අපචායන පුණ්‍ය ක්‍රියාව
රේරුකානේ චන්දවිමල නා හිමි
ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතූ , මහබෝ, පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතුය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යැයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මාපියන් විසින් ද ගරු කළ යුතු ය.
ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම යැයි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍රවල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පාවහන්, හිස් වැසුම් , කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍රමයෝ ය.
වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍රමය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීමය. දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීමය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍රයට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ම යෝග්‍යය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍රය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍රමයෙන් ම වැඳීම මැනවි.
බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි
No comments:
Post a Comment