Wednesday, July 21, 2021

චලන සිතුවම හා භව සිතුවම

 


චලන සිතුවම හා භව සිතුවම

කැලණිය විශ්වවිද්‍යාලයේ

පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ මහාචාර්ය

මකුරුප්පේ ධම්මානන්ද හිමි


බුදුරජාණන් වහන්සේ විසින් දුතිය ගද්දූල සූත්‍රය නමින් දේශනා කළ සූත්‍රයක් සංයුත්ත නිකායේ හමුවේ. එහි ගද්දුල යන වචනයේ තේරුම දම්වැල යන්නයි. එම සූත්‍රයේ සඳහන් පරිදි බුදුන් වහන්සේ මහණෙනි, නුඹලා චරණ සිතුවමක් දැක ඇද්දැයි භික්ෂූන්ගෙන් අසති. මහණෙනි, ඒ චරණ නම් චිත්‍රයත් සිතින්ම සිතන ලද්දකි. මහණෙනි, ඒ චරණ විත්‍රයටත් වඩා මේ සිත විසිතුරු ය.


මෙහි සඳහන් චරණ චිත්‍රය යන්නට සමාන වර්තමාන ව්‍යවහාරයේ යෙදෙන වචනය චලන චිත්‍රය හෙවත් චලන සිතුවම යන්නයි. චලන සිතුවම් යනු සෙලවෙන, ගමන් කරන හෝ එහෙ මෙහේ ගෙන යා හැකි සිතුවම් ය. වර්තමාන භාවිතය හා සසඳමින් සිතනවිට අප දකින නාට්‍ය, රූකඩ චිත්‍රපට ආදිය චලන සිතුවම් නමින් ගත හැකි ය. බුදුරජාණන් වහන්සේ පවසන පරිදි මෙම චරණ සිතුවම්වලටත් වඩා අපගේ සිත විසිතුරු ය. කුමක් නිසාද යත්, එම සිතුවම් ද කෙනෙකුගේ සිතින්ම සිතා කරන ලද්දක් වන බැවිනි. එම නිසා ක්ෂණයක් පාසා, මෙහොතක් පාසා සිත පිළිබඳව නිතරම සිහි නුවණින් සලකා බැලිය යුතු බව, ආපසු හැරී බැලිය යුතු බව බුදුන් වහන්සේ අවවාදයක් හැටියට භික්ෂූන්ට පෙන්වා දෙති. එසේ සලකා බැලිය යුත්තේ දීර්ඝ කාලයක් මෙම සිත රාගයෙන් ද්වේෂයෙන් හා මෝහයෙන් කිලිටි වී දූෂිත වී ඇති නිසා ය. සිත කිලිටිවීමෙන් සත්වයෝ කිලිටි වෙති. සිත පිරිසුදු වීමෙන් සත්වයෝ පිරිසුදු වෙති. ඉහත දක්වා ඇත්තේ එම ගද්දුල සූත්‍රයේ අන්තර්ගත වැදගත්ම කරුණකි.


මෙම සූත්‍රයෙන් කියැවෙන්නේ මෙම චිත්‍රය ඇන්ද කෙනොගේ සිතේ විසිතුරු බව කියා ඔබට සිතෙන්නට හැකි ය. එහෙත් එය වැදගත් වන්නේ ඒ නිසාම නොවේ. මෙහි ගැඹුරු අරුත නම් මෙම සිතුවම දකින තැනැත්තා එම චරණ චිත්‍රය විචිත්‍ර ලෙස සැලකීමට පෙළඹීම ය. ඔහු තම සිතේ දීර්ඝ කාලයක් වැඩුණු රාග, ද්වේෂ, මෝහ ආධාර කරගෙන එය ආස්වාද කිරීමට පෙළඹීම ය. සාමාන්‍යයෙන් චිත්‍රපටි, නාට්‍ය ආදිය පෙන්වනු ලබන්නේ රාත්‍රියේ හෝ අඳුරු රංග ශාලාවක් ඇතුළේ ය. දවල් කාලයේ දී පෙන්වන්නේ නම්, කඩතුරා යොදා අඳුර ඇති කරවයි.


මෙසේ අඳුර ඇති කිරීමේ අරමුණ කුමක් ද? ප්‍රේක්ෂකයා තුළ පවතින අවිද්‍යා අන්ධකාරය මතු කිරීම හා තීව්‍ර කිරීම යි. සිනමාව අන්ධකාරය හා රංගශාලාව ඇතුළත තිබෙන අන්ධකාරයේ සත්‍යය නම්, අප මෝහනය කිරීම නැතහොත් මුළාවට පත් කිරීමයි. සිනමා ශාලාවක චිත්‍රපටියක් හෝ නාට්‍යයක් නරඹන පුද්ගලයා මඳ වේලාවකින් තමා මේ නරඹන්නේ චිත්‍රපටියක් හෝ නාට්‍යයක් බව අමතක වන තරමට මෝහනයට පත්වන බව ඔබ දන්නා කරුණකි. මේ නිසා නාට්‍යාදිය රාත්‍රියේ දී පෙන්වන්නේත් , අඳුර සකසන්නේත් අවිද්‍යා ආශ්‍රව මතු කිරීමට ය.


අවිද්‍යා අන්ධකාරයෙහි සිට ආශ්‍රව සහිතව බලන කල එහි ඇති අඩුපාඩු අපට නොපෙනී යන තත්ත්වයක් ඇතිවේ. මෙකී ආශ්‍රව කාමාසව, භවාසව, දිට්ඨි ආසව හා අවිජ්ජාසව යනුවෙන් ධර්මයෙහි විස්තර වේ. මේ නිසා චරණ චිත්‍රයක් වැනි යමක් දුටුවිට මෙකී සිත තුළ සංස්කරණය කළ ආශ්‍රව මගින් අඩුපාඩු නො තකා විනෝදවීමේ, ආස්වාදය කිරීමේ හා රස විඳීමේ ගතියක් අප තුළ ඇතිවේ.


