Sunday, June 6, 2021

බන්ධනසුත්තං

 



 බන්ධනසුත්තං  

121

තෙන ඛො පන සමයෙන රඤ්ඤා පසෙනදිනා කොසලෙන මහාජනකායො බන්ධාපිතො හොති, අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහි.

අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං - ‘‘ඉධ, භන්තෙ, රඤ්ඤා පසෙනදිනා කොසලෙන මහාජනකායො බන්ධාපිතො, අප්පෙකච්චෙ රජ්ජූහි අප්පෙකච්චෙ අන්දූහි අප්පෙකච්චෙ සඞ්ඛලිකාහී’’ති.

අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි -

‘‘න තං දළ්හං බන්ධනමාහු ධීරා,

යදායසං දාරුජං පබ්බජඤ්ච;

සාරත්තරත්තා මණිකුණ්ඩලෙසු,

පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා.

‘‘එතං දළ්හං බන්ධනමාහු ධීරා,

ඔහාරිනං සිථිලං දුප්පමුඤ්චං;

එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති,

අනපෙක්ඛිනො කාමසුඛං පහායා’’ති.

බන්‍ධන සූත්‍රය  

121

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි පසේනදි කොසොල් රජ විසින් මහා ජන සමූහයක් බන්දවන ලද්දේ වෙයි. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවෙන්ද බන්දවන ලද්දෝය.

එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු ගෙණ පිඬු පිණිස සැවැත් නුවරට ගොස් පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් පෙරළා අවුත් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්හ. එකත්පස්ව හිඳ මෙය කීහ. ස්වාමීනි, කොසොල් රජ විසින් බොහෝ දෙනා බන්දවන ලදහ. සමහරු රැහැණින්ද, සමහරු දම්වැලින්ද, සමහරු විලංගුවලින්ද බන්දවන ලද්දෝය” යනුයි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන එවේලෙහි මේ ගාථා වදාළසේක.

“යකඩින් කළාවූද, ලීයෙන් කළාවූද, බබ්බජ නම් තෘණ විශේෂයෙන් කළාවූද, බැමි තද බැමියයි නුවණැත්තෝ නොකියති. මිණිකොඬොල් ආදී ආභරණයෙහි ඇලීමද, අඹු දරුවන් කෙරෙහි අපේක්‍ෂාවද යන මෙය දැඩි තද බැම්මයයි (බුද්ධාදී) නුවණැත්තෝ කියති.

මේ බැම්ම අපායාදී පහත් බිමට අදින්නක්ද, බුරුල්වූවක්ද, එහෙත් ලෙහෙසියෙන් මිදෙනු නොහැක්කක්ද වේ. කාමයෙහි ඇළුම් නැත්තෝ මේ බැම්මද සිඳ බිඳ දමා කම් සැප හැර නිවන් මගට යෙති.





Saturday, June 5, 2021

ඉලක්කය කැපවීම සහ බුදුදහම


 ඉලක්කය කැපවීම සහ බුදුදහම
පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ජීවිතය සාර්ථකත්වය උදෙසා ගමන් කිරිමේ දී ප්‍රධානම දේ කැපවීම යි. කැපවීම ජීවිතයට සෞභාග්‍යය උදා කරවන උතුම් මංගල කරුණක් බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සේක. විශේෂයෙන් ගිහි පිරිසගේ ජීවිතය තුළ මේ කැපවීම නැතිනම් ඔවුහු ධනයෙන්, කීර්තියෙන් පිරිහි යති.

දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි පුද්ගලයෙකු විමසා සිටියේ “ස්වාමිනි ජීවිතයට ධනය රැස් කරගන්නේ කෙලෙස ද?” කියා යි. ඒ අවස්ථාවේ බුරජාණන් වහන්සේ වදාළා තමන්ට පැවරෙන වගකීම් සම්බන්ධයෙන් යමෙක් වීර්යයකින් යුතුව කටයුතු කරනවා නම්, තමන්ගේ කටයුත්ත පිළිබඳව ඔහු සතු වීර්යය කිසි විටකත් පසු නො බසින්නේ නම්, ඔහු මැනැවින් ධනය රැස් කිරීමට සමත් වන බවයි.

ගිහි ගෙදර වෙසෙන්නෝ කැපවීමෙන් කටයුතු කරන විට ධනයෙන් දියුණුවේ. එමෙන් ම ලෝකෝත්තර මාර්ගයට පැමිණි භික්ෂුන් වහන්සේ පවා ඒ තුළින් දියුණුව කරා යන්නේ ඒ උදෙසා කරන කැපවීම තුළිනි. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි යුගයේ බොහෝ භික්ෂූන් වහන්සේ තුළ මේ දක්ෂතාවය තිබුණි. දෙතිස් කථාවල නො පැටලී මාර්ගයට පරිබාහිර දේ ඉදිරියට නො ගෙන, නිකෙලෙස් වන තුරුම කැපවීමට උන්වහන්සේ දක්ෂ වූහ. නමුත් ඒ අතරේ ධර්මාවබෝධය පිණිස සසරේ කරන ලද පින් තිබියදීත්, ධර්මයේ හැසිරීමට ඇති කැපවීම අත්හල භික්ෂුහු ද වාසය කළ හ.

එක් කාලයක අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ සිටියදී එක්තරා තරුණයෙක් බොහෝම ශ්‍රද්ධාවෙන් පැමිණ බුදු සසුනේ පැවිදි විය. නමුත් ටික දිනකට පසු මේ භික්ෂුවගේ ධර්මයේ හැසිරීම පිණිස ඇති උනන්දුව ටිකෙන් ටික අඩු විය. ඒ බව අනෙක් තෙරණුවෝ භාගවතුන් වහන්සේට සැළකර සිටිය හ .

”පින්වත් භික්ෂුව, ඔබ ධර්මයේ හැසිරීම පිණිස කිසිදු කැපවීමක්, වීර්යයක්, උනන්දුවක් නො මැතිව සිටිනවා කියන්නේ සැබෑ ද?”

”එසේය ස්වාමිනි”

”භික්ෂුව අමා නිවන් සුව මෙලොවදී ම පසක් කරවන මේ උතුම් සසුනේ පැවිදි ඔබ ඇයි වීර්යය අත් හැරියේ? අතීතයේ නුවණැත්තෝ මේ සා ප්‍රණීත නිවන් සුව උපදවන කරුණක දී පමණක් නොව සාමාන්‍ය අවස්ථාවන්හි පවා මහත් වූ කැපවීමෙන් කටයුතු කළා නොවැ.

ඒ මොහොතේ එහි වැඩ සිටි ස්වාමින් වහන්සේලා ඒ නුවණැත්තන්ගේ කැපවීම ගැන අසන්නට කැමැත්තෙන් අතීත කතාව දේශනා කරන ලෙස ඉල්ලා සිටිය හ.

ඈත අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍ය කළේ ය. ඒ කාලයේ මහ බෝසතාණන් වහන්සේ එක්තරා වන සංරක්ෂණ කුලයක උපත ලැබී ය. ක්‍රමයෙන් වැඩිවියට පත් වෙද්දී බෝසත් තරුණයා පන්සියයක් පිරිවර ඇතිව ගම්මානයට යාබද එක්තරා වන පියසක් ආරක්ෂා කරමින් වාසය කළේ ය. මේ වනය මැදින් වැටී තිබෙන මාර්ගයෙන් එහා ගම් පළාත්වලට ගමන් කරන මිනිස්සු මේ ආරක්ෂක තරුණයාට මුදල් ගෙවූ විට සොර සතුරන්ගෙන් , වන සතුන්ගෙන් හානියක් නො වන පරිදි ඔවුන් ඒ වන මාර්ගයෙන් එතෙර කරන්නේ මේ ආරක්ෂකයා මුල් කර ගෙන ය.

දිනක් බරණැස්වාසි ගැල් නායක පුත්‍රයෙක් තමන්ගේ ගැල් පන්සියය සමග වනයෙන් එතෙර වන අදහසින් එහි පැමිණියේ ය. බෝසත් ආරක්ෂකයාට කථා කොට “මිත්‍රයා මෙතැන කහවනු දහසක් ඇත. එය රැගෙන අප පිරිස වනාන්තරයෙන් විරුද්ධ දෙසට ප්‍රවේශමෙන් රැගෙන යනුයි කීය”.

බෝධිසත්වයෝ ඒ ගැල් නායක පුත්‍රයා දුන් කහවණු දහස අතට ගෙන ඒ මොහොතේ ම තමන්ගේ ජීවිතය දෙවැනි කොට මෙ පිරිස ආරක්ෂා කරනවා කියා සපථ කොට ඒ කටයුත්ත වෙනුවෙන් කැප විය. ඒ පන්සියයක් වූ විශාල පිරිසක් රැගෙන ඒ දීර්ඝ වනගත මාර්ගයට ඇතුළු වුණි.

වැඩිදුරක් ඒ ගමන සුවසේ යාමට නො ලැබුණි. එකවර ම මහා හඬින් කෑ ගසාගෙන දුනු ඊතල මානගෙන පන්සියයක පමණ මහා සොර කණ්ඩායමක් කන්දෙන් පහළට බෝසත් ආරක්ෂක පිරිස දෙසට කඩා පැන්න හ . ගැල් නායක පුත්‍රයා ඇතුලු පන්සියයක් පිරිස භීතියට පත් වී කෑ ගසමින් බිම දිගා වූහ. නමුත් වන ආරක්ෂක තරුණයා බියට පත් වූයේ නැත. මහා හඬින් කෑ ගසමින් සොරුන්ගේ හඬ යටපත් කළේ ය.

ඉදිරියට එන සොර කණ්ඩායම මැදට පැන පහර දීමට පටන් ගත් නිසා සොරු පසු බැස්ස හ. කිසිවෙකුට කරදරයක් නො කොට සොරු පලා ගිය හ. මේ ආරක්ෂක තරුණයා අර පන්සියයක් පිරිසම කිසිදු කරදරයකින් තොරව වනගත මාර්ගයෙන් නගරය දක්වා එතෙර කරවී ය. ගමනාන්තයෙන් එළියට ආ විගසම ගැල් නායක පුත්‍රයා මේ ආරක්ෂක තරුණයාට සාදරයෙන් සත්කාර සම්මාන කරවූවේ ය. ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කළේ ය. අනතුරුව ඔහුගෙන් මෙසේ විමසා සිටියේ ය.

”සොහොයුර, මහ වන පියස මැද දී ආයුධ අතට ගෙන සොරු පැමිණි අයුරු සිහිපත් වන විටත් අප සලිත වේ. නුඹට එවැනි මොහොතක දී හෝ සිතේ කිසිදු තැති ගැන්මක් නො වූයේ කෙසේ ද?”

”මිත්‍රය, ඔබ යම් මොහොතක මා වෙත මේ වනයෙන් එතෙර කරවන්න කියා ධනය ලබා දුන්නා ද, ඒ මොහොතේ ම මම ජීවිත ආශාව අත් හැරියෙමි. ඔබලාගේ වගකීම බාර ගත්තෙමි. කුමන බාධක පැමිණියත් මගේ වගකීම ඉටු කරනවා කියන බලවත් සිත මට තිබුණි. ඒ උදාර සිතින් මම වාසය කළෙමි. ඒ නිසාම බිහිසුණු සොර කණ්ඩායම ඉදිරියේ දී පවා මට බියක් හට නො ගත්තේය.

බුදුරජාණන් වහන්සේ මේ සිදුවීම දේශනා කොට අවසානයේ මෙසේ වදාළ සේක. මහණෙනි ඒ, අතීතයේ තමාට පැවරුණු වගකීම වෙනුවෙන් එලෙසින් කැප වූ වන ආරක්ෂකයා ලෙස සිටියේ තමන් වහන්සේ බව වදාළ සේක. ඒ නිසා පින්වත් මහණෙනි, මෙබඳු ස්වාක්ඛාත ධර්ම, විනයක පැවිදි බව ලද ඔබ කැපවීමෙන් වීර්යය කළ යුතුම යි. කියා වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අවවාදයට සවන් දී සිටි ධර්මයේ හැසිරීමට ඇති උනන්දුව අත්හළ භික්ෂුව තමන්ගේ හිතට හොඳින් වීර්යය ගෙන ඉතා සුළු කලකින් සියලු කෙලෙස් දුරු කොට උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

එනිසා අපගේ ශාස්තෘන් වහන්සේගේ අවවාද ගෞරවයෙන් පිළිගෙන තම තමාට පැවරෙන වගකීම කැපවීමෙන් යුතුව ඉටු කරන්නේ නම් රටක්, ජාතියක් ලෙස බොහෝ සේ දියුණුවීමට අපට තවමත් අවස්ථාව ඇත.

- නයනා නිල්මිණි

රැස්වන කර්ම ගැන නිබඳව ම සිතන්න


 

රැස්වන කර්ම ගැන නිබඳව ම සිතන්න

අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක

ගලිගමුවේ ඤාණදීප හිමි


අප සෑම විටම සිතනවා, කතා කරනවා. ක්‍රියාත්මක කරනවා, සිත, කය, වචනය තුන් දොරම චේතනාවක් සමඟම යි ක්‍රියාත්ම වෙන්නේ. එසේනම්, කර්ම රැස් නොකර ජීවත් වෙන ක්‍රමයක් ලොවේ කොහේවත් නැහැ. බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, කර්ම රැස් කරන්නේ නැතිව ජීවත් වන ක්‍රම නොවෙයි. එලෙස සිටින්නට කාටවත් බැහැ. බුදුවරු පහළව පෙන්වා වදාළේ, මේ රැස්වන කර්මයන්ගෙන් එක කොටසක් තිබෙනවා , සම්පූර්ණයෙන් වළකා ගත යුතු යි. ඒ ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්නැ’යි වදාළා.


මේ රැස්වන කර්මයන්ගෙන් අකුසල කර්මයන් වළකා ගත යුතු යි. ‘කුසලස්ස උපසම්පදා’ යනුවෙන් කර්ම වෙයි. කුසල කර්ම, පුණ්‍ය කර්ම ඒවා රැස්කරගත යුතු යි. සිත , කය, වචනය මුල්කරගෙන බණ අසන විට , සිල් රකින විට, දන්දෙන විට, පින් කරන විට, හැම වේලාවෙම කර්ම රැස් වෙයි. ඒ රැස් වෙන්නේ සුළු කුසල කර්ම. මේවා රැස් කරන්නැ’යි වදාළා. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න.


භාවනා කරන විටත් කර්ම රැස් වෙනවා. එය ධර්මයේ ‘අන්‍යෙයාභි සංස්කාර’ වෙයි. ඒ කර්මයට අනුව සමාධිය වඩන්නා රූපී බ්‍රහ්ම ලොවක උපත ලබයි. අරූප ධ්‍යාන වඩන්නා අරූප සමාධියට අනුව අරූපී බ්‍රහ්ම තලවල උපත ලබයි. එවිට සමථ – විපස්සනා භාවනා වඩන කෙනාටත් ඒ තුළ යම් කර්ම රැස් වෙයි. ඒ සමාධි මට්ටමට අනුව උපදින බ්‍රහ්ම තල තිබෙනවා. ඒ නිසා පින් කරන පුද්ගලයා ‘පුණ්‍යාභි සංස්ඛාර’ පිනට අනුව කර්ම රැස්කර ගන්නවා. සුගතියේ උපත පිණිස. අකුසල් රැස් කරගන්නා අකුසලයට අනුව විපාක පිණිස දුගතියට නැඹුරු වූ කර්ම රැස් කරගන්නවා. සමාධිය වඩන කෙනා රූපී, අරූපී බ්‍රහ්ම තලවල විපාක පිණිස කර්ම රැස් කරගන්නවා. එවිට මේ යන ගමන තුළ ආර්ය අෂ්ටාංගික මාර්ගය ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස පෙන්වා වදාළා.


ඒ මාර්ගය තුළ අකුසල් ප්‍රහාණය කර කුසල් වඩාගෙන, සමාධිය වඩාගෙන ම ඒ රැස්කර ගන්නා කර්මයන්ගේ විපාක ක්ෂය වීම පිණිස පවතින කර්ම රැස් වෙනවා. ඒවා රැස් වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්. කර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වූයේ ‘කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව’ ලෙස යි. මේ කර්මයන්ගේ විපාක ක්ෂය කරන ප්‍රතිපදාව යි. පුණ්‍ය කර්ම, පාප කර්ම එයයි රහතන් වහන්සේ ගැන කියන්නේ ‘පුණ්‍ය පාප පහී නස්ස නත්ථි ජාගරං කතො භයං’ රහතන් වහන්සේ යනු පිනේ විපාකත් අකුසල විපාකත් සියල්ල ප්‍රහාණය කරගත් උත්තමයන් පිරිසකි. ඒ නිසා සාමාන්‍ය ලෝකයා කෙලෙස් සහිතව, අවිද්‍යාව තුළ ඉන්න ලෝකයා සැම විට ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස්කර, යන ගමනක්.


රහතන් වහන්සේ ගැන පමණයි, ධර්මයේ හඳුන්වන්නේ ‘ඛීනං පුරාණං’ උන් වහන්සේ පමණයි පෙර කර්ම ක්ෂය කර අවසන් කරන්නේ. ‘නවං නත්ථි සම්භවං’ අනාගතයේ භවයක් නිසා අලුතෙන් කර්ම රැස් කරන්නෙත් නැහැ. ‘විරත්ථ චිත්තා ආයතිකේ භවස්මිං’ පෙර කර්මත් ක්ෂය කළා. අලුත් කර්ම රැස් කරන්නෙත් නැහැ. උන් වහන්සේලාගේ සිත අලුතෙන් භවයක පිහිටා නැහැ. ‘තෙ ඛීන බීජා අවිරුළ්හිච්ඡන්දා’ බීජයක පැළවෙන ස්වභාවය නැතිවුණා වගෙ යි. ‘නිබ්බන්ති ධීරා යථා යං පදීපො’ පහනක් නිවී යනවා සේ එතනම නිවී යයි.


