වේදනානුපස්සනාව - සැප හා දුක් වේදනාව
අම්බලන්ගොඩ, කහව ගල්දූව
ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ
මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
සතිපට්ඨාන දේශනය කුරුරට වාසී භික්ෂූන් වහන්සේ තිස්දාහක් අමතා බුදුන් වහන්සේ දේශනා කර වදාළා. ඒ තිස්දාහටම මේ සතිපට්ඨාන දේශනාව තේරුම් බේරුම් කරගන්නට වාසනාව ලැබුණා. වේදනාව දිගටම මෙනෙහි කිරීමෙන් තම සිත පිරිසුදු වෙයි. එය වැදගත් ආනිශංසයක්. ඒ වගේම ඇඬීම, වැළපීම දෙක වේදනානුපස්සනාව මෙනෙහි කිරීමෙන් ඇති ප්‍රයෝජනයක් නැති බව තමන්ට වැටහෙයි. කායික මානසික දුක සංසිදුවා ගන්නට පුළුවනි.
පසුගිය ලිපියෙන් වේදනානුපස්සනාව ගැන නව ආකාරයකින් පැහැදිලි කළා. ඇසෙන් හොඳ දෙයක් දුටුවොත් සැප වේදනාවක්. අසුභ දෙයක් දුටුවොත් දුක් වේදනාවක්. හොඳ මනුස්සයෙක් දුටුවොත් සැප වේදනාවක්. නරක මනුස්සයෙක් දුටුවොත් දුක් වේදනාවක්. තුනුරුවන් ඇදහුවොත් සුඛ වේදනාවක්. කනෙන් බණ ටිකක් ඇසුවොත් සැප වේදනාවක්. කරදරයක් ආවොත් දුක් වේදනාවක්. නාසයෙන් සුවඳක් ආඝ්‍රහණය කළොත් සැප වේදනාවක්. දුර්ගන්ධයක් ආඝ්‍රහණය කළොත් දුක් වේදනාවක්. රස ආහාරයක් අනුභව කළොත් සැප වේදනාවක්. තිත්ත දෙයක් අනුභව කළොත් දුක් වේදනාවක්. සැප ස්පර්ශයක් ලැබුවොත් සැප වේදනාවක්. දුක් ස්පර්ශයක් ලැබුවොත් දුක් වේදනාවක්. සිතට හොඳ අරමුණක් ලැබුණොත් සැප වේදනාවක්. සිතට නරක වේදනාවක් ලැබුණොත් දුක් වේදනාවක්. එසේනම්, මේ ආයතන හයෙන් සැප වේදනාවන්, දුක් වේදනාවන් සහ උපේක්ෂා වේදනාවන් හට ගන්නවා. එවිට කායද්වාර, වාග්ද්වාර, මනොද්වාර යනුවෙන් ද්වාරත්‍රය ක්‍රියාත්මක යි. එයින් ද සැප දුක් හට ගන්නවා. එලෙස කල්පනාකර බැලුවහම කවර ආකාරයකින් හෝ වේදනාවක් හට ගත්තොත්, ඒ වේදනාව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මැදහත් වේදනාවක් හෝ වෙයි. එවිට බුදුරජාණන් වහන්සේ මේ සෑම වේදනාවක් ම නුවණින් කල්පනාකර බලා වේදනාව මෙනෙහි කරන්නැ’යි උපදෙස් දුන්නා.
වේදනාවට රූපයක් නැහැ. ඒ නිසා එය අරූප වෙයි. එහි ඇත්තේ නාමය පමණයි. එය අරූප භාවනා කර්මස්ථානයක් වශයෙන් බුදුන් වහන්සේ දේශනා කර වදාළා. ස්පර්ශ වශයෙන් හෝ විඤ්ඤාණ වශයෙන් හෝ දේශනා කළේ නම්, මෙතරම් පැහැදිලි වන්නේ නැහැ. සෑම කෙනෙකුටම පාහේ සැප දුක් මැදහත් වේදනා ඇතිවීම ප්‍රකට යි. එවිට වැඩිපුරම දුක් වේදනාවන් සිතට ගතට දැනෙයි. සැප දුක් දෙකම නැත්නම් ඒ අතර ඇත්තේ උපේක්ෂා වේදනාවයි. උපේක්ෂා වේදනා සාමාන්‍යයෙන් අප්‍රකට යි. එවිට අපට මධ්‍යස්ථ වේදනාවක් කවර ආකාරයෙන් පහළ වේදැ’යි සිතීම අපහසු යි. එවිට වේදනාව තම සිතෙහි හෝ ගතෙහි හට ගත්තොත් ඒ වේදනාව අනිත්‍යය යි, දුක්ඛයි , අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න.
සච්චක නිගණ්ඨවාදීතුමාට එය මනාකොට පැහැදිලි කළා. ‘සුඛාපි වේදනා අනිච්ඡා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා යනුවෙනි. සච්චකය සැප වේදනාව අනිත්‍යය යි. සංස්කරණය කරන සුළු යි. හේතූන් නිසා ඇතිවන සුළු යි. පිරිහෙන සුළු යි. වැනසෙන සුළු යි. නොඇලිය යුතු ධර්මය කි. නිරුද්ධ කළ යුතු ධර්මය කි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ වේදනාව පිළිබඳ මෙනෙහි කළ යුතු ආකාරය පැහැදිලි කර දුන්නා.
