Sunday, October 24, 2021

Dhammapada



කො නු භාසො කිමානන්‍දො නිච්චං පජ්ජලිතෙ සති,


අන්‍ධකාරෙන ඔනද්ධා පදීපං න ගවෙස්සථා ති.


නිතොර ගිනි ඇවිල දැවෙද්දී, කවර සිනහවෙක් ද, කිනම් සතුටෙක් ද, අඳුරෙන් වැසුනහු පහණක් කිම නො සොයහු.


කො නු භාසො = කවර සිනහවෙක් ද?


කො යනු කිං යන්න මුල් කොට ඇත්තේ ය. එය සලිඞ්ගික වේ. “කිංසුධ විත්තං පුරිසස්ස සෙට්ඨං, කිං සීලං, කො සමාධි” යන තැන්හි සේ ය.


නු යනු නිපාතයි. ප්‍රශ්න, සංශය යන අරුත්හි එයි. “කස්මා නු තුම්හෙ දහරං න මීයරෙ, අරහං නු ඛොස්මි, නො නු ඛොස්මි” යනාදී බැහි සේ ය. මෙහි ප්‍රශ්න යෙහි ආයේය.


සන්තෝෂය හාස නම් “හාසොතීති = හාසො, හසති යෙන = සො හාසො, හසනං = හාසො යනු අරුත් කීම ය. තුටු පහටු අයුරය හාස.


කිං ආනන්‍දො = කිනම් සතුටක් ද?


කිං ශබ්දය “ කිං සෙවමානො ලහතීධ පඤ්ඤා, කිං රාජාදයො ලොකං පාලෙන්ති, යං කිං චි රූපං අතීතානාගතපච්චුප්පන්නං, කිං තෙ වක්කලි, ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, කිං නු කාහාමි දෙවතෙ” යන මේ තැන්හි පිළිවෙළින් ප්‍රශ්න, ගර්‍හා, අනියම, නිරර්‍ත්‍ථක, වචන ප්‍රතිග්‍රහණ යන අරුත්හි එන්නේ ය. තවත් ස්වරූප, වස්තු, ක්‍රියා, කාරක, කෘත්‍ය යන අරුත්හි ද, යෙදේ. මෙහි ද ප්‍රශ්නයෙහි ය.


දැඩි සතුට ආනන්‍ද නම්. ‘ආහුසො නන්‍දයතී ති = ආනන්‍දො’ යනු විවෘතියි. ‘ආ භූසා තුට්ඨි ආනන්‍දෙති වුච්චති’ යනු ටීකා ය.


නිච්චං = නිතොර. අතර නො තබා. නො කඩවා.


අතර නො තබා නො කඩවා පැවැත්ම ‘නිච්චං’ යන්නෙන් කිය වේ. “තොරතෝන්චියක් නැතුව” යනු සාමාන්‍ය ව්‍යවහාරයයි.


පජ්ජලිතෙ සති = ගිනි ඇවිල දන කල්හි. ගිනි ගෙණ තදින් ඇවිල ගත් කල්හි.


මේ සත්ලොව රාගාදී එකොළොස් ගින්නකින් රෑ දාවල හැම මොහොතෙක්හි අතර නො තබා තදින් ඇවිල ගෙණ දැවෙන්නේ ය. රාග, දෝස, මෝහ, ව්‍යාධි, ජරා මරණ, සෝක, පරිදේව, කායික දුක්ඛ, චෛතසිකදුක්ඛ, උපායාස යන මේ ය ඒ ගිනි එකොළොස. මේ ඔවුන්ගේ සංග්‍රහ ය.


“රාගො ච දොසො ච මොහො ච ව්‍යාධි


ජරා ච මරණම්පි ච සොකමෙව


පරිදෙවදුක්ඛම්පි ච දොමනස්සං


පායාසමෙකාදසමග්ගිමාහු”


රාගාදීහු ඇතුළත්හි සිට සත්ත්‍වයා පිළිබඳ හැම ගුණයක් දවන්නෝ ය. සත්ත්‍වයා පුළුස්සන්නෝ ය. එහෙයින් මොවුහු ගිනි වෙති. සත්ත්‍වශරීරගත සප්තධාතුන් ම වියලන්නෝ ය මොවුහු. සත්ත්‍ව ශරීරය ශුෂ්ක කරන්නෝත් මොහු ය.


අන්‍ධකාරෙන ඔනද්ධා = අඳුරෙන් වැසුන තෙපි අඳුරෙන් වළඳනා ලදහ.


මෙහි අන්‍ධකාර නම්, අවිද්‍යා ය. ප්‍රකෘති අන්‍ධකාරය පියවි ඇසින් දැකීම බැලීම නසන්නේ ය. පියවි ඇස වැඩට නැත්තක් කරන්නේ ය. චක්ඛුවිඤ්ඤානයාගේ ඉපැත්ම වළකන්නේ ය. අවිද්‍යාව ද එබඳු ය. නුවණැස නසන්නේ ය. සත්‍යය වසා ලන්නී ය. සත්ත්‍වයා නො මග යවන්නී ය. එහෙයින් අන්‍ධකාරැ යි වදාළ සේක.


ප්‍රකෘතිඅන්‍ධකාරයෙන් හැසී ගැවසී ගත් සත්ත්‍ව ලෝකය ක්‍රියා විරහිත වන්නා සේ අවිද්‍යාන්‍ධකාරයෙන් වැළඳුනු සත්ත්‍වලෝකයත් ක්‍රියාවිරහිත වන්නේ ය.


පදීපං න ගවෙස්සථ = පහන් කිම නො සොයහු ද?


මෙහි පදීප නම්, මගපල නුවණ ය. සූර්‍ය්‍යාදීලෝකාදී වූ යම්කිසි ආලෝකයක්හුගේ ලැබීමෙන් ප්‍රකෘති අන්‍ධකාරය නැසී යන්නා සේ මග පල නුවණ ලැබීමෙන් අවිද්‍යාන්‍ධකාරය නැසී යන්නේ ය. බුදුරජානන් වහන්සේ “අවිද්‍යා නැමැති ගනඳුරෙන් වැළඳ ගත්, අවිද්‍යාන්‍ධකාරයෙන් වැසී ගිය තෙපි එය දුරලීම පිණිස, එයින් ගොඩ එනු පිණිස කුමක් හෙයින් නැණ පහන නො දල්වවු ද? කිම නො සොයවු දැ” යි මෙයින් වදාළ සේක. අවිද්‍යාන්‍ධකාරයෙන් අඳුරුව ගිය සත්ත්‍වලෝකයහි නැණ පහන දැල්වියයුතු ය යනු එහි අදහස ය.


මුළු සත්ලොව රෑ දාවල හැම මොහොතෙක අතර නොතබා එක සැටියෙන් රාගාදී වූ ගිනි වලින් ඇවිල දැවෙන්නේ ය. එසේ දැවෙන මේ සත්ත්‍වයාහට මොන සිනහවෙක් ද, මොන සතුටෙක් ද, සිනහ වන්නට සතුටු වන්නට කරුණු නැත්තේ ය. අවිදු අඳුරෙන් තදින් මුළා ව සිටිනා සත්ත්‍වයා විසින් ඒ අවිදු අඳුර නසන්නට වෙර වැඩිය යුතු ය. නුවණ දියුණු කර ගත යුතු ය.


ධර්‍මදේශනාවගේ කෙළවර ඒ ගෑණු සෝවාන් පලයෙහි පිහිටියාහු ය. බුදුරජානන් වහන්සේ උන් නො සැලෙන සැදැහයෙහි පිහිටි බව දැන, මහමෙර මුදුනෙන් බැස බුද්ධාසනයෙහි වැඩ හුන් කල්හි විශාඛාවෝ “ස්වාමිනි! සුරා බීම කැත බීමෙක, විළිබිය නසන්නෙක, නින්දාවට කරුණෙක, මෙලොව දියුණුව නසනෙක, පරලොව අපායයට හෙලනෙක, ස්වර්‍ගය අවුරන්නෙක, ස්වාමිනි! මේ ගෑණු ඔබ වහන්සේ ඉදිරියෙහි ඉරියවු පමණෙහි වත් පිහිටා ගන්නට නො හැකි ව අත්පුඩි ගසන්නට සිනාසෙන්නට ගී කියන්නට නටන්නට උඩ පනින්නට පටන් ගත්තෝ සුරා බී මත්ව සිටි බැවිනි. තිරිසනකුටත් මේ බීම නො වටනේ ය. මේ බීම නිසා මිනිසා මුළුමනින් තිරිසනකු කරන්නේ ය” යි කීහ. “ඔව්, විශාඛා සුරා බීම ඉතා පහත් බීමක්, රා අරක්කු බීම නිසා විපතට පත් මිනිසුන්ගේ ගණන නො කියහැකිය, මේ නිසා මිනිස්සු මෙලොව ම ධනහානියට, ‍භෝග හානියට, යසභානියට, ප්‍රඥා හානියට පැමින්නේ ය. මරණින් පසු සිවු අපායයෙහි උපදින්නාහ” යි බුදුරජුන් වදාළ කල්හි, නැවත විශාඛාවෝ “ස්වාමීනි! මේ රා අරක්කු ලොව පහළ වූයේ කවදාදැයි ඇසූහ. බුදුරජාණන් වහන්සේ ඒ දක්වන්නට විස්තර විසින් කුම්භජාතකය වදාළ සේක. එය බැලිය යුතුයි



No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...