Friday, January 21, 2022

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි:

 සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි: 

නිවන් මගට බාධා කරගනු එපා

ආනාපාන සතිය හොඳට සිහියෙන්, හුස්ම ඇතුළුවීම, පිටවීම බලා සිටීමෙන් තමන්ට තමන්ගේ සිතේ සමාධි අවස්ථාවට එන්නට පුළුවන්. මාසයක් දෙකක් ගත වුව ද සමාධි අවස්ථාව ලැබෙනවා ම යි.

සීල සාරය(පන්සිල්, අටසිල්, දස සිල් සියල්ල) සමාධි සාරය(භාවනාවෙන් ලැබෙන චිත්ත සමාධිය) පඤ්ඤා සාරය ( නුවණ දියුණු කර ගැනීම) විමුක්ති සාර(නිර්වාණය) යනුවෙන් සාර සතරක් බුදු දහමේ තිබෙයි. මේ සතර වැදෑරුම් සාර ක්‍රම දියුණු කළවිට, අනුගමනය කළ විට මාර්ග ඵල අවස්ථාවට යා හැකි යි. එසේම ජීවිතවල නොයෙක් කරදර, පීඩා, බාධා තියෙන්න පුළුවන්. මේවා සියල්ලම තම සිතෙන් බැහැර කරන්නට වෙනවා. ඇලීම, ගැටීම තුරන් කළ යුතු යි. එවිට තමන්ට හොඳට මේ ගමන යා හැකි යි. දන් දීම පුරුදු කළ යුතු යි. වතාවත් කිරීම පුරුදු කළ යුතු යි. ධර්මයේ හැසිරිය යුතු යි. සමානාත්මතා අදහස් තිබිය යුතු යි. එවිට නිවන් මග බාධාවකින් තොරව පැහැදිලිව ඉදිරියට යා හැකි යි. බාධා යනු මන්දොත්සාහී ගතිය යි. ඉදිරියට ම යා යුතු යි. එවිට කරදර, පීඩා යටකරගෙන ම අපට යා හැකි යි. අනේ! කරදරයි යනුවෙන් සිතුවොත් ඇද වැටෙනවා. එසේම ප්‍රමාදව ආපස්සට යයි. බුදු දහම ආපස්සට යන දෙයක් නො වෙයි. ඉදිරියටම යි යන්නේ. ඒවා අප පුළුවන්තරමින් ඉගෙන ගෙන තමන්ගේ ගුණ සම්පත්තියක් හොඳින් වර්ධනය කරගත්තොත් තමන්ට පුළුවන්කම තියෙනවා සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල අවස්ථාවට යන්න. 

එසේනම්, සම්මා සමාධිය නැතිව මාර්ග ඵල අවස්ථාවට, ධ්‍යාන අවස්ථාවට යන්නට බැහැ. ඒ නිසා බුදු දහමේ පෙන්වන හැටියට සිතේ තැන්පත්කම බොහොම වැදගත්. එය දවසකින් දෙකකින් ලබන්න බැහැ. බොහෝ දවසක් ගිය ද පංචනීවරණ සංසිඳුවා ගන්නට, යටපත් කරගන්නා විට සිතට ලැබෙන්නේ විශාල ශක්තියක්. එමෙන්ම සිත සමාධි අවස්ථාව දක්වා පත් කරගන්න පහසු වෙයි. සමාධි ගත අවස්ථාවට පත් වීමේ දී පංචනීවරණ තුරන් ව යයි. සම්මා සමාධියේ සතුරන් වන්නේ පංච නීවරණ යි. සම්මා සමාධිය තහවුරු ව ඉදිරියට යද්දී කරදර, පීඩා, බාධා අඩුවී යයි. ඇතැම් විට බාධා ධර්මතා ටික ඉවත්ව නොගියොත් සමාධිය තහවුරු කරගන්න අපහසු වෙයි. නමුත් සමාධිය දිගින් දිගටම මෙනෙහි කළොත්, එය තහවුරු කරගත්තොත් කුමන ශබ්ද ඝෝෂා තැනක වුව ද සිටිය හැකි යි. එතරම් ම සිතේ තැන්පත්කම අගනා වෙයි. 

යම් කිසිවෙක්, සතිපට්ඨාන භාවනාව දියුණු කරනවා නම්, අවුරුදු හතකින් මාර්ග ඵල අවස්ථාවට පත් වෙයි. වසර හය, පහ, හතර, තුන , දෙක, එක , මාස පහ, මාස හතර, මාස තුන, මාස දෙක, අඩ මස, යටත් පිරිසෙන් දින හතක් හෝ සතිපට්ඨාන භාවනාව දියුණු කරනවා නම්, මාර්ග ඵල පිළිවෙළින් නිවනට පත්වෙනවා යනුවෙන් ආනිශංස වාරය පැහැදිලි කරනවා. 

පටන් ගත්තේ ද, අවසන් කරන්නේ ද එලෙස යි. මෙලෙස දියුණු කළොත් සිත පිරිසුදුව, ශෝක පරිදේව සංසිදී, දුක් කරදර සංසිදී , නිවනට බැසගත්, නිවන අවබෝධ කළ උත්තමයෙක් වෙයි. මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අත්‍යවශ්‍ය කරන්නේ බණ ඇසීම, භාවනාව, දාන පින්කම් ආදිය යි. බහුලව ම ගුණ ධර්ම දියුණුවෙන් සම්මා සමාධිය තහවුරු කරගෙන ඉදිරියට ම යන්නට පුළුවන්. සම්මා සමාධිය තමන් ළඟ තිබෙන බව හොඳට සිතේ තබාගෙන අධිෂ්ඨානයෙන් මේ ගමන ඉදිරියටම යා යුතු යි. එවිට වසවර්ති මාරයාගෙන් පවා කරදර වුව ද , හානි විපත් සිදු වුව ද මේවාට නැඹුරු නොවී කොයි කවුරු වුණත් තමන් ඉගෙන ගත් දේ පමණක් සිතට අරගෙන භාවනා දැනුම දියුණු කරගත්තොත් වටිනවා. මේ තාක් ඉදිරිපත් කළේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව යි. මෙහි දිගු විස්තරයක් සඳහන් කළා. භාවනා කරන ක්‍රම, සිතේ පව් යටකරන ක්‍රම පිළිබඳ දිගු විස්තරයක් කළා. මේවා පුළුවන්තරමින් කියවා සතිපට්ඨාන සූත්‍ර දේශනාව අවසන් වෙද්දී තිස් දාහක් ස්වාමීන් වහන්සේ රහත් බව ලැබුවා. සතිපට්ඨාන සූත්‍රයෙන් රහත් වූ සංඛ්‍යාව මෙපමණයි කියා සඳහන් කරන්නට බැහැ. මේ ගැන හසල දැනුමකින් සම්මා සමාධිය භාවනාව රැගෙන එය දියුණුවෙන් නීවරණ යටපත් කරගෙන තම සිත අලෝභ, අදෝශ, අමෝහ, චේතනාවන්ගෙන් පුරවාගෙන, අනාශ්‍රව සංඛ්‍යාත අමා මහා නිවන් පසක් කර ගැනීම සඳහා සම්මා සමාධිය හේතු වාසනා වේවා! 

Thursday, January 20, 2022

උතුම් පැවිදිබවෙහි ඇති අර්ථය

 

උතුම් පැවිදිබවෙහි ඇති අර්ථය

දිනක් නාගසේන රහතන් වහන්සේ මිළිඳු රජතුමාගේ මාළිගයට වැඩමකොට පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. 

ඉන්පසු මිළිඳු රජු නාගසේන රහතන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේට ප්‍රණීත වූ භෝජනය සියතින් පිළිගන්වා සෑම භික්ෂූන් වහන්සේ නමකට ම සිවුරු පිණිස වස්ත්‍ර යුගලය බැගින් ද, නාගසේන රහතන් වහන්සේට තුන් සිවුරු ද පූජා කළේ ය.

ඉක්බිති මිළිඳු රජතුමා නාගසේන රහතන් වහන්සේ සමීපයෙහි එකත්පස් ව වාඩි විය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, අප කතාබස් කළ යුත්තේ කුමන කරුණක් ගැන ද? “මහරජාණෙනි, අපි ආදර්ශවත් කතාවෙන් ප්‍රයෝජන ඇති උදවිය වෙමු. එනිසා අර්ථවත් කතාබහ ඇතිවේවා!”.

