Wednesday, June 9, 2021

චතුරාර්ය සත්‍යය



වඩාත් කැමැති දෙය වඩාත් දුක උපදවයි

පොල්ගහවෙල

මහමෙව්නා භාවනා අසපුවේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවන්නේ ඉතාමත් කලාතුරකිනි. උන්වහන්සේ ලොව පහළ වනතුරු බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ලොව විද්‍යාමාන නොවේ.


අසංඛ්‍යය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා දෙවියන්, මරුන්, බඹුන් සහිත ලෝකයාට ම සොයාගත නො හැකි සිතාගත නො හැකි පරම ගම්භීර ධර්මතාවයක් අවබෝධ කොට ගෙන උන්වහන්සේ ලෝක සත්ත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඒ දහම පතුරුවා හරිති. ඒ දේශනා කළ ධර්මය කුමක් ද? මේ ගැන මජ්ක්‍ධිම නිකායේ මාලුංක්‍යපුත්ත සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි.


”පින්වත් මාලුංක්‍යපුත්ත මා විසින් කුමක් ද වදාළේ? එය වනාහි දුකයි. එය වනාහි දුකේ හට ගැනීමයි, එය වනාහි දුක නැතිවීමයි, එය වනාහි දුක නැති කිරීමේ මාර්ගය යැයි මා විසින් වදාරන ලදී” ඒ අනුව තථාගතයන් වහන්සේ නමක් ලොවට පහළව දේශනා කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි.


දුක වනාහි සමස්තයක් ලෙස ගත්විට පංච උපාදානස්කන්ධය යි. යමක් උපදින්නේ ද, දිරන්නේ ද, ලෙඩ වෙන්නේ ද, පි‍්‍රය වෙන්නේද, අපි‍්‍රය වන්නේ ද, සෝක වන්නේ ද, පංච උපාධානස්කන්ධයක් නිසාම ය. එනම් රූප, වේදනා, සංඥා සංඛාර, විඤ්ඤාණ යන උපාදානස්කන්ධ නිසා ය.


දුක්ඛ සමුදය ලෙස භාග්‍යවතුන් වහන්සේ වදාළේ පින්වත් මහණෙනි, මෙය වනාහි දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. පුනර් භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ ඒ ඒ තැන සතුටින් පිළිගන්නා වූ ඒ තණ්හාව යි.


දුක නැතිවීම වනාහි ඒ තණ්හාවේ ම ඉතිරි නැතිව නො ඇල්මෙන් නිරුද්ධ වීමක් ඇද්ද? අත් හැරීමක් වේද, තණ්හාවෙන් මිදීමක් වේද , ආලය නැතිවීමක් වේ ද එයයි.


දුක නැතිවීමේ මාර්ගය වනාහි මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යි. එනම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නම් වූ අංග අටකින් යුතු ප්‍රතිපදාව යි. එයින්ද දුක කෙළවර කළ හැකි ය.


අප මේ ලිපිය තුළින් කතා කරන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පිළිබඳ යි. එහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ දුක හට ගන්නේ තණ්හාව නිසා බව යි. කාමයට ඇති ආශාවත්, භවයට ඇති ආශාවත් (පැවැත්මට ඇති ආශාව) විභවයට (නො පැවැත්මට) ඇති ආශාවත් වශයෙන් සිතක තණ්හාව විසිර තිබේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන පංචකාම සම්පත්තියට කරන ආශාව, ඒ ගැන ඇති කැමැත්ත, වුවමනාව, ස්නේහය, ඇල්ම, ආලය, කාම තෘෂ්ණාව යි.


කාම තණ්හාව යම් තැනකද දුක හට ගැන්ම එතැන යි. මේ ලෝක සත්ත්වයා හඹා යන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස නම් ඔවුන්ට හමුවන්නේ දුකක් ම යි. මේ ලෝක සත්ත්වයා තමා නිසා වැළපෙන්නේ ද, දරුවන් නිසා වැළපෙන්නේ ද, ගේ දොර ඉඩකඩම් නිසා වැළපෙන්නේ ද, රැකී රක්ෂා, ඉගෙනීම ආදියට විඳවන්නේ ද, පංචකාමය නිසා ම විනා අත හැරීමක් නිසා නොවේ. ඔබගේ සිතේ යම් දුකක් වේ නම් විමසා බලන්න. එය තවත් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් නිසා බව නුවණට තේරුම් යයි. එනිසා පංචකාම ආශාව පෝෂණය කරමින් දුකෙන් නිදහස් වීමක් පැතුවාට ඉටුවන්නේ නැත.


පංච කාමයෙන් පීඩා විඳින කෙනා නො විඳින රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පතයි. දුක් නැති දිනයක් පතයි. නැතිනම් ඊටත් වඩා සුවදායක රූප, ශබ්ද, ගන්ධ, රස, පහස පතයි. එවැනි පැවැත්මකට සිත ආශා කරයි. මේ වනාහි භව තණ්හාවේ ස්වභාවය යි. භවයට ආශා කරමින් , ප්‍රාර්ථනා පොඳි බැඳගෙන නම් දුක කෙළවර කළ නො හැකි යි. භව තණ්හාව දුක උපදවන බැවිනි. පංච උපාදානස්කන්ධය යම් තැනක ද, දුක එතැන යි. තව ආකාරයකින් නම් භවය ලෙස ලැබෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයයි. ආයතන හය යම් තැනක ද දුක එතැන යි. භව තෘෂ්ණාව දුකේ හට ගැනීම වන්නේ එනිසා ය.


තවත් කෙනෙකුගේ විභව තණ්හාව බලවත් වේ. හිමාලයේ සමහර යෝගීින් මෙය පුරුදු කරයි. සිතත්, කයත් නො පවත්වා යම් සාමාධියක් ස්පර්ශ කිරීමට වෑයම් කරයි. එය නිවන ලෙස සිතයි. සංඥාවක් නො පවත්වා ඉන්නට සිතයි. ඊට සිත හුරු කරයි. නිරෝධයක් යැයි සමාධියක් (සසුනෙන් බැහැරව) සිතෙන් අරමුණු කරයි. කෙසේ හෝ එය නො පවතින බවට ආශා කරයි. එය සිතක පවතින ස්වභාවයක්. එය විභව තෘෂ්ණාව යි. ලෝකයාට කාම තණ්හාව ම ඕලාරික වශයෙන් සිතේ බලපවත්වන නිසා භව තණ්හා, විභව තණ්හා ප්‍රකට ව තේරුම් ගැනීමට අපහසු ය. කෙසේ නමුත් මේ විභව කැමැත්ත, ආශාව, ඇල්ම, නිසා ද තවත් උපතක් සාදා දෙයි. විභව තණ්හාව එසේ දුක උපදව යි. මෙලෙස කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන ත්‍රිවිධ තෘෂ්ණා ව ම උපන් සත්ත්වයාට දුක ම උපදව යි. සංයුක්ත නිකායේ භද්‍රක සූත්‍රයේ ඒ දහම් කරුණ පැහැදිලිව ඇත.


එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවේලකප්ප නියම් ගමේ වැඩ සිටි සේක. එදා භද්‍රක ගාමිණි නමැත්තා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැසෙන්නට පැමිණ “භාග්‍යවතුන් වහන්ස, මට දුකෙහි හට ගැනීමත්, නැතිවීමත් පිළිබඳ දේශනා කරන සේක්වා” යි කී ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “ගාමිණි, අතීතයේ දුක හට ගත් ආකාරය, නැති වූ ආකාරය දේශනා කළොත් හෝ අනාගතයේ මෙසේ දුක ඇති වන්නේ ය, නැති වන්නේ ය යැයි දේශනා කළොත් ඔබට සැක ඇති වෙන්නට පුළුවනි. ගාමිණි මම ඔබට මේ ආසනයේ දී ම දුකේ ඇතිවීම, නැතිවීම කෙසේ සිදුවන්නේදැයි තේරුම් කරන්නම්.”


“ගාමිණි මේ ගමේ යම් කෙනෙක් මියගියහොත් , කරදරයක් වුණොත් ඔබට දුක හිතෙන පිරිසක් ඉන්නවා ද? ඒ වගේම යම් කෙනෙක් මිය ගියොත්, දුකට කරදරයකට පත් වුණොත් ඒ ගැන දුකක්, ශෝකයක් හට නො ගන්නා පිරිසක් ඉන්නවා ද?


ස්වාමිනි, එහෙම පිරිස් සිටිනවා. සමහර අයට කරදර එනකොට මට ඉතාමත් දුකයි. ශෝකය උපදිනවා. නමුත් සමහර පිරිසට කරදරයක් ආ විට මට දැනීමක් නැහැ.


එසේනම් ගාමිණි, එකම ගමේ පිරිසක් ගැන ඔබට දෙ ආකාරයකට හිතෙන්නේ ඇයි? කෙනෙක් ගැන දුක උපදිනවා. කෙනෙක් ගැන දුක උපදින්නේ නැහැ.”


”ස්වාමිනි, කෙනෙක් මියගියාම, කරදරයකට පත්වුණාම මට ශෝකය උපදින්නේ මගේ ඔවුන්ට කැමැත්තක් නිසා යි. ඇලීමක් තිබෙන නිසයි. නමුත් සමහර පිරිසට එසේ කැමැත්තක්, ඇලීමක් නැති නිසා ඒ අය ගැන මට දුකක් ඇතිවන්නේ නැහැ.


පින්වත් ගාමිණි, වැටහුණු මේ ධර්මය ම අතීතයට ගලපා සිතන්න. අතීතයේ යම් දුකක් ඇතිවූ විට ඒ සෑම දුකකට ම මුල් වූයේ කැමැත්ත යි. දුකේ මුල ආශාවම යි. අනාගතයේ යම් දුකක් හට ගන්නවානම් එයට හේතුව කැමැත්ත යි. මුල් වන්නේ ආශාව ම යි. “ස්වාමිනි, ඒ වදාළ වචන කෙ තරම් ඇත්ත ද? මට චිරවාසී නමින් පුතෙක් සිටිනවා. ඔහු පිට පළාතක ඉගෙනුම ලබන්නේ. ඔහුගේ සුව දුක් සොයන්නට මම පුරුෂයෙක් එහි යවනවා. ඔහු එන්නට ප්‍රමාද වුණොත් මම තැවෙනවා. ශෝක කරනවා. බියට පත්වෙනවා.


”පින්වත් ගාමිණි, යම් දවසක ඒ දරුවා මිය ගියොත්”


”අනේ ස්වාමිනි, මට ඒ ශෝකය දරා ගන්නට බැරි වේවි.”


”ගාමිණි යම් දුකක් උපදිනවා නම්, ඒ සෑම දුකකට ම මුල් කොට තිබෙන්නේ ආශාව යි. ඒ වගේ ම ගාමිණි ඔබගේ බිරිඳ ඔබ මීට පෙර දැක නැත්නම්, ඇය ගැන ආසා නැත්නම් ඔබට ඇය ගැන කැමැත්තක්, රාගයක් හෝ පේ‍්‍රමයක් ඇති වන්නේ ද?”


“නැත ස්වාමිනි”


“ගාමිණි, යම් දවසක ඇය දැක්කා ද, ඇය ගැන ඇසුවා ද, ආශාවක් කැමැත්තක් ඉපදුනේ එදින සිට නේද?”


“එසේය ස්වාමිනි”


“ගාමිණි ඇයට යම් කරදරයක් වුණොත්?”


“අනේ ස්වාමිනි, එය මට ඉවසිය නොහැකි වේවි. දුක සෝකය ඇය වෙනුවෙන් ඉපදෙනවා ම යි.”


”එසේනම් ගාමිණි, දුකට හේතුව කැමැත්ත බව තේරුම් ගන්න යැයි” භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.


එසේනම් දුකට හේතුව ආශාව බව තේරුම් ගෙන ඒ ගැන හොඳින් විමසමින් අවබෝධ කර ගන්නට උත්සුක වන්න.


දුක උපදවන තෘෂ්ණාව, ආශාව ප්‍රහාණය කර ගැනීමට අපටත් වාසනාව උදා වේවා.


- නයනා නිල්මිණි




චතුරාර්ය සත්‍ය


බත්තරමුල්ල

සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි

ප්‍රධාන අනුශාසක

ආචාර්ය

මිරිස්සේ ධම්මික හිමි


භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරමාර්ථ ධර්මයක් ලෙස අවබෝධ කොටගත යුතුමය. බුදුරජාණන් වහන්සේගේ දහම නම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. චතුරාර්ය සත්‍ය ධර්මය නම් බුදුරජාණන් වහන්සේයි.


ඒ අදහස් පෙළ ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පළමුවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ඉතාමත් කෙටියෙන් හා සරලව විවරණය කර ගනිමු.


දුක්ඛ හෙවත් ‘දුක’ ආර්ය සත්‍යයක් හැටියට දකින්නේ කෙසේ ද? මෙහි දී ‘ධම්මචක්කපවත්වන’ සූත්‍රයෙහි සඳහන් ධර්ම කොට්ඨාසය උපුටාගත හැකියි. එය මෙසේ දක්වමු. ‘ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණංපි දුක්ඛං, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්චං නලබති තම්පි දුක්ඛං සංඛිත්තේන පංචුපාදනක්ඛන්ධා දුක්ඛාති’.


ආශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයාට ඉහත සඳහන් කළ දුක, දැනුමට හසුකර ගත හැකි ය. ධාතු ස්කන්ධ ආයතනයන්ගේ නොසංසිඳීම දුකය. එනම් සසර පැවැත්ම, ඉපදීම, භවය දුකක් ය. දිරාගෙන යෑම හෙවත් ජරාවටපත්වීම දුකක් ය. ව්‍යාධිය හෙවත් ලෙඩවීම දුකක් ය. මරණය ද දුකක් ය. අප්‍රියයන් හා එක්වීම ද දුකක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක ය. කැමැති දෑ නොලැබීම දුක ය. එනම් පංචඋපාදානස්කන්දය ම දුකක් ය.


මහා වග්ග පාලියෙහි ධම්මචක්කපවත්වන සූත්‍රයට අනුව මේ දුකෙහි කතාව ආර්ය සත්‍යයක් ආකාරයෙන් දකින්නේ කෙසේ දැයි විමසා බැලිය යුතුයි..


ඉපදීම දුකක් ද? එනම් සාමාන්‍ය මනුෂ්‍යයෙක් ඉපදීම දුකක් හැටියට දැක ගන්නේ කෙසේදැයි, ආර්ය සත්‍යයක් හැටියට දැක ගන්නේ කෙසේ දැයි වටහා ගත යුතුවේ. ඉපදීම, ලෙඩවීම, දිරාගෙන යෑම, මරණය ආදී මේ ජීවිතයේ පවත්නා දුක්වලට මුහුණ දෙන්නට සිදුවන බව සැබෑ ය. ඉපදීම ආර්ය සත්‍යයක් හැටියට දකින්නට නම් අරමුණු කීපයකින් දුක පිළිබඳව විමසා බැලිය යුතු ය.


පළමු අදහස නම් උපතක් ලබන්නේ මනුෂ්‍යයෙක් හැටියට ම පමණක් නොවීමයි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව කර්මානුරූපව සියලු සත්ත්වයන්ට ඉපදිය හැකි ස්ථාන තිස් එකකි. එනම් සතර අපාය, මනුෂ්‍ය ලෝකය, දිව්‍ය ලෝක හය, රූපාවචර බ්‍රහ්මලෝක දහසය සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක හතර යන තිස් එකයි. මේ උප්පත්ති ස්ථාන තිස් එකෙන් සියලු සත්වයෝ වැඩිපුරම උපත ලබා ඇත්තේ සතර අපායේ බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ. ඒ අනුව උපත දුකක් බව තේරුම්ගත යුතු පළමු පියවරයි.


එසේ නොමැති වූවහොත් සාමාන්‍ය පුද්ගලයකුට සිතෙන්නේ දිව්‍ය ලෝකයක ඉපදීම, බ්‍රහ්ම ලෝකයක ඉපදීම, මනුෂ්‍යයෙක් වී සියලු සැප සම්පත් ලබා ගැනීම සැපතක් නොවේ ද යන්නයි. ලෞකික සැප වශයෙන් මනුෂ්‍ය ලෝකයේ හෝ දිව්‍ය ලෝකයක හෝ බ්‍රහ්ම ලෝකයක ඉපිද එහි කෙළවර නැවතත් දුකකට ම පත්විය හැකි බව සම්බුද්ධ දේශනාවෙහි සඳහන් වේ.


එනමුත් වඩා නුවණින් සිතා බැලිය යුතු දහම් අදහස නම් සියලු සත්ත්වයෝ අතීත සංසාර ගමනේ, වැඩිපුරම එනම් කල්ප ගණනාවක් උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර යන සතර අපායෙහි ම බව ය.


මේ අදහස ඔස්සේ ඉපදීම දුකක් බව අවබෝධ කොට ගත යුතු ය. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘අනවතග්ග සංයුක්තයෙහි’ සූත්‍ර රාශියෙහි ම දේශනා කොට ඇත්තේ, “නුඹලා හැම කෙනෙක් ම අතීත සංසාර ගමනෙහි දීර්ඝ කාලයක් දුක්විඳ ඇත්තෝය.’ යනුවෙනි. මේ අදහස් පෙළ අනුව ඉපදීම දුකක් බව තේරුම්ගත යුතු වන්නේ ය.


ඉන් අනතුරුව දිරාගෙන යෑම, ලෙඩ දුක්වලට පත්වීම, මමය මාගේ ය යන සම්මුතියෙහි පවත්නා සියලු බැඳීම් කෙළවර කොට මරණයට පත්වීම, ජීවත්ව සිටින කාලය තුළ අප්‍රියයන් හා එක්ව වාසය කිරීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම මේවා සාමාන්‍ය දුක් හැටියට තේරුම් ගත හැකියි.


මේ සඳහන් කරන සාමාන්‍ය දුක් පවා, දුකක් හැටියට නොගන්නට නම් දුක ආර්ය සත්‍යයක් හැටියට අවබෝධ කොට ගත යුතුමයි. ඒ කෙසේ ද? පඨවි ආදී ධාතූන්ගෙන් සමන්නාගත සවිඤ්ඤාණඛ, අවිඤ්ඤාණක මේ වස්තූන් ආශ්‍රැතවත් පෘතග්ජන ලෝකයා විසින් ‘මම ය මාගේ ය’ යන දැක්මෙන් යුක්තව සිතින් දැඩිව අල්ලා ගනී. උපාදානය කර ගනී.


පඨවි, ආපෝ, තේජෝ, වායෝ හෙවත් තද ගතිය, වැගිරෙන බව, උෂ්ණය, වායුව නම් වූ සතර මහා ධාතූන්ගෙන් සකස් වූ මෙම වස්තූන් සංඛත ලෙස හඳුන්වමු. මේ සංඛත වස්තූන් ස්ථිරයි. සදාකාලිකයි. සැපයි යන අදහසකින් සිතින් දැඩිව ගැනීම කාමයන් හි බැඳීමක් හැටියට සඳහන් කළ හැකියි.