චරණ චිත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කොට ඇත්තේ ඉතා වැදගත් කරුණකි. ඉහත කී පරිදි චිත්‍රපටයක් නැරඹීම වැනි ක්‍රියාවලියක් සිදුවන්නේ අඳුර ඇසුරෙන් ය. සැබැවින්ම එය අවිද්‍යා අන්ධකාරය යි. හදිසියේ කඩතුරා ඉවත්වීමෙන් හෝ දොරක් විවෘත වීමෙන් හෝ අඳුර නැති වුවහොත් සිදුවන්නේ කුමක් ද? චිත්‍රපටයේ පාට හෙවත් වර්ණ (රාග) වෙනස් වේ. වර්ණ නැතහොත් රාග වෙනස් වුවහොත් අප මේ නරඹන්නේ කුමක් ද? සත්‍යයක් නොවේ, වැඩක් නැති මායාකාරී දෙයකි යන විඥානය අප තුළ ඇතිවේ. එවිට රාගය විරාගයක් බවට පත් වේ. තමා විඳීමින් සිටින ආස්වාදය පිළිබඳ කළකිරීමක් (නිබ්බිදා) ඇතිවේ. එතෙක් පැවති මෝහනය නැතිවීමට පටන් ගනී. චිත්‍රපටයක සැබෑව එනම් එය මායාවක් බව තේරුම් ගියේ පිටතින් පැමිණි ආලෝකයක් නිසා ය. යම් හෙයකින් යමෙකුගේ සිත ඇතුළතින් මෙම ආලෝකධාරාව පහළ වුවහොත් කුමක් සිදුවේද? ඔහු එය මායාවක් බව තේරුම් ගනීවි. ප්‍රඥා ආලෝකයෙන් ලෝකය විනිවිද දකීවි. අඳුර මායාව රැවටිල්ල හා මුළාව නිසා සෝ සුසුම්, කඳුඵ ගංගාවන් සමඟ කරනු ලබන ගනුදෙනුවෙන් මිදේවි. අවිද්‍යා අන්ධකාරය මැඳ සංස්කාර මුල්කොට ගෙන විඤ්ඤාණයක් පහළ කොට ගනිමින් නාම රූප සන්තතියක් පරිහරණය කරමින් සිටින බව අපට තේරුම් යාවි. තමා පරිහරණය කරනු ලබන පංචස්කන්ධය මායාවක ප්‍රතිඵලයක් බවත් එයින් සාංසාරිකව අත්විඳීන දුක්ඛමය තත්ත්වය අවිද්‍යාව හෙවත් නො දැනීමේ ඵලයක් බවත් වටහා ගනීවි.


අඳුරේ මායාව, දෘශ්‍ය කලාවේ යථාර්ථය තේරුම් ගැනීමට අපූරු නිදසුනක් බෞද්ධ සාහිත්‍යයේ හමුවේ. එනම් උපතිස්ස කෝලිත යන පරිබ‍්‍රාජකයන් දෙදෙනාගේ ජීවිත කතාව යි. ගිහි කල කල්‍යාණ මිත්‍රයන් දෙදෙනෙකු වූ ඔවුහු ගිරග්ග සමජ්ජ නමින් හැඳීන්වෙන කඳු මුදුනක රාත්‍රියෙහි ප්‍රදර්ශනය කරනු ලබන නාට්‍ය සංදර්ශන විශේෂයක් බැලීමට පුරුදු වී සිටියහ. දිනක් මේ දෙදෙනාට ම තමන් නරඹන ගිරග්ග සමජ්ජය තුළ සැබෑවක් නැති බව වැටහුණි. එය හුදු මායාවක් බව තේරුම් ගියේ ය. ඉන් මුහුණේ සිනහව නැතිවිය. නිර්වේදය (නිබ්බිදාය) හෙවත් කළකිරීම පිණිස සිත නැමුණි. සාංසාරික ත්‍රාසය හා හාසය මනාව වැටහුණි. එනිසා ම, උපන් අධ්‍යාත්මික ආලෝකය ඔස්සේ ගිය ඔවුහු රහත් බවට පත්වී සැරියුත් මුගලන් මහරහතුන් වහන්සේලා ලෙස ප්‍රකට වූහ. සැබැවින් ම කලාවේ ත්‍රාසය ඔවුහු විනිවිද දුටුවාහු ය. එය ධර්මය තුළ හාසයකි. නිදසුනක් ලෙස චිත්‍රපට ආදියෙහිදී මහමැඳුරු ආදිය ගිනි ගන්නා අයුරු, මහා පර්වත පෙරලෙන අයුරු ඔබ දැක ඇත. ඉහත කී පරිදි මෝහනයට පත්ව එය නරඹන්නා ඉන් විස්මයට භීතියට හා ත්‍රාසයට පත්වේ. සැබැවින්ම මෙම මහමැඳුරු, පර්වත සාදා ඇත්තේ කඩදාසිවලිනි.


