ආසවක්ඛයා වහං හෝතු
බෙලිහුල්ඔය සීලසමාහිත යෝගාශ්‍රමවාසී
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
අභිධර්මය පිළිබඳ කථිකාචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
බලංගොඩ රාධ හිමි
උපන් මිනිසාට මුණගැසෙන වටිනාම සම්පත බුදුරජාණන් වහන්සේ ය. එහෙත් ඒ බව නො දන්නෝ ඒ සම්පත අතහැර දමති. නො වටිනා දහසකුත් දෑ ළංකර ගන්නට ඉමහත් වෙහෙසක් දරති. අවසානයේ සුන් වූ බලාපොරොත්තු මැද මරු මුව වැද ශෝක කරමින් ජීවිතයෙන් සමුගන්නේ අනාථයන් විලසිනි.
එනමුත් සරණ පතා තමා වෙත පැමිණි කිසිවෙකුටත් එවන් අනාථ මරණයක් හිමි නො වන්නට මග පෙන්වා වදාළ බුදුරජාණන් වහන්සේ විමුක්තියේ උදානය ලෙසින් සැදැහැති ජන සන්තානයෙහි අදත් වැඩ සිටින්නේ බුදුගුණ සුවඳ දිගන්තයෙහි විහිදුවමිනි.
නැති බැරිකම් වගේම ඇති හැකිකම් ද එකසේ දුකක් වන්නේ සිතක ඇති කෙලෙස් ධර්ම වල පමණින් ය.
පුද්ගලයෙකුගේ ජීවිතය හා චින්තනයට අනුව සකස් වූ චර්යාවන් පිළිබඳ මනා අවබෝධයක් නොමැතිකම නිසා නොයෙක් ආකාරයේ පීඩාවන්ට හේතුවන කරුණු තමාම එකතු කොට ගෙන පසුතැවෙනවාට වඩා මිනිස් ජීවිතය අර්ථවත් කරගැනීමට නම් ඒකාන්තයෙන් ම බුදුරදුන්ගේ මාර්ගෝපදේශකත්වය ලබාගත යුතු ය. ඊට අනුව පිළිපැදිය යුතු ය. බුදුරදුන් වදාළ යෝනිසෝ මනසිකාරය තරම් සුවපත් සිතක් ඇති කරදී ජීවිතයෙහි සෑම තත්පරයක් ම අර්ථවත් කරන වෙනයම් ධර්මයක් නොමැති තරම් ය. පුද්ගලයන්ට වැළඳෙන තාක් මනෝ රෝග නිවාරණයට බෙහෙත වන්නේ ද එයයි. යෝනිසෝ මනසිකාරය යනු කුමක්දැයි නො දන්නාකම තරම් අන් ව්‍යසනයක් ද සත්වයන්ට නැත.
යම් අරමුණක් අනුව කල්පනා කරනවිට සිත - කය - වචනය අසංවර කරන අදහස් පහළ වී , එම පුද්ගලයා පවට බර වේ නම්, කාමුකත්වයට, හිංසනයට, සීමාන්තික බවට නැඹුරු වේ නම් ඔහුගේ සිත පවතින්නේ අයෝනිසෝ මනසිකාරය තුළ යි. එසේ නොවී යම් චින්තනයකින් පුද්ගලයා උපශාන්ත පැවතුම් ඇති, අල්ප අවශ්‍යතා ඇති අයෙකු බවට පත් කෙරේ නම්, ඒ තුළ ඇත්තේ යෝනිසෝ මනසිකාරය යි. කෙටියෙන් කිවහොත් නූපන් කෙලෙස් නූපදින හා උපන් කෙලෙස් දුරුවී යන අයුරින් සිතන්නට පුරුදුවීම යෝනිසෝ මනසිකාරය යැයි කිව හැකි ය. සත්ත්වයන්ට අනාදිමත් සසරක උරුම වූ සෑම දුකකට ම හේතුව වන්නේ අයෝනිසෝ මනසිකාරය බව පෙන්වා වදාරණ බුදුරදුන් එය දුරුකිරීමටත්
යෝනිසෝ මනසිකාරය ප්‍රගුණ කිරීමටත් තුඩුදෙන අයුරින් ගිහියා හා පැවිද්දා විසින් කටයුතු කළ යුතු ආකාරය උගන්වා වදාරා ඇත.
එහිදී ප්‍රථමයෙන් තම චිත්තාචාරයන්ට හා හැසිරීම්වලට සීමාවක් තබා ගැනීම වැදගත් වේ.
බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි අගෝචරයෙහි හැසිරෙන පුද්ගලයාට ඒ තුළින් ඇතිවන දහසකුත් එකක් කරදර බාධක එම අගෝචරය දුරුකිරීමෙන් ඇති නොවේ. නපුරු සතුන් හා කෲර පවිටු මිනිසුන් ඇති ප්‍රදේශවලට නො යාම, ආරක්ෂාවක් නැති අනතුරු ඇඟවීම් සහිත ස්ථාන හා මාර්ගයන් කල්තියා හඳුනාගෙන ඉන් ඉවත් වීම, පාප මිත්‍රයන් හඳුනා ඔවුන් කෙරෙන් ඉවත් වීම, යහපත් මිතුරන් වෙත පැමිණ ඔවුන් ඇසුරු කිරීම වැනි ආරක්ෂාකාරී පැවතුම් ඇති පුද්ගලයාට බොහෝ අනතුරු පීඩා වළක්වා ගත හැකි ය. රාග, ද්වේෂාදී කෙලෙස් ධර්මයන් ද පාලනය කර ගැනීමට ද එම ඇවතුම් හේතුවන නිසා සිත් පීඩා අවම වීමට ද උපකාර වේ. සබ්බාසව සූත්‍රයේ “පරිවජ්ජනා පහාතබ්බා ධම්මා”
යනුවෙන් වදාරා ඇත්තේ එය යි.
ඉවසීම හෙවත් අධිවාසනය ද පීඩා හිරිහැර අවම කරගැනීමට උපකාර වේ. බොහෝ දෙනාට ඇතිවන දුක් පීඩාවන්ගෙන් බොහෝමයක් පැමිණෙන්නේ නො ඉවසීම හේතුවෙනි. ස්වල්ප දෙයක් නමුත් ඉවසා දරාගත නොහැකි අයට ජීවිතය පුරාවට විඳවීමක් විනා සැපයක් ලද නොහැකි බව තථාගතයන් වහන්සේ වදාළහ.
සීතල - උණුසුම - බඩගින්න, පිපාසය, මැසි මදුරු පීඩා, නපුරු වචන ඉවසන්නට පුරුදු විය යුතුය. යම් හෙයකින් නො ඉවසන්නා වූ ඔහුට දැවිලි සහිත වෙහෙසකර රාග ද්වේෂාදිය උපදී නම් ඉවසීම නිසාම ඒ සියල්ල දුරුකර දමා බාධක ගණනාවකින් ජීවිතය බේරාගත හැකි වනු ඇත. කෙබඳු තරාතිරමක අයෙකුට වුවද ඉවසීමක් නැත්නම් ඔහුගේ ජීවිතය නො මගකට වැටුනකි. සිතලූවන්ට වසඟගවීම නිසා ඉවසනසුලූ බව නැතිවේ. පව් පුරා හිරේ විලංගුවේ ද, අපා මුඛයට ද වැටෙන්නන්ගෙන් බොහෝ දෙනෙක් ඉවසීමේ හැකියාව නැත්තෝ ය. ”අධිවාසනා පහාතබ්බා ධම්මා” යනුවෙන් තථාගතයන් වහන්සේ වදාරා ඇත්තේ ඉවසීම දියුණුකර එමගින් දුරුකළ යුතු අයහපත් කායික හා මානසික තත්වයන් පිළිබඳව යි.
ආහාරපාන වස්ත්රාභරණ ගේදොර ඉඩකඩම් යාන වාහනාදී වස්තු පරිභෝගය ද අවසිහියෙන් කරන්නාට යෝනිසෝ මනසිකාරය නැතිවීම නිසා අතෘප්තිය, අසහනය, ඉරිසියාව, මසුරුකම, ගුණමකු බව, වැනි බොහෝ මානසික රෝගයන් ඇති වේ. දිරණ මැරෙණ ජීවිතය යම්තමින් කලක් පවත්වා ගැනීමට අවශ්‍ය වන ආහාරපාන, වස්ත්‍ර, නිවාසාදී දෑ සැපයක් යැයි වරදවා ගත්තවුන්ට එනිසා ඇතිවන බලවත් අසහනයන් නිසා මුලූ ජීවිතයම අඳෝනාවක් බවට පත්ව ඇත. බුදුරජාණන් වහන්සේ වදාරණ පරිදි ජීවිතය පැවැත්වීම නම් වූ ප්‍රයෝජනය සලකා ආහාර වස්ත්‍රාදිය සොයයි නම්, එය ඔහුට කිසිවිටෙක වෙහෙසකර සෙවීමක් නො වනු ඇත.
බුදු සසුනේ භික්ෂුව සිව්පස පරිභෝගය තණ්හා මානාදී කෙලෙසුන්ගෙන් සිත කිලූටු නොවන පරිදි සිදුකළ යුතුය. යෝනිසෝ මනසිකාරය උපදවා නුවණින් සලකා ප්රත්යවේක්ෂා ඤාණයෙන් යුතුව ප්‍රත්‍ය පරිභෝගය මගින් නූපන් කෙලෙස් දැවිලි ඇති නො වන බව ප්රත්යක්ෂ සත්‍යයකි. මදය හා ප්‍රමාදය වැඩුණ පසු පුද්ගලයා මුලා වූ මාවතක ගමන් කොට දෙලොවින්ම පිරිහෙන සැටි මහා කරුණාවෙන් පෙන්වා වදාරණ බුදුරදුන් ඉන් බේරීම පිණිස දිවි වැටුම උදෙසා ළංකර ගන්නා සියුම් දෑ යෝනිසෝ මනසිකාරයෙන්ම පරිහරණය කරන්නට උගන්වා වදාරා ඇත. ”පටිසේවනා පහාතබ්බා ධම්මා” යනුවෙන් සබ්බාසව සූත්‍රයේ සඳහන් වන්නේ එයයි.
දෝස සැලකීම් සහිත වීර්යයෙන් පහකළ යුතු පාපී මානසිකත්වයන් ද යෝනිසෝ මනසිකාරයෙන් හඳුනා ගත යුතුය. සිතක ඇතිවන කාම විතර්කය ඉන් එකකි. පමණ ඉක්මවූ අධික ආසාවන් නිසා සිතේ ඇතිවන අසහනය ආසාවන් අඩුකර ගැනීමෙන් නැතිවී යයි. උපන් කිසිවෙකුට තමා කැමති සියල්ල එලෙසින්ම ලද හැක්කේ නොවේ. සාගරයක් බඳු බලාපොරොත්තු ඇතත් ජීවිත කාලය තුළ සැබෑ වන්නේ අතට ගත් ජල දෝතකටත් වඩා අඩු ප්රමාණයකි. එය සත්‍යයක් වුවද පිළිගැනීමට ඇති නො හැකියාව නිසා කාමුකත්වයට, වෛරයට, හිංසනයට වසඟ වී බොහෝ පිරිසක් වල්මත් ව ඇත.
උපන් රාග සිතිවිලි, වෛර සිතිවිලි, හිංසන සිතිවිලි රස කරමින් සිතේ තබා නොගෙන අභ්‍යන්තර සතුරන් ලෙස සලකා ඉවත් කිරීමට වීර්යය පිහිටුවීම මගින් දුකට පක්ෂ වූ හේතු ගණනාවක මූලච්ඡේදය සිදුවනු ඇත. එමගින් වන පළමු ප්‍රතිලාභය නිවුන සැනසුන මනෝභාවයක් තමාටම අත්විඳීය හැකි වීමයි. දෙවනුව ඇසුරු කරන්නන්ට ද මහඟු සෙතක් සැලසෙනු ඇත. ”විනොදනා පහාතබ්බා ධම්මා”
නමින් එම කරුණ තථාගත ධර්මයේ සඳහන් වේ. ඉන්ද්රිය සංවරය පුරුදු කිරීම ද මෙහිලා සාකච්ඡා කළ යුතු ය . ඇස, කන ආදියෙන් රූප ශබ්දාදී අරමුණු ගෙන රාග ද්වේෂාදී පාපී ධර්ම උපදින අයුරින් කල්පනා කිරීම අයෝනිසෝ මනසිකාරය වැඩීමකි. එමගින් අභ්‍යන්තරයම අවුල් වියවුල් ගොඩකට ඇද වැටේ. චක්ෂුරාදී ඉඳුරන්ගේ ද රූපාදී ආරම්මණයන්ගේ ද ඇති ජරා මරණ ලක්ෂණ, සංඛත ස්වභාවය, දුඞඛ ජනන මූලය සැලකීමෙන් අනාත්මීය හේතු - ඵලෝදය, සත්ව පුද්ගල සංඥාවෙන් වරදවා ගෙන ඇති බව තේරුම් ගත හැකිය.
ඒ අනුව කල්පනා කර ආධ්‍යාත්මික ආයතන හා බාහිර ආයතන අතර ඇති සම්බන්ධය යෝනිසෝ මනසිකාරයට නතුකර ජවන් අවස්ථාවන්ට බැස ගන්නා සිත අකුසලයක් නොවීමට වග බලා ගත යුතුය.
සෘජුවම කෙලෙස් නසන වැඩපිළිවෙලෙහි ආරම්භය වන්නේ ද මෙයයි. කාමාවචර වූ ද නුවණින් සිහිකිරීම් ඇත්තා වූ ද චිත්තෝපාදයන් අනවරතයෙන් උපදින්නට සැලැස්වීම උපචාර භාවනාවයි.
මත්තෙහි ”අර්පණා” හෙවත් ධ්‍යාන ප්‍රතිලාභයට ද මගඵල ලැබීමට ද මේ ඉන්ද්රිය සංවරය මහෝපකාර වන බව කිව යුතු ය. ඉන්ද්රිය සංවරය පුරුදු කිරීමෙන් දුරුකළ යුතු කෙලෙස් ධර්ම ”සංවරා පහාතබ්බා
ධම්මා” නමින් වදාරා ඇත.
ඉහත කරුණු අනුව ජීවිතය හසුරුවා ගන්නා පුද්ගලයාට ”දස්සනේන පහාතබ්බා ධම්මා” නමින් හඳුන්වන සෝවාන් මාර්ග දර්ශනයෙන් ප්රහාණය කළ යුතු කෙලෙස් ධර්ම ප්රහාණය පිණිස අවස්ථාව එළැඹේ. ප්‍රමාණික කාලයක් අඛණ්ඩව යෝනිසෝ මනසිකාරයෙන් යුතුව කුසල් සිත වඩමින් කටයුතු කරන විට තථාගත ධර්මය විෂයෙහි දක්ෂයෙක් වේ.
ඒ දක්ෂතාවය ද හුදු ධර්මය ඇසීම් පමණින් ම නොව නුවණින් විමසීමේ හැකියාව ද සහිතව ම දියුණු වූවකි. ඒ හැකියාව නිසා ඔහුට අයෝනිසෝ මනසිකාරය මුල් කොට ඇතිවූ අතීත, වර්තමාන,අනාගත යන කාලත්රය පිළිබඳ ඇතිවන සොළොස් වැදෑරුම් සැකයන් දුරුකිරීමට හේතුවේ.
මා හට අතීත ජීවිතයක් තිබුණේද? නැතිද? කවරෙක් වීම් ද? කෙසේ වීම් ද? කවරෙක් ව සිට කෙබඳු නමකින් යුතුව උපන්නෙම් ද ? යැයි මෙවන් අදහස් සිතක පහළ වන්නේ හේතු ඵල ධර්මය පිළිබඳව අනවබෝධය නිසා ම ය. යෝනිසෝ මනසිකාරය නිසා සති - සමාධි - ප්‍රඥා ගුණ මෝරන විට හේතුඵල ඤාණය දියුණු වේ. එවිට ඉහත සඳහන් සැක සංකා පහව යනු ඇත. එපමණක් නොවේ. අනාගත අද්ධය ගැන ද පැහැදිලි විනිශ්චයක් ඇති වේ. කුසල සංස්කාරයන් වැඩූ පසු කාම සුගතියක හෝ රූප ලෝකයකට ප්රතිසන්ධි වශයෙන් එළැඹෙන සැටි බුදුරදුන් වදාරා ඇති නිසා ද, තමාටත් ඒ පිළිබඳ වැටහීමක් ප්‍රඥාවක් පහළ වූ නිසා ද හේතුඵල දහමක ඇති යථාර්ථවාදී බව පිළිබිඹු වේ.
ආනෙඤජාභි සංස්ඛාරයක් වැඩූ පසු අරූප ලෝකයකට ප්රතිසන්ධි වශයෙන් එළැඹෙන ආකාරය ද අකුසල සංස්ඛාර නිසා දුගතීන්ට එළැඹෙන ආකාරය ද, දක්නා ශ්රාවකයා තථාගත ධර්මාවබෝධය ලබා ඒ තෙවැදෑරුම් සංස්ඛාරයන් ප්රහාණය කළ පසු ප්රතිසන්ධි - ප්රවෘත්ති විඤ්ඤාණයාගේ ඉපදීමක් නැති බවත්, එවිට ජාතිය සි¼දී යන ආකාරයත් දැකගනී. ජාතිය මුල් කොට උරුම වූ ජරා මරණ දුඞඛය පිටු දැකීමට නම් ජාති නිරෝධයම සිදුකළ යුතුය. එබැවින් මේ උතුම් වැඩපිළිවෙල ජාති නිරෝධගාමිනී ප්‍රතිපදාව ලෙස ද, ජරා මරණ නිරෝධගාමිනී ප්‍රතිපදාව වදාරා ඇත.
දේවවාද, මැවුම්වාද, නිර්මාණ වාදයන් පටලවා ගෙන මුලා වූ ජනයාට යෝනිසෝ මනසිකාරය හුරු කරවීමෙන් වත්මන් ජීවිතය පිළිබඳව ද මම වෙමි ද? නොවෙමි ද? කවරෙක් වෙමි ද? කෙසේ වෙමි ද? මේ සත්ත්වයා කොයින් ආවේ ද? කොහි යහි ද? කියා මෙලෙසින් ඇතිවන සියලු සැකයන් පහව යනු ඇත.
ඒත් සමගම ආත්මයක් ඇත, ආත්මයක් නැත යනාදී වශයෙන් ආකාර සයකින් පඤ්ච උපාධානස්ඛන්ධය අරභයා ඇතිවන මිථ්‍යා ග්රහණයන් හෙවත් මිසදිටු වැටහීම් පහව යයි; ඔහු මේ දුකයැයි නුවණින් මෙනෙහි කරයි. දුක්ඛ සමුදය වන්නේ මෙයයි කියා විමසා දැන ගනියි. දුඞඛ නිරෝධය ද අවබෝධ කර ගනී. දුඞඛ නිරෝධයගාමිනී ප්‍රතිපදාව අංග අටකින් යුක්ත ආර්ය මාර්ගය බව දැක ගනී; දැනගෙන එම මාර්ගයේ ම අප්රමාදී ව ඉදිරියට යන විට පංච උපාධානස්කන්ධ පිළිබඳව පැවති විසි වැදෑරුම් සක්කාය දෘෂ්ඨිය පහව යයි; බුදුරදුන්ගේ ධර්ම මාර්ගය හා ශ්‍රාවක සංඝරත්නය ගැන අචල ප්‍රසාදයක් ඇතිවේ. නිවන් පිණිස මෙය හැර අන් මාවතක් නැති බව ප්රත්යක්ෂ ලෙසම වැටහී යයි; එවන් අවබෝධයකට පැමිණි ඔහු සෝවාන් ආර්ය ශ්රාවකයා නමින් හඳුන්වයි. අටවන භවයක් කරා නොගොස් සසරින් සමුගන්නා යන අර්ථයෙන්, බුදුරදුන් විසින් ”සත්තක්ඛත්තු පරම” යන ගෞරව නාමයෙන් ඔහු හඳුන්වනු ලබයි.
ඉතා බලවත් යෝනිසෝ මනසිකාරයක් ස්ථිර ලෙසම පිහිටන එම අවස්ථාවට පත් ශ්රාවකයා විරාගය හෙවත් නිවනට නැමීගත්, විවේකය හෙවත් කෙලෙසුන්ගෙන් තොරව සිත පැවැත්වීමේ හැකියාව තවදුරටත් දියුණු කළ යුතු ය; ඒ සඳහා යෝනිසෝ මනසිකාරයෙන් අනුග්‍රහ ලද සතිය, ප්‍රඥාව, වීර්යය, පී‍්‍රතිය, කාය - චිත්ත සන්සි¼දීම, සමාධිය හා උපේක්ෂාව යන මේ සත් වැදෑරුම් නිර්වාණය පිණිස පවතින අංගයන් වැඩිය යුතු ය. එලෙසින් වැඩුණ සිතට මුලින් අකුණු එළියෙන් දුටු රන් භාජනයක් වැනි නිර්වාණය, පිළිවෙලින් පහන් එළියෙන්, සඳ එළියෙන්, හිරු එළියෙන් දැකීමත් සදිසි සකදාගාමි, අනාගාමි, අරහත් මාර්ග ඤාණය පහළ වී හැම දුක් සිඳී යන පින්බර මොහොත උදාවනු ඇත.
කෙලෙස් බර බහා තැබූ, භව සංයෝජන සිඳ දැමූ, ආශ්‍රවයන් ක්ෂය වී ගිය ඒ උතුමන් වහන්සේ මහා රහතන් වහන්සේ ම ය. විරාගයේ ද, අවිහිංසාවේ ද, මෛති‍්‍රයේ ද, කරුණාවේ ද, දයාවේ ද, අනුකම්පාවේ ද,ස්වර්ණමය මූර්තිය වන එවන් උතුමන්ගේ නවාතැන්පළ වන බුදු සසුන බොහෝකල් පවත්වන්නේ උන්වහන්සේලා ම ය.
ඔබ මා සේ ඒ උතුමෝ පෙර දිනෙක නිවන් පතා ආ ගමනේ දී පින් රැස් කොට එකම අභිලාෂයකට පණ පෙවූහ. එනම් මාගේ මේ පින සව් කෙලෙසුන් නසා දැමීමට හේතුවේවා” හෙවත් ”ආසවක්ඛයා වහං හෝතු” යන මේ පිවිතුරු ප්‍රාර්ථනාවයි