සුරාවෙන් මත් වූ කල ...
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
සුරාව සහ වෙනත් විෂ මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති අය සමඟ කළ අධ්‍යයනවලදී පෙනී ගියේ බහුල වශයෙන් ම තම මිත්‍රයන්ගේ ඇසුරින් මතට හුරුපුරුදු වීම හා එයට ඇබ්බැහි වී ඇති බව ය.
එකවර ඇබ්බැහියක් ඇතිවන්නේ නැත. සිතිවිල්ල, ආසාව, අවශ්‍යතාව, ආස්වාදය, ඇබ්බැහිය යනුවෙන් එය අනුපිළිවෙළ ක්‍රමයකට ඇතිවන්නක් මිස එකවර ඇබ්බැහියක් ඇතිවන්නේ නැත. පළමුව ඇතිවන්නේ යමක් පිළිබඳ සිතිවිල්ලයි. එය මනසේ දී ම ප්‍රතික්ෂේප වීම හෝ කැමැතිවීම හෝ ඇතිවෙයි.
යම් දෙයක් පිළිබඳව කැමැත්ත අඛණ්ඩව මනසේ තිබීමෙන් එය ආසාව බවට පත්වෙයි. ආසාව නිසා යමක් කරන විට ඉන් ආස්වාදයක් ලැබෙයි. ඇතැම් ආස්වාද ලැබීමෙන් එය නතර කර හෝ අවසන් කර දමයි. ඉන් එහා ආශ්වාදයේ ලොල්වීම ඇබ්බැහියයි. ඇබ්බැහිය , සිතිවිල්ල කැමැත්ත.අවශ්‍යතාව, ආස්වාදය යනාදියට එහා ගිය එකකි. ඇබ්බැහිය එක්තරා ආකාරයක රෝග ලක්ෂණයක් වීමටද පුළුවන. මත්වතුර හා ද්‍රව්‍ය ගන්නන් සියල්ලෝ ම එයට ඇබ්බැහි වූවෝ නොවෙති. ඇබ්බැහිය දක්වා පැමිණියෝ කිසියම් දුර්වල මානසික තත්වයෙන් පෙළෙන්නෝ ය. ඇබ්බැහිය ද කිසියම් මානසික දුර්වලතාවයකි. යමෙක් යමකට ඇබ්බැහි වූ පසු, ඔහුට තමා ඇබ්බැහියක සිටින බව බොහෝ විට වැටහෙන්නේ නැත. වර්තමාන ශ්‍රී ලාංකික පරිසරයේ පවත්නා වූ ප්‍රශ්න අතර මිනිසුන් මතට ඇබ්බැහිවීම ප්‍රබල ප්‍රශ්නයකි.
සිංහල සමාජය තුළ ප්‍රමාණාත්මක වශයෙන් මත්වතුර සහ මත්ද්‍රව්‍ය ක්‍රමයෙන් වර්ධනය වෙයි. ඇතැම්හු මත් වුවද ඒ බව පිටට නොපෙන්වති. ඇතැම්හු තමා පානය කළ සුරා ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්වෙයි.
රා බී සත පහක
වෙරි වී පනම් හතරක
ගුටි කා රුපියලක
අහෝ දුක්වෙති සිලිං හතරක
යනුවෙන් වන කවිය ඉතා පැරැණි එකකි. එය කෙතරම් පැරැණි ද යත් එහි සඳහන් වන මුදලේ වටිනාකම්වලින් වැටහෙයි. ඇබ්බැහි වුවත්, ඇබ්බැහි නොවූවත් මත්වීම පුද්ගල බලය හා ශක්තිය හීන කරයි. පෞරුෂය දුර්වල කරයි. මත්වීමේ ආදීනව වඩාත් හොඳින් පෙනෙන්නේ ද දැනෙන්නේ ද මත්වූයේ නැති පුද්ගලයාට ය.
සුරාපාන ජාතකය හෙළි කරනු ලබන්නේ අධ්‍යාත්මික ශක්තිය සහිත පුද්ගලයකු වුව ද, සුරාපානය නිසා සමාජයේ අවතක්සේරු වන බවයි. පෞරුෂත්වය දුර්වල කරන බවයි. සුරාපාන ජාතක කතාවේ වර්තමාන කතාව මෙසේ දක්වමු.
