අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක
කොළඹ මහානාම විද්‍යාලයේ
ආචාර්ය
කොලොන්නාව පුරාණ විහාරවාසී
සියඹලාගොඩ ධම්මින්ද හිමි
බුදුගුණ අතර පුරිසදම්මසාරථි ගුණය ප්‍රධාන ගුණයකි. දමනය පිළිබඳ බුද්ධ දේශනාව අන්‍ය ඉගැන්වීම්වලට වඩා වෙනස් ය. තථාගතයන් වහන්සේ පුද්ගලයන් දමනය කරන අයුරු කේශී සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වේ.
කේශී හමුවන බුදුරදුන් ඔහුගෙන් විමසන්නේ ඔබ අශ්වයන් දමනය කරන්නේ කෙසේද යන්නයි. කේශිය පවසන්නේ ස්වාමීනි ගුණෙන්, අණෙන්, ගුණ, අණ දෙකෙන් පාලනය කරන බවත් එසේ නොහැකි වූ විට මරණයට පත්කරන බවත් ය. කේශිය නැවත බුදුරජාණන් වහන්සේගෙන් විමසනුයේ ඔබවහන්සේ පුරිසදම්මසාරථි වන හෙයින් එම දමනය කෙසේ සිදුකරන්නේ ද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලිකරනුයේ ඔබ අස්සදම්මසාරථී ලෙස සිදුකරන අයුරින්ම මම ද දමනය කරන බවයි. එහිදී කේශිය විමසනුයේ මරණය ඔබ වහන්සේට කැප නොවන බවයි. බුදුරදුන් කේශිට පිළිතුරු ලබාදෙනුයේ කය සංවරවීම, වචනය සංවරවීම, එහි අනුසස් හා එය සිදුකරන අයුරු පහදා දීමෙන් පසුවද සංවරය සකසා නොගන්නේ නම් ආර්ය විනයට අනුව ඔහු අත්හැර දැමීමට කටයුතු කරන බවයි. එය ආර්ය විනයට අනුව මරණය බවයි.
බුදුරදුන්ගේ දමනය කෙළවර වන්නේ රහත් බෝධියෙනි. එය කායික දමනයක් නොව මානසික දමනය තුළ ඇතිවන ඵලයකි. එසේම දමනය කිරීම යනු ප්‍රචණ්ඩ ගති ඇති පිරිස්ම යන බව අදහස් නොවේ. දමනය කළ යුතු පුද්ගලයන් ඉතාම ශීලාචාර ශාන්තවන ලෙස, නැවත වෙනස් නොවන ලෙස දමනය කිරීම බුදුරදුන්ගේ මෙම ගුණයෙහි ස්වභාවයයි.
දමනය වූවන් මිනිසුන්, පිරිමින් පමණක් නොවේ. ‘පුරිස’ ලෙස ගැනුන ද සමස්තය මෙයට අයත් වේ. ලෝකයේ දමනය කළ නොහැකි වූවන් අතිශාන්ත වන අයුරින් දමනය කළ බැවින් උන්වහන්සේ ‘අනුත්තර පුරිසදම්ම සාරථි’ නම් වේ.
බුද්ධ දේශනාවට අනුව දමනය කළ යුතු කොට්ඨාස රාශියක් ගැන සඳහන් ය. බුදුරදුන් මේ සෑම කොටසක්ම එක මිටියකට ගෙන දමනයකොට ඔවුනට දෙලොව යහපත සලසා දුන්හ. එහිදී අවිහිංසාව පදනම්කොටගෙන ක්‍රියාත්මක වීම ඉතා වැදගත් ය. දමනය කළ යුතු පිරිස් මෙසේ බෙදාගත හැකි ය.
1.ධනය, බලය, උගත්කම, ප්‍රසිද්ධිය ආයතනයන්හි බලය, රූපය වැනි දෑ හේතුකොටගෙන මාන්නයට ලක්වීම. සච්චක, ඛේමාව, මාගන්ධියා, මුල්කාලීන වැඩිහිටි ශාඛ්‍යයන් මේ යටතට ගත හැකියි. මේ සියල්ල ත්‍රිලක්ෂණ ධර්මතාවයෙන් යුක්ත ය. ඒ මත අනෙකා පෙළීම යෝග්‍ය නොවේ.
2.අවිද්‍යාව හෙවත් මෝඩකම මත අන්‍යයන්ට නින්දා අපහාස කරමින් කටයුතු කරන පිරිස් ඇත. ඔවුන් ද දමනය කළ යුතු ය. චිංචිමානවිකාව, අක්කෝස භාරද්වාජ එවැන්නන්ට උදාහරණ වේ. මෝඩකම ධනය, බලය කොටගෙන සිටින, තමන් පණ්ඩිත යැයි සිතන අය දමනය කිරීම ඉතා අසීරු ය. බුදුරදුන් ඔවුන් ද දමනය කළහ.
3. රාගයෙන් කාමයෙන් අන්ධව ජීවිතය යනු පංචකාම සම්පත්තිය යැයි සිතා සිටින බොහෝ පිරිස් ඇත. අතීතයේ ද එය එසේම ය. එවැනි බොහෝ දෙනෙක් බුදු වදනට අවනත වූහ. ශාක්‍යයන්, කෝලියන් ඒ අතර සුවිශේෂී වූහ.
අංගුලිමාල, ආලවක වැනි අති ප්‍රචණ්ඩ අය පවා දමනය කරනු ලැබුවේ කරුණාවෙන් හා මෛත්‍රියෙනි. අවියෙන් ලබන ජය තාවකාලික ය. ඒ බව බොහෝ උදාහරණ මඟින් පෙන්වා දිය හැකි ය. අංගුලිමාල තෙරණුවන් තමන් දමනය වීම පිළිබඳව තමන් වහන්සේ ම මෙසේ වදාළහ. ඇතැම් පිරිස් පොලු මුගුරුවලින් කසවලින්, තවත් පිරිසක් දමනය කරන විට මම වනාහි බුදුරදුන් විසින් දඬුමුගුරු අවිආයුධ භාවිත නොකොට දමනය කරන ලද්දේ වෙමි. බුදුරදුන් එසේ දමනය කිරීමෙන් බොහෝ පිරිස් අතිශයින් ශාන්ත වූහ. තිරිසන් සතුන් දමනය මිනිසා දමනයට වඩා ඉතා පහසු ය. මිනිසා තුළ බොහෝ කපටිකම් ඇත. තිරිසනුන් කපටි නැත. මායම් දැක්වීමක් නැත. නපුරුකම් සඟවා හීලෑකම් දැක්වීමක් හෝ හීලෑකම් සඟවා නපුරුකම් පෙන්වීමක් නැත. සඟවන කාරණා ඔවුන් තුළ නැති අතර සැබෑ තත්ත්වය පෙන්නුම් කරයි. එහෙයින් තිරිසනා මෙල්ල කිරීම ඉතා පහසු වේ. නැති ගුණ පුහුමාන්න මිනිසා තුළ බොහෝ ඇත. එවැනි මිනිසුන් දමනය කිරීමට තරම් බුදුරදහු දක්ෂ වූහ.
බුදුරදුන් වසර 45 ක් පුරාවට එනම් දවස් 16425 බොහෝ පිරිස් දමනය කළහ. සැවැත්නුවර පමණක් දමනය කරන ලදුව පන්කෝටියක් ආර්ය ශ්‍රාවකයන් වී සිටියෝ ය. මෙලෙස අන්‍ය නගරවල ද බොහෝ පිරිස් සසර භය නොදැනෙන ලෙස දමනය කළහ. ලෙන්ගතුව ලෝකයා පුදුම වන ලෙස දඬුමුගුරු අවි ආයුධවලින් තොරව පුද්ගලයන් දමනය කිරීමට සමත්වන බැවින් තථාගතයන් වහන්සේ අනුත්තර පුරිසධම්මසාරථී යන බුදුගුණයෙන් යුක්ත වූහ.
බුදුරදුන් දමනය කරන ලද්දේ පුරුෂයන් පමණක් නොවේ. දමනය කළ යුතු අය අතර ඔවුන් ප්‍රධාන බැවින් මෙම ගුණ පුරිසධම්ම සාරථී ලෙස භාවිත වේ. බුදුරදුන්ගේ දමනයේ
සුවිශේෂී අවස්ථා වන්නේ අංගුලිමාල, ආලවක, සච්චක දමනය නොවේ. එය කාරණා කිහිපයක් පමණි. උන්වහන්සේ බොහෝ සෙයින් කළ දමනය වන්නේ මෝහයෙන් මුලා වී සසර සැරිසැරූ සත්ත්වයින් ඉන් මුදවා ගැනීමයි. ඒ සඳහා සිත දමනය කිරීම අවශ්‍ය ය. අපහසුම දමනය ද මේ සිත දමනයි. වඩා අසීරු වන්නේ සිත දමනයයි. අනුන් දමනය කිරීමට පහසුවන්නේ සිත දමනය කරගත් පුද්ගලයාටය. භාග්‍යවතුන් වහන්සේ අති දීර්ඝ කාලයක් දානාදී පෙරුම් පුරා බෝධි මූලයේ දී සන්තානය දමනය කරගත්හ. එහෙයින් උන්වහන්සේ ඥානබලය, සෘද්ධිබලය යොදා බොහෝ පිරිස් දමනය කළහ. පස්වග මහණුන්ගෙන් ඇරැඹි මෙම දමනය අවසාන භික්ෂුව සුභද්‍ර දක්වාම නොකඩවා සිදුකළහ. තමන් වහන්සේ දමනය කොටගෙන ලෝක සත්ත්වයාට ද ශාන්තවන පරිදි දමනය කළ බැවින් අප බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්ම සාර්ථි වන සේක.
No comments:
Post a Comment