Saturday, June 5, 2021

මල්ලිකාසුත්තං


 මල්ලිකාසුත්තං  

119

සාවත්ථිනිදානං . තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො හොති. අථ ඛො රාජා පසෙනදි කොසලො මල්ලිකං දෙවිං එතදවොච - ‘‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’’ති? ‘‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති? ‘‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.

අථ ඛො රාජා පසෙනදි කොසලො පාසාදා ඔරොහිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධාහං, භන්තෙ, මල්ලිකාය දෙවියා සද්ධිං උපරිපාසාදවරගතො මල්ලිකං දෙවිං එතදවොචං - ‘අත්ථි නු ඛො තෙ, මල්ලිකෙ, කොචඤ්ඤො අත්තනා පියතරො’ති? එවං වුත්තෙ, භන්තෙ, මල්ලිකා දෙවී මං එතදවොච - ‘නත්ථි ඛො මෙ, මහාරාජ, කොචඤ්ඤො අත්තනා පියතරො. තුය්හං පන, මහාරාජ, අත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’ති? එවං වුත්තාහං, භන්තෙ, මල්ලිකං දෙවිං එතදවොචං - ‘මය්හම්පි ඛො, මල්ලිකෙ, නත්ථඤ්ඤො කොචි අත්තනා පියතරො’’ති.

අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි -

‘‘සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා,

නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි;

එවං පියො පුථු අත්තා පරෙසං,

තස්මා න හිංසෙ පරමත්තකාමො’’ති.

මල්ලිකා සූත්‍රය  

119

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල්හි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ප්‍රාසාදයෙහි මතුමහලට නැග සිටියේ වෙයි. එවිට කොසොල් රජ, “මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියකරන අන් කිසිවෙක් ලොව ඇත්තේදැ?”යි මල්ලිකා දේවියගෙන් ඇසීය.

“මහරජ, මටනම් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම නැත. ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් සිටීදැ” යි ඇසීය.

“මල්ලිකාවෙනි, මටත් තමන්ට වඩා ප්‍රියවූ අනිකෙක් නැතැ” යි රජතෙම කීයේය.

ඉන්පසු කොසොල් රජ පහයෙන් බැස, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක උන්නේය. එකත්පස්ව හිඳ මෙය කීයේය.

“ස්වාමීනි, මම මල්ලිකා දේවිය සමග පහයේ මතු මහලේ සිටියෙමි. ‘මල්ලිකාවෙනි, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවක් ඇත්තේදැ’ යි ඇසීමි. මෙසේ අසනු ලැබූ මල්ලිකා දේවී තොමෝ, ‘මහරජ, මට තමන්ට වඩා ප්‍රිය අන් කිසිවෙක් නැත, ඔබට තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ඇත්තේදැ’ යි ඇසුවාය. ස්වාමීනි, මෙසේ අසනු ලැබූ මම, ‘මල්ලිකාවෙනි, තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් මටත් නැත්තේය’ යි මල්ලිකා දේවියට කීයෙමි” යි කීයේය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන, එවේලෙහි මේ ගාථාව වදාළේය.

“ලොව හැම දිසාවන්ම සෝදිසිකර බැලුවේ වී නමුත් තමන්ට වඩා ප්‍රියවූ අන් කිසිවෙක් ලොවම හමු නොවන්නේය. අනුන්ටද වෙන් වශයෙන් මෙසේ තමාම ප්‍රිය වෙයි. එහෙයින් තමන්ට හිත කැමති තැනැත්තේ අනුන්ට හිංසා නොකරන්නේය.”


No comments:

Post a Comment