අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ
යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථීයති
සො ඉමං ලොකං පභාසෙති අබ්භා මුත්තො’ව චන්‍දිමා.
යමකු විසින් කළ පාපකර්‍මය (අර්‍හත්ත්‍වමාර්‍ගසම්ප්‍රයුක්ත චේතනා සංඛ්‍යාත) කුසලයෙන් පිහියේ ද (මුව ව සේ ද), හෙ තෙම වලා පටලයෙකින් මිදුනු පුන් සඳු (අහස බබුලුවන්නා) මෙන් (ස්කන්‍ධාදිසංඛ්‍යාත) මේ ලෝකය ඥානාලෝකයෙන් බබුලුවන්නේ ය.
කොසොල් රජුට අයත් එක් ගමෙක ගර්‍ග නම් බමුණෙක් විය. කොසොල් රජුගේ පුරෝහිත වූයේ ද ඒ බමුණු ය. මන්තානී නම් බැමිණියත් ඔහුට බිරිය වූ ය. ගර්‍ග නිසා මෑ පුතකු වැදූ ය. ඔහු උපන් වේලේ කොසොල් රට හැම ගමක නුවරෙක තුබූ සියලු ආයුධ දිලිහී ගියේ ය. රජුගේ මගුල් කඩුව ද දිලිහින. බමුණු තෙමේ සිය දරු උපන් නැකත බැලී ය. සොර නැකතින් උපන් බව දැක එය කාටත් නො දන්වා නිහඩ වී ය. පසුදා ඔහු රජගෙට ගොස් රජුගෙන් “රෑ දවස ගත වූයේ කෙසේ දැ” යි ඇසී ය. “ගුරුතුමනි! ඊයේ රෑ මා හිස් දොර තුබූ මගුල් කඩුව ගිනිගත්තක් සේ වුනා, එතැන් සිට නිදි නැතිව මට මා බිසොවට රජයට මොන නපුරෙක් වේ දැ යි සිතමින් රෑ දවස ගත කළා” යි රජ තෙමේ කීයේ ය. එවිට බමුණු “මහරජ! ඒ අනෙකෙක් නො වේ, ඊයේ රෑ මා ගෙයි උපන් ලදරුගේ අනුභාවයෙන් මගුල් කඩුව පමණක් නොව හැම ගමෙක හැම නුවරෙක තුබූ ආයුධ දිලිහි ගියේ වනැ” යි කියා සිටියේ ය. ඉක්බිති රජ තෙමේ එයින් වන වැඩ අවැඩ විචාළේ ය. බමුණු “ඌ සොරෙක් වන්නේ ය” යි කියා නැවැත රජුන්ගේ සිත් ගන්නා අටියෙන් “ඌ අද හෙට ම මරා වළ දමමි” යි කී ය. රජ තෙමේ “ඌ එකලා සොරෙක් වන්නේ ද, නැත, සොරමුළක් ගෙණ ගම් පහරණ සොරදෙටුවෙක් වන්නේ දැ” යි ඇසී ය. බමුණු “ඌ එකලා සොරෙක් වන්නේ ය” යි කී කල්හි රජ තෙමේ “එසේ නම් ඌ රකුව” යි කී ය.
