බුද්ධානුස්සති භාවනාව වැඩීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණස්කන්ධය නව අරහාදි ගුණ වශයෙන් ගෙන මෙනෙහි කිරීම වඩාත් පහසු වේ. ඒ සඳහා නව අරහාදි බුදුගුණ එක එකක් පිළිබඳ අවබෝධය ලබා ගත යුතු වේ. මෙම ලිපියෙන් විස්තර කෙරෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අනුත්තරපුරිසදම්මසාරථී ගුණය පිළිබඳව වේ.

අප සරණගිය බුදුරජාණන් වහන්සේ අනුත්තරපුරිසදම්මසාරථි නම් වන සේක. මෙය ‘අනුත්තරො’ සහ ‘පුරිසදම්මසාරථි’ යනුවෙන් දෙපරිදි වේ.
1. ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීලයෙන් ද සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශන ගුණයෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක.
2. ඒ භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් දමනය කරන බැවින් ‘පුරිසදම්මසාරථි’ නම් වන සේක.

අනුත්තරො
බුදුරජාණන් වහන්සේගේ අනුත්තරපුරිසදම්මසාරථි ගුණයෙහි ‘අනුත්තර’ යන්නෙන් අදහස් වන්නේ උත්තරීතර බවයි. එනම් තමන් වහන්සේට වඩා අන් උත්තරීතර අයෙක් නොමැති බවයි. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වඩා ගුණ මහන්තත්වයෙන් විශිෂ්ට වූ කිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක. ‘නත්‍ථි එතස්ස උත්තරොති=අනුත්තරො’ යනු එහි පාළි විග්‍රහය යි.

භාග්‍යවතුන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥානදර්ශනයන්ගෙන් සියලු ලෝකය අභිභවනය කරන සේක. බුදුරජාණන් වහන්සේගේ ශීල ගුණයට සමාන ශීල ගුණයක් ඇති අන් කිසිවෙකුත් ලොව නැත්තේ වෙයි. එහෙයින් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකය තමන් වහන්සේගේ ශීල ගුණයෙන් මැඩ පවත්වා වාසය කරන සේක. එසේ ම බුදුරජාණන් වහන්සේගේ සමාධියට සම කළ හැකි සමාධියක් ඇති අයෙක් තුන් ලෝක ධාතුව තුළම නැත. උන්වහන්සේගේ ප්‍රඥාවට සම කළ හැකි කිසිවෙකුත් නැත. උන්වහන්සේගේ විමුක්ති, විමුක්ති ඥානදර්ශනයන්ට ද සම කළ හැකි අන් කිසිවෙක් නැත. මෙසේ බුදුරජාණන් වහන්සේ ශීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන්, විමුක්තිඥානදර්ශනයෙන් ද අන් සියලු දෙනාට උත්තරීතර බැවින් දෙවියන් සහිත ලෝකය අභිබවනය කරන සේක. එහෙයින් උන්වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.

ඒ භාග්‍යවතුන් වහන්සේ ශීල ගුණයෙන් ‘අසම’ වන සේක. ‘අසමසම’ වන සේක. ‘අප්පටිම’ වන සේක. ‘අප්පටිභාග’ වන සේක. ‘අප්පටිපුග්ගල’ වන සේක.
ශීල ගුණයෙන් තමන් වහන්සේ හා සම වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අසම’ නම් වන සේක. එසේ ම ශීල ගුණයෙන් අසම වූ අතීතානාගත බුදුවරයන් වහන්සේලා සමඟ පමණක් ම සම වන බැවින් ‘අසමසම’ නම් වන සේක. ශීල ගුණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට උපමා කළ හැකි අන් අයෙක් නොමැති බැවින් ‘අප්පටිම’ නම් වේ. ශීල ගුණයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේට සමාන උපමා කළ හැකි අයෙක් නොමැති බැවින් ‘අප්පටිභාග’ නම් වේ. මම බුදු වෙමි යි තමන්වහන්සේට ප්‍රතිපක්‍ෂව සිටිය හැකි ශීලගුණයෙන් යුත් පුද්ගලයෙක් නොමැති බැවින් ‘අප්පටිපුග්ගල’ නම් වේ.

එසේ ම සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශන ගුණයන්ගෙන් ද ඒ භාග්‍යවතුන් වහන්සේ අසම, අසමසම, අප්පටිම, අප්පටිභාග, අප්පටිපුග්ගල වන සේක.
සංයුත්තනිකායේ ගාරව සූත්‍රයේ ද අංගුත්තරනිකායේ චතුක්ක නිපාතයේ පඨම උරුවේල සූත්‍රයේ ද ආදි සූත්‍රවල සඳහන් වන අන්දමට බුද්ධත්වයෙන් අනතුරුව නේරඤ්ජරා නදී තෙර අජපල් නුගරුක්මුල වැඩ හිඳිනා බුදුරජාණන් වහන්සේට සිතිවිල්ලක් පහළ විය. ‘න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ … අත්තනා සීලසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්‍රාහ්මණං වා’ යනාදි වශයෙන් දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තමන් වහන්සේට වඩා ශීලසම්පන්න පුද්ගලයෙක් නොදකින බවට සිතිවිල්ලක් පහළ විය. ඒ බුදුරජාණන් වහන්සේ සමස්ථ ලෝකය අතැඹුලක් සේ මැනවින් ම සර්වඥතාඥානයෙන් දක්නා හෙයින් ඒ සර්වඥතාඥානයෙන් හාත්පස ලෝකය බලන බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේට වඩා ශීල ගුණයෙන් උසස් අන් කිසිවෙකුත් මේ තුන් ලෝකයෙහි කවර තැනක හෝ නොදකින සේක. එහෙයින් බුදුරජාණන් වහන්සේ ශීලයෙන් උත්තරීතර හෙයින් ‘අනුත්තර’ නම් වන සේක.

එසේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනුයේ සමාධියෙන් ද ප්‍රඥාවෙන් ද විමුක්තියෙන් ද විමුක්තිඥානදර්ශනයෙන් ද දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තමන් වහන්සේට වඩා උත්තරීතර අන් කිසිවෙකුත් නොදක්නා බවයි. එබැවින් ද බුදුරජාණන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.
තව ද අග්ගප්පසාද සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ “යාවතා භික්‍ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා” යනාදි ලෙස ‘යම්තාක් ලෝකයේ අපා, දෙපා, සිව්පා, බහුපා, රූපී, අරූපී, සඤ්ඤී, අසඤ්ඤී, නෙවසඤ්ඤිනාසඤ්ඤී සත්ත්වයන් සිටිත් ද ඒ සියල්ල අතරින් තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම අග්‍ර, උත්තම, ශ්‍රේෂ්ඨ බව’ වදාළ සේක. ඒ අග්‍ර වූ, උත්තම වූ, ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්නා තැනැත්තා අග්‍ර වූ ස්ථානයක සිත පහදවා ගන්නා බැවින් අග්‍ර වූ විපාක ලබන බව ද වදාළ සේක. එසේ අන් සියලු සත්වයන්ට වඩා අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ බැවින් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.

තථාගතයන් වහන්සේ බුද්ධත්වයෙන් අනතුරුව දම්සක් පැවතුම් සූත්‍ර දේශනය පිණිස බෝ මැඩ සිට බරණැස ඉසිපතනාරාමය දක්වා පා ගමනින් වඩින අතරමඟ දී උපක නම් ආජීවකයෙක් මුණ ගැසුණි. ඒ උපක ආජීවකයා බුදුරජාණන් වහන්සේ දැක පැහැදී භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සිටියේ තමන් වහන්සේගේ ආචාර්යවරයා කවුරුන් ද යන්නයි. එහි දී බුදුරජාණන් වහන්සේ වදාළේ,
“න මෙ ආචරියො අත්‍ථි – සදිසො මෙ න විජ්ජති
සදෙවකස්මිං ලොකස්මිං – නත්‍ථි මෙ පටිපුග්ගලො”

‘මට ලෝකෝත්තර ධර්මයෙහි ඇදුරුවරයෙක් නැත. මා හා සමාන වූවෙක් විද්‍යමාන නොවේ. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සමාන පුද්ගලයෙක් නැත.’ යනුවෙනි. මෙසේ ද බුදුරජාණන් වහන්සේට සමාන අන් කිසිවෙකුත් ලොව විද්‍යමාන නොවන හෙයින් ‘අනුත්තර’ නම් වන සේක.

දීඝනිකායේ පාසාදික සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ චුන්ද සාමණේරයන් වහන්සේට වදාළේ “දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ලෝකයේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජාවෙහි තථාගතයන් වහන්සේ සෙස්සන් මැඩලනුයේ සෙස්සන් විසින් නොමැඩලන ලද්දේය, සියල්ල දක්නා ලද්දේය. අන් අය ස්වකීය වසඟයෙහි පවත්වන්නේය. එහෙයින් තථාගත යැයි කියනු ලැබේ.” යනුවෙනි. එනම් තථාගතයන් වහන්සේ ස්වකීය ශීලාදි ගුණයෙන් අන් අය අභිබවනය කරමින් වාසය කරන සේක. අන් කිසිවෙකුටත් ශීලාදි ගුණයෙන් තථාගතයන් වහන්සේව අභිබවනය කළ නොහැක්කේ ය. එහෙයින් තථාගතයන් වහන්සේ ‘අනුත්තර’ නම් වන සේක.

මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේට වඩා ශීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්තිඥානදර්ශනයන්ගෙන් ද උත්තරීතර වූ අන් කිසිවෙකුත් නොමැති බැවින් ‘අනුත්තර’ නම් වන සේක.

දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍යසේනාසන වාසී,
ත්‍රිපිටක විශාරද, විද්‍යාවේදී, ශාස්ත්‍රපති,
පූජ්‍ය මහව ඤාණාලෝක හිමි