අවිදු තිමිර පට දුරුකරන්නට ලොවට පෑයු ලහිරු මඬල වැනි මහාකාරුණික දීපංකර බුදුරජානන් වහන්සේ පිරිනිවී කල්ප අසංඛ්‍යයයක් ගිය තැන එතෙක් ලොව පැවති අවිද්‍යා අන්ධකාරය නිසා වැසී තිබුණු නිවන් දොර විවර කරන්නට කොණ්ඩඤ්ඤ නම් දසබලධාරී සර්‍වඥයන් වහන්සේ මේ මගුල් සක්වලෙහි පහළ වූ සේක.

රම්මවතී නුවර සුනන්ද නම් රජු නිසා සුජාතා නම් මව් දේවියගේ කුසෙහි ඉපිද වැඩිවියට පැමිණ ගිහිගෙය අතහැර සාල කල්‍යාණ නම් බෝධියට පිටදී අභිසම්බෝධියට පත්වූ එම බුදුරාජාණන් වහන්සේ අසූඅට රියනින් යුතු ශ්‍රී බුද්ධ ශරීරයෙන් සවනක් බුදුරැස් විහිදුවමින් දම්සක් දේශනා කොට “භද්‍රය, සුභද්‍රය” යන අගසව් දෙනම පෙරටු කොටගෙන “අනුරුද්ධ” නම් උපස්ථායක තෙරුන් වහන්සේගෙන් උපස්ථාන ලබමින් “තිස්සා, උපතිස්සා” යන අග්‍ර ශ්‍රාවිකාවන්ද ඇතිව දෙවි මිනිසුන්ට හිතවැඩ පිණිස ගම්, නියම් ගම්, නගර සිසාරා මුල, මැද, අග යහපත්වූ ධර්මය දේශනා කරමින් දහම් චාරිකාවේ හැසිරෙන සේක.

එකල්හි අපගේ බෝධිසත්වයන් වහන්සේ ‘විජිතාවී ’ නම් සක්විති රජව ඉපද කෝටී ලක්‍ෂ සංඛ්‍යාත වූ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය විෂයෙහි මහා දානයක් දුන්නේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, මෙම බෝධිසත්ව තෙමේ අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේය යැයි විවරණ දෙමින් ධර්ම දේශනා කළ සේක. එම දේශනාව ශ්‍රවණය කළ අප මහා බෝධිසත්වයන් වහන්සේ වූ විජිතවි නම් සක්විති රජ තෙමේ සියලු සක්විති සැපසම්පත් සහිත රාජ්‍ය භාරදී පැවිදි විය. හෙතෙම ත්‍රිපිටකය ඉගෙන අෂ්ට සමාපත්ති, පඤ්ච අභිඤ්ඤා උපදවා නොපිරිහුණු ධ්‍යාන ඇති හෙයින් කළුරියකොට බ්‍රහ්මලෝකයෙහි පහළ වූ සේක.

කොණ්ඩඤ්ඤ බුදුරජණන් වහන්සේ සියලු බුදුකිස නිමවා, ලක්‍ෂයක් අවුරුදු ආයු වළදා අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවුණු සේක.

(ජාතකට්ඨාකථාව ඇසුරෙනි)

“චිරං තිට්ඨතු ලෝකස්මිං…සම්මා සම්බුද්ධ සාසනං”

සම්පාදක

පුජ්‍ය පුවක්පිටියේ සුමංගලරතන හිමි.