Tuesday, September 27, 2022

අපචායන පුණ්‍ය ක්‍රියාව

 

අපචායන පුණ්‍ය ක්‍රියාව



රේරුකානේ චන්දවිමල නා හිමි

ගරු කළ යුතු පුද්ගලයන්ට හා වස්තූන්ට ගෞරව කිරීම අපචායනය ය. වයසින් හා ගුණයෙන් වැඩි පුද්ගලයෝ ගරු කළ යුත්තෝ ය. ධාතූ , මහබෝ, පෙති පිළිම ආදිය ගරු කළ යුතු වස්තූහු ය. වයසින් අඩු තැනැත්තා විසින් වයසින් වැඩි තැනැත්තන්ට ගරු කළ යුතුය. වයස, ගුණය යන දෙකින් ගුණය ප්‍රධාන බැවින් වයසින් වැඩි තැනැත්තා විසින් ද ගුණවතාට ගරු කළ යුතු ය. මෙහි ගුණය යැයි කියනුයේ කුල ධන තනතුරු ආදිය නො ව උපකාර හා ශීලය ය. බොහෝ උපකාර කළ බැවින් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතු ය. සිල්වතුන්ට ශීල ගුණය නිසා ගරු කළ යුතු ය. ශීල ගුණය සියල්ලට ම උසස් බැවින් පැවිදි වූ දරුවාට ගිහි වූ මාපියන් විසින් ද ගරු කළ යුතු ය.

ගරු කිරීම වනාහි කයින් ගරු කිරීම ය, වචනයෙන් ගරු කිරීම ය, සිතින් ගරු කිරීම යැයි තුන් ආකාර වේ. ඒ ඒ මනුෂ්‍ය ජාතීන්ගේ චාරිත්‍රවල සැටියට හා ආගම්වල සැටියට ද කයින් ගරු කරන්නා වූ ආකාරයෝ බොහෝ වෙති. පාවහන්, හිස් වැසුම් , කුඩ ඉවත් කිරීම, හුනස්නෙන් නැගී සිටීම, උසසුන්වල නො හිඳීම, වැඳීම යනාදිය බෞද්ධයන් විසින් පවත්වන ගරු කිරීමේ ක්‍රමයෝ ය.

වැඳීමය යනු තමාගේ යටහත් බව, ගරු කරන බව, අවනත බව, කීකරු බව දක්වන්නා වූ ක්‍රමය ය. එය කාය වන්දනාවය, වචී වන්දනාවය, මනෝ වන්දනාවය යි ත්‍රිවිධ වේ. කයින් වන්දනා කිරීමේ ආකාරයෝ ද බොහෝ ය. දෙ අත් එක් කොට ළය ඉදිරියේ තබා වැඳීමය. දෙ අත් එක් කොට දකුණු දන බිම තබා වැඳීමය, දෙ අත් එක් කොට දෙ දණ ම බිම තබා වැඳීම ය, දෙ දණය දෙ අතය හිසය යන පස් තැන බිම තබා වැඳීමය යන මේවා කාය වන්දනාවෝ ය. රත්නත්‍රයට වැඳීමේ දී ඉතා උසස් වන්දනාවකින් වැඳීම ම යෝග්‍යය. එබැවින් බෞද්ධයන් විසින් රත්නත්‍රය වැඳීමේ දී පසඟ පිහිටුවා වැඳීමේ ක්‍රමයෙන් ම වැඳීම මැනවි.

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි

උවදුරු ජය ගැනීමට කායික මානසික පුහුණුව

 

උවදුරු ජය ගැනීමට කායික මානසික පුහුණුව

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික නා හිමි



තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඔස්සේ වර්තමාන ලෝකය පුරාම පවත්නා කොරෝනා වසංගත උවදුර ජය ගැනීම පිණිස සියලු දෙනා කෙරෙහි ම පවත්වාගත යුතු කායික හා මානසික චර්යාව පිළිබඳ ව සාකච්ිඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.

“කරුණා සීතල හදයං
පඤ්ඤා පජ්ජෝත විහත මෝහතමං
සනරාමර දේවගරුං
වන්දේ සුගතිං ගති නිමිත්තං”

මහා කරුණාවෙන් සිසිල් වූ හදවතක් පැවැතියා වූ, ප්‍රඥාව නැමැති ආලෝකයෙන් ලෝකයේ මෝහය නම් වූ ඝන අන්ධකාරය දුරු කළා වූ, දෙවියන් සහිත ලෝකයාට ම ගුරු වූ හා ගෞරවනීය වූ, සසර දුකින් නිදහස් කොට සුගතිය, මෝක්ෂය, නිවන සාදා දෙන්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ යනුවෙනුයි.

ඒ තථාගත බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය වෙනත් කිසිදු මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, බ්‍රහ්මයකුට හෝ කිසිදු ජීවියෙකුට නොතිබුණා වූ ගුණයකුයි. එබැවින් එය මහා කරුණා ගුණය නමින් හැඳින්වෙනවා.

සසර ගමනේ කර්මානුරූප ව ඇවිදින සියලු සත්වයන් දුකට පත්ව ඇති බව, දුකෙහි ම ගිලී ඇති බව මේ උතුම් මනුෂ්‍ය රත්නය නුවණින් අවබෝධ කරගත් සේක. සසර දුකෙන් නිදහස්වන අවබෝධය ඇති කරගෙන, අන් සත්වයන් ද ඒ සසර දුකෙන් නිදහස් කරනවා ය යන අදහස මුලින් ම ඇතිවී ම බෝධිසත්ව උතුමෙකුගේ කරුණා ගුණය හැටියට දක්වනවා.

“බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරෙ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරොඝා මහබ්භයා”

තමන් ද චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් බුදු බව ලබා, අන් අයටත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට මාර්ගය කියා දෙන බවයි.

තමන් ද දුකින් පිරුණු සසරෙන් එතෙර, දුකෙන් පෙළෙන අන් සත්වයන්ට ද, ඒ සසර කතරෙන් එතෙර වෙන්නට මඟ පෙන්වා දෙන බවයි. මේ භයානක වූ දුක් ඇති ගමනෙන් නිදහස් වෙන්නට සියලු සත්වයන්ට ම මාර්ගය පෙන්වා දෙන බවයි. මේ මහා කරුණා ගුණබලය අප සරල ලෙස විස්තර කර ගන්නේ නම්, සාමාන්‍ය කෙනෙකුට වැටහෙන ආකාරයෙන් මේ ලෙසිනුයි.

“පරදුක්ඛේ සති සාධූනං
හදය කම්පනං කරෝතීති කරුණා”

අන් අයගේ දුකක් දුටු විට දී හදවතේ ඇති වන කම්පනය හෙවත් උණුවෙන ගතිය කරුණාව නම් වේ.

මුලින් සඳහන් කළ අයුරින් තමාගේ හෝ තමන්ට හිතවන්ත අයට පමණක් නොව, යම් සීමාවකට කොටු වී ඇති එවැනි පිරිසකට පමණක් ම නොව දෙවියන් බඹුන්, මරුන් හා සතර අපායන් හි ද සියලු සත්වයන් කෙරෙහි ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම් කාමරූප, අරූප නම් වූ ත්‍රිවිධ ලෝකයෙහි ම උපන්නා වූ සියලු සත්වයන් කෙරෙහි ඇති කර ගත්තා වූ ඒ කරුණා ගුණය මහා කරුණා ගුණය නමින් හඳුන්වනවා.

වර්තමානයේ මේ ඇති වී පවතින කොරෝනා රෝග උවදුර තථාගත බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය නම් වූ දහම් ඇසින් අප විසින් දැක ගන්නේ කෙසේ ද?

සියලු සත්වයන් සසරෙහි කර්මානුරූප ව ඉපදෙමින් මරණයට පත්වෙමින් යන ගමන ම දුකක් ලෙස භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එයට හේතුව නම් මේ තුන් ලෝකයේ ම උපත ලබන සියලු සත්වයන්ගෙන් වැඩි පිරිසක් හෝ සියලු දෙනා ම පාහේ වැඩිපුරම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ බව උන්වහන්සේ විසින් අවබෝධ කර ගැනීමයි. ලෞකික සමාධියකින් බ්‍රහ්ම ලෝකයක ඉපදුණත් බලවත් වූ පිනකින්, කුසලයකින් , දෙව් ලෝකයක, මනුෂ්‍ය ලෝකයක ඉපදුණත් ලෞකික සමාධිය, ධ්‍යානය පිරිහුණු තැන පින අවසන් වූ තැන ඒ සත්වයන් ද නැවතත් සතර අපායේ උපදින බව, ඉපදිය හැකි බව භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ සේක. මේ භයානක වූ සංසාර ගමනේ ගමන් කරන විට පින බලවත් වීම නිසා දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. ඒ මනුෂ්‍ය ජීවිතය දුර්ලභයි. ඒ වගේ ම පිනක මහිමයකුයි. එනමුත් සසර පැවැත්ම ම දුකක් ලෙස දේශනා කළ තථාගත බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ද අනවබෝධයෙන් අකුසල කර්මයන්ට යොමු වුණොත් එය දුක උපදවා ගැනීමක් හැටියට දේශනා කරනවා. තෘෂ්ණාවෙන් බැඳෙන සත්වයෝ අනවබෝධයෙන් කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස්වීම නිසා සසර පවතිනවා. අකුසලයට වඩා කුසලය බලවත් වීම නිසා මනුෂ්‍ය ජීවිතයක් ලබනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් හටගත්ත හැම දෙයක් ම නැතිව යනවා යන මහා කාරුණිකයාණන් වහන්සේගේ මූලික ඉගැන්වීමයි. ඒ කෙරෙහි අනවබෝධයෙන් යුක්තව ප්‍රිය අරමුණුවල ඇළී ඒවා තෘෂ්ණාවෙන් තමා සතු කර ගැනීමත් අප්‍රිය අරමුණුවල ගැටී තරහ, වෛර, ක්‍රෝධ ඇතිකර ගැනීමත් රාග, ද්වේෂ, මෝහ හැටියට ධර්ම කතාවේ පෙන්වා දෙනවා. තෘෂ්ණාවෙන් සසරට බැඳී නැවතත් දුකට පත්වෙන බව පැහැදිලි කරන්නේ මේ ආකාරයෙනුයි.

පළමු ධර්ම දේශනාව වූ "ධම්මචක්කප්පවත්තන" සූත්‍ර දේශනාවේ දී ම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ, මෝහයෙන් යුතු මනුෂ්‍යා ද මේ ඉපදීම, දිරාගෙන යෑම, ලෙඩ දුක් මරණය ඔස්සේ දුකට ම පත්වෙන බව තේරුම් කොට දීමයි.

ඉපදුණා නම් දිරාගෙන යෑම, ලෙඩ දුක්, මරණය ඔස්සේ ජීවිතය පවත්වා ගැනීමට සිදුවෙනවා. භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ සසර උපත, පැවැත්ම හා නැතිව යෑම තේරුම් ගත යුතු බවයි. අවබෝධ කර ගත යුතු බවයි. පඨවි ආදී හේතූන් ප්‍රත්‍ය කරගෙන සකස්වෙන පණ ඇති හෝ පණ නැති සියලු වස්තූන් ම හට අරගෙන නැතිව යනවා.

වර්තමානයේ පවතින කොරෝනා උවදුර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් උපත හා සමඟින් ම සියලු සත්වයන්ට මුහුණ දෙන්නට වන ව්‍යාධීන් හි ප්‍රතිඵලයකුයි. මේවා අඩු වැඩි වශයෙන් හෝ සනීප කළ හැකි සනීප කළ නොහැකි ආදී වශයෙන් හෝ පැවැතිය හැකියි. මේ ස්වභාව ධර්මය ඔස්සේ කලින් කලට ජීවිතවලට හෝ සත්වයන්ට මුහුණ දිය යුතු ධර්මතාවයයි.

- දීපා පෙරේරා

Sunday, September 25, 2022

ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය

 

ජීවිතයට රැකවරණය සලසන කරණීය මෙත්ත සූත්‍රය




කරණීය මෙත්ත සූත්‍රයෙන් මෙලොවදී ම කෙනෙකුට ලබන්න පුළුවන් ආනිසංස රැසක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළා. අමනුෂ්‍යයන්ගෙන් පවා අතුරු විපත් ඇති නොවීමට, දෙවියන්ගේ රැකවරණය පිණිස, මනුෂ්‍යයන්ට ප්‍රිය බව ආදී වශයෙන් මෙත්තානිසංස සූත්‍රයෙන් මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ගැන සඳහන් වෙනවා.

එයින් දහයක් ම මෙලොවදී ම ලබන්න පුළුවන් ආනිසංස වෙනවා. ඒ නිසා ම බොහෝ පිරිස මෛත්‍රී භාවනාව, පුරුදු කරගන්න, උත්සාහ කළා. 

අපේ පැරැන්නන් ඉතිහාසයේ සිටම, කටපාඩමෙන් උදේ සවස, තුනුරුවන් වැඳ නමස්කාර කර ‘කරණීය මෙත්ත සූත්‍රය’ සජ්ඣායනා කළා. මෙම සූත්‍රය පිරිතක් සේ භාවිත කළා සේ ම භාවනාවක් වශයෙන් ද දේශනාවේ සඳහන් ගුණාංග තම ජීවිතයට ඇතුළත් කර ගනිමින් පුරුදු පුහුණු කළා. කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ මෛත්‍රී භාවනාව යි. මෙම භාවනාව අප්‍රමාණ කර්මයට, මහග්ගත ක්‍රමයට දියුණු කරන ආකාරය කරණීය මෙත්ත සූත්‍රය තුළ සඳහන් වෙනවා. මුලින් ම මෙලෙස සඳහන් වෙනවා. ‘කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමේච්ච’ උතුම් ශාන්ත පදනමෙන් නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා ‘කරණීය’ කළ යුතු යි, ‘අත්ථකුසල ’ තමන්ගේ ජීවිතය තුළ කුසල් දහම් වර්ධනය කරගත යුතු යි යන්න යි. ‘යං තං සන්තං පදං අභිසමේච්ච’ යම් ශාන්ත පදයක් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ , ධර්මාවබෝධය නිවන අවබෝධ කරගන්න කැමැති කෙනා, මෙවැනි ගුණ ධර්ම ඇති කර ගත යුතුයි යනුවෙන් සඳහන් කරනවා. 

මුලින්ම කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වෙන්නේ කෙනෙක් තුළ ඇති කරගත යුතු ගුණ ධර්ම කිහිපයකි. පළමුවැන්න ‘සක්කො’ බොහොම දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙන්න. ‘උජූ ච’ අවංක කෙනෙක් බවට පත් වෙන්න. ‘සූජූ ච’ වඩාත් අවංක කෙනෙක් බවට පත් වෙන්න. ‘සුවච’ කීකරු කෙනෙක් බවට පත් වෙන්න. ‘මුදු අනතිමානී’ බොහොම නම්‍යශීලී කෙනෙක් , කුසලයට නැමෙන , බොහොම කරුණාවන්ත නම්‍යශීලී කෙනෙක්. ‘අනතිමානී’ බොහොම නිහතමානී කෙනෙක් බවට පත් වෙන්න.

‘සන්තුස්සකෝ ච සුභරෝ ච - අප්පකිච්චො ච සල්ලහුකවුත්ති

සන්තින්ද්‍රියෝ ච නිපකෝච’ මේ සෑම ගාථාවක ම සඳහන් වෙන්නේ ධර්මය අවබෝධ කරගන්න කැමැති ශ්‍රාවකයා තුළ ඇතිකරගත යුතු ගුණධර්ම යි. ‘සන්තුස්සකෝ ච’ ලද දෙයින් සතුටු වෙන කෙනෙක් බවට පත් වෙන්න. ලැබූ දෙයකින් සතුටු වෙන්න කියනවා. ‘සුභරෝ ච’ යනු පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් බවට පත්වෙන්න යනු යි.

සමහර අය කෙතරම් දේ තිබුණත්, කෙතරම් කන්න බොන්න තිබුණත්, පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා බොහොම සරල, චාම් ජීවිතයක් ගත කරන්න. ‘සුභරෝ ච’ පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙන්න . ‘අප්පකිච්චො ච’ වැඩ කටයුතු අඩු කෙනෙක් බවට පත් වෙන්න යනුවෙන් සඳහන් කරනවා. ‘සල්ලහුකවුත්ති’ සැහැල්ලු ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙන්න. ‘සන්තින්ද්‍රියෝ ච’ බොහොම ශාන්ත, සංවර ඉන්ද්‍රියන් දමනය කළ කෙනෙක් බවට පත් වෙන්න. ‘නිපකෝච’ නිපක යනු තැනට සුදුසු නුවණ, එනම් උපක්‍රමශීලී නුවණ යි. ධර්මාවබෝධය කරා යන ශ්‍රාවකයා අකුසලයෙන් වැළකී කුසලය කරා යන්න තමන් අනතුරු මඟ හරිමින් බුද්ධිමත් ව ප්‍රඥාවන්ත ව තමන්ට තැනට සුදුසු නුවණක් තිබිය යුතු යි. එය ‘නිපක’ නම් වෙයි. ‘අප්පගබ්භො’ වැඩ කටයුතු අඩු ‘කුලේසුඅනනුගිද්ධෝ’ තමන්ගේ කුලයන්හි අහංකාර නැති නිහතමානී කෙනෙක් බවට පත් විය යුතු යි. 

මේ අනුව කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් කළ ගුණ ධර්ම කෙනෙක් තුළ ඇති කරගත්තොත්, විශේෂයෙන් ම පැවිදි අයට වගේ ම ගිහි අයගේ ජීවිතවලටත් ඉතා ම වැදගත් ගුණ ධර්ම වෙනවා.

මෛත්‍රී භාවනාව පින අතර අග්‍ර ම පිනක්. විශේෂයෙන් මෙවැනි විපත්, ව්‍යසන ලෝකයේ පැතිරී යන යුගයක, තමන්ගේ පෙර පින මතු කරගත යුතු යි. කාගෙත් ජීවිතවල සංසාරයේ පුණ්‍යස්කන්ධ , පින් යටපත් ව තිබෙනවා. කෙනෙක් භාවනා කරන විට, පින් කරන විට, කුසල් වඩන විට, පෙර පින් එකතුවෙලා, මතුවෙලා බලවත් ව එනවා. 

ඒ නිසා මේ කාලය තුළ ඔබ හොඳට ශීලයක පිහිටා විශේෂයෙන් කරණීය මෙත්ත සූත්‍රය තම ජීවිතයට එකතු කර ගන්න. ඔබ හොඳීන් කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන්න. එහි තිබෙන ගාථාවල අර්ථය තම ජීවිතයට එකතු කර ගන්න. ගාථා අතර සඳහන් වෙනවා, කෙනෙකුට මෛත්‍රිය වඩන විට, සත්ත්වයන් ගැන වර්ගීකරණයක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා, මෛත්‍රී භාවනාව කරන විට, මුලින් ම තමන්ට මෛත්‍රිය වඩා , ඊළඟට කෙනෙක් දිසා වශයෙන් , දස දිශාවට මෛත්‍රිය පතුරුවනවා. එවිට සත්ත්වයන් ගැන මෛත්‍රිය පතුරවන්න, ඒ සත්ත්වයන් ව සිතින් විග්‍රහ කර ගන්නවා. 

කරණීය මෙත්ත සූත්‍රයේ එක ගාථාවක් ගෙන පුරුදු කළොත් ඔබේ ජීවිතයට විශාල පිනක් රැස්කරගන්න පුළුවන්. මේ සෑම ගාථාවක ම තියෙන්නේ වෛර කරන්නේ නැතිව, තරහක් , ක්‍රෝධයක් ඇති කරගන්නේ නැතිව, සියලු සත්ත්වයන් ගැනම මෛත්‍රී සිත පතුරුවන ආකාරය යි. මෛත්‍රිය වඩන විට, මෛත්‍රී කාය කර්ම, ඔබේ කය මුල්කරගෙන, ඔබ පන්සිල් රකිනවා කියන්නේ ඔබේ කයෙන් , වචනයෙන් ඔබ මෛත්‍රී සහගතව ජීවත් වෙනවා. මතක තබා ගන්න, මෛත්‍රිය භාවනාවක් වශයෙන් වඩන විට, ඔබට ඕනෑම ඉරියව්වක සිටියදී ,නින්දට යන තුරා මෛත්‍රිය වඩන්න පුළුවන්. කරණීය මෙත්ත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී වදාළේ, ‘තිට්ඨං චරං නිසින්නො වා - සයානෝ වා ...’ ඉඳගෙන සිටියදී , සිටගෙන සිටියදී, සෑම ඉරියව්වකදී ම මෛත්‍රිය වඩන්න යනුවෙන්.

කරණීය මෙත්ත සූත්‍රය පිරිතක් වශයෙන් සජ්ඣායනා කරන විට, විශාල ආශිර්වාදයක් ලැබෙනවා. හැබැයි, ඒ ආශිර්වාදය තම ජීවිතයට සිය දහස් ගණනින් එකතු කර ගන්න නම්, එහි පරිපූර්ණ රැකවරණය ලබන්න නම්, සජ්ඣායනයෙන් පමණක් නතර නොවී, එහි සඳහන් ගුණ ධර්ම ඔබේ ජීවිතය තුළ එකතු කර ගන්න. ඔබ මෛත්‍රී භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්න. විශේෂයෙන් මේ කාලය තුළ, ඔබේ පවුලේ අයට , ගමේ අයට , නගරයේ, පළාතේ , මුලු රටේ ම, මුලු ලොවේ ම පිරිස මේ වසංගතයත් සමඟ බොහොම අසරණ භාවයට පත් වෙලා. ඒ සැවොම ගැන බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් , සියලු දෙනා අරමුණු කරගෙන මේ සෑම දෙනාම නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! රෝගී වූ අය ඉක්මනින් සුවපත් වෙත්වා ! මෙලෙස සියලු සත්ත්වයන් අරමුණු කරගෙන හදවතින් ම මෛත්‍රී භාවනාවක් වශයෙන් පුරුදු පුහුණු කරන්න. ඒ තුළ මේ ජීවිතයේ විශාල පිනක්, පින අතර අග්‍රම පින වන්නේ මෛත්‍රී භාවනාව යි. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රය ඔබේ ජීවිතයට එකතු කරගෙන , ඔබේ ජීවිතයත් ගුණ ධර්මයන්ගෙන් දියුණු කරගන්න වාසනාව ලැබේවා

සාමයට සමඟියට ආචාර සමාචාර

 

සාමයට සමඟියට ආචාර සමාචාර




නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අභිවාදන සීලිස්ස 
නිච්චං වුද්ධා පචායිනො
චත්තාරො ධම්මා වඩ්ඪන්ති 
ආයු වණ්ණො සුඛං බලං
සිරි සුගත තථාගත අප සම්මා 

"මිනිසා මිනිසාට ආචාර සමාචාර පැවැත්වීම සාමය, සමගිය, සන්තෝසය ඇතිවීමට, උදාර ශිෂ්ටාචාරවල බලය, ශක්තිය තහවුරු වීමට මහෝපකාරී වන්නේ ය. මෙය නිවන් අවබෝධය ලබාගන්නා තුරු කායික හා මානසික ශික්ෂණයට මූලික ආධාරයක් වන්නේ ය." 

සම්බුදුරජාණන් වහන්සේ දඹදිව දීඝලම්බක නුවර ආරණ්‍ය කුටියක වැඩවසන සමයෙහි “දීඝායු” කුමරු අරබයා මෙම ගාථා ධර්මය දේශනා කළ සේක.

දඹදිව දීඝලම්බක නුවර බමුණෙක් තවුස් රැකුමට වන වැදුණේ ය. අටසාළිස් වසක් තවුස්දම් පුරා යළි කුල පරපුර ආරක්ෂා කිරීමට බිරිඳක් සරණ පාවාගෙන කලක් ගතවන විට දරු සම්පතක් ලැබුණේ ය. දිනක් මෙම බමුණා හා බැමිණිය, එනුවර ආරණ්‍ය සෙනසුනක වැඩ සිටින බුදුරදුන් වැඳීමට පුතා ද රැගෙන පැමිණ බුදුන් වැන්දවිට “දීඝායුකොහොථ” දිගාසිරි වේවායි බුදුහු ආශිර්වාද කළහ. එහෙත් කුඩා දරුවා වන්දවනවිට එසේ කිසිවක් නොවදාළ සේක. එයින් සසල වූ බමුණා බුදුරදුන්ගෙන් එයට හේතු කාරණා විමසීය. මේ දරුවාගේ ආයුෂ හත්දිනක් පමණක් යැයි බුදුහු වදාළ සේක. දරුවා ජීවත් කරවීමට ගෙදර මණ්ඩපයක් කරවා හත්දිනක් නොකඩවා පිරිත් දේශනා කරවන්නට යැයි ද දක්වා වදාළ සේක.

දරුවා රැගෙන බමුණා හා බැමිණිය වහාම ගෙදර ගොස් ගෙදර පිරිසුදු කොට මණ්ඩපයක් තනවා මහ සඟුන් වැඩම කරවූහ. උන්වහන්සේ වඩා හිඳුවා හත් දිනක් සිඟිති දරුවාට පිරිත් දේශනා කරවී ය. සත්වැනි දින අප බුදුරජාණන් වහන්සේ ද වැඩම කළ සේක. දෙවියන්ගේ පැමිණීම ද සිදුවිය.

මේ කුමරු වෙසමුණු රජුගේ නියමයෙන් අවරුද්ධ නම් යක්ෂයාගේ බිල්ලට යටත් ව සිටි නමුත් බුදුරදුන් ප්‍රධාන මහා සංඝ රත්නයේ පිරිත් දෙසුමේ අනුහසින් එක්සිය විසිවයසට ආයු වර්ධනය විය. මෙසේ ආයුස වැඩුණු බැවින් “දීඝායුකුමරු” නමින් ප්‍රකට වූ වග බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. මෙම චරිත කතාවෙන් අප දැනගත යුතු කරුණු රාශියක් ඇත.

සිල්වත් ගුණවත් අයට පුණ්‍යත්වයෙන් සැලකීම, පූජ්‍ය පූජක සම්බන්ධය, එයින් ලබන ආධ්‍යාත්මික ශක්තිය, උදාර ශිෂ්ටාචාරයක ලක්ෂණ හා දෙලොව අභිවෘද්ධියයි

සිල්වත්, ගුණවත් වැඩිහිටියන්, මව්පියන්, ගුරුවරුන්, පැවිදි උතුමන් වන්දනා මානන, ගරු සරු කිරීමට ඉතා යෝග්‍ය වන්නේ ය. වඳින පුදනවිට ඒ අය කියන වදන්, පතන පැතුම් දූ දරුවන්ට ආරක්ෂාවක්, ආශිර්වාදයක් සැපතක් වන්නේ ම ය. පූජ්‍ය පූජක සම්බන්ධය පුද්ගලාන්තර ප්‍රගතියට අතිශයින් මහෝපකාරීවන අතර දෛනික ජීවිතයේ සියලු කාර්යයන් නිරවුල්වැ කරගෙන යාමට, ප්‍රතිඵල ගැනීමට මූලාධාර වන්නේ ය.

පූජකො ලභතෙ පූජං
වන්දකො පටි වන්දනං

යනුවෙන් දක්වා ඇති පරිදි පිදිය යුත්තන්ට හෙවත් පූජ්‍ය පක්ෂයට පූජකයන්ට හෙවත් පුදන අයට කලක දී එහි ප්‍රතිඵල වශයෙන් කෙසේ හෝ පූජ්‍යත්වය ලැබෙන්නේ ය. අපේ බෝධි සත්වයන් වහන්සේ අතිදීර්ඝ කාලයක් දීපංකර පාදමූලයේ පටන් සිදුකළ වැඳුම් පිදුම් සත්කාර සම්මාන අපමණ ය. ඒ මහා කුසලයන්ගේ ප්‍රතිවිපාක වශයෙන් ලොව්තුරා බුදු බව ලැබූ දා පටන් එදා මෙදා තුර ලැබූ පුද පූජාවන් මනුලොව කිසිම කෙනෙකුට ලැබී නැත. ලොව්තුරා බුදු කෙනෙකුන් පූජ්‍යත්වයෙන් උපරිම තලයට පැමිණෙන අතර, බුදුරදුන් අනුගමනය කරන ශ්‍රාවකයන් වහන්සේලා ද පූජ්‍යත්වයෙන් අති ශ්‍රේෂ්ඨයෝ ය.

පුදන්නාගේ ශ්‍රද්ධාවත්, පිදුම් ලබන්නාගේ අවංක හා කරුණා, මෛත්‍රී චේතනාවත් නිසා ම එයින් ලබන ආධ්‍යාත්මික ශක්තිය නිසා ආයුෂය, වර්ණය, සැපය, බලය වර්ධනය වන්නේ ය. ඒ නිසා ම ප්‍රඥාව ද වර්ධනය වන්නේ ය.

සුවිශේෂ වශයෙන් මිනිසා මිනිසාට ආචාර සමාචාර පැවැත්වීම සාමය, සමගිය, සන්තෝසය ඇතිවීමට, උදාර ශිෂ්ටාචාරවල බලය, ශක්තිය තහවුරු වීමට මහෝපකාරී වන්නේ ය. මෙය නිවන් අවබෝධය ලබාගන්නා තුරු කායික හා මානසික ශික්ෂණයට මූලික ආධාරයක් වන්නේ ය.

කෙනෙකුගේ දෛනික ජීවිතයේ කාර්ය ව්‍යවසායේ පටන් ලෞකික ලෝකෝත්තර ප්‍රතිපදාවන් හා ප්‍රතිඵල දක්වා ද, එමෙන් ම ලොව්තුරා බුද්ධත්වය ලැබීමට ද ආශිර්වාද වාඛ්‍ය අවශ්‍ය වන්නේ ය. කාලය, ස්ථානය, පුද්ගල සම්පත්තිය හා ආධ්‍යාත්මික ශක්තිය යන උපයෝගීතාවයන් සංයුක්ත වන්නේ නම්, ප්‍රාර්ථනයේ ප්‍රතිඵල ඉතා ඉක්මනින් ලබාගත හැක.

තමන්ට වඩා වයසින්, ගුණයෙන් වැඩි අයට ගරුසරු කිරීමට ද මව්පියන්ට, කුල දේවතාවන්ට පූජ්‍යත්වයෙන් සැලකීමට ද, තමාගේ ජිවිතයේ දෛනිකව පවත්නා උතුම් සිරිතක් වශයෙන් ක්‍රියා කිරීමෙන් දෙලොව අභිවෘද්ධිය සලසා ගන්න.

Saturday, September 24, 2022

ප්‍රතිපදාවම උතුම්ය

 

ප්‍රතිපදාවම උතුම්ය



සමාජයෙහි ජීවත්වන කෙනෙකු කෙරෙන් ප්‍රියමනාප ගතියක් ඇතිවීම එතරම් ලේසියෙන් සිදුවන පහසු කරුණක් නොවේ. දිනක් බුදුහු අසූ මහා ශ්‍රාවකයන් ප්‍රධාන පන්සියයක් භික්ෂූන් සමඟ රජගහනුවර පිඬුසිඟා වැඩියහ. ඒ වේලාවෙහි තරුණයන් කණ්ඩායමක් භාජනවල කැවුම් පුරවාගෙන මඟ ගමන් කරන අතර බුදුරදුන් ප්‍රධාන භික්ෂූන්ට නමස්කාර කරන්නට ද වූහ. එහි දී මහා කාශ්‍යප හිමියන් දුටු ගමන් ම ඔවුහු නමස්කාර කර “ඕනෑම තරමක් කැවුම් පිළිගන්න” යැයි ඉල්ලා සිටියහ. එවිට උන්වහන්‍සේ ඔය කැවුම් බුදුරදුන් ප්‍රධාන සංඝයාට ද පූජා කරන්න යැයි කළ ඉල්ලීම නිසා හැමදෙනා වහන්සේට ම කැවුම් ලබා ගැනීමට හැකි විය. එහි දී බුදුහු මහා කාශ්‍යප හිමියන් තුළ පැවති ‍බොහෝ ගුණධර්ම නිසා අන් සෑම දෙනාගේ ම ප්‍රසාදය දිනාගත හැකි අන්දමට වැඩ වසන බවත්, ඒ හේතුවෙන් කැවුම් පූජා කළ බවත් පෙන්වා දුන්හ.

සමාජයේ ජීවත්වන සමහර අය අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීම අවශ්‍ය වූ විට නැති හිතවත්කම් පෙන්වති. විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරමින් මහත් පරිත්‍යාගශීලීන් සේ කටයුතු කරති. අනාගතේ කිසිදු අඩුවක් නැතිව සලකන බවට පොරොන්දු ද දෙති. මේවායින් වැඩි හරියක් තම අවශ්‍යතාව සපුරා ගැනීමට දෙන බොරු පොරොන්දු පමණි. මධ්‍යස්ථව සිතන විට පෙනී යන්නේ අන් අයගේ ප්‍රසාදය අවංකව දිනා ගැනීමට නම් උසස් ගුණධර්ම අනුගමනය කළ යුතු අන්දම බුදුරදුන් විසින් පෙන්වා දී ඇති බවයි. ධම්මපදට්ඨ කතාවේ ප්‍රිය වර්ගයෙහි ඒ සඳහා අවශ්‍ය ගුණධර්ම පහක් පිළිබඳව සඳහන් වේ.

ප්‍රියවීමට හේතුවන පළමු වන කරුණ නම් සීලවන්ත වීමයි. බොහෝ විස්තරාත්මකව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වී ඇති සීලය ඉතා සැකෙවින් ගත් කල චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය යනුවෙන් කොටස් දෙකකින් හැඳීන්විය හැකිය.

විශුද්ධි මාර්ගයෙහි “පාණාතිපාතාදී හි වා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පුරෙන්තස්ස චේතනාදයො ධම්මා” යනුවෙන් සතුන් මැරීම ආදී සියලු පාප ක්‍රියාවලීන් ඉවත් විය යුතු බව සඳහන් කළ හැකිය. ගෘහ ජීවිත‍යක් ගත කරන අය විසින් අනුගමනය කරන පංචසීලයේ පටන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පරිශුද්ධි සීලය හා ප්‍රත්‍යය සන්නිශ්‍රිත සීලය යන සිව් පිරිසිදු සීලයන් ආරක්ෂා කිරීම චාරිත්‍ර සීලයට අයත් වෙයි. මවුපිය, වැඩිහිටි ආදීන්ට සැලකීම, වැඳුම් පිදුම් කිරීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, ගේ දොර ඇඳුම් පැළඳුම් ආදිය පිරිසිදු කිරීම චාරිත්‍ර සීලට අයත් වේ. එසේ ම මහ මඟක දුම්රිය හෝ බස්රියක ගමන් කිරීමේදීත් කාර්යාලයක හෝ වෙනත් වැඩපලක රැකියාවක යෙදීමේදීත් අනුන්ට කරදරයක් නොවන අන්දමට ක්‍රියා කිරීම මෙන් ම අනුන්ට උපකාර කිරීම හොඳ චාරිත්‍රයන් ය. ඈත කාලයේ සිට ලාංකික සමාජය ලෝක‍යේම ගෞරවයට පාත්‍ර වූ‍යේ අනුගමනය කළ මෙවැනි හොඳ සිරිත් විරිත් නිසා බව අප වටහා ගත යුතු ය.

ජනප්‍රිය වීමට ඇති දෙවන ගුණය ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කිරීමයි. මෙය ලෞකික හා ලෝකෝත්තර යනුවෙන් දෙකොටසකට අයත් වෙයි. ගිහි පැවිදි සෑම දෙනාට ම තිබෙන වටිනාම වස්තුව ප්‍රඥාවයි. එහි අගය ආලවක සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රවල පෙන්වා දී ඇත.

ධර්මයේ පිහිටා ක්‍රියා කිරීම කෙනෙක් ප්‍රියමනාපත්වයට පත්වීමට හේතුවන තවත් කරුණකි. මෙලොව වශයෙන් ලෙඩ දුක් වලින් තුරන්ව බාධක හිරිහැර මැඬ පවත්වාගෙන සෑහෙන කාලයක් ජීවත් වීමට ධර්මයේ පිහිටා සිටීම හේතු වෙයි. බොහෝ දෙනා දන්නා මහා ධර්මපාල ජාතකය මේ සඳහා නිදසුනකි. කොපමණ අවිවේකී ජීවිතයක් ගත කළත් හැකි සෑම අවස්ථාවක ම උතුම් සීලයේ පිහිටා සිට නිවන් අවබෝධ කරගැනීමේ ප්‍රතිපදාවක යෙදීම අතිශයින් වැදගත් ය.

“සච්‍චවේදී‘‘ යනුවෙන් දැක්වෙන සිව්වන කරුණින් පෙන්වා දී ඇත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට ක්‍රියා කිරීමයි. එය සිතන තරම් ලේසි නොවිය හැකි ය. පළමුවන දුක්ඛ සත්‍යයෙන් ඉපදීම, ජරාව, ලෙඩවීම ආදිය දුක් සහිත බව අපට නිරන්තරයෙන් දැනගතහැකි වුවත්, එය ගැඹුරින් කල්පනා කොට හරිහැටි වටහා ගැනීමක් සිදු නොවේ. එසේ වීමට හේතුව දුක්ඛ සමුදය සත්‍යය තේරුම්ගෙන නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගයෙහි නොයෙදීමයි. මෙසේ අතපසු කිරීම අප අපට ම කරගන්නා බලවත් පාඩුවකි. දුක් වූ සසර දිගු කලක් විසීමට ද එය හේතු වේ.

තමාට අයත් කාර්යයන් සිදු කිරීම ප්‍රිය මනාප භාවය ඇතිවීමට හේතුවන පස්වන කාරණයයි ලෞකික වශයෙන් බලන විට හැම කෙනෙකුට ම තමාගේ වයස අනුව ගෘහ ජීවිතයේ ගෙවන අවස්ථා අනුව කළ යුතු කාර්යයන් රාශියකි

දුක තුළින් සතුට සොයා යන දහම් මග

 

දුක තුළින් සතුට සොයා යන දහම් මග




දුක යනු කුමක්දැයි බෞද්ධ ඉගැන්වීම් වලට අනුව නිවැරැදි ව වටහා නොගන්නාට ‘බුදු දහම දුක තුළින් සතුටට’ යන කියමන ම ප්‍රහේලිකාවක් වනු ඇත.

බුදු දහමේ පදනම චතුරාර්ය සත්‍යයයි.. එය දර්ශනයේ සහ චරණයේ හදවතයි. එහි පරමාර්ථය පරම සැපය සාක්ෂාත් කරගැනීමය්. පරම සැපය නිවනයි. නිවන සාක්ෂාත් කළ හැක්කේ වර්තමාන ජීවිතයේයි. පරලොව නොව මෙලොව දී ම මෝක්ෂය, නිවන හෙවත් නිෂ්ටාව අවබෝධ කළ හැකි කිසිදු නිර්මාණවාදී දහමක් ලොව තිබුණේ නැත. එබැවින් මේ දහම පෙර නොඇසූ විරූ

(පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු) දහමයි. අද ද එවැනි වෙනත් දහමක් නැත.රහතන් වහන්සේ යනු සුජීවත්ව වැඩ හිඳීමින් නිවන් සැපය නම් අවේදයිත සැපය විඳීන උත්තමයා යි. ගෞතම බුදුරජාණන් වහන්සේ නිවන් සැපයට පත් වූයේ උපතින් වසර 35 දීයි. සැරියුත් මහා රහතන් වහන්සේ නිවන් සුවය ලැබුවේ වයස අවුරුදු විස්සට අඩු භද්‍ර යෞවන සමයේ යි. ඒ උත්තමයෝ සුජීවත්ව පිරිනිවන් ව පිරිනිවන සඳහා අපට දහම් දෙසූහ. (පරිනිබ්බුතො සෝ භගවා

පරිනිබ්බානාය ධම්මං දේසේති). මෙයින් නිවන යන්න වටහා ගත හැකිය.

දුක්ඛ ආර්ය සත්‍යය දුක පිළිබඳ උතුම්ම සත්‍යයයි. විගහ්‍රයයි. එය යථාර්ථ දර්ශනයයි. යථා භූත ඤාණයට වන ආධාරකයයි. දුක යන්නේ සාමාන්‍ය අර්ථය වේදනාව, කනගාටුව, විපත, කරදරය, යන්නයි. එම අර්ථයන් දුක්ඛ යන වචනයෙන් ප්‍රකාශ වෙයි. එසේ වුව ද බුදු රජාණන් වහන්සේ දුක්ඛ යන්නෙන් වදාළේ අනිත්‍යතාව, තුච්ඡතාව, අපරිපූර්ණතාව යන ගැඹුරු අරුතයි. ඒ ඉගැන්වීම් සාමාන්‍ය අර්ථයෙන් සලකා වුව වඩාත් සිහි නුවණින් කල්පනා කිරීමෙන් දාර්ශනික අර්ථයට ප්‍රවේශ විය හැකිවේ. යමක් අනිත්‍ය ද එය දුකකි. (යද’නිච්චං තං දුක්ඛං) ඒ අනුව විශ්වගත යම් සංස්කාරයක් වේද එය දුකකි.

ධම්මචක්කපවත්තන සූත්‍රය ඇතුළු සූත්‍රවල විවිධාකාරයෙන් විස්තර වන දුක් ලේඛනයක්

වෙයි. ඉපදීම, වයසට යෑම, ලෙඩ වීම, මරණය , අප්‍රිය සම්ප්‍රයෝගය, ප්‍රිය විප්‍රයෝගය, ඉච්ඡා විඝාත පංච උපාදානක්ඛන්ධය සහිත දුක්ඛ දොමනස්සයන් අනිත්‍යතාව පදනම් වන දේවල් ය. ඉපදීම යනු සියලු දුක් වලට හේතු වන හේතු දුකයි. කෙලෙස් ඉපදීම නිසා වන සංතාපයයි. ඉපදීම ස්වභාව කර ඇත්තේ අඹුදරුවන් , වතු පිටි ,යානවාහන, දසු දැසියන් බව අරිය පරියේෂණ සූත්‍රයේ විග්‍රහ වෙයි. අනිත්‍යතාව යථාර්ථය වුවත් එය නොපිළිගැනීමෙන් ඇතිවන මානසික අසහනය සහ අතෘප්තිය වයසට යෑම, ලෙඩවීම, මරණ භය තුළින් ඇතිවේ. එවිට ඇතිවන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන දුකයි. අනිත්‍යතාව නොදැනීම සහ අනාත්මයේ ස්වභාවය සාමාන්‍ය වශයෙන් වටහා නොගැනීම නිසා ඇති වන්නේ අපරිපූර්ණත්වයයි. සත්‍යය යථා තත්ත්වය ම බැවින් බුදු දහම අශුභවාදයක් හෝ ශූභවාදයක් හෝ දුක්ඛ වාදයක් හෝ සුඛ වාදයක් හෝ නොවන සියලු දෘෂ්ටීන් ප්‍රහාණය කිරීම තුළින් අවේදයිත සැපය ලබන දහමයි.

සංයුක්ත නිකායේ අණණ සුත්‍රයේ කාමභෝගි ගිහියකු විසින් ලබන සැප සතරක් විස්තර වෙයි.අත්ථි සුඛ,භොග සුඛ,අණණ සුඛ, අනවජ්ජ සුඛ යනුවෙන් එම සැප සතර හඳහන් ව ඇත. උට්ඨාන වීර්යයෙන්, දැතේ වීර්යයෙන්, දැහැමින් උපයා ගන්නා ධනයක් තමාට ඇතැයි සිතමින් ගිහියෙක් සැපයක් ලබයි. තමාට සහ තමන්ගේ , අඹු දරුවන්ගේ සහ දූදරුවන් ගේ යහ පැවැත්ම පිණිස ගේ දොර, යාන වාහන, සහිත සැපවත් ජීවිතයක් මට ඇතැයි සතුටට පත්වීම අත්ථි සුඛයයි. දරුවන්ට උසස් අධ්‍යාපනයක් දීම, අවශ්‍ය සමාජ සබඳතා පැවැත්වීම, රජයට බදු ගෙවීම, මියගිය ඤාතීන් වෙනුවෙන් පින් දහම් කිරීම,ඤාතීන්ට සංග්‍රහ කිරීම, ආගමික කාර්යයන්ට උදවු කිරීම ආදී බලි හෙවත් යුතුකම් කළ හැක්කේ ධනයෙනි. මහමග සිගාකමින් , බස් නැවතුම් පලක නිදාගනිමින් ලබන සතුටක් කිසි ගිහියෙකුට නැත. උට්ඨාන වීර්යය නැති කමේ අකුසලය (කෞශල්‍යය නැති කම) විනා මෙය සසර කර්ම දෝෂයක් නොවේ. කුලී ගෙවල්වල හෝ බදු ගෙවල් වල ජීවත්වන්නෝ අත්ථි සුඛයේ වටිනාකම මැනවින් දනිති. වර්තමාන කොවිඩ් 19 වසංගතය තුළ තමාට කියා කිසිවක් නැත්තෝ විඳින වේදනාව සුළු පටු නොවේ.

තමන් පරිභොජනය කරමින් ද, පරහට දීමෙන් ද ගිහියා මෙලොව ප්‍රශංසා ලැබ පරලොව සුගති ගාමී වන බව බුදුරජාණන් වහන්සේ වදාළේ සම්භාවනීය ජීවිතය පරිත්‍යාගයෙන් යුක්ත බව පෙන්වා දීමටයි. ණය නොවී ජීවත් වීම අණණ සුඛයයි. මේ සැප තුනටම වඩා ශ්‍රේෂ්ඨ වන්නේ නිවැරැදිව ධාර්මික ව ධනය ඉපයීමයි. ජීවිතය දුක් ගොඩක් පමණක් නම් මෙවන් දේශනයක් තිබිය නොහැකිය. මේ සියලු සැප භික්ෂුවට ලැබෙනුයේ ආජීව පාරිශුද්ධි ශීලයෙන් සහ ඉන්ද්‍රිය සංවර සීලයෙනි.

බුදුරදුන් වදාළ සැපය කුමක් දැයි වටහා ගත හැකි දේශනයක් ධම්ම පදයේ නාග වග්ගයේ වෙයි. එහි සැප 12ක් කියවේ. විපතක දී උදවුවට මිතුරන් සිටීම, උට්ඨාන වීර්යයෙන් ලද දෙයකින් සතුටුවීම (තුට්ඨී), මුලු ජීවිත කාලයේ ම පින් කළෙමි’යි සිතීම, සියලු දුක් ප්‍රහාණය කිරීම, මාතෘ උපස්ථානය, පීතෘ උපස්ථානය, ශ්‍රමණ උපස්ථානය, අරහන්ත උපස්ථානය, ජීවිත කාලයම සිල් රැකීම, ශ්‍රද්ධාවත්වීම, ප්‍රඥාව ලැබීම ,පවු නොකිරිම යන දැ ජීවිතයේ ලබන සැප වෙයි.

ව්‍යගඝ්පජ්ජ සූත්‍රයේ දීඝජානු කෝලිය නම් කුලපුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් විමසූ කරුණුත් ඊට බුදුරදුන් දුන් පිළිතුරත් ගිහි ජීවිතයේ සැනසුම, සතුට සහ තෘප්තිය ලබා ගනීමට අදාළ වෙයි. ස්වාමීනි, අපි කාමභෝගී ගිහියෝ වෙමු. කම් සැප විඳීමින් අඹු දරු සම්බාධ සහිතව වසමු. කසී සළු, සඳුන් පරිභෝග කරමු. මල් ගඳ විළවුන් දරමු. රන් රිදී මසු කහවනු ඉවසමු. අපට මෙලොව හිත සුව පිණිසත්, පරලොව හිත සුව පිණිසත් දහමක් දෙසනු මැනවි. මේ ධනවත්, නැණවත් කුල පුත්‍රයාට බුදුරදුන් වදාළේ දෙලොව හිත සුව හෙවත් සන්තෝෂයෙන් ජීවිතය ගොඩ නඟා ගන්නා මගයි. උන්වහන්සේ කුල පුත්‍රය ඔය දුක් සහිත ගිහි ජීවිතය අතහැර සියලු වස්තු ගඟක පාකර දමා බ්‍රහ්මචර්යාව රකින්න මා සමග එක්වන්නැයි නොවදාළහ.

බුදු දහමට අනුව සියලු සත්වයෝ සැපයට කැමති ය. (සුඛ කාමානි භූතානි) පීඩාවට මරණයට භය ය. (සබ්බේ තසන්ති දණ්ඩස්ස-භායන්ති මච්චුනෝ) යමෙක් තමාට සැප ලැබීම සඳහා අනුන්ට පීඩා කෙරන්නේ නම් ඔහු පරලොව නසා ගනයි. සැප හා සතුට පරහිංසාවෙන් තොර විය යුතු ම ය. ඒ සඳහා ගිහියන්ට බුදුරදුන් වදාළ ශික්ෂණ ක්‍රමය පංච ශීල සමාදානයයි. පැවිදි ජීවිතයේ සතුට හා සැනසීම බ්‍රහ්මචර්යා මත පවත්නාක් මෙන් ගිහි ජීවිතයේ සතුට හා සැනසීම පවතින්නේ කාමේසු මිච්ඡාචාරයෙන් වෙන් වීමෙනි. මෙහි දක්වා ඇත්තේ කාමේසු හෙවත් කාමයන්හී යන්නයි. එය බහුවචනයි. කාමය යනු ඇසේ කාමය, කණේ කාමය, නාසයේ කාමය, දිවේ කාමය, කයේ කාමය හා මනසේ කාමය වශයෙන් මූලික ව සය වැදෑරුම් වෙයි. එය විග්‍රහ වන විට කෝටි ගණනක් කාමයන් සංඛ්‍යා කළ හැකියි. මෙම ආයතන මගින් මිනිසා ආශ්වාදයක් ලබයි. එම ආශ්වාදය වරදවා ලැබීම කාමේසු මිච්ඡාචාරයයි. එම අස්වාදය තුළින් කලකදී ඔහු විපරිණාමය දකියි.ඒ අනුව ආදීනව වටහා ගනියි . ඒ නිසා ආසාවන් තුනී කර ගැනීමත් ,ප්‍රහාණයත් සිදුකරයි.එය නිස්සරණයයි. ආර්ය මාර්ගය සැකසෙනුයේ මේ ලෙසයි.

ගිහි ජීවිතයේ සංවරය මෙන්ම සංයමය ලබනුයේ කාමයන් වරදවා නොපිළිපැදීමෙනි. තම සතුට හෝ පැවැත්ම සඳහා අනිත් සත්වයාට හිරිහැර කිරීම හෝ ජීවිතය නැසීම නම් වන ප්‍රාණ අතිපාතය නොකළ යුතු වෙයි. තම පැවැත්ම හෝ සතුට සඳහා නොදුන් දෙයක් නොගත යුතුවෙයි. තම සතුට හා පැවැත්ම සඳහා බොරු,කේලම් , පරුෂ, හිස් වචන නොකිය යුතු වෙයි. තම සතුට සඳහා සමාජ සම්මත ගිවිසුම් බිඳ දමමින් කටයුතු නොකළ යුතුවෙයි. සුරා පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය නොකළ යුතු වෙයි. ස්වකීය කුටුම්භ රක්ෂණය ගිහියා කළ යුත්තේ අනෙක් මිනිස් සාමාජිකයකුට මතු නොව සතෙකුට වුව බාධා නොකරමිනි. ගිහි සැපය පිළිබඳ දැනුමින් යුත් ගෘහස්ථ සාමාජිකයා දූ දරුවනට අධ්‍යාපනය ලබා දීමේ පටන් සියලු යුතුකම් ඉටු කළ යුත්තේ දැහැමි දර්ශනයකින් හා චර්යාවකින් යුක්තවයි.

කාම යන වචනය කෙනෙක් වරදවා වටහා ගත හැකි බැවින් එම වචනය ස්වාධීනව යෙදෙන අවස්ථාවල බුදු රජාණන් වහන්සේ කාමයේ අප්‍රසන්න බවම වදාළහ. කාමය කුණු මස් වැදැල්ලක්, ගිනි ගොඩක් වැනි උපමා යෙදුවේ එබැවිනි. අල්ප මාත්‍ර වශයෙන්වත් තමන් වහන්සේ කාමය වර්ණනා නොකරන බව උන්වහන්සේ වදාළහ. 

දුක පිළිබඳ ඉගැන්වීමෙන් පැහැදිලි වන්නේ යථාර්ථයයි. ඇති දේ ඇති සැටියෙන් කීමයි.

සහනසීලි මානසික පරිසරයකට සිව්බඹ විහරණ

 

සහනසීලි මානසික පරිසරයකට සිව්බඹ විහරණ



සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජීවිතය අර්ථවත් කර ගැනීම සඳහා මහෝපකාරී වන කරුණු සතරක් දේශනා කළහ. මෙත්තා, කරුණා, මුදිතා සහ උපෙක්ඛා යනු එම ධර්ම හතර යි. ඒවා සිව් බඹ විහරණ හෙවත් චතුර්විධ බ්‍රහ්ම විහරණ නාමයෙන් හැඳීන්වේ.

මෙම ගුණ හතර මහා බ්‍රහ්මයා තුළ ඇතැ යි යන පිළිගැනීමක් වේ. ඒ අනුව මහා බ්‍රහ්මයා සැම සත වෙත කිසිදු වෙනසක් නැතිව මෙම ගුණධර්ම හතර පතුරුවන්නෙකු වේ. එමෙන් ම මෙම ගුණ හතර යම්කිසිවකු කෙරෙහි පවතී ද හෙතෙමේ ද මහා බ්‍රහ්ම ගුණයෙන් යුතු අයකු වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මහා බ්‍රහ්මයා සතුව ඇතැයි සැලකෙන මෙම උතුම් ගුණධර්ම හතර ප්‍රත්‍යක්ෂ වශයෙන් ම ඇති බව දැනගත හැකි පදවි දෙකක් මේ ලෝකයේ ඇති බවයි, එනම් මව් පදවිය සහ පිය පදවිය යි. “බ්‍රහ්මාති මාතා පිතරො“ යන සිඟාලෝවාද සූත්‍රාගත පාඨයෙන් ඒ බව තහවුරු වෙයි. මෙම කරුණු හතර යම් සමාජයක ක්‍රියාත්මක වන්නේ ද සැබැවින්ම එම පරිසරයේ ජීවත්වන සියල්ලෝම මානසික සහනශීලිතාවය භුක්ති විඳීන්නෝ වෙති. අභිධර්මයට අනුව මෙත්තා, කරුණා සහ මුදිතා යන බ්‍රහ්ම විහරණ තුන අප්පමඤ්ඤා නමින් හැඳීන්වේ. “තිස්සො අප්පමඤ්ඤා මෙත්තා කරුණා මුදිතා” මේ කරුණුවල ඇති වටිනාකම ඉතා කෙටියෙන් විමසා බැලීම අපගේ අරමුණ වේ.

මෙත්තා

“මිත්තස්සභාවො මෙත්තා” ‘මෙත්තා’ යනු මිත්‍ර ස්වභාවයෙන් හෙවත් හිතවත් භාවයෙන් යුක්තව කටයුතු කිරීමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී කල්‍යාණ මිත්‍රයන් හතර දෙනෙකු දක්වා එම මිත්‍රයන් සතු ගුණධර්ම ද දේශනා කොට ඇත. අවංක මිතුරන් කිසි විටෙක තම මිතුරාට විපතක් කරදරයක් වේවායි නොපතන අතර තම මිතුරා ආරක්ෂා කරගනියි. අපගේ ඇසුරට ගත යුත්තේ එවැනි කල්‍යාණ මිත්‍රයන් පමණක් බවත් එවැනි තැනැත්තෙකු තමාගේ ඇසුරට නොලැබෙන්නේ නම් තනිව ජීවත්වීම උසස් බවත් බුදුන් වහන්සේ දේශනා කොට ඇත. ‘මෛත්‍රිය’ භාවනා කමටහනක් වශයෙන් ද වැඩිය හැකි ය. මෙත් වැඩිය යුතු ආකාරය ඉතා පැහැදිලි ව කරණීයමෙත්ත සූත්‍රයේ දක්වා ඇත. අංගුත්තර නිකායේ මෙත්තානිංස සූත්‍රයේ දී මෛත්‍රී භවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස එකොළහක් ඇති බව පෙන්වා දී ඇත. ඒ අනුව මෛත්‍රි සහගත සිතුවිලිවලින් යුක්තව මෙත්තා භාවනාව වඩන පුද්ගලයා,

සැප සේ නිඳාගනියි, සැප දේ අවදිවෙයි, නිදා සිටින විට පාපී නපුරු සිහින නොදකියි, මිනිසුන්ට ප්‍රිය වෙයි, අමනුෂ්‍යයින්ට ප්‍රිය වෙයි, දෙවිවරු හෙතෙම ආරක්ෂා කරයි, වස විෂ, අවි ආයුධ වලින් විපත් සිදුනොවෙයි, ඉක්මනින්ම සිතෙහි සමාධිය ඇති කරගත හැකි වෙයි, ශරීර වර්ණය පැහැපත් වෙයි, සිහි මුළා නො වී මරණයට පත්වෙයි, මේ ජීවිතයේ අරහත්වයට පත්වුණේ නැත්නම් බ්‍රහ්ම ලෝකයේ උපදියි.

