නිමක් නැති අරමුණු දෙස නුවණින් බලන්න
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
" පසේ බුදුරජාණන් වහන්සේ නමක් දන් පිණිස කුඹුරක් හරහා වැඩම කරද්දී එක් තැනැත්තෙක් මඩ ගෙන පාත්‍රයට දැමුවා. මෙය දුටු තවත් තැනැත්තෙක් මඩ ටික ඉවත් කර, පාත්‍රය සෝදා පිරිසුදු කර දුන්නා. ‘ස්වාමීනී , මේ දෙකෙන් කවුරු කළ දේ ද හොඳ යනුවෙන් මේ තැනැත්තා පසේ බුදුරදුන්ගෙන් විමසුවා. එක් අයෙක් පාපයක් සිදු කර ගත්තා.තවත් අයෙක් පිනක් සිදු කර ගත් බව වදාළා."
මහග්ඝත සිත ගැන රූපාවචර අරූපාවචර සිත් විසි හත පිළිබඳව පසුගිය සතියේ හැඳින්වූවා. අමහග්ඝත සිත් යනුවෙන්ද තිබෙනවා. මහග්ඝත නොවී තිබෙන්නේ අමහග්ඝත සිත යි. එනම්, කාමාවචර සිත් පනස් හතර යි.. එසේනම් තම සිතට පහළ වන සියලුම කාමාවචර සිත් දැනගෙන මෙනෙහි කළ යුතු යි. අකුසල විපාක සිත් හත, කුසල අහේතුක විපාක සිත් අට, අහේතුක ක්‍රියා සිත් තුන , අකුසල් සිත් දොළහ , කාමාවචර කුසල් සිත් අට, විපාක සිත් අට, ක්‍රියා සිත් අට එකතු කළ විට පනස් හතරයි. මේවා අමහග්ඝත නම් වෙයි.
සිත් පනස් හතර බැලීම චිත්තානුපස්සනාව යි. මෙය ටිකක් ගැඹුරු කොටසක් වුවත් සිත් ටික පාඩම් කරගෙන කටයුතු කළොත් ඉදිරියට යන්න පුළුවන්. අභිධර්ම මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව, අභිධර්මයේ මූලික කරුණු පොත පතින් ද චෛතසික පිළිබඳ හොඳ දැනීමක් ලැබෙනවා. තමන්ගේ සිත ගැන, තම සිතිවිලි ගැන, ශරීරය ගැන හොඳ දැනීමක් ඇති කරගන්න පුළුවන්.
එසේනම්, කාමාවචර වූ අපේ සිතේ පහළ වන සිත් ගැන හොඳින් මෙනෙහි කරන්න. සනුත්තර චිත්තය නමින් හඳුන්වන්නේ රූපාවචර සිත් පහළොව යි. භාවනා කිරීමේ දී ලැබෙන ධ්‍යාන සිත් සනුත්තර නම් වෙයි. අනුත්තර වන්නේ අරූපාවචර සිත් ය. අනුත්තර සිත විශේෂයෙන්ම ලෝකෝත්තර සංඛ්‍යාවට යයි. එතැනදී අප විශේෂයෙන් සැලකිය යුත්තේ සනුත්තර චිත්තය රූපාවචර අරූපාවචර වශයෙන් ද අනුත්තර චිත්තය ලෝකෝත්තර වශයෙනි. එවිට සෑම දෙයක්ම සිතෙන් බැලීම සිදු කරනවා. නමුත්, විදර්ශනාවේ දී අනුත්තර චිත්තය විදර්ශනාවට ගන්නේ නැහැ. එය ස්ථිර යි. එබැවින් සවුත්තර චිත්තය රූපාවචර බවත්, අනුත්තර චිත්තය අරූපාවචර බවත් වටහාගෙන ධ්‍යාන සිත් හොඳින් මෙනෙහි කළ යුතු යි. රූපාවචර ධ්‍යාන සිත්, අරූපාවචර ධ්‍යාන සිත් හොඳින් දැන කියාගෙන ඒවා හොඳට දියුණු තියුණු කිරීම ඒවා මෙනෙහි කිරීම චිත්තානුපස්සනාව යි.
චිත්තානුපස්සනාව මෙලෙස දාසය ආකාරයකට පැහැදිලි කළා. යම් ක්ෂණයකින් යම් සිතක් උපදිනවා නම්, ඒ සිත පිළිබඳව සිහියෙන් යුතුව සිතීම චිත්තානුපස්සනාව යි. තමාගේ සිත ද , අනුන්ගේ සිත සිතීම ද, තමාගේත් අනුන්ගේත් එබඳු සිත් පිළිබඳව සිතීම චිත්තානුපස්සනාව යි. එසේනම්, සිත පිළිබඳව මනාකොට පිරික්සා බැලිය යුතු යි. චිත්තානුපස්සනාව වඩන භික්ෂූන් වහන්සේට රහත් බව දක්වාම කෙලෙස් අඩුකරගෙන ඉදිරියට යන්නට පුළුවන් දොරටු විවෘත යි. එසේනම්, චිත්තානුපස්සනාවෙහි සඳහන් කරන අවස්ථාවන් සහ තමන්ගේ සිතේ ඇති සමාහිත සිත (තැන්පත් සිත), අර්පනා උපචාර සමාධියෙන් යුක්ත සිතක් නම් එයද දැනගත යුතු යි. ‘අසමාහිතං චිත්තං’ යනු සිතේ තැන්පත්කම නොමැති බව යි. සිත නීවරණයන් පිරුණු බව යි. විමුක්තංවා නම්, කෙලෙසුන්ගෙන් මිදුණා වූ සිත යි. අවිමුක්තංවා යනු කෙලෙසුන්ගෙන් නොමිඳුණු සිත යි. එනම් කෙලෙස් සහිත සිත යි. එසේනම් මේවා දැන වටහාගෙන මෙනෙහි කරන්න. මෙලෙස ක්‍රම දාසයක් චිත්තානුපස්සනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.
ච්ත්තානුපස්සනාවේ ක්‍රම හොඳින් දැන කියාගෙන දැනුම වැඩි කර ගැනීමෙන් තමන්ට සිත පිළිබඳව හොඳ වැටහීමක් ඇති කර ගත හැ කි යි. චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යන්න සිත වැඩකරන ආකාරය හොඳින් බැලිය යුතු යි. සිතේ ස්වභාවය වෙනස් වීම යි. නිබඳව ම වෙනස් වෙයි. බුදුන් වහන්සේ් ධරමාන කාලයේ දී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හත් වරක් මහණ වුණා. සිත වික්ෂිප්ත වෙද්දී නැවත සිවුරු හරිනවා. මෙසේ හත් වන වතාවේ දී වික්ෂිප්ත වන එද්දීම ඒ සිත හදාගෙන බණ භාවනා වැඩි කළා. මේ නිසා රහත් බව ලබන්නට පුළුවන්කම ලැබුණා.
එසේනම්, සිත අඳුරු කරන, සිත විනාශයට පත් කරන දේ නීවරණ නම් වෙයි. කාමච්ඡන්ද නීවරණය නිසා සිත අඳුරු කරයි. තණ්හාව අධික බව, රාගය අධික බව නිසා චිත්තානුපස්සනාව වැඩීම අපහසු යි. ව්‍යාපාදය, තරහව, වෛරය, ක්‍රෝධය , ඊර්ෂ්‍යාව ආදී නීවරණ නිසාද සිත අඳුරු කරයි. ථීනමිද්ධය, කම්මැළිකම , උදාසීන බව නිසා ද ඉදිරියට යන්න අපහසු යි. උද්දච්ඡ සිතේ විසිරීම එක අරමුණකින් සිත තබාගන්නට බැරි බව යි. විවිධ අරමුණු නිසා සිත විසිරී යනවා. විචිකිච්ඡා ආදී නොයෙක් සැක සාංකා හට ගන්නවා. පංච නීවරණ නිසා චිත්තානුපස්සනාව මෙනෙහි කරන්න අපහසු යි.
චිත්තානුපස්සනාව ඉදිරියට ගෙන යාමට වෙහෙස මහන්සි නොබලා සිත අනුව බලමින් ඉදිරියට යා යුතු යි. කෙලෙස් කහට හට ගන්නා සිත් තිබෙයි. ලෝභය , ද්වේෂය, මෝහය , මාන්නය, උඩඟුකම , අධික මාන්නය, කුහකකම, ආදී පාපී සිතිවිලි එකක් පාසාම පහළවෙද්දී හොඳින් බලමින් වාසය කරන්න. කුසල සිතිවිලි වන ශ්‍රද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ආදිය ද නුවණින් බලමින් අනුපස්සනා කරමින් වාසය කළ යුතු යි. සිත අනුවම බලන්න. හොඳ - නරක දෙකම හට ගනියි. මේ ගැන තම තමාම තීරණය කළ යුතු යි.
