Tuesday, August 10, 2021

මකුරුප්පේ ධම්මානන්ද හිමි



සිල්වතුන්ට පරිභව නොකරමු

කැලණිය දළුගම්ගොඩ

ත්‍රිපිටක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ

මහාචාර්ය

මකුරුප්පේ ධම්මානන්ද හිමි

 


පෙර නිතරම ඊර්ෂ්‍යාවෙන් සිටින, මසුරු බවින් යුතු පාපී භික්ෂුවක් විය. එක් සැදැහැවත් දායකයෙක් එම භික්ෂුවගේ කීම අසා සිල්වත් භික්ෂූන්ට නින්දා කිරීමට පටන් ගත්තේ ය. කාලයකට පසු මොහු මැරී ගොස් ප්‍රේතයෙකු වී උපන්නේ ය. දිනක් මෙම ප්‍රේතයා වැසිකිළි වළකින් මතුවෙනු දුටු මුගලන් තෙරණුවෝ ඔහුගෙන් මෙසේ වීමට හේතුව විමසූහ.


එවිට තමා මිනිස් ආත්මයක් ලැබ සිටිය දී සිල්වතුන්ට ගැරහීමෙන් කළ එකී අපරාධය ගැන ප්‍රේතයා මුගලන් හිමියන්ට කණස්සල්ලෙන් කී ය. දැන් එම පාපී භික්ෂුව කොහි දැයි මුගලන් තෙරණුවන් විමසූ විට ඒ පාපී භික්ෂුව දැන් තමාගේ මෙහෙකරුවෙකු වී, ශ්‍රමණ ප්‍රේතයෙකු වී සිටින බවත් , තමා ඔහුගේ හිස මත සිටින බවත් කී ය. තව ද, පාපී භික්ෂුවගේ කීම අසා සිල්වත් භික්ෂූන්ට නින්දා කළ දායක ප්‍රේතයා අසූචි කා ජීවත් වන අතර, දායකයා නොමඟ යැවූ පාපී ශ්‍රමණ ප්‍රේතයා දායක ප්‍රේතයාගේ අසූචි කා ජීවත් වන බව ද පැවසී ය.


ඉහත දක්වන ලද කතාව මා විසින් උපුටා ගන්නා ලද්දේ ප්‍රේතවස්තු ප්‍රකරණය නම් ග්‍රන්ථයෙනි. එහි මෙම කතාව ගූථඛාදක ප්‍රේතවස්තුව නමින් දක්වා ඇත. මෙම කථාවස්තුව අවසානයේ මෙසේ ද සඳහන් වේ. “එබැවින් සත්පුරුෂයෙනි, භික්ෂුවක් නමුදු ඔබට කෙනෙකු ගැන චෝදනාවක් කළ පමණින් එය අදහා අනුන්ට දොස් නඟා අපාගත නොවෙත්වා” යනුවෙනි. මෙයින් කියැවෙන අදහස වර්තමාන සමාජයට අතිශයින් වැදගත් වන බව කාටත් නො රහසකි. අනුන්ට අපහාස කිරීම, නින්දා පරිභව කිරීම, ශිෂ්ට සම්පන්න මිනිසුන් ඇති සමාජයක යහපත් හෝ බුද්ධිමත් කටයුත්තක් බව කිසිදු අයුරකින් සැලකෙන්නේ නැත. විශේෂයෙන් ම උසස් ගුණ ඇති මිනිසුන්ට අපහාස කිරීම නිසා ධර්ම නියාමය අනුව බොහෝ විපත් සිදුවන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. දරුණු වේදනා විඳීමට සිදුවීම, ධනහානිය, අත් පා කැඩීම් බිඳීම් හෝ මරණයට පත්වීම, බරපතල රෝගාබාධයන්ට ලක්වීම, මානසික උමතු බව, නීතිමය හිරිහැර, තමා නොසිතූ ලෙස නොකළ වැරැදිවල හසු වී දරුණු ලෙස අවමානයට ලක්වීම, තමාට හිතෛෂී ඥාතීන් අහිමිවීම, තමා සතු සම්පත් ප්‍රයෝජනයට ගත නොහැකි තත්වයට පත්වීම, ගේදොර ගිනි, හෙන ආදියෙන් දැවී පිළිස්සී යාම, මරණින් පසු අපායේ ඉපදීම යනු එහි විපාක වේ.


අකුසලයට වැඩි නැඹුරුවක් දැක්වීමත්, කුසලයට එතරම් කැමැත්තක් නො දැක්වීමත් ලෝකයේ වෙසෙන මිනිසුන්ගේ සාමාන්‍ය ස්වභාවයයි. සදාචාරයට හා නීතියට අවනත නොවී තම අවශ්‍යතාව සහ කැමැත්ත කෙසේ හෝ ඉටු කර ගැනීමට ඔවුන්ගේ යටි හිතේ මනෝභාවයක් පවතින බව බුදුන් වහන්සේ විසින් මැනවින් පෙන්වා දී ඇත. මෙම යටි හිතේ පවතින නරක මනෝභාවය සිග්මන් ප්‍රොයිඩ් නම් දාර්ශනිකයා ම්ලේච්ඡ මනස නමින් හැඳීන්වී ය.


