Friday, December 29, 2023

කෝළිවිස සෝණ මහරහතන් වහන්සේ


අසූමහා ශ්රාවක වහන්සේලා - 16
(දහසයවන ලිපිය)

කෝළිවිස සෝණ මහරහතන් වහන්සේ.

ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පටන් ගන්නා ලද වීර්ය ඇති භික්ෂූන් අතර කෝළිවිස කෝණ රහතන් වහන්සේ අග්රස්ථානයට පත් වු බව චරිත කථාවෙහි සඳහන් වී තිබෙනවා. පදුමුත්තර බුදුන් වහන්සේගේ කාලයේ දී නියත විවරණ ලබා එතැන් පටන් මේ උතුම් අගතනතුරට පත්වීම දක්වා මහා පින්කම් රාශියක් සිදු කළා. විශේෂයෙන් කාශ්යප බුදුරදුන්ගෙන් අනතුරව එක් ආත්මයක බරණැස් නුවර උසස් කුලයක ඉපිද කුඩා කල යාළුවන් සමඟ එක්තරා දිනක ගංගානම් නදියෙහි ජල ක්රීඩාවට ගියා..මේ අවස්ථාවෙහි දිරා ගිය සිවුරු ඇති පසේ බුදුවරයෙකු වස් එළඹීම සඳහා අසපුවක් සෑදීමට අවශ්ය ද්රව්ය සොයමින් වැඩම වන බව මේ කුඩා යහළු පිරිස දැනගත්තා. තවදුරටත් තොරතුරු විමසා බලා හෙට දවසෙහි අසපුවක් සාදා දෙන බවට යහළු පිරිස උන්වහන්සේට පොරොන්දු වුණා.

පසු දින පසේ බුදුරදුන්ට ප්රධාන කුමරුවාගේ නිවසෙහි දානය පූජා කර අනතුරුව වස්කාලය මුළුල්ලේ ම තම නිවසෙන් දානය පිළිගන්නා මෙන් ආරාධනා කළා. එයින් නොනැවතී යහළුවන් සමඟ එකතුවී වස් විසීමට සුදුසු පන්සලක් ද ඉදිකොට දුන්නා. පන්සලට වඩින විට පසේ බුදුරදුන්ගේ දෙපා වල මඩ තැවරීම වළකනු පිණිස රන් කම්බිලියක් පාවාඩයක් වශයෙන් බිම ඇතිරුවා. පසේ බුදුරදුන් එම රන්කම්බිලිය මතින් වඩින විට උන්වහන්සේගේ දෙපා සහිත සිරුර ද මැනවින් බබළන්නට පටන් ගත්තා. මෙය දුටු ප්රධාන කුමරුවා මේ පිනෙන් මතු භවයෙහි මගේ ද පතුල් සහිත සිරුර මේ අන්දමටම බැබළේවා.පසේ බුදුරදුන්ගේ සිරි පතුල් තැබීමෙන් මෘදු පහසක් ඇති වූයේද මේ පිනෙන් මගෙ ස්පර්ශයද වඩාත් මෘදු වේවා යි ප්රාර්ථනා කළා. මේ අන්දමට වස් කාලය සිවු පසයෙන් උපස්ථාන කර අවසානයෙහි තුන් සිවුරු ද පිළිගැන්වුවා.

අප බුදුරජාණන් වහන්සේගේ අවධියෙහි ඉන්දියාවෙහි කාලචම්පා නම් නගරයෙහි උසහ නම් සිටුවරයාට දාව බිරියගේ කුසෙහි පිළිසිඳ ගැනීමත් සමඟ සිටු පවුලට පමණක් නොව නුවර වැසියන්ට ද මහත් සැප සම්පත් ලැබෙන්නට පටන් ගත්තා.ඒ කුමරුවා ඉපදීමෙන් පසු බබළන සිරුරකින් යුක්ත වූ නිසා සෝණ යන නම තැබුවා. මේ කුමරුවාට කිරි මවුවරු සැට දෙනෙක් උපස්ථාන කිරීමට සිටියා. ඒ කුමරුවන්ට බත් සැපයෙන කුඹුරට කිරිය සහ සුවඳ යෙදුවා. වී දාන ගබඩාවටත් සුවද ආලේප කළා පමණක් නොවෙයි වී වලටත් සුවඳ මුසු කළා. මෙසේ සකස්කොට ගත් සහලින් තැනූ දිය නොමුසු ආහාර රන් තලියකින් පිළිගත් සිටු කුමාරයාගේ අල්ල සහ යටිපතුල් වද මල් වැනි පැහැය ගත්තා. සිරුර මෘදු පුළුන් හා සමාන වූවා. සියලු දැසි දස් කම්කරුවන් සෑම විටම කීකරුව සිටියා. මේ කුමාරයාට ජීවත් වීමට සුරුපී නළඟනන්ගෙන් පිරුණු තුන් ඍතුවම ගැළපෙන මන්දිර තුනක් තිබුණා.

දිනක් බුදුරදුන් තුන්දොස් කිපීමෙන් රෝගී වුවා. ජීවක වෙදදුරාණන් බෙහෙත් කළා. එදින බුදුරදුන්ට සුදුසු දානය ලබා ගැනීමට මුගලන් හිමියන් වැඩමවූයේ මේ කුමාරයාගේ මාලිගාවට, හරි ශ්රද්ධාවෙන් මුගලන් හිමියන් මාලිගාවේ දීම දන් වළදවා අනතුරුව බුදුරදුන්ට ඉතා සුදුසු සේ දානය පිළියෙළ කර පූජා කළා. එදා ලැබුණු දානයෙන් මුළු වෙහෙරම සුවඳවත් වූවා.මේ ආහාර දිව්ය ආහාරදැයි එහි සිටි බඹසර රජතුමා විමසුවා. එවිට බුදුරදුන්ගේ පිළිතුරු වූයේ ඔබේම රටේ ජීවත් වන සෝණ සිටාණන් සඳහා පිළියෙළ කළ ආහාර බවයි. මෙසේ පිළිතුරු දීමෙන් නො නැවතුණු බුදුරදුන් රජතුමාට ද ඒ ආහාර වේලෙන් කොටසක් පිරිනමන ලද්දේ අනාගතයෙහි ඔහුගෙන් සිදුවන උසස් වූ සේවාව දිවසින් දුටු නිසාය. මෙසේ තමන්ට ලැබුණූ ආහාරයෙන් කොටසක් රජතුමාට පරිත්යාග කිරිම ශාසන ඉතිහාසයෙහි සුවිශේෂ සිදුවීමක්. තමන්ගේ සිවුර මහා කාශ්යප මහ රහතන් වහන්සේට දී උන්වහන්සේගේ සිවුර බුදුරදුන් පෙරවීම සඳහා ගැනීමේ සුවිශේෂ අවස්ථාව ද අපට මෙහිදී සිහියට නැගෙනවා.


ටික කලකට පසු බුදුරදුන් වෙත ගොස් බණ ඇසූ සෝණ සිටුතුමා පැහැද මවුපියන්ගෙන් අවසර ගෙන පැවිද්ද ලබා ගත්තා.එතුමාගේ ගෝත්ර නාමය වූ කෝළිවිස යන්නත් බබළන සිරුර නිසා උපතේ දී තැබූ සෝණ යන නමත් එක්කොට කෝළිවිස ලබා ගත් මේ සෝණ හිමියන් කමටහන් ගෙන භාවනා කිරීම සඳහා සිතා වනයට වැඩියා. උපතේ සිට පා ඉතා සියුමැලි නිසා සක්මන් භාවනාව කරණ විට දෙපයේ දිය බුබුළු නැග පිපිරී ලේ ගලන්න පටන් ගත්තා. මළුව ලෙයින් තෙත් වූවා. දැඩි ධෛර්යකින් භාවනා කළත් මඟඵල ලබා ගැනීමට අපහසුවී කළකිරි නැවත ගිහි වන්නට සිතුවා. මේ අදහස දැනගත් බුදුරදුන් භික්ෂුන් පිරිවරාගෙන සෝණ හිමියන් වෙත වැඩමවූවා. එහිදී වයලීනාවේ තත් ලිහිල් කළ කල්හි හඬ මිහිරිදැයි වීනා වාදනයේ දක්ෂව සිටි සෝණ හිමියන්ගෙන් විමසුවා. නැත යන්න උන්වහන්සේගේ පිළිතුරයි. තත් දැඩි කළ කල්හි හඬ මිහිරි වන බව සෝණ හිමියන්ගේ පිළිතුර වුණා. එවිට බුදුරදුන් සිත දැඩි කොට වීර්යයෙන් කමටහන් වැඩූ කල්හි මගඵල ලබන බව පෙන්නා දුන්නා. ඒ අනුව භාවනා කර කෝළිවිස සෝණ හිමියන් උතුම් වූ රහත් භාවයට පත් වුණා.

Thursday, December 28, 2023

ධර්ම රත්නය











ස්වාක්ඛාත ගුණය

භාග්‍යවතුන් වහන්සේ, පන්සාළිස් වසක් මුළුල්ලේ දෙව් මිනිසුන්ට දේශනා කර වදාළ ධර්මයෙහි, කිසිදු අඩුපාඩුවක් නැත. නිවන් ලැබීමට සුදුසු මග එයින් ප්‍රත්‍යක්‍ෂ කර දී වදාළහ. එහි, මුල, මැද, අග අර්ථවත්ව සැකසී තිබිණ. මේ ධර්මයේ ඇති ස්වාක්ඛාත ගුණයයි.
 

සන්දිට්ඨික ගුණය

තමා තුළ උපදවා ගත් නුවණින්, ප්‍රඥාවන්තව තමා විසින්ම හොඳ දෘෂ්ටියකින් දැකිය හැකි ය. සාවද්‍ය දෘෂ්ටියකින් බලන තැනැත්තාට ධර්මයේ ඇති යථාර්ථය වටහා ගත නොහැකි ය. ධර්මය දකින්නා මා, දකින්නේ යැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කර වදාළහ. ඉන් ධර්මයේ ඇති වටිනාකම, අර්ථවත් බව මැනවින් අවබෝධ කර ගත හැකි ය.

අකාලික ගුණය

ධර්මය පිළිපැදීමෙන් සැමදා ලැබෙන හොඳ විපාක බොහෝ ය. ධර්මයේ යෙදෙමින් ධර්මචාරී ජීවිත ගත කරන පුද්ගලයාට එහි ප්‍රතිඵල මෙලොවදීම ලැබෙයි. ඔහුට, තමාගේ මනසේ පවත්නා මානසික සුවය නිරතුරුවම සැප ලබා දෙයි. දැහැමිව ජීවත්වන්නාට සමාජයෙන් ලැබෙන ගෞරව ප්‍රශංසාද බොහෝ ය. මේ අකාලික ගුණයේ ඇති ස්වභාවයයි.

ඒහිපස්සික ගුණය

ඕනෑම කෙනකුට, ධර්මය දෙස බලා තම නැණ පමණින් පරීක්‍ෂණ පැවැත්වීම, හා එහි ප්‍රතිඵල නිරීක්‍ෂණය මගින් සිත පහදවා ගත හැකි ය. තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කර ගනිමින්, දෛනික කටයුතු ඉටු කළ හැකි ය. මේ අන්දමට එන්න ධර්මය දෙස බලන්න යැයි කෙනෙකුට පෙන්විය හැකි ය.

ඕපනයිකෝ ගුණය

සිතට ධර්මය අරමුණු කර ගත යුතු ය. එසේ, ධර්මය සිතට අරමුණු කර ගනිමින් සිත වැඩීම ආරම්භ කළ යුතු ය. ප්‍රගුණ කළ යුතු ය. එසේ ප්‍රගුණ කළ ධර්මය, මාර්ග ඵල ලබා ගැනීම සඳහා සෘජුවම හේතු කාරක වෙයි.

