Friday, January 7, 2022

සසර පැතුමයි බව හමුවයි

සසර පැතුමයි බව හමුවයි


අද සිට අප ඉගෙන ගන්නේ මිලින්ද ප්‍රශ්නය නම් වූ ඉතා පැරැණි වූ ත්, සැදැහැවත් බෞද්ධයන්ගේ මහත් සම්භාවනාවට ලක්වූත් ග්‍රන්ථ රත්නයේ සඳහන් සදහම් කරුණු යි. 

මිළිඳු මහරජුගේත් ,නාගසේන මහරහතන් වහන්සේගේත් මෙම දුර්ලභ දහම් සංවාදය සිදුවී ඇත්තේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පන්සිය වසරක් ගත වූ කල්හි ය. සරත් කාලයෙහි මධ්‍යාහ්නයෙහි අහස් කුස සැඩ රැස් විහිදුවමින් ප්‍රචණ්ඩ හිරු මඬල මුදුන් වූ කල්හි එහි තෙද රැසින් ගඟෙහි නැගි දිය රළ වියැළී යයි. එලෙසින් මිළිඳු නම් සකළවිධ වාද ප්‍රතිවාදයන් වියළවා දැමූ හිරු මඬලවන් පරම පූජනීය නාගසේන මහරහතන් වහන්සේ ගෞතම බුදු සසුන උද්දීප්තියට පත්කළ සේක. 

බොහෝ දෙනෙකුගේ පිළිගැනීමට අනුව සුපූජනීය නාගසේන මහරහතන් වහන්සේ වයඹදිග ඈත ඉන්දියාවේ, පන්ජාබයට ආසන්න ප්‍රදේශයක වැඩසිටි බව පෙනේ. මිළිඳු රජතුමා හඳුනාගෙන ඇත්තේ බැක්ට්‍රියන් රජෙකු වන මිනැන්ඩරි නම් රජු ලෙස ය. එම ප්‍රදේශය තුළත්, ඈත බටහිර ඉන්දියාවේත් , කාබුල් ප්‍රදේශයේත්, නැගෙනහිර මථුරාවේත්, උතුරු කාශ්මිරයේත් මේ රජුගේ කාසි බහුල වශයෙන් හමු වී තිබේ. මිළිඳු රජතුමාගේ බෞද්ධාගමනයෙන් පසු ඔහු කෙ තරම් ජනපි‍්‍රය වුයේ ද යත්, එතුමාගේ අභාවයෙන් පසු ශාරීරික භෂ්මාවශේෂ තැන්පත් කරමින් තැන තැන ස්මාරක ද තනවා තිබේ. විශේෂයෙන් වර්තමාන ඇෆ්ගනිස්ථානය මිළිඳු රජුගේ විජිතය බව බොහෝ විද්වතුන්ගේ මතය යි. 

මෙම මිළිඳු රජු ගී‍්‍රක ජාතිකයෙකු වන අතර, එතුමා සතු විමශංනශීලි කුසලතාව ඉතා අගනේ ය. කරුණු ඉස්මතු කිරීමෙහිලා , ප්‍රශ්න කිරීමෙහිලා , වාද නැංවීමෙහිලා මෙම රජු තුළ ඇති දක්ෂතාවය ඉතා අගනේ ය. මෙම රජුට කෙ තරම් තීක්ෂණ වීමංසනයක් පිහිටා තිබුණේ ද යත්, පෙර භවයක සාමණේර නමක් වශයෙන් සිටිය දී කරන ලද ප්‍රාර්ථනාවක් අනුව බව නිදාන කතාවෙහි විස්තර වේ. නාගසේන මහරහතන් වහන්සේගේ පහළවීම සිදුවන්නේ ද එකී ප්‍රාර්ථනාවට අනුකුලව ඇතිකරගත් පැතුමක් අනුව ය. 

නාගසේන මහරහතන් වහන්සේගේ ජීවිත කතාව බොහෝ දුරට සමාන වන්නේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මුල්කාලීන ජීවිතයට යි. සද්ධර්ම රත්නාවලියේ නාගසේන මහ රහතන් වහන්සේගේ ජීවිත කතාව ඉතා රමණීය ලෙස විස්තර වේ. සැබැවින් ම රහතන් වහන්සේ ධර්මය ප්‍රචාරය කළ අයුරු අතිශයින් ම විශ්මයජනක ය .නාගසේන මහරහතන් වහන්සේගේ ප්‍රඥාවත්, ඉවසීමත් , අවබෝධයත්, ශාස්තෘ ගෞරවයත් අදහාගත නොහැකි තරම් විස්මිත ය. සැබැවින් ම නාගසේන මහරහතන් වහන්සේ විනා වෙන කවරෙකුටවත් මෙම මිළිඳු රජුගේ ප්‍රශ්නයන්ට සෑහෙන පිළිතුරු දෙන්නට බැරි බව පෙනේ. 

නාගසේන මහරහතන් වහන්සේ ඉතා පහසුවෙන් සුවසේ පිළිතුරු සපයන සේක. එමෙන් ම ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. උපමා මගින් දහම් ගැටලු විසඳාලන අයුරු ඉතා මනරම් ය. දැවැන්ත හස්තිරාජයෙක් පොකුණකට බැස සියුම් නෙළුම් දඬු සිඳ දමන්නා සේ මිළිඳු රජුගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේක. ඒවා අංග සම්පූර්ණ පිළිතුරු ය. එලෙසම උපමා මඟින් දහම් ගැටලු විසඳාලන අයුරු ඉතා මනරම් ය. දැවැන්ත හස්තිරාජයෙක් පොකුණකට බැස සියුම් නෙළුම් දඬු සිඳ දමන්නා සේ මිළිඳු රජුගේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේක. සැබවින්ම මිළිඳු රජු සතුටුවන්නේ අප නාගසේන මහරහතන් වහන්සේගේ ඒ ප්‍රඥා සම්පන්න පිළිතුරු නිසාම ය. මෙම මිළිඳු රාජ ප්‍රශ්නය තුළින් අපට රහතන් වහන්සේ නමකගේ ස්වභාවය තේරුම් ගැනීමට මහත් පිටුවහලක් ලැබේ. ඔබ ඉතා විවේකී මනසින්, සංසුන්ව මෙම කදිම දහම් සංවාදය කියවා බැලුවොත් එක් දෙයක් පැහැදිලි වනු ඇත. එනම් නාගසේන මහරහතන් වහන්සේගේ ඇති අසාමාන්‍ය ඉවසීම යි. මිළිඳු රජතුමා ප්‍රශ්න අසා පිළිතුරු ලද විට උපමාවකින් පහදා දෙන්න කියා ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ ඉතා අලංකාර උපමාවක් දක්වන සේක. එයින් සෑහීමකට පත් නො වන රජතුමා තවත් උපමාවක් ඉල්ලා සිටිියි. එවිට නාගසේනයන් වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. එයින් ද සෑහීමකට පත්නොවන රජතුමා තවත් උපමාවක් ඉල්ලා සිටියි. එවිට අප රහතන් වහන්සේ තවත් උපමාවක් දක්වන සේක. රජතුමා ඇතැම් විට යළි යළිත් උපමා ඉල්ලයි. රහතන් වහන්සේ කිසිදු පැකිලීමකින් හෝ අපහසුතාවයකින් හෝ ගැටීමකින් හෝ තොරව උපමා පවසති. සාමාන්‍යයෙන් පොදු ජනයාගෙන් එකම කරුණක් උදෙසා නැවත නැවතත් උපමා ඉල්ලා සිටියොත් ඔහු කිපෙනු නිසැක ය. ඔහුට දහම් සංවාදය තිත්ත වනු ඇත. ඔහු පලා යනු ඇත. නැතහොත් ප්‍රශ්න විමසන්නා පලවා හරිනු ඇත. ඔහුට මහත් වදයක් වනු ඇත. එනමුත් සැබැවින්ම අසිරිමත් ය, අප නාගසේන මහරහතන් වහන්සේට එබඳු කිසිදු මානසික පීඩාවක් හෝ අපහසුතාවක් නැත. මිළිඳු මහරජුගේ ඇති බලසම්පන්න වූ රාජසෘද්ධිය නාගසේනයන් වහන්සේගේ අරහත් ඍද්ධිය ඉදිරියේ වශීකෘත භාවයට පත්විය. 

