Thursday, February 3, 2022

තුන් සිත පහදා කරන පින්කම උතුම්

 

තුන් සිත පහදා කරන පින්කම උතුම් 

අලෝභ, අදෝස, අමෝහ චේතනාවෙන් පින්කමේ ආරම්භය, පින්කම කරන මොහොත, පින්කමේ අවසානය ආදී අවස්ථා තුනෙහි ම තුන් සිත පහදා ගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුක්තව උසස් පින්කමක් සිදු කළ යුතු යි. එහි අනුහසින් තමන්ට සතර අපායෙන් අත් මිදී සුගතියක ම වාසය කළ හැකි යි. 

ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරනු ලබන සියලු පූජාවන්ගෙන් ලැබෙන පින අසීමිත යි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කරන මල්, පහන්, ගිලන් පස, දැහැත් , බෙහෙත්, ඖෂධ, දාන මාන ආදී පූජාවෝ විපාක දෙන්නේ කල්ප ගණනින්. සියලුම සැප සම්පත් ලබා දෙන පින්කමක්. 

බුදුරජාණන් වහන්සේ නමක් නොමැති කාලයක එවැනි පින්කම් කළ නො හැකි යි. ඒ නිසා කවුරුත් බුද්ධ ශාසනය පවතින තුරා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන්, චිත්ත ප්‍රසාදයෙන් යුක්තව තුනුරුවන් වැඳ නමස්කාර කරන්න. 

බුදුන් වහන්සේගේ කාලයේ සුමන නමින් සැදැහැවතෙක් රජගහනුවර වාසය කළා. ඔහු දිනපතා ම බිම්බිසාර රජතුමාට සමන් මල් නැළි අටක් බාර දී රජතුමාගෙන් තෑගි බෝග ලබා ගන්නවා. එක්තරා දිනයක රජ මාලිගයට සමන් මල් රැගෙන යන ඔහු අබියසට බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළා. සවණක් ඝන බුදු රැස් විහිදුවමින්, සන්සුන් ගමනින් විශාල සඟ පිරිසක් පිරිවරා වැඩම කරන බුදුන් වහන්සේගේ දසුනින් සුමන මල් කරුවාගේ සිත ශ්‍රද්ධාවෙන් පැහැදී ගියා. මාලිගයට රැගෙන යන මල් ටික පමණක් තමන් සතුව තිබූ ඔහු, මාලිගයට මල් නොලැබුණොත් ලැබෙන රාජ දඬුවම ගැනවත් නොසිතා, බොහොම ශ්‍රද්ධාවෙන් බුදුන් වහන්සේ දෙසට මල් මිටක් මුදා හැරියා. එය බුද්ධානුභාවයෙන් බුදුන් වහන්සේගේ සිරස මත මල් වියනක් සේ පිහිිටියා. තවත් මල් දෝතක් පිදුම් දුන් විට, එක් පසකින් මල් වියනක් සේ පහතට ඇද හැලුණා. තවත් මල් දෝතකින් පිදුම් දුන් විට අනෙක් පසින් මල් වියනක් සේ ද, ඉතිරි මල් ටික ද පිදුම් දුන් පිට පිටුපසින් මල් වියනක් සේ ද අසිරිමත් වූවා. දසත විහිදී ගිය බුදු රැසින් ද, පිදුම් දෙනු ලැබූ සමන් මල් ද මණ්ඩපයක් සේ අලංකාර වූවා. ශ්‍රද්ධාවෙන් සිත පිවිතුරු වූ සුමන මල් කරුවා දොහොත් මුදුන් තබා අසීමිත ගෞරවයකින් මල් ටික පූජා කළා. මේ පින්කම, කුසලානිසංස ධර්මය, නිවන් දකිනා තුරු ඵල විපාක දෙන පින්කමක්. 

නිවසට පැමිණි සුමන මල් කරුවා මේ කතාව තම බිරිඳ හමුවේ පැවසූ විට , එයින් බියට පත් බිරිය මල් නො ලද රජතුමාගෙන් රාජ දඬුවම් ලැබේදෝ බියෙන් තම දරුවනුත්, ස්වාමියාත් සමඟ මාලිගාවට පැමිණ රජතුමා හමුවේ සියලු තතු පැහැදිලි කළා. මේ මොහොතේ බුදුන් වහන්සේ ද මල් වියන යටින් රාජ මාලිගාවේ මිදුලේ වැඩ සිටියා. මේ දසුනෙන් රජතුමා ද බොහොම සතුටට පත්ව, අසුනක් පනවා ‘ස්වාමීනි, ජීවිත පරිත්‍යාගයෙන් සුමන මල් කරුවා සිදු කළ මල් පූජාව ගැන පැවසුවා. එහිදී ආනන්ද ස්වාමීන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් කළ මල් පූජාවේ අනුසස් කෙතරම් දැ’යි බුදුන් වහන්සේගෙන් විමසා වදාළා. ‘ආනන්දය, කල්ප ලක්ෂයක් සුගතියක ම වාසය කර, සුමන නමින් පසේ බුදුන් වහන්සේ නමක් ව නිවනට පත්වන බව දේශනා කර වදාළා.

මේ කාරණය කවුරුත් ඉස්මතු කරගෙන පින්කම් අසම්පූර්ණ ව සිදු නොකර, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන්, ච්ත්ත ප්‍රසාදයෙන්, පිරිසුදු දෑතින්, පිරිසුදු සිතෙන් , පිරිසුදු බඳුනක මල් හොඳින් තැන්පත් කර, බුදු ගුණ සජ්ඣායනා කර දෙදණ නමා වන්දනා මාන කරන්න. එබඳු පූජාවක් කරන ඕනෑම කෙනෙකුට සුමන මාලාකාරයා සේ සුගතියක වාසයෙන් නිවන් පසක් කළ හැකි යි. 

මෙවැනි පූජාවන් බාර ගන්න සුදුසු එකම උත්තමයා බුදුන් වහන්සේ පමණ යි. වීත රාග, වීත දෝස, වීත මෝහ නම් බුදුන් වහන්සේ උදෙසා කරන පූජාව මහත් ඵල, මහත් ආනිසංස දායක වෙයි. සැරියුත් මහ රහතන් වහන්සේ ද , අනෝම දස්සී බුදුන් වහන්සේගේ කාලයේ දී සිදු කළ දැවැන්ත මල් පූජාවේ අනුහසින් ඒකාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් සැප විපාක ලැබ ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දුටුවා. එසේම පියුමතුරා බුදුන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කළ සෑයට මල් පූජා කළ අය කල්ප ලක්ෂයක් ම සුගතියක වාසයෙන් නිවනට පත් වුණා. තව ද වැටකෙයියා මල් පූජාවක් සිදු කළ පින්වතෙක් කල්ප ලක්ෂයක් දිව්‍ය සම්පත් විඳ නිවනට පත් වුණා. මේ ගැන සිතා, කල්පනා කර, ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, ඕනෑකමෙන් යුක්තව ම පින්කම් කළ යුතු යි.

මරණින් මතු මෙවැනි පූජා කළ නොහැකි අතර, කුමන උපතක් ලබනවා දැ’යි අපට හිතන්න බැහැ. ඒ නිසා දුර්ලභ ව ලබාගත්, මනුෂ්‍ය ජීවිතය ගැන ම සිතා , දුර්ලභ ව ලැබූ බුද්ධ ශාසනය ගැන සිතා හැකිතාක් තම තමා විසින් මේ මහා පින්කම් සිදු කර ගන්න. මේවායේ අනුසස් ලබන්නේ තමන්ම යි. අලෝභ, අදෝස, අමෝහ චේතනාවෙන් පින්කමේ ආරම්භය, පින්කම කරන මොහොත, පින්කමේ අවසානය ආදී අවස්ථා තුනෙහි ම තුන් සිත පහදා ගෙන ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් යුක්තව උසස් පින්කමක් සිදු කළ යුතු යි. එහි අනුහසින් තමන්ට සතර අපායෙන් අත් මිදී සුගතියක ම වාසය කළ හැකි යි. 

මෙලෙස බුදුරජාණන් වහන්සේ උදෙසා කරන සියලු පූජා පින්කම් නිවන් දකිනා ජාති දක්වා ම අපට සැප විපාක ලබා දෙයි. නැවත නැවතත් එහි විපාක ලැබෙන අතර රහත් ව පිරිනිවන් පාද්දී මේ සියල්ල අහෝසි වෙයි. ඒ නිසා කවුරුත් උතුම් කුසල ධර්මවල සිත යොදවා , පිනේ වැදගත්කම සිතා, බුද්ධ , ධම්ම, සංඝ රත්නත්‍රය උදෙසාම සැදැහැ සිතින්, නිවන් සුව ලැබේවා යන පැතුමෙන් ම පින්කම ගෞරවයෙන් සිදු කර ගන්න. ඉහත සඳහන් චරිත කතා සේ තමාට ද සංසාර ගමන සුවපත් ව සා පිපාසාදී දුකකට පත් නොවී , සතර අපායකට පත් නොවී, අන්ධයෙක්, ගොළුවෙක්, බිහිරෙක් , මන්ද බුද්ධික කෙනෙක් නොවී සකල සම්පත් වලින් පිරිපුන් ජීවිත පෙළක් ලබාගෙන බියකරු සංසාර දුකෙන් නිදහස් ව අමා මහ නිවනට පත්වෙන්නට හේතු වාසනා වේවා.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...