Tuesday, November 29, 2022
Sunday, October 16, 2022
මිනිසත්බව දේවත්වයට ද වඩා උතුම්ය
මිනිසත්බව දේවත්වයට ද වඩා උතුම්ය
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍ය සේනාසනවාසී
ත්‍රිපිටක විශාරද,
විද්‍යාවේදී,
ශාස්ත්‍රපති
මහව ඤාණාලෝක හිමි
කිසියම් දෙවියෙක් දෙව් ලොවින් චුත වන විට සෙසු දෙවියන් විසින් ඔහුට දෙන අවවාද තුනක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දිනක් භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කර දුන්හ. මහේශාක්‍ය දෙවි කෙනෙක් චුත වීමට ආසන්න වන විට පෙරනිමිති පහක් පහළ වේ. එනම් පැළඳ සිටි මල් මැළවෙයි. හැඳීවත් කිලිටි වෙයි. දහදිය වැගිරෙයි. සිරුර දුර්වර්ණ වෙයි.
තමන්ගේ දිව්‍ය ආසනය පිළිබඳ ඇලීම දුරු වෙයි. මෙසේ පෙරනිමිති පහළ වීමෙන් ඒ දෙවියන් දිව්‍යලෝකයෙන් චුත වීමට ආසන්න බව අනෙක් දෙවියන් විසින් ද දැනගනු ලැබේ. එවිට ඒ අනෙක් දෙවිවරු මෙම පෙරනිමිති පහළ වූ දිව්‍යපුත්‍රයා කැඳවාගෙන දිව්‍යලෝකයේ නන්දන වනයට ගොස් අවවාද තුනක් ලබා දෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.
‘පින්වත, මේ දෙව්ලොවින් චුතව සුගතියට යව’ යනු පළමු අවවාදය යි. ‘ඒ සුගතියට ගොස් මනා සේ ලැබූ ලාභය ලබව’ යනු දෙවන අවවාදය යි. ‘ඒ සුලද්ධ ලාභය ලැබ මනා පිහිටීමක් ඇති කරගනුව’ යනු තෙවන අවවාදය යි.
මෙහි දී ඒ භික්‍ෂු පිරිසේ සිටි එක් භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් වැඳ අවසර ගෙන විමසා සිටියේ ‘ස්වාමීනි, දෙවියන්ගේ සුගතිය කුමක් ද? දෙවියන්ගේ සුලද්ධ ලාභය නම් කුමක් ද? දෙවියන්ගේ මනාකොට පිහිටීම නම් කුමක් ද?’ යනු යි. මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සුගතිය පිළිබඳව කළ දේශනය වර්තමානයේ ඔබ අප සෑම දෙනාටම සිහිපත් කර දෙන වටිනා අවවාද රැසක් වේ.
අප නිතරම අසන දෙයක් නම් මිනිසත් බව දුර්ලබ බවත් එය උතුම් බවත් ය. එහෙත් එය තවමත් අපට නිවැරදිව වැටහී ඇත්දැයි සිහිපත් කරගත යුතු වේ. මන්ද දෙවියන් සුගතිය යැයි සඳහන් කරන්නේ ද මෙම මිනිසත් බව ම වේ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කර දෙන්නේ දෙවියන්ගේ සුගතියේ ඉපදීම නම් මනුෂ්‍යාත්මභාවය වේ. එහෙත් ඒ උතුම් සුගතියේ ඉපිද මරණින් මතු දෙව් ලොව ඉපදීමට සිතන කීදෙනෙක් නම් වර්තමානයේ සිටිත් ද?
බුදුරජාණන් වහන්සේ ‘දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ’ යැයි දේශනා කළා මිස දිව්‍යාත්මභාවය දුර්ලභ යැයි දේශනා කළේ නැත. එසේ දේශනා නොකළේ මේ මිනිසත් බවේ ඇති උත්තරීතර බව නිසා ම වේ. මෙය අර්ථකථාවේ පැහැදිලි කරන්නේ දිව්‍ය ලෝකයේ ධර්මශ්‍රවණය දුර්ලභ බව යි. එහෙත් මනුෂ්‍ය ලෝකයේ ධර්ම ශ්‍රවණය දුර්ලභ නොවන බව දැක්වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිව්‍යලෝකයේ දෙවියන් චුත වන විට මිනිස් ලොව ඉපදීමට කැමති වන බව යි. ඒ ඔවුන්ට වැඩි වැඩියෙන් පින් දහම් කිරීමට, ධර්ම ශ්‍රවණය කිරීමට ය. එසේ නම් අපි වර්තමානයේ හැකි ඉක්මනින් නිවන් දැකීමට නොසිතා මරණින් මතු තව්තිසාව වැනි සශ්‍රීක දිව්‍යලෝකයක ඉපදීමට පතන්නේ නම් එය මුළාවක් නොවන්නේ ද?
ඇතැම් දිව්‍ය ලෝක වල මගඵල ලාභී දෙවිවරු සිටිති. ඔවුන් ඇතැම් විට දහම් දේශනා කරති. තව්තිසා දෙව් ලොවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ වෙසෙති. උන්වහන්සේ ද නිතර දහම් දේශනා කරන බව සඳහන් වේ. එසේ නම් එවැනි දිව්‍ය ලෝකයක ඉපදීමට පතන්නේ නම් අපගේ නිවන් මඟ සුරක්‍ෂිත නොවන්නේ දැයි සමහරෙකුට සිතිය හැකි ය. එහෙත් මේ මිනිස් ලොව ධර්ම මාර්ගයේ ගමන් කිරීමට තරම් කාල වේලාවක් සොයාගත නොහැකිව කම් සැපට යොමු වී සිටින කෙනෙක් දිව්‍ය ලෝකයේ ඉපිද කෙසේ නම් ඒ දිව්‍ය සැප අතහැර දහම් ශ්‍රවණයට යොමු වේ ද? එසේ වන්නේ ඉතා අතළොස්සක් පමණි. සමහර දෙවි කෙනෙක් නිසි වේලාවට දිව්‍යමය ආහාරය අනුභව කිරීමට අමතක වී දිව්‍ය ලෝකයෙන් චුත වන බව සඳහන් වේ. එසේ නිසි වේලාවට කෑම ගැනීම අමතක වන්නේ අපට මෙන් වැඩ රාජකාරි බහුල වී නොව දිව්‍යාංගනාවන් සමඟ සතුටු වෙමින් විනෝද වීමෙනි.
මේ කෙලෙස් බර හොඳීන්ම දැනෙන, සමාජයේ නොයෙක් කම් කටොලු දකින, නිතර කිළිටි වන, මළ මුත්‍ර පිටවන, දහදිය දමන සිරුරු පරිහරණය කරන අපට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අමතකව ලස්සන ලස්සන රූප දක්නට සිතේ නම්, හොඳ හොඳ ශබ්ද ඇසීමට සිතේ නම්, හොඳ රසමසවුලු රසවිඳීමට සිතේ නම්, දිව්‍ය ලෝකයේ ඉපිද කෙලෙස් බර නොදැනෙන, නිතර සතුටින් විනෝද වන දෙවියන් දකිමින්, සාමාන්‍යයෙන් ගතේ දහදිය බිඳුවකුදු පැන නොනඟින ජාතිරංග්‍ය මාණික්‍ය රත්නයන් සේ පිරිසිදු ආත්මභාවයන් පරිහරණය කරමින් සිටින විට ඒ දිව්‍ය සැප මධ්‍යයේ සිට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අමතක වීම අසන්නටත් දෙයක් ද?
ඔබ අප සිටින මුළාවේ තරම සිහිපත් කරගත යුතු වේ. ඒ ප්‍රමාදබව අත්දකින දෙවියන් චුත වන විට නැවත මිනිස් ලොව ඉපදීමට සිතන්නේ ඒ නිසා ය. ඒ මිනිස් ලොව ඉපිද සිටින අපි ඒ ලැබූ මිනිසත් බවින් නිසි ඵල ලබා නොගෙන දිව්‍ය ලෝකයේ ඉපිද නිවන් දකින්නට සිතන්නේ මුළා වූ නිසා ම වේ.
මිනිස් ලොව වෙසෙන පුද්ගලයන් කොටස් සතරක් පිළිබඳව අර්ථකථාවේ සඳහන් වේ. එනම් මනුෂ්‍ය නෙරයික, මනුෂ්‍ය ප්‍රේත, මනුෂ්‍ය තිරච්ඡාන සහ පරමත්ථ මනුෂ්‍ය වශයෙනි. ඇතැම් කෙනෙක් මිනිස් ලොව ඉපිද ප්‍රාණඝාතාදි නොකළයුතු දේ සිදු කර රජවරුන් ආදීන්ගෙන් අත්පා සිඳීම් ආදී වධබන්‍ධනයන්ට පත්ව මහා දුකක් විඳීති.
ඒ අය මිනිස් ලොව අපා දුක් විඳීන බැවින් මනුෂ්‍ය නෙරයික නම් වේ. සමහරෙක් පෙර කරන ලද අකුසලයන්ගේ බලයෙන් මේ ජීවිතයේ දී කුසට අහරක් හෝ නොලබමින්, බඩගිනි පිපාසාදියෙන් පෙළෙමින් ගත කරති. ඒ අය මිනිස් ලොව ඉපිද ප්‍රේත ලෝකයේ මෙන් දුක් විඳීන බැවින් මනුෂ්‍ය ප්‍රේත නම් වේ. තවත් සමහරෙක් පරාධීනව අනෙක් අයට බියෙන් අනෙක් අයගේ වැඩ කරමින් සිට නොයෙක් අනාචාර කටයුතු ද කොට මරණ බියෙන් සැඟවී නිදි නැතිව, බඩගින්නේ, පිපාසයෙන් දුක් විඳීති. ඒ අය තිරිසන් සතුන් සේ දුක් විඳීන බැවින් මනුෂ්‍ය තිරච්ඡානගත වේ. තවත් සමහරෙක් තමාගේ හිත අහිත දේ දැනගෙන, කර්මඵල අදහමින්, හිරි ඔතප් ඇතිව, සියලු සත්වයන් කෙරෙහි සංවේග බහුලව, අකුසලයන් බැහැර කරමින් කුසලයෙහි සමාදන්ව කරමින් ධර්මයේ හැසිරෙති. ඒ අය නිසි මිනිස් ධර්මයේ පිහිටි පරමත්ථ මනුෂ්‍යයන් නම් වේ. දිව්‍ය ලෝකයේ දෙවියන් කැමති වන්නේ මෙබඳු මිනිස් ධර්මයේ පිහිටි උතුම් මිනිසුන්ට වේ. එබැවින් ඔබ අප ලත් මිනිසත් බව හැඩගසාගත යුත්තේ මේ උතුම් මිනිසත් බවක් ලෙස වේ.
දැන් අප ඒ උතුම් මිනිසත් බව උරුම කරගත්තෝ බැවින් මිනිසුන් විසින් ලැබිය යුතු උතුම් ලාභය ලබාගත යුතු වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිසත් බව ලැබූ පුද්ගලයෙක් විසින් තථාගතයන් වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශාසනයෙහි ශ්‍රද්ධාවක් උපදවා ගන්නේ නම් එය උතුම් ම ලාභය බව යි. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය මනාකොටම දේශනා කරන ලද්දේ යැයි ශ්‍රද්ධාවක් ඇති කරගත යුතු වේ. යම් කෙනෙක් රන් රිදී, මිල මුදල් ලැබීමෙන් දිළිඳු බව දුරු කරගනී ද, සා පිපාසාදි දුක් දුරු කරගනී ද, තවතවත් මුතුමැණික් ආදී ධනය ලබයි ද, එසේම ශ්‍රද්ධාව ලබන තැනැත්තා ගුණ දිළිඳු බව දුරු කරගනී. ජාති ජරා දුක් දුරු කරගනී. සප්ත බෝධ්‍යංග නමැති රත්නයන් ලබයි. එබැවින් කළයුත්තේ ඒ ලැබූ බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගැනීම යි.
එබැවින් මිනිසත් බව ලැබූ අපට බුදුරජාණන් වහන්සේ දෙන වටිනා අවවාදය නම් ලැබූ මිනිසත් බව ඉක්මයා නොදී අප්‍රමාදීව කුසල ධර්මයන් පුරන ලෙස යි. ඒ සඳහා කාය, වාක්, මනෝ දුසිරිතෙන් වැළකී, කයින්, වචනින්, මනසින් අප්‍රමාණ වූ කුසලධර්මයන් කළයුතු වේ. ඒ කුසල් කිරීමේ දී ද කෙලෙසුන්ගෙන් කිළිටි නොවී තෘෂ්ණා, දෘෂ්ටීන්ගෙන් මුළා නොවී, නොයෙක් නොයෙක් ලෞකික ප්‍රාර්ථනයන්ගෙන් දූෂිත නොවී කළයුතු වේ. නැතහොත් නිවන් පතාගෙන ම පින් කළයුතු වේ. තමාගේ උසස් බව පෙන්වීමට හෝ ඊළඟ ආත්මයේ හොඳ කම්සැප ලැබීමට හෝ කරන පින අපිරිසිදු ය. එසේ අපිරිසිදු නොවී පිරිසිදුව පින්දහම් කළයුතු වේ.
එබැවින් අප ලැබූ දුර්ලභ මිනිසත් බවේ වටිනාකම සිහිකරගෙන එය ඉක්ම යා නොදී අද අද ම ධර්ම මාර්ගයේ නිවන් උදෙසා ගමන් කිරීමට උත්සුක විය යුතු ය. යළි තවත් උපතක් යනු දුක් රැසක් ම බව බුදුපියාණන් වදාළේ ඔබ අප වෙනුවෙන් ම බැව් නිතර සිහි තබාගත යුතු වේ.
Thursday, October 6, 2022
ස්වර්ණහංස ජාතකය
ස්වර්ණහංස ජාතකය
මෙවර බුදුසරණ කවරයෙන් දැක්වෙන්නේ ස්වර්ණහංස ජාතක කතාවේ අවස්ථාවකි. එය සැකෙවින් මෙසේ ය.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයේ ඒ ප්‍රදේශයේ ලූනු වගා කළ උපාසකයෙක් විසී ය. ඔහු භික්ෂු භික්ෂුණින් වහන්සේලාට ලූනු කඩා දෙයි. දිනක් නන්දා නම් මෙහෙණක් උපාසකගෙන් ලූනු ඉල්ලුවා ය. වත්තට ගොස් ගස් තුනක් ගනුමැනව‘යි කීවේ ය.
නන්දා මෙහෙණ තවත් මෙහෙණිවරු සමග ගොස් තමන්ට රිසි සේ ලූනු කැඩීය. මේ දුටු උපාසක තරහින් කෑ ගැසී ය. නන්දා මෙහෙණ ඇතුළු පිරිස කළකිරිමට පත්වූහ. තමන් කළ දේ ගැන නොසිතා, මේ බව භාග්‍යවතුන් වහන්සේට සැළකළහ. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ
“පැවිද්දන් විසින් දුන් දෙයක් මිස නුදුන් දෙයක් නොගත යුතු ය. අධික තණ්හාව විනාශයට මුලය. ඇති දෙයක් නැති වන්නේ ය. පිටතින් ද දෙයක් නොලැබෙන්නේ ය. ලද දෙයින් සතුටු වන්න. එයින් ඇති දෙය තහවුරු වෙයි. පිටතිනුත් ලැබෙයි’
යනුවෙන් දේශනා කොට වදාළහ. එමෙන් ම මේ නන්දා නම් භික්ෂුණිය පෙරත් අධික තණ්හා ඇත්තී යැයි අතීත කතාව වදාළ සේක.
අතීතයේ බරණැස් නුවර බඹදත් නම් රජකෙනෙක් විසී ය. එකල බමුණු කුලයක උපන් බෝසතාණන් වහන්සේට දූවරු තිදෙනෙක් වූ හ. ඔවුන් කුඩා කල්හිම බෝසතාණෝ මිය ගොස් ස්වර්ණහංසයෙක් ව උපන්හ. දිනක් ස්වර්ණහංස තෙමේ ජාතිස්මරණ ඥානයෙන් තමන් ඉහත ජාතියෙහි බමුණු ව උපන් බවත්, අඹු දරුවන් අනුන්ට බැලමෙහෙ කරමින් ජීවත් වන බවත් දුටුවේ ය.
ඔවුන් දිළිඳු කමින් මුදවනු පිණිස වරින් වර ඔවුන්ගේ ගෙට ගොස් එක එක රන් පිහාටුව දමා ගෙයි වහලය මත සිටියහ.
“ඔබ කවුරුදැ”යි දූවරු අසූහ.
”ඔබගේ පියාණෝ ය. පිහිටට පැමිණියෙමි’යි ස්වර්ණ හංසයා කීවේ ය.