සැබැවින්ම මිළිඳු මහ රජු ද අද්විතීය වූ, අපූර්ව වූ පුරුෂයෙකි. කො තරම් රාජඍද්ධියෙන් යුතුවුව ද එතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්න විමසන ලද්දේ රාජඍද්ධියෙන් බලපෑම් කරමින් නොවේ. අවංකව ම තමන්ගේ ගැටලුව විසඳා ගැනීමේ අපේක්ෂාවෙනි. මිළිඳු රජු අසන ඇතැම් ප්‍රශ්නයන්ට රහතන් වහන්සේගෙන් ලැබෙන්නේ ඉතා කෙටි පිළිතුරු ය. නැතහොත් ඉතා කෙටි උපමාවකි. බැලුබැල්මට එය බලවත් තර්කයක් ලෙස පෙනෙන අවස්ථා තිබේ. එහෙත් සැණෙකින් එය වටහා ගන්නට මිළිඳු රජු සමත් වෙයි. එය සැබෑම සමත්කමෙකි. 

ගිහි, පැවිදි ශ්‍රාවකයන් ලෙස අපට ද මෙහි එන සදහම් විවරණයන් අතිශයින් ම ප්‍රයෝජනවත් ය. කො තරම් දහම් දැනුම තිබුණත්, ඇතැම් දහම් ගැටලු විසඳා ගැනීමෙහිලා මිළිඳු රාජ ප්‍රශ්නයෙන් අපට ලැබෙන ආලෝකය ඉමහත් ය. ඤාණ පිපාසිතයන් හට මෙම මිළිඳු රාජ ප්‍රශ්නය මහත් අස්වැසිල්ලක් වනු ඇත . මෙහි ඉතා කදිම උපමා රූපකයන් වරින්වර අපට හමුවෙයි. නාගසේන මහරහතන් වහන්සේ උපමා ඇසුරු කරමින් ඉතා සූක්ෂ්ම ධර්මයන් විස්තර කොට වදාරන විට අප කළ යුත්තේ ද ඒ උපමාවන්ට සතුටුවීම නොව එහි අර්ථ වටහාගෙන තේරුම් ගැනීමට උත්සාහ කිරීම යි. අපට ප්‍රයෝජනවත් වන්නේ එය යි.

අවුල්වී ගිය ලොම් ඇති බැටළුවකුගේ ඒ ගැට ගැසී ගිය අවුල් ලිහා දැමීම ඉතා අසීරු ය. ඒ අයුරින් ම බුද්ධශාසනය පිළිබඳ නො දන්නා අඥාන මනුෂ්‍යයන් විසින් ප්‍රශ්න කොට අවුල් සදන්නට ඇති ඉඩකඩ වසා දමනු පිණිස මහා ප්‍රඥාවෙන් හෙබි මිළිඳු මහරජු මහත් ශාසන දයාවෙන් යුතුව අප නාගසේන මහරහතන් වහන්සේගෙන් සමහර ප්‍රශ්න විමසන බව අපට පෙනී යයි. එමෙන ්ම රජතුමා ද එය වරින්වර පවසයි. බුද්ධ දේශනාවෙන් කරුණු ඉස්මතු කරමින් තමන් වහන්සේගේ අදහස් ද මනා ලෙස ගළපමින් ශාසන ධර්මය මතු කරන අයුරු ආශ්චර්යමත් ය. සැබැවින්ම නාගසේන මහරහතන් වහන්සේ ගේ ප්‍රඥාව හිරු මඬලක් වැනි ය. 

පෙර ජීවිතයක නාගසේන මහරහතන් වහන්සේ ත්, මිළිඳු රජතුමාත් බුදු සසුනේ පැවිදි වී එකම ආරාමයක පිළිවෙත් පිරූහ. එම භවයේ දී නාගසේනයන් වහන්සේ වැඩිහිටි තෙරුන් වහන්සේ නමක් ලෙසින් ද, මිළිඳු රජතුමා කුඩා සාමණේරයන් වහන්සේ නමක් ලෙසින ්ද වැඩ සිටියහ. දිනක් වැඩිහිටි තෙරුන් වහන්සේ ආරාමයෙහි මිදුල අතුගෑ කොළරොඩු එකතුකොට එය බැහැර කරන ලෙස සාමණේර නමට පැවස ීය. එනමුත් සාමණේරයන් වහන්සේ එය නො ඇසුනාක් මෙන් ගියවිට, එම අකීකරුකමට දඬුවමක් ලෙස තෙරුන් වහන්සේ පහරක් ගැසී ය. එවිට බියපත් වූ සාමණේරයන්, කසල බැහැර කොට, අසල ගංගාවට වැඩම කොට අත් සෝදාගත් සේක. ගං ඉවුරේ වාඩිවී මෙවැනි ප්‍රාර්ථනාවක් ද කළ සේක. “ මා හට අනාගතයේ මහා ආනුභාවයක් ඇති ප්‍රඥා සම්පන්න ජීවිතයක් ලැබේවා. සියුම් වු ගැඹුරු ප්‍රශ්න විමසන නුවණැත්තෙක් වෙම්වා!” කියා ය. එවිට පැන් පහසුවීම පිණිස වැඩම කළ ගුරු තෙරුන් වහන්සේට එය ඇසී, ඒ ආනුභාව ප්‍රඥා සම්පන්න බව පරයන මහත් වූ ආනුභාව සම්පන්න, අතිශයින් ම ප්‍රඥා සම්පන්න ජීවිතයක් මට ලැබේවා! අසන අසන ප්‍රශ්නයන් විසඳාලිය හැකි සියුම් නුවණක් මා හට ලැබේවා!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ. 

සිල්වත්ව සිට පින්රැස් කරමින් කළ ප්‍රාර්ථනාවන්ට අනුවය. මිළිඳු රජතුමාගේත් , නාගසේන මහරහතන් වහන්සේගේ ත් මෙම හමුවීම සහ දහම් සංවාදය සිදුවූණේ. (මිළිඳු රජතුමාගෙත්, නාගසේන මහරහතන් වහන්සේගේත් උප්පත්ති කතාව ජූලි 31 ඇසළ අමාවක පෝදා පත්‍රයේ පළවේ)

සත්‍ය නිර්දේශය - මාර්ග සත්‍ය - සම්මා වාචා ලොවේ ශ්‍රේෂ්ඨතම වචනය

 සතර සතිපට්ඨානය ම දීර්ඝ කාලයක් පුරාවට බුදුසරණ පත්‍රය මඟින් කියවා දැනුම වැඩි දියුණු කළා. ගිහි, පැවිදි විශාල පිරිසක් මේ භාවනා පාඩම කියවා තේරුම් ගත් බව අපට දැනගන්නට ලැබුණා. සතිපට්ඨාන සූත්‍ර දේශනාව ජාති , ආගම්, භේදවලින් තොර කමටහනක්. 

සති යනු සිහිය යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහියෙන් කටයුතු කිරීම යන තේරුම යි. සතිපට්ඨාන සූත්‍ර දේශනාව මුල සිටම සඳහන් කරන්නේ සිහියෙන් වැඩකරන්න යනුවෙනි. යන එන ගමන බිමන පවා සිහියෙන් කළ යුතු යැ’යි උපදෙස් ලබා දුන්නා. 

කුරුරට කම්මාස ධම්ම නියම් ගමේ දී බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු දේශනාව පැවැත්වූවා. සතිපට්ඨාන භාවනාව වඩන විට සිත හොඳින් පිරිසුදු වෙයි. ඇඬීම, වැළපීම , කායික මානසික දුක් දුරුවී යයි. නිවන් මඟට අවතීර්ණ වෙයි. නිර්වාණ ධර්මය අවබෝධ කර ගන්නා බවට ආනිසංස හතක් සූත්‍ර ධර්මයේ මුලදී ත්, අග දී ත් දේශනා කර තිබෙනවා. එයට අනුකූලව සම්මා වාචා යන මාර්ගාංගය කවුරුත් මෙනෙහි කළ යුතු යි. 

සම්මා වාචා යනු නිවැරැදි උතුම් වචන යි. ශ්‍රේෂ්ඨ වචන බව වටහා ගෙන මම සම්මා වාචා ඇත්තෙක් වන්නෙමි ,නිවැරැදි වචන ඇත්තෙක් වන්නෙමි යනුවෙන් මෙනෙහි කළ යුතු යි. මුසාවාදා, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ප්‍රප්පලාපා යනුවෙන් වැරැදි වචන හතර යි. බොරුකීම, කේළාම් කීම, නපුරු වචන කීම, හිස් වචන කීම ආදියෙන් වැළකීම සම්මා වාචා නම් වෙයි. නිවැරැදි වචන යනු එය යි. බුදු දහමෙන් උගන්වන්නේ කට ම පරිස්සම් කළ යුතු බව යි. කථා නොකර සිටින තරමටම වචනය පිරිසුදු වෙයි. කථා කළොත් දෙතිස් කථාවෙන් එකක් වෙයි. ඒ නිසා දවස පුරාම හැකිතාක් නිශ්ශබ්දව සිටින්න පුළුවන්නම්, වචනය පිරිසුදු යි. සිත ද පිරිසුදු වී යයි. එවිට තමන් ‘මම බොරු කීමෙන් වළකිමි, මම කේළාම් කීමෙන් වළකිමි, මම නපුරු වචන කීමෙන් වැළකෙමි, මම හිස් වචන කීමෙන් වැළකෙමි’ යනුවෙන් නිතරම මෙනෙහි කළ යුතු යි. එවිට සිත සහ වචනය පිරිසුදු වෙයි. සම්මා වාචා මාර්ගාංගය බොහොම ශක්තිමත් වෙයි. වචනය පිරිසුදු වන තරමට ම ජන සමාජයෙන් ගරු බුහුමන් මෙන් ම, දෙවියන්ගෙන් ආශිර්වාද ද ලැබෙනවා. තමන් යන ගමන් මඟ පිරිසුදුවට, යහපත් ව යන්නට පුළුවන්. 

නිවන් සැප ලැබේවා යන වචනය බොහොම ශ්‍රේෂ්ඨ යි. ඒ වචනයට ඉහළ වචනයක් තවත් ලොවේ නැහැ. නිවන් සැප ලැබේවා යන වචනයෙන් සම්මා වාචා හොඳින් සිදු වෙයි. සම්මා වාචා මාර්ගාංගය පිරිසුදුව හොඳට වැඩෙනවා, දියුණු කරන්න පුළුවන්. නිතර අධිෂ්ඨාන කළ යුත්තේ මා හොඳ වචන ඇත්තෙමි යනුවෙනි. එවිට නුවණ සහ අදහස් ද, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී මාර්ගාංග තුනම ද යෙදෙයි. එවිට තමන්ට තිබෙන්නේ හොඳට සිහි නුවණින් කටයුතු ටික ඉදිරියට ගෙන යාම යි. හොඳින් නුවණින් බලමින්, තමන්ගේ වචනය බොහොම පිරිසුදු යි යනුවෙන් අධිෂ්ඨාන කළ යුතු යි. මෙනෙහි කළ යුතු යි. 

පසෙකට වී වාඩිවී කල්පනා කරමින් සිටියදී සිතිය යුත්තේ මම උදේ පටන් මේ මොහොත දක්වා ම කතා කළ වචන ගණනත්, මේවා හොඳ වචන ද? නරක වචන ද? යනුවෙන් තමන්ට තේරුම් බේරුම් කර ගන්න පුළුවන්කම තියෙනවා. නරක වචන භාවිත කර ඇත්නම් අවවාදයක් වශයෙන් මම අද මේ වචන කතා කළ ද මින් මතු මම ආයති සංවරයේ පිහිටන බවට නිවැරැදි මඟට බැසගත යුතු යි. අද මා හොඳ වචන කතා කර තිබෙනවා. ධර්ම දේශනා කර තිබෙනවා. ඒ නිසා මා බොහොම පිරිසුදු ඇත්තෙක්, එසේම මගේ වචනය බොහොම හොඳයි යනුවෙන් තමන්ටම සිතිය යුතු යි. එවිට සම්මා වාචාව , මාර්ගාංගය හොඳින් වැඩෙයි, පිරිසුදු වචන තවත් ඉහළට යයි. 

ලොවුතුරා බුද්ධත්වයට පත්වන සියලුම උතුමෝ බොරුකීම කිසිම දවසක කර නැහැ. වචනය පිරිසුදුවෙන් සසරේ කල්ප ලක්ෂ ගණන් උපත ලැබුවා. අප බුද්ධෝ වචනය එකවරක් පැවසුව ද බුදුරජාණන් වහන්සේට එම වචනය එකසිය විසිඅටක් වදාරන්න පුළුවන්. බලන්න කෙතරම් ප්‍රභල ද කියලා? මේ ආනිසංස ලැබුණේ, බොරුවෙන්, කේළමෙන්, ඵරුස වචනයෙන්, හිස් වචනයෙන් වැළකීම නිස යි. ඒ නිසා උන්වහන්සේට මේ තරම් වේගවත් වචන මාලාවක් ලැබුණේ. 

අප කතා කරන විට දිවේ සෙම බැඳී, රළු ස්වභාවයෙන් යුක්තව වෙහෙසක් අරගෙන යි, කතා කරන්නේ. 

නමුත් බුදු කෙනෙකුට එසේ නො වෙයි. දිව බොහොම සිනිඳු යි. සෙම බැඳී නැහැ. බොහොම හොඳින්, වේගවත්ව ම, පැහැදිලිව කතා කරන්න පුළුවන්. 

එසේනම් අප ද වචනය ම පිරිසුදු කරගත යුතු යි. අධිෂ්ඨාන කරගත් විට සම්මා වාචා මාර්ගාංගය භාවනාවෙන් හොඳින් වැඩෙයි. මම බොරු කීමෙන් වැළකෙමි, මම කේළාම් කීමෙන් වැළකෙමි, මම නපුරු වචන කීමෙන් වැළකෙමි, මම හිස් වචන කීමෙන් වැළකෙමි යනුවෙන් නිතර සිතන්න, මෙනෙහි කරන්නට අවශ්‍යය යි. එවිට සම්මා වාචා මාර්ගාංගය සම්පූර්ණ වෙයි. නුවණ යෙදුණ නිසා සම්මා දිට්ඨිය ද , හොඳ අදහස් නිසා සම්මා සංකල්පනාව ද , වචනය හොඳ නිසා සම්මා වාචාවත් තිබෙන බව හොඳින් ඉගෙන ගෙන තමන්ගේ ගුණ ධර්මයන් හොඳට දියුණුවෙන් ඉදිරියට යන්නට ඕනේ. එවිට තමන් යන ගමන් මඟ පැහැදිලි යි. පිරිසුදු යි, විසිතුරු යි.

බුදු, පසේ බුදු, මහ රහතන් වහන්සේලා තරම් ශ්‍රේෂ්ඨ වචනය ඇති උදවිය ලොවේ තවත් නැහැ. ඒ නිසා උන්වහන්සේලාට, දුක්ඛ සත්‍යයය, සමුදය සත්‍යයය නිරෝධ සත්‍යයය, මාර්ග සත්‍යයය යන සත්‍ය සතර අවබෝධ වුණා. බොරු කිව්වානම් මේවා අවබෝධ කරන්න බැහැ. බොරුවෙන් වැළකුණු නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව ලැබුණා. මේ ගැන සිතා කල්පනාවෙන්, කවුරු වුණත්, නිවනට අවතීර්ණව කටයුතු කරනවා නම්, වචනය පිරිසුදු වන්නට අවශ්‍යය යි. එසේම නිවන් මඟ යන්නේ ය, කියන අදහස නිතරම තිබිය යුතු යි. එවිට වරදින්නේ නැහැ. සද්ධා, වීර්යය, සති, සමාධි, ඥාන ඉන්ද්‍රිය බල හොඳින් වැඩිය යුතු යි. සිහි නුවණින් මේ ගමන ඉදිරියට යා යුතු යි. වචනයම ආරක්ෂාවෙන්, පිරිසුදුවට , මුව ම පරිස්සම් කරගත යුතු යි. එවිට සම්මා වාචා මාර්ගාංගය හොඳින් දියුණුවෙන් ඉදිරියට යන්න පුළුවන්. වරදින්නේ නැහැ. අපායාදියට නොයා සුගතියක ම සිට නිවන් පසක් කරගන්නට පුළුවන්කම තිබෙනවා.

බුද්ධාදී උතුමන් වචනය හොඳින් පිරිසුදුවට පාවිච්චි කළා. තමාද ඒ මඟම යන බව සිතද්දී ලැබෙන්නේ ලොකු ශක්තියක්. මේ ශක්තිය සාමාන්‍ය කෙනෙකුට මෙන්ම සැමටම ලබන්න බැහැ. ඒ නිසා සිල්වත් , ගුණවත් උතුමන්ට ලැබෙන දායාදයක් වන්නේ නිවැරැදි වචන යි. ඒ නිසා ඔවුන් මරණින් මතු සුගතිගාමීව චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවනට පත් වෙයි. මේ ගැන හොඳ දැනීමක් කවුරුත් ඇතිකරගෙන නිවන් මඟට බැසගෙන යා යුතු යි. 

සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ පමණක් නොව, තව බොහෝ අවස්ථාවල දී බුදුරජාණන් වහන්සේ සම්මා සංකප්ප , සම්මා වාචා ආදී මාර්ගාංග දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා. එලෙස පැහැදිලි කළේ යා යුතු මාර්ගයේ කෙසේ ද යන්නේ යනුවෙන් දැන ගැනීම සඳහා යි. වචනය පිරිසුදු නම් ශීලය හොඳින් වැඩෙයි. ශීල ශික්ෂාව යනු එය යි. වචනය අපිරිසුදුනම්, ශීලය පිරිසුදු නැහැ. ