු කළ හැකියි.


ධර්මය දැකගෙන, ධර්මාවබෝධයෙන් යුතුව ධර්ම දේශනා, දන්පහන් පූජා කිරීම ආදී පින්කම් හෙවත් කුසල ධර්ම සිදු කරන්නේ නම්, තමන් බලාපොරොත්තුවන පින්දීම් හෝ සෙත් පැතීම් ආදී කටයුතු අර්ථාන්විත ව, නියම ආකාරයෙන් ඵල ලැබෙන සේ ඉටු කරගත හැකියි. එනමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? චාරිත්‍ර වශයෙන් පින්කම් සිදු කරන්නට යෑමේ දී පින් දීමක් හෝ සෙත් පැතීමක් යැයි අරමුණු ගත්තත් එසේ සිදුකර ගැනීමට පින්කම සිදුකරන අයගේ සිතට අවබෝධයක් නොමැතිවීම නිසා එම පින්කම් කටයුතු යම් වූ ක්‍රියාවක් පමණක් බවට පත්විය හැකියි.


එම ක්‍රියාවන් හි පවා පිනක් නැතැයි මින් පැවසෙන්නේ නැහැ. අදහස් කරන්නේ අංග සම්පූර්ණ පිනක් සිදු නොකර ගන්නා බවයි. අවබෝධයෙන් යුතුව කුසල් මාර්ගය තුළ සකස් නොවෙන බවයි. පින්කමක් සිදු කිරීමට සිතූ මොහොතේ පටන්, සාකච්ඡා කරන මොහොතේ පටන් යහපත් වූ සිතිවිලි, පින් සිතිවිලි ලෙස සකස් විය හැකියි. එහෙත් අවබෝධයෙන් යුතුව, කුසල් මාර්ගයට පැමිණෙන්නට නම් නියම අවබෝධයෙන් යුතුව ම ලෝභා දී ආශ්‍රව ධර්ම හැකිතාක් දුරට සංසිඳවාගෙන ම සිදු කරගත යුතු ම යි.


මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ධර්ම මාර්ගය පිළිබඳව යම් වූ ද අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍යයයි. මිය ගිය ඥාතීන්ට පින් දීමක දී, සෙත් පතා ගැනීමක දී වුවත් තමා තුළ පළමුව පින, කුසලය සකස් විය යුතුයි. ඒ නිසා ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මේ සෑම ආරම්මණයක් ම සම්මත ලෝකය තුළ පිළිවෙලකට, ධර්මානුකූලව පවත්වාගත්තත්, පරමාර්ථ වශයෙන් මේ හැම වස්තූන් තුළත් චිත්ත චෛතසිකයන් හි පවතින්නා වූ උදය්‍ය ස්වභාවය අවබෝධ කරගත යුතුයි.


එනම් පඨවි ආදී හේතූන් නිසා සකස් වුණා වූ යම් ඵල විපාක වස්තූන් වේ ද ඒ පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් විසිර යෑමෙන් මේ ඵල විපාකත්, සංඥා නාමත් විසිර යන බවයි. නැතිව යන බවයි. මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුතුව ඇති කරගත්තා වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම මාර්ගයට එක්විය හැකියි. මෙහි දී ධර්ම ශ්‍රවණය යන වචනයට ධර්ම සාකච්ඡාව, දහම් පොත පත කියවීම ආදියත් එකතු කර ගත හැකියි.


භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළක් මෙහි දී සිහිපත් කළ හැකියි. “යම් කෙනෙක් අනවබෝධය හෝ ශ්‍රද්ධාව දියුණු නොවීම නිසා “උපාරම්භ චිත්තේන ධම්මං සුණාති රන්ධගවේසි” දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේගේ හෝ, පවසන ලද දහම් කෙරෙහි අඩුපාඩු, සිදුරු සොයන අදහසින් ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයන් ද සිටිය හැකි බවයි. සිටින බවයි. නිවන් අරමුණු කරන විට අප විසින් දියුණු කරගත යුතු අංග හතක් පවතිනවා. එනම් බොජ්ඣංග හෙවත් බෝධි අංග හතයි. සප්ත බොජ්ඣංග ධර්ම යනුවෙන් විස්තර කරන්නේ මෙයයි. මෙහි දී ධම්මවිචය නම් වූ බෝධි අංගයේ දී නිවන අරමුණු කරගෙන සක්ඛායදිට්ඨියේ එනම් ‘මමය මාගේ ය” යන දෘෂ්ඨියේ පටන් ආශ්‍රව ධර්ම බැහැර කර ගැනීම පිණිස ධර්මය විමසා බැලිය යුතුයි. සාකච්ඡා කරගත යුතුයි.


එනම් ධාතු ස්කන්ධ ආයතනයන් ත්‍රිලක්ඛනයට යටත් කොට දැක ගැනීමයි. ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමයි. පොත පත කියවීමයි. එහෙත් එසේ නොවී යම් කෙනෙක් තමා මුලින් හිතේ හදාගත් පිළිතුරු සමගින් තමා මුල්කරගත් දැඩි ආත්ම දෘෂ්ඨියකින් යුක්තව සිදුරු සොයන, වරද දකින අදහසින් ධර්මය ශ්‍රවණය කරන්නේ නම්, එය ද ඉතාමත් වැරැදි බවයි. එහි දී පවතින්නේ ද්වේෂයක් බව සඳහන් කළ යුතු ම යි. ද්වේෂයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කිරීම නිවන් අරමුණු වීමක් නොව නිවන දුරස්වීමක් හැටියට ම සිහිපත් කර ගත යුතුයි. යම් විටෙක ධර්ම ශ්‍රවණයක දී ධර්මය පවසන අය රාග, ද්වේෂ ආදී කෙලෙස් මතුවෙන ආකාරයෙන් ධර්මය යැයි පවසමින්, ධර්මයේ නාමයෙන් යමක් පැවසුව ද ශ්‍රාවකයා විසින් ඒවා රාග, ද්වේෂ, මෝහ වශයෙන් හඳුනාගෙන තමා තුළ රාග, ද්වේෂ, මෝහ සකස් නොවන ආකාරයට සිත පවත්වා ගැනීමට තරම් පුරුද්දක් හා දැනුමක් තිබිය යුතුමයි.


- දීපා පෙරේරා


පංච ධර්මය දැන දැක ගනිමු

 


පංච ධර්මය දැන දැක ගනිමු
බලංගොඩ, කොටවෙහෙරමංකඩ,
දම්වැල්ඕඩය,
වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම රජමහා විහාරාධිපති
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
බලංගොඩ ප්‍රාදේශීය සංඝ සභාවේ ලේඛකාධිකාරී ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

ඉධුදායි මමං සාවකා අධිසීලෙ සම්භවෙන්ති සීලවා සමණෝ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති, යම්පනුදායි මමං සාවකා අධිසීලේ සම්භවෙන්ති, සීලවා සමණේ ගෝතමෝ පරමේන සීලක්ඛන්ධෙන සමන්නාගතෝති අයං ඛෝ උදායි පඨමෝ ධම්මෝ යෙන මමං සාවකා සක්කරොන්ති, ගරුකරොන්ති, මානෙන්ති, පූජෙන්ති, සක්කත්වා ගරුකත්වා උපනිස්සාය විහරන්ති.

පින්වත්නි,

අද ධර්ම දේශනාව ලෙස මා තෝරා ගන්නේ මජ්ක්‍ධිම නිකායේ සකුළුදායි සූත්‍රයයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ සිටින දිනක පිඬු පිණිස රජගහනුවරට වැඩම කළහ. පිණ්ඩපාතය ලබා ගැනීමට කල්වේලා ඇති නිසා ‘මෝරනිවාප’ නම් වූ සකුළුදායි අසපුවට යාමට තීරණය කළහ. සකුළුදායි, තාපස පැවිද්දෙන්, ගෝලයන් ද සමඟ එම අසපුවේ වාසය කරන බැවින් බුදුරදුන් එහි වැඩම කිරීම තුළ ආගමික සුහදශීලීත්වය මනාව පැහැදිලි වන්නේ ය.

