Thursday, March 31, 2022

මනාප දෙය දෙනුයේ මනාප දෙය ලබයි

 

මනාප දෙය දෙනුයේ මනාප දෙය ලබයි

යම් පුද්ගලයෙකු කිසියම් කටයුත්තක නිරත වන විට ධර්ම ම ය මහෝපදේශ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයා විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සමාජයෙහි අයහපත පිණිස හේතු නොවෙයි.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර පිහිටි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සමයෙහි උග්‍ර නමැති තරුණයෙකු හමුවීමට ඔහුගේ නිවස කරා වැඩම කළහ. එම අවස්ථාවේ ‘මගේ නිවසට බුදුරජාණන් වහන්සේ වැඩම කළා නොවේදැයි’ සිතමින් උග්‍ර තරුණයා අතිශයින් සතුටට පත්විය.

පී‍්‍රති ප්‍රමෝදයට පත් වූ තරුණයා බුදුරජාණන් වහන්සේ සමඟ සතුටු සාමිචී කතා කරමින් යම් අදහසක් මතු කරමින් ගෙනහැර දැක්වී ය. 

බුදුහාමුදුරුවනේ, තමා පි‍්‍රයමනාප දෙය සමාජයට, දෙන විට නැවත නැවත ද ඒවාම තමාට පෙරළා ලැබෙන බව ඔබ වහන්සේ දේශනා කරනු ම විසින් අසා තිබේ. ඒ බව මා ද පිළිගන්නා කරුණක් නිසා මා කෑමට රුචියක් දක්වන ඉතාම පි‍්‍රය ආහාරයක් තිබේ. එය මා කෙරෙහි අනුකම්පා කොට පිළිගන්නා ලෙසට ප්‍රකාශ කරමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව සල්මලක් ආකාරයෙන් පිසින ලද කැවුම් විශේෂයක් වූ සල්පුර පූජා කරනු ලැබී ය. මම ද කසී සළු පළඳින්නට ඉතාමත් පි‍්‍රය කරමි. එනිසා ස්වාමීනි, මෙයද පිළිගනු මැනවි යනාදී වශයෙන් ඔහු පි‍්‍රය කරන ලද දේ බුදුරජාණන් වහන්සේට පූජා කරන ලදී. 

උග්‍ර තරුණයා මෙලොව කරන ලද පින් මහිමය හේතුකොට ගෙන පසුකාලීන ව මිය පරලොව ගොස් සුද්ධාවාස දෙවි ලොවක උපත ලැබී ය.බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි උග්‍ර දිව්‍යපුත්‍රයා මහා මැදියම් රැයෙහි දෙව්රම් වෙහෙර ආලෝකයෙන් බබුළුවමින් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ස්ථානයට පැමිණියේ ය. උග්‍ර දිව්‍ය පුත්‍රයා හඳුනාගත් බුදුරජාණන් වහන්සේ මෙසේ විචාළහ. 

බුදුරජාණන් වහන්සේ-කොහොමද? උග්‍ර පෙර ඔබ පින්කම් කරන කාලයේ තිබූ අදහස් එලෙසින්ම ඉටු වුණාද? 

උග්‍ර දිව්‍ය පුත්‍රයා - එහෙමයි බුදුහාමුදුරුවනේ. මගේ අදහස පරිදි සියල්ල එලෙසින් ම ඉෂ්ට සිද්ධ වුණා. 

ඒ අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ එම දෙවි පුතුන්ට මෙසේ වදාළහ. 

* මනාප දෙය දෙනුයේ මනාප දෙය ලබයි. 

* අග්‍ර වූ දෙය දෙනුයේ පෙරළා එයම ලබයි. 

* උතුම් දෙය දෙනුයේ උතුම් දෙය ලබයි. 

* ශ්‍රේෂ්ඨ දෙය දෙනුයේ ශ්‍රේෂ්ඨ වූ සවර්ගයට පැමිණෙයි. 

යනුවෙන් කළ දේශනාවෙන් පුද්ගලයා සමාජයක ජීවත්වීමේ දී ජීවත් විය යුතු ආකාරය පිළිබඳ ව මනාපදායි සූත්‍රය මගින් පැහැදිලි කර දෙයි. යම් සමාජයක් විෂමාචාර ගති සිරිත්වලින් පිරීයන්නේ මිනිස් සිත් සතන්වල ධර්මය පිළිබඳ පවතින විශ්වාසය පළුදු වී ගිය අවස්ථාවලදී ය. 

යම් පුද්ගලයෙකු කිසියම් කටයුත්තක නිරත වන විට ධර්මමය මහෝපදේශ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්නේ නම්, එම පුද්ගලයා විසින් කරනු ලබන ඕනෑම ක්‍රියාවක් සමාජයෙහි අයහපත පිණිස හේතු නොවෙයි. පුද්ගලයා දැඩි ලෙස ආත්මාර්ථකාමී ව කටයුතු කිරීම තුළ කිසියම් ආකාරයක වෛරය ද, ක්‍රෝධය ද වැපිරීමක් වෙයි. සමාජය දෙස වෛරයෙන් කටයුතු කරන්නා තමා ද එබඳුම පුද්ගලයෙකු වෙයි. සෑම මිනිසෙකුම නිදහසේ ජීවත්වීමට කැමැත්තක් දැක්වීම සාමාන්‍ය ස්වභාවයයි. බුදුදහම උගන්වනු ලබන්නේ ද, තමා බලාපොරොත්තුවන ආකාරයට සමාජයට අදහස් ලබාදිය යුතු බවයි. උග්‍ර තරුණයා බුදුරජාණන් වහන්සේට පූජා කරනු ලැබුවේ ඔහු අතිශයින්ම පි‍්‍රය කළ ආහාර හා පළඳින්නට පි‍්‍රය වූ සළු ය. එය දනට දීමක් ලෙස පෙනුණ ද, එය දීමක් නොව සත්‍ය වශයෙන් ම ලැබීමක් ය. 

තමා ලබන්නට රැව් වූ දෙයක් දීමත්, ස්වභාව ධර්ම නියතියක් වෙයි. බුදුදහමෙහි උගන්වනු ලබන්නේ තමා ලබන්නට රුචි කරන දෙය දිය යුතු බවයි. ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා වෙනත් දේවල් සඳහා ද එය එකම ආකාරයෙන් බලපානු ලබන පොදු ධර්මතාවයකි. එය බුදුදහමයි. නිවැරැදි දෙය කතා කිරීම, බොරු නොකීම, කේලාම් නොකීම, පරුෂ වචන නොකීම, හිස් වචන නොකීම අනුන්ගේ අගුණ මතුකර නොදැක්වීම අන්‍යයාගේ ගුණධර්ම මතුකර දැක්වීම, පි‍්‍රයශීලී ගති පැවැතුම් යන සියලු මිනිස්චර්යා ධර්මවලට එකසේ පොදු ධර්මතාවයකි. 

සාමාන්‍යයෙන් නිතර කේන්තියාම පුද්ගලයකු තුළ පවතින දුර්වලතාවයකි. එය අඛණ්ඩ ව සිදුවීමෙන් එය ද එක්තරා පුරුද්දක් බවට පත්වීමට ඉඩ ඇති බැවිනි. මානසික පුරුදු ඇතැම් විට කායික පුුරුද්දක් බවට ද පත්විය හැකි ය. සෑම කායික පුරුද්දක්ම මානසිකව ද, එයම කායිකව ද, හුරු පුරුදු වීම සාමාන්‍ය ස්වභාවයයි. 

තමා විසින් එබඳු ආකාරයෙන් හුරු පුරුදු ඇතිකර ගැනීම යනු, එබඳු අයහපත සමාජයට දුන්නා වෙයි. සමාජයට යමක් දෙනවා නම්, යහපත හෝ අයහපත හෝ එය දෙදෙනාම නැවත ලබයි. පුද්ගලයා ද, සමාජය ද එකම කාසියක දෙපැත්ත මෙනි. උග්‍ර තරුණයා දෙස බැලුව ද, පුද්ගලයා වෙනස් වී තිබෙන ආකාරය පැහැදිලි වේ. ධාර්මික ලෙස සමාජය තුළ හැසිරීමෙන් ඔහු ප්‍රතිලාබ ලබා තිබේ. එසේ වුව ද, ධර්මය මහෝපදේශ වෙනස් වී ඇති බවක් නොපෙනේ. පුද්ගල හා ක්‍රියා සියල්ල වෙනස්වන බව ධර්මමය මතයයි එයට යටත් නොවෙනස් ස්ථිරසාර ඵල ලබන න්‍යාය කර්මයයි. පුද්ගලයා බාහිර ලෝකයට පෙන්නුම් කරනු ලබන සුසිරිත බැහැර කොට අභ්‍යන්තරයෙන් ඔහු ජීවත්වන දුසිරිත හඳුනාගෙන ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. එම දුසිරිත් හෙවත් අකුසල ධර්ම හා වංචනික ධර්ම තමා තුළ පවතින තුරු ධර්මයේ පහන් එළිය දැකිය නොහැකි බව බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එසේ වුව ද, එය පුරුදු පුහුණු කිරීමට අපහසු ධර්මයක් වූ නිසා, මිථ්‍යාවේ වෙළී සිටින පුද්ගලයාට එය කිරීම අපහසු ය. ඔහු ඝන අන්ධකාරයේ ගිලී එය ආලෝකය ලෙසින් සිතා සිටී. එය රැවටිල්ලක් ලෙස නොදකින මිනිසා එය සත්‍ය ලෙස හඳුනා ගනී. එනිසාම ඉන් මිදීමත් කවර කලෙකවත් නැත.

මිලින්ද ප්‍රශ්නය



බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ තැන මිළිදු රජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් ධර්ම සංවාදය සිදුවිය. මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

ස්වාමිනි, නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරණ ලද්දේ ය.

ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව් යනුවෙනි.

නැවතත් මෙසේත් වදාරන ලද්දේ ය. “පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය” යනුවෙනි

”ස්වාමිනි, තථාගතයන් වහන්සේ විසින් ‘ආනන්දයෙනි, ඔබ තථාතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව්!’ යනුවෙන් වදාරන ලද්දේ නම්, ඒ කරුණෙන් පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’ යනුවෙන් වදාළ වචන බොරුවක් වෙයි.