බ්‍රාහ්මණ තෙමේ යහපතැ යි පෙරළා ගෙට අවුත් පුතුට “අහිංසක” යි නම් තබා පිළිදැගුම් කෙළේ ය. අහිංසක සොළොස් අවුරුදු වයසට පැමිණි කල්හි ශිල්ප උගන්නට තක්සලා නුවර දිසාපාමොක් මහඇදුරු වෙත යැවී ය. ඔහු එහි මැනැවින් ශිල්ප උගන්නේ ගුරුසිත් ගත්තේ ය. ගුරු වචනය නො ඉක්මවා සිටියේ ය. ඉතා කීකරු ය. කී දෙය වහා කෙළේ ය. හැම කෙනෙකුගේ මන වැඩුයේ ය. එහෙයින් එහි සිටි ආචාර්‍ය්‍යවරයෝ ඔහු කෙරෙහි ස්නේහ ඇත්තෝ වූහ. මෙසේ දවස ගෙවුනේ ය. මේ අතර ඔහු හා එකට උගන්නා අන් සිසුදරුවෝ ඊර්‍ෂ්‍යා ඇත්තෝ “මූ ආ දවසේ සිට අපගේ ගුරුවරුනට මූ මිසක් අපි නො පෙණෙන්නමෝ ය, එහෙයින් කුමක් හෝ කොට මූ කෙරෙහි ගුරුන් බිඳුවාපියමු” යි කුමන්ත්‍රණය කළහ. එහිදී “මූ නො මැලි හෙයින් මැලි එකෙකැ යි නො කිය හැක්ක, කුලීන හෙයින් අකුලීනැයි නො කිය හැක්ක, නුවණැති හෙයින් නුවණ නැතැයි නො කිය හැක්ක, එහෙයින් මේ කිසිවක් කියා ගුරුන් බිඳුවාපියන්නට නො හැක්ක, එහෙත් මූ ගුරු බිරිය හා අනාචාරයෙහි හැසිරේ යි කී කල්හි ගුරු මූ හා බිඳෙන්නේ ය” යි කතා කොට මේ වග ගුරුවරයාට කියන්නට ඒ සිසුදරුවෝ තුන් කොටසකට බෙදී සිට ගත්හ.
ඉන් එක් කොටසෙක සිසුදරුවෝ දිසාපාමොක් ඇදුරන් වෙත ගොස් “ආචාර්‍ය්‍යයන් වහන්ස! ඔබ වහන්සේට දැන්විය යුත්තෙක් ඇත, එයට අවසර දී වදාළ මැනැවැ” යි කීහ. “කියවු” යි ඔහු කී ය. එවිට ඔවුහු ලොකු රහසක් කියන්නා සේ බිය දක්වමින් ගුරුන් වෙත ලංව “ආචාර්‍ය්‍යතුමනි! අහිංසක ගුරු බිරිය හා අනාචාරයෙහි හැසිරේ” යි කීහ. ඒ බසින් උදහස් වූ දිසාපාමොක් “මා දරු එසේ නො කෙරේ” යි ඔවුන් පන්නා හැරියේ ය. නැවැත අන් දිනෙක දෙවන කොටසට අයත් වූවෝ ගොස් “ගුරුතුමනි! දැන්විය යුතු රහසෙක් තිබේ. එයට අවසරැ” යි කියා, “අහිංසක ගුරුමෑනියන් හා ඇඟ ඇලි කම් ඇත්තේ නො හොබනේ ය” යි කීහ. දිසාපාමොක් ඔවුන් ද පන්නා හැරියේ ය.
ඉන් පසු දවසෙක, තුන්වන කොටසට බෙදී සිටි සිසුදරුවෝ ගොස් “ගුරුතුමනි! අවසර! ඔබවහන්සේට නො දන්වා නො සිටිය හැකි බලගතු රහසෙක් අප ඇසට හමු වී ඇත. එය ඉතා නින්දිත එකෙකි, රට වැසියාහට එහිලා දැනුමෙක් වී නම් අපට ජීවත් වීමෙන් වැඩෙක් නැත, අප උගන්නා ශිල්පයෙන් වැඩෙක් නැත. එහෙයින් එය දන්වන්නට අපට අවසර දුන මැනැවැ” යි කීහ. දිසාපාමොක් “කියවු” යි. කී කල්හි ඔවුහු ද “ගුරුතුමනි! අහිංසකගේ හා ගුරුබිරියගේ හැසිරීම ඉතා නපුරු ය, අඹු සැමි දෙදෙනකුගේ හැසිරීම සේ ය, උන් දෙන්නාගේ හැසිරීමැ” යි කීහ. දිසාපාමොක් උන් කෙරෙහි ද උදහස්ව “මෙතැනින් යවු” යි කී කල්හි “ගුරුදේවය! අප කෙරෙහි උදහස් නො වනු මැනැව, ටික දවසක් ගිය තැන අප කී බසෙහි සැබෑබොරු දත හැකි වන්නේ ය” යි කියා ඔවුහු එතැනින් නික්ම ගියහ.
දිසාපාමොක් මුන්ගේ බසින් සැකයට වැටී ඒ ගැණ පරීක්‍ෂා කරණුයේ දවසෙක අහිංසක, ගුරු මෑණියන් හා පිය තෙපුල් කතා කරණු අසා “සිසු දරුවන් කීයේ සැබැවැ” යි අදහා ගෙණ කාමයෙන් අන්‍ධවූයේ, අහිංසක මරා දමන්නට සිතී ය. නැවැත ද “ඉදින් මම මූ මැරූයෙම් නම්, මා වෙත ශිල්ප උගන්නට එන්නෝ අඩු වෙත්, එවිට මට ලැබෙන ලාභ සත්කාර ද අඩු වන්නේ ය, එහෙයින් යම්කිසි උපායයක් යොදා මූ මැරුව මනාය” යි සලකා අනෙකකු ලවා, මරවන අටියෙන් “පුත! අහිංසක! මෙහි එව, තාගේ ශිල්ප ඉගැන්ම අවසන් වන්නට ලංව තිබේ, එය සම්පූර්‍ණ වන්නට උපචාර වුවමනා ය, එහෙයින් ශිල්පයට උපචාර පිණිස දහසක් මිනිසුන් මරා එව” යි අණ කෙළේ ය. “ගුරුදේවය! මම අන්නට හිංසා නො කරණ කුලයෙහි උපන්හි, එහෙයින් මම කෙසේ මිනිසුන් මරම් දැ” යි ඇඟ මැලි කැඩී ය.
එකල දිසාපාමොක් “පුත! අහිංසක! ඒ කළ යුතු ය, මේ වේලෙහි කුල සිරිත් ගැන සිතීම වරද ය, ශිල්පයට උපචාර නො කරන්නේ ශිල්ප නො ලබන්නේ ය” යි කී යේ ය. එවිට, අහිංසක ඉන් පසු කිසිත් නො බැණ දුනු හී සපයා ගෙණ වන වැද වන මැදින් යන එන්නන් මරා ලන්නට පටන් ගතු. මරා දමන්නවුන්ගේ ඇඳුම් කැඩුම් අබරණ ඈ කිසිවක් තෙමේ නො ගණියි. මැරූවන්ගේ ගණන පමණක් ගණියි. කල් යත්, මැරූ මිනිසුන්ගේ ගණන අමතක ව ගියේ එහෙයින් ඔහු එතැන් සිට එක මිනිසකුගෙන් එකැඟිල්ල බැගින් කපා ඒ ඒ තැන තැබී ය. එද නැසෙන බව දැක නැවැත කපා ගන්නා වූ ඇඟිලි වැලක අවුණ ගෙල දැරී ය. එහෙයින් අඞ්ගුලිමාලයි ප්‍රසිද්ධ විය.
