සසර පැතුමයි බව හමුවයි
අද සිට අප ඉගෙන ගන්නේ මිලින්ද ප්රශ්නය නම් වූ ඉතා පැරැණි වූ ත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූත් ග්රන්ථ රත්නයේ සඳහන් සදහම් කරුණු යි.
මිළිඳු මහරජුගේත් ,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ දහම් සංවාදය සිදුවී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි ය. සරත් කාලයෙහි මධ්‍යාහ්නයෙහි අහස් කුස සැඩ රැස් විහිදුවමින් ප්රචණ්ඩ හිරු මඬල මුදුන් වූ කල්හි එහි තෙද රැසින් ගඟෙහි නැගි දිය රළ වියැළී යයි. එලෙසින් මිළිඳු නම් සකළවිධ වාද ප්රතිවාදයන් වියළවා දැමූ හිරු මඬලවන් පරම පූජනීය නාගසේන මහරහතන් වහන්සේ ගෞතම බුදු සසුන උද්දීප්තියට පත්කළ සේක.
බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව සුපූජනීය නාගසේන මහරහතන් වහන්සේ වයඹදිග ඈත ඉන්දියාවේ, පන්ජාබයට ආසන්න ප්‍රදේශයක වැඩසිටි බව පෙනේ. මිළිඳු රජතුමා හඳුනාගෙන ඇත්තේ බැක්ට්රියන් රජෙකු වන මිනැන්ඩරි නම් රජු ලෙස ය. එම ප්‍රදේශය තුළත්, ඈත බටහිර ඉන්දියාවේත් , කාබුල් ප්‍රදේශයේත්, නැගෙනහිර මථුරාවේත්, උතුරු කාශ්මිරයේත් මේ රජුගේ කාසි බහුල වශයෙන් හමු වී තිබේ. මිළිඳු රජතුමාගේ බෞද්ධාගමනයෙන් පසු ඔහු කෙ තරම් ජනපි‍්‍රය වුයේ ද යත්, එතුමාගේ අභාවයෙන් පසු ශාරීරික භෂ්මාවශේෂ තැන්පත් කරමින් තැන තැන ස්මාරක ද තනවා තිබේ. විශේෂයෙන් වර්තමාන ඇෆ්ගනිස්ථානය මිළිඳු රජුගේ විජිතය බව බොහෝ විද්වතුන්ගේ මතය යි.
මෙම මිළිඳු රජු ගී්රක ජාතිකයෙකු වන අතර, එතුමා සතු විමශංනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා , ප්‍රශ්න කිරීමෙහිලා , වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය ඉතා අගනේ ය. මෙම රජුට කෙ තරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබුණේ ද යත්, පෙර භවයක සාමණේර නමක් වශයෙන් සිටිය දී කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිදාන කතාවෙහි විස්තර වේ. නාගසේන මහරහතන් වහන්සේගේ පහළවීම සිදුවන්නේ ද එකී ප්‍රාර්ථනාවට අනුකුලව ඇතිකරගත් පැතුමක් අනුව ය.
නාගසේන මහරහතන් වහන්සේගේ ජීවිත කතාව බොහෝ දුරට සමාන වන්නේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මුල්කාලීන ජීවිතයට යි. සද්ධර්ම රත්නාවලියේ නාගසේන මහ රහතන් වහන්සේගේ ජීවිත කතාව ඉතා රමණීය ලෙස විස්තර වේ. සැබැවින් ම රහතන් වහන්සේ ධර්මය ප්‍රචාරය කළ අයුරු අතිශයින් ම විශ්මයජනක ය .නාගසේන මහරහතන් වහන්සේගේ ප්‍රඥාවත්, ඉවසීමත් , අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් අදහාගත නොහැකි තරම් විස්මිත ය. සැබැවින් ම නාගසේන මහරහතන් වහන්සේ විනා වෙන කවරෙකුටවත් මෙම මිළිඳු රජුගේ ප්‍රශ්නයන්ට සෑහෙන පිළිතුරු දෙන්නට බැරි බව පෙනේ.
