Sunday, February 6, 2022

අහසෙහි ගිය භික්‍ෂූන් වහන්සේලා

 

අහසෙහි ගිය භික්‍ෂූන් වහන්සේලා 

හංසාදිච්චපථෙ යන්ති ආකාසෙ යන්ති ඉද්ධියා

නීයන්ති ධීරා ලොකම්හා ජිත්‍වා මාරං සවාහිනිං.

හංසයෝ (කර්‍මවිපාකජර්ධියෙන්) අහසෙහි යෙති. (යෝගීහු) භාවනාමයර්ධියෙන් අහසෙහි යෙති. (හේතු සම්පන්න කෘතාධිකාර ඇති) ප්‍රාඥයෝ සෙන් සහිත මරහු දිනා ලෝකයෙන් (සසරවටින්) නික්මෙන්නාහ (නිවන් යන්නාහ).

තිස්නමක් පමණ දිසා වැසි භික්‍ෂූන් වහන්සේලා දිනෙක බුදුරජුන් වෙත ගියහ. එවේලෙහි ආනන්ද ස්ථවිරයන් වහන්සේ වත් සපයන්නට ගියෙන් එහි හුන් ආගන්තුක භික්‍ෂූන් දැක “බුදුරජුන් මේ භික්‍ෂූන් හා පිළිසඳරකතා අවසන් කළ කල්හි වත් සපයන්නෙමි” යි දොර කොටුවෙහි සිට ගත්හ. බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් හා පිළිසඳර කොට කෙළවර ඔවුනට සිත් අලවන්නට සුදුසු සිහි කරන්නට සුදුසු ධර්‍මකථාවක් දෙසූ සේක. ඔවුහු එය අසා එ තැනදී ම රහත් ව අහසට නැග ගියහ. ආනන්ද ස්ථවිරයන් වහන්සේ “ඔවුන් බොහෝ කල් ගෙවති” යි සිතා බුදු රජුන් වෙත ගොස් “ස්වාමීනි! තිස් නමක් පමණ භික්‍ෂූහු මෙහි ආවෝ නො වෙත් ද, ඔවුහු කොහි දැ?” යි ඇසූහ. “ආනන්ද! ඔවුන් ගියහ” යි බුදුරජුන් වදාළ කල්හි “ස්වාමීනි! කිනම් මගෙකින් ගියාහු දැ?” යි නැවත ඇසූහ. “ආනන්ද! ඔවුහු ගියෝ අහසිනැ” යි වදාළ සේක. “ස්වාමීනි! ඒ භික්ෂූහු රහත්හු දැ?” යි ඇසූ විට “ඔව්! ආනන්ද! ඒ නමලා හැම දෙනම දැන් මගෙන් බණ අසා රහත් වූහ” යි වදාළ සේක. මේ වේලෙහි ම එපෙදෙසැ අහසෙහි බොහෝ ගණනක් හංසයන් පියාහඹා යනු දුටු බුදුරජානන් වහන්සේ “ආනන්ද! යමකු විසින් චතුර්විධ ඍද්ධිපාදයෝ මොනවට වඩනා ලද්දෝ නම් පුරුදු කරන ලද්දෝ නම් ඔවුනට හංසයන්ට මෙන් අහසින් යත හැකි ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක. 

හංසාදිච්චපථෙ යන්ති ආකාසෙ සන්ති ඉද්ධියා, 

නීයන්ති ධීරා ලොකම්හා ජෙත්‍වා මාරං සවාහිණින්ති. 

හංසයෝ අහසෙහි යෙති. (ඍද්ධිමත්හු) ඍද්ධියෙන් අහසෙහි යෙති. නුවණැත්තෝ සෙන් සහිත වූ මරු දිනා ලෝකයෙන් නික්ම යෙත්.

හංසාදිච්චපථෙ යන්ති = හංසයෝ අහසෙහි යෙත්. 

කර්‍මවිපාකජ ඍද්ධිය හංසයන්ගේ අහස්ගමනට කරුණු ය. පක්‍ෂීහු අහසැ යන්නෝ කර්‍මවිපාකජ ඍද්ධිය නිසාය. 

හංස නම් : පක්‍ෂිවිශේෂයෙකි. ශ්වේතගරුත් - චක්‍රාඞ්ග - මානසෞක - කලකණ්ඨ - සිතච්ඡද - සිතපක්‍ෂ - සරඃකාක - පුරුදංශක - ධවලපක්‍ෂ - මානසාලය යනාදී නම්වලින් ද මොවුහු හඳුන්වනු ලැබෙත්. මොවුනතර රාජහංස - කිලිටි පාතුඩු ඇති හංස - කළු පාතුඩු ඇති හංස විසින් භේද දන්නා ලැබේ. එහි රාජහංසයෝ ශ්‍රේෂ්ඨ වෙත්. 

ආදිච්චපථ නම්, අහස ය. ආදිච්ච යි සූර්‍ය්‍යයාහට නමෙකි. සූර්‍ය්‍යයාගේ මාර්‍ගය නුයි අහස ආදිච්චපථනම් වේ. ආදිච්ච යන්නෙහි විස්තර කථාව බ්‍රාහ්මණ වර්‍ගයෙහි “ දිවා තපති ආදිච්චො” යනාදි දේශනා පාඨය යටතේ එන්නී ය.

ඉද්ධියා ආකාසෙ යන්ති = ඍද්ධියෙන් අහසැ යෙත්. 

යම් කෙනකු විසින් ඡන්‍දිද්ධිපාද - විරියිද්ධිපාද - චිත්තිද්ධිපාද - වීමංසිද්ධිපාදයෝ වඩනා ලද්දෝ නම් ඔවුහු ඒ ඍද්ධිපාදබලයෙන් අහසෙහි යෙත්. 

“ඉජ්ඣනං = ඉද්ධි” කැමැත්ත සිදු කොට ගැනීම ඍද්ධි නම්. යමක්හුගේ වැඩීම ඉතිර පැතිර ගිය ඵලලාභය ‘ඍද්ධි’ යි මේ අනුව කිය හැකි ය. 

“ඉජ්ඣති අභිප්පෙතඵලං පසවති එතායාති = ඉද්ධි” යම් ශක්තියෙකින් තම තමන් බලාපොරොත්තු වන ඵලය සැපයේ නම් ඒ ශක්තිය ඍද්ධි නමැයි මේ විග්‍රහය අනුව කියයුතු ය. යුක්තියට අනුකූල වූ ව්‍යාපාරය උපායසම්පත්තිය ඍද්ධි යි කීයේ ය. එහිලා “උපායසම්ප්‍රදායෙතං අධිවචනං” යනු දන්නේ ය. 

“අයං ඛො චිත්තො ගහපති සීලවා කල්‍යාණධම්මො සචෙ පණිදහිස්සති අනාගතමද්ධානං රාජා අස්ස චක්කවත්තීති, ඉජ්ඣිස්සති සීලවතො චේතොපණිධි විසුද්ධත්තා” සිල්වත් බව හා කලණදහම් ඇතිබවැයි කියූ උපායසම්පත්තිය ඍද්ධි යි. මෙයින් පැහැදිලි වේ. “මේ චිත්තගහපති තෙමේ සිල්වත් ය, කලණදහම් ඇතියේ ය, ඉදින් මෙතෙමේ මම අනාගතයෙහි සක්විතිරජ වේවා යි පතන්නේ නම් ඔහුගේ පැතීම පිරිසිදු බැවින් සමෘද්ධ වන්නී ය” යනු අරුත් ය. චිත්තගහපති බලාපොරොත්තු වන සක්විතිරජබව සමෘද්ධ කර දෙන උපාය සම්පත්තිය වූ සිල්වත්බව හා කලණ දහම් ඇතිබව ඍද්ධි යි මෙයින් කියන ලද්දේ ය. 

“ඉජ්ඣන්ති සත්තා එතායාති = ඉද්ධා, ඉද්ධා වුද්ධා උක්කංසගතාති වුත්තං හොති” සත්ත්‍වයෝ යම් ශක්තියක් කරණ කොට සමෘද්ධියට උත්කර්‍ෂයට උසස්බවට යෙත් නම් එයට හේතුවන ශක්තිය ඒ ගුණබලය ඍද්ධි යි කීයේ ය. මේ විකල්පයෙහි කරණසාධන නිර්‍වචනය ම යෙදෙන්නේ ය. මෙයින් පෙනෙනුයේ ඒ ඒ දෙය තමන්ගේ අභිමතය ලෙස සිදුකට හැකි ශක්තිය ඍද්ධිය වන බවය. 

ආගමධර්‍මයෙහි ඒ ඍද්ධිය දශවිධැයි කියන ලදි. අධිට්ඨාන විකුබ්බන - මනොමය - ඤාණවිප්ඵාර - සමාධිවිප්ඵාර - අරියාකම්මවිපාකජ - පුඤ්ඤ - විජ්ජාමය - සම්මාපයොග විසින්. 

මිනිසුන් පිළිබඳ ලෞකික - ලෝකෝත්තර වූ යම් කිසි අර්‍ත්‍ථ ලාභයෙක් අර්‍ත්‍ථසිද්ධියෙක් වේ නම් ඒ හැම මෙහි ම ඇතුළත් ය. 

එහි “කතමා අධිට්ඨානා ඉද්ධි? ඉධ භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති එකොපි හුත්‍වා බහුධා හොති” යනාදි ලෙසින් පටිසම්භිදායෙහි ආවා අධිට්ඨානඉද්ධිය යි. ඉටීමෙන් හෙවත් තදින් පිහිටා සිටි සිතින් නිපන් ඍද්ධිය අධිට්ඨාන ඉද්ධි නම්. 

“අධිට්ඨානවසෙන නිපඵනත්තතා අධිට්ඨානා ඉද්ධි, බහුභාවාදිකස්ස අධිට්ඨහනං අධිට්ඨානං එතිස්සා අත්‍ථිති = අධිට්ඨානා” යනු ටීකා විවරණය යි. 

සූත්‍රයෙහි එන ඉධ යන්නෙන් ගැණෙනුයේ බුදුසසුන ය. “ ඉධාති ඉමස්සා දිට්ඨියා ඉමිස්සා ඛන්තියා ඉමිස්සා රුචියා ඉමස්මිං ආදායෙ ඉමස්මිං ධම්මෙ ඉමස්මිං විනයෙ ඉමස්මිං ධම්මවිනයෙ ඉමස්මිං පාවචනෙ ඉමස්මිං බ්‍රහ්මචරියෙ ඉමස්මිං සත්‍ථුසාසනෙ තෙන වුච්චති ඉධාති” යනු ඒ පැහැදිලි කළ අයුරු ය.

භික්ඛු යන්නෙන් ගැණෙනුයේ ශාසනික භික්‍ෂු තෙමේ ය. ඍද්ධිවිධකරණයට සුදුසු මහණෙක් බුදුසසුනෙන් පිටත් තැනක නො ලැබෙන්නේ ය. අනෙක් සසුනෙක ඍද්ධිවිධ කරණයට සුදුස්සෙක් නො ලැබෙන්නේ ය. “ සබ්බප්පකාර ඉද්ධිවිධකාර කස්ස අභාවං දිපෙති” යනු අටුවා ය. 

බුදුසසුනෙහි ලැබෙන ඒ මහණ තෙමේ ද සාමාන්‍ය මහණක් නො වේ. හේ පුහුදුන් වූයේ නමුත් මුළුමනින් කෙලෙස් නො නැසුයේ නමුත් ශීලාදි ප්‍රතිපත්තියෙන් නො අඩුව පිරී සිටියේ ද සෝවන් වූයේ ද සෙදගැමි වූයේ ද අනගැමි වූයේ ද රහත්පලයට පැමිණියේ ද මෙහිලා පොහොසත් වේ. “භික්ඛුති පුථුජ්ජන කල්‍යාණකෙ වා හොති භික්ඛු, සෙඛොවා අරහං වා අකුප්ප ධම්මො” යනු දන්නේ ය. 

ඍද්ධීන් පිළිබඳ භුමි - පාද - පද - මූල ධර්‍මයන්ගෙන් යුක්ත වූ එහිලා නියමිත වූ තුදුස් අයුරෙන් හෝ පසළොස් අයුරෙන් සිත දැමූ ඡන්‍දා දී වූ එක එක අධිපති ධර්‍මයන්ට සමවැදීම් වසයෙන් හා ආවර්‍ජනාදිවශීභාවයන්ගේ වශයෙන් ද මොළොක් කළ කර්‍මයට සුදුසු කළ සිත් ඇති පුර්‍වයෝග සම්පත්තියෙන් ද යුත් මහණ තෙමේ ම ඍද්ධිවිධිකරණයෙහි පොහොසත් වේ. 

මේ මහණහු විසින් නන් වැදෑරුම් වූ ඍද්ධි කොට්ඨාශයන්ට පැමිණෙන්නට පෙර ප්‍රකෘතියෙන් එකකුව සිට ඍද්ධීන් පිළිබඳ භූමි - පාද - පද - මූලධර්‍මයන් එකකුත් නො පිරිහෙලා සම්පාදනය කටයුතු ය. එයින් පසු අභිඥාපාදක චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද ඉන් නැගිට සිය දෙනකු වනු කැමැත්තහු නම් “සියයෙක් වෙමි, සියයෙක් වෙමි” යි පිරියම් කටයුතු ය. එහි මැනැවින් පේවිය යුතු ය. නැවැතත් අභිඥාපාදක චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද ඉන් නැගී සිට නැවතත් පෙර කියූ සේ සිය දෙනකු වනු කැමැත්තහු නම් “සියයෙක් වෙමි” යි ද දහස් දෙනකු වනු කැමැත්තහු නම් “දහසෙක් වෙමි” යි ද ඉටිය යුතු ය. ඒ මේ ඉටීම සමග ඒ යෝගී මහණ තෙමේ සියයෙක් දහසෙක් වන්නේ ය. 

යම් ලෙසකින් තමන්ගේ ඒ ඉටීම ඵල සහිත නො වී නම් නැවැත නැවැතත් පළමු පරිදි සෘද්ධිය ලැබෙන තාක් ම පිරියම් කොට ඉටිය යුතු ය. එහි දී පළමු කොට බොහෝ දෙනෙක් වෙමි යි ආවර්‍ජනා කොට නුවණින් ඉටිය යුතු ය. ඒ මේ ආවර්‍ජනය කාමාවචර චිත්තයෙන් කෙරෙන්නේ ය. එය පරිකර්‍මය පිළිබඳ වේ. මේ යෝගී මහණහු විසින් අනතුරු ව ඒ පරිකර්‍මකාමාවචර චිත්තයන්ගේ අවසානයෙහි ද චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද ඉන් නැගිට නැවැතත් “බොහෝ දෙනෙක් වෙමි” යි ආවර්‍ජනා කළ යුතු ය. ඉන් පසු පහළ වන පරිකර්‍ම - උපචාර - අනුලෝම - ගෝත්‍රභූ යන පුර්‍වභාග චිත්තයන්ට අනතුරු ව උපදනා නිෂ්පාදනා විසින් අධිට්ඨානචිත්තයැ යි නම් කෙරෙන නුවණින් ඉටිය යුතු ය. ඒ අධිට්ඨානඥාණය සමග ම ඉටු පරිදි සියයෙක් හෝ දහසෙක් හෝ දසදහසෙක් හෝ වේ. මේ අධිට්ඨානචිත්තය කාමාවචර නො වේ. රූපාවචර ය. චතුර්‍ත්‍ථධ්‍යානය පිළිබඳ ය. 

එකොපි හුත්‍වා බහුධා හොති = එකෙක් ව ම බොහෝ දෙනකු පරිද්දෙන් වේ, යන මේ පෙළහරට චුල්ලපන්‍ථක ස්ථවිරයන් වහන්සේගේ සෘද්ධි ප්‍රතිලාභය දැක්විය හැකි ය. 

චුලලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ බුදු රජුන් ජීවකයන්ගේ දානය පිණිස වැඩම කළ කල්හි එක් ම අභිඥාචිත්තයෙන් තමන් වැනි ක්‍රියාත්මක භික්‍ෂු රූප දහසක් මවාගෙන වෙහෙර වැඩ හුන්හ. උන්වහන්සේ විසින් මැවුනු ඒ සියලු භික්ෂූහු හැමතින් චුල්ලපන්‍ථක ස්ථවිරයන් වහන්සේ වැනි වූහ. නිර්මිත භික්‍ෂූන්ගේ ඉඳීම් සිටීම් යෑම් ඊම් නිදීම් නැගිටීම් බිණීම් ඈ හැම පැවතුම් ද උන්වහන්සේ පැවතුම් වැනි ම විය. ඍද්ධිමත් තෙමේ යමක් කරයි නම්, නිර්මිත භික්‍ෂුහු ද එය එසේ ම කරත්. එසේ වන්නේ මෙසේ මෙසේ විය යුතුය යි නියම නො කොට මැවීම කළ බැවිනි. 

ඍද්ධිමත් තෙමේ යම් ලෙසකට යමකු මවනු කැමැත්තේ නම් ඒ ලෙසින් මවන්නේ ය. පැහැ ඇත්තන් කොට දිග හිස කෙස් ඇත්තන් කොට හිස අඩක් මුඩු කළවුන් කොට මුළුමනින් හිස මුඩු කළවුන් කොට බණ දෙසන්නන් කොට බණ අසන්නන් කොට බණ උගන්නන් කොට යන ඈලෙසින් නන් වෙස් ගන්වා තමාට කැමැති සේ මවන්නේ ය. ඔහු විසින් මෙයට උපාය වූ චතුර්‍ත්‍ථධ්‍යානයට සමවැද ඉන් නැගිට “මෙතෙක් දෙන මෙසේ වෙත්වා, මෙතෙක් දෙන මෙසේ වෙත්වා, මෙතෙක් දෙන ප්‍රථම වයසෙහි වෙත්වා, මෙතෙක් දෙන මද්ධ්‍යම වයසෙහි වෙත්වා, මෙතෙක් දෙන පශ්චිම වයසෙහි වෙත්වා” යන ඈලෙසින් පිරියම් කොට ආවර්‍ජනා කිරීමෙන් නැවතත් ධ්‍යනයට සමවැද ඉන් නැගිට අභිඥාචිත්තයෙන් ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම තමාගේ කැමැත්ත ලෙසින් මැවෙන්නේ ය. 

බහුධා පි හුත්‍වා එකොපි හොති = බොහෝ දෙනකුත් පරිද්දෙන් වී නැවැත එකෙක් ම වෙයි යන මේ පෙළහරට ද සාධක විසින් චුල්ලපන්‍ථක ස්ථවිර කථා වස්තුව දත යුතු ය. ඍද්ධිමත් භික්‍ෂුහු විසින් මේ පෙළහරෙහි බොහෝ දෙනෙක්ව නැවැත “එකෙක්ව ම සක්මන් කරමි, හදාරමි, ප්‍රශ්න අසමි, ප්‍රශ්න විසඳමි” යි මේ ඈලෙසින් සිතා පාදකධ්‍යානයට සමවැද ඉන් නැගිට “එකෙක් වෙමි” යි ආවර්‍ජනා කොට නැවැත ධ්‍යානයට සමවැද ඉන් නැගී සිට “එකෙක් වෙමි” යි ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම එසේ වන්නේ ය. එකෙක් වන්නේ ය. මෙසේ නො කරන්නේ පිරිසිඳ ගත් කාලයාගේ වසයෙන් තෙමේ ම එකෙක් වේ. 

ආවීභාවං කරොති = ආවීභාව නම්, ප්‍රකටභාවය යි. කිසිවකින් මුවහ නො වූ බව යි. එලි පෙහෙලිබව යි. එහෙයින් එලි පෙහෙලි බව කෙරෙයි යනු එහි අරුත් ය. 

මේ පෙළහර කරණු කැමැත්තේ අන්‍ධකාරය ආලෝකයට පෙරළයි. මුවහ කරණ ලද එලිපෙහෙලි කරයි. ඇස්හමු නො වූවහු ඇස් හමු කෙරෙයි. මෙතෙමේ යම් කිසිවකින් වැසුනා වූ හෝ ඉතා දුර සිටියා වූ හෝ කිසිවකු විසින් තෙමේ හෝ පරා හෝ යම් සේ දක්නා ලැබේ ද එ පරිද්දෙන් තමන් හෝ අන්හු හෝ ප්‍රකට කරණු කැමැත්තේ පාදකද්ධ්‍යානයෙන් නැගිට “මේ අන්‍ධකාරස්ථානය ආලෝකවත් වේවා” යි හෝ “මේ ඇස් හමු නො වූ තැන ඇස් හමු වේවා” යි හෝ “මේ වැසුනු තැන ප්‍රකට වේවා” යි හෝ පිරියම් කොට ආවර්‍ජනයෙන් පසු පෙර කියූ සේ ම නැවැත ධ්‍යානයට සමවැද එයින් නැගිට එසේ ඉටන්නේ ය. ඒ ඉටීම හා ම ඉටු පරිදි ම වන්නේ ය. අන්හු දුර සිටියහු ද දකිත්. තෙමේ දකිනු කැමැත්තේ නම් දකියි. 