එය සැබැවින් දන්නා තැනැත්තාට එය හාස්‍යයට කරුණකි. යෝගාවචර භික්ෂුව ද ධර්මයන්ගේ යථා තත්වය දකින්නේ එලෙසිනි. කලාවෙන් යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීමට උත්සාහ කළ ද එම සිද්ධියම සියුම් ප්‍රඥාවෙන් විනිවිද දකින්නාට පෙනෙනුයේ එම යථාර්ථයේ මිත්‍යාව යි. යථාර්ථයක් ලෙසින් අප රංගනයෙහි යෙදෙන මෙම භව නාටකය ද චරණ චිත්‍රයක් මෙන් දුටු මුගලන් වැනි මහරහතන් වහන්සේලා එය ඔප්පු කිරීමට විවිධ නිදසුන් ගෙනහැර දැක්වූ අයුරු විමානවත්ථු හා පේතවත්ථු කථාවලින් පැහැදිලි වේ. කර්ම චක්‍රය මගින් කරකවනු ලබන භවගාමී සත්ත්වයන් රූකඩ මෙන් දෙව් බඹ මිනිස් තිරිසන් භවයන් හි ඉපිද කම්පල භුක්ති විඳීන අයුරු දැක බුදුරජාණන් වහන්සේ පවා වරෙක හසිතුප්පාද සිතක් පහළ කළ බව ධර්මයෙහි සඳහන් වේ.


කෙළවරක් නොදැන යන ගමන සංසාරයයි කෙළවරක් දකින මග උතුම් නිර්වාණයයි


කෙළවරක් නොදැන යන ගමන සංසාරයයි
කෙළවරක් දකින මග උතුම් නිර්වාණයයි
බළන්ගොඩ
ශ්‍රී ධර්මානන්ද විහාරාධිපති
කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහා නා හිමි

බුදුරජාණන් වහන්සේ යනු මේ ලෝකයේ පහළ වූ අසාමාන්‍ය පුෂ්පයකි. සුවඳවූත් මලක් වුවද, එහි සුවඳ හැම පැත්තකටම දැනෙන්නේ නැත. හමන්නේ නැත. නමුත් බුදුරදුහු නමැති අසාමාන්‍ය පුෂ්පය හැම පැතිකඩක් ම සුවඳවත් කළහ.

මෙයින් අදහස් වන්නේ, මිනිස් ජීවිතය තුළ පවතින වැරැදි අඩුපාඩු පෙන්වා දෙමින්, මිනිස් ජීවිත නිවැරැදි කර, අඳුරෙන් ආලෝකය කරා ගමන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වා දීමයි. මේ නිසා ම බොහෝ දෙනාගේ හදවත් ගුණ දහමින් සුවඳවත් කළ අසාමාන්‍ය පුෂ්පයක් ලෙස බොහෝ පඬිවරු බුදුරදුන් හඳුන්වා දුන්හ.

බුදුදහම තුළින් මූලිකව ම පෙන්වා දී ඇත්තේ කරුණු දෙකකි. එනම් සංසාරය හා නිර්වාණය යි. මිය යමින් ඉපදෙමින් ගමන් කරන, කෙළවරක් දැකීම දුෂ්කර මේ ගමන සංසාරය යි. කෙළවරක් දැකීමට අපහසු මේ සසර ගමන නතරකිරීම නිර්වාණය යි. ඒ දුෂ්කර සංසාරයෙහි අප ගමන් කරන්නේ ඇයි? යන්නට හේතු ව බුදුරදුන් පෙන්වා දුන්හ.

මිනිසා යනු ඉන්ද්‍රියන් හයක ක්‍රියාකාරීත්වයකි. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස යි. මේ ඉන්ද්‍රියයන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධර්ම එකතු වීමෙන් සසර ගමන ක්‍රියාත්මක වනු ඇත. මේ ඉන්ද්‍රියයන් හය ඒ අදාළ අරමුණු සමඟ ඇලීමක් මෙන් ම ගැටීමක් ද ඇති කර ගනු ඇත. ඉන්ද්‍රියයන්ට හසුවන අරමුණු දෙස බලන විට ඒවා ශුභ අශුභ වශයෙන් බෙදා දැක්විය හැකි ය. මේ අනුව පුද්ගලයා කැමති, රුචි අරමුණු ද නොමැති, අරුචි අරමුණ ද තිබෙනු ඇත. සමහර රූප නැවැත නැවත දකින්නට කැමැති අතර, සමහර රූප දකින්නට අකැමැති ය. මේ අනුව ඉන්ද්‍රියයන්ට ගෝචරවන දේ කොටස් දෙකකට බෙදා ප්‍රතිචාර දැක්වීමට පුද්ගලයා හැඩ ගැසෙන බව පැහැදිලි ය. මේ අනුව ලෝකය දෙස ශුභ මෙන් ම අශුභ වශයෙන් ද, බලන්නේ එකම පුද්ගලයා ය. රුචි අරුචි, කැමැති අකැමැති අරමුණු පිළිබඳ මේ ගැටුම, සටන නිරතුරුව මිනිසා තුළ ක්‍රියාත්මක වන්නකි. මේ සංසාරය තුළ සිටිනතාක් කල් මේ ජීවිත සටන පවතිනු ඇත. මේ ගැටුම පවතින්නේ මිනිස් සන්තානය තුළ යි. නමුත් මේ ගැටුම සිදුවන ආකාරය ගැන පුද්ගලයාට හරි අවබෝධයක් නොමැත. තම සිතට එබී බැලීමේ පුරුද්දක් ඔහුට නැත.

යථාවබෝධයක් නැති තැනැත්තා මේ සටනට, ගැටලුවට හේතු ව බාහිර සාධකයක් බව පෙන්නුම් කරයි. නමුත් සත්‍ය දැක්ම නම් අභ්‍යන්තර මානසික සටන පවතිනතුරු බාහිර සටන පවතිනු ඇත යන්නයි. සමාජය තුළ සිදුවන සියලු ගැටීම්වලට මූලික ම සාධකය අපේ සිත තුළ ඇතිවන මේ සටනයි.

