ප්‍රතිපදාවම උතුම්ය
සමාජයෙහි ජීවත්වන කෙනෙකු කෙරෙන් ප්‍රියමනාප ගතියක් ඇතිවීම එතරම් ලේසියෙන් සිදුවන පහසු කරුණක් නොවේ. දිනක් බුදුහු අසූ මහා ශ්‍රාවකයන් ප්‍රධාන පන්සියයක් භික්ෂූන් සමඟ රජගහනුවර පිඬුසිඟා වැඩියහ. ඒ වේලාවෙහි තරුණයන් කණ්ඩායමක් භාජනවල කැවුම් පුරවාගෙන මඟ ගමන් කරන අතර බුදුරදුන් ප්‍රධාන භික්ෂූන්ට නමස්කාර කරන්නට ද වූහ. එහි දී මහා කාශ්‍යප හිමියන් දුටු ගමන් ම ඔවුහු නමස්කාර කර “ඕනෑම තරමක් කැවුම් පිළිගන්න” යැයි ඉල්ලා සිටියහ. එවිට උන්වහන්‍සේ ඔය කැවුම් බුදුරදුන් ප්‍රධාන සංඝයාට ද පූජා කරන්න යැයි කළ ඉල්ලීම නිසා හැමදෙනා වහන්සේට ම කැවුම් ලබා ගැනීමට හැකි විය. එහි දී බුදුහු මහා කාශ්‍යප හිමියන් තුළ පැවති බොහෝ ගුණධර්ම නිසා අන් සෑම දෙනාගේ ම ප්‍රසාදය දිනාගත හැකි අන්දමට වැඩ වසන බවත්, ඒ හේතුවෙන් කැවුම් පූජා කළ බවත් පෙන්වා දුන්හ.
සමාජයේ ජීවත්වන සමහර අය අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීම අවශ්‍ය වූ විට නැති හිතවත්කම් පෙන්වති. විවිධ අවශ්‍යතා සම්පූර්ණ කරමින් මහත් පරිත්‍යාගශීලීන් සේ කටයුතු කරති. අනාගතේ කිසිදු අඩුවක් නැතිව සලකන බවට පොරොන්දු ද දෙති. මේවායින් වැඩි හරියක් තම අවශ්‍යතාව සපුරා ගැනීමට දෙන බොරු පොරොන්දු පමණි. මධ්‍යස්ථව සිතන විට පෙනී යන්නේ අන් අයගේ ප්‍රසාදය අවංකව දිනා ගැනීමට නම් උසස් ගුණධර්ම අනුගමනය කළ යුතු අන්දම බුදුරදුන් විසින් පෙන්වා දී ඇති බවයි. ධම්මපදට්ඨ කතාවේ ප්‍රිය වර්ගයෙහි ඒ සඳහා අවශ්‍ය ගුණධර්ම පහක් පිළිබඳව සඳහන් වේ.
ප්‍රියවීමට හේතුවන පළමු වන කරුණ නම් සීලවන්ත වීමයි. බොහෝ විස්තරාත්මකව ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වී ඇති සීලය ඉතා සැකෙවින් ගත් කල චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය යනුවෙන් කොටස් දෙකකින් හැඳීන්විය හැකිය.
විශුද්ධි මාර්ගයෙහි “පාණාතිපාතාදී හි වා විරමන්තස්ස වත්ත පටිවත්තං වා පුරෙන්තස්ස චේතනාදයො ධම්මා” යනුවෙන් සතුන් මැරීම ආදී සියලු පාප ක්‍රියාවලීන් ඉවත් විය යුතු බව සඳහන් කළ හැකිය. ගෘහ ජීවිතයක් ගත කරන අය විසින් අනුගමනය කරන පංචසීලයේ පටන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පරිශුද්ධි සීලය හා ප්‍රත්‍යය සන්නිශ්‍රිත සීලය යන සිව් පිරිසිදු සීලයන් ආරක්ෂා කිරීම චාරිත්‍ර සීලයට අයත් වෙයි. මවුපිය, වැඩිහිටි ආදීන්ට සැලකීම, වැඳුම් පිදුම් කිරීම, ගිලනුන්ට උපස්ථාන කිරීම, ගේ දොර ඇඳුම් පැළඳුම් ආදිය පිරිසිදු කිරීම චාරිත්‍ර සීලට අයත් වේ. එසේ ම මහ මඟක දුම්රිය හෝ බස්රියක ගමන් කිරීමේදීත් කාර්යාලයක හෝ වෙනත් වැඩපලක රැකියාවක යෙදීමේදීත් අනුන්ට කරදරයක් නොවන අන්දමට ක්‍රියා කිරීම මෙන් ම අනුන්ට උපකාර කිරීම හොඳ චාරිත්‍රයන් ය. ඈත කාලයේ සිට ලාංකික සමාජය ලෝකයේම ගෞරවයට පාත්‍ර වූයේ අනුගමනය කළ මෙවැනි හොඳ සිරිත් විරිත් නිසා බව අප වටහා ගත යුතු ය.
ජනප්‍රිය වීමට ඇති දෙවන ගුණය ප්‍රඥාවෙන් යුක්තව ක්‍රියා කිරීමයි. මෙය ලෞකික හා ලෝකෝත්තර යනුවෙන් දෙකොටසකට අයත් වෙයි. ගිහි පැවිදි සෑම දෙනාට ම තිබෙන වටිනාම වස්තුව ප්‍රඥාවයි. එහි අගය ආලවක සූත්‍රය ඇතුළු බොහෝ සූත්‍රවල පෙන්වා දී ඇත.
ධර්මයේ පිහිටා ක්‍රියා කිරීම කෙනෙක් ප්‍රියමනාපත්වයට පත්වීමට හේතුවන තවත් කරුණකි. මෙලොව වශයෙන් ලෙඩ දුක් වලින් තුරන්ව බාධක හිරිහැර මැඬ පවත්වාගෙන සෑහෙන කාලයක් ජීවත් වීමට ධර්මයේ පිහිටා සිටීම හේතු වෙයි. බොහෝ දෙනා දන්නා මහා ධර්මපාල ජාතකය මේ සඳහා නිදසුනකි. කොපමණ අවිවේකී ජීවිතයක් ගත කළත් හැකි සෑම අවස්ථාවක ම උතුම් සීලයේ පිහිටා සිට නිවන් අවබෝධ කරගැනීමේ ප්‍රතිපදාවක යෙදීම අතිශයින් වැදගත් ය.
“සච්‍චවේදී‘‘ යනුවෙන් දැක්වෙන සිව්වන කරුණින් පෙන්වා දී ඇත්තේ චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට ක්‍රියා කිරීමයි. එය සිතන තරම් ලේසි නොවිය හැකි ය. පළමුවන දුක්ඛ සත්‍යයෙන් ඉපදීම, ජරාව, ලෙඩවීම ආදිය දුක් සහිත බව අපට නිරන්තරයෙන් දැනගතහැකි වුවත්, එය ගැඹුරින් කල්පනා කොට හරිහැටි වටහා ගැනීමක් සිදු නොවේ. එසේ වීමට හේතුව දුක්ඛ සමුදය සත්‍යය තේරුම්ගෙන නිවන් අවබෝධ කර ගැනීමේ මාර්ගයෙහි නොයෙදීමයි. මෙසේ අතපසු කිරීම අප අපට ම කරගන්නා බලවත් පාඩුවකි. දුක් වූ සසර දිගු කලක් විසීමට ද එය හේතු වේ.
තමාට අයත් කාර්යයන් සිදු කිරීම ප්‍රිය මනාප භාවය ඇතිවීමට හේතුවන පස්වන කාරණයයි ලෞකික වශයෙන් බලන විට හැම කෙනෙකුට ම තමාගේ වයස අනුව ගෘහ ජීවිතයේ ගෙවන අවස්ථා අනුව කළ යුතු කාර්යයන් රාශියකි