මෙම සිරි ලක්දිව තළඟුරුවෙහෙර වැසිධම්මදින්න මහ තෙරණුවෝ තිස්ස මහ වෙහෙර සෑ මලුවෙහි වැඩහිඳ අපණ්ණක සූත්‍ර දේශනාව කරණ සේක් අත තුබූ තල්වැට යටිහුරු කළහ. එකෙණහි අවීචි මහා නිරය තෙක් එක් මිදුලක් සේ මුළුලොව පළට විය. නැවැත තල්වැට උඩුහුරු කළහ. එකෙණෙහි බඹ ලොව තෙක් එක් මිදුලෙක් සේ පෙණි ගියේ ය. මෙසේ උන් වහන්සේ නිරයත් දෙලොවත් පෙන්වා කුශලාකුශලකර්‍ම විපාකය දක්වමින් දහම් දෙසූහ. එහිදී බොහෝ දෙනෙක් ඒ ඒ මගපල පසක් කළහ. ආවීර්‍භාප්‍රාතිහාර්‍ය්‍යයෙහිලා මෙය සාධක විසින් දත යුතු ය. 

තිරොභාවං කරොති = කිසිවකින් මුවහ වූ බව යි. අප්‍රකට භාව යයි. එලිපෙහෙලි නො වූ බවයි. එහෙයින් නො එලි පෙහෙලි බව කෙරෙයි යනු එහි අරුත්ය. 

තිරොභාව නම් වූ පෙළහර කරණු කැමැත්තහු විසින් අන්‍ධකාරය මැවීම පිණිස නීල කසිණයට සමවැද ආලෝකය අන්‍ධකාරයට පෙරළිය යුතු ය. නො වැසුනු දැය වැසුනක් කළ යුතු ය. ඇසට හමු වූ දැය නො හමු වූ දැයක් කළ යුතු ය. මේ යෝගී තෙමේ නො මුවහ වූයේ හෝ නො වැසුනේ හෝ ලඟ සිටියේ හෝ නො දක්නා ලැබේ ද එපරිද්දෙන් තමන් හෝ අන්හු හෝ මුවහ කරනු කැමැත්තේ පාදකද්ධ්‍යානයෙන් නැගිට “මේ ආලෝකස්ථානය අන්‍ධකාරස්ථානයෙක් වේවා” යි හෝ “මේ නො වැසුනු තැන වැසේවා” යි හෝ “මේ ඇස් හමු වූයේ නො හමු වේවා” යි හෝ පිරියම් කොට ආවර්‍ජනා කිරීමෙන් පළමු කියූ සේ ඉටන්නේ ය. මේ ඉටීම හා ම ඉටු පරිදි වන්නේ ය. තෙමේත් නො දකිනු කැමැත්තේ නම් නො දකිනු ලැබේ. 

බුදුරජානන් වහන්සේ තමන් වෙත පැමිණි යසකුලපුත් ඔහුගේ පියාට නො පෙණෙන පරිදි මුවහ කළ සේක. එක් සිය විසි යොදුන් මග ගෙවා මහාකප්පින රජු ඉදිරියට වැඩම කොට ඔහු අනාගාමිඵලයෙහි හා ඇමැතියන් සෝතාපත්ති ඵලයෙහි ද පිහිටුවා ඔහු පසු පස ආ දහසක් ස්ත්‍රීන්ගෙන් පිරිවැරුණු අනෝජා දේවියට පිරිස් සහිත වූ රජු නො පෙණෙන සේ මුවහ කළ සේක. මිහිඳු මහරහතන් වහන්සේ ලක් දිවට වැඩම කළ දවසෙහි පිය තිස් රජුට තමන් හා එක්ව ආවුන් නො පෙනෙන සේ මුවහ කළ සේක. මේ හැම පෙළහර තිරෝභාව ප්‍රාතිහාර්‍ය්‍යයෝ ය. 

මුළුමනින් ප්‍රකට වූ ප්‍රාතිහාර්‍ය්‍යය ආවීහාව නමි. අප්‍රකට වූ ප්‍රාතිහාර්‍ය්‍යය තිරොභාව නමි. ප්‍රකට ප්‍රාතිහාර්‍ය්‍යයෙහි ඍද්ධිය හා ඍද්ධිමත් පුද්ගලයා පෙණෙන්නේය. යමාමාහපෙළහරින් ඒ දත හැකිය. අප්‍රකටප්‍රාතිහාර්‍ය්‍යයෙහි ඍද්ධිය පමණක් ම පෙණේ. ඍද්ධිමත් තෙමේ නො පෙණේ. මහක - බ්‍රහ්මනිමන්තනික සූත්‍රයන්ගෙන් ඒ පැහැදිලි වන්නේ ය. 

“තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති සෙය්‍යථාපි ආකාසෙ”බිත්තියෙන් පවුරෙන් පව්වෙන් පිටත තිරෝකුඩ්ඩ – තිරෝපාකාර - තිරෝපබ්බත නම්. බිත්තියෙන් පවුරෙන් පවෙන් පිටත නො ලැගෙමින් නො ගැටෙමින් නො හැපෙමින් අහසෙහි මෙන් ගමන් කෙරෙයි යනු එහි අරුත් ය. ඍද්ධි රහිත වූ මනුෂ්‍යයෝ කිසිවෙකින් නො ඇවුරුණු මුවහ නො වූ තැන්හි කිසිවක නො ගැටී නො හැපී සුවසේ යෙති. ඍද්ධිමත් පුද්ගල තෙමේ ද එසේ භිත්තිප්‍රාකාර පර්‍වත යන කිසිවක නො ගැටෙමින් අහසෙහි යන්නා සේ යෙයි. 

යෝගී තෙමේ ආකාස කසිණයට සමවැද ඉන් නැගිට බිත්තියක් හෝ පවුරක් හෝ පව්වක් හෝ ආවර්‍ජනා කොට යම් බිත්තියෙක යම් පවුරෙක යම් පව්වෙක ඇතුල් පැත්තේ සිට පිට පැත්තට යනු කැමැත්තේ නම්, ඒ බිත්ති ආදිය ආවර්‍ජනා කොට කරණලද පිරියම් ඇති ඒ යෝගීහු විසින් “ආකාශය වේවා” යි ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම ආකාශය වන්නේ ය. යට බස්නා කැමැත්තහුට හෝ උඩ නගිනා කැමැත්තහුට හෝ කුහරයෙක් වේ. විනිවිද සරසට යනු කැමැත්තහුට සිදුරෙක් වේ. යෝගී තෙමේ ඒ සිදුරෙහි නො ලැගෙමින් නො ගැටෙමින් අහසෙහි යන්නා සේ තමන් කැමැති සේ යන්නේ ය. 

“පඨවියාපි උම්මුජ්ජනිම්බුමුජ්ජං කරොති සෙය්‍යථාපි උදකෙ” පොළොවෙන් හෝ දියෙන් හෝ උඩට නැගීම උම්මුජ්ජ නම්, පොළොවෙහි හෝ දියෙහි හෝ කිඳා බැසීම නිමම්මුජ නම්. යෝගී තෙමේ දියෙහි මෙන් පොළොවෙහි ද නැගීම ගැලීම කෙරෙයි යනු අරුත් ය. 

මෙසේ කරණු කැමැති යෝගීහු විසින් ආපෝකසිණයට සමවැද ඉන් නැගිට “මෙතෙක් තැන පොළොව දියකඳක් වේවා” යි පිරිසිඳ පිරියම් කොට ආවර්‍ජනා කිරීමෙන් පසු පෙර කියූ සේ ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම තමා පිරිසිඳ ගත් තැන පොළොව දියබවට යන්නේ ය. යෝගී තෙමේ එහි මතු වන්නේ ය. කිඳෙන්නේ ය. මතුවීම හා කිඳාබැසීම කරන්නේ ය. ඍද්ධි රහිත වූ මනුෂ්‍යයෝ යම් සේ ස්වභාවයෙන් දියෙහි නැගීම කිඳීම කෙරෙත් ද, එමෙන් ඍද්ධි ඇත්තේ පොළොවෙහි නැගීම කිඳීම කරන්නේ ය. මෙතෙමේ මෙසේ නැගීම කිඳීම පමණක් කරන්නේ නො වේ. නෑම බීම මුවසේදීම බඩුසේදිම සිවුරු සේදීම යනාදී වූ තමන් කැමැති හැම ක්‍රියාවක් ම කරන්නේ ය. 

පොළොවෙහි දිය පමණක් ම මවන්නේ ද නො වේ. ගිතෙල් තල තෙල් මීපැණි ඈ දිය බහුල වූ ද්‍රව්‍යයන් අතුරෙහි තමන් කැමැති දැය ක් මොහුට මැවිය හැකි ය. එහිලා “ඒ ඒ දැය මෙ පමණ මෙ පමණ වේවා” යි පරිකර්‍ම කටයුතු ය. ආවර්‍ජනා කටයුතු ය. නැවැත ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම ඉටූලෙසින් ඒ ඒ දැය නිපැදෙන්නේ ය. නගා ගත් ගිතෙල බඳුනෙහි බහන්නහුට ගිතෙල් ම වේ. තෙල් - මිපැණි, තෙල් - මීපැණි ම වේ. දිය දිය ම වේ. යෝගි තෙමේ දියෙහි තෙමෙනු කැමැත්තේ නම් තෙමෙයි. නො තෙමෙනු කැමැත්තේ නම් නො තෙමෙයි ඒ පොළොව දිය වනුයේ යෝගීහටම ය. අන්හට පොළොව ම ය මනුෂ්‍යයෝ එහි පයින් යෙත්. යානයෙන් යෙත්. වාහනයෙන් යෙත්. ගොවිතැන් කෙරෙත්. යම් ලෙසකින් යෝගී තෙමේ ඔවුනටත් “පොළොව දිය කඳෙක් වේවා” යි ඉටී නම් එසේ වන්නේ ය. පිරිසිඳ ගත් කාලය ගෙවී ගිය තැන පොළොව, පොළොව ම ය.

“උදකෙපි අභිජ්ජමානො ගච්ඡති සෙය්‍යථාපි පඨවියං” ජලයෙහි ද යට නො බැස යටට කිඳා නො ගොස් පොළොවෙහි මෙන් යෙයි යනු අරුත් ය. යම් දියකඳක් ඇක්මුණු කල්හි යටට කිඳා බසී නම්, ඒ දියකඳ භිජ්ජමානැයි කියනු ලැබේ. එසේ නො ද බිඳෙනුයේ අභිජ්ජමාන නම්. 

දියෙහි පොළොවෙහි මෙන් යනු කැමැති කල්හි යෝගීහු විසින් පඨවි කසිණයට සමවැද ඉන් නැගිට “මෙතෙක් තැන දියකඳ, පොළොව වේවා” යි පිරිසිඳ පිරියම් කොට ආවර්‍ජනා ද කොට පෙර කියූ සේ ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම පිරිසිඳ ගත් තැන දියකඳ පොළොව වන්නේ ය. යෝගී තෙමේ එහි යන්නේ ය. සෘද්ධි රහිත වූ මනුෂ්‍යයෝ යම් සේ ස්වභාවයෙන් නො බිඳෙන පොළොවෙහි යෙත් ද, එපරිද්දෙන් මේ යෝගී තෙමේත් නො බිඳෙන දියෙහි පොළොවෙහි මෙන් යෙයි. එ පමණක් ද නො වේ. එහි හෝ යම් ඉරියව්වක් කරණු කැමැත්තේ නම් එය කරන්නේ ය. ඔහුට එය කරණු හැකි ය. දියකඳ පොළොව කිරීම පමණක් ම කරණුයේ ද නො වේ. රන් රිදී මුතු මැණික් කඳු හෙල් රුක් ආදීන් අතුරෙහි යම් යම් දැයක් කරණු කැමැත්තේ නම් ඒ ඒ දැය යට කියූ සේ පරිකර්‍මාදිය කොට ඉටන්නේ ය. ඒ ඉටීම හා ම ඉටූලෙසින් ඒ ඒ දැය නිපැදෙන්නේ ය. ඒ දිය කඳ පොළොව වනු ඔහුට ම ය. අන්හට දිය කඳ ම වේ. මස් කැසුබු දියකා ආදී වූ සත්ත්‍වයෝ කැමැති සේ හැසිරෙත්. අනෙක් දෙන උදෙසා ද දියකඳ පොළොව කරණු කැමැත්තේ නම් ඔහුට එය කළ හැකි ය. 

“ ආකාසෙපි පල්ලඞ්කෙන කමති සෙය්‍යථාපි පක්ඛිසකුණො” පක්‍ෂියකු මෙන් අහසෙහි ද පලඟින් යෙයි යනු අරුත් ය. 

පක්‍ෂියකු මෙන් අහසෙහි යනු කැමැති යෝගීහු විසින් පළමු කොට පඨවි කසිණයට සමවැද ඉන් නැගිට හිඳගෙණ යනු කැමැත්තහු නම්, පළඟක් පමණ තැන වෙන් කොට පරිකර්‍මාදිය කිරීමෙන් කියූ පරිදි ඉටිය යුතු ය. නිදාගෙණ යනු කැමැත්තහු නම්, ඇඳක් පමණ තැන ද පයින් යනු කැමැත්තහු නම් මගක් පමණ තැන් දැ යි ඒ ඒ ක්‍රියාවනට සුදුසු පමණ තැන් වෙන්කොට ගෙණ පරිකර්‍මාදිය කටයුතු ය. “පොළොව වේවා” යි ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම එසේ වන්නේ ය. සෘධිරහිත වූ මනුෂ්‍යයෝ යම් සේ පොළොවෙහි යෙත් ද සිටිත් ද හිඳිත් ද හොවිත් ද, එපරිද්දෙන් මේ යෝගී තෙමේ ද අහසෙහි සත්මන් කරයි. සිටියි. හිදියි. හොවියි. 

අහසෙහි යනු කැමැත්තහු විසින් දිව ඇස ද උපදවා ගත යුතු ය. යායුතු මගෙහි නොයෙක් ගස් වැල් කඳු හෙල් ආදීහු වෙත්. නා ගුරුළු ආදීහු නො ඉවසීමෙන් ගස් ගල්ආදිය මවා පාන්නෝ ය. එබඳු උවදුරු දන්නා පිණිස මේ යෝගීහට දිව ඇස උපදවා ගැණුම් අවශ්‍යයෙන් ම විය යුතු ය. තව ද එලි මහන් තැන්හි බැසීම පිණිස දිව්‍යඤ්චක්‍ෂුරභිඥානය උපදවා ගත යුතු ය. 

“ඉමෙපි චන්‍දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා ආමසති පරාමසති පරමජ්ජති” මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු අතින් මෙසේ අතගාලයි, හාත්පසින් පහසයි, පිරිමදියි, යනු මෙහි අරුත් ය. 

අභිඥාපාදකද්ධ්‍යනයාගේ වශයෙන් මේ ඍද්ධිය නිපැදෙන්නී ය. මෙහි කසිණසමාපත්ති නියමයෙක් නැත්තේ ය සිත තම යටතට ගත් යෝගී තෙමේ සඳහිරු ගැණ ආවර්‍ජනා කොට අභිඥාඥානයෙන් “මේ සඳහිරු දෙදෙන අත්පසෙහි වෙත්වා” යි ඉටයි. ඒ ඉටීම හා ම ඔවුහු අත්පසෙහි වෙත්. එකල යෝගී තෙමේ හුන්නේ හෝ වැදහොත්තේ හෝ සඳ හිරු අතින් ගණියි. පිරිමදියි. ඍද්ධිරහිත වූ මනුෂ්‍යයෝ ස්වභාවයෙන් අත්පසෙහි වූ යම්කිසි වස්තුවක් අතින් ගණිත් ද පිරිමදිත් ද, එමෙන් මේ යෝගී තෙමේ ද අත්පසෙහි වූ සඳ හිරු අතින් ගණයි. පිරි මදියි. සඳහිරු වෙත පැමිණ අල්ලන්නට පහසන්නට පිරිමදින්නට කැමැත්තේ නම් එසේ කරයි. එහි ම හිඳ හෙව අල්ලන්නට පහසන්නට පිරිමදින්නට කැමැත්තේ නම් “අත්පසෙහි වෙත්වා” යි ඉටිය යුතු ය. ඒ ඉටීම් බලයෙන් නටුවෙන් ගැලවී වැටුනු තල්ගෙඩියක් සේ සඳහිරු ඒ යෝගියා වෙත පැමිණ අත් පසෙහි සිටිත්. එකල හේ සඳහිරු අල්ලයි. අත දිගු කොට හෝ අල්ලයි. අත දිගු කරණ කල්හි උපාදින්නක හස්තය නිසා අනුපාදින්නක හස්තය දිගු වන්නේ ය. තෘෂ්ණාදෘෂ්ටීන් විසින් “මාගේය” යි ලංකොට ගත් ප්‍රකෘතිහස්තය උපාදින්නක නම්. 

මෙසේ මේ යෝගී තෙමේ සඳහිරු පහසන්නේ මතු නො වේ. කැමැත්තේ නම් පාපුටුවක් කොට පා තබයි. හිඳිනා පුටුවක් කොට හිඳියි. ඇඳක් කොට නිදයි. හේත්තු ලෑල්ලක් කොට හේත්තු වෙයි. එකකු මෙසේ කරණ කල්හි අනෙකකුට ද මෙසේ කළ හැකි ය. නොයෙක් සිය දහස් ගණන් භික්‍ෂූන් මෙසේ කරන කල්හි ඔවුන් අතුරෙහි එක් එක් භික්‍ෂුවට ද එපරිද්දෙන් ම කළ හැකි ය. ඔවුන් හැමගේ සෘද්ධිය සමෘද්ධ වන්නී ය. සඳහිරුන්ගේ ගමනාගමනයෙහි ආලෝක කරණයෙහි වෙනසෙක් ද නැත. එ ද පෙරසේ ම වේ, එහි අඩු වැඩි බවෙක් නැත්තේ ය. තලිදහසෙක දිය පුරවා පෙලට තබා බලන කල්හි ඒ තලිදහසෙහි ම සඳමඬල දක්නා ලැබේ. සඳමඬලෙහි වෙනස් බවෙක් නො දක්නා ලැබේ. ප්‍රකෘති ස්වරූපයෙන් සිටියේ ය. මේ පෙළහර ද එබඳු ය. 

“ යාව බ්‍රහ්මලොකො කායෙන වසං වත්තෙති”කයින් බඹ ලොව තෙක් තම වශය පවත්වයි යන අරුත් ය. බඹලොව තම වශයෙහි පවත්වායි කියූ සේ ය. 

යෝගී තෙමේ බඹලොවට යනු කැමැත්තේ “දුරස්ථවස්තූහු සමීපස්ථ වෙත්වා” යි ද “සමීපථවස්තූහු දුරස්ථ වෙත්වා” යි ද “බොහෝ වූ වස්තූහු ස්වල්ප වෙත්වා” යි ද “ස්වල්පවස්තූහු බොහෝ වෙත්වා” යි ද ඉටා නම්, ඒ ඉටීම සමෘද්ධ වන්නේ ය. දිවැසින් දිවකණින් බ්‍රහ්මරූපය බ්‍රහ්මශබ්දය දකියි. අසයි. චේතෝපරියඤාණයෙන් සිත දැන ගණියි. 

දෘශ්‍යමාන ශරීරයෙන් බඹලොව යනු කැමැත්තේ නම් ශරීරයාගේ වශයෙන් සිත පෙරළන්නේ ය. ශරීරයාගේ වශයෙන් සිත ඉටන්නේ ය. මෙසේ ශරීර විසින් සිත පෙරළා ඉටා සුඛ සංඥාව හා ලහුසංඥාව උපදවා දෘශ්‍යමාන ශරීරයෙන් බඹලොව යන්නේ ය. අදෘශ්‍යමාන ශරීරයෙන් යනු කැමැත්තේ නම් චිත්තයාගේ වශයෙන් ශරීරය පෙරළා ඉටා සුඛසංඥා ලහුසංඥාවන්ට පැමිණ නො පෙණෙන සිරුරෙන් බඹලොව යන්නේ ය. 

මේ යෝගී තෙමේ බඹහු ඉදිරියෙහි මනෝමය අඞ්ගප්‍රත්‍යඞ්යෙන් පිරිපුන් නො පිරිහුනු ඉඳුරන් ඇති රුවක් මවන්නේ ය. එසේ මවාපා තෙමේ සක්මන් කරන්නේ වේ ද එ කල්හි මවාපෑ රූපය ද සක්මන් කරන්නේ ය. තෙමේ සිටී නම් හිදී නම් හොවී නම් දුවා නම් දිලියේ නම් බණ කියා නම් ප්‍රශ්න අසා නම් ප්‍රශ්න විසඳා නම් ඒ මැවුනු රූපය ද ඒ හැම ක්‍රියාවක් එසේ ම කරන්නේ ය. යෝගී තෙමේ බඹහු හා එක්ව සිටී නම් කතා බස් කෙරේ නම් සාකච්ඡා කෙරේ නම් මැවුනු රූපයත් ඒ හැම එසේ ම කරන්නේ ය. 

දුරස්ථවස්තූන් ලං කිරීමෙහි ලා පාදකද්ධ්‍යානයෙන් නැගිට “දුර පිහිටි දෙව්ලොව හෝ බඹලොව ලං වේවා” යි පිරියම් හා ආවර්‍ජනා කොට නැවැත එයට සමවැද අභිඥාඥානයෙන් ලං වේවා යි ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම සමීපස්ථ වන්නේ ය. සෙස්ස ද මෙසේ දත යුතුයි.

බුදුරජානන් වහන්සේ යමාමහ පෙළහර කොට දෙව්ලොව වඩනා සේක් යුගන්‍ධර පර්‍වතය හා මහාමෙරු පර්‍වතය ඍද්ධිබලයෙන් ලං කොට පොළොවෙන් එක් පියවරක් නගා යුගඳුරු පවුමතුයෙහි තබා, දෙවන පියවර මහමෙර මුදුනෙහි තබාලූ සේක.

මුගලන් මහ තෙරණුවෝ සැවැත්නුවරින් නික්මුනු දොළොස් යොදුන් තැන පැතිර සිටි මහපිරිස් බලා තිස් යොදුන් පමණ වූ සකස් නුවරට යන දිග මග හකුළුවා එකෙණෙහි ම ඒ පිරිස එනුවරට පමුණුවා ලූහ. 

මෙම සිරිලක්දිව චූලසමුද්‍ර මහතෙරණුවෝ දුර්භික්‍ෂ කාලයෙක එක් උදෑසනක තමන් වෙත පැමිණි සත් සියයක් පමණ වූ මහණ පිරිසක් දැක ලක්දිවෙන් පිඬු සපයා ගැණීම අපහසුය යි සලකා එකෙණෙහි ම ඒ මුළු පිරිස ගෙණ මහපොළොව හකුළුවා දඹදිව පැළලුප් නුවරට වැඩියහ. 

තිස්සගුත්ත මහතෙරණුවෝ සවස් වේලෙහි මුණ කට සෝදා සිවුරු පොරොවා ගෙණ “මහබෝ වඳින්නට ඕනෑ” යි සිතූහ. ඒ සිතූ කෙනෙහි ම පොළොව හැකිළ ගොස් දුර තුබූ මහබෝ මැඩ ලංව සිටියේ ය. 

සම්මා සම්බුදු රජානන් වහන්සේ තමන් වහන්සේගේ හා අංගුලිමාලයන්ගේ හා දුර නො වූ අතර දුර කළ සේක. 

මහසුප් මහතෙරණුවෝ බොහෝ වූ දැය ටික දැයක් කළ සේක. මහමුගලන් මහ තෙරණුවෝ ටික දැය බොහෝ වූ දැයක් කළ සේක. මහාඅනුලමහතෙරණුවෝ, වියලි බත් වළඳනා භික්‍ෂූන් දැක අසල තුබූ ගඟෙහි දිය ගිතෙල් කළ සේක. 

මෙසේ දුරස්ථවස්තුන් සමීප කෙළේ ද, සමීපස්ථවස්තුන් දුරස්ථ කෙළේ ද, බොහෝ වූ දැය ටික දැයක් කෙළේ ද, ටික දැය බොහෝ වූ දැයක් කෙළේ ද, මෙහි සිටියේ දිවැසින් රූප දකී ද, දිවකනින් ශබ්ද අසා ද, චේතෝපරියඤාණයෙන් සිත දැන ගනී ද, මෙහි සිටියේ බඔහු හා එක්ව සිටී ද, කතා කෙරේ ද සාකච්ඡා කෙරේ ද, පැණෙන්නා වූ හෝ නො ද පැණෙන්නා වූ හෝ සිරුරෙන් බඹ ලොවට යේ ද යන කරුණෙන් ද බඹලොව තම වශයෙහි පවත් වන්නේ නො වේ. “යම් හෙයකින් හෙතෙමේ ඒ බඹහු ඉදිරියෙහි රූපයක් මවාලයි” ද යන ඈ ලෙසින් කියු ඍද්ධිවිධියට පැමිණේ ද එපමණකින් කයින් බඹලොව වශයෙහි පවත් වන්නේ නම් වේ. මෙහි ලා කියූ සෙසු සියල්ල ඍද්ධිය පිළිබඳ පුර්‍වභාගය දැක්වීම් සඳහා කියන ලද ය.

“පකතිවණ්ණවිජහනවිකාරවසෙන පවත්තත්තා විකුබ්බනා ඉද්ධි නාම” තමාගේ ප්‍රකෘතිවේශය හැර අන්‍ය විකෘතිවේශයක් ගැණීම් වශයෙන් පවත්නා ඍද්ධිය විකුබ්බන ඉද්ධි නම්. “විවිධරූපනිම්මානසඞ්ඛ්‍යාතං කුබ්බනං එතිස්සා අත්‍ථිති = විකුබ්බනා” යනු එහි ලා ටීකාගත ය. විවිධරූප මවා පෑමය යි කියන විවිධ ක්‍රියා කිරීම මෝහට ඇත්තේ නු යි, විකුබ්බනා, යනු එහි අරුත් ය. එය පටිසම්භිදායෙහි “කතමා විකුබ්බනා ඉද්ධි? සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අභිභූනාම සාවකො බ්‍රහ්මලොකෙ ඨිතො සහස්සිලොකධාතුං සරෙන විඤ්ඤාපෙති” යි ඈ විසින් ආය. 

මේ කපින් උඩ එකුන් තිස්වන කපෙහි ලෝ පහළ වූ සිඛී සම්බුදු රජානන් වහන්සේට අභිභූනම් මහාශ්‍රාවකයෙක් වූයේ ය. බුදුරජානන් වහන්සේ ඒ ශ්‍රාවකයාත් ගෙණ එක් දවසෙක බඹලොවට වැඩි සේක. එහි මහා බ්‍රහ්ම තෙමේ උන් වහන්සේලා පිළිගෙණ අසුන් පණවා වඩා හිඳ වී ය. එවේලෙහි බුදුරජුගේ නියමයෙන් අභිභූ මහාස්ථවිරයන් වහන්සේ දෙසූ ධර්‍මදේශනාව ගැණ නො ද සතුටු වූ බඹහු “බුදුරජානන් වහන්සේ විසින් අපි දක්නා ලද්දමෝ ඉතා දිගු කලකිනි, එසේ ම අපිදු බුදුරජානන් වහන්සේ දුටුමෝ කලකිනි, උන් වහන්සේගෙන් බණ අසන්නට අපි බලාපොරොත්තු වීමු. එහෙත් මේ මහණ බණ දෙසා” යි සිතූහ. 

බුදුරජානන් වහන්සේ බඹුගේ මේ නො සතුට දැන “අභිභූ! තමුසේගේ බණට මේ බඹහු නො සතුටුව සිටිත්, එහෙයින් ඔවුන් වෙවුලුම් කන සේ දෙදරා යන ලෙසින් බණ කියව” යි වදාළ විට අභිභූ මහා ස්ථවිරයන් වහන්සේ නීල කසිණයට සමවැද එයින් නැගිට අභිඥාඥානයෙන් සක්වළ දහසෙක සියලු තැන්හි අන්‍ධකාරය පැතිර වූහ. “මේ අන්‍ධකාරය කිමැ” යි බැලුවනට එකෙණහි ම ආලෝක කසිණයට සමවැද එයින් නැගිට ආලෝකයක් පතුරුවා හැරියහ. එවේලෙහි “ආලෝකය කිමැ” යි බැලුවනට තමන් දක්වා ලූහ. එකල්හි සක්වළ දහසෙක දෙවිමිනිස්සු දොහොත් මුදුන් ගන්වා තෙරුන් වැඳ සිටියහ. උන්වහන්සේ එහිදී “මා කියන බණ මහාජන තෙමේ අසාවා” යි “ ආරභථ නික්ඛමථ” යනාදී ගාථා ඉදිරියෙහි තබා ධර්‍මදේශනා කළ සේක. 

නැවැත උන්වහන්සේ තමන්ගේ ප්‍රකෘතිරූපය හැරදමා වරින්වර ලදරු වෙසක් නාගවෙසක් ගුරුළු වෙසක් ගණිත්. අසුර රුවක් සක්රුවක් දරුවෙක් බඹරුවක් සීරුවක් වග රුවක් ඇත්රුවක් අස්රුවක් ගණිත්. හෙලක් වෙලක් කන්දක් මුහුදක් ඈ හාස්කම් මවා දක්වත්. මේ මෙසේ කරණු විකුර්‍වණර්ධිය යි. විකුර්‍වණධියේ හාස් කමින් මෙසේ කරත්. 

විකුර්‍වණර්ධියට පැමිණෙනු කැමැති යෝගීහු විසින් පඨවිකසිණාදීන් අතුරෙහි යම් කිසි අරමුණක් ගෙණ අභිඥාපාදකද්ධ්‍යානය උපදවා එයින් නැගිට ලදරුවෙස් ගැණුම් අතුරෙහි යම් වෙසක් ගනු කැමැත්තහු නම්, පාදකද්ධ්‍යානයෙන් නැඟිට තමන් පිළිබඳ ලදරුවෙසය ආවර්‍ජනා කොට පිරියම් අවසන්හි නැවැත එයට සමවැද එයින් නැගිට “මෙබඳු දරුවෙක් වෙමි” යි ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම දරුවෙක් වන්නේ ය. ඇත් අස් ඈ රූ මැවීමෙහිදී “ඇතෙක් වෙමි” යි නො ඉටා “ඇතෙක් වේ වා” යි ඉටිය යුතුය. අස් රූ ඈ මැවීමෙහි දු මෙම පිළි‍වෙළ ය. 

“සරීරබ්හන්තරෙ අඤ්ඤස්සෙව මනොමයස්ස සරීරස්ස නිප්ඵත්තිවසෙන පවත්තත්තා මනොමයා ඉද්ධි නාම” තමන් ගේ සිරුර තුළ සිතින් නිපන් අන් සිරුරක් මවා පෑම් විසින් පවත්නා සෘද්ධිය මනොමයඉද්ධි නම්. 

“කතමා මනොමයා ඉද්ධි? ඉධ භික්ඛු ඉමම්හා කායා අඤ්ඤං කායං අභිනිම්මිනාති රූපං මනොමයං සබ්බඞ්ග පච්චඞ්ග අහීනින්‍ද්‍රියං සෙය්‍යථාපි පුරිසො මුඤ්ජම්හා ඊසිකං පවාහෙය්‍ය” යන ඈ ලෙසින් ඕ පටිසම්භිදායෙහි ආවා ය. 

පුරුෂයෙක් මුදුතණගසකින් ගොබයක් යම්සේ ඇද ගණි ද, එසේ මේ ශාසනයෙහි යෝගී භික්‍ෂු තෙමේ මේ කයින් මනෝමය වූ සියලු අඟපසඟින් යුත් නො පිරිහුනු ඉඳුරන් ඇති අන් කයක් මවා යනු අරුත් ය. 

මනෝමය ඍද්ධියක් කරනු කැමැත්තහු විසින් පාදකද්ධ්‍යානයෙන් නැගී සිට පළමු කොට සියකය ගැණ ආවර්‍ජනා කිරීමෙන් යට කියූ සේ “සිදුරෙක් වේවා” යි ඉටිය යුතු ය. ඒ ඉටීම හා ම සිදුරෙක් වන්නේ ය. නැවැත ඒ සිදුර තුළ අන් කයක් ගැණ ආවර්‍ජනා කිරීමෙන් පිරියම් කොට යට කියූ සේ ම ඒ සිදුර තුළ “අන් කයෙක් වේවා” යි ඉටිය යුතු ය. එකල යෝගී තෙමේ මුදුතණ ගසින් ඇද ගන්නා ගොබක් සේ කොපුවෙන් ඇද ගන්නා කඩුවක් සේ හැවයෙන් එලියට ගන්නා නයකු සේ ඒ අන්කය ඇද ගන්නේ ය.

මුදු තණ ගසින් ගොබය ඇද ගත් පුරුෂයා හට “මේ මුදු තණගස ය, මේ එහි ගොබ ය, තණගස අනෙකක, ගොබය අනෙකෙක, තණගස ගොබය නො වේ, ගොබය තණ ගස නො වේ, එහෙත් මේ ගොබය තණගසින් ඇද ගන්නා ලදැ” යි අදහසක් වන්නා සේ මේ යෝගීහට ද “මේ සියකය ය, මේ අන්කය ය, සියකය අන්කය නො වේ, අන්කය සියකය නො වේ, සියකය අනෙකෙක, අන්කය අනෙකෙක, එහෙත් සියකයෙන් මේ අන්කය ඇද ගන්නා ලදැ” යි අදහස් වන්නේ ය. එලියට ඇද ගත් තණගොබය යම් සේ තණ ගස වැනි වේ ද එමෙන් මනෝමයරූපයත් යෝගියා වැනි ම වේ. 

සියවෙස් හැර ඒ හා කිසිසේත් සමාන නො වන ලදරු වෙස් නාවෙස් ඈ අන් වෙසක් ගැණීම විකුර්‍වණර්ද්ධිය යි. මනෝමයඍද්ධිය කරනු කැමැත්තේ පාදකද්ධ්‍යානයෙන් නැගිට ශරීරය ආවර්‍ජනා කොට “එය සිදුරු වේවා” යි ඉටන්නේ ය. එකල්හි ශරීරය සිදුරු වන්නේ ය. ඒ සිදුර තුළ තමන් වැනි අන් සිරුරක් වේවා” යි ඉටීම හා ම සිය සිරුර තුළ තමන් වැනි අන් සිරුරෙක් මැවෙන්නේ ය. මැවුනු ඒ සිරුර තමන් වැනි ය. මේ වනාහි විකුර්‍වණර්ද්ධි - මනෝමයර්ද්ධි දෙක්හි වෙනස ය. 

ගමනාර්‍ත්‍ථයෙන් සියලු සත්ත්‍වයන් කෙරෙහි සාධාරණ විසින් පැවැති ගො ශබ්දය තැල්ල - මොල්ලි ඈ අවයවයන්ගෙන් යුත් ගොපිණ්ඩයෙහි ම රැඪී ව පවත්නා සේ අභිඥාචිත්තයෙන් උපදවන්නා වූ සියලු රූපයන්ට සාධාරණ වූ මනෝමය ඉද්ධි යනු අභිඥාචිත්තයෙන් හටගන්නා වූ ආත්මභාවය කෙරෙහි ම රුඪී ව පවන්නේ යි දතයුතු ය. ඍද්ධියට පැමිණියහු හැම අතකින් සමාන වූ මේ මැවීමෙහි සිතින් නිපන්බව ම ප්‍රධාන බැවින් මනෝමය ඉද්ධි යි කියනු ලැබේ. මනෝමය ව්‍යවහාරය මේ ඍද්ධියෙහි ම අතිශයයෝග වන්නේ ය. අධිෂ්ඨාන - විකුර්‍වණර්ද්ධීන් කෙරෙහි ඒ ව්‍යවහාරය අතිශයවත් නො වන්නේ ය. 

“ඤාණප්පවත්තිතො පුබ්බේ වා පච්ඡා වා තඞ්ඛණෙ වා ඤාණානුභාවනිබ්බත්තො විසෙසො ඤාණවිප්ඵාරා ඉද්ධි නාම” පශ්චිම භවිකසත්ත්‍වයාහට රහත්මග නුවණ ඉපැද්මට පෙර විදසුන් වඩනා කල්හි හෝ ඊට පෙර පිළිසිඳ ගැණීමත් රහත්වීමත් අතර කාලයෙහි හෝ රහත්වීමෙන් පසු ස්කන්‍ධ පරිනිර්‍වාණය තෙක් ඇති මේ කාලයෙහි හෝ රහත්මග නුවණ ලබන්නා වූ මොහොතෙහි හෝ රහත්මග නුවණ නිසා නිපන් පැහිය යුතු කෙලෙසුන්ගේ පැහීම නම් වූ වැඩිය යුතු ධර්‍මයන්ගේ වැඩීම නම් වූ විශේෂත්‍වය ඤාණවිප්ඵාරඉද්ධි නම්. 

එය පටිසම්භිදායෙහි මෙසේ ආවා ය. “කතමාඤාණවිප්ඵාරා ඉද්ධි? අනිච්චානුපස්සනාය නිච්චසඤ්ඤාය ය පහාන‍ට්ඨො ඉජ්ඣතීති = ඤාණවිප්ඵාරඉද්ධි” යි. අනිත්‍යානුදර්‍ශනයෙන් නිත්‍ය සංඥාවගේ ප්‍රහාණය සමෘද්ධ වේ නු යි ඤාණවිප්ඵාරඉද්ධි නම් යනු එහි අරුත් ය.“ඤාණස්ස විප්ඵාරො වෙගායිතත්තං ඵතිස්ස අත්‍ථිති ඤාණවිප්ඵාරා” යනු ටිකා ය. 

සංස්කාර ධර්‍මයන් අනිත්‍ය වශයෙන් බලන බලවත් විදර්‍ශනාවෙන් පටන් ගත් විදර්‍ශනා භාවනා ඇත්තහුට විදර්‍ශනා කරණ කල්හි ද එයට පෙර හා පසු ද පොදු වශයෙන් ගෙන සංස්කාර ධර්‍ම ගැන සිහි කරණ කල්හි ද සංස්කාරධර්‍ම කෙරෙහි පැවැති නිත්‍යසංඥාව දුරු වීමෙන් ප්‍රහාණය සිද්ධ වන්නේ ය යි දත යුතු ය. එසේ ම සංසාරධර්‍ම දුක් වශයෙන් බලන්නහුට සංස්කාර ධර්‍ම කෙරෙහි පැවැති සුඛසංඥාව, අනාත්ම වශයෙන් බලන්නහුට ආත්මසංඥාව, නිර්‍වෙද වශයෙන් බලන්නහුට තෘෂ්ණාව, විරාග වශයෙන් බලන්නහුට රාගය, නිරෝධ වශයෙන් බලන්නහුට සමුදය, දුරුකිරීම් වශයෙන් බලන්නහුට ආදානය යන මේ සුඛසංඥාදිය දුරුවීමෙන් ප්‍රහාණය සිද්ධ වන්නී ය. රහත්මග නුවණින් සියලු කෙලෙස් නැසී යෑමෙන් ප්‍රහාණාර්‍ත්‍ථය මුදුන් පැමිණෙන්නේ ය. මේ කියු ඉෂ්ටඵල, විදර්‍ශනාඥානවේගයෙන් සිදුවන බැවින් ඒ මේ ඥානවේගය ඥාණවිප්ඵාරඉද්ධි කොටින් දතයුතු ය. 

බක්කුල මහාස්ථවිරයන් වහන්සේ මත්ස්‍යයාගේ කුසතුළ නීරෝග ව විසීම ඒ අත්බැව්හි උන්වහන්සේ විසින් ලැබිය යුතූ වූ අර්‍හන්මාර්‍ගඥානානුභාවයෙන් සිදු වූයේ ය. 

සඞ්කිච්ච මහාස්ථවිරයන් වහන්සේ මළා වූ මවගේ මළසිරුර සෑයෙහි තබා හුලින් ඇණ දවන කල්හි කිසි අනතුරක් නො ලැබ සෑමතුයෙහි නීරෝග ව හුන්හ. 

භූතපාල දරු නුවරින් පිටත සිංහව්‍යාඝ්‍රාදී චණ්ඩ සත්ත්‍වයන් ගෙන් හා යක්‍ෂ ප්‍රේත පිසාචාදි අමනුෂ්‍යයන්ගෙන් පිරී පැවැති තැන මදුරුවකුගේ දෂ්ට කිරීම් පමණකුත් නො ලැබ මුළු රැය සුවසේ විසී ය. මෙ හැම ඤාණවිප්ඵාරඉද්ධිහු ය. 

“සමාධිතො පුබ්බේ වා පච්ඡා වා තඞ්ඛණෙ වා සමථානුභාවනිබ්බත්තො විසෙසො සමාධිවිප්ඵාරා ඉද්ධි නාම” සමාධියෙන් පෙරටු ව හෝ එයින් පසු ව හෝ සමාපත්ති කාලයෙහි හෝ සමාධියෙන් හටගත් ගුණවිශේෂය සමාධිවිප්ඵාරාඉද්ධි නම්. 

එය පටිසම්භිදායෙහි “කතමා සමාධිවිප්ඵාරො ඉද්ධි? පඨමෙන ඣානෙන නීවරණානං පහානට්ඨො ඉජ්ඣතීති = සමාධි විප්ඵාරා ඉද්ධි”යි මෙසේ ආවා ය. ප්‍රථමද්ධ්‍යානයෙන් නීවරණයන්ගේ ප්‍රහාණාර්‍ත්‍ථය සමෘද්ධ වන්නේ නු යි සමාධිවිප්ඵාරා ඉද්ධි නම් යනු එහි අරුත් ය. 

“පඨමජ්ඣානාදිසමාධිතො පුබ්බේ උපචාරක්ඛණෙ පචඡා සමාපත්තියා චිණ්ණපරියන්තෙ තඞ්කණෙ සමාපත්තික්ඛණෙ තස්මිං තස්මිං ඣානෙ සමාධිතෙජෙන නිබ්බත්තො නීවරණවික්ඛම්භනවිතක්කාදිසමතික්කමසඤ්ඤාවෙදයිතනිරොධපරිස්සයසහනාදිකො විසෙසො” යනු ටීකාය. ප්‍රථමධ්‍යානා දී වූ සමාධියෙන් පූර්‍ව වූ වඩා බලගතු නො වූ උපචාර සමාධි කාලයෙහි හෝ ඒ ඒ ධ්‍යානයන් පස්වැදෑරුම් වශීභාවයගෙන් පුහුණු කිරීමට පසුව හෝ සමාපත්තිකාලයෙහි හෝ ප්‍රථමධ්‍යානාදී වූ ඒ ඒ ධ්‍යානයෙහි සමාධිතේජසින් හටගත් නීවරණ ඔබා ගැණීම විතක්කවිචාරාදී වූ ධ්‍යානාඞ්ග ක්‍රමයෙන් ඉක්මවාලීම නිරෝධසමාපත්තික්‍ෂණයෙහි උවදුරු ඉවසීම යනාදී වූ ගුණ විශේෂය සමාධි විෂ්ඵාරර්ද්ධිය යි මෙයින් කියන ලද්දේ ය. 

ප්‍රථමධ්‍යානයෙන් පෙර පසු ව හෝ එකෙණහි හෝ නීවරණ ද, ද්විතීයධ්‍යානයෙන් විතක්කවිචාර ද, තෘතීයද්ධ්‍යානයෙන් ප්‍රීතිය ද, චතුර්‍ත්‍ථධ්‍යානයෙන් සුඛදුඃඛ ද, ආකාසානඤ්චායතනයෙන් රූප - ප්‍රතිඝ - නානාත්මසංඥා ද, විඤ්ඤාණඤ්චායතනයෙන් ආකාසානඤ්චායතනසංඥා ද, ආකිඤ්චඤ්ඤායතනයෙන් විඤ්ඤාණඤ්චායතනසංඥා ද, නෙවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් ආකිඤ්චඤ්ඤායතනසංඥා ද දුරුව යෑමෙන් පහවීමෙන් ප්‍රහාණාර්‍ත්‍ථය සිදුවන්නේ ය. සමාධිවිෂ්ඵාරර්ද්ධිය යි කීයේ ද මේ ප්‍රහාණාර්‍ත්‍ථය සිද්ධිය යි දත යුතු ය. 

සැරියුත් මහතෙරණුවෝ මුගලන් මහතෙරණුන් හා කපොතකන්දරා වනසෙනසුනෙහි පසළොස්වක් පොහොය දිනෙක එලිමහන්හි සිඳහළ හිසකේ ඇතිව වැඩ හුන් හ. එවේලෙහි අහසෙහි යන එක්තරා යකෙක් අන් යකකු විසින් වළකනු ලබන්නේ ද උන්වහන්සේගේ හිසට තද පහරක් ගැසී ය. එ හඬ අහස ගෙරවිල්ලක් සේ මහත් ව පැතිර ගියේ ය. මහතෙරණුවෝ පහර දෙත් ම සමාධිගත වූහ. එයින් උන්වහන්සේට කිසි ද අපහසුවෙක් නො වී ය. 

නිරෝධසමාපත්තියට සමවැද හුන් සඤ්ජීවමහතෙරණුන් කලුරිය කළැයි සිතා ගෙරිහරක් බලමින් හැසුරුණු ගොපලු කොල්ලෝ තණ දර ගොමවැරටි එකතු කොට සිරුර මතුයෙහි සිරුර වසා ගොඩ ගසා ගිනි තැබූහ. එයින් උන්වහන්සේන්ගේ සිවුරෙහි නූල් පටක් පමණකුත් නො දැවුන්නේ ය. 

සිරිමා නම් වෙසඟන උත්තරා උපාසිකාවගේ හිසෙහි කකියමින් තුබු තෙල් ඇතිලිය වත් කළ වේලෙහි උපාසිකා තොමෝ මෙත් වැඩීමෙන් උපදවනු ලැබූ උපචාර සමාධියට සමවැදුනා ය. ඒ හුණුතෙල් සියල්ල නෙළුම්කොළයෙක වැටුනු දියත්තක් සේ පෙරැළී ගියේ ය. මෙ හැම සමාධිවිප්ඵාරඉද්ධීහු ය. 

“පටික්කුලාදිසු අපටික්කුවිහාරාදිකා පන අරියාඉද්ධි නාම” පිළිකුල් ඈ විසින් ගත යුතු වස්තුන්හි නො පිළිකුල් ඈ විසින් හැඟීම් ඇති ව විසීම් ආදිය අරියා ඉද්ධි නම්.

පටිසම්භිදායෙහි ඕ මෙසේ ආවා ය. “කතමා අරියා ඉද්ධි? ඉධ භික්ඛු සචෙ ආකඞ්ඛනි පටික්කුලෙ අප්පටික්කුලසඤ්ඤී විහරෙය්‍යන්ති අප්පටික්කුලසඤඤී තත්‍ථ විහරති” යනු ඈ ලෙසින්. මේ ශාසනයෙහි මහණ තෙමේ “පිළිකුල් අරමුණෙහි නො පිළිකුලැ යි යන සන් ඇති ව වසන්නෙමි” යි ඉදින් කැමැත්තේ නම් පිළිකුල් අරමුණෙහි නො පිළිකුලැයි සන් ඇති යේ වෙසෙයි, යනු එහි අරුත්. 

අනි‍ෂ්ටවස්තුන් සිත් නො ගන්නා වස්තූන් ප්‍රතිකූලය යි ගණිත්. තව ද මෙම ඍද්ධිය “චෙතොවසිප්පත්තානං අරියානංයෙව සම්භවතො” යි කී බැවින් චෙතොවශී‍ප්‍රාප්ත වූ ආර්‍ය්‍යයන්ගේ ම වශයෙන් සිද්ධ වන්නී ය. 

මේ සෘද්ධියෙන් යුක්ත වූ ක්‍ෂීණාශ්‍රවභික්‍ෂු තෙමේ මන නො ගන්නා වූ සත්ත්‍වාලම්බනයෙහි මෙත් සිත් පතුරුවමින් හෝ අසුචිමලමූත්‍රාදී වූ අරමුණෙහි ධාතු වශයෙන් මෙනෙහි කරමින් හෝ වසන්නේ ය. සත්ත්‍වාලම්බනයෙහි ධාතු වශයෙන් බැලීම නො වටනේ නො වේ. මෙ තෙමේ මන වඩන්නා වූ නෑ මිතුරු ඈ අරමුණෙහි අශුභමනසකාරය පැතිරවීමෙන් හෝ අනිත්‍ය විසින් සිත්හි කරමින් හෝ වසන්නේ ය. ඉටු අනිටු පිළිකුල් නො පිළිකුල් සියලු අරමුණහි මෙත්සිත් පතුරුවමින් හෝ ධාතුස්වාභාවය මෙනෙහි කරමින් හෝ වසන්නේ ය. ඇසින් රූප දැක කණින් ශබ්ද අසා නැහැයෙන් ගඳ සුවඳ අසා දිවෙන් රස විඳ කයින් පහස ඉවසා සිතින් අරමුණු දැන ගෘහනිශ්‍රිත වූ සොම්නසින් සතුටු ද නො වී දොම්නසට ද නො පැමිණ පිළිකුල් නො පිළිකුල් සියලු අරමුණුවල පිරිසුදු වූ පියවි බව නො හරණා වූ ඇස් කන් නාස් ඈ සදොර පවත්නා හෙයින් ෂඩඞ්ගොපේක්‍ෂා යි කියනු ලබන තත්‍රමද්ධ්‍යස්ථොපේක්‍ෂායෙන් යුක්ත වන්නේ පිළිකුල් නො පිළිකුල් අරමුණුවල පිළිකුල්බව හා නො පිළිකුල්බව හැර සිහි නුවණින් යෙදී වසන්නේ ය. 

“පක්ඛිආදීනං පන වෙහාසගමනාදිකා කම්මවිපාකජා ඉද්ධි නාම” පක්‍ෂි ආදීන්ගේ අහස් ගමන් ආදිය කම්මවිපාකජ ඉද්ධි නම්. 

පටිසම්භිදායෙහි ආවා මෙසේ ය. “කතමා කම්මවිපාකජා ඉද්ධි? සබ්බෙසං පක්ඛිනං සබ්බෙසං දෙවානං එකච්චානං මනුස්සානං එකච්චානං විනිපාතිකානං අයං කම්මවිපාකජා ඉද්ධි” යි. සියලු පක්‍ෂීන්ගේ සියලු දෙවියන්ගේ ඇතැම් මිනිසුන්ගේ ඇතැම් විනිපාතිකයන්ගේ අහස් ගමන් ආදිය කම්මවිපාකජඉද්ධිය යනු එහි අරුත්. 

පක්‍ෂීහු අභිඥාප්‍රාප්තද්ධ්‍යානයක් හෝ බලප්‍රාප්තවිදර්‍ශනාවක් හෝ නොමැති ව අහසින් යන්නෝ ය. දෙවියෝ ධ්‍යානයක් විදර්‍ශනාවක් නො මැති ව තමන් ලත් ආත්මභාවවිශේෂයෙන් අහසෙහි යත්. කල්පයෙහි මුල විසූ ඇතැම් මනුෂ්‍යයෝ පියඞ්කර මාතා උත්තරමාතා ඵුස්සමිත්තා ධම්මගුත්තා පුනබ්බසුමාතා යනාදී වූ කුසල් කම් බෙලෙන් ඉපිද අකුසල් කම්හි විපාක විසින් සැපයෙන් ඇද වැටුනු ඇතැම් විනිපාතිකයෝ ඇතැම් ප්‍රේතයෝ ධ්‍යාන විදර්‍ශනා කිසිත් නැති ව කර්‍ම විපාක විසින් අහසෙහි යෙත්. මේ හැම දෙන උපන්දා සිට අහසෙහි යන්නෝ ය. 

“වක්කවත්තිආදීනං වෙහාසගමනාදිකා පන පුඤ්ඤවතො ඉද්ධි” සක්විති ඈ මහසතුන්ගේ අහස් ගමන් ආදිය පුඤ්ඤිද්ධි නම්. “කතමා පුඤ්ඤවතො ඉද්ධි? රාජා චක්කවත්තී වෙහාසං ගච්ඡති සද්ධිං චතුරඞ්ඟිතියා සෙනාය අන්තමසො අස්සබන්‍ධගොබන්‍ධපුරි‍සෙ උපාදා ය”යි පටිසම්භිදායෙහි ආවා පුඤ්ඤවතො ඉද්ධිය යි. සක්විති රජතෙමේ සිවුරඟසෙන් සමග යටත් පිරිසෙයින් අස්ගොවු ගොපලු මෙහෙකරු ආදීන් පටන් සියලු රජ පිරිස් ගෙණ අහසින් යෙත් යනු එහි අරුත්. 

මෙහිලා උනුන් විසින් කරන ලද පින් මෝරා යෑමෙන් සමෘද්ධ වන්නා වූ බලවිශේෂය පුණ්‍යර්ද්ධිය යි කොටින් දත යුතු ය. සක්විති රජ තෙමේ සිවුරඟ සෙන් හා ඇත්ගාවු අස්ගොවු ගොපලු ලෝකුරු රන්කරු සොම්මරු ඈ මෙහෙකරුවන් ද ගෙණ අහසට නැග අහසින් ගොස් මහමෙර පැදකුණු කොට සියලු සක්වළ ඇවිද දවල් බතට රජගෙට ම පෙරළා එන්නේ ය. සක්විති රජු පිළිබඳ මේ බලමහිමය පෙර කළ කුශල කර්‍ම බලයෙන් නිපන්නේ ය. ජෝතියසිටුහට මහපොළොව පළා රුවන් පහයෙක් පැන නැගින. කප්රුක් සූසැටෙක් පහළ විය. ජටිලකසිටුහට අසූරියනක් උස රන් කන්දෙක් පහළ වූයේ ය. ඝොසක සිටු තෙමේ සත් වරක් මරණින් මිදුනේ ය. මෙණ්ඩක ඉස් සෝදා නා උඩ බැලු කල්හි අහසින් වැටෙන සුවඳරත්හැලින් ඔහුගේ දොළොස් දහස් පන්සියයක් පමණ වී කොටු අතුරු සිදුරු නැති ව පිරී යයි. ඔහු බිරිය වූ චන්‍දපදුමාවන් පිසූ හාල් නැළියෙහි බත් සියලු දඹදිව් වැස්සන්ට බෙදා දෙන ලද ද අවසන් නො වේ. ඔහු පුත් ධනඤ්ජය කහවණු දහසක් මල්ලෙහි ලා ඇති තාක් දඹදිව් වැසියනට බෙදා දුන්නේ ද ඒ නො නිමි. ඔහු ලේලී වූ සුමනාවන් වී ලාහයක් දඹදිව් වැස්සට බෙදූ ද ඒ ලාහයෙහි එක් ඇටයෙකුදු අඩු නො වී ය. මෙහෙකරු පුණ්ණක එක් නගුලක් ගෙණ සාන කල්හි වම්පස සතෙක, දකුණුපස සතෙකැ යි එකවිට ම හීවිටි මං තුදුසෙක් වන්නේ ය. මේ පුණ්‍යර්ද්ධිය යි. 

“විජ්ජාධරාදීනං වෙහාසගමනාදිකා පන විජ්ජාමයා ඉද්ධි” විද්‍යාධරාදීන්ගේ අහස් ගමන් ආදිය විජ්ජාමය ඉද්ධි නම්, අථර්‍වණ විද්‍යාවෙන් නිපන්නී විද්‍යාමයර්ද්ධිය යි ටීකාව කියයි. “අථබ්බණ විජ්ජාහිනිබ්බත්තා විජ්ජාමයා” යනු ඒ ටීකා ය. 

“කතමා විජ්ජාමයා ඉද්ධි? විජ්ජාධරා විජ්ජං පරිජපිත්‍වා වෙහාසං ගච්ඡන්ති ආකාසෙ අන්තලික්ඛෙ හත්‍ථිම්පි දස්සෙන්ති. අස්සම්පි දස්සෙන්ති. රථම්පි දස්සෙන්ති. පත්තිම්පි දස්සෙන්ති. විවිධම්පි සෙනාබ්‍යුහං දස්සෙන්ති. අයං විජ්ජාමයා ඉද්ධි” විද්‍යාධරයෝ මන්ත්‍ර විද්‍යාව පිරිවහා මතුරා අහසෙහි යෙත්. අහසෙහි ඇත් අස් රිය පාබල සෙන් දක්වත්. නන් වැදෑරුම් සෙන් කඳවුරු දක්වත්. මෙය විද්‍යාමයර්ද්ධිය යනු එහි අරුත්. 

විද්‍යාධරයෝ මන්ත්‍රයන්ට උපචාර දක්වා ගන්‍ධාරවිද්‍යාදී වූ මන්ත්‍ර විද්‍යාවන් මතුරා ජප කොට මන්ත්‍රානුභාවයෙන් අහසෙහි යන්නෝ ය. අහසෙහි හස්තිරූප අශ්වරූපාදී වූ නානාවිධරූප දක්වන්නෝ ය. සේනා කඳවුරු දක්වන්නෝ ය. මන්ත්‍රෟෂධාදීන්ගේ බලයෙන් තවත් නොයෙක් විස්මයකර වූ ක්‍රියා කරන්නෝ ය. 

“තෙන තෙන සම්මාපයොගෙන තස්ස තස්ස කම්මස්ස ඉජ්ඣනං තත්‍ථ තත්‍ථ සම්මාපයොගපච්චයා ඉජඣනට්ඨෙන ඉද්ධි”නීතියට එකඟ වූ නීතියට අවිරුද්ධ වූ සම්‍යක්ප්‍රයෝගයෙන් අභිමතාර්‍ත්‍ථ සමෘද්ධියෙහි පොහොසත් වූ යුක්තිපූර්‍වක ක්‍රියාවෙන් ඒ ඒ කටයුතු සඵලවීම සම්මාපයෝගපච්චය ඉද්ධි නම්. 

“කතං තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි? නෙක්ඛම්මෙන කාමච්ඡන්‍දස්ස පහානට්ඨො ඉජ්ඣතීති සම්මාපයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි. අබ්‍යාපාදෙන බ්‍යාපාදස්ස පහානට්ඨො ඉජ්ඣතීති තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි -පෙ- අරහත්ත මග්ගෙන සබ්බකිලෙසානං පහානට්ඨො ඉජ්ඣතීති තත්‍ථ තත්‍ථ සම්මාපයොග පච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි. එවං තත්‍ථ තත්‍ථ සම්මා පයොගපච්චයා ඉජ්ඣනට්ඨෙන ඉද්ධි” යි ඒ පටිසම්භිදායෙහි ආ ය. නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්‍දයාගේ පැහීම අව්‍යාපාදයෙන් ව්‍යාපාදයාගේ පැහීම අර්‍හන්මාර්‍ගයෙන් සකලක්ලේශයන්ගේ පැහීම න්‍යායානුගත ක්‍රියාවෙන් සමෘද්ධ වේ නුයි යන අරුත් විසින් ඒ ඒ ක්‍රියාවෙහි සම්‍යක් ප්‍රයෝගයෙන් වන අර්‍ත්‍ථසංසිද්ධිය සම්මාපයෝගපච්චය ඉද්ධි නම් වේ ය යනු එහි අරුත්. 

ප්‍රථමද්ධ්‍යානයෙන් කාමච්ඡන්‍දය දුරුවී යන්නා සේ ඉතිරි ධ්‍යානයන්ගෙන් ව්‍යපාදාදීහු දුරුව යන්නාහු ය. අර්‍හන්මාර්‍ගයෙන් සියලු කෙලෙස් කැඩී බිඳී වැටෙන්නේ ය. ශකටරවනා චක්‍රරචනාදිය කිරීමෙන් හෝ ගණිතගන්‍ධර්‍වාදි ශිල්පකර්‍මාන්ත ඉගෙණීමෙන් හෝ සැත්කම් ඈ වෙදකමක් ඉගෙණීමෙන් හෝ ත්‍රිවේදය ත්‍රිපිටකය ඉගෙණීමෙන් හෝ සීසෑම් වෙණඳාම් ඈ යම් කිසි ක්‍රියාවකින් හෝ වන්නා වූ ඵලසිද්ධිය මේ සම්‍යක් ප්‍රයෝගප්‍රත්‍යයර්ද්ධියෙහි ඇතුළත් ය. 

ඉතා සැකෙවින් කියූ මේ ඍද්ධීන් අතුරෙහි මෙහිලා අධිට්ඨානා ඉද්ධි - පුඤ්ඤවතො ඉද්ධි - විජ්ජමයාඉද්ධී යි ආ ඍද්ධි තුණ ප්‍රධාන විසින් ගනු ලැබේ. “ආකාසෙ යන්ති ඉද්ධියා” යන මෙහි ‘ඉද්ධියා’ යන පදයෙන් ගැනෙන්නේ මේ තෙවැදෑරුම් ඍද්ධිය යි. හංසයන්ගේ අහස්ගමන කර්‍මවිපාකජ බැවින් “හංසාදිච්චපථෙයන්ති” යන මෙහි නැගී සිටියා කර්‍මවිපාකජඍද්ධිය යි.

ඉද්ධිපාද නම් ඡන්‍ද - විරිය - චිත්ත - වීමංසා යන මේ සතර ය. ඍද්ධිප්‍රතිලාභයට කරුණු බැවින් ඉද්ධිපාද නම් වී. පාද නම් උපාය යි. සෘද්ධි ලැබීමෙහි උපායය ඉද්ධිපාදැ යි ගතයුතු ය. ඡන්‍ද - විරිය - චිත්ත - වීමංසා යන මේ එකින් එකින් ම සත්ත්‍වයන්ගේ වැඩීම උත්කර්‍ෂයට යෑම සිදු වන්නේ ද එහෙයින් මේ එක එක වෙන් වෙන් ව ඡන්‍දිද්ධිපාද - විරියිද්ධිපාද යන ඈ ලෙසින් ධර්‍මයෙහි ප්‍රසිද්ධියට ගියේ ය. 

විවේකජභූමි - පීතිසුඛභූමි - උපෙක්ඛාසුඛභූමි - අදුක්ඛමසුඛ භූමි යි සෘද්ධීන් පිළිබඳ භූමි සතරක් වේ. එහි විවේකජභූමි නම් ප්‍රථමද්ධ්‍යානයයි. පීතිසුඛභූමි නම් ද්විතීයද්ධ්‍යානය යි. උපෙක්ඛාසුඛ භූමි නම් තෘතීයද්ධ්‍යානය යි. අදුක්ඛමසුඛභූමි නම් චතුර්‍ත්‍ථද්ධ්‍යානය යි. වෙසෙසක් නො දක්වා ඍද්ධීන් පිළිබඳ භූමි සතරෙකැ යි කියන ලද්දේ ද මෙ කියු භූමීහු අධිට්ඨාන - විකුබ්බන මනොමය ඍද්ධීන් පිළිබඳ වෙත්ද සෙස්සන් පිළිබඳ නො වෙත්ද එහෙයිනි. 

මේ භූමීන් අතුරෙහි චතුර්‍ත්‍ථද්ධ්‍යානය ම ඍද්ධීන්ට භුමි වේ. එසේ වනුයේ චතුර්‍ත්‍ථධ්‍යනයෙහි පිහිටා ඍද්ධීන් ඉපදවිය යුතු බැවිනි. අන්‍ය වූ ප්‍රථමද්ධ්‍යානාදීහු තිදෙන ඍද්ධීන්ට සම්භාරභුමීහු වෙත්. යෝගී තෙමේ ඍද්ධියට පැමිණෙනුයේ තෘතීයද්ධ්‍යානයෙහි සුඛඵරණයෙන් ද ප්‍රථමද්විතීයද්ධ්‍යානයන්හි ප්‍රීතිසුඛඵරණයෙන් ද ධ්‍යානසුඛය හා එක් ව උපන් සුඛසංඥාවට හා ධ්‍යානසම්ප්‍රයුක්ත ලහුසංඥාවට පැමිණීමෙන් තමන් පිළිබඳ නාමකාය රූපකාය දෙක්හි ලහු මෘදු කර්‍මණ්‍යයන් ලැබීමෙනි. ප්‍රථම - ද්විතීය - තෘතීයද්ධ්‍යාන සම්භාරභුමි යි කීයේ එහෙයිනි. උපකරණභූමි යි කීසේ ය. 

යෝගී තෙමේ ම කියූ ධ්‍යාන තුණෙ හි අතිශයභාවයට ගිය ලහුභාවය හා එක් ව යෙදුනු ධ්‍යානසුඛය දිගට පවත්වනුයේ ලහුභාවය හා එක් ව සිටි සුඛසංඥාවට ඇතුළත් වූවකු සේ වන්නේ ය. ඒ මේ ලහුභාවය හෙවත් ඔහු පිළිබඳ නාමකාය රූපකාය දෙක්හි සැහැල්ලුබව ඍද්ධියෙන් තොරව ද යෝගියා අහසට නංවන පමණට පොහොසත් ලෙසින් පවත්නේ ය. ප්‍රථමාදී වූ ධ්‍යාන තුණට සමවැදීමෙන් සැපබවටත් සැහැල්ලු බවටත් ගිය නාමකාය රූපකාය ඇති ඒ යෝගියා තම සිත දමනය කළ කල්හි චතුර්‍ත්‍ථද්ධ්‍යානය, ඍද්ධි ප්‍රතිලාභය සුව සේ ලබන්නට කරුණු වන්නේ ය.

ඡන්‍ද - විරිය - චිත්ත - වීමංසා - ඡන්‍දසමාධි - විරියසමාධි - චිත්තසමාධි - විමංසාසමාධි යි ඍද්ධීන් පිළිබඳ පද අටෙක් වේ. යම් යෝගාවචරයෙක් ඡන්‍දය ඇසුරු කොට සමාධිය ලබා ද සමාධි ලාභයට ආශ්‍රය කර ගත් ඒ ඡන්‍දය සමාධි නම් නො වේ. ඒ සමාධිය ද ඡන්‍ද නම් නො වේ. ඡන්‍දය අනෙකෙක. සමාධිය අනෙකෙක. මෙයින් කියන ලද්දේ ඡන්‍දය එක් පදයක් බව හා සමාධිය එක් පදයක් බව ය. සෙසු තුණෙහි ක්‍රමය ද මෙසේ ය. ඡන්‍ද - වීරිය - චිත්ත - වීමංසා යන සතර, පද සතරක් කොට ද ඒ සතර හා යෙදුනු සිතේ එකඟඛවැ යි කියු සමාධි සතර, සතර පදයක් කොට ද ගතයුතු ය, “ තත්‍ථ ඡන්‍ද විරිය චිත්ත වීමංසා චත්තාරිපදානි, තංසම්පයුත්තා චත්තාරොසමාධි චත්තාරි පදානීති එවං අට්ඨපදානි” යනු අටුවා ය. මොවුන් කරණ කොට ඍද්ධියට පැමිණෙන බැවින් මොවුන් සෘද්ධි ප්‍රතිලාභය පිණිස පවත්නා බැවින් මේ පද අට, පද නම් වී ය. 

ධ්‍යානචිත්තයාගේ නො සැලීම සිදු කරණ ධර්‍ම, මූලපදය යි. කියන ලදී. ඒ සොළොසෙකි. අලස බැවින් නො නැමුනු වීර්‍ය්‍යයයෙන් තද බද වූ බැවින් නො සැඟවුනු සිත අලසබව නිමිති කොට නො සැලීම, උඩඟුබැවින් උඩඟු නො වූ සන්හුන් සිත උඩඟු බව නිමිති කොට නො සැලීම, රාග විසින් අරමුණහි ඇලීමෙන් නො නැමුනු සිත රාගය නිමිති කොට නො සැලීම, ක්‍රෝධවශයෙන් දූෂිත නො වූ සිත ව්‍යාපාදය නිමිති කොට නො සැලීම, මිසදිටු ඇසුරු නො කළ සිත මිසදිටුවෙන් නො සැලීම, ඡන්‍දරාග විසින් දුරස්ථ වූත් සමීපස්ථ වූත් අරමුණු හා නො හැනුනු සිත ඡන්‍ද රාගයෙන් නො සැලීම, විෂ්කම්භන විමුක්ති විසින් කාමරාගයෙන් මිදුනු සිත නොහොත් පංචවිධවිමුක්ති විසින් ඒ ඒ ප්‍රතිපක්‍ෂ ධර්‍මයන්ගෙන් මිදුනු සිත කාමරාගයෙන් නො සැලීම, විෂ්කම්භන විසින් කෙලෙසුන් කෙරෙන් මිදුනු සිත කෙලෙසුන්ගෙන් නො සැලීම, ස්වල්ප වූ ද කෙලෙසුන්ගෙන් නො සැලුනු සිත පැහැනු ඒ ඒ කෙලෙසුන්ගෙන් නො සැලීම, එකඟ බැවින් ඉතා සන්හුන් සිත නන් අරමුණෙහි වූ කෙලෙසුන්ගෙන් නො සැලීම, ශ්‍රද්ධායෙන් අරක් ගත් සිත අශ්‍රද්ධායෙන් නො සැලීම, වීර්‍ය්‍යයෙන් අරක් ගත් සිත ආලස්‍යයෙන් නො සැලීම, සමෘතියෙන් අරක් ගත් සිත ප්‍රමාදයෙන් නො සැලී‍ම, සමාධියෙන් අරක් ගත් සිත ඖද්ධත්‍යයෙන් නො සැලීම, ප්‍රඥායෙන් අරක් ගත් සිත අවිද්‍යායෙන් නො සැලීම, ප්‍රඥා විශ්දත්‍වයෙන් ආලෝකවත් වූ සිත අවිද්‍යාන්‍ධකාරයෙන් නො සැලීම යන මේ ය ඒ සොළොස. 

මෙහි මෙසේ ඉතා සැකෙවින් කියූ භූමි - පාද - පද - මූලධර්‍ම සම්පුර්‍ණ කොට සිටි යෝගී තෙමේ ම ඍද්ධිකරණයෙහි ඍද්ධිප්‍රතිලාභයෙහි සමර්‍ත්‍ථ වන්නේ ය යි දත යුතු ය. මෙහි විස්තර කථාව පටිසම්භිදාමග්ග - විසුද්ධිමග්ගයෙහි ආවා ය.

නීයන්ති ධීරා ලොකම්හා ජෙත්‍වා මාරං සවාහිණිං = නුවණැත්තෝ සෙන් සහිත වූ මරු දිනා ලෝකයෙන් නික්ම යෙත්. 

මෙහි ලෝකයෙනැ යි වදාළෝ සංසාරවට්ටයෙනි. නිවනට යන්නන් සංසාරවට්ටය මුළුමනින් හැරයා යුතු ය. එය මාර්‍ගඥාන ලාභයෙන් කළ යුතු වේ. එහෙයින් සසරින් නික්ම යන ධීරයෝ මාර්‍ගඥානවත්හු ය. ස්කන්‍ධධීරාදීන්ගේ වශයෙන් ඔවුන්ගේ භේදය ඉමහත් ය. “ ඵුසන්ති ධීරා නිබ්බානං” යන්නට කළ පරිකථාව බලනු. 

නිවනට යන්නහු විසින් සෙන් සහිත වූ මරු ද පැරද විය යුතු ය. මාරකථාව යට කියන ලදී. [1][2]

කාම - අරති - ඛුප්පිපාසා - තණ්හා - ථිනමිද්ධ - උත්තාස - විචිකිච්ඡා - මක්ඛ - ථම්භ - ලාභ - සිලෝකසක්කාර - යසස - අත්තුක්කංසන - පරවම්භන යන මේ ය මරසෙන්. 

“කාමා තෙ පඨමා සෙනා දුතියා අරති වුච්චති, 

තතියා ඛුප්පිපාසා තෙ චතුත්‍ථි තණ්හා පවුච්චති. 

පංචමී ථිනමිද්ධං තෙ ඡට්ඨා භිරූ පවුච්චති, 

සත්තමී විචිකිච්ඡා තෙ මක්ඛො ථම්භො ච අට්ඨමො. 

ලාභො සිලොකො සක්කාරො මිචඡා ලද්ධො ච යො යසො, 

යො චත්තානං සමුක්කංසෙ පරෙ ච අවජානති. 

එසා නමුචි තෙ සෙනා කණ්හස්සාභිප්පහාරිනී, 

න නං අසුරො ජිනාති ජෙත්‍වා න ලභතෙ සුඛං” 

පළමු කොට ක්ලේශකාමයෝ ගිහියන් වස්තුකාමයෙහි මූඪයන් කෙරෙත්. ඔවුන් එසේ මූඪයන් කොට මැඩලා පැවිදි වූවනට වෙනෙහි ඉතා දුර සෙනසුන්හි හෝ අන්‍ය වූ අධිකුශලධර්‍මයන්හි හෝ උකටලී බව උපදවත්. “පබ්බජිතෙන ඛො ආවුසො අභිරති දුක්කරා" යි කීයේ ඒ ය. ඉන් පසු ඔවුහු අනුන් අයත් දිවි පෙවෙත් ඇති බැවින් සා පිපාසායෙන් පෙළෙත්, එයින් පෙළෙන්නට වන් කල්හි තෘෂ්ණාව නන් දැය සෙවීමෙහි ලා ඔවුන් සිත විඩාවට පත් කරයි. විඩාවට පත් වූ කල්හි සිත කය දෙක්හි මැලිකම නැගී එයි. 

විශේෂගුණයක් නො ලබා වෙනෙහි දුර සෙනසුන්හි වසන කල්හි බියසුලු බව හට ගනියි. හැම අතකින් තැති ගෙණ කලක් විවේකරස නො විඳ වසන ඔහුට මේ නියම මග දැ යි බුදුදහම්හි සැක උපදී. කෙලෙසකින් හෝ එය දුරු කොට වසන කල්හි ස්වල්පමාත්‍ර වූ ගුණ විශේෂයක් ලැබීම කරණ කොට ඔවුන්ගේ සිතෙහි මානය මකුබව තදබව යන මේ අසත් ගුණයෝ පහළ වෙත්. ඒ ද යටපත් කොට වසන කල්හි එයට වැඩි තරම් වූ විශේෂාධිගමයක් නිසා ලාභකීර්තිසත්කාරයෝ උපදනාහ. ඒ ලාභාදියෙන් මුසපත් වූවෝ ධර්‍මප්‍රතිරූපක වූ ධර්‍මයට විරුද්ධ වූ කරුණු ගෙණ පාමින් මිථ්‍යායශස් ලබා එහි ගැලී ජාත්‍යාදියෙන් තමන් උසස් කොටත් පරා පහත් කොටත් දක්වත්. 

මේ දසවැදෑරුම් මරසෙන් මහණ බමුණන් මෙසේ නසන්නේය. පෙළෙන්නේ ය. කාය ජීවිතයන්හි ආශාරහිත වූ ධෛර්‍ය්‍යවත් පුරුෂයෝ ම මරසෙන් දිනීමෙහි මරසෙන් පැරදවීමෙහි සමර්‍ත්‍ථ වෙත්. ඔවුහු ම මගපල ලබා සසරින් එතෙර වෙත්. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවන් ඵලාදියට පැමිණියාහු ය

අපුණ්‍ය දාන පහක්

 


අපුණ්‍ය දාන පහක්


“පඤ්ච දානානි අපුඤ්ඤානි පුඤ්ඤ සම්මතානි ලොකස්මිං කතමානි පඤ්ච? මජ්ජ දානං, සමජ්ජ දානං, ඉත්ථි දානං, උසභ දානං, චිත්ත කම්ම දානංති” යනුවෙන් විනය පරිවාර පාලියෙහි අපුණ්‍ය දාන පසක් ඇති බව දක්වා තිබේ. මත් පැන් දීම ය, අනුන්ට බැලීමට නැටුම් පැවැත්වීම ය, පුරුෂයනට නො මනා ක්‍රියාවලට ස්ත්‍රින් දීම ය, දෙනුනට ගැබ් ගැන්වීමට ගොනුන් දීම ය, රාග නි:ශ්‍රිත චිත්‍රරූප දීම ය යන මේ පස අපුණ්‍ය දානයෝ ය.

දුන් අත්බැව්හි ම විපාක ලැබෙන දානය වස්තු සම්පත්තිය ය, ප්‍රත්‍ය සම්පත්තිය ය, චේතනා සම්පත්තියය, ගුණාතිරේක සම්පත්තිය ය යන චතුස් සම්පත්තියෙන් යුක්ත දානය, දුන් අත් බැව්හි ම විපාක දෙන්නේ ය. වස්තු සම්පත්තිය යනු ප්‍රතිග්‍රාහකයා අනාගාමි වූ හෝ රහත් වූ හෝ කෙනකු වීම ය. ප්‍රත්‍යය සම්පත්තිය යනු දාන වස්තුව ධර්මයෙන් ලද දෙයක් වීම ය. චේතනා සම්පත්තිය යනු දීමට පුර්වයෙහි හා දෙන කල්හි ද, ඉන් පසුව ද සෝමනස්ස සහගත ඤාණ සම්පයුක්ත කුසල චේතනා ඇති බව ය. ගුණාතිරේක සම්පත්තිය යනු ප්‍රතිග්‍රාහකයා එදින නිරෝධසමාපත්තියෙන් නැගී සිටියෙක් වීම ය. මේ චතුස් සම්පත්තිය ලැබිය හැක්කේ බුදු, පසේ බුදු ,මහ රහතන් වහන්සේලා හා ධ්‍යාන ලාභී අනාගාමීන් ඇති කාලවල දී ය. චතුස් සම්පත්තියෙන් යුක්ත කොට දන් දුන් කල්හි ඇතමකුට එදින ම විපාක ලැබේ. ඇතමකුට සත් දිනක් ඇතුළත ලැබේ. ඇතමකුට ඒ ජාතියේ දී යම් කිසි අවස්ථාවක ලැබේ.

චතුස්සම්පත්තියෙන් යුක්ත කොට මෙලොව ම විපාක ලැබෙන සැටියට දන් දීම පහසු කාර්යයක් නොවේ. අනාගාමීන් හා රහතුන් නො ලැබිය හැකි බැවින් මෙ කල එය නො කළ හැකි ය. දහස් ගණන් රහතන් වහන්සේ වැඩ විසූ අතීතයේ ද මෙලොව විපාක ලැබෙන සේ දන් දිය හැකි වූයේ ඉතා ම ටික දෙනකුට පමණකි. මෙකල දන් දෙන්නවුන්ට ද ඉහාත්ම භාවයේ ලැබෙන ආනිසංස සර්වාකාරයෙන් නැත්තේ ම නොවේ. දන් දීමෙන් මෙලොව දී ලැබෙන අනුසස් විචාළා වූ “සීහ සේනාපතියාට” බොහෝ දෙනාට ප්‍රිය වීමය, සත්පුරුෂයන් විසින් භජනය කරනු ලැබීම ය, කීර්තිය පැතිර යෑම ය, නිර්භීත ව පිරිස් මැදට යා හැකි බව ය යන ආනිසංස සතරක් මෙලොව ලැබෙන බව බුදුන් වහන්සේ වදාළ සේක. නිතර සැදැහැයෙන් දන් දෙන පින්වතුන්ට නිරෝගී බව, දීර්ඝායුෂ්ක බව, හදිස්සියෙන් ධනයෙන් නො පිරිහෙන බව, සතුරු උවදුරු මඳ බව යනාදි තවත් අනුසස් ලැබෙන්නේ ය. එය ග්‍රහයන් ගෙන් වන ඵලාපලයන් සේ අප්‍රකට ය. 

බෞද්ධයාගේ අත්පොත ඇසුරෙනි

සිත පිනායාමෙන් කය සංසිඳෙනවා

 


සිත පිනායාමෙන් කය සංසිඳෙනවා

මිළිඳු රජු සහ නාගසේන මහ රහතන් වහන්සේ සසරේ ප්‍රාර්ථනා මත මුණ ගැසී ධර්ම කතිකාවක යෙදුණේ ය. රජු සහ මහ රහතන් වහන්සේ විසින් රමණීය උපමා ඇසුරු කරමින් ගැඹුරු ධර්මයන් විස්තර කරන විට ඔබ කළයුත්තේ එහි අර්ථ වටහාගෙන දහම් කරුණු තේරුම් ගැනීමට උත්සුකවීමයි. ධර්ම මාර්ගය දියුණු කිරීම පිණිස අපට ප්‍රයෝජනවත් වන්නේ එය යි.

එකවර දෙදෙනෙක් ලෝකයෙහි ඉපදීම 

මිළිඳු රජු මෙසේ ද ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් මෙහි මැරෙනවා. බ්‍රහ්ම ලෝකයේ උපදිනවා.තව කෙනෙකුත් මෙහි මැරෙනවා. කාශ්මීරයේ උපදිනවා. එතකොට ඉක්මනින් උපදින්නේ කවුද? කල් අරගෙන උපදින්නේ කවුද?” 

“මහරජාණෙනි, සමාන වේලාවකින් තමයි උපදින්නේ?” 

“ස්වාමීනි උපමාවක් වදාළ මැනව“ 

“මහරජාණෙනි, මේ ගැන ඔබ කුමක් ද සිතන්නේ? කුරුල්ලන් දෙදෙනෙක් අහසේ පියාසරනවා. ඔවුන් අතුරින් එක් කුරුල්ලෙක් උස ගස් මුදුනක වහනවා. තව කුරුල්ලෙක් කුඩා ගසක වහනවා. ඔවුන් දෙදෙනා එක් වරම ගස්වල වහලා සිටිද්දී කවුරුන්ගේ ඡායාව ද පළමුවෙන් පොළොවට වැටෙන්නේ? කවුරුන්ගේ ඡායාව ද කල්ගත වෙලා පොළොවට වැටෙන්නේ? 

“ස්වාමීනි එක්වරම ඡායා දෙක පොළොවට වැටෙනවා” 

“මහරජාණෙනි, ඒ විදිහම තමයි. කෙනෙක් මෙහි මැරෙනවා. බඹලොව උපදිනවා. තව කෙනෙක් මෙහි මැරෙනවා. කාශ්මීරයේ උපදිනවා. සමාන කාලයකිනුයි උපදින්නේ?” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස ඔබ වහන්සේ ඉතා දක්ෂ වන සේක” 

බොජ්ඣංගයන් පිළිබඳ ප්‍රශ්නය 

මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, බොජ්ඣංගයන් කීයක් තියෙනවා ද?” 

“මහරජාණෙනි, බොජ්ඣංගයන් හතක් තියෙනවා.” “ස්වාමීනි අවබෝධය ඇතිකරන්නේ කවර බොජ්ඣංගයන්ගෙන් ද? 

“මහරජාණෙනි ධම්මවිචය සම්බොජ්ඣංගය නම් වූ එක බොජ්ඣංගයක් තුළිනුයි අවබෝධය ඇතිකරන්නේ?”

“එහෙම නම් ස්වාමීනි , බොජ්ඣංගයන් සතක් කියා කියන්නේ කුමකටද? 

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතෙන්නේ?” කඩුව කොපුවෙහි දමලයි තියෙන්නේ. අතින් කඩුව ගෙන සිඳිය යුතු යමක් ඇද්ද කඩුව කොපුවෙහි තිබෙන කල්හි එය සිතිය හැකි ද? 

“ නොහැකිය ස්වාමීනි” 

මහරජාණෙනි, ඒ අයුරින් ම ධම්මවිචය සම්බොජ්ඣංගයෙන් තොරව අනෙක් බොජ්ඣංග හයෙන් පමණක් අවබෝධය ඇතිකරවන්නේ නෑ” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” 

පින් පව්වල අල්ප අනල්ප බව 

“මිළිඳු රජ තෙමේ මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, බොහෝ වෙන්නේ පින ද, නැතිනම් පව ද?” 

“මහරජාණෙනි, පිනයි බොහෝ වෙන්නේ. පව නොවේ. කෙනෙක් පවක් කරද්දී මා විසින් පාප කර්මයක් කරන ලද්දේ ය කියලා විපිළිසර වෙනවා. ඒ හේතුවෙන් ඒ පව පිළිවෙළින් වර්ධනය වෙන්නේ නෑ. නමුත් මහරජාණෙනි, පිනක් කරද්දී විපිළිසර වෙන්නේ නෑ. විපිළිසර නො වන නිසා සිත පිනා යනවා. සිත පිනා යන නිසා පී‍්‍රතිය ඇතිවෙනවා. පී‍්‍රතිමත් සිත ඇති කෙනාගේ කය සංසිඳෙනවා. කය සංසිඳුනාම සැප විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. සමාධිමත් සිත් ඇති කෙනා යථාභූත ඤාණය ඇති කරගන්නවා. ඔය කරුණු අනුව තේරුම් ගත යුත්තේ පින තවදුරටත් වර්ධනය වන බවයි. 

මහරජාණෙනි, අත් පා සිදුණු පුරුෂයෙක් භාග්‍යවතුන් වහන්සේට එක් මහනෙල් මල් මිටක් පූජා කොට අනූ එක් කල්පයක් අපායට නො යන්නේ ය. මහරජාණෙනි, මේ කාරණයෙනුත් පින බොහෝ බවත්, පව ටික බවත් කියමි” 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” “මිළිඳු රජු නැවත මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් දැන දැන පව්කමක් කරයි ද? යමෙක් නොදැන පව්කමක් කරයි ද? කාගේ පව ද බොහෝ වන්නේ?” 

තෙරණුවෝ මෙසේ වදාළ සේක.

“මහරජාණෙනි, යමෙක් නො දැන පව්කමක් කරයි ද? ඔහුගේ පව බොහෝ ය” 

“එහෙමනම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, අපගේ යම් රාජ පුත්‍රයෙක් හෝ රාජමහාමාත්‍යවරයෙක් හෝ නො දැන පව්කම් කරයි. අපි ඔහුට දෙ ගුණයක් දඬුවම් කරන්න ඕන ද?” 

“මහරජාණෙනි, මේ ගැන කුමක්ද සිතෙන්නේ? රත් වූ, ගිනි ගත්, ගිනි ඇවිළෙන බලවත් ගින්නෙන් යුතු යකඩ ගුළියක් තියෙනවා. කෙනෙක් දැන දැන ඒක ගන්නවා. කෙනෙක් නො දැන ඒක ගන්නවා. එතකොට දරුණු ලෙස පිච්චෙන්නේ කවුරු ද?” 

“ස්වාමීනි, යමෙක් නො දැන ඒක ගන්නවා ද, ඔහු තමයි දරුණු ලෙස පිළිස්සෙන්නේ?” 

“මහරජාණෙනි, ඔය විදිහම තමයි. යමෙක් නො දැන පව්කමක් කරනවා ද? ඔහුගේ පව බොහෝ ය.” 

“ස්වාමීනි, ඔබවහන්සේ ඉතා දක්ෂ වන සේක”යැයි මිළිඳු රජු පැවසූහ.

සරාගි හා වීතරාගි වෙනස

ස්වාමිනි නාගසේනයන් වහන්ස, සරාගී පුද්ගලයාගේත්, වීතරාගී පුද්ගලයාගේත් වෙනසක් තිබෙනවා ද?

මහරජාණෙනි, සරාගී පුද්ගලයා අරමුණෙහි බැසගත් සිත් ඇත්තෙකි. විරාගී පුද්ගලයා අරමුණෙහි නො බැස ගත් සිත් ඇත්තෙකි.

ස්වාමිනි, අරමුණෙහි බැසගැනීම සහ අරමුණෙහි නොබැස ගැනීම යනු කුමක් ද?

මහරජාණෙනි, සරාගි පුද්ගලයා පංච කාමයෙහි ප්‍රයෝජන ඇත්තෙකි. විරාගී පුද්ගලයා පංච කාමයෙහි ප්‍රයෝජන නැති කෙනෙකි.

ස්වාමිනි, යමෙක් සරාගී වෙයිද, යමෙක් වීතරාගී වෙයිද, ඒ සියල්ලෝ ම සොඳුරු වූ කෑම් බීම් ආදියට කැමැති බවත්, ළාමක වූ ආහාර පානාදියට අකැමැති බවත් මම දකිමි.

මහරජාණෙනි, සරාගී පුද්ගලයා ආහාර අනුභව කරන්නේ රසයට සංවේදී වෙමිනි. ඒ වගේ ම රස රාගයටත් සංවේදී වෙමිනි. නමුත් වීතරාගි පුද්ගලයා ආහාර අනුභව කරන්නේ රසයට සංවේදී වෙමින් පමණ යි. රස රාගයට සංවේදී බවක් නැත.

ස්වාමිනි, ඔබ වහන්සේ ඉතා දක්ෂ වන සේකයැයි මිළිඳු රජු පැවසූහ.




දුක ගැන කතා කිරීම දුකට ආරාධනාවක් ද?

 

දුක ගැන කතා කිරීම දුකට ආරාධනාවක් ද?

දුක කියන වචනයට පවා සමහරු අකැමැතියි. බයයි. ඒ නිසා මේ දුක ගැන දැනුම්වත්වීම අත්‍යවශ්‍ය යි. දුක ගැන කතා කිරීම දුකට ආරාධනාවක් ද? යන අදහස මතුකොට දක්වා, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස පෘතග්ජන මනුෂ්‍යයා ට තේරුම්ගත හැකි ආකාරයෙන් කරුණු පෙන්වා දීමටයි මේ උත්සාහය. 

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් සර්වඥතා ඥානයෙන් අවබෝධ කොට දේශනා කළ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන් ම විස්තර කර පැහැදිලි කර දේශනා කළ හැකි වන්නේ එනම්, පුළුවන්කම ලැබෙන්නේ තවත් එබඳුම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ම ය. මේ නිසා අප විසින් සිදු කරනු ලබන්නේ කල්‍යාණවන්තයන් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගය, අනුශාසන ය මඟ පෙන්වීම අනුව පිළිපදිමින් දැනුම අවබෝධයක් බවට පත්කර ගනිමින්, ඒ දැනුම හා අවබෝධය අන් අය හා සමඟ සාකච්ඡා කිරීම යි. ඒ වගේ ම එය ලෝභා දී කෙලෙසුන් හි සංසිඳීම පිණිස උපකාර කර ගැනීම හා අන් අයත් කෙලෙසුන් හි සංසිදීමට සහභාගි කරවා ගැනීම යි. මේ ලිපි පෙළ ඒ වෙනුවෙනුයි.

බෝධිසත්වයන් වහන්සේ නමක් තම ගමන ආරම්භ කරන්නේ සියලු සත්ත්වයන් දුකින් පෙළෙන බව නුවණින් දැක, අවබෝධ කර ගැනීමෙන් අනතුරුව යි. දුක පිළිබඳ ව ආර්ය පර්යේෂණය සිදුකොට ඒ දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය ලෙස හඳුනා ගන්නවා. අවබෝධ කර ගන්නවා. එය චතුරාර්ය සත්‍ය ධර්මය ලෙස සම්බුදු දහමෙහි පෙන්වා දී තිබෙනවා. දුක ආර්ය සත්‍යයක් ලෙස දකින්නේ කෙසේදැයි නුවණින් ම විමසා බැලිය යුතු වෙනවා. එයට හේතුව දුක ගැන කියන හා දුක ගැන අහන බොහෝ පිරිසක් ස්වල්ප වූ කායික දුකක දී පවා එය කායික දුකකින් දැකීම පමණක් නොව මානසික දුක්ඛයන් බවටත් පත්කරගෙන “ආදිත්ථ පරියාය” සූත්‍ර දේශනාවේ සඳහන් කළ අයුරින් බොහෝ දුකට පත්වන ආකාරය පැහැදිලියි. “සල්ල සූත්‍ර” දේශනාවේ දැක් වූ අයුරින් කයේ ඇතිවන ගිලන්වීම ආදී දුක මනසට ත් හුලකින් ඇණ ගන්නා සේ , දුක් දෙකක් මුල් කර ගත් අප්‍රමාණ දුක්ඛයන්ට මුල් සාදා ගන්නා හා හේතු සාදා ගන්නා ආකාරය ත් පැහැදිලි යි.

මේ නිසා දුක නම් වූ මේ වචනය ආර්යය සත්‍යයක් ලෙස අවබෝධ කර ගැනීම සියුම් ලෙස විග්‍රහ කර ගත යුතු වෙනවා. එහෙත් අප කල්‍යාණවන්තයන් සේ එය සාකච්ඡා කරමින් කරන්නේ, විග්‍රහ කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී කෙලෙසුන් හි සංසිඳීම අරමුණු කර ගෙනම යි. මේ විග්‍රහයේ දී පවා කිසිවිටකවත් ඇලීමක් හෝ ගැටීමක් ඇති නොකරගෙන දුක සකස් වෙන්න හේතුව වන මෝහය හෙවත් මුලාව බැහැරවන තැනකට කියවන හා අසන ඔබත් සිත පිහිටුවා ගෙන සිටිය යුතුම යි.

දුක පිළිබඳ අපට බොහෝ ධර්ම කරුණු සාරාංශ කර මෙසේ සාකච්ඡා කළ හැකියි. ඒ සංස්කාර දුක්ඛ, විපරිණාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ ආදී වශයෙනුයි. “සංස්කාර දුක්ඛ” වශයෙන් මනසේ ඇති කර ගන්නා වූ ක්ලේසයන් නිසා එනම් රාගාධී ක්ලේස ධර්ම, චෛතසික ධර්ම, නිසා ඇති කර ගන්නා වූ දුක පිළිබඳව කතා කිරීමට පුළුවනි. “විපරිණාම දුක්ඛ” ස්කන්ධ පංචකය විසිරී යන විට ඇතිවෙන්නා වූ දුක තේරුම් ගන්නට පුළුවනි. ඒ වගේ ම “දුක්ඛ දුක්ඛ” වශයෙනුත් අධි්‍යත්ත, බහිද්ද ආකාර දෙකෙන් ම තමා කෙරෙන් වගේ ම බහිද්ද බාහිර වස්තූන් සම්බන්ධයෙන් විශේෂයෙන් ම ප්‍රියයන්ගෙන් වෙන්වීම ඒවගේ ම යමක් කැමැති නම් ඒ දේ නොලැබීමේ පටන් ඇතිවන්නා වූ දුක්ඛයන් පිළිබඳවත් අපට නුවණින් විමසා බැලිය හැකියි. 

සංස්කාර දුක්ඛ, විපරිනාම දුක්ඛ, දුක්ඛ දුක්ඛ කියන මේ සියලු දුක්ඛයන් එකින් එකට සම්බන්ධ ව පවත්නා බවක් පෙනෙන්නට තියෙනවා. ඒ කරුණු එකින් එකට වෙන් කර ගත්තත් , සියුම් ලෙස එකට එකක් සම්බන්ධ ව පවතිනවා. අවසානයේ නතර වන්නේ මෝහය කියන තැන යි. මෝහය නිසා එනම් මුලාව නම් වූ චතුරාර්ය්‍ය සත්‍යය ධර්මය කෙරෙහි ඇති නිරවුල් අවබෝධයක් නැතිකම නිසා, මේ සියලු දුක්ඛයන් ට මූලයන් සාදාගන්නා බව ඉතාම පැහැදිලි යි. මේ කරුණු කිහිපය නැවතත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙමින් ආරම්භයක් වශයෙන් සරලව කරුණු සාකච්ඡා කර ගත යුතුයි. 

දුක්ඛ ආර්ය සත්‍යයේ දී ත් ඉපදීම දුකක් ය. එනම් “ජාතිපි දුක්ඛා” කියන වචනය අපි තේරුම්ගත යුතුයි. මේ දුක කියන වචනයෙහි පැතිකඩ ලෙස වර්තමානය තුළ සිංහල භාෂාවෙන් විවිධ වචන යොදා ගන්නා බව පෙනෙනවා. එනම් ආතතිය, දොම්නස, ක්ලමතය, වික්ෂෝපය ආදී වශයෙනුයි. මේ දුක්ඛයන් සරල වූත් ඉතාම ළදරු මට්ටමේ දුක්ඛයන් හැටියට නිවන් මඟ කතාවේ දී අප තේරුම් ගත යුතුයි.

දුක්ඛ ආර්ය සත්‍යයේ දී පෙන්වා දෙන ඉපදීම දුකක් ය කියන තැන සිට ලෙඩවීම දුකක් ය. මහලුවීම දුකක් ය. මරණය දුකක් ය. අප්‍රියයන් හා එක්වීම දුකක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් ය. යමක් කැමැති නම් ඒ දෑ නොලැබීම දුකක් ය. කෙටියෙන් සඳහන් කරන්නේ නම්, ස්කන්ධ පංචකය ම දුකක් ය. නැවත සඳහන් කරන්නේ නම් දුක මත ම ලෝකය පවතින බව දහමෙහි පෙන්වා දෙනවා. ලෙඩවීම, දිරා ගෙන යෑම, මරණය, දුක් බව සැබෑව කි. එහෙත් එය ආර්ය සත්‍යයක් ලෙස දැක ගන්නේ කෙසේ ද? කියන ප්‍රශ්නය පෘතග්ජන ස්වභාවයේ සිතින් බලන්නෙකුට දුෂ්කර විය හැකි ය. ඒ නිසා පළමු පියවරේ දී මෙලොව උපදින්නට මත්තෙන් මව්කුසේ දී ලබන දුකත්, බිහිවන විට ලබන දුකත්, ඉපදීමෙන් අනතුරුව ඉහත සඳහන් කළ දිරාගෙන යෑම ලෙඩ දුක්, මරණය වැනි දුක්ඛයන් ද සලකා බැලිය හැකි යි. 

එනමුත් අප විසින් යෝජනා කරන්නේ ඉපදීම දුකක් ය කියන තැන දැක ගන්නට භාග්‍යවතුන් වහන්සේ “අනවතග්ග සංයුක්තයේ” පටන් බොහෝ සූත්‍ර දේශනාවන් හි පෙන්වා දුන් ආකාරයෙන් මේ සංසාර ගමන පුරාම පවත්නා වූ දුක තේරුම්ගත යුතු යි. සසර හා භවය යනු ධාතු ස්කන්ධ ආයතනයන්ගේ නොසන්සිඳී පැවැත්ම නම් දුක යැයි අප තේරුම් ගත යුත්තේ මේ ජීවිතයේ පවත්නා වූ ලෙඩවීම, මහලුවීම, මරණය ආදී වශයෙන් පමණක් නොව භවය පුරා ම සකස් වෙන්නා වූ දුකක් පිළිබඳ ව යි. මෙය සංස්කාර දුක්ඛයන් පිළිබඳ ව සාකච්ඡා කරන විට මනා ලෙස තේරුම් ගත හැකිවනු ඇත.

ද්වේශය දුරු කරන්නේ කෙසේ ද?

 

ද්වේශය දුරු කරන්නේ කෙසේ ද?

තරහව, ද්වේශය, නැත්නම් ක්‍රෝධය, වහා කිපෙන සුළු බව. එහෙම නැතිනම් පටිඝය, මේ කොයි ලෙසින් කීවත් එකම ධර්මතාවයක් තමයි අරමුණු වෙන්නේ. එනම් අරමුණෙහි ගැටෙන ස්වභාවය යි. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනසින් කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් ගන්නා අරමුණු සමඟ මනස ගැටෙනවා. එය ප‍‍්‍රතික්ෂේප කරනවා. ඒ ස්වභාවය තමයි ද්වේශය ආදී නම්වලින් හැඳීන්වෙන්නේ.

තරහව උපදින අවස්ථා දහයක් පිළිබඳව, උපදින හේතු දහයක් පිළිබඳ ව ආඝාත වස්තු සුත‍‍්‍රයේ දී බුදුහාමුදුරුවෝ අපට පැහැදිලි කරනවා. එම හේතු ලෙස, එක් පුද්ගලයෙක් අරමුණු කරගෙන,

මේ පුද්ගලයා මට පෙරත් ද්වේශ කළා.

එහෙම නැතිනම්, පෙරත් මට වැරැදි කළා, දැනුත් වැරදි කරනවා, අනාගතයේදීත් වැරදි කරයි කියලා තමා මුල්කරගෙන තුන් ආකාරයකින් ද්වේශය උපදවා ගන්නවා.

සරල ආකාරයට මෙම කාරණා සම්බන්ධ විස්තරය මෙසේ ය.

අල්ලපු ගෙදර පුද්ගලයා පෙර දවසක මට දොස් කිව්වා. මෙන්න මේ කාරණය තමන්ගේ හිතේ තැන්පත් වෙනවා. අනතුරුව මේ කාරණය හිතේ තැන්පත්වෙලා තියෙන තාක්කල් ඔහු දකින වාරයක් පාසා තමන්ගේ හිතේ මොකක් ද ඇති වෙන්නේ? අප‍‍්‍රසන්න භාවයක්. මේ ආකාරයට තමයි පෙර සඳහන් කළ ද්වේශය හටගන්නේ. එම මොහොතේ කිසිම හැඟීමක් ඇතිවෙන්නේ නැහැ. මොහු මට පෙර මෙහෙම බැන්නා, මොහු මට පෙර ද්වේශ කළා. ඒ කිසිත් මතුවෙලා එන්නේ නෑ. නමුත් දකිනකොට ම එක්තරා අප‍‍්‍රසන්න බවක් ඇතිවෙනවා. ඒ අප‍‍්‍රසන්න බව ඇතිවීමේ මූලික සාධකය මොකක් ද? පෙර දවසක මොහු මට දොස් කිව්වා කියන සංඥාව. ඒ සංකල්පනාව අභ්‍යන්තරයේ උපාදානය වෙලා තියෙනවා. ඒ උපාදානය අභ්‍යන්තරයේ පවතින තාක්කල් නැවත නැවතත් ඔහු දකින, ඔහුගේ කටහඬ ඇසෙන, ඔහු සිහිකරන, ඔහු ගැන කතා කරන මේ සෑම මොහොතක ම තමන්ගේ මනස ඔහුගේ නම සමඟ පවා ගැටෙනවා. නම ඇසූ සැනෙකින් මේ අර කියන පුද්ගලයා කියලා රූපයෙන් ඔහු අරමුණු කරනවා. කටහඬින් ඔහු ව අරමුණු කරනවා. ඒ වාගේ ම හැසිරීම් ආකාරයෙන් අරමුණු කරනවා. තමන්ට බැන්න ආකාරය අරමුණු කරනවා.

මේ සියලු විස්තර රූපයෙන් මනසේ මවාගෙන අර අකුරු ටික දෙස බලාගෙන අපි මනසින් ගැටෙනවා. කෙනෙක් ඔහු පිළිබඳ ව කතා කරනවා අහලා මේ කතා කරන දේ තමන්ගේ කනට ඇසෙන කොට ම අර මුලින් ඔහු තමන්ට කළ අපහාසය, උපහාසය සිහිකරගෙන එයින් චිත්ත රූප මවාගෙන අපි ඔහු සමඟ මනසින් ගැටෙනවා. මෙන්න මේ විදිහටයි මොහු අතීතයේ මට නපුරක් කළා කියලා අප මිනිසුන් සමඟ ගැටෙන්නේ. මේ ආකාරයට අනාගතයේදීත් නපුරක් කරයි කියලා හිතලා මනසින් ගැටෙනවා.

මේ හතර ආකාරයට නිරන්තරයෙන් මනසින් ඇතිකරගනු ලබන ගැටීම් හේතුවෙන් අපේ ශරීරයේ රසායනික ප‍‍්‍රතික‍ි‍්‍රයාවක් සිදුවනු ලබනවා. එමගින් සෛල දහස් ගණනක් එකවර විනාශ වෙනවා. සිතේ ඇතිවන නො සන්සුන්භාවය නිතර නිතර ඇතිවීම හේතුවෙන් හිතේ අසහනය ඇතිවෙනවා. ඒ තුළින් ආහාර අරුචිය, ආහාර දිරවීමේ අපහසුව තුළින් ආතතිය ඇතිවීම. බාහිර පෙනුමට හානි පැමිණීම, තරහව, වෛරය තුළින් බද්ධ වෛරය, සංසාරගත භවය දිග්ගස්සන තරම් හේතුවෙනවා. දිගුකාලීනව මෙම තත්වය පැවතීම තුළින් විශාදය වැනි තත්වයන් ඇතිවිය හැකි යි. මෙවැනි පුද්ගලයන්ගේ අන්තර් පුද්ගල සබඳතාවයන් ඉතා දුර්වල වේ.

තරහව පාලනය කිරීම යනු කාරණා යටපත් කිරීම නොවේ. මෙසේ සිටීමෙන් පුද්ගල ජීවිතයට තර්ජනයක් විය හැකි ය. මෙහි දී පුද්ගලයා නො දැනුවත්ව ම තරහව මනස තුළ තැන්පත් වේ. අනපේක්ෂිත අවස්ථාවක දරුණු ලෙස මෙම තරහව ඔහු තුළින් පිටවිය හැකි ය. මෙහි දී ජීවිතහානි පවා සිදුවිය හැක. ඇතැම් පුද්ගලයෝ තැන නො තැන ගැන සැලකිලිමත් නොවී තමන්ගේ තරහව පිටකරති. එවිට බොහෝ විට සිදුවන්නේ තමන්ගේ චරිතය විනාශ වීමයි. 

නැතිනම් අනෙක් පාර්ශ්වයන් මත පීඩනයන් පිටකිරීම තුළ ඔහු සේසසන් ඉදිරියේ අපහසුතාවට මුහුණ දෙන අතර, ඇතැම්විට ආවේගශීලි වීම. ගුටිබැට හුවමාරුව, මිනීමැරීම, සියදිවි හානිකර ගැනීම දක්වා දුරදිග යා හැක.

වඩා සුදුසු ක‍ර්මය වන්නේ තරහව යම් පමණකට සාමාන්‍ය වූ පසුව ඒ පිළිබඳ ව බුද්ධියෙන් විග‍‍්‍රහ කර බැලීම යි. මෙහි දී තමන් ගැන තමන්ගේ කෝණයෙන් බැලීම පමණක් නො කළ යුතු අතර, දෙවන පාර්ශ්වයන් සිටීනම්, එම පාර්ශ්වයන්ගේ උපකාර ලබාගෙන මධ්‍යස්ථ දෘෂ්ටියකින් බැලීම ඉතා ම වැදගත් වේ.

යම් ස්ථානයක දී තරහව ඇති වූ විගස හැකි ඉක්මණින් නිශ්ශබ්දව එම ස්ථානයෙන් පිටත් වීම කළ යුතු ය. තරහව ඇතිවීමට හේතුව බුද්ධිමත්ව විමසා බැලීම, එසේ ම තරහවට හේතුව යම් පුද්ගලයෙක් නම්, ඔහුත් සමඟ එයට තුඩුදුන් ගැටලුව පිළිබඳ ව සාකච්ඡා කිරීම, තවදුරටත් හිතේ යම් වූ පීඩාවක් පවතින්නේ නම්, තමන්ට හිතවත් අයෙකුට එම ගැටලූව පිළිබඳ ව කියා හිත නිදහස් කරගැනීම සිදු කළ හැකි ය. 

”යෝ කෝපනෙයෙය නකරෝති කෝපං
නකුජ්ඣති සප්පුරිසො කදාචි
කුදෙ ධාපි සො නාවිකරෝති කෝපං
තං වෙ නරං සමණමාහු ලෝකෙ”

කෝප කළ යුතු තැන කෝප නො වෙනවා නම් එයයි සැබෑ ඉවසීම. සමහර කෙනෙකුට අනික් අවස්ථාවල දී කෝප නොවී ඉන්න පුළුවන් විය හැකියි. නමුත් කෝප වෙන්නට කරුණු පැමිණෙද්දිත්, කෝප නොවී ඉන්නට පුළුවන් නම්; එයයි ඉවසීම කියන්නේ.

ආසවක්ඛයා වහං හෝතු

 

ආසවක්ඛයා වහං හෝතු

උපන් මිනිසාට මුණගැසෙන වටිනාම සම්පත බුදුරජාණන් වහන්සේ ය. එහෙත් ඒ බව නො දන්නෝ ඒ සම්පත අතහැර දමති. නො වටිනා දහසකුත් දෑ ළංකර ගන්නට ඉමහත් වෙහෙසක් දරති. අවසානයේ සුන් වූ බලාපොරොත්තු මැද මරු මුව වැද ශෝක කරමින් ජීවිතයෙන් සමුගන්නේ අනාථයන් විලසිනි. 

එනමුත් සරණ පතා තමා වෙත පැමිණි කිසිවෙකුටත් එවන් අනාථ මරණයක් හිමි නො වන්නට මග පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ විමුක්තියේ උදානය ලෙසින් සැදැහැති ජන සන්තානයෙහි අදත් වැඩ සිටින්නේ බුදුගුණ සුවඳ දිගන්තයෙහි විහිදුවමිනි.

නැති බැරිකම් වගේම ඇති හැකිකම් ද එකසේ දුකක් වන්නේ සිතක ඇති කෙලෙස් ධර්ම වල පමණින් ය. 

පුද්ගලයෙකුගේ ජීවිතය හා චින්තනයට අනුව සකස් වූ චර්යාවන් පිළිබඳ මනා අවබෝධයක් නොමැතිකම නිසා නොයෙක් ආකාරයේ පීඩාවන්ට හේතුවන කරුණු තමාම එකතු කොට ගෙන පසුතැවෙනවාට වඩා මිනිස් ජීවිතය අර්ථවත් කරගැනීමට නම් ඒකාන්තයෙන් ම බුදුරදුන්ගේ මාර්ගෝපදේශකත්වය ලබාගත යුතු ය. ඊට අනුව පිළිපැදිය යුතු ය. බුදුරදුන් වදාළ යෝනිසෝ මනසිකාරය තරම් සුවපත් සිතක් ඇති කරදී ජීවිතයෙහි සෑම තත්පරයක් ම අර්ථවත් කරන වෙනයම් ධර්මයක් නොමැති තරම් ය. පුද්ගලයන්ට වැළඳෙන තාක් මනෝ රෝග නිවාරණයට බෙහෙත වන්නේ ද එයයි. යෝනිසෝ මනසිකාරය යනු කුමක්දැයි නො දන්නාකම තරම් අන් ව්‍යසනයක් ද සත්වයන්ට නැත.

යම් අරමුණක් අනුව කල්පනා කරනවිට සිත - කය - වචනය අසංවර කරන අදහස් පහළ වී , එම පුද්ගලයා පවට බර වේ නම්, කාමුකත්වයට, හිංසනයට, සීමාන්තික බවට නැඹුරු වේ නම් ඔහුගේ සිත පවතින්නේ අයෝනිසෝ මනසිකාරය තුළ යි. එසේ නොවී යම් චින්තනයකින් පුද්ගලයා උපශාන්ත පැවතුම් ඇති, අල්ප අවශ්‍යතා ඇති අයෙකු බවට පත් කෙරේ නම්, ඒ තුළ ඇත්තේ යෝනිසෝ මනසිකාරය යි. කෙටියෙන් කිවහොත් නූපන් කෙලෙස් නූපදින හා උපන් කෙලෙස් දුරුවී යන අයුරින් සිතන්නට පුරුදුවීම යෝනිසෝ මනසිකාරය යැයි කිව හැකි ය. සත්ත්වයන්ට අනාදිමත් සසරක උරුම වූ සෑම දුකකට ම හේතුව වන්නේ අයෝනිසෝ මනසිකාරය බව පෙන්වා වදාරණ බුදුරදුන් එය දුරුකිරීමටත්

යෝනිසෝ මනසිකාරය ප‍‍්‍රගුණ කිරීමටත් තුඩුදෙන අයුරින් ගිහියා හා පැවිද්දා විසින් කටයුතු කළ යුතු ආකාරය උගන්වා වදාරා ඇත.

එහිදී ප‍‍්‍රථමයෙන් තම චිත්තාචාරයන්ට හා හැසිරීම්වලට සීමාවක් තබා ගැනීම වැදගත් වේ.

බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි අගෝචරයෙහි හැසිරෙන පුද්ගලයාට ඒ තුළින් ඇතිවන දහසකුත් එකක් කරදර බාධක එම අගෝචරය දුරුකිරීමෙන් ඇති නොවේ. නපුරු සතුන් හා කෲර පවිටු මිනිසුන් ඇති ප‍‍්‍රදේශවලට නො යාම, ආරක්ෂාවක් නැති අනතුරු ඇඟවීම් සහිත ස්ථාන හා මාර්ගයන් කල්තියා හඳුනාගෙන ඉන් ඉවත් වීම, පාප මිත‍‍්‍රයන් හඳුනා ඔවුන් කෙරෙන් ඉවත් වීම, යහපත් මිතුරන් වෙත පැමිණ ඔවුන් ඇසුරු කිරීම වැනි ආරක්ෂාකාරී පැවතුම් ඇති පුද්ගලයාට බොහෝ අනතුරු පීඩා වළක්වා ගත හැකි ය. රාග, ද්වේෂාදී කෙලෙස් ධර්මයන් ද පාලනය කර ගැනීමට ද එම ඇවතුම් හේතුවන නිසා සිත් පීඩා අවම වීමට ද උපකාර වේ. සබ්බාසව සූත‍‍්‍රයේ “පරිවජ්ජනා පහාතබ්බා ධම්මා”

යනුවෙන් වදාරා ඇත්තේ එය යි.

ඉවසීම හෙවත් අධිවාසනය ද පීඩා හිරිහැර අවම කරගැනීමට උපකාර වේ. බොහෝ දෙනාට ඇතිවන දුක් පීඩාවන්ගෙන් බොහෝමයක් පැමිණෙන්නේ නො ඉවසීම හේතුවෙනි. ස්වල්ප දෙයක් නමුත් ඉවසා දරාගත නොහැකි අයට ජීවිතය පුරාවට විඳවීමක් විනා සැපයක් ලද නොහැකි බව තථාගතයන් වහන්සේ වදාළහ. 

සීතල - උණුසුම - බඩගින්න, පිපාසය, මැසි මදුරු පීඩා, නපුරු වචන ඉවසන්නට පුරුදු විය යුතුය. යම් හෙයකින් නො ඉවසන්නා වූ ඔහුට දැවිලි සහිත වෙහෙසකර රාග ද්වේෂාදිය උපදී නම් ඉවසීම නිසාම ඒ සියල්ල දුරුකර දමා බාධක ගණනාවකින් ජීවිතය බේරාගත හැකි වනු ඇත. කෙබඳු තරාතිරමක අයෙකුට වුවද ඉවසීමක් නැත්නම් ඔහුගේ ජීවිතය නො මගකට වැටුනකි. සිතලූවන්ට වසඟගවීම නිසා ඉවසනසුලූ බව නැතිවේ. පව් පුරා හිරේ විලංගුවේ ද, අපා මුඛයට ද වැටෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් ඉවසීමේ හැකියාව නැත්තෝ ය. ”අධිවාසනා පහාතබ්බා ධම්මා” යනුවෙන් තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ඉවසීම දියුණුකර එමගින් දුරුකළ යුතු අයහපත් කායික හා මානසික තත්වයන් පිළිබඳව යි.

ආහාරපාන වස්ත්‍රාභරණ ගේදොර ඉඩකඩම් යාන වාහනාදී වස්තු පරිභෝගය ද අවසිහියෙන් කරන්නාට යෝනිසෝ මනසිකාරය නැතිවීම නිසා අතෘප්තිය, අසහනය, ඉරිසියාව, මසුරුකම, ගුණමකු බව, වැනි බොහෝ මානසික රෝගයන් ඇති වේ. දිරණ මැරෙණ ජීවිතය යම්තමින් කලක් පවත්වා ගැනීමට අවශ්‍ය වන ආහාරපාන, වස්ත්‍ර, නිවාසාදී දෑ සැපයක් යැයි වරදවා ගත්තවුන්ට එනිසා ඇතිවන බලවත් අසහනයන් නිසා මුලූ ජීවිතයම අඳෝනාවක් බවට පත්ව ඇත. බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි ජීවිතය පැවැත්වීම නම් වූ ප‍‍්‍රයෝජනය සලකා ආහාර වස්ත්‍රා‍දිය සොයයි නම්, එය ඔහුට කිසිවිටෙක වෙහෙසකර සෙවීමක් නො වනු ඇත. 

බුදු සසුනේ භික්ෂුව සිව්පස පරිභෝගය තණ්හා මානාදී කෙලෙසුන්ගෙන් සිත කිලූටු නොවන පරිදි සිදුකළ යුතුය. යෝනිසෝ මනසිකාරය උපදවා නුවණින් සලකා ප‍‍්‍රත්‍යවේක්ෂා ඤාණයෙන් යුතුව ප‍‍්‍රත්‍ය පරිභෝගය මගින් නූපන් කෙලෙස් දැවිලි ඇති නො වන බව ප‍‍්‍රත්‍යක්ෂ සත්‍යයකි. මදය හා ප‍‍්‍රමාදය වැඩුණ පසු පුද්ගලයා මුලා වූ මාවතක ගමන් කොට දෙලොවින්ම පිරිහෙන සැටි මහා කරුණාවෙන් පෙන්වා වදාරණ බුදුරදුන් ඉන් බේරීම පිණිස දිවි වැටුම උදෙසා ළංකර ගන්නා සියුම් දෑ යෝනිසෝ මනසිකාරයෙන්ම පරිහරණය කරන්නට උගන්වා වදාරා ඇත. ”පටිසේවනා පහාතබ්බා ධම්මා” යනුවෙන් සබ්බාසව සූත‍‍්‍රයේ සඳහන් වන්නේ එයයි.

දෝස සැලකීම් සහිත වීර්යයෙන් පහකළ යුතු පාපී මානසිකත්වයන් ද යෝනිසෝ මනසිකාරයෙන් හඳුනා ගත යුතුය. සිතක ඇතිවන කාම විතර්කය ඉන් එකකි. පමණ ඉක්මවූ අධික ආසාවන් නිසා සිතේ ඇතිවන අසහනය ආසාවන් අඩුකර ගැනීමෙන් නැතිවී යයි. උපන් කිසිවෙකුට තමා කැමති සියල්ල එලෙසින්ම ලද හැක්කේ නොවේ. සාගරයක් බඳු බලාපොරොත්තු ඇතත් ජීවිත කාලය තුළ සැබෑ වන්නේ අතට ගත් ජල දෝතකටත් වඩා අඩු ප‍‍්‍රමාණයකි. එය සත්‍යයක් වුවද පිළිගැනීමට ඇති නො හැකියාව නිසා කාමුකත්වයට, වෛරයට, හිංසනයට වසඟ වී බොහෝ පිරිසක් වල්මත් ව ඇත.

උපන් රාග සිතිවිලි, වෛර සිතිවිලි, හිංසන සිතිවිලි රස කරමින් සිතේ තබා නොගෙන අභ්‍යන්තර සතුරන් ලෙස සලකා ඉවත් කිරීමට වීර්යය පිහිටුවීම මගින් දුකට පක්ෂ වූ හේතු ගණනාවක මූලච්ඡේදය සිදුවනු ඇත. එමගින් වන පළමු ප‍‍්‍රතිලාභය නිවුන සැනසුන මනෝභාවයක් තමාටම අත්විඳීය හැකි වීමයි. දෙවනුව ඇසුරු කරන්නන්ට ද මහඟු සෙතක් සැලසෙනු ඇත. ”විනොදනා පහාතබ්බා ධම්මා”

නමින් එම කරුණ තථාගත ධර්මයේ සඳහන් වේ. ඉන්ද්‍රිය සංවරය පුරුදු කිරීම ද මෙහිලා සාකච්ඡා කළ යුතු ය . ඇස, කන ආදියෙන් රූප ශබ්දාදී අරමුණු ගෙන රාග ද්වේෂාදී පාපී ධර්ම උපදින අයුරින් කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරය වැඩීමකි. එමගින් අභ්‍යන්තරයම අවුල් වියවුල් ගොඩකට ඇද වැටේ. චක්ෂුරාදී ඉඳුරන්ගේ ද රූපාදී ආරම්මණයන්ගේ ද ඇති ජරා මරණ ලක්ෂණ, සංඛත ස්වභාවය, දුඞඛ ජනන මූලය සැලකීමෙන් අනාත්මීය හේතු - ඵලෝදය, සත්ව පුද්ගල සංඥාවෙන් වරදවා ගෙන ඇති බව තේරුම් ගත හැකිය.

ඒ අනුව කල්පනා කර ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන අතර ඇති සම්බන්ධය යෝනිසෝ මනසිකාරයට නතුකර ජවන් අවස්ථාවන්ට බැස ගන්නා සිත අකුසලයක් නොවීමට වග බලා ගත යුතුය.

සෘජුවම කෙලෙස් නසන වැඩපිළිවෙලෙහි ආරම්භය වන්නේ ද මෙයයි. කාමාවචර වූ ද නුවණින් සිහිකිරීම් ඇත්තා වූ ද චිත්තෝපාදයන් අනවරතයෙන් උපදින්නට සැලැස්වීම උපචාර භාවනාවයි.

මත්තෙහි ”අර්පණා” හෙවත් ධ්‍යාන ප‍‍්‍රතිලාභයට ද මගඵල ලැබීමට ද මේ ඉන්ද්‍රිය සංවරය මහෝපකාර වන බව කිව යුතු ය. ඉන්ද්‍රිය සංවරය පුරුදු කිරීමෙන් දුරුකළ යුතු කෙලෙස් ධර්ම ”සංවරා පහාතබ්බා

ධම්මා” නමින් වදාරා ඇත.

ඉහත කරුණු අනුව ජීවිතය හසුරුවා ගන්නා පුද්ගලයාට ”දස්සනේන පහාතබ්බා ධම්මා” නමින් හඳුන්වන සෝවාන් මාර්ග දර්ශනයෙන් ප‍‍්‍රහාණය කළ යුතු කෙලෙස් ධර්ම ප‍‍්‍රහාණය පිණිස අවස්ථාව එළැඹේ. ප‍‍්‍රමාණික කාලයක් අඛණ්ඩව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කුසල් සිත වඩමින් කටයුතු කරන විට තථාගත ධර්මය විෂයෙහි දක්ෂයෙක් වේ.

ඒ දක්ෂතාවය ද හුදු ධර්මය ඇසීම් පමණින් ම නොව නුවණින් විමසීමේ හැකියාව ද සහිතව ම දියුණු වූවකි. ඒ හැකියාව නිසා ඔහුට අයෝනිසෝ මනසිකාරය මුල් කොට ඇතිවූ අතීත, වර්තමාන,අනාගත යන කාලත‍‍්‍ර‍ය පිළිබඳ ඇතිවන සොළොස් වැදෑරුම් සැකයන් දුරුකිරීමට හේතුවේ.

මා හට අතීත ජීවිතයක් තිබුණේද? නැතිද? කවරෙක් වීම් ද? කෙසේ වීම් ද? කවරෙක් ව සිට කෙබඳු නමකින් යුතුව උපන්නෙම් ද ? යැයි මෙවන් අදහස් සිතක පහළ වන්නේ හේතු ඵල ධර්මය පිළිබඳව අනවබෝධය නිසා ම ය. යෝනිසෝ මනසිකාරය නිසා සති - සමාධි - ප‍‍්‍රඥා ගුණ මෝරන විට හේතුඵල ඤාණය දියුණු වේ. එවිට ඉහත සඳහන් සැක සංකා පහව යනු ඇත. එපමණක් නොවේ. අනාගත අද්ධය ගැන ද පැහැදිලි විනිශ්චයක් ඇති වේ. කුසල සංස්කාරයන් වැඩූ පසු කාම සුගතියක හෝ රූප ලෝකයකට ප‍‍්‍රතිසන්ධි වශයෙන් එළැඹෙන සැටි බුදුරදුන් වදාරා ඇති නිසා ද, තමාටත් ඒ පිළිබඳ වැටහීමක් ප‍‍්‍රඥාවක් පහළ වූ නිසා ද හේතුඵල දහමක ඇති යථාර්ථවාදී බව පිළිබිඹු වේ. 

