02
පරමත්ථ (පරමාර්ථ) යනු අභිධර්මයේ මූලික කරුණු වූ ඉහත කී ධර්ම දෙඅසූවට ම කියන සාමාන්‍ය නාමයකි. අභිධර්මය උගන්නා තැනැත්තා විසින් පළමුවෙන් ම කළ යුත්තේ පරමාර්ථය හා එහි ලක්ෂණ මැනවින් තේරුම් ගැනීමය. එය වෙන් වෙන් වූ පරමාර්ථ ධර්මයන්ගේ තතු දැන ගත හැකි වීමට අත්තිවාරම වන්නේ ය.
සිතට දැනෙන සිතට හසුවන සිතින් ගන්නා යමක් වේ නම් ඒ සියල්ලට ම අර්ථය යි කියනු ලැබේ. අර්ථ යන්නෙහි තේරුම සිතින් දැන ගන්නා දෙය ම යනුයි. සියල්ල ම සිතට දැනෙන බැවින් අර්ථ නොවන කිසිවක් කොතැනකවත් නැත්තේය. සිතට දැනෙන සියල්ල අර්ථයයි කී කල්හි සිත අර්ථයක් වන්නේ කෙසේද? එය අර්ථ භාවයෙන් බැහැර වන්නේ නොවේද? යන ප්‍රශ්නය ඇති වන්නේය. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිත ද අර්ථය වේ. තවත් ක්‍රමයකින් කියතහොත් වචනයෙන් කියවෙන්නා වූ අසන්නහු ගේ සිතට වචනානුසාරයෙන් දැනෙන්නා වූ දෙය අර්ථ නම් වේ. එක් වචනයකින් තවත් වචනයක් ද කිය හැකි බැවින් වචනය ද අර්ථ භාවයෙන් නො මිදේ. හැම දෙය ම වචනවලින් කියවෙන බැවින් ලොව ඇති සියල්ල ම අර්ථයෝ වෙති.
සාමාන්‍යයෙන් එකක් වූ ඒ අර්ථය හීනාර්ථයය, පරමාර්ථයයි දෙකොටසකට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් සිතට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුණත් ඒ දැනුණු දෙය සත්‍යය වශයෙන් නැති දෙයක් විය හැකිය. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍රකට දෙයක් වුවද එය සත්‍යය වශයෙන් ඇති දෙයක් විය හැකිය. මේසය යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනෙයි. එය වැඩිදුර විමසා බැලුවහොත් එහි කෙලින් තැබූ ලී කැබලි සතරක් ද, ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමට යෙදූ ලී කැබෙලි සතරක් ද, ඒවා මත අතුළ ලෑලි කැබලි කීපයක් ද, ඇණ ටිකක් ද, දැකිය හැකිය. ඒවායින් එක් දෙයකුදු මේසය නො වේ. ඒ සියල්ල ද මේසය නොවේ. ඒ සියල්ල මේසය නම්, ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල්හි ද ඒ ලී මිටිය මේසයක් විය යුතුය. එසේ නො වන්නේ ඒ සියල්ල මේසය නොවන බැවිනි. ලී කැබෙලි ටික හැර මේසය කියා දෙයක් ද නැත. මේසය යන වචනය ඇසීමෙන් සිතට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලිවල සම්බන්ධ වී තිබෙන ආකාරය අනුව ඇති සැටියට සිතට හැඟෙන සත්‍ය වශයෙන් නො ලැබෙන දෙයකි. අප භාවිත කරන වචනවලින් බොහෝවක් ම ඇසුණු කල්හි ඒවායින් සිතට දැනෙන අර්ථ, මේසය යන වචනයෙන් දැනෙන අර්ථය සේම සත්‍යය වශයෙන් නො ලැබෙන්නා වූ අර්ථයෝය. පුටුව, ගෙය, දවස, මාසය, උතුර, දකුණ, ගොනා, මිනිසා යන මේ වචනවල අර්ථ විමසා බලනු. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එයින් අසන්නහු ගේ සිතට හැඟෙන දෙය ඉතා අප්‍රකට දෙයක් වතුදු එය සත්‍ය වශයෙන් ඇතියක් විය හැකිය. චිත්ත, ඵස්ස, වේදනා, ලෝභ, දෝස, මෝහ යනාදි වචනවලින් හැඟෙන්නා වූ අර්ථයෝ මේසාදිය සේ මහත්ව නො වැටහෙන ඒවා වුවද සත්‍යය වශයෙන් ඇත්තා වූ අර්ථයෝ ය. සත්‍යය වශයෙන් නැත්තා වූ අර්ථයය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයය යන මේ දෙකින් සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථයට වඩා සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය උසස්ය. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය පහත්ය. එබැවින් සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය පරමාර්ථ නම් වේ. සත්‍යය වශයෙන් නොලැබෙන අර්ථය හීනාර්ථ නම් වේ.
