Wednesday, August 25, 2021
ධම්මානුපස්සනාව - සති සම්බොජ්ඣංගය
චක්ඛු සූත්‍රය
චක්ඛු සූත්‍රය
188
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
ඉක්බිති ආයුෂ්මත් ‘රාහුල’ මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ‘රාහුල’ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසන සේක් නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා, තනිව වෙන්ව, අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි”යි කියායි.
“රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ ‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම් එය මාගේය, එය මම වෙමි, එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
“කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?”-‘ස්වාමීනි, අනිත්‍යය’
‘යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
නැහැය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසු ද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට
සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.
කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-
‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක්නම්, පෙරළෙන සුළුනම් එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළුනම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇසෙහිත් කලකිරෙයි. කණෙහිත් කලකිරෙයි. නැහැයෙහිත් කලකිරෙයි. දිවෙහිත් කලකිරෙයි. කයෙහිත් කලකිරෙයි. සිතෙහිත් කලකිරෙයි. කලකිරුණේ නොඇලෙයි. නො ඇලීමෙන් ක්ලෙශයන්ගෙන් මිදෙයි. (ක්ලෙශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලෙශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්ම චර්‍ය්‍යාවෙහි හැසිර නිම කරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළ යුත්තක් නැතැයි දැන ගනියි.
(පළමුවෙනි චක්ඛු සූත්‍රය නිමි.)
Sunday, August 22, 2021
අවබෝධයෙන් ධර්මය දැකීම
අවබෝධයෙන් ධර්මය දැකීම
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අංගුත්තර නිකායේ සඳහන්වන මේ ලෝකයේ ජීවත් වන පුද්ගලයන් තිදෙනෙක් පිළිබඳව වන දේශනාවේ එන පළමු පුද්ගලයා ලෙස දක්වන්නේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා ය.
භික්ෂූන් වහන්සේ නමක් මුල, මැද, අග නම් වූ ස්ථාන තුනම රාග, ද්වේෂ, මෝහ සංසිඳවමින් පිරිසුදු ධර්මය දේශනා කරනවා. එහෙත් ධර්ම මාර්ගය පිළිබඳව නිසි අවබෝධයක් හෝ මූලික පුහුණුවක් නැති ශ්‍රාවකයෙක් ඒ ධර්මය අසාගෙන සිටිනවා. එහෙත් ඔහු තුළ රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන්නේ නැහැ. ඔහු ධර්ම ශ්‍රවණයෙන් අනතුරුව නැඟිට ගොස් එදිනෙදා ජීවිතය පැවැත්වීමේ දී රාග, ද්වේෂ, මෝහ සංසිඳෙන ආකාරයකින් කටයුතු කරන්නේ නෑ. පුරුදු පරිදිම ඇස, කන ආදී ඉන්ද්‍රියයන් රූප, ශබ්ද ආදී ආරම්මණයන් හි පවත්වන්නේ මෝහයෙන් යුතුව සකස්වන මනසකිනි. ඇලීමෙන් සහ ගැටීමෙන් යුක්තවයි. ප්‍රිය අරමුණු ඇස, කන ආදී ඉන්ද්‍රියයන්ගෙන් සොයමිනි. ඒවා තමා සතුකර ගන්නට ලුහුබැඳ යෑම හෙවත් වෙහෙසීම, මහන්සිවී කටයුතු කිරීම සිදුවෙයි. මේ ගමනේ දී අකැමැති අරමුණුවලට මුහුණ දෙන විට තරහව, වෛරය, අමනාපය, ඊර්ෂ්‍යාව, පළිගැනීම ආදී දුර්ගුණයන් ද තමාගේ සිතෙහි වඩාගෙන ඒවා වචනයෙන්, ක්‍රියාවෙන් බලගන්වා ක්‍රියාත්මක කරන්නට පෙළඹේ.