මෝරනිවාපයේ අනුගාමිකයෝ ශබ්ද කරමින්, ඝෝෂා කරමින් දෙතිස් කතාවල යෙදෙමින් කාලය ගත කරන හෙයින් බුදුරදුන් අසපුවට වඩින විට සකුළුදායි තම ගෝල පිරිස නිශ්ශබ්ද කරයි. “ශබ්ද නොකරනු” නිශ්ශබ්දතාවය පි‍්‍රයකරන ‘නිහඬව වැඩ සිටින’ ‘ඝෝෂාවට අකැමැති’ බුදුරජාණන් වහන්සේ අපේ අසපුවට වඩිනවා. අපිට ලොකුම ලාභයක්’ හරිම ප්‍රයෝජනයි. නිශ්ශබ්ද වෙන්න’ යැයි කියමින් සියලු දෙනා සන්සුන් කළේ ය. පෙරමග ගමන් කළ සකුළුදායි පිරිවැජියා බුදුරදුන් ඉතාම ඉහළින් පිළිගෙන තම අසපුවට වඩින ලෙසත්, අසුන් පනවා ඇති බවත් කියා සිටියේ ය. අසපුව ඇතුළට වැඩම කළ බුදුරදුන් පනවන ලද ආසනයේ වැඩ සිටි අතර, සකුළුදායි මිටි අසුනක් ගෙන බුදුරදුන් සමීපයෙහි ම අසුන් ගත්තේ ය. එහි වැසි සියලු දෙනා බුදුරදුන්ට ගරු කරමින් බිම වාඩි වූහ.

බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වී සිටින සියලු දෙනාගේ නිශ්ශබ්දතාවය අතරින් බුදුරදුන් මුලින්ම කතා කරයි. එය බුදුරදුන්ගේ ලක්ෂණයකි.

“මම අසපුවට වඩින විට මහා ශබ්දයක් ඇසුණා. විවිධ සාකච්ඡා, කළ බලයක් වගෙයි. මොකක්ද ඒ ඝෝෂාව, කියා අසයි. එම නිරර්ථක කතා වැඩක් නැති බව කියා සකුළුදායි වෙනත් දෙයක් ගැන කියමින් කතාව වෙනත් පැත්තකට යොමු කරයි. බුදුරදුනි, පසුගිය දිනෙක රජගහනුවර සන්නිපාත ශාලාවේ කතා බහක් ඇති වුණා. විවිධ ආගමික නායකයන් සිටින රජගහනුවර හරිම වාසනාවන්තයි කියා අයෙක් කියනවා මට ඇසුණා. නමුත් ඒ ශාස්තෘන්වහන්සේලාට තම අනුගාමිකයන් ගරු නොකරන බව ද, වෙනත් අයෙක් කියනවා. අනුශාසනා කරන විට ඇහුම්කන් නොදෙන බව, කියනා දේ පිළිනොගෙන ඒක එහෙම වෙන්න බැහැ කියනවා.

නමුත් බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ඇසෙන විට ශ්‍රාවක පිරිස් කිසි ශබ්දයක් නොකරයි. හුස්ම ගන්නා ශබ්දයක් හෝ නොඇසෙන තරමට නිශ්ශබ්දයි. මීයක් කඩන තැනක මී පැණි ටිකක් රස විඳීමට බලා ඉන්නා අයුරින් ධර්මය අහගෙන ඉන්නවා යැයි තවත් අයෙක් කියනවා. දිනක් ශ්‍රාවකයෙක් හට කිවිසුමක් ගියා. බණ අසන වෙලේ ශබ්ද කිරීම සුදුසු නැති බව දණහිසින් ඇන නිශ්ශබ්ද කළා. එතරම් ගරු කිරීමක්, ශාස්තෘ ගෞරවයක් බුද්ධ ශ්‍රාවකයන් තුළ ඇති බව සාකච්ඡා වුණු බව සකුළුදායි පිරිවැජියා බුදුරදුන්ට පැවසුවා.

පිරිවැජිය, මාගේ ශ්‍රාවකයන් කවදත් බුද්ධ වචනය මැනවින් අසනවා. ගරුකරනවා. තැන්පත් හදවතක් ඇති කර ගන්නවා.

සකුළුාදායි ඔබ දන්නවාද? ශ්‍රාවකයන් මට ගරු කරන්නේ, සත්කාර කරන්නේ, මානන පූජා කරන්නේ කෙබඳු කාරණාවක් නිසාද කියා? යැයි බුදුන්වහන්සේ විමසති. එවිට පිරිවැජියා ඊට හේතු කරුණු පහක් ඇති බව කියයි.