අප ලොව්තුරා අමා මෑණි බුදුපියාණන් වහන්සේටත් උපස්ථාන කළ සාගත නම් වූ තෙරනමක් වැඩ සිටියහ. උන්වහන්සේ පෘතග්ජන ඍද්ධි බලයෙන් යුක්ත වන සේක. උන්වහන්සේ තම ඍද්ධිය නිසා සාමාන්‍ය මිනිසාට නොකළ හැකි විවිධ ඍද්ධිබල පාන්නාහ. එනිසාම සාගත තෙරණුවෝ සමාජයේ මිනිසුන් අතර තරමක් ප්‍රසිද්ධ වූහ. බොහෝ මිනිස්සු පි‍්‍රය කළහ. උන්වහන්සේගේ විශේෂ හැකියාව නිසා උන්වහන්සේ වටා මිනිස්සු පෙළ ගැසුණහ.
එකල අම්බතීර්ථ නම් ගමේ බරපතළ නාගයෙක් වෙසෙයි. නාගයා ගමට ඒම නිසා ගැම්වැසියෝ ඉමහත් බියට පත්වෙති. නාගයා පළවා දැමීමට විවිධ උපක්‍රම කළ ද, ඉන් යහපතක් වූයේ නැත. අම්බතීර්ථ නාග බිය සමාජය වෙළා ගත්තේය. ඍද්ධි බලයෙන් යුක්ත සාගත තෙරණුවෝ අම්බතීර්ථයට වැඩම කළහ. මිනිසුන්ගේ ප්‍රශ්නයට විසඳුමක් දීම සඳහා උන්වහන්සේ කිසිම මිනිසෙක් අහලකටවත් නොයන නාගයා වසන තැන තණ ඇතිරිල්ලක් එළාගෙන වැඩ උන්හ. තෙරණුවෝ දැක නාගයා දැඩි සේ කිපී උන්වහන්සේ දෙසට සිය නාග ඇසින් දුම් පිට කළේය. තෙරණුවෝ ද එසේම තමන් වහන්සේගේ ඇසෙහි දුම් පිටකළහ. නාගයා ගිනි පිට කළේ ය. තෙරණුවෝ ද එසේම කළහ. නාගයාගේ තේජස තෙරණුවන්ට නොපෙනෙයි. තෙරණුවන්ගේ තේජස නාගයා පෙළයි. නාග බියෙන් සලිතව සිටි නියම්ගම් වැසියෝ ද තෙරණුවන් නාගයා දමනය කරන අපූරුව බලන්නට රොඳ බැඳුණාහ. සාගත තෙරණුවෝ මෙසේ විවිධ දේ කර ක්ෂණයකින් සහන දී සර්වඥයන් වහන්සේ වෙත වැඩියහ.
සාගත තෙරණුවන්ගේ මේ වීර ක්‍රියාව හා උන්වහන්සේගේ කීර්ති රාවය මොහොතින් සියලු ජනපදයෙහි තුඩ තුඩ පැතිර ගියේ ය. කොසඹෑනුවර ජනයා සර්වඥයන් ඉදිරියේ වැඳ නමස්කාර කොට සාගත ස්ථවීරයන් වහන්සේ වෙත ගොස් මෙසේ කී හ. ස්වාමීනි, ඔබ වහන්සේ අපට කරනු ලැබුවේ ඉමහත් උපකාරයකි. ඔබ වහන්සේට අවශ්‍ය කරන කුමන හෝ අවශ්‍යතාවයක් තිබේ නම්, අපට දැනුම් දෙන්න. මිනිසුන්ගේ බස් ඇසූ සාගත තෙරණුවෝ කිසිවක් නොකීහ. සාගත තෙරුන් වහන්සේ ඒ මිනිසුන්ගෙන් කිසිවක් ඉල්ලා නොසිටි බව අසා ජබ්බග්ගිය භික්ෂූන් වහන්සේ ඔවුන්ට මෙසේ කී හ.