නාගසේන මහරහතන් වහන්සේ ඉතා පහසුවෙන් සුවසේ පිළිතුරු සපයන සේක. එමෙන් ම ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. උපමා මගින් දහම් ගැටලු විසඳාලන අයුරු ඉතා මනරම් ය. දැවැන්ත හස්තිරාජයෙක් පොකුණකට බැස සියුම් නෙළුම් දඬු සිඳ දමන්නා සේ මිළිඳු රජුගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේක. ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. එලෙසම උපමා මඟින් දහම් ගැටලු විසඳාලන අයුරු ඉතා මනරම් ය. දැවැන්ත හස්තිරාජයෙක් පොකුණකට බැස සියුම් නෙළුම් දඬු සිඳ දමන්නා සේ මිළිඳු රජුගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේක. සැබවින්ම මිළිඳු රජු සතුටුවන්නේ අප නාගසේන මහරහතන් වහන්සේගේ ඒ ප්‍රඥා සම්පන්න පිළිතුරු නිසාම ය. මෙම මිළිඳු රාජ ප්රශ්නය තුළින් අපට රහතන් වහන්සේ නමකගේ ස්වභාවය තේරුම් ගැනීමට මහත් පිටුවහලක් ලැබේ. ඔබ ඉතා විවේකී මනසින්, සංසුන්ව මෙම කදිම දහම් සංවාදය කියවා බැලුවොත් එක් දෙයක් පැහැදිලි වනු ඇත. එනම් නාගසේන මහරහතන් වහන්සේගේ ඇති අසාමාන්‍ය ඉවසීම යි. මිළිඳු රජතුමා ප්‍රශ්න අසා පිළිතුරු ලද විට උපමාවකින් පහදා දෙන්න කියා ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ ඉතා අලංකාර උපමාවක් දක්වන සේක. එයින් සෑහීමකට පත් නො වන රජතුමා තවත් උපමාවක් ඉල්ලා සිටිියි. එවිට නාගසේනයන් වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. එයින් ද සෑහීමකට පත්නොවන රජතුමා තවත් උපමාවක් ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. රජතුමා ඇතැම් විට යළි යළිත් උපමා ඉල්ලයි. රහතන් වහන්සේ කිසිදු පැකිලීමකින් හෝ අපහසුතාවයකින් හෝ ගැටීමකින් හෝ තොරව උපමා පවසති. සාමාන්‍යයෙන් පොදු ජනයාගෙන් එකම කරුණක් උදෙසා නැවත නැවතත් උපමා ඉල්ලා සිටියොත් ඔහු කිපෙනු නිසැක ය. ඔහුට දහම් සංවාදය තිත්ත වනු ඇත. ඔහු පලා යනු ඇත. නැතහොත් ප්‍රශ්න විමසන්නා පලවා හරිනු ඇත. ඔහුට මහත් වදයක් වනු ඇත. එනමුත් සැබැවින්ම අසිරිමත් ය, අප නාගසේන මහරහතන් වහන්සේට එබඳු කිසිදු මානසික පීඩාවක් හෝ අපහසුතාවක් නැත. මිළිඳු මහරජුගේ ඇති බලසම්පන්න වූ රාජසෘද්ධිය නාගසේනයන් වහන්සේගේ අරහත් ඍද්ධිය ඉදිරියේ වශීකෘත භාවයට පත්විය.
සැබැවින්ම මිළිඳු මහ රජු ද අද්විතීය වූ, අපූර්ව වූ පුරුෂයෙකි. කො තරම් රාජඍද්ධියෙන් යුතුවුව ද එතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන ලද්දේ රාජඍද්ධියෙන් බලපෑම් කරමින් නොවේ. අවංකව ම තමන්ගේ ගැටලුව විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි. මිළිඳු රජු අසන ඇතැම් ප්‍රශ්නයන්ට රහතන් වහන්සේගෙන් ලැබෙන්නේ ඉතා කෙටි පිළිතුරු ය. නැතහොත් ඉතා කෙටි උපමාවකි. බැලුබැල්මට එය බලවත් තර්කයක් ලෙස පෙනෙන අවස්ථා තිබේ. එහෙත් සැණෙකින් එය වටහා ගන්නට මිළිඳු රජු සමත් වෙයි. එය සැබෑම සමත්කමෙකි.
ගිහි, පැවිදි ශ්‍රාවකයන් ලෙස අපට ද මෙහි එන සදහම් විවරණයන් අතිශයින් ම ප්‍රයෝජනවත් ය. කො තරම් දහම් දැනුම තිබුණත්, ඇතැම් දහම් ගැටලු විසඳා ගැනීමෙහිලා මිළිඳු රාජ ප්‍රශ්නයෙන් අපට ලැබෙන ආලෝකය ඉමහත් ය. ඤාණ පිපාසිතයන් හට මෙම මිළිඳු රාජ ප්රශ්නය මහත් අස්වැසිල්ලක් වනු ඇත . මෙහි ඉතා කදිම උපමා රූපකයන් වරින්වර අපට හමුවෙයි. නාගසේන මහරහතන් වහන්සේ උපමා ඇසුරු කරමින් ඉතා සූක්ෂ්ම ධර්මයන් විස්තර කොට වදාරන විට අප කළ යුත්තේ ද ඒ උපමාවන්ට සතුටුවීම නොව එහි අර්ථ වටහාගෙන තේරුම් ගැනීමට උත්සාහ කිරීම යි. අපට ප්‍රයෝජනවත් වන්නේ එය යි.