දෙලොවක් අතර වන මේ ගැටුම මෙහෙයවනු ලබන්නේ කවරෙක් ද? පිළිතුර අවිද්‍යාව නැත්නම් මෝඩකමයි. මේ සදාතන සටන නතරවීම සඳහා විද්‍යාව පහළ විය යුතු ය. මිනිසාගේ සැනසිල්ල, සතුට, සොම්නස නැතිකරන්නේ මේ සංසාරගත සටන යි. මේ සටන නවතාලීම බාහිර පුද්ගලයෙකුට කළ හැක්කක් නොවේ. මේ සැනසීම උදාකර ගැනීම හෝ සැනසීම නැතිකර ගැනීම එම පුද්ගලයා ම සතු ය. මේ අනුව කුසල්, අකුසල්, හොඳ නරක, යන සියල්ලෙහි වගකීම එම පුද්ගලයා සතු වනු ඇත. හොඳ නරක පෙන්නුම් කිරීම සඳහා බුදුරදුහු නිතර භාවිතා කළ වචන දෙකක් කුසල් හා අකුසල් යන්න. ‘කුසල්’ යන්නේ දක්ෂ නිපුණතා, ප්‍රවීණ, හොඳ, හරි, පුණ්‍ය යන අර්ථ ගෙනහැර දක්වන්නට පුළුවන. ආචාර විද්‍යාත්මක බලනවිට මිනිසා කරන කාය කම්ම, වචී කම්ම, මනෝ කම්ම, කුසල් අකුසල්, හොඳ නරක වශයෙන් බෙදා දැක්විය හැකි ය. කුසල් හෙවත් හොඳ යන්න පිළිබඳ වැදගත් පැහැදිලි කිරීමක් අම්බලට්ඨික රාහුලෝවාදය සූත්‍රය තුළින් පෙන්නුම් කර ඇත.

“රාහුල, කණ්ණාඩියෙහි ඇති ප්‍රයෝජනය කුමක් ද? ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ප්‍රත්‍යවේක්ෂය යි.(එනම් කණ්ණාඩියෙන් බලා අඩුපාඩු හඳුනා ගැනීම යි.) රාහුල මේ ආකාරයට ම ඔබ සෑම ක්‍රියාවක් ම කරන විට, සෑම වචනයක් ම පිට කරන විට, සෑම සිතිවිල්ලක් ම සිතන විට නැවත නැවතත් එය ප්‍රත්‍යවේක්ෂණය කරන්න. එනම් යමක් කරන විට එය තමන්ගේ මෙන්ම අනුන්ගේ විපතට, දුකට හේතු වන වැරැදි ක්‍රියාවක් දැයි බලන්න. මේ අයුරින් ම ඔබ වචන පිටකරන විටත්, සිතන විටත්, අනුන්ට අයහපතක්, දුකක්, වේදනාවක් ගෙන දෙනවාදැයි බලන්න. එසේ බැලීමේ දී එය තමන්ටත්, අනුන්ටත් යන දෙපැත්තට ම හානිකර දෙයක් නම් එය නො කළ යුතු ය. දෙපැත්තේ ම සුවය, යහපත පිණිස පවතින්නක් නම් එය කිරීමෙහි වරදක් නැත. හොඳ නරක තීරණය කිරීමේ දී ප්‍රත්‍යෙචේක්ෂණය ඉතා වැදගත් බව මෙයින් පෙන්නුම් කරයි. කුසලයෙහි මූලික ලක්ෂණය අහිංසකත්වය යි. හොඳ වචනය යනු අරගලයකට හේතු නොවන සුවදායක වචන, සත්‍ය වචන භාවිතය යි. හොඳ සිත යනු ලෝභ, ද්වේෂ, මෝහ යන්නෙන් තොර වූ සිත යි. හොඳ ක්‍රියාව යනු දුසිරිතෙන් තොර සියල්ලන්ගේම යහපතට හේතුවන ක්‍රියාව යි. හොඳ දේ තුළින් සසර ගමන කෙටිවනු ඇත. මේ සඳහා ඉන්ද්‍රියයන් වැරැදි මගට යන්නට නොදී පාලනය කරගත යුතු ය.

අද සමාජය තුළ වැඩි වශයෙන් දක්නට ඇත්තේ ඉන්ද්‍රියයන් පිනවන අවස්ථාවන් ය. ඒ තුළින් ගැටුම් ද ඇතිවිය හැකිය. වැරැදි ඉන්ද්‍රිය පරිහරණය තුළින් අත්විඳින දුර්විපාකයන් හා විනාශකාරී අනාගතය ගැන අපගේ තරුණ පිරිස විශේෂ අවධානය යොමු කළ යුතු ව ඇත. කෝටි එකසිය හැටක් හිමිව සිටි මහාධන සිටුවරයා එම සිටු දේවිය ගැන සිතා බලන්න. නැටුම්, ගැයුම් මත්පැන්වලට ඇබ්බැහිවීමෙන් උතුම් රහත්ඵලයට පැමිණීමට හෝ මහාධන සිටු තනතුරට පත්වීමට තිබූ අවස්ථා නැති කරගත් අයුරු සිතා බලන්න. පාලනයකින් තොරව ආශාවන් පසු පස ගමන් කිරීම තුළින් සියලු සේසත අහිමි වී සිඟමන් යදින තැනට පත් වූ ආකාරය අපට වැදගත් පාඩමක් පෙන්නුම් කරයි. වැඩියෙන් බර ගෙන යන්නට සසර ගමන දිග ය. සසර ගමන කෙටිකර ගැනීමට තණ්හා ආශා පොදි බර අඩු කරගන්න. අතට ගත් දේ දමා යන බවත්, අරන් යන්නේ සිතට ගත් දේ පමණක් බවත් නිතර සිතන්න.