මේ පිළිබඳව ධර්ම කතාවේ පෙන්වා දෙන උපමාව නම් “කළයක් යටිකුරු කොට තබා උඩින් වතුර වත්කිරීම” හා සමාන බවයි. කළයක් යටිකුරුකොට තබා එයට උඩින් වතුර වත්කරන විට ඇතුළට වතුර පිරෙන්නේ නැති බව ඉතා ම පැහැදිලියි. මේ ‘අවකුජ්ජ පඤ්ඤා’ නම් වූ පුද්ගලයා යටිකුරු කොට පවත්නා කළයක් වගේ ම මනසක් ඇති පුද්ගලයෙක් ලෙස ධර්මයේ පෙන්වා දී තිබෙනවා. මුල, මැද, අග යන අවස්ථා ඉතා ම පිරිසුදුව එනම් රාගාධී කෙලෙසුන්ගෙන් බැහැරව දේශනා කළත් මෙය අසාගෙන සිටිනවා ය කියන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව ට එය වැටහෙන්නේ නැහැ. එසේ නොමැති නම් වටහා ගන්නට වුවමනාවක් නැහැ.
මේ නිසා කාමඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධච්චකුක්කුච්ඡ, විචිකිච්ඡා නම් වූ නීවරණ ධර්මයන්ට හසු වී, නීවරණ ධර්මයන් තුළ පැවැතෙමින් කෙලෙස් උපදවා ගන්නා ආකාරයත් දකින්නට තිබෙනවා. අසාගෙන සිටින විට රාගාදී කෙලෙස් නොසන්සිඳේ නම්, ඉන් අනතුරුව ඔහුගේ හෝ ඇයගේ ජීවිතයට රාගාධි කෙලෙස් සංසිඳවන ආකාරයෙන් ධර්ම මාර්ගය සකස්වීමක් කෙසේවත් සිදුවිය නො හැකියි. මෙවැනි පුද්ගලයන් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සේ ම, වර්තමාන පරිසරය තුළත් බොහෝමයක් සිටිය හැකියි. මෙයට හේතුව කුමක් ද? කාරුණික සිතින් යුතුව බලමු.
පළමු පියවර ලෙස දකින්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයකින් සරණ නො යෑමයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති කර නොගැනීමයි. ඒ වගේ ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුපිළිවෙලින් සිහි නොකිරීමයි. සිතා නොබැලීමයි. එනම් ධර්මය ඉගෙන නො ගැනීමයි.
එවිට සිදු වන්නේ එදිනෙදා ජීවිත පැවැත් ම පිණිස චාරිත්‍රයක් වශයෙන් ධර්ම ශ්‍රවණය ආදී පින්කම්වල නියුතුවීමයි. ඔබේ සිතෙහි ගැටීමක් ඇති නොකොට මේ නිදසුන් පිළිබඳව සිහිපත් කොට බලන්න. බොහෝ දෙනෙක් ධර්ම දේශනා සූදානම් කිරීමේ දී අරමුණ හැටියට නිරතුරුව ම පෙන්වා දෙන්නේ මළගිය ඥාතීන්ට පින් දීම පිළිබඳවයි. එසේ නොමැති නම් විවාහ සංවත්සර, උපන් දින ආදී වශයෙනුයි. මේවා එපා යැයි හෝ වැරැදි යැයි කිසිවිටෙකවත් සඳහන් කරන්නේ නැහැ. ඒවා කළ යුතු ම යි.
එනමුත් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන ශ්‍රාවක, ශ්‍රාවිකාවන්ගේ මූලික ම පරමාර්ථය විය යුත්තේ තමා ධර්මය දැක ගැනීම හෙවත් අවබෝධ කර ගැනීමයි. තමා ධර්මය දැක ගෙන අවබෝධ කරගෙන, මිය ගිය ඥාතීන්ට පින් දීම හෝ උපන්දින, විවාහ සංවත්සර, ගිලන් වූ අයට සෙත් පැතීම ආදී වශයෙන් කටයුතු කළ හැකියි.
ධර්මය දැකගෙන, ධර්මාවබෝධයෙන් යුතුව ධර්ම දේශනා, දන්පහන් පූජා කිරීම ආදී පින්කම් හෙවත් කුසල ධර්ම සිදු කරන්නේ නම්, තමන් බලාපොරොත්තුවන පින්දීම් හෝ සෙත් පැතීම් ආදී කටයුතු අර්ථාන්විත ව, නියම ආකාරයෙන් ඵල ලැබෙන සේ ඉටු කරගත හැකියි. එනමුත් වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ කුමක් ද? චාරිත්‍ර වශයෙන් පින්කම් සිදු කරන්නට යෑමේ දී පින් දීමක් හෝ සෙත් පැතීමක් යැයි අරමුණු ගත්තත් එසේ සිදුකර ගැනීමට පින්කම සිදුකරන අයගේ සිතට අවබෝධයක් නොමැතිවීම නිසා එම පින්කම් කටයුතු යම් වූ ක්‍රියාවක් පමණක් බවට පත්විය හැකියි.