පච්චත්තං වේදිතබ්බො විඤ්ඤූහි

ධර්මයේ ඒකායන අරමුණ නිවන් දැකීමයි. ඒ සඳහා එක් එක් පුද්ගලයා තම තමා විසින්ම, පෞද්ගලිකව ධර්මය අවබෝධ කර ගත යුතු ය. එසේ නොමැතිව අන්‍යයන්ගේ පිළිසරණ මත නිවන් අවබෝධ කර ගත නොහැකි ය. තමාට පිහිට තමාම ය.


ව්‍යග්ඝපජ්ජ සූත්‍රය


දීඝජාණුකෝලිය කුල පුත්‍රයාට ව්‍යග්ඝපජ්ජ සූත්‍රය දේශනා කර ඇත. මෙම සූත්‍ර දේශනාවෙන් මෙලොව දියුණුවට හේතුවන කරුණු සතරක් හා පරලොව දියුණුවට හේතුවන කරුණු සතරක් වශයෙන් දරුණු අටක් දේශනා කොට ඇත.

මොලොව දියුණුවට හේතුවන කරුණු සතර

01. වීර්ය හෙවත් උත්සාහ සම්පත්තිය
02. උපයාගත් වස්තුව ආරක්ෂාකර ගැනීම නම් වූ ආරක්ෂා සම්පත්තිය
03. යහපත් මිතුරු ඇසුර නම් වූ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය
04. අය හා වැය දෙක සමව පවත්වා ගැනීම නම් වූ සමජීවිකතාව

පරලොව දියුණුවට හේතු වන කරුණු සතර

01. තෙරුවන් කෙරෙහි පවත්නා විශ්වාසය නම් වූ ශ්‍රද්ධා සම්පත්තිය
02. කය වචන දෙකෙහි සංවරය නම් වූ සීල සම්පත්තිය
03. පරිත්‍යාගය හෙවත් දීම නම් වූ ත්‍යාග සම්පත්තිය
04. විදසුන් නුවණ නම් වූ ප්‍රඥා සම්පත්තිය

ශෝකය උපදින්නේ කා තුළ ද?

 


ශෝකය උපදින්නේ කා තුළ ද?

භාග්‍යවත් සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතා ප්‍රාසාදයෙහි හෙවත් පූර්වාරාමයේ ශාන්තව වැඩ සිටිති. හමන මඳ නළ මගින් ගත සිත දෙකටම ලැබෙන්නේ ද ඉමහත් ශාන්තියකි. ඒ මිගාර මාතාව බුදුරදුන් බැහැ දකින්නට පැමිණෙන වේලාවයි. දිනපතාම දහවල් කාලයේ නොවරදවාම ඇය බුදුරදුන් බැහැ දකින්නට පැමිණෙන්නීය.

එදා මිගාර මාතාවගේ හෙවත් විශාඛාවගේ මිණිබිරියක් කලුරිය කළ දවසයි. ඒ මිණිබිරිය විශාඛාවට ඉතාමත් පි‍්‍රය මනාප වූ සමීප වූ දැරියකි. ඇයගේ අභාවයෙන් විශාඛාව ඉමහත් ශෝකයට පත් වූවත්, කෙසේ හෝ නියමිත වේලාවට බුදුරදුන් බැහැදැකීමට යෑමට ඇය අමතක නොකළාය. ඒ නිසා පි‍්‍රය මනාප වූ ස්වකීය මිණිබිරියගේ අවසන් කටයුතු කල්වේලා ඇතිව නිම කළ විශාඛාව , වහ වහා ස්නානය කොට, පිරිසුදු වී තෙත් වූ කොණ්ඩය ඇතිව තෙත් වූ වස්ත්‍ර හැඳගෙන, සුපුරුදු පරිදි දහවල් කාලයේ දී භාග්‍යවතුන් වහන්සේ බැහැ දැකීමට පූර්වාරාමයට ගියාය.

එකල, මෙකල මෙන් කෙනකු මිය ගිය පසු මහා සංඝරත්නය වැඩමවා පාංශුකූල දීමක් සිදු වූ බව සඳහන් නොවේ.

විශාඛාවද බුදුරදුන් හමුවට ගියේ, තම මිණිබිරියගේ අවසන් කටයුතු නිම කිරීමෙන් පසුවය. තව ද එවැනි කටයුත්තකින් පසුව ස්නානය කොට තෙත කොණ්ඩය හා තෙත ඇඳුම් පිටින්ම සිටීම එකල මව ගේ හෝ මිත්තණිය ගේ චාරිත්‍රයක්ව පැවතුණා විය හැකිය. නැතහොත් බුදුරදුන් බැහැ දැකීමට නියමිත හෝරාව පැමිණි නිසා ප්‍රමාද නොවී වහා එහි යෑමට අවශ්‍ය නිසා එසේ ගියා විය හැකිය.

මිගාර මාතාව තමන් වහන්සේ වැඩ සිටි අසපුවට පැමිණෙන බව දුටු භාග්‍යවතුන් වහන්සේ, ඇය පැමිණෙන තුරු මහා කරුණාවෙන් යුතුව නිහඬව බලා සිටි සේක.

අසළ වැඩ සිටි ආනන්ද හිමියන්ගෙන් බුදුරදුන් බැහැ දැකීමට අවසරය ලබාගත් විශාඛාව, බුදු හිමියන් වෙත පැමිණ වැඳ නමස්කාර කොට එකත්පස්ව වාඩි වූ වාය.

