Tuesday, June 1, 2021

ආයුවඩ්ඪන කුමාරයා දිගාසිරි ලැබූ සැටි

 



ආයුවඩ්ඪන කුමාරයා දිගාසිරි ලැබූ සැටි

පොල්ගහවෙල

මහමෙව්නා භාවනා අසපුවේ

නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි


"බ්‍රාහ්මණවරුනි, මම හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැක තිබේ. දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්නට පරම්පරාව රැකෙන්නට දරුවෙකු බමුණු සමාජයට දායාද කිරීමේ ආශාවක් ඇත. එනිසා කවුරුන් හෝ මට ගවයන් සියයක්, මසුරන් සියයක්, මානාවිකාවක් දේ නම් මම මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුහස් ඔහුට අනුමෝදන් කරමි”.


අපට මේ ජීවිතයේ ලැබී තිබෙන සෑම යහපත් දෙයකට ම මුල් වී තිබෙන්නේ පිනයි. පින රැස් කරන පුද්ගලයා අනතුරුවලින් අතමිදේ. කරදරවලින් බේරෙන අතර යහපත උදා කර ගනු ඇත. පින නිසා මේ ජීවිතය සැලසෙන යහපත නම් පුදුමාකාර ය.


බුදුරදුන් දවස, දඹදිව දීඝලංඝික කියා එක්තරා නගරයක් විය. එහි වාසය කළ බ්‍රාහ්මණවරු දෙදෙනෙක් තාපස පැවිද්දෙන් පැවිදි වුණි. හතළිස් අට අවුරද්දක් තපස් රැක්කේ ය. ඔවුන් අතරින් එක් අයෙකු මෙසේ සිතුවේ ය. මේ බ්‍රාහ්මණ වංශය ලෝකයේ උතුම් වංශයක්. ශ්‍රේෂ්ඨ පරපුරක්. මම මේ ආකාරයෙන් තපස් රැකගෙන සිටියොත් මේ වංශය රැකෙන්නට මගෙන් උදව්වක් නො ලැබේ. ඒ නිසා මම දරුවෙකු මේ පරම්පරාවට ලබාදිය යුතු යැයි සිතා ඔහු බ්‍රාහ්මණ සමාජය මැදට ගොස් මෙසේ කියා සිටියේ ය.


”එම්බා බ්‍රාහ්මණවරුනි, මම හතළිස් අට අවුරුද්දක් උග්‍ර වූ තපස් රැක තිබේ. දැන් මට මේ බ්‍රාහ්මණ පරම්පරාව පවතින්නට පරම්පරාව රැකෙන්නට දරුවෙකු බමුණු සමාජයට දායාද කිරීමේ ආශාවක් ඇත. එනිසා කවුරුන් හෝ මට ගවයන් සියයක්, මසුරන් සියයක්, මානාවිකාවක් දේ නම් මම මෙතෙක් කලක් පුරාවට කළ තපසේ අනුහස් ඔහුට අනුමෝදන් කරමි”.


එයට බමුණු පිරිස් කැමැති වුණි. ඔහු සිතූ දේ ඔහුට ලැබුණි. ටික දිනකින් මේ පවුලට දරු සිඟිත්තෙක් එකතු විය. මේ බමුණා සමඟ තපස් කළ අනෙක් බමුණා දිනක් මොහු වාසය කරන ප්‍රදේශයට පැමිණි අතර එය විවාහ වූ බමුණාට ආරංචි විය.


”සොඳුරිය, මගේ යහළු බ්‍රාහ්මණතුමා අපගේ ගමට පැමිණ ඇත. අපි දරු සිඟිත්තාත් රැගෙන එතුමා බලන්න යමු” කතිකා කොට බමුණු දෙපළ තම පුතුත් රැගෙන තාපසතුමා බැහැ දකින්නට ගියහ. එසේ ගොස් දරුවා බැමිණිය අතට දී බමුණා වන්දනා කළේ ය. පසුව බැමිිණිය බමුණා අතට දරුවා දී වැන්දා ය. දෙදෙනා ම බොහෝ කලක් ජීවත් වේවා! කියා තාපසතුමා සෙත් පැතුවේ ය.


ඉන්පසු දෙදෙනා ම පොඩි දරුවාලවා තාපසතුමා වන්දනා කරවී ය. එහෙත් තාපසතුමා දරුවාට සෙත් නො පතා නිශ්ශබ්දව සිටියේ ය. ඒ ගැන බුමාණා විමසී ය.


”තාපසතුමනි, අප දෙදෙනා ම ඔබතුමාට වන්දනා කළ විට බොහෝ කල් ජීවත් වේවා කියා සෙත් පැතුවේ ය. නමුත් මේ දරු සිඟිත්තා ලවා ඔබතුමා වන්දනා කරනවිට ඔබතුමා මේ දරුවාට සෙත් නො පැතුවේ මන්ද?


ඔව් මිත්‍රය, මේ දරුවා සම්බන්ධයෙන් කිසියම් ප්‍රශ්නයක් තිබේ. මේ දරුවාගේ ආයුෂ අඩු ලෙසයි මට වැටහෙන්නේ?


”අනේ ස්වාමිනි, මේ දරුවාගේ ආයුෂ අඩු ද? ඔහු වසර කීයද අපත් සමඟ ජීවත් වෙන්නේ?”


”මිත්‍රය අවුරුදු ගණනක් කියන්න අපහසු යි. මට තේරෙන විට නම් දින හතකට වඩා මේ දරුවාට ආයුෂ නැත.”


”සිඟිත්තාගේ මවුපියන් හඬා වැටුණි. අනේ තාපසතුමනි, එසේ වන්නට හේතුව කුමක් ද? අපේ මේ දරුවා බේරා ගන්නට පිළිවෙතක් ඇත්තේ ම නැද්ද?”


”මිත්‍රයා, මෙයට හේතුව මට සොයන්න අපහසු යි. මෙයින් බේරෙන්න පිළිවෙලක් ගැන මට කීමටද නො තේරේ. නමුත් මම අසා තිබෙනවා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට වන්දනා කරගෙන බණ ඇසූ සක් දෙවිඳු මිනිස් ලොව බොහෝ ආයු ලබාගෙන යළි සක්දෙව් තනතුªරට ම පත්වූ බව. එනිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ නම් මේ කාරණය විසඳා දෙනු ඇත. ඒ නිසා මිත්‍රය, මේ අවස්ථාවේ බමුණු මාන්නය අතහැර මේ දරුවාත් රැගෙන උන්වහන්සේ වෙත යනු”


ඔහුගේ වචනය පිළිගත් මේ දෙදෙනා දරුවාත් රැගෙන බුදුරජාණන් වහන්සේ වෙත ගොස් භාග්‍යවතුන් වහන්සේට කිසිවක් නො පවසා මුලින් බමුණා වන්දනා කළේ ය. ඉන්පසු බමුණා දරුවා අතට ගෙන බැමිණිය වන්දනා කළා ය. දෙදෙනාට ම බුදුරජාණන් වහන්සේ බොහෝ කල් ජීවත් වේවා! යි සෙත් පැතූහ. අවසානයේ දෙදෙනාට දරු සිඟිත්තාලවා බුදුරජාණන් වහන්සේට වන්දනා කරවීය. ඒ වේලෙහි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වුණි.


බමුණු ජෝඩුව මහා කනගාටුවෙන් මූණට මූණ බලා ගත්හ. “අනේ ස්වාමිනි, අපට සෙත් පැතූ අයුරින් අපේ මේ සිඟිති දරුවාට සෙත් පතන සේක්වා”.


”පින්වත, මේ දරුවාට ආයුෂ ඇත්තේ තව සත් දිනයි. සසරේ වෛර බැඳගත් අවරුද්ධක නම් ඇති යක්ෂයෙක් තව දිනක් ඇතුළත මේ දරුවා බිලි ගැනීමට නියමිත ය. දරුවාගේ ජීවිතයට ඇති අනතුර මෙය යි”.


බමුණු දෙපළ විලාප දෙමින් හඬන්නට විය. “අනේ ස්වාමිනි, අප බොහෝ බලාපොරොත්තු තබා ගෙන මේ දරු සිඟිත්තා හදා වඩා ගත්තේ. අනේ ඒ යක්ෂ උපද්‍රවයෙන් අපේ දරුවා බේරා දෙන සේක්වා!”


”එසේනම් පින්වත්ත, ඔබ නිවසේ මණ්ඩපයක් තනවා එහි ආසන පිළිවෙළ කර මාගේ ශ්‍රාවක පුත්‍රයින් ඔබේ නිවසට වඩමවා මා විසින් ලෝකයාට හිතසුව පිණිස දේශනා කළ සූත්‍ර දේශනා සතියක් පුරා සජ්ඣායනා කරවන්න. ඒ තුළින් රැස්වෙන පිනෙන් මේ සිඟිත්තාට ආරක්ෂාව සැලසෙනවා ඒකාන්ත ය.


බ්‍රාහ්මණ දෙපළ තම නිවසේ මණ්ඩපයක් තනවා මහා සංඝරත්නය වඩමවා සත් දිනක් පුරා ඒ නිවසේ උතුම් සූත්‍ර දේශනා පිරිත් වශයෙන් සජ්ඣායනා කරවූහ. දින ගෙවී යද්දී අවසාන දිනයේ දී බුදුරජාණන් වහන්සේ වැඩම කළ සේක. අනන්ත බුද්ධානුභාවය නිසාවෙන් සියලු සක්වළ දෙවියොත් එහි පැමිණියෝ ය.


මේ අතරේ අවරුද්ධක යක්ෂයා තම බිල්ල ගැනීමේ අදහසින් පැමිණෙන විට දොළොස් යොදුනක් දුරදී ම බුද්ධානුභාවය නිසා ඒ නිවසට ළං වීමට නො හැකි විය. මහානුභාව සම්පන්න භාග්‍යවතුන් වහන්සේ දකින විට ඔහුට බිය හට ගත්තේ ය. දින හතක් ඇතුළත දරුවා බිලි ගැනීමට යක්ෂයාට අවසර තිබුණි.


”මම කෙසේද අර නර පැටියාව බිලි ගන්නේ? ලෝකනාථ වූ මහේශාක්‍ය මහානුභාවසම්පන්න වූ ශාස්තෘන් වහන්සේ ළඟයි නර පැටියා සිටින්නේ. බිලි ගන්නවා තබා මට ළං වීමටවත් පිළිවෙළක් නැත. මට ළංවෙන්න බැරි ආකාරයට මොවුන් පින් රැස් කර ඇත. අද පමණයි දරුවා බිලි ගැනීමට ඇති එක ම දවස. ඒ නිසා මේ බිල්ල මම අත හරිනවා. යැයි සිතු යක්ෂයා යන්න ගියේ ය. අටවෙනි දිනයේ උදෑසන බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඒ නිවසේ දන් පැන් පූජා කළේ ය. අනතුරව දරු සිඟිත්තාලවා බුදුරජාණන් වහන්සේ වන්දනා කරවී ය.


පින්වත් දරුව, ඔබට දිගාසිරි ලැබේවා! අවුරුදු එකසිය විස්සක් ඔබ දිගාසිරි විඳිනු ඇත.”


ඉන්පසු මේ දරුවා ආයුවඩ්ඪන කුමාරයා නමින් ප්‍රසිද්ධ විය. ඔවුන් සියලු දෙනා ඉතා ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණ ගියේ ය. ධර්මාවබෝධ කළහ. මේ සිදුවීම ගැන භික්ෂූන් වහන්සේ අතරේ කතාබහක් ඇතිවුණි. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ මධුර ස්වරයෙන් මෙම ගාථා රත්නය වදාළ සේක.


අභිවාදන සීලිස්ස

නිච්චං වද්ධාපචායිනෝ

චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති

ආයු වණ්ණෝ සුඛං බලං


සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන් නුවණින් යුතු වැඩි හිටියන්ට නිතර සලකනවා නම්, ඔහුතුළ ආයුෂ, වර්ණය, සැප, බලය යන ගුණ හතරම වැඩෙන්නේ ය.


එනිසා ලැබුණ මේ මිනිසත් බව කොයි මොහොතේ අත හැරීමට සිදුවේදැයි නොදනිමු. ඇතැම් අය මිල මුදලින් ආඩම්බර වෙති. උගත්කමෙන් ආඩම්බර වෙති. බලයෙන් සමාජ තත්ත්වයෙන් ආඩම්බර වෙති. සිල්වතුන් දුටුවත් නො සලකා හරිති. ගරුසරු නො කරති. එ නිසාම සිල්වත්, ගුණවත් උතුමන්ට වන්දනා කිරීමෙන් රැස්වෙන පින ඔවුන් අහිමි කර ගනිති. ඉන්ද්‍රිය සංවරය, කය, වචනය හික්මවා ගත්, අකුසලයේ නො යෙදුනු, ඊර්ෂ්‍යා නො කරන, කුහක දුෂ්ඨ ගති නො මැතිව උතුම් ගුණ දරාගෙන සිටින සිල්වත් ගුණවත් උතුමෝ වැඩ සිටිති. ඒ උතුම් ගුණයන් සිහිකොට සියලු උතුමන්ට වන්දනා කරනවානම්, ඒ තුළින් රැස්වෙන පින ද මහත්ඵල මහානිශංස වන්නේ ය.


- නයනා නිල්මිණි

Sathi pattana




නුවණ දියුණු වීමට...

අම්බලන්ගොඩ, කහව ගල්දූව

ගුණවර්ධන යෝගාශ්‍රමයේ

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ

මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය

ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද

කහගොල්ලේ සෝමවංශ හිමි


සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ භාවනා කර්මස්ථාන විසි එකක් පෙර ලිපි මඟින් සඳහන් වුණා. කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක් තිබෙන බව සඳහන් කළ හෙයින් ආනාපාන සති භාවනාවත්, ඉරියාපත භාවනාවත්, චතු සම්පජඤ්ඤ භාවනාවත් පිළිබඳ ව හැඳින්වීමක් කළා. මේ භාවනා ක්‍රම පිළිබඳ ව දැන කියා ගැනීම කොයි කාගෙත් ගුණ දියුණුවට අවශ්‍ය කරන කාරණාවක්.


ආනාපාන සති භාවනාව, ඉගෙන ගන්නා දරුවන්ට බොහොම හොඳ ක්‍රමයක්. හොඳට පාඩම් හිටිනවා. නුවණ හොඳට වැඩෙනවා. සිහි කල්පනාව හොඳින් දියුණු වෙනවා. ඒ නිසා කවුරුත් පාන්දර නැඟිට ආශ්වාස ප්‍රශ්වාස දෙකෙහි සිත පිහිටුවා විනාඩි පහක් හෝ දහයක් කාලය ගත කළොත් හරිම වටිනවා. බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරන කාලයේ බහුලව ම භාවනාවට ගත්තේ ආනාපාන සතිය යි. ඒ නිසා බෝසත් දරුවාට කුඩා කාලයේ දී ම සී සාන දවසේ ධ්‍යාන උපදවා ගන්නට වාසනා සම්පත් උදා වුණා. බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට වැඩම කළ මහ බෝසතාණන් වහන්සේ නැඟෙනහිර බලා වාඩිවී ආනාපාන සති භාවනාව පටන් ගත්තා.


ආනාපාන සතිය සමඟ ම ඉරියාපත මනසිකාරය , චතු සම්පජඤ්ඤාය( පෙර ලිපි මඟින් සඳහන් වුණා) බොහොම අගේ ඇති ව දියුණු කළා. හැම ඉරියව්වක් ම සිහි නුවණින් දියුණු කළා. ඒ වගේම හැම ඉරියව්වක් ම සිහි කල්පනාවෙන් කටයුතු කරන්නට යෙදුණා. දන් වැළදීමේ පටන් සෑම දෙයක් ම සිහි කල්පනාවෙන් කළ යුතු යි. එවිට සති, සමාධි, ඥාන දියුණුවෙන් ‘පටිච්ච සමුප්පාදය’ ගැඹුරු තැනට වැටෙයි. ‘පටිච්ච සමුප්පාදය’ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කළ විට ලොවුතුරා බුද්ධත්වයට පත් වුණා.


බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය භාවිත කළ ක්‍රමය එලෙසම දේශනා කර තිබෙනවා. සතිපට්ඨාන සූත්‍රය දේශනා කළේ බුදුරජාණන් වහන්සේ බෝධි සම්භාර පුරන සමයේ භාවිත කළ නිස යි. එමෙන් ම අතීත බුදුරජාණන් වහන්සේලා ද භාවිත කළා. කායගතාසතිය හෙවත් ‘පටිකූල මනසිකාරය’ පිළිබඳ ව පෙර ලිපි මඟින් සඳහන් කළ බැවින් කාටත් හසල දැනුමක් තිබිය යුතුයි. මේ ශරීරය පිළිබඳ ව ඇති අස්ථිර බව, පිළිකුල් බව හොඳට වටහා ගන්න පුළුවනි.


දැන් බලන්න, කෙනෙක් මිය ගිය විට දවසක් දෙකක් ඹෟෂධ නොගල්වා තබා ගන්න පුළුවනි. ඊට වැඩි දවසක් කෙසේවත් තබාගන්න බැහැ, දුගඳ හමනවා. එවැනි ශරීරයක් අපට තිබෙන්නේ. ආශ්වාස, ප්‍රශ්වාස තිබෙන නිසා මේ සිරුර නරක් නොවී තිබෙනවා. ආශ්වාස ප්‍රශ්වාස නැති විට මේ ශරීරය කුණු වෙනවා. ඒ අසලින් යමෙක් ගමන් කරන්නේ නාසය වසා ගෙනයි. මේ ගැන වටහා ගෙන ‘පටිකූල මනසිකාරය’ නොහොත් කායගතාසතිය නමැති පිළිකුල හොඳින් මෙනෙහි කරන්න. එවිට නුවණ හොඳින් දියුණු වෙයි. දන් දීමෙන් පමණක් සෑහීමට පත්වන්න එපා. එය හොඳටම මදි. බුද්ධ පූජා , වන්දනා මාන වලින් පමණක් සෑහීමට පත්වන්නට එපා. එයත් ප්‍රමාණවත් නැහැ. පන්සිල්, අටසිල් රකිමින්, බණ අසා භාවනාවත් කළ යුතු යි. එවිට දාන, ශීල, භාවනා පින්කම් තුනම සම්පූර්ණ යි.


එවිට ශීල, සමාධි, ප්‍රඥා ගුණ වැඩී බෝධි පාක්ෂික ධර්ම තිස් හතක් සම්පූර්ණ වෙනවා. එය යි වැදගත් ම කාරණය. බෝධි පාක්ෂික ධර්ම තිස්හතක් සිතේ පහළ වීම නිසා තම ගුණ නුවණ හොඳින් දියුණු කළ හැකි යි. එලෙස ම සංසාර ගමන ගැන අමුතුවෙන් කළ කිරෙන්න දෙයක් නැහැ. සංසාර ගමන සුවසේ ගමන් කර සසර දුකෙන් නිදහස් වෙන්න පුළුවන්.


ධාතු මනසිකාරය යනුවෙන් භාවනා ක්‍රමයක් ද තිබෙනවා. පඨවි, ආපෝ , තේජෝ, වායෝ නමින් ධාතු ක්‍රම සතරක් තිබෙන බව ඔබ දන්නවා. ගල් කැටයක බැලුවොත් මේ ධාතු සතරම තිබෙනවා. ගස් කොළන්, පෘථිවිය, ඉර හද තාරකා, මහා සාගරය දෙස බැලුවත් ඒ සෑම වස්තුවක ම පඨවි, ආපෝ, තේජෝ, වායෝ තියෙනවා.


අප පරිහරණය කරන විදුලි බලය බැලුවත් එහි ද පඨවි ආපෝ, තේජෝ, වායෝ, ධාතු සතර ම ක්‍රියාත්මක යි. නිර්වාණයෙහි පමණක් ඒ කිසිවක් නැහැ. එය ධාතූන්ගෙන් තොර යි.


- ජම්මික ප්‍රබෝධනී වැලිකල


 

  

අත්තරක්ඛිතසුත්තං


 අත්තරක්ඛිතසුත්තං

116

සාවත්ථිනිදානං. එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘කෙසං නු ඛො රක්ඛිතො අත්තා, කෙසං අරක්ඛිතො අත්තා’ති? තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘යෙ ඛො කෙචි කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති; තෙසං අරක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ හත්ථිකායො වා රක්ඛෙය්‍ය, අස්සකායො වා රක්ඛෙය්‍ය, රථකායො වා රක්ඛෙය්‍ය, පත්තිකායො වා රක්ඛෙය්‍ය; අථ ඛො තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? බාහිරා හෙසා රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා; තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති; තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්‍ය, න අස්සකායො රක්ඛෙය්‍ය, න රථකායො රක්ඛෙය්‍ය , න පත්තිකායො රක්ඛෙය්‍ය; අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? අජ්ඣත්තිකා හෙසා රක්ඛා, නෙසා රක්ඛා බාහිරා; තස්මා තෙසං රක්ඛිතො අත්තා’’’ති.

‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! යෙ හි කෙචි, මහාරාජ, කායෙන දුච්චරිතං චරන්ති...පෙ.... තෙසං අරක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? බාහිරා හෙසා, මහාරාජ, රක්ඛා, නෙසා රක්ඛා අජ්ඣත්තිකා; තස්මා තෙසං අරක්ඛිතො අත්තා. යෙ ච ඛො කෙචි, මහාරාජ, කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති; තෙසං රක්ඛිතො අත්තා. කිඤ්චාපි තෙ නෙව හත්ථිකායො රක්ඛෙය්‍ය, න අස්සකායො රක්ඛෙය්‍ය, න රථකායො රක්ඛෙය්‍ය, න පත්තිකායො රක්ඛෙය්‍ය; අථ ඛො තෙසං රක්ඛිතො අත්තා. තං කිස්ස හෙතු? අජ්ඣත්තිකා හෙසා, මහාරාජ, රක්ඛා, නෙසා රක්ඛා බාහිරා; තස්මා තෙසං රක්ඛිතො අත්තා’’ති. ඉදමවොච...පෙ....

‘‘කායෙන සංවරො සාධු, සාධු වාචාය සංවරො;

මනසා සංවරො සාධු, සාධු සබ්බත්ථ සංවරො;

සබ්බත්ථ සංවුතො ලජ්ජී, රක්ඛිතොති පවුච්චතී’’ති.


අත්තරක්ඛිත (රක්ඛිතන්ත) සූත්‍රය

116

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.

එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, හුදකලාව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- කවුරුන් විසින් තමා නොරක්නා ලදද, කවුරුන් විසින් තමා රක්නා ලදද?” යනුයි.

“ස්වාමීනි, ඒ මට මේ සිත විය. ‘යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙද්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙද්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙද්ද, ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය. සමහරවිට ඇත් සෙනග හෝ ඔවුන් රකී. අස් සෙනග හෝ ඔවුන් රකී. රිය සෙනග හෝ ඔවුන් රකී. පාබල සෙනග හෝ ඔවුන් රකී. එසේ වුවත් ඔවුන්ගේ ආත්මය (තමා) නම් නොරක්නා ලද්දේය. ඊට හේතුනම්:- මේ ආරක්‍ෂාව බාහිර එකක් බැවිනි. මේ ආරක්‍ෂාව තමන් තුල නොපවත්නක් බැවිනි. එහෙයින් ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය. යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන් විසින් තමා රක්නා ලද්දේය. සමහරවිට ඇත් සෙනග හෝ ඔවුන් නොරකී. අස් සෙනග හෝ ඔවුන් නොරකී. රිය සෙනග හෝ ඔවුන් නොරකී. පාබල සෙනග හෝ ඔවුන් නොරකී. එසේ වුවත් ඔවුන්ගේ ආත්මය (තමා) රක්නා ලද්දේමය. ඊට හේතුනම්:- මේ ආරක්‍ෂාව තමන් තුල පවත්නා බැවිනි. මේ ආරක්‍ෂාව බාහිර නොවූවක් බැවිනි. එහෙයින් ඔවුන් විසින් තමා රක්නා ලද්දේමය.”

“මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද ඔවුන් විසින් තමා නොරක්නා ලදී. සමහරවිට ඇත් සෙනග හෝ, අස් සෙනග හෝ, රිය සෙනග හෝ, පාබල සෙනග හෝ ඔවුන් රකී. එසේ නමුදු ඔවුන් විසින් තමා නොරක්නා ලද්දේය, ඊට හේතු නම්:- මහරජ, මේ ආරක්‍ෂාව බාහිර වූවක් බැවිනි. මේ ආරක්‍ෂාව තමන් තුල නොවූවක් බැවිනි. එහෙයින් ඔවුන්ගේ ආත්මය (තමා) නොරක්නා ලද්දේය. මහරජ, යම්කිසි කෙනෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන් විසින් තමා රක්නා ලදී. ඇතැම්විට ඇත් සෙනග හෝ, අස් සෙනග හෝ, රිය සෙනග හෝ පාබල සෙනග හෝ ඔවුන් නොරකී. එහෙත් ඔවුන්ගේ ආත්මය (තමා) රක්නා ලද්දේමය. ඊට හේතුනම්:- මහරජ, මේ ආරක්‍ෂාව පිටත්තර වූවක් නොවීමයි. මේ ආරක්‍ෂාව තමන් තුල වූවක් වීමයි. එහෙයින් ඔවුන් විසින් තමා රක්නා ලද්දේමය.”

“කයින් සංවරවීම හෙවත් තමන් රැකගැනීම යහපත්ය. වචනයෙන් සංවරවීම යහපත්ය. සිතින් සංවරවීම යහපත්ය. ඒ සියල්ලෙන්ම සංවරවීම යහපත්ය. ඒ හැමතන්හිම සංවරිතවූ පවට ලජ්ජා භය ඇති තැනැත්තා රැකුනේයයි කියනුලැබේ.”

Monday, May 31, 2021

Na Uyane Ariyadhamma Thero


 

පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය

 




4. පියසුත්තං  
115
සාවත්ථිනිදානං . එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච - ‘‘ඉධ මය්හං, භන්තෙ, රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි - ‘කෙසං නු ඛො පියො අත්තා, කෙසං අප්පියො අත්තා’ති? තස්ස මය්හං, භන්තෙ, එතදහොසි - ‘යෙ ච ඛො කෙචි කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති; තෙසං අප්පියො අත්තා’. කිඤ්චාපි තෙ එවං වදෙය්‍යුං - ‘පියො නො අත්තා’ති, අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු? යඤ්හි අප්පියො අප්පියස්ස කරෙය්‍ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති; තස්මා තෙසං අප්පියො අත්තා. යෙ ච ඛො කෙචි කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති; තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්‍යුං - ‘අප්පියො නො අත්තා’ති; අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු? යඤ්හි පියො පියස්ස කරෙය්‍ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති; තස්මා තෙසං පියො අත්තා’’ති.
‘‘එවමෙතං, මහාරාජ, එවමෙතං, මහාරාජ! යෙ හි කෙචි, මහාරාජ, කායෙන දුච්චරිතං චරන්ති, වාචාය දුච්චරිතං චරන්ති, මනසා දුච්චරිතං චරන්ති; තෙසං අප්පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්‍යුං - ‘පියො නො අත්තා’ති, අථ ඛො තෙසං අප්පියො අත්තා. තං කිස්ස හෙතු? යඤ්හි, මහාරාජ, අප්පියො අප්පියස්ස කරෙය්‍ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති; තස්මා තෙසං අප්පියො අත්තා. යෙ ච ඛො කෙචි, මහාරාජ , කායෙන සුචරිතං චරන්ති, වාචාය සුචරිතං චරන්ති, මනසා සුචරිතං චරන්ති; තෙසං පියො අත්තා. කිඤ්චාපි තෙ එවං වදෙය්‍යුං - ‘අප්පියො නො අත්තා’ති; අථ ඛො තෙසං පියො අත්තා. තං කිස්ස හෙතු? යඤ්හි මහාරාජ, පියො පියස්ස කරෙය්‍ය, තං තෙ අත්තනාව අත්තනො කරොන්ති; තස්මා තෙසං පියො අත්තා’’ති. ඉදමවොච...පෙ....
‘‘අත්තානඤ්චෙ පියං ජඤ්ඤා, න නං පාපෙන සංයුජෙ;
න හි තං සුලභං හොති, සුඛං දුක්කටකාරිනා.
‘‘අන්තකෙනාධිපන්නස්ස, ජහතො මානුසං භවං;
කිඤ්හි තස්ස සකං හොති, කිඤ්ච ආදාය ගච්ඡති;
කිඤ්චස්ස අනුගං හොති, ඡායාව අනපායිනී (අනුපායිනී (ස්‍යා. කං. ක.)).
‘‘උභො පුඤ්ඤඤ්ච පාපඤ්ච, යං මච්චො කුරුතෙ ඉධ;
තඤ්හි තස්ස සකං හොති, තඤ්ච (තංව (?)) ආදාය ගච්ඡති;
තඤ්චස්ස (තංවස්ස (?)) අනුගං හොති, ඡායාව අනපායිනී.
‘‘තස්මා කරෙය්‍ය කල්‍යාණං, නිචයං සම්පරායිකං;
පුඤ්ඤානි පරලොකස්මිං, පතිට්ඨා හොන්ති පාණින’’න්ත්න්ත්ති.
පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය  
115
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- ‘කවුරුන්ට තමා ප්‍රියද? කවුරුන්ට තමා අප්‍රියද?’ කියායි. ස්වාමීනි, ඒ මට මේ සිත විය.
‘යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. අපගේ ආත්මය හෙවත් තමා තමන්ට ප්‍රියයයි යම් ලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා අප්‍රියමය. ඊට හේතු නම්:- අප්‍රියයෙක් අප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කෙරෙති. එහෙයින් ඔවුන්ට තමා අප්‍රියය.
‘යම්කිසි කෙනෙක් කයින් සුචරිතයෙහි හැසිරෙත්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය. අපට තමා අප්‍රියයයි කිසිලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා ප්‍රියමය. ඊට හේතු නම්:- ප්‍රියයෙක් ප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කරෙති. එහෙයින් ඔවුන්ට තමා ප්‍රියයි.”
“මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. මහරජ, යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය.
“ඉදින් යමෙකුට තමා ප්‍රියයයි දන්නෙනම් ඒ තමා පවෙහි නොයෙදෙන්නේය. (සුසිරිත් කිරීමෙන් ලද හැකි සැප) දුසිරිත් කරන්නා විසින් පහසුවෙන් ලද හැකි නොවේ. (එහෙයිනි.)
“මාරයා විසින් යටපත්කරගන්නා ලද්දාවූ, මිනිස් සිරුර හැර දමන්නාවූ ඔහුට කුමක්නම් තමන් සතු
වේද, ඔහු කුමක් රැගෙන (පරලොව) යයිද, තමන් පසුපස යන සෙවනැල්ල මෙන් කුමක් නම් ඔහු අනුව යයිද?”
“මිනිසා මෙලොවදී යම් පිනක් හෝ පවක් කරයිද, ඒ ඔහුට තමන් සතුවෙයි. ඔහු එය රැගෙන (පරලොව) යයි. තමන් පසුපස යන සෙවනැල්ල මෙන් ඒ ඔහු අනුව යයි.”
“එහෙයින් පරලොවට හිතසැප පිණිස දේ රැස් කරන්නා කුසල් කරන්නේය. කුසල් පරලොවදී සත්ත්‍වයන්ට පිහිට වෙති.”

Sunday, May 30, 2021

Na Uyane Ariyadhamma Thero

 


දහර සූත්‍රය


 දහර සූත්‍රය  

112

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.

එකල පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, සතුටු විය. සතුටු වියයුතු, සිහි කටහුතු කථා පවත්වා එක් පසෙක හුන්නේය.

එක් පසෙක හුන් පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය. “භවත් ගෞතමයන් වහන්සේත් ‘අනුත්තර සම්‍යක් සම්බෝධිය ලදුම්හ’ යි ප්‍රතිඥා කෙරෙත්ද?”

“මහරජ, සරිලෙස කියන තැනැත්තේ ‘මේ තෙම සම්‍යක් සම්බෝධියට පැමිණියේය’ යි යමකු ගැන කියන්නේ නම්, ඒ නිවැරැදි සේ කියන තැනැත්තා එය මා ගැනම කියන්නේය. මහරජ, මම් වනාහි ඉතා උතුම් සම්‍යක් සම්බෝධියට පැමිණියෙක්මි” යි (භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දුන් සේක.)

“භවත් ගෞතමයන් වහන්ස, පූරණකස්සප, මක්ඛලීගොසාල, නිගණ්ඨනාථපුත්ත, සඤජයබෙල්ලට්ඨපුත්ත, පකුධකච්චායන, අජිත කෙසකම්බල යන පැවිදි සමූහයා ඇති, පැවිදි ගනයා ඇති, ගණාචාර්‍ය්‍යවූ, ප්‍රකටවූ යසස් ඇති, ලබ්ධි ඇති කරන්නාවූ, බොහෝ දෙනා විසින් යහපත්යයි සම්මත කරණලද යම් ඒ මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුහුත් අනුත්තර සම්මා සම්බෝධිය ලදුම්හයි ප්‍රතිඥා කරනුදැයි මවිසින් ප්‍රශ්න කරන ලද්දෝ අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කෙළෙමුයි ප්‍රතිඥා නොකරති. උත්පත්තියෙන් තරුණුවූත්, පැවිද්දෙන් ආධුනිකවූත්, අළුත පැවිදිවූ භවත් ගෞතමයන් වහන්සේ කෙසේ නම් ප්‍රතිඥා කරන සේක්ද?”

“මහරජ, මේ සතරදෙනෙක් තරුණයයි හෙවත් ළදරුයයි ලඝු කොට සැලකිය යතු නොවෙති, පරිභව කටයුතු නොවෙති. එනම්:- ක්‍ෂත්‍රිය රජ කුමරා ළදරුයයි සැහැල්ලුකොට සිතියයුතු නොවේ. සර්‍පයා ළදරුයයි සැහැල්ල්‍රකොට සිතියයුතු නොවේ. ගින්න කුඩායයි නොසැලකියයුතු නොවේ. භික්‍ෂුව තරුණයයි පහත්සේ සිතියයුතු නොවේ. මහරජ, මේ සතරදෙන තරුණයයි අවමන් නොකටයුතු වෙති. පරිභව නොකටයුතු වෙති.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවත මේ ගාථා වදාළ සේක.

නුවණැති මිනිස් තෙමේ ජාති සම්පන්නවූ, උසස් කුලයෙහි උපන්නාවූ, යසස් ඇති, ක්‍ෂත්‍රිය රාජකුමාරයාට, ළදරුයයි අවමන් නොකරන්නේය. පරිභව නොකරන්නේය, ඊට කරුණු ඇත්තාහ, මනුජෙන්‍ද්‍රවූ ඒ ක්‍ෂත්‍රිය තෙමේ රජකම ලබාගෙන තමන්ට අවමන්කළ තැනැත්තා කෙරෙහි කිපියේ බෙහෙවින් ඔහුට රාජ දඬුවම් කරන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ක්‍ෂත්‍රිය (උතුම්) කුමරුන් නොගටා ඈත්වන්නේය.

“නුවණැති මිනිසා ගමෙහි හෝ වෙනෙහි හෝ යම්කිසි තැනෙක සර්‍පයෙක් දකීද, ඒ සර්පයා කුඩායයි සැහැල්ලුකොට නොසිතන්නේය. අවමන් නොකරන්නේය. තෙදින් යුත් සර්පයා උස් පහත් නොයෙක් වෙසින් හැසිරෙන්නේය. ඒ සර්පයා තමහට ගැහැට කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දෂ්ට කරන්නේය. එහෙයින් තම දිවි රකින්නේ ඒ සර්පයා වෙත නොයන්නේය.

“බොහෝ කොට කන, ගිනි දැල් ඇති, ගිය මග කළුකරණ ගින්න නුවණැති මිනිසා කුඩායයි ලඝුකොට නොසිතන්නේය. පරිභව නොකරන්නේය. ඒ ගින්න ඇවිලීමට උපකරණ ලැබ මහත්වී ඒ අවමන්කළ අඥාන මිනිසා හෝ ගැහැනිය වෙත පැමිණ දවන්නේය. එහෙයින් තම දිවි රකින්නා ඒ ගින්න ඈත් කරන්නේය.

“ගිය මග කළුකරන්නාවූද, පව් දවන්නා යන අර්ත්‍ථයෙන් පාචක නම්වූද ගින්න යම් වනයක් දවානම් එහි කලකට පසු පැල හටගනිති. නමුත් සිල්වත් භික්‍ෂු සිල් තෙදින් යමෙකුන් දවානම් ඔහුට පුත්තු නැති වෙති. ගෙරි සරක් නැති වෙති. ඔහුගේ දායාදයෝ හෙවත් ධනයට හිමිකම් ඇති නෑදෑයෝ ඔහුගේ ධනය නොලබති. ඔවුහු දූ දරුවන් නැත්තෝව, ධනයට හිමි නෑයන් නැත්තෝව කරටියෙන් කැඩූ තල් ගස් මෙන් වෙති.

එහෙයින් තමන්ට යහපත බලාපොරොත්තුවන නුවණැති මනුෂ්‍යයා සර්පයාද, ගින්නද, කීර්තිමත් උතුම් කුමරාද, සිල්වත් භික්‍ෂුවද යන මොවුන් කෙරෙයි යහපත්ව හැසිරෙන්නේය.”

මෙසේ වදාළ කල්හි පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. “ස්වාමීනි, ඉතා රම්‍යයි, ඉතා මනොඥයි. ස්වාමීනි, යටිකුරු වූවක් යම්සේ උඩුකුරු කරන්නේද, වැසුනු දෙයක් යම්සේ මතුකරන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරේ තෙල් පහනක් දල්වන්නේ යම්සේද, එමෙන්ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්‍මය ප්‍රකාශකරණ ලදී. ස්වාමීනි, මේ මම බුදුන්, දහම්, සංඝයා සරණ යමි. භාග්‍යවතුන් වහන්සේ මා අද පටන් දිවිහිම් කොට සරණ ගිය උපාසකයෙකු ලෙස සලකන සේක්වා.”

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...