මේ ස්වභාවය පවතින්නේ රහතන් වහන්සේ තුළ පමණ යි. අනෙක් සෑම කෙනෙක් ම පෘතග්ජන මට්ටමෙන් කෙලෙස් සහිතව ජීවත් වන සෑම පුද්ගලයෙක් ම පෙර කර්ම ගෙවා අලුතෙන් සංසාරයට කර්ම රැස් කර යන පිරිසක්. ඒ නිසා බුදුවරු පහළව අපට පෙන්වා වදාළේ, සැම විට ම කර්මය ගැන සිතන්න. ඔබ නිබඳව ම සිහි කරන්න මා කුමන කුසලයක් කළත් එහි විපාක මම ම සංසාරයේ අරගෙන යනවා.


ඒ වගේම මා යම් අකුසලයක් කළොත් , ඒ අකුසල විපාකත් සසරේ දුක විඳ විඳ ම මට ම අරගෙන යන්නට වෙනවා. ‘යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකංවා තස්ස දායාදෝ’ මම කරන දේ යහපත් ද? යහපත් විපාක මට ලැබෙනවා. මා කරන දේ අයහපත් ද? අයහපත් විපාක මට ලැබෙනවා. මේ කාරණාව උදේ , සවස ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා කාටත් පොදු ධර්මතාවක්. බුදුරජාණන් වහන්සේටත්, උන් වහන්සේගේ ඥතීන්ටත් සියලු ම දෙනාට එය සාධාරණ යි.


ඔබ සිතන්න, යශෝධරාව පිරිනිවන් පාන විට මහ පොළොව කම්පිත වුණා. ඒ මහපොළොව ම පලාගෙන ගිනිදැල් පහළ වෙලා, යශෝධරාවගේ පියාණන් අපාගත වුණා. ඒ ඔහු රැස්කරගත් කර්ම විපාක යි. ඒ යශෝධරාවගෙ ම එකම සහෝදරයා දේවදත්ත, පණ පිටින් ම පොළොව පලාගෙන අපායට ඇදිලා ගියා. එවිට අපට පෙනෙන්නේ ඒ ඔහු රැස් කරගත් කර්ම යි. බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් අතර ගත්ත ද, කිහිප දෙනෙක් නිවන් දකින විට, කිහිප දෙනෙක් ම පොළොව පළාගෙන අපාගත වුණා. ඒ නිසා තම තමන් රැස් කරගත් කර්ම විපාක තමන්ම අරගෙන යන සංසාර ගමනක්. ඒ නිසා හැම වේලේම ඔබ කර්මය ගැන සිතනවා නම්, අකුසල කර්ම වලින් වළකින්න පුළුවන්. උදේ , සවස ඔබ සිතන්න ‘කම්මස්ස ඛො කොම්හි’ මම කර්මය ස්වකීය කර ගත් කෙනෙක්මි. ‘කම්ම දායාදො’ මම කර්මය දෑවැද්ද කරගත් කෙනෙක් මි. ‘කම්ම පටිසරණො’ මම කර්මය පිළිසරණ කරගත් කෙනෙක් මි. ‘කම්ම බන්ධු’ මට ඉන්න එකම ඥාතියා , මගේ එකම නෑයා මා රැස්කරගත් කර්මය යි. මා යම් හොඳක් හෝ නරකක් කළොත්, එහි විපාක මට සසරේ ගෙනියන්න වෙන බව සිතන්න. ඔබ කර්මය ගැන එලෙස සිහි කරනවා නම්, ඔබට අකුසලයෙන් වළකින්න පුළුවන්. ඔබේ සිතට තරහක්, ද්වේෂයක්, වෛරයක්, පාපී අකුසල සිතිවිලි ඇති වුණොත්, ඒ සැනින් මතක් වෙනවා කර්මය ගැන සිතන්නාට මේ දේ කළොත්, මෙහි විපාක මට ම ගෙවන්නට වෙනවා. මට ම මේ අකුසල විපාක සසරේ අරගෙන යන්න වෙනවා. මෙලෙස මතක් වෙනවා එය සිහි කරන පුද්ගලයාට. එවිට අකුසලයෙන් වළකින්න පහසු යි. සිහිය පිහිටුවන්න පුළුවන්. ඒ නිසා සැම විට ම කර්මය ගැන සිහි කරන්න. බුදුරජාණන් වහන්සේ, හැම බුදුකෙනෙක්ම පහළව පෙන්වා දුන්නේ, ‘සබ්බ පාපස්ස අකරණං’ සියලු පාපී අකුසලයෙන් වළකින්න. ‘කුසලස්ස උපසම්පදා’ පුළුවන් තරම් කුසල් වඩන්න. ‘සචිත්ත පරියො දපනං’ තමන්ගේ සිත දමනය කර ගන්න. ‘ඒතං බුද්ධාන සාසනං’ එය බුදුවරු පහළ ව පෙන්වා දුන් බුද්ධානු ශාසනාව යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

අරක සූත්‍ර දේශනාව



අරක සූත්‍ර දේශනාව: 

ජීවන ගංගාව මරණය සොයා ගලා බසී
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි

වැසි ඇදහැලෙන විට දිය එකතුවෙන ස්ථානයක, පොකුණක, ගංගාවක දිය බුබුළු හට ගන්නවා ඔබ දැක තිබෙනවා ද? එහි දිය බුබුළු හට ගෙන වහා නැතිව යනවා. ස්ථිරව පවතින්නේ නැහැ. ඒ වගේ මනුෂ්‍ය ජීවිතයත් ඉතා ම කෙටියි. ඉතාම අල්පයි. බොහෝ ම දුකින් පිරී දුක් දොම්නස්වලින් කායික මානසික දුක් දොම්නස්වලින් පිරී පවතිනවා. මේ බව සම්‍යග් ප්‍රඥාවෙන් ම දැන ගන්න. එසේ දැනගෙන කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. ඉපදුණ කෙනෙකුට නොමැරී සිටීමක් නම් නැත්තේ ය.

අරක ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් මෙසේ දේශනා කරනවා. ‘දියෙහි දඬුවකින් ඉරක් ඇන්දොත් එය ඉක්මනින් ම නැති වී යනවා. ස්ථිරව පවතින්නේ නැහැ. බ්‍රාහ්මණයෙනි, දියෙහි ඇඳි ඉර සේ මනුෂ්‍යයන්ගේ ජීවිතයත් ඉතා ම කෙටියි. අල්පයි. බොහෝම දුකින් පිරී කායික, මානසික, දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරී පවතිනවා. මේ බව සම්‍යග් ප්‍රඥාවෙන් දැක ගන්න. එසේ දැක කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. නැවත නැවතත් සිහිපත් කරන්නේ ඉපදුණ කෙනෙකුට මරණයෙන් නම් ගැලවීමක් නැති බවයි.

‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. ‘පර්වතයක මුදුනෙන් හටගෙන දීර්ඝ ගමනක් යන, වැගිරෙන ජල පහරට හසුවෙන සෑම දෙයක් ම අරගෙන, ගසාගෙන දිගින් දිගට ම රැගෙන යනවා. නැවතීමක් නැහැ. මේ ජීවිතයත් උපතේ පටන් හැම ක්ෂණයක්, මොහොතක් මොහොතක් පාසා ම නතරවීමක් නැතිව ගමන් කරනවා. කොතැනට ද? මරණයට ජීවන ගංගාව මරණය සොයාගෙන ගමන් කරනවා. අශ්‍රැතවත් පෘතග්ජන මනුස්සයෝ මරණය සොයාගෙන යන ගමනේ ඇසට රූප, කනට ශබ්ද වශයෙන් ඉන්ද්‍රිය හයෙන් රූපාදී ආරම්මණ අල්ලාගෙන ඒවා සමඟින් ම මරණය සොයාගෙන ගමන් කරනවා. සම්‍යග් ප්‍රඥාවෙන් නොදුටුවේ නම්, සම්‍යග් ප්‍රඥාවෙන් අවබෝධ කර නොගත්තේ නම්, ‘මම මගේ’ කියමින් අත්පුඩි තලමින් ද, තවත් විටෙක සිතින් අල්ලගත් දේ වෙනස් වන විට හඬමින් ද ළයේ අත් ගසා ගනිමින් ද, ශෝක බරිතව ම ගලන ගඟක් සේ මරණය සොයාගෙන යන බව පෙනෙනවා.

මේ ජීවිතයත්, පර්වතයෙන් ආරම්භ වී සයුර සොයාගෙන ගලන ගඟක් වගේ ජීවිතය ගැන ගැඹුරින් දකින්න. ජීවිතය කෙටියි. අල්පයි. දුකින් පිරිලා. දුක්ඛ දෝමනස්සවලින් සමන්නාගතයි. සම්‍යග් ප්‍රඥාවෙන් දැකගෙන කුසල් කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. ඉපදුණා නම් මරණයට මුහුණ දිය යුතුම යි.

අරක ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. බ්‍රාහ්මණයෙනි, යම් සේ බලවත් පුරුෂයෙක් දිව අග රැස් කළ කෙළ පිඬක් නැවත පහසුවෙන් ම එළියට දමන්නා සේ මනුෂ්‍යයන්ගේ ජීවිතත් ඉතාම කෙටියි. අත්හැරෙනවා. පිළිකුලක් සේ යම් විටක ඒ ජීවිතය සිතින් අත්හරින්න වෙනවා. මම මගේ කියන, සරසා හැඩ බැලූ, මේ සිරුර විටක තමාට ම පාලනයක් නැතිව තමාට ම පීඩාවක් වී සිතින් අත්හැරිය යුතුයි කියන, අවබෝධ කරගත යුතු අවස්ථාවකට එනවා. එසේ නොවුණොත් තමාට ම මෙලොව පරලොව වශයෙන් මහත් විපතකට මුහුණපාන්න සිදු වේවි. ඒ ගැන දන්නා විට මනුෂ්‍යයන්ගේ ජීවිතය කෙටි බව, අල්ප බව, දුකින් පිරී ඇති බව නුවණින් තේරුම්ගෙන බලවත් උපායාස, පරිලාහයන්ගෙන් එනම් සිත් තැවුලෙන් හා දැවෙන පිළිස්සෙන ගතියෙන් ම යුතු බව දැන සම්‍යග් ප්‍රඥාවට පත්විය යුතුයි. කුසල් සිදු කළ යුතුයි. බ්‍රහ්මචරියාවට එකතුවිය යුතුයි. එයට හේතුව නම් ඉපදුණොත් මරණයට මුහුණ පෑ යුතුම නිසා ය.

නැවතත් අරක ශාස්තෘවරයාණන් වහන්සේ මෙසේ දේශනා කරනවා. දවස පුරා ම තැවුණු, රත් වූ යකඩ කබලක මස් පිඬක් තැබුවොත් එය ඉක්මනින් ම පිළිස්සී යනවා. ඒක පෙර ආකාරයෙන් පවතින්නේ නැහැ. මනුෂ්‍යයන්ගේ ජීවිතයත් මාංශ පේශියක් කොට උපමා කොට දක්වනවා. මේ මාංශ පේශිය ලෙඩ දුක් දිරාගෙන යෑම ඔස්සේ විනාශ වී නැති වී යනවා. මනුෂ්‍ය ජීවිතය ඉතා ම කෙටියි. අල්පයි. දුකින් පිරිලා. දුක්ඛ දෝමනස්සයන්ගෙන් සමන්නාගත යි. මේ බව නුවණින් දැක කුසල් සිදු කරන්න. බ්‍රහ්මචරියාවේ හැසිරෙන්න. උපන්නා හට අමරණීය බවක් නම් නැත.

