Monday, January 24, 2022

ධර්ම දානය

 


ධර්ම දානය

ලාභ කීර්ති ප්‍රශංසාදිය ගැන අපේක්ෂාවක් නැතිව, කරුණාධ්‍යාශයෙන්, පින්පව් හඳුන්වා දීම් වශයෙන් දහම් දෙසීම ධර්ම දානය ය. සත්ත්වයන් නිවන් මගට පමුණුවනු සඳහා ආර්ය සත්‍යයන් දක්වා දහම් දෙසීම ශ්‍රේෂ්ඨතර ධර්ම දානය ය. 

රේරුකානේ චන්දවිමල මහා නා හිමි

ධර්මකථිකයන්ලවා ධර්මය කියවීම ද, බණ නො අසන්නන්ලවා බණ ඇස්වීම ද, බණ පොත් පත් ලියවීම හා මුද්‍රණය කරවීම ද, බණ පොත් මිලට ගෙන පූජා කිරීම ද, ධර්මය ඉගෙන ගන්නවුනට පොත පත සපයා දීම ද, ධර්මයාගේ චිරස්ථිතිය සඳහා ධර්මය උගන්වන ගුරුවරයනට හා උගන්නා ශිෂ්‍යයන්ට උපකාර කිරීම ද, පොත් ගුල් දහම් හල් කරවීම ද, ධර්මයාගේ චිරස්ථිතිය හා ව්‍යාප්තිය පිණිස කළ හැකි කිනම් දෙයක් වූවත් කිරීම ද ධර්ම දානය ම වන්නේ ය.

දානයන් අතුරෙන් ධර්ම දානය අග්‍ර දානය වේ. යමෙකුට සක්වළ ගැබ පුරා අතුරු සිදුරු නැති ව වැඩ සිටින්නා වූ බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මටසිලුටු සිවුරු පිදිය හැකි වේ නම් එය අතිවිශාල චීවර දානයෙකි. ඒ අතිවිශාල ආමිෂ දානයට වඩා එතැනට රැස් වූ පිරිසට අනුමෝදනා වශයෙන් සතර පද ගාථාවකින් දහම් දෙසීම් වශයෙන් කරන ධර්ම දානය ම උතුම් වේ. ඒ මහා චීවර දානය, එක් ගාථාවකින් දහම් දෙසීමේ කුසලයෙන් සොළොස් වෙනි කලාව තරම්වත් නො වටිනා බව දක්වා තිබේ. තව ද සක්වළ පුරා වැඩ සිටින බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලාට පාත්‍රා පුරා දෙන මහා ආහාර දානයට ද, එසේ ම පාත්‍ර පුරා දෙන ග්ලානප්‍රත්‍යය දානයට ද, මහා විහාරයන් වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා, ලෝවාමහාපාය වැනි ප්‍රාසාදයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයට ද වඩා, ජේතවනාරාමය සඳහා අනේපිඬු සිටුහු විසින් කළ පරිත්‍යාගයට ද වඩා, සතර පද ගාථාවකින් පවත්වන ධර්මදානය ම උතුම් බව දක්වා තිබේ. කුමක් හෙයින් ද යත්? එබඳු දානයන් දෙන්නාහු දහම් ඇසීම නිසා ම දෙන බැවිනි. මේ සත්ත්වයෝ දහම් නො ඇසුවෝ නම් යටත් පිරිසෙයින් කැඳ සැන්දක් පවා පිනට නො දෙන්නාහු ය. එබැවින් සියලු ම දානයන්ට වඩා ධර්ම දානය උතුම් වේ.

“සබ්බදානං ධම්මදානං ජිනාති
සබ්බ රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතිං ජිනාති
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති”

ධර්මදානය තෙමේ සියලු දානයන් දිනන්නේ ය. හෙවත් යට කරන්නේ ය. ධර්ම රසය සියලු රසයන් දිනන්නේ ය. ධම්රතිය (ධර්මයෙහි ඇල්ම) සියලු රතීන් දිනන්නේ ය. තෘෂ්ණාක්ෂයය සකල දුක්ඛය දිනන්නේ ය.

මිලින්ද ප්‍රශ්නය

නාමරූපයන්ගේ හට ගැනීම කර්මයට අනුවයි


ශ්‍රීක ජාතිකයෙකු වූ මිළිඳු රජතුමාත්, ශාසනයේ චිර පැවැත්මට කැමැති නාගසේන මහරහතන් වහන්සේත් ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ගෙවුණ තැන මුණ ගැසුණේ ය. 

දෙදෙනා ම සසරේ ප්‍රාර්ථනාවක් කර තිබුණි. මිළිඳු රජතුමා බුද්ධ ශාසනය පිළිබඳ ව යම් ප්‍රශ්නයක් ඇසුවේ ද, නාගසේනයන් වහන්සේ නො පැකිළිව ඉතා රම්‍ය වූ පිළිතුරු ලබාදුන් සේක. 

දිනක් මිළිඳු රජු විසින් මෙසේ ඇසුවේ ය. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, පිළිසිඳ ගන්නේ කවුද? 

“මහරජාණෙනි, පිළිසිඳ ගන්නේ නාමරූපයි” 

“එසේනම් මේ නාමරූප ම ද පිළිසිඳ ගන්නේ?” 

“මහරජාණෙනි, පොදු ව්‍යවහාරයේ දී නාමරූප පිළිසිඳ ගන්නා බව කතා කරන නමුත් පිළිසිඳ ගන්නේ මේ නාමරූප පමණක් නොවේ. මහරජාණෙනි , මේ නාමරූපය භාවිත කරමින් යම් සුන්දර වූ හෝ , පාපී වූ හෝ කර්මයක් කරයි නම්, ඒ කර්මය කරණ කොටගෙනයි නාමරූපය පිළිසිඳ ගන්නේ” 

“එසේනම් ස්වාමීනි, පිළිසිඳ ගන්නේ මේ නාමරූප ම නෙවෙයි නම්, පාප කර්මයන්ගේ අනාගත විපාකවලින් ඒ පුද්ගලයා නිදහස් වෙනවා නේද?” 

තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. 

“පිළිසිඳ ගන්නේ නැත්නම්, පාප කර්මවල අනාගත විපාකයන්ගෙන් නිදහස් වන්නේ වෙයි. නමුත් මහරජාණෙනි යමක් , හේතුවක් නිසා පිළිසිඳ ගන්නේ නම්, ඒ හේතුව නිසයි ඔහු පාප කර්මයන්ගෙන් නිදහස් නො වෙන්නේ” . 

ස්වාමීන් වහන්ස, උපමාවක් වදාළ මැනව“ 

“මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් තවත් පුරුෂයෙකුට අයත් අඹ ගෙඩියක් සොරකම් කරයි. එවිට අඹ හිමිකරු ඔහු රැගෙන ගොස් රජුට පෙන්වයි.” දේවයන් වහන්ස, මේ පුද්ගලයා මගේ අඹ සොරකම් කළා’ කියා. එවිට සොරා මෙසේ පවසයි. ‘නැත දේවයන් වහන්ස, මම මොහුගේ අඹ සොරකම් කළේ නැහැ. මොහු යම් අඹයක් රෝපණය කළා නම් , ඒවා වෙනත් අඹ. මා විසින් යම් අඹයක් සොරකම් කළා නම් ඒවා වෙනත් අඹ. මම දඬුවම් නො ලැබිය යුතු වෙමි.’ මහරජාණෙනි, කිම? ඒ පුුරුෂයා දඬුවම් ලැබිය යුතු කෙනෙක් නේද?

“එසේය ස්වාමීනි, ඔහු දඬුවම් ලැබිය යුතු කෙනෙකි.”

”මහරජ, ඒ දඬුවම් ලබන්නේ මක් නිසාද?” 

“ස්වාමීනි. ඒ පුද්ගලයා එසේ කියන නමුත්, කලින් සිටුවන ලද අඹය පිළිබඳ හේතුව නො සලකා එයින් උපන් පසු අඹය හේතුවෙන් ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතුයි.” 