උපාසකවරුනි, පැවිදි තැනැත්තන්ට කාපෝතිකා නම් සුරාව ලබාගැනීම අපහසුයි. උන්වහන්සේලා එයට මනාපද වෙයි. ඉදින් ඔබ සාගත තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදුණේ නම්, කාපෝතිකා නම් සුරාව පිළියෙළ කරන්න යනුවෙනි. ඒ උපාසකවරු ස්වාමීන් වහන්ස යහපතැයි පිළිගෙන තම තමන්ගේ ගෙවල්වල කාපෝතිකා නම් සුරාව පිළියෙළ කොට තෙරුන් වහන්සේට පිළිගැන්වූහ.සාගත තෙරුන් වහන්සේ සුරාව වළඳා මඳයෙන් මත්ව නුවරින් නික්මෙන සේක. වාසල් දොර අසල වැටී නන්දොඩමින් වැදහොත්හ.
සර්වඥයන් වහන්සේ නුවරින් නික්මෙන සේක. සාගත තෙරුන් වහන්සේ වාසල් දොර අසල නන් දොඩවමින් වැටී සිටිනු දැක මහණෙනි, සාගත තෙරුන් ඔසවා ගනු යැයි කියා ගෙන්වාගෙන විහාරයට වැඩිසේක. ඒ භික්ෂූන් වහන්සේලා සාගත තෙරුන්ගේ හිස බුදුරදුන්ගේ සිරිපතුල පාමුල දෙසට යොමුකොට බිම තැබූ සේක. තෙරුන් වහන්සේ පෙරළි ගොස් තමන් වහන්සේගේ දෙපය සිරිපතුල පාමුල සිටි සේක. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ගෙන් මෙසේ විචාළ සේක.
කිමෙක්ද, මහණ පෙරදී සාගත ස්ථවිරයන් මා කෙරෙහි යම් ගෞරවයක් තිබුණිද, දැන් ගෞරවය තිබේද? නැත ස්වාමීනි.
මහණෙනි, අම්බතීර්ථ නාගරාජයා දමනය කළෝ කවරහුද?
ස්වාමීනි, සාගත තෙරුන් වහන්සේ ය.
කිමෙක්ද? මහණෙනි, සාගත ස්ථවිරයන් දියබරියකුවත් දමනය කිරීමට සමත් වේද?
නැත.ස්වාමීනි
කිමෙක්ද? මහණ, යමක් බී මෙලෙසට විෂව වැටී සිටිත් නම් එසේ වූ සුරාව බොන්නට සුදුසුද?
සුදුසු නොවේ ස්වාමීනි.
සාගත තෙරුන් වහන්සේට ලෞකික ඍද්ධි ප්‍රාතිහාර්යය හා අම්බතීර්ථ නම් භයානක නාගරාජයා දමනය කොට මිනිසුන්ට සෙත යහපත් සලසාදීම වෙනුවෙන් පිරිනැමූ පිරිකර පිළිගැනීමේ සිද්ධි අරබයා බුදුරජාණන් වහන්සේ සාගත තෙරුන් වහන්සේට අවවාද කළහ.
ඒ සිද්ධිය අරබයා සියලුම භික්ෂූන් වහන්සේලාට ශික්ෂා පදයක් පවා පනවා වදාළහ. ඇවැත්නි, සුරාපානය නම්, ඉමහත් දොස් ඇත්තකි. ඒ සුරාපානය ප්‍රඥා සම්පන්නවූත් සමෘද්ධිමත්වූත් සාගත ස්ථවිරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ගුණ නොදන්නා තත්වයට පත් කරනු ලැබී ය. යනුවෙන් භික්ෂූහු සුරාපානය හා තම අත්දැකීම් සාකච්ඡා කළහ. ගුථපාණී ජාතක කතාවෙන් හෙළිවන්නේ සුරාපානයෙන් මත්වී තමන්ගේ කට රැකගත නොහැකිව ජීවිතය විනාශ කරගත් මැස්සෙක් පිළිබඳවයි.