 

දුක හටගන්නේ ඇයි?

 



දුක හටගන්නේ ඇයි?
පොල්පිටිමූකලානේ
පඤ්ඤාසිරි හිමි

" බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්වා දුන්නේ සත්ත්වයෙක් සසර නැවත නැවත ගමන් කරන ආකාරය පිළිබඳව යි"

සංයුක්ත නිකායේ දෙවන කොටස නිධාන වර්ගයේ තථාගතයන් වහන්සේගේ පටිච්ච සමුප්පාදය පිළිබඳ දේශනා පෙළගැසී තිබෙනවා.

වසර ගණනාවක් මුළුල්ලේ මෙහි සඳහන් සමහර කරුණු පිළිබඳ ව අප හිතාගෙන හිටිය විදිහ වැරැදි බව මේ සූත්‍ර දේශනාවලදී පැහැදිලි වෙනවා. ඒ නිසා ඒ කරුණුත් විග්‍රහ කරගෙන තමයි මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ අද මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් ම බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය තුළින් පෙන්වා දුන්නේ සත්ත්වයෙක් සසර නැවත නැවත ගමන් කරන ආකාරය පිළිබඳව යි. සත්ත්වයෙක් සසර නැවත ගමන් කරන්නේ උප්පත්තිය ලබන්නේ මේ පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය නිසා බව උන්වහන්සේ දේශනා කළා. යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් පටිච්ච සමුප්පාදය මුල්කරගෙන තමයි සත්ත්වයෙක් අලුතෙන්ම සංසාරයට එන්නේ. අලුතෙන්ම සංසාරයේ උප්පත්තියක් ලබන්නේ කියලා.

එහෙත් මෙහි කියවෙන්නේ දැනට සංසාරයේ ඉන්න සත්ත්වයා කොහොමද දිගින් දිගටම ගමන් කරන්නේ කියන කාරණාවයි. මේ වෙනකොටත් සත්ත්වයා සංසාරයේ ඉන්නවා. ඒ සත්ත්වයා කොහොමද සංසාරයේ දිගින් දිගටම ගමන් කරන්නේ? අවිද්‍යාව තමයි මෙහි පළමුවැනි කාරණාව හැටියට පෙන්වා දෙන්නේ. මෙහි පළවෙනි සූත්‍රය ගත්තත් එනම් අභිසමය සංයුක්තයේ බුද්ධ වර්ගයේ මුලින්ම අපට ඉගෙන ගන්නට ලැබෙනවා. පටිච්ච සමුප්පාද සූත්‍රය. ඊළඟට දෙවන සූත්‍රය තමයි විභංග සූත්‍රය. පළවෙනි සූත්‍රයේ දී සාමාන්‍ය වශයෙන් පටිච්ච සමුප්පාදය විග්‍රහ කරනවා. අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාමරූප පච්චයා සලායතනං, සලායතන පච්චයා ඵස්සො ඵස්සු පච්චයා වේදනා වේදනා පච්චයා තණ්හා තණ්හා පච්චයා උපදානං උපාදන පච්චයා භවෝ භව පච්චයා ජාති ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති ඒව මේතස්ස කේවලස්ස දුක්ඛස්කන්දස්ස සමුදයෝ හෝති කියල දුකේ හටගැනීම සිදුවන්නේ මෙන්න මේ පටිච්ච සමුප්පාදය ක්‍රියාවලිය නිසා කියල උන්වහන්සේ පෙන්වල දෙනවා.

ඒ වගේම අනික් පැත්තට පටිච්ච සමුප්පාදයේ ප්‍රතිවිරුද්ධ පැත්තට ගියාම සම්පූර්ණයෙන්ම මේ දුක නිරුද්ධ වෙලා යන හැටිත් දේශනා කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වුනාම සංස්කාර නිරුද්ධ වෙනවා සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වෙනවා විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වෙනවා නාමරූප නිරුද්ධ වීමෙන් ආයතනය නිරුද්ධ වෙනවා ආයතන හය නිරුද්ධ වීමෙන් ස්පර්ශය නිරුද්ධ වෙනවා ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීම නිරුද්ධ වෙනවා විඳීම නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වෙනවා තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳීයාම නිරුද්ධ වෙනවා බැඳීයාම නිරුද්ධ වීමෙන් විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධ වෙනවා විපාක පිණිස කර්ම සකස්වීම නිරුද්ධවීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා ඉපදීම නිරුද්ධ වීමෙන් ජරාවට පත්වීම මරණයට පත්වීම සෝක වැළපීම කායික දුක් මානසික දුක් සුසුම් හෙළීම් ආදි සියල්ල නිරුද්ධ වෙන ආකාරයයි දේශනා වෙන්නේ. ඔය විදියටම මේ මුළු මහත් දුක් රැසම නිරුද්ධ වෙලා යන ආකාරය උන්වහන්සේ පටිච්ච සමුප්පාදය සූත්‍රයේ දී අපට දේශනා කරනවා.

විභංග සූත්‍රයේ තව දුරටත් මේ එක එක අංග ප්‍රත්‍ය වන ආකාරය හේතුවන ආකාරය උන්වහන්සේ දේශනා කරනවා. පින්වත්නි සම්පූර්ණයෙන්ම මේ බුද්ධ වර්ගයේ පටිපදා සූත්‍රය, විපස්සි සූත්‍රය, සිඛී සූත්‍රය, වෙස්සභු සූත්‍රය, කකුසඳ සූත්‍රය, කෝණාගමන සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, ගෝතම සූත්‍රය යන මේ සූත්‍ර සියල්ලෙන්ම වගේ අපට පැහැදිලිව පෙන්වා දෙන්නේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳ විග්‍රහය. පළවෙනි කරුණ තමයි මා විසින් කලින් පැහැදිලි කළ ආකාරයට බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නාබව.