අරක ශාස්තෘවරයාණන් වහන්සේ නැවතත් දේශනා කරනවා. බ්‍රාහ්මණයෙනි, යම් සේ වදයට එනම් මරණයට නියම වූ ගව දෙනක් මරණ ස්ථානය කරා රැගෙන යන විට ඉදිරියට තබන සෑම පාදයක් ම මරණ ස්ථානයට ම එනම් වධක ස්ථානයට සමීප වෙනවා. අපත් ඒ වගෙයි. මරණයට නියම වූ ගව දෙනක් වගේ ම ඉදිරියට තබන සෑම පියවරක් ම, ගතවෙන සෑම මොහොතක් ම, රාත්‍රියක් ම, හිරු උදාවක් ම සුමානයක්, මාසයක් ආදී වශයෙන් සිතුවොත් මේ හැම මොහොතක් ම මරණය කරා ළංවෙන ගමනක්. සම්මුතිය තුළ සියයක් යැයි සිතනවා නම්, ඒ කියන සියයට හැම මොහොතකම ආශ්වාසයේ, ප්‍රශ්වාසයේ පටන් ළංවෙන බව සමීපවෙන බව සම්‍යග් ප්‍රඥාවෙන් ම අවබෝධ කර ගත යුතුයි. මේ නිසා මනුෂ්‍ය ජීවිතය ඉතා කෙටි බවත්, අල්ප බවත්, බොහෝ දුකින් පිරී ඇති බවත් නිතර මෙනෙහි කරන්න. බලවත් සිත් තැවුල්වලින් පිරී ඇති බවත්, දැවෙන පිළිස්සෙන ගතියට මුහුණ පෑ යුතු බවත් මෙනෙහි කොට කුසලයට එකතුවෙන්න. බ්‍රහ්මචරියා මාර්ගය අනුගමනය කරන්න. ඉපදුණ කෙනාට නොමැරී සිටීමක් නම් නැත. මේ ලෙස බොහෝ උපමාවන්ගෙන් ‘අරක’ ශාස්තෘවරයාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට දහම් දේශනා කරනවා.

ඒ දහම් දේශනා කරන කාලයතුළ මනුෂ්‍යයන්ගේ ආයුෂ පිළිබඳව අප භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. මහණෙනි, ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේ පහළ වී එසේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය දේශනා කළ කාලයෙහි මනුෂ්‍යයන්ගේ ආයුෂ අවුරුදු හැට දහසක් පමණ වෙනවා. අවුරුදු පන්සියයක් පමණ වියපත් වූ කුමරියකි පතිකුලයට යෑමට සුදුසු වයස ලෙස ඒ කාලය තුළ සිහිපත් කළේ. අවුරුදු හැට දහසක් පරම ආයුෂ නම් අවුරුදු පන්සීයේ දී පතිකුලයට යන කුමරියක් පරමායුෂ හැටියට සිතුවොත් පනස්නමදහස් පන්සියයක කාලයක් සාමාන්‍යයෙන් විවාහ ජීවිතයක් දරුවන් ලබා ගත කළ හැකි බවට අපට අනුමාන කළ හැකි යි. අන්න එවැනි ආයු කාලයක් තිබෙන කාලයේ දී ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය නුවණින් දේශනා කර කුසල් මඟට ළංවෙන්නත්, බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්නට යැයි අනුශාසනා කළේත්, මරණය ගැන නිතර මෙනෙහි කරන්නට යැයි, සිහිපත් කළේත්, එවැනි ආයු හැට දහසක් තිබුණ කාලයකයි.

ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යයන්ට ආබාධ හයක් පමණයි තිබුණේ. මොනවාද ඒ, සීතල, උෂ්ණ, බඩගින්න, පිපාසය, දැනුණා. ඒ වගේ ම ගත් ආහාර බැහැර කිරීම ආහාර වශයෙන් හෝ දියර වශයෙන් බැහැර කිරීමට අවස්ථාව සැලසුණා. ඒ අයට ලෙඩක් ආබාධායක් හැටියට පැවති මේවා වර්තමානයේ ලෙඩ හැටියට නොව සාමාන්‍ය කායික ඇවතුම් පැවතුම් හැටියටයි සිහිපත් කරන්නේ. මේ අදහස් කරන්නේ කුමක් ද? මේ අයට උණ හෙම්බිරිස්සාවක් තරම් වූ ස්වල්ප ආබාධයක්වත් නොතිබූ බව නොවේ ද? එවැනි නීරෝගී වූ කාලයක, හැට දහසක් ආයු පැවතුණ කාලයක අරක ශාස්තෘවරයාණන් වහන්සේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවය අල්ප බව දුකෙන් පිරී ඇති බව දේශනා කොට සම්‍යග් ප්‍රඥාවෙන් දකින්න ආරාධනා කළා නම් අවුරුදු සියයකටත් වඩා අඩු කාලයක් ජීවිතය පවත්වන වචනවලින් සඳහන් කළ නොහැකි තරම් අප්‍රමාණ ලෙඩ දුක්වලින් පිරුණු මෙවැනි කාලයක ජීවිතයේ ඇති අල්ප බව අනිත්‍ය බව, දුකෙන් පිරුණු බව කොතරම් මෙනෙහි කළ යුතු නොවේ දැයි ඔබ ම නුවණින් සිහිපත් කරන්න.

එසේ දීර්ඝායුෂ ව, නීරෝගී ව මනුෂ්‍යයන් ජීවත් වූ කාලයක ඒ අරක ශාස්තෘවරයාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පෙර පරිදිම ධර්මය දේශනා කරනවා. බ්‍රාහ්මණයෙනි, මනුෂ්‍යයන්ගේ ජීවිත ඉතා ම අල්පයි. ස්වල්පයි. ඉතා ම ලුහුයි. බොහෝ ම දුකින් පිරිලා පවතිනවා. බොහෝ උපායාස පවතිනවා. එනම් බලවත් සිත්තැවුල්වලින් පිරී පවතිනවා. දැවෙන පිච්චෙන ගතියට නිරන්තරයෙන් ම මුහුණ පානවා. මේ බව සම්‍යග් ප්‍රඥාවෙන් දැක ගන්න. එනම් පඨවි ආදී හේතුප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියල්ල ම අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛණයට යටත් බව නුවණින් පරීක්ෂා කොට දැක ගන්න. එසේ දැක කුසල් මඟ අනුගමනය කරන්න.

ලෝභ, දෝෂ, මෝහ බැහැර කොට අලෝභ, අදෝස, අමෝහ මඟ ඔස්සේ අත්හැරීම නම් වූ පටිනිස්සග්ගයට, විරාගයට නිරෝධයට, උපසමාය නම් වූ කෙලෙස් සංසිඳීමට සිත යොමු කරන්න. ‘අභිජ්ඥාය’ - සියල්ල අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන දහමට යටත් කොට දකින්න. ‘සම්බෝධාය’ – දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට සිත යොමු කරන්න. ‘නිබ්බාණාය’ – නිවන් මඟ පිණිස සිත මෙහෙයවන්න. එයට හේතුව නම් ඔබ ලද මේ මනුෂ්‍ය ජීවිතයේ කුමන වස්තුවක් පණ ඇතිව හෝ පණ නැතිව පැවතුණත් ඒවා ‘මම මගේ’ යැයි සම්මතය අයිති කරගත්තත් මරණය හා සමගින් සියල්ල අවසන් වෙනවා. ‘මම මගේ’ යන ශාරීරික සම්බන්ධය එතැනින් අවසන් වෙනවා. ඒ ඉපදුණු සියලු දෙනාට ම මරණය උරුම නිස යි.

- දීපා පෙරේරා

කායික මානසික සුවයට ඔසුවක්

 




කායික මානසික සුවයට ඔසුවක්

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


මිනිස් සිරුරේ ධාතූන් වෙනස් වූ විට එනම්, තේජෝ ධාතුව වැඩි වූ විට උණ හට ගනියි. ආපෝ ධාතුව වැඩි නම්, සැරව ගලනවා. සෙම්ප්‍රතිශ්‍යාව, තුවාලයක් හැදුණොත් වේලෙන්නේ නැහැ. පඨවි ධාතුව වැඩි වුණොත් ශරීරය ගණ වෙනවා. වායෝ ධාතුව වැඩි වුණොත් සිරුර ඉදිමෙනවා. මේ සතර එහෙ මෙහෙ වූ විට කවුරුත් රෝගී වෙනවා. බුදුන් වහන්සේ වදාළේ, මේ ධාතු සම මට්ටමකට තබා ගත යුතු බව යි. යමෙක් ඖෂධ භාවිත කරන්නේ ධාතූන් සම මට්ටමට ගැනීමට යි.


පෙර ලිපි මඟින් කායගතාසතිය සමඟ ධාතු මනසිකාරය පහදා දුන්නා. එය කොටස් විසි දෙකකින් මෙනෙහි කළා. (මේ කයෙහි කේශයෝ වර්ණයෙන් පිළිකුල් ය... යනුවෙන්) එසේනම්, කායගතාසතියේ කොටස් තිස්දෙකම ධාතු මනසිකාරයට යොදා ගත යුතු යි. පඨවි ධාතුවට කේශාදී කොටස් විස්සක් තිබෙයි. ආපෝ ධාතුවට පිත, සෙම, සැරව ආදී කොටස් දොළහකි. තේජෝ ධාතුවට කොටස් සතරක් ද, වායෝ ධාතුවට කොටස් හයක් ද වෙයි. එවිට සියල්ල හතළිස් දෙක යි. මේ හතළිස් දෙක ම ධාතු මනසිකාරයට ගත යුතුයි.


මේ කොටස් හතළිස් දෙක ඉහත මතකයට නගා, කොටස් විසි දෙකට අන්තර්ගත කර, හොඳින් මෙනෙහි කරන්න. එවිට ධාතු මනසිකාරය හොඳට දියුණු කරන්න පුළුවනි. ගැඹුරට යන්න අපහසු නම් මේ කයෙහි කේශයෝ පඨවි ධාතුව ය. ආපෝ ධාතුවය, තේජෝ ධාතුව ය, වායෝ ධාතුව ය යනුවෙන් මෙනෙහි කරන්න. කේශා කොටසෙහි පඨවි, ආපෝ, තේජො, වායෝ ධාතු කොටස් සතරම වෙයි. කෙස් තද ගතිය නිසා පඨවි ධාතුව පමණක් බව සිතන්න. මේ ධාතු සතරම නැත්නම් කෙස් ගසක් පවතින්නේ නැහැ.


තවත් උදාහරණයක් සඳහන් කළොත්, මැටි ටිකක් ඇණීමේ දී ජලය වැඩි වුණොත් එය භාවිතයට ගන්න අපහසු යි. සිමෙන්ති ටිකට ජලය වැඩි වුණොත් එය සම මට්ටමට ගැනීමට නැවත වැලි යෙදිය යුතු යි. එලෙසම ශරීරයෙත් ධාතු කොටස් සම මට්ටමට ගත යුතු යි. වැලි කැටය එලෙස පවතින්නේ ධාතු සතරම සම නිස යි. ගඩොල් කැටය පිළිස්සී වේලී ගඩොල් කැටයක් ලෙස පවතින්නේ ධාතු සතර සමව පවතින නිස යි.


තේජෝ ධාතුව ගැන සඳහන් කිරීමේ දී එය උෂ්ණ ස්වභාවයෙන් සමන්විත යි. එනම් උණුසුම් ගතිය යි. කන බොන දේ කරණ කොට ගෙන දිරවීම, පැසවීම, ආදී අවස්ථාවල දී උපයෝගී වන සිරුරේ උෂ්ණ ගතිය තේජෝ ධාතුව යි. තේජෝ ධාතුව යමක් කරණ කොටගෙන තැවෙනවා ද? එය ‘සන්තප්පති’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොටගෙන දිරවනවා ද? එය ‘ජිරීයතී’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොට ගෙන දැවෙනවාද? එය ‘පරිදයිහිති’ තේජෝ ධාතුව යි. යමක් කරණ කොටගෙන කන බොන දේ සියල්ලක් ම පැසවනවා ද? එය ‘තේජෝ’ ධාතුව යි. ‘අසිත පීත කායිත්ථ සාහිත සම්මා පරිණාමං ගච්ඡති’ තේජෝ ධාතුවේ ක්‍රමය යි. එනම් තේජෝ ධාතු කර්මස්ථානය හේතුකොටගෙන තමන්ගේ සිරුරේ තිබෙන උෂ්ණයෙන් දැවෙන තැවෙන බව දිරවන බව මෙහි ලක්ෂණ යි. ඒවා හොඳට වටහා ගෙන ඉදිරියට මෙනෙහි කරන්න. එවිට තේජෝ ධාතුව පිළිබඳ තමන්ට මනාකොට වැටහීමක් වෙයි.