වයස අවුරුදු පහකට අඩු ළමයෙකු තමාට කිසියම් ආහාරයක් හෝ මවගේ ආදරය හෝ අවශ්‍ය වූ විට තම වුවමනාව ඉටුවන තරු හඬා, දඟලා එය ලබා ගැනීමෙන් ම සෑහීමට පත්වේ. එම අවස්ථාවේ තම මවගේ නිදිමත ගැන හෝ මවගේ අසනීප තත්වය ගැන හෝ එබඳු වෙනත් කිසිවක් ගැන ඔහු සිතන්නේ නැත. එහෙත් වයස අවුරුදු පහ ඉක්මවූ පසු ඔහු මෙම ම්ලේච්ඡ මනසෙන් මිදේ. අවාසනාවට ඇතැම් මිනිසුන් වයසින් මුහුකුරා ගිය ද ඔවුන්ගේ මෙම ම්ලේච්ඡ චින්තන ක්‍රමය දිගටම පවතී. සාංසාරික පුරුදු, මව්පියන්ගේ ජානමය බලපෑම, ජීවත්වන පරිසරය, ඇසුරු කරන පුද්ගලයන්ගේ ස්වභාවය, ළාමක ආශාවන්, මුදල්වලට ඇති ගිජුකම, තමා අතිවිශිෂ්ට මිනිසෙකු බව සමාජයට ඒත්තු ගන්වා කීර්ති ප්‍රශංසා ලැබීමේ මානසික රෝගයෙන් පෙළීම යනාදී හේතු සාධක රැසක් මෙයට බලපායි. මෙම කරුණු ගිහියෙකු වුවත් , පැවිද්දෙකු වුවත් ධර්මයෙන් ශික්ෂණය නොකළ මනසක් ඇති කවරෙකුට වුවත් සිදුවිය හැකි දේ ය.


සම්බුද්ධ ශාසනය වූ කලී නිසැක වශයෙන් ම, සිල්වත්කම තුළින් ලැබූ ප්‍රඥාවක් තිබූ මිනිසුන් නිසාම සුරක්ෂිත වූවකි. එය කිසිසේත් දැනුමෙන් සන්නද්ධ වූ තර්ක කිරීමෙන් යමක් තහවුරු කළ හැකි උගතුන්ගෙන් ආරක්ෂා වූවක් නොවේ. සිල්වත්කම නිසා ලබන ප්‍රඥාව කිසිසේත් පොතපත කියවීමෙන් ලැබිය නො හැකි ය. එසේ ම, එය තර්ක බුද්ධිය නිසා ද ලැබිය නො හැකි ය. මෙම අවබෝධය වර්තමාන සමාජයේ ඇතැම් ගිහි වූ හෝ පැවිදි වූ හෝ දේශකයන් පසුපස අවිචාරයෙන් ඉබාගාතේ යන බොහෝ ශ්‍රාවකයන්ට සහ අනුගාමිකයන්ට නැති බව පැහැදිලි කරුණකි. මෙම තත්ත්වය අද ඊයේ සිදු වූවක් නොව බුද්ධ කාලයේ සිටම සිදු වූවකි. බොහෝ විට මෙබඳු තත්වයන් සිදු වූයේ වයසට ගොස් පැවිදි වූ බුඩ්ඪ පබ්බජිතයන්ගෙනි. එසේ නැතහොත් වෙනත් මිථ්‍යාදෘෂ්ටික සංකල්ප බොහෝ කාලයක් හදාරා ඒවා ජීර්ණ කොටගත් ඊනියා බුද්ධිමතුන්ගෙනි. එසේත් නැතිනම් ලාභ සත්කාර අපේක්ෂාවෙන් රහතුන් , බුදුන් මෙන් වෙස් වළාගත් චෞරයන්ගෙනි. මීට හොඳම නිදසුන බුද්ධ කාලයේ විසූ ජම්බුකාජීවක නම් පැවිද්දාගෙන් ලැබේ.