ස්වාමිනි, පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පුදව් මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’ යනුවෙන් වදාරන ලද්දේ නම්, එකරුණෙන් ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව්!’ යනුවෙන් වදාළ වචනය බොරුවක් වෙයි.

මෙය උභතෝකෝටික ප්‍රශ්නයකි. ඔබ වහන්සේ විසින් එය සංසිඳවිය යුත්තේ වේ.

මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලද්දේ ම ය. ‘ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව්! යනුවෙනි. එමෙන් ම මෙයත් වදාරන ලද්දේ ය. ‘පිදිය යුතු තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ පුදව්! මෙසේ කරන්නා වූ නුවණැත්තෝ මිනිස් ලොවින් ස්වර්ගයට යන්නාහු ය’. යනුවෙනි.

’ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙන් යෙදී වාසය නො කරව්!’ යනුවෙන් සියලු ම ජින පුත්‍රයන් වහන්සේලා උදෙසා වදාරන ලද්දේ නොවෙයි. මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවෙයි. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත්, බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානයම වැඩීමත්, සමථ විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙයයි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

මහරජතුමනි, මහා පෘථිවියෙහි රජ දරුවන් විසින් හස්ති ශිල්ප, අශ්ව ශිල්ප, රථ ශිල්ප, දුනු ශිල්ප, ලේඛන, මුද්‍රා, කඩු ශිල්ප, සම්මුති ශිල්ප, ක්ෂත්‍රීය මන්ත්‍ර, යුද්ධ ප්‍රයෝග ක්‍රියා කළ යුත්තේ ය. අවශේෂ වෛශ්‍ය කුලයෙහි ශුද්‍ර කුලයෙහි අය විසින් කෘෂිකර්මයත්, වෙළෙදාමත් ගවයන් රැකීමත් කළ යුත්තේ ය.

මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවේ. සංස්කාරයන්ගේ අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත් , බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානය වැඩීමත් සමථ, විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙය යි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

මහරජාණෙනි, බ්‍රාහ්මණ මානවකයන් විසින් සෘග් වේදය, යජුර් වේදය, සාම වේදය, අථර්වන් වේදය ලක්ෂණ ශාස්ත්‍රය, වෙය්‍යාකරණ, උල්පාත, ස්වප්න, නිමිති, චන්ද්‍ර ග්‍රහණ, සූර්ය ග්‍රහණ, අහස ගෙරවීම, පෘථිවි කම්පා, නැකත්, ඡ්‍යොතිෂ, ශාස්ත්‍ර, පලාපල කීම ආදියෙහි හික්මීම කළ යුත්තේ ය. අවශේෂ කෘෂිකර්මය, වෙළෙදාම, ගව පාලනය, ආදියට වෛශ්‍ය, ශුද්‍ර‍්‍රයන් විසින් කළ යුත්තේ ය.

එසෙයින් ම මහරජාණෙනි, යම් මේ ආමිස පූජාවක් ඇද්ද, මෙය ජින පුත්‍රයන් වහන්සේලාගේ කටයුත්තක් නොවෙයි. සංස්කාර අනිත්‍ය බව නුවණින් මෙනෙහි කිරීමත්, බුද්ධ වචනයට අනුව නුවණ යොදා මෙනෙහි කිරීමත්, සතිපට්ඨානය වැඩීමත්, සමථ විදර්ශනා අරමුණෙහි සාරය ගැනීමත්, ක්ලේශ යුද්ධයත්, මාර්ගඵලාවබෝධයෙහි යෙදීමත් යන මෙය ජින පුත්‍රයන් වහන්සේලා විසින් කළ යුතු දෙයයි. අවශේෂ පුද පූජා ආදිය දෙව් මිනිසුන් විසින් කළ යුත්තේ ය.

එහෙයින් මහරජාණෙනි, මේ පුද පූජා කර්මයන්හි නො යෙදෙත්වා!, මේ ප්‍රතිපත්ති පූජා කර්මයන්හි යෙදෙත්වා! යි සලකා ආනන්දයෙනි, ඔබ තථාගතයන් වහන්සේගේ ශරීර පූජාවෙහි යෙදී වාසය නො කරව් යනුවෙන් වදාළහ.

මානසික නිරෝගී බවට.

 

මානසික නිරෝගී බවට...

පෙරළා විපාක ඇති කරන හතර වන කැමැත්ත නම් “මොහුට භෝග සම්පත් නොවේ නම් හරකබාන ආහාර ද්‍රව්‍ය, යානවාහන, ආදි කෙනෙකුට අයිති සම්පත් සියලු දේ තම හතුරා වටා පවතී නම්, එය ඊර්ෂ්‍යාවට හේතු වන කරුණකි. මේ නිසා ඒවායින් පොහොසත්ව තම සතුරා ජීවත්වීම ඉවසීමට බැරි නිසා ඔහු මේ ප්‍රාර්ථනාව නිබඳව සිතයි. මේකේ විපාකය ලෙසට තම දහඩිය මහන්සියෙන් උපයා ගත් ධාර්මික ධනය පවා නැති වෙනවා. එක්කෝ සොරුන් පැහැර ගන්නවා. බදුවලට අහුවෙනවා. එසේ වී දිළිඳු බවට පත්වේ. 

ක්‍රෝධකරන කෙනෙකුගේ තවත් අපේක්ෂාවක් නම් ඔහුගේ යසස නැති වේවා යන ප්‍රාර්ථනාවයි. යස ස යන්න කීර්තිය , සමාජ පිළිගැනීම, ස්වකීය පරිවාර සම්පත්තිය අර්ථවත් කරනවා. සරල නිෂේධාර්ථය නම් ඔහු හුදකලා වී මනසින් දුක් විඳිනවාට ඇති කැමැත්තයි. තමාගේ වෛරක්කාරයා හැමදෙනා විසින්ම කොන් කරනවාට , ආශ්‍රය නොකරනවාට, වෛරකරන්නා කැමතියි. මෙකේ ප්‍රතිවිපාකය ලෙසට තමාට තිබූ පිළිගැනීම, ගෞරවය, කීර්ති නාමය පහවී තමා තනිවූ තත්වයකට, හුදකලාවීමකට පත්වෙනවා. 

බුදුරජාණන් වහන්සේ දක්වන හය වන කරුණ නම් මොහුට යහළුවන් නැතිවෙනවා නම් හොඳයි. තම හතුරා මිතුරන් පිරිවරා සිටීම ඉවසිය නොහැකි දර්ශනයකි. දැන් එයාට යහළුවො කවුරුත් නැහැ. කොන්වෙලා ඉන්නෙ. එයා එන කොට යහළුවෝ මග හරිනවා. මේ වගේ දේවල් කටින් පිට වෙන්නේ හිතේ තිබෙන ක්‍රෝධය නිසා, හතුරා මොන ක්‍රමයෙන් හෝ වැටෙනවාට කැමතියි. 

ප්‍රතිඵලයත් ඒවගේම යි. ඔහුට යම් මිතුරන්, අමාත්‍යයන්, ලේ ඤාතීන් වෙත් නම් ඔවුන් ඔහු ව අත්හරියි. අමච්චා යනු වැදගත් යහළුවන් . ඔවුන් හැමදේටම ගෙදර යන එන අය නොවේ. ඈතින් ගනුදෙනු කරන අය. 

ඒ සියලු දෙනා ක්‍රෝධ කරන පුද්ගලයාගෙන් ඈත් වෙනවා. ඔවුන් හිතන්නේ තමාටත් මේ වගේ යම් දවසක වෛර බඳීවි, නරකක් කරාවි යන්නයි. 

ඔහුගේ හතුරා කෙරෙහි ඇති අවසන් අපේක්ෂාව නම් මරණින් පස්සේ අපායට යනවා නම් හොඳයි යන්නයි. 

අපේ හතුරන්ගේ වැඩ දැකීමෙන් මෙසේ කියන කතා අපට නිතර ඇසේ. ඔය කරන දේවල්වලට නතර වෙන්නේ අපායේ. මේ වාගේ අනාගත ප්‍රාර්ථනාවන් සිතේ ඇති වන්නේ සිත තුළ තිබෙන වෛරී අදහස් නිසයි. 

මෙසේ තමා හිතන දේ හා සම්බන්ධ ව නරක කටුක ප්‍රතිඵල පෙරළා විඳින්නේ අනුන්ට අවැඩ පිණිස හිතන සිතිවිලි සියල්ලක් ම භවංග සිතේ සටහන් වන නිසා බව බුද්ධියෙන් තේරුම් ගන්න. ක්‍රෝධ සිතිවිලි නිසා තමාම එක් අවස්ථාවක දී තැවීමට පත්වෙනවා. තරහව නැතිවූ ගමන් පිච්චුනාට පසුව ඇති වන තැවීම තමාට ඇති කරනවා. මේ නිසා කේන්ති ගියවිටක ඉක්මන් වී යමක් කියන්න කරන්න ලෑස්තිවෙන්න එපා. කේන්ති ගියාම ඇත්ත පේන්නේ නැහැ. මේ නිසා ලජ්ජා භය නැතිවෙනවා” නා අස්ස හිරිඔත්තප්පං “කියන්නේ මොනවාද කියා වැටහීමක් නැහැ. හොද වචන නැතිවෙනවා. තරහ ගියාම අම්ම තාත්තා පෙන්නේ නැහැ” “කුද්ධො පිතරං සමාතරං භන්ති” මේක භයානක තත්වයක්. මේ නිසා හිත පාලන ය කළ යුතුයි. ක්‍රෝධයේ ආදීනවය ගැනම හිතන්න මාර්ගය මෙයමයි. 

මේ කෙරෙන් තමාගේ මානසික නිරෝගිභාවයට පත් වෙනවා. සංසාරය කෙටි කරගන්නටත් හේතු වෙනවා. ද්වේෂය නැති තැන තමයි නිර්වාණය කියන්නේ. “තණ්හක්ඛයො දොසක්ඛයො ඉදිං වුච්චති නිබ්බාණං මේනිසා හැමවිටම වෛරී සිතිවිලිවලට අවකාශය නොදී මෛත්‍රී සහගත සිතකින් කටයුතු කරන්න අධිෂ්ඨාන කරමු. 

ඔබ සැමට මේ ධර්මයේ තේජසින් සියලු යහපත ඇති වේවා. නිර්වාණ සම්පත්තිය ම ලැබේවා

Wednesday, March 30, 2022

අනේපිඬු සිටුපුත් නිවනට නතු වූ සැටි

 

13-11 අනේපිඬු සිටුපුත් නිවනට නතු වූ සැටි 

පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා

සබ්බලොකාධිපච්චෙන සොතාපත්තිඵලං වරං.

මුළු පොළොවෙහි සක්විති රජ ඉසුරට වඩා (සවිසි වැදෑරුම්) ස්වර්‍ගයට යෑමට ද වඩා, (නාගලෝකාදිය සහිත) මේ සියලු ලෝකයෙහි අධිපති බවට ද වඩා සෝවාන් පලය ම උතුමි. මෙ තෙක් තැන අධිපති කොටත් සත්ත්‍ව තෙම අපායෙන් නො මිදුනේ ම වෙයි. සෝවාන් පුඟුල් තෙම අපායෙක නො උපදී. අට වන භවයක් නො ලබයි. එහෙයින් මුළු ලොව ම අධිපති බවට වඩා සෝවාන් ඵලය උතුමි.

අනේපිඬු සිටු සැදැහවත් ය. එහෙත් ඔහු පුත් කාළ තෙමේ සැදැහ නැත්තේ ය. බුදුරජුන් වෙත යනු, ගෙට වැඩිය ද දකිනු, බණ අසනු, සඞ්ඝයා වෙත ගොස් වතාවත් කරණු ඔහුට නො රිස්නේ ය. “පුතේ! ඔහොම නො කරන්නැ” යි සිටු විසින් කියන ලද්දේ ද හේ එය නො පිළිගණියි. දවසෙක සිටු තෙමේ “මේ දරු මෙබඳු දෘෂ්ටියක් ගෙන සිටීමෙන් මරණින් මතු අපායයෙහි උපදින්නේ ය, ඒ සිකුරු ය, මා බලා සිටියදී මේ දරු අපාගත වන තැනට කටයුතු කිරීම මට මහත් වේදනාවෙක, මදි කමෙක, වේවා, මේ පොළොවෙහි මිල මුදලට අන් අතක ගසන්නට බැරි මිනිසෙක් නැත, නුවණ මද මිනිහා මිලමුදල් ම බලා පොරොත්තු වෙයි, එබන්දකුට මිල මුදල් ටිකක් දුන් විට ඔහු ලවා ඕනෑම වැඩක් කරවිය හැකි ය, එහෙයින් මිලමුදල් ටිකක් දී මොහුගේ අදහස් වෙනස් කරමි” යි සිතා “පුත! පන්සලට ගොස් සිල් සමාදන් ව බණටිකකුත් අසා එන්න, ඒ ආ සැටියේ පුතාට මම ඕනෑ වැඩක් කරගැණීමට සන්තෝෂ වශයෙන් මුදල් ටිකක් දෙන්නෙමි” යි කී ය. ඔහු ද එයට තුටු පහටු ව “කෝ තාත්තේ! මට දෙන මුදල් පෙන්වන්නැ” යි කී විට “මෙන්න පුත! මුදල්, මේ මුදල් දෙන්නෙමි, වරදින්නේ නැතැ” යි කී ය. 

මෙසේ සිටු දෙතුන් විටක් ම කී කල්හි සිටු පුත් පෙහෙවස් ගෙණ විහාරයට ගොස් බණ ඇසීමෙන් වැඩෙක් නැතැ යි වරක් පහසු තැනක නිදා හිඳ උදෑසනින් ම නින්දෙන් නැගිට ගෙදර ගියේ ය. මහසිටු තෙමේ “මා පුත් පෙහෙව ආයේ ය, ඉක්මනට කැඳ අවුලු ගෙණ එවු” යි ගෙන්වා දෙවී ය. ඔහු “මුදල් අතට නො ගෙණ නම් නො කමි” යි ගෙණවුත් දුන් හැට දැය ම ප්‍රතික්ෂේප කෙළේ ය. සිටු තෙමේ පුතුන්ගේ පෙළීම නො ඉවසන්නේ මුදල් පොදියක් ගෙන්වා ඔහුට දෙවූයේ ය. ඔහු එය අතට ගෙණ කෑම ගත්තේ ය. පසුදාත් සිටු තෙමේ “පුත! මේ වර නුඹට පළමු වරට වඩා මුදල් දෙන්නම්, හැබැයි, නුඹ විහාරයට ගොස් බුදුරජුන් වෙතින් එක් බණ පදයක් ඉගෙණ අවුත් එය මටත් කියා දෙන්නට ඕනෑ. මුදල් දෙන්නෙම් එවිට ය” යි කියා එවරත් ඔහු විහාරයට පිටත් කොට යැවී ය. ඔහු මුදල් ලැබීමෙහි ආශාවෙන් එවරත් වෙහෙරට ගොස් බුදු රජුන් ඉදිරියෙහි හිඳ එක් ම බණ පදයක් ඉගෙණිමට සැරසුනේ ය. බුදුරජානන් වහන්සේ ඔහු උගත් බණ පදය අමතක වන ලෙසක් කළ සේක. සිටුපුත් පළමු උගත් බණ පදය අමතක ව ගිය බැවින්, නැවැත ද බණ පදයක් උගන්නෙමි යි එහි ම සිට බණ ඇසී ය. උගන්නෙමි යි සිතා අසන්නේ මැනැවින් අසන්නේ ය. උගන්නෙමි යි සිතා බණ අසන්නවුන්ට ධර්‍මය තෙමේ සෝවන් ඈ මග පල දෙන්නේ ය. මේ සිටු පුතු ද උගනෙමි යි දැඩි ව ගෙණ බණ අසයි. බුදුරජානන් වහන්සේ ද ඔහුට අසන අසන බණ පදය නො සැලැකෙන සැටියක් ම කරණ සේක. අන් පදයක් උගන්නෙමි, අන් පදයක් උගන්නෙමි යි සිතමින් බණ ඇසූ ඔහු ඒ වේලෙහි ම සෝවන්මඟ නුවණ ලැබී ය. පසුදා ඔහු බුදුරජුන් ප්‍රධාන කොට ඇති මහාසඞ්ඝයා වහන්සේ සමග නුවර සියගෙට පැමිණියේ ය. අනේපිඬු සිටුහට සිය පුතු දැක “අද වෙනදා වගේ නො වේ මපුතු, අද මපුතුගේ හැඩ හුරුකම් කාගේත් සිත ගණී, කාටත් රුචි උපදවා” යි අදහස් විය. ඒ අතර සිටුපුත්හට “මාගේ පියා අද බුදුරජුන් ඉදිරියෙහි මට මුදල් නො දෙනු නම්, මුදල් ලැබීමෙහි ආශාවෙන් මා පෙහෙවුනු බව නො කියා සඟවනු නම්, යෙහෙකැ” යි අදහස් විය. එහෙත් බුදුරජානන් වහන්සේ මුදල් ලැබීමෙහි ආශාවෙන් ඔහු පෙහෙව ගත්බව දැන සිටි සේක. 

මහාසිටු තෙමේ සියගෙට වැඩ ම කළ බුදුරජුන් ප්‍රධාන මහා සඞ්ඝයා වහන්සේට කැඳ පිළිගන්වා නැවැත පුතුට ද කැඳ ගෙන්වා දෙවී ය. ඔහු ද නිහඬ ව කැඳ බී කැවිලි ද වළඳා බත් අනුභව කෙළේ ය. නැවැත සිටු තෙමේ බුදුරජුන් දන් වළඳා අවසන් කළ ඉක්බිති මුදල් මල්ල ගෙන්වා පුතු ඉදිරියෙහි තබා “පුත! මම නුඹට සෑහෙන මුදලක් දෙන්නෙමි” යි නුඹ පෙහෙවස් ගන්වා විහාරයට යැවීමි, මේ මා කී ඒ මුදල, එය භාර ගෙණ කැමැත්තක් කර ගන්නැ” යි කී ය. හෙතෙමේ ද බුදුරජුන් ඉදිරියෙහි තබා මුදල් දෙන විට ලජ්ජා ඇති ව “මට මුදල්වලින් වැඩෙක් නැතැ” යි කියා සිටියේ ය. “නෑ පුත! ගන්න මා මෙය දෙන්නේ ඉතා සතුටින්, ගන්න, වරදෙක් නැත, භාර ගෙණ වුවමනා දෙයක් කර ගන්නැ” යි මහාසිටු කියද්දීත් ඔහු මුදල් නො පිළිගත්තේ ය. ඉක්බිති අනේපිඩු මහසිටු බුදුරජුන් වැඳ “ස්වාමීන් වහන්ස! අද මපුත් වෙනස් වී සිටියි, ඔහුගේ හැඩ හුරුකමත් සිරුරු පැහැයත් වෙනදාට වඩා සිත් කලු ය, මා මන වඩන්නේ ය” යි දැන්වී ය. බුදුරජානන් වහන්සේ “ඇයි සිට! එසේ කියහු දැ” යි අසා වදාළ කල්හි “ස්වාමීනි! ඔහු මුලින් දවසේ විහාරයට යැවුයෙම් මුදල් ටිකක් දීමේ පොරොන්දුව පිට ය, පසු දා විහාරයේ සිට ආ මොහුට බත් කන්නට කීමි, එහෙත් එදා මොහු මුදල් අතට නො ගෙන බත් කන්නට සතුටු නො වී ය, අද නම් පැරැත්ත කර කර දුන්න ද ගන්නට නො කැමැත්තේ ය” යි කීවිට බුදුරජානන් වහන්සේ “ඔවු! මහ සිට! නුඹගේ පුතුට අද සක්විති සැපතටත් වඩා දිව්‍යලෝක සැපතටත් වඩා හැම ලෙසකින් සෝවාන් පලය උතුම් ය” යි වැටහී ගොස් තිබේ, එහෙයින් මේ ලෞකික වූ හැම දෙයක් ගැන ඔහුගේ ආශාව බොහෝ දුරට අඩුව ගොස් තිබේ, මේ මුදලට කැමැති නැත්තේ එහෙයිනැ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක. 