”මහරජාණෙනි, සසර ගමනත් එවැනි දෙයකි. මේ නාමරූපය කරණ කොට ගෙන සුන්දර වූ හෝ , පවිටු වූ හෝ කර්මයක් කරයි ද? ඒ කර්මය නිසයි අන්‍ය වූ නාමරූපයක් පිළිසිඳ ගන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ.” 

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව“

“මහරජාණෙනි, කිසියම් පුද්ගලයෙක් අධික සීත කාලයේ ගිනි ගොඩක් දල්වා ගිනි තැප එය නො නිවා පිටත් වෙයි. එවිට ඒ ගින්න ඇවිලී තවත් කෙනෙකුගේ කුඹුරක් දවයි. ඉක්බිති කුඹුරු අයිතිකාරයා අර පුද්ගලයා රැගෙන ගොස් රජුට පෙන්වයි. ‘දේවයන් වහන්ස, මේ පුරුෂයා විසින් මාගේ කුඹුර ගිනි තබන ලද්දේ ය’ කියා. එවිට ඔහු මෙසේ පවසයි. ‘ස්වාමීනි, මම මොහුගේ කුඹුර ගිනි තැබුවේ නෑ. මා විසින් නො නිවන ලද ගින්නක් ඇද්ද, එය අනෙකකි. මොහුගේ කුඹුර දවන ලද යම් ගින්නක් ඇද්ද? එය තව එකකි. එනිසා මම දඬුවම් නො ලැබිය යුතු වෙමි” කියා. කිම? මහරජාණෙනි, ඒ පුුරුෂයා දඬුවම් ලැබිය යුතුයි නේ ද?

“එසේය ස්වාමීනි, ඔහු දඬුවම් ලැබිය යුතුයි” 

“කාරණය කුමක්ද?” 

“ස්වාමීනි , ඒ පුද්ගලයා එසේ කියන නමුත්, කලින් නො නිවූ ගින්න පිළිබඳ හේතුව නො සලකා, එයින් පසු ගින්න හේතුවෙන් ඒ පුරුෂයා දඬුවම් ලැබිය යුතුයි.” 

”මහරජාණෙනි, මෙයත් එවැනි දෙයකි. මේ නාමරූපය කරණ කොට ගෙන සුන්දර වූ හෝ පවිටු වූ හෝ කර්මයක් කරයි ද? ඒ කර්මය නිසයි අන්‍ය වු නාමරූපයක් පිළිසිඳ ගන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ?” 

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැව“ 

“මහරජාණෙනි, කිසියම් පුරුෂයෙක් පහනක් දල්වාගෙන ප්‍රාසාදයකට නැගී එහි සිට ආහාර අනුභව කරයි. පහන එහි දැල්වෙද්දී පිදුරු ගිනි ගනියි. පිදුරු ගිනි ගනිද්දී නිවස ගිනි ගනියි. නිවස ගිනි ගනිද්දී ඒ ගින්න ගමට පැතිර ගොස් ගම ද ගිනි ගනියි. ගම්වැසියන් අර පුද්ගලයා අල්ලා ගෙන මෙසේ අසයි. ‘එම්බා පුරුෂය, නුඹ ගම ගිනි තිබ්බේ ඇයි? ඔහු මෙසේ පවසයි. ‘භවත්නි, මම ගමක් ගිනි තිබ්බේ නෑ. යම් ආලෝකයක් නිසා මං ආහාර අනුභව කළා ද, ඒ පහන අනෙකකි. යමකින් ගම ගිනි ගත්තා ද, ඒ ගින්න තව එකකි. මෙසේ ඔවුහු විවාද කරමින් ඔබ ළඟට පැමිණෙති. මහරජාණෙනි, එතකොට ඔබ ගන්නේ කවරෙකුගේ පැත්ත ද?” 

“ස්වාමීනි, මං ගන්නේ ඒ ගම්වැසියන්ගේ පැත්තයි” 

“එසේ කිරීමට හේතුව කුමක් ද?” 

“අර පුද්ගලයා කෙසේ පැවසුව ද, ඒ ගින්නෙන් ම යි අර ගින්න හටගත්තේ” 

“ඔය අයුරින් ම මහරජාණෙනි, මරණාසන්න මොහොතේ මොන ආකාරයකින් නාමරූප තිබුණ ද, පිළිසිඳ ගන්නා මොහොතේ මොන ආකාරයකින් නාමරූප තිබුණ ද කලින් කර්මානුරූප ව සකස් වූ නාමරූපයන්ගේ උපකාරයෙනුයි එය උපදින්නේ . ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ,” 

“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනවැ” 

“එක්තරා පුරුෂයෙක් සිටියි. ඔහු ළදරු වියෙහි සිටින දැරියක අනාගතයේ විවාහ කරගැනීම පිණිස ඇය වෙනුවෙන් ධනය තැන්පත් කොට පිටත්ව යයි. කාලයාගේ ඇවෑමෙන් ඇය උස් මහත්ව වැඩෙයි. 

එවිට වෙනත් පුරුෂයෙක් ඇයට ධනය දී විවාහ කර ගනියි. කලින් පුරුෂයා පැමිණ ඔහුගෙන් මෙසේ විමසයි. එම්බා පුරුෂය, නුඹ මාගේ භාර්යාව රැගෙන යන්නේ ඇයි? ඔහු මෙසේ පවසයි. “නුඹගේ බිරිඳක් මා රැගෙන යන්නේ නෑ. නුඹ යම් දැරියකට පොරෙන්දු වී ධනය දුන්නේ වෙයිද, ඕ ළදරු කෙල්ලෙකි. යම් තරුණියකට මා පොරොන්දු වී ධනය දුන්නේ වෙයි නම් ඕ උස් මහත් වූ යොවුන් ස්ත්‍රියකි. ඉදින් මොවුන් විවාද කරමින් ඔබ සමීපයට පැමිණ පැමිණිලි කළහොත් මහරජාණෙනි, ඔබ ගන්නේ කවුරුන්ගේ පැත්ත ද? 

“ස්වාමීනි, මා ගන්නේ කලින් පුරුෂයාගේ පැත්තයි” 

“එසේ කිරීමට හේතුව කුමක් ද?” 

“දෙවෙනි පුද්ගලයා කෙසේ කීවද උස් මහත් වී තරුණියක්ව සිටින්නී අර කලින් දැරිය ම ය.

“ඔය අයුරින්ම මහරජාණෙනි, මරණාසන්න මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණද, පිළිසිඳ ගන්නා මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණ ද අර කලින් කර්මානුරූපව සකස් වූ නාමරූපයන්ගේ උපකාරයෙන් එය උපන්නේ. ඒ හේතුව නිසාය පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ”

“ස්වාමීනි තවත් උපමාවක් වදාළ මැනැව“ 

“මහරජාණෙනි, එක්තරා පුුරුෂයෙක් ගොපල්ලෙකුගේ කිරි කළයක් මිලට ගනියි. නැවත ඔහු ඒ ගොපල්ලා අතම ඒ කිරි කළය තබා “මම හෙට අරගෙන යන්නම්’ යනුවෙන් පවසා පිටත් වෙයි. නමුත් ඒ කිිරි, දී කිරි බවට පත්වෙයි. ඔහු නැවත පැමිණ ‘මගේ කිරි කළය දෙන්න’ කියා ඉල්ලයි. ගොපල්ලා අර කිරි කළය පෙන්වයි. ”නෑ මම ඔබෙන් මිලදී ගත්තේ දී කිරි නො වෙයි. මට කිරි කළය දෙන්න.

”ඔබේ කිරි දී කිරි වූ බව තේරෙන්නේ නැද්ද?” අනෙක් පුරුෂයා අසයි. ඉතින් ඔවුන් වාද විවාද කරමින් ඔබ ළඟට පැමිණියොත් මහරජාණෙනි, ඔබ ගන්නේ කවුරුන්ගේ පැත්ත ද? 

“ස්වාමීනි, ගොපල්ලාගේ පැත්තයි” 

“එයට හේතුව කුමක්ද?” 

“අර පුද්ගලයා කෙසේ පැවසුව ද ඒ කිරිවලින් ම යි දී කිරි උපන්නේ” 

“ඔය විදිහට තමයි මහරජාණෙනි, මරණාසන්න මොහොතේ කුමන ආකාරයකින් නාමරූප තිබුණ ද , පිළිසිඳ ගන්නා මොහොතේ කුමන අයුරකින් නාමරූප තිබුණ ද, අර කලින් කර්මානුරූප ව සකස් වු නාමරූපයන්ගේ උපකාරයෙන් ම යි එය උපන්නේ. ඒ හේතුව නිසයි පාප කර්මයන්ගෙන් නිදහස් නො වන්නේ”. 

“ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක” යි මිළිඳු රජතුමා පැවැසී ය. 

Sunday, January 23, 2022

මිලින්ද ප්‍රශ්නය

 


කුසල් දහම් මත පවතින සමාධිය

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපු සංචිතයේනිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වසර පන්සියයක් ගත වූ තැන නාගසේන මහරහතන් වහන්සේත්, ගී‍්‍රක රජෙකු වූ මිළිඳු රජතුමාත් අතර පැවැති දුර්ලභ ධර්ම සංවාදය මිළිඳු රාජ ප්‍ර‍්‍රශ්නය ග්‍රන්ථයේ ඇතුළත් වී ඇත.

මෙම දහම් සංවාදයේ ඉස්මතු වන දහම් කරුණු අපට අතිශයින් ප්‍රයෝජනවත් ය. කො තරම් දහම් දැනුම තිබුණත් ඇතැම් දහම් ගැටලු විසදා ගැනීමේ දී මිළිඳු රාජ ප්‍රශ්න ග්‍රන්ථයෙන් අපට ලැබෙන උපකාරය ඉතා ම වැදගත් වේ.

දිනක් නාගසේන මහරහතන් වහන්සේ මුණ ගැසුණ මිළින්ද රජු මෙසේ අසා සිටියේ ය.

සිහිය ගැන පිළිබඳ ප්‍රශ්නය

”ස්වාමීනි නාගසේනයන් වහන්ස, සිහියේ ස්වභාවය කුමක් ද?”

”මහරජාණෙනි, කුසල් දහම් අරමුණු කරවන ස්වභාවය සිහිය යි. එමෙන් ම නිවන් මඟට හිිත වූ දේ ත්, අහිත වූ දේ ත් හඳුනාගෙන හිත දේ ගැනීමත්, අහිත දේ බැහැර කිරීමත් සතියේ ස්වභාවය යි.

මහරජාණෙනි, සිහිය ඉපදීමෙන් කුසලාකුසල ධර්මයන්, වැරැදි නිවැරැදි ධර්මයන්, හීන ප්‍රනීත ධර්මයන්, යහපත් අයහපත් ධර්මයන්, පිළිබඳව පැහැදිලිව තේරුම් ගන්නේ. එනම් මේ සතර සතිපට්ඨාන ය, මේ සතර සම්‍යහ්පධාන ය, මේ සතර සෘද්ධිපාද ය, මේ පංච ඉන්ද්‍රිය ය, මේ පංච බල ය, මේ සප්ත බොජ්ඣංග ය, මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ය, මෙය සමථය යි. මෙය විදර්ශනාව යි, මෙය අවබෝධ ඤාණය යි, මෙය විමුක්තිය යි. වශයෙන් වටහා ගන්නේ සිහියෙනි. ඒ තුළින් ය, යෝගාවචර තෙමේ සේවනය කළ යුතු ධර්මයන් සේවනය කරන්නේ. සේවනය නො කළ යුතු ධර්මයන් සේවනය නො කරන්නේ. භජනය කළ යුතු ධර්මයන් භජනය කරන්නේ. භජනය නො කළ යුතු ධර්මයන් භජනය නො කරන්නේ. මහරජාණෙනි, සිහිය යනු මේ අයුරින් කුසල් දහම් අරමුණු කරවන ස්වභාවය යි.

”ස්වාමීනි, උපමාවක් කළ මැනැව“

”මහරජාණෙනි, සක්විති රජුුගේ භාණ්ඩාගාරික තෙමේ උදේ හවස සක්විති රජුගේ යසස සිහි කරවයි. දේවයන් වහන්ස, ඔබ වහන්සේට හස්්තීීහු මෙ පමණ සිටිති. අශ්වයෝ මෙ පමණ සිටිති. රථ සේනාවෝ මෙ පමණ සිටිති. පාබල සේනාවෝ මෙ පමණ සිටිති. රිදී මෙ පමණ තිබේ. රන් මෙ පමණ තිබේ. ගෘහෝපකරණ මෙ පමණ තිබේ. දේ්වයන් වහන්ස, එය සිහිකළ මැනැවැ’යි කියා ය. මෙසේ රජතුමා සතු දේපළ විස්තර මනසට අරමුණු කරව යි.

”මහරජාණෙනි, ඔය අයුරින් ම සිහිය, කුසල් - අකුසල්, හරි - වැරැදි, හීන - ප්‍රණීත, හොඳ - නරක ආදී ධර්මයන් සිතට අරමුණු කරවයි. මේ සතර සතිපට්ඨාන ය, සතර සම්‍යහ් පධාන වීර්ය ය, සතර සෘද්ධිපාද ය, පංච ඉන්ද්‍රිය ය, පංච බල ය, සප්ත බොජ්ඣංගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය ය, මේ සමථ ය, මේ විදර්ශනාව ය, මෙය අවබෝධ ඤාණය ය, මෙය විමුක්ති ය වශයෙන් වටහා ගන්නේ සිහියෙනි. ඒ තුළින් ය යෝගාවචර තෙමේ සේවනය කළ යුතු ධර්මයන් සේවනය කරන්නේ. සේවනය නො කළ යුතු ධර්මයන් සේවනය නො කරන්නේ. භජනය කළ යුතු ධර්මයන් භජනය කරන්නේ. භජනය නො කළ යුතු ධර්මයන් භජනය නො කරන්නේ. මහරජාණෙනි, සිහිය යනු මේ අයුරින් අකුසල් දහම් අරමුණු කරවන ස්වභාව යි.

”ස්වාමිනි, හිත - අහිත දේ හඳුනාගෙන හිතකර දේ ග්‍රහණය කරන සතිය පවතින්නේ කෙසේ ද?”

”මහරජාණෙනි, සිහිය උපදින විට හිත අහිත දේ තේරුම් ගැනීමේ හැකියාවෙන් යුක්ත වෙයි. මේ ධර්මයන් මට යහපත පිණිස පවතී. මේ ධර්මයන් මට අහිත පිණිස පවතී. මේ ධර්මයන් මට උපකාර යි. මේ ධර්මයන් මට අපකාර යි වශයෙනි. එයින් යෝගාවචර තෙමේ අයහපත් ධර්මයන් බැහැර කරන්නේ. යහපත් ධර්මයන් වැළඳ ගන්නේ. අපකාර ධර්මයන් බැහැර කරන්නේ. උපකාර ධර්මයන් ළං කර ගන්නේ. මහරජාණෙනි, හිත අහිත දේ හඳුනාගෙන යහපත් දේ ග්‍රහණය කරනා ස්වභාවය වනාහි සිහිය යි.

”ස්වාමිනි, ඒ සඳහා උපමාවක් වදාළ මැනවි”

”මහරජාණෙනි, සක්විති රජුට අනුශාසනා කරන ප්‍රධාන තැනැත්තා හිත - අහිත දේ ගැන රජුට දැනුම් දෙයි. මේවා රජුට හිත සුව පිණිස පවතී. මේවා අහිත පිණිස පවතී. මේවා උපකාර යි. මේවා අපකාර යි.” වශයෙනි. ඒ හේතුවෙනුයි අහිත දේ බැහැර කරන්නේ. හිත දේ ළං කරන්නේ. අපකාර දේ බැහැර කරන්නේ. උපකාරක දේ ළං කරන්නේ. මහරජාණෙනි, මේ අයුරින් ම සිහිය උපදින විට හිත - අහිත ධර්මයන් මැනැවින් හඳුනාගනී. මේ ධර්මයන් මට යහපත පිණිස පවතී. මේ ධර්මයන් මට අහිත පිණිස පවතී. මේ ධර්මයන් මට උපකාරයි. මේ ධර්මයන් මට අපකාරයි ඒ තුළින් ය යෝගාවචර තෙමේ අයහපත් ධර්මයන් බැහැර කරන්නේ. යහපත් ධර්මයන් වැළඳ ගන්නේ. අපකාර ධර්මයන් බැහැර කරන්නේ. උපකාර ධර්මයන් ළං කරගන්නේ. මහරජාණෙනි, හිත - අහිත දේ හඳුනාගෙන යහපත් දේ ග්‍රහණය කර ගන්නා ස්වභාවය වනාහී එම සිහිය යි. මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ මෙය මැනවින් වදාළ සේක. පින්වත් මහණෙනි, මම සිහිය යනු සියලු යහපතට උපකාර දේ යැයි පවසමි” කියා ය.

