මිනිසත්බව දේවත්වයට ද වඩා උතුම්ය
දිද්දෙණිය රණගිරිලෙන ආරණ්‍ය සේනාසනවාසී
ත්‍රිපිටක විශාරද,
විද්‍යාවේදී,
ශාස්ත්‍රපති
මහව ඤාණාලෝක හිමි
කිසියම් දෙවියෙක් දෙව් ලොවින් චුත වන විට සෙසු දෙවියන් විසින් ඔහුට දෙන අවවාද තුනක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දිනක් භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කර දුන්හ. මහේශාක්‍ය දෙවි කෙනෙක් චුත වීමට ආසන්න වන විට පෙරනිමිති පහක් පහළ වේ. එනම් පැළඳ සිටි මල් මැළවෙයි. හැඳීවත් කිලිටි වෙයි. දහදිය වැගිරෙයි. සිරුර දුර්වර්ණ වෙයි.
තමන්ගේ දිව්‍ය ආසනය පිළිබඳ ඇලීම දුරු වෙයි. මෙසේ පෙරනිමිති පහළ වීමෙන් ඒ දෙවියන් දිව්‍යලෝකයෙන් චුත වීමට ආසන්න බව අනෙක් දෙවියන් විසින් ද දැනගනු ලැබේ. එවිට ඒ අනෙක් දෙවිවරු මෙම පෙරනිමිති පහළ වූ දිව්‍යපුත්‍රයා කැඳවාගෙන දිව්‍යලෝකයේ නන්දන වනයට ගොස් අවවාද තුනක් ලබා දෙන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.
‘පින්වත, මේ දෙව්ලොවින් චුතව සුගතියට යව’ යනු පළමු අවවාදය යි. ‘ඒ සුගතියට ගොස් මනා සේ ලැබූ ලාභය ලබව’ යනු දෙවන අවවාදය යි. ‘ඒ සුලද්ධ ලාභය ලැබ මනා පිහිටීමක් ඇති කරගනුව’ යනු තෙවන අවවාදය යි.
මෙහි දී ඒ භික්‍ෂු පිරිසේ සිටි එක් භික්‍ෂුවක් බුදුරජාණන් වහන්සේගෙන් වැඳ අවසර ගෙන විමසා සිටියේ ‘ස්වාමීනි, දෙවියන්ගේ සුගතිය කුමක් ද? දෙවියන්ගේ සුලද්ධ ලාභය නම් කුමක් ද? දෙවියන්ගේ මනාකොට පිහිටීම නම් කුමක් ද?’ යනු යි. මෙහි දී බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සුගතිය පිළිබඳව කළ දේශනය වර්තමානයේ ඔබ අප සෑම දෙනාටම සිහිපත් කර දෙන වටිනා අවවාද රැසක් වේ.
අප නිතරම අසන දෙයක් නම් මිනිසත් බව දුර්ලබ බවත් එය උතුම් බවත් ය. එහෙත් එය තවමත් අපට නිවැරදිව වැටහී ඇත්දැයි සිහිපත් කරගත යුතු වේ. මන්ද දෙවියන් සුගතිය යැයි සඳහන් කරන්නේ ද මෙම මිනිසත් බව ම වේ. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට පැහැදිලි කර දෙන්නේ දෙවියන්ගේ සුගතියේ ඉපදීම නම් මනුෂ්‍යාත්මභාවය වේ. එහෙත් ඒ උතුම් සුගතියේ ඉපිද මරණින් මතු දෙව් ලොව ඉපදීමට සිතන කීදෙනෙක් නම් වර්තමානයේ සිටිත් ද?
බුදුරජාණන් වහන්සේ ‘දුල්ලභො මනුස්සත්ත පටිලාභෝ’ යැයි දේශනා කළා මිස දිව්‍යාත්මභාවය දුර්ලභ යැයි දේශනා කළේ නැත. එසේ දේශනා නොකළේ මේ මිනිසත් බවේ ඇති උත්තරීතර බව නිසා ම වේ. මෙය අර්ථකථාවේ පැහැදිලි කරන්නේ දිව්‍ය ලෝකයේ ධර්මශ්‍රවණය දුර්ලභ බව යි. එහෙත් මනුෂ්‍ය ලෝකයේ ධර්ම ශ්‍රවණය දුර්ලභ නොවන බව දැක්වේ. එබැවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිව්‍යලෝකයේ දෙවියන් චුත වන විට මිනිස් ලොව ඉපදීමට කැමති වන බව යි. ඒ ඔවුන්ට වැඩි වැඩියෙන් පින් දහම් කිරීමට, ධර්ම ශ්‍රවණය කිරීමට ය. එසේ නම් අපි වර්තමානයේ හැකි ඉක්මනින් නිවන් දැකීමට නොසිතා මරණින් මතු තව්තිසාව වැනි සශ්‍රීක දිව්‍යලෝකයක ඉපදීමට පතන්නේ නම් එය මුළාවක් නොවන්නේ ද?
ඇතැම් දිව්‍ය ලෝක වල මගඵල ලාභී දෙවිවරු සිටිති. ඔවුන් ඇතැම් විට දහම් දේශනා කරති. තව්තිසා දෙව් ලොවේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ වෙසෙති. උන්වහන්සේ ද නිතර දහම් දේශනා කරන බව සඳහන් වේ. එසේ නම් එවැනි දිව්‍ය ලෝකයක ඉපදීමට පතන්නේ නම් අපගේ නිවන් මඟ සුරක්‍ෂිත නොවන්නේ දැයි සමහරෙකුට සිතිය හැකි ය. එහෙත් මේ මිනිස් ලොව ධර්ම මාර්ගයේ ගමන් කිරීමට තරම් කාල වේලාවක් සොයාගත නොහැකිව කම් සැපට යොමු වී සිටින කෙනෙක් දිව්‍ය ලෝකයේ ඉපිද කෙසේ නම් ඒ දිව්‍ය සැප අතහැර දහම් ශ්‍රවණයට යොමු වේ ද? එසේ වන්නේ ඉතා අතළොස්සක් පමණි. සමහර දෙවි කෙනෙක් නිසි වේලාවට දිව්‍යමය ආහාරය අනුභව කිරීමට අමතක වී දිව්‍ය ලෝකයෙන් චුත වන බව සඳහන් වේ. එසේ නිසි වේලාවට කෑම ගැනීම අමතක වන්නේ අපට මෙන් වැඩ රාජකාරි බහුල වී නොව දිව්‍යාංගනාවන් සමඟ සතුටු වෙමින් විනෝද වීමෙනි.
මේ කෙලෙස් බර හොඳීන්ම දැනෙන, සමාජයේ නොයෙක් කම් කටොලු දකින, නිතර කිළිටි වන, මළ මුත්‍ර පිටවන, දහදිය දමන සිරුරු පරිහරණය කරන අපට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අමතකව ලස්සන ලස්සන රූප දක්නට සිතේ නම්, හොඳ හොඳ ශබ්ද ඇසීමට සිතේ නම්, හොඳ රසමසවුලු රසවිඳීමට සිතේ නම්, දිව්‍ය ලෝකයේ ඉපිද කෙලෙස් බර නොදැනෙන, නිතර සතුටින් විනෝද වන දෙවියන් දකිමින්, සාමාන්‍යයෙන් ගතේ දහදිය බිඳුවකුදු පැන නොනඟින ජාතිරංග්‍ය මාණික්‍ය රත්නයන් සේ පිරිසිදු ආත්මභාවයන් පරිහරණය කරමින් සිටින විට ඒ දිව්‍ය සැප මධ්‍යයේ සිට ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අමතක වීම අසන්නටත් දෙයක් ද?
ඔබ අප සිටින මුළාවේ තරම සිහිපත් කරගත යුතු වේ. ඒ ප්‍රමාදබව අත්දකින දෙවියන් චුත වන විට නැවත මිනිස් ලොව ඉපදීමට සිතන්නේ ඒ නිසා ය. ඒ මිනිස් ලොව ඉපිද සිටින අපි ඒ ලැබූ මිනිසත් බවින් නිසි ඵල ලබා නොගෙන දිව්‍ය ලෝකයේ ඉපිද නිවන් දකින්නට සිතන්නේ මුළා වූ නිසා ම වේ.
මිනිස් ලොව වෙසෙන පුද්ගලයන් කොටස් සතරක් පිළිබඳව අර්ථකථාවේ සඳහන් වේ. එනම් මනුෂ්‍ය නෙරයික, මනුෂ්‍ය ප්‍රේත, මනුෂ්‍ය තිරච්ඡාන සහ පරමත්ථ මනුෂ්‍ය වශයෙනි. ඇතැම් කෙනෙක් මිනිස් ලොව ඉපිද ප්‍රාණඝාතාදි නොකළයුතු දේ සිදු කර රජවරුන් ආදීන්ගෙන් අත්පා සිඳීම් ආදී වධබන්‍ධනයන්ට පත්ව මහා දුකක් විඳීති.
ඒ අය මිනිස් ලොව අපා දුක් විඳීන බැවින් මනුෂ්‍ය නෙරයික නම් වේ. සමහරෙක් පෙර කරන ලද අකුසලයන්ගේ බලයෙන් මේ ජීවිතයේ දී කුසට අහරක් හෝ නොලබමින්, බඩගිනි පිපාසාදියෙන් පෙළෙමින් ගත කරති. ඒ අය මිනිස් ලොව ඉපිද ප්‍රේත ලෝකයේ මෙන් දුක් විඳීන බැවින් මනුෂ්‍ය ප්‍රේත නම් වේ. තවත් සමහරෙක් පරාධීනව අනෙක් අයට බියෙන් අනෙක් අයගේ වැඩ කරමින් සිට නොයෙක් අනාචාර කටයුතු ද කොට මරණ බියෙන් සැඟවී නිදි නැතිව, බඩගින්නේ, පිපාසයෙන් දුක් විඳීති. ඒ අය තිරිසන් සතුන් සේ දුක් විඳීන බැවින් මනුෂ්‍ය තිරච්ඡානගත වේ. තවත් සමහරෙක් තමාගේ හිත අහිත දේ දැනගෙන, කර්මඵල අදහමින්, හිරි ඔතප් ඇතිව, සියලු සත්වයන් කෙරෙහි සංවේග බහුලව, අකුසලයන් බැහැර කරමින් කුසලයෙහි සමාදන්ව කරමින් ධර්මයේ හැසිරෙති. ඒ අය නිසි මිනිස් ධර්මයේ පිහිටි පරමත්ථ මනුෂ්‍යයන් නම් වේ. දිව්‍ය ලෝකයේ දෙවියන් කැමති වන්නේ මෙබඳු මිනිස් ධර්මයේ පිහිටි උතුම් මිනිසුන්ට වේ. එබැවින් ඔබ අප ලත් මිනිසත් බව හැඩගසාගත යුත්තේ මේ උතුම් මිනිසත් බවක් ලෙස වේ.
දැන් අප ඒ උතුම් මිනිසත් බව උරුම කරගත්තෝ බැවින් මිනිසුන් විසින් ලැබිය යුතු උතුම් ලාභය ලබාගත යුතු වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මිනිසත් බව ලැබූ පුද්ගලයෙක් විසින් තථාගතයන් වහන්සේගේ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශාසනයෙහි ශ්‍රද්ධාවක් උපදවා ගන්නේ නම් එය උතුම් ම ලාභය බව යි. බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය මනාකොටම දේශනා කරන ලද්දේ යැයි ශ්‍රද්ධාවක් ඇති කරගත යුතු වේ. යම් කෙනෙක් රන් රිදී, මිල මුදල් ලැබීමෙන් දිළිඳු බව දුරු කරගනී ද, සා පිපාසාදි දුක් දුරු කරගනී ද, තවතවත් මුතුමැණික් ආදී ධනය ලබයි ද, එසේම ශ්‍රද්ධාව ලබන තැනැත්තා ගුණ දිළිඳු බව දුරු කරගනී. ජාති ජරා දුක් දුරු කරගනී. සප්ත බෝධ්‍යංග නමැති රත්නයන් ලබයි. එබැවින් කළයුත්තේ ඒ ලැබූ බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව උපදවාගෙන ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරගැනීම යි.
එබැවින් මිනිසත් බව ලැබූ අපට බුදුරජාණන් වහන්සේ දෙන වටිනා අවවාදය නම් ලැබූ මිනිසත් බව ඉක්මයා නොදී අප්‍රමාදීව කුසල ධර්මයන් පුරන ලෙස යි. ඒ සඳහා කාය, වාක්, මනෝ දුසිරිතෙන් වැළකී, කයින්, වචනින්, මනසින් අප්‍රමාණ වූ කුසලධර්මයන් කළයුතු වේ. ඒ කුසල් කිරීමේ දී ද කෙලෙසුන්ගෙන් කිළිටි නොවී තෘෂ්ණා, දෘෂ්ටීන්ගෙන් මුළා නොවී, නොයෙක් නොයෙක් ලෞකික ප්‍රාර්ථනයන්ගෙන් දූෂිත නොවී කළයුතු වේ. නැතහොත් නිවන් පතාගෙන ම පින් කළයුතු වේ. තමාගේ උසස් බව පෙන්වීමට හෝ ඊළඟ ආත්මයේ හොඳ කම්සැප ලැබීමට හෝ කරන පින අපිරිසිදු ය. එසේ අපිරිසිදු නොවී පිරිසිදුව පින්දහම් කළයුතු වේ.
එබැවින් අප ලැබූ දුර්ලභ මිනිසත් බවේ වටිනාකම සිහිකරගෙන එය ඉක්ම යා නොදී අද අද ම ධර්ම මාර්ගයේ නිවන් උදෙසා ගමන් කිරීමට උත්සුක විය යුතු ය. යළි තවත් උපතක් යනු දුක් රැසක් ම බව බුදුපියාණන් වදාළේ ඔබ අප වෙනුවෙන් ම බැව් නිතර සිහි තබාගත යුතු වේ.