ආනෙඤජාභි සංස්ඛාරයක් වැඩූ පසු අරූප ලෝකයකට ප‍‍්‍රතිසන්ධි වශයෙන් එළැඹෙන ආකාරය ද අකුසල සංස්ඛාර නිසා දුගතීන්ට එළැඹෙන ආකාරය ද, දක්නා ශ‍‍්‍රාවකයා තථාගත ධර්මාවබෝධය ලබා ඒ තෙවැදෑරුම් සංස්ඛාරයන් ප‍‍්‍රහාණය කළ පසු ප‍‍්‍රතිසන්ධි - ප‍‍්‍රවෘත්ති විඤ්ඤාණයාගේ ඉපදීමක් නැති බවත්, එවිට ජාතිය සි¼දී යන ආකාරයත් දැකගනී. ජාතිය මුල් කොට උරුම වූ ජරා මරණ දුඞඛය පිටු දැකීමට නම් ජාති නිරෝධයම සිදුකළ යුතුය. එබැවින් මේ උතුම් වැඩපිළිවෙල ජාති නිරෝධගාමිනී ප‍‍්‍රතිපදාව ලෙස ද, ජරා මරණ නිරෝධගාමිනී ප‍‍්‍රතිපදාව වදාරා ඇත.

දේවවාද, මැවුම්වාද, නිර්මාණ වාදයන් පටලවා ගෙන මුලා වූ ජනයාට යෝනිසෝ මනසිකාරය හුරු කරවීමෙන් වත්මන් ජීවිතය පිළිබඳව ද මම වෙමි ද? නොවෙමි ද? කවරෙක් වෙමි ද? කෙසේ වෙමි ද? මේ සත්ත්වයා කොයින් ආවේ ද? කොහි යහි ද? කියා මෙලෙසින් ඇතිවන සියලු සැකයන් පහව යනු ඇත.

ඒත් සමගම ආත්මයක් ඇත, ආත්මයක් නැත යනාදී වශයෙන් ආකාර සයකින් පඤ්ච උපාධානස්ඛන්ධය අරභයා ඇතිවන මිථ්‍යා ග‍‍්‍රහණයන් හෙවත් මිසදිටු වැටහීම් පහව යයි; ඔහු මේ දුකයැයි නුවණින් මෙනෙහි කරයි. දුක්ඛ සමුදය වන්නේ මෙයයි කියා විමසා දැන ගනියි. දුඞඛ නිරෝධය ද අවබෝධ කර ගනී. දුඞඛ නිරෝධයගාමිනී ප‍‍්‍රතිපදාව අංග අටකින් යුක්ත ආර්ය මාර්ගය බව දැක ගනී; දැනගෙන එම මාර්ගයේ ම අප‍‍්‍රමාදී ව ඉදිරියට යන විට පංච උපාධානස්කන්ධ පිළිබඳව පැවති විසි වැදෑරුම් සක්කාය දෘෂ්ඨිය පහව යයි; බුදුරදුන්ගේ ධර්ම මාර්ගය හා ශ‍‍්‍රාවක සංඝරත්නය ගැන අචල ප‍‍්‍රසාදයක් ඇතිවේ. නිවන් පිණිස මෙය හැර අන් මාවතක් නැති බව ප‍‍්‍රත්‍යක්ෂ ලෙසම වැටහී යයි; එවන් අවබෝධයකට පැමිණි ඔහු සෝවාන් ආර්ය ශ‍‍්‍රාවකයා නමින් හඳුන්වයි. අටවන භවයක් කරා නොගොස් සසරින් සමුගන්නා යන අර්ථයෙන්, බුදුරදුන් විසින් ”සත්තක්ඛත්තු පරම” යන ගෞරව නාමයෙන් ඔහු හඳුන්වනු ලබයි.

ඉතා බලවත් යෝනිසෝ මනසිකාරයක් ස්ථිර ලෙසම පිහිටන එම අවස්ථාවට පත් ශ්‍රාවකයා විරාගය හෙවත් නිවනට නැමීගත්, විවේකය හෙවත් කෙලෙසුන්ගෙන් තොරව සිත පැවැත්වීමේ හැකියාව තවදුරටත් දියුණු කළ යුතු ය; ඒ සඳහා යෝනිසෝ මනසිකාරයෙන් අන‍ුග්‍රහ ලද සතිය, ප‍‍්‍රඥාව, වීර්යය, ප‍ී‍්‍රතිය, කාය - චිත්ත සන්සි¼දීම, සමාධිය හා උපේක්ෂාව යන මේ සත් වැදෑරුම් නිර්වාණය පිණිස පවතින අංගයන් වැඩිය යුතු ය. එලෙසින් වැඩුණ සිතට මුලින් අකුණු එළියෙන් දුටු රන් භාජනයක් වැනි නිර්වාණය, පිළිවෙලින් පහන් එළියෙන්, සඳ එළියෙන්, හිරු එළියෙන් දැකීමත් සදිසි සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ග ඤාණය පහළ වී හැම දුක් සිඳී යන පින්බර මොහොත උදාවනු ඇත.

කෙලෙස් බර බහා තැබූ, භව සංයෝජන සිඳ දැමූ, ආශ‍‍්‍රවයන් ක්ෂය වී ගිය ඒ උතුමන් වහන්සේ මහා රහතන් වහන්සේ ම ය. විරාගයේ ද, අවිහිංසාවේ ද, මෛත‍ි‍්‍රයේ ද, කරුණාවේ ද, දයාවේ ද, අනුකම්පාවේ ද,ස්වර්ණමය මූර්තිය වන එවන් උතුමන්ගේ නවාතැන්පළ වන බුදු සසුන බොහෝකල් පවත්වන්නේ උන්වහන්සේලා ම ය. 

ඔබ මා සේ ඒ උතුමෝ පෙර දිනෙක නිවන් පතා ආ ගමනේ දී පින් රැස් කොට එකම අභිලාෂයකට පණ පෙවූහ. එනම් මාගේ මේ පින සව් කෙලෙසුන් නසා දැමීමට හේතුවේවා” හෙවත් ”ආසවක්ඛයා වහං හෝතු” යන මේ පිවිතුරු ප‍‍්‍රාර්ථනාවයි


සත්‍යානුභාවයෙන් සෙත සදන අඟුල්මල් පිරිත

 

සත්‍යානුභාවයෙන් සෙත සදන අඟුල්මල් පිරිත

පුරිස දම්ම සාරථී යනු නව අරහාදී බුදු ගුණවලින් එකකි. බුදුරජාණන් වහන්සේ තුළ දමනය කළයුතු දුර්දාන්තයන් දමනය කිරීමෙහි ඇති සාමර්ථ්‍යය ඉන් අදහස් වෙයි. මෙකී බුද්ධ ගුණය විචිත්‍ර වූ නිදසුන් කතා සහිත ව අතිශයින් ම වර්ණනාත්මක ව හා රසාලිප්ත ව කියැවෙන සම්භාව්‍ය සිංහල ගද්‍ය ග්‍රන්ථය විද්‍යා චක්‍රවර්තීන්ගේ බුත්සරණයි. 

අංගුලිමාල දමනය බුත්සරණෙහි අතිශය චමත්කාර ජනක ව, බුදු බැතිය වඩාලමින් ප්‍රකාශිත එක් වෘත්තාන්තයකි. ඒ වූ කලී මැදුම් සඟිය මැදුම් පණ්ණාසකයෙහි එන අංගුලිමාල සූත්‍රය ද වෙසෙසින් ම අට්ඨකතාවෙහි එන එම සුත්‍ර වර්ණනාව ද ඇසුරු කොට ගෙන විද්‍යා චක්‍රවර්තීන් විසින් සිය නිසඟ කවිත්වය ද ප්‍රකට කරමින් කළ අපූර්ව නිර්මාණයකි. ඉහත කී අංගුලිමාල සූත්‍රයෙහි දක්නා නොලැබෙන තොරතුරු රාශියක් අටුවාවෙහි මෙන් ම බුත්සරණෙහි ද දැකගත හැකි ය. විශේෂයෙන් ම අහිංසක නම් කුමරු දිසාපාමොක් ඇදුරු සමීපයේ ශිල්ප හැදෑරීම, සිසුන් ඔහු පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් ගුරුතුමන් නොමග යැවීම, ගුරුතුමන් විසින් දහසක් ඇඟිලි මාලයකින් ගුරුන් පිදීමට නියම කිරීමාදී තොරතුරු සූත්‍රයෙහි දක්නා නොලැබෙයි. එම තොරතුරු කථා වස්තුව සම්පූර්ණ කිරීමට පුරාණාචාර්යවරුන් විසින් ඇතුළත් කර ඇත. සූත්‍රයෙහි මෙන්ම කතා වස්තුවෙහි ද එන අංගුලිමාල පිරිත ගැබිනි මව්වරුන්ට සෙත් ශාන්ති උදා කර දෙන මහා බලගතු පිරිත් දේශනාවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති. දැනුදු එය භාවිතයෙහි ඇත. 

සියලු සත්වයන්ගේ සුවසෙත, සැපත පතන මෛත්‍රීය, දුක්ඛිත සත්වයන් කෙරේ අව්‍යාජ ව උපදනා හද කම්පනය නම් වූ කරුණාව, අනුන්ගේ සතුට, සැපත, ජයග්‍රහණය දැක ඊර්ෂ්‍යා නොකොට සතුටට පත්වීම හෙවත් මුදිතාව, සකලවිධ විෂමතා අන්තවාද පසෙක ලූ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයෝ බුදු දහමෙහි එන කේන්ද්‍රීය සාරධර්මයෝ ය. බුදුරදුන් විසින් තමන් ඝාතනය කරන්නට ආ දෙව්දත්ට, නාලාගිරි ඇත් රජුට මෙන් ම, අඟුල් මල් නම් වූ ඒ මනුෂ්‍ය ඝාතකයාට ද, රාහුල කුමරුට ද සම සේ කරුණා මෛත්‍රිය පතුරුවන ලද්දේ ය. දඬුවම පිළිබඳ බෞද්ධ ආකල්පයේ පදනම ද මෙම චින්තනය විය යුතු ය. එයට අනුගත වන ක්‍රියාකාරකම් විය යුතු ය. ඒ අනුව එකට එක කිරීමක, පළිගැනීමක ස්වරූපය ගන්න අපරාධකරු නැවත යහපත් පුද්ගලයකු බවට පත්කර ගැන්මට ඉඩක් නොතබන මරණ දඬුවම බෞද්ධ ඉගැන්වීම්වලට අනුකූල වන්නේ ද නැත. බෞද්ධ ඉතිහාසයේ වාර්තා වන අංගුලිමාල නම් සාහසික මහා මනුෂ්‍ය ඝාතකයා නසන්නට කොසොල් මහරජු සියල්ල සූදානම් කොට තිබිණ. එහෙත් කල් ඇතිව ම අඟුල්මල් වෙත වැඩම කළ බුදුරජාණන් වහන්සේ අවි ආයුධ භාවිතයෙන්, දණ්ඩනයෙන් තොර ව හුදෙක් කරුණා මෛත්‍රියෙන් අඟුල්මල් දමනය කළ සේක. ඔහු කිසි කලෙකත් මතුවට පරපණ නොනසන රහත් උතුමෙකු බවට පත්කළහ. මෙයින් පැහැදිලි වන්නේ කවර අපරාධකරුවකු තුළ වුව ද අහිංසකයෙකු සිටින බව ය. විවිධ හේතු සාධක මත අහිංසක අබිබවා හිංසක නැගී සිටියේ අඟුල්මල් මනුෂ්‍ය ඝාතකයා බිහි කරමිනි. ඔහු පරමාදර්ශී පුද්ගලයෙකු කළ බුදුරජාණන් වහන්සේ කිසි කලෙකත් එවැනි සාපරාධී ක්‍රියාවක් නොකරන තැනට එම චරිතය සංවර්ධනය කළහ. ඔහුගේ ආධ්‍යාත්මය ගොඩනැඟූහ.උන්වහන්සේ අංගුලිමාල නම් ඒ මහා මනුෂ්‍ය ඝාතකයාට රජු විසින් මරණ දඬුවම දීම වළකාලූහ. එහි ලා සක්‍රිය වූයේ ද අර්ථවත් වූයේ ද මෙත්තා, කරුණා දී බ්‍රහ්ම විහරණයන් ය.

අංගුලිමාල සූත්‍රාවසානයෙහි සඳහන් වන පරිදි “යමෙක් පෙර (පළමුව) ප්‍රමාදය හේතුවෙන් සාපරාධී ක්‍රියාවනට පෙළඹුන ද, ඔහු පසුව (දෙවනුව) නොපමා වේ ද (එනම් වරද වරදක් ලෙසින්ම පිළිගනියි ද, තමා කළ වරද තේරුම් ගනියි ද එයින් සපුරා වළකියි ද) හෙතෙම රාහුගෙන් මිදුණු සඳ මෙන් මේ ලෝකය බබුළුවන්නේ ය’” එසේ ම බුදුරජාණන් වහන්සේ තවත් තැනක වදාළ පරිදි යමෙකු විසින් කරන ලද පාප කර්මය පසු කලෙක කුසල කර්මයෙන් එනම්, කළ වරද වටහාගෙන ඉන් මිදී නිවැරැදි ක්‍රියාවෙන් එබඳු වරදක් මතු නොවන සේ වළකාලයි ද හෙතෙම ලොව බබුළුවන්නේ ය. අංගුලිමාල ද එලෙස ලෝකය බබුළුවාලීමේ ආදර්ශය ගෙනහැර පෑවේ ය. මහා අපරාධකරුවෙකු වූ හෙතෙම බුදුන් දැක, සිත් නිවා, සිය වරද වටහා ගෙන, පරමාදර්ශී රහත් උතුමෙකු වූයේ ය. වඩාත් බරපතළ වූ මව මැරීම, පියා මැරීම, රහතුන් නැසීම, බුදු සිරුරේ ලේ සෙලවීම සහ සංඝභේදය යන ආනන්තරිය පව්කම්වලින් එකක් කළ තැනැත්තාට කලණ මිතුරෙකුගේ මඟ පෙන්වීම ඇතත් ඒ පව්කම් වසාලිය නොහැකි බව ද, ඔහුට පිහිටක් නම් නැති බව ද, දෙව්දත් තෙරුන්ට මෙන් මෙලොව දී හෝ පරලොව දී දුක් විපාක ම ලැබෙන බව ද පුරාණාචාර්යවරු පෙන්වා දෙති. අංගුලිමාලයෝ බුදුරදුන්ගේ මහා කරුණා දැළට ම හසුවූවෝ අවසන් මොහොතේ සිදුවිය හැකි ව තිබූ ඒ මහා පව්කම්වලින් ද ගැලවුණෝ ය. ඔහුට ඇති උතුම් කලණ මිතුරෙකු කල් ඇතිව ම හමුවිය. ඒ බුදුරජාණන් වහන්සේ ය.මේ අනුව නිවැරැදි, නිසි මඟ පෙන්වීම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය හා යථාවබෝධය ද ඇති තැන මහා අපරාධකරුවෙකු වුව ද ලොව එළිය කරන උතුම් පුද්ගලයෙකු බවට පත් කළ හැකි බව බුදු දහම පෙන්වා දෙයි. දඬුවම, මිනිසෙකු වරදින් මුදවා ගත හැකි එක ම මාර්ගය නොවේ. අංගුලිමාලයන් අපරාධකරුවෙකු බවට පත් කරන ලද්දේ ඔහුගේ චිත්ත සන්තානගත ව පැවති රාග, ද්වේශ,මෝහාදී ක්ලේශ ධර්මයන් ය. එකී කෙලෙස් සිතිවිලි විසින් මෙහෙයවන ලද ඔහු අමනුෂ්‍යයෙකු සේ හැසිරුණේ ය. මහා සාහසිකකම් කළේ ය. සියලු කෙලෙස් නසා බුදුරදුන්ගේ මාර්ගෝපදේශනය අනුව මතුවට කිසිදු පව්කමක්, අපරාධයක් නොකෙරෙන තැනට එනම් මහ රහත් බවට අංගුලිමාලයෝ පත්වූහ. සුප්‍රකට රතන සූත්‍ර දේශනාව අනුව “ඒ (සෝවාන්) පුද්ගල තෙමේ කයින්, වචනයෙන් හෝ සිතින් කෙරෙන්නා වූ සඟවා ගත් පව්කම් නැත්තෙකි. ඔහු වෙතින් එසේ සඟවා ගැන්මක් නොවන්නේ ය. යථාර්ථය දක්නා තැනැත්තා තුළ සඟවා ගත් වරදක් නැත. ඔහු තිදොරින් ම පිරිසුදු ය. විවෘත ය.”

ජනපි‍්‍රය වූ බලගතු අංගුලිමාල පිරිත නම් වූ සත්‍යක්‍රියාව දැක්වෙන්නේ ද අංගුලිමාල සූත්‍රයේ ය. මූඪ ගර්භවැ ප්‍රසව වේදනාවෙන් පෙළෙන එක්තරා ගැහැනියක දුටු අඟුල්මල් තෙරුන් ඒ බව බුදුරදුන්ට සැළ කළ බව ද, ඉන් පසු උන්වහන්සේ විසින් එම සත්‍යක්‍රියාව උගන්වා වදාළ බව ද එහි දැක්වෙයි. “අංගුලිමාලයෙනි. එසේ වී නම් තෙපි ඒ මාගම කරා එළැඹෙව. ඇයට මෙසේ කියව. නැගැණියෙනි. යම් දවසකැ මා ආර්ය ජාතියෙහි උපන්නෙම් ද එතැන් පටන් (දැන දැන) සිතාමතා සත්වයෙකුගේ දිවි තොර නොකෙළෙමි. ප්‍රාණඝාතයක් නොකෙළෙමි. ඒ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා. ඔබේ කුසට ද සෙත් වේවා” . මේ අංගුලිමාල පිරිත නම් වූ , බුදුරදුන් අංගුලිමාල තෙරණුවන්ට ලබා දුන් සත්‍යක්‍රියා බලය රැගත් ප්‍රකාශයයි. අංගුලිමාල තෙරණුවෝ එම සත්‍යක්‍රියාව සිදු කොට එකී මව සුවපත් කළහ. 

මෙහි ආර්ය ජාතියෙහි උපන් තැන යනු අංගුලිමාලයන් පැවිදිවූ අවස්ථාව ය. ආර්ය ජාතියෙහි ඉපදීම යනු සසුන්ගත වීමයි. ඔහුගේ කළ පව් ගෙවී ගියේ ය. හෙතෙම යළිත් එම පව්කමට නොපෙළඹෙන පැවිද්දෙකු විය. එතැන් පටන් කිසි විටෙකත් සිතාමතා සතෙකු නොමැරූ බව ඇත්තකි. ඒ සත්‍යානුභාවය ඔහුගේ බලය වූයේ ය. මෙහි දී කිව යුත්තක් නම්, සාරිපුත්ත, මොග්ගල්ලානාදී ඕනෑ ම රහතුන් වහන්සේ නමකට මේ සත්‍යක්‍රියාව කළ හැකි වුව ද නොරහත් සිල්වතුන් වහන්සේලා අතර ඕනෑ ම භික්ෂුවකට වුව ද මෙය කළ හැකි වුව ද බුදුරදුන් විසින් පෙර පරපණ සිය ගණනින් නැති කළ සුප්‍රකට මනුෂ්‍ය ඝාතකයෙකු ව සිටි, පසුවැ පැවිදිව රහත් වූ අංගුලිමාල තෙරණුවන්ට ම එය අනුදැන වදාළ බව ය. ඉන් ප්‍රකට කරන ලද්දේ ද පිරිපුන් චරිත සංවර්ධනයට පත් නැවතත් සාපරාදී ක්‍රියාවන් සිදු නොකරන්නෙකු වූ තැනැත්තාට ලෝකයට අපමණ ශාන්තියක් කළ හැකි බව ය. එමගින් අංගුලිමාල තෙරණුවන් සමාජය තුළ මහා ශාන්ති දායකයෙකු ලෙස පිළිගන්නා ලද බවට සැකයක් නැත. එම සත්‍යක්‍රියා සංඛ්‍යාත අංගුලිමාල පිරිත දැනුදු උන්වහන්සේ වෙත මහා ගෞරවයක් හා බලයක් ලබා දී තිබේ. මහා පීඩාවක් වූ ප්‍රසව වේදනාවෙන් පෙළෙන අපමණ මව්වරු අංගුලිමාල පිරිතේ ආශිර්වාදයෙන් දැනුදු සුවපත් වෙති.