එනම් මේ වස්තූන් ඉටු වඩන, මන වඩන, ප්‍රිය දැයෙහි කාමයෙන් යුත්, ඇලුම් කරන ආදී වූ පංචකාම ගුණයෙන් යුක්තව සිතින් දැඩිව ගැනීමයි. එහෙත් මේ සංඛතයේ ස්වභාවය නම්, හට අරගෙන බිඳී නැතිව යෑමයි. එහි පවතින්නේ කය සහ වය ධර්මතාවයයි. එනම් ක්ෂයවීම හා වැයවීමයි. තවදුරටත් සඳහන් කළොත් ඇති වී, බිඳී නැතිව යන ස්වභාවයයි. වෙනස්වන වස්තූන් නිත්‍යකොට සලකා එම වස්තූන්හි තදින් ඇලීම අස්වාද හෙවත් ආස්වාදයක් කොට ගනී. එම සංඛත වස්තු වෙනස්ව යන විට එනම් විපරිනාමයට පත්වන විට අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා එය පිළිගන්නට සිත පුරුදුකොට නොමැතිවීම නිසා ශෝක කරන්නට, වැළපෙන්නට, ළයේ අත්ගසා ගන්ට, ක්ලාන්ත වෙන්නට, මුලාවට පත්වෙන්නට පටන් ගනී. සාමාන්‍ය ලෝකයා මෙය හඳුන්වා ගන්නේ දුක්විඳීමක් හැටියට ය. මෙය ආර්ය සත්‍යයක් හැටියට දැක ගැනීමට නම් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් හැම වස්තුවක් ම, පඨවි ආදී වූ හේතුප්‍රත්‍යයන්ගේ විසිරීමෙන්, බිඳීයෑමෙන් නාමය ද වස්තුව ද, බිදී යන බවත් නැතිවී යන බවත් තේරුම්ගත යුතුයි.


ලෝක ස්වභාවය එය බව නුවණින් දකින විට ශෝක කරන්නට, හඬන්නට, වැළපෙන්නට, ළයේ අත්ගසා ගන්නට, ක්ලාන්තවෙන්නට, මුලාවෙන්නට හේතුවක් නොමැත. භාග්‍යවතුන් වහන්සේ ‘සංඛිත්තේන පංචු උපදානක්ඛන්දා දුක්ඛති’ යනුවෙන් දේශනා කළහ. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ නම් වූ ස්කන්ධ පංචකයම දුකක් බව දේශනා කළහ. එසේ නම් ස්කන්ධ පංචකය පිළිබඳව අවබෝධයක් ඇතිකොට ගත යුතුමයි. ආර්ය සත්‍යයක් හැටියට තේරුම් ගත හැකි වන්නේ එවිටයි.


භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ‘රූපය’ පෙනපිඬුවක් හැටියටය. ‘වේදනාව‘ දිය බුබුළක් හැටියටය. ‘සංඥාව‘ මිරිඟුවක් හැටියට ය. ‘සංඛාර’ අරටුවක් නැති කෙසෙල් ගසක් හැටියට ය. ‘විඤ්ඤාණය’ – මායාවක් හැටියට ය. එසේ නම් ස්කන්ධ පංචකය වරදවා ‘මම ය මාගේ’ යන දෘෂ්ඨියෙන් අල්ලා ගැනීමෙන්, ඒවායෙහි විපරිනාමය හා සමගින් එනම්, ත්‍රිලක්ඛනයට යටත්වීම සමගින් ඒ පිළිබඳ අවබෝධයක් නැති අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයා තම සිතෙහි දුක උපදවා ගනී. රූප, ශබ්ද ආදී කිසිදු ආරම්මනයක දුකක් නොමැත එහෙත් අනවබෝධයෙන් යුතු පුද්ගලයා තමන් කැමැති අරමුණ නිත්‍ය සුඛ ආත්ම වශයෙන් සිතෙන් දැඩිව ගනී. ඒවා වෙනස්වන විට දුක උපදවා ගනී. අකැමැති අරමුණෙහි ගැටීම නිසාත්, තමන්ට කැමැති දේ කැමැති ආකාරයට සිදු නොවීම නිසාත් දුක උපදවා ගනී. අවසන් වශයෙන් මේ සියල්ල ම සාරාංශ කොට දුක්ඛ, දුක්ඛ විපරිනාම දුක්ඛ, සංඛාර දුක්ඛ වශයෙන් අපි විස්තර කර ගනිමු.


දුක්ඛ දුක්ඛ හැටියට දක්වන්නේ මුලින් අප සඳහන් කළ ඉපදීම, දිරාගෙන යෑම, 1ලෙඩදුක් මරණය ආදී සාමාන්‍ය දුකයි. විපරිනාම දුක්ඛ හැටියට දක්වන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන පවත්නා වූ, හේතු ප්‍රත්‍යයන්ගෙන් හට අරගෙන බිඳී නැතිව යන්නා වූ සංඛත ධර්මයන් හි ඇති යථා ස්වභාවය අවබෝධ නොකර ගැනීම නිසා ඇතිවන වෙනස් වීමේ දුකයි. සංඛාර දුක්ඛ නම් පංච උපාදානස්කන්දය පිළිබඳව පරමාර්ථ ධර්ම වශයෙන් අපි අවසන් වශයෙන් සඳහන් කළ ආකාරයෙන් තේරුම් නොගැනීම නිසා ඇතිවන්නා වූ දුකයි.


මේ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයෙහි පළමුවැනි ආර්ය සත්‍යය වන දුක්ඛ ආර්ය සත්‍යය, ආර්ය සත්‍යයක් හැටියට ම දැක ගැනීමෙන් තොරව සියලු කෙලෙසුන් හි ප්‍රහාණය හෙවත් නිර්වානාවබෝධයට මාර්ගය සකසා ගත නොහැකියි.


දුක පිළිබඳව සඳහන් කරන්නේ දුක්විඳීමට නොව දුකෙන් නිදහස්වීමට බව අප විසින් තේරුම්ගත යුතුමයි. එවිට දුක දුකක් නොව දුක ගැන දැන ගැනීම සැපතට හේතුවක් බව, නිවනට ම හේතුවක් බව අවබෝධකොට ගත හැකි වන්නේ ය.


- දීපා පෙරේරා



පඨමසඞ්ගාමසුත්තං

 


4. පඨමසඞ්ගාමසුත්තං  

125

සාවත්ථිනිදානං. අථ ඛො රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්‍යාසි යෙන කාසි. අස්සොසි ඛො රාජා පසෙනදි කොසලො - ‘‘රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්‍යාතො යෙන කාසී’’ති. අථ ඛො රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච රාජා පසෙනදි කොසලො සකමෙව (සඞ්ගාමා (ක.)) රාජධානිං සාවත්ථිං පච්චුය්‍යාසි (පායාසි (සී. පී.)).

අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං -

‘‘ඉධ, භන්තෙ, රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං පසෙනදිං කොසලං අබ්භුය්‍යාසි යෙන කාසි. අස්සොසි ඛො, භන්තෙ, රාජා පසෙනදි කොසලො - ‘රාජා කිර මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා මමං අබ්භුය්‍යාතො යෙන කාසී’ති. අථ ඛො, භන්තෙ, රාජා පසෙනදි කොසලො චතුරඞ්ගිනිං සෙනං සන්නය්හිත්වා රාජානං මාගධං අජාතසත්තුං වෙදෙහිපුත්තං පච්චුය්‍යාසි යෙන කාසි. අථ ඛො, භන්තෙ, රාජා ච මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජා ච පසෙනදි කොසලො සඞ්ගාමෙසුං. තස්මිං ඛො පන, භන්තෙ, සඞ්ගාමෙ රාජා මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො රාජානං පසෙනදිං කොසලං පරාජෙසි. පරාජිතො ච, භන්තෙ, රාජා පසෙනදි කොසලො සකමෙව රාජධානිං සාවත්ථිං පච්චුය්‍යාසී’’ති.

‘‘රාජා, භික්ඛවෙ, මාගධො අජාතසත්තු වෙදෙහිපුත්තො පාපමිත්තො පාපසහායො පාපසම්පවඞ්කො; රාජා ච ඛො, භික්ඛවෙ, පසෙනදි කොසලො කල්‍යාණමිත්තො කල්‍යාණසහායො කල්‍යාණසම්පවඞ්කො. අජ්ජෙව (අජ්ජතඤ්ච (සී. පී.), අජ්ජෙවං (ස්‍යා. කං.)), භික්ඛවෙ , රාජා පසෙනදි කොසලො ඉමං රත්තිං දුක්ඛං සෙති පරාජිතො’’ති. ඉදමවොච...පෙ....

‘‘ජයං වෙරං පසවති, දුක්ඛං සෙති පරාජිතො;

උපසන්තො සුඛං සෙති, හිත්වා ජයපරාජය’’න්ති.


සඞගාමවත්‍ථු සූත්‍රය  

125

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරහා කොසොල් රජුට විරුද්‍ධව යුද පිණිස කසීරට වෙත ගියේය. පසේනදි කොසොල් රජද මගධාධිපති අජාසත් රජ සිවුරඟ සෙනග සරසා ෙවිරුද්‍ධව කසීරට වෙත ආයේයයි ඇසීය.

පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙණ අජාසත් රජුට විරුද්‍ධව සටන් පිණිස කසීරටට ගියේය. ඉන්පසු මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජද, පසේනදි කොසොල් රජද යුද්ධ කළාහුය. ඒ යුද්ධයේදී මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජුන් පැරදවීය. පැරදී පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ගියේය.