පෙර දඹදිව ගෙදරක ජම්බුක නමින් ළමයෙක් සිටියේ ය. ඔහු පුරාකෘත අකුසලයක් නිසා කිසිදිනක පිරිසුදු කෑමක් කෑමට නො ලැබූවෙකි. ඔහු කැමති වූයේ ඉඳුල් කෑමට හෝ අශූචි කෑමට ය. මෙය එම ගෙදර සෙසු සාමාජිකයන්ට මහත් අපහාසයක් විය. මීට විසඳුමක් ලෙස ඔවුහු මොහු ආජීවක ආරාමයකට බාරදුන්හ. එහිදී ආජීවකයෙකු වූ ඔහු අශූචි කන හෙයින් සෙසු ආජීවකයෝ ඔහු පළවා හැරියහ. එවිට ජම්බුක ආජීවකයා ඊට විසඳුමක් ලෙස ස්වාධීනව විසීමට තීරණය කළේ ය. ඒ අනුව ඔහු නගරයේ අශූචි බැහැරලන පෙදෙසක් අසල කඳු මුදුනකට වී ඒවා කමින් ජීවත්විය. කවුරුන් හෝ එම ස්ථානයට පැමිණෙන විට මුඛය විවෘත කොට ගෙන තනි කකුලෙන් සිටීමට ඔහු පුරුදු විය. එය දුටු අය ඔහු සමඟ යම් යම් දේ සාකච්ඡා කොට විශේෂ පුද්ගලයෙකු විය යුතු යැයි සිතා ඔහුගේ පැවැත්ම ගැන ද විමසූහ. තමා කට ඇරගෙන සිටින්නේ වාතය අනුභව කිරීමට බවත් එය තමාට යැපීමට ප්‍රමාණවත් බවත් කී ආජීවකයා තනි කකුලෙන් සිටින්නේ එය තම ව්‍රතය වන බැවින් යැයි ද කී ය. කරුණු විමසා නොදත් අන්ධබාල මිනිස්සු ඈත දුර සිට දාන මානාදිය රැගෙන ඒමට පටන් ගත්හ. එම ආහාරවලින් බිඳුවක් තණකොළ අගකින් ගෙන දිව ගා ප්‍රමාණවත් පින්වත යැයි කියන ඔහු දායකයන්ගේ සිත් පිනවා පිටමං කිරීමට සමත් විය.


ආගමික ඉතිහාසය තුළ ඉහත දැක්වූ පරිදි විසූ වංචනිකයන්ගේ සංඛ්‍යාව සුළුපටු නොවේ. දේවදත්ත, ඡබ්බග්ග, සත්තරස වග්ගිය ආදී භික්ෂූහු මේ ගණයට අයත් වෙති. බොරු , ඇත්ත මෙන් කීමෙන් රාජරාජ මහාමාත්‍යාදීන් පවා වසඟ කර ගැනීමට මොවුහු සමත් වූ බව අපි දනිමු. තවද අධර්මවාදීන් තම අනුගාමිකයන්ගේ මනස් පාපී සිතිවිලිවලින් පුරවා, ඔවුන් නොමඟ යවා සිය මනදොළ සපුරා ගැනීමෙන් සිදු වූ ඛේදවාචක පිළිබඳව ශාසන ඉතිහාසයෙහි සටහන් වී ඇත. සම්බුද්ධ ශාසනයට අනූපම මෙහෙවරක් සිදුකළ මහ මුගලන් මහරහතන් වහන්සේ තළා පෙළා ඇටකටු කුඩු කොට ඝාතනය කරවන ලද්දේ මිසදිටු වැළඳගත් පැවිදි වේෂධාරීන් විසින් බව ද මතක තබා ගත යුත්තකි. උන්වහන්සේ ඝාතනය කරවීමේ හේතුව වූයේ ශාසනයට ලැබෙන ලාභ සත්කාර නැති කිරීම හා තම පාර්ශ්වයට ඒවා වැඩි කර ගැනීමයි. එසේම මහා ප්‍රතාපවත් අජාතසත්ත රජතුමා තම පියාට අපමණ වධ පමුණුවන ලද්දේ මෙවැන්නන්ගේ උපදෙස්වලින් නොමඟ ගිය නිසා ය.


වරක් සච්චක වැනි උගත් යැයි සම්මත මුග්ධයන් තථාගත දේශනාව වැරැදි යැයි පෙන්වා දීමට උත්සාහ කළ අයුරු සච්චක සූත්‍රයේ පෙන්වා දී ඇත. තථාගත දේශනාව වැරැදි ලෙස විග්‍රහ කරමින් සාතිල අරිට්ඨ වැනි භික්ෂූන් ක්‍රියා කළ ආකාරය මහාකම්මවිභංග සූත්‍රය හා මහාතණ්හාසංඛය සූත්‍රය කියවීමෙන් තේරුම් ගත හැකි ය. නො රහත්ව රහත් යැයි කියමින්, ජනතාව මුළා කරමින් සිටි උරුවේල කාශ්‍යප දමනය කිරීමට ප්‍රාතිහාර්යය එක් දහස් දෙසිය පණහක් දැක්වීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය. බුදුන් දවසම ඇතැම් පාපී භික්ෂූන් මෙන්ම ගිහියන් ක්‍රියා කළ ආකාරයටම මෙකල ද ඇතැම්හු ක්‍රියා කරති. එබැවින් තථාගත ධර්මය පිළිපදිමින් නිර්වාණ මාර්ගය අපේක්ෂාවෙන් ඔබත් ක්‍රියා කරන කෙනෙකු නම්, තම ක්‍රියාකාරිත්වය නිවැරැදි දැයි පළමුව තේරුම් බේරුම් කර ගැනීමට උත්සුක වන්න. එහි දී ඔබ සිටිනා තැන තේරුම් ගැනීමට ඔබට කැඩපතක් ඇත. එය නම් ත්‍රිපිටකය නමැති කැඩපත මිස අන් කිසිවක් නොවේ.