පථව්‍යා එකරජ්ජෙන සග්ගස්ස ගමනෙන වා, 

සබ්බලොකාධිපච්චෙන සොතාපත්තිඵලං වරන්ති. 

මහා පෘථිවියෙහි වු එක් රජයට වඩා ස්වර්‍ගයට යනුවට ද වඩා මුළු ලොව අධිපතිභාවයට වඩා සෝවන් පලය උතුම් වේ. 

පථව්‍යා එකරජ්ජෙන = පොළොවෙහි එක් රජයටත් වඩා සක්විතිරජය ලැබීමටත් වඩා. 

සක්විතිරජ බවට කිසි ලෙසකිනුත් ලංකළ හැකි සම කළ හැකි අන් රජයෙක් මේ මුළු මහාපොළොවෙහි නැත්තේ ය. සක්විති රජකම පොළොවෙහි ඇති එක් රජය යි වදාළේ එහෙයිනි. මිනිස් ලොව ඇති අසහායසම්පත්තිය උසස් ම සම්පත්තිය මෙය වේ. මෙයට වැඩිතරම් වූ සම්පත්තියෙක් මිනිස් ලොව නැත. 

දෙදහසක් කුඩා දිවයිනෙන් පිරිවැරුණු සිවු මහාදිවයිනෙහි පතළ අණසක ඇති ජනරඤ්ජකත්‍වය සක්විති රජකමැ යි ගැණේ. පොළොව ඇති අන් හැම රජකමෙක් මෙයට යටත් ය. මෙය අන් හැම රජකම් අබිබවා සිටියේ ය. 

පෙර කළ සියලු කුසලයන්ගේ විපාකය එකවිට වැළඳීමෙහි පොහොසත් වූවෙක් ම එබඳු කාලයෙක ලෝකමාන්‍ය වු අති පවිත්‍ර වූ මවුපිය පරපුරක් ගෙණ උපන්නේ මේ ජනරඤ්ජකත්‍වයට පැමිණෙන්නේ ය. 

සක්විති රජකම ලැබීමට සුදුසු පිණැත්තකු ලෝ පහළ වීමට සියක් වසක් තිබිය දී කාමාවචර දෙවියෙක් රන්වන් සළු හැඳ සුවඳ විලවුන් ඇඟ තවරා පළඳනා ඇඟලා මිණි වොටුනු දරා මඟුල් වෙස් ගෙණ මේ මගුල් සක්වළ සිවු මහාදිවයින වටා “මෙයින් සියක් අවුරුද්දක් ගිය තැන සක්විති රජකු උපදිනු ඇතැ” යි කියමින් හැසිරෙන්නේ ය. එතැන් සිට සියක් අවුරුද්දක් ගිය තැන කෘතපුණ්‍ය වූ මේ මහාපුරුෂ තෙමේ උභයකුල පරිශුද්ධ මාතෘ පිතෲන් ගෙණ නානාවිධ ආශ්චර්‍ය්‍යයන් මැද ලොව පහළ ව කුමාරපරිහාරයෙන් වැඩී මුළු මහත් දඹදිව ද්වීපච්චක්‍රවර්තී ව දස රජදම් නො වරදවා සිවූ සඟරාවතින් ප්‍රජාපාලනය කරන්නේ, දන් ඈ දස වැදෑරුම් සක්විති වත් පුරා රජ සිරි විඳින්නේ ය. පුරපසළොස්වක දිනයෙහි උදෑසන ලක්‍ෂයක් වියදම් කොට මහාදන් පවත්වා සුවඳදියෙන් ඉස් සෝදා නා සුදුවත් හැඳ පොරවා ගෙණ පෙහෙවස් ඉටා සිරියහන් ගබඩාවට පිවිස පලක් බැඳ හිඳ දානාදිකුශලකර්‍මයන් සිතමින් සිහිකරමින් හිදියි. එකල පුර්‍වෙකෘතකුශලබලයෙන් චක්‍රරත්නය - හස්තිරත්නය - අශ්වරත්නය - මාණික්‍යරත්නය - ස්ත්‍රීරත්නය - ගෘහපතිරත්නය - පරිණායකරත්නය යන සප්තවිධ චක්‍ර රත්නයන්ගේ ප්‍රතිලාභයෙන් දෙදහසක් කොදෙවු වලින් පිරිවැරුණු සිවු මහාදිවයිනෙහි සක්විති රජවන්නේ ය. 

මෙතෙමේ චක්‍රරත්නයෙහි ආනුභාවයෙන් නො දිනූවන් දිනන්නේ ය. හස්ති-අශ්වරත්නයන්ගේ බලයෙන් දිනා ගත් කොදෙවු සහිත වූ සිවු මහාදිවයිනෙහි කැමැති සේ සුව සේ හැසිරෙන්නේ ය. පරිණායකරත්නයෙහි මහිමයෙන් දිනා ගත් විජිතයන් එකවන් රකින්නේ ය. මෙයින් අන්‍ය වූ රතනයන්ගේ අනුහසින් උපභෝග සුඛ වළඳන්නේ ය. 

චක්‍රරත්නයෙන් මොහුට උත්සාහශක්තියෝගය පරිණායක රත්නයෙන් මන්ත්‍රශක්තියෝගය හස්ති - අශ්ව - ගෘහපති රත්නයන්ගෙන් ප්‍රභූශක්තියෝගය පිරිපුන් ව ලැබෙන්නේ ය. ස්ත්‍රී - මාණික්‍ය රත්න දෙකින් මෙකී ත්‍රිවිධ ශක්තියෝග ඵලය ම වන්නේ ය. මේ තෙමේ ස්ත්‍රී - මාණික්‍යරත්න කරණ කොට අනන්තාපරිමිත භෝග සම්පත්තීන් වළදන්නේ ය. චක්‍රරත්නය පහළ වීමෙන් පසු ලොවැති අන් හැම දෙවස්ථාන කෙනෙක් ම, අභාවයට යන්නෝ ය. ලෝවැසි සියල්ලෝ එයට ම වඳිති. පුදති. ගරු කෙරෙති. 

මෙහි මුලින් කියූ ත්‍රිවිධරත්නයෝ, අදෝස නම් කුසල මූලයෙන් හටගත් ගණන් නැති කුසල චේතනාබලයෙන් නිපැදුනෝ ය. මාණික්‍ය - ස්ත්‍රී - ගෘහපති රත්නයෝ, අලෝභ නම් කුසලමූලයෙන් හටගත් ගණන් නැති කුසලචේතනාබලයෙන් නිපැදුනෝ ය. පරිණායකරත්නය, අමෝහ නම් කුසලමූලයෙන් හටගත් ගණන් නැති කුසලචේතනාබලයෙන් නිපැදුනේ ය. මෙහිලා මේ කීවා ඉතා කෙටිකතා ය. විස්තරකථාව බොජ්ඣංගසංයුත්ත - රතනසුත්ත යන මෙතැන්වලින් දත යුත්තේ ය. 

ලෞකික වූ හැම සැපතින් මුදුන්පෙත්තට නැගි මේ මහේශාක්‍යමහාපුරුෂයෝ දෙදෙනෙක් එක්සක්වළෙක එක් වට පහළ නො වෙත්. පහළ වන්නේ එකෙක් ම ය. එසේ එකකු පහළවනු, ලෝකයා අතර හටගන්නා වූ විවාද නැසීම පිණිස ආශ්චර්‍ය්‍යය පිණිස චක්‍රරත්නයෙහි මහත්ත්‍වය රැකෙනු පිණිස ය. 

දෙදෙනකු එකවිට උපන් කල්හි “අපගේ රජ මහත් ය, අපගේ රජ මහත් ය” යි මහාජනයා අතර විවාද හටගන්නේ ය. “මේ දිවයිනෙහි සක්විති රජෙක, මේ දිවයිනෙහි සක්විති රජෙකැ” යි එක් වට කියත්, සක්විත්තන්ගේ ආශ්චර්‍ය්‍යයෙක් නැත්තේය. දෙදහසක් කොදෙවු පිරිවර කොට ඇති සිවු මහාදිවයිනෙහි චක්‍රරත්නයාගේ ඓශ්වර්‍ය්‍යදානයෙහි යම් කිසි බලයෙක් මහානුභාවයෙක් වේ නම් එ ද පිරිහෙන්නේ ය. මේ හේතු ය දෙදෙනකු එක්වට පහළ නො වීමෙහි. 

බුදුරජකු ලොව පහළ ව ඇති කල්හි සක්විති රජෙක් හෝ සක්විති රජකු ලොව පහළව ඇති කල්හි බුදුරජෙක් හෝ ලොව පහළ නො වේ. සක්විති රජකු ලොව ඇති කලෙක බුදුකෙනෙක් ලොව පහළ වූවෝ නම් සක්විති රජ පැවිද්ද හෝ ලබයි. කලුරිය හෝ කරයි. සක්විතිරජුගේ සොහොන් අලු ථූපාරහ වේ. එයට වැඳීමෙන් පිදීමෙන් බුහුමන් කිරීමෙන් දෙවිමිනිස් සැප ලැබිය හැකි ය. 

සංයුත්තනිකායට්ඨකථාවෙහි “මෙතෙමේ මහත් පුණ්‍යානුභාවයෙන් නැගුනේ “පින්වත් තෙමේ අණසක පවත්වා යන වචනයන් ගෙන් මෙහෙයුනේ අණසක පවත්වා නු යි චක්කවත්තී නමැ” යි කියන ලදී.

දීඝනිකායට්ඨකථාවෙහි “මෙතෙමේ චක්‍රරත්නය පවත්වා නු යි හෝ චතුර්විධසම්පත්ති චක්‍රයෙන් යුක්තව පවතී නු යි හෝ අනුනට හිතපිණිස චතුර්විධ ඊර්‍ය්‍යාපථයන්ගේ පැවැත්ම මොහු කෙරෙහි ඇත්තේ නු යි හෝ චක්කවත්තී නැමැයි කියන ලදී. 

සක්විතිරජ සුප්පතිට්ඨිතපාදතා දී වූ මහාපුරුෂලක්‍ෂණ දෙතිසකින් හෙබියේ ය. දැහැමි වූයේ ය. පුණ්‍යානුභාවයෙන් රජය ලැබ රජ වූයේ ය. පරහිතකරණයෙන් හෝ දැහැමි වූයේ ය. ආත්මහිතකරණයෙන් හෝ ධර්‍මරාජන් වූයේ ය. සිවු සයුර කෙළවර කොට ඇති මහාපොළොවට ඊශ්වර වූයේ ය. ඇතුළත්හි වූ ක්‍රෝධාදී වූ සතුරන් හා බැහැර සියලු රජුන් දිනා සිටියේ ය. දනවුහි නො සැලෙන බවට පැමිණියේ ය. සප්තරතනයෙන් පිරිවැරුණේ ය. දිව්‍ය පුත්‍රයන්ගේ සිරුරු වැනි සිරුරු ඇති පර සේනා මැඩලන දහසකට වැඩි පුත්‍රයන්ගෙන් බැබලුනේ ය. “ අයං පි දෙව! කුමාරො ද්වත්තිංසමහාපුරුසලක්ඛණෙහි සමන්නාගතො, යෙහි සමන්නාගතස්ස මහාපුරිසස්ස දෙවව ගතියො භවන්ති අනඤ්ඤා. සචෙ අගාරං අජ්ඣාවසති රාජා හොති චක්කවත්ති ධම්මිකො ධම්මරාජා චාතුරන්නො විජිතාවී ජනපදත්‍ථාවරියපන්තො සත්තරතනසම්පන්නො පරොසහස්සං ඛො පන පුත්තා භවන්ති සූරා වීරඞ්ගරූපා පරසෙනප්පමද්දනා” යනු එහි පාලි. 

දෙතිස් මහාපුරිස්ලකුණෙන් හෙබි මෙතෙමේ ගිහි ව සිටියේ ම සක්විති වන්නේ ය. පැවිදි වූයේ සම්බුදු වන්නේ ය. මේ ඒකාන්ත සිද්ධිය වේ. “සචෙ ඛො පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හොති සම්මාසම්බුද්ධො” යනු පාලියි. දීඝනිකායයෙහි අම්බට්ඨ - මහාපදාන - චක්කවත්තිසීහනාද සූත්‍ර හා සාර සඞ්ග්‍රහයෙහි චක්කවත්තිවිභාවනාකථා ද බැලිය යුතුය. 

මෙහි කියූ මහත්ත්‍වයෙන් යුක්ත වූ මහාපුරුෂයක්හුගේ ජනරඤ්ජකත්‍වය පොළොවෙහි එක්රජය යි වදාළ සේක. 

සග්ගස්ස ගමනෙන වා = ස්වර්‍ගයට යනුවට වඩා සග සැප ලැබීමට වඩා. 

චාතුර්‍මහාරාජිකාදි ස්වර්‍ගලෝක සයෙක, බ්‍රහ්මපාරිෂද්‍යාදි රූපාවචර බ්‍රහ්මලෝක සොළසෙක, ආකාසානඤ්චායතනාදි අරූපාවචර බ්‍රහ්මලෝක සතරෙකැ යි ස්වර්‍ගවිස්සෙකි. [1]

සබ්බලොකාධිපච්චෙන = මුළු ලොව අධිපතිභාවයට වඩා නාග සුපර්‍ණ වෛමානික ප්‍රේතයන් සහිත මුළු ලොව අධිපතියකු වීමට වඩා. 

සොතාපත්තිඵලං වරං = සෝතාපත්තිඵලය උතුම් වේ. සෝතාපත්තිඵලයට පැමිණීම උතුම් ය. 

සෝතාපත්ති මග්ග චිත්තය ලැබූ පුද්ගලයාහට එයට අනතුරුව ඒ හා ම උපදනා සිත සෝතාපත්තිඵල නම්. මග්ගචිත්තය කුසල් ය. ඵලචිත්තය එහි විපාකය. මග්ගචිත්තයාගේ විපාක වශයෙන් උපදනා චිත්තය සෝතාපත්තිඵල නම් වේ. 

කෘත්‍ය වශයෙන් හා ආලම්බන වශයෙන් අසමාන වූ අනුලෝම - ගෝත්‍රභූ - මග්ග - ඵල යන ලෞකික ලෝකෝත්තර ජවන් සිත් සතක් පරම කොට ඇති ඒකාවර්‍ජන අර්‍පණා චිත්තවීථියෙහි සතර වන හෝ පස්වන ජවනස්ථානයට පැමිණියේ සෝතාපත්තිමග්ග චිත්තය යි. සතරවන ජවනය, මග්ගචිත්තය වී නම් ඒ චිත්තවීථියෙහි ම පස්වන සවන සත්වන ජවනයෝ ඵලචිත්ත නම් වෙත්. පස්වන ජවනය මග්ගචිත්තය වී නම්, සවන සත්වන සිත් දෙක පලසිත් වේ. සෝතාපත්තිඵලැයි කීයේ මේ පලසිත් ය. 

සතරවන ජවනය, මග්ගචිත්තය ලෙසින් ලැබෙන චිත්තවීථියෙහි පළමුවන දෙවන සිත් දෙක අනුලෝම යි ද, තෙවන සිත ගෝත්‍රභූ යි ද, පස්වන ජවනය මග්ගචිත්තය ලෙසින් ලැබෙන චිත්ත වීථියෙහි පළමුවන ජවනය පරිකම්ම යි ද, දෙවන ජවනය උපචාර යි ද තුන්වන ජවනය අනුලෝම යි ද සතරවන ජවනය ගෝත්‍රභූ යි ද ගැණේ. මොවුනට අරමුණු වන්නේ අනිත්‍යාදි ලක්‍ෂණත්‍රයයෙන් යම් ඒ එකෙක් ය. අනිත්‍යාදී වූ යමක් ම අරමුණු කොට පරිකම්ම - උපචාර - අනුලෝම නාමයෙන් උපදිති මෙ කියූ ජවනයෝ. මෙසේ කෘත්‍ය වශයෙන් වෙන වෙන නම් ලබන්නේ ද වෙනසක් නො තබා අනුලෝමයෝ ම වෙත්. 

අනුලෝමඥානයන්ගෙන් සත්‍ය ප්‍රතිච්ඡාදක අවිද්‍යාන්‍ධකාරය පහව ගිය කල්හි ගෝත්‍රභූචිත්තය නිවන් අරමුණු කොට තුන්වැනි ව හෝ සතරවැනි ව උපදනේය. මේ ගෝත්‍රභූචිත්තය තමා ආවර්‍ජනයෙක් නො වූ යේම ආවර්‍ජනස්ථානයෙහි සිට මාර්‍ගය ආවර්‍ජනය කරණ බැවින් පටිපදාඤාණදස්සනවිසුද්ධිය නො වේ. මාර්‍ගය නො වන බැවින් ඤාණදස්සනවිසුද්ධියත් නො වේ. මේ දෙයතුර ගණන් ගත යුතු නො වේ. විදර්‍ශනාස්‍රෝතයෙහි වැටුනු බැවින් විදර්‍ශනා යි ගත යුතු ය. 

සතරවන පස්වන සිත් සක්කායදිට්ඨි - විචිකිච්ඡා - සීලබ්බත පරාමාස යන සංයෝජන තුණ හා සියලු කෙලෙසුන් පිළිබඳ අපායගාමී ශක්තිය, මරණ නසන බැවින් මග්ගචිත්ත යි ගැණේ. මොවුනට අරමුණු වන්නේ නිවණ ය. නිවන අරමුණු කොට මග්ගචිත්තයෝ උපදිත්. එලචිත්ත නම්, ඒ මග්ගචිත්තයන්ගේ විපාක යි. මෙහි මුලින් කියූ ආර්‍ය්‍යපුද්ගල විභාගය බැලිය යුතු ය. 

සක්විති රජකම් කළ ද දෙව්ලොව හෝ බඹලොව ඉපිද දෙව් සැප බඹසැප වින්ද ද මුළු ලොවැ ම රජ වුව ද අපායයෙන් මිදීමෙක් නැත. සෝවන් පලයට පැමිණියේ ම හැර පියන ලද අපායය ඇත්තේ වේ. ඔහු සෝවන් මගපල ලබා කෙලෙසුන්ගේ අපායෝත්පාදකශක්තිය නැසූ බැවිනි එසේ වනු. එහෙයින් ඔහුගේ අපායයෙහි ඉපැදීමෙක් නැත. ආර්‍ය්‍යපුද්ගලයන් අතුරෙහි හැමට දුර්‍වල වූ සත්තක්ඛත්තුපරම සෝතාපන්නයාද භවයෙහි උපදිනුයේ සත්වරක් ම ය. අටවැනි භවයෙහි නම් උපතෙක් ඔහුට ද නො ලැබෙන්නේය. “සියලු ලෞකික වූ සැපතට වඩා ලෝකෝත්තර වූ සෝතාපත්තිඵලය උතුමැ” යි වදාළෝ මේ නිසා ය. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහු ය. 

කාල නම් අනාථපිණ්ඩිකපුත්‍ර වස්තුව නිමි.

දුගතියේ කතාව

 

දුගතියේ කතාව

මේ දීර්ඝ සසර ගමන බලවත් වූ ආශාව නිසා ලෞකික ව නමුත් දෙව් ලොවක්, මනුෂ්‍ය ලෝකයක් නොව සතර අපායේ තැනක් ම වනු ඇත. දුගතියේ කතාව සඳහන් කරන්නේ නම් ධර්මාවබෝධයට නොහැකි ස්ථානයි. 

එ වැනි ස්ථානයක සිත පහදවා ගැනීමේ හැකියාවක් ලබනු ඇත. විශේෂයෙන් ම තිරිසන් ජීවිතයක් ලැබූ යම් යම් වූ ද සත්ත්වයන්ට හිත පහදවා ගැනීම කළ හැකි බව දහම් කතාවල පැහැදිලියි. එය භාග්‍යවතුන් වහන්සේ පාරිල්‍යෙය වනයේ වැඩ සිටි තුන්මාසයක කාලය උපස්ථාන කළ වානරයා සහ හස්තියාගේ කතාවෙන් පැහැදිලියි. 

සසරෙහි ඉපිද ලැබූ දුක පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ දේශනාවට අනුව තේරුම්ගත හැකියි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නුඹලා හැම කෙනෙක් ම සසර ගමන පුරාම තියුණු ලෙස දුක්වින්දෝ ය. මහත් ව්‍යසනයන්ට මුහුණ පෑවෝ ය. නුඹලාගේ මළ සිරුරුවලින් විශේෂයෙන් ම මනුෂ්‍යයන් බවට පත්වී නුඹලාගේ මළ සිරුරුවලින් පෝෂණය වූ මේ මහපොළොවේ හැම බිම් අඟලක් ම සුසානයක් බවට පත්වී ඇත. වැඩිපුර ම උපතලබා ඇත්තේ සතර අපායේ වූවත්, මනුෂ්‍ය ලෝකයේ ත් ඉපිද මිය ගිය සිරුරුවලින් හැම බිම් අඟලක් ම සුසානයක් වී ඇති බව සඳහන් වෙන්නේ නම් සතර අපායට ගැලපීමේ දී ස්වල්ප ලෙස ඉපදුණාය කියන මනුෂ්‍ය ජීවිතත් කොයිතරම් ලබා ඇත්තේ ද? ස්වල්ප වූ කියන තැන මේ තරම් නම්, විශාලය කියන සතර අපායේ ඉපදීම මොනතරම් ප්‍රමාණයක් දැයි සිතා ගනු හැකිවනු ඇත. සතර අපායේ තැනක ඉපදුණොත් එයින් ගැලවීම ඉතාම දුෂ්කර බව පැහැදිලියි.

නරකයේ කොටස් එකසිය තිස් හයේ දී විඳින දුක වගේ ම ප්‍රේත විෂයෙහි ඉපිද ලබන දුක, තිරිසන් අපායේ විඳින දුක, අසුර අපායේ ඉපිද විඳින දුක, මේවා නැවත නැවතත්, නැවත නැවතත් මෙනෙහි කරගත යුතුමයි. විදර්ශනාවේ දී එනම් සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය, දුක්ඛ, අනත්ත නම් වූ ත්‍රිලක්ඛන ධර්මයට යටත් කොට නුවණින් දැකීමේ දී “බයිතුපට්ඨාන ඥානය” යනුවෙන් දක්වන්නේ මේ ස්කන්ධ පංචකය යි. 

මේ භවයතුළ විසිරෙමින් හට ගනිමින් පවත්නා ස්වභාවය විදර්ශනා නුවණින් නොදැකීම නිසා අවිද්‍යාවට හසුව තෘෂ්ණාවෙන් බැඳී කර්ම රැස්කරගෙන උපත් සිදුවී ලබා ඇති හෝ ලබන්නා වූ භයානක වූ ඝෝර වූ දුක පිළිබඳව යි. එය අවබෝධ වන විට සසර හා භවය පිළිබඳ ව ඇතිවෙන්නේ සංවේගයක්. “අජ්ජත්ත, නම් වූ තමා තමා කෙරේ සංවේගයක් ඇති වෙනවා. සාමාන්‍ය ලෝකයා මෙය හඳුන්වන්නේ කළකිරීමක් හැටියටයි. හැබෑවට ම “නිබ්බිදා” යන වචනයෙන් දක්වන්නේ කළකිරීමයි. නමුත් එය සාමාන්‍ය ලෝකයා පටිඝයක් හෙවත් බලාපොරොත්තු කඩ වූ විට සිදුවන පටිඝය වරදවා තේරුම් ගන්නා නිසා මෙහි අපි ධර්ම සංවේගය කියන වචනය පාවිච්චි කරනවා. බාහිර වශයෙන් පවා අපිට සංවේගයන් ඇතිවෙනවා. 

මේ භවය තුළ මුලාවට පත්වීම නිසා තෘෂ්ණාවෙන් කර්ම සකස්කරගෙන සතර අපායේ තැනක ඉපිද, කාලාන්තරයකින් කල්ප ගණනාවකින් සතර අපායෙන් නිදහස් වෙන්නට බැරිව විඳින දුක විමසන විට, තමා කෙරෙහිත් අන් අය කෙරෙහිත් ඇති වන්නේ ආශාවකට, බැඳීමකට වඩා ධර්ම සංවේගයකට මුල පිරීමකි. තමා තමා පිළිබඳ ව නුවණින් මෙනෙහි කරන්න යැයි ආරාධනා කරනවා. හිසේ වේදනාවක්, දතේ වේදනාවක්, කනේ වේදනාවක්, පමණක් නොව යම්තම් නිය කොනක ඇතිවෙන වේදනාවකටවත් අකැමැති ඔබ හෝ අප සසරේ කල්පාන්තරයක් විඳිය හැකි දුක් ඇති තැනක උපත ලැබුවොත් එහි ඇති ස්වභාවය කුමන ආකාරයකින් දැයි සතර අපායන් පිළිබඳව දහම් කරුණු විමසා බලන විට තේරුම්ගත හැකියි. යම් වූ ද අවබෝධයක් ප්‍රේත වත්ථු නම් ග්‍රන්ථය කියවා බැලීමෙන් තේරුම්ගත හැකියි. 

භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කර ගත්තා වූ ශ්‍රද්ධාව හා ප්‍රඥාව පිළිබඳ ව විශ්වාසය නිසා එය තමන්ට දැනෙන්නට පටන් ගන්නවා. යමක් හිතන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක ඇවතුම් පැවතුම් සිහිපත් කොට බලන්න. කුණපයන්ගෙන් පිරිපුන් ශරීරයක් රූපස්කන්ධයක් දරාගෙන සිටියත්, එය පවිත්‍ර ව පිරිසුදු ව තබාගන්නට දරන්නා වූ උත්සාහය පැහැදිලියි. ඇඳුමින්, පැළඳුමින් සරසාගෙන ප්‍රසන්න ව සිටින්නට දරන්නා වූ උත්සාහය පැහැදිලියි. ආහාර ගන්නා විට දෑත් සෝදා ගැනේ. ආහාරයෙන් පසුව මුඛය සෝදා ගැනීම අඩුම තරමේ හිමිදිරියේ හෝ දවස අවසානයේවත් ශරීරය පිරිසුදුකොට ප්‍රසන්න ව පවත්වාගැනීම හිස පීරීම, දත් මැදීම ආදී වශයෙන් ඔවුනොවුන් කෙරෙහි දක්වන පිළිවෙල කතාව, පිරිසුදුව සිටීමේ කතාව සරලව විමසා බැලිය හැකියි. 

ගැඹුරු අවස්ථාවකට සිත සහ සිහිය යොමු කළොත්, ප්‍රේත විෂයයෙහි ඉපදීමක් සිදු වූවොත් ප්‍රේත විමානයක ලබන දුක කුමන ආකාරයෙන් පවතී දැයි ඔබට සිතා ගත හැකි ද? සාමාන්‍ය මනුෂ්‍යයන් පවා ප්‍රේතයෙක් හෝ ප්‍රේතියක් වැනි අයෙක් යැයි පවසන්නේ කුමන ආකාරයේ කෙනෙකුට දැයි ඔබම සිතින් චිත්‍රයක් මවාගෙන සිතන්න. එනම් අපවිත්‍ර දෑ පිරුනු, දුගඳ හමන, මැස්සන් වහන, ශරීරයේ අපවිත්‍ර දෑ පිටතට නිරන්තරයෙන් ගලා එන ස්වභාවයක් ඔබට සිතෙහි මවා ගත හැකියි.

එහෙත් සැබෑම ප්‍රේත ලෝකයක, ප්‍රේත ආත්මයක කතාව කෙසේ නම් විස්තර කරන්න ද? මේ ඉපදීම දුකක් ය, කියන තැනක සංසාරික වශයෙන් විමසා බලා අපම දැන් මේ ලබා ඇති මනුෂ්‍ය ජීවිතයේ දුක සංකේතයක් හැටියට දැකගෙන අවබෝධ කර ගැනීම සුදුසු නොවේදැයි අප විසින් සිතා බැලිය යුතුමයි.

මිළින්ද ප්‍රශ්නය

 

මාර බලය පැරද වූ බුද්ධ බලය

මිළින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරැණිවූත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක් වූත් ග්‍රන්ථ රත්නයකි. මිළිඳු මහරජුගේත්, නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදුවී ඇත්තේ බුද්ධ පරිනිර්වාණයෙන් පන්සියය වසරක් ගත වූ කල්හි ය. නාගසේන තෙරුන්වහන්සේ මුණගැසුණ මිළිඳු රජු මෙසේ ඇසුවේ ය.

ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේලා තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන , ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සේකැ’යි පවසති. නැවතත් ‘තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ සේදූ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේකැ’යි පවසති. 

නාගසේනයන් වහන්ස, තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලබන සේක් නම්, එකරුණින් පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක යනුවෙන් පවසන වචනය බොරුවක් වෙයි. 

නැත්නම් තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නො ලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක් නම්, එකරුණෙන් තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත් පිරිකර ආදිය ලබන සේක යන වචනය බොරුවක් වෙයි. 

මෙයත් උභතෝකෝටික ප්‍රශ්නයකි. ලෙහෙසියෙන් ලිහා ගත නොහැක්කකි. එය ඔබවහන්සේ වෙත ගෙන ආවෙමි.

“මහරජාණෙනි, තථාගතයන් වහන්සේ චීවර, පිණ්ඩපාත , සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර ආදිය ලබන සේක. එමෙන් ම තථාගතයන් වහන්සේ පංචසාල බ්‍රාහ්මණ ගමෙහි පිඬු පිණිස පිවිස කිසිවක් නොලැබ හිස් පාත්‍රයෙන් ම නික්ම වැඩි සේක. එය එසේ වූයේ පාපී වූ මාරයා විසින් කරන ලද්දක් නිසා ය.” 

“එසේ වී නම් ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ගණන් කළ නොහැකි තරම් අනන්ත කල්පයක් පුරා රැස්කරන ලද කුසල සම්භාරය කුමක් ද? මද කුසලයකින් උඩට පැමිණි පවිටු මාරයා විසින් ඒ මහා බලයකින් පැතිර තිබුණු කුසල් බලවේගය වසන ලද්දේ ද? නාගසේනයන් වහන්ස, එකරුණෙහිලා දෙතැනක් කෙරෙහි සැකයක් උපදියි. 

එනම් ,කුසලයට වඩා අකුසලය බොහෝ බලවත් ය, යන්න එක් තැනකි. බුද්ධ බලයට වඩා මාර බලය බොහෝ බලවත් ය යන්න අනෙක යි. 

”මහරජාණෙනි, යම් සේ සක්විති රජු හට පුරුෂයෙක් මී පැණි හෝ පිඬු හෝ අන්‍ය වූ රාජ පඬුරක් ගෙන එයි. එකල්හි රජුගේ දොරටුපාලයා ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් ඔහුට මෙසේ කියයි. “භවත, මේ රජු දැකීමට කාලය නො වෙයි. එහෙයින් භවත, රජු තොපට දඬුවම් පමුණුවන්නට කලින් ඔබගේ රාජ පඬුර ගෙන වහා හැරී යව.

එවිට ඒ පුරුෂයා දොරටු පාලයාගේ බොරු බස අසා දණ්ඩන භයෙන් තැතිගෙන, උද්වේගයට පැමිණ රාජ පඬුර ද ගෙන වහා හැරී යයි.

මහරජාණෙනි, කිම සක්විති රජතුමා එපමණක් වූ රාජ පඬුරක් නො ලැබීම හේතුවෙන් දොරටු පාලයාට වඩා බලවත් ලෙස දුර්වල කෙනෙක් වෙයි ද?” වෙනත් කිසි රාජ පඬුරක් නො ලබන්නේ ද?”

“නැත, ස්වාමීනි, ඒ දොරටු පාලයා ඊර්ෂ්‍යාවෙන් රාජ පඬුර වැළැක්වූයේ ය. නමුත් වෙනත් දොරටුවලින් රජු කරා සිය දහස් ගුණයෙන් රාජ පඬුරු පැමිණෙයි” 

එසෙයින් ම මහරාජාණෙනි, ඊර්ෂ්‍යාවෙන් පෙළී ගිය පවිටු මාරයා පංචසාල ගමෙහි දී බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. එනමුත් අන්‍ය වූ අනේක ලක්ෂ ගණන් දෙවිවරු අමෘතය වූ දිව්‍ය ඕජස් ගෙන එතැනට පැමිණියාහු ය. භාග්‍යවතුන් වහන්සේගේ කයෙහි දිව්‍ය ඕජස් බහලන්නෙමු යි භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරමින් ඇඳිලි බැඳ සිටියාහු ය.” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, එකරුණ එසේම වේවා! ලොවෙහි මහා පුරුෂ රත්නය වූ භාග්‍යවතුන් වහන්සේට සිව්පසය සුලභ වන්නේ ය. දෙව් මිනිසුන් විසින් ආයාචනා කරන ලද්දේ ම භාග්‍යවතුන් වහන්සේ සිව්පසය වළඳන සේක. එසේ නමුත් මාරයාගෙ යම් අදහසක් වූයේ ද එය එපමණකින් ඉෂ්ට වූයේ ය. ඔහු යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේගේ භෝජනයට අනතුරු කළේ ය. ස්වාමීනි, එහිලා මගේ සැකය නො සිඳෙයි. එහිලා විමතිය, සැකය හටගත්තේ ය. මගේ මනස නිෂ්ඨාවට පත් නො වූයේ ය. 

පවිටු මාරයා වනාහී යම් හෙයකින් පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්හට ආවේශ වූයේ ද, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පරිභෝගයට නොවෙයි. ළගට පමුණුවන ලද දෙයට නොවෙයි. උදෙසා කරන ලද දෙයට නොවෙයි. අනාගතයෙහි නොපැමිණි, නොදුටු දෙයින් අන්තරාය කරන ලද්දේ ය. ඒ අන්තරාය එක ම භාග්‍යවතුන් වහන්සේට නො වන්නේ ය. එ සමයෙහි යම්කිසි භික්ෂූහු පිඬුසිඟා වැඩියාහු ද, ඒ සියල්ලන්ටම ද ඒ දිනයෙහි දානය නො ලැබුණේ ය. මහරජාණෙනි, කිසිවෙකු විසින් හෝ නො වැසිය හැකි ගුණ සතරක් තථාගතයන් වහන්සේට ඇත්තේ ය. ඒ කවර ගුණ සතරක් ද යත් මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, ලාභයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයට අනුගත වූ බුදුරැස් මාලාවට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥා ඥාන රත්නයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට කිසිවෙකු විසින් හෝ අනතුරු කරන්නට නො හැක්කේ ය. 

මහරජාණෙනි, කිසිවෙකු විසින් හෝ නො වැසිය හැකි මේ ගුණ සතර තථාගතයන් වහන්සේට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ සතුව ඇති මේ සියලු ගුණ විනාශ කළ නොහැකි බැවින්, රසයෙන් යුක්ත වෙයි. අනතුරු නො කළ හැකි බැවින්, ආරෝග්‍යයෙන් යුක්ත ය. නො සෙල්විය හැකි බැවින් අකෝප්‍යය ය. පරෝපක්‍රමයෙන් නොමැඬලිය හැකි බැවින් අපරෝපක්‍රම ය. 

මහරජාණෙනි, පාපී වූ මාරයා නො පෙනී සැග වී සිට පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. 

මහරජාණෙනි, රජුගේ ඈත ප්‍රත්‍යයන්ත දේශයන්හි, විෂම ප්‍රදේශයන්හි නො පෙනී සැඟ වී සිට සොරු මංපහරත් ද, රජු ඒ සොරු දකියි නම්. එකල්හී ඒ සොරුන්ට සෙතක් ලැබෙයි ද?” 

“නැත, ස්වාමීනි, පොරොවෙන් සත් කඩකට හෝ දහස් කඩකට හෝ පළා දමන්නේ ය්. “එසෙයින් ම මහරජාණෙනි, පවිටු මාරයා නො පෙනී සැග වී සිටීමෙනි. පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ. 

මහරජාණෙනි, යම් හෙයකින් පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, පරිභෝගයට අනතුරු කරයි නම්, ඔහුගේ හිස සත්කඩකට හෝ දහස් කඩකට හෝ පැළෙන්නේ ය. “

“ස්වාමීනි එය එසේ ම ය . පවිටු මාරයා විසින් සොරකම් කරන ලද්දේ ය. පවිටු මාරයා සැඟ වී සිට පංචසාල බ්‍රාහ්මණ ගෘහපතියන්ට ආවේශ වූයේ ය. ස්වාමීනි, ඒ පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන ලද, ළඟට පමුණුවන ලද, පරිභෝගයට අනතුරු කරයි නම් ඔහුගේ හිස සත්කඩකට හෝ දහස් කඩකට හෝ පැළෙන්නේ ය. බොල් වී මිටක් සෙයින් ඔහුගේ සිරුර විසිරෙන්නේ ය. 

යහපති නාගසේනයන් වහන්ස, එය ඒ අයුරින් ම පිළිගනිමි.” 

කම්මස්සකා මානව සත්තා

 

කම්මස්සකා මානව සත්තා

බුද්ධිමත් අයෙකු නුවණින් විමසා බලා යම් ආගමික ඉගැන්වීමක ඇති යහපත් අයහපත් බව තෝරා ගැනීමේ දී කරුණු කිහිපයක් සැලකිය යුතු ය. ඒ අතර, එම ඉගැන්වීම මේ ජීවිතය තුළදී ම මුළුමනින් ම ප්‍රත්‍යක්ෂ කරගැනීමට ඇති හැකියාව. මෛත්‍රිය, දයාව, අනුකම්පාව හා ඉවසීමට ලබාදී ඇති තැන. ශාස්තෘවරයාගේ හා ශ්‍රාවකයාගේ භූමිකාව අර්ථ දක්වන ආකාරය. තාවකාලික ව හා දීර්ඝ කාලීන ව ලැබෙන අර්ථානර්ථයන් යන මේ කරුණු ඒ අතර ඉතා වැදගත් වේ.

චින්තනය හෙවත් සිතන පිළිවෙල තුළ ඇති විවිධත්වය නිසා ජීවිතය යනු කුමක්ද යන්නට නොයෙක් අර්ථ නිරූපණයන් දක්නට ලැබේ. ඇතමෙකු විසින් එය ලෝක නිර්මාපක දෙවියකුගේ ක්‍රියාවෙකැයි සලකන අතර, තවෙකෙකු ඊට ඉඳුරාම විරුද්ධ වනු දර්ශන ඉතිහාසය විමසන්නෙකුට වැටහෙන කරුණකි.

බොහෝ පර්යේෂකයන් තම තමාට ආවේණික චින්තනයක් ඔස්සේ ඉදිරියට යමින් නොයෙක් කරුණු ගැන ඉදිරිපත් කරන නිගමනයන් බොහෝමයක් කාලයත් සමග වෙනස් ව ගොස් ඇති බව නොරහසකි. ඒ අතර ඉපදීම, මියයෑම, ලැබීම, නොලැබීම, දුක, සතුට, ගති ලක්ෂණ වැනි ජීවිතයක් හා බැඳී ඇති සංසිද්ධීන් විනිශ්චය කිරීමට යත්න දැරූ ආගමික නායකවරුන් තම ශ්‍රාවකයන්ට කළ ඉගැන්වීම් නිසා විවිධ විෂම විශ්වාසයන් හා ඇදහිලි දහස් ගණනින් බිහිවූ ඉතිහාසයකි මානව වර්ගයාට ඇත්තේ.

එහෙත් බුද්ධිමත් අයෙකු නුවණින් විමසා බලා යම් ආගමික ඉගැන්වීමක ඇති යහපත් අයහපත් බව තෝරා ගැනීමේ දී කරුණු කිහිපයක් සැලකිය යුතු ය. ඒ අතර, එම ඉගැන්වීම මේ ජීවිතය තුළදී ම මුළුමනින් ම ප්‍රත්‍යක්ෂ කරගැනීමට ඇති හැකියාව. මෛත්‍රිය, දයාව, අනුකම්පාව හා ඉවසීමට ලබාදී ඇති තැන. ශාස්තෘවරයාගේ හා ශ්‍රාවකයාගේ භූමිකාව අර්ථ දක්වන ආකාරය. තාවකාලික ව හා දීර්ඝ කාලීන ව ලැබෙන අර්ථානර්ථයන් යන මේ කරුණු ඒ අතර ඉතා වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම, ඉහත සියලු කරුණුවලට ඉතා සෘජු වූ ද, ඤාණ ගෝචර වූ ද විවරණයන් සපයා ඇත්තේ මිනිස්කම අගයන ඕනෑම අයෙකුට පිළිගත හැකි ආකාරයෙනි. “කර්මය හා ඵලය” පිළිබඳ ඉගැන්වීම පමණක් වුව ද එහිලා විමසා බැලීම මගින්, බුදු සමයතුළ උපයුක්ත අකාලික වූ අවිවිරණීය රමණීයත්වය තේරුම්ගත හැකි ය.