ඉතිරි කොටස ඔක්තෝබර් 02 වනදා පත්‍රයේ පළවේ.

- අයන්ති විතාන

 

නඛසිඛා සූත්‍රය


නඛසිඛා සූත්‍රය  
74
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නිය පිට පස් ස්වල්පයක් තබාගෙන භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද? මා විසින් යම් මේ නිය පිට තබන ලද පස් ස්වල්පයද, මේ මහ පොළොවද යන දෙකින් කුමක් වනාහි වඩා ලොකු වෙයිද” “ස්වාමීනි, යම් මේ මහ පොළොවක් වේද, එයම වඩා ලොකුවෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, මේ පස් ස්වල්පය ඉතා සුළුය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද, පස් ස්වල්පය මහ පොළොව හා සමග සසඳා බලන කල්හි, සියයෙන් කොටසකටද නොපැමිණෙයි. දහසින් කොටසකටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසකටද නොපැමිණෙයි.’
“මහණෙනි, එසේම වනාහි සෝවාන් මාර්ග සම්‍යක්දෘෂ්ටියෙන් යුක්තවූ, නුවණින් ආර්යසත්‍යය අවබෝධ කළාවූ, ආර්යශ්‍රාවක පුද්ගලයාගේ යම් මේ දුකක් ක්ෂයවූයේද, කෙළවරවූයේද ඒ ක්ෂයවූ කෙළවරවූ දුකම ඉතා වැඩිය. ඉතිරිවූ දුක ඉතා ස්වල්පය. ක්ෂයවූ කෙළවරවූ, දුක්ගොඩ හා සමග සැසඳීමේදී යම් මේ සත්වරක් (ඉපදීම) පරමකොට ඇති, මේ දුක සියයෙන් කොටසටද නොපැමිණෙයි. දහසින් කොටසටද නොපැමිණෙයි. ලක්ෂයෙන් කොටසටද නොපැමිණෙයි.
“මහණෙනි, ධර්මාවබෝධය වනාහි මේසා මහත්වූ අර්ථ ඇත්තේය. දහම් ඇස ලැබීම මේසා මහත්වූ අර්ථ ඇත්තේය.”
(පළමුවෙනි නඛසිඛා සූත්‍රය නිමි.)



 

Tuesday, July 20, 2021

ඣත්‍වා සූත්‍රය


ඣත්‍වා සූත්‍රය  

267

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.

එකත්පස්ව සිටි ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථාවෙන් මෙසේ කීය:

“ගෞතමයන් වහන්ස, (සත්ත්‍වතෙම) කුමක් නසා සුවසේ නිදාගනීද? කුමක් නසා ශෝක නොකෙරේද? කිනම් එකම ධර්‍මයක්හුගේ විනාශය රුචිකරන සේක්ද?”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) “වාසවය, ක්‍රෝධය නසා (සත්ත්‍වතෙම) සුවසේ නිදාගැනීම කෙරේ. ක්‍රෝධය නසා ශෝක නොකෙරේ,

විෂ මුල් ඇති, (ක්‍රෝධ කරනවිට සතුටු ඇති බැවින්) මිහිරි කරටිය ඇති, ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ ප්‍රශංසා කරත්. යම් හේතුවකින් ඒ ක්‍රෝධය නසා ශෝක නොකෙරේද (එහෙයිනි).”





Monday, July 19, 2021

උත්සාහයට ජයග්‍රහණය අලසකමට පරාජය

 ධම්මානුපස්සනාවේ ථීනමිද්ධ නීවරණය:

උත්සාහයට ජයග්‍රහණය අලසකමට පරාජය

"කම්මැළිකමක් මට ඇතිවී තිබෙනවා. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඒ සිතට ලැබෙන්නේ ලොකු සැනසුමක්. තම ජීවිතයට යහපතක්. සම්බුද්ධ ශාසනය මනාකොට ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙනවා. කම්මැළි පුද්ගලයාට ධ්‍යාන, සමාධි, සමාපත්ති, මාර්ග ඵල , නිවන ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. "

බුදුන් වහන්සේ ධරමාන කාලයේ වාසය කළ භික්ෂූන් වහන්සේ දෙනමකගෙන් එක් නමක් බොහොම වීර්යය වන්ත යි. අනෙක් හාමුදුරුවෝ බොහොම කම්මැළි යි. වෙලාවට වතාවත් නොකර, බණ භාවනා කටයුතු කල්දමන, ශීතල යි කියමින් ගිනි තැපීම් ආදිය සිදු කරමින් අලසකමටම යටත්ව වාසය කරයි. උත්සාහවන්ත ස්වාමීන් වහන්සේ බණ භාවනා කටයුතු කර රහත් වුවත්, අලස ස්වාමීන් වහන්සේට රහත් වන්නට නොහැකි වුණා. කම්මැළිකම නිසා ලැබෙන්න තිබූ මාර්ග ඵල අවස්ථාව තමන්ට නොලැබී ගියා. උත්සාහයට ජයග්‍රහණයත්, කම්මැළිකමට පරාජයත් ලැබෙන බව දැනගෙන තම සිත දියුණු කර ගැනීමට බලවත් උත්සාහයකින් කටයුතු කිරීම ඉතාමත් ම වැදගත්.

