Thursday, March 4, 2021

සබ්භි සුත්තං

 


එවං මෙ සුතං - එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ (ක්‍රුබ්බෙථ (ක.)) සන්ථවං;

සතං සද්ධම්මමඤ්ඤාය, සෙය්‍යො හොති න පාපියො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;

සතං සද්ධම්මමඤ්ඤාය, පඤ්ඤා ලබ්භති (පඤ්ඤං ලභති (ස්‍යා. කං.)) නාඤ්ඤතො’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;

සතං සද්ධම්මමඤ්ඤාය, සොකමජ්ඣෙ න සොචතී’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;

සතං සද්ධම්මමඤ්ඤාය, ඤාතිමජ්ඣෙ විරොචතී’’ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;

සතං සද්ධම්මමඤ්ඤාය, සත්තා ගච්ඡන්ති සුග්ගති’’න්ති.

අථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -

‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;

සතං සද්ධම්මමඤ්ඤාය, සත්තා තිට්ඨන්ති සාතත’’න්ති.

අථ ඛො අපරා දෙවතා භගවන්තං එතදවොච - ‘‘කස්ස නු ඛො, භගවා, සුභාසිත’’න්ති? සබ්බාසං වො සුභාසිතං පරියායෙන, අපි ච මමපි සුණාථ -

‘‘සබ්භිරෙව සමාසෙථ, සබ්භි කුබ්බෙථ සන්ථවං;

සතං සද්ධම්මමඤ්ඤාය, සබ්බදුක්ඛා පමුච්චතී’’ති.

ඉදමවොච භගවා. අත්තමනා තා දෙවතායො භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායිංසූති.


මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පිහිටි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල සතුල්ලපකායික නම්න් දන්නාලද බොහෝ දෙවි කෙනෙක් රෑ පළමු දසපැය ඉක්මුණු කල මනා පැහැ ඇත්තාහු සියලු ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමුණුනාහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ.

පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනගැන්මෙන් වැඩි දියුණුව වෙයි. පිරිහීමෙක් නොවෙයි.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

“සත් පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත් පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සදහම් දැනගැන්මෙන් ප්‍රඥාව ලැබෙයි. අන් පරිද්ිදකින් නොලැබෙයි.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැන්මෙන් ශෝක කරන්නක් මැද ශෝක නොකෙරෙයි.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත්දහම් දැනගැන්මෙන් නෑයන් මැද වෙසෙසින් බබළයි.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:

“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන්ගේ සාම මිත්‍ර සමාගමය කළ යුතුය

සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් සත්‍වයෝ සුගතියට යෙත්.”

එවිට අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:

“සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් දැනගැන්මෙන් නිරතුරුව සැපසේ සිටිත්.”

එවිට අන් දෙවියෙක් මෙසේ කීවේය. “භාග්‍යවතුන් වහන්ස, කාගේ කීම මනාකොට කීමද?”

(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:) “තොප සියල්ලන්ම කී දේ එකි එකී කාරණා වශයෙන් යහපත් කීම්ය. එතෙකුදු වුවත් මගේ වචන අසවු: “සත්පුරුෂයන් හාම එක්ව විසිය යුතුය. සත්පුරුෂයන් හාම මිත්‍ර සමාගමය කළ යුතුය. සත්පුරුෂයන්ගේ සත් දහම් අවබෝධ කරගැන්මෙන් සියඵම දුකින් මිදේ.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇති ඒ දෙවියෝ භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට, එහිම අතුරුදහන් වූහ.



සියලු දුකෙන් මිදිය හැකි සද්පුරුෂයාගේ ඇසුර

රත්මලානේ ශ්‍රී රත්නාරාමය

බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති

බස්නාහිර පළාත සහිත

කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝ නායක

සූරියගොඩ සිරිධම්ම නා හිමි


"මනුස්ස ලෝකයේ මිනිසුන් ලෙස ඉපදී දාන, සීල, භාවනා සිදු කරමින් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා වඩමින් බොහෝ පින්කම් කොට මරණින් මතු බොහෝ දෙනා දෙව්ලොව උපදී. ඒ දෙව්ලොවදී සද්ධර්මය දෙවියන්ට ඇසුණු විට මේ ධර්මය තමන් විසින් මිනිස් ලොවදී පුරුදු කළානේ කියා සිහි වෙයි."


අප සරණ ගිය අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ සද්පුරුෂ ඇසුර විවිධ අවස්ථාවලදී විවිධ අයුරින් වර්ණනා කර තිබේ. සද්පුරුෂයාගේ ඇසුර මෙලොව මෙන්ම පරලොවටද බොහෝ ලෙස උපකාරි වෙයි. ඒ නිසාම දෙවියන් විසින්ද සද්පුරුෂයාගේ වටිනාකම ඉස්මතු කරමින් කළ ප්‍රකාශ අපට හමු වෙයි.


මනුස්ස ලෝකයේ මිනිසුන් ලෙස ඉපදී දාන, සීල, භාවනා සිදු කරමින් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග, ප්‍රඥා වඩමින් බොහෝ පින්කම් කොට මරණින් මතු බොහෝ දෙනා දෙව්ලොව උපදී. ඒ දෙව්ලොවදී සද්ධර්මය දෙවියන්ට ඇසුණු විට මේ ධර්මය තමන් විසින් මිනිස් ලොවදී පුරුදු කළානේ කියා සිහි වෙයි. මේ දේවතා සංයුත්තයේ සගාථ වර්ගයේ ඇති දෙවි දේවතාවන් විසින් අසන ප්‍රශ්න දෙස බලද්දී ද පැහැදිලි වන්නේ ඔවුන් මනුස්ස ලෝකයේ ජීවත්ව සිටියදී ඉගෙන ගත් දේ බුදුරජාණන් වහන්සේ මුණ ගැසී නැවත නැවත විවිධ අයුරින් අසන ආකාරය යි.


අද අප කතා කරන “සබ්භි සූත්‍රය” සතුල්ලපකායික වර්ගයට අයත් මනරම් දේශනාවක්. දෙවියන් විසින් සද්පුරුෂයා වර්ණනා කළ ආකාරය මෙයින් විස්තර වෙයි.


එදා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටි අවස්ථාවේදී මනා ඡවිවර්ණ ඇති සතුල්ලපකායික දෙවිවරුන් (අල්පේශාක්‍ය දෙවියන්) පිරිසක් තථාගතයන් වහන්සේ අභියසදී සද්පුරුෂ ඇසුර පිළිබඳව ඇසූ කරුණු මෙහි ඇතුළත් වෙයි. ඒ දෙවිවරු මුළු ජේතවනාරාමයම බබුළුවාගෙන පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට පසෙකින් සිට මෙසේ විමසා සිටියා.


සබ්භිරේව සමාසේථ සබ්භි කුබේබථ සත්ව වං

සතං සද්ධම්මමඤ්ඤාය සෙය්‍යො හොති න පාපියොති


නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් කෙනාට දියුණුවක්මයි සිදුවන්නේ. පිරිහීමක් නම් සිදු නොවෙයි.


සද්පුරුෂයා සමඟ ඇසුර පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් මංගල සූත්‍රය දෙවියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස වදාළ සූත්‍රයකි. එහිදීද උන්වහන්සේ වදාළේ ආශ්‍රය පිළිබඳව යි. පණ්ඩිතයන් ඇසුරු කරන්න. බාලයන් ඇසුරු නොකරන්නැයි වදාළ අතර, එය මිනිස් සමාජයට අද ද බෙහෙවින් බලපායි.


එවිට තව එක් දෙවියෙක් පැමිණ කියන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයාට ප්‍රඥාව ලැබෙනවා. වෙන දෙයකින් ප්‍රඥාාව ලැබෙන්නේ නැහැ.


ප්‍රඥාව මිනිසා සතු උසස්ම ගුණාංගයකි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ මාගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට බවයි. ප්‍රඥාව නැති ඕනෑම කෙනෙකු වෙනත් අයෙකුට ග්‍රහණය කර ගැනීම ඉතාම පහසුයි.


ඉන්පසු පැමිණි දේවේන්ද්‍රයා කියා සිටින්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයාට ශෝක වෙන ජනයා මැද ශෝක නොවී සිටින්නට පුළුවන්.


අප දන්නවා මේ සමාජයේ විවිධ පුද්ගලයන් විවිධ අවස්ථාවලදී යම් යම් හේතුන් නිසා කනගාටුවට, ශෝකයට දුකට පත්වෙනවා. එවැනි අවස්ථාවලදී ශෝක නොවි, කනගාටු නොවී දොම්නස් නොවී මැදිහත්ව සිටීමට ශක්තිය ලැබෙන්නේ සද්පුරුෂයා ඇසුරු කළවිට, සද්පුරුෂයන් සමඟ මිත්‍ර වූ විට ධර්මය දැනගත් විටයි.


භාග්‍යවතුන් වහන්සේ අසලට පැමිණි අනෙක් දේවතාවා පවසන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයා ඥාතීන් මැද බබළනවා.


අද සමාජයේ අප අතර ජීවත්වෙන සමහර පිරිස් නැදෑයන්, මිත්‍රයන්, අසල්වාසීන් ඉදිරියේ බැබළෙන්නේ නැහැ. නමුත් යම් අයෙක් සද්පුරුෂයන් ඇසුරු කරනවානම්, කල්‍යාණ මිත්‍ර සේවනය කරනවානම්, හොඳම ධර්මය, යහපත් ධර්මය, සාදු ධර්මය තමාට ගලපා ගන්නවානම් ඒ උත්තමයා ඤාතීන් මැද බැබළෙනවා.


ඉන්පසු ඉදිරිපත් වූ දෙවියා පවසන්නේ නිදුකාණන් වහන්ස. සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් පුද්ගලයා සුගතියේ උපදිනවා.

 මිනිසෙක් සොලවා බලා හොඳද? නරකද? කියා හඳුනා ගන්න බැහැ. මිනිසා හඳුනා ගන්නට නම් ඇසුරු කළ යුතු වෙනවා. එසේ ඇසුරු කිරීමෙන් මෙලොව පරලොව යහපත උදාවෙනවා.


අනෙක් දේවතාවා ඉදිරියට පැමිණ කියන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟමයි ඉන්න ඕන. සද්පුරුෂයාමයි ඇසුරු කරන්න ඕන. සද්පුරුෂයාගේ ධර්මය දැනගත් ඒ තැනැත්තා බොහෝ කල් සුවසේ, සැපසේ ජීවත් වෙනවා යැයි පවසා සිටියා.


අවසානයට පැමිණි දේවතාවා කියන්නේ නිදුකාණන් වහන්ස, සද්පුරුෂයන් සමඟම විසීමේ ගුණය පිළිබඳවයි අප මෙසේ පවසා සිටියේ. මේ ප්‍රකාශවලින් වඩාත් වැදගත් වන සුභාෂිතය කුමක්දැයි? වදාළ මැනව. එහිදී බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් දේවේන්ද්‍රයනි,


සබ්භිරේ ව සමාසේථ සබ්භි කුබේබථ සත්ව වං

සතං සද්ධම්මමඤ්ඤාය සබ්බදුක්ඛා පමුච්චතීති


ඔබ සියලු දෙනා විසින් ප්‍රකාශ කළ කරුණු ඉතාමත්ම ප්‍රශංසනීය යි. ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි. දැන් මාගේ වචනය අසන්න. යහපත් අය, සද්පුරුෂයන්, කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කළවිට සද්පුරුෂයන්ගේ ධර්මය ශ්‍රවණය කළවිට ඒ සද්පුරුෂයන්ගේ ධර්මය දැනීමෙන්, අනුගමනය කිරීමෙන් සියලු දුකෙන් මිදෙන බවයි. (සබ්බ දුක්ඛා පමුච්චතී) සියලු දුක් වලින් එතෙර වන්නට සද්පුරුෂ ඇසුර බලපාන බව තථාගතයන් වහන්සේ මෙහිදී විස්තර කොට වදාළ සේක. දේවතාවෝ එම ප්‍රකාශය පිළිගෙන සතුටු සිත් ඇතිව භාග්‍යවතුන් වහන්සේට වන්දනා කර එතැනින් අතුරුදන් වූවා.


දෙවියන් විසින් මෙසේ අසන ලද ප්‍රශ්නවල තිබෙන්නේ සියල්ලම මෙලොව සහ පරලොව ජීවිතය පිළිබඳවයි. නමුත් බුදුරජාණන් වහන්සේ සද්පුරුෂ ඇසුර නිසා කෙලෙස් නැතිකර නිවන අවබෝධ කරගත හැකි බවද ඉස්මතුකොට වදාළා.


බෞද්ධයාගේ ප්‍රධාන අරමුණෙහි ආරම්භය ශ්‍රද්ධාවයි. අවසානය ප්‍රඥාවයි. (නිවන) ඒ නිවන අවබෝධය සඳහායි අප සියලුම දෙනා කළයුතු දේ කළයුතු වන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සබ්භි සූත්‍රයේදී අපට දෙන පණිවිඩය නම් යහපත් මිතුරන් ඇතිකර ගන්න. ඒ තුළින් සියලු දුකෙන් නිදහස් වෙන්න පුළුවන් බවයි.


විශේෂයෙන් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් නිවන අවබෝධ කර ගැනීමට හැකියාව තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී වදාළා ඔබට සෝවාහන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් වීමට අවශ්‍ය නම් කරුණු හතරක් ප්‍රගුණ කිරීමට උත්සාහ කරන්න. ඒ කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාවයි. ඔබට ඇසුර සඳහා සුදුසු කෙනෙක් නොමැතිනම් හුදකලාව වාසය කිරීම යහපත් බවද උන්වහන්සේ වැඩිදුරටත් වදාළා.


ඒ වගේම කල්‍යාණ මිත්‍ර සේවනයේ වැදගත්කම පවසමින් උන්වහන්සේ ධම්ම පදයේදී මෙසේ ද වදාළා


න භජේ පාපකේ මිත්තේ – න භජේ පුරිසාධමේ

භජේථ මිත්තේ කල්‍යාණේ – භජේථ පුරිසුත්තමේ


පාප මිත්‍රයන් ඇසුරු කරන්න එපා. පහත් අදහස් ඇති පුද්ගලයන්ත් ඇසුරු කරන්න එපා. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න. සීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ පිරුණු උතුම් පුද්ගලයන් ඇසුරු කරන්න. ඒ නිසා සද්පුරුෂ ඇසුර අපේ ජීවිත ගොඩනගා ගැනීම සඳහාත්, දියුණුකර ගැනීම සඳහාත්, සංවර්ධනය කර ගැනීම සඳහාත් මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහාත් උපකාර වනබව දෙවියන් විසින් ඇසූ ප්‍රශ්න ඇතුළත් සබ්භි සූත්‍රය තුළින් අපට තේරුම් ගත හැකියි

http://www.budusarana.lk/budusarana/2013/07/16/tmp.asp?ID=vision01

Wednesday, March 3, 2021

මෛත්‍රී භාවනාව – 08 කොටස – සිතේ ඇති ද්වේශ හුල ගලවා දමන්න…

 මෛත්‍රී භාවනාව – 08 කොටස – සිතේ ඇති ද්වේශ හුල ගලවා දමන්න…

Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 




මෛත්‍රී භාවනාව –  08 කොටස –  සිතේ ඇති ද්වේශ හුල ගලවා දමන්න…

බාහිර පුද්ගලයන්ට මෙත් වැඩීමට ප්‍රථම යම් සේ මම සැප කැමති වෙම් ද එසේ ම සෙසු සත්ත්වයන් කෙරෙහි ද හිත සුව කැමති බවට තමන් ශාක්‍ෂි කරණු පිණිස පළමුව තමන්ට මෙත් වැඩිය යුතු බව පැහැදිලි කරන ලදී.

මෙසේ මෙත් වැඩීමේ දී භාවිතා කරන පද පිළිබඳව අර්ථ වශයෙන් වටහාගෙන මෙනෙහි කිරීමෙන් තමන්ගේ චිත්ත සන්තානය තුළ මෛත්‍රිය වැඩි වර්ධනය කර ගැනීමට පහසු වේ. මෛත්‍රී භාවනාවේ දී බොහෝ වශයෙන් භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ 4 ක් මෙසේ ය.

1. වෛර නැත්තෙක් වේවා.

2. තරහ නැත්තෙක් වේවා.

3. දුක් පීඩා නැත්තෙක් වේවා.

4. සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වේවා.


වෛරය යනු තරහවේ උච්චතම අවස්ථාවක් වේ. යම් පුද්ගලයෙක් තමන්ට වරදක් සිදු කළේ නම් ඒ පුද්ගලයාට ද තමන් වරදක්, අනතුරක්, හානියක් කරන බවට ඇති හැඟීම වෛරයයි. බද්ධ වෛරය ලෙසින් ද හැඳින්වේ. මේ නිසා වෛරය යනු තරහව බලවත් වීමේ තත්ත්වයකි. එබැවින් වෛර නැති තැනැත්තෙක් වීම තරහව නැති කර ගැනීමට ද උපකාරී වේ. පළමුව වෛර නැත්තෙක් වේවා යැයි මෙත් වැඩීම මේ නිසා වැදගත් වේ. ඒ අනුව තමන්ට හානියක් කරන අයෙකුට නමුදු තමන් මෛත්‍රී කරන අයෙක් විය යුතුය. ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙනෙහි කරන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ ඇති මෙම බද්ධ වෛරය නමැති ද්වේශ හුල ගලවා ඉවත් කිරීම පිණිසය.


එබැවින් බොහෝ වේලාවක් තමන්ට ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙනෙහි කරන්න. වෛරය නිසා ලෝකයා පත් වන ව්‍යසනයන් ගැන සිතමින් තමන් ඒ වෛරයෙන් අත මිදෙන ආකාරය මෙනෙහි කරගන්න. ලෝකයේ බොහෝ දෙනෙක් වෛරය නිසා අඩදබර ඇති කරගෙන ව්‍යසනයට පත් වෙති. රට රටවල් අතර යුද්ධ, කලකෝලහාල ඇති වන්නේ වෛරය නිසාවෙනි. ඒ වෛරය තමන්ගේ සිතෙන් තුරන් වන ආකාරය ගැන මෙනෙහි කරගන්න. මෙසේ බොහෝ වේලාවක් මෙත් වැඩීමේ දී කිසියම් පුද්ගලයෙක් පිළිබඳ ද්වේශයෙන් යුතුව ඔහුගෙන් පළිගැනීමට අදහසක් පහළ වන විට සිතට දැනෙන අපහසු ගතිය සිතෙන් තුරන් වන ආකාරය අත්දැකිය හැකි වේ. සිතේ බර ගතිය අඩු වී සැහැල්ලු බවට පත් වන ආකාරය අත් දැකිය හැකි වේ. එවිට කිසියම් තරහ ඇති පුද්ගලයෙක් සිතට මතකයට ආ නමුදු ඔහු කෙරෙහි බලවත් අකමැත්තක් ඇති නොවී සිත මැදහත් බවකට පත් වනු අත් දැකිය හැකි වේ. මෙසේ සිතට සැහැල්ලුව දැනෙන තෙක් ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය යුතු වේ.


අනතුරුව ‘මම තරහ නැත්තෙක් වෙම්වා’ යැයි ද මෙත් වැඩිය හැකි වේ. තරහව යනු සිතේ ඇති වන ගැටීම් සහගත බවයි. තවත් පුද්ගලයෙක් සමඟ සිත ගැටීමට පත් වීමයි. ඒ ගැටීම නිසා සිත ලෙඩ වේ. එබැවින් සිතේ ගැටීම් අවම කරගැනීමට තරහ නැති තත්වයකට සිත පත් කර ගත යුතු වේ. තරහව දියුණු වීම නිසාවෙනි ලෝක සත්ත්වයා වෛරය ඇති කරගන්නේ. එබැවින් තරහව තමන්ගේ සිතෙන් දුරු වන ආකාරය ගැන මෙනෙහි කරන්න. මෙසේ බොහෝ කිසියම් කාලයක් මෙත් වැඩීමේ දී තමන් තරහ නො ගන්නා තැනැත්තෙක් යැයි තමන්ට ම හැඟීමක් ඇති වේ. තමන් අන් අයට වඩා හොඳ පුද්ගලයෙක් යැයි හැඟීමක් ඇති වේ. තමන් තරහව නමැති කරදරයෙන් මිදුණු අයෙක් යන හැඟීමක් ඇති වේ. තරහ ඇති වීමේ දී සිතේ ඇති වන අපහසුතාවය පහ වී ගිය බවක් තමන්ට හැඟී යනු ඇත. සිතේ බර ගතිය අඩු වී සිත සැහැල්ලු බවට පත් වනු අත්දැකිය හැකි වේ. මෙසේ සිතට සැහැල්ලුව දැනෙන තෙක් ‘මම තරහ නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය යුතු වේ.


‘මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා’ යැයි ද නැවත මෙත් වැඩිය හැකි වේ. සිත නොයෙක් කරදර නිසාවෙන් දුකට පීඩාවට පත් වේ. එයින් සිතේ සැහැල්ලුව නැති වී දුකින් ගත කිරීමට සිදු වේ. සිතේ දුක් පීඩා දුරු වේවා යැයි තමන්ට මෙත් වැඩීමෙන් බලාපොරොත්තු වන්නේ නොයෙක් සිත් පීඩාවලින් ඇති වන දුක් කරදර ගතිය දුරු වීමකි. එසේ සිත දුක් කරදරවලින් නිදහස් වන ආකාරය ගැන මෙනෙහි කරමින් තමන්ට ‘මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා’ යැයි මෙත් වඩන්න. එවිට නැවතත් තම සිත සැහැල්ලු වන බව තමන්ට වැටහෙනු ඇත. දුක් පීඩාවලින් සිත නිදහස් වන බවක් දැනෙනු ඇත. දුකක් සිතට දැනෙන විට ඇති අපහසුතාවය දුරු වී මැදහත් වන ආකාරය, සිතේ බර අඩු වී සැහැල්ලු වන ආකාරය වැටහෙනු ඇත. එසේ දැනෙන තෙක් ම තමන්ට මෙත් වැඩිය යුතු වේ.

අවසාන වශයෙන් ‘මම සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා’ යැයි මෙත් වැඩිය හැකි වේ. ‘ආත්මය පරිහරණය කිරීම’ යනු අපගේ ජීවිතය පැවැත්වීමයි. එදිනෙදා කරනු ලබන සියලුම කටයුතු ආත්මය පරිහරණය කිරීමකි. තමන්ගේ සිතේ වෛරය, තරහව ආදි කෙලෙස් දුරු වීමෙන් ඇති වන සැපවත් බව ආත්මය පරිහරණය කිරීමේ සුවපත් බවයි. එබැවින් ‘සුවසේ ආත්මය පරිහණය කරන්නෙක් වෙම්වා’ යනුවෙන් මෙනෙහි කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ සියලු ආකාරවලින් සුවපත් භාවයට පත් වීමයි. මෙසේ මෙනෙහි කිරීමේ දී ද තමන්ගේ සිතේ බර බව අඩු වී සිත සැහැල්ලු වන ආකාරය අත්දැකිය හැකි වේ. එසේ සිත සැහැල්ලු බවට පත් වන තෙක් ම මෙනෙහි කිරීම කළ යුතු වේ.


මෙම වාක්‍ය ඛණ්ඩ සතර ම මෙනෙහි කිරීම කළ හැකි වේ. කිසියම් කෙනෙක් එක් වාක්‍ය ඛණ්ඩයක් පමණක් මෙනෙහි කරයි නම් එයින් ද මෛත්‍රිය වැඩීම සිදු වේ. එබැවින් ‘වෛර නැත්තෙක් වේවා’ යන වාක්‍යය පමණක් තමන් ද අනෙක් අය ද අරමුණු කරගෙන මෙනෙහි කර අවසන් කර නැවත දෙවන වාක්‍යය ගෙන මෙත් වැඩීම ආරම්භ කිරීම ද කළ හැකි වේ.


මෙහි දී වැදගත් වන්නේ කිසියම් වාක්‍ය ඛණ්ඩයකින් කරන මෙත් වැඩීමේ දී සිතේ වැඩීමක් සිදුවන තෙක් ම මෙනෙහි කිරීමයි. සිතේ සැහැල්ලු බව, මෛත්‍රිය ඇති බව තමන්ට හැඟෙන තෙක් ම අනෙක් බාහිර පුද්ගලයන් අරමුණු කරගෙන මෙත් වැඩීමට හදිසි නො විය යුතුය. එසේ වුවහොත් සිතේ වැඩීමකින් තොරව ඉදිරියට යාමෙන් භාවනාව දුර්වල වනු ඇත.


දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,

ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,

පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

Na Uyane Ariyadhamma Thero


 

Tuesday, March 2, 2021

පජ්ජොත සූත්‍රය


කති ලොකස්මිං පජ්ජොතා, යෙහි ලොකො පකාසති (පභාසති (ක. සී.));
භගවන්තං (භවන්තං (ක.)) පුට්ඨුමාගම්ම, කථං ජානෙමු තං මය’’න්ති.
‘‘චත්තාරො ලොකෙ පජ්ජොතා, පඤ්චමෙත්ථ න විජ්ජති;
දිවා තපති ආදිච්චො, රත්තිමාභාති චන්දිමා.
‘‘අථ අග්ගි දිවාරත්තිං, තත්ථ තත්ථ පකාසති;
සම්බුද්ධො තපතං සෙට්ඨො, එසා ආභා අනුත්තරා’’ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය..
එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
“යමෙකින් ලොව බබළා නම්, ඒ ලොව එලිය කරන දේ කොතෙක්ද? භාග්‍යවතුන් වශන්සේ වෙතින් විචාරන්නට අවුත් සිටිමු. අපි එය කෙසේ නම් දැන ගනිමුද?”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ලොව එළිය කරන දේ සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි. තවද දිවා රෑ
දෙක්හි ගින්න ඒ ඒ තැන බබළයි. සම්බුද්ධයන් වහන්සේ බබළන්නවුන් අතරෙහි ශ්‍රේෂ්ඨය. මේ හැමටම වැඩි තරම්වූ ආලෝකයයි.

මෛත්‍රී භාවනාව – 07 කොටස – තමන් වැඩිපුර ම කැමති තමන්ට යි.Feb 21, 2021 | සිත නිවන භාවනා | 0

මෛත්‍රී භාවනාව – 07 කොටස – තමන් වැඩිපුර ම කැමති තමන්ට යි.
Feb 21, 2021 | සිත නිවන භාවනා | 0 


මෛත්‍රී භාවනාව –  07 කොටස – තමන් වැඩිපුර ම කැමති තමන්ට යි.
මෛත්‍රී භාවනාව ආරම්භ කරන තැනැත්තා පළමුවෙන් ම මෛත්‍රිය වැඩිය යුත්තේ තමන්ට ම වේ. ‘මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වෙම්වා, සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.

මෙත් වැඩීම පිළිබඳ සඳහන් වන සූත්‍ර දේශනා සියල්ලෙහි ම අන් අයට මෙත් වැඩීම පිළිබඳව සඳහන් වන නමුදු තමන්ට මෙත් වැඩීමක් පිළිබඳ සඳහන් නොවේ. මෙත්ත සූත්‍රයේ ද ‘සුඛිනො වා ඛෙමිනො හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යනාදි ලෙස සඳහන් වේ. ඒ සෑම තැනක දී ම දේශනා කරන ලද්දේ අන් සත්ත්වයන්ට මෙත් වැඩීම පිළිබඳවයි. ඒ අනුව තමන්ට මෙත් වැඩීම දේශනාවට විරුද්ධ දැයි කෙනෙකුට සිතක් පහළ විය හැකිය.
එසේ විරුද්ධතාවයක් ඇති නොවේ. දේශනා පාළියෙහි සියලු සත්ත්වයන්ට මෙත් වැඩීමට දේශනා කරන ලද සෑම අවස්ථාවක දී ම අර්පණා භාවනා වශයෙන් මෙත් වැඩීම කියන ලදී. එනම් මෛත්‍රී ධ්‍යානය ඉපදවීම් වශයෙනි. එහෙත් තමන්ට ‘මම සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් කරනු ලබන මෙත් වැඩීම මෛත්‍රී ධ්‍යාන ඉපදවීම පිණිස නොවේ. එසේ තමන්ට මෙත් වැඩීම කියන ලද්දේ සාක්‍ෂිභාව වශයෙන් වේ. තමන් වැඩිපුරම කැමති තමන්ගේ යහපතයි. එබැවින් පළමුව තමන්ට මෙත් වඩා ‘මම මෙන් ම සියලු සත්ත්වයෝ තම තමන්ගේ සැප කැමැත්තෝ වෙති. එහෙයින් මා විසින් ඔවුන් කෙරෙහි ද මා කෙරෙහි මෙන් ම සැප කැමති වීම කළ යුතුය’ යනුවෙන් තමන් සාක්‍ෂි ස්ථානයේ තබාගෙන අන් අයට ද මෙත් වැඩිය හැකි වේ. ඒ සඳහා පළමුව තමන්ට මෙත් වැඩීමට උපදෙස් දෙනු ලැබේ.

එසේ ම තමන්ට මෙත් වැඩීමෙන් මෛත්‍රී ධ්‍යාන ඉපදවිය හැක්කේ ද නො වේ. අවුරුදු සියයක් හෝ දහසක් හෝ ‘මම සුවපත් වෙම්වා’ යනාදි වශයෙන් තමන් කෙරෙහි මෙත් වැඩීම කළ ද ඔහුට මෛත්‍රී ධ්‍යානය නොම උපදී. එහෙත් ‘මම සුවපත් වෙමි’ යනාදි වශයෙන් තමන්ට මෙත් වැඩීමේ දී ‘මම යම් සේ සැප කැමති වෙම් ද දුක පිළිකුල් කරම් ද එපරිද්දෙන් ම සෙසු සියලු සත්ත්වයෝ ද සුව කැමැත්තෝ ය. දුක් නො කැමැත්තෝ ය.’ යැයි තමා සාක්‍ෂි කොට සෙසු සතුන් කෙරෙහි හිත සුව කැමති බව උපදී. එහෙයින් පළමුව තමන්ට මෙත් වැඩීම කළ යුතු වේ.
පළමුව තමන්ට මෙත් වැඩීමක් දේශනා පාළියේ නො හමු වුව ද තමන්ගේ හිත සුව කැමති තැනැත්තා තමන් උපමා කොට අන් අයගේ ද හිත කැමති විය යුතු බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සංයුත්ත නිකායේ කෝසල සංයුත්තයේ වදාළ ගාථාවක් මෙසේ ය.

සබ්බා දිසා අනුපරිගම්ම චෙතසා – නෙවජ්ඣගා පියතරමත්තනා ක්වචි
එවං පියො පුථු අත්තා පරෙසං – තස්මා න හිංසෙ පරං අත්තකාමො

එහි අර්ථය මෙසේය. සියලු දස දිශාවලට සිතින් සොයා ගොස් කිසි දිශාවක තමාට වඩා අතිශයින් ප්‍රිය සත්ත්වයෙක් නොම දක්නේය. සෙසු සත්ත්වයන්ට ද වෙන වෙන ම තම තමන්ගේ ශරීරය එසේ ම ප්‍රිය වේ. එහෙයින් තමන්ට හිත සුව කැමැති තැනැත්තා අන් සත්ත්වයන් නො වෙහෙසන්නේය.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ විසින් වදාළේ සියලු සත්ත්වයන්ට වඩා තමා ම ප්‍රියතර බව සලකා තමන්ගේ හිත සුව කැමති වන්නා සේ ම අන් සියලු සත්ත්වයන් කෙරෙහි ද කරුණාව උපදවාගත යුතු බවයි. ඒ අනුව තමන් සාක්‍ෂි භාවයෙහි තබා සෙසු සතුන් කෙරෙහි මෙත් වැඩිය යුතු බව බුදුරජාණන් වහන්සේ විසින් ම දේශිත බව සැලකිය යුතු වේ.

එසේ තමන්ට කොපමණ මෙත් වැඩුව ද මෛත්‍රී ධ්‍යානය ඉපදවිය නොහැකි බව ඉහත දක්වන ලදී. තමන්ට තමන් පිළිබඳ ආත්ම ස්නේහයක් පවතී. ඒ ආත්ම ස්නෙහය ධ්‍යාන ඉපදවීමට උපද්‍රවයක් බවට පත් වේ. එහෙත් සෙසු බැහැර සත්ත්වයන් කෙරෙහි මෙත් වඩා මෛත්‍රී ධ්‍යානය උපදවන ලද තැනැත්තාට තමන් කෙරෙහි ද සීමා සම්භේදය සිදුවන බව විශුද්ධි මාර්ග සන්නයේ සඳහන් වේ.

එබැවින් පළමු කොට තමා කෙරෙහි මෙත් වැඩීම කළ යුතු වේ. ‘මම යම් සේ සුව කැමති වෙමි ද දුක පිළිකුල් කරමි ද, දුක නො කැමති වෙමි ද, සෙසු සත්ත්වයෝ ද එසේ ම තම තමන්ගේ සුව කැමති වෙති, දුක පිළිකුල් කරති, දුක නො කැමති වෙති’ යැයි සෙසු සතුන්ගේ හිත සුව කැමති බවට සාක්‍ෂි කරණු පිණිස පළමු කොට තමන් කෙරෙහි මෙත් සිත පැතිරවිය යුතු වේ. අනතුරුව තමන් සාක්‍ෂි ස්ථානයේ තබා සෙසු සත්ත්වයන්ට ද මෙත් වැඩිය යුතු වේ.
මෛත්‍රී භාවනාවේ දී මීළඟට අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ඒ සඳහා භාවිතා කරන මනසිකාර පාඨය කුමක් ද යන්නයි. සමහර කෙනෙක් ‘මම නිදුක් වෙම්වා, නීරෝගී වෙම්වා, දුකින් මිදෙම්වා, සුවපත් වෙම්වා, නිවන් දකිම්වා’ යනාදි වශයෙන් දීර්ඝ පාඨයක් සජ්ඣායනය කරමින් මෙත් වඩති. එහෙත් ඒ තුළින් මෛත්‍රී භාවනාවේ විශේෂ තත්ත්වයකට පැමිණීම අපහසු වේ. බොහෝ දීර්ඝ භාවනා පාඨයක් මෙනෙහි කිරීමේ දී සිත එක් අරමුණකට සමාධිමත් වීම දුර්වල බැවිනි.

එබැවින් මෙත් වැඩීම පිණිස කෙටි වාක්‍යයක් භාවිතයට පුරුදු වීම වඩාත් සුදුසු වේ. ඒ සඳහා බොහෝ විට භාවිතා කරන වාක්‍ය ඛණ්ඩ 4 ක් වේ.
1. වෛර නැත්තෙක් වේවා.
2. තරහ නැත්තෙක් වේවා.
3. දුක් පීඩා නැත්තෙක් වේවා.
4. සුවසේ ආත්මය පරිහරණය කරන්නෙක් වේවා.

මේ අතරින් ද එක් වාක්‍ය ඛණ්ඩයක් පමණක් තෝරාගෙන පළමුව මෙත් වැඩීමට පුරුදු වීම වඩාත් සුදුසු වේ. උදාහරණයක් ලෙස ‘වෛර නැත්තෙක් වේවා’ යන්න තෝරාගෙන පළමුව තමන්ට ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ යැයි වැඩිය යුතු වේ. ඉන් පසු සෙසු පුද්ගලයන්ට ද පිළිවෙළින් මෙත් වැඩිය යුතු වේ.
මෙසේ මෙත් වැඩීම සඳහා පළමුව මෙම එකිනෙක වාක්‍ය ඛණ්ඩයේ අර්ථය හොඳින් වටහා ගැනීම ද වැදගත් වේ. එසේ අර්ථය හොඳින් වැටහෙන විට තමන්ගේ සන්තානයේ මෛත්‍රිය වැඩීම ද මැනවින් සිදු වන බැවිනි.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි

9-9 නවවන කෝක නම් බලුවැද්දාගේ වස්තුවයි.

9-9 නවවන කෝක නම් බලුවැද්දාගේ වස්තුවයි. 

යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති, සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස;

තමෙව බාලං පච්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත්තො.

යම් පුද්ගලයෙක් ද්වෙෂයෙන් දූෂිත නොවූ (තරහ නැති) පව් නැති, පිරිසිදුවූ පුරුෂයෙකුට අපරාධ කෙරේද, ඒ පාපකර්මය තෙම උඩු සුළඟට දමන ලද ධූවිලි මෙන් (මෙලෝ හෝ පරලෝ හෝ විපාක දෙමින්) ඒ අනුවණයා පැසවන්නේය.

යො අප්පදුට්ඨස්ස ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ කෝක නම් බලුවැද්දකු අරභයා දේශනා කරනලදි.

ඔහු එක්දිනක උදේ වරුවේ දුන්නත් රැගෙන තමන්ගේ දඩබල්ලන්ද පිරිවරාගෙන කැලයට යන අතර, අතරමග පිඬු පිණිස හැසිරෙන එක් භික්‍ෂුවක් හමු වී කාලකණ්ණියෙක් මට මුණ ගැහුණේයයි කලකිරී අද මට කිසිදෙයක් හමුනොවේයයි සිතමින් ගියේය.

තෙරණුවෝත් ගමේ පිඬුසිඟා ආහාර ගෙන නැවත විහාරයට වැඩියහ. අනිත් තැනැත්තාත් කැලයට ගොස් කිසිවක් නොලැබ ආපසු එනවිට නැවතත් තෙරුන් දැක අද මම මේ කාලකණ්ණියා දැක කැලයට ගොස් කිසිවක්ම ලබාගත නොහැකිවීමි. දැන් යළිත් මොහු මුණගැසුණේය. බල්ලන් ලවා මොහු කවා ලන්නෙමියි සංඥාවක් දී සුනඛයන් මුදා හැරියේය. තෙරණුවෝ එසේ නොකරව උපාසකයයි ඉල්ලා සිටියෝය. අද මම ඔබ හමුවූ නිසා කිසිවක් නොලදිම. නැවතත් මට මුණගැසීමට ආවෙහිය. තා බල්ලන් ලවා කවා ලන්නෙමියයි කියා බල්ලන් පිටත්කර හැරියේය. තෙරණුවෝ වහා එක් ගසකට නැගී පුරුෂප්‍ර‍මාණ උසින් සිටියෝය. බල්ලෝ ගස පිරිවරා සිටියහ. කෝක එහිගොස්, ගසට නැගුණත් තොපට මිදීමක් නැතැයි ඊතලතුඩකින් තෙරුන්ගේ යටිපතුල විද්දේය. තෙරණුවෝ එසේ නොකරවයි ඉල්ලා සිටියේමය. අනිකා උන්වහන්සේගේ ඉල්ලීම පිළිනොගෙන නැවත නැවතත් විද්දේමය. තෙරණුවෝ එක් පාදයක් විදින විට එය උඩට ගෙන අනිත් පයින් සිටිති. එය විදින විට අනික් පය තබා අනික ඔසවයි. මෙසේ ඒ වැද්දා තෙරුන්ගේ ඉල්ලීම පිළිනොගෙන දෙපාදයම විද්දේය.

තෙරුන්ගේ සිරුර පන්දම්වලින් පුළුස්සන්නාක් මෙන් දැවෙන්ට පටන්ගත්තේය. තෙරණුවන්ට වේදනාව නිසා සිහි එලවාගන්ටත් අපහසු විය. පෙරවූ සිවුර ගැළවී වැටෙද්දීත් එය සලකාගත නොහැකිවිය. ඒ සිවුර වැටී කෝකගේ හිස මුදුනේ සිට දෙපතුල දක්වා වැසීයනසේ පතිතවිය. සුනඛයෝ තෙරුන් වැටුණේය යන කල්පනාවෙන් සිවුර ඇතුළටම වැදී තම සැමියා ඇද ඇද ඉරඉරා කා දමා ඇට පමණක් ඉතිරි කළහ. සුනඛයෝ සිවුර ඇතුළෙන් එළියට අවුත් සිටියහ. ඉන්පසු තෙරණුවෝ එක් වියළිදණ්ඩක් බිඳගෙන ඔවුන් වෙත වීසිකෙළේය. සුනඛයෝ තෙරුන් දැක අපි අපේ ස්වාමියාම කා ඇතැයි වනයට ගියාහුය.

තෙරණුවෝ, ඔහු මගෙ සිවුරු අතරට ගොස් නැසුණෝය. එයින් මගේ සීලයට කිසියම් වරදක් වීදැයි කුකුසක් ඇතිකරගත්හ. උන්වහන්සේ ගසෙන් බැස බුදුන් සමීපයට ගොස් මුල පටන් ඒ පුවත දන්වා සිටියහ. ස්වාමීනි, මගේ සිවුර නිසා ඒ උපාසකයා නැසුණේය. ඉතින් මගේ සීලයට එයින් වරදක් නැද්ද? මගේ ශ්‍ර‍මණභාවයට හෝ එයින් වරදක් නැද්දැයි ඇසූහ.

බුදුරජාණන්වහන්සේ ඒ තෙරණුවන්ගේ වචන අසා මහණ ඔබේ සීලයට වරදක්වී නැත. ශ්‍ර‍මණභාවයටද වරදක් වී නැත. ඔහු පිරිසිදු සිල් ඇත්තෙකුට ද්‍රෝහීවී විනාශයට පැමිණියේය. එය මෙකල පමණක් නොව අතීතයේදීත් ද්වේෂ සිත් නැත්තන්ට ද්වේෂ කිරීමෙන් විනාශයට පැමිණියේමයයි වදාරා එහි අර්ථය පැහැදිලිකරමින් අතීතකථාව ගෙනහැර පෑහ.

අතීතයෙහි එක්තරා වෙදෙක් වෙදකම් පිණිස ගමේ ඇවිද කිසි වෙදකමක් නොලැබ බඩගිනි වී නික්ම ගොස් ගම්දොර බොහෝ ළමයින් සෙල්ලම් කරනු දැක මොවුන්ට සර්පයෙකු ලවා දෂ්ටකරවා වෙදකම් කොට ආහාරපාන ලබා ගන්නෙමියි සිතා එක් රුක්ඛිලයක හිස ඔසවා සිටින සර්පයෙකු පෙන්වා, එම්බල කොල්ලනි, අර පෙනෙන්නේ සැළලිහිණි පැටියෙකි. ඔහු අල්වාගනුවයි කීවේය. එක් ළමයෙක් සර්පයාගේ බෙල්ලෙන් තදින් අල්වා පිටතට ගෙන ඌ සර්පයකු බව දැන ඇවිදගෙන අවුත් ළඟ සිටි වෙදාගේ ඔළුව උඩට දැම්මේය. සර්පයා වෙදාගේ උරහිස් දැඩිව වෙළාගෙන දෂ්ට කොට එතැනම මරා දැමීය. මෙසේ මේ කෝක බලුවැද්දා පෙරත් ද්වේෂ නොකරන්නන්ට ද්වේෂකොට විනාශයට පැමිණියේ යයි ශාස්තෘන්වහන්සේ මේ අතීත කථාවද ගෙනහැර පා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළසේක:

තරහ නැති නිකෙලෙස්

පිරිසිදු අයට කිසිවෙක්

තරහෙන් පිරී ඉතිරී

තරහෙන් යමක් කළහොත්

යටිසුළඟෙහි දැමූ දූවිලි

දැමූ අය සොයා එනු මෙන්

විපාකය ඔහු වෙතට ගෙන එයි

එහි අප්පදුට්ඨස්ස යනු තමන්ට හෝ සියලු සතුන්ට ද්වේෂ නොකරන්නාටයි. නරස්ස යනු සත්ත්වයාටයි. දුස්සති යනු අපරාධ කිරීමයි. සුද්ධස්ස යනු අපරාධ නොකරන්නාටය. පොසස්ස යන මෙයද වෙනත් අයුරකින් සත්ත්වයාටම කියන නමකි. අනංගනස්ස යනු කෙලෙස් නැති තැනැත්තාටය. පච්චෙති යනු ආපසු එයි. පටිවාතං යනු එක් පුරුෂයෙක් පටිවාතයෙහි-සුළඟ ගසාගෙන තමන් වෙත එන වාතයෙහි සිට තවත් කෙනෙකුට පහර දෙනු කැමැත්තෙන් වීසිකරන ලද සියුම් දූවිලි ඒ පුරුෂයා වෙතම ආපසු එයිද, ඔහු උඩටම වැටෙයිද, එපරිද්දෙන් යම් කෙනෙක් තරහක් නැති කෙනෙකුට අතින් පයින් ගැසීමෙන් ද්වේෂය ඇතිකර ගනීද, ඒ ගැසූ පුද්ගලයා වෙතම මෙලොවදී හෝ පරලොවදී පැසවමින් ඒ පාපය විපාකදුක් වශයෙනුත් ආපසු එයි යන අර්ථයි. දේශනාවසානයෙහි ඒ භික්‍ෂුව රහත් බවෙහි පිහිටියේය. පැමිණි පිරිසටද එය සාර්ථක දේශනාවක් විය.

Na Uyane Ariyadhamma Thero

 




පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...