ආලවක යකු දමනය විය
පොල්ගහවෙල
මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
ජීවිතයේ මංගල සම්මත අවස්ථාවල දී ජයමංගල ගාථා සජ්ඣායනා කිරීම සම්ප්‍රදායක් ලෙස සිදුවේ. විශේෂයෙන් ම බෞද්ධ යුවලක් යුග දිවියට එළඹෙන විවාහ මංගල්‍ය උත්සවයක දී මෙය අනිවාර්ය අංගයක් ලෙස සිදුවේ .
බොහෝ දෙනෙක් මේ ජයමංගල ගාථා පැවසීම චාරිත්‍රයක් ලෙස කරන නමුත්, එහි අර්ථය දැනගෙන සිදු කෙරෙන බවක් නම් නො පෙනේ.
ජයමංගල ගාථා කීම සිදු කෙරෙන්නේ සත්‍යානුභාවය මුල්කොට ගෙන සෙත් පැතීම සඳහා ය. ජයමංගල ගාථාවල කියැවෙන්නේ අපගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ ගුණ තේජස යි. භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අවස්ථාවල දී ජයගත් ආකාරය යි. එසේ ජය ගන්නා වූ ගෞතම මහා මුනීන්ද්‍රයන් වහන්සේගේ තේජසින් ඔබට ජය මංගලයක් වේවා (තං තේජසා භවතු තේ ජයමංගලානි) යනුවෙන් ඒ සෑම ගාථාවක් ම අවසානයේ සෙත් පතනු ලැබේ.
අපගේ බුදුරජාණන් වහන්සේ තුළ තිබූ අසිරිමත් ශාන්තියේ හෙවත් ඉවසීමේ තේජස ගැන ජයමංගල ගාථාවන්ගේ මෙසේ සඳහන් වේ.
මාරාතිරේකමභියුජ්ක්‍ධිත සබ්බරත්තිං
ඝෝරම්පනාලවක්ඛමථද්ධයක්ඛං
ඛන්තීසුදන්තවිධිනා ජිතවා මුනින්දෝ
තං තේජසා භවතු තේ ජයමංගලානි
මුළු රෑ පුරා යුධ වදිමින් පැමිණි මාර සේනාවේ බලය ද, ඝොරභීර නාද නඟමින් ආ දැඩි ගති ඇති ආලවක යක්ෂයා ද ඉවසීම නම් වූ බලයෙන් දමනය කොට අප මුනිදාණෝ ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මංගල්‍යයක් වේවා.
ඉවසීම නම් වූ උතුම් ම තපසින් යුතු අප භාග්‍යවතුන් වහන්සේ හමුවේ මහා කුරිරු ගති ඇති ඒ ආලවක නම් යක්ෂයා දමනය වූ අයුරු ඉතා අසිරිමත් ය. ආලවක වාසය කළේ අලව් නුුවර මහා නුගයක පිහිටි යක්ෂ භවනක යි. ඒ මහා නුගයේ සෙවණ යටට එන ඕනෑම කෙනෙකු ගොදුරු කර ගැනීමේ වරමක් මේ යක්ෂයාට තිබුණි. මේ අතරේ දිනක් විනෝදයට දඩයම් පිණිස පැමිණි අලව් නගරයේ රජු මේ මහා නුග සෙවණට ගිමන් හැරීම පිණිස තනිව ම පැමිණීයේ ය. හාන්සි වී සිටියදී යාන්තමට නින්ද ගියේ ය.
සුළු මොහොතකින් මහා හ¾ඩක් නගමින් ගසෙන් යක්ෂයෙක් මතුවිය. රජතුමා බොහෝ සේ භීතියට පත්ව පලා යාමට සැරසෙද් දී ආලවක යකු කෑ ගැසී ය.
”මේ ගස යටට එන සියලු ම දෙනා අයිති මට යි. මේ මගේ භවන යි. දැන් නුඹ මගේ ගොදුරක්”.
”අනේ යක්ෂය මාව මරන්න එපා. මට ජීවිත දානය දෙනු. මම ඒ සඳහා නුඹට තවත් අවස්ථාවක් දෙනු ඇති”.
”කුමක්ද ඒ අවස්ථාව?”
”නුඹ මිනී මස් කන්න කැමැති අද විතරක් නොවේනේ. හැමදාම රස විඳින්නට කැමැතියිනේ. නුඹ මා මුදා හරින්නේ නම් දිනපතා ම නුඹට එක මිනිසා බැගින් ලබා දෙමි. මම අලව් නුවර මහ රජුයි. මා බේරුවොත් නුඹට සත්කාර කරනවා සත්තයි” රජු කී ය.
එසේ පොරොන්දු වූ රජු එදා අලව් යකුගෙන් බේරී ගොස් දිනපතාම රජු විසින් වූ පොරොන්දුව ඉෂ්ඨ කළේ ය. මුලින් ම රාජකීය බන්ධනාගාරයේ සිටි සිරකරුවන් එකා බැගින් බිල්ලට දුන්හ. බන්ධනාගාරය හිස් විය. ඉන්පසු කෙනෙකු සුළු වරදක් කළ ද අල්ලාගෙන විත් බිල්ලට යැවූහ. නමුත් කලක් ගත වෙද්දී මිනිසුන් අතරේ මේ ආරංචිය පැතුරුණේ ය. යක්ෂයා නිසා මුළු අලව් නුවර ම භීතියෙන් ඇළලී ගියේය. රජතුමා නීතියක් පැනවූවේ ය. අලුත උපදින දරුවන්ට මරණ බියක් නො දැනෙන නිසා ඔවුන් බිල්ලට දිය යුතුය යනුවෙනි.
මේ නිසා නගර වැසියෝ අලව් නුවර අතහැර ගියහ. ටික කලක් ගත වෙද්දී මුළු නගරයේ ම බිලි දීමට ඉතිරිව සිටියේ රාජකීය පුත් කුමරා පමණයි. එනිසා රජු හඬමින්,දරුවා බිලි දීමට තීරණය කළේ ය.
භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමවත් සුවයෙන් වැඩ සිටියදී මේ සිදුවීම දුටුවහ.බිලිවන්නට යන රජුගේ පුත් කුමරා අනාගාමි ඵලය සාක්ෂාත් කිරීමට තරම් මහා පින්වන්තෙකි. ඒ වගේම ආලවක මාර්ගඵල ලැබීමට තරම් පින් තිබෙන කෙනෙක්. මේ දෙදෙනාගේ ම හිතසුව පිණිස බුදුරජාණන් වහන්සේ මේ ආලවක යකුගේ භවනට වැඩීමට කල්පනා කළහ. එදා ආලවක සිටියේ හිමාල පව්වේ තිබූ යක්ෂ සම්මේලනයකට සහභාගි වෙමිනි. භාග්‍යවතුන් වහන්සේ වැඩම කොට අලව් භවනේ ආලවක යක්ෂයා හිඳගන්නා පුටුවේ ම වැඩ සිටියහ.
ආලවකට ආරංචි වුණා තමන්ගේ විමානයට ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩම කොට ඇති බව. බොහෝ සේ කිපුණු ආලවක හිමාල පවුවේ සිටම හඬ තලා ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත දිව ආහ. තමාගේ භවන වෙත එද්දී ආලවක දකිනවා තමාගේ ආසනයේ කෙනෙක් සිටින බව. මේ ආසනයේ යම් කෙනෙක් අසුන් ගන්නේ නම් ඔහු මහා ආනුභාව සම්පන්නයි කියා ආලවක දැන සිටියේ ය. ඒ නිසා ආලවක ළං වූයේ නැත. භවනේ එළියේ සිටියදී ම ගල් වරුෂා, ආයුධ වර්ෂා ආදී නානාවිධ වර්ෂාවන් මවමින් බුදුරජාණන් වහන්සේට පහර දීමට පටන් ගත්තේ ය.
ආලවක සතුව වේලායුධය නම් බලවත් ආයුධයක් තිබුණි. එයින් ගැසු කළ මහාමේරු පර්වතය පවා සුන් වෙයි. අවසානයේ දී මේ ආයුධයෙන් භාග්‍යවතුන් වහන්සේට පහර දුනි. ඒ ආයුධය පාපිස්සක් සේ බුදුරදුන් ගේ සිරිපා අබියස තැන්පත් වුණි. ආලවක තවත් නො සන්සුන් විය. එවර ඔහුට කල්පනා වුණේ මෙතරම් දේ කළත් මේ ශ්‍රමණයාගේ කිසි වෙනසක් නැහැ නොව. කිසිදු කම්පාවක් ද නැත. මේ ශ්‍රමණයන් වහන්සේ සිටින්නේ හොඳ ඉවසීමෙන්. මෙත් සිතින්. ඔහු පරදවන්නට තිබෙන්නේ මේ ආකාරය යි. කියු ආලවක උන්වහන්සේ කෝපයට පත් කිරීමට සිතුවේ ය.
ආලවක – ශ්‍රමණය, මෙතැනින් වහා පිටවෙනු
බුදුරජාණන් වහන්සේ - හොඳයි පින්වත
ආලවක – නැවත ඇතුළට එනු
බුදුරජාණන් වහන්සේ – හොඳයි පින්වත
ආලවක සිතන්නේ මේ ආකාරයට දිගටම වෙහෙසට පත් වූ පසු කෝපය උපදවා පහර දීමට යි. නමුත් භාග්‍යවතුන් වහන්සේ තුන් වතාවක් දක්වා පමණි ආලවකට අවනත වුණේ. හතරවැනි වතාවේ දී භාග්‍යවතුන් වහන්සේ .
ආයුෂ්මත, මම පිටතට නො වඩමි.නුඹට කළ හැකි දෙයක් වේනම් කරව.
”එසේනම් ශ්‍රමණය මා අසන මේ ප්‍රශ්නයට නුඹ පිළිතුරු දිය යුතුයි. ඒවාට පිළිතුරු නො දෙන්නේ නම් මම නුඹගේ සිත වික්ෂිප්ත කර දමමි. ඔබේ හදවත හෝ පලා දමමි. නැතිනම් පා වලින් ගෙන ගඟෙන් එතෙරට වීසි කරමි” කීහ.
භාග්‍යවතුන් වහන්සේගේ ආනුභාවය කෙ තරම්ද කියා ආලවක නො දනි. ආයුෂ්මත් දෙවියන්, සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා අතරේ මාගේ සිත පෙරළා දැමීමට හෝ මාගේ හදවත් පලා දැමීමට හෝ පා වලින් ගෙන ගඟෙන් එතෙරට විසී කර දැමිය හැකි කෙනෙකුන් හෝ මම නො දනිමි. නමුත් ඔබට යම් විමසිය යුතු දෙයක් වේනම් ඒවා විසඳා දෙමියි” වදාළ සේක.
යකුට මවගේ පරම්පරාවෙන් ලැබී තිබු කරුණක් විමසී ය. මහානුවණැති භාග්‍යවතුන් වහන්සේ එය විසඳුහ. ආලවකගේ සිත පහන් වුණි. බුදුරජාණන් වහන්සේ පැනයට පිළිතුරු දී අවසන් වෙනවාත් සමඟ ආලවක සිරිපතුල පා මුල වන්දනා කළේ ය. ස්වාමිනි, අද පටන් මගේ දිවි තිබෙන තුරාවට මම තෙරුවන් සරණ යමි. මා උපාසකයකු ලෙස පිළිගන්නා සේක්වා. (ආලවක යක්ෂයා විමසු ප්‍රශ්නත්, භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිතුරුත් ආලවක සූත්‍ර දේශනා තුළ හමු වේ.
එනිසා අප සිත පහදා ගත යුතුයි අපට සරණ යන්නට ලැබුණේ බොහෝ ගුණ දහමින් පොහොසත් අසිරිමත් ශාස්තෘන් වහන්සේ නමකි. දැඩි මතදාරී අකීකරු ගති ඇති අය පවා අපගේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මැනවින් දමනය වූ අයුරු කෙතරම් විශ්මය ජනක ද?
ආලවක සූත්‍රයේ ආලවක ඇසු පළමු ප්‍රශ්නයත් බුදුරදුන් දුන් පිළිතුරත් මෙසේ සඳහන් කරමු.
කවර ධනය ද පුරුෂයා හට උතුම් වන්නේ
කවර කරුණ ද පුරුදු කළවිට සැප ලැබෙන්නේ
කවර රසය ද ලොවේ මියුරු ම රසය වන්නේ
කවර දිවිය ද ගත කරනවිට උතුම් වන්නේ
සැදැහැ ධනයයි පුරුෂයාහට උතුම් වන්නේ
සොඳුරු දහමයි පුරුදු කළවිට සැප ලැබෙන්නේ
ආර්ය සත්‍යයයි ලොවේ මියුරු ම රසය වන්නේ
නැණැති දිවියයි ගත කරන විට උතුම් වන්නේ
(සුත්ත නිපාතය)
- නයනා නිල්මිණි
No comments:
Post a Comment