අඞ්ගුලිමාල තෙමේ රාත්‍රියෙහි ගම් වැද ගෙවල දොර බිඳ ගෙට වැද හොත්තා වූ මිනිසුන් මරා ඇඟිලි කපා ගෙණ යන්නට පටන් ගත්තේ ය. ගම් වැස්සෝ බියෙන් වෙලා ගියහ. බියෙන් ගැහෙන්නට වූහ. කරන්නට කිසිවක් නො දත් ඔවුහු, ගෙවල හැර දරු බිළිඳුන් හා වටිනා ඇදුම් කැඩුම් හා රන් රීදී අබරණ ද මිල මුදල් ද ගෙණ නියම්ගම් තුළට වන්හ. නියම්ගම් වැස්සෝ එසේ ම කොට නුවර වටා කඳවුරු බැඳ සිට ගත්හ. ඒ අතර දවසෙක ගම් නියම්ගම් නුවර වැසි මිනිස්සු රජගෙය මිදුලෙහි රැස්ව සිට “දේවයන් වහන්ස! ඔබ වහන්සේගේ රජයෙහි අඟුල්මල් නම් සොරෙක් දුටු දුටුවන් මරා ඇගිලි කපා ගෙණ යයි, දර පලා සඳහා වනයට යන්නෝ දැන් නැත, හැම ගම් අගම් කෙළේ ය, නියම්ගම් අනියම්ගම් කෙළේ ය, දනවු නො දනවු කෙළේ ය, හැම දෙනෙක් ම බියෙන් තැති ගෙන සිටිත්, මෙසේ රට වැසියා පෙළන තවන මේ බිය වහාම දුරු කරණ සේක්වා” යි මහහඬින් මුරගාන්නට වුහ.
එවිට කොසොල් රජ තෙමේ අඟුල්මල් මරා දමන්නට රාජපුරුෂයන්ට නියම කෙළේ ය. එවේලෙහි කොසොල් රජු වෙත සිටි අඟුල්මල් සොරුගේ පිය වූ පෙරෙවි බමුණු තෙමේ ඒ නියමය අසා ගෙට ගොස් සිය බිරිය අමතා “සොඳුර! රජු විසින් මරන්නට නියම කරණ ලද අඟුල්මල් අනෙකෙක් නො වේ, දිසාපාමොක් වෙත ශිල්ප උගන්නට යැවූ අපගේ පුතු ය, දැන් මෙයට කළ යුත්තේ කුමක් දැ” යි කී ය. “හිමියෙනි! ඔබ ගොස් මපුතු කැඳවා ගෙණ එවු” යි ඕතොමෝ කියා සිටියා ය. එබසට ඔහු “සොඳුර! ලෝකයෙහි විශ්වාස නො කොට හැකි සිවු දෙනාගෙන් එකෙකි සොරු, ම පුත් ද දැන් සොරෙකි, එහෙයින් මට යෑ නො හැක්කැ” යි කී ය. එවිට බැමිණි “මට කුමක් වුවත් කම් නැතැ” යි පුතු රැක ගන්නට සිතා ගෙයින් නික්ම ගොස් වන වැද “පුත අහිංසක! ඇයි, මට මෙසේ දුක් දෙන්නෙහි? මෙහි එන්න! මෙසේ මිනිසුන් මරණු ඔබගේ කුලයට නමට ගැළපේ ද? පුත! අහිංසක! ශිල්ප උගත්තෙහි මිනිසුන් මරණු පිණිස ද? රාජ පුරුෂයන් ඔබ මරා දමන්නට දුනු හී ගෙණ රැක සිටිනු ඔබට දැනුම් නැත, මට දුක් දෙනු ඔබට තරම් නො වේ, දසමසක් ඔබ කුසෙහිලා දැරීම, ඒ කාලයෙහි මා විඳි දුක් දන්නෙම් මම මැ යි, වැදු දා පටන් ශිල්ප උගන්නට යන තුරු ඔබ වඩන්නට මා ගත් වෙහෙස නො දනීහි ද? මෙහි එන්න” යි මෙසේ කියමින් හඩමින් වනයෙහි ඇවිදින්නට වූවා ය.