එකල බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ සැවැත් නුවරට වැඩ පසුබත් කල්හි පිණ්ඩපාතයෙන් පෙරළා ආවාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියෝය. පැමිණ, වැඳ, එක්පස්ව හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ. “ස්වාමීනි, මෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන පසේනදි කොසොල් රජුට විරුද්‍ධව සටන් පිණිස කසීරටට ගියේය. පසේනදි කොසොල් රජද මගධරට වේදේහිපුත්ත අජාසත් රජ සිවුරඟ සෙනග සරසාගෙන මට විරුද්‍ධව යුධ පිණිස කසීරටට ආවේයයි’ ඇසීය. ඉක්බිති පසේනදි කොසොල් රජද සිවුරඟ සෙනග සරසාගෙන මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජුට විරුද්‍ධව යුද පිණිස කසීරටට ගියේය. ඒ දෙදෙන එහි යුද කළහ. ඒ යුදෙහි මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පසේනදි කොසොල් රජ පැරදවීය. පැරදවීය. ස්වාමීනි, පැරදුනාවූ පසේනදි කොසොල් රජ සිය රාජධානියවූ සැවැත් නුවරට පසුබැස ආවේය.” යනුයි.

“මහණෙනි, මගධරට රජවූ වේදේහිපුත්ත අජාසත් රජ පව්කාර මිත්‍රයන් ඇති, පව්කාර යහළුවන් ඇති, පව්කාරයන්ටම නැමුණු කෙනෙක. එහෙත් මහණෙනි, පසේනදි කොසොල් රජ කල්‍යාණ මිත්‍රයන් ඇති, කල්‍යාණ යහළුවන් ඇති, යහපතටම නැමුණු කෙනෙක. මහණෙනි, අද මේ රැය පැරදුනු පසේනදි කොසොල් රජ දුකසේ සයනය කරන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා මේ ගාථාවද වදාළසේක:

“දිනන තැනැත්තේ වෛරය (සතුරන්) රැස් කරන්නේය. පැරදුන තැනැත්තේ දුකසේ වසන්නේය. දිනුම් පැරදුම් දෙකම හැරදමා (කෙලෙස් දුරලීමෙන්) සන්සුන් තැනැත්තේ සැපසේ වසන්නේය.”


Monday, June 7, 2021

ආලවක යකු දමනය විය

 


ආලවක යකු දමනය විය

පොල්ගහවෙල

මහමෙව්නා භාවනා අසපුවේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


ජීවිතයේ මංගල සම්මත අවස්ථාවල දී ජයමංගල ගාථා සජ්ඣායනා කිරීම සම්ප්‍රදායක් ලෙස සිදුවේ. විශේෂයෙන් ම බෞද්ධ යුවලක් යුග දිවියට එළඹෙන විවාහ මංගල්‍ය උත්සවයක දී මෙය අනිවාර්ය අංගයක් ලෙස සිදුවේ .


බොහෝ දෙනෙක් මේ ජයමංගල ගාථා පැවසීම චාරිත්‍රයක් ලෙස කරන නමුත්, එහි අර්ථය දැනගෙන සිදු කෙරෙන බවක් නම් නො පෙනේ.


ජයමංගල ගාථා කීම සිදු කෙරෙන්නේ සත්‍යානුභාවය මුල්කොට ගෙන සෙත් පැතීම සඳහා ය. ජයමංගල ගාථාවල කියැවෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ගුණ තේජස යි. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී ජයගත් ආකාරය යි. එසේ ජය ගන්නා වූ ගෞතම මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ තේජසින් ඔබට ජය මංගලයක් වේවා (තං තේජසා භවතු තේ ජයමංගලානි) යනුවෙන් ඒ සෑම ගාථාවක් ම අවසානයේ සෙත් පතනු ලැබේ.


අපගේ බුදුරජාණන් වහන්සේ තුළ තිබූ අසිරිමත් ශාන්තියේ හෙවත් ඉවසීමේ තේජස ගැන ජයමංගල ගාථාවන්ගේ මෙසේ සඳහන් වේ.


මාරාතිරේකමභියුජ්ක්‍ධිත සබ්බරත්තිං

ඝෝරම්පනාලවක්ඛමථද්ධයක්ඛං

ඛන්තීසුදන්තවිධිනා ජිතවා මුනින්දෝ

තං තේජසා භවතු තේ ජයමංගලානි


මුළු රෑ පුරා යුධ වදිමින් පැමිණි මාර සේනාවේ බලය ද, ඝොරභීර නාද නඟමින් ආ දැඩි ගති ඇති ආලවක යක්ෂයා ද ඉවසීම නම් වූ බලයෙන් දමනය කොට අප මුනිදාණෝ ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා.


ඉවසීම නම් වූ උතුම් ම තපසින් යුතු අප භාග්‍යවතුන් වහන්සේ හමුවේ මහා කුරිරු ගති ඇති ඒ ආලවක නම් යක්ෂයා දමනය වූ අයුරු ඉතා අසිරිමත් ය. ආලවක වාසය කළේ අලව් නුුවර මහා නුගයක පිහිටි යක්ෂ භවනක යි. ඒ මහා නුගයේ සෙවණ යටට එන ඕනෑම කෙනෙකු ගොදුරු කර ගැනීමේ වරමක් මේ යක්ෂයාට තිබුණි. මේ අතරේ දිනක් විනෝදයට දඩයම් පිණිස පැමිණි අලව් නගරයේ රජු මේ මහා නුග සෙවණට ගිමන් හැරීම පිණිස තනිව ම පැමිණීයේ ය. හාන්සි වී සිටියදී යාන්තමට නින්ද ගියේ ය.


සුළු මොහොතකින් මහා හ¾ඩක් නගමින් ගසෙන් යක්ෂයෙක් මතුවිය. රජතුමා බොහෝ සේ භීතියට පත්ව පලා යාමට සැරසෙද් දී ආලවක යකු කෑ ගැසී ය.


”මේ ගස යටට එන සියලු ම දෙනා අයිති මට යි. මේ මගේ භවන යි. දැන් නුඹ මගේ ගොදුරක්”.


”අනේ යක්ෂය මාව මරන්න එපා. මට ජීවිත දානය දෙනු. මම ඒ සඳහා නුඹට තවත් අවස්ථාවක් දෙනු ඇති”.


”කුමක්ද ඒ අවස්ථාව?”


”නුඹ මිනී මස් කන්න කැමැති අද විතරක් නොවේනේ. හැමදාම රස විඳින්නට කැමැතියිනේ. නුඹ මා මුදා හරින්නේ නම් දිනපතා ම නුඹට එක මිනිසා බැගින් ලබා දෙමි. මම අලව් නුවර මහ රජුයි. මා බේරුවොත් නුඹට සත්කාර කරනවා සත්තයි” රජු කී ය.


එසේ පොරොන්දු වූ රජු එදා අලව් යකුගෙන් බේරී ගොස් දිනපතාම රජු විසින් වූ පොරොන්දුව ඉෂ්ඨ කළේ ය. මුලින් ම රාජකීය බන්ධනාගාරයේ සිටි සිරකරුවන් එකා බැගින් බිල්ලට දුන්හ. බන්ධනාගාරය හිස් විය. ඉන්පසු කෙනෙකු සුළු වරදක් කළ ද අල්ලාගෙන විත් බිල්ලට යැවූහ. නමුත් කලක් ගත වෙද්දී මිනිසුන් අතරේ මේ ආරංචිය පැතුරුණේ ය. යක්ෂයා නිසා මුළු අලව් නුවර ම භීතියෙන් ඇළලී ගියේය. රජතුමා නීතියක් පැනවූවේ ය. අලුත උපදින දරුවන්ට මරණ බියක් නො දැනෙන නිසා ඔවුන් බිල්ලට දිය යුතුය යනුවෙනි.


මේ නිසා නගර වැසියෝ අලව් නුවර අතහැර ගියහ. ටික කලක් ගත වෙද්දී මුළු නගරයේ ම බිලි දීමට ඉතිරිව සිටියේ රාජකීය පුත් කුමරා පමණයි. එනිසා රජු හඬමින්,දරුවා බිලි දීමට තීරණය කළේ ය.


භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමවත් සුවයෙන් වැඩ සිටියදී මේ සිදුවීම දුටුවහ.බිලිවන්නට යන රජුගේ පුත් කුමරා අනාගාමි ඵලය සාක්ෂාත් කිරීමට තරම් මහා පින්වන්තෙකි. ඒ වගේම ආලවක මාර්ගඵල ලැබීමට තරම් පින් තිබෙන කෙනෙක්. මේ දෙදෙනාගේ ම හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ මේ ආලවක යකුගේ භවනට වැඩීමට කල්පනා කළහ. එදා ආලවක සිටියේ හිමාල පව්වේ තිබූ යක්ෂ සම්මේලනයකට සහභාගි වෙමිනි. භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට අලව් භවනේ ආලවක යක්ෂයා හිඳගන්නා පුටුවේ ම වැඩ සිටියහ.


ආලවකට ආරංචි වුණා තමන්ගේ විමානයට ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩම කොට ඇති බව. බොහෝ සේ කිපුණු ආලවක හිමාල පවුවේ සිටම හඬ තලා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත දිව ආහ. තමාගේ භවන වෙත එද්දී ආලවක දකිනවා තමාගේ ආසනයේ කෙනෙක් සිටින බව. මේ ආසනයේ යම් කෙනෙක් අසුන් ගන්නේ නම් ඔහු මහා ආනුභාව සම්පන්නයි කියා ආලවක දැන සිටියේ ය. ඒ නිසා ආලවක ළං වූයේ නැත. භවනේ එළියේ සිටියදී ම ගල් වරුෂා, ආයුධ වර්ෂා ආදී නානාවිධ වර්ෂාවන් මවමින් බුදුරජාණන් වහන්සේට පහර දීමට පටන් ගත්තේ ය.


ආලවක සතුව වේලායුධය නම් බලවත් ආයුධයක් තිබුණි. එයින් ගැසු කළ මහාමේරු පර්වතය පවා සුන් වෙයි. අවසානයේ දී මේ ආයුධයෙන් භාග්‍යවතුන් වහන්සේට පහර දුනි. ඒ ආයුධය පාපිස්සක් සේ බුදුරදුන් ගේ සිරිපා අබියස තැන්පත් වුණි. ආලවක තවත් නො සන්සුන් විය. එවර ඔහුට කල්පනා වුණේ මෙතරම් දේ කළත් මේ ශ්‍රමණයාගේ කිසි වෙනසක් නැහැ නොව. කිසිදු කම්පාවක් ද නැත. මේ ශ්‍රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. මෙත් සිතින්. ඔහු පරදවන්නට තිබෙන්නේ මේ ආකාරය යි. කියු ආලවක උන්වහන්සේ කෝපයට පත් කිරීමට සිතුවේ ය.


ආලවක – ශ්‍රමණය, මෙතැනින් වහා පිටවෙනු


බුදුරජාණන් වහන්සේ - හොඳයි පින්වත


ආලවක – නැවත ඇතුළට එනු


බුදුරජාණන් වහන්සේ – හොඳයි පින්වත


ආලවක සිතන්නේ මේ ආකාරයට දිගටම වෙහෙසට පත් වූ පසු කෝපය උපදවා පහර දීමට යි. නමුත් භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක් දක්වා පමණි ආලවකට අවනත වුණේ. හතරවැනි වතාවේ දී භාග්‍යවතුන් වහන්සේ .


ආයුෂ්මත, මම පිටතට නො වඩමි.නුඹට කළ හැකි දෙයක් වේනම් කරව.


”එසේනම් ශ්‍රමණය මා අසන මේ ප්‍රශ්නයට නුඹ පිළිතුරු දිය යුතුයි. ඒවාට පිළිතුරු නො දෙන්නේ නම් මම නුඹගේ සිත වික්ෂිප්ත කර දමමි. ඔබේ හදවත හෝ පලා දමමි. නැතිනම් පා වලින් ගෙන ගඟෙන් එතෙරට වීසි කරමි” කීහ.


භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය කෙ තරම්ද කියා ආලවක නො දනි. ආයුෂ්මත් දෙවියන්, සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා අතරේ මාගේ සිත පෙරළා දැමීමට හෝ මාගේ හදවත් පලා දැමීමට හෝ පා වලින් ගෙන ගඟෙන් එතෙරට විසී කර දැමිය හැකි කෙනෙකුන් හෝ මම නො දනිමි. නමුත් ඔබට යම් විමසිය යුතු දෙයක් වේනම් ඒවා විසඳා දෙමියි” වදාළ සේක.


යකුට මවගේ පරම්පරාවෙන් ලැබී තිබු කරුණක් විමසී ය. මහානුවණැති භාග්‍යවතුන් වහන්සේ එය විසඳුහ. ආලවකගේ සිත පහන් වුණි. බුදුරජාණන් වහන්සේ පැනයට පිළිතුරු දී අවසන් වෙනවාත් සමඟ ආලවක සිරිපතුල පා මුල වන්දනා කළේ ය. ස්වාමිනි, අද පටන් මගේ දිවි තිබෙන තුරාවට මම තෙරුවන් සරණ යමි. මා උපාසකයකු ලෙස පිළිගන්නා සේක්වා. (ආලවක යක්ෂයා විමසු ප්‍රශ්නත්, භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිතුරුත් ආලවක සූත්‍ර දේශනා තුළ හමු වේ.


එනිසා අප සිත පහදා ගත යුතුයි අපට සරණ යන්නට ලැබුණේ බොහෝ ගුණ දහමින් පොහොසත් අසිරිමත් ශාස්තෘන් වහන්සේ නමකි. දැඩි මතදාරී අකීකරු ගති ඇති අය පවා අපගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මැනවින් දමනය වූ අයුරු කෙතරම් විශ්මය ජනක ද?


ආලවක සූත්‍රයේ ආලවක ඇසු පළමු ප්‍රශ්නයත් බුදුරදුන් දුන් පිළිතුරත් මෙසේ සඳහන් කරමු.


කවර ධනය ද පුරුෂයා හට උතුම් වන්නේ

කවර කරුණ ද පුරුදු කළවිට සැප ලැබෙන්නේ

කවර රසය ද ලොවේ මියුරු ම රසය වන්නේ

කවර දිවිය ද ගත කරනවිට උතුම් වන්නේ


සැදැහැ ධනයයි පුරුෂයාහට උතුම් වන්නේ

සොඳුරු දහමයි පුරුදු කළවිට සැප ලැබෙන්නේ

ආර්ය සත්‍යයයි ලොවේ මියුරු ම රසය වන්නේ

නැණැති දිවියයි ගත කරන විට උතුම් වන්නේ


                                                           (සුත්ත නිපාතය)


- නයනා නිල්මිණි



සතුරන් ජය ගන්නට බුහුමන් ලබන්නට



සතුරන් ජය ගන්නට බුහුමන් ලබන්නට...

ශ්‍රී ලංකා පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ,

පාලි අධ්‍යයන අංශාධිපති

ආචාර්ය

මොරගොල්ලාගම උපරතන හිමි


අසේවනාච බාලානං

පණ්ඩිතානංච සේවනා

පූජාච පූජනීයානං

ඒතං මංගල මුත්තමං


බාලයන් ඇසුරු නොකිරීමත් පණ්ඩිතයන් ඇසුරු කිරීමත් මංගල කාරණයක් බව බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේ දී දේශනා කළහ.


වර්තමාන සමාජ විද්‍යාඥයන් මෙන්ම අධ්‍යාපන විශේෂඥයන් ප්‍රකාශ කර සිටින්නේ පුද්ගලයකුගේ ජීවිතය සාර්ථක කර ගැනීම ළමා කාලයේ සිටම ක්‍රියාත්මක විය යුතු බවයි. එහිදී සමාජ ඇසුර ඉතා වැදගත්වේ. මෙහිදී මව්පියන්ගේ වගකීම වන්නේ ළමයා නරක පුද්ගලයන්ගෙන් ඈත්කර යහපත් මිනිසුන්ගේ ඇසුරට යොමු කිරීමයි. එය කුඩා දරුවාගේ ජීවිත අඩිතාලමයි. එතැනින් ආරම්භවන සාර්ථකත්වය ජීවිතය අවසානය දක්වාම පවතී.


යහපත් මිනිසුන් මෙන්ම අයහපත් මිනිසුන් හඳුනා ගැනීමට නම් අප බුද්ධිමත් විය යුතු ය. අවබෝධයෙන් යුක්ත විය යුතුයි. පාප මිත්‍ර සේවනය තුළින් සමාජය විශාල පරිවර්තනයකට ලක්වේ. විශේෂයෙන් මිනිස් ජීවිතයක විශාල පරිවර්තනයක් සිදුවේ. පාප මිත්‍ර ඇසුර මුළු ජීවිතයම පරිහානියට යොමු කරවන්නකි. එය හුදෙක් ධනය විනාශ වීමක් පමණක් නොව අධ්‍යාත්මික පරිහානිය ද ළඟා කරවන්නකි.


බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද බෞද්ධ සමාජය යනු කල්‍යාණ මිත්‍ර සමාජයකි. මෙම සමාජයේ පරම කල්‍යාණ මිතුරා වන්නේ බුදුරජාණන් වහන්සේයි. සියලු සත්ත්වයන් කෙරෙහි අපිරිමිත කරුණාවත්, දයාවත් ඇතිව සේවය සැලසීම උන්වහන්සේගේ පරම අපේක්ෂාවයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ හා සමාන වන කිසිදු කල්‍යාණ මිත්‍රයකු අප සමාජයෙහි දක්නට නොමැත. බුදුරජාණන් වහන්සේ වෙතින් පිහිට ලද අය මිස උන්වහන්සේගෙන් අයහපත ලද කිසිවකු මේ තුන් ලෝකයේ නොමැත. මේ නිසා පාප මිත්‍ර ඇසුර නිසා සමාජයට සිදුවන බලවත් විනාශය මෙන්ම කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා සමාජයට සිදුවන යහපත බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කර ඇත.


න භජෙ පාපකෙ මිත්තෙ

න භජෙ පුරිසාධ මෙ

භජෙථ මිත්තෙ කල්‍යාණෙ

භජෙථ පුරිසුත්තමෙ


පවිටු, නරක, මිතුරන් ඇසුරු නොකළ යුතුය. අධම ,පහත් ,මිනිසුන් ඇසුරු නොකළ යුතුය. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතු ය. උතුම් මිනිසුන් ඇසුරු කළ යුතු ය.


සමාජයේ ජීවත්වන පුද්ගලයන් හැසිරීමෙන් රූපයෙන්, කථා විලාසයෙන්, ඔවුන් හඳුනාගන්නට අසීරුයි. ඇතැම්හු සමාජය ඉදිරියේ ඉතා සුහදශීලි ගුණවත් සත්පුරුෂ මිත්‍රයන් ලෙස පෙනී සිටිමින් ඉතා සූක්ෂම අයුරින් වංචාවල යෙදෙති.


සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ සත්ත ජටිල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ යහපත් අයහපත් පුද්ගලයන් හඳුනා ගන්නේ කෙසේදැයි දේශනා කළහ.


දිනක් කොසොල් රජතුමා බුදුරජාණන් වහන්සේ හමුවීමට ගොස් පිළිසඳරේ යෙදී සිටින අතරතුර ඒ අසලින් ජටිලයෝ හත් දෙනෙක් ගමන් කළහ. කොසොල් රජතුමා වහා නැගී සිට ජටිලයෝ හත්දෙනා ගමන් කරන දිශාවට වන්දනා කළේය. "සිල්වතුන් වහන්සේලාට ගුණවතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා" යනුවෙන් පවසමින් සාදුකාර දුන්නේ ය.එවිට බුදුරජාණන් වහන්සේ වදාළේ “රජතුමනි ඔවුන් කිසිසේත් ම සීලවන්තයෝ නොවෙති.” එහිදී රජතුමාගේ පිළිතුර වූයේ “ඇත්ත ස්වාමීනි, ඒ ගිය පිරිස සිල්වතුන් නොවේ. ඔවුන් මාගේ චරපුරුෂයෝ කණ්ඩායමක්” බවයි.


එහිදී බුදුරජාණන් වහන්සේ මේ සමාජයේ හොඳ මිනිසුන් කවුද? නරක මිනිසුන් කවුද? ඔවුන් හඳුනා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දේශනා කළහ.


සිල්වතා කවුද? දුසිල්වතා කවුද? කියා හඳුනා ගැනීමට නම් ඔවුන් ඇසුරු කළ යුතුම ය. ඇසුරු නොකර මිනිසුන් හඳුනා ගැනීමට නොහැකියි. මිනිසුන් හඳුනා ගන්නට නම් දීර්ඝ කාලීනව කල්පනාකාරීව ඇසුරු කළ යුතුයි. දුෂ්ඨයන්, බාලයන්, මෝඩයන් කොතරම් කාලයක් මිනිසුන් ඇසුරු කළත් ඔවුන්ට සැබෑවටම මිනිසුන් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැත. නමුත් ප්‍රඥාවන්තයන්ට සුළු මොහොතක් ආශ්‍රය කිරීමෙන් යහපත් මිනිසුන් කවුද කියා හඳුනා ගැනීමට හැකියාවක් ඇත.


විශේෂයෙන් අප මේ සමාජයේ ජීවත්වන විට කල්පනාකාරී විය යුතුයි. සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතවලට ළංවන පාපී මිත්‍රයන් හතර දෙනෙක් ගැන ද කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙක් ගැන ද දේශනා කළහ.


පාපී මිතුරන් සිවුදෙනෙකි එහි අඤ්ඤදත්තුහර මිතුරා තමන්ට යමක් ලබාගැනීමට පමණක් මිතුරුකම් දක්වයි.


වචීපරම – වචනයෙන් පමණක් මිතුරුකම් දක්වයි. හිස් වචනයෙන් සංග්‍රහ කරයි. අවශ්‍ය අවස්ථාවේදී උපකාර නොකරයි.


අනුප්පියභානී – ඇති තැන පමණක් බොරු ප්‍රශංසා කරයි. නැති තැන නුගුණ කියයි .යහපත් ක්‍රියාව විවේචනය කරයි. අයහපත් ක්‍රියාව අනුමත කරයි.


අපායසහායක – පාපයෙහි යෙදීමට මිතුරුකම් දක්වන පුද්ගලයා. මත්පැන් පානයට, සූදු කෙළියට අවේලාවේ වීදි සංචාරයට කතා කරයි.


කලණ මිතුරන් සිවුදෙනෙකි උපකාරක මිත්‍රයා – තම මිත්‍රයා ආරක්ෂා කරයි. ඔහුගේ ධනය ආරක්ෂා කර දෙයි. සිය මිතුරාට බියක් ඇති වූ විට ඔහු ආරක්ෂා කරයි. අවශ්‍ය වූ විට දෙගුණයකින් වස්තුව දී ඔහුව ආරක්ෂා කරයි.


සමාන සුඛ දුක්ඛ මිත්‍රයා – තම රහස් සිය මිතුරාට කියන අතර මිතුරාගේ රහස් කිසිම විදිහකින් අන් කිසිවකුටත් හෙළි නොකරයි. සිය මිතුරාට විපතක් වූ විට ඔහු අත් නොහරින අතර, මිතුරාගේ යහපතට තම ජීවිතය වුවත් පිදීමට කැමැත්තෙකි.


අත්ථක්ඛායි මිත්‍රයා – මේ මිත්‍රයන් හතර දෙනා අතරින් ඉතාම හොඳ මිත්‍රයායි. ඔහු හැම විටම තම මිත්‍රයා පවින් වළකාලයි. මිත්‍රයා යහපතෙහි යෙදවීම ඔහුගේ අරමුණයි. නොඇසූ යහපත් දේ ඇසීමට සලස්වයි. දෙව්ලොවට මඟ කියා දී සතුටු වෙයි.


අනුකම්පක මිත්‍රයා – තම මිත්‍රයාගේ පිරිහීමට සතුටු නොවෙයි. ඔහුගේ දියුණුවට සතුටු වෙයි. මිත්‍රයා පිළිබඳ නුගුණ කියන්නවුන් එයින් වළකන අතර, ඔහුගේ ගුණ කියන්නවුනට ප්‍රශංසා කරයි.


අප නරක පුද්ගලයන්ගේ ඇසුරට පත්වුණොත් වැරැදි ක්‍රියා කරන්නට පෙළඹේ. බුදුරජාණන් වහන්සේ සත්තිගුම්බ ජාතකයේදී ගිරා පෝතකයන් දෙදෙනා උපමා කොට සංවර්ධිත පෞරුෂයකට මෙන්ම අසංවර්ධිත පෞරුෂයකට ආශ්‍රය බලපාන අයුරු දේශනා කළහ. හිත මිතුරු සංස්ථාවේ දී අප සිතැඟි පරිදි ආශ්‍රය සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරන ලද්දේ ආශ්‍රය සඳහා සුදුසු උසස් හෝ සමාන ගුණ ඇති මිතුරකු නොවේ නම් අනුවණ මිතුරන් ආශ්‍රය නොකොට හුදකලාව විසීම වඩාත් උතුම් බවයි. එය ධම්මපදයේ මෙසේ දක්වා ඇත.


චරං චෙ නාධිගච්ඡෙය්‍ය

සෙය්‍යං සදිසමත්තනො

එකචරියං දළ’හං කයිරා

නත්ථි බාලේ සහායතා


එක් අවස්ථාවක දී ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන්, බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියේ, මේ ශාසනයෙහි හරි අඩක් පවතින්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මත නොවේද? යනුවෙනි. එවිට බුදුරජාණන් වහන්සේගේ පිළිතුරු වූයේ හරි අඩක් නොව ශාසනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වය මත බව ය.


ධම්ම පදයේ පණ්ඩිත වග්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.


නිධිනංච පවත්තාරං

යං පස්සෙ වජ්ජදස්සිනං

නිග්ගය්හවාදිං මෙධාවිං

තාදිසං පණ්ඩිතං භජෙ

තාදිසං භජමානස්ස

සෙය්‍යො හොතින පාපියො


යමෙක් නිධානයක් දක්වන්නකු මෙන් කෙනෙකුගේ ඇති වරද දකියි ද,එයට තරවටු කොට අවවාද කරයි ද, එබඳු වූ බුද්ධිමත් පඬුවකු සේවනය කළ යුතු ය. එබඳු කෙනෙකු ඇසුරු කරන්නාට වැඩක්ම වේ. අවැඩක් නොවේ.


යහපත් මිතුරන් ආශ්‍රය කිරීම තුළින් ලැබෙන ආනිසංස පිළිබඳ මිත්තානිසංස සූත්‍රයේ දී දීර්ඝව විස්තර වේ. යමෙක් මිත්‍රද්‍රෝහී නොවන්නේ නම්, ඔහු නිවසින් බැහැර ව ගිය ද හොඳින් අනුභව කරයි. ඔහු නිසා ජීවත් වන්නෝ බොහෝ වෙති. ගරු සැලකිලිවලට පාත්‍රවෙයි. සොරුන්ගෙන් රජුන්ගෙන් කරදර නොවේ. සතුරන් ජය ගනියි.


සතුටු මුහුණින් නිවසට එයි. සභාවෙහි දී පී‍්‍රතිමත් වෙයි. ඥාතීන් අතර උතුම් වේ. අන්‍යයන්ට ගරු කොට තමා ද බුහුමන් ලබයි. කීර්තිය පැතිරෙයි. යසසට හා ප්‍රසිද්ධියට පත්වේ. ගින්නක් මෙන් බබළයි. දෙවියකු මෙන් ප්‍රභා සම්පන්න වෙයි. සෞභාග්‍යයෙහි අඩුවක් නොවේ. මෙම ආනිසංස ලැබීම සඳහා අප නිරන්තරයෙන් මිත්‍රත්වය අගය කරමින් ක්‍රියා කළ යුතුය.


- අයන්ති විතාන




නවසීවතික භාවනාව



නවසීවතික භාවනාව: :

නිසල දේහය නුවණින් මෙනෙහි කරන්න

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


" ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කළ හැකිනම්, එය බොහොම වැදගත්. සෑම විට ම තමන්ට ද ඇත්තේ මෙවැනි වෙනස් වන සුළු සිරුරක් බව සිතන්න. එවිට අපට යම් සත්‍යයක් වැටහෙයි."


සතිපට්ඨාන භාවනාවෙහි කායානුපස්සනාවට සම්බන්ධව භාවනා කර්මස්ථාන දාහතරක් තිබෙනවා. එහි කිහිපයක් පසුගිය ලිපි පෙළින් සඳහන් කළා. අද සඳහන් කරන්නේ නවසීවතිකය යි. එනම්, සොහොනේ දමන ලද මෘත ශරීරයේ අවස්ථා නවය යි.


‘ජීවිතය අනියත යි. මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කිරීම මරණානුස්සති භාවනාව යි. මෘත ශරීරයේ ආදීනව දැකීම සීවතික භාවනාව යි. එය මෙනෙහි කළ යුත්තේ සිත දියුණු පුද්ගලයා යි. නැත්නම්, සමහරු මෘත සිරුරට බිය වෙනවා. මෘත ශරීරය පත්වන ආකාරය ගැන, මෙනෙහි කරමින් තමා ද ඒ තත්ත්වයට පත්වන බව මෙනෙහි කළ යුතු යි.


මෘත ශරීරයේ විවිධාකාර අවස්ථාවන් දෙස සිහියෙන් යුතුව සලකා බලමින්, තමාගේ ශරීරය ද ඒ තත්ත්වයන්ට පත්වන අයුරු මෙනෙහි කළ යුතු යි. එබඳු මෘත ශරීරයක මෙනෙහි කළ යුතු අවස්ථා නවය නවසීවතිකය යි. ඒ අවස්ථා නවය සලකා බැලුවොත්, අමු සොහොන යනු අද වගේ මිනී වළවල් කැපීම හෝ ආදාහනාගාරයේ තනා තිබෙන සොහොනට නොවෙ යි. එකල සොහොන් පිටියට මෘත ශරීරය විසි කර දමයි. හැම තැන ම මිනී ඇටකටු , එලෙස ම සිවලුන්, සුනඛයන් මේ මළ කුණු අදිමින් කා දම යි. දුගඳ හමයි. පණුවන් වැගිරෙයි. මෙවැනි අවස්ථා දැක ගත හැකි යි. එය අමුනුෂ්‍යයන් ද අරක්ගෙන තිබෙයි. ඒ නිසා එය ‘අමු සොහොන’ නම් වෙයි.


අමු සොහොනෙහි දමන ලද මරණයට පැමිණ, දින දෙකක් හෝ තුනක් ඉක්ම ගියා වූ ඉදිමී, නිල්වී , සාරය වැගිරෙන මෘත ශරීරය එය පළමු සීවතිකය යි. තමාට ද ඇත්තේ එවැනි වෙනස් වන සිරුරක් බව සිතිය යුතු යි. එලෙස නිල්වී ගිය සිරුර කායගතාසති භාවනාවට ඇතුළත් කළේ, කය අනුව බැලීමක් නිස යි. මෙය මෘත ශරීරයක් යැ’යි අගෞරව නොකර ගෞරවයෙන් භාවනා අරමුණක පිහිටාගෙන බැලිය යුතු යි.


මෘත ශරීරයක් දෙස බලද්දී කෙනෙකුට දැනෙන්නේ, සතුටක් නොව අසතුටක්. සමහරු කෙනෙක් මියගිය විට ඒ මිනිය තැන්පත් කර තිබෙන ගෙදරට යන්නේ නැහැ. යම් තැනැත්තෙක් තනිවම නිවසක සිටියොත්, ඒ තැනැත්තා තම නිවසේ සිදු වූ මරණ ගෙදරින් පසු ව තනිව වාසය කරන්නේ නැහැ. සමහරු ඒ නිවසට රාත්‍රී කාලයේ යන්නට බය යි. ඇතැමුන් මිනී අළුවලටත් බය යි. බලන්න වෙනස කෙතරම් ද? එබඳු ශරීරයක් අපට ලැබී තිබෙන්නේ?


ගවයෙක්, සර්පයෙක් , ඇතෙක් මිය ගිය විට බය නැහැ. ඇත් දළ නිවසෙත් තබා ගනියි. නමුත් මිනී ඇටකටු නිවසේ තබා ගන්නවා ද? නැහැ. මිනී ඇටයක් තිබුණොත් බය වෙනවා. ඇත් දළ වලින් සකසා ගත් කරඬු තිබෙනවා. ඇතාගේ ‘අලි හක්ක’ සමහරුන් ඖෂධ සඳහා යොදා ගනියි. මේවා ඇතාගේ ඇට කටු යි. නමුත් මිනිසාගේ කිසිම දෙයක් තියා ගන්නට පුළුවන්කමක් නැහැ. මේවා නිබඳව ම වෙනස් වී යයි. දුර්ගන්ධය හමා යයි. මේ නිසා තමන්ට ලැබී ඇති ශරීරය මරණයත් සමඟ ම ගත යුතු කිසිවක් නැති බව වටහා ගන්න. ගසක් නම්, එහි ලී දඬු ප්‍රයෝජනවත් වෙයි. නමුත් මිනිස් මෘත ශරීරය කිසිම වැඩකට ගන්නට බැහැ.


බෙහෙත් නොගල්වා මෘත ශරීරය තබා ගන්න පුළුවන් වන්නේ දින දෙක යි. එසේ නොමැති වුණොත් දුර්ගන්ධය හමයි. නමුත් ජීවත් ව සිටිය දී මේ සිරුර සුවඳ විලවුන්, පවුඩර් ආලේප කරමින් වාසය කරයි. ඇඟපත සේදිය යුතු යි. එලෙස සිරුරේ වෙනස්වීම් බහුල යි. දෙව්රජ දරුවන්ට ස්නානය කිරීම අවශ්‍ය නැහැ. සුවඳ ගල්වන්න අවශ්‍ය නැහැ. ඒ පින්වත් උත්තමයන්ට ඇත්තේ දර්ශනීය මනරම් වූ සුවඳ විහිදෙන සිරුරක්. ඒ පිනෙහි විපාක යි. මිය ගිය විට දුගඳ හමන්නේ නැහැ. මෘත ශරීර වළකට දමන්නේ, ආදාහනය කරන්නේ නැහැ. දැල්වෙන කපුරු පෙත්තක් නිවී ගියා සේ දිව්‍ය ශරීරයට සිදුවුණු දෙය සොයා ගන්නට බැහැ. නමුත් රහත් නොවුණ දෙවිවරු නැවත උපත ලබ යි.


මෙසේ කවුරුත් කල්පනාවෙන් ලොවුතුරා බුදු දහමේ සත්‍යය ගැන සිතා, පළමු සීවතික භාවනාවට සිත යොමු කළොත් හොඳ යි. මෙය සැමට අපහසු වන්නේ මෘත ශරීරයට ඇති බය නිස යි. බෙහෙත් නොගැල්වූ, ඉදිමුණු , ඕජාව වැගිරෙන සිරුර දෙස බලා යම් කෙනෙකුට ‘ජීවිතය අනියත යි, මරණය නියත යි’ යනුවෙන් මෙනෙහි කළ හැකිනම්, එය බොහොම වැදගත්. සෑම විට ම තමන්ට ද ඇත්තේ මෙවැනි වෙනස් වන සුළු සිරුරක් බව සිතන්න. එවිට අපට යම් සත්‍යයක් වැටහෙයි. ‘සම්මා දිට්ඨිය’ වන්නේ එය යි. ප්‍රඥවෙන් ම මෙනෙහි කළ යුතු යි. මෝහයෙන් මෙනෙහි කරන්නට බැහැ. මෝහයෙන් යුක්ත පුද්ගලයාට මේ කාරණය පිළිගත නො හැකි යි.


සීවතික භාවනාව සතිපට්ඨාන සූත්‍රයට ම ඇතුළත් කර තිබෙයි. සීවතික භාවනාව මරණානුස්සතිය යනුවෙන් සම්බන්ධ කරගන්නට එපා. සොහොනේ දමන ලද මෘත ශරීරය තමන්ගේ සිරුරට සංසන්ඳනය කර බැලීම සීවතික නම් වෙයි. මෙලෙස මෙනෙහි කරමින් සිහි නුවණ දියුණු කරනු ලැබුවොත්, භාවනාවෙන් උසස් ප්‍රයෝජනයක් ලැබිය හැකි යි. අපි මේ සිරුරෙහි දොස් දැකිය යුතු වෙමු. මිය යන සිරුර දින දෙක තුනකින් නිල් වී, ඉදිමී ඕජාව වැගිරෙන බව සිතන්න. එහි අස්ථිර ස්වභාවය ගැන සිතා, ශරීරයත් අනිත්‍යය යි. දුක්ඛ යි. අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. එසේනම්, සීවතික භාවනාව සැමට ම නිවන් සම්පත් පිණිස වේවා!


- ජම්මික ප්‍රබෝධනී වැලිකල



සත්තජටිලසුත්තං

 


සත්තජටිලසුත්තං  
122
එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො බහිද්වාරකොට්ඨකෙ නිසින්නො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
තෙන ඛො පන සමයෙන සත්ත ච ජටිලා සත්ත ච නිගණ්ඨා සත්ත ච අචෙලකා සත්ත ච එකසාටකා සත්ත ච පරිබ්බාජකා පරූළ්හකච්ඡනඛලොමා ඛාරිවිවිධමාදාය (ඛාරිවිධං ආදාය (පී.) දී. නි. 1.280 තදට්ඨකථාපි ඔලොකෙතබ්බා) භගවතො අවිදූරෙ අතික්කමන්ති. අථ ඛො රාජා පසෙනදි කොසලො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පථවියං නිහන්ත්වා යෙන තෙ සත්ත ච ජටිලා සත්ත ච නිගණ්ඨා සත්ත ච අචෙලකා සත්ත ච එකසාටකා සත්ත ච පරිබ්බාජකා තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං නාමං සාවෙසි - ‘‘රාජාහං, භන්තෙ, පසෙනදි කොසලො...පෙ.... රාජාහං, භන්තෙ, පසෙනදි කොසලො’’ති.
අථ ඛො රාජා පසෙනදි කොසලො අචිරපක්කන්තෙසු තෙසු සත්තසු ච ජටිලෙසු සත්තසු ච නිගණ්ඨෙසු සත්තසු ච අචෙලකෙසු සත්තසු ච එකසාටකෙසු සත්තසු ච පරිබ්බාජකෙසු යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘යෙ තෙ, භන්තෙ, ලොකෙ අරහන්තො වා අරහත්තමග්ගං වා සමාපන්නා එතෙ තෙසං අඤ්ඤතරා’’ති.
‘‘දුජ්ජානං ඛො එතං, මහාරාජ, තයා ගිහිනා කාමභොගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන - ‘ඉමෙ වා අරහන්තො, ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නා’’’ති.
‘‘සංවාසෙන ඛො, මහාරාජ, සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. සංවොහාරෙන ඛො, මහාරාජ, සොචෙය්‍යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. ආපදාසු ඛො, මහාරාජ, ථාමො වෙදිතබ්බො. සො ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. සාකච්ඡාය , ඛො, මහාරාජ, පඤ්ඤා වෙදිතබ්බා. සා ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙනා’’ති.
‘‘අච්ඡරියං , භන්තෙ, අබ්භුතං භන්තෙ! යාව සුභාසිතමිදං, භන්තෙ, භගවතා - ‘දුජ්ජානං ඛො එතං, මහාරාජ, තයා ගිහිනා කාමභොගිනා පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙන කාසිකචන්දනං පච්චනුභොන්තෙන මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙන ජාතරූපරජතං සාදියන්තෙන - ඉමෙ වා අරහන්තො, ඉමෙ වා අරහත්තමග්ගං සමාපන්නා’ති. සංවාසෙන ඛො, මහාරාජ, සීලං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. සංවොහාරෙන ඛො මහාරාජ , සොචෙය්‍යං වෙදිතබ්බං. තඤ්ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. ආපදාසු ඛො, මහාරාජ, ථාමො වෙදිතබ්බො. සො ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙන. සාකච්ඡාය ඛො, මහාරාජ, පඤ්ඤා වෙදිතබ්බා. සා ච ඛො දීඝෙන අද්ධුනා, න ඉත්තරං; මනසිකරොතා, නො අමනසිකරොතා; පඤ්ඤවතා, නො දුප්පඤ්ඤෙනා’’ති.
‘‘එතෙ, භන්තෙ, මම පුරිසා චරා ඔචරකා ජනපදං ඔචරිත්වා ආගච්ඡන්ති. තෙහි පඨමං ඔචිණ්ණං අහං පච්ඡා ඔසාපයිස්සාමි (ඔයායිස්සාමි (සී.), ඔහයිස්සාමි (ස්‍යා. කං.)). ඉදානි තෙ, භන්තෙ, තං රජොජල්ලං පවාහෙත්වා සුන්හාතා සුවිලිත්තා කප්පිතකෙසමස්සූ ඔදාතවත්ථා (ඔදාතවත්ථවසනා (සී.)) පඤ්චහි කාමගුණෙහි සමප්පිතා සමඞ්ගීභූතා පරිචාරෙස්සන්තී’’ති.
අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -
‘‘න වණ්ණරූපෙන නරො සුජානො,
න විස්සසෙ ඉත්තරදස්සනෙන;
සුසඤ්ඤතානඤ්හි වියඤ්ජනෙන,
අසඤ්ඤතා ලොකමිමං චරන්ති.
‘‘පතිරූපකො මත්තිකාකුණ්ඩලොව,
ලොහඩ්ඪමාසොව සුවණ්ණඡන්නො;
චරන්ති ලොකෙ (එකෙ (සී. පී.)) පරිවාරඡන්නා,
අන්තො අසුද්ධා බහි සොභමානා’’ති.

ජටිල සූත්‍රය  
122
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවත් තෙමේ සවස් වරුවෙහි ඵලසමවතින් නැගිට දොරටුවෙන් පිටත වැඩහුන්නේ වේ. පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිනියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය.
එවේලෙහි ඉතා දික්ව වැඩුනු කිසිලි ලොම් නිය ඇති ජටිලයෝ සත්දෙනෙක්ද, නිඝණ්ඨයෝ සත්දෙනෙක්ද, දිගම්බරයෝ (නිර්වස්ත්‍ර තාපසයෝ) සත්දෙනෙක්ද, ඒක සාටකයෝ (එක සළුවක් පමණක් ඇති තාපසයෝ)සත්දෙනෙක්ද, පරිව්‍රාජකයෝ සත්දෙනෙක්ද, නොයෙක් ආකාර තවුස් පිරිකර රැගෙණ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් එපෙදෙස පසුකර යති.
එකල්හි කොසොල් රජ අස්නෙන් නැගිට උතුරුසළුව එකාංශකොට දකුණු දණමඬල පොළොවෙහි ඔබා ඒ සත් ජටිලයන්, සත් නිගණ්ඨයන්, සත් දිගම්බරයන් සත් ඒකසාටකයන් හා සත් පරිව්‍රාජකයන් දෙසට ඇඳිලිබැඳ වැඳීම කොට “වහන්ස, මම පසේනදි කොසොල් රජ වෙමි” යි තුන් විටක් තම නම කීය.
ඉක්බිති කොසොල් රජ ඒ ජටිලයන් සත්දෙනද, නිගණ්ඨයන් සත්දෙනද, අචේලකයන් සත්දෙනද, ඒකසාටකයන් සත්දෙනද, පරිව්‍රාජකයන් සත්දෙනද, ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යමි තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ, එකත්පස්ව හිඳ, “ස්වාමීනි, ලෝකයෙහි රහත් වූ හෝ රහතු මගට පිළිපන්නා වූ හෝ යමෙක් වෙත් නම් මොව්හුද ඔවුන් අතරම වූ සමහරු වෙති” යි භාග්‍යවතුන් වහන්සේට කීයේය.
“මහරජ, පස්කම් සැප අනුභව කරණ, දූ දරුවන්ගෙන් පීඩ්ත, සයනයක හොවින, කසී සඳුන් ගල්වන, මල් ගඳ විලවුන් දරණ, රන්රිදී ඉවසන ගිහියෙක් වූ ඔබ විසින් මොවිහු රහත්හුයයි කියා හෝ මොවිහු රහත්මගට පිළිපන්නාහුයයි කියා හෝ දැනගැන්ම දුෂ්කරය (අපහසුය.)
“මහරජ, එකට විසීමෙන් ශීලය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ.’
“ස්වාමීනි පුදුමයි. ස්වාමීනි බොහෝ පුදුමයි. මහරජ, පස්කම් සැප අනුභව කරණ, දූ දරුවන්ගෙන් පීඩිත, සයනයක හොවින, කසී සඳුන් ගල්වන, මල් ගඳ විලවුන් දරණ, රන්රිදී ඉවසන ගිහියෙක් වූ ඔබ විසින් මොවිහු රහත්හුයයි කියා හෝ මොවිහු රහත්මගට පිළිපන්නාහුයයි කියා හෝ දැනගැන්ම දුෂ්කරය (අපහසුය.)
“මහරජ, එකට විසීමෙන් ශීලය දතයුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නෙක් විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයෙක් විසින් නොවේ. මහරජ, පිරිසිදු බව කථා ව්‍යවහාරයෙන්ම දත යුතුය. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසිනි. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තෙක් විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, විපත්තියෙහිදී ශක්තිය දතයුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ. මහරජ, සාකච්ඡා කිරීමෙන් ප්‍රඥාව දත යුතුයි. එයද බොහෝ කලකිනි. සුළු කලකින් නොවේ. නුවණින් සලකා බලන්නෙක් විසින්මය. මෙනෙහි නොකරන්නා විසින් නොවේ. නුවණැත්තා විසින්මය. මෝඩයා විසින් නොවේ.’ භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතරම් හොඳට මෙය වදාරණ ලදද?
“ස්වාමීනි මොව්හු මාගේ චෞරයෝය. චරපුරුෂයෝය. ඒ ඒ ජනපදවල කරුණු විමසා ඇවිද එන්නාහුය. ඔවුන් විසින් පළමුකොට සෝදිසි කළ තැනට මම පසුව යන්නෙමි. ස්වාමීනි, දැන් ඔව්හු ඒ දැලිකුණු සෝදා හැර හොඳින් නා, විලවුන් ගල්වා, කෙස් රැවුල් කපා හැර, සුදු පිළි හැඳ, පස්කම් ගුණයෙන් යුක්තව පස්ඉඳුරන් පිනවන්නාහුය”.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.
“පාටින් හා සටහනින් මිනිසා දතහැකි නොවේ. දැකීම් පමණින් මිනිසකු විශ්වාස නොකරන්නේය.
හොඳට සංවර වූවන්ගේ විලාසයෙන් හික්මීම නැත්තෝ මෙලොව හැසිරෙති. රනින් කරණ ලද්දකට සමාන වූ මැටියෙන් කළ කුණ්ඩලයක් මෙන්ද, පිටත රන් ගෑමෙන් රනින් වැසුනු ලෝහ අඩමස්සක් මෙන්ද, සමහරු පිටත්තර පරිෂ්කාරයෙන් වැසුනෝව ඇතුළත අපරිශුඬයෝව පිටතින් පමණක් ශෝභමානව හැසිරෙති.”







පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...