එම ක්‍රියාවන් හි පවා පිනක් නැතැයි මින් පැවසෙන්නේ නැහැ. අදහස් කරන්නේ අංග සම්පූර්ණ පිනක් සිදු නොකර ගන්නා බවයි. අවබෝධයෙන් යුතුව කුසල් මාර්ගය තුළ සකස් නොවෙන බවයි. පින්කමක් සිදු කිරීමට සිතූ මොහොතේ පටන්, සාකච්ඡා කරන මොහොතේ පටන් යහපත් වූ සිතිවිලි, පින් සිතිවිලි ලෙස සකස් විය හැකියි. එහෙත් අවබෝධයෙන් යුතුව, කුසල් මාර්ගයට පැමිණෙන්නට නම් නියම අවබෝධයෙන් යුතුව ම ලෝභා දී ආශ්‍රව ධර්ම හැකිතාක් දුරට සංසිඳවාගෙන ම සිදු කරගත යුතු ම යි.
මේ නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ධර්ම මාර්ගය පිළිබඳව යම් වූ ද අවබෝධයක් ඇතිකර ගැනීම අවශ්‍යයයි. මිය ගිය ඥාතීන්ට පින් දීමක දී, සෙත් පතා ගැනීමක දී වුවත් තමා තුළ පළමුව පින, කුසලය සකස් විය යුතුයි. ඒ නිසා ඇසට රූප, කනට ශබ්ද වශයෙන් මේ සෑම ආරම්මණයක් ම සම්මත ලෝකය තුළ පිළිවෙලකට, ධර්මානුකූලව පවත්වාගත්තත්, පරමාර්ථ වශයෙන් මේ හැම වස්තූන් තුළත් චිත්ත චෛතසිකයන් හි පවතින්නා වූ උදය්‍ය ස්වභාවය අවබෝධ කරගත යුතුයි.
එනම් පඨවි ආදී හේතූන් නිසා සකස් වුණා වූ යම් ඵල විපාක වස්තූන් වේ ද ඒ පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් විසිර යෑමෙන් මේ ඵල විපාකත්, සංඥා නාමත් විසිර යන බවයි. නැතිව යන බවයි. මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන තථාගත බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුතුව ඇති කරගත්තා වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම මාර්ගයට එක්විය හැකියි. මෙහි දී ධර්ම ශ්‍රවණය යන වචනයට ධර්ම සාකච්ඡාව, දහම් පොත පත කියවීම ආදියත් එකතු කර ගත හැකියි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළක් මෙහි දී සිහිපත් කළ හැකියි. “යම් කෙනෙක් අනවබෝධය හෝ ශ්‍රද්ධාව දියුණු නොවීම නිසා “උපාරම්භ චිත්තේන ධම්මං සුණාති රන්ධගවේසි” දේශනාව සිදු කරන දේශකයාණන් වහන්සේගේ හෝ, පවසන ලද දහම් කෙරෙහි අඩුපාඩු, සිදුරු සොයන අදහසින් ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයන් ද සිටිය හැකි බවයි. සිටින බවයි. නිවන් අරමුණු කරන විට අප විසින් දියුණු කරගත යුතු අංග හතක් පවතිනවා. එනම් බොජ්ඣංග හෙවත් බෝධි අංග හතයි. සප්ත බොජ්ඣංග ධර්ම යනුවෙන් විස්තර කරන්නේ මෙයයි. මෙහි දී ධම්මවිචය නම් වූ බෝධි අංගයේ දී නිවන අරමුණු කරගෙන සක්ඛායදිට්ඨියේ එනම් ‘මමය මාගේ ය” යන දෘෂ්ඨියේ පටන් ආශ්‍රව ධර්ම බැහැර කර ගැනීම පිණිස ධර්මය විමසා බැලිය යුතුයි. සාකච්ඡා කරගත යුතුයි.
එනම් ධාතු ස්කන්ධ ආයතනයන් ත්‍රිලක්ඛනයට යටත් කොට දැක ගැනීමයි. ඒ වෙනුවෙන් ප්‍රශ්න කිරීමයි. පොත පත කියවීමයි. එහෙත් එසේ නොවී යම් කෙනෙක් තමා මුලින් හිතේ හදාගත් පිළිතුරු සමගින් තමා මුල්කරගත් දැඩි ආත්ම දෘෂ්ඨියකින් යුක්තව සිදුරු සොයන, වරද දකින අදහසින් ධර්මය ශ්‍රවණය කරන්නේ නම්, එය ද ඉතාමත් වැරැදි බවයි. එහි දී පවතින්නේ ද්වේෂයක් බව සඳහන් කළ යුතු ම යි. ද්වේෂයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කිරීම නිවන් අරමුණු වීමක් නොව නිවන දුරස්වීමක් හැටියට ම සිහිපත් කර ගත යුතුයි. යම් විටෙක ධර්ම ශ්‍රවණයක දී ධර්මය පවසන අය රාග, ද්වේෂ ආදී කෙලෙස් මතුවෙන ආකාරයෙන් ධර්මය යැයි පවසමින්, ධර්මයේ නාමයෙන් යමක් පැවසුව ද ශ්‍රාවකයා විසින් ඒවා රාග, ද්වේෂ, මෝහ වශයෙන් හඳුනාගෙන තමා තුළ රාග, ද්වේෂ, මෝහ සකස් නොවන ආකාරයට සිත පවත්වා ගැනීමට තරම් පුරුද්දක් හා දැනුමක් තිබිය යුතුමයි.
- දීපා පෙරේරා
පංච ධර්මය දැන දැක ගනිමු
බාළිස සූත්‍රය
බාළිස සූත්‍රය
158
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබොධයට අනතුරු වන්නේය. මහණෙනි, යම්සේ වනාහි බිලීබාන්නෙක් ඇම ඇමිණූ බිලිය ගැඹුරුවූ, මහමුහුදෙහි දමන්නේවේද, ඒ බිලිය එක්තරා ඇම දුටු මාලුවෙක් ගිලින්නේය. මහණෙනි, මෙසේ වනාහි ඒ බිලී බාන්නාගේ බිලිය ගිලු මාලුවා දුකට විනාශයට පැමිණියේ බිලී බාන්නාට කැමැත්තක් කළ හැකිවෙයි.
“මහණෙනි, බිලීබාන්නා යන මේ වචනය වනාහි පවිටුවූ, මාරයාහට කියන නාමයකි. මහණෙනි, බිළිය යන මේ වචනය ලාභ සත්කාර ස්තුති ප්‍රශංසාවන්ට කියන නාමයකි. මහණෙනි, යම්කිසි මහණෙක් තෙම වනාහි උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රස විඳියිද, ආශා කෙරෙයිද? මහණෙනි, මේ මහණ තෙම මාරයාගේ බිළිය ගිලින ලද්දේ දුකට පැමිණියේයයි කියාද, විනාශයට පැමිණියේයයි කියාද, මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද කියනු ලැබේ. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ නික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි, මහණෙනි. තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(දෙවෙනි බාළිස සූත්‍රය නිමි.)
Thursday, August 19, 2021
පරමත්ථ (පරමාර්ථ)
02
පරමත්ථ (පරමාර්ථ) යනු අභිධර්මයේ මූලික කරුණු වූ ඉහත කී ධර්ම දෙඅසූවට ම කියන සාමාන්‍ය නාමයකි. අභිධර්මය උගන්නා තැනැත්තා විසින් පළමුවෙන් ම කළ යුත්තේ පරමාර්ථය හා එහි ලක්ෂණ මැනවින් තේරුම් ගැනීමය. එය වෙන් වෙන් වූ පරමාර්ථ ධර්මයන්ගේ තතු දැන ගත හැකි වීමට අත්තිවාරම වන්නේ ය.
