Wednesday, January 19, 2022

මිලින්ද ප්‍රශ්නය,

 

මිළිඳු රජුගේ සහ නාගසේන තෙරුන්ගේ හමුව

නාගසේන මහරහතන් වහන්සේ උතුම් රහතන් වහන්සේ අමතමින් මෙසේ පැවසූ සේක. “එක මිළිඳු රජ කෙනෙකු තබා දඹදිව සියලු රජ දරුවෝ මා කරා පැමිණ ප්‍රශ්න විචාරයත්, පසු නො බැස විසඳමි. එය මට බාර ය. 

හැමදෙනා වහන්සේ ට ම වාද කළ හැකි ද? නො හැකිදැයි? නො සිතා මිළිඳු රජු සාගල නුවරට වැඩිය මැනවැයි” කී හ. එය අසා රහතන් වහන්සේ සාගල නුවරට වැඩි සේක.

එකල ආයුපාල නම් තෙරුන් වහන්සේ සාඛෙය්‍ය නම් පිරිවෙනෙහි වසන සේක. මිළිඳු රජු දිනක් ඇමතිවරු අමතා “අඳුර දුරු වීමෙන් මේ රාත්‍රිය ඉතා සිත්කළු ය. මේ සොඳුරු රාත්‍රියෙහි කවර කෙනෙකුන් හා විවාද කරම් ද? කවරෙක් අප හා විවාද කරන්නට සමත් ද? කියා විචාළේ ය. එවිට ඇමැතිවරු “ආයුපාල නම් තෙරුන් වහන්සේ නමක් සාඛෙය්‍ය නම් පිරිවෙනෙහි වසන සේක. උන්වහන්සේ ත්‍රිපිටකධර හෙයින් බහුශ්‍රැත වන සේක. ඔබතුමා ගොස් උන්වහන්සේ හා කතාබස් කළ මැනවයි” කීහ. රජතුමා එය අසා ආයුපාල තෙරුන් දකිනු කැමැති ව මුලින් අවසර ගෙන ඇමැතිවරු සමගින් තෙරුන් වහන්සේ මුණ ගැසීමට ගියේ ය. ඉන්පසු තෙරුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව වාඩි වී මෙසේ විමසා සිටියේ ය. ‘ස්වාමිනි, මහණ වන්නේ කුමක් නිසා ද? මහණ වීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද? කියා ය. “මහරජ, මහණ වන්නේ ධර්මයේ හැසිරීම පිණිස යි.” කියා පිළිතුරු දුන්විට ‘ ස්වාමිනි, ධර්මයෙහි හැසිරෙන ගිහියන් නැද්දැයි” යළිත් රජු විමසී ය. එවිට ආයුපාල තෙරුන් වහන්සේ ඒ පිළිබඳව මෙසේ පහදා දුන් සේක. “ඇත මහරජ, බුදුරජාණන් වහන්සේ බරණැස දී දම්සක් පැවතුම් සූත්‍රය දෙසන විට දහඅට කෝටියක් බ්‍රහ්මයෝ ධර්මය අවබෝධ කළහ. පැවිද්දන් අතරින් ධර්මාවබෝධ කළේ කොණ්ඩඤ්ඤ තෙරුන් පමණකි. එමෙන් ම මහරජතුමනි, මහාසමය සූත්‍රය දෙසූ දිනත්, සමචිත්තපරියාය සූත්‍රය දෙසු දිනත්, රාහුලෝවාද සූත්‍රය දෙසු දිනත්, පරාභව සූත‍්‍රය දෙසු දිනත් ගණනින් ප්‍රමාණ කළ නො හැකි තරම් දෙවි, බඹුන් ධර්මාවබෝධ කළහ. ඔවුන් හැම ගිහි පිරිස මිස පැවිද්දන් නොවේ”.

ඒ අසා රජතුමා “ස්වාමීනි, එසේ වී නම් මහණ වීමෙන් ප්‍රයෝජනයක් නැත. බෙහෙත් නො කොට සන්සිඳෙන ලෙඩට බෙහෙත් කර දුක් ගන්නා සේ, හිණිදඬු නැතිව නැංගහැකි තැනට හිණිමං බඳිමින් දුක්ගන්නා සේ, නොමිලයේ ලද හැකි භාණ්ඩයකට මුදල් සොයමින් දුක් ගන්නා සේ, මහණ නො වීත් ලද හැකි නිවන පිණිස මහණ වී දුක් ගන්නේ පෙර කල පව් නිසා ය. එසේ ඇති කල ධූතාංග පිණිස ප්‍රයෝජනයක් නැත්තේ ය. යම් පැවිද්දෙක් එක් වේලකින් පමණක් යැපෙන ඒකාසනික ධුතාංගය පුරන්නේ පෙර ජීවිතවල අනුන් කන බොන දෙය උදුරා ගත් නිසා ය. වෙන කරුණක් නිසා නොවේ. එමනිසා කන්නට, බොන්නට කැමැත්ත ඇති මුත් දෙවේලේ සම ව බත්, පාන් නො ලබති. එසේ හෙයින් ධුතාංග පූරණයෙන් පෙනෙන අකුසල් විපාක මිස කුසල් විපාක නැත. යම් පැවිද්දෙක් එළිමහනෙහි වාසය කරන අබිභෝකාසිකය පුරන්නේ නම් හෙතෙම අතීතයේ අනුන්ගේ ගෙවල් උදුරා ගත් නිසා ය. ගෙවල් අහිමිවූවන් රුක් සෙවණට වී සිටි නිසා ය. ඒ පව් හේතුකොටගෙන ය. රුක්මුල්වල වාසය කරන්නට සිදු වී තිබෙන්නේ. නිදා නො ගැනීම නම් වූ භේසජ්ජකාංගය පුරන්නේ අතීතයේ මං පැහැරූ පවින් ය. මං පහරන්නා මග යන්නවුන් වාඩි කරවා අත්බැඳ අත මිට තිබූ දෙය උදුරා ගත් හෙයින් දැන් ඇඳ තිබියදීත් වාඩී වී රැය පහන් කරන්නට සිදුවී ඇත. එසේ හෙයින් පැවිදි වී පුරන ශාසනික පිළිවෙතින් ප්‍රයෝජනයක් නැත්තේ ය. නිවන පිණිස යැයි කළත්, කුසල් විපාක වශයෙන් කරනා නිසාත් ඒ කිසිවක් නො කළ ගිහියන්ටත් නිවන ලැබෙන නිසාත් කිසිම අයුරකින් ධුතාංග පිළිවෙත්වලින් කිසිදු ප්‍රයෝජනයක් නැත්තේ ය. මෙසේ මිළිඳු රජතුමා බුදු සසුනට නිගා කරන්නාක් මෙන් වාදාභිමුඛව උපවාද කොට කිව්වේ ය.

ඒ හැම ඇසූ ආයුපාල මහතෙරුන් වහන්සේ “ධූතාංග පූරනයේ කෙලෙසුන් වැඩීම පිණිස යි” කීමටවත් නො හැකි වී තමන් වහන්සේ නිරුත්තර වූ සේ නිහඬව වැඩහුන් සේක. එව්ිට ඇමැතිවරු ”වදනකින් පමණවත් පිළිතුරක් නො කීවත් ශාසන බලය අවතක්සේරු නො කළ යුතුයි” යන අදහසින් රජතුමාට මෙසේ පැවසූහ. “ මහරජාණන් වහන්ස, තෙරුන් වහන්සේ නුවණැති සේක. පිළිතුරු දැන සිටියත් පහදා දෙන්නට හැකියාව නැති සේක. ගොළුවන් දුටු සිහින අන් අයට පවසන්න නො හැකි සේ දැනුම ඇතත් කියාගත නො හැකික. එසේ හෙයින් පිළිතුරු දන්නාමුත් කියාගත නොහැකි සේක”. ඒ අසා මිළිඳු රජතුමා “ඔබලා කුමක් කීවත් මදක් හෝ පිළිතුරු පැවසිය යුතු නොවේ ද? “අනේ මේ දඹදිව පැන් නැති ගඟක් සේ, රජුන් නැති රටක් සේ නුවණැත්තන් ගෙන් හිස් වූ සෙයකි” කියා පැවසුවේ ය. එමෙන්ම මා හා වාද කරන්නට ප්‍රතිබල වෙනත් නුවණැත්තෙක් ඇද්දැයි” ඇමැතිවරුන්ගෙන් විමසුවේ ය.

එකල්හි නාගසේන මහතෙරුන් වහන්සේ වැඩිමහලු භික්ෂූන් හතළිස් දහසක් ද, තමන් වහන්සේට වඩා නවක භික්ෂූන් හතළිස් දහසක් ද සමගින් වාසය කරන සේක. බහුශ්‍රැත, නුවණ ඇතිව, ව්‍යක්ත ධර්ම කථිකයෙක් නිකෙලෙස් හද මඬලක් දරාගෙන කරුණා මෙත් සිතින් යුතුව සාගල නුවර සාඛෙය්‍ය පිරිවෙනේ වැඩ වසන සේක. නාගසේනයන් වහන්සේ ගැන දැනගත් දේවමන්ත්‍රී නම් ඇමැතිතුමා මිළිඳු රජතුමාට මෙසේ පැවැසී ය. “මහරජාණන් වහන්ස, ඉවසා වදාළ මැනවි. මහා නුවණැති බහුශ්‍රැත වූ නාගසේන නම් තෙරුන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා මේ සාගල නුවරට වැඩි සේක. උන්වහන්සේ කරා ගොස් වාද ප්‍රතිවාද නැංවුව මැනවි. උන්වහන්සේ ඒ පිණිස ව්‍යක්ත ප්‍රතිබල වන්නේ ම ය”.

නාගසේන නම ඇසූ පමණින් ම මිළිඳු රජතුමාට තැති ගැනීමක් හට ගත්තේ ය. එහෙත් රාජ ධෛර්යය උපදවා බිය සඟවාගෙන “උන් වහන්සේ මා හා කතා කරන්නට සමර්ථදැයි” යළිත් විමසී ය. එවිට දේවමන්ත්‍රී ඇමැතිවරයා “ඔබතුමා තබා, ශක්‍ර, බ්‍රහ්ම මහේශ්වරාදී කවර තරමේ කෙනෙකුන් හා කතා කොටත් හිරු නැගි කලට කළාමැදිරියන් සේ වාද කරන්නන් නිශ්ප්‍රභා කරන්නට ප්‍රතිබල ඇති සේක. එසේ හෙයින් ඔබතුමා හා කතා කරන්නට පුළුවන්කම ගැන කවර කතා ද?” කියා පැවසී ය. එය ඇසූ පමණින් ම මිළිඳු රජතුමා පසු බා ගිය මුත් ඒ බවක් නො සඟවා “එසේ නම් නාගසේන තෙරුන් මුණ ගැසීමට මා කැමැති බව දන්වා අවසර ගනු” කියා දේවමන්ත්‍රී ඇමැතිට නියෝග කළේ ය. ඉක්බිති නාගසේන තෙරුන්ගෙන් අවසරලත් රජතුමා ඇමැතිවරු පන්සියයක් ද පිරිවරාගෙන සාඛෙයඅඹ්‍ය පිරිවෙන වෙත ගියේ ය.

No comments:

Post a Comment

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...