තෙත් වු කොණ්ඩය ඇතිව, තෙත ඇඳුම් පිටින් සිටි විශාඛාවගෙන් භාග්‍යවතුන් වහන්සේ උපාසිකාවනි, මේ මහ දවාලේ ඔබ කොහි සිට එන ගමන් ද? ඇයි ඔය තෙත කොණ්ඩයක් ඇතිව, තෙත් වූ වස්ත්‍ර හැඳගෙන ඉන්නේ ? “ යනුවෙන් විමසූ සේක.

වටිනා ධර්ම සමාගමයක ආරම්භය එසේ විය.

“ ස්වාමීනි ! භාග්‍යවතුන් වහන්ස, අද හරිම ශෝක ජනක සිදුවීමක් වුණානේ “ විශාඛාවනි! කුමක් ද ඒ ශෝකය ඉපද වූ සිද්ධිය ? “ “ ස්වාමීනි! මගේ මිණිබිරියක් සිටියා. එයා මට හරි පි‍්‍රය මනාපයි. මාත් එයාට හරි පි‍්‍රය මනාපයි. හරිම සුරතල් දැරියක් , බලාපොරොත්තු නැති විදියට අද ඒ මිණිබිරිය කලුරිය කළා. හරිම කනගාටුයි. එයාගෙ අවසන් කටයුතු නිම කරලයි, මේ එන්නෙ . ඒ නිසයි මේ දහවල් කාලෙ තෙත් වූ කොණ්ඩය ඇතිව, තෙත් වූ වස්ත්‍ර පිටින්ම ඔබ වහන්සේ බැහැ දකින්නට ආවෙ “.

තොල්ගට මඳ සිනහවක් නගා ගත් අමා මෑණි බුදු පියාණන් වහන්සේ, විශාඛාවගේ බුද්ධිය අවදි කිරීමට එය ඉතා උචිත අවස්ථාවක් බව දැන, මෙසේ වදාළ සේක.

“ උපාසිකාවනි, ඔබ මුණුබුරු මිණිබිරියන්ට බොහොම පි‍්‍රය මනාපයි වගේ නේ ද? “ “ එහෙමයි ස්වාමීනි, මං බොහොම කැමැතියි”

විශාඛාවනි! මේ සැවැත් නුවර බොහෝ මිනිසුන් ඉන්නවනෙ. ඔබ කැමැති ද ඒ තරමටම ඔබට ඔය වගේ දූ දරුවො, මුණුබුරු මිණිබිරියො ඉන්නව නම් ? “ “අනේ කොච්චර එකක්ද ස්වාමීනි ? මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට දූ දරුවො, මුණුබුරු - මිණිබිරියො ඉන්නව නම් මං කොච්චර වාසනාවන්තද? මං හරිම කැමැතියි ස්වාමීනි” . “ හොඳයි විශාඛාවනි, මේකත් කියන්න .

මේ සැවැත් නුවර එක දවසකට මිනිස්සු කීයක් විතර මිය යනවද?”

“ අනේ ස්වාමීනි, කවුරු හරි නොමැරෙන දවසක් නම් ඇත්තේම නැහැ. අටක් දහයක් මැරෙන දවසුත් තියෙනවා. හතරක් පහක් මැරෙන දවසුත් තියෙනවා. අඩු ගානෙ එක් කෙනෙක්වත් දවසකට මැරෙනවමයි, ස්වාමීනි ,”

“ එහෙම නම් විශාඛාවනි, ඔබ කීවනෙ මේ සැවැත් නුවර ඉන්න මිනිසුන් ගණනට ඔබට දූ - දරුවො, මුණුබුරු - මිණිබිරියො ඉන්නවා නම් ගොඩක් පි‍්‍රයයි, කැමැතියි කියලානේද? “

“ එහෙමයි ස්වාමීනි”

“ ඉතින් විශාඛාවනි, දවසකට අඩුම ගානෙ එක්කෙනෙක් වත් මැරෙනව කියලත් කීවනෙ ? එහෙම නම් ඔබට කවදාවත් පුළුවන් වෙයි ද තෙත නැති කොණ්ඩයක් නැතිව, තෙත නැති වස්ත්‍ර හැඳගෙන ඉන්න ? හැමදාම ඉන්ඩ වෙන්නෙ දැන් ඔය ඉන්න විදිහටම නේද? කොහොමද ඔබ මේ ගැන සිතන්නෙ ?”

බුද්ධිය අවදි වූ විශාඛාවෝ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ වැඳ වැටුණහ.

“ ඇත්ත තමයි ස්වාමීනි, ඇත්ත තමයි . අපොයි එච්චර ගොඩක් මට දරු මුණුබුරු මිණිබිරියො හිටය නම් මට සැමදාම මෙහෙම තමයි ඉන්ඩ වෙන්නෙ, මට වැටහුනා ස්වාමීනි, එච්චර ගොඩක් දරු මුණුබුරු මිණිබිරියන්ගෙන් මට වැඩක් නෑ මයි”

“ පින්වත් විශාඛාවනි, හොඳින් සවන් දෙන්න. හොඳින් වටහා ගන්න. යම් කෙනකුට පි‍්‍රය මනාප දේ සියයක් තිබුණොත් එයාට දුක් සන්තාප සියයක් උපදිනවා. පි‍්‍රය දේ අනූවක් තිබුණොත් එයාට දුක් සන්තාප අනූවක් උපදිනව. පි‍්‍රය දේ අසූවකින් දුක් අසූවකින් දුක් අසූවක් , හැත්තෑවකින් දුක් හැත්තෑවක් , හැටකින් හැටක් ඔය විදිහට පි‍්‍රය මනාප දේ දහයකින් දුක් සන්තාප දහයක් උපදිනව. පි‍්‍රය දේ නවයක් තිබුණොත් දුක් නවයක්. අටක් තිබුණොත් අටක් . ඔය විදිහට පි‍්‍රය මනාප දේ එකක්වත් තිබුණොත් ඒ අයට දුක් සන්තාප එකක්වත් ඇතිවෙනවාමයි”

“ උපාසිකාවනි, අවබෝධ කරගන්න. මේ සසර දුක් ඇතිවන හැටි ඔහොමයි. යමක් පි‍්‍රය මනාප ලෙසින් අල්ල ගන්නව නම් එතැන තමා දුකේ උපත . ඉතින් යම් කෙනෙක් ඉන්නව නම් පි‍්‍රය මනාප දේ එකක්වත් නැතිව අන්න එයාට දුක් එකක්වත් නැහැ. එයාට ශෝක සන්තාප උපදින්නේ නැහැ. කෙළෙස් දූවිලි නැති එයා තමයි කරදර වලින් තොරව, දුක් ශෝක සන්තාප නැතිව, සැනසීමෙන් ඉන්නෙ. දුක ඇතිවන්නෙ පි‍්‍රය මනාප නිසා මයි. ඒ මොකද ඔය පි‍්‍රය මනාප දේ වලින් කොයි මොහොතෙ හරි අපට වෙන් වන්නට සිදුවන නිසා.’

“ ඒ නිසා යම් කෙනකුට දුක් - ශෝක - සන්තාප නැතිව, සතුටින් සැප සේ වාසය කරන්න අවශ්‍ය නම්, එයා දුක් උපදවන දේ වලට පි‍්‍රය නොකර - ඒවාට නොඇලී ඉන්න ඕනෑ. නොයෙකුත් දේ කොච්චර තිබුණත් කමක් නැහැ. දුක් සන්තාප පවතින්නේ ඒවායේ නොවෙයි. ඒවා පි‍්‍රය මනාප වශයෙන් භාරගත්තමයි දුක උපදින්නෙ, තමන්ගෙම දූ - දරු , මුණුබුරු - මිණිබිරියො කෙරෙහි වුණත් පවතින්න ඕනෑ , එහෙමයි. “ “ ආශ්චර්යයි, භාග්‍යවතුන් වහන්ස! ආශ්චර්යයි! යටිකුරු කළ බඳුනක් උඩුකුරු කළ සේ මට කාරණ වැටහුණා ස්වාමීනි! “

දැල් වූ පහනකින් එතෙක් පැවැති අඳුර පහ වී ගියා සේ, බුදුරදුන්ගේ ධර්ම සංග්‍රහයෙන් විශාඛාව තුළ එතෙක් පැවැති අනවබෝධයෝ අඳුර පහවී ගියේය . බුදුරදුන්ට වැඳ නමස්කාර කළ විශාඛාවෝ , පහන් වූ සිතින් යුතු ව අවදි වූ මනසින් යුතු ව පිරුණු අවබෝධයෙන් යුතු ව පූර්වාරාමයෙන් නික්ම ගියාය.


කංඛා රේවත මහ රහතන් වහන්සේ

අසු මහා ශ්රාවක වහන්සේලා - 15
(පහලොස්වන ලිපිය )

කංඛා රේවත මහ රහතන් වහන්සේ

අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්රාවකයන් අතර ධ්යානයන්ට සම වදින භික්ෂූන් අතුරින් කංඛා රේවත රහතන් වහන්සේ අග්ර යයි වදාරා උන්වහන්සේට අග තනතුර දී වදාළා. බුදුරදුන් සම වදින සමාපත්තීන්ගෙන් කිහිපයක් හැර සෙසු සියලු සමාපත්තීන්ට සම වැදීමට උන්වහන්සේ සමත් වුණා.අප බුදුරදුන් ලෝ පහළ වූ විට සැවැත්නුවර මහත් සම්පත් ඇති කුලයක උපත ලැබීමෙන් අනතුරුව රේවත යනුවෙන් නම් කළා. සුදුසු නුසුදුසු කැප අකැප සෑම දෙයක් කෙරෙහිම සැක උපදවන හෙයින් පාලි භාෂාවෙන් සැක සහිත යන අර්ථය ඇති කංඛා යන වචනය සහිතව ව්යවහාර කිරීම නිසා ලැබුණු නම තමයි රේවත යන්න.

උපතින් ටික කලකට පසු ධර්ම ශ්රවණය සඳහා යන සැවැත්නුවර මහ පිරිස සමග ආරාමයට ගොස් එක් දිනක් පිරිස් කෙළවර සිට බණ ඇසුවා. පැහැදීමට පත් ඔහු ලබා ගත් පැවිද්දෙන් අනතුරුව උපසම්පදාවට පත්ව සිත දියුණු කොට ධ්යාන උපදවා නොකඩවා භාවනා කිරීමෙන් රහත් භාවයට ද පත් වූවා. යම් කෙනකුට ධ්යාන ලැබීමට හෝ රහත් භාවයට පත්වීමට කෙලෙස් නැති කරන්න ඕන. එහෙත් ධ්යාන ඉපදවීමෙන් නැති කරන කෙලෙස් කවර මොහොතක හෝ මතු වී අවුත් ලබා ගත් ධ්යානයන්ගෙන් පිරිහෙන්නට පුළුවනි. එහෙත් භාවනාවෙන් සිත දියණු කොට ගෙන රහත් භාවයට පත් වීමෙන් කෙලෙස් නැති කර ගත් කල්හි ඒ කෙලෙස් නැවත කිසි දිනක ඇති නොවන අන්දමට (සමුච්ඡේද) සම්පූර්ණයෙන් විනාශ වෙනවා. නිවනට පත් වූවා කියන්නේ මේ තත්වයයි.

කංඛා රේවත හිමියන් ධ්යානයට සම වදින භික්ෂූන් අතර අග්ර වුණා. ධ්යාන යන්නට දිය හැකි කෙටි එක් අර්ථයක් නම් “එක්කොට ගැනීම” යන්නයි. එක්කොට ගත්තේ මොනවාද? විතක්ක. විචාර පීති සුඛ එකග්ගතා යන මේවායි. මෙයින් ධ්යාන සිතෙහි යෙදුණූ විතක්ක තමන් හා පෙනී සිටි චිත්ත චෛතසික ධර්ම අරමුණට පත්වෙනවා. විචාරය මගින් තමයි ඔවුන් අරමුණෙහි හසුරුවන්නේ. පීරතිය මගින් ඔවුන් අරමුණෙහි ලා පිනවනවා. සුඛය මගින් ඔවුන් ඔද වඩවනවා. ඒකග්ගතාව මගින් එහි මෙහි යා නොදී ඔවුන් නවතා ගෙන රැක ගන්නවා. මේ අන්දමට එකසේ අරමුණෙහි ක්රියා කරනවා. ඒ නිසා මේ පහ එක් කොට ගැනීම ධ්යාන නමින් දැන්වෙනවා.

රථය යැයි කියන්නේ නිම් වළලු, රෝද, බොස්ගෙඩි, දැති ආදිය එක් වූ එකයි. මෙහි දැක්වූ බොස් ගෙඩිය රථය නොවෙයි. නිම් වළලු රථය නොවෙයි. රෝද රථය නොවෙයි. දැති රථය නොවෙයි. මේ සියල්ල එක් වූ කල්හි රථය යැයි අප කියනවා. එමෙන් කලින් දැක්වූ විතක්කය පමණක් ගත් කල්හි එය ධ්යාන නොවේ. විචාරාදී ඉතිරි සතර ද වෙන වෙනම ගත් විට ධ්යාන නොවේ. ඒවා ඒ ඒ නම් වලින්ම හැඳීන්වෙනවා. මේ පස් දෙන සමබරව එකකට එකක් අඩු වැඩි නැතිව එක විටම නැගි සිටීම ධ්යාන වශයෙන් දැක්වෙනවා. ප්රතිවිරුද්ධ ධර්මයක් දවාලන අර්ථයෙන් ද ධ්යාන නම යොදනවා. දවාලන ධර්ම මොනවාද? ඒවා නම් කාමච්ඡන්ද ,ව්යාපාද, ථීනමිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, හා විචිකිච්ඡා යන පහයි.

චිත්ත වෛතසිකයන් පිළිබඳව අලසකම (ථීනමිද්ධය) කලින් දැක්වූ විතක්කය මගින් දවනවා. බුදුන්, දහම් ආදී අටතැන්හි සැකය (විචිකිච්ඡාව) විචාරය විසින් දවනවා. සිතේ සැඩ බව (ව්යාපාදය) පීරතිය මගින් දවනවා. සිතේ නොසන්සුන් බව හා කුකුස (උද්දච්ච කුක්කුච්චය) සුඛය මගින් දවනවා. කාමයන්හි ඇති කැමැත්ත (කාමච්ඡන්දය) ඒකාග්රතාව මගින් දවනවා. මේ අන්දමට විතක්ක ආදී පස් දෙන එකට සිටිමින් කාමච්ඡන්ද ආදී ධර්මයන් දවාලන නිසා ධ්යාන යන නම ලබනවා.

මේ ධ්යාන ප්රධාන වශයෙන් ආලම්බනොපනිධ්යාන ලක්ෂණොපනිධ්යාන යනුවෙන් කොටස් දෙකක් තිබෙනවා. පඨවි කසින ආදි යම් අරමුණක් සිතට ගෙන පුරුදු කොට වැඩි දියුණු කිරීමෙන් අෂ්ට සමාපත්ති ලබා ගැනීම ආලම්බනෝපනිධ්යාන නමින් හැදින්වෙනවා. අනිත්ය , දුක්ඛ,අනාත්ම යන ත්රිලක්ෂණ මෙනෙහි කිරීමෙන් උපදවා ගන්නා විදර්ශනා මාර්ග ඵල අයත් වන්නේ ලක්ෂනොපනිධ්යාන වලට යි. මෙහි සඳහන් අෂ්ට සමාපත්ති රූපාවචර හා අරූපාවචර වශයෙන් කොටස් දෙකක් තිබෙනවා. සිත දියුණු කිරීමේ භාවනාවේ යෙදීමෙන් උපදවා ගන්නා පඨම, ද්විතීය, තෘතීය හා චතුර්ථ යන ධ්යාන සතර රූපාවචර ගණයට අයත් වෙනවා. අරූපාවචර වශයෙන් දැක්වූයේ ආකාසානඤචායතනය විඤ්ඤාතඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන හා නෙවසඤ්ඤානාසඤ්ඤායතන යන සතරයි.

ධ්යාන ලැබීමට බලාපොරොත්තුවන අය පළමුව සතර සංවර සීලයෙහි පිහිටන්න ඕන. අවාස කුල ආදී දස පළිබෝධයන්ගෙන් තුරන්ව ශ්රද්ධාසීලාදි ගුණයෙන් යුත් කල්යාණ මිත්රයෙකුගේ ආශ්රය ලබන්න අවශ්යයි. චරිතයට ගැළපෙන පඨවි, ආපෝ ආදි කමටහන් හතළිහෙන් එකක්ගෙන භාවනාවට සුදුසු ස්ථානයක් තෝරා ගෙන කුඩා පළිබෝධ පවා හැරදා භාවනාවේ යෙදෙන්න ඕන. කංඛා රේවත මහා ශ්රාවකයන් වහන්සේ මෙහි සඳහන් කළ ක්රමයන් අනුව භාවනා කිරීමෙන් නොපමාව ධ්යාන උපදවා ගැනීමෙන් අග්රස්ථානයට පත් වීම ශ්රේෂ්ඨ තත්වයට පත් වීමට හේතු වූවා.

Tuesday, December 26, 2023

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ


අසු මහා ශ්රාවක වහන්සේලා - 14
(දහතරවන ලිපිය )

ඛදිරවනීය රේවත මහරහතන් වහන්සේ

මගේ ලොකු පුත් උපතිස්සයන් සියලු යස ඉසුරු අතහැර පැවිදි විය. ඒ පමණක් නොව මගේ දියණියන් තිදෙනා ද පැවිදි වු හ. දැන් මට පිහිට පිණිස සිටිනුයේ රේවත පුතා පමණි.

රේවත මහ රහතන් වහන්සේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමයෙහි දී හංසවතී නුවර නාවික පවුලක ඉපදී මහා ගංගාවක මහතොටුපළක නාවික කටයුතු සිදුකළහ.

දිනක් ශ්රාවක සඟරුවන පිරිවරාගත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ගඟෙන් එතෙර වීම පිණිස එතැනට වැඩම කළහ. අතිශයින් ම පැහැදුණු සිතින් යුක්ත නාවික තෙමේ අනෙකුත් නාවිකයන්ගේ ද සහාය ඇතිව නැව් සමූහයක් එක පෙළට තබා මහත් වූ පූජා සත්කාර කරමින් ශාස්තෘන් වහන්සේ ප්රමුඛ ශ්රාවක සඟරුවන ගංගාවෙන් එතෙර කළහ.

පදුමුත්තර බුදුරජාණන් වහන්සේ කුළුණු සිතින් නැවියාට අනුග්රහ කරනු පිණිස එක්තරා ශ්රාවකයන් වහන්සේ නමක් ආරණ්යවාසී භික්ෂූන් වහන්සේලා අතර අග තනතුරට පත්කළහ. එය දුටු නාවික තෙමේ වඩ වඩාත් පැහැදුණු සිතින් බුදුන් වහන්සේ ප්රධාන මහා සංඝරත්නයට දන් පැන් පූජා කළේ ය. ඔහු එතැන් පටන් සසර දුකින් මිදීම පිණිස කුසල් දහම් රැස් කරමින් දෙව් මිනිස් ලොව උපත ලබා, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ මගධ රට නාලක නම් ගමේ රූපසාරි බැමිණියගේ කුස පිළිසිඳ ගත්තේ ය. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ළා බාලතම සොහොයුරා ලෙස ඉපදී රේවත කුමරු නමන් ප්රසිද්ධ විය .