කම්මැළිකම මෙලොව පිරිහීමටත්, පරලොව දුගතිගාමී වීමටත් , නිවන් මඟ දොරටු වසා දැමීමටත් හේතු වෙනවා. බුදු , පසේබුදු , මහ රහතන් වහන්සේ බලවත් උත්සාහය පාදකව මඟ ඵල ලැබුවා. බුදුන් වහන්සේ විසි අසංඛ්‍යෙයක් කල්ප ලක්ෂයක් පුරා බලවත් උත්සාහය පෙරමුණට ගෙන කටයුතු කිරීමෙන් කම්මැළිකම ඉවත්ව පාරමී ගුණ දියුණු වුණා. ආපසු නොහැරී බලවත් උත්සාහයෙන් ඉදිරියටම පිවිසී බුද්ධත්වය ලබා ගත්තා. එසේනම්, මන්දෝත්සාහී අය ආපස්සට ද උත්සාහවන්තයෝ ඉදිරියටද යන්නේ අකම්ිපිත සිතක් සකසා ගෙන යි. එසේනම්, ථිනමිද්ධය පිළිබඳ හොඳින් කරුණු දැන කියාගෙන කම්මැළිකම, උදාසීනබව අපේ සිතෙන් බැහැර කළ යුතු යි. එසේ නොවුණොත් සතර අපා දුකට වැටී දීර්ඝ කාලයක් දුක් විඳින්න සිදු වෙයි. එසේනම්, නීවරණ එතරම්ම බියකරු යි. නීවරණ සුගතියත් නිවනත් වසා දම යි. එසේනම්, පංචනීවරණ අවස්ථාව හොඳින් වටහාගෙන එයින් නිදහස්වීම සඳහා බුදුන් වහන්සේ අපට ධර්මය දේශනා කර වදාළා. ඒ පොත පත හොඳින් කියවා, සජ්ඣායනා කළ යුතු යි. එවිට තම චිත්ත සන්තානයත් උත්සාහයට සමීප කරවමින් ඉදිරියට යන්න භාග්‍ය ලැබෙයි. කම්මැළියා සැමදා පිරිහී යයි. එසේනම්, කම්මැළිකමේ දොස් ආදීනව ද, උත්සාහයේ අනුසස් ද හොඳින් දැකිය යුතු යි. එවිට තම සිත හොඳින් සංවරකරගෙන නිවන් මඟ ඉදිරියට යන්නට පුළුවනි.

ධම්මානුපස්සනාවෙහි පළමු කාණ්ඩය වශයෙන් සලකන්නේ නීවරණ විදර්ශනා භාවනාව යි. තම නුවණ දියුණු කර ගැනීම සඳහා භාවනාව කාටත් අත්‍යවශය වන දෙයක්. එයින් නීවරණ කොටසේ කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, පිළිබඳ පසුගිය බුදුසරණ පුවත්පත් ලිපි මඟින් පළ වුණා. අද සඳහන් කරන්නේ ථීනමිද්ධ නීවරණය ගැන යි. එනම්, සිතෙහි සහ කයෙහි ඇතිවන මැළි බව යි. ඉන් සුගති මඟ ද, නිවන් මඟ ද වසා දමයි. කම්මැළිකම එතරම් ම භයානක යි. තම චිත්ත සන්තානය මුළුමනින් ම විනාශයට පත් කරන , ආර්ථිකය විනාශ කරන, ධනය විනාශ කරන, සමගිය නැති කරන බොහොම ආදීනව ථීනමිද්ධ නීවරණයට තිබෙයි.

භාවනාවට ගනු ලබන්නේ තමන්ගේ කම්මැළිකම, උදාසීන බව දැනුනවිට කම්මැළිකම හෙවත් ථිනමිද්ධ නීවරණය දැන් හටගෙන ඇත. ථීනමිද්ධ නීවරණය හෙවත් අලසකම අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ථීනමිද්ධය දුරු කර ග ැනීමට ආසනයෙන් නැඟිට සක්මන් කළ යුතු යි. ඉරියව් මාරු කළ යුතු යි, සජ්ඣායනා කළ යුතු යි. එවිට තම කම්මැළිකම දුරු කළ හැකි යි. කයෙහි අලස බවට ‘උකටලී’ යනුවෙන් ද, ථිනමිද්ධය යනුවෙන් ද කියනු ලැබේ. එයට අනුකූලව කොයි කවුරුත් ථීනමිද්ධය පිළිබඳ ව හොඳට අවබෝධයක් ඇතිකර ගත යුතු යි.

හොඳින් ආහාර පාන අනුභව කළවිට, ඇඟ මැළි කඩමින් සිතෙහි මැළි බව, අලස බව හට ගනී. මේ හේතූන් නිසා නූපන් කම්මැළිකම ඇතිවෙයි. උපන් කම්මැළිකම වැඩි දියුණු වෙයි. ථීනමිද්ධය සිත්හි ඇති නොවීමට හා ඇතිවූ ථීනමිද්ධය නැති වීමට හේතු තිබෙනවා.

ආරම්භ ධාතු යනුවෙන් හොඳ වීර්යයක් ද තිබෙයි. එනම්, කටයුතු කිරීමෙන් පළමුව ඇති වන වීර්යය යි. කුසීත බැවින්, නික්මෙන බැවින් පළමු වීර්යයට වඩා බලවත් වීර්යය නෙක්ඛම්ම ධාතු වීර්යය යි. පරාක්‍රම ධාතු වීර්යය බලවත් ක්‍රියාවන් හි යෙදෙන වීර්යය යි. යෝනිසෝමනසිකාර නම් වූ ඒ ත්‍රිවිධ වීර්යයන්හි නුවණින් මෙනෙහි කිරීම ආදී කරුණු ථීනමිද්ධය ඇති නොවීමට හා ථීනමිද්ධය නැති වීමට හේතු සාධක වෙයි.