භාග්‍යවතුන් වහන්සේ, අප්පහාරෝ’ අල්පආහාර ඇති කෙනෙකි.

ඉතරිතරෙන චීවරේන - රළු සිවුරු පොරවා ගැනීම, ‘පිණ්ඩපාතෙන’ පිණ්ඩපාතයෙන් යැපීම ‘ඉතරිතර සේනාසනේන’ සෙනසුන්වල වැඩ සිටීම ‘පව්වේක චිත්තෝ’ උපධි විවේකයෙන් සිටීම යන කරුණු විස්තර කරයි. පිරිවැජිය භාග්‍යවතුන් වහන්සේ එවැනි ව්‍රතයන් සමාදන්ව නැත. මගේ ශ්‍රාවකයෝ ඒ කරුණු අනුව සිටින්නට පුළුවනි. ඒ ශ්‍රාවකයෝත් මට සලකනවා, ගරු කරනවා, මගේ දේශනා අහනවා. නමුත් ඔය කරුණු කාරණා නොව වෙනත් කරුණු රාශියක් පැහැදිලි කරමින් සකුළුදායි ඇතුළු අනුගාමිකයන්ට අනුශාසනා කළහ.

සම්බුදු ශාසනයේ ශ්‍රාවකයෝ මට සලකන පළමු කාරණාව සිල්වත් වූ උත්තම ශීලස්කන්ධයෙන් සමන්විත හෙයිනි. චරිතය බැබළෙන්නේ ශීලයෙනි. ශීලයෙන් හැදියාව ඇති කෙරෙයි. ශ්‍රාවක පිරිස භාග්‍යවතුන් වහන්සේගේ අති උත්තම සිල් ගුණය දන්නා නිසා සැලකීම, ගරු කිරීම, සවන් දීම, ආචාරශීලී භාවය, තැම්පත් බව, නිහඬ බව, ශ්‍රාවකයන් තුළ ඇතිවෙනවා. ‘පඨමෝ ධම්මෝ’ මෙය පළමු කාරණය වන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ සර්වඥතාඥාන දර්ශනයෙන් යුක්ත වන බව ශ්‍රාවකයෝ දනිති. දහම දැන දැක ප්‍රත්‍යක්ෂ කොට දේශනා කරන සේක. ගරු කිරීමට, සත්කාර කිරීමට හේතු වන ‘දුතියෝ ධම්මෝ’ දෙවැනි කාරණාව එය වන්නේ ය.

ශ්‍රාවකයෝ මා අධි ප්‍රඥාවෙන් යුක්තයැයි හඳුනති. උත්තම ප්‍රඥාස්කන්ධයෙන් සම්භාවනා කෙරෙති. තුන්වැනි නුවණෙහි යුක්ත බව දනිති. එහෙයින් සත්කාර ගරුකාර, මානන පූජා කෙරෙති. ‘අයං ඛෝ උදායි තතියෝ’ මෙය තුන්වැනි කාරණාවයි,

මාගේ ශ්‍රාවකයෝ දුකට පත් වූ විට මා කරා පැමිණ දුක්ඛ ආර්ය සත්‍ය අසති. එය විස්තර කර ප්‍රශ්න ව්‍යාකරණයෙන් සතුටු කරවමි. මෙසේ චතුරාර්ය සත්‍ය ප්‍රශ්න ව්‍යාකරණයෙන් ඔවුන්ගේ පැහැදීම වැඩියෙන් ඇතිවෙයි. භාග්‍යවතුන් වහන්සේට ගරු කිරීමට, සත්කාර කිරීමට හේතුවන හතරවන කාරණාව එයයි.