ඉස්සර ජීවත්වූ මිනිස්සු අද වගේ ගම ගෙවල්වල සුරාපානය නොකළහ. ඔවුන් එසේ නොකරන්නේ ගෙවල්වල කුඩා දරුවන් ද, කාන්තාවන් ද සිටින බැවිනි. සුරාපානය කිරීමට අවශ්‍ය වූ විට එයට අවශ්‍ය කරන කළමනා සපයාගෙන කැලෑවට යති. කැලෑවේ ඇති පමණ පදම් වී ඒ කටයුත්ත නිමකොට වෙරි හිඳුන පසු ගම ගෙවල්වලට එති. ඒ ආකාරයෙන් එක්තරා මිනිස් කණ්ඩායමක් සුරාපානය කරන්නට කැලෑවට ගියෝ ය. සුරාවෙන් මත් වී ඔවුහු එහි විවිධ කෙළි කොට ආපසු පැමිණියහ. සුරාපානය කළ එම ස්ථානයේ බිම වැටී තිබූ පත්‍රයක මත්වතුර ටිකක් වැටී තිබිණ. පුළුටු දෑමූ තැන එහෙ මෙහෙ පියාසර කරන මැස්සෙක් එතනට ඇවිත් වේළුන මත්වතුර එකතු වී තිබුණ පත්‍රය මත වැසුවේය. එහි තිබූ මත් වතුරවලට ඉහඳ තැබුවේය. මත්වතුර ශරීර ගතවීමෙන් මැස්සා හොඳටම වෙරි විය. මහ කැලෑවේ මහ ගස් කැරකැවෙන්නා සේද පොළොව ගිලාබසින්නා සේද ඌට දැනෙන්නට විය. තමා මත් වී සිටින බවත් අමතක වී ගියේය. මැස්සා කල්පනා කරන්නේ ගහකොළ ඇඹරෙන්නේ තමන්ගේ තේජස නිසා බවය. පොළොව ගිලා බසින්නේ තමාගේ බර මිහිකතට දරාසිටීමට තරම් නොහැකි නිසා කියාය. මැස්සාගේ සිතට පෙරදා නොවුණු මහ වීරත්වයක් නැගෙන්නට විය. තමා බරපතළ කෙනෙකු බවට කල්පනා වන්නට විය.
ඒ අවස්ථාවේ වනාන්තරයේ සිටි මහා හස්තිරාජයෙක් කැලෑව පෙරළාගෙන ඉදිරියට එයි. අනුන්ගේ සුරාවෙන් මත් වී සිටි මේ මැස්සා හිතේ ඇති වූ වීරත්වය නිසා අර මහා හස්තිරාජයාට තමා හා සටනට එන්නැයි ආරාධනා කළේ ය. මැස්සෙක් සමඟ තමාට මොන සටනක් දැයි කල්පනා කළ හස්තිරාජයා අනුන්ගේ සුරාවෙන් මත්වී තමාට අභියෝග කළ මැස්සා ගණනකටවත් නොගෙන ආපසු හැරී යන්නට විය.
හස්තියා ආපසු හැරී යන විට මත්වී සිටි මැස්සා කල්පනා කරනු ලැබුවේ මහ වනයේ මහ ඇතුන් පවා තම කටහඬට කොපමණ බියක් දක්වන්නේ ද කියා ය. තමන්ගේ සිතෙහි ඇතිවූ එම සිතිවිල්ලෙන් උදම් වූ මැස්සා ඉදිරියට යන හස්තිරාජයාගේ පසුපස යමින් බියවී ආපසු යාම හස්තිරාජයෙකුට ගැළපෙන්නේ නැත. හැකිනම්, මා සමඟ සටනකට එනුයි අභියෝග කළේ ය. හස්තිරාජයා මැස්සෙක් එක්ක කුමන සටනක් දැයි කල්පනාකොට හිටි පියවර එසේම ඉඳගෙන පසුපස එන මැස්සා මතට වර්චස් පිඬක් හෙළුවේ ය. එම වීර මැස්සා හස්තිරාජයාගේ වර්චස් පිඬට යට විය. හස්තියා සිද්ධිය ගණනකටවත් නොගෙන මහ කැලයට යන්නට ගියෙ ්ය.
වර්තමාන සමාජයේ වුවද මේ වගේ මැස්සන් මනුස්සයන් වශයෙන් උපත ලබා සිටිනවා විය හැකිය. කායික වශයෙන් මිනිස් ශරීර පෙනුණ ද මානසික වශයෙන් අනුන්ගේ සුරාවෙන් මත්වී තමන් මත් වූ බවවත් නොදැන තමන්ටත් නොගැළපෙන වචන කතා කරන්නේ ය.
No comments:
Post a Comment