සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි: ශබ්ද ඝෝෂා හමුවේ ද නැත බාධා අම්බලන්ගොඩ, කහව ගල්දූව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රමයේ මහා ලේඛකාධිකාරී කම්මට්ඨානාචාර්ය ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද කහගොල්ලේ සෝමවංශ හිමි සම්මා සමාධි යනු නිවැරැදි ව සිත එකඟ කර ගැනීම යි. එනම්, චිත්ත සමාධිය යි. මෙය සැමටම ලබන්න අපහසු යි. සෑම දෙනාගේ ම සිත වික්ෂිප්ත යි. අළු ගොඩකට ගලක් ගැසුවා සේ සිත වික්ෂිප්ත යි. ඒ සිත ශාන්ත බවට පත්කර ගන්න, තැන්පත් කරගන්න, අපට ලොකු වෙහෙසක් ගන්නට වෙනවා. එයට සති, සමාධි, ඥාන දියුණු කර ගන්නට අවශ්‍යය යි. සිත තැන්පත් කර ගැනීමෙන් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය ලබා ගන්න පුළුවන්. මේවාට ධ්‍යාන අංග තියෙනවා. විතක්ක, විචාර , පීති, සුඛ, ඒකග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානය, විචාර, පීති, සුඛ, ඒකග්‍රතා සහිත තෘතීය ධ්‍යානය, සුඛ ඒකග්‍රතා සහිත තෘතීය ධ්‍යානය, උපේක්ඛා ඒකග්‍රතා සහිත චතුර්ථ ධ්‍යානය යනුවෙන් ධ්‍යාන සතර බුදුරජාණන් වහන්සේ කොතෙකුත් පැහැදිලි කර තිබෙනවා. චිත්ත සමාධිය ලබා ගත යුතු යි. ඒ සඳහා සිහි කල්පනාවෙන් වැඩ කළ යුතු යි. එවිට සමාධිය තහවුරු ව එක අරමුණක වැඩ කළ හැකි යි. එක අරමුණක ම විනාඩි පහක් , දහයක් මෙනෙහි කළොත්, එය වැඩිකරගෙන පැයක් පමණ මෙනෙහි කිරීමෙන් තමන්ගේ සිතේ ලොකු සමාධියක් තිබෙන බවට සතුටු වෙන්න. සමාධිය තහවුරු කරගෙන ඉදිරියට මේ ගමන යා යුතු යි. ධ්‍යාන අවස්ථාවෙන් විදර්ශනා ඥාන වලටත්, එතැනින් මාර්ග ඵල අවස්ථාවටත් යන්න පුළුවන්කම තියෙනවා. එයට අවශ්‍ය කරන්නේ සිත ම පිරිසුදු කිරීම යි. සිතේ කහට, පව් සිතිවිලි වැඩියි. ඒවා ම නැති කළ යුතු යි. කාම රාග අනුසය (පංචකාම වස්තූන් කෙරෙහි ඇති තෘෂ්ණාව) භව රාග අනුසය,(උපත ලබා සිටින භවයට ඇති ආශාව) දිට්ඨාඅනුසය(නොයෙක් මිසදිටුකම එනම් නොයෙක් වැරැදි අවබෝධ) පටිඝානුසය (තරහ, වෛර , ක්‍රෝධ ඊර්ෂ්‍යාවෙන් හටගන්නා පටිඝය) , මානානුසය( මානයෙන් උඩඟුබව) අවිජ්ජානුසය( මෝහය) ආදී අනුසයන් හටගන්නේ සිත තුළම යි. සප්තානුසය නැති කරන්න සම්මා සමාධිය ඉතා වැදගත්. ‘මම ප්‍රථම ධ්‍යානය දියුණු කරන්නෙමි, මම ද්විතීය ධ්‍යානය දියුණු කරන්නෙමි, මම තෘතීය ධ්‍යානය දියුණු කරන්නෙමි, මම චතුර්ථ ධ්‍යානය දියුණු කරන්නෙමි යනුවෙන් සිතේ අධිෂ්ඨානයෙන් තමන්ගේ සම්මා සමාධිය දියුණු කළ යුතු යි. ‘මම සම්මා සමාධිය දියුණු කරන්නෙමි යනුවෙන් නිබඳව ම සිත සිතා මෙනෙහි කරද්දී සිතේ සමාධිය හොඳින් තහවුරු ව ඉදිරියට යන්න පුළුවන්. මෙලෙස කල්පනාවෙන් කොයි කවුරු වුණත්, ගුණ ධර්ම පිළිබඳ මනා වැටහීමක් ඇතිකරගෙන ම ධර්මයට බැසගත යුතු යි. එවිට අඩුපාඩු සකසාගෙන, ගුණ නුවණ ද දියුණුවෙන් තමන්ගේ ගමන අවසන් කරගන්න පුළුවන්. සම්මා සමාධි අවස්ථාව එනම්, සිත තැන්පත් කරගෙන සුළු මොහොතක් හෝ එනම්, විනාඩි පහක් දහයක් මෙනෙහි කළා නම්, සම්මා සමාධියට වැටෙයි. එවිට නිවැරැදි ප්‍රඥාවත් අනිවාර්යෙන් පහළ වෙයි. මේ ගැන හොඳ හසල දැනුමකින් තමන්ගේ භාවනා දැනුමත් හොඳින් දියුණුවෙන් කුමන දෙයකින්වත් කරදර, පීඩා, බාධක නැතිව අර්හත්වය දක්වා ම සුවසේ ගමන් කරන්නට පුළුවන්කම තිබෙනවා. සම්මා සමාධි ධ්‍යාන අවස්ථාව බව සඳහන් කළා. ඒ ධ්‍යාන හොඳින් දියුණුවෙන් ඉදිරියට මාර්ග ඵල අවස්ථාව දක්වා යා යුතුයි. උත්තරීතර ගුණ සමුදායක් සම්මා සමාධි වෙයි. සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි ආදී මාර්ගාංග තුන ‘සමාධි’ වෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය ශීලය නම් වෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මාර්ගාංග ප්‍රඥා නම් වෙයි. ශීල, සමාධි, ප්‍රඥා යනු බුද්ධ ශාසනය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යි යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මෙම දේශනාවන්ට අනුව හොඳින් කටයුතු කළොත්, කාටත් කරදර, පීඩා , බාධා නැතිව නිර්වාණය දක්වා ඉදිරියට යන්න පුළුවන්. කේළාම් කීමෙන්, පරුෂ වචන සහ හිස් වචන කථාවෙන් වැළකිය යුතු යි. එවිට සිත තැන්පත් කරගන්න ලෙහෙසි යි. කථාව වැඩිනම් සිත තැන්පත් කරගන්න අපහසු යි. ඒ නිසා කථාව අඩුකර සිල්ගුණ වැඩි දියුණු කරගත යුතු යි. තම ගුණ දියුණුවීගෙන යද්දී සමාධිය තහවුරු කරගත හැකි යි. සමාධිය සැමටම ලබන්න අපහසු යි. සමාධිය ලබන්නට හොඳින් බණ භාවනාවල යෙදිය යුතු ම යි. මේවා දවසකින් දෙකකින් දියුණු කර ලබන්න බැහැ. දින ගණනාවක් වෙහෙස මහන්සි වී අරමුණු මෙනෙහි කිරීමෙන් සමාධි අවස්ථාවට පැමිණිය යුතු යි. එසේම ආර්ය මාර්ග තත්ත්වයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. එලෙස පත් වෙද්දී රාග, ද්වේශ, මෝහ ආදී පව් සම්පූර්ණයෙන් විනාශ ව යනවා. එවිට සිතට, ගතට ලැබෙන්නේ විශාල සවියක්. ඒ නිසා භාවනා ක්‍රම දියුණු කරගන්නට ද පුදුම ශක්තියක් ලැබෙනවා. භාවනා පින වැඩි වූ විට පව් යටපත් ව යයි. ඉඩ ලැබුණු විගස විපාක ද ලැබෙයි. නමුත් පින වැඩිනම්, පිනෙහි විපාක ලැබී පාපය යටපත් ව විපාක දෙන්නට අවස්ථාවක් නැති වුණොත්, අහෝසි කර්ම වෙලා තමන්ගේ සිත නිර්වාණයට ප්‍රවිශ්ඨ වෙනවා. එසේනම්, නිවන් දකිනා ජාති දක්වා ම නොයෙක් කරදර, පීඩා තිබිය හැකි යි. ඒ සියල්ල යටකරගන්නැ’යි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට පැහැදිලි කර තිබෙන්නේ. එලෙස බුදු දහමෙන් සඳහන් කළ පරිදි තමන්ගේ සිත තැන්පත් කරගන්නට නම්, ණය නැති , ප්‍රශ්න අඩුකෙනෙක් විය යුතු යි. එවිට සිත තැන්පත් කරගන්න පහසු යි. එසේ ම කරදර පීඩා, බාධා වලින් තොර විය යුතු යි. එවිට ද සිත තැන්පත් කරගන්න පහසුවක් වෙයි. ගුණ නුවණ සිතා, කල්පනා කරද්දී ද තම සම්මා සමාධිය දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා හොඳ ත්‍යාග වන්තයෙක්, ඉවසිලිවන්තයෙක් විය යුතු යි. අවංක නිහතමානී විය යුතු යි. එවිට චිත්ත සමාධියට බාධා නැතිව සමාධි අවස්ථාවට පැමිණිය හැකි යි. මෙම ලිපි පෙළෙහි අවසාන කොටස බිනර අමාවක (සැප්තැම්බර් 28) පත්‍රයේ පළවේ. |
No comments:
Post a Comment