මෛත්‍රී සහගත ව මිත්‍රස්වභාවයෙන් ජීවත් වන තැනැත්තා තමාටත් සමාජයටත් හිතැති පුද්ගලයෙකු වේ. එවන් පුද්ගලයන් ජීවත්වන සමාජය පතිරූපදේසවාස වෙයි.

කරුණා 

“පරදුක්ඛෙ සති සාධූනං කම්පනං හදයඛෙදං කරොතීති වා කරුණා” අනුන්ගේ දුකේ දී සත්පුරුෂයන්ගේ හදවතේ ඛේදයක්, කම්පනයක් ඇතිවන්නේ කරුණාව නිසා ය. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාකරුණාවේ ප්‍රතිමූර්තියය යි.

උන්වහන්සේ සම්මා සම්බුදුවරයකු වශයෙන් සෑම දිනක ම හිමිදිරි උදෑසන අද මගෙන් සිදුවිය යුතු සේවය කුමක් ද? අද දින මම කාහට නම් පිහිට වන්නේ ද, අද මම දුකෙන් සිටින්නෙකු කෙසේ නිදුක් කරන්නෙම්ද? විපතට පත්ව සිටින්නෙකු කෙසේ දුකෙන් ගලවා ගන්නෙම් ද? යනාදී වශයෙන් බුදුරජාණන් වහන්සේ සැමදාම අලුයම නැගිට මහා කරුණා සමාපත්තියට සම වැද ලෝක සත්ත්වයා දෙස බලති. සත්පුරුෂයන්ගේ හදවතේ ඇතිවන කරුණාවේ ස්වභාවය වන්නේ දුක්ඛිත සත්වයන් කෙරෙහි කම්පාවක් ඇතිවී එය නොඉවසා එම දුකින් පීඩාවට පත්වූවන් දුකෙන් මිදවීමට ක්‍රියා කිරීම යි. කරුණාව සැම සත වෙත එක හා සමාන ව අප්‍රමාණ ව වැඩිය යුතු දෙයක් වන අතර මෙලොව ජීවත්වන බොහෝ දෙනාගේ කරුණාව එසේ නොවේ. එය එකිනෙකාට අනුව වෙනස් වේ. එහෙත් බුදුරජාණන් වහන්සේගේ හදවත සෑම මොහොතක ම නිරතුරුව ම කරුණාවෙන් සිසිල් ව තිබුණි. ඉතා දිළිදු දුගී මගී යාචකයාගේ පටන් රජමැදුරේ උසස් කුලවතුන්ට පවා උන් වහන්සේගේ කරුණාව එක හා සමාන විය.

මුදිතා

තමන් මේ ලෝකයට බිහි කළ දරුවන් හැදී වැඩී ඉතා හොඳීන් ඉගෙන කියාගෙන, දැහැමින් ධනය හරි හම්බ කරගෙන, ඉඩකඩම් මිල දී ගෙන, ගෙවල් දොරවල් හදාගෙන, දූ දරුවන් හදා වඩාගෙන දරු සුරතල් බලමින් සමාජයේ යහපත් පුරවැසියන් වශයෙන් ජීවත්වන ආකාරය දකින දෙමාපියන්ගේ හදවතේ ඇති වන්නේ අප්‍රමාණ සතුටකි. එම සතුට මුදිතාවයි. දෙමාපියන්ගේ හදවතේ පමණක් නොව අන් අයගේ දියුණුව දැක, ඔවුන්ට ලැබෙන කීර්ති ප්‍රශංසා ගරු බුහුමන් ආදිය දැක ඒ කෙරෙහි කවරෙකුගේ හෝ හදවතේ සතුටක් ඇති වේ නම් ඒ සතුට මුදිතාවයි. ඉතා ධනවත් රූමත් කුලවත් අය දෙස බලා හිතේ සතුටක් ඇති කර ගැනීමට හැකි විය යුතු ය. එහෙත් යමෙකුගේ හදවතේ දැඩිව ඉරිසියා ගති පවතින්නේ නම් ඔහුගේ හදවතේ මුදිතාව පහළ නොවෙයි.

උපෙක්ඛා

ලාභ, අලාභ, යස, අයස. නින්දා, ප්‍රශංසා, සැප සහ දුක යන අට ලෝ දහමින් කම්පා නො වී ඉන්නට නම් උපේක්ෂාව වැඩිය යුතු ය. පුද්ගල ජීවිතය සාර්ථක ව පවත්වාගෙන යාමට පුරුදු පුහුණු කළ යුතු ඉතා වැදගත් ගුණ ධර්මයක් ලෙස උපේක්ෂාව සඳහන් කළ හැකි ය. මිනිසා තමාට එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවන දුක් කරදර හමුවේ දුකට සහ කම්පාවට පත්වන අතර, සැප සතුට ලැබෙන අවස්ථාවල දී අතිශය සතුටට ප්‍රීති ප්‍රමෝදයට පත් වෙයි. මේ ආකාරයට තම ජීවිතයට ළඟාවන දුක් කරදර හමුවේ පීඩාවට, සිත් වේදනාවට හෝ පත් නොවී සැප සතුට නිසා උද්දාමයට පත් නොවී මැදහත් සිතින් ඒ සියල්ල විඳ දරාගත හැකිනම් ඒ උපේක්ෂා විහරණයේ ප්‍රතිඵල වේ.

වර්තමානයේ ලෝකයේ ජීවත්වන අපි සියලූ දෙනාටම මුහුණ දීමට සිදු වී ඇත්තේ ද අට ලෝ දහමට අනුව සිදුවන පරිවර්තන තත්ත්වයකට ය. එය කිසිවෙකුට වැළැක්විය නොහැකිය. එපමණක් නොව එය කිසිවෙකුගේ කර්මයක ඵලයක් නිසා ඇති වූවක් ද නොවේ. ස්වභාව ධර්මයේ මූලික න්‍යායන් වන ඒ අට ලෝ දහම හමුවේ කම්පා නොවන සිතක් ඇති කර ගැනීමට, උපේක්ෂාව වැඩිය යුතු ම ය.

මෙහි දක්වන ලද කරුණු එකක් එකක් පාසාම පුද්ගල ජීවිතයේ සාර්ථකත්වයට මෙන්ම සමාජයේ

සාර්ථකත්වයට ද ඉවහල් වේ. ආත්මාර්ථකාමීත්වයෙන් තොරව මුළු මහත් සමාජය හා පරිසරය දෙස මෙත්තාසහගත කායකම්ම, මෙත්තා සහගත වචීකම්ම, මෙත්තා සහගත මනොකම්ම ප්‍රගූණ කරමින් කරුණාවෙන්, මුදිතාවෙන් හා උපේක්ෂාවෙන් ජීවත් වියු යුතු කාලය එළඹ ඇති බව සෑම දෙනාට පසක් වී ඇත. මේ උතුම් දිනයේ ඒ බව සිහිපත් කරදීමට කැමැත්තෙමි. ලෝකයේ ජීවත් වන සෑම දෙනාම බුදුන් වහන්සේ ලෝකයාට දෙසා වදාළ ධර්ම මාර්ග අනුගමනය කරමින් සිවු බඹ විහරණයෙන් යුක්තව කටයුතු කරන්නේ නම් සහනශීලි මානසික පරිසරයක් ගොඩ නගාගෙන ජීවත් වීමේ මංපෙත් සැම සත වෙත විවර වනු නො අනුමාන ය

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...