අවුල්වී ගිය ලොම් ඇති බැටළුවකුගේ ඒ ගැට ගැසී ගිය අවුල් ලිහා දැමීම ඉතා අසීරු ය. ඒ අයුරින් ම බුද්ධශාසනය පිළිබඳ නො දන්නා අඥාන මනුෂ්‍යයන් විසින් ප්‍රශ්න කොට අවුල් සදන්නට ඇති ඉඩකඩ වසා දමනු පිණිස මහා ප්‍රඥාවෙන් හෙබි මිළිඳු මහරජු මහත් ශාසන දයාවෙන් යුතුව අප නාගසේන මහරහතන් වහන්සේගෙන් සමහර ප්‍රශ්න විමසන බව අපට පෙනී යයි. එමෙන ්ම රජතුමා ද එය වරින්වර පවසයි. බුද්ධ දේශනාවෙන් කරුණු ඉස්මතු කරමින් තමන් වහන්සේගේ අදහස් ද මනා ලෙස ගළපමින් ශාසන ධර්මය මතු කරන අයුරු ආශ්චර්යමත් ය. සැබැවින්ම නාගසේන මහරහතන් වහන්සේ ගේ ප්‍රඥාව හිරු මඬලක් වැනි ය.
පෙර ජීවිතයක නාගසේන මහරහතන් වහන්සේ ත්, මිළිඳු රජතුමාත් බුදු සසුනේ පැවිදි වී එකම ආරාමයක පිළිවෙත් පිරූහ. එම භවයේ දී නාගසේනයන් වහන්සේ වැඩිහිටි තෙරුන් වහන්සේ නමක් ලෙසින් ද, මිළිඳු රජතුමා කුඩා සාමණේරයන් වහන්සේ නමක් ලෙසින ්ද වැඩ සිටියහ. දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ ආරාමයෙහි මිදුල අතුගෑ කොළරොඩු එකතුකොට එය බැහැර කරන ලෙස සාමණේර නමට පැවස ීය. එනමුත් සාමණේරයන් වහන්සේ එය නො ඇසුනාක් මෙන් ගියවිට, එම අකීකරුකමට දඬුවමක් ලෙස තෙරුන් වහන්සේ පහරක් ගැසී ය. එවිට බියපත් වූ සාමණේරයන්, කසල බැහැර කොට, අසල ගංගාවට වැඩම කොට අත් සෝදාගත් සේක. ගං ඉවුරේ වාඩිවී මෙවැනි ප්‍රාර්ථනාවක් ද කළ සේක. “ මා හට අනාගතයේ මහා ආනුභාවයක් ඇති ප්‍රඥා සම්පන්න ජීවිතයක් ලැබේවා. සියුම් වු ගැඹුරු ප්‍රශ්න විමසන නුවණැත්තෙක් වෙම්වා!” කියා ය. එවිට පැන් පහසුවීම පිණිස වැඩම කළ ගුරු තෙරුන් වහන්සේට එය ඇසී, ඒ ආනුභාව ප්‍රඥා සම්පන්න බව පරයන මහත් වූ ආනුභාව සම්පන්න, අතිශයින් ම ප්‍රඥා සම්පන්න ජීවිතයක් මට ලැබේවා! අසන අසන ප්රශ්නයන් විසඳාලිය හැකි සියුම් නුවණක් මා හට ලැබේවා!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
සිල්වත්ව සිට පින්රැස් කරමින් කළ ප්රාර්ථනාවන්ට අනුවය. මිළිඳු රජතුමාගේත් , නාගසේන මහරහතන් වහන්සේගේ ත් මෙම හමුවීම සහ දහම් සංවාදය සිදුවූණේ. (මිළිඳු රජතුමාගෙත්, නාගසේන මහරහතන් වහන්සේගේත් උප්පත්ති කතාව ජූලි 31 ඇසළ අමාවක පෝදා පත්‍රයේ පළවේ)