සමාධිය ගැන ප්‍රශ්නය

”ස්වාමිනි, නාගසේනයන් වහන්ස, සමාධියෙහි ස්වභාවය කුමක් ද?

” මහරජාණෙනි, කුසල් දහම් ඉදිරියට ගැනීම සමාධියෙහි ස්වභාවය යි. යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒ සියල්ල පවතින්නේ සමාධිය ප්‍රමුඛ කොටගෙන ය. සමාධියට නැඹුරු වී ගෙන ය. සමාධියට යොමු වී ගෙන ය. සමාධියට බර වෙමින් ය.”

”ස්වාමිනී, උපමාවක් වදාළ මැනව“

”මහරජාණෙනි, වහලයක මැද කැණිමඬලක් තිබේ. ඒ කැණිමඬලට සියලුම පරාල සම්බන්ධ කරන්නේ. එකල්හි ඒ සියලු පරාල තිබෙන්නේ කැණිමඬල දෙසට යොමු වීමෙනි. කැණි මඬලයට යොමු වීමෙනි. කැණිමඬලේ උපකාරය තුළ ය. ඒ සියලු පරාලයන්ට අග්‍ර වන්නේ කැණිමඬල ය. මහරජාණෙනි, මේ අයුරින් යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒවා පවතින්නේ සමාධිය දෙසට යොමු වීමෙන් ය. සමාධියටම නැඹුරු වීමෙන් ය. සමාධියට බර විමෙන් ය.

”ස්වාමිනි තවත් උපමාවක් වදාළ මැනැව“

”මහරජාණෙනි, කිසියම් රජෙක් සිව්රඟ සේනාව සමඟ සංග්‍රාම භූමියට පිවිසෙයි. එහිි යම්තාක් හස්තීන් ඇද්ද, අශ්වයන් ඇද්ද, රථයන් ඇද්ද, පාබල සේනාවන් ඇද්ද, ඒ සියලු සේනාවන් ම සිටින්නේ රජු ප්‍රමුඛ කොට ය. රජු දෙසට ම නැමී ය. රජුට නැඹුරු වෙමින් ය. රජුට බර වෙමින් ය. රජු පිරිවර කොට ගෙන ය. මහරජාණෙනි, ඔය අයුරින් යම්තාක් කුසල් දහම් ඇද්ද, ඒවා පවතින්නේ සමාධිය දෙසට හැරීමෙනි. සමාධියට ම නැඹුරු වීමෙනි. සමාධියට ම බර වීමෙනි.

මහරජාණෙනි, අප භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ මෙසේ වදාළ සේක.

පින්වත් මහණෙනි, සමාධිය ප්‍රගුණ කරන්න. පින්වත් මහණෙනි, සමාහිත සිත් ඇති භික්ෂුව යථාවබෝධ ඤාණය ලබන්නේ ය කියා ය.

- නයනා නිල්මිණී

Friday, January 21, 2022

බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානය

 




 බෝසතාණන් වහන්සේගේ අධිෂ්ඨානය

සුමේධ තාපසතුමා දීපංකර බුදුරදුන් වෙතින් නියත විවරණ ලැබීමෙන් ඇති වූ චිත්ත පී‍්‍රතිය භුක්ති විඳිමින්, ඒ අසල තැනක පළඟක් බැඳ වාඩි වී සිටියා. ඉන්පසු උන්වහන්සේ බුදු බව පිණිස සිත තුළ මේ ලෙසින් දැඩි වූ අධිෂ්ඨානයක් ඇතිකර ගත්තා. 

බුදුවරයෝ නම් ඒකාන්ත වචන ඇත්තාහු ය. ජින නම් වූ නමින් ද හඳුන්වන බුදුපියාණන් වහන්සේ හිස් වචන නො කියන්නාහු ය. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. යම් සේ අහසෙහි දමන ලද ගල් කැටයක් පොළොවට වැටේ ද, එසේම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රයමනාප සුළු ය. ශාශ්වත ය, බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. යම් සේ සියලු සත්ත්වයන්ට මරණය ඒකාන්ත වශයෙන් වන්නේ ද, එසේම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රය වන සුළු ය. ශාශ්වත ය, බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. යම් සේ රාත්‍රිය ඉක්ම යනවාත් සමගින් සූර්යයාගේ උදාවීම ඒකාන්ත වශයෙන් වන්නේ ද, එසේ ම බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රය වන සුළු ය. ශාශ්වත ය. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. 

යම් සේ නින්දෙන් පිබිදුණු සිංහයාගේ නාද කිරීම ඒකාන්තයෙන් වන්නේ ද එසේම, බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේලාගේ වචන ඒකාන්තයෙන් පි‍්‍රය වන සුළු ය. ශාශ්වත ය. බුදුපියාණන් වහන්සේ නො සිදුවන දෙයක් නො කියති. ඒ නිසා මම ඒකාන්තයෙන් ම බුදු වන්නෙමි. (බුද්ධවංස පාලි, සුමේධ කථා) 

පෙරුම් දම් පිරීම 

මේ ආදී උපමාවන් තුළින් බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ වදන්වල සත්‍යතාවය තහවුරු කර ගත් සුමේධ තාපසතුමා බුද්ධත්වය සඳහා පිරිය යුතු බුද්ධකාරක ධර්ම මොනවාදැයි කල්පනා කළා. එසේ කල්පනා කරන විට, පෙර කල වැඩ සිටි බුදුපියාණන් වහන්සේ විසින් බුද්ධත්වය ලබනු පිණිස පුරන ලද සහ තමන් විසින් සම්පූර්ණ කළ යුතු වූ දස පාරමිතාවන් පිළිබඳ උපමා සහිත ව, අනුපිළිවෙළින් සිහිපත් වුණා. ඒ පිළිබඳ ව බුද්ධවංස පාලිය දක්වා තිබෙන්නේ මේ ආකාරයට යි. 

යම් සේ කිරි ආදී යමකින් පිරි කළයක් යටිකුරු කළොත් ඒ කළයේ තිබුණු දේ ඉතිරියක් නැතිව ම බිමට ගලාගෙන යන්නේ ද, ඒ කළයේ නො රැඳේ ද, ඒ ආකාරයට හීන වූ ත්, මධ්‍යම වූ ත්, උත්කෘෂ්ඨ වූ ත් යාචකයන් දැක ඉතිරි නො කර ම දන් දිය යුතුයි. 

යම් සේ සෙමෙර මුවෙක් සිය වලිගය කිසිවෙක පැටළුණු කල්හි වලිගය කැඩෙන්නට නො දී ආරක්ෂා කර ගෙන එහි ම මරණයට වුව පත්වන්නේ ද, ඒ ලෙසින් ප්‍රාතිමෝක්ෂ සංවර, ඉන්ද්‍රිය සංවර , ආජීව පාරිශුද්ධි ප්‍රත්‍යසන්නිශ්‍රීත යන සිල් හතර මනා කොට ආරක්ෂා කළ යුතුයි. යම් සේ බන්ධනාගාරයෙහි බොහෝ කල් විසූ, දුකින් පීඩිත වූ පුරුෂයෙක් එහි ආශා නො කොට, එයින් මිදීම සොයන්නේ ද, එසේම මේ කාමාදී සියලු භවයන් බන්ධනාගාරයක් ලෙස දැක මේ භවයෙන් මිදීමට නෛෂ්ක්‍රම්‍යයට යොමුව කටයුතු කළ යුතුයි. 

ප්‍රඥා පාරමිතාව 

යම් සේ පිඬුසිඟා වඩින ස්වාමින් වහන්සේ නමක් උසස්, මධ්‍යම, පහත් යනුවෙන් ගෙවල් අත් නොහැර ම ගොස් යැපීමට පමණක් අවශ්‍ය වන ආහාර ලබා ගන්නේ ද, එසේම හැම කල්හි ම උගත් මිනිසුන් ඇසුරු කරමින් ඔවුන් විමසමින් ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත් විය යුතුයි. 

වීර්ය පාරමිතාව 

යම් සේ මෘග රාජ වූ සිංහය හිදීම්, සිටීමි, ඔබ මොබ ඇවිදීම් ආදියෙහි නො පසුබස්නා වීර්යය ඇත්තේ දැඩි කොට ගන්නා ලද සිත් ඇත්තේ වේ ද, එලෙසින් ම උපනුපන් හැම භවයෙක්හි දී ම වීර්යය දැඩි කොට ගෙන වීර්ය පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත් විය යුතුයි.

ක්ෂාන්ති පාරමිතාව 

යම් සේ මහපොළොව තමන් මත දමන සඳුන් ආදී පිරිසුදු දේත්, අසූචි ආදි අපිරිසුදු දේත් යන සියල්ල ඉවසයි. ද, අපිරිසුදු දේ දැමීම නිසා කෝපයක් හෝ පිරිසුදු දේ දැමීම නිසා ස්නේහයක් හෝ ඇතිකර නො ගනියි ද, එසේම සියල්ලන්ගේ සම්මාන හා අවමාන ඉවසමින් ක්ෂාන්ති පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත් විය යුතුයි. 

සත්‍ය පාරමිතාව 

යම් සේ ඕෂධී නම් තාරකාව සදේවක ලෝකයාහට තරාදියක් වැනි ව සමබර ව වැසි කාලයේ ද, සීත කාලයේ ද, ගී‍්‍රෂ්ම කාලයේ ද ගමන් මාර්ගය ඉක්මවා නොයේ ද, එසේ ම සදේවක ලෝකයාගේ ජීවිත ආරක්ෂාවෙහි නියැළෙමින්, තමන්ගේ වාසිය පිණිස සත්‍යයෙන් බැහැර වන්නේ නැතිව, සත්‍ය පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතු යි. 

අධිෂ්ඨාන පාරමිතාව 

යම් සේ ගල් පර්වතයක් නොසෙල්වෙන සුලු වූයේ, මනා ලෙස පිහිටියේ, දැඩි වූ ත් වාතයෙන් කම්පා නොවේ ද, තිබෙනා තැන ම මනාව පවතී ද එසේම අධිෂ්ඨානයෙහි හැම කල්හි ම නොසෙල් වී සිටිමින් අධිෂ්ඨාන පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතුයි.

මෛත්‍රී පාරමිතාව 

යම් සේ ජලය හොඳ වූ ත්, නරක වූ ත් ජනතාව සිහිල් දියෙන් නහවන්නේ ද, කිලිටි අපවිත්‍ර දේ පිරිසුදු කර දෙන්නේ ද, එසේම තමන්ට හිතවත් වූ ත්, අහිතවත් වූ ත් අය කෙරෙහි සම සිතින්, මෙත් සිත් වඩමින්, මෛත්‍රී පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතුයි.

උපේක්ෂා පාරමිතාව 

යම් සේ මහපොළොව මතට විසිකරන ලද අපිරිසුදු දේත්.පිරිසුදු දේත් කෝපයෙන් හා ආශාවෙන් තොරව මැදහත් ව ඉවසා ද, එසේම සැප දුක දෙකෙහි සමාන වූ සිතින් වාසය කරමින් සැපෙහි ඇලෙන්නේ ද, නැතිව, දුකෙහි ගැටෙන්නේ ද නැති ව මැදහත්ව ඉවසමින් උපේක්ෂා පාරමිතාව සම්පූර්ණ කොට සම්බෝධියට පත්විය යුතුයි. 

මෙසේ තමන් විසින් පිරිය යුතු පාරමිතා ධර්ම සිහිපත් කරනවාත් සමගින් මහපොළොව මහත් සේ කම්පා වෙන්නට පටන් ගත්තා. මේ මහා භූමි කම්පාවෙන් තැතිගත් නුවර වැසියන් දීපංකර බුදුපියාණන් වහන්සේ වෙත ගොස් එසේ මහ පොළොව කම්පා වෙන්නේ ඇයි දැයි විමසුවා. සුමේධ තාපසතුමන් විසින් පෙර දවස වැඩ සිටි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සඳහා කළ යුතු සහ ප්‍රගුණ කළ පාරමී ධර්ම සිහි කළ නිසා මේ මිහිකත කම්පනය වූ බව පවසා බුදුපියාණන් වහන්සේ ඒ පිරිසගේ බිය දුරු කළා. සුමේධ තාපසතුමා ඒ ප්‍රථම නියත විවරණ ගැනීමෙන් පසු නැවතත් මහ වනය වෙත වැඩම කළා.

මිලින්ද ප්‍රශ්නය,

 

වීර්යවන්ත ආර්ය ශ්‍රාවකයා වැරැදි දේ අතහරියි

මිලින්ද ප්‍රශ්නය වනාහී ඉතා පැරැණි වූ ත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූ ත්, සූත්‍ර පිටකයේ සඳහන් සම්බුද්ධ දේශනා මැනවින් පැහැදිලි කරන ග්‍රන්ථ රත්නයකි. මෙම දුර්ලභ ධර්ම සංවාදය සිදු වී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පන්සියයක් ගත වූ අවදියේ දී ය. ඒ ග්‍රන්ථ රත්නයේ තවත් පරිච්ඡේදයක් මෙසේ පැහැදිලි කරමු.

මිළිඳු රජතුමා තවදුරටත් නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසී ය.

”ස්වාමීනි නාගසේනයන් වහන්ස, අන්‍ය වූ කුසල් දහම් ය කියා යමක් තිබෙන්නේ ද?. එසේ නම් ඒ අන්‍ය වූ කුසල් දහම් මොනවා ද?”

මහරජාණෙනි, සීලය, ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය යන මේවා වනාහි අන්‍ය වූ කුසල් දහම් ය.”

”ස්වාමිනී, සීලයේ ස්වභාවය කුමක්ද?”

”මහරජාණෙනි, සීලයේ ස්වභාවය සියලු කුසල් දහම්වල පැවැත්ම පිහිටීම යි. ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග, මාර්ගාංග, සතිපට්ඨාන, සෘද්ධිපාද, ධ්‍යාන, විමෝක්ෂ, සමාධි සමාපත්ති ආදිය සීලය මත පිහිටා තිබේ. මහරජාණෙනි, සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍ර‍්‍රඥා ඉන්ද්‍රිය වඩයි. සියලු කුසල් දහම් නො පිරිහෙයි.”

”ස්වාමීනි, උපමාවක් වදාළ මැනැව“

”මහරජාණෙනි, වැඩී වර්ධනය වී විපුල බවට පත්වෙන ගස්කොළන් ආදී පැළවෙන යම්කිසි දේ් ඇද්ද, ඒ සියල්ල වැටෙන්නේත්, වර්ධනය වෙන්නේත්, විපුල බවට පත්වෙන්නේත් පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටා ය. මහරජාණෙනි, මේ අයුරින් ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම, පංච ඉන්ද්‍රි‍්‍රය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.

“ස්වාමීනි, තවදුරටත් උපමාවකින් වදාළ මැනව”

”මහරජාණෙනි, බලය උපදවාලන යම් කර්මාන්ත ආදිය ඇද්ද, ඒ සියල්ල කෙරෙන්නේ පොළොව ඇසුරු කොට පොළොව මත පිහිටා ය. මහරජාණෙනි, ඔය අයුරින් ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි.”

”මහරජාණෙනි, නගරය වර්ධනය කරන පිරිස නගරයක් නිර්මාණය කිරීමේ දී පළමුවෙන් කරන්නේ නගරය පිහිටන තැන පිරිසුදු කොට, කටුකොහොල් බැහැර කරවා භූමිය සමතලා කරවා ඉන්පසු වීථි, සිව්මංසල, සන්ධි ආදී සලකුණු යොදා නගරය නිර්මාණය කිරීම යි. මහරජාණෙනි, ඔය අයුරින්ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසාම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සතිි ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. මහරජාණෙනි, කරනම් ගසන්නා ශිල්ප දක්වනු කැමැතිව පොළොව සාරවා, ගල් බොරලු බැහැර කරවා, භූමිය සමතලා කරවා සිව්මැලි භූමියක සිට කරණම් ගසයි. මහරජාණෙනි, මේ අයුරින් ම සීලය මත සිටින යෝගාවචර තෙමේ සීලය නිසා ම, සීලය මත සිට ම පංච ඉන්ද්‍රිය වඩයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රි‍්‍රය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරණ ලදහ.

සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ
චිත්තං පඤ්ඤං ච භාවයං
ආතාපි නිපකෝ භික්ඛු
සෝ ඉමං විජටයේ ජටං

ප්‍රඥාව සහිත වූ මනුෂ්‍ය තෙමේ සීලය මත සිට සිතත්, ප්‍රඥාවත් වඩයි. කෙලෙස් තවනා වීරියෙන් යුතු, අවස්ථාවෝචිත ප්‍රඥාවෙන් හෙබි ඒ භික්ෂුව මේ අවුල ලිහා දමන්නේ ය.

අයං පතිට්ඨා ධරණීව පාණිනං
ඉදං ව මූලං කුසලාභිවුට්ඪියා
මුඛංවිදං සබ්බ ජිනානුසාසනේ
යෝ සීලක්ඛන්ධෝ
වරපාතිමොක්ඛියෝ

ප්‍රාණින් හට පිහිටක් තිබෙන මේ පෙළොව මෙන් කුසලාභිවෘද්ධියට මුල් වන්නේ මෙය යි. සියලු බුද්ධානුශාසනයට මුඛ්‍ය කරුණ ද මෙයයි. එනම් යමෙක් උතුම් ප්‍රාතිමෝක්ෂාදියෙහි සීලසම්පන්නව වාසය කරත් ද එය යි.

වීර්යෙහි ස්වභාවය

”ස්වාමීනි, නාගසේනයන් වහන්ස, වීරියෙහි ස්වභාවය කුමක් ද?”

”, වීරිය යනු තම ඉලක්කය සපුරා ගැනීමට උපකාර කිරීමේ ස්වභාවය යි. වීරියෙන් ලබන උපකාරය හේතුවෙනුයි සියලු කුසල් දහම් නො පිරිහෙන්නේ

”ස්වාමීනි, උපමාවකින් වදාළ මැනැව“

”මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. නිවසක බිත්තියක් කඩා වැටෙන්නට යද්දී ලීයෙන් කරුවක් ගසයි. කරුවෙන් ලැබෙන උපකාරය හේතුවෙන් ඒ බිත්තිය කඩා නො වැටෙයි. මහරජාණෙනි, ඒ අයුරින් ම උපකාර කිරීමේ ස්වභාවය වීරිය යි. වීරියෙන් ලද උපකාරයෙනුයි සියලු කුසල් දහම් නො පිරිහී තිබෙන්නේ.”

“ස්වාමීනි, තවත් උපමාවක් වදාළ මැනැවි”

”මහරජාණෙනි, එය මෙවැනි දෙයකි. කුඩා සේනාවක් සිටී. මහා සේනාවක් විසින් ඒ කුඩා සේනාව යටපත් කරනු ලබයි. එනමුත් ඒ කුඩා සේනාවේ රජු ඒ සේනා පිරිසට අන්‍යොන්‍ය අනුග්‍රහය දක්වයි. තමන්ගේ කුඩා සේනාවට අවශ්‍ය යුද්ධෝපකරණ ආදිය සපයා දෙයි. එසේ නිරතුරුව ලබන අනුග්‍රහය හේතුවෙන් එම කුඩා සේනාව අර මහා සේනාව මැඬපවත්වයි. මහරජාණෙනි, කුසල් දහම්වලට උපකාර ලැබීමේ වීර්යත් එවැනි දෙයකි.”

”වීරියෙන් ලැබෙන උපකාරය නිසා කුසල් දහම් නො පිරිහේ. මහරජාණෙනි, භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ මැනැවින් වදාරා තිබේ.

පින්වත් මහණෙනි, වීර්යවන්ත වූ ආර්ය ශ්‍රාවකයා අකුසල් දුරු කරයි. කුසල් වඩයි. වැරැදි දේ අත්හරී. නිවැරැදි දේ ප්‍රගුණ කරයි. පිරිසිදු ජීවිතයක් පරිහරණය කරයි.

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි:

 සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි: 

නිවන් මගට බාධා කරගනු එපා

ආනාපාන සතිය හොඳට සිහියෙන්, හුස්ම ඇතුළුවීම, පිටවීම බලා සිටීමෙන් තමන්ට තමන්ගේ සිතේ සමාධි අවස්ථාවට එන්නට පුළුවන්. මාසයක් දෙකක් ගත වුව ද සමාධි අවස්ථාව ලැබෙනවා ම යි.

සීල සාරය(පන්සිල්, අටසිල්, දස සිල් සියල්ල) සමාධි සාරය(භාවනාවෙන් ලැබෙන චිත්ත සමාධිය) පඤ්ඤා සාරය ( නුවණ දියුණු කර ගැනීම) විමුක්ති සාර(නිර්වාණය) යනුවෙන් සාර සතරක් බුදු දහමේ තිබෙයි. මේ සතර වැදෑරුම් සාර ක්‍රම දියුණු කළවිට, අනුගමනය කළ විට මාර්ග ඵල අවස්ථාවට යා හැකි යි. එසේම ජීවිතවල නොයෙක් කරදර, පීඩා, බාධා තියෙන්න පුළුවන්. මේවා සියල්ලම තම සිතෙන් බැහැර කරන්නට වෙනවා. ඇලීම, ගැටීම තුරන් කළ යුතු යි. එවිට තමන්ට හොඳට මේ ගමන යා හැකි යි. දන් දීම පුරුදු කළ යුතු යි. වතාවත් කිරීම පුරුදු කළ යුතු යි. ධර්මයේ හැසිරිය යුතු යි. සමානාත්මතා අදහස් තිබිය යුතු යි. එවිට නිවන් මග බාධාවකින් තොරව පැහැදිලිව ඉදිරියට යා හැකි යි. බාධා යනු මන්දොත්සාහී ගතිය යි. ඉදිරියට ම යා යුතු යි. එවිට කරදර, පීඩා යටකරගෙන ම අපට යා හැකි යි. අනේ! කරදරයි යනුවෙන් සිතුවොත් ඇද වැටෙනවා. එසේම ප්‍රමාදව ආපස්සට යයි. බුදු දහම ආපස්සට යන දෙයක් නො වෙයි. ඉදිරියටම යි යන්නේ. ඒවා අප පුළුවන්තරමින් ඉගෙන ගෙන තමන්ගේ ගුණ සම්පත්තියක් හොඳින් වර්ධනය කරගත්තොත් තමන්ට පුළුවන්කම තියෙනවා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල අවස්ථාවට යන්න. 

එසේනම්, සම්මා සමාධිය නැතිව මාර්ග ඵල අවස්ථාවට, ධ්‍යාන අවස්ථාවට යන්නට බැහැ. ඒ නිසා බුදු දහමේ පෙන්වන හැටියට සිතේ තැන්පත්කම බොහොම වැදගත්. එය දවසකින් දෙකකින් ලබන්න බැහැ. බොහෝ දවසක් ගිය ද පංචනීවරණ සංසිඳුවා ගන්නට, යටපත් කරගන්නා විට සිතට ලැබෙන්නේ විශාල ශක්තියක්. එමෙන්ම සිත සමාධි අවස්ථාව දක්වා පත් කරගන්න පහසු වෙයි. සමාධි ගත අවස්ථාවට පත් වීමේ දී පංචනීවරණ තුරන් ව යයි. සම්මා සමාධියේ සතුරන් වන්නේ පංච නීවරණ යි. සම්මා සමාධිය තහවුරු ව ඉදිරියට යද්දී කරදර, පීඩා, බාධා අඩුවී යයි. ඇතැම් විට බාධා ධර්මතා ටික ඉවත්ව නොගියොත් සමාධිය තහවුරු කරගන්න අපහසු වෙයි. නමුත් සමාධිය දිගින් දිගටම මෙනෙහි කළොත්, එය තහවුරු කරගත්තොත් කුමන ශබ්ද ඝෝෂා තැනක වුව ද සිටිය හැකි යි. එතරම් ම සිතේ තැන්පත්කම අගනා වෙයි. 

යම් කිසිවෙක්, සතිපට්ඨාන භාවනාව දියුණු කරනවා නම්, අවුරුදු හතකින් මාර්ග ඵල අවස්ථාවට පත් වෙයි. වසර හය, පහ, හතර, තුන , දෙක, එක , මාස පහ, මාස හතර, මාස තුන, මාස දෙක, අඩ මස, යටත් පිරිසෙන් දින හතක් හෝ සතිපට්ඨාන භාවනාව දියුණු කරනවා නම්, මාර්ග ඵල පිළිවෙළින් නිවනට පත්වෙනවා යනුවෙන් ආනිශංස වාරය පැහැදිලි කරනවා. 

පටන් ගත්තේ ද, අවසන් කරන්නේ ද එලෙස යි. මෙලෙස දියුණු කළොත් සිත පිරිසුදුව, ශෝක පරිදේව සංසිදී, දුක් කරදර සංසිදී , නිවනට බැසගත්, නිවන අවබෝධ කළ උත්තමයෙක් වෙයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය කරන්නේ බණ ඇසීම, භාවනාව, දාන පින්කම් ආදිය යි. බහුලව ම ගුණ ධර්ම දියුණුවෙන් සම්මා සමාධිය තහවුරු කරගෙන ඉදිරියට ම යන්නට පුළුවන්. සම්මා සමාධිය තමන් ළඟ තිබෙන බව හොඳට සිතේ තබාගෙන අධිෂ්ඨානයෙන් මේ ගමන ඉදිරියටම යා යුතු යි. එවිට වසවර්ති මාරයාගෙන් පවා කරදර වුව ද , හානි විපත් සිදු වුව ද මේවාට නැඹුරු නොවී කොයි කවුරු වුණත් තමන් ඉගෙන ගත් දේ පමණක් සිතට අරගෙන භාවනා දැනුම දියුණු කරගත්තොත් වටිනවා. මේ තාක් ඉදිරිපත් කළේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව යි. මෙහි දිගු විස්තරයක් සඳහන් කළා. භාවනා කරන ක්‍රම, සිතේ පව් යටකරන ක්‍රම පිළිබඳ දිගු විස්තරයක් කළා. මේවා පුළුවන්තරමින් කියවා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අවසන් වෙද්දී තිස් දාහක් ස්වාමීන් වහන්සේ රහත් බව ලැබුවා. සතිපට්ඨාන සූත්‍රයෙන් රහත් වූ සංඛ්‍යාව මෙපමණයි කියා සඳහන් කරන්නට බැහැ. මේ ගැන හසල දැනුමකින් සම්මා සමාධිය භාවනාව රැගෙන එය දියුණුවෙන් නීවරණ යටපත් කරගෙන තම සිත අලෝභ, අදෝශ, අමෝහ, චේතනාවන්ගෙන් පුරවාගෙන, අනාශ්‍රව සංඛ්‍යාත අමා මහා නිවන් පසක් කර ගැනීම සඳහා සම්මා සමාධිය හේතු වාසනා වේවා! 

Thursday, January 20, 2022

උතුම් පැවිදිබවෙහි ඇති අර්ථය

 

උතුම් පැවිදිබවෙහි ඇති අර්ථය

දිනක් නාගසේන රහතන් වහන්සේ මිළිඳු රජතුමාගේ මාළිගයට වැඩමකොට පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. 

ඉන්පසු මිළිඳු රජු නාගසේන රහතන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේට ප්‍රණීත වූ භෝජනය සියතින් පිළිගන්වා සෑම භික්ෂූන් වහන්සේ නමකට ම සිවුරු පිණිස වස්ත්‍ර යුගලය බැගින් ද, නාගසේන රහතන් වහන්සේට තුන් සිවුරු ද පූජා කළේ ය.

ඉක්බිති මිළිඳු රජතුමා නාගසේන රහතන් වහන්සේ සමීපයෙහි එකත්පස් ව වාඩි විය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අප කතාබස් කළ යුත්තේ කුමන කරුණක් ගැන ද? “මහරජාණෙනි, අපි ආදර්ශවත් කතාවෙන් ප්‍රයෝජන ඇති උදවිය වෙමු. එනිසා අර්ථවත් කතාබහ ඇතිවේවා!”.

පැවිදි බව ලැබීමේ අර්ථය 

“ස්වාමීනි, ඔබ වහන්සේලාගේ පැවිද්දෙහි ඇති අර්ථය කුමක් ද? ඔබ වහන්සේලා ගේ පරමාර්ථය කුමක් ද? එවිට තෙරණුවෝ “මහරජාණෙනි, මේ දුක නිරුද්ධ වෙයි ද, යළි අන්‍ය වූ දුකක් නූපදින්නේ ද, මහරජාණෙනි, අපගේ පැවිද්ද තිබෙන්නේ ඔය ආකාරයට යි. එනම් අපගේ පරමාර්ථය නම්, කෙලෙස් රහිතව පිරිනිවන් පෑම යි” .“කිම ස්වාමීනි, නාගසේනයන් වහන්ස, සියල්ලෝ ම ඔය අරුත සඳහා පැවිදි වෙත් ද? “ “නැත මහරජාණෙනි, කිසියම් කෙනෙක් ඔය අර්ථය සඳහා පැවිදි වෙත්. තව කෙනෙක් රජයට බියෙන් පැවිදි වෙත්, තව කෙනෙක් ණය ගෙවා ගත නොහැකි ව පැවිදි වෙත්. තව කෙනෙක් ජීවිකාව පිණිස පැවිදි වෙත්. නමුත් යමෙක් මනාකොට පැවිදි වෙත්නම්, එසේ පැවිදි වන්නේ මේ අර්ථය සඳහා පමණි.” 

“එසේනම් ස්වාමීනි, ඔබ වහන්සේත් ඔය අදහසින් ද පැවිදි වූයේ.” රජු විමසී ය. එවිට නාගසේනයන් වහන්සේ, “මහරජාණෙනි, මම කුඩා අවදියෙහි පැවිදි වූ කෙනෙක්මි. මේ අර්ථය සඳහා පැවිදි වන්නෙමි යි යන කරුණ එකල මම නො දැන සිටියෙමි. නමුත් මෙවැනි අදහසක් හකුළා තිබුණි. එනම්, මේ ශාක්‍යපුත්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඤාණවන්ත ය.උන්වහන්සේ මා මේ පැවිද්දෙහි හොඳින් හික්මෙන්නාහු ය” කියා ය. ඉතින් උන්වහන්සේ විසින් හොඳින් හික්මවන ලද මම පැවිද්ද තිබෙන්නේ මේ අර්ථය උදෙසා බව දනිමි, දකිමි.” 

ප්‍රතිසන්ධි ප්‍රශ්නය 

මිළිඳු රජතුමා නැවත මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මරණයට පත් වූ ඇතැම් කෙනෙක් යළි පිළිසිඳ ගන්නාහු ද? තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඇතැම් අය පිළිසිඳ ගනිති. ඇතැම් අය පිළිසිඳ නො ගනිති. “පිළිසිඳ ගන්නේ කවරහු ද?, පිළිසිඳ නො ගන්නේ කවරහු ද? “මහරජාණෙනි, කෙලෙස් සහිත වූ සත්ත්වයෝ පිළිසිඳ ගනිති. නිකෙලෙස් පුද්ගලයෝ පිළිසිඳ නො ගනිති. “එසේනම් ස්වාමීනි, ඔබවහන්සේ පිළිසිඳ ගන්නා කෙනෙක් ද? එවිට නිකෙලෙස් හද මඬලක් දරාගත් අල්පේච්ඡ ගුණයෙන් පරිපූර්ණ වූ නාගසේන රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. “මහරජාණෙනි, මම උපාදාන සහිතව මිය යන්නේ නම්, පිළිසිඳ ගන්නා කෙනෙක් වන්නෙමි. උපාදාන රහිතව මිය යන්නේ නම් පිළිසිඳ නො ගන්නා කෙනෙක් වන්නෙමි” තමා හුවා නො දක්වා ධර්මතාවය ඉස්මතු කළ සේක.

යෝනිසෝ මනසිකාර ප්‍රශ්නය 

මිළිඳු රජතුමා යළිත් මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, යමෙක් පිළිසිඳ නො ගනිත්නම්, (පිරිනිවන් පාන්නේනම්) ඔවුහු පිළිසිඳ නො ගන්නේ යෝනිසෝ මනසිකාරය (ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම) නිසා ද? මහරජාණෙනි, යෝනිසෝ මනසිකාරය නිසාත්, ප්‍රඥාව නිසාත්, අන්‍ය වූ කුසල් දහම් නිසාත් ය. එවිට රජු මෙසේ ඇසුවේ ය. “ ස්වාමීනි, ප්‍රඥාව යනු යෝනිසෝ මනසිකාරයම ද? “ නාගසේන තෙරුන් එය මෙසේ පහදා දුන් සේක. “නැත මහරජාණෙනි, මනසිකාරය යනු වෙනත් එකකි. ප්‍රඥාව යනු තවත් එකකි. මහරජාණෙනි, එළුවන්, බැටළුවන්, ගවයන්, ඔටුවන්, බූරුවන් ආදී සතුන්ටත් මනසිකාරය තිබේ. නමුත් ඔවුන්ට ප්‍රඥාව නැත.”

මනසිකාරයේ ස්වභාවය 

යළිත් වරක් මිළිඳු රජතුමා මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, මනසිකාරයේ ස්වභාවය කුමක් ද? ප්‍රඥාවේ ස්වභාවය කුමක් ද? “මහරජාණෙනි, මනසිකාරයේ ස්වභාවය කුමක් ද? ඒකරාශි කිරීම යි. ප්‍රඥාවේ ස්වභාවය යමක් පිළිසිඳ දැමීම යි.” එවිට රජතුමා මෙසේ ඇසුවේ ය. 

“මනසිකාරය යමක් ඒකරාශි කරන්නේ කෙසේ ද? ප්‍රඥාව යමක් සිඳ බිඳ දමන්නේ කෙසේ ද? මට මෙය උපමාවකින් පැහැදිලි කළ මැනව. “මහරජාණෙනි, ඔබ යව මිටි ගැන දන්නෙහි ද?”. “එසේය” “මහරජාණෙනි, යව තළන උදවිය යව මිටි සකසන්නේ කෙසේ ද?” “ස්වාමීනි, පළමුවෙන් වම් අතින් යව මිටිය අල්ලා දකුණු අතින් දෑකැත්ත ගෙන ඒ යව මිටිය සිඳ දමති. 

එවිට නාගසේන මහරහතන් වහන්සේ අසිරිමත් විග්‍රහයක් කළ සේක. “මහරජාණෙනි, යව මිටිය වම් අතින් අල්ලාගෙන, දෑකැත්ත දකුණු අතින් ගෙන යව සිඳින්නේ යම් සේ ද? ඒ අයුරින් ම මහරජාණෙනි, දහමේ හැසිරෙන ශ්‍රාවකයා හෙවත් යෝගාවචර තෙමේ මනසිකාරයෙන් මනස අල්ලාගෙන, ප්‍රඥාවෙන් කෙලෙස් සිඳින්නේ ය. 

එසේ ම මහරජාණෙනි, එකට එක්කොට ගැනීමේ ස්වභාවය මනසිකාරය යි. සිඳබිඳ දැමීමේ ස්වභාවය ප්‍රඥාව යි.” මිළිඳු රජතුමා එම විග්‍රහය ඉතා සතුටින් අනුමෝදන් විය. 

ශ්‍රද්ධාව ගැන ප්‍රශ්නය 

මිළිඳු රජතුමා නැවතත් මෙසේ ඇසුවේ ය. “නාගසේනයන් වහන්ස, ශ්‍රද්ධාවේ ස්වභාවය කුමක් ද? “මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත බව ශ්‍රද්ධාව යි. පැහැදීමෙන් යුතුව ධර්මය ගැන උනන්දුවීමත් ශ්‍රද්ධාව යි”. “මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත බවත් ශ්‍රද්ධාව යි. පැහැදීමෙන් යුතුව ධර්මය ගැන උනන්දුවීමත් ශ්‍රද්ධාව යි’.

“ස්වාමීනි, පැහැදීමේ ස්වභාවය නම් වූ ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොම ද? “මහරජාණෙනි, ශ්‍රද්ධාව උපදින කල්හි නීවරණ යටපත් වෙයි. නීවරණ රහිත වූ සිත යහපත් ය. ඉතා ප්‍රසන්න ය. කැළඹිලි රහිත ය. මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුතු ශ්‍රද්ධාව යනු එබඳු දෙයකි.” “ස්වාමීනි, උපමාවකින් පහදා දෙනු මැනව”. “මහරජාණෙනි” එය මෙවැනි දෙයකි. සක්විති රජ කෙනෙක් සිටී. ඔහු සිව් රඟ සේනා සමඟ දුෂ්කර මාර්ගයක ගමන් කරමින් කුඩා දිය පාරක්් තරණය කරයි. ඇතුන් නිසාත්, අශ්වයන් නිසාත්, රථ රෝද නිසාත්, පාබල සේනා නිසාත් ඒ ජලය කැළඹී යයි. ඇවිස්සෙ යි. එයින් එතෙර වූ සක්විති රජු මිනිසුන් අමතා මෙසේ පවසයි.

“එම්බා මිත්‍රය, පැන් අරගෙන පානය කරව්’ යි කියා සක්විති රජතුමා කිය යි. ඉක්බිති ඒ මිනිස්සු එසේය දේවයනි” කියා උදකප්‍රසාද මාණික්‍යය ජලයට දමති. එය දියෙහි දැමූ සැණින් ජලයේ තිබූ දිය සෙවල් ආදිය බැහැර වෙයි. මඩ මිදී දිය පිරිසුදු වෙයි. ජලය ඉතා යහපත් ව, ප්‍රසන්න ව, නො කැලඹී පවතී. සක්විති රජුට එයින් පැන් රැගෙන ගොස්, “දේවයන් වහන්ස, පැන් වළඳන්න” කියා දෙති. 

මහරජාණෙනි, යම් සේ ජලය ඇද්ද ඒ අයුරින් සිත ගැන දැනගත යුත්තේ ය. යම් සේ ඒ මිනිස්සු සිටින්නේ ද ඒ අයුරින් යෝගාවචරයා ගැන දැනගත යුත්තේ ය. දිය සෙවල, මඩ ආදිය ඇද්ද කෙලෙස් ගැන දැනගත යුත්තේ එලෙසින් ය. උදකප්‍රසාද මාණික්‍යය ජලයෙහි දැමූ විට දිය සෙවෙල් ආදිය පහව යන්නේ යම් සේ ද, මඩ යටට බසින්නේ යම් සේ ද, වතුර ටික ඉතා යහපත් ව, ප්‍රසන්න ව නො කැළඹී තිබෙන්නේ යම් සේ ද, ඒ අයුරින් ම ශ්‍රද්ධාව උපදිනවිට නීවරණ යටපත් වෙයි. නීවරණ රහිත සිත ඉතා යහපත් ය. ඉතා ප්‍රසන්න ය, කැළඹීම් රහිත ය. මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත ශ්‍රද්ධාව දත යුත්තේ මේ අයුරිනි.