14-5 සසුනෙහි නො ඇලුනු මහණෙක්
බබලන සඳහිරු - යම් පමණ තැන් හැසිරෙත්,
බබලත් ද දිග්හි - එ පමණ පෙදෙස පොළොවෙහි.
වසනා යම් පමණ - පාණහු වෙත් ද ඒ හැම,
මන්දා රජුගෙ දස්හූ - වෙත් ම ය (කම් සැපෙහි උස්)”
යි එය මෙසේ වදාරා අනතුරු ව තවත් ගාථා දෙකක් ද ගෙණ හැර පෑ සේක.
න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති,
අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො.
.
අපි දිබ්බෙසු කාමෙසු රතිං සො නාධිගච්ඡති,
තණ්හක්ඛයරතො හොති සම්මාසම්බුද්ධසාවකො.
කහවණු වැස්සෙන් ද වස්තුකාමයන්හි සෑහීමෙක් නැත්තේ ය. නුවණැත්තේ “කාමයෝ රසවිඳ ගැණුම් රහිතහ ය, දුක් ඇත්තාහ” යි මෙසේ දැන, දිව්‍යමය වූ කාමයන්හි ද ඇල්මට නො පැමිණයි. ඒ සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවක තෙමේ අර්‍හත්ඵලයෙහි හෝ නිවනෙහි ඇලුනේ වෙයි.
න කහාපණවස්සෙන = කහවණු වැස්සෙන් ද.
මෙහි පෙණෙන න යන්න දෙවන පාදයෙහි එන විජ්ජති යන්න හා එක් වේ. න යනු නිපාත මාත්‍රයෙකි.
රන් පස් මස්සක් රිදී පස් මස්සක් තඹ දස මස්සක් යන මේ විසි මස්ස එක් කොට එහි මටබව පිණිස වී ඇටක් පමණ ලෝහයත් බහා කලවම් කොට අකුරු හා යම් කිසි රූසටහනක් දක්වා කරන ලද්දේ කහවණු, යි කියත්. නිල් කහවණු නමින් ද එන්නේ මේ ය. “පංච මාසාසුවණ්ණස, තථා රජතස්ස, දසමාසා තම්බස්ස, එතෙ වීසති මිස්සෙත්‍වා මට්ටත්‍ථාය වීහිමත්තං ලොහං පක්ඛිපිත්‍වා අක්ඛරාණී ච හත්‍ථිපාදාදීනං අඤ්ඤතරං ච රූපං දස්සෙත්‍වා කතො නීලකහාපණො නාම” යනු විනයාර්‍ත්‍ථකථාවෙහි ආයේ ය.
‘කහාපණවස්සෙන’ යන මෙයින් මෙහි අදහස් කරණ ලද්දේ මන්‍ධාතු රාජකාලයෙහි වට සත් රුවන් වැස්ස ය. අහසින් වැටෙන දියදහර වස්සනම්.
තිත්ති කාමෙසු (න) විජ්ජති = වස්තුකාම ක්ලේශකාමයන්හි සෑහීමෙක් නැත.
සෑහීම තිත්තී නම්, ‘ විජ්ජති’ යන මෙහි අරුත් ගත යුත්තේ, මුලින් දැක්වූ න යන නිපාතයත් මෙයට එක් කිරීමෙනි.
අප්පස්සාදා දුඛා කාමා = කාමයෝ රසවිඳගැණුම් නැත්තෝ ය. දුක් ඇත්තෝ ය.
රසවිඳ ගැණුම අස්සාද නම්, මේ හා එක් ව සිටි, අප්ප ශබ්දය අභාවයෙහි වැටේ. ස්වල්පාර්‍ත්‍ථයෙහිලා ගත ද, විරෝධයෙක් නො වේ. අභාවාර්‍ත්‍ථයෙහිලා ගත්විට ‘රසවිඳ ගැණුම් නැතැ’ යි යන අරුත් යෙදෙයි. ස්වල්පාර්‍ත්‍ථයෙහිලා ගත්විට ‘මඳවූ රසවිඳගැණුම් ඇතැ’ යි යන අරුත් යෙදෙයි.
අප්පස්සාදා යන්නෙන් කාමා යන්න ගැණේ. අප්පස්සාදයෝ නම් කාමයෝ ය. කාමයෝ නම් අප්පස්සාදයෝ ය. මෙහි ‘කාමයෝ රසවිඳගැණුම් නැත්තාහ’ යි ගැණිම ම වඩා සුදුසු ය. ‘කාමයෝ මඳ වූ රසවිඳගැණුම් ඇත්තාහ’ යි ගණිතොත්, එය සිතැඟි අනුව ම වේ.