ශ්‍රී ලංකාවේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම වෙනුවෙන් තම ජීවිතය කැප කරමින් දිවි ගෙවන සිල්වත් මහ තෙරුන් වහන්සේලා වැඩ වෙසෙති. සිල් ගුණෙන් දිවි ගෙවන ගිහි උපාසක උපාසිකාවෝ බුද්ධරත්නය විෂයෙහි ඉමහත් බැතියෙන් ද, ශ්‍රී සද්ධර්මය කෙරෙහි අපමණ විශ්වාසයකින් සහ මහසඟුන් කෙරෙහි ඉමහත් ගරුත්වයකින් ද දිවි මඟ සරු කරගනිති.


ඔවුන් විසින් මෙම විශ්වයේ සොබා දහමට එකතු කරන විස්මිත ශක්තිය නිසා කෝටි ප්‍රකෝටි සංඛ්‍යාවක් තුරු ලතා, ඇළ, දොළ, ගංගා සතා සිවුපාවා පමණක් නොව මිනිස් කැළ ද ආරක්ෂාව ලබති. දෙවියෝ ද නිදුකින් පවතිති. එබඳු සිල්වතුන්ට, ගුණවතුන්ට , ගැරහීමට, නින්දා පරිභව කිරීමට මඳකදු සිතක් පහළ නොකර ගන්න. කුමක් නිසාද යත්, එසේ කිරීම මහත් අකුසලයක් වන බැවින් හා එයින් තමාට මෙන්ම පොදු සමාජයටම අනල්ප ව්‍යසනයක් වන හෙයිනි. ලෝකයට අවශ්‍ය වන්නේ සත්පුරුෂ මිනිසුන් මිස අසත්පුරුෂයන් නොවේ. සිල්වත් ගුණවත් උතුමන්ට ගරහා ප්‍රේතයන්, භූතයන් , පිශාචයන් වී දෙලොව දුක් විඳී සත්ත්වයන් පිළිබඳව ප්‍රේතවස්තු, සීහලවස්තු හා සහස්සවස්තු වැනි ප්‍රකරණ ග්‍රන්ථවල එන සියගණන් කථාවලින් පෙන්වා දී ඇත.


මුඬු කළ හිසක් හා කසාවතක් හැඳී පමණින් කෙනෙකු ශ්‍රමණයෙක් නොවේ. ශරීරයේ සිත්කඵ පැහැයක් හා මනා රූපයක් තිබූ පමණින් සත්පුරුෂ මිනිසෙකු ද නොවේ. කෙනෙකුගේ යහපත් බව හෝ අයහපත් බව දත හැක්කේ ඇසුරෙන්ම ය. එය ද සුඵ කලකින් නොව දීර්ඝ කාලයකින් ම බව බුදුපියාණන් වහන්සේ වදාළහ. එබැවින් ඇසුරට යමෙකු තෝරා ගන්නා විට දී මෙන්ම යමෙකුගේ අනුගාමිකයෙකු වශයෙන් ක්‍රියාකිරීමට පෙර විමසිලිමත් වීමට බුද්ධිමත් වන්න. යමෙක් යමක් කී පමණින් එය සත්‍යය යැයි සිංහනාද පැවැත්වීමට ඉක්මන් නො වන්න. එසේම යමක් තමන් නොදන්නා තරමින් එය වැරැදි යැයි නිග්‍රහ කොට බැහැරලීමට ද යුහුසුඵ නො වන්න. තමන්ගේ ජීවිතය තමන් සතු බවත් , එය වැරැදි තැනක තැබීමෙන් කරගනු ලබන හානිය සතුරෙකු විසින් තමාට කරනු ලබන හානියකටත් වඩා බරපතල හානියක් බවත් තේරුම් ගන්න. විශ්වය පවතිනුයේ සිල්වත් , ගුණවත් හා යහපත් මිනිසුන්ගේ ගුණ බල මහිමය නිසාය, යන සදාතන සත්‍යය වටහා ගැනීම අපට මෙබඳු පාප කර්මයන්ගෙන් වැළකීමට උපස්තම්භක වනු ඇත.


No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...