පැවිදි බව ලැබීමේ අර්ථය 

“ස්වාමීනි, ඔබ වහන්සේලාගේ පැවිද්දෙහි ඇති අර්ථය කුමක් ද? ඔබ වහන්සේලා ගේ පරමාර්ථය කුමක් ද? එවිට තෙරණුවෝ “මහරජාණෙනි, මේ දුක නිරුද්ධ වෙයි ද, යළි අන්‍ය වූ දුකක් නූපදින්නේ ද, මහරජාණෙනි, අපගේ පැවිද්ද තිබෙන්නේ ඔය ආකාරයට යි. එනම් අපගේ පරමාර්ථය නම්, කෙලෙස් රහිතව පිරිනිවන් පෑම යි” .“කිම ස්වාමීනි, නාගසේනයන් වහන්ස, සියල්ලෝ ම ඔය අරුත සඳහා පැවිදි වෙත් ද? “ “නැත මහරජාණෙනි, කිසියම් කෙනෙක් ඔය අර්ථය සඳහා පැවිදි වෙත්. තව කෙනෙක් රජයට බියෙන් පැවිදි වෙත්, තව කෙනෙක් ණය ගෙවා ගත නොහැකි ව පැවිදි වෙත්. තව කෙනෙක් ජීවිකාව පිණිස පැවිදි වෙත්. නමුත් යමෙක් මනාකොට පැවිදි වෙත්නම්, එසේ පැවිදි වන්නේ මේ අර්ථය සඳහා පමණි.” 

“එසේනම් ස්වාමීනි, ඔබ වහන්සේත් ඔය අදහසින් ද පැවිදි වූයේ.” රජු විමසී ය. එවිට නාගසේනයන් වහන්සේ, “මහරජාණෙනි, මම කුඩා අවදියෙහි පැවිදි වූ කෙනෙක්මි. මේ අර්ථය සඳහා පැවිදි වන්නෙමි යි යන කරුණ එකල මම නො දැන සිටියෙමි. නමුත් මෙවැනි අදහසක් හකුළා තිබුණි. එනම්, මේ ශාක්‍යපුත්‍ර ශ්‍රාවකයන් වහන්සේ ඤාණවන්ත ය.උන්වහන්සේ මා මේ පැවිද්දෙහි හොඳින් හික්මෙන්නාහු ය” කියා ය. ඉතින් උන්වහන්සේ විසින් හොඳින් හික්මවන ලද මම පැවිද්ද තිබෙන්නේ මේ අර්ථය උදෙසා බව දනිමි, දකිමි.” 

ප්‍රතිසන්ධි ප්‍රශ්නය 

මිළිඳු රජතුමා නැවත මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මරණයට පත් වූ ඇතැම් කෙනෙක් යළි පිළිසිඳ ගන්නාහු ද? තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. “ඇතැම් අය පිළිසිඳ ගනිති. ඇතැම් අය පිළිසිඳ නො ගනිති. “පිළිසිඳ ගන්නේ කවරහු ද?, පිළිසිඳ නො ගන්නේ කවරහු ද? “මහරජාණෙනි, කෙලෙස් සහිත වූ සත්ත්වයෝ පිළිසිඳ ගනිති. නිකෙලෙස් පුද්ගලයෝ පිළිසිඳ නො ගනිති. “එසේනම් ස්වාමීනි, ඔබවහන්සේ පිළිසිඳ ගන්නා කෙනෙක් ද? එවිට නිකෙලෙස් හද මඬලක් දරාගත් අල්පේච්ඡ ගුණයෙන් පරිපූර්ණ වූ නාගසේන රහතන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක. “මහරජාණෙනි, මම උපාදාන සහිතව මිය යන්නේ නම්, පිළිසිඳ ගන්නා කෙනෙක් වන්නෙමි. උපාදාන රහිතව මිය යන්නේ නම් පිළිසිඳ නො ගන්නා කෙනෙක් වන්නෙමි” තමා හුවා නො දක්වා ධර්මතාවය ඉස්මතු කළ සේක.

යෝනිසෝ මනසිකාර ප්‍රශ්නය 

මිළිඳු රජතුමා යළිත් මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, යමෙක් පිළිසිඳ නො ගනිත්නම්, (පිරිනිවන් පාන්නේනම්) ඔවුහු පිළිසිඳ නො ගන්නේ යෝනිසෝ මනසිකාරය (ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම) නිසා ද? මහරජාණෙනි, යෝනිසෝ මනසිකාරය නිසාත්, ප්‍රඥාව නිසාත්, අන්‍ය වූ කුසල් දහම් නිසාත් ය. එවිට රජු මෙසේ ඇසුවේ ය. “ ස්වාමීනි, ප්‍රඥාව යනු යෝනිසෝ මනසිකාරයම ද? “ නාගසේන තෙරුන් එය මෙසේ පහදා දුන් සේක. “නැත මහරජාණෙනි, මනසිකාරය යනු වෙනත් එකකි. ප්‍රඥාව යනු තවත් එකකි. මහරජාණෙනි, එළුවන්, බැටළුවන්, ගවයන්, ඔටුවන්, බූරුවන් ආදී සතුන්ටත් මනසිකාරය තිබේ. නමුත් ඔවුන්ට ප්‍රඥාව නැත.”

මනසිකාරයේ ස්වභාවය 

යළිත් වරක් මිළිඳු රජතුමා මෙසේ ඇසුවේ ය. “ස්වාමීනි, මනසිකාරයේ ස්වභාවය කුමක් ද? ප්‍රඥාවේ ස්වභාවය කුමක් ද? “මහරජාණෙනි, මනසිකාරයේ ස්වභාවය කුමක් ද? ඒකරාශි කිරීම යි. ප්‍රඥාවේ ස්වභාවය යමක් පිළිසිඳ දැමීම යි.” එවිට රජතුමා මෙසේ ඇසුවේ ය. 

“මනසිකාරය යමක් ඒකරාශි කරන්නේ කෙසේ ද? ප්‍රඥාව යමක් සිඳ බිඳ දමන්නේ කෙසේ ද? මට මෙය උපමාවකින් පැහැදිලි කළ මැනව. “මහරජාණෙනි, ඔබ යව මිටි ගැන දන්නෙහි ද?”. “එසේය” “මහරජාණෙනි, යව තළන උදවිය යව මිටි සකසන්නේ කෙසේ ද?” “ස්වාමීනි, පළමුවෙන් වම් අතින් යව මිටිය අල්ලා දකුණු අතින් දෑකැත්ත ගෙන ඒ යව මිටිය සිඳ දමති. 

එවිට නාගසේන මහරහතන් වහන්සේ අසිරිමත් විග්‍රහයක් කළ සේක. “මහරජාණෙනි, යව මිටිය වම් අතින් අල්ලාගෙන, දෑකැත්ත දකුණු අතින් ගෙන යව සිඳින්නේ යම් සේ ද? ඒ අයුරින් ම මහරජාණෙනි, දහමේ හැසිරෙන ශ්‍රාවකයා හෙවත් යෝගාවචර තෙමේ මනසිකාරයෙන් මනස අල්ලාගෙන, ප්‍රඥාවෙන් කෙලෙස් සිඳින්නේ ය. 

එසේ ම මහරජාණෙනි, එකට එක්කොට ගැනීමේ ස්වභාවය මනසිකාරය යි. සිඳබිඳ දැමීමේ ස්වභාවය ප්‍රඥාව යි.” මිළිඳු රජතුමා එම විග්‍රහය ඉතා සතුටින් අනුමෝදන් විය. 

ශ්‍රද්ධාව ගැන ප්‍රශ්නය 

මිළිඳු රජතුමා නැවතත් මෙසේ ඇසුවේ ය. “නාගසේනයන් වහන්ස, ශ්‍රද්ධාවේ ස්වභාවය කුමක් ද? “මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත බව ශ්‍රද්ධාව යි. පැහැදීමෙන් යුතුව ධර්මය ගැන උනන්දුවීමත් ශ්‍රද්ධාව යි”. “මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත බවත් ශ්‍රද්ධාව යි. පැහැදීමෙන් යුතුව ධර්මය ගැන උනන්දුවීමත් ශ්‍රද්ධාව යි’.

“ස්වාමීනි, පැහැදීමේ ස්වභාවය නම් වූ ශ්‍රද්ධාව ඇතිවන්නේ කොහොම ද? “මහරජාණෙනි, ශ්‍රද්ධාව උපදින කල්හි නීවරණ යටපත් වෙයි. නීවරණ රහිත වූ සිත යහපත් ය. ඉතා ප්‍රසන්න ය. කැළඹිලි රහිත ය. මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුතු ශ්‍රද්ධාව යනු එබඳු දෙයකි.” “ස්වාමීනි, උපමාවකින් පහදා දෙනු මැනව”. “මහරජාණෙනි” එය මෙවැනි දෙයකි. සක්විති රජ කෙනෙක් සිටී. ඔහු සිව් රඟ සේනා සමඟ දුෂ්කර මාර්ගයක ගමන් කරමින් කුඩා දිය පාරක්් තරණය කරයි. ඇතුන් නිසාත්, අශ්වයන් නිසාත්, රථ රෝද නිසාත්, පාබල සේනා නිසාත් ඒ ජලය කැළඹී යයි. ඇවිස්සෙ යි. එයින් එතෙර වූ සක්විති රජු මිනිසුන් අමතා මෙසේ පවසයි.

“එම්බා මිත්‍රය, පැන් අරගෙන පානය කරව්’ යි කියා සක්විති රජතුමා කිය යි. ඉක්බිති ඒ මිනිස්සු එසේය දේවයනි” කියා උදකප්‍රසාද මාණික්‍යය ජලයට දමති. එය දියෙහි දැමූ සැණින් ජලයේ තිබූ දිය සෙවල් ආදිය බැහැර වෙයි. මඩ මිදී දිය පිරිසුදු වෙයි. ජලය ඉතා යහපත් ව, ප්‍රසන්න ව, නො කැලඹී පවතී. සක්විති රජුට එයින් පැන් රැගෙන ගොස්, “දේවයන් වහන්ස, පැන් වළඳන්න” කියා දෙති. 

මහරජාණෙනි, යම් සේ ජලය ඇද්ද ඒ අයුරින් සිත ගැන දැනගත යුත්තේ ය. යම් සේ ඒ මිනිස්සු සිටින්නේ ද ඒ අයුරින් යෝගාවචරයා ගැන දැනගත යුත්තේ ය. දිය සෙවල, මඩ ආදිය ඇද්ද කෙලෙස් ගැන දැනගත යුත්තේ එලෙසින් ය. උදකප්‍රසාද මාණික්‍යය ජලයෙහි දැමූ විට දිය සෙවෙල් ආදිය පහව යන්නේ යම් සේ ද, මඩ යටට බසින්නේ යම් සේ ද, වතුර ටික ඉතා යහපත් ව, ප්‍රසන්න ව නො කැළඹී තිබෙන්නේ යම් සේ ද, ඒ අයුරින් ම ශ්‍රද්ධාව උපදිනවිට නීවරණ යටපත් වෙයි. නීවරණ රහිත සිත ඉතා යහපත් ය. ඉතා ප්‍රසන්න ය, කැළඹීම් රහිත ය. මහරජාණෙනි, පැහැදීම ඇතිවන ස්වභාවයෙන් යුක්ත ශ්‍රද්ධාව දත යුත්තේ මේ අයුරිනි.

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි: ශබ්ද ඝෝෂා හමුවේ ද නැත බාධා

 

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සමාධි: 

ශබ්ද ඝෝෂා හමුවේ ද නැත බාධා 

සම්මා සමාධි යනු නිවැරැදි ව සිත එකඟ කර ගැනීම යි. එනම්, චිත්ත සමාධිය යි. මෙය සැමටම ලබන්න අපහසු යි. සෑම දෙනාගේ ම සිත වික්ෂිප්ත යි. අළු ගොඩකට ගලක් ගැසුවා සේ සිත වික්ෂිප්ත යි. 

ඒ සිත ශාන්ත බවට පත්කර ගන්න, තැන්පත් කරගන්න, අපට ලොකු වෙහෙසක් ගන්නට වෙනවා. එයට සති, සමාධි, ඥාන දියුණු කර ගන්නට අවශ්‍යය යි. සිත තැන්පත් කර ගැනීමෙන් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය , චතුර්ථ ධ්‍යානය ලබා ගන්න පුළුවන්. මේවාට ධ්‍යාන අංග තියෙනවා. විතක්ක, විචාර , පීති, සුඛ, ඒකග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානය, විචාර, පීති, සුඛ, ඒකග්‍රතා සහිත තෘතීය ධ්‍යානය, සුඛ ඒකග්‍රතා සහිත තෘතීය ධ්‍යානය, උපේක්ඛා ඒකග්‍රතා සහිත චතුර්ථ ධ්‍යානය යනුවෙන් ධ්‍යාන සතර බුදුරජාණන් වහන්සේ කොතෙකුත් පැහැදිලි කර තිබෙනවා. 

චිත්ත සමාධිය ලබා ගත යුතු යි. ඒ සඳහා සිහි කල්පනාවෙන් වැඩ කළ යුතු යි. එවිට සමාධිය තහවුරු ව එක අරමුණක වැඩ කළ හැකි යි. එක අරමුණක ම විනාඩි පහක් , දහයක් මෙනෙහි කළොත්, එය වැඩිකරගෙන පැයක් පමණ මෙනෙහි කිරීමෙන් තමන්ගේ සිතේ ලොකු සමාධියක් තිබෙන බවට සතුටු වෙන්න. සමාධිය තහවුරු කරගෙන ඉදිරියට මේ ගමන යා යුතු යි. ධ්‍යාන අවස්ථාවෙන් විදර්ශනා ඥාන වලටත්, එතැනින් මාර්ග ඵල අවස්ථාවටත් යන්න පුළුවන්කම තියෙනවා. එයට අවශ්‍ය කරන්නේ සිත ම පිරිසුදු කිරීම යි. සිතේ කහට, පව් සිතිවිලි වැඩියි. ඒවා ම නැති කළ යුතු යි.

කාම රාග අනුසය (පංචකාම වස්තූන් කෙරෙහි ඇති තෘෂ්ණාව) භව රාග අනුසය,(උපත ලබා සිටින භවයට ඇති ආශාව) දිට්ඨාඅනුසය(නොයෙක් මිසදිටුකම එනම් නොයෙක් වැරැදි අවබෝධ) පටිඝානුසය (තරහ, වෛර , ක්‍රෝධ ඊර්ෂ්‍යාවෙන් හටගන්නා පටිඝය) , මානානුසය( මානයෙන් උඩඟුබව) අවිජ්ජානුසය( මෝහය) ආදී අනුසයන් හටගන්නේ සිත තුළම යි. සප්තානුසය නැති කරන්න සම්මා සමාධිය ඉතා වැදගත්. ‘මම ප්‍රථම ධ්‍යානය දියුණු කරන්නෙමි, මම ද්විතීය ධ්‍යානය දියුණු කරන්නෙමි, මම තෘතීය ධ්‍යානය දියුණු කරන්නෙමි, මම චතුර්ථ ධ්‍යානය දියුණු කරන්නෙමි යනුවෙන් සිතේ අධිෂ්ඨානයෙන් තමන්ගේ සම්මා සමාධිය දියුණු කළ යුතු යි. ‘මම සම්මා සමාධිය දියුණු කරන්නෙමි යනුවෙන් නිබඳව ම සිත සිතා මෙනෙහි කරද්දී සිතේ සමාධිය හොඳින් තහවුරු ව ඉදිරියට යන්න පුළුවන්. මෙලෙස කල්පනාවෙන් කොයි කවුරු වුණත්, ගුණ ධර්ම පිළිබඳ මනා වැටහීමක් ඇතිකරගෙන ම ධර්මයට බැසගත යුතු යි. එවිට අඩුපාඩු සකසාගෙන, ගුණ නුවණ ද දියුණුවෙන් තමන්ගේ ගමන අවසන් කරගන්න පුළුවන්. 

සම්මා සමාධි අවස්ථාව එනම්, සිත තැන්පත් කරගෙන සුළු මොහොතක් හෝ එනම්, විනාඩි පහක් දහයක් මෙනෙහි කළා නම්, සම්මා සමාධියට වැටෙයි. එවිට නිවැරැදි ප්‍රඥාවත් අනිවාර්යෙන් පහළ වෙයි. මේ ගැන හොඳ හසල දැනුමකින් තමන්ගේ භාවනා දැනුමත් හොඳින් දියුණුවෙන් කුමන දෙයකින්වත් කරදර, පීඩා, බාධක නැතිව අර්හත්වය දක්වා ම සුවසේ ගමන් කරන්නට පුළුවන්කම තිබෙනවා. 

සම්මා සමාධි ධ්‍යාන අවස්ථාව බව සඳහන් කළා. ඒ ධ්‍යාන හොඳින් දියුණුවෙන් ඉදිරියට මාර්ග ඵල අවස්ථාව දක්වා යා යුතුයි. උත්තරීතර ගුණ සමුදායක් සම්මා සමාධි වෙයි. සම්මා වායාම , සම්මා සති, සම්මා සමාධි ආදී මාර්ගාංග තුන ‘සමාධි’ වෙයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීවය ශීලය නම් වෙයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, මාර්ගාංග ප්‍රඥා නම් වෙයි. ශීල, සමාධි, ප්‍රඥා යනු බුද්ධ ශාසනය යි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යි යනුවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. මෙම දේශනාවන්ට අනුව හොඳින් කටයුතු කළොත්, කාටත් කරදර, පීඩා , බාධා නැතිව නිර්වාණය දක්වා ඉදිරියට යන්න පුළුවන්. කේළාම් කීමෙන්, පරුෂ වචන සහ හිස් වචන කථාවෙන් වැළකිය යුතු යි. එවිට සිත තැන්පත් කරගන්න ලෙහෙසි යි. කථාව වැඩිනම් සිත තැන්පත් කරගන්න අපහසු යි. ඒ නිසා කථාව අඩුකර සිල්ගුණ වැඩි දියුණු කරගත යුතු යි. තම ගුණ දියුණුවීගෙන යද්දී සමාධිය තහවුරු කරගත හැකි යි. සමාධිය සැමටම ලබන්න අපහසු යි. සමාධිය ලබන්නට හොඳින් බණ භාවනාවල යෙදිය යුතු ම යි. මේවා දවසකින් දෙකකින් දියුණු කර ලබන්න බැහැ. දින ගණනාවක් වෙහෙස මහන්සි වී අරමුණු මෙනෙහි කිරීමෙන් සමාධි අවස්ථාවට පැමිණිය යුතු යි. එසේම ආර්ය මාර්ග තත්ත්වයට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. එලෙස පත් වෙද්දී රාග, ද්වේශ, මෝහ ආදී පව් සම්පූර්ණයෙන් විනාශ ව යනවා. එවිට සිතට, ගතට ලැබෙන්නේ විශාල සවියක්. ඒ නිසා භාවනා ක්‍රම දියුණු කරගන්නට ද පුදුම ශක්තියක් ලැබෙනවා. 

භාවනා පින වැඩි වූ විට පව් යටපත් ව යයි. ඉඩ ලැබුණු විගස විපාක ද ලැබෙයි. නමුත් පින වැඩිනම්, පිනෙහි විපාක ලැබී පාපය යටපත් ව විපාක දෙන්නට අවස්ථාවක් නැති වුණොත්, අහෝසි කර්ම වෙලා තමන්ගේ සිත නිර්වාණයට ප්‍රවිශ්ඨ වෙනවා. එසේනම්, නිවන් දකිනා ජාති දක්වා ම නොයෙක් කරදර, පීඩා තිබිය හැකි යි. ඒ සියල්ල යටකරගන්නැ’යි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපට පැහැදිලි කර තිබෙන්නේ. එලෙස බුදු දහමෙන් සඳහන් කළ පරිදි තමන්ගේ සිත තැන්පත් කරගන්නට නම්, ණය නැති , ප්‍රශ්න අඩුකෙනෙක් විය යුතු යි. එවිට සිත තැන්පත් කරගන්න පහසු යි. එසේ ම කරදර පීඩා, බාධා වලින් තොර විය යුතු යි. එවිට ද සිත තැන්පත් කරගන්න පහසුවක් වෙයි. ගුණ නුවණ සිතා, කල්පනා කරද්දී ද තම සම්මා සමාධිය දියුණු කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ සඳහා හොඳ ත්‍යාග වන්තයෙක්, ඉවසිලිවන්තයෙක් විය යුතු යි. අවංක නිහතමානී විය යුතු යි. එවිට චිත්ත සමාධියට බාධා නැතිව සමාධි අවස්ථාවට පැමිණිය හැකි යි. 

මෙම ලිපි පෙළෙහි අවසාන කොටස බිනර අමාවක (සැප්තැම්බර් 28) පත්‍රයේ පළවේ.

Wednesday, January 19, 2022

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති

  සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති: 

සම්මා සතිය වඩා නිවන අරමුණු කර ගන්න

බුදු පියාණන් වහන්සේ සෑම මොහොතකම සිහියෙන් ගත කළා. කෙතරම් සිහි කල්පනාවක් ද? සැරියුත්, මුගලන් ආදී උතුමෝ ද සිහි නුවණින් ම දවස, කාලය ගත කළා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සතියට කිසිවෙකුට ළඟා විය නො හැකි තරමේ විශිෂ්ට සිහි නුවණක් තිබුණා. 

උන්වහන්සේගේ චිත්ත වීති වැඩි නිසා, වැඩි කාලයක් අවධියෙන් වැඩකරන්න පුළුවන්. අපට අවධියෙන් වැඩ කළ නොහැක්කේ භවංග සිත් වැඩි නිස යි. ඒ නිසා පැය ගණනක් නිදා ගන්න සිදු වෙනවා. මේ ගැන සිතා කවුරුත් සිහිය ම දියුණු කළ යුතු යි. සිහියෙන් කෙනෙක් මිය ගියොත්, සුගතියකම උපත ලබයි. අසිහියෙන් මිය ගියොත්, නරකාදියට යයි. ඒ නිසා සම්මා සතිය මාර්ගාංගය ගැන කොයි කවුරුත් විශාල දැනුමක් ලැබිය යුතු යි. එවිට සතර සතිපට්ඨාන භාවනාව ඉතා පැහැදිලි වෙයි. 

ආනාපාන සති භාවනාව හුස්ම ඇතුළුවීම පිටවීම හොඳින් බලා සිටියොත් සිහි නුවණ හොඳින් වැඩෙයි. සම්මා සතිය හොඳින් වැඩෙන විට, නුවණ ද හොඳින් යෙදෙයි. එවිට තමන් ‘මම සිහි කල්පනාව ඇත්තෙක් වන්නෙමි, මම සිහි කල්පනාව දියුණු කරන්නෙමි, මම සම්මා සතිය දියුණු කරන්නෙමි’ යනුවෙන් සිය දහස්වර හොඳින් සිතන්න. එවිට පාපී සිතිවිලි තුරන්ව තමන්ගේ යහපත් ධර්මතාවයෝ දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. චිත්ත උපක්ලේෂයෝ යටකරගන්න පුළුවන්. කාම ඕඝ(පංචකාම වස්තූන්ට ඇති ආශාව), භව ඕඝ(භවයට ඇති කැමැත්ත), දිට්ඨි ඕඝ(මිසදිටුකම), අවිජ්ජා ඕඝ (අවිද්‍යාව නොහොත් මෝහය)ආදී සතර ඕඝ නැති කරන්නත් සිහි කල්පනාව තිබිය යුතු යි. ඕඝ යනු සැඩ පහරට නමක්. මෙයට අසුවුණොත් ගසාගෙන ම යනවා. අපායට ම ඇදගෙන යනවා. එසේනම්, සතර ඕඝයන් විනාශ කර දැමීමට අත්‍යවශ්‍ය පාඩම ලෙස සම්මා සතිය සඳහන් කළ හැකියි. එය තිබුණොත් , සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සමාධි ආදී මාර්ගාංග හතම සිතෙහි පහළ වෙයි. එසේනම් සම්මා සතිය ප්‍රධාන වෙනවා.

මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත් සිහි නුවණ දියුණු කර ගැනීම සඳහා ම කටයුතු කරගත යුතු යි. එවිට තමන්ගේ පාරමී ගමන පැහැදිලිව ඉදිරියට යන්න පුළුවන්. එසේම ගුණ , නුවණ දියුණු තියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. බුද්ධ ශාසනයෙන් ලබන්නට තියෙන සෑම දෙයක්ම ඉතාම උත්තරීතර ලෙස ලබන්න පුළුවන්. ඒවා පැහැදිලි ලෙස අවබෝධයෙන් උත්තම ඥාන දියුණු කර ගන්නට, සම්මා සතියෙන් කටයුතු කළ යුතු යි. 

බුද්ධාදී උතුමෝ කටයුතු කළේ, සම්මා සතියෙන්. උන්වහන්සේ අවවාද කළා, ඔබ සම්මා සතියෙන් කටයුතු කළ යුතු යි යනුවෙන්. එවිට බෝධි පාක්ෂික ධර්මයන් ද පාරමිතාවෝ ද හොඳින් වැඩී , පව් සිතිවිලි ද තුරන්ව , සිත ගත නිවා සනසාගන්න පුළුවන්. එතරම්ම වටිනා පාඩමක් වන්නේ සම්මා සතිය දියුණු කිරීම යි. එය මෙලොවට, පරලොවට මෙන්ම සංසාරයටම හොඳ යි. ඉක්මන් භවයක දී ම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වීම වැනි පුදුම ආනිශංස සම්මා සතිය දියුණු කර ගැනීම තුළින් ලැබෙනවා. මේ ගැන හොඳ කල්පනාවෙන් කවුරුත් තමන්ගේ ගුණ නුවණ දියුණුවෙන් භාවනාව හැකිතාක් සිතෙන් අධිෂ්ඨාන කරගෙන මෙනෙහි කරද්දී තම සම්මා සතිය හොඳින් වැඩෙයි. දියුණු වෙයි. ඥානය ද දියුණු වෙයි. පාරමිතාවෝ දියුණු කරගන්න පුළුවන්. සියලු පව් සෝදා හැර විනාශයට පත් කර, කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ලොවුතුරා බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ යම් ධර්මතාවයක් අවබෝධ කළ සේක් නම්, ඒ ධර්මය අවබෝධ කළේ සිහි කල්පනාව මත යි. 

සම්මා සතිය හැකිතාක් භාවනාවට ගෙන දියුණුවෙන්, පාරමී ගුණ ධර්ම ද සපුරාගෙන අමා මහා නිවන් සුව අවබෝධ කර ගැනීමට සම්මා සති භාවනාව හේතු, වාසනා වේවා! 

මිලින්ද ප්‍රශ්නය

 

නාගසේන තෙරුන්ගේ අසිරිමත් ප්‍රතිභානය

ඒ මොහොතේ නාගසේන තෙරණුවෝ අසූ දහසක් භික්ෂූන් පිරිවරාගෙන විහාරයේ වට මළුවේ වැඩහුන් සේක. මිළිඳු රජතුමා ඒ සඟ පිරිස දැක ‘දේවමන්ත්‍රීයෙනි, මේ මහණ පිරිස කවුරුන් වහන්සේ දැයි විචාළේය. 

නාගසේන මහ තෙරුන් වහන්සේ ගේ මහණ පිරිස යැයි කී කල්හී කාශ්‍යප බුදු සසුනේ දී ඉදල් මිටෙන් පහර කෑ දවසටත් වඩා තැති ගත්තේ ය. එනමුත් ඒ බවක් නො හඟවා ඔබ මේ සඟ පිරිසේ නාගසේන තෙරුන් කවුද කියා මට හඳුන්වා නොදෙනු. මම හැඳිනගන්නෙමි. පවසා දේවමන්ත්‍රියෙනි, සතළිස් දහසක් භික්ෂූන්ට පසුව, සතළිස් දහසක් භික්ෂූන්ට පෙරාතුව අර වැඩ ඉන්නේ නාගසේන තෙරුන් වහන්සේ නේදැයි විමසුවේ ය. එවිට දේවමන්ත්‍රී ඇමැතිතුමා, “ඔබතුමා තෙරුන් වහන්සේ නිවැරැදිව හඳුනා ගත්තා.” කියා පිළිතුරු දුන්නේ ය. එවිට රජතුමා “මා විසින් ම තෙරුන් වහන්සේ හඳුනාගත්තා” යැයි සිත සතුටු වූ නිසා බිය, තැති ගැනීම් පහව ගියේ ය. ඉන්පසු රජතුමාට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. වාද විවාද ආරම්භ කළ කාලයේ පටන් බොහෝ මහණ බමුණන් දැක ඇතත්, මුන්වහන්සේ හා පිරිස දැක උපන් බියක් කිසිදා ඇති නො වී ය. මෙවර නම් මා ඒකාන්තයෙන් ම පරාජය වන්නේ ම ය. දිනන සේක් නාගසේන තෙරුන් වහන්සේය කියා ය. එමනිසා අනුන් ඇමදු කසළ සැදැහැයෙනුත් නොව පෙළඹවීමෙන් අස්කොට මිළිඳු රජතුමා ලද යස තෙදත්, සැදැහැයෙන් මළු පෙත්මං ඇමද නාගසේන තෙරුන් වහන්සේට ලැබුණු ප්‍රඥා සම්පත්තියත් වටහාගෙන පින් කරමින් වත් පිළිවෙත්වළ නියැළෙමින් අකුසල් දුරුකොට කුසල් වඩන්නට උත්සාහවත් විය යුතු ය. 

මිළිඳු රජතුමා නාගසේන තෙරුන්ට වාද නංවයි

එකල්හී මිළිඳු රජතුමා නාගසේන තෙරුන් වහන්සේ වෙත පැමිණ පිළිසඳර කතාබස් කොට එකත්පස්ව වාඩි වූයේ ය. නාගසේනයන් වහන්සේ ද පිළිසඳර කතාබහෙන් මිළිඳු රජුගේ සිත සතුටු කළ සේක. එවිට මිළිඳු රජතුමා නාගසේනයන් වහන්සේගෙන් මෙසේ විමසී ය. ‘පින්වත් භවතාණන් ප්‍රසිද්ධ කවර අයුරින් ද? ස්වාමීනි, ඔබවහන්සේ කවර නමකින් හඳුන්වන්නහු ද? එවිට තෙරුන් වහන්සේ මෙසේ වදාළ සේක. මහරජාණෙනි, මම නාගසේන නමින් ප්‍රසිද්ධ කෙනෙක්මි. මහරජාණෙනි, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මට නාගසේන යන නමින් ආමන්ත්‍රණය කරත්, තව ද, මව්පියෝ මට නාගසේන යනුවෙනුත්, සුරසේන යනුවෙනුත්, වීරසේන යනුවෙනුත්, සිහසේන යනුවෙනුත් නම තබා තිබෙත්. එසේ නමුත් මහරජ, මේ නාගසේන යන නාමය හුදෙක් ව්‍යවහාර මාත්‍රයකි. පැණවීමෙකි. හැඟවීමකි. නාම මාත්‍රයකි. මෙහිලා පුද්ගලයකු ගත නො හැකි ය. 

එවිට මිළිඳු රජු වටපිට බලා මෙසේ පැවසුවේ ය. “තවත් පන්සියයක් ගී‍්‍රකවරුනුත්,මේ අසූ දහසක් භික්ෂූන් වහන්සේලාත් මට සවන් දෙත්වා.මේ නාගසේනයන් වහන්සේ මෙසේ පවසති. මෙහිලා පුද්ගලයකු ගත නො හැකි ය කියා මේ කතාව පිළිගත හැකි දෙයක් ද? 

මිළිඳු රජු ප්‍රති ප්‍රශ්න නඟයි

එසේ පැවසූ මිළිඳු රජතුමා නාගසේනයන් වහන්සේට මෙසේ පැවසී ය. ‘ඉදින් ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මෙහිලා පුද්ගලයකු ගත නොහැකි නම් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස බෙහෙත් පිරිකර සොයා හැසුරුණේ කවරෙක් ද? ඒවා පූජා කළේ කවුරුන් ද? ඒවා පරිභෝග කළේ කවරෙක් ද? සිල් රකින්නේ කවුුරුන් ද? භාවනා කරන්නේ කවුරුන් ද? මගඵල නිවන් සාක්ෂාත් කරන්නේ කවුරුන් ද? සතුන් මරන්නේ, සොරකම් කරන්නේ, වැරැදි කාමයේ හැසිරෙන්නේ, බොරු කියන්නේ, මද්‍යපාන කරන්නේ කවුරුන් ද? පංචානන්තරීය කර්ම කරන්නේ කවුරුන් ද? එසේ නම් කුසලයක් ද නැත්තේ ය. අකුසලයකුත් නැත්තේ ය. කුසලාකුසල කර්මයන් කරන්නෙක්වත්, කරවන්නෙක්වත් නැත්තේ ය. කුසලාකුසල කර්මයන්ගේ ඵලවිපාකත් නැත්තේ ය. එසේනම් ස්වාමීනි නාගසේනයන් වහන්ස, යමෙක් ඔබවහන්සේ මරණයට පත් කළොත් ඔහුට ප්‍රාණඝාතය සිදු නො වන්නේ ය. ස්වාමීනි, නාගසේනයන් වහන්ස, මෙසේ ඇති කල්හි ඔබවහන්සේට ගුරුවරයෙකුත් නැත්තේ ය. උපාධ්‍යායන් වහන්සේ නමකුªත් නැත්තේ ය. උපසම්පදාවකුත් නැත්තේ ය. 

නාගසේන තෙරුන්ගේ ප්‍රතිභානය 

මිළිඳු රජතුමා එසේ පැවසූ විට නාගසේන මහරහතන් වහන්සේ රජතුමා පැමිණි රාජකීය රථය උපමා කර ගනිමින් එම කාරණය පහදා දුන්නේ මෙසේ ය. මහරජාණෙනි, අලවංගුව, රෝද, මැදිරිය, රථ දණ්ඩ, විය දණ්ඩ, රැහැන, කෙවිටිලිය යන මේවා හේතු කරගෙන රථය යන 

පිළිගැනීම, සම්මුතිය, පැණවීම, ව්‍යවහාරය නාමමාත්‍රිකව පවතී. එමෙන්ම මගේත් කෙස්, ලොම්, නිය, දත්, සම ආදී දෙ තිස් කුණප කොට්ඨාසයන් නිසාත් රූපය, වේදනාව, සඤ්ඤාව, සංස්කාර, විඤ්ඤාණය නිසාත් ‘නාගසේන’ යන පිළි ගැනීම සම්මුතිය පැනවීම, ව්‍යවහාරය නාම මාත්‍රිකව පවතී. මෙහිලා නො වෙනස් වන දෙයක් වශයෙන්, ජීවයක් වශයෙන් පුද්ගලයෙක් නොලැබේ. එසේ වදාළ නාගසේන තෙරුන් රජතුමාට තවදුරටත් කරුණු පහදා දෙමින් මෙසේ වදාළ සේක. ‘මහරජාණනි, වජිරා භික්ෂුණිය විසින් මාරයා හට පවසන ලද කරුණ අප භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි මෙලෙසින් පවසා තිබේ. 

යම් සේ රථයකට අදාළ අංගෝපාංගයන් එක්වූ කල්හි ‘රථය’ යන ව්‍යවහාරය ඇතිවෙයි. ඒ අයුරින් ම උපාදානස්කන්ධයන් ඇති කල්හී ‘සත්වයා’ යන පිළිගැනීම ඇතිවේ. 

මිළිඳු රජුගේ පැහැදීම 

නාගසේන මහරහතන් වහන්සේ, එලෙසින් පහදා දුන් විට අතිශයින් ම පැහැදීමට පත් වූ මිළිඳු රජතුමා මෙසේ පැවසුවේ ය. ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා අද්භූත ය. ප්‍රශ්නය විග්‍රහ කොට විසඳූ අයුරු අති විචිත්‍ර ය. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සේක් නම්, සාධු නාද පවත්වන සේක් ම ය. සාධු සාධු නාගසේනයන් වහන්ස, ප්‍රශ්නය විග්‍රහ කළ ප්‍රතිභානය නම් අතිවිචිත්‍ර ය. එසේ නාගසේන මහරහතන් වහන්සේට බලවත් සේ ප්‍රශංසා කළ මිළිඳු රජතුමා යළිත් මෙසේ විමසුවේ ය. “ස්වාමීනි, නාගසේනයන් වහන්ස, ඔබ වහන්සේ උපසම්පදාව ලබා වස් කීයකින් යුක්ත ද? මහරජාණෙනි, මම වස් සතකින් යුක්ත වෙමි. කියා පිළිතුරු දුන්විට යළිත් හේ මෙසේ ඇසුවේ ය. ඒ කියන්නේ ස්වාමීනි, කවර සතක්ද? ඔබ වහන්සේ සත? එසේ නැතිනම් ගණන් කිරීමෙන් ලැබූ දෙයක් සත? ඒ අවස්ථාවේ දී සර්වාභරණයෙන් අලංකාර වී සිටි මිළිඳු රජතුමාගේ ඡායාව පොළොවෙහි ද, දිය බඳුනෙහි ද දිස් විය. එවිට නාගසේනයන් වහන්සේ මෙසේ පැවසූ සේක. ‘මහරජාණෙනි, ඔබගේ ඡායාව පොළොවෙහි ද, දිය බඳුනෙහි ද දිස්වෙයි. කිම මහරජාණනි, ඔබද රජු නැතහොත් සෙවණැල්ල ද රජු? 

“ස්වාමීනී නාගසේනයන් වහන්ස, රජු වනාහී මම වෙමි. මේ සෙවණැල්ල රජු නොවෙයි. සෙවණැල්ල පවතින්නේ මා නිසා ය.” කියා රජු පිළිතුරු දුන්නේ ය. එවිට තෙරුන් වහන්සේ මෙසේ පහදා දුන් සේක. මහරජාණෙනි, ඔය අයුරුම ගණන් කිරීමෙන් උපසම්පදාවෙන් ලත් වස්සාන සත ලැබෙන්නේ. නමුත් මා සත නොවෙයි. ඒ සත් වසර පවතින්නේ මා නිසා ය. මහරජාණනි, සෙවණැල්ල උපමා කොට පැවසුවේ මෙ කරුණ යි. එම පිළිතුරෙන් ද අතිශය සතුටට පත් මිළිඳු රජතුමා මෙසේ පැවසීය. ‘ස්වාමීනි නාගසේනයන් වහන්ස, ඉතා අසිරිමත් ය. ඉතා අද්භූත ය. ප්‍රශ්නය විග්‍රහ කළ අයුරු නම් අති විචිත්‍ර ය යනුවෙනි. 

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති:

 

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා සති: 

සසර සැඩ පහර තරණයට ...


සම්මා සති මාර්ගාංගය බුද්ධොත්පාද කාලයක අසන්න ලැබීමත් වාසනාවක්. අබුද්ධෝත්පාද කාලවලදී ආගම, දහමක් ගැන, පැහැදිලි නිවන් මඟක් ගැන , නිවැරැදි දර්ශනයක් පිළිබඳව දැක ගන්න, අසන්න ක්‍රමයක් නැහැ. සම්මා සතිය පැහැදිලි කරන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නමක් විසින්ම ය. 

ආනාපාන සති භාවනාව, එනම් හුස්ම ඇතුළුවීම පිටවීම හොඳින් බලාගෙන යාමෙන් සම්මා සතිය හොඳින් තහවුරු වෙයි. මෛත්‍රී භාවනා, බුදු ගුණ භාවනා ආදියෙන් ද සම්මා සතිය දියුණු කර ගන්න පුළුවන්. නිවැරැදි සිහිය තිබුණොත් පමණක්, තම ගුණ දියුණුවෙන් ඉදිරියට යා හැකි යි. පාඩම් කරන්න, පොත පත කියවන්න, බණ, භාවනා කරගන්න සම්මා සතිය අවශ්‍යම යි. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! යනුවෙන් සිය, දහස්වර, මෙනෙහි කිරීමෙන් සිහි කල්පනාව දියුණු වෙයි. මේවා හැකිතාක් පුරුදු, පුහුණු කරගත යුතු යි. සම්මා සතියෙන් මේ ගමන යන්නේ සතර සතිපට්ඨාන දියුණු කරගන්න යි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව ආදී සතර සතිපට්ඨාන දියුණු කර ගැනීම සම්මා සති නම් වෙයි. එනම්, කය අනුව, වේදනාව අනුව, සිත අනුව සහ ධර්මය අනුව බැලීම යි. මෙවැනි ගැඹුරු පාඩම් ඔස්සේ කටයුතු කරගෙන යාමෙන් නිවැරැදි සිහිය පිහිටුවා ගන්න පුළුවන්. සක්මන් භාවනාවේ දී ද හොඳ සිහි කල්පනාවෙන් ‘ඔසවනවා, තබනවා’ යනුවෙන් සිතමින් සක්මන් කළ යුතු යි. ඊළඟට ‘ඔසවනවා , තබනවා, ඔසවනවා, යවනවා, තබනවා’ යනුවෙන් භාවනා කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, තබනවා’ යනුවෙන් කරුණු හතරකින් සක්මන් කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, යවනවා, තබනවා’ යනුවෙන් ද සක්මන් කළ යුතු යි. ‘ඔසවනවා, නවනවා, දිග හරිනවා, යවනවා, තබනවා, තද කරනවා’ මේ කරුණු හයම සිතමින් ද සක්මන් කළ යුතු යි. මේ සඳහා සම්මා සතිය අවශ්‍ය වෙයි.