වරෙක සුභ නම් වූ තරුණයා බුදුරදුන් වෙත පැමිණ, භවත් ගෞතමයන් වහන්ස, මිනිසුන් අතර උස් පහත්කම්, හීන ප්‍රහීන කම්, නිරෝගීකම, ආයුෂය, රූපය, කුලය, වත් පොහොසත්කම් අතර ඉතා ප්‍රකට වෙනස්කම් පවතින්නේ කුමන හේතුව නිසා ද යැයි විමසා සිටියේ ය.

එහි දී බුදුරජාණන් වහන්සේ ලබාදුන් කෙටි පිළිතුර පිළිබඳ සෑහීමකට පත් නොවූ සුභ තරුණයා විස්තර වශයෙන් වදාරණ මෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව බුදුරජාණන් වහන්සේ එම තරුණයාට ඉගැන්වූ ධර්ම පර්යාය තුළින් ජීවිතය යන්නට ලබාදී ඇති විවරණය අකාලික අගයකින් යුතු වන්නේ සත්‍යයේ සටහන ද එයම වන බැවිනි.

ඒ අනුව මේ ලොව යම් කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ දයා විරහිත ලෙස ක්‍රෝධ පරවශව පර පණ නැසීම් තැවීම් සිදු කරයි නම්, කය බිඳී මරණින් පසු අපාය හෙවත් නිරය බලාපොරොත්තු විය යුතු ය. අපා දුක යම් දිනෙක වර්ෂ කෝටි ගණනක් ඇවෑමෙන් අවසන් වේ ද, යළි මිනිස් ලොවට පැමිණේ ද එවිට ඔහු ඉතා අල්ප වූ ආයුෂ ඇත්තෙකු බවට පත්වේ. ඒ අනුව පරපණ නොනැසීම හා අවිහිංසාව සුගතියේ ඉපදීමටත් , දීර්ඝායුෂ ලැබීමටත් හේතුවන බව පැහැදිලි වේ.

සතුන් නොමරණ මුත් අත්පා කැපීම්, ගල් මුගුරු දඬු කස ආදියෙන් පහර දීම් සිදුකරන අයෙක් වේ නම්, ඔහුට ද තම පාපයෙන් අපාගාමී වීමට සිදුවන අතර, එසේ නොවී මිනිස් ලොව උපදී නම් බොහෝ රෝග පීඩා ආබාධ ඇත්තෙක් වේ. මානසික පීඩාවන් ලබාදීම ද මීට ම අදාළ වන නිසා කිසිවෙකුත් කායික හෝ මානසික හිංසනයට ලක් නොකිරීම නිදුක් නිරෝගී බව ලැබීමට හේතු වේ.

ප්‍රාණඝාතය, සත්ව හිංසාව නොකරන්නේ නමුත් මෙලොව යම් අයෙකු නිතරම ද්වේෂ සහගත ව අල්පමාත්‍ර දෙයින් නමුත් කිපෙන සුළු වේ නම්, එය ද දුගතියේ ඉපදීමට හේතු වන්නකි. දුගතියේ ඉපිද හෝ එසේ නොවී මිනිස් ලොව උපන් කල ඉතා විරූපී දැකුම් ඇති, බැලීමට පවා අප්‍රසන්න පිළිකුල් උපදවන අයෙකු බවට පත්වේ. මනස්කාන්ත දර්ශනීය රූපයක් ලබනු කැමති අයෙකු විසින් කළ යුතු වන්නේ මෙත් සිත පැතිරවීම බව ඒ අනුව පෙන්වා වදාරා ඇත. වෛරයේ ඇති බිහිසුණු භාවය ගැන ද මෛත්‍රියේ ඇති අපමණ අනුසස් ගැන ද, සිහිකිරීම මගින් ආවේග පාලනය හා ශාන්ත භාවය ද මානසික සුවය ද උදාපත් වේ.

ඉරිසියා කිරීම ද ඉතා ලාමක අකුසලයකි. අන් අයට ලැබෙන ලාභ - සත්කාර, කීර්ති - ප්‍රශංසා නොඉවසන සුළු බව ඉරිසියාව වන අතර ඉන් සිදුවන කිසිදු ලාභයක් නොමැත. 

එම ස්වභාවය බහුල සිතක් ඇති අයෙකුට හරි හැටි නින්දක් හෝ නොලැබෙන අතර අභ්‍යන්තරයේ දැවිල්ලක් සහිත ආයාසකර බවක් පමණක් ඉතිරි වේ. එවන් මනෝභාවයකින් කලුරිය කළහොත් දුගතිය බලාපොරොත්තු විය යුතු අතර, මිනිස් ලොව යම් තැනක උපදී නම්, කිසි ආනුභාවයක් , පිළිගැනීමක් නැති මුලු සමාජයෙන් ම කොන් වූ අයෙකු බවට පත්වේ. එලෙසින් ඊර්ෂ්‍යා නොකරන්නා උපනූපන් ජීවිතවල මහේශාක්‍ය - උසස් - ප්‍රභූ අයෙකු බවට පත්වේ.

ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන්දීම ගැන ද පෙන්වා වදාරණ බුදුරජාණන් වහන්සේ දන් නොදීමේ ආදීනව ලෙස, මරණින් මතු දුගතියට යාමට හේතුවන අයුරු පෙන්වා ඇත්තේ දානය යනු සත් පුරුෂයන්ගේ පැනවීමක් වන බව අවධාරණය කරමිනි. දුගී දුප්පත් ව අසරණ භාවයට පත්වන සියල්ලෝ ම දන් නොපිදූවන් වන අතර, මහා ධනවතුන් බවට පත්වූවෝ නිර්ලෝභී ව දානය පුරුදු කළ අය බව සහේතුක ව වදාරා ඇත. සියල්ලන්ටම සමසේ සම්පත් බෙදී යා යුතු යැයි කියන්නෝ උක්ත ධර්ම නියාමය නොදත්තෝ ය. මොනම යුගයකවත් දුප්පත් පෝසත් භේදයෙන් තොරවූ ජන සමාජයක් නොතිබිය හැකි ය. එබැවින් දුප්පතා තම ශක්ති පමණින් ද, පෝසතා ඉතා උසස් ආකාරයෙන් ද දානය ආදරයෙන් පුරුදු කළ යුතු ය.

අතිමානය ද, තද සිතක් ඇති බව ද යහපතට හේතුවන්නේ නොවේ. එවැනි මනසක් ඇති අය ගරුකළ යුත්තන්ට, වැඳීය පිදිය යුත්තන්ට ගරු නොකරන, නොවඳීන, නොපුදන අය වන අතර එම පුරුද්ද ඔහුට නිරයගාමී වීමට ද හේතු වේ. එසේ වී හෝ නොවී මිනිසත් බවට ආ කල ඉතා පහත් යැයි සලකන කුලයක උපදින්නට සිදුවේ. එවිට ඔහුට ගැරහුම් , නින්දා, අපහාස නොඅඩුව ලැබෙන අතර පෙරළා ගැරහීම් ආදිය මගින් කර්මය තවත් දිගු කරගන්නා අය ද බොහෝ වෙති. කුලවතුන් කුලවතුන්ට හෝ කුල හීනයන්ට ද, කුල හීනයන් කුලවතුන්ට හෝ කුලහීනයන්ට ද නින්දා නොකළ යුතු අතර ගුණ ධර්මවලින් පිරි ජීවිතයත් ඇති ගරුකළ යුත්තාට ගරු කිරීමට, පිදිය යුත්තාට පිදීමට මැලි නොවිය යුතු ය. ඔවුන් ඉදිරියේ හිස පහත් කිරීම්, වැඳීම්, පිදීම් ආදියෙන් සිදුවන්නේ තමාගේ ම ආනුභාවය වැඩිදියුණු කරගැනීමක් විනා යටත් වීමක් නොවේ.

උපනූපන් ජීවිතවල උසස් කුලවතුන් බවට පත්වන්නෝ පෙර ජීවිතවල නිහතමානී ගුණ පුරුදු කළ උදවිය යි. මෙලොව ජීවත් වන කාලය තුළ සිල්වත් - ගුණවත් ශ්‍රමණයන් වෙත එලැඹ කුසලාකුසල ධර්මයන් පිළිබඳ ව විමසා ඊට අනුව පිළිපදින ලද උදවිය මරණින් මතු තීක්ෂණ නුවණක් හිමි ප්‍රඥාවන්තයන් බවට පත් වේ. ප්‍රඥාව නොමැති බව තරම් තවත් අඩුවක් ජීවිතයේ නොමැත.පවට ලජ්ජා බිය නම් වූ දේව ධර්මයන්හි පටන් සියලු ගුණ ධර්මයන්ට උප්පත්ති ස්ථානය වන්නේ කර්මය - ඵලය අදහා ගන්නා ඥානය ආදී කොට මගඵල ප්‍රතිවේදය දක්වා වූ ප්‍රඥාවයි. එබැවින් යමෙකුට වහා වැටහෙන නුවණකින් යුතුව, නොරැවටී, නුමුලාව ජීවිතයේ ඇතුළාන්තය දැකගැනීමට අවශ්‍ය නම් ප්‍රඥාව ම පුරුදු කළ යුතු ය. ඒ සඳහා පළමු කොට නාමරූප වශයෙන් ද, දෙවනුව රූපය, පඨවි ආදී කොටස් වශයෙන් ද, නාමය, චිත්ත චෛතසික වශයෙන් ද දැක ගැනීම ඉන් අදහස් කෙරේ.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...