“යං ඛො පන භික්ඛවෙ! ඉමෙ පංචකාමගුණෙ පටිචව උප්පජ්ජති සුඛං සොමනස්සං අයං කාමානං අස්සාදො” යන දේශනාවෙන් පස්කම් ගුණ ඇසුරු කොට උපදනා, සැපයෙක් සොම්නසෙක් වේ ද, එය කාමයන්ගේ ආස්වාද ය. ඒ මේ ආස්වාදය “කො ච භික්ඛවෙ! කාමානං ආදිනවො? ඉධ භික්ඛවෙ කුල පුත්තො යෙන සිප්පට්ඨානෙන ජීවිකං කප්පෙති යදි මුද්දාය යදී ගණනාය” යන දේශනයෙන් වදාළ ලෙසින් දුක හා සසඳා බලත් දුක හා කිරා බලත් ඉතා ටිකක් ම, දියබිඳක් පමණ ම වේ. එහි දුක ම බොහෝ ය. සිවු සයුරෙහි දියකඳ සමානය. “අප්පසාදො දුක්ඛමෙත්‍ථ භිය්‍යො” යනු වදාළේ එහෙයිනි. කාමයන් කෙරෙහි ඇති දුක කෙබඳු දැ යි බුදුරජුන් වදාළ දුක්ඛක්ඛන්‍ධාදි සූත්‍ර ගෙණ බැලිය යුතු ය. එකකු විසින් සැපැ යි පිළිගන්නා වූ කාමවස්තුව අනෙකට දුකැ යි හැඟෙනුයේ කාමයන්ගේ සැපයක් ආස්වාදයක් නැති බැවින් ම ය. කාමයන් කෙරෙන් යමෙක් සැපයක් ආස්වාදයක් උදුරා ගණී නම් එය සිතින් මවා ගත් සිතින් උදුරා ගත් නැත්තා වූ ම සැපයෙකි. ආස්වාදයෙකි. අර්‍ත්‍ථ ශුන්‍ය චින්තාමාත්‍රයෙකි. [1]
ඉති විඤ්ඤාය පණ්ඩිතො = නුවණැත්තේ මෙසේ දැන.
“කාමයෝ රසවිඳගැණුම් නැත්තාහ, බොහෝ දුක් ඇත් තාහ” යන මේ දෙකරුණ දැනැ යි කියූ සේ යි. [2]
අපි දිබ්බෙසු කාමෙසු = දිව්‍යමය වූ කාමයන්හි ද.
දෙවියන් අත ඇති, දෙවියන් විදුනා කාමයෝ දිබ්බකාමයෝය. ‘ඔවුන් කෙරෙහි’ යන අරුත් ය. අපි යනු නිපාත යි.
රතිං සො නාධිගච්ඡති = ඇල්මට නො පැමිණෙයි.
සො යනු ‘සම්මාසම්බුද්ධසාවකො’ යනු බලා සිටියේ ය. නුවණැත්තේ වස්තුකාම ක්ලේශකාමයන්ගේ තතු හරිහැටි දත් විට මිනිස් කාමයන්හි තබා දිව්‍යකාමයන්හි ද ඇල්මක් නො කරන්නේ ය. ඇල්මට නො පැමිණෙන්නේ ය. දෙවඟනන් දුටු නන්ද තෙරණුවෝ උසස් රූසපුවෙන් යුත් මිනිස් කතුන්, දාගිය වැහරීගිය වැඳිරිමැහැල්ලන් සේ දුටහ. උන්වහන්සේට එසේ පෙණුනේ ද කාමවිරතියක් ඇති විටක ද නො වේ. කාමයෙහි තද ඇඳුමක් ඇතිවිටක ම ය. දෙවියන් අත ඇති කාමයන්ගේත් මිනිසුන් අත ඇති කාමයන්ගේත් අතර වූ පරතරය උස්පහත්කම හීනප්‍රණීත භාවය දැන ගැණුමට නන්ද තෙරුන්ගේ ඒ දැකීම ම පමණ වේ. මිනිස් කාමයන්ට වඩා හැම අතකින් ම උසස් ව සිටි දිව්‍යකාමයන් ගැණවත් කාමයන්හි දොස් දුටු නුවණැතේ නො සිතන්නේ ය. නො පතන්නේ ය. ඇලීම නො කරන්නේ ය. කාමයන්හි නො ද බැඳෙන්නේ ය.
ඇලිම රති නම්. “රමණං = රති” යනු අරුත් පැවසීම ය.
තණ්හක්ඛයරතො හොති = අර්‍හත්ඵලයෙහි හෝ නිවනෙහි ඇලුනේ වේ.
තණ්හක්ඛය යනු නිවනට නමෙකි. අර්‍හත්ඵලය ද කිය වේ. තෘෂ්ණාව මුළුමනින් සිඳලන හෙයින්, අර්‍හත්මාර්‍ගඥානය ‘තෘෂ්ණා ක්‍ෂය’ යි ගත ද, එ මගින් තෘෂ්ණාවගේ ක්‍ෂයවීම සමග ම අර්‍හත් ඵලයත් තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමට ආලම්බන ප්‍රත්‍යයය වන නිර්‍වාණයත් තෘෂ්ණාක්‍ෂය යි ගැණේ. “තණ්හානං ඛයහෙතුත්තා තණ්හා ඛීයති එත්‍ථාති = තණ්හක්ඛයො” තෘෂ්ණාවගේ ක්‍ෂය කිරීමට හේතු වන බැවින් මෙහි දී තෘෂ්ණාව නැසී යානු යි තෘෂ්ණාක්‍ෂය නම්. එහි ඇලුනේ තණ්හක්ඛයරත නම්.
සම්මාසම්බුද්ධසාවකො = සම්මා සම්බුදුරජුන්ගේ ශ්‍රාවක තෙමේ.
සම්මා සම්බුදුරජුන් විසින් දෙසූ දහම් ඇසීමෙන් සසුන්ගත යෝගාවචර මහණ තෙමේ ය ඒ. “සම්මා සම්බුද්ධෙන දෙසිතස්ස ධම්මස්ස සවණෙන ජාතො යොගාවචරො භික්ඛු” යනු අටුවාය. [3]
මන්‍ධාතුරජ, අහස දෙස බලා අප්පුඩි ගැසූ කල්හි, දොළොස් යොදුන් පමණ තන්හි මසක් පමණ වැස්සා වූ, සත්රුවන් වැස්සෙනුදු සෑහීමට නො පත් බැවින් කහවණු වැස්සකින් කාමයන්ගේ සෑහීමෙක් නො වන්නේ ය. එහෙයින් කාමයෝ සිහිනයක් සේ මඳ වූ ආස්වාද ඇත්තාහ. ආස්වාද නැත්තාහ යි සේ යි. බොහෝ දුක් ඇත්තාහ යි දැන නුවණැත්තේ මිනිස් කම්සැපෙහි තබා දෙවියන් පිළිබඳ පස්කම්සැපෙහි දු නො ඇලේ. කිසිලෙසකින් එය නො පතයි. එසේ නො ඇලෙන්නා වූ නො පතන්නා වූ ඒ සම්‍යක්සම්බුද්ධ ශ්‍රාවක තෙමේ අර්‍හත්ඵලයෙහි නිවනෙහි ඇලී වසන්නේ ය, යනු දන්නේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ මහණ තෙමේ සෝවන් ඵලයෙහි පිහිටියේ ය. පැමිණ සිටි පිරිසට දේශනාව වැඩ සහිත වූ ය.
න කහාපණවස්සෙන තිත්ති කාමෙසු විජ්ජති
අප්පස්සාදා දුඛා කාමා ඉති විඤ්ඤාය පණ්ඩිතො.
කහවණු වැස්සෙනුදු (අහස බලා අත පොළාපු කල්හි දොළොස් යොත්නක් තන්හි හිනක් පමණ වස්නා සත් රුවන් වැස්සෙනුදු) වස්තුකාම ක්ලේශකාමයෙහි තෘප්තියෙක් නො වේ. වස්තුකාමක්ලේශකාමයෝ (සිහිනෙන් පූ පැනක් මෙන්) අස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ. නුවණැති මහණ තෙම (කාමයෝ ආස්වාද රහිතයහ. බොහෝ දුක් ඇත්තාහ යි) මෙසේ දැන,
අපි දිබ්බෙසු කාමෙසු රතිං සො නාධිගච්ඡති
තණ්හක්ඛයරතො හොති සම්මාසම්බුද්ධසාවකො.
(මානුෂක කාමයන් තබා) දිව්‍ය වූ පංචකාමයෙහි ද ඒ නුවණැති මහණ තෙම ඇල්මකට නො පැමිණෙන්නේ ය. සම්‍යක්සම්බුද්ධශ්‍රාවක තෙම (තෘෂ්ණාවගේ ක්‍ෂයාන්තයෙහි උපන් හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) රහත්පලෙහි ද (තෘෂ්ණක්‍ෂයට නිමිති වූ හෙයින් තෘෂ්ණාක්‍ෂය නම් වූ) නිර්‍වාණයෙහි ද ඇලෙන්නේ ය. (එය පතමින් කැමැති වැ වසන්නේ ය)
No comments:
Post a Comment