‘ආනන්ද, ස්වාමීන් වහන්සේ ට පුදුම ලෙසින් සම්මා සතිය පිහිටියා. එක වචනයක් අසන්නේ එකම වතාව යි. දෙවතාවක් කියන්නට අවශ්‍ය නැහැ. හොඳින් මතක සිටිනවා. එතරම්ම සිහි කල්පනාව හොඳයි. අතීත සංසාරයේ දී ද හොඳින් බණ භාවනා කර, සිහිය දියුණු කළ නිසා උන්වහන්සේට සති සම්පජඤඤය හොඳින් පිහිටියා. මේවා සංසාරයෙන් ගෙනෙන ,අනන්ත ජාතිවල කළ පින්කම්වල විපාක යි. එසේනම්, කවුරු වුණත්, සම්මා සතිය හොඳින් දියුණු කළ යුතු යි. ‘මම කායානුපස්නාව දියුණු කරන්නෙමි, මම වේදනානුපස්සනාව දියුණු කරන්නෙමි, මම චිත්තානුපස්සනාව දියුණු කරන්නෙමි, මම ධම්මානුපස්සනාව දියුණු කරන්නෙමි යනුවෙන් නිතර අධිෂ්ඨාන කළ යුතු යි. ‘මම සම්මා සතියෙන් වැඩ කරමි යනුවෙන් නිතර සිතමින් ද මෙනෙහි කළ යුතු යි. එවිට සම්මා සතිය හොඳින් තහවුරු වෙයි. එවිට බෝධිපාක්ෂික ධර්මයන් ද, සිහි නුවණ ද හොඳින් වැඩෙයි.

බුද්ධාදී උතුමෝ නිවන් සුව අවබෝධ කළේ, සම්මා සතිය මුල් කරගෙන යි. සම්මා සතිය ඇත්තෙක්, මරණයට පත් වුණොත්, දෙව්ලොවට, බඹ ලොවට යා හැකි යි. සම්මා සතියෙන් තොර නම්, අපාගත වෙනවා ම යි. ඒ නිසා හොඳින් මතක තබා ගන්න. නිබඳවම සිහි කල්පනාව, දියුණු කළ යුතු යි. සතර ඉරියව්වේ ම යම් භාවනාවක් මෙනෙහි කරන්නට පුරුදු වන්න. වාහනයක ගමන් කරනවා නම්, ගමන ආරම්භයේ පටන් ගමනාන්තය දක්වාම යම් අරමුණක් මෙනෙහි කළොත්, සිහිය හොඳින් පවත්වාගත හැකි යි. මේවා බුදු දහමට අනුව ඉගෙන ගෙන, වැඩිදියුණු කරගනු ලැබුවානම්, කාටවත් කරදර, පීඩාවක් නොමැතිව පැහැදිලිව, ඉදිරියට යන්නට පුළුවන්. 

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේ සිහි කල්පනාවෙන් ම යි වැඩ කළේ. සම්මා සතිය හොඳින් තිබුණා. ඒ නිසා අපට නිවැරැදි සිහියෙන්, සම්මා සතියෙන් වැඩ කරන්නැ’යි උන්වහන්සේ නිතර උපදෙස් ලබා දුන්නා. තණ්හාව, තරහව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව , පළිගැනීම, මාන්නය උඩඟුකම ආදී පහත් සිතිවිලි සිඳ බිඳ දැමීමට අවශ්‍ය කරන්නේ සම්මා සතිය යි. නිවැරැදි සිහිය තිබුණොත්, හොඳින් සිහිය පිහිටුවාගෙන භාවනා කළොත්, තමන්ගේ පාපී සිතිවිලි විනාශ කර දමන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා කවුරුත් සම්බුද්ධ ශාසනය වැළඳගෙන කළ යුතු ගුණ ධර්ම වඩා වර්ධනය කළොත්, කාටවත් කුමන දෙයකින්වත්, කරදරයක් , පීඩාවක් නැතිව ඉදිරියටම යන්න පුළුවන්කම තියෙනවා.

කායානුපස්සනාවේ භාවනා ක්‍රම දාහතරක් ද, වේදනානුපස්සනාවේ භාවනා ක්‍රම එකක් වශයෙන් ද, චිත්තානුපස්සනාවේ භාවනා ක්‍රම එකක් වශයෙන් ද ප්‍රභේද වශයෙන් දාසයක් ද , ධම්මානුපස්සනාවේ ප්‍රධාන භාවනා ක්‍රම පහක් ද වශයෙන් සිහිය දියුණු කරන ක්‍රම විසි එකක් මහා සතිපට්ඨාන සූත්‍රයෙන් පැහැදිලි කළා. සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගැනීමෙන් සියලු භාවනා ක්‍රම දැන කියාගන්න පුළුවන්කම තියෙනවා. දරුවන්ගේ සිහි නුවණ දියුණු කර ගැනීම සඳහා යම් භාවනාවක් කියා දිය යුතු යි. ‘සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’ යනුවෙන් සිය දහස්වර මෙනෙහි කළොත් දරුවාගේ සිහි කල්පනාව , පාඩම් ආදිය හොඳින් මතක තබාගෙන ඉහළම ප්‍රගතියකට යා හැකි යි. එසේනම් කවුරුත් නිවැරැදි සිහිය දියුණු කරගත යුතු යි. එවිට සම්මා සතියෙන් වැඩ කටයුතු කළා වෙයි. 

මිලින්ද ප්‍රශ්නය,

 

මිළිඳු රජුගේ සහ නාගසේන තෙරුන්ගේ හමුව

නාගසේන මහරහතන් වහන්සේ උතුම් රහතන් වහන්සේ අමතමින් මෙසේ පැවසූ සේක. “එක මිළිඳු රජ කෙනෙකු තබා දඹදිව සියලු රජ දරුවෝ මා කරා පැමිණ ප්‍රශ්න විචාරයත්, පසු නො බැස විසඳමි. එය මට බාර ය. 

හැමදෙනා වහන්සේ ට ම වාද කළ හැකි ද? නො හැකිදැයි? නො සිතා මිළිඳු රජු සාගල නුවරට වැඩිය මැනවැයි” කී හ. එය අසා රහතන් වහන්සේ සාගල නුවරට වැඩි සේක.

එකල ආයුපාල නම් තෙරුන් වහන්සේ සාඛෙය්‍ය නම් පිරිවෙනෙහි වසන සේක. මිළිඳු රජු දිනක් ඇමතිවරු අමතා “අඳුර දුරු වීමෙන් මේ රාත්‍රිය ඉතා සිත්කළු ය. මේ සොඳුරු රාත්‍රියෙහි කවර කෙනෙකුන් හා විවාද කරම් ද? කවරෙක් අප හා විවාද කරන්නට සමත් ද? කියා විචාළේ ය. එවිට ඇමැතිවරු “ආයුපාල නම් තෙරුන් වහන්සේ නමක් සාඛෙය්‍ය නම් පිරිවෙනෙහි වසන සේක. උන්වහන්සේ ත්‍රිපිටකධර හෙයින් බහුශ්‍රැත වන සේක. ඔබතුමා ගොස් උන්වහන්සේ හා කතාබස් කළ මැනවයි” කීහ. රජතුමා එය අසා ආයුපාල තෙරුන් දකිනු කැමැති ව මුලින් අවසර ගෙන ඇමැතිවරු සමගින් තෙරුන් වහන්සේ මුණ ගැසීමට ගියේ ය. ඉන්පසු තෙරුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වී මෙසේ විමසා සිටියේ ය. ‘ස්වාමිනි, මහණ වන්නේ කුමක් නිසා ද? මහණ වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? කියා ය. “මහරජ, මහණ වන්නේ ධර්මයේ හැසිරීම පිණිස යි.” කියා පිළිතුරු දුන්විට ‘ ස්වාමිනි, ධර්මයෙහි හැසිරෙන ගිහියන් නැද්දැයි” යළිත් රජු විමසී ය. එවිට ආයුපාල තෙරුන් වහන්සේ ඒ පිළිබඳව මෙසේ පහදා දුන් සේක. “ඇත මහරජ, බුදුරජාණන් වහන්සේ බරණැස දී දම්සක් පැවතුම් සූත්‍රය දෙසන විට දහඅට කෝටියක් බ්‍රහ්මයෝ ධර්මය අවබෝධ කළහ. පැවිද්දන් අතරින් ධර්මාවබෝධ කළේ කොණ්ඩඤ්ඤ තෙරුන් පමණකි. එමෙන් ම මහරජතුමනි, මහාසමය සූත්‍රය දෙසූ දිනත්, සමචිත්තපරියාය සූත්‍රය දෙසු දිනත්, රාහුලෝවාද සූත්‍රය දෙසු දිනත්, පරාභව සූත‍්‍රය දෙසු දිනත් ගණනින් ප්‍රමාණ කළ නො හැකි තරම් දෙවි, බඹුන් ධර්මාවබෝධ කළහ. ඔවුන් හැම ගිහි පිරිස මිස පැවිද්දන් නොවේ”.

ඒ අසා රජතුමා “ස්වාමීනි, එසේ වී නම් මහණ වීමෙන් ප්‍රයෝජනයක් නැත. බෙහෙත් නො කොට සන්සිඳෙන ලෙඩට බෙහෙත් කර දුක් ගන්නා සේ, හිණිදඬු නැතිව නැංගහැකි තැනට හිණිමං බඳිමින් දුක්ගන්නා සේ, නොමිලයේ ලද හැකි භාණ්ඩයකට මුදල් සොයමින් දුක් ගන්නා සේ, මහණ නො වීත් ලද හැකි නිවන පිණිස මහණ වී දුක් ගන්නේ පෙර කල පව් නිසා ය. එසේ ඇති කල ධූතාංග පිණිස ප්‍රයෝජනයක් නැත්තේ ය. යම් පැවිද්දෙක් එක් වේලකින් පමණක් යැපෙන ඒකාසනික ධුතාංගය පුරන්නේ පෙර ජීවිතවල අනුන් කන බොන දෙය උදුරා ගත් නිසා ය. වෙන කරුණක් නිසා නොවේ. එමනිසා කන්නට, බොන්නට කැමැත්ත ඇති මුත් දෙවේලේ සම ව බත්, පාන් නො ලබති. එසේ හෙයින් ධුතාංග පූරණයෙන් පෙනෙන අකුසල් විපාක මිස කුසල් විපාක නැත. යම් පැවිද්දෙක් එළිමහනෙහි වාසය කරන අබිභෝකාසිකය පුරන්නේ නම් හෙතෙම අතීතයේ අනුන්ගේ ගෙවල් උදුරා ගත් නිසා ය. ගෙවල් අහිමිවූවන් රුක් සෙවණට වී සිටි නිසා ය. ඒ පව් හේතුකොටගෙන ය. රුක්මුල්වල වාසය කරන්නට සිදු වී තිබෙන්නේ. නිදා නො ගැනීම නම් වූ භේසජ්ජකාංගය පුරන්නේ අතීතයේ මං පැහැරූ පවින් ය. මං පහරන්නා මග යන්නවුන් වාඩි කරවා අත්බැඳ අත මිට තිබූ දෙය උදුරා ගත් හෙයින් දැන් ඇඳ තිබියදීත් වාඩී වී රැය පහන් කරන්නට සිදුවී ඇත. එසේ හෙයින් පැවිදි වී පුරන ශාසනික පිළිවෙතින් ප්‍රයෝජනයක් නැත්තේ ය. නිවන පිණිස යැයි කළත්, කුසල් විපාක වශයෙන් කරනා නිසාත් ඒ කිසිවක් නො කළ ගිහියන්ටත් නිවන ලැබෙන නිසාත් කිසිම අයුරකින් ධුතාංග පිළිවෙත්වලින් කිසිදු ප්‍රයෝජනයක් නැත්තේ ය. මෙසේ මිළිඳු රජතුමා බුදු සසුනට නිගා කරන්නාක් මෙන් වාදාභිමුඛව උපවාද කොට කිව්වේ ය.

ඒ හැම ඇසූ ආයුපාල මහතෙරුන් වහන්සේ “ධූතාංග පූරනයේ කෙලෙසුන් වැඩීම පිණිස යි” කීමටවත් නො හැකි වී තමන් වහන්සේ නිරුත්තර වූ සේ නිහඬව වැඩහුන් සේක. එව්ිට ඇමැතිවරු ”වදනකින් පමණවත් පිළිතුරක් නො කීවත් ශාසන බලය අවතක්සේරු නො කළ යුතුයි” යන අදහසින් රජතුමාට මෙසේ පැවසූහ. “ මහරජාණන් වහන්ස, තෙරුන් වහන්සේ නුවණැති සේක. පිළිතුරු දැන සිටියත් පහදා දෙන්නට හැකියාව නැති සේක. ගොළුවන් දුටු සිහින අන් අයට පවසන්න නො හැකි සේ දැනුම ඇතත් කියාගත නො හැකික. එසේ හෙයින් පිළිතුරු දන්නාමුත් කියාගත නොහැකි සේක”. ඒ අසා මිළිඳු රජතුමා “ඔබලා කුමක් කීවත් මදක් හෝ පිළිතුරු පැවසිය යුතු නොවේ ද? “අනේ මේ දඹදිව පැන් නැති ගඟක් සේ, රජුන් නැති රටක් සේ නුවණැත්තන් ගෙන් හිස් වූ සෙයකි” කියා පැවසුවේ ය. එමෙන්ම මා හා වාද කරන්නට ප්‍රතිබල වෙනත් නුවණැත්තෙක් ඇද්දැයි” ඇමැතිවරුන්ගෙන් විමසුවේ ය.

එකල්හි නාගසේන මහතෙරුන් වහන්සේ වැඩිමහලු භික්ෂූන් හතළිස් දහසක් ද, තමන් වහන්සේට වඩා නවක භික්ෂූන් හතළිස් දහසක් ද සමගින් වාසය කරන සේක. බහුශ්‍රැත, නුවණ ඇතිව, ව්‍යක්ත ධර්ම කථිකයෙක් නිකෙලෙස් හද මඬලක් දරාගෙන කරුණා මෙත් සිතින් යුතුව සාගල නුවර සාඛෙය්‍ය පිරිවෙනේ වැඩ වසන සේක. නාගසේනයන් වහන්සේ ගැන දැනගත් දේවමන්ත්‍රී නම් ඇමැතිතුමා මිළිඳු රජතුමාට මෙසේ පැවැසී ය. “මහරජාණන් වහන්ස, ඉවසා වදාළ මැනවි. මහා නුවණැති බහුශ්‍රැත වූ නාගසේන නම් තෙරුන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා මේ සාගල නුවරට වැඩි සේක. උන්වහන්සේ කරා ගොස් වාද ප්‍රතිවාද නැංවුව මැනවි. උන්වහන්සේ ඒ පිණිස ව්‍යක්ත ප්‍රතිබල වන්නේ ම ය”.

නාගසේන නම ඇසූ පමණින් ම මිළිඳු රජතුමාට තැති ගැනීමක් හට ගත්තේ ය. එහෙත් රාජ ධෛර්යය උපදවා බිය සඟවාගෙන “උන් වහන්සේ මා හා කතා කරන්නට සමර්ථදැයි” යළිත් විමසී ය. එවිට දේවමන්ත්‍රී ඇමැතිවරයා “ඔබතුමා තබා, ශක්‍ර, බ්‍රහ්ම මහේශ්වරාදී කවර තරමේ කෙනෙකුන් හා කතා කොටත් හිරු නැගි කලට කළාමැදිරියන් සේ වාද කරන්නන් නිශ්ප්‍රභා කරන්නට ප්‍රතිබල ඇති සේක. එසේ හෙයින් ඔබතුමා හා කතා කරන්නට පුළුවන්කම ගැන කවර කතා ද?” කියා පැවසී ය. එය ඇසූ පමණින් ම මිළිඳු රජතුමා පසු බා ගිය මුත් ඒ බවක් නො සඟවා “එසේ නම් නාගසේන තෙරුන් මුණ ගැසීමට මා කැමැති බව දන්වා අවසර ගනු” කියා දේවමන්ත්‍රී ඇමැතිට නියෝග කළේ ය. ඉක්බිති නාගසේන තෙරුන්ගෙන් අවසරලත් රජතුමා ඇමැතිවරු පන්සියයක් ද පිරිවරාගෙන සාඛෙයඅඹ්‍ය පිරිවෙන වෙත ගියේ ය.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...