සිතට දැනෙන සිතට හසුවන සිතින් ගන්නා යමක් වේ නම් ඒ සියල්ලට ම අර්ථය යි කියනු ලැබේ. අර්ථ යන්නෙහි තේරුම සිතින් දැන ගන්නා දෙය ම යනුයි. සියල්ල ම සිතට දැනෙන බැවින් අර්ථ නොවන කිසිවක් කොතැනකවත් නැත්තේය. සිතට දැනෙන සියල්ල අර්ථයයි කී කල්හි සිත අර්ථයක් වන්නේ කෙසේද? එය අර්ථ භාවයෙන් බැහැර වන්නේ නොවේද? යන ප්‍රශ්නය ඇති වන්නේය. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිත ද අර්ථය වේ. තවත් ක්‍රමයකින් කියතහොත් වචනයෙන් කියවෙන්නා වූ අසන්නහු ගේ සිතට වචනානුසාරයෙන් දැනෙන්නා වූ දෙය අර්ථ නම් වේ. එක් වචනයකින් තවත් වචනයක් ද කිය හැකි බැවින් වචනය ද අර්ථ භාවයෙන් නො මිදේ. හැම දෙය ම වචනවලින් කියවෙන බැවින් ලොව ඇති සියල්ල ම අර්ථයෝ වෙති.
සාමාන්‍යයෙන් එකක් වූ ඒ අර්ථය හීනාර්ථයය, පරමාර්ථයයි දෙකොටසකට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් සිතට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුණත් ඒ දැනුණු දෙය සත්‍යය වශයෙන් නැති දෙයක් විය හැකිය. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එහි අර්ථය වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍රකට දෙයක් වුවද එය සත්‍යය වශයෙන් ඇති දෙයක් විය හැකිය. මේසය යන වචනය ඇසුණු කල්හි එයින් විශාල වස්තුවක් සිතට දැනෙයි. එය වැඩිදුර විමසා බැලුවහොත් එහි කෙලින් තැබූ ලී කැබලි සතරක් ද, ඒවා එකිනෙකට සම්බන්ධ කිරීමට යෙදූ ලී කැබෙලි සතරක් ද, ඒවා මත අතුළ ලෑලි කැබලි කීපයක් ද, ඇණ ටිකක් ද, දැකිය හැකිය. ඒවායින් එක් දෙයකුදු මේසය නො වේ. ඒ සියල්ල ද මේසය නොවේ. ඒ සියල්ල මේසය නම්, ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල්හි ද ඒ ලී මිටිය මේසයක් විය යුතුය. එසේ නො වන්නේ ඒ සියල්ල මේසය නොවන බැවිනි. ලී කැබෙලි ටික හැර මේසය කියා දෙයක් ද නැත. මේසය යන වචනය ඇසීමෙන් සිතට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙකට සම්බන්ධ කළ කල්හි ඒ ලී කැබලිවල සම්බන්ධ වී තිබෙන ආකාරය අනුව ඇති සැටියට සිතට හැඟෙන සත්‍ය වශයෙන් නො ලැබෙන දෙයකි. අප භාවිත කරන වචනවලින් බොහෝවක් ම ඇසුණු කල්හි ඒවායින් සිතට දැනෙන අර්ථ, මේසය යන වචනයෙන් දැනෙන අර්ථය සේම සත්‍යය වශයෙන් නො ලැබෙන්නා වූ අර්ථයෝය. පුටුව, ගෙය, දවස, මාසය, උතුර, දකුණ, ගොනා, මිනිසා යන මේ වචනවල අර්ථ විමසා බලනු. ඇතැම් වචනයක් ඇසුණු කල්හි එයින් අසන්නහු ගේ සිතට හැඟෙන දෙය ඉතා අප්‍රකට දෙයක් වතුදු එය සත්‍ය වශයෙන් ඇතියක් විය හැකිය. චිත්ත, ඵස්ස, වේදනා, ලෝභ, දෝස, මෝහ යනාදි වචනවලින් හැඟෙන්නා වූ අර්ථයෝ මේසාදිය සේ මහත්ව නො වැටහෙන ඒවා වුවද සත්‍යය වශයෙන් ඇත්තා වූ අර්ථයෝ ය. සත්‍යය වශයෙන් නැත්තා වූ අර්ථයය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයය යන මේ දෙකින් සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථයට වඩා සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය උසස්ය. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය පහත්ය. එබැවින් සත්‍යය වශයෙන් ලැබෙන අර්ථය පරමාර්ථ නම් වේ. සත්‍යය වශයෙන් නොලැබෙන අර්ථය හීනාර්ථ නම් වේ.
හීනාර්ථ පරමාර්ථයන්ගේ ලක්ෂණ
සත්‍යය වශයෙන් නො ලැබෙන බව හීනාර්ථයා ගේ ලක්ෂණයයි. සත්‍යය වශයෙන් ඇති බව පරමාර්ථයාගේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් මහත්ව පෙනී විමසන කල්හි නැතිවී යන බව හීනාර්ථයේ ලක්ෂණයයි. විමසන්නට මත්තෙන් නො පෙනී විමසත් විමසත් ම මතුවෙවී ඒම පරමාර්ථයාගේ ලක්ෂණයයි. දුර සිට බලන කල්හි මහා ප්‍රදේශයක් වසා ගෙන සිටින මහත් දෙයක් සේ පෙනී ළංවූ කල්හි කිසිවක් නො පෙනෙන මීදුම මෙන් හීනාර්ථය විමසන කල්හි නැතිවී යන්නේය. දුරින් බලන කල්හි කිසිවක් නොපෙනී අත ගෑ කල්හි තදින් දැනෙන යකඩයක ගිනියම සේ පරමාර්ථය විමසන්නට මත්තෙන් නොපෙනී තිබී විමසන කල්හි ඇති බව තදින් දැනෙන්නට වන්නේය.
පරමාර්ථය සොයාගත යුතු ආකාරය
ඇසුණු වචනානුසාරයෙන් දැනුණා වූ ද ඇසින් දැක දැනුණා වූ ද අර්ථයක්, පරමාර්ථයක් ද නැතහොත් හීනාර්ථයක් ද යන බව දැනගැනීම පිණිස විමසිය යුත්තේ ඒ දෙය බෙදා බැලීමෙනි. බෙදන කල්හි ද මතු දැක්වෙන නීති දෙක සිත්හි තබා ගෙන එය කළ යුතු ය.
1. එක එකමය, කිසි කලෙක එක දෙකක් නොවේ.
2. දෙක දෙකමය, කිසි කලෙක දෙක එකක් නොවේ.
යම්කිසි දෙයක් දෙකට කැඩිය හැකි වේ නම් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම දෙකක් ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් හත අටකට විස්සකට තිහකට කැඩිය හැකි වෙතොත් එසේ කළ හැකි වනුයේ එය පළමුවෙන් ම හත අටක් විස්සක් තිහක් වූ බැවිනි. වස්තු දෙකක් ළංවී ඇලී එකක් මෙන් තිබිය හැකිය. එහෙත් ඇලීමෙන් දෙක එකක් නො වේ. එය ඇලී තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුව ද දෙක වෙන් වෙන් ව ම පැවති බැවිනි. එක නම් සැම කල්හි ම එක ම ය. කිසිම ආකාරයකින් ඒ එක දෙක්ක නො කළ හැකි ය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැළිය හැකි නම් මුලින් පෙනුණු දෙය සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නොව හීනාර්ථයක් බව දත යුතු ය. එකක් වශයෙන් සිතට පෙනුණු දෙයක් බෙද බෙදා බලන කල්හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන්නා වූ නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ඇති දෙය බැවින් එය පරමාර්ථයයි දත යුතු. යම්කිසි වචනයක් ඇසුණු කල්හි එයින් සිතට දැනුණු දෙය කවරාකාරයකින් වත් නො බෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථය කැයි දත යුතුයි. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ ආදි වචන ඇසුණු කල්හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවාය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් ඇත්තා වූ පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, පිඟාන, කෝප්පය, රෙද්ද, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා යනාදි වචනානුසාරයෙන් දැනෙන අර්ථයෝ බෙදිය හැකි ඒවා ය. එබැවින් ඒවා සත්‍ය වශයෙන් නැත්තා වූ හීනාර්ථයෝ ය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙක ද හීනාර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි.
දාරුණ සූත්‍රය
දාරුණ සූත්‍රය
157
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි, කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
මහණෙනි, ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දරුණුය. කටුකය. ඵරුෂය. අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුත්තේය. (කෙසේද?) උපන්නාවූ ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා අපගේ කුසල් සිත යම්සේ මැඩගෙන නොසිටින්නේද ඒ ආකාරයෙනි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”
(පළමුවෙනි දාරුණ සූත්‍රය නිමි.)
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...