සාරිපුත්ත මහ රහතන් වහන්සේට චුන්ද, උපසේන, රේවත නමින් සහෝදරයින් තිදෙනෙකුත් සිටියහ. එයින් චුන්ද උපසේන දෙදෙනාත් පැවිදි බව ලබා සම්බුදු සසුනෙහි නිකෙලෙස් රහතන් වහන්සේලා බවට පත්වුහ. නිවසේ ඉතිරිව සිටියේ රේවත කුමරු පමණි. එම නිසා සැරියුත් තෙරුන්ගේ මෑණියන් වූ සාරි බැමිණිය මෙසේ කල්පනා කරන්නට වුවා ය. මගේ ලොකු පුත් උපතිස්සයන් සියලු යස ඉසුරු අතහැර පැවිදි විය. ඒ පමණක් නොව මගේ දියණියන් තිදෙනාද පැවිදි වුහ. දැන් මට පිහිට පිණිස සිටිනුයේ රේවත පුතා පමණි. නිසි කලවයස පැමිණි විට රේවත පුතු සඳහා සුදුසු විවාහයක් කරදිය යුතුබව හැඟුණි. නන් දෙසින් සුදුසු කුලකුමරියක් සෙවීමට සාරී බැමිණිය ඉමහත් වෙහෙසක් ගත්තාය. එහෙත් භයානක සසරෙහි ඇති බියකරු බව සැරියුත් මහරහතන්වහන්සේ විසින් ස්වකීය මලණුවන්ට පැහැදිලි කර දී තිබුණි. ක්ෂණ සම්පත්තියේ දුර්ලභ බවත්, කල්යාණ මිත්ර ඇසුරෙහි වටිනාකමත් සහ සම්බුදු සසුනෙහි පැවිදිව නිවන් අවබෝධ කර ගැනීම අතිශය දුර්ලභ බවත්. දැන සිටි මෙම කුමාරයාගේ සිත පිහිටා තිබුණේ උතුම් පැවිදි බව ලබා ගැනීමට ය. රේවත කුමරු ස්ථිරව ම පැවිදි වන බව දත් සාරිපුත්ත මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට දන්වා සිටියේ, මගේ බාල සොහෝදරයා වන රේවත කුමන හෝ මොහොතක ගිහි ගෙයින් නික්ම මා පැවිදි කරන ලෙස ඉල්ලා සිටිවිට දෙවරක් නො සිතා මගේ මලණුවන්ට උතුම් පැවිද්ද ලබා දෙන ලෙස ය. දින සති මාස ගෙවී ගිය පසු රේවත කුමරුගේ විවාහ මංගල දිනය ළඟා විය. අතිශය භයානක වූ සසරට තව තවත් ලං වීමට අකැමැති වූ කුමරු, මංගල රථයෙන් මනාලිය කැඳවාගෙන එන ගමනේ දී කැලෑබද ප්රදේශයක දී රේවත කුමාරයා උපක්රමශීලි ව රථයෙන් බැස ශරීර කෘත්ය කිරීමට අවශ්යය බව පවසා පිරිසෙන් වෙන් ව කැලය තුළට පිවිසුණේ ය. කැලයට ඇතුළු වූ කුමරු මිරිවැඩි සඟල සහ මංගල ආභරණ ගලවා දමා වනය මැද්දෙන් එක පිම්මට දුවගෙන ගොස් ආරණ්යවාසී භික්ෂුන් වැඩ සිටින සේනාසනයේ නතර විය. කුමරුගේ ඉල්ලීම පරිදි ඒ ස්වාමීන් වහන්සේලා රේවත කුමරු පැවිදි උපසම්පදා කළහ. ගෞතම බුදු සසුනේ උතුම් පැවිදි බව ලැබූ රේවත හිමියන් ධර්ම විනය ඉගෙනගෙන හුදකලාවේ බවුන් වැඩීම පිණිස තිස් යොදුනක් දුරින් පිහිටි පතොක් වනයකට වැඩම කළහ. එතැන් පටන් කටුක වනයක වාසය කරන නිසා ඛදිරවනීය රේවත තෙරුන් යැයි ප්රකට වු හ. එම වනයේ වාසය කළ පළමු වස් කාලය තුළ දී ම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් වන්නට තරම් උන්වහන්සේ භාග්ය සම්පන්න වූහ. වස් කාලය අවසන් වී බුද්ධ ප්රමුඛ සංඝරත්නය දෙවි මිනිසුන්ගේ යහපත පිණිස දහම් චාරිකාවේ යෙදෙන කාලය උදා වු කල, සාරිපුත්ත තෙරුන්ගේ ඉල්ලීම පරිදි බුදුරජාණන් වහන්සේ අසූමහා ශ්රාවකයන් වහන්සේලා ප්රමුඛ ශ්රාවකයන් පන්සියයක් සමඟ ඛදිරවනීය රේවත තෙරුන් වැඩ සිටින වනාන්තරය බලා වැඩම කළහ. මනුෂ්ය වාසයෙන් තොර, තිස් යොදුනක් පමණ වූ අමනුෂ්යයන් අරක්ගත් ඒ දුෂ්කර මාවතේ වැඩම කරන විට ප්රත්යලාභීන් අතර අග්ර වූ සීවලි මහරහතන් වහන්සේගේ පුණ්යානුභාවයෙන් ඉතා ප්රණීත ලෙස දානමානාදී සිව්පසය ලැබුණාහ. දෙවිවරුන් විසින් යොදුනක්, යොදුනක් පාසා ආවාස, සක්මන් මළු, දාන ශාලා මවා තිබීම විශේෂත්වයකි. දෙවියන් විසින් ම බුද්ධ ප්රමුඛ ශ්රාවක සඟරුවනට දිව්යමය වූ දන්පැන් පූජා කළහ. බුදුරජාණන් වහන්සේ ප්රධාන මහ සඟරුවන වඩින බව දැනගත් ඛදිරවනීය රේවත තෙරුන් විසින් සෘද්ධි බලයෙන් භාග්යවතුන් වහන්සේට විවේක ගැනීමට කුටියක්, ස්වාමින් වහන්සේලා පන්සිය නමකට කුටි, සෙනසුන්, පස් පියුමින් සුසැදි පොකුණු, මල්වතු, උයන් වතු සහ සිසිල් සෙවණ ඇති සුවිශාල රුක් පඳුරු මවන ලදී. එම වනයේ වැඩසිටි සමයෙහි සීවලී මහරහතන් වහන්සේගේ පින් බලයෙන් සියලු දෙනා වහන්සේටම දන්පැන් ලැබුණි. එම චාරිකාවෙන් පසු පෙරළා පූර්වාරාමයට වැඩි බුදුරජාණන් වහන්සේගෙන් විශාඛා උපාසිකාව භාග්යවතුන් වහන්ස, අප රේවතයන් වහන්සේ වැඩ සිටින තැන කෙබඳුදැයි ඇසී ය. එවිට බුදුරජාණන් වහන්සේ පින්වත් විශාඛාවෙනි, රහතන් වහන්සේ වැඩ සිටින තැන ගමක් වුවත්, වනාන්තරයක් වුවත්, බෑවුමක් වුවත් සමතලා භූමියක් වුවත් ඒ සැමතැන ම සුන්දර ය,ප්රියජනකය,මනස්කාන්තය,සිත්ගන්නා සුළුය. යනුවෙන් වදාළහ. ඉද්ධිවිධ ඥානය, දිබ්බසෝත ඥානය , පරචිත්තවිජානන ඥානය, පුබ්බේනිවාසානුස්සති ඥානය, චුතූපපාත ඥානය, ආසවක්ඛය ඥානය ආදි ෂඩ් අභිඥා සහිත ව අරහත්වය සාක්ෂාත් කළ රේවත තෙරණුවෝ වරක් ශාස්තෘන් වහන්සේටත්, ධර්මධර සේනාධිපති සැරියුත් තෙරුන්ටත් වන්දනා කිරීම පිණිස ජේතවනාරාමයට වැඩම කළහ. දම්සභා මණ්ඩපයේ භික්ෂු සංඝයා මැද වැඩසිටි ශාස්තෘන් වහන්සේ පින්වත් මහණෙනි, මාගේ ශාසනයේ ආරණ්යවාසී ශ්රාවකයින් අතර ඛදිරවනීය රේවත තෙරුන් අග්ර වන්නේ යැයි අග තනතුරු ප්රදානය කළ සේක. පසු කලෙක දී රේවත මරහතන් වහන්සේ තම උපන් ගමට වැඩම කොට සොහොයුරියන් තිදෙනාගේ පුතුන් වූ චාලා, උපචාලා හා සීසුපචාලා ගේ දරුවන් පැවිදි කොට බුදු සසුනෙහි පිළිවෙත් පිරීම පිණිස මඟ පෙන්වා දී අවවාද අනුශාසනා කළහ. එම සාමණේර හිමිවරුන් තිදෙනා ම කීකරු ව, නිහතමානී ව ශ්රමණ ජීවිතය දියුණු කළා පමණක් නොව, උතුම් අරහත් භාවයට ද පත් වු හ. සාරි බැමිණියගේ අවසාන කාලයේ දී සාරිපුත්තයන් වහන්සේගේ උතුම් කල්යාණ මිත්ර ඇසුර නිසා සෝතාපන්න ශ්රාවිකාවක් බවට පත්වීමට භාග්ය සම්පන්න වුවා ය. ඒ පුණ්යවන්ත මාතාවගේ පුතණුවන් තිදෙනාමත් දියණියන් තිදෙනාමත් උතුම් අරහත්වයට පත් ව ගෞතම බුදු සසුන ශෝභමාන කළහ.