පසේ බුදුරජාණන් වහන්සේ නමක් දන් පිණිස කුඹුරක් හරහා වැඩම කරද්දී එක් තැනැත්තෙක් මඩ ගෙන පාත්‍රයට දැමුවා. මෙය දුටු තවත් තැනැත්තෙක් මඩ ටික ඉවත් කර, පාත්‍රය සෝදා පිරිසුදු කර දුන්නා. ‘ස්වාමීනී , මේ දෙකෙන් කවුරු කළ දේ ද හොඳ යනුවෙන් මේ තැනැත්තා පසේ බුදුරදුන්ගෙන් විමසුවා. එක් අයෙක් පාපයක් සිදු කර ගත්තා.තවත් අයෙක් පිනක් සිදු කර ගත් බව වදාළා. එසේනම්, සිත අනුව බලද්දී සිතේ වගකිව යුත්තා තමා ම යි. එයට තවත් කෙනෙක් වග කියන්න බැහැ. ඒ නිසා අපහසුම දේ සිත දමනය කිරීම යි. සිත දමනය කිරීමේ ක්‍රමය බුදුන් වහන්සේ අපට දේශනා කර වදාළා. මෙසේ නීවරණයන් සංසිඳුවාගෙන අරමුණු ටික හොඳින් මෙනෙහි කරද්දී යහපත් තැනකට එන්නට පුළුවනි. එක අරමුණක් දිගටම මෙනෙහි කළ යුතු යි. එලෙස සිත දැකීමෙන් සිත තැන්පත් කරගත හැකි යි.
කවුරුත් තම තමන්ගේ චිත්ත සන්තානය දියුණුවට බලවත් උත්සාහයක යෙදිය යුතු යි. සිත අනුව බැලීම චිත්තානුපස්සනාව යි. නමුත් සිතට එන අරමුණු බැලුවොත් සීමාවක් නැහැ. පංචද්වාරයෙන් අරමුණු ගනියි. ඇස, කන, නාසය, දිව, සිරුර, සිත ආදී සයද් වාරයෙන් අරමුණු ගනියි. මේවායේ අරමුණු වන්නේ රූප, ශබ්ධ, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම යනුවෙන් දොළහක් තිබෙයි. මේ ආයතන සහ අරමුණු හොඳින් දකින්නට පුළුවන් නම්, අගෙයි. .
බුද්ධ කාලයේ ඇතැම් භික්ෂූන් වහන්සේ ඇස පමණක් සංවර කර ගත්තා . ඇතැමෙක් කන පමණක් සංවර කර ගත්තා. සමහරු සංවර කරගත්තේ සිත පමණ යි. බුදුන් වහන්සේ දේශනා කර වදාළේ, සෑම ඉන්ද්‍රියක්ම සංවර කරගත යුතු බව යි. චිත්තානුපස්සනාවේ දී කුමන ඉන්ද්‍රියන්ගෙන් මතු වුණත් , කොහෙන් පැමිණි අරමුණු දැ’යි විමසා බලා, තත්ත්වය කෙසේදැ’යි මෙනෙහි කරමින් බැලිය යුතු යි.
එසේනම්, සිත් අසූනවයක් තිබෙනවා. කාමාවචර සිත් පනස් හතර යි. රූපාවචර සිත් පහළොව යි. අරූපාවචර සිත් දොළහ යි, ලෝකෝත්තර සිත් අටයි. චෛතසික පනස් දෙකයි. රූප විසි අට යි. නිර්වාණය යි. මේ සතර පරමාර්ථය හොඳින් දැන කියාගෙන සෑම දෙයක් පිළිබඳව ම අවධානයෙන් සිටීම චිත්තානුපස්සනාව යි. නිර්වාණය අරමුණු වන්නේ සිතට යි. ඒ සඳහා සිතේ කෙලෙස් සංසිඳී, කලබලකාරී ගතිය අඩුවී, සිහි කල්පනාව හොඳින් දියුණු වීමෙන් චිත්තානුපස්සනාව හොඳින් මෙනෙහි කළ හැකි යි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල