Sunday, January 31, 2021
අප්පටිවිදිත සූත්‍රය
Saturday, January 30, 2021
ජාගර සූත්‍රය
Friday, January 29, 2021
8-10 දසවන ඛාණුකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ වස්තුවයි
8-10 දසවන ඛාණුකොණ්ඩඤ්ඤ තෙරණුවන්ගේ වස්තුවයි.
යො ච වස්සසතං ජීවෙ, දුප්පඤ්ඤො අසමාහිතො;
එකාහං ජීවිතං සෙය්යො, පඤ්ඤවන්තස්ස ඣායිනො.
ප්‍රඥා නැත්තාවූ සමාහිත (සිත එකඟ) නොවූ යම් පුද්ගලයෙක් ඉදින් අවුරුදු සියයක් ජීවත්වේ නමුදු (ඔහුගේ ජීවත්වීමට වඩා) ප්රඥාවන්වූ (සමථ විදර්ශනා) භාවනායෙහි යෙදුණු භික්ෂුහුගේ එක්දවසකුදු ජීවත්වීම උතුම්ය.
යො ච වස්සසතං ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයෙහි ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා දේශනා කරනලදි.
ඒ තෙරුන්වහන්සේ බුදුන් සමීපයෙහ කමටහන් ඉගෙන ආරණ්‍යවාසීව රහත්බවට පැමිණ ඒ බව බුදුරදුන්ට දන්වන්නෙමියි එනවිට අතරමගදී ක්ලාන්තය හැදී මගින් මෑත්වී ගල්තලාවක හිඳගෙන ධ්‍යානයට සමවැදුණාහ. ඉන්පසු පන්සීයක් පමණ සොරු ගම් කොල්ලකා තම ශක්ති පමණින් බඩුපොදි බැඳගෙන හිස මත තබා එනවිට බොහෝ දුර ගිය බැවින් විඩාවට පැමිණියෙමු. මේ ගල්තලාවේ විවේක ගෙන යන්නෙමුයයි මගින් ඉවත්ව ගල්තලාව ළඟට ගොස් තෙරුන් දුටුනමුත් මේ කණුවක්යයි සිතූහ. එක් සොරෙක් තම බඩුමිටිය තෙරුන්ගේ හිස මත තැබීය. තවත් එකෙක් ඒ උඩ තම බඩුමිටිය තැබීය. මේ ආකාරයෙන් පන්සීයක් සොරු තමතමන්ගේ බඩුමිටි තෙරුන් මත ගොඩ ගසා ඒ උඩ නිදාගත්හ. උදේ හිරපායා එනවිට ඇහැරී තමතමන්ගේ බඩුමිටි ගනිද්දී තෙරුන් දැක අමනුෂ්යයෙහිකියි සිතා පැනදුවන්ට පටන්ගත්හ.
තෙරණුවෝ ඔවුන්ට කතාකොට උපාසකවරුනි, බිය නොවව්, මම පැවිද්දෙක්මියි කීහ. ඔවුහු තෙරුන් පාමුල වැඳ වැටී අපට සමාවුව මැනවි. අප සිතා ගත්තේ කණුවක්ය කියායයි තෙරුන් සමාකරවාගෙන, සොරදෙටුවා මම ආර්යයන්වහන්සේ සමීපයෙහි පැවිදිවෙමියි කී කල්හි, අපිත් පැවිදි වන්නෙමු යයි සෙස්සෝද පැවිදි වීමට ඒකච්ඡන්දයෙන් ඉදිරිපත්ව තෙරුන්ගෙන් පැවිද්ද ඉල්ලූහ. තෙරණුවෝත් සංකිච්චසාමණේරයන්මෙන් ඔවුන් පැවිදි කළහ. ඉන්පසු උන්වහන්සේ ඛාණුකොණ්ඩඤ්ඤ නමින් ප්‍රකටවූහ.
උන්වහන්සේ ඒ භික්ෂූන් සමඟ බුදුන් සමීපයට ගොස් කිම කොණ්ඩඤ්ඤ ඔබට අන්තේවාසිකයන් ලැබුණේදැයි ඇසූ කල ඒ පුවත දන්වා සිටියහ. මහණෙනි, එසේදැයි විචාරා, ස්වාමීනි එසේය. මින්පෙර අපි මෙබඳු සෘද්ධ්‍යනුභාවයක් දැක නැත්තෙමු. එනිසා පැවිදිවීමයි කීකල්හි, මහණෙනි, තොප කළා සේ අනුවණ වැඩක යෙදී වර්ෂ සියයක් ජීවත්වීමට වඩා දැන් තොප ප්රඥාසම්පදාවෙහි යෙදී එක්දිනක් ජීවත්වීම අර ජීවිතයට වඩා වටින්නේයයි කියා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාව වදාළහ.
නුවණ නැතිව සියවසක්
යමෙකු ජීවත්වුව ලොව
නුවණැතිව එක දවසක්
ජීවත්වීම වැදගති.
එහි දුප්පඤ්ඤො යනු ප්‍රඥාවෙනි තොරවීමයි. පඤ්ඤාවන්තස්ස යනු ප්‍රඥාව ඇති තැනැත්තාගේයි. සෙස්ස පෙර පරිදිමය. දේශනාවසානයෙහි ඒ භික්ෂූන් පන්සීයම පිළිසිඹියාත් සමග රහත්බවට පත්වූහ. පැමිණි මහජනයාටද දේශනාව ප්‍රයෝජනවත් විය.
නවවන සංකිච්ච සාමණේර වස්තුවයි
නවවන සංකිච්ච සාමණේර වස්තුවයි.
යො ච වස්සසතං ජීවෙ, දුස්සීලො අසමාහිතො;
එකාහං ජීවිතං සෙය්යො, සීලවන්තස්ස ඣායිනො.
දුශ්ශීලවූ (උපචාර අර්පණා සමාධියෙන්) සමාහිත (සිත් එකඟ) නොවූ යම් පුද්ගලයෙක් ඉදින් අවුරුද සියයක් ජීවත්වේ නමුදු (ඔහුගේ ජීවත්වීමට වඩා) සිල්වත්වූ ධ්යායීවූ (සිත් වඩන) භික්ෂුවගේ එක් දවසක් ජීවත්වීම උතුම්ය.
යො ච වස්සතං ජීවෙ ආදි මේ ධර්මදේශනාව බුදුරදුන් දෙව්රම වාසයකරන කාලයේ සංකිච්ච සාමණේරයන්වහන්සේ නිමිති කරගෙන දේශනා කරනලදි.
සැවැත්නුවර කුලපුත්‍රයෝ තිස්දෙනෙක් බුදුන්ගෙන් බණ අසා සසුනෙහි පැහැදී පැවිදිවූහ. ඔවුහු උපසම්පදාවෙන් පස්වසක් ගෙවුණු පසු බුදුන් ළඟට පැමිණ මේ සසුනෙහි ග්රන්ථධුර විපස්සනාධුර වශයෙන් ධුර දෙකක් ඇතිබව අසා ඇත්තෙමු. අපි වයසට පත්ව පැවිදිවූ නිසා ග්රන්ථධුරයෙහි උත්සාහවත් නොවී විපස්සනාධුරය පුරනුකැමතිව රහත්බව දක්වා කමටහන් කියවාගෙන එක් අරණ්යායතනයකට යන්නෙමුයයි බුදුරදුන්ගෙන් විමසූහ.
ශාස්තෘන්වහන්සේ, කිනම් තැනකට යන්නහුදැයි අසා, අසවල් තැනටයයි කීකල්හි එහි එක් ඉඳුල් කන්නෙකු නිසා භයක් උපදින බවත් එය සංකිච්ච සාමණේරයන් නිසා දුරුවනබවත් ඉන්පසු ඔවුන්ගේ පැවිදිවීමේ බලාපොරොත්තුව සම්පූර්ණ වනබවත් දැක ගමනට අවසර දුන්හ. සංකිච්ච සාමණේරනම සැරියුත්හිමියන්ගේ සත්හැවිරිදි ගෝළනමකි. උන්වහන්සේගේ මව සැවැත්නුවර පොහොසත් පවුලක දියණියකි. ඈ ඔහු කුසෙහි උපන්කල එක්තරා රෝගයකින් හදිසියේම කළුරිය කළාය. ඈ දවා පුළුස්සන අවස්ථාවේ දරුගැබ නොදැවී සෙසු මස් දැවී ගියේය. ඇගේ ගර්භාසය චිතකයෙන් ඉවතට ගෙන දෙතුන්පලක් උල්වලින් විද්දාහ. උලේ කෙළවර දරුවාගේ ඇස් කොණේ ඇනුණේය. මෙසේ ගැබ්මස විද අඟුරු ගොඩක තබා අඟුරුවලින්ම වසා ගියෝය.
ගර්භමාංශය දැවී ගියේය. අඟුරුගොඩ මතුපිට රන්පිළිමයක් වැනි දරුවෙක් නෙලුම් මලක හිඳිනාක් මෙන් සිටියේය. අන්තිම ජාතියෙහි උපදින සත්ත්වයන් මහමෙරෙන් පහළට දැම්මත් රහත් බව නොලබා මිය යන්නේ නැත. දෙවෙනි දිනයේ චිතකය නිවා දැමීමට පැමිණි අය අඟුරු මත සිටි දරුවා දැක විස්මයට පත්වූහ. මුළු ශරීරයක්ම දවාලන්ට සමත් මේ දරගොඩක් දැවෙද්දී මේ දරුවා නොදැවුණේ කෙසේද? මෙහි කිසියම් අමුතු කරුණක් තිබිය යුතුයයි දරුවා රැගෙන ඇතුළුගමට ගොස් නිමිති කියන්නන්ගෙන් ඒ ගැන ඇසූහ.
නිමිති කියන්නෝ යම් හෙයකින් මේ දරුවා ගිහිගෙයි සිටියොත් ඔහුගේ හත්වෙනි කුලපරපුර දක්වා සියලුම නෑදෑයෝ දුප්පතුන් බවට පත්වන්නාහුය. ඉදින් මොහු පැවිදි වන්නේ නම් පන්සීයක් පමණවූ ශ්‍රමණ පිරිසක් පිරිවරා සිටින්නේයයි දන්වා සිටියෝය. උලෙන් ඇනීමේදී ඔහුගේ ඇස් කෙළවර බිඳී ගිය නිසා සංකිච්චයයි නම් කළහ. හෙතෙම පසු කාලයෙහි සංකිච්ච නමින් ප්‍රකට විය. ඉන්පසු ඔහුගේ නෑයෝ වියයුත්තක් වේවායි සිතා වැඩුණු පසු අපේ ආර්යයන්වහන්සේ ළඟ පැවිදි කරන්නෙමුයයි පෝෂණය කළහ.
ඔහු සත්හැවිරිදි කාලය විට අනිත් කුමාරවරු, ඔබ මවුකුස් වසන කාලයෙහි ඔබේ මව කළුරිය කළාය. ඇගේ සිරුර දවන විට ඔබ නොදැවී සිටියෙහි යන කථාව අසා මම මෙපමණ බියකින් මිදුණෙමි. මේ ගිහිගෙයි වාසයෙන් මට වැඩක් නැත. පැවිදි වන්නෙමියි සිතා නෑයන්ට එය දැන්වූයේය. ඔවුහු දරුව, යහපතැයි සැරියුත්තෙරණුවන් ළඟට ගොස් ස්වාමීනි, මොහු පැවිදි කරන්නැයි කීහ. තෙරණුවෝ ඔහුට තචපංචක කමටහන් දී එදාම පැවිදි කළහ. හෙතෙම කරගෙයිදීම පිළිසිඹියාපත් සමග රහත්බවට පැමිණියේය. මේ සංකිච්ච සාමණේරයන්ගේ කථාවයි.
ශාස්තෘන්වහන්සේ සංකිච්ච සාමණේරයන් එහි ගිය කල භය නැතිවන බවත් එයින් ඔහුගේ පැවිදි කිස මුදුන්පත් වන බවත් දැන මහණෙනි, තොපගේ දෙටු සොහොයුරු සැරියුත්තෙරණුවන් දැක බලා යව්යයි වදාළහ. ඔවුහු යහපතැයි කියා තෙරණුවන් හමුවට ගොස් ඇවැත්නි ඇයිදැයි ඇසූවිට, අපි බුදුන් හමුවෙහි කමටහන් ලබා ආරණ්‍යයට යනු කැමැත්තෙන් සිටිවිට බුදුරජාණන්වහන්සේ නුඹලාගේ දෙටු සොහොයුරා හමුවී යන්නැයි වදාළහ. එනිසා අපි මෙහි ආවෙමුයයි කීහ.
තෙරණුවෝ බුදුරජාණන්වහන්සේ මෙහි විශේෂ කරුණක් දැක මොවුන් මා සමීපයට එවන්නට ඇතැයි ආවර්ජනා කොට, එම කරුණ දැනගෙන, ඔබලා අතර සාමණේර නමක් ඇද්දැයි ඇසූහ. නැත. එසේ නැත්නම්, මේ සංකිච්චසාමණේරනමත් සමග යන්නැයි කීහ. ඇවැත්නි, අවශ්‍ය නැත. සාමණේරයන් නිසා අපට යම් යම් බාධා ඇතිවිය හැකිය. කැලේ වසන අපට සාමණේරනමකගෙන් ප්‍රයෝජනයක් නැතැයි කීහ. ඇවැත්නි, එසේ නොවෙයි. මේ සාමණේරයන් නිසා ඔබවහන්සේලාට කිසිම බාධාවක් නොවෙයි. බුදුරජාණන්වහන්සේත් වනයට යෑමට ප්‍රථම මා හමුවී යන්නැයි ඔබවහන්සේලා මෙහි එව්වේත් ඔබ සැම සමග සාමණේරයන් පිටත්කරවීමේ බලාපොරොත්තුවෙනි. එහෙයින් මේ සාමණේරයනුත් සමගම යන්නැයි කීහ.
ඒ භික්ෂූහු යහපතැයි පිළිගෙන සාමණේරයනුත් සමග තිස්එක්දෙනා තෙරුන්ගෙන් අවසර රැගෙන විහාරයෙන් නික්මී චාරිකාවේ හැසිරෙමින් එක්සිය විසියොදුනක් දුරින් පිහිටි සහස්සකුලක නම් ගමට පැමිණියාහුය. මිනිස්සු උන්වහන්සේලා දැක පැහැදුණු සිතින් මනාකොට වළඳවා ස්වාමීන්වහන්සේ කොහි වඩින්නාහුදැයි අසා, ඇවැත්නි පහසු තැනකටයයි කීකල්හි, උන්වහන්සේලාගේ දෙපාමුල වැඳ සිට, ස්වාමීනි, ආර්යයන්වහන්සේලා මේ වස් තුන්මස මේ ස්ථානයෙහි වැඩ සිටියොත් අපට පන්සිල් සමාදන්ව පෙහෙවස් විසීමටද හැකිවේයයි ආරාධනා කළහ. උන්වහන්සේලා එය ඉවසා වදාළහ.
ඉන්පසු මිනිස්සු උන්වහන්සේලා සඳහා රෑ වසන තැන් දවල් වසන තැන් සක්මන්මළු පන්සල් ආදිය තනා, අද අපි, හෙට අපි ආදි වශයෙන් බෙදාගෙන බොහෝ උත්සාහයෙන් උපස්ථාන කළාහුය. තෙරුන්වහන්සේලා වස් වසන දිනයේ මෙසේ කථිකා කළහ. ඇවැත්නි, අපි ජීවමාන බුදුන් හමුවෙහි කමටහන් ලබාගත්තෙමු. වෙනත් පිළිවෙත්වලින් බුදුවරුන් සතුටු කිරීමට නොහැකිය. අප වෙනුවෙන් අපායේ දොරවල් විවෘතය. එහෙයින් උදේ වරුවේ පිඬුපිණිස හැසිරෙන වේලාවත් සවස මහතෙරුන් වෙත වතාවත් කරන වේලාවත් හැර අනිත් වේලාවක දෙදෙනෙක් එකතු නොවිය යුතුය.
යම් කෙනෙකුට අසනීපාදි අපහසුවක් වුවහොත් ඔහු ගෙඩිය ගැසූ කල ඔහු ළඟට ගොස් බෙහෙත් කරන්නෙමු. මෙතැන් පටන් ආරණ්‍යයෙහි රාත්‍රීකාලයේ හෝ දවල්කාලයේ අප්‍රමාදීව කමටහන්වල යෙදෙන්නෙමු.
උන්වහන්සේලා මෙසේ කථිකා කරගෙන වාසයකරන අතර, එක් දුප්පත් මිනිහෙක් දුවක් නිසා යැපෙන්නේ, එතැන ආහාරපාන හිඟ වෙනවිට අනිත් දුවණිය ළඟට යනු කැමැත්තෙන් පාරට බැස්සේය. තෙරුන්වහන්සේලා පිඬු පිණිස ගොස් සිඟාගෙන වසනා තැනට එන ගමන් අතරමග එක් නදියකින් නහා වැලිතලාවේ හිඳගෙන දානය වැළඳුවෝය. ඒ වේලාවේ අර දුගියාත් එතැනට පැමිණ එකත්පසෙක හිඳගත්තේය. තෙරුන්වහන්සේලා ඔහු කෙරෙහි කරුණාව උපදවා උපාසකය, හොඳටම බඩගින්නේ නොවේද, යන්න, කොළයක් ගෙනෙන්න අපි බත් පිඬුව බැගින් දෙන්නෙමුයයි කීවාහුය.
දුගියා කොළයක් ගෙනා පසු තමතමන් වළඳන ආකාරයෙන් සූප ව්‍යංජන සහිතව එක් එක් බත්පිඬ බැගින් දුන්නාහුය. මෙය බත් වැළඳීමෙහිදී ඇති වතකි. බත් වළඳන වේලාවෙහි බත් සොයා ආවවුන්ට බත් දෙන භික්ෂුව පළමුව නොදී තමන් වළඳන්ට සූදානම්ව ටිකක් හෝ බොහෝ හෝ දියයුතුය. එනිසා උන්වහන්සේලාත් එසේ දුන්හ. හෙතෙම බත් කා තෙරවරුන් වැඳ, ස්වාමීනි, අද ආර්යයන්ට ආරාධනා කොට දුන් දනක්ද? නැත උපාසකය, ආරාධනාවක් නැත. එසේවුවත් මිනිස්සු දිනපතා මේ අයුරින්ම ආහාර දෙති. ඔහු මෙසේ සිතීය. අපි හැමදාම මහන්සිවී වැඩකළේ මෙබඳු අහරක් ලැබීම අපහසුය. මා වෙනත් තැනකට යෑමෙන් වැඩක් නැත. මුන්වහන්සේලා ළඟම ජීවත්වන්නෙමියි සිතා තෙරුන්වහන්සේලාගෙන්, ස්වාමීනි, මම වතාවත් කරමින් මෙහිම වසන්ටදැයි ඇසීය. උපාසකය මැනවැයි උන්වහන්සේලා කීහ.
හෙතෙම උන්වහන්සේලා සමග ඒ වාසස්ථානයට ගොස් මැනවින් වතාවත් කරමින් භික්ෂූන් හොඳින් සතුටු කරගෙන, දෙමසකින් පමණ දුව දකින් කැමතිව, ඉදින් ආර්යයන්ගෙන් ඇසුවොත් මට යෑමට මා මුදා නොහරිනු ඇත. නොදන්වාම යන්නෙමියයි එසේ පිටත්විය. ඔහු අතින් සිදුවුණු ඕලාරික වැරැද්ද මෙපමණක්ම විය. ඔහු යන ගමන්මග එක් කැලයක් විය. එහි සොරු පන්සීයක් සිටියහ. ඔවුහු දෙවියන් උදෙසාවූ පොරොන්දුවක් විය. එය නම්, යමෙක් මේ වනයට ඇතුළු වුවහොත් ඔහු මරා ඔහුගේ ලේමස්වලින් ඔබට බිලිපූජා කරන්නෙමු යනු ඒ පොරොන්දුවයි. මෙසේ පොරොන්දු වී සත්වෙනි දිනය විය. එනිසා සත්වෙනි දිනයේ සොරදෙටුවා ගසකට නැගී මිනිස්සු එත්දැයි බලනවිට ඈතින් එන පුද්ගලයා දැක සොරුන්ට සංඥාවක් දුන්නේය.
සොරු ඔහු කැලෑව මැදට පැමිණිබව දැන වටකොට ඔහු අල්වා දැඩි ලෙස බැඳ ගිනිගාන ලීවලින් දරගිනි දල්වා මහා ගිනිගොඩක් කොට උල් සැස්සාහ. හෙතෙම ඔවුන්ගේ මේ ක්‍රියා දැක, ස්වාමීනි, මෙතැන ඌරන් හෝ මුවන් ආදි සතුන් දක්නට නැත. එසේනම් මේ සූදානම කුමක් සඳහාද? තෝ මරා තාගේ ලේමස්වලින් දේවතාවන්ට බිලිපූජා කිරීම සඳහායි. හෙතෙම මරණභයෙන් තැතිගෙන භික්ෂුන්ගෙන් තමා ලැබූ උපකාර අමතක කොට, හුදෙක් තම ජීවිතය ගැන පමණක් සිතා එය රැකගනු පිණිස, ස්වාමීනි, මම බඩගිනිකාරයෙක්මි. ඉඳුල්බත් කා ශරීරය පෝෂණය කරගත් විඝාසාද නම් කාලකණ්ණියෙක්මි. ආර්යයන්වහන්සේලා වනාහි නොයෙක් තැන්වලින් අවුත් පැවිදිවූවත් ක්ෂත්රියයෝමය. අසවල් ස්ථානයේ තිස්එක්නමක් භික්ෂූහු වාසය කරති. ඔවුන් මරා බිලිපූජාව කරනු මැනවි. එයින් ඔබගේ දේවතාවෝ අතිශයින් කියතියයි මේ කාලකණ්ණියාගෙන් වැඩක් නැත. ක්ෂත්රියයන් මරා බිලිපූජාව කරන්නෙමුයයි සිතා, එව, ඔවුන් වසනා ස්ථානය පෙන්වවයි ඔහුම මගපෙන්වන්නාකොට ගෙන පැමිණ විහාරමධ්යයෙහි භික්ෂූන් නොදැක භික්ෂූන් කොහිදැයි ඔහුගෙන් ඇසූහ.
හෙතෙම එහි දෙවසක් සිටි නිසා භික්ෂූන්ගේ කතිකාවතත් දන්නා හෙයින් මෙසේ කීවේය. දැන් භික්ෂූන්වහන්සේලා තමතමන්ගේ කුටිවලය. මේ ගෙඩිය ගසනු මැනවි. ඒ ගෙඩියේ ශබ්දයෙන් සියලු භික්ෂූහු මෙහි රැස්වන්නාහයි කීවේය. සොරදෙටුවා ගෙඩිය ගැසීය. භික්ෂූහු ගෙඩියේ හඬ අසා, අවේලාවේ ගෙඩිය ගැසීය. කිසිවෙකුට යම්කිසි අපහසුවක් වියහැකියයි අවුත් වෙහෙර මැද පිළිවෙලින් පැනවූ ගල්තලාවල වැඩහුන්හ. වැඩිමහලු සංඝස්ථවිරයන්වහන්සේ සොරුන් දෙස බලා, උපාසකවරුනි, මේ ගෙඩිය ගැසුවේ කවුදැයි විචාළහ. ස්වාමීනි, මා විසින්යයි සොරදෙටුවා පිළිතුරු දුන්නේය. ඒ කුමක් සඳහාද? ස්වාමීනි, වනදේවතාවුන්ට අප දෙනලද එක් පොරොන්දුවක් ඇත. එය නම් වනයට පිවිසෙන මිනිසුන් මරා බිලිපූජා කිරීමයි. එහෙයින් ඒ සඳහා එක් භික්ෂූවක් රැගෙන යන්නෙමුයි කීය. ඒ ඇසූ මහ තෙරණුවෝ, භික්ෂූන් අමතා, ඇවැත්නි, සහෝදරයන්ට මූණ දෙන්ට එළඹෙන කටයුත්ත දෙටු සොහොයුරා විසින් ඉටුකළ යුතුය. ඒ නිසා මම මගේ ජීවිතය ඔබවහන්සේලා වෙනුවෙන් කැපකොට මොවුන් සමග යන්නෙමි. ඒ සියල්ලන්ට උවදුරක් නොවනු සඳහාය. අප්‍රමාදීව මහණදම් පුරනු මැනවියි කීහ. ඉන්පසු දෙවෙනි තෙරණුවෝ, ස්වාමීනි, වැඩිමල් සහෝදරයාට පැවරෙන කටයුත්ත දෙවැන්නාටත් භාරය. එනසා මම යන්නෙමි. ඔබ වහන්සේලා නොපමාව මහණදම් පුරන්නැයි කීහ. මේ ආකාරයෙන් මමම යමි. මමම යමයි කියා පිළිවෙලින් තිස්දෙනාම ඉදිරිපත් වූහ. මෙසේ ඔවුන් එක මවකගෙ දරුවන් නොවුණත් එක පියෙකුගේ දරුවන් නොවුණත් වීතරාගී රහතන් නොවුණත් අනිත් සහෝදර පිරිසගේ යහපත උදෙසා තම දිවි පිදීමට පිළිවෙලින් ඉදිරිපත්වූහ. ඔවුන් අතර ඔබ යන්නැයි කියන්ට කිසිවෙක් නොවීය.
සංකිච්චසාමණේරයන්වහන්සේ ඒ අසා සිට ස්වාමීනි, ඔබවහන්සේලා නැවතුණ මැනවි. මම ඔබවහන්සේලා උදෙසා ජීවිත පරිත්‍යාගකොට යන්නෙමියි කීහ. ඇවැත්නි, අපි සියලු දෙනාම එකට මැරුණත් එකම ඔබ ඒ සඳහා මුදා නොහරින්නෙමු. ස්වාමීනි, ඒ කුමක් නිසාද? ඇවැත්නි, ඔබ ධම්මසේනාපති ශාරිපුත්රතෙරණුවන්ගේ ගෝළනමකි. ඉදින් ඔබ මේ සඳහා පිටත්කර හැරියොත් මගේ සාමණේර නම ගෙන ගොස් සොරුන්ට පවරා දුන්නාහුයයි තෙරණුවෝ අපට ගර්හා කරති. ඒ නින්දාවෙනි අපට ගැළවිය නොහැක. ඒ කරුණ නිසා ඔබ මුදාහැරිය නොහැකියයි කීහ. ස්වාමීනි, බුදුරජාණන්වහන්සේ ඔබවහන්සේලා මගේ උපාධ්‍යායයන්වහන්සේ වෙත එවන ලද්දේත් මගේ උපාධ්යයයන්වහන්සේ ඔබවහන්සේලා සමග මා මෙහි එවන ලද්දේත් මේ කාරණය දැනගෙනමයි. එනිසා ඔබවහන්සේලා නවතින්න. මමම යන්නෙමියි කියා සාමණේරනම භික්ෂූන් තිස්නමටම වැඳ, ස්වාමීනි, ඉතින් මා අතින් කිසියම් වරදක් විණිනම් මට සමාවුව මැනවැයි කියා පිටත්වුණේය.
ඒ අවස්ථාවේ ඒ භික්ෂූන්වහන්සේලාට මහා සංවේගයක් ඇතිවිය. ඇස්වල කඳුළු පිරුණේය. හදවත උණුවී වෙවුලා ගියේය. මහතෙරණුවෝ සොරා අමතා, උපාසකවරුනි, මේ ළදරුවෙකි. තෙපි ගිනිදල්වන, උල් සසින, කොළ අතුරන හැටි දැක බිය වෙන්ට පුළුවන. මේ දරුවා වෙන පැත්තකින් තබා එම වැඩ කරව්යයි කීහ. සොරු සාමණේරනමත් කැටුව ගොස් උන්වහන්සේ එක් පැත්තක තබා සියලු කටයුතු කළහ. වැඩ නිමවීමෙන් පසු සොරදෙටුවා කඩුව කොපුවෙන් එළියට ඇදගෙන සාමණේරයන් වෙත පැමිණියේය.
සාමණේරයන්වහන්සේ වැඩහුන් තැනම ධ්‍යානයට සමවැදී සිටියහ. සොරදෙටුවා කඩුවේ මුවහත් පැත්ත හරවා සාමණේරයන්ගේ ශරීරයට කෙටුවේය. කඩුවේ මුවහත උඩට හැරී ඉහළ කෙළවර දක්වා හැකිළී ගියේය. හෙතෙම හොඳින් පහර නොවැදුණේ යයි සිතා කඩුව තමන් ඉදිරි පසට ගෙන කෙටුවේය. කඩුව තල්කොළයක් මෙන් වෙළී කඩුමිට දක්වා හැකිළී ආවේය. ඒ වේලාවේ මේ සාමණේරනම මහමෙරින් පෙරළා දමා හෝ මරා දැමීමට සමතෙක් නැත. ඉතින් කඩුවකින් එය කෙසේවත් කළ නොහැකිය.
ඒ ප්රාතිහාර්යය දුටු සොරදෙටුවා, පෙර මගේ කඩුව ගල්කණුවක් වේවා, කිහිරිකණුවක් වේවා, කිළිල්කඩක් මෙන් කපාගෙන යයි. දැන් එය පළමුව නැමී ගියේය. දෙවෙනි වර තල්කොළයක් මෙන් හැකිළී ගියේය.
මේ කඩුව අචේතනිකවූත් මුන්වහන්සේගේ ගුණය දනියි. සචේතනික මම එය නොදනිමියි කඩුව බිම තබා උන්වහන්සේගේ පාමුල පපුවෙන් වැටී ස්වාමීනි, අපි ධනය සොයන්ට වනයට ආවෙමු. අප දුර සිට දකින දහස් ගණන් මිනිස්සු බියෙන් වෙවුලා වැටෙත්. දෙතුන් දෙනෙක් ගැන කියන්ට දෙයක් නැත. ඔබවහන්සේට සන්ත්රාසයක් (තැතිගැන්මක්) පවා නැත. රත්කළ රත්රනක් මෙන් සුපුෂ්පිත කිනිහිරිමලක් මෙන් ඔබේ මුහුණ බබළයි. ඒ කුමක් හෙයින්දැයි විමසමින් මේ ගාථාව කීවේය.
තැති ගැනම බිය හෝ
ඔබට නැත ඔබ හොඳින් බබළයි
හඬන්නෙත් නැත ඒ ඇයි
මෙතරම් බියක් තිබුණත්
සාමණේරයන්වහන්සේ ධ්‍යානයෙන් නැගිට ඔහුට දහම් දෙසමින් ඇවැත් ගැමියාණනි, රහතන්ගේ භවය හිසේ තිබූ බරක් බිම තැබුවාක් මෙන් වෙයි. ඒ හිස බිඳ දමන විටත් සතුටු වෙත්මය. බිය නොවන්නාහුයයි වදාරා මේ ගාථාද කීහ.
කිසිවෙක ඇළුම් නැති
රහතුන් සිතේ දුක් නැත
සියලු බියත් නැති කර
සියලු කෙලෙසුන් බිඳ දමා ඇත
බව රැහැන් සිඳලූ
දිටුදම් ඒ ලෙසම දුටු
මරණයට බිය නැති
රහතුන් බර හෙළා ඇත
හෙතෙම මේ කතාව අසා සිට පන්සීයක් තම අනුචරසොරුන් දෙස බලා, දැන් ඉතින් තෙපි කුමක් කරන්නහුදැයි ඇසීය. ස්වාමීනි, ඔබ කුමක් කරන්නෙහිද? මට නම් දැන් මෙබඳු ප්රාතිහාර්යයක් දැක ගිහිගෙයි විසීමෙන් පලක් නැතැයි සිතෙයි. මම ආර්යයන් ළඟ පැවිදි වෙමි. එසේනම් අපිත් එසේ කරන්නෙමු. යහපත දරුවනියි කී ඔහු අනුගාමීසොරුන් පන්සීයත් සමග සාමණේරයන් වැඳ පැවිද්ද ඉල්ලා සිටියහ.
උන්වහන්සේ, ඔවුන්ගේ කෙස් ඊතල කෙළවරින් කපාදමා ඇඳසිටි වස්ත්‍රවල වාටිකපා දමා ගුරුමැටි වතුරෙහි ලා පාකර ඒ කහවත් අන්දවා දසසීලයෙහි පිහිටුවා ඔවුනුත් රැගෙන යන ගමන්, ඉදින් මම අනිත් තෙරවරුන් හමු නොවී ගියොත් ඔවුන්ට මහණදම් පුරන්ට නොහැකි වන්නේය. සොරුන් මා ගෙන ගිය වේලෙහි පටන් උන්වහන්සේලාට ඇසේ කඳුළු නවතාගන්ට නොහැකිවිය. අපේ සාමණේරයන් මැරුවාහුද නැද්දයයි සිතන්නාවූ උන්වහන්සේලාට කමටහන් අභිමුඛ නොවෙයි. එහෙයින් උන්වහන්සේලා දැකම යන්නෙමියි සිතූහ. එසේ සිතා පන්සීයක් භික්ෂූන් පිරිවරා එහි ගොස් තමා දැකීමෙන් ලැබූ අස්වැසිල්ල ඇතිව, සත්පුරුෂ සංකිච්චයන්වහන්ස, කෙසේද ඔබ ජීවිතය ලද්දෙහිදැයි ඇසූ කල්හි ස්වාමීනි, එසේය, මොවුහු මා මරනු කැමැත්තෙන් ක්‍රියාකොට, එසේ කරනු බැරිවූ කල්හි මගේ ගුණ ගැන පැහැදී බණ අසා පැවිදිවූහ. මම ඔබවහන්සේලා දැක යන්නට මෙහි ආවෙමි. අප්‍රමාදීව මහණදම් පුරනු මැනවි. මම බුදුන් හමුවට යන්නෙමියි කීහ.
උන්වහන්සේ ඒ භික්ෂූන් වැඳ සෙසු අයත් සමග උපාධ්‍යායයන්වහන්සේ ළඟට ගොස්, සංකිච්චය ඔබ අන්තේවාසිකයනුත් ලැබුවෙහිදැයි ඇසූවිට, ස්වාමීනි, එසේයයි ඒ ප්‍රවෘත්තිය දන්වා සිටියහ. සැරියුත් තෙරණුවන්ද සංකිච්චය, යව බුදුරදුන් දකින්නයයි කීකල්හි, තෙරණුවන් වැඳ ඒ සාමණේරවරුනුත් සමග බුදුන් සමීපයට ගොස් ශාස්තෘන්වහන්සේ, කොහොමද සංකිච්ච, ඔබ අතවැස්සන් ලද්දේදැයි වදාළකල්හි ස්වාමීනි, එසේයයි ඒ පුවත දන්වා සිටියහ.
බුදුරජාණන්වහන්සේත් මහණෙනි, මේ ඇත්තදැයි ඇසූ කල්හි එසේය ස්වාමීනියි පිළිතුරු දුන්විට, මහණෙනි, තොපට සොරකම් කිරීමෙන් දුශ්ශීලයෙහි පිහිටා, අවුරුදු සීයක් ජීවත්වීමට වඩා, දැන් මේ සීලයෙහි පිහිටා එකදිනක් ජීවත්වීම උතුම්යයි වදාරා අනුසන්ධි ගළපා දහම් දෙසමින් මේ ගාථාවද වදාළහ.
දුසිල් නොදැමුණු ලෙස
වසර සියයක් සිටියත්
සුසින් දැහැන් ඇති අයගේ
එක්දින දිවිය වැදගති
එහි දුස්සීලො යනු සිල්නැති බවයි. සීලවන්තස්ස යනු දුස්සීල ඇත්තාගේ වර්ෂ සියයක් ජීවත්වීමට වඩා දෙවැදෑරුම් ධ්‍යානයන්ගෙන් ධ්යානවත්වූ සිල්වතාගේ එක් දවසක් එක මොහොතක් ජීවත්වීම ශ්‍රේෂ්ඨය. උතුම්ය යන අර්ථයයි.
දේශනාවසානයෙහි ඒ පන්සීයක් භික්ෂූහු පිළිසිඹියාත් සමග රහත්බවට පැමිණියාහුය. පැමිණ සිටි පිරිසටද ඒ ධර්මදේශනාව ප්‍රයෝජනවත් විය.
පසු කලෙක සංකිච්චසාමණේරයන්වහන්සේ උපසම්පදාව ලබා දසවස් ඉක්මවා (ස්ථවිර බවට පත්ව) අතිමුත්තක නමින් සාමණේර නමක් පැවිදි කරගත්හ. ඔහු තමන්ගේම බෑණා කෙනෙකි. ඉන්පසු ඔහු අමතා, තෙරණුවෝ මෙසේ කීහ. ඔබ දැන් පිරිපුන් වයස් ඇත්තෙකි. ඔබ උපසම්පදා කරන්නෙමි. නෑයන් ළඟට ගොස් වයස් ප්‍රමාණය දැනගෙන එවයි පිටත්කර හැරියේය. හෙතෙම මවුපියන් ළඟට යන අතරමග බලියාග සඳහා මිනිසුන් මරමින් සිටි පන්සීයක සොරුන්ට දහම් දෙසා පැහැදුණු සිත් ඇති ඔවුහු, මෙහි අප ඇතිබව නොදැන්විය යුතුයයි මුදා හැරියෝය. ඉදිරි මාර්ගයෙන් එන්නාවූ මවුපියන් ඒ මාර්ගයෙන්ම යනබව දැනදැනත් තම සත්‍ය වචනය ආරක්ෂා කරමින් ඔවුන්ටද සොරුන් මග ඇතිබවක් නොදැන්වූහ. සොරු ඔවුන් අල්ලා තළාපෙළද්දීත් ඔබත් සොරුන් සමග එකතුවී අපට නොදැන්වීයයි කියකියා හඬන මවුපියන්ගේ ශබ්දය අසා ඒ සාමණේරයන් තම මවුපියන්ටවත් දන්වා නැතිබව වටහාගෙන ප්‍රසාදයට පත්ව උන්වහන්සේගෙන් පැවිද්ද ඉල්ලා සිටියහ.
සාමණේරයන්වහන්සේත් සංකිච්චසාමණේරයන් මෙන් ඒ සියලුදෙනාම පැවිදිකොට උපාධ්‍යායයන් වෙත රැගෙන ගොස්, උන්වහන්සේ විසින් බුදුන් සමීපයෙහි යවන ලදුව එපුව දන්වා සිටියහ. ශාස්තෘන්වහන්සේ මහණෙනි එසේදැයි විමසා ස්වාමීනි, එසේයයි කීකල්හි පෙර පරිද්දෙන්ම අනුසන්ධි ගළපා දහම් දෙසමින් යථොක්ත ගාථාවම වදාළහ. මේ අතිමුත්තක සාමණේර වස්තුවත් පෙර කී පරිදිම දේශනා කරන ලද්දකි.
බුද්ධානුස්සති භාවනාව – 26 කොටස – අපරිමිත වූ බුද්ධ ගුණය
බුද්ධානුස්සති භාවනාව – 26 කොටස – අපරිමිත වූ බුද්ධ ගුණය
Jan 26, 2021 | සිත නිවන භාවනා | 0
බුද්ධානුස්සති භාවනාව – 26 කොටස – අපරිමිත වූ බුද්ධ ගුණය
අප සරණ ගිය තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ ‘සම්මාසම්බුද්ධ’ වන බව මීට ඉහත පැහැදිලි කර දෙන ලදී. එසේ ම උන්වහන්සේ ‘බුද්ධ’ නම් ගුණයෙන් ද සමන්වාගත වන සේක. මේ ගුණ දෙක අතර වැඩි වෙනසක් දක්නට නොලැබේ. එහෙත් සම්මාසම්බුද්ධ ගුණයෙන් අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ පරෝපදේශ රහිතව ම චතුරාර්ය සත්‍යය මැනවින් අවබෝධ කළ බවයි. බුද්ධ ගුණයෙන් අවධාරණය කරන්නේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය මැනවින් ම අවබෝධ කරගෙන ලෝක සත්ත්වයාට ද අවබෝධ කරවීමෙහි සමර්ථ වූ බවයි.
බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තත්ත්වාකාරයෙන් අවබෝධ කොට වදාළ සේක. එසේ ම පන්සාළිස් වසරක් මුළුල්ලේ නොයෙක් ආකාරයෙන් අන් සත්ත්වයන්ට ද අවබෝධ කරවූ සේක. තමා ලත් දෙය දොර වසාගෙන අනුභව කරන මසුරු පුද්ගලයෙක් මෙන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය සඟවාගෙන ආත්මාර්ථය පමණක් සලකාගෙන සිටියේ නොවේ. දොර හැර දන්දෙන කෙනෙක් මෙන්, දන් දිය හැකි තැන් සොය සොයා දන් දෙන්නාක් මෙන් ලෝකසත්ත්වයන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ කරවීම නමැති ලෝකාර්ථ චර්යාවෙහි නිරත වූ සේක. එසේ හෙයින් බුද්ධ නම් වන සේක.
ලෝකයේ අවබෝධ කරගත යුතු දේ ඥෙය්‍ය ධර්ම නම් වේ. එසේ ලෝකයේ ඥෙය්‍ය ධර්ම යැයි යම් කිසි දෙයක් තිබේ නම් බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල නිරවශේෂයෙන් ම අවබෝධ කළ සේක. එසේ හෙයින් තථාගතයන් වහන්සේ අර්හත් මාර්ගඥානය කෙළවර ලබන සර්වඥතාඥානයේ වශයෙන් බුද්ධ නම් වේ.
පටිසම්භිදාමග්ගපාළියේ දක්වා ඇත්තේ බුදුරජාණන් වහන්සේ තුදුස් ඥානයකින් සමන්වාගත වන බැවින් බුද්ධ නම් වන බවයි. එනම් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ද සාධාරණ ඥාන අටකින් ද අසාධාරණ ඥාන සයකින් ද සමන්වාගත වන සේක. චතුරාර්ය සත්‍ය ඥාන සතර සහ සිව් පිළිසිඹියා ඥාන ශ්‍රාවකයන්ට ද සාධාරණ වේ. දුක්ඛාර්යසත්‍යය දන්නා නුවණ, සමුදයාර්යසත්යය දන්නා නුවණ, නිරෝධාර්යසත්යය දන්නා නුවණ සහ මාර්ගාර්යසත්යය දන්නා නුවණ යනු චතුරාර්යසත්ය ඥාන වේ. සිව් පිළිසිඹියා ඥාන නම් අත්ථපටිසම්භිදා ඥානය, ධම්මපටිසම්භිදා ඥානය, නිරුත්තිපටිසම්භිදා ඥානය සහ පටිභානපටිසම්භිදා ඥානය යි.
ශ්රාවකයන්හට අසාධාරණ ඥාන සයක් බුදුරජාණන් වහන්සේට ඇත. ඒවා ෂඞ් අසාධාරණ ඥාන නම් වේ. එනම් ඉන්ද්රියපරොපරියත්තඥානය, සත්තානං ආසයානුසයේ ඥානය, යමකප්‍රාතිහාර්ය ඥානය, මහාකරුණාසමාපත්ති ඥානය, සර්වඥතාඥානය සහ අනාවරණඥානය යනුවෙනි. අන් සත්ත්වයන්ගේ හා පුද්ගලයන්ගේ ශ්‍රද්ධාදි ඉන්ද්රියයන් මුහුකුරා ගොස් ඇති නැති බව දැනගැනීමට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇති නුවණ ඉන්ද්රියපරොපරියත්තඥානය නම් වේ. භාග්‍යවතුන් වහන්සේ එසේ දැනගෙන ඒ ඒ සත්ත්වයන්ගේ ඉන්ද්රිය ධර්මයන්ගේ වැඩීම සලකා ධර්මය දේශනා කරන බැවින් ඒ ධර්ම දේශනය ශ්‍රවණයෙන් ඒ සත්ත්වයන්ට වහා ධර්මාවබෝධය කළ හැකි වේ.
එසේ ම තථාගතයන් වහන්සේ සත්ත්වයන්ගේ ආශය අනුශය දැනගන්නා නුවණ සත්තානං ආසයානුසයේ ඥානය නම් වේ. ආශය යනු වාසස්ථානයට නමකි. යම් පුද්ගලයෙක් යම් කරුණක් දැඩි සේ පිළිගෙන එහි ම පිහිටා කටයුතු කරයි නම් එය ආශය ලෙස හැඳින්වේ. එනම් සම්‍යක්දෘෂ්ටිය හා මිථ්‍යාදෘෂ්ටියයි. ඒ දෘෂ්ටි දෙක සත්ත්වයන්ට වාසස්ථානයක් වේ. එසේ ම විදර්ශනාඥානය සහ මාර්ගඥානය ද පුද්ගලයන්ට පිහිටා කටයුතු කිරීමට ආධාර වන බැවින් ආශය නම් වේ. සත්ත්වසන්තානයෙහි ප්‍රහීණ නොවී ඉතිරිව පවත්නා කාමරාගාදිය අනුශය නම් වේ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ මෙම දෘෂ්ටි වශයෙන් හෝ විදර්ශනාඥාන, මාර්ගඥාන වශයෙන් හෝ ඇති ආශය ද ප්‍රහීණ නොවී ඉතිරිව පවත්නා කාමරාගාදී අනුශය ද දැනගෙන ම ඔවුන්ට සුදුසු පරිදි ධර්මය දේශනා කරන සේක.
එක්වර ප්රාතිහාර්ය දෙකක් දැක්වීමේ නුවණ යමකපාටිහාරියඤාණය නම් වේ. මෙය ද ශ්‍රාවකයන්ට ලැබිය නොහැකි බුදුරජාණන් වහන්සේලාට ම පමණක් ලැබිය හැකි ඥානයකි. දුක්ඛිත සත්ත්වයන් ගැන කම්පාවන ස්වභාවය, ඒ සත්ත්වයන් දුකින් මුදවාලීමේ කැමැත්ත කරුණාව නම් වේ. භාග්‍යවතුන් වහන්සේගේ කරුණා ගුණය අති මහත් බැවින් එය මහාකරුණාව නම් වේ. මවකට තම දරුවන් පිළිබඳ කරුණාවක් ඇත්තේය. පියෙකුට ද එසේ ම ය. එහෙත් සෙසු දරුවන් පිළිබඳව තම දරුවා මෙන් කරුණාවක් නොමැති විය හැකිය. ලෝකයේ සියලුම සත්ත්වයන් පිළිබඳව ම එක හා සමාන කරුණාවක් ඇත්තේ ලොව්තුරා බුදුවරයෙකුට පමණි. බුදුරජාණන් වහන්සේ සෑම දිනක ම දෙවරක් මහාකරුණාසමාපත්තියෙන් නැගී සිට ලොව බලා පිහිට විය යුතු සත්ත්වයන්ට පිහිට වන සේක.
ලොව ඇති සංඛත, අසංඛත සියලු ධර්ම සමූහය නිරවශේෂයෙන් දන්නා නුවණ සර්වඥතාඥානය නම් වේ. එනම් භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ නොදුටු, නොදත් දෙයක් නොමැති බවයි. ඒ සර්වඥතාඥානයට ආවරණය වූ කිසිවක් නොමැති බව අනාවරණඥානය නම් වේ. ආවරණයක් යනු බිත්ති ආදියකින් වැසී පැවතීමයි. එසේ වැසී ඇති විට එයින් එහා ඇති දේ නො පෙනේ. භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥතාඥානයට එසේ ආවරණයන් නොමැති බැවින් එයට නොපෙනෙන දෙයක් ඇත්තේ නොවේ. මෙසේ තථාගතයන් වහන්සේ තුදුස් ඥානයකින් සමන්වාගත වන බැවින් බුද්ධ නම් වන බව පටිසම්භිදාමග්ගපාළියේ ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළ සේක.
තව ද පටිසම්භිදාමග්ගපාළියේ බුද්ධ පදය ආකාර ගණනාවකින් විවරණය කර ඇත. ඒ අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බැවින් බුද්ධ නම් වන සේක. චතුරාර්ය සත්‍යය සත්ත්වයන්ට අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වන සේක. සියල්ල දත් බැවින් බුද්ධ නම් වන සේක. සියල්ල දක්නා බැවින් බුද්ධ නම් වන සේක. අන්‍යයන් විසින් අවබෝධ කරවිය යුත්තකු නොවන බැවින් බුද්ධ නම් වන සේක. නා නා ගුණයන් වෑස්සෙන බැවින් බුද්ධ නම් වන සේක. කාමාදි ආශ්‍රවයන් ක්ෂය කළ බැවින් බුද්ධ නම් වන සේක. උපක්ලේශ විරහිත බැවින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් රාගය දුරු කළ හෙයින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් ද්වේශය දුරු කළ හෙයින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් මෝහය දුරු කළ හෙයින් බුද්ධ නම් වන සේක. ඒකාන්තයෙන් නික්ලේශී බැවින් බුද්ධ නම් වන සේක. ඒකායන මාර්ගයේ ගිය බැවින් බුද්ධ නම් වන සේක. එකලාව අනුත්තර සම්මාසම්බෝධිය අධිගමනය කළ බැවින් බුද්ධ නම් වන සේක. අබුද්ධිය නසා බුද්ධි ප්‍රතිලාභය කළ බැවින් බුද්ධ නම් වන සේක.
අර්හත් මාර්ගඥානය සියලු කෙලෙසුන් කෙරෙන් විමුක්ත වන හෙයින් විමෝක්ෂය නම් වේ. ඒ විමෝක්ෂාවසානයේ උපදනා බැවින් අර්හත් ඵලය විමෝක්ෂාන්ත නම් වේ. ඒ අර්හත් ඵලය ලද කල පමණක් ලැබිය හැකි සර්වඥතාඥානය විමෝක්ෂාන්තික ඥාන නම් වේ. බුද්ධ යනු බුදුරජාණන් වහන්සේ සතු මේ සර්වඥතාඥානාදි ගුණ විශේෂය නිසා ම ලැබෙන නමක් වේ.
මෙසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍යය මැනවින් ම අවබෝධ කරගෙන ලෝක සත්ත්වයාට ද අවබෝධ කරවූ බැවින් බුද්ධ නම් වන සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Wednesday, January 27, 2021
Tuesday, January 26, 2021
Monday, January 25, 2021
කතිඡින්දසුත්තං
කතිඡින්දසුත්තං
සාවත්ථිනිදානං . එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘කති ඡින්දෙ කති ජහෙ, කති චුත්තරි භාවයෙ;
කති සඞ්ගාතිගො භික්ඛු, ඔඝතිණ්ණොති වුච්චතී’’ති.
‘‘පඤ්ච ඡින්දෙ පඤ්ච ජහෙ, පඤ්ච චුත්තරි භාවයෙ;
පඤ්ච සඞ්ගාතිගො භික්ඛු, ඔඝතිණ්ණොති වුච්චතී’’ති.
‘
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමැණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
“කීයක් සිඳ ලන්නේද? කීයක් දුර ලන්නේද? මත්තෙහි කීයක් වඩන්නේද? බන්ධන කීයක් ඉක්මවූ භික්ෂුතෙම ඔඝයයන් එතර කළ තැනැත්තේයයි කියනු ලැබේද?”
(භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.)
“(කෙලෙස්) බැඳුම් පසක් සිඳලන්නේය. (කෙලෙස්) බැඳුම් පසක් දුරලන්නේය. මත්තෙහි (ශ්‍රද්ධාදී ඉන්ද්රිය) පසක් වඩන්නේය. (බන්ධන) පසක් ඉක්මවූ භික්ෂූතෙම ඔඝයයන් එතරකළ තැනැත්තේයයි කියනුලැබේ
Sunday, January 24, 2021
උපන්‍යෙය සූත්‍රය
සාවත්ථිනිදානං . එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි -
‘‘උපනීයති ජීවිතමප්පමායු,
ජරූපනීතස්ස න සන්ති තාණා;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
පුඤ්ඤානි කයිරාථ සුඛාවහානී’’ති.
‘‘උපනීයති ජීවිතමප්පමායු,
ජරූපනීතස්ස න සන්ති තාණා;
එතං භයං මරණෙ පෙක්ඛමානො,
ලොකාමිසං පජහෙ සන්තිපෙක්ඛො’’ති.
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැම්ණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන්වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාව කරා එළඹියාහට පිහිටවිය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙනදෙන පින් කරන්නේය.”
(එවිට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක :-)
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාවට පැමිණියාහට පිහිට විය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය උතුම් නිවන් දක්නා තැනැත්තේ බලාපොරොත්තු වන්නෙක්ව ලෞකික සම්පත් හැර දමන්නේය.”
බුද්ධානුස්සති භාවනාව – 25 කොටස “බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්රාතිහාර්යය”
බුද්ධානුස්සති භාවනාව – 25 කොටස “බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්රාතිහාර්යය”
Jan 23, 2021 | සිත නිවන භාවනා | 0
බුද්ධානුස්සති භාවනාව – 25 කොටස “බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා ප්රාතිහාර්යය”
තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය භාවනා වශයෙන් වැඩීමට උපකාරී වනු පිණිස නව අරහාදි බුදුගුණ පිළිබඳ කරන විස්තරයේ අද දින ඉදිරිපත් කෙරෙන්නේ ‘සත්ථා දේවමනුස්සානං’ ගුණය පිළිබඳව වේ.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිට්ඨධම්මික අර්ථයෙන් ද සම්පරායික අර්ථයෙන් ද නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථයෙන් ද දෙව් මිනිසුන්ට අනුශාසනා කරන හෙයින් ශාස්තෘ (සත්ථා) වන සේක.
දිට්ඨධම්මික අර්ථය යනු මෙලොවින් වන අර්ථයයි. තථාගතයන් වහන්සේ ලෝක සත්ත්වයා හට මෙලොව හිත වැඩ පිණිස අනුශාසනා කරන සේක. සම්පරායික අර්ථය යනු පරලොවින් වන අර්ථයයි. පරලොව හිත වැඩ බවයි. තථාගතයන් වහන්සේ ලෝක සත්ත්වයාගේ පරලොව හිත වැඩ පිණිස ද අනුශාසනා කරන සේක. මෙසේ මෙලොව පරලොව හිත වැඩ පිණිස අනුශාසනා කරන තවත් අය සිටිති. එහෙත් නිර්වාණය පිණිස අනුශාසනා කිරීමට සමර්ථ අන් කිසිවෙකුත් නැත. තථාගතයන් වහන්සේ ලෝකසත්ත්වයාට නිර්වාණ පරමාර්ථය පිණිස අනුශාසනා කරන සේක. එහෙයින් තථාගතයන් වහන්සේ ශාස්තෘ වන සේක.
අතීතයේ රට රටවල භාණ්ඩ වෙලෙඳාමේ නියුතු වෙළෙඳ කණ්ඩායම් සිටි අතර එය ගැල් සාත්තුවක් (සත්ථ) ලෙස හැඳින්වේ. ඒ ගැල් සාත්තුවක නායකයෙක් සිටි අතර (සත්ථවාහො) ඔහුගේ නායකත්වයෙන් ගැල් හිමිවරුන් සොරුන් සිටින කාන්තාරවලින්, සැඩ මෘගයන් සිටින කාන්තාරවලින්, ජලය නොමැති නිරුදක කාන්තාරවලින් සුවසේ එතෙර වෙති. එසේ නිරුපද්‍රිතව කාන්තාරයෙන් එතෙර වීමට ගැල්සාත්තු නායකයා අනුශාසනා කරයි. බෝසතාණන් වහන්සේ අතීත ආත්මභාවයන්හි මෙසේ ගැල් කණ්ඩායම්වලට නායකත්වය දී බොහෝ දෙනා නිරුපද්‍රිතව කාන්තාරවලින් එතෙර කරවූ බව අපණ්ණක ජාතකය, වණ්ණුපථ ජාතකය ආදියෙන් හෙළි වේ. එසේ ගැල්සාත්තුකරුවෙක් ගැල්කරුවන් කාන්තාරයෙන් එතෙර කරන්නාසේ තථාගතයන් වහන්සේ ද ලෝකසත්ත්වයන්ට මෙලොව පරලොව හිත වැඩ පිණිස අනුශාසනා කිරීමෙන් ඔවුන් ජාති කාන්තාරයෙන් එතෙර කරන සේක. එබැවින් තථාගතයන් වහන්සේ ශාස්තෘ නම් වන සේක.
දේවමනුස්සානං යන පදයේ අර්ථය වන්නේ දෙව් මිනිසුන්ට යන්නයි. මෙහි දී භව්‍ය පුද්ගලයන්ගේ වශයෙන් දෙව් මිනිසුන්ට ශාස්තෘ යැයි කියනු ලැබේ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ දෙව් මිනිසුන්ට පමණක් නොව තිරිසන්ගත සත්ත්වයන්ට ද අනුශාසනා කරන හෙයින් ශාස්තෘ වන සේක. ඒ තිරිසන්ගත සත්ත්වයන් ද භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් ලබන ලද උපනිශ්‍රය සම්පත්තිය ඇතිව ත්‍රිහේතුක ආත්මභාවයන්හි උපත ලැබ දෙවන හෝ තෙවන ආත්මභාවයන්හි මාර්ගඵල ලබත්.
දිනක් භාග්‍යවතුන් වහන්සේ ගග්ගරා නම් පොකුණු තෙර වැඩ හිඳිමින් චම්පා නගර වාසීන්ට දහම් දෙසන සේක. එකල්හි එක්තරා මැඬියෙක් පොකුණෙන් ගොඩට විත් භාග්‍යවතුන් වහන්සේගේ හඬට සවන් යොමු කළේය. මේ හඬ කිසියම් යහපත් ධර්මයක් ය යන අදහසින් යුතුව ඒ භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයේ නිමිත්ත ගත්තේය. එසේ ස්වරයේ නිමිත්ත ගෙන පිරිස් කෙළවර සිටිනා විට එක්තරා ගොපල්ලෙක් ද එතැනට පැමිණ තමා අත තිබූ දණ්ඩට බර දී ඔබාගෙන සිටියේය. එසේ කරන විට ඒ මැඬියාගේ හිස මත දණ්ඩ තිබූ බව ඒ ගොපල්ලා නොදත්තේය. භාග්‍යවතුන් වහන්සේගේ හඬට සවන් යොමු කරගෙන සිටි මැඬියාගේ හිස මත තිබූ දණ්ඩට බර දී සිටීම නිසා ඌ එතැනම මරණයට පත් විය.
එහෙත් ධර්මස්වරය කෙරෙහි පැහැදුණු සිතින් යුතුව සිටි ඒ මැඬියා කලුරිය කර එකෙණෙහි ම නිදා පිබිදියාක් මෙන් තව්තිසා දෙව්ලොව fදාළොස් යොදුන් පමණ ඇති රන් විමනක උපන්නේය. එහි දිව්‍යප්සරාවන් සමූහයා විසින් පිරිවරන ලද ඒ තමන්ගේ අභිනව උත්පත්තිය පිළිබඳ විස්මයට පත් වී කුමන කර්මයකින් මෙහි උපන්නේ දැ යි සිහි කර භාග්‍යවතුන් වහන්සේගේ ස්වරයේ නිමිත්ත ගැනීම හැර අන් කිසිදු කුශල කර්මයක් නොදුටුවේය. එහෙයින් ඒ භාග්‍යවතුන් වහන්සේට කෘත ගුණ දැක්වීම් වශයෙන් වන්දනා කිරීමට එකෙණෙහි ම රන් විමන ද සමඟ එහි අවුත් භාග්‍යවතුන් වහන්සේගේ පා වැන්දේය.
භාග්‍යවතුන් වහන්සේ ද ඒ කර්මය හා කර්මඵලය පිළිබඳ මහජනතාවට කරුණු පැහැදිලි කර දෙනු පිණිස ‘කවරෙක් නම් මෙසේ ඍද්ධියෙන් ද පිරිවරින් දිලෙමින් වූ අති කාන්තිමත් ඡවි වර්ණයෙන් සියලු දිශාවන් ඒකාලෝක කරමින් මාගේ පා වඳී දැ’යි විමසූ සේක.
එහි දී ඒ මණ්ඩුක දෙව්පුත් තෙමේ තමන් පෙර ආත්මභාවයේ දියෙහි හැසිරෙන මැඬියෙකු වූ බවත් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ධර්මය දේශනා කරන්නා වූ බුදුරජාණන් වහන්සේගේ ස්වරයේ නිමිත්ත ගෙන සිටිය දී මියගොස් මෙසේ දිව්‍ය විමනක උපන් බවත් පවසා සිටියේ ය.
භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්පුත් හට දහම් දේශනා කළ අතර හේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උතුම් සෝවාන් ඵලයෙහි පිහිටියේය. සුවාසූ දහසක් ප්‍රාණීන්ට ධර්මාභිසමය විය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ තිරිසන් සත්ත්වයන්ට නමුත් ධර්මශ්‍රවණයෙන් වන උපනිශ්‍රය සම්පත්තිය දැක ඔවුනට හිත පිණිස ධර්මානුශාසනය කරන හෙයින් ශාස්තෘ නම් වන සේක.
මෙසේ තථාගතයන් වහන්සේ ලෝකසත්ත්වයාට ධර්මානුශාසනය කිරීම ‘අනුශාසනා ප්රාතිහාර්ය’ නම් වේ. ඒ ධර්මානුශාසනය කෙළවර සත්ත්වයෝ ලෞකික ලෝකෝත්තර සැපයන්ට නො වරදවා ම පැමිණෙන්නාහ. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා තමන් වහන්සේ වෙත පැමිණෙන අයගේ සිත් බලා අදහස් අනුව, චරිතය අනුව දහම් දෙසන සේක. මෙලොව යහපත පිණිස දහම් දෙසීමට සුදුසු අයට මෙලොව යහපත පිණිසත් පරලොව යහපත පිණිස දහම් දෙසීමට සුදුසු අයට පරලොව යහපත පිණිසත් දහම් දෙසන සේක. දෙලොව ම යහපත සලසා ගත හැකි අයට දෙලොව ම යහපත වෙනුවෙන් දහම් දෙසන සේක. තමන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීමට තරම් නුවණ නැති අන්‍ය තීර්ථකාදීන්ට ඔවුනොවුන්ගේ ධර්මය ම ද පැහැදිලි කර දෙන බව දීඝ නිකායේ උදුම්බරික සූත්‍රාදියෙන් හෙළි වේ.
බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන අයට ආනුපුබ්බීකථාවෙන් දහම් දේශනා කරන සේක. එනම් දානකථා, ශීලකථා, ස්වර්ගකථා, කාමයන්ගේ ආදීනවය, කාමයන්ගේ ලාමකබව, කාමයන් නිසා සත්ත්වයන් කිළිටි වන බව, නෛශ්ක්රම්යයේ ආනිශංසය යනාදි අනුපිළිවෙළින් දහම් දෙසන සේක. එසේ ධර්ම ශ්‍රවණය කරන පුද්ගලයාගේ සිත කෙළෙස්වලින් පිරිසිදුව නෛශ්ක්රම්යයට නැමෙන අතර චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකි තත්ත්වයට පත් වෙයි. එසේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගත හැකි අන්දමට සිත සකස් වූ බව දැනගන්නා තථාගතයන් වහන්සේ දුක්ඛය, සමුදය, නිරෝධය, මග්ගය යන චතුරාර්ය සත්‍යයෙන් ධර්ම දේශනය කරන අතර එය අවසානයේ ධර්මශ්රවණය කරන හේතු සම්පත් ඇති සත්ත්වයෝ මඟ පල නිවන් අවබෝධ කරගන්නාහ.
මෙසේ ඒ තථාගතයන් වහන්සේ ලෝක සත්ත්වයාට මෙලොව පරලොව අර්ථයෙන් ද නිර්වාණ පරමාර්ථයෙන් ද අනුශාසනය කරන බැවින් සත්ථා දේවමනුස්සානං නම් වන සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Saturday, January 23, 2021
Monday, January 18, 2021
Sunday, January 17, 2021
බුද්ධානුස්සති භාවනාව – 24 කොටස ‘විසිතුරු ලෙස පුරුෂයන් දමනය කළ බුදුරජාණෝ’
බුද්ධානුස්සති භාවනාව – 24 කොටස ‘විසිතුරු ලෙස පුරුෂයන් දමනය කළ බුදුරජාණෝ’
Jan 15, 2021 | සිත නිවන භාවනා | 0
බුද්ධානුස්සති භාවනාව – 24 කොටස ‘විසිතුරු ලෙස පුරුෂයන් දමනය කළ බුදුරජාණෝ’
අප සරණගිය බුදුරජාණන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශන ගුණයෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන බව පසුගිය ලිපියෙන් දක්වන ලදී. මෙම ලිපියෙන් බුදුරජාණන් වහන්සේගේ පුරිසදම්මසාරථි ගුණය විස්තර වේ.
ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කළ බැවින් ‘පුරිසදම්මසාරථි’ නම් වන සේක. පුරිසදම්ම යන්නෙන් නොදැමුණු, දමනය කිරීමට සුදුසු වූ තිරිසන්ගත පුරුෂයෝ ද මනුෂ්‍ය පුරුෂයෝ ද අමනුෂ්‍ය පුරුෂයෝ ද අදහස් වේ. භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනා දමනය කළ බැවින් පුරිසදම්මසාරථි නම් වන සේක.
භාග්‍යවතුන් වහන්සේ විසින් අපලාල නාගරාජයා, අරවාළ නාගරාජයා, නාලාගිරි හස්තිරාජයා ආදි තිරිසන්ගත සත්වයන් දමනය කරන ලදී. එසේ ම අංගුලිමාල ය, සච්චක ය, අම්බට්ඨමානවක ය, පොක්ඛරසාති ආදි බ්රාහ්මණවරු ය, උපාලි ගෘහපති ආදි ගෘහපතිවරු යනාදි මනුෂ්‍ය පුරුෂයෝ ද දමනය කර සරණ සිල්හි පිහිටුවන ලදී. එසේ ම ආළවක, සුචිලෝම, ඛරලෝමාදි යක්ෂයන් ද ශක්‍ර දේවේන්ද්‍රයා ය, බක බ්‍රහ්මයා ය ආදිකොට ඇති අමනුෂ්‍ය පුරුෂයන් ද විසිතුරු වූ විනයන උපායයන්ගෙන් දමනය කළ සේක. මෙසේ තිරිසන්ගත වූ ද මනුෂ්‍ය වූ ද අමනුෂ්‍ය වූ ද පුරුෂයන් දමනය කරන ලද බැවින් පුරිසදම්මසාරථි නම් වේ. දමනය කළ යුතු මාගමුන් ඇත ද උතුම් බව වශයෙන් පුරුෂයන් ම කියන ලදී.
දමනය කළ යුතු පුද්ගලයෝ නම් ලෝකයේ කායබල, ධනබල, ඥානබල ආදි කිසියම් බලයක් නිසාවෙන් මත් වී ගරු කළයුත්තන්ට ගරු නො කරමින් යටත් විය යුත්තන්ට යටත් නො වෙමින් අනුන්ට කරදර කරමින් ගුණවතුන්ට අවමන් කරමින් හැසිරෙන අයයි. මෙසේ කාය බලාදිය නිසාවෙන් නොදැමුණු පුද්ගලයන් කාය බල ආදියෙන් ම දමනය කිරීම ලෝකයේ සාමාන්‍යයෙන් සිදු වේ. රජවරු තම රටේ වෙසෙන සොර සතුරන් දමනය කරන්නේ මේ අයුරිනි. එහෙත් එසේ දමනය කිරීමෙන් දමනය වන තැනැත්තාට සැම විට ම යහපතක් සිදු නොවේ. ඇතැම් විට මරණයට පත් වීමට ද සිදු වේ. එසේ නැතහොත් තමන්ට යළි බලය ලැබුණු විට පෙර තත්වයට ම පත් වේ. එබැවින් කාය බල ආදිය උපයෝගී කරගෙන මැඩපවත්වමින් යම් කෙනෙක් දමනය කරයි නම් එය සැබෑ දමනය කිරීමක් නො වේ.
තථාගතයන් වහන්සේ පුරුෂයන් දමනය කරන්නේ එසේ කිසිවෙකුට අයහපතක් සිදු වන ආකාරයෙන් නොවේ. තථාගතයන් වහන්සේලා නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දැමිය යුතු පුරුෂයන් දමනය කරති. දඬු මුගුරු ගැනීමක් නොමැතිව, තමන් වහන්සේගේ කරුණා ගුණ මහිමයෙන් ම දමනය කළ යුතු පුද්ගලයන් දමනය කරන සේක.
අංගුත්තර චතුෂ්ක නිපාතයේ කේශී සූත්‍රයේ දැක්වෙන අන්දමට දිනක් කේශි නමැති අශ්වයන් දමනය කරන්නා බුදුරජාණන් වහන්සේ වෙත එළඹ සිටි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඔහුගෙන් අශ්වයන් දමනය කරන ආකාරය විමසා සිටියහ. එහි දී ඔහු කියා සිටියේ “ස්වාමීනි, මම මෙළෙකින් ද රළුයෙන් ද ඒ දෙකෙන් ම ද අශ්වයන් දමනය කරමි” යනුවෙනි. එසේ මෙළෙකින් හෝ රළුයෙන් හෝ ඒ දෙකෙන් ම දමනය කළ නොහැකි අශ්වයන්ට කුමක් කරන්නේ දැ යි අසා සිටි විට ඔහු පැවසුවේ එම අශ්වයන් තමන්ගේ ඇදුරු පරපුරට අවමානයක් වන බැවින් මරා දමන බවයි.
අනතුරුව කේශී විසින් අසන ලද්දේ භාග්‍යවතුන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථි වන බැවින් පුරුෂයන් දමනය කරන ආකාරය කෙසේ ද යන්නයි. එහි දී භාග්‍යවතුන් වහන්සේ ද “කේශී, මම ද දමනය කළ යුතු පුරුෂයන් මෙළෙකින් ද රළුයෙන් ද ඒ දෙකෙන් ම ද හික්මවමි” යැයි වදාළ සේක.
මෙහි දී බුදුරජාණන් වහන්සේ වදාළ මෙළෙකින් හික්මවීම නම් කාය, වාක්, මනෝ සුචරිතයන්ගේ විපාක දක්වමින් එයින් සුගතියේ උපත ලබන බව දේශනා කර කාය වාක් මනෝ සුචරිතයට අනුශාසනා කිරීමයි. රළුයෙන් හික්මවීම නම් කාය වාක් මනෝ දුශ්චරිතයේ ආදීනව දේශනා කොට එයින් දුගතියේ උපත ලබන බව කියා දී ත්‍රිවිධ දුශ්චරිතයෙන් වැළකීමට අනුශාසනා කිරීමයි. මේ දෙයාකාරයෙන් ම අනුශාසනා කිරීම ද භාග්‍යවතුන් වහන්සේ විසින් කරනු ලැබේ.
මෙහි දී කේශී විසින් අසන ලද්දේ යම් හෙයකින් මේ තුන් ආකාරයෙන් ම හික්මවිය නොහැකි පුද්ගලයෙක් සිටී නම් ඒ අයට කුමක් කරන්නේ ද කියා ය. එහි දී බුදුරජාණන් වහන්සේ “කේශී, ඒ තුන් ආකාරයෙන් ම හික්මවිය නොහැකි නම්, මම ද ඔහු මරමි” යැයි පිළිතුරු දුන්හ. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ මේ කවර හෝ අනුශාසනයකින් හික්මවාලිය නොහැකි පුද්ගලයා අවවාද නොකළ යුත්තෙක් යැයි සලකා බැහැර කරන බවයි. එය මෙම ආර්ය විනයෙහි මරණයට පත් කිරීම හා සමාන බව ද වදාළ සේක. මෙසේ තථාගතයන් වහන්සේ නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දැමිය යුතු සත්ත්වයන් දමනය කළ සේක.
මෙපමණක් නොව භාග්‍යවතුන්වහන්සේ පිරිසිදු ශීලයක පිහිටි පුද්ගලයන්ට ප්‍රථමධ්‍යානාදිය අධිගමනය කිරීමට මඟපෙන්වීමෙන්, ප්රථමධ්යානලාභීන්ට ද්විතීයධ්යානාදියට මඟපෙන්වීමෙන් යනාදි ලෙස මතු මත්තෙහි විශේෂ අධිගමය පිණිස අනුශාසනා කිරීමෙන් ද පුරුෂයන් දමනය කරන සේක. එසේ ම සෝතාපන්නාදි මාර්ගඵලයනට පත් වූ අයට මතු මත්තෙහි මාර්ග ඵල ප්‍රතිලාභය පිණිස පිළිවෙත් කියා දීමෙන් දමනය වූ පුද්ගලයන් ද දමනය කරන සේක.
මෙසේ තථාගතයන් වහන්සේ සර්වාකාරයෙන් ම දමනය කළ යුතු පුද්ගලයන් මෙන් ම දමනය වූ පුද්ගලයන්ට ද මතු මත්තෙහි විශේෂාධිගමය පිණිස අනුශාසනයෙන් ඒ දමනය වූ අය ද දමනය කරන හෙයින් පුරිසදම්මසාරථි නම් වන සේක.
එසේ ම මෙම අනුත්තරපුරිසදම්මසාරථි යන්න එකම වාක්‍යයක් ලෙස ගෙන ද අර්ථය දක්වනු ලැබේ. එනම් යම් සේ පුද්ගලයෙක් එක ම පළඟකින් හිඳ අෂ්ට සමාපත්තීන් ම හෝ අෂ්ටාභිභායතනයන් ම උපදවන්නේ ද එසේ භාග්‍යවතුන් වහන්සේ පුරුෂයන් දමනය කරන සේක. මේ බව බුදුරජාණන් වහන්සේ මජ්ක්‍ධිමනිකායේ උපරිපණ්ණාසකයේ සළායතන විභඩ්ග සූත්‍රයේ විස්තර වශයෙන් දේශනා කළ සේක. ඇතුන්, අශ්වයන් දමනය කරන පුද්ගලයන් ඒ ඇත්, අශ්වයන් ධාවනය කරන්නේ එක ම දිශාවකට වේ. එහෙත් ශාස්තෘන් වහන්සේ දමනය කරන පුද්ගලයා එක ම ඉරියව්වෙන් අෂ්ට දිශාවන්ට ම ද පෙර නොගිය නිරෝධ සමාපත්තිය, නිර්වාණය දෙසට ද මෙහෙයවන සේක. එහෙයින් තථාගතයන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් නොයෙක් විසිතුරු විනයන උපායයන්ගෙන් දමනය කළ බැවින් ‘අනුත්තරපුරිසදම්මසාරථි’ නම් වන සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Saturday, January 16, 2021
බුද්ධානුස්සති භාවනාව – 23 කොටස “උත්තරීතර බැවින් අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ”
බුද්ධානුස්සති භාවනාව – 23 කොටස “උත්තරීතර බැවින් අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ”
Jan 15, 2021 | සිත නිවන භාවනා | 0
බුද්ධානුස්සති භාවනාව වැඩීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය නව අරහාදි ගුණ වශයෙන් ගෙන මෙනෙහි කිරීම වඩාත් පහසු වේ. ඒ සඳහා නව අරහාදි බුදුගුණ එක එකක් පිළිබඳ අවබෝධය ලබා ගත යුතු වේ. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරපුරිසදම්මසාරථී ගුණය පිළිබඳව වේ.
අප සරණගිය බුදුරජාණන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක. මෙය ‘අනුත්තරො’ සහ ‘පුරිසදම්මසාරථි’ යනුවෙන් දෙපරිදි වේ.
1. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශන ගුණයෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක.
2. ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කරන බැවින් ‘පුරිසදම්මසාරථි’ නම් වන සේක.
අනුත්තරො
බුදුරජාණන් වහන්සේගේ අනුත්තරපුරිසදම්මසාරථි ගුණයෙහි ‘අනුත්තර’ යන්නෙන් අදහස් වන්නේ උත්තරීතර බවයි. එනම් තමන් වහන්සේට වඩා අන් උත්තරීතර අයෙක් නොමැති බවයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වඩා ගුණ මහන්තත්වයෙන් විශිෂ්ට වූ කිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක. ‘නත්ථි එතස්ස උත්තරොති=අනුත්තරො’ යනු එහි පාළි විග්‍රහය යි.
භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥානදර්ශනයන්ගෙන් සියලු ලෝකය අභිභවනය කරන සේක. බුදුරජාණන් වහන්සේගේ ශීල ගුණයට සමාන ශීල ගුණයක් ඇති අන් කිසිවෙකුත් ලොව නැත්තේ වෙයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකය තමන් වහන්සේගේ ශීල ගුණයෙන් මැඩ පවත්වා වාසය කරන සේක. එසේ ම බුදුරජාණන් වහන්සේගේ සමාධියට සම කළ හැකි සමාධියක් ඇති අයෙක් තුන් ලෝක ධාතුව තුළම නැත. උන්වහන්සේගේ ප්‍රඥාවට සම කළ හැකි කිසිවෙකුත් නැත. උන්වහන්සේගේ විමුක්ති, විමුක්ති ඥානදර්ශනයන්ට ද සම කළ හැකි අන් කිසිවෙක් නැත. මෙසේ බුදුරජාණන් වහන්සේ ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඥානදර්ශනයෙන් ද අන් සියලු දෙනාට උත්තරීතර බැවින් දෙවියන් සහිත ලෝකය අභිබවනය කරන සේක. එහෙයින් උන්වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
ඒ භාග්‍යවතුන් වහන්සේ ශීල ගුණයෙන් ‘අසම’ වන සේක. ‘අසමසම’ වන සේක. ‘අප්පටිම’ වන සේක. ‘අප්පටිභාග’ වන සේක. ‘අප්පටිපුග්ගල’ වන සේක.
ශීල ගුණයෙන් තමන් වහන්සේ හා සම වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අසම’ නම් වන සේක. එසේ ම ශීල ගුණයෙන් අසම වූ අතීතානාගත බුදුවරයන් වහන්සේලා සමඟ පමණක් ම සම වන බැවින් ‘අසමසම’ නම් වන සේක. ශීල ගුණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට උපමා කළ හැකි අන් අයෙක් නොමැති බැවින් ‘අප්පටිම’ නම් වේ. ශීල ගුණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට සමාන උපමා කළ හැකි අයෙක් නොමැති බැවින් ‘අප්පටිභාග’ නම් වේ. මම බුදු වෙමි යි තමන්වහන්සේට ප්රතිපක්ෂව සිටිය හැකි ශීලගුණයෙන් යුත් පුද්ගලයෙක් නොමැති බැවින් ‘අප්පටිපුග්ගල’ නම් වේ.
එසේ ම සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශන ගුණයන්ගෙන් ද ඒ භාග්‍යවතුන් වහන්සේ අසම, අසමසම, අප්පටිම, අප්පටිභාග, අප්පටිපුග්ගල වන සේක.
සංයුත්තනිකායේ ගාරව සූත්‍රයේ ද අංගුත්තරනිකායේ චතුක්ක නිපාතයේ පඨම උරුවේල සූත්‍රයේ ද ආදි සූත්‍රවල සඳහන් වන අන්දමට බුද්ධත්වයෙන් අනතුරුව නේරඤ්ජරා නදී තෙර අජපල් නුගරුක්මුල වැඩ හිඳිනා බුදුරජාණන් වහන්සේට සිතිවිල්ලක් පහළ විය. ‘න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ … අත්තනා සීලසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා’ යනාදි වශයෙන් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තමන් වහන්සේට වඩා ශීලසම්පන්න පුද්ගලයෙක් නොදකින බවට සිතිවිල්ලක් පහළ විය. ඒ බුදුරජාණන් වහන්සේ සමස්ථ ලෝකය අතැඹුලක් සේ මැනවින් ම සර්වඥතාඥානයෙන් දක්නා හෙයින් ඒ සර්වඥතාඥානයෙන් හාත්පස ලෝකය බලන බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේට වඩා ශීල ගුණයෙන් උසස් අන් කිසිවෙකුත් මේ තුන් ලෝකයෙහි කවර තැනක හෝ නොදකින සේක. එහෙයින් බුදුරජාණන් වහන්සේ ශීලයෙන් උත්තරීතර හෙයින් ‘අනුත්තර’ නම් වන සේක.
එසේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශනයෙන් ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තමන් වහන්සේට වඩා උත්තරීතර අන් කිසිවෙකුත් නොදක්නා බවයි. එබැවින් ද බුදුරජාණන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
තව ද අග්ගප්පසාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ “යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා” යනාදි ලෙස ‘යම්තාක් ලෝකයේ අපා, දෙපා, සිව්පා, බහුපා, රූපී, අරූපී, සඤ්ඤී, අසඤ්ඤී, නෙවසඤ්ඤිනාසඤ්ඤී සත්ත්වයන් සිටිත් ද ඒ සියල්ල අතරින් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම අග්‍ර, උත්තම, ශ්‍රේෂ්ඨ බව’ වදාළ සේක. ඒ අග්‍ර වූ, උත්තම වූ, ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නා තැනැත්තා අග්‍ර වූ ස්ථානයක සිත පහදවා ගන්නා බැවින් අග්‍ර වූ විපාක ලබන බව ද වදාළ සේක. එසේ අන් සියලු සත්වයන්ට වඩා අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බැවින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍ර දේශනය පිණිස බෝ මැඩ සිට බරණැස ඉසිපතනාරාමය දක්වා පා ගමනින් වඩින අතරමඟ දී උපක නම් ආජීවකයෙක් මුණ ගැසුණි. ඒ උපක ආජීවකයා බුදුරජාණන් වහන්සේ දැක පැහැදී භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියේ තමන් වහන්සේගේ ආචාර්යවරයා කවුරුන් ද යන්නයි. එහි දී බුදුරජාණන් වහන්සේ වදාළේ,
“න මෙ ආචරියො අත්ථි – සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං – නත්ථි මෙ පටිපුග්ගලො”
‘මට ලෝකෝත්තර ධර්මයෙහි ඇදුරුවරයෙක් නැත. මා හා සමාන වූවෙක් විද්‍යමාන නොවේ. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සමාන පුද්ගලයෙක් නැත.’ යනුවෙනි. මෙසේ ද බුදුරජාණන් වහන්සේට සමාන අන් කිසිවෙකුත් ලොව විද්‍යමාන නොවන හෙයින් ‘අනුත්තර’ නම් වන සේක.
දීඝනිකායේ පාසාදික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ චුන්ද සාමණේරයන් වහන්සේට වදාළේ “දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ සෙස්සන් මැඩලනුයේ සෙස්සන් විසින් නොමැඩලන ලද්දේය, සියල්ල දක්නා ලද්දේය. අන් අය ස්වකීය වසඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.” යනුවෙනි. එනම් තථාගතයන් වහන්සේ ස්වකීය ශීලාදි ගුණයෙන් අන් අය අභිබවනය කරමින් වාසය කරන සේක. අන් කිසිවෙකුටත් ශීලාදි ගුණයෙන් තථාගතයන් වහන්සේව අභිබවනය කළ නොහැක්කේ ය. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශනයන්ගෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක.
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි
Thursday, January 14, 2021
නිමොක්ඛසුත්තං
නිමොක්ඛසුත්තං
2
සාවත්ථිනිදානං . අථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි; උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං එතදවොච -
‘‘ජානාසි නො ත්වං, මාරිස, සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙක’’න්ති?
‘‘ජානාමි ඛ්වාහං, ආවුසො, සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙක’’න්ති.
‘‘යථා කථං පන ත්වං, මාරිස, ජානාසි සත්තානං නිමොක්ඛං පමොක්ඛං විවෙක’’න්ති?
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්ණ ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම “නිදුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛයත් (ආර්‍ය්‍ය මාර්ගය) පමෝක්ඛයත් (ආර්‍ය්‍ය ඵලය) විවේකයත් (නිර්වාණය) දන්නෝදැ ?” යි (ඇසීය)
“ඇවැත්නි මම් වනාහි සත්ත්වයන්ගේ නිමෝක්ඛයත් පමෝක්ඛයත් විවේකයත් දනිමි.”
“නිදුකාණනි, සත්ත්වයන්ගේ නිමෝක්ඛය, විමෝක්ඛය, විවේකය, කුමකැයි ඔබ දන්නෝද?”
“තණහාව මුල්කොට ඇති භවය සර්වප්රකාරයෙන් ක්ෂයබවට පැමිණීමෙන්ද, සංඥාස්කන්‍ධ විඥානස්කන්‍ධයන්ගේ ක්ෂය බවට පැමිණීමෙන්ද, වේදනාවන්ගේ නිරුද්ධවීමෙන්, සංසිඳීයෑමෙන්ද මෙසේ සත්ත්වයන්ගේ නිමෝක්ඛය, පමෝක්ඛය, විවේකය වේයැයි මෙසේ, ඇවැත්නි, මෙය මම දනිමි” යි (භාග්‍යවතුන්වහන්සේ වදාළසේක,)
Wednesday, January 13, 2021
1. ඔඝ සූත්‍රය
සංයුත්තනිකායො |
සගාථාවග්ගො |
1. දෙවතාසංයුත්තං |
1. නළවග්ගො |
1. ඔඝතරණසුත්තං |
එවං ‘‘චිරස්සං වත පස්සාමි, බ්රාහ්මණං පරිනිබ්බුතං; අප්පතිට්ඨං අනායූහං, තිණ්ණං ලොකෙ විසත්තික’’න්ති. - ඉදමවොච |
සංයුත්තනිකායො
සගාථ වර්ගය
1. දෙවතා සංයූත්තය
1. නළ වර්ගය
1. ඔඝ සූත්‍රය
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...