එසේනම්, ථීනමිද්ධය ප්‍රහාණය කිරීමට හේතු හයක් තිබෙයි. බොහෝ කොට ආහාර ගැනීමෙන් වැළකීම, ඉරියව් මාරු කිරීම, ආලෝකය දෙස බැලීම, එළිමහනෙහි විසීම,කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම වීර්යවන්තයන්ගේ චරිත කථා ආදිය කියවීම යි. අලෝභ සිත් අටෙහි , ලෝභ සිත් අටෙහි සසංකාරික සිත් හතරක් සහ දෝස සිත් දෙකේ සසංකාරික සිත් එකක් ආදිය තිබීමෙන් කම්මැළිකම හට ගනි යි.

පාරමී ගුණ ධර්ම දියුණුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත්වීම සඳහා අනීවරණ සිත ප්‍රධාන වෙයි. එනම් නීවරණ නැති සිත යි. එසේනම්, නීවරණයන්ගෙන් තොරව වාසය කිරීමත් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. නුවණ පාවිච්චි කරගෙන කියනු ලබන නීවරණය තම සිතෙන් බැහැර කළ යුතු යි. එවිට තමන්ට නිවැරැදිව මේ ගමන ඉදිරියට යා හැකි යි. එසේවූවිට, තම පාරමී ශක්තිය තවත් වැඩිදියුණු වෙයි. අඩුපාඩුකම් හොඳින් වැසී යයි. තම සිතේ කම්මැළිකමක් හෝ අලසබව ඇතිවුණොත් සිත පසුබෑමකට පත් වූ බව සිතා එහි දොස් හොඳින් දැකගෙන, ථීනමිද්ධ නීවරණය හෙවත් කම්මැළිකම අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්මයි යනුවෙන් සියවර දහස්වර මෙනෙහි කරන්න.

කම්මැළිකමේ ආදීනව, කම්මැළිකමෙන් නිදහස්වීමෙන් ලැබෙන අනුසස් කල්පනා කළ යුතු යි. එවිට තම තමන්ට උතුම් පිළිවෙත් මඟ ඉදිරියට ගෙන යන්නට පුළුවනි.

එසේනම්, සිතේ බහුල වශයෙන් පවතින පංචනීවරණයන් සිතෙන් බැහැර කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රකාශ කර වදාළා. බුදුදහමට අනුකූලව ථිනමිද්ධ නීවරණය සිතෙන් තුරන් කිරීම සඳහා උපදෙස් ලබා දුන්නා. කම්මැළිකමක් මට ඇතිවී තිබෙනවා. එය අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. ඒ සිතට ලැබෙන්නේ ලොකු සැනසුමක්. තම ජීවිතයට යහපතක්. සම්බුද්ධ ශාසනය මනාකොට ආරක්ෂා කරගන්න පුළුවන්කම තිබෙනවා. කම්මැළි පුද්ගලයාට ධ්‍යාන, සමාධි, සමාපත්ති, මාර්ග ඵල , නිවන ආදී උත්තරීතර මනුෂ්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කමක් නැහැ. සිතේ අලස බව, පසුබැස්ම නිසා ලැබෙන්න තිබෙන නිවන් සම්පත් තමන්ට අහිමි වී ගියා. තමන්ට නිවන් සම්පත දියුණු කරගෙන යාමට නම්, සිත ගත නිවා සනසාගෙන මේ සතිපට්ඨාන භාවනාවෙහි ධම්මානුපස්සනාවෙහි උගන්වන ක්‍රමය ඉදිරියට යා යුතු යි. එවිට තම සිතෙහි ලොකු ශක්තියක් ගොඩ නැංවෙයි. ප්‍රඥා පාරමිතා හොඳින් වැඩෙයි. ඉතිරි පාරමිතා නවය ද අඩු ලුහුඬුවක් නැතිවම සම්පූර්ණ කරගන්න පුළුවනි. එසේනම් ගිහි පැවිදි දෙපාර්ශ්වයම එකතුවෙන් ථීනමිද්ධ නීවරණ භාවනාව හොඳින් නුවණින් කල්පනා කර දියුණු කිරීමෙන්, ඔබ අප සෑම දෙනාටම සංසාර සාගරයෙන් අත්මිදී නිවන් පසක් කර ගන්නට හේතු වාසනා වේවා!

වන්‍දනා සූත්‍රය

 


. වන්‍දනා සූත්‍රය  

263

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල භාග්‍යවතුන් වහන්සේ දහවල් විවේකය පිණිස වැඩිසේක් විවේකීවූ සේක.

ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙමේද, සහම්පතී බඹහුද, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ වෙනවෙන දොරබාව (උළුවහු කණු) ඇසුරුකොට සිටියහ.

ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍රතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.

“දිනනලද (මාර) යුද්ධ ඇත්තාවූ, බහා තබන ලද බර ඇත්තාවූ, ණයගැති නොවූ මහා වීරයන් වහන්ස, නැගිටින්න. ලෝකයෙහි දහම් අමා දිය වස්වමින් ඇවිදින්න, නුඹවහන්සේගේ සිකද, පසළොස්වක් පොහෝ රාත්‍රියෙහි සඳ මෙන් මිදුනේය.”

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ ඔය ලෙසින් නොවේ. දේවේන්‍ද්‍රය, තථාගතයන් වැන්දයුත්තේ මේ ලෙසය:

“ ‘දිනනලද (මාර) යුද්ධ ඇති, බහා තබන ලද බර ඇත්තාවූ, ණයෙන් මිදුනාවූ පින්වතුන් වහන්ස, නැගී සිටිනු වැනවි. ලෙව්හි (දහම් දෙසා නිවන් අමා වස්වමින්) ඇවිද්ද මැනවි. පින්වතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. ඒ අවබෝධකරන සත්ත්‍වයෝ ඇතිවන්නාහ.’


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...