හීනාර්ථ පරමාර්ථයන්ගේ ලක්ෂණ
සත්‍යය වශයෙන් නො ලැබෙන බව හීනාර්ථයා ගේ ලක්ෂණයයි. සත්‍යය වශයෙන් ඇති බව පරමාර්ථයාගේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් මහත්ව පෙනී විමසන කල්හි නැතිවී යන බව හීනාර්ථයේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් නො පෙනී විමසත් විමසත් ම මතුවෙවී ඒම පරමාර්ථයාගේ ලක්ෂණයයි. දුර සිට බලන කල්හි මහා ප්‍රදේශයක් වසා ගෙන සිටින මහත් දෙයක් සේ පෙනී ළංවූ කල්හි කිසිවක් නො පෙනෙන මීදුම මෙන් හීනාර්ථය විමසන කල්හි නැතිවී යන්නේය. දුරින් බලන කල්හි කිසිවක් නොපෙනී අත ගෑ කල්හි තදින් දැනෙන යකඩයක ගිනියම සේ පරමාර්ථය විමසන්නට මත්තෙන් නොපෙනී තිබී විමසන කල්හි ඇති බව තදින් දැනෙන්නට වන්නේය.
පරමාර්ථය සොයාගත යුතු ආකාරය
ඇසුණු වචනානුසාරයෙන් දැනුණා වූ ද ඇසින් දැක දැනුණා වූ ද අර්ථයක්, පරමාර්ථයක් ද නැතහොත් හීනාර්ථයක් ද යන බව දැනගැනීම පිණිස විමසිය යුත්තේ ඒ දෙය බෙදා බැලීමෙනි. බෙදන කල්හි ද මතු දැක්වෙන නීති දෙක සිත්හි තබා ගෙන එය කළ යුතු ය.
1. එක එකමය, කිසි කලෙක එක දෙකක් නොවේ.
2. දෙක දෙකමය, කිසි කලෙක දෙක එකක් නොවේ.
යම්කිසි දෙයක් දෙකට කැඩිය හැකි වේ නම් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම දෙකක් ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් හත අටකට විස්සකට තිහකට කැඩිය හැකි වෙතොත් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම හත අටක් විස්සක් තිහක් වූ බැවිනි. වස්තු දෙකක් ළංවී ඇලී එකක් මෙන් තිබිය හැකිය. එහෙත් ඇලීමෙන් දෙක එකක් නො වේ. එය ඇලී තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුව ද දෙක වෙන් වෙන් ව ම පැවති බැවිනි. එක නම් සැම කල්හි ම එක ම ය. කිසිම ආකාරයකින් ඒ එක දෙක්ක නො කළ හැකි ය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැළිය හැකි නම් මුලින් පෙනුණු දෙය සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නොව හීනාර්ථයක් බව දත යුතු ය. එකක් වශයෙන් සිතට පෙනුණු දෙයක් බෙද බෙදා බලන කල්හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන්නා වූ නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ඇති දෙය බැවින් එය පරමාර්ථයයි දත යුතු. යම්කිසි වචනයක් ඇසුණු කල්හි එයින් සිතට දැනුණු දෙය කවරාකාරයකින් වත් නො බෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථය කැයි දත යුතුයි. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ ආදි වචන ඇසුණු කල්හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, පිඟාන, කෝප්පය, රෙද්ද, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා යනාදි වචනානුසාරයෙන් දැනෙන අර්ථයෝ බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ හීනාර්ථයෝ ය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙක ද හීනාර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි.
No comments:
Post a Comment