පිරිවැජිය ශ්‍රාවකයනට පිළිවෙත් කියාදෙන බැවින් සතර සතිපට්ඨානය වඩති. සම්‍යග්ඥානයෙන් යුතුව අභිධ්‍යාදෝමනස්සයන් දුරුකොට ධර්මයෙහි ධර්මානුදර්ශීව වෙසෙති. එම නිසා ශ්‍රාවකයෝ අභිඥාලාභී වෙති. අභිඥපාරමී සංඛ්‍යාත අරහත්වයට පැමිණෙති. එමෙන්ම මගේ ශ්‍රාවකයෝ සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද පඤ්චේන්ද්‍රිය, පංචබල සප්ත බොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, අෂ්ට විමෝක්ෂය වඩති. එමඟින් බොහෝ ශ්‍රාවකයෝ අභිඥාවසාන සහ අභිඥාපාරමී සංඛ්‍යාත රහත් බවට පැමිණ වාසය කරති.

ශ්‍රාවක සංඝයා පිළිවෙත් දැන අෂ්ට අභිහායතන වඩති, දස කසින වඩති. සතර ධ්‍යාන වඩති. සතරමහා භූත දැන දැක ගනිති. සෘද්ධිවිධ, දිබ්බසෝත, පරචිත්ත විජානන, පුබේබනිවාසානුස්සති, චුතූපපාත ඥාන උපදවා අභිඥාවසාන හා අභිඥාපාරමී සංඛ්‍යාත චීර්ණ වශී බවට පැමිණ වසති. ආශ්‍රවයන් ක්ෂයවීමෙන් අනාශ්‍රව ඵල සමාධියත්, ඵල ප්‍රඥාවත් මේ ආත්මයේම දැන ප්‍රත්‍යක්ෂ කොට ශ්‍රාවක සංඝයා වාසය කරති.

ශ්‍රාවක සමූහයා ශාස්තෘ ගෞරවය උපදවා භාග්‍යවතුන් වහන්සේට ගරු සත්කාර සිදුකරන්නේ මෙම පඤ්ච ධර්ම හේතුවෙන් බවත්, එතුළින් පුද්ගලයෙකු තුළ ගොඩනැඟෙන අභ්‍යන්තර, අධ්‍යාත්මික සංවරය බවත් සකුළුදායි පිරිවැජියාට පැහැදිලි කර වදාළහ. මෙම දේශනාවසානයේ සකුළුදායි පරිබ්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටු සිත් ඇති කර ගත්තේ ය. ඉහත දක්වන ලද පංච ධර්ම අවබෝධයට හා දැන දැක ගැනීමට, නිවනින් සැනසීමට උත්සාහ ගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි


බාළිස සූත්‍රය

 


බාළිස සූත්‍රය  

158

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබොධයට අනතුරු වන්නේය. මහණෙනි, යම්සේ වනාහි බිලීබාන්නෙක් ඇම ඇමිණූ බිලිය ගැඹුරුවූ, මහමුහුදෙහි දමන්නේවේද, ඒ බිලිය එක්තරා ඇම දුටු මාලුවෙක් ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ බිලී බාන්නාගේ බිලිය ගිලු මාලුවා දුකට විනාශයට පැමිණියේ බිලී බාන්නාට කැමැත්තක් කළ හැකිවෙයි.

“මහණෙනි, බිලීබාන්නා යන මේ වචනය වනාහි පවිටුවූ, මාරයාහට කියන නාමයකි. මහණෙනි, බිළිය යන මේ වචනය ලාභ සත්කාර ස්තුති ප්‍රශංසාවන්ට කියන නාමයකි. මහණෙනි, යම්කිසි මහණෙක් තෙම වනාහි උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රස විඳියිද, ආශා කෙරෙයිද? මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ බිළිය ගිලින ලද්දේ දුකට පැමිණියේයයි කියාද, විනාශයට පැමිණියේයයි කියාද, මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද කියනු ලැබේ. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ නික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි, මහණෙනි. තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(දෙවෙනි බාළිස සූත්‍රය නිමි.)

Thursday, August 19, 2021

පරමත්ථ (පරමාර්ථ)

 


02

පරමත්ථ (පරමාර්ථ) යනු අභිධර්මයේ මූලික කරුණු වූ ඉහත කී ධර්ම දෙඅසූවට ම කියන සාමාන්‍ය නාමයකි. අභිධර්මය උගන්නා තැනැත්තා විසින් පළමුවෙන් ම කළ යුත්තේ පරමාර්ථය හා එහි ලක්ෂණ මැනවින් තේරුම් ගැනීමය. එය වෙන් වෙන් වූ පරමාර්ථ ධර්මයන්ගේ තතු දැන ගත හැකි වීමට අත්තිවාරම වන්නේ ය.