තම සිරුරේ උණ, දහදිය හට ගැනීම තේජෝ ධාතුවේ ලක්ෂණය යි. සෑම කොටසක ම තේජෝ ධාතුව අඩංගු වෙයි. එවිට ඒ කරුණු සර්ව සම්පූර්ණව ම ගෙන යා හැකි යි. ශරීරයේ දැවෙන ගතිය ඇති උෂ්ණය, තේජෝ ධාතුව යනුවෙන් ප්‍රකාශ කරයි. එය සිරුරෙහි වෙනම කොටසක් ලෙස සලකයි. නමුත් චේතනාවක් නැහැ. එය අචේතනික වූ, හිස්වූ දෙයක්. ඒ නිසා තැවෙන බව, දිරවන බව, දැවෙන බව, පැසෙන බව එනම්, තැවෙන තේජෝ ධාතුව, දිරවන තේජෝ ධාතුව, දැවෙන තේජෝ ධාතුව, පැසෙන තේජෝ ධාතුව වෙයි. මේ කොටස් සතර තේජෝ ධාතුව යනුවෙන් ව්‍යවහාර කරයි. මෙය තමන්ගේ සිරුරෙහි තිබෙන බව හොඳට වටහා ගෙන මෙනෙහි කරන්න.


ආහාර අනුභව කළ විට සියල්ල දිරවාගෙන යයි. ඒ කර්තව්‍යයට සිරුරේ උෂ්ණත්වය අවශ්‍ය වෙයි. තම සිරුරේ දිරවීමේ ලක්ෂණය හොඳින් පිහිටා තිබෙයි. තේජෝ ගතිය අධික නම්, උණ ගතිය හොඳටම වැඩි වෙයි. එවිට සිරුර සිසිල් කරවා ඖෂධ ලබා ගත යුතු යි. මෙලෙස සිරුර සම මට්ටමට ගෙන යා යුතු යි.


මෙසේ පැහැදිලි කරන්නේ තමන්ගේ සිරුරේ ඇති දෙයක් ම බව සිතන්න. චතු සමුට්ඨානික වන කර්ම, චිත්ත, ඍතු , ආහාර, යනු ධාතූන් හටගන්නා ක්‍රමය යි. එසේනම්, තේජෝ ධාතුව පිළිබඳව ගැඹුරු නුවණකින් මෙනෙහි කරන්න.


වැලි කැටයේ සිට සෑම දෙයක ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු කොටස් සතරට අන්තර්ගත යි. එය එකිනෙකට සම්බන්ධ වෙයි. එය උස් පහත් වුණොත් සත්ත්වයාගේ ලෙඩ වීම ඇති වෙයි. සම මට්ටමේ තිබුණොත් කිසිවක් වන්නේ නැහැ. මේ ගැන හොඳ දැනීමක් ඇති කර ගන්න. සියලු ම දේ හට ගන්නේ කම්ම සමුට්ඨානං, චිත්ත සමුට්ඨානං, ඍතු සමුට්ඨානං, ආහාර සමුට්ඨානං කොටස් වලිනි. මෙලෙස ධාතූන් ගැනම මෙනෙහි කිරීම ලොකු ශක්තියක්.


තැවෙන බව අනිත්‍යය යි, දුක්ඛයි , අනාත්ම යි, යනුවෙන් මෙනෙහි කරන්න. දිරන බව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. දැවෙන බව අනිත්‍යය යි, දුක්ඛ යි, අනාත්ම යි යනුවෙන් මෙනෙහි කරන්න. පැසෙන බව අනිත්‍ය , දුක්ඛ, අනාත්ම බව මෙනෙහි කරන්න. තේජෝ ධාතුවේ ලක්ෂණය උෂ්ණය සහ සිසිලස බව හොඳට වටහා ගෙන, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කර ගැනීම කායික මානසික සුවතාවයට හොඳම ඔසුවක්.


තමන්ට වැටහෙන යම් පමණකින් ද සතිපට්ඨාන භාවනාවට අනුකූල ව හොඳින් දියුණු කළ යුතු යි. මෙලෙස සිතම දියුණු කළොත් මිනිසා හැදෙනවා. ‘මිනිසා නොහදා ගම හදා ගත නොහැකි යි’ යනුවෙන් කියමනක් ද තිබෙයි. එසේනම්, තමන් මුලින් ම හැදී ගම සාදා රටත් හදන්න. ඒ සඳහා බුදුන් වහන්සේ පෙන්වා වදාළ භාවනා ක්‍රම මෙනෙහි කරන්න.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල

මල්ලිකාසුත්තං


 මල්ලිකාසුත්තං  

119

සාවත්ථිනිදානං . තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච - ‘‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’’ති? ‘‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති? ‘‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.

අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං - ‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’ති? එවං වුත්තෙ, භන්තෙ, මල්ලිකා දෙවී මං එතදවොච - ‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’ති? එවං වුත්තාහං, භන්තෙ, මල්ලිකං දෙවිං එතදවොචං - ‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.

අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි -

‘‘සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා,

නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි;

එවං පියො පුථු අත්තා පරෙසං,

තස්මා න හිංසෙ පරමත්තකාමො’’ති.

මල්ලිකා සූත්‍රය  

119

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි මතුමහලට නැග සිටියේ වෙයි. එවිට කොසොල් රජ, “මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියකරන අන් කිසිවෙක් ලොව ඇත්තේදැ?”යි මල්ලිකා දේවියගෙන් ඇසීය.

“මහරජ, මටනම් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම නැත. ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් සිටීදැ” යි ඇසීය.

“මල්ලිකාවෙනි, මටත් තමන්ට වඩා ප්‍රියවූ අනිකෙක් නැතැ” යි රජතෙම කීයේය.

ඉන්පසු කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එකත්පස්ව හිඳ මෙය කීයේය.

“ස්වාමීනි, මම මල්ලිකා දේවිය සමග පහයේ මතු මහලේ සිටියෙමි. ‘මල්ලිකාවෙනි, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවක් ඇත්තේදැ’ යි ඇසීමි. මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවී තොමෝ, ‘මහරජ, මට තමන්ට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ඇත්තේදැ’ යි ඇසුවාය. ස්වාමීනි, මෙසේ අසනු ලැබූ මම, ‘මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් මටත් නැත්තේය’ යි මල්ලිකා දේවියට කීයෙමි” යි කීයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එවේලෙහි මේ ගාථාව වදාළේය.

“ලොව හැම දිසාවන්ම සෝදිසිකර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය. අනුන්ටද වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි. එහෙයින් තමන්ට හිත කැමති තැනැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”


පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...