මෙසේ කීප දිනක් ම සිදුවිය. දිනක් බැමිණිය සිය දූවරු අමතා පියාණන් අල්ලා ගෙන පිහාටු සියල්ල උදුරා ගන්නැ’යි කීවා ය. දූවරු ඊට අකැමැති වූ හ. බැමිණි ය දිනක් ස්වර්ණ හංසයා අල්ලාගෙන පියාපත් සියල්ල උදුරා ගත්තා ය. එහෙත් ඒ සියලු පිහාටු සාමාන්‍ය පිහාටු විය. නැවත කිසි දිනෙක බෝසත්හු නොපැමිණියහ. මේ අතීත පුවත දැක් වූ සර්වඥයන් වහන්සේ එකල බැමිණි නම් මේ නන්දා මෙහෙණ යැයි ද, හංසරාජයා නම් තමන් වහන්සේ යැයි ද වදාළ සේක
Tuesday, September 27, 2022
මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු
මහානුභාව සම්පන්න රතන සූත්‍ර දේශනාව අරුත් දැන සජ්ඣායනය කරමු
ඌරුගමුවේ අස්සජී හිමි
මෙතැන්හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත්ද, අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද ඒ සියලු අමනුෂ්‍යයෝ ම සතුටු සිත් ඇත්තෝ වෙත්වා තව ද මාගේ වචනය මැනවින් අසත්වා.
භූතයිනි, එබැවින් නුඹලා සියල්ලෝ ම මේ වචනය අසන්න. මනුෂ්‍ය ප්‍රජාවට මෛත්‍රිය කරන්න. යම් කෙනෙක් දිවා රෑ පුද පඬුරු පූජා කෙරෙත් ද එබැවින් නොපමාවම ඔවුන් ව ආරක්ෂා කරන්න.
මෙම මනුෂ්‍ය ලෝකය හෝ නාග ලෝකය ආදී වෙනත් ලෝකයක හෝ යම්කිසි ධනයක් වේ ද, ස්වර්ගයෙහි හෝ යම්කිසි උතුම් රත්නයක් වේ ද ඒ කිසිවක් තථාගතයන් වහන්සේ හා සමාන නොවේ. බුදුරදුන් කෙරෙහි මෙම රත්න භාවය උතුම්ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
එකඟ වූ සිත් ඇති තථාගතයන් වහන්සේ කෙලෙසුන් දුරු කරන හෙයින් ක්ෂය නම් වූ රාගයෙන් වෙන්වීමට නිමිති වූ, විරාග නම් වූ මරණයක් නැති හෙයින් අමත නම් වූ යම් නිවනක් අවබෝධ කළේ ද ඒ ධර්මය හා සම වූ කිසිවක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ පිරිසුදු වූ යම් ආර්ය මාර්ගයක් වර්ණනා කළ සේක් ද යම් මාර්ගයක් පිරිසුදු වූ හෙයින් එකී ආනන්තරික සමාධිය බුද්ධාදී ආර්යයන් වහන්සේලා දේශනා කරත් ද එම සමාධිය හා සම වූ සමාධියක් නොමැත. ධර්මයෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
සත්පුරුෂයන් විසින් ප්‍රශංසා කරන ලද ආර්ය පුද්ගලයෝ අට දෙනෙක් වෙත් ද ප්‍රශස්ත වූ එකසිය අටක් ආර්ය පුද්ගලයෝ වෙත් ද මේ සැමදෙනම සතර යුග කෙනෙක් වෙති. සුගත නම් වූ බුදුරදුන් ගේ ශ්‍රාවක වූ එම ආර්යයන් වහන්සේලා සැදැහැවතුන් විසින් දෙන ලද දක්ෂිණාවට සුදුස්සෝ වෙති. මෙම බුද්ධශ්‍රාවකයන් කෙරෙහි දෙන ලද දානය මහත්ඵල ඇත්තේ වෙයි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
මෙම ගෞතම නම් වූ තථාගත ශාසනයෙහි යම් කෙනෙක් ස්ථිර වූ සිතින් මනාකොට පිළිවෙත් සපුරා සියලු කෙලෙසුන් කෙරෙන් මිදුණාහු ද ඔවුහු නිවන් සුව විඳින්නාහු රහත් ඵලයට පැමිණියාහු නම් වෙති. සංඝ රත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යම් සේ පොළොවෙහි යටට බැසගත් ඉන්ද්‍රඛීලය සිව් දිගින් හමන සුළඟින් සෙලවිය හැකි නොවේ ද? යම් පුද්ගලයෙක් චතුරාර්ය සත්‍යය නුවණින් අවබෝධ කළේද ඒ ආර්ය පුද්ගලයා ඒ ඉන්ද්‍රඛීලය බඳු යැයි, කියමි. සංඝරත්නය කෙරෙහි මේ රත්න භාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යම් සෝවාන් උතුමෙක් ගැඹුරු නුවණින් යුත් බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දේශනා කරන ලද චතුරාර්ය සත්‍යයන් තමා ම අවබෝධ කෙරෙත් ද ඔවුහු බෙහෙවින් ප්‍රමාදව කටයුතු කළත් කිසිසේත් අට වන උත්පත්තියක් නොගනිති. සංඝරත්නය කෙරෙහි මේ රත්නභාවය ද උතුම් ය. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
මෙම සෝවාන් පුද්ගලයා ගේ සෝවාන් මග හා ඵලය පහළවීම සමඟ සක්කාය දෘෂ්ටිය ද සැකය ද යම්කිසි සීල ව්‍රත ආදියත් හෝ පවතී ද මෙම සංයෝජන ධර්ම තුන දුරු කරන ලද්දේ වෙයි. හෙතෙම සතර අපායෙන් ද මිදුණේ වෙයි. සය වැදෑරුම් බරපතළ පාපයන්හි කිසිසේත් නොයෙදෙයි. මෙය ද සංඝ රත්නය කෙරෙහි උතුම් රත්නභාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
ඒ සෝවාන් පුද්ගල තෙමේ කයින් හෝ වචනයෙන් හෝ සිතින් හෝ ප්‍රඥප්ති මාත්‍ර වූ කිසියම් වරදක් කරන්නේ නමුදු හෙතෙම එය සැඟවීමක් නො කරන්නේය. එය කිසිකලෙකත් සිදු නොවන දෙයකි. දක්නා ලද නිවන් පදය ඇති සෝවාන් පුද්ගලයා අතින් වරද සැඟවීම කිසි කලෙකත් සිදු නොවන බව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලදී. මෙය ද සංඝ රත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
වන ලැහැබ තුළ ග්‍රීෂ්ම සෘතුවෙහි පළමු ග්‍රීෂ්ම මාසයෙහි හෙවත් බක් මාසයෙහි සුපිපි ඵල ඇත්තේ වෙයි. එසේම නිවන් පුරට පමුණුවන උතුම් වූ ධර්මය ලෝ සතුන් ගේ හිත පිණිස බුදුරදුන් දෙසූ සේක. මෙය බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
උතුම් වූ නිවන දන්නා වු උතුම් නිවන් සුවය දෙන්නා වූ උතුම් නිවන් මඟ ගෙනහැර පාන්නා වූ අනුත්තර වූ බුදුරජාණන් වහන්සේ උතුම් දහමක් දෙසූ සේක. මෙය ද බුදුරදුන් කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
යම් රහතන් වහන්සේ නමක ගේ පුරාතන කර්ම ප්‍රහීණ වූයේ ද අලුත් භවයක් නැත්තේ ද මතු භාවයක් කෙරෙහි නොඇලුණු සිත් ඇති ප්‍රහීණ වූ ප්‍රතිසන්ධි විඥාන බීජ ඇති පුනරුත්පත්තියෙහි ආශාවක් නැති ධෛර්ය සම්පන්න වූ ඒ රහතන් වහන්සේලා මේ පහන නිවෙන්නාක් මෙන් පිරිනිවෙත්. මෙය ද සංඝරත්නය කෙරෙහි උතුම් රත්න භාවයකි. මේ සත්‍ය බලයෙන් සෙත් වේවා.
මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනාම තථාගත නම් වූ දෙවි මිනිසුන් විසින් පුදන ලද බුදුරදුන් නමදිමු. සත්හට සෙත් වේවා.
මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනා ම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ ධර්මය නමදිමු. සත්හට සෙත් වේවා.
මෙතැන් හි රැස් වූ පොළොවෙහි වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අහසෙහි වූ ද යම් අමනුෂ්‍ය කෙනෙක් වෙත් ද අපි හැම දෙනාම දෙව් මිනිසුන් විසින් පුදන ලද තථාගත වූ සංඝරත්නය නමදිමු. සත්හට සෙත් වේවා
අපචායන පුණ්‍ය ක්‍රියාව
අපචායන පුණ්‍ය ක්‍රියාව
රේරුකානේ චන්දවිමල නා හිමි
ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතූ , මහබෝ, පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතුය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යැයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මාපියන් විසින් ද ගරු කළ යුතු ය.
ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම යැයි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍රවල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පාවහන්, හිස් වැසුම් , කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍රමයෝ ය.
වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍රමය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීමය. දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීමය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍රයට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ම යෝග්‍යය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍රය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍රමයෙන් ම වැඳීම මැනවි.
බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි
උවදුරු ජය ගැනීමට කායික මානසික පුහුණුව
උවදුරු ජය ගැනීමට කායික මානසික පුහුණුව
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඔස්සේ වර්තමාන ලෝකය පුරාම පවත්නා කොරෝනා වසංගත උවදුර ජය ගැනීම පිණිස සියලු දෙනා කෙරෙහි ම පවත්වාගත යුතු කායික හා මානසික චර්යාව පිළිබඳ ව සාකච්ිඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
“කරුණා සීතල හදයං
පඤ්ඤා පජ්ජෝත විහත මෝහතමං
සනරාමර දේවගරුං
වන්දේ සුගතිං ගති නිමිත්තං”
මහා කරුණාවෙන් සිසිල් වූ හදවතක් පැවැතියා වූ, ප්‍රඥාව නැමැති ආලෝකයෙන් ලෝකයේ මෝහය නම් වූ ඝන අන්ධකාරය දුරු කළා වූ, දෙවියන් සහිත ලෝකයාට ම ගුරු වූ හා ගෞරවනීය වූ, සසර දුකින් නිදහස් කොට සුගතිය, මෝක්ෂය, නිවන සාදා දෙන්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ යනුවෙනුයි.
ඒ තථාගත බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය වෙනත් කිසිදු මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයකුට හෝ කිසිදු ජීවියෙකුට නොතිබුණා වූ ගුණයකුයි. එබැවින් එය මහා කරුණා ගුණය නමින් හැඳින්වෙනවා.
සසර ගමනේ කර්මානුරූප ව ඇවිදින සියලු සත්වයන් දුකට පත්ව ඇති බව, දුකෙහි ම ගිලී ඇති බව මේ උතුම් මනුෂ්‍ය රත්නය නුවණින් අවබෝධ කරගත් සේක. සසර දුකෙන් නිදහස්වන අවබෝධය ඇති කරගෙන, අන් සත්වයන් ද ඒ සසර දුකෙන් නිදහස් කරනවා ය යන අදහස මුලින් ම ඇතිවී ම බෝධිසත්ව උතුමෙකුගේ කරුණා ගුණය හැටියට දක්වනවා.
“බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරෙ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරොඝා මහබ්භයා”
තමන් ද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් බුදු බව ලබා, අන් අයටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මාර්ගය කියා දෙන බවයි.
තමන් ද දුකින් පිරුණු සසරෙන් එතෙර, දුකෙන් පෙළෙන අන් සත්වයන්ට ද, ඒ සසර කතරෙන් එතෙර වෙන්නට මඟ පෙන්වා දෙන බවයි. මේ භයානක වූ දුක් ඇති ගමනෙන් නිදහස් වෙන්නට සියලු සත්වයන්ට ම මාර්ගය පෙන්වා දෙන බවයි. මේ මහා කරුණා ගුණබලය අප සරල ලෙස විස්තර කර ගන්නේ නම්, සාමාන්‍ය කෙනෙකුට වැටහෙන ආකාරයෙන් මේ ලෙසිනුයි.
“පරදුක්ඛේ සති සාධූනං
හදය කම්පනං කරෝතීති කරුණා”
අන් අයගේ දුකක් දුටු විට දී හදවතේ ඇති වන කම්පනය හෙවත් උණුවෙන ගතිය කරුණාව නම් වේ.
මුලින් සඳහන් කළ අයුරින් තමාගේ හෝ තමන්ට හිතවන්ත අයට පමණක් නොව, යම් සීමාවකට කොටු වී ඇති එවැනි පිරිසකට පමණක් ම නොව දෙවියන් බඹුන්, මරුන් හා සතර අපායන් හි ද සියලු සත්වයන් කෙරෙහි ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් කාමරූප, අරූප නම් වූ ත්‍රිවිධ ලෝකයෙහි ම උපන්නා වූ සියලු සත්වයන් කෙරෙහි ඇති කර ගත්තා වූ ඒ කරුණා ගුණය මහා කරුණා ගුණය නමින් හඳුන්වනවා.
වර්තමානයේ මේ ඇති වී පවතින කොරෝනා රෝග උවදුර තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නම් වූ දහම් ඇසින් අප විසින් දැක ගන්නේ කෙසේ ද?
සියලු සත්වයන් සසරෙහි කර්මානුරූප ව ඉපදෙමින් මරණයට පත්වෙමින් යන ගමන ම දුකක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එයට හේතුව නම් මේ තුන් ලෝකයේ ම උපත ලබන සියලු සත්වයන්ගෙන් වැඩි පිරිසක් හෝ සියලු දෙනා ම පාහේ වැඩිපුරම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බව උන්වහන්සේ විසින් අවබෝධ කර ගැනීමයි. ලෞකික සමාධියකින් බ්‍රහ්ම ලෝකයක ඉපදුණත් බලවත් වූ පිනකින්, කුසලයකින් , දෙව් ලෝකයක, මනුෂ්‍ය ලෝකයක ඉපදුණත් ලෞකික සමාධිය, ධ්‍යානය පිරිහුණු තැන පින අවසන් වූ තැන ඒ සත්වයන් ද නැවතත් සතර අපායේ උපදින බව, ඉපදිය හැකි බව භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ සේක. මේ භයානක වූ සංසාර ගමනේ ගමන් කරන විට පින බලවත් වීම නිසා දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. ඒ මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. ඒ වගේ ම පිනක මහිමයකුයි. එනමුත් සසර පැවැත්ම ම දුකක් ලෙස දේශනා කළ තථාගත බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ද අනවබෝධයෙන් අකුසල කර්මයන්ට යොමු වුණොත් එය දුක උපදවා ගැනීමක් හැටියට දේශනා කරනවා. තෘෂ්ණාවෙන් බැඳෙන සත්වයෝ අනවබෝධයෙන් කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස්වීම නිසා සසර පවතිනවා. අකුසලයට වඩා කුසලය බලවත් වීම නිසා මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් හටගත්ත හැම දෙයක් ම නැතිව යනවා යන මහා කාරුණිකයාණන් වහන්සේගේ මූලික ඉගැන්වීමයි. ඒ කෙරෙහි අනවබෝධයෙන් යුක්තව ප්‍රිය අරමුණුවල ඇළී ඒවා තෘෂ්ණාවෙන් තමා සතු කර ගැනීමත් අප්‍රිය අරමුණුවල ගැටී තරහ, වෛර, ක්‍රෝධ ඇතිකර ගැනීමත් රාග, ද්වේෂ, මෝහ හැටියට ධර්ම කතාවේ පෙන්වා දෙනවා. තෘෂ්ණාවෙන් සසරට බැඳී නැවතත් දුකට පත්වෙන බව පැහැදිලි කරන්නේ මේ ආකාරයෙනුයි.
පළමු ධර්ම දේශනාව වූ "ධම්මචක්කප්පවත්තන" සූත්‍ර දේශනාවේ දී ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, මෝහයෙන් යුතු මනුෂ්‍යා ද මේ ඉපදීම, දිරාගෙන යෑම, ලෙඩ දුක් මරණය ඔස්සේ දුකට ම පත්වෙන බව තේරුම් කොට දීමයි.
ඉපදුණා නම් දිරාගෙන යෑම, ලෙඩ දුක්, මරණය ඔස්සේ ජීවිතය පවත්වා ගැනීමට සිදුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ සසර උපත, පැවැත්ම හා නැතිව යෑම තේරුම් ගත යුතු බවයි. අවබෝධ කර ගත යුතු බවයි. පඨවි ආදී හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස්වෙන පණ ඇති හෝ පණ නැති සියලු වස්තූන් ම හට අරගෙන නැතිව යනවා.
වර්තමානයේ පවතින කොරෝනා උවදුර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් උපත හා සමඟින් ම සියලු සත්වයන්ට මුහුණ දෙන්නට වන ව්‍යාධීන් හි ප්‍රතිඵලයකුයි. මේවා අඩු වැඩි වශයෙන් හෝ සනීප කළ හැකි සනීප කළ නොහැකි ආදී වශයෙන් හෝ පැවැතිය හැකියි. මේ ස්වභාව ධර්මය ඔස්සේ කලින් කලට ජීවිතවලට හෝ සත්වයන්ට මුහුණ දිය යුතු ධර්මතාවයයි.
- දීපා පෙරේරා
Sunday, September 25, 2022
ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය
ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය
කරණීය මෙත්ත සූත්‍රයෙන් මෙලොවදී ම කෙනෙකුට ලබන්න පුළුවන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා. අමනුෂ්‍යයන්ගෙන් පවා අතුරු විපත් ඇති නොවීමට, දෙවියන්ගේ රැකවරණය පිණිස, මනුෂ්‍යයන්ට ප්‍රිය බව ආදී වශයෙන් මෙත්තානිසංස සූත්‍රයෙන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ගැන සඳහන් වෙනවා.
එයින් දහයක් ම මෙලොවදී ම ලබන්න පුළුවන් ආනිසංස වෙනවා. ඒ නිසා ම බොහෝ පිරිස මෛත්‍රී භාවනාව, පුරුදු කරගන්න, උත්සාහ කළා.
අපේ පැරැන්නන් ඉතිහාසයේ සිටම, කටපාඩමෙන් උදේ සවස, තුනුරුවන් වැඳ නමස්කාර කර ‘කරණීය මෙත්ත සූත්‍රය’ සජ්ඣායනා කළා. මෙම සූත්‍රය පිරිතක් සේ භාවිත කළා සේ ම භාවනාවක් වශයෙන් ද දේශනාවේ සඳහන් ගුණාංග තම ජීවිතයට ඇතුළත් කර ගනිමින් පුරුදු පුහුණු කළා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනාව යි. මෙම භාවනාව අප්‍රමාණ කර්මයට, මහග්ගත ක්‍රමයට දියුණු කරන ආකාරය කරණීය මෙත්ත සූත්‍රය තුළ සඳහන් වෙනවා. මුලින් ම මෙලෙස සඳහන් වෙනවා. ‘කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමේච්ච’ උතුම් ශාන්ත පදනමෙන් නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා ‘කරණීය’ කළ යුතු යි, ‘අත්ථකුසල ’ තමන්ගේ ජීවිතය තුළ කුසල් දහම් වර්ධනය කරගත යුතු යි යන්න යි. ‘යං තං සන්තං පදං අභිසමේච්ච’ යම් ශාන්ත පදයක් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ , ධර්මාවබෝධය නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා, මෙවැනි ගුණ ධර්ම ඇති කර ගත යුතුයි යනුවෙන් සඳහන් කරනවා.
මුලින්ම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ කෙනෙක් තුළ ඇති කරගත යුතු ගුණ ධර්ම කිහිපයකි. පළමුවැන්න ‘සක්කො’ බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙන්න. ‘උජූ ච’ අවංක කෙනෙක් බවට පත් වෙන්න. ‘සූජූ ච’ වඩාත් අවංක කෙනෙක් බවට පත් වෙන්න. ‘සුවච’ කීකරු කෙනෙක් බවට පත් වෙන්න. ‘මුදු අනතිමානී’ බොහොම නම්‍යශීලී කෙනෙක් , කුසලයට නැමෙන , බොහොම කරුණාවන්ත නම්‍යශීලී කෙනෙක්. ‘අනතිමානී’ බොහොම නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න.
‘සන්තුස්සකෝ ච සුභරෝ ච - අප්පකිච්චො ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝච’ මේ සෑම ගාථාවක ම සඳහන් වෙන්නේ ධර්මය අවබෝධ කරගන්න කැමැති ශ්‍රාවකයා තුළ ඇතිකරගත යුතු ගුණධර්ම යි. ‘සන්තුස්සකෝ ච’ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න. ලැබූ දෙයකින් සතුටු වෙන්න කියනවා. ‘සුභරෝ ච’ යනු පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් බවට පත්වෙන්න යනු යි.
සමහර අය කෙතරම් දේ තිබුණත්, කෙතරම් කන්න බොන්න තිබුණත්, පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බොහොම සරල, චාම් ජීවිතයක් ගත කරන්න. ‘සුභරෝ ච’ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න . ‘අප්පකිච්චො ච’ වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන්න යනුවෙන් සඳහන් කරනවා. ‘සල්ලහුකවුත්ති’ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙන්න. ‘සන්තින්ද්‍රියෝ ච’ බොහොම ශාන්ත, සංවර ඉන්ද්‍රියන් දමනය කළ කෙනෙක් බවට පත් වෙන්න. ‘නිපකෝච’ නිපක යනු තැනට සුදුසු නුවණ, එනම් උපක්‍රමශීලී නුවණ යි. ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා අකුසලයෙන් වැළකී කුසලය කරා යන්න තමන් අනතුරු මඟ හරිමින් බුද්ධිමත් ව ප්‍රඥාවන්ත ව තමන්ට තැනට සුදුසු නුවණක් තිබිය යුතු යි. එය ‘නිපක’ නම් වෙයි. ‘අප්පගබ්භො’ වැඩ කටයුතු අඩු ‘කුලේසුඅනනුගිද්ධෝ’ තමන්ගේ කුලයන්හි අහංකාර නැති නිහතමානී කෙනෙක් බවට පත් විය යුතු යි.
මේ අනුව කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කළ ගුණ ධර්ම කෙනෙක් තුළ ඇති කරගත්තොත්, විශේෂයෙන් ම පැවිදි අයට වගේ ම ගිහි අයගේ ජීවිතවලටත් ඉතා ම වැදගත් ගුණ ධර්ම වෙනවා.
මෛත්‍රී භාවනාව පින අතර අග්‍ර ම පිනක්. විශේෂයෙන් මෙවැනි විපත්, ව්‍යසන ලෝකයේ පැතිරී යන යුගයක, තමන්ගේ පෙර පින මතු කරගත යුතු යි. කාගෙත් ජීවිතවල සංසාරයේ පුණ්‍යස්කන්ධ , පින් යටපත් ව තිබෙනවා. කෙනෙක් භාවනා කරන විට, පින් කරන විට, කුසල් වඩන විට, පෙර පින් එකතුවෙලා, මතුවෙලා බලවත් ව එනවා.
ඒ නිසා මේ කාලය තුළ ඔබ හොඳට ශීලයක පිහිටා විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍රය තම ජීවිතයට එකතු කර ගන්න. ඔබ හොඳීන් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන්න. එහි තිබෙන ගාථාවල අර්ථය තම ජීවිතයට එකතු කර ගන්න. ගාථා අතර සඳහන් වෙනවා, කෙනෙකුට මෛත්‍රිය වඩන විට, සත්ත්වයන් ගැන වර්ගීකරණයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මෛත්‍රී භාවනාව කරන විට, මුලින් ම තමන්ට මෛත්‍රිය වඩා , ඊළඟට කෙනෙක් දිසා වශයෙන් , දස දිශාවට මෛත්‍රිය පතුරුවනවා. එවිට සත්ත්වයන් ගැන මෛත්‍රිය පතුරවන්න, ඒ සත්ත්වයන් ව සිතින් විග්‍රහ කර ගන්නවා.
කරණීය මෙත්ත සූත්‍රයේ එක ගාථාවක් ගෙන පුරුදු කළොත් ඔබේ ජීවිතයට විශාල පිනක් රැස්කරගන්න පුළුවන්. මේ සෑම ගාථාවක ම තියෙන්නේ වෛර කරන්නේ නැතිව, තරහක් , ක්‍රෝධයක් ඇති කරගන්නේ නැතිව, සියලු සත්ත්වයන් ගැනම මෛත්‍රී සිත පතුරුවන ආකාරය යි. මෛත්‍රිය වඩන විට, මෛත්‍රී කාය කර්ම, ඔබේ කය මුල්කරගෙන, ඔබ පන්සිල් රකිනවා කියන්නේ ඔබේ කයෙන් , වචනයෙන් ඔබ මෛත්‍රී සහගතව ජීවත් වෙනවා. මතක තබා ගන්න, මෛත්‍රිය භාවනාවක් වශයෙන් වඩන විට, ඔබට ඕනෑම ඉරියව්වක සිටියදී ,නින්දට යන තුරා මෛත්‍රිය වඩන්න පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළේ, ‘තිට්ඨං චරං නිසින්නො වා - සයානෝ වා ...’ ඉඳගෙන සිටියදී , සිටගෙන සිටියදී, සෑම ඉරියව්වකදී ම මෛත්‍රිය වඩන්න යනුවෙන්.
කරණීය මෙත්ත සූත්‍රය පිරිතක් වශයෙන් සජ්ඣායනා කරන විට, විශාල ආශිර්වාදයක් ලැබෙනවා. හැබැයි, ඒ ආශිර්වාදය තම ජීවිතයට සිය දහස් ගණනින් එකතු කර ගන්න නම්, එහි පරිපූර්ණ රැකවරණය ලබන්න නම්, සජ්ඣායනයෙන් පමණක් නතර නොවී, එහි සඳහන් ගුණ ධර්ම ඔබේ ජීවිතය තුළ එකතු කර ගන්න. ඔබ මෛත්‍රී භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්න. විශේෂයෙන් මේ කාලය තුළ, ඔබේ පවුලේ අයට , ගමේ අයට , නගරයේ, පළාතේ , මුලු රටේ ම, මුලු ලොවේ ම පිරිස මේ වසංගතයත් සමඟ බොහොම අසරණ භාවයට පත් වෙලා. ඒ සැවොම ගැන බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් , සියලු දෙනා අරමුණු කරගෙන මේ සෑම දෙනාම නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! රෝගී වූ අය ඉක්මනින් සුවපත් වෙත්වා ! මෙලෙස සියලු සත්ත්වයන් අරමුණු කරගෙන හදවතින් ම මෛත්‍රී භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්න. ඒ තුළ මේ ජීවිතයේ විශාල පිනක්, පින අතර අග්‍රම පින වන්නේ මෛත්‍රී භාවනාව යි. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රය ඔබේ ජීවිතයට එකතු කරගෙන , ඔබේ ජීවිතයත් ගුණ ධර්මයන්ගෙන් දියුණු කරගන්න වාසනාව ලැබේවා
පහාරාද සූත්‍රය
බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...
-
බදුල්ල, බණ්ඩාරවෙල පාර ශ්‍රී ගෞතම සමාධි බුද්ධ මන්දීරයේ දර්ශනපති බඩල්කුඹුරේ ධම්මසිද්ධි හිමි ලොව්තුරා තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ පළම...
-
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය පරම...
-
ඛුද්දක නිකායෙහි උදාන පාලිය: මුචලින්ද නා රජුගේ බුද්ධ උපස්ථානය මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ සහ අනුශාසක කිරිබත්ගොඩ ඤාණානන්ද...