වේදනාව අනිත්‍ය ලක්ෂණය පමණක් නොවෙයි, දුක්ඛ ලක්ෂණය , අනාත්ම ලක්ෂණය ආදී ලක්ෂණ තුනට ම යොමු කරමින් බැලිය යුතුයි. සැප වේදනාව පමණක් නොවෙයි. දුක්ඛ වේදනාව, මැදහත් වේදනාව වශයෙන් මෙනෙහි කළ යුතු යි. සැප වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි . දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි , උපේක්ෂා වේදනාව අනිත්‍යය යි , දුක්ඛ යි, අනාත්මයි සාමිස සුඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, නිරාමිස සුඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි. සාමිස දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛයි, අනාත්ම යි, නිරාමිස දුක්ඛ වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, සාමිස උපේක්ෂා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, නිරාමිස උපේක්ෂා වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි, යනුවෙන් වේදනානුපස්සනාව මෙනෙහි කරන ක්‍රමය යි.
එපමණක් නොවෙයි, යම් වේදනාවක් තමන්ට, ශරීරයේ කවර හෝ තැනක දැනුණා නම්, වේදනාව මෙනෙහි කරලා අනිත්‍ය ,දුක්ඛ, අනාත්ම වශයෙන් සලකන්න. එවිට වේදනානුපස්සනා සතිපට්ඨානය සම්පූර්ණ වෙනවා. වේදනාවයි, වේදනාව යි යනුවෙන් මෙනෙහි කිරීම සමථ භාවනාවක්. වේදනාව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කිරීම විදර්ශනාවට වැටෙයි. කළ යුතු වන්නේ විදර්ශනා භාවනාව යි. හේතුව ඇත්ත ඇති සැටියෙන් නුවණින් දැකිය හැකි වීම යි. ගත යුතු කිසිම දෙයක් නැතිබව හොඳින් වටහා ගත හැකි යි. මේ පිළිබඳ හසල දැනුමක් ලබා ගැනීම සඳහා කවුරුත් වේදනානුපස්සනාව පිළිබඳ ඉගෙන ගත යුතු යි. වේදනානුපස්සනාව ගැන මෙනෙහි කළ යුතු යි. කල්පනා කළ යුතු යි. එවිට මේ ශාරීරික සියලු වේදනාවන් හොඳින් දැනකියා ගන්න පුළුවනි.
සාමිස සුඛ වේදනාව පස්කම් නැමැති දේ ඇසුරු කිරීම නිසා, අරමුණු කිරීම නිසා දේහසික සෝමනස්ස වීම නිසා ඇතිවන වේදනාව සාමිස සුඛ වේදනාව යි. එසේම, නිරාමිස සුඛ යනු රූපාදී සය වැදෑරුම් අරමුණු නැවත පංචකාම ගුණයන්ගෙන් නික්මීම සඳහා කටයුතු කිරීමෙන් ඇතිවන්නා වූ වේදනාව යි. එසේම සාමිස දුක, නිරාමිස දුක යනු පස්කම් සැප ඇසුරෙන් ඇතිවන දෝමනස්සය, පස්කම් ගුණයන්ගෙන් වෙන්වීම නිරාමිස යි. පස්කම් සැපයන්ගෙන් ඇලී වාසය කිරීම ‘සාමිස’ දුක යි. සාමිස උපේක්ෂා , නිරාමිස උපේක්ෂා වේදනාව යනු පස්කම් ඇසුරු කිරීමෙන් ඇතිවන සැප නොවූ දුක් නොවූ වේදනාව යි. පස්කම් ගුණයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවන සැප නොවූ දුක් නොවූ වේදනාව උපේක්ෂා නිරාමිස වේදනාව යි.
මේ ක්‍රමයට වේදනා නව ආකාරය හොඳට තේරුම් බේරුම් කරගෙන තම දැනුම හැකිතාක් වැඩි කරගන්න. වේදනාව මෙනෙහි කිරීම නිවන් මඟ යි. අනිත්‍ය , දුක්ඛ, අනාත්ම මෙනෙහි කිරීම සුවිශේෂී නිවන් මඟ යි. මේ ගැන දැනගෙනෙ කවුරුත් නිවන් මඟට බැස ගන්න. සම්මා දිට්ඨි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කරුණු අට නිවන් ම ඟ යනුවෙන් ව්‍යවහාර කරනවා. එය තම දිවියට සහ සම්බන්ධ කළ විට නිවන් මඟට බැස ගත්තා වෙයි. වේදනාව මෙනෙහි කර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් මෙනෙහි කළ විට සෝවාන්, සකෘදාගාමී , අනාගාමී , අර්හත් යන මාර්ග ඵල අවස්ථාවන්ට පත් විය හැකි යි. සෝවාන් සෝවාන් ඵලය, සකෘදාගාමී සකෘදාගාමී ඵලය, අනාගාමී අනාගාමී ඵලය අර්හත් මාර්ග ඵලය යනුවෙන් මාර්ග සතරයි. ඵල සතරයි. නිර්වාණය යි, යන නවලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට සුදුසු ම භාවනාව වේදනානුපස්සනා සතිපට්ඨානය යි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල