ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ අධි පොසොන් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2018 ජුනි 06 වනදා බදාදා
දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක නිමා කරමු
බලංගොඩ දම්වැල්ඕඩය
වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම පුරාණ රජමහා විහාරාධිපති
ර/බල/වැලිපතයාය ප්‍රාථමික විද්‍යාලයේ
විදුහල්පති,
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි
නමො තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
යො අප්ප දුට්ඨස්ස නරස්ස දුස්සතී
සූද්ධස්ස පෝසස්ස අනංගනස්ස
තමේව බාලං පච්චේති පාපං
සුඛුමො රජො, පටිවාතංව ඛිත්තො
“යමෙක් ද්වේෂ නොකරන, වරදක් නොකරන කෙනෙකුට අවැඩක් කරයි නම්, ඒ පාපය ආපසු තමන් කරා පැමිණෙයි. උඩුසුළඟට දැමු දූවිලිමෙන් පෙරළා ආපසු පැමිණේ.”
“අප්පදුට්ඨස්ස” යනු නිදොස් පුද්ගලයා ය. තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම අවැඩක් සිදුකරයි ද, එය ‘දොස්’ ලෙස හැඳින්වේ. තමන්ට හෝ අනුන්ට කරදර නොකර දැහැමෙන්, සෙමෙන් කල් යවන්නා නිදොස් පුද්ගලයා ය. ඔහුගේ ලක්ෂණ මැනවින් පෙනේ. පැවැත්ම යහපත් ය. යන එන ගමන බිමන් සන්සුන් ය. තුන්දොර පිරිසුදු ය. අනුන් කෙරේ මෙත් සිත පතුරයි. “සුද්ධස්ස” යනුවෙන් හඳුන්වයි. “අනංගනස්ස” කෙලෙස් නැති තැනැත්තා ය. සසර බැඳ තබන බැමිබිඳ දැමූ නිකෙලෙස් ඇත්තෙකි. එවැනි පිරිසුදු සිත් ඇති අයට දුස්සීල අයෙක් දොස් කීමෙන් ,අවැඩක් කිරීමෙන්, චරිතයට කැළැල් ඇති කිරීමෙන් ඇතිවන පාප කර්මය සුළුපටු නොවේ. ආපසු විපාක හඹා ඒම වැළැක්විය නොහැකි ය. වසර ගණනක සිට කීර්තිමත් වෙමින් ගොඩනඟා ගත් සමාජ පසුබිම දුෂිත වචනයෙන් අපකීර්තියට ඇද දමන්මෝ කවදත් සමාජයේ සිටිති. වචනයෙන්, කයින් කෙනෙකුට අවැඩක් සිදුකිරීමට ගොස් ඒ කර්ම ශක්තිය ආපසු පැමිණ දුක් විඳි චරිත බෞද්ධ සාහිත්‍යයෙන් සෙවිය හැකි ය.
ඉහත ගාථාව දේශනා කර ඇත්තේ ද එවැනි සිද්ධියක් මුල්කර ගෙන ය. නමින් “කෝක” යනුවෙන් නම් දරා සිටි වැද්දෙක් දඩයම් කිරීමේ දී සුනඛයන් පිරිවරා යන බැවින් “කෝක නම් සුනඛ වැද්දා” යනුවෙන් හැඳින්වුණි. දිනක් සුනඛයන් පිරිවරාගෙන දඩයමේ යන වැද්දාට භික්ෂූන් වහන්සේ නමක් ඉදිරියට හමුවුණි. භික්ෂූන් වහන්සේ නමක් හමුවුණොත් කිසිම දඩයමක් නොලැබෙන බව ඔහුගේ අදහසයි. එනම් උදයේ ම හෝ ගමනක් ආරම්භයේ භික්ෂුන් වහන්සේ නමක් හෝ හිසමුඩු කරගත් අයෙක් දැකීම කාලකණ්ණි දර්ශනයක් වන බවයි. එවන් දැකීමක් සිදුවුණා යැයි ද, දඩයම් නොලැබෙනු ඇතැයි ද සිතමින් කැළයටම යයි. කැළය පුරා ඇවිද කිසි දඩයමක් නොලත් වැද්දා හිස් අතින් එන ගමනේ දී පිඬුසිඟා ආපසු වඩින භික්ෂුව දකියි. මුලින් මේ කාලකණ්ණියා දැක ගිය නිසා ගවරෝමයක් වත් නොලැබුණි. නැවතත් දුටු බැවින් ගෙදර බතත් නැති වේ යැයි අධික කෝපයක් ඇති කර ගත්තේ ය. ද්වේෂයෙන් රත්ව භික්ෂූන් වහන්සේ දෙසට දඩයම් සුනඛයන් උසි ගැන්විණි. කිසිවක් කර කියාගත නොහැකි වු භික්ෂූන් වහන්සේ ළඟම තිබු අතු පතුර විහිදී ගිය ගසකට ගොඩ වුණි. පොළවේ සිට බඹයක් තරම්වූ උසක් හදිස්සි අවස්ථාවලදි නැගගත හැකි බව විනය නීතියයි. ඒ උපක්‍රමයෙන් සුනඛයන්ගෙන් බේරීමට හැකි වුණි. එහෙත් වැද්දාගෙන් බේරීමට නොහැකිවුණි. සුනඛ රැළ ගසවට සිට බුරති. වැද්දා ඊතලවලින් භික්ෂූන් වහන්සේගේ යටි පතුලට අනියි.අතුමත පා තබන විට ඒ පාදවලට ඊතල’ඟින් අනියි. සිරුර ගිනිගත්තාක් මෙන් වේදනාව දැනුණි. වේදනාවෙන් පාද අතුමත මාරුකරමින් තබද්දී නොදැනුවත්වම සිරුරේ දවටාගෙන තිබුණු සිවුර ගැලවී වැටෙයි. උඩසිට සිවුර වැටුණේ වැද්දාගේ හිස වසාගෙන ය. දඩයම බලාසිටි දඩයම් සුනඛයෝ රැවටිණි. උඩසිටි කෙනා වැටුණේ යැයි සිතා තම ස්වාමියාගේ සිරුර මතට කඩාපැන කන්නට වුණි. සිවුර අස්සෙන් වැදි වැදී කාදමා වැද්දා මැරූහ. භික්ෂුවට දුන් වේදනාවට වඩා වැඩිවේදනා විඳිමින් මරණයට පත්වීමට සිදු වුණේ ය.
මෙම අවාසනාවන්ත සිද්ධියත් සමඟ භික්ෂූන් වහන්සේ විශාල භීතියකට පත්වුණි. සිය දිවියේ පැවිදිවූ තැන් සිට ආරක්ෂා කළ සීලයට හානියක් සිදුවූයේ දැයි දැන ගැනීමට බුදුන් දැකීමට යයි. සියලු සිද්ධිය සවිස්තර කළ භික්ෂුවට බුදුරදුන් වදාළේ තම සීලයට කිසිදු හානියක් සිදු නොවු බවයි. හැම මොහොතේම විශාල පසුබෑමකට පත්වූ සිත සැක දුරු කර ගැනීමට හැකිවුණි. මෙම සිද්ධිය අරමුණු කර ඉහත ගාථාව වදාරා දහම් දෙසූ සේක්. “ද්වේෂ නොකරන පිරිසිදු වූ සිල්වත් කෙනෙකුට ද්වේෂ කරමින්, තිදොරින් සිදුකර ගන්නා අකුසලයට විපාක ලැබෙන බව පෙන්වා දෙමින් පෙර භවවලදී ද එවැනි දේ සිදුකළ ඔහු ජීවිතක්ෂයට පත්වු බව වදාළහ. සසර පුරා කළ පින් ඵලයෙන් අවදිව දහම් නැණැස ඔස්සේ උතුම් රහත් ඵලයට පත්වීමෙන් සිල්වත් භික්ෂූන් වහන්සේ සසර ගමන කෙළවර කර ගත්හ.
මෙම චරිත දෙක හරහා වැදගත් පාඩමක් සමාජ ගත කරයි. පිරිසුදු චරිතයත් අපිරිසුදුවු චරිතයත් සමාජයේ ක්‍රියාත්මක වන අයුරු පෙන්වයි. තමන් සමාදන් වූ ශීලය දිවි දෙවැනිකොට රැක ගැනීමට අධිෂ්ඨානයෙන් කටයුතු කළ සිල්වතුන් වහන්සේ එම තීරණාත්මක අවස්ථාවේ දී බුද්ධ නීතියට පිටුපෑමට නොකැමැති වූහ. බඹයකට වඩා උඩට නැගීමට අකැමැති වුයේ එහෙයිනි. එම නික්ලේශී චරිතය පැසසුමට ලක්වේ.උදර පෝෂණය ජීවිතයේ පළමු කාර්ය කරගත් අපිරිසුදු මානසික මට්ටමක සිටි වැද්දා සිල්වතුන් වෙනුවෙන් ද්වාරත්‍රය අපිරිසුදුව තබා කටයුතු කිරීමෙන් දිට්ඨ ධම්ම වේදනීය කර්ම විපාක ලැබුණ බව පැහැදිලි ය. වැරැදි නොකරන මෙත් සිත පෙරටු කොට උභයාර්ථය සකසා ගැනීමට උත්සුක වන සිල්වතුන්ට ගර්හා කිරීම, චරිත කැළැල් ඇති කිරීම, දුක්දීම,පදබැඳීම, මෙලොව දී ම ප්‍රතිවිපාක ලැබෙන බව සමාජයට කියාදෙන්නේ කර්මයේ ප්‍රබලත්වයයි.
උසස් මනසක් උරුම කර ගෙන ජනිත වූ මිනිසාට විවිධ හැකියා පිහිටා තිබේ. විද්‍යා හා තාක්ෂණ ලෝකයේ ඉහළ හිනිපෙත්තට මිනිසා අද නැග තිබේ. ඒ මනසේ දියුණුව තාක්ෂණ පැත්තට යොමුකර ඇති හෙයිනි. එමගින් උපකරණවල දියුණුව ඉහළගොස් ඇත. බුදුවරු මනස යොමුකරන්නේ අධ්‍යාත්මික අංශයට ය. එමගින් අනවරාර්‍ග¡ සසර දුක් නිමා කර සිතේ නිවීම ඇති කරවයි.
තුන් දොර සංවරකර ගෙන සැහැල්ලු ජීවිතයක් ගොඩනගා වැරැදි අඩුකර නිවැරැදි දේ තේරුම් ගැනීමට ඉහත දේශනාව ආදර්ශයට ගැනීමට උත්සාහ වන්න. පහත් සිතිවිලි උත්පාදනයට ඉඩ නොදී උසස් සිතිවිලි මතුකර ගෙන දැහැමි සිතිවිලි ඔස්සේ සසර දුක් කෙළවර කර ගැනීමට ලැබූ මිනිස් දිවිය හසුරුවා ගන්න.
No comments:
Post a Comment