එදවස උදෑසන බුදුරජානන් වහන්සේ මහකුළුණු සමවතට සම වැද ලොව බලා වදාරණ සේක් අඟුල්මල් සොරු දුටු සේක. දැක “මම මූ කරා ගියෙම් නම් මූ මාගෙන් බණ අසා රහත් ව අමාමහ නිවන දකින්නේ ය, නො ගියෙම් නම් මවු මරා මැරී ගොස් නිරයෙහි ඉපිද අතුරු කපක් දුක් විඳින්නේ ය, එහෙයින් මා මූ කරා යා යුතු ය” යි සැවැත් නුවර පිඬු සිඟා වළඳා වෙහෙරට වැඩ ඔහු කෙරෙහි කරුණාවෙන් මග බැස වඩනා සේක. එසේ වඩින්නා වූ බුදුරජුන් දුටු නොයෙක් දෙන බුදුරජුන් නො හැඳින “මහණ! තෙල මග නො යා, එමග සොරෙක් ඇත්තේ ය, ඌ ඉතා දරුණු ය, ලේ වැකුණු සිරුරු ඇත්තේ ය, කඩමාලු හැඳියේ ය, දුනු හී දරා සතුන් කෙරෙහි ටිකකුත් කුළුණු නැත්තේ ය, බිහිසුණු ය, ගම් නො ගම් කෙළේ ය, නියම්ගම් නැසූයේ ය, දනවු නො දනවු කෙළේ ය, දුටු දුටු මිනිසුන් මරා එකාගෙන් එකැඟිල්ල බැගින් කපා ගෙණ ඒ ඇඟිලි වැලක අවුණ මාලාවක් කොට දරන්නේ ය, මහණ! තෙල මග යන්නෝ විසි තිස් දෙනා බැගින් කාණ්ඩ ගැසීමෙන් යුතුව ම යෙත්, එහෙත් ඔවුහු යන්නෝ පණ බියේ ම යෙත්” යි ඉදිරියට පැමිණ කියා සිටියාහ. එහෙත් උන්වහන්සේ උන් කියන බස් නො ඇසෙන සේ එම මග ම වැඩ අඟුල්මල් සිටි වන පෙදෙසට ම වැඩි සේක.
එදවස අඟුල්මල්හුගේ අඞ්ගුලිමාලාවෙහි එකැඟිල්ලෙකින් දහස පිරෙන්නේ ය. එහෙයින් ඔහු එදවස පළමු කොට දුටු කෙනකු මරා ඇඟිලි දහස පුරවා ගෙණ ගුරුන් දැක ශිල්පයට උපචාර දක්වා ඉස් සෝදා නා සුදු පිළි හැඳ නෑ දැ හිතවතුන් වෙත යන්නට සිතා වනයට වදන් මගින් මදක් ඉවත් ව කවරෙක් ඒ දැයි බලා සිටියේ ය. ඒ වේලෙහි එමඟ වඩනා බුදුරජුන් දැක, පුදුමයට පැමිණ “මේ මග දස දෙන විසි දෙන තිස් දෙන සතළිස් දෙන පණස් දෙන බැගින් කණ්ඩායම් ගැසී ආවෝ ද මාගෙන් මැරුම් කෑහ. එහෙත් මේ මහණ, මා ගැණ නො දන්නා සේ එයි, මූ මැරුව මැනැවැ” යි සිතා දුනු හී ගෙණ බුදු රජුන් ලුහු බැඳ ගියේ ය. ඒ වේලෙහි උන්වහන්සේ “හැකි තරම් වේගයෙන් ලුහු බැඳ දිවනා අඟුල්මල් ප්‍රකෘති ගමනින් යන මට ලංවන්නට අසමර්‍ත්‍ථ වේවා” යි ඉටුහ. ඒ ඉටීම් බලයෙන් අඟුල්මල් දිවනා තැන් හා බුදුරජුන් වඩනා තැන් නො ලං වූ සේ පෙණෙන්නට වන. එහෙත් ඔහු දැන් දැන් මහණහු ගණිමි, මෙ තැන දී හසු කෙරෙමි, යි දොළොස් ගව්වක් තැන් ලුහු බැඳ ගියේ ය. බුදුරජානන් වහන්සේ ඉදිරියෙහි වළක් හෝ ගොඩක් දක්වන සේක. සොරු වළින් නැග ගොසින් බැස යන්නේ කට කෙළ සිඳී ඩහදියෙන් තෙත් වූ සිරුරු ඇත්තේ වෙහෙසට පත් විය.
ඉක්බිති ඔහු “අනේ! කිම, මම පෙර දුවන ඇතුන් දුවන අසුන් දුවන රිය දුවන මුවන් දුව ගොස් අලා ගතිමි. එහෙත් අද හැකිතරම් වේගයෙන් දුවනා මට පියවිගමනින් යන මේ මහණහු අල්වා ගත නො හැකිය” යි සිතා බුදුරජුන්ට “සිට මහණැ” යි කීයේ ය. බුදුරජානන් වහන්සේ “මම සිටියෙමි, තෝ ද සිටුව” යි වදාළ විට “මහණ! තෝ නො සිට යන ගමන් සිටියා වූ මට තෝ සිටුව, යි කියහි, මේ කියනු යුක්ති දැ” යි ඇසී ය. එකල්හි බුදුරජානන් වහන්සේ “මම සැමදා ක්‍ෂාන්තිමෛත්‍රී ආදී ගුණයන්හි පිහිටා ගත් බැවින් සිටියෙම් නම් වෙමි, තෝ එසේ නො වෙහි, මෙතෙක් දහස් ගණනින් සතුන් මරන්නා වූ තෝ එබඳු කිසි ගුණයෙක නො පිහිටි බැවින් නො පිහිටියේ වෙහි, ඉරියවු විසින් සිටියෙහි ද, තා කළ අකුසල් විසින් සිවු අපායයෙහි උපදනා බැවින් නො සිටියෙහි” යි වදාළ සේක.
එකල්හි අඟුල්මල් “මෙ වැනි අභීත නාදයෙක් අනෙකකු විසින් කළ නො හැක්කේ ය, මේ නාදය සුදොවුන් පිත් මහමහණහුගේ විය යුතු ය, සියුම් නුවණැති ඔහු මා දැක මට වැඩ පිණිස මෙහි ආයේ වන, මා කෙරෙහි උපන් කරුණාව නිසා මෙහි ආයේ වනැ” යි තම අත තුබූ දුනු හී වළකඩෙක බහා ගොස් බුදු රජුන්ගේ පාමුල්හි වැතිර වැඳ “තිලෝගුරු හිමියනේ! මා පැවිදි කර ගන්නැ” යි ඇය ද සිටියේ ය. එකල්හි බුදුරජානන් වහන්සේ ඔහු පැවිදි කොට ඔහු හා ජේතවනාරාමයට වැඩි සේක. එයින් ටික දවසක් ගිය තැන් අඞ්ගුලිමාල ස්ථවිර තෙමේ රහත් බවට පැමිණ රහතුන් අතුරෙහි එක්තරා එකෙක් විය. දිනෙක අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ විවේකයට පැමිණ එකඟ සිතින් යුක්තව අර්‍හත්ඵල සුඛය විඳිනුවෝ;
“පෙර පමාවූවෙක් පසුව නො පමා වේ නම්,
හේ, වලාමුත් සඳසේ මේ ලොව බබලවාලයි”
යනුවෙන් නම ප්‍රීතිය ප්‍රකාශ කළහ. මේ ප්‍රීති ප්‍රකාශයෙන් පසු උන්වහන්සේ පිරිණිවී ගියහ.
එකල්හි සෙසු භික්‍ෂූන් වහන්සේලා එක්ව “ආයුෂ්මත්නි! අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ කොතැන උපන්නෝ දැ” යි ධර්‍මසභාවෙහි කතාවක් ඉපද වූහ. බුදුරජානන් වහන්සේ ඒ අසා “මහණෙනි! මාගේ පුත් පිරිනිවියේ ය” යි වදාළ විට “ස්වාමීනි! මෙතෙක් දෙනාත් මරා පිරිනිවියේ දැ” යි නැවැත ඇසූ හ. “අඞ්ගුලිමාල මෙතෙක් කල් කල්‍යාණමිත්‍රයකු නො ලැබ පව් කෙළේ ය, පසුව ඔහු කල්‍යාණ මිත්‍රයකු ලැබ අප්‍රමත්ත විය, පින් දහම් කෙළේ ය, එයින් ඔහු මුලින් කළ සියලු පව් වැසී ගියේ ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
යස්ස පාපං කතං කම්මං කුසලෙන පිථියති,
සො ඉමං ලොකං පභාසෙති අහා මුත්තොව චන්‍දිමාති.
යමකු කළ පව්කම්, පින් කමින් වැසී යේ ද, ඔහු වලාපටලයෙන් මිදුනු සඳසේ මෙ ලොව බබලවාලයි.
යස්ස පාපං කතං කම්මං = යමකු විසින් කළ පව්කම.
කුසලෙන පිථියති = කුසලින් වැසී යේ ද.
මවු මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, බුදුරජුන් සිරුරෙහි ලේ මීසලවීම, සමානසංවාසකසඞ්ඝයා භේද කිරීම, යන ආනන්තර්‍ය්‍යය කර්‍ම නො කළ රහත්වීමේ වාසනා ගුණය ඇති යමකු විසින් පාපමිත්‍රයන් හා එකතුවිමෙන් ප්‍රාණඝාතාදී අකුශලකර්‍ම කොතෙක් කරණ ලද නමුත් ඒ සියල්ල කල්‍යාණමිත්‍ර සංසර්‍ගය නිසා පසුව කළ පින්බලයෙන් පිළිවෙත් පුරා රහත්වීම් හේතුවෙන් වැසී යන්නේ ය. අර්‍හන්මාර්‍ගකුශලය සියලු පව් සිඳ හරින්නේ ය. ඔහු පිළිබඳ සියලු අකුසලයෝ විපාක නො දෙන තැනට යන්නෝ ය. රහතුන් වහන්සේට මතු ඉපැමක් නැති බැවින් උන්වහන්සේ පෙර කළ කිසිත් අකුසලයෙක් ප්‍රතිසන්‍ධි විපාකයක් නම් නො දෙන්නේ ය. අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ රහත් වූවෝ එහෙයිනි. උන් වහන්සේ පෙර පවිටු මිතුරන් හා එක්ව නොයෙක් පව්කම් කළෝ ද ආනන්තර්‍ය්‍යය කර්‍මයක් නම් කිසිදාකත් නො කළෝ ය. එහෙයින් පසුව බුදුරජානන් වහන්සේගේ ආශ්‍රයෙන් පිළිවෙත් පුරා රහත් වූවාහු තමාගේ පෙර වූ සියලු අකුසල් නසාලූහ. අඞ්ගුලිමාල ස්ථවිරයන් වහන්සේ පිළිබද වූ හැම අකුසලයෙක් ම අවිපාකභාවයට පැමිණියේ උන්වහන්සේගේ අර්‍හනමාර්‍ග කුශලබලයෙනි. එය අකුශලච්ඡේදක විය. එහෙයින් මෙය උපච්ඡේදක නම් වේ. අජාසත් රජුන් පිළිබද වූ සෝවන් වීමේ වාසනා ගුණය පිතෘඝාතක අකුශලකර්‍මය විසින් නසන ලද්දේ ය. මේ අකුශලයෙන් කුශලය වැසී ගිය තැනෙකි. මේ ද උපච්ඡේදක නම් වේ. මෙයට ප්‍රවෘත්තිවිපාක විසින් උන්වහන්සේ බලු කපුටු ආදීන්ට ගැසූ ගල් මුල්පහරවලට ලක් වූහ.
සො අබ්භා මුත්තො චන්‍දිමා ඉව ඉමං ලොකං පභාසෙති = ඔහු වලාවකින් මිදුනු සඳසේ මේ ලොව බබලවාලයි. [1]
ධර්‍මදේශනාවන්ගේ අවසානයෙහි බොහෝ දෙනෙක් සෝවන් ඵලාදියට පැමිණියෝ ය.
අඞ්ගුලිමාලස්ථවිර වස්තුව නිමි.
No comments:
Post a Comment