Thursday, August 12, 2021

පුබ්බ සූත්‍රය


පුබ්බ සූත්‍රය  

115

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, බුද්ධත්වයට පෙරම, බුදු නොවූ බෝසත්වූම මට මේ අදහස ඇතිවිය.

“පඨවි ධාතුවේ අස්සාදය (රස විඳීම) කවරේද? ආදීනව (දෝෂ) කවරේද? නිස්සරණය (නිදහස්වීම) කවරේද?

“ආපෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?

“තේජෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?

“වායෝ ධාතුවේ අස්සාදය කවරේද? ආදීනව කවරේද? නිස්සරණය කවරේද?

“මහණෙනි, ඒ මට මේ සිත ඇති විය. පඨවි ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය පඨවි ධාතුවේ අස්සාදයයි. පඨවි ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය පඨවි ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය පඨවි ධාතුවේ නිස්සරණයයි.

“ආපෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය ආපෝ ධාතුවේ අස්සාදයයි. ආපෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය ආපෝ ධාතුවේ ආදීනවයයි. පඨවි ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය ආපෝ ධාතුවේ නිස්සරණයයි.

“තේජෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය තේජෝ ධාතුවේ අස්සාදයයි. තේජෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය තේජෝ ධාතුවේ ආදීනවයයි. තේජෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය තේජෝ ධාතුවේ නිස්සරණයයි.

“වායෝ ධාතුව නිසා යම් සැපයක් සොම්නසක් උපදීද, මෙය වායෝ ධාතුවේ අස්සාදයයි. වායෝ ධාතුවේ යම් අනිත්‍ය බවක්, දුක් බවක්, පෙරලෙන ස්වභාවයක් වේද, මෙය වායෝ ධාතුවේ ආදීනවයයි. වායෝ ධාතුවේ යම් ඡන්දරාගය දුරු කිරීමක්, ඡන්දරාගය පහකිරීමක් වේද, මෙය වායෝ ධාතුවේ නිස්සරණයයි.

“මහණෙනි, මම යම්තාක් කල් මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය, අස්සාදය වශයෙන්ද, ආදීනවය, ආදීනවය වශයෙන්ද, නිස්සරණය, නිස්සරණය වශයෙන්ද, ඇති පරිදි නොදත්තෝද, මහණෙනි, ඒ තාක් මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙවි මිනිසුන් සහිත, ප්‍රජාව සහිත ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට නොපැමිණියෙම්යයි දැන නොගත්තෙමි.

“මහණෙනි, යම් තැනක පටන් මම මේ සතර ධාතූන්ගේ මෙසේ අස්සාදය අස්සාදය වශයෙන්ද, ආදීනවය ආදීනවය වශයෙන්ද, නිස්සරණය නිස්සරණය වශයෙන්ද, ඇතිසේ දැන ගත්තෙම්ද. මහණෙනි, ඉක්බිති, මම දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, ප්‍රජාව සහිත, ලෝකයෙහි අතිඋතුම් සම්‍යක් සම්බොධියට පැමිණියෙම්යයි දැනගත්තෙමි. මාහට ප්‍රත්‍යවෙක්ෂා ඥානයෙන් දැකීමද, පහළවිය. ‘මාගේ අර්හත්ඵල සමාධිය කම්පා නොකළ හැකිය යන ඥානය පහළවිය. මේ අන්තිම ජාතියයි. දැන් නැවත ඉපදීමක් නැත්තේය.”

(දෙවෙනි පුබ්බ සූත්‍රය නිමි.)


Wednesday, August 11, 2021

ධම්මානුපස්සනාව

 


ධම්මානුපස්සනාව:

ආයතන විදර්ශනාව
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ
ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය,
ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි

ධම්මානුපස්සනාවේ නීවරණ සහ ස්කන්ධ පහ පිළිබඳව පෙර ලිපි මඟින් සඳහන් කළා. අද සඳහන් කරන්නේ ආයතන දොළහ පිළිබඳව යි. ආයතන නිර්දේශය චක්කායතන, සෝතායතන, ඝානායතන, ජිව්හායතන, කායායතන, මනායතන යනුවෙන් හයකි. රූපායතන, ශබ්ධායතන, ඝන්ධායතන, රසායතන, පොට්ඨබ්භායතන, ධම්මායතන ආදී බාහිර හයත් සමඟ සියල්ල දොළහක් වෙයි.

එවිට තම තමන්ගේ කෘතියෙහි ආයතනය ප්‍රයත්න කරන්නන් හෙවත් යෙදෙන්නන්ට ආයතන යනුවෙන් සඳහන් කරයි. ඇස ගැන සඳහන් කළොත්, එය රූප නිශ්පාදනය කරන බැවින් චක්ඛායතනය නම් වෙයි. යමක් කරණ කොට ගෙන චිත්ත , චෛතසික ධර්මයන් තම තමන්ගේ කෘතියෙහි යොදවනවා නම්, එම යෙදීම ආයතන නම් වෙයි. ආය යනු චිත්ත, චෛතසිකයන්ට නමකි. චක්ඛු - ආයතන වෙයි. එය දීර්ඝ බවට පමුණුවන ආයතන වන අතර ආයත යනු සසර දුකට නමකි. එනම්, දීර්ඝ සංසාර දුකට නමකි. එය ආයතනයන්ට හෙවත් සසර දුකට දීර්ඝත්වයට පමුණුවන්නෝ යමක් වේ නම්, එය ආයතන නම් වෙයි. පිනවීමෙන් ඇලීමෙන් , ගැටීමෙන් වාසය කරන නිසා සසර දිග් වෙනවා. ඒ සංසාර දිග්වන ක්‍රම දොළහකි. හොඳට වටහාගෙන පව් ඉවත් කර, පින් වැඩෙන ක්‍රමයකට යොමු විය යුතු යි. බුදු දහමේ ආයතන විදර්ශනාව ලෙස සඳහන් කරන්නේ එය යි. තම ශක්තිය තම බලය හොඳට යොදන්න පුළුවන්. ඇස යනු යමක් දැකීමට (රූප) අවශ්‍ය කරන දෙයක්. ඒ සඳහා චක්ෂු ප්‍රසාදය තිබිය යුතු යි. ඒ සඳහා රූප, ආලෝකය , මනසිකාරය තිබිය යුතු යි. නො එසේනම්, අපට රූපයක් දැකිය නො හැකි යි. අන්ධකාරයේ සිටියොත් රූප නො පෙනෙයි. දෑස් නො පෙනෙයි නම්, රූප නො පෙනෙයි. කල්පනාව නැතිනම්, රූප නො පෙනෙයි. එසේනම්, මේ කරුණු ටික අපට අවශ්‍යය යි. චක්ෂු ප්‍රසාදය, බාහිර රූපය, ආලෝකය, මනසිකාරය අවශ්‍ය කරනවා. එවිටයි අපට රූපයක් දැකගන්නට පුළුවන් වන්නේ.

ඇස- චක්ෂු ප්‍රසාදය, රූප – මනසිකාරය, ආලෝකය ආදී කරුණු පහ තිබීමෙන් රූපයක් දැක ගත හැකි යි. රූප ඕනෑම අවස්ථාවක ආලෝකයේ දී දැක ගන්නට පුළුවන්. නමුත් චක්ඛායතනය ද මුළුමනින් ම විනාශවී යයි. මොහොතක් පාසා ම සිඳී බිඳී යන බව වටහා ගත යුතු යි. එසේ ම ඇසට පෙනෙන රූප ද නිබඳව ම සිඳී බිඳී යයි. මොහොතක් පාසා ම ගෙවි ගෙවී යයි. ඒ නිසා අනිත්‍ය , දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට වටහා ගන්නට පුළුවන්. ඇස් අන්ධ වුණා යනු අකුසල කර්ම විපාකයක් ඵල දීම යි. ඇස් පෙනෙනවා නම්, කුසල විපාකය ඵල දීම යි. ඒ නිසා දැන දැන දෙනෙත් අන්ධ වන පාප කර්ම නො කරන්න. ඇස් පෙනීම ඇති කරන, බෙහෙත් ලබා දීම, කණ්ණාඩි ලබා දීම , කාච ලබා දීම ආදියෙන් ඇසේ කර්ම විපාක දුරු වෙලා, කුසල කර්ම විපාක මතු වෙයි. මේවා හොඳින් දැන කියාගෙන චක්ෂු ප්‍රසාදය හොඳට දියුණු කර ගන්න. චක්ෂු ප්‍රසාදය නිසා තණ්හාව, තරහව, පින්පව් දෙකම හට ගනියි. ඒ බව වටහාගෙන චක්ඛායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. ඇසට පෙනෙන රූප මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. චක්ඛායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. වරක් දෙවරක් නොව එය දීර්ඝ වේලාවක් මෙනෙහි කරන්නට පුරුදු වන්න.

එසේම සෝතායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. කනට ඇසෙන්නේ ශබ්ද යි. ශබ්දායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එම නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. කන ඇසෙන්නේ නැහැ’යි යනු අකුසල කර්ම විපාකය පල දීමෙන් දෙසවන් බිහිරි වීම යි. කන ඇසෙනවා යනු කුසල විපාකයෙන් කන පිරිසුදුවට ඇසීම යි. මේ කාරණා දෙකම මෙනෙහි කරගෙන කොයි කාගේ වුණත්, කන විනාශයට පත්වන බව වටහා ගෙන හැකිතාක් විදර්ශනා ඥානය දියුණු කර ගන්න. මෙලෙස මෙනෙහි කිරීම සම්මසන ඥානය යි.

නාසිකාව එනම් ඝානායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝානායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. නාසිකාවට අරමුණු වන්නේ ගඳ සහ සුවඳ යි. එනම් ඝානාරම්භනය යි. ඝානායතනය මම නොවෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ඝානායතනය අනිත්‍ය යි , දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට ආයතන විදර්ශනාව සම්පූර්ණ වෙයි.

ජිව්හායතනය යනු දිව යි. ඒ නිසා ද පින් පව් රැස් වෙයි. ජිව්හායතනය රස තිත්ත තේරුම් බේරුම් කර ගනි යි. එය වටහාගෙන ජිව්හායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ජිව්හායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. දිවට දැනෙන රසායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රසායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. රස තිත්ත නොදැනේ නම්, එය අකුසල කර්ම විපාකයක් ඵල දීම යි. රස තිත්ත හොඳින් දැනේනම්, එය කුසල විපාකයක්. මේ ගැන වටහාගෙන දිව සහ රස ආරම්මණ දෙක වටහාගෙන මෙනෙහි කළ යුතු යි.

කායායතනය – කය එනම් සර්වාංගයම බැලූ විට හිස කෙස්වලට, මැරුණු සමට, නියපොතු අග ස්පර්ශය නො ද ැනෙයි. සර්වාංගයේ අනෙක් සෑම තැනක ම විඤ්ඤාණය දැනෙ යි. කායායතනය නිසා පින් , පව් දෙකම වැඩෙයි. කායායතනය සැප වේදනාවක දී හෝ දුක් වේදනාවක දී පාප ක්‍රියා හට ගනි යි. මධ්‍යස්ථව සිටිය හැකිනම් හොඳයි. එසේනම්, කායායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි යනුවෙන් මෙනෙහි කර, කායායතනය අනිත්‍ය යි, ද ුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. කයට දැනෙන ස්පර්ශය පොට්ඨබ්බායතනය හෙවත් ස්පර්ශය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න පුරුදු වන්න. එවිට කය පිළිබඳ ඇති ඇලීම ගැටීම තුරන් කර, හොඳ අවස්ථාවකට එළඹිය හැකි යි.

සිත එනම් මනායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මනායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. එයට ගොදුරු වන්නේ ධම්මායතනය යි. ධම්මායතනය මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. ධම්මායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.

ඇස, කන, නාසය, දිව, සිරුර ගැන ගැටලුවක් නැහැ. මනායතනය යනු සිත යි. ධර්මායතනය යනු ධර්ම සම්පත්තිය යි. ධම්මායතනයෙන් අදහස් කරන්නේ චෛතසික පනස් දෙක යි. සුඛම රූප දාසය යි, නිර්වාණය වූ ධර්ම හැටනවය ධම්මායතනය නම් වෙයි. එසේනම්, ධම්මායතනයට අයත් කොටස වැඩි යි. චෛතසික පනස් දෙකක් ද. රූ ප විසි අටෙන් සුඛම රූප දාසයක් ද, නිර්වාණය ද සියල්ල එකතු කළ විට පද හැට නවයකි. එය ධම්මායතනය නම් වෙයි. එය එකක් පාසා ම දැන කියාගෙන මෙනෙහි කළ යුතු යි. ධම්මායතනය අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි, සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මෙනෙහි කරමින් ඉදිරියට යා යුතු යි.

චෛතසික පනස් දෙක එකක් පාසා ම මෙනෙහි කර, අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වටහා ගන්න. සුඛම රූප දාසය බලා එය ද අනිත්‍ය, දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි. නිර්වාණය ද අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වශයෙන් මෙනෙහි කළ යුතු යි.

එසේනම්, ආයතන දොළහක් පිළිබඳව වටහාගන්න තිබෙනවා. දුකට හේතු වන සසර දිග් කරන නිසා මේවා ආයත නම් වෙයි. ඇස, කන, නාසය, දිව, සිරුර, සිත, තුළින් පින් පව් රැස් වෙනවා. එමගින් අපේ සාංසාරික ජීවිතය දික් වෙවී ගමන් කරනවා. එය නතර කර ගැනීම සඳහා ආයතන එකක් පාසා මෙනෙහි කර, අනිත්‍ය , දුක්ඛ , අනාත්ම වටහා ගත යුතු යි. එවිට සංසාර ගමනේ උපත නතර කළ හැකි යි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල අවස්ථාවට එළඹිය හැකි යි. මේ තත්ත්වයට පත් වන්න ලෙහෙසි පහසු නැහැ. තම දැනුම, පිරිසුදු සිත, කරදර පීඩා බාධක වලින් ජය ගන්නට හැකියාව තිබිය යුතු යි. මේ උත්තරීතර අවස්ථාවට අපේ දහම් දැනුමත් දියුණු කරගෙන චිත්ත, චෛතසික ධර්ම වටහාගෙන ඉදිරියට යන්න.

- ජම්මික ප්‍රබෝධනී වැලිකල




ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව

 



ධම්මානුපස්සනාව - ස්ඛන්ධ විදර්ශනාව:

විසිරෙන සිතිවිලි හඳුනා ගන්න

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


සිතට යම් අරමුණු පැමිණ ඒ සිත විනාශයට පත් කළ හැකි යි. ඇතැම් විට තමා රහත් යැ’යි මාන්නයෙන් උඩඟු විය හැකි යි. තමාට ධ්‍යාන අභිඤ්ඤා තිබෙනවා යැ’යි ඇතැම් විට සිතීම සුදුසු නැහැ.


අද සඳහන් කරන්නේ විඤ්ඤාණ උපාදානස්ඛන්ධය යි. විඤ්ඤාණය යනු සිත යි. සිත එකක් වුණාට ප්‍රභේද කළ විට සියල්ල අසූ නවය යි. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව යි. අරූපාවචර සිත් දොළහ යි. ලෝකෝත්තර සිත් අට යි. මේවා පිළිබඳ හොඳ දැනීමක් ඇති කළ යුතු යි. අකුසල් සිත් දොළහ යි. කුසල් සිත් විසි එක යි. මේ ගැන හොඳින් දැනුවත් වුණොත් බෙදා හදා ගන්නට පහසුවක් වෙයි. විඤ්ඤාණ උපාදානස්කන්ධය පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමේ දී සිතට දැඩිව අල්ලා ගැනීම විඤ්ඤාණ උපාදානස්ඛන්ධය නම් වෙයි. ලෝකෝත්තර සිත් අට යි. සෝවාන් මාර්ග සතර යි. ඵල හතර යි. එය ඉවත් කර ඉතිරි අසූ එක භාවනාවට ගත යුතු යි. පෙර සඳහන් කළා සේ ම එක සිතක් පාසා ම මෙනෙහි කරමින් ඒ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි.


ලෝභ සිතක් ගෙන බලමු. එය සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික පළමු ලෝභ සිත යි. ලෝභ සිතක් ඇති වුණාම ඒ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. තරහ සිතක් ආවොත් එය ද මෙනෙහි කරන්න. මෙසේ සෑම සිතක් පාසා ම මෙනෙහි කර යාම චිත්තානුපස්සනාවට වැටෙයි. මෙහි දී අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට සිත යොමු කළ යුතු යි. මේ ගැන දැනීමකින් චිත්තානුපස්සනාවේ ක්‍රමයට ම සිත් අසූ එක ගෙන මෙනෙහි කළ යුතු යි. අකුසල විපාක සිත්, කුසල විපාක සිත් පිළිබඳ ඉගෙන ගෙන එකක් පාසා ම මෙනෙහි කර ඉදිරියට යන්න. එවිට ස්කන්ධ විදර්ශනාවේ විඤ්ඤාණ උපාදානස්ඛන්ධ විදර්ශනාව හොඳින් හඳුනා ගත හැකි යි. සිත මොහොතක් පාසා ම ඇති වෙනවා. නැති වෙනවා. එය වටහා ගැනීම ම අනිත්‍ය , දුක්ඛ, අනාත්ම වෙයි. හැම සිතක් ම අනිත්‍ය , දුක්ඛ , අනාත්ම ගණයට යටත් වුව ද ලෝකෝත්තර සිත් එසේ යටත් නො වන්නේ ස්ථීර නිස යි.


ශරීරය පංචඋපාදානස්ඛන්ධය යනුවෙන් සඳහන් කරයි. පංච උපාදානස්ඛන්ධයට අපමණ ධර්ම කොට්ඨාශයක් ඇතුළත් කර තිබෙනවා. මේවා පිළිබඳ බුදුරජාණන් වහන්සේ නමක් ම අවබෝධ කරගන්නවා මිස වෙන කිසිවකුට අවබෝධ කරන්නට බැහැ. ඒ නිසා කවුරුත් ආගමට දහමට ලැදිව ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩමින් ම මේ ගමන ඉදිරියට පිවිසෙන්න.


සති සම්බොජ්ඣංගය, ධම්මවිඡය සම්බොජ්ඣංගය,විරිය සම්බොජ්ඣංගය, පීති සම්බොජ්ඣංගය, පස්සද්ධි සම්බොජ්ඣංගය, සමාධි සම්බොජ්ඣංගය, උපේක්ඛා සම්බොජ්ඣංගය ආදිය නිවනට අවශ්‍ය කරන බෝධි කාරක ධර්ම ටිකත් හොඳට දියුණු කරගත යුතු යි. එවිට අඩුපාඩුවක් නැතිව සිත දියුණුවෙන් ඉදිරියට යන්න පුළුවන් වෙයි. කරදර කම්කටොළු හමුවේ ඉවසන්න පුළුවන්. ඒ නිසා දහම් දැනුම මෙන්ම භාවනා දැනුම ද වැඩිකර ඔබට කිසිම දෙයකින් අඩු පාඩුවක් නැතිව, නිවන් මඟට බැසගෙන ඉදිරියට යන්නට පුළුවන්.


බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ ඒ නිවන් මඟ ගමන් කර, භාවනා ක්‍රම හොඳට දැන කියාගෙන ඒවා මුදුන් පමුණුවාගෙන අපට දේශනා කළේ. ඒ නිසා කවුරුත් සිත එකක් බව වටහා ගෙන සිතත් අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න පුළුවන්. එසේ ම සිත මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා මේ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරන්න. එවිට කාමාවචර සිත් පනස් හතර, රූපාවචර, ලෝකෝත්තර සිත් අවබෝධ කරගන්න පුළුවන්. ලෝකෝත්තර සිත් අට හැර ඉතිරි සියල්ල එකක් පාසා ම මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න පුළුවන්.


සිත් කාණ්ඩ වශයෙන් සඳහන් කළොත්, අකුසල විපාක සිත් හත මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අහේතුක කුසල විපාක සිත් අට මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එම නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අහේතුක ක්‍රියා සිත් තුන මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එම නිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මහා කුසල් සිත් අට මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මහා විපාක සිත් අට මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මහා ක්‍රියා සිත් අට මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපාවචර කුසල් සිත් පහ මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපාවචර විපාක සිත් පහ මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රූපාවචර ක්‍රියා සිත් පහ මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපාවචර කුසල් සිත් හතර මම නො වෙයි. මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපාවචර විපාක සිත් සතර මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. අරූපාවචර ක්‍රියා සිත් සතර මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. මේ ලෞකික සිත් අසූ එක මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. සිත අනිත්‍ය යි දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස්වර මෙනෙහි කරමින් එය තමන්ගේ පංචස්ඛන්ධ විදර්ශනා භාවනාව සර්ව සම්පූර්ණ කරගන්න පුළුවන්. බලන්න කෙතරම් දැනුමක් වැඩෙනවා ද? කොතරම් නුවණ දියුණු වෙනවාදැ’යි තමන් ම කල්පනා කර බලන්න.


අභිධර්ම මාර්ගය, අභිධර්ම කරුණු, අභිධර්ම චන්ද්‍රිකා ආදිය සරල ග්‍රන්ථ මඟින් මේ ගැන ඉගෙන ගත යුතු යි. මේවා හොඳින් කියවා භාවනාව මෙනෙහි කළ යුතු යි. අපහසු බව නො සිතන්න. තමන්ට පුළුවන් වන්නේ සිත අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න ද එය කරන්න. නුවණ ඇති අය ටිකෙන් ටික ගැඹුරට මෙනෙහි කරන්න. එවිට ධර්ම රසය දැනගත හැකි යි.


මහා සාගරයේ වෙරළාසන්නයට වන්නට ගැඹුරු නැහැ. ඈතට යන්න ගැඹුර වැඩියි. එසේ ම ලොවුතුරා බුදු දහම මුල ගැඹුරු නැතත්, මැදට යන්න ගැඹුර වැඩි වෙනවා. ඒවා ක්‍රමානුකූලව යාමෙන් අවබෝධය ඇති කරගන්න පුළුවන්කම තිබෙනවා.


එකවර භාවනාව කළ නො හැකි යි. දන්දීම පුරුදු පුහුණු කළ යුතු යි. පන්සිල්,අටසිල් රැකිය යුතු යි. ඉන්පසුවයි භාවනාවට යා යුත්තේ. එවිට ක්‍රමානුකූල බවක් ඇති වෙනවා. දාන මාන පින්කම් නොකර, සිල් ගුණ දියුණු නොකර භාවනා කරන්නත් බැහැ. එසේනම්, දන්දීම හැකිතාක් හුරු පුරුදු කර ගන්න. බුද්ධ පූජා, වන්දනා මාන වැඩි කර ගන්න. දිනපතා පන්සිල් සමාදන්ව රැක ගන්න, පෝයට අටසිල් ගන්න. බුදු ගුණ භාවනා,මෛත්‍රී භාවනා ආදී භාවනාවකින් ආරම්භ කර ආනාපාන සති භාවනා වැඩි දියුණු කරගෙන, සිත පිළිබඳ භාවනාවට බැසගත් විට විඤ්ඤාණ උපාදානස්ඛන්ධය යනු කුමක්දැ’ යි වටහා ගන්නට පුළුවන්. සිත ඇතිවීම, නැතිවීම බැලිය හැකි යි. සිතෙ හි උත්පාදනය, පැවතීම, නැතිවීම අවස්ථා තුන හොඳට මෙනෙහි කර තමන්ගේ භාවනා දැනුම දියුණු තියුණු කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන කවුරුත් හසල දැනුමක් ඇති කර ගන්න.


ඉහත සිත්වල කාණ්ඩ වශයෙන් සඳහන් කළා. එක සිතක් පාසා ම එලෙස මෙනෙහි කර, චිත්තානුපස්සනාව සම්පූර්ණ කරන්න, මාර්ග ඵල සිත් අට පමණක් මෙනෙහි නො කරන්න. ඒවා වෙනස් වන්නේ නැති නිසා, අනිත්‍ය, දුක්ඛ , අනාත්ම ලක්ෂණත්‍රය වැටහෙන්නේ නැහැ. මේ ගැන පින්වතුන් දැන කියාගෙන දහම් දැනුම තවත් වැඩිකරගන්න.


සතිපට්ඨාන සූත්‍රයෙන් විශාල දැනුමක් ලබා ගන්න පුළුවන්කම ලැබුණා. ස්කන්ධ විදර්ශනාවෙහි ස්කන්ධ පහම සම්පූර්ණ කළා. අවසානයේ සිතන්න තිබෙන්නේ පංච උපාදානස්ඛන්ධය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. පංච උපාදානස්ඛන්ධය හෙවත් මේ ශරීරය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් සිය දහස් වර මෙනෙහි කරද්දී විදර්ශනා නුවණ හොඳින් දියුණු තියුණු වෙයි. මේ ක්‍රමයට ම සිත දියුණුකරගෙන තම ශක්තිය තවත් ඉදිරියට දියුණු තියුණු කර භාවනා දැනුම ශක්තිමත් කරගෙන ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරගෙන ඉදිරියට යන්න. තුනුරුවන් සරණින් ඔබ සැම දෙනාට පංච උපාදානස්ඛන්ධ භාවනාව වටහා ගන්නට වාසනාව ලැබේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

අස්සද්ධ සූත්‍රය


 අස්සද්ධ සූත්‍රය  

101

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි, වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක් වෙත්. සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ, ශ්‍රද්ධා නැත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් සමග එක්වෙත්. සමගිවෙත්. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූතැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූපිරූතැන් නැත්තන්) සමග එක්වෙත්. සමගි වෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වූහ. සමගි වූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූ තැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් (බොහෝ ඇසූපිරූතැන් නැත්තන්) හා සමග එක්වූහ. සමගිවූහ. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. අල්පශ්‍රැතයෝ අල්පශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. කුසිතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සිහිමුළාවූවෝ සිහිමුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් සමග එක්වෙත්. සමගි වෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් සමග එක්වෙත්. සමගිවෙත් අල්පශ්‍රැතයෝ (බොහෝ ඇසූපිරූතැන් නැත්තෝ) අල්පශ්‍රැතයන් සමග එක්වෙත්. සමගිවෙත්. කුසිතයෝ කුසිතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක් වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද) ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පටන්ගත් වීර්ය ඇත්තෝ පටන්ගත් වීර්ය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක් වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.

“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ, සමගිවූහ. (කෙසේද?) ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජාව ඇත්තෝ ලජ්ජාව ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වූහ, සමගිවූහ. පටන්ගත් වීර්ය ඇත්තෝ පටන්ගත් වීර්යය ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වූහ, සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද) ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. පටන්ගත් වීර්ය ඇත්තෝ පටන්ගත් වීර්ය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.

“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. බහුශ්‍රැතයෝ බහුශ්‍රැතයන් හා සමග එක්වෙත්, සමගි වෙත්. පටන්ගත් වීර්ය ඇත්තෝ පටන්ගත් වීර්ය ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයන් හා සමග එක්වෙත්, සමගි වෙත්.

(හත්වන අස්සද්ධා සූත්‍රය නිමි.)

Tuesday, August 10, 2021

මකුරුප්පේ ධම්මානන්ද හිමි



සිල්වතුන්ට පරිභව නොකරමු

කැලණිය දළුගම්ගොඩ

ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ

මහාචාර්ය

මකුරුප්පේ ධම්මානන්ද හිමි

 


පෙර නිතරම ඊර්ෂ්‍යාවෙන් සිටින, මසුරු බවින් යුතු පාපී භික්ෂුවක් විය. එක් සැදැහැවත් දායකයෙක් එම භික්ෂුවගේ කීම අසා සිල්වත් භික්ෂූන්ට නින්දා කිරීමට පටන් ගත්තේ ය. කාලයකට පසු මොහු මැරී ගොස් ප්‍රේතයෙකු වී උපන්නේ ය. දිනක් මෙම ප්‍රේතයා වැසිකිළි වළකින් මතුවෙනු දුටු මුගලන් තෙරණුවෝ ඔහුගෙන් මෙසේ වීමට හේතුව විමසූහ.


එවිට තමා මිනිස් ආත්මයක් ලැබ සිටිය දී සිල්වතුන්ට ගැරහීමෙන් කළ එකී අපරාධය ගැන ප්‍රේතයා මුගලන් හිමියන්ට කණස්සල්ලෙන් කී ය. දැන් එම පාපී භික්ෂුව කොහි දැයි මුගලන් තෙරණුවන් විමසූ විට ඒ පාපී භික්ෂුව දැන් තමාගේ මෙහෙකරුවෙකු වී, ශ්‍රමණ ප්‍රේතයෙකු වී සිටින බවත් , තමා ඔහුගේ හිස මත සිටින බවත් කී ය. තව ද, පාපී භික්ෂුවගේ කීම අසා සිල්වත් භික්ෂූන්ට නින්දා කළ දායක ප්‍රේතයා අසූචි කා ජීවත් වන අතර, දායකයා නොමඟ යැවූ පාපී ශ්‍රමණ ප්‍රේතයා දායක ප්‍රේතයාගේ අසූචි කා ජීවත් වන බව ද පැවසී ය.


ඉහත දක්වන ලද කතාව මා විසින් උපුටා ගන්නා ලද්දේ ප්‍රේතවස්තු ප්‍රකරණය නම් ග්‍රන්ථයෙනි. එහි මෙම කතාව ගූථඛාදක ප්‍රේතවස්තුව නමින් දක්වා ඇත. මෙම කථාවස්තුව අවසානයේ මෙසේ ද සඳහන් වේ. “එබැවින් සත්පුරුෂයෙනි, භික්ෂුවක් නමුදු ඔබට කෙනෙකු ගැන චෝදනාවක් කළ පමණින් එය අදහා අනුන්ට දොස් නඟා අපාගත නොවෙත්වා” යනුවෙනි. මෙයින් කියැවෙන අදහස වර්තමාන සමාජයට අතිශයින් වැදගත් වන බව කාටත් නො රහසකි. අනුන්ට අපහාස කිරීම, නින්දා පරිභව කිරීම, ශිෂ්ට සම්පන්න මිනිසුන් ඇති සමාජයක යහපත් හෝ බුද්ධිමත් කටයුත්තක් බව කිසිදු අයුරකින් සැලකෙන්නේ නැත. විශේෂයෙන් ම උසස් ගුණ ඇති මිනිසුන්ට අපහාස කිරීම නිසා ධර්ම නියාමය අනුව බොහෝ විපත් සිදුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. දරුණු වේදනා විඳීමට සිදුවීම, ධනහානිය, අත් පා කැඩීම් බිඳීම් හෝ මරණයට පත්වීම, බරපතල රෝගාබාධයන්ට ලක්වීම, මානසික උමතු බව, නීතිමය හිරිහැර, තමා නොසිතූ ලෙස නොකළ වැරැදිවල හසු වී දරුණු ලෙස අවමානයට ලක්වීම, තමාට හිතෛෂී ඥාතීන් අහිමිවීම, තමා සතු සම්පත් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්වීම, ගේදොර ගිනි, හෙන ආදියෙන් දැවී පිළිස්සී යාම, මරණින් පසු අපායේ ඉපදීම යනු එහි විපාක වේ.


අකුසලයට වැඩි නැඹුරුවක් දැක්වීමත්, කුසලයට එතරම් කැමැත්තක් නො දැක්වීමත් ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. සදාචාරයට හා නීතියට අවනත නොවී තම අවශ්‍යතාව සහ කැමැත්ත කෙසේ හෝ ඉටු කර ගැනීමට ඔවුන්ගේ යටි හිතේ මනෝභාවයක් පවතින බව බුදුන් වහන්සේ විසින් මැනවින් පෙන්වා දී ඇත. මෙම යටි හිතේ පවතින නරක මනෝභාවය සිග්මන් ප්‍රොයිඩ් නම් දාර්ශනිකයා ම්ලේච්ඡ මනස නමින් හැඳීන්වී ය.


වයස අවුරුදු පහකට අඩු ළමයෙකු තමාට කිසියම් ආහාරයක් හෝ මවගේ ආදරය හෝ අවශ්‍ය වූ විට තම වුවමනාව ඉටුවන තරු හඬා, දඟලා එය ලබා ගැනීමෙන් ම සෑහීමට පත්වේ. එම අවස්ථාවේ තම මවගේ නිදිමත ගැන හෝ මවගේ අසනීප තත්වය ගැන හෝ එබඳු වෙනත් කිසිවක් ගැන ඔහු සිතන්නේ නැත. එහෙත් වයස අවුරුදු පහ ඉක්මවූ පසු ඔහු මෙම ම්ලේච්ඡ මනසෙන් මිදේ. අවාසනාවට ඇතැම් මිනිසුන් වයසින් මුහුකුරා ගිය ද ඔවුන්ගේ මෙම ම්ලේච්ඡ චින්තන ක්‍රමය දිගටම පවතී. සාංසාරික පුරුදු, මව්පියන්ගේ ජානමය බලපෑම, ජීවත්වන පරිසරය, ඇසුරු කරන පුද්ගලයන්ගේ ස්වභාවය, ළාමක ආශාවන්, මුදල්වලට ඇති ගිජුකම, තමා අතිවිශිෂ්ට මිනිසෙකු බව සමාජයට ඒත්තු ගන්වා කීර්ති ප්‍රශංසා ලැබීමේ මානසික රෝගයෙන් පෙළීම යනාදී හේතු සාධක රැසක් මෙයට බලපායි. මෙම කරුණු ගිහියෙකු වුවත් , පැවිද්දෙකු වුවත් ධර්මයෙන් ශික්ෂණය නොකළ මනසක් ඇති කවරෙකුට වුවත් සිදුවිය හැකි දේ ය.


සම්බුද්ධ ශාසනය වූ කලී නිසැක වශයෙන් ම, සිල්වත්කම තුළින් ලැබූ ප්‍රඥාවක් තිබූ මිනිසුන් නිසාම සුරක්ෂිත වූවකි. එය කිසිසේත් දැනුමෙන් සන්නද්ධ වූ තර්ක කිරීමෙන් යමක් තහවුරු කළ හැකි උගතුන්ගෙන් ආරක්ෂා වූවක් නොවේ. සිල්වත්කම නිසා ලබන ප්‍රඥාව කිසිසේත් පොතපත කියවීමෙන් ලැබිය නො හැකි ය. එසේ ම, එය තර්ක බුද්ධිය නිසා ද ලැබිය නො හැකි ය. මෙම අවබෝධය වර්තමාන සමාජයේ ඇතැම් ගිහි වූ හෝ පැවිදි වූ හෝ දේශකයන් පසුපස අවිචාරයෙන් ඉබාගාතේ යන බොහෝ ශ්‍රාවකයන්ට සහ අනුගාමිකයන්ට නැති බව පැහැදිලි කරුණකි. මෙම තත්ත්වය අද ඊයේ සිදු වූවක් නොව බුද්ධ කාලයේ සිටම සිදු වූවකි. බොහෝ විට මෙබඳු තත්වයන් සිදු වූයේ වයසට ගොස් පැවිදි වූ බුඩ්ඪ පබ්බජිතයන්ගෙනි. එසේ නැතහොත් වෙනත් මිථ්‍යාදෘෂ්ටික සංකල්ප බොහෝ කාලයක් හදාරා ඒවා ජීර්ණ කොටගත් ඊනියා බුද්ධිමතුන්ගෙනි. එසේත් නැතිනම් ලාභ සත්කාර අපේක්ෂාවෙන් රහතුන් , බුදුන් මෙන් වෙස් වළාගත් චෞරයන්ගෙනි. මීට හොඳම නිදසුන බුද්ධ කාලයේ විසූ ජම්බුකාජීවක නම් පැවිද්දාගෙන් ලැබේ.


පෙර දඹදිව ගෙදරක ජම්බුක නමින් ළමයෙක් සිටියේ ය. ඔහු පුරාකෘත අකුසලයක් නිසා කිසිදිනක පිරිසුදු කෑමක් කෑමට නො ලැබූවෙකි. ඔහු කැමති වූයේ ඉඳුල් කෑමට හෝ අශූචි කෑමට ය. මෙය එම ගෙදර සෙසු සාමාජිකයන්ට මහත් අපහාසයක් විය. මීට විසඳුමක් ලෙස ඔවුහු මොහු ආජීවක ආරාමයකට බාරදුන්හ. එහිදී ආජීවකයෙකු වූ ඔහු අශූචි කන හෙයින් සෙසු ආජීවකයෝ ඔහු පළවා හැරියහ. එවිට ජම්බුක ආජීවකයා ඊට විසඳුමක් ලෙස ස්වාධීනව විසීමට තීරණය කළේ ය. ඒ අනුව ඔහු නගරයේ අශූචි බැහැරලන පෙදෙසක් අසල කඳු මුදුනකට වී ඒවා කමින් ජීවත්විය. කවුරුන් හෝ එම ස්ථානයට පැමිණෙන විට මුඛය විවෘත කොට ගෙන තනි කකුලෙන් සිටීමට ඔහු පුරුදු විය. එය දුටු අය ඔහු සමඟ යම් යම් දේ සාකච්ඡා කොට විශේෂ පුද්ගලයෙකු විය යුතු යැයි සිතා ඔහුගේ පැවැත්ම ගැන ද විමසූහ. තමා කට ඇරගෙන සිටින්නේ වාතය අනුභව කිරීමට බවත් එය තමාට යැපීමට ප්‍රමාණවත් බවත් කී ආජීවකයා තනි කකුලෙන් සිටින්නේ එය තම ව්‍රතය වන බැවින් යැයි ද කී ය. කරුණු විමසා නොදත් අන්ධබාල මිනිස්සු ඈත දුර සිට දාන මානාදිය රැගෙන ඒමට පටන් ගත්හ. එම ආහාරවලින් බිඳුවක් තණකොළ අගකින් ගෙන දිව ගා ප්‍රමාණවත් පින්වත යැයි කියන ඔහු දායකයන්ගේ සිත් පිනවා පිටමං කිරීමට සමත් විය.


ආගමික ඉතිහාසය තුළ ඉහත දැක්වූ පරිදි විසූ වංචනිකයන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ. දේවදත්ත, ඡබ්බග්ග, සත්තරස වග්ගිය ආදී භික්ෂූහු මේ ගණයට අයත් වෙති. බොරු , ඇත්ත මෙන් කීමෙන් රාජරාජ මහාමාත්‍යාදීන් පවා වසඟ කර ගැනීමට මොවුහු සමත් වූ බව අපි දනිමු. තවද අධර්මවාදීන් තම අනුගාමිකයන්ගේ මනස් පාපී සිතිවිලිවලින් පුරවා, ඔවුන් නොමඟ යවා සිය මනදොළ සපුරා ගැනීමෙන් සිදු වූ ඛේදවාචක පිළිබඳව ශාසන ඉතිහාසයෙහි සටහන් වී ඇත. සම්බුද්ධ ශාසනයට අනූපම මෙහෙවරක් සිදුකළ මහ මුගලන් මහරහතන් වහන්සේ තළා පෙළා ඇටකටු කුඩු කොට ඝාතනය කරවන ලද්දේ මිසදිටු වැළඳගත් පැවිදි වේෂධාරීන් විසින් බව ද මතක තබා ගත යුත්තකි. උන්වහන්සේ ඝාතනය කරවීමේ හේතුව වූයේ ශාසනයට ලැබෙන ලාභ සත්කාර නැති කිරීම හා තම පාර්ශ්වයට ඒවා වැඩි කර ගැනීමයි. එසේම මහා ප්‍රතාපවත් අජාතසත්ත රජතුමා තම පියාට අපමණ වධ පමුණුවන ලද්දේ මෙවැන්නන්ගේ උපදෙස්වලින් නොමඟ ගිය නිසා ය.


වරක් සච්චක වැනි උගත් යැයි සම්මත මුග්ධයන් තථාගත දේශනාව වැරැදි යැයි පෙන්වා දීමට උත්සාහ කළ අයුරු සච්චක සූත්‍රයේ පෙන්වා දී ඇත. තථාගත දේශනාව වැරැදි ලෙස විග්‍රහ කරමින් සාතිල අරිට්ඨ වැනි භික්ෂූන් ක්‍රියා කළ ආකාරය මහාකම්මවිභංග සූත්‍රය හා මහාතණ්හාසංඛය සූත්‍රය කියවීමෙන් තේරුම් ගත හැකි ය. නො රහත්ව රහත් යැයි කියමින්, ජනතාව මුළා කරමින් සිටි උරුවේල කාශ්‍යප දමනය කිරීමට ප්‍රාතිහාර්යය එක් දහස් දෙසිය පණහක් දැක්වීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය. බුදුන් දවසම ඇතැම් පාපී භික්ෂූන් මෙන්ම ගිහියන් ක්‍රියා කළ ආකාරයටම මෙකල ද ඇතැම්හු ක්‍රියා කරති. එබැවින් තථාගත ධර්මය පිළිපදිමින් නිර්වාණ මාර්ගය අපේක්ෂාවෙන් ඔබත් ක්‍රියා කරන කෙනෙකු නම්, තම ක්‍රියාකාරිත්වය නිවැරැදි දැයි පළමුව තේරුම් බේරුම් කර ගැනීමට උත්සුක වන්න. එහි දී ඔබ සිටිනා තැන තේරුම් ගැනීමට ඔබට කැඩපතක් ඇත. එය නම් ත්‍රිපිටකය නමැති කැඩපත මිස අන් කිසිවක් නොවේ.


ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ජීවිතය කැප කරමින් දිවි ගෙවන සිල්වත් මහ තෙරුන් වහන්සේලා වැඩ වෙසෙති. සිල් ගුණෙන් දිවි ගෙවන ගිහි උපාසක උපාසිකාවෝ බුද්ධරත්නය විෂයෙහි ඉමහත් බැතියෙන් ද, ශ්‍රී සද්ධර්මය කෙරෙහි අපමණ විශ්වාසයකින් සහ මහසඟුන් කෙරෙහි ඉමහත් ගරුත්වයකින් ද දිවි මඟ සරු කරගනිති.


ඔවුන් විසින් මෙම විශ්වයේ සොබා දහමට එකතු කරන විස්මිත ශක්තිය නිසා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් තුරු ලතා, ඇළ, දොළ, ගංගා සතා සිවුපාවා පමණක් නොව මිනිස් කැළ ද ආරක්ෂාව ලබති. දෙවියෝ ද නිදුකින් පවතිති. එබඳු සිල්වතුන්ට, ගුණවතුන්ට , ගැරහීමට, නින්දා පරිභව කිරීමට මඳකදු සිතක් පහළ නොකර ගන්න. කුමක් නිසාද යත්, එසේ කිරීම මහත් අකුසලයක් වන බැවින් හා එයින් තමාට මෙන්ම පොදු සමාජයටම අනල්ප ව්‍යසනයක් වන හෙයිනි. ලෝකයට අවශ්‍ය වන්නේ සත්පුරුෂ මිනිසුන් මිස අසත්පුරුෂයන් නොවේ. සිල්වත් ගුණවත් උතුමන්ට ගරහා ප්‍රේතයන්, භූතයන් , පිශාචයන් වී දෙලොව දුක් විඳී සත්ත්වයන් පිළිබඳව ප්‍රේතවස්තු, සීහලවස්තු හා සහස්සවස්තු වැනි ප්‍රකරණ ග්‍රන්ථවල එන සියගණන් කථාවලින් පෙන්වා දී ඇත.


මුඬු කළ හිසක් හා කසාවතක් හැඳී පමණින් කෙනෙකු ශ්‍රමණයෙක් නොවේ. ශරීරයේ සිත්කඵ පැහැයක් හා මනා රූපයක් තිබූ පමණින් සත්පුරුෂ මිනිසෙකු ද නොවේ. කෙනෙකුගේ යහපත් බව හෝ අයහපත් බව දත හැක්කේ ඇසුරෙන්ම ය. එය ද සුඵ කලකින් නොව දීර්ඝ කාලයකින් ම බව බුදුපියාණන් වහන්සේ වදාළහ. එබැවින් ඇසුරට යමෙකු තෝරා ගන්නා විට දී මෙන්ම යමෙකුගේ අනුගාමිකයෙකු වශයෙන් ක්‍රියාකිරීමට පෙර විමසිලිමත් වීමට බුද්ධිමත් වන්න. යමෙක් යමක් කී පමණින් එය සත්‍යය යැයි සිංහනාද පැවැත්වීමට ඉක්මන් නො වන්න. එසේම යමක් තමන් නොදන්නා තරමින් එය වැරැදි යැයි නිග්‍රහ කොට බැහැරලීමට ද යුහුසුඵ නො වන්න. තමන්ගේ ජීවිතය තමන් සතු බවත් , එය වැරැදි තැනක තැබීමෙන් කරගනු ලබන හානිය සතුරෙකු විසින් තමාට කරනු ලබන හානියකටත් වඩා බරපතල හානියක් බවත් තේරුම් ගන්න. විශ්වය පවතිනුයේ සිල්වත් , ගුණවත් හා යහපත් මිනිසුන්ගේ ගුණ බල මහිමය නිසාය, යන සදාතන සත්‍යය වටහා ගැනීම අපට මෙබඳු පාප කර්මයන්ගෙන් වැළකීමට උපස්තම්භක වනු ඇත.


ලැබෙන අවමන් ඉවසමු මෙත් සිතින්

 


ලැබෙන අවමන් ඉවසමු මෙත් සිතින්

බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විහාරාධිපති

කරගොඩ උයන්ගොඩ

මෛත්‍රී මූර්ති මහ නා හිමි


කිසියම් කෙනෙකුට කිපෙන්නට, ක්‍රෝධ කරන්නට හේතුවන කරුණක් තිබුණ ද එය ක්‍රියාත්මක කරන්නට නොදී ඉවසීමෙන් එය සංසිඳවා ගන්නේ නම්, ඔහු උතුම් පුද්ගලයෙකි.


“යො වෙ උප්පතිතං කොධං

රථං භන්තංව ධාරයේ

තමහංසාරථිං බ්‍රෑමි

රස්මිග්ගාහො ඉතරෝ ජනො”


මෙම ගාථාව ධම්මපදයේ ක්‍රෝධ වර්ගයෙහි සඳහන් වන්නකි. මෙම ගාථාවෙන් පෙන්නුම් කරන්නේ ක්‍රෝධ නොකිරීමේ ඇති වැදගත්කමයි. එනම් තමා තුළ ඇති වූ ක්‍රෝධ සිතිවිල්ල අවබෝධයෙන් තේරුම්ගෙන, හිත සන්සුන් කරගැනීමේ ඇති වටිනාකම පෙන්වා දීමයි.


මෙම ගාථාව දේශනා කළේ එක්තරා දේවතාවියක් මුල්කරගෙනයි. ජේතවනාරාමයට ආසන්නයෙහි එක්තරා දෙවඟනක් එක් වෘක්ෂයක් තම නිවස කරගෙන, වාසස්ථානය කරගෙන සිටියා ය. භික්ෂුවක් තමාට අවශ්‍ය කුටියක් සෑදීම සඳහා ලී හා අතු සොයා යමින් මෙම ගස දෙස බලා ගහ කපන්නට සූදානම් විය. මෙය දුටු ගහට අධිපති, ගස වාසස්ථානය කරගත් දෙවඟන තම දරුවා ද පෙන්වා මේ ගස නොකපන ලෙස ඒ භික්ෂුවගෙන් ඉල්ලා සිටියා ය. මේ ගස මගේ වාසස්ථානය යි. මෙය කපා විනාශ කළොත් මට යන්න තැනක් නැහැ. ඒ නිසා, ස්වාමීන් වහන්ස, වෙන ගසක් සොයා ගන්න, මගේ නිවස වූ මේ ගස කපන්න එපා යැයි” ඉල්ලා සිටියා ය.


නමුත් මේ ඉල්ලීමට කන් නොදුන් භික්ෂුව ගස කපන්නට පොරෝ පහරක් ගැසුවේ ය. ගසේ අත්තට ගැසූ පොරෝ පහර දරුවාගේ අතකට ද වැදිණි. තමාගේ අහිංසක ඉල්ලීම ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා කෝපයට පත් දෙවඟන කෝපයෙන් පුපුරමින් හාමුදුරුවන්ට ගැසීමට අත්දෙක එස වුව ද, එස වූ අත් දෙක පහළට හෙළන්නට පෙර ඇය මෙසේ සිතුවා ය. වැරදිලාවත් මා පහර දුන්නොත් ඒ පහරින් මේ භික්ෂුව මරණයට පත්වනු ඇත. මේ භික්ෂුව සිල්වත් ය. ඒ පාපකර්මයෙන් අනිවාර්යයෙන්ම මා අපාගතවනු ඇත. අනන්ත අප්‍රමාණ කාලයක් සසර අපාදුක් විඳින්නට සිදුවේ. මේ ගැන සිතා තමා තුළ ඇති වූ අධික කෝපය ඉවසීමෙන් සංසිඳුවාගෙන අත් දෙක පහළට හෙළුවා ය. අනිත් අතට මා කළාක් මෙන් අනික් දෙවිවරු ද තම නිවාස වූ වෘක්ෂයන් කපා ගැනීමට එන භික්ෂූන්ට ද පහර දෙනු ඇත. එසේ වුවහොත් බරපතල පාපකර්මයක් වනු ඇත. මේ ගැන සිතා හඬමින් තම දුක් ගැනවිල්ල කීමට ජේතවනාරාමයෙහි වැඩ සිටින බුදුරදුන් හමුවට පැමිණියා ය. බුදුරදුන් හමුවට පැමිණි දෙවඟන තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා ය.


බුදුරජාණන් වහන්ස, ඔබවහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් මාගේ නිවස වූ වෘක්ෂය මා එපා කියද්දීම කපා විනාශ කළ බවත්, මා තුළ ඇති වූ කෝපය නිසා උන්වහන්සේට පහර දීමට අත් දෙක එස වුවත් ඒ පහර දීමෙන් ඇතිවිය හැකි බරපතල විපාකය සලකා තරහ සංසිඳුවා ගනිමින් අත්දෙක පහළට හෙළූ බවත් ප්‍රකාශ කළා ය. දේවතාවියගේ ඉවසීම විශිෂ්ට බව ප්‍රකාශ කළ බුදුරදුහු ඇයගේ ක්‍රියාවට ප්‍රශංසා කළහ.


එහිදී බුදුරදුහු ඉහත කී ගාථාව වදාරමින් වේගයෙන් යන රථයක් අතුරු අන්තරාවක් නොවී, කරදරයක් නො වී පදවන්නාක් මෙන් යම්කිසිවෙකු තුළ ඇතිවන කෝපය සංසිඳුවා ගැනීමේ ඇති වැදගත්ම අගය කළහ. දෙවඟනගේ වාසස්ථානය වෙනුවෙන් අලුත් වෘක්ෂයක් ද බුදුරදහු ලබා දුන්හ. බුදුරදුන් දිවැසින් බලනවිට ඒ අසල වෘක්ෂයක් වාසස්ථානය කරගෙන සිටි දෙවියෙකු එයින් චුත වී යනු දැක ඒ වෘක්ෂය වාසස්ථානය කරගන්නා ලෙසත් දෙවඟනට දැන්වූහ. ඒ අනුව බුදුරදුන් පෙන්වා දුන් නව වෘක්ෂය තම වාසස්ථානය කරගත් අතර අනිත් දෙවිවරු ද එම දෙවඟනට විශේෂත්වයක් දක්වන්නට වග බලා ගත්හ.


මෙම සිද්ධිය අප වෙත මහඟු පාඩමක් උගන්වා ඇත. එනම් ක්‍රෝධය, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සිත් නරක් කරන සිතිවිලිවල ඇති භයානකකමත්, එම සිතිවිලි ක්‍රියාත්මක වන්නට නොදී සිත පවිත්‍රව තබාගන්නට හැකියාවක් ඇත්නම් එයින් ලබන මහඟු සුවය ඔබට අත්විඳින්නට පුළුවන් වන බවත් ය.


උදේ පටන් රෑ නින්දට යනතුරු ඔබගේ එදිනෙදා ක්‍රියාදාමය දෙස බලන්න. ඔබගේ සිත අවුල්වන, වික්ෂිප්ත වන, නොසන්සුන්වන, පසුතැවිලි වන අවස්ථා දෙස බලන්න. සිත් තුළ කෝපය, ක්‍රෝධය, තරහ, වෛරය, ඊර්ෂ්‍යාව ඇතිවන අවස්ථා දෙස බලන්න. එබඳු අවස්ථාවලදී ඔබ මානසිකව කොතරම් පීඩාවට වේදනාවට පත්වූවා දැයි බලන්න.


ගෙදර දී ඔබගේ දරුවන් සමඟ තරහින්, කේන්තියෙන් කටයුතු කළ අවස්ථා දෙස බලන්න. දරුවන්ගේ සමහර ක්‍රියාකාරකම් ඔබ කෝප ගන්වා ඇත. භාර්යාවගේ ක්‍රියාකාරකම් දෙස බලා ඔබ කෝප වූ අවස්ථා තිබෙන්නට පුළුවන. ස්වාමිපුරුෂයාගේ නුරුස්සන ක්‍රියාකාරකම්වලින් ඔබ වේදනාවට පත් වූ අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන. තම පරිසරය, වටාපිටාව හා සමාජය සමඟ කේන්තියෙන් නො ඉවසීමෙන් ප්‍රශ්න උග්‍ර වූ අවස්ථා කොතෙකුත් තිබෙන්නට පුළුවන. තම කාර්යාලයේ දී, වැඩපළේ දී ආයතනයේ දී තරහින් වචන හුවමාරු කරගත් අවස්ථා මෙන් ම වෛරයෙන් පිපිරී ක්‍රියා කළ අවස්ථා ද මතකයට නංවන්නට පුළුවන. සමහර අවස්ථාවල සිතේ ඇති වූ ක්‍රෝධය වචනයෙන් හා ක්‍රියාකාරකම්වලින් පෙන්නුම් කිරීමට ගොස් විවිධ මාදිලියේ ප්‍රශ්න ඇති වූ අවස්ථා ද සුලබ විය හැකි ය. තරහෙන්, කේන්තියෙන් ක්‍රියා කළ සෑම අවස්ථාවකම ඔබ මානසිකව මෙන් ම ශාරීරිකව ද අසහනයට, වේදනාවට පීඩනයට පත් වූ බව ඔබ මේ වන විට ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගෙන සිටිනු ඇත. ක්‍රෝධය ඇතිවීමට බලපාන දසවිධ ආඝාත වස්තූන් පිළිබඳව බුදුදහමෙහි සඳහන් ය. ක්‍රෝධය, තරහ, වෛරය, ඇතිවීමට හේතු වන කරුණු දහයක් මෙහිදී පෙන්නුම් කර ඇත.


අසවල් තැනැත්තා මගේ දියුණුවට අකැමැති වී ඇත. මගේ දියුණුවට බාධා කර ඇත. මගේ දියුණුව වළක්වා ඇත.


දැනුත් ඒ අය මගේ දියුණුවට බාධා කරති. මගේ දියුණුව වළක්වති.


අනාගතයේ දී ද ඒ අය මගේ දියුණුවට බාධා කරනු ඇත.


ඒ තරහකරුවෝ මගේ මිතුරාගේ, දියුණුවට බාධා පමුණුවනු ඇත.


දැනුදු ඒ අය මගේ මිත්‍රයාගේ, හිතවතාගේ දියුණුවට බාධා කරති.


අනාගතයේ දී ද ඔවුහු මගේ මිතුරාගේ හිතවතාගේ දියුණුවට බාධා පමුණුවනු ඇත.


අසවල් අය මගේ සතුරාට විරුද්ධකාරයාට උදව් උපකාර කර ඇත.


අසවල් අය අනාගතයේ දී මගේ සතුරාට, විරුද්ධකාරයාට උදව් උපකාර කරනු ඇත.


යනුවෙන් නව විධ ආකාරයකින් සිතා විරුද්ධකාරයා කෙරෙහි වෛර කිරීම, ක්‍රෝධ කිරීම නවවිධ ආඝාත වස්තු ලෙස ධර්මයේ සඳහන් කර ඇත.


සමහර විට වැස්ස වසින විටද, වැස්ස නොවසින විටද, අව් රශ්මිය ඇතිවිටද, අව් රශ්මිය නැති විටද, සුළඟ ඇතිවිටද, සුළඟ නැති විටද, ඇවිදීමේ දී පා ගල්මුල්වල හැපුණු විටද, කෝප ගන්නා අවස්ථා කොතෙකුත් දැක ගන්නට පුළුවන. මෙයට අස්ථාන ක්‍රෝධය යැයි කියති. අස්ථාන ක්‍රෝධයත් සමඟ ආඝාත වස්තු දහසක් ධර්මයෙහි සඳහන් ය. ක්‍රෝධ සූත්‍රයට අනුව ද මිනිසා ක්‍රෝධයෙන් බලන, ක්‍රෝධයෙන් සිතන, ක්‍රෝධයෙන් බලා ඊර්ෂ්‍යාවෙන් පුපුරන අවස්ථා හතක් පෙන්වා දී ඇත. බුද්ධ චරිතය යනු අපගේ ජීවිත නිවැරැදිව හැඩගස්වා ගැනීමට මඟ කියාදෙන වටිනා පාඩම් පොතකි. බුද්ධ චරිතය තුළ ක්‍රෝධයෙන්, තරහෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් සිටි කිසිම අවස්ථාවක් දැක ගන්නට නැත. තමන් විනාශ කරන්නට ආ දේවදත්ත කෙරෙහිත් තම පුතු වූ රාහුල කෙරෙහිත් දැක්වූයේ එකම බැල්මකි. මාගන්ධියා බැමිණිය, චිංචිමානවිකාව වැනි කාන්තාවන් නොයෙකුත් නින්දා අපහාස, ඇණුම් බැණුම් සිදු කළ ද බුදුරදුහු ඒ කිසි දෙයකින් කම්පා නොවූහ. අස්ථානයෙහි කරන චෝදනා ගැරහුම් පවත්වන්නේ දින හතක් වැනි කාලයක් පමණක් බව බුදුරදුහු පෙන්වා දුන්හ. නින්දා අපහාසවලට පිළිතුරු දීමට බුදුරදුහු සූදානම් නො වූහ. මෙත් සිතින් ඉවසා වදාළහ. නිරපරාදේ සිදු කරනු ලබන දෝෂාරෝපණ ඒ අය වෙතට පෙරළා යනු ඇත.


සුරාවෙන් මත් වූ කල

 



සුරාවෙන් මත් වූ කල ...

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ

බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

පාතේගම ඤාණිස්සර හිමි


සුරාව සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අය සමඟ කළ අධ්‍යයනවලදී පෙනී ගියේ බහුල වශයෙන් ම තම මිත්‍රයන්ගේ ඇසුරින් මතට හුරුපුරුදු වීම හා එයට ඇබ්බැහි වී ඇති බව ය.


එකවර ඇබ්බැහියක් ඇතිවන්නේ නැත. සිතිවිල්ල, ආසාව, අවශ්‍යතාව, ආස්වාදය, ඇබ්බැහිය යනුවෙන් එය අනුපිළිවෙළ ක්‍රමයකට ඇතිවන්නක් මිස එකවර ඇබ්බැහියක් ඇතිවන්නේ නැත. පළමුව ඇතිවන්නේ යමක් පිළිබඳ සිතිවිල්ලයි. එය මනසේ දී ම ප්‍රතික්ෂේප වීම හෝ කැමැතිවීම හෝ ඇතිවෙයි.


යම් දෙයක් පිළිබඳව කැමැත්ත අඛණ්ඩව මනසේ තිබීමෙන් එය ආසාව බවට පත්වෙයි. ආසාව නිසා යමක් කරන විට ඉන් ආස්වාදයක් ලැබෙයි. ඇතැම් ආස්වාද ලැබීමෙන් එය නතර කර හෝ අවසන් කර දමයි. ඉන් එහා ආශ්වාදයේ ලොල්වීම ඇබ්බැහියයි. ඇබ්බැහිය , සිතිවිල්ල කැමැත්ත.අවශ්‍යතාව, ආස්වාදය යනාදියට එහා ගිය එකකි. ඇබ්බැහිය එක්තරා ආකාරයක රෝග ලක්ෂණයක් වීමටද පුළුවන. මත්වතුර හා ද්‍රව්‍ය ගන්නන් සියල්ලෝ ම එයට ඇබ්බැහි වූවෝ නොවෙති. ඇබ්බැහිය දක්වා පැමිණියෝ කිසියම් දුර්වල මානසික තත්වයෙන් පෙළෙන්නෝ ය. ඇබ්බැහිය ද කිසියම් මානසික දුර්වලතාවයකි. යමෙක් යමකට ඇබ්බැහි වූ පසු, ඔහුට තමා ඇබ්බැහියක සිටින බව බොහෝ විට වැටහෙන්නේ නැත. වර්තමාන ශ්‍රී ලාංකික පරිසරයේ පවත්නා වූ ප්‍රශ්න අතර මිනිසුන් මතට ඇබ්බැහිවීම ප්‍රබල ප්‍රශ්නයකි.


සිංහල සමාජය තුළ ප්‍රමාණාත්මක වශයෙන් මත්වතුර සහ මත්ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඇතැම්හු මත් වුවද ඒ බව පිටට නොපෙන්වති. ඇතැම්හු තමා පානය කළ සුරා ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්වෙයි.


රා බී සත පහක

වෙරි වී පනම් හතරක

ගුටි කා රුපියලක

අහෝ දුක්වෙති සිලිං හතරක


යනුවෙන් වන කවිය ඉතා පැරැණි එකකි. එය කෙතරම් පැරැණි ද යත් එහි සඳහන් වන මුදලේ වටිනාකම්වලින් වැටහෙයි. ඇබ්බැහි වුවත්, ඇබ්බැහි නොවූවත් මත්වීම පුද්ගල බලය හා ශක්තිය හීන කරයි. පෞරුෂය දුර්වල කරයි. මත්වීමේ ආදීනව වඩාත් හොඳින් පෙනෙන්නේ ද දැනෙන්නේ ද මත්වූයේ නැති පුද්ගලයාට ය.


සුරාපාන ජාතකය හෙළි කරනු ලබන්නේ අධ්‍යාත්මික ශක්තිය සහිත පුද්ගලයකු වුව ද, සුරාපානය නිසා සමාජයේ අවතක්සේරු වන බවයි. පෞරුෂත්වය දුර්වල කරන බවයි. සුරාපාන ජාතක කතාවේ වර්තමාන කතාව මෙසේ දක්වමු.


අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේටත් උපස්ථාන කළ සාගත නම් වූ තෙරනමක් වැඩ සිටියහ. උන්වහන්සේ පෘතග්ජන ඍද්ධි බලයෙන් යුක්ත වන සේක. උන්වහන්සේ තම ඍද්ධිය නිසා සාමාන්‍ය මිනිසාට නොකළ හැකි විවිධ ඍද්ධිබල පාන්නාහ. එනිසාම සාගත තෙරණුවෝ සමාජයේ මිනිසුන් අතර තරමක් ප්‍රසිද්ධ වූහ. බොහෝ මිනිස්සු පි‍්‍රය කළහ. උන්වහන්සේගේ විශේෂ හැකියාව නිසා උන්වහන්සේ වටා මිනිස්සු පෙළ ගැසුණහ.


එකල අම්බතීර්ථ නම් ගමේ බරපතළ නාගයෙක් වෙසෙයි. නාගයා ගමට ඒම නිසා ගැම්වැසියෝ ඉමහත් බියට පත්වෙති. නාගයා පළවා දැමීමට විවිධ උපක්‍රම කළ ද, ඉන් යහපතක් වූයේ නැත. අම්බතීර්ථ නාග බිය සමාජය වෙළා ගත්තේය. ඍද්ධි බලයෙන් යුක්ත සාගත තෙරණුවෝ අම්බතීර්ථයට වැඩම කළහ. මිනිසුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා උන්වහන්සේ කිසිම මිනිසෙක් අහලකටවත් නොයන නාගයා වසන තැන තණ ඇතිරිල්ලක් එළාගෙන වැඩ උන්හ. තෙරණුවෝ දැක නාගයා දැඩි සේ කිපී උන්වහන්සේ දෙසට සිය නාග ඇසින් දුම් පිට කළේය. තෙරණුවෝ ද එසේම තමන් වහන්සේගේ ඇසෙහි දුම් පිටකළහ. නාගයා ගිනි පිට කළේ ය. තෙරණුවෝ ද එසේම කළහ. නාගයාගේ තේජස තෙරණුවන්ට නොපෙනෙයි. තෙරණුවන්ගේ තේජස නාගයා පෙළයි. නාග බියෙන් සලිතව සිටි නියම්ගම් වැසියෝ ද තෙරණුවන් නාගයා දමනය කරන අපූරුව බලන්නට රොඳ බැඳුණාහ. සාගත තෙරණුවෝ මෙසේ විවිධ දේ කර ක්ෂණයකින් සහන දී සර්වඥයන් වහන්සේ වෙත වැඩියහ.


සාගත තෙරණුවන්ගේ මේ වීර ක්‍රියාව හා උන්වහන්සේගේ කීර්ති රාවය මොහොතින් සියලු ජනපදයෙහි තුඩ තුඩ පැතිර ගියේ ය. කොසඹෑනුවර ජනයා සර්වඥයන් ඉදිරියේ වැඳ නමස්කාර කොට සාගත ස්ථවීරයන් වහන්සේ වෙත ගොස් මෙසේ කී හ. ස්වාමීනි, ඔබ වහන්සේ අපට කරනු ලැබුවේ ඉමහත් උපකාරයකි. ඔබ වහන්සේට අවශ්‍ය කරන කුමන හෝ අවශ්‍යතාවයක් තිබේ නම්, අපට දැනුම් දෙන්න. මිනිසුන්ගේ බස් ඇසූ සාගත තෙරණුවෝ කිසිවක් නොකීහ. සාගත තෙරුන් වහන්සේ ඒ මිනිසුන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටි බව අසා ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේ ඔවුන්ට මෙසේ කී හ.


උපාසකවරුනි, පැවිදි තැනැත්තන්ට කාපෝතිකා නම් සුරාව ලබාගැනීම අපහසුයි. උන්වහන්සේලා එයට මනාපද වෙයි. ඉදින් ඔබ සාගත තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ නම්, කාපෝතිකා නම් සුරාව පිළියෙළ කරන්න යනුවෙනි. ඒ උපාසකවරු ස්වාමීන් වහන්ස යහපතැයි පිළිගෙන තම තමන්ගේ ගෙවල්වල කාපෝතිකා නම් සුරාව පිළියෙළ කොට තෙරුන් වහන්සේට පිළිගැන්වූහ.සාගත තෙරුන් වහන්සේ සුරාව වළඳා මඳයෙන් මත්ව නුවරින් නික්මෙන සේක. වාසල් දොර අසල වැටී නන්දොඩමින් වැදහොත්හ.


සර්වඥයන් වහන්සේ නුවරින් නික්මෙන සේක. සාගත තෙරුන් වහන්සේ වාසල් දොර අසල නන් දොඩවමින් වැටී සිටිනු දැක මහණෙනි, සාගත තෙරුන් ඔසවා ගනු යැයි කියා ගෙන්වාගෙන විහාරයට වැඩිසේක. ඒ භික්ෂූන් වහන්සේලා සාගත තෙරුන්ගේ හිස බුදුරදුන්ගේ සිරිපතුල පාමුල දෙසට යොමුකොට බිම තැබූ සේක. තෙරුන් වහන්සේ පෙරළි ගොස් තමන් වහන්සේගේ දෙපය සිරිපතුල පාමුල සිටි සේක. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ගෙන් මෙසේ විචාළ සේක.


කිමෙක්ද, මහණ පෙරදී සාගත ස්ථවිරයන් මා කෙරෙහි යම් ගෞරවයක් තිබුණිද, දැන් ගෞරවය තිබේද? නැත ස්වාමීනි.


මහණෙනි, අම්බතීර්ථ නාගරාජයා දමනය කළෝ කවරහුද?


ස්වාමීනි, සාගත තෙරුන් වහන්සේ ය.


කිමෙක්ද? මහණෙනි, සාගත ස්ථවිරයන් දියබරියකුවත් දමනය කිරීමට සමත් වේද?


නැත.ස්වාමීනි


කිමෙක්ද? මහණ, යමක් බී මෙලෙසට විෂව වැටී සිටිත් නම් එසේ වූ සුරාව බොන්නට සුදුසුද?


සුදුසු නොවේ ස්වාමීනි.


සාගත තෙරුන් වහන්සේට ලෞකික ඍද්ධි ප්‍රාතිහාර්යය හා අම්බතීර්ථ නම් භයානක නාගරාජයා දමනය කොට මිනිසුන්ට සෙත යහපත් සලසාදීම වෙනුවෙන් පිරිනැමූ පිරිකර පිළිගැනීමේ සිද්ධි අරබයා බුදුරජාණන් වහන්සේ සාගත තෙරුන් වහන්සේට අවවාද කළහ.


ඒ සිද්ධිය අරබයා සියලුම භික්ෂූන් වහන්සේලාට ශික්ෂා පදයක් පවා පනවා වදාළහ. ඇවැත්නි, සුරාපානය නම්, ඉමහත් දොස් ඇත්තකි. ඒ සුරාපානය ප්‍රඥා සම්පන්නවූත් සමෘද්ධිමත්වූත් සාගත ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදන්නා තත්වයට පත් කරනු ලැබී ය. යනුවෙන් භික්ෂූහු සුරාපානය හා තම අත්දැකීම් සාකච්ඡා කළහ. ගුථපාණී ජාතක කතාවෙන් හෙළිවන්නේ සුරාපානයෙන් මත්වී තමන්ගේ කට රැකගත නොහැකිව ජීවිතය විනාශ කරගත් මැස්සෙක් පිළිබඳවයි.


ඉස්සර ජීවත්වූ මිනිස්සු අද වගේ ගම ගෙවල්වල සුරාපානය නොකළහ. ඔවුන් එසේ නොකරන්නේ ගෙවල්වල කුඩා දරුවන් ද, කාන්තාවන් ද සිටින බැවිනි. සුරාපානය කිරීමට අවශ්‍ය වූ විට එයට අවශ්‍ය කරන කළමනා සපයාගෙන කැලෑවට යති. කැලෑවේ ඇති පමණ පදම් වී ඒ කටයුත්ත නිමකොට වෙරි හිඳුන පසු ගම ගෙවල්වලට එති. ඒ ආකාරයෙන් එක්තරා මිනිස් කණ්ඩායමක් සුරාපානය කරන්නට කැලෑවට ගියෝ ය. සුරාවෙන් මත් වී ඔවුහු එහි විවිධ කෙළි කොට ආපසු පැමිණියහ. සුරාපානය කළ එම ස්ථානයේ බිම වැටී තිබූ පත්‍රයක මත්වතුර ටිකක් වැටී තිබිණ. පුළුටු දෑමූ තැන එහෙ මෙහෙ පියාසර කරන මැස්සෙක් එතනට ඇවිත් වේළුන මත්වතුර එකතු වී තිබුණ පත්‍රය මත වැසුවේය. එහි තිබූ මත් වතුරවලට ඉහඳ තැබුවේය. මත්වතුර ශරීර ගතවීමෙන් මැස්සා හොඳටම වෙරි විය. මහ කැලෑවේ මහ ගස් කැරකැවෙන්නා සේද පොළොව ගිලාබසින්නා සේද ඌට දැනෙන්නට විය. තමා මත් වී සිටින බවත් අමතක වී ගියේය. මැස්සා කල්පනා කරන්නේ ගහකොළ ඇඹරෙන්නේ තමන්ගේ තේජස නිසා බවය. පොළොව ගිලා බසින්නේ තමාගේ බර මිහිකතට දරාසිටීමට තරම් නොහැකි නිසා කියාය. මැස්සාගේ සිතට පෙරදා නොවුණු මහ වීරත්වයක් නැගෙන්නට විය. තමා බරපතළ කෙනෙකු බවට කල්පනා වන්නට විය.


ඒ අවස්ථාවේ වනාන්තරයේ සිටි මහා හස්තිරාජයෙක් කැලෑව පෙරළාගෙන ඉදිරියට එයි. අනුන්ගේ සුරාවෙන් මත් වී සිටි මේ මැස්සා හිතේ ඇති වූ වීරත්වය නිසා අර මහා හස්තිරාජයාට තමා හා සටනට එන්නැයි ආරාධනා කළේ ය. මැස්සෙක් සමඟ තමාට මොන සටනක් දැයි කල්පනා කළ හස්තිරාජයා අනුන්ගේ සුරාවෙන් මත්වී තමාට අභියෝග කළ මැස්සා ගණනකටවත් නොගෙන ආපසු හැරී යන්නට විය.


හස්තියා ආපසු හැරී යන විට මත්වී සිටි මැස්සා කල්පනා කරනු ලැබුවේ මහ වනයේ මහ ඇතුන් පවා තම කටහඬට කොපමණ බියක් දක්වන්නේ ද කියා ය. තමන්ගේ සිතෙහි ඇතිවූ එම සිතිවිල්ලෙන් උදම් වූ මැස්සා ඉදිරියට යන හස්තිරාජයාගේ පසුපස යමින් බියවී ආපසු යාම හස්තිරාජයෙකුට ගැළපෙන්නේ නැත. හැකිනම්, මා සමඟ සටනකට එනුයි අභියෝග කළේ ය. හස්තිරාජයා මැස්සෙක් එක්ක කුමන සටනක් දැයි කල්පනාකොට හිටි පියවර එසේම ඉඳගෙන පසුපස එන මැස්සා මතට වර්චස් පිඬක් හෙළුවේ ය. එම වීර මැස්සා හස්තිරාජයාගේ වර්චස් පිඬට යට විය. හස්තියා සිද්ධිය ගණනකටවත් නොගෙන මහ කැලයට යන්නට ගියෙ ්ය.


වර්තමාන සමාජයේ වුවද මේ වගේ මැස්සන් මනුස්සයන් වශයෙන් උපත ලබා සිටිනවා විය හැකිය. කායික වශයෙන් මිනිස් ශරීර පෙනුණ ද මානසික වශයෙන් අනුන්ගේ සුරාවෙන් මත්වී තමන් මත් වූ බවවත් නොදැන තමන්ටත් නොගැළපෙන වචන කතා කරන්නේ ය.