සිතට දැනෙන සිතට හසුවන සිතින් ගන්නා යමක් වේ නම් ඒ සියල්ලට ම අර්ථය යි කියනු ලැබේ. අර්ථ යන්නෙහි තේරුම සිතින් දැන ගන්නා දෙය ම යනුයි. සියල්ල ම සිතට දැනෙන බැවින් අර්ථ නොවන කිසිවක් කොතැනකවත් නැත්තේය. සිතට දැනෙන සියල්ල අර්ථයයි කී කල්හි සිත අර්ථයක් වන්නේ කෙසේද? එය අර්ථ භාවයෙන් බැහැර වන්නේ නොවේද? යන ප්‍ර‍ශ්නය ඇති වන්නේය. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිත ද අර්ථය වේ. තවත් ක්‍ර‍මයකින් කියතහොත් වචනයෙන් කියවෙන්නා වූ අසන්නහු ගේ සිතට වචනානුසාරයෙන් දැනෙන්නා වූ දෙය අර්ථ නම් වේ. එක් වචනයකින් තවත් වචනයක් ද කිය හැකි බැවින් වචනය ද අර්ථ භාවයෙන් නො මිදේ. හැම දෙය ම වචනවලින් කියවෙන බැවින් ලොව ඇති සියල්ල ම අර්ථයෝ වෙති.

සාමාන්‍යයෙන් එකක් වූ ඒ අර්ථය හීනාර්ථයය, පරමාර්ථයයි දෙකොටසකට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් සිතට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුණත් ඒ දැනුණු දෙය සත්‍යය වශයෙන් නැති දෙයක් විය හැකිය. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍ර‍කට දෙයක් වුවද එය සත්‍යය වශයෙන් ඇති දෙයක් විය හැකිය. මේසය යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනෙයි. එය වැඩිදුර විමසා බැලුවහොත් එහි කෙලින් තැබූ ලී කැබලි සතරක් ද, ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමට යෙදූ ලී කැබෙලි සතරක් ද, ඒවා මත අතුළ ලෑලි කැබලි කීපයක් ද, ඇණ ටිකක් ද, දැකිය හැකිය. ඒවායින් එක් දෙයකුදු මේසය නො වේ. ඒ සියල්ල ද මේසය නොවේ. ඒ සියල්ල මේසය නම්, ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල්හි ද ඒ ලී මිටිය මේසයක් විය යුතුය. එසේ නො වන්නේ ඒ සියල්ල මේසය නොවන බැවිනි. ලී කැබෙලි ටික හැර මේසය කියා දෙයක් ද නැත. මේසය යන වචනය ඇසීමෙන් සිතට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලිවල සම්බන්ධ වී තිබෙන ආකාරය අනුව ඇති සැටියට සිතට හැඟෙන සත්‍ය වශයෙන් නො ලැබෙන දෙයකි. අප භාවිත කරන වචනවලින් බොහෝවක් ම ඇසුණු කල්හි ඒවායින් සිතට දැනෙන අර්ථ, මේසය යන වචනයෙන් දැනෙන අර්ථය සේම සත්‍යය වශයෙන් නො ලැබෙන්නා වූ අර්ථයෝය. පුටුව, ගෙය, දවස, මාසය, උතුර, දකුණ, ගොනා, මිනිසා යන මේ වචනවල අර්ථ විමසා බලනු. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එයින් අසන්නහු ගේ සිතට හැඟෙන දෙය ඉතා අප්‍ර‍කට දෙයක් වතුදු එය සත්‍ය වශයෙන් ඇතියක් විය හැකිය. චිත්ත, ඵස්ස, වේදනා, ලෝභ, දෝස, මෝහ යනාදි වචනවලින් හැඟෙන්නා වූ අර්ථයෝ මේසාදිය සේ මහත්ව නො වැටහෙන ඒවා වුවද සත්‍යය වශයෙන් ඇත්තා වූ අර්ථයෝ ය. සත්‍යය වශයෙන් නැත්තා වූ අර්ථයය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයය යන මේ දෙකින් සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථයට වඩා සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය උසස්ය. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය පහත්ය. එබැවින් සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය පරමාර්ථ නම් වේ. සත්‍යය වශයෙන් නොලැබෙන අර්ථය හීනාර්ථ නම් වේ.

හීනාර්ථ පරමාර්ථයන්ගේ ලක්ෂණ

සත්‍යය වශයෙන් නො ලැබෙන බව හීනාර්ථයා ගේ ලක්ෂණයයි. සත්‍යය වශයෙන් ඇති බව පරමාර්ථයාගේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් මහත්ව පෙනී විමසන කල්හි නැතිවී යන බව හීනාර්ථයේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් නො පෙනී විමසත් විමසත් ම මතුවෙවී ඒම පරමාර්ථයාගේ ලක්ෂණයයි. දුර සිට බලන කල්හි මහා ප්‍රදේශයක් වසා ගෙන සිටින මහත් දෙයක් සේ පෙනී ළංවූ කල්හි කිසිවක් නො පෙනෙන මීදුම මෙන් හීනාර්ථය විමසන කල්හි නැතිවී යන්නේය. දුරින් බලන කල්හි කිසිවක් නොපෙනී අත ගෑ කල්හි තදින් දැනෙන යකඩයක ගිනියම සේ පරමාර්ථය විමසන්නට මත්තෙන් නොපෙනී තිබී විමසන කල්හි ඇති බව තදින් දැනෙන්නට වන්නේය.

පරමාර්ථය සොයාගත යුතු ආකාරය

ඇසුණු වචනානුසාරයෙන් දැනුණා වූ ද ඇසින් දැක දැනුණා වූ ද අර්ථයක්, පරමාර්ථයක් ද නැතහොත් හීනාර්ථයක් ද යන බව දැනගැනීම පිණිස විමසිය යුත්තේ ඒ දෙය බෙදා බැලීමෙනි. බෙදන කල්හි ද මතු දැක්වෙන නීති දෙක සිත්හි තබා ගෙන එය කළ යුතු ය.

1. එක එකමය, කිසි කලෙක එක දෙකක් නොවේ.

2. දෙක දෙකමය, කිසි කලෙක දෙක එකක් නොවේ.

යම්කිසි දෙයක් දෙකට කැඩිය හැකි වේ නම් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම දෙකක් ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් හත අටකට විස්සකට තිහකට කැඩිය හැකි වෙතොත් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම හත අටක් විස්සක් තිහක් වූ බැවිනි. වස්තු දෙකක් ළංවී ඇලී එකක් මෙන් තිබිය හැකිය. එහෙත් ඇලීමෙන් දෙක එකක් නො වේ. එය ඇලී තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුව ද දෙක වෙන් වෙන් ව ම පැවති බැවිනි. එක නම් සැම කල්හි ම එක ම ය. කිසිම ආකාරයකින් ඒ එක දෙක්ක නො කළ හැකි ය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැළිය හැකි නම් මුලින් පෙනුණු දෙය සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නොව හීනාර්ථයක් බව දත යුතු ය. එකක් වශයෙන් සිතට පෙනුණු දෙයක් බෙද බෙදා බලන කල්හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන්නා වූ නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ඇති දෙය බැවින් එය පරමාර්ථයයි දත යුතු. යම්කිසි වචනයක් ඇසුණු කල්හි එයින් සිතට දැනුණු දෙය කවරාකාරයකින් වත් නො බෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථය කැයි දත යුතුයි. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ ආදි වචන ඇසුණු කල්හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, පිඟාන, කෝප්පය, රෙද්ද, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා යනාදි වචනානුසාරයෙන් දැනෙන අර්ථයෝ බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ හීනාර්ථයෝ ය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙක ද හීනාර්ථය ප්‍ර‍කාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි.



දාරුණ සූත්‍රය

 


දාරුණ සූත්‍රය  

157

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි, කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

මහණෙනි, ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දරුණුය. කටුකය. ඵරුෂය. අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුත්තේය. (කෙසේද?) උපන්නාවූ ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා අපගේ කුසල් සිත යම්සේ මැඩගෙන නොසිටින්නේද ඒ ආකාරයෙනි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(පළමුවෙනි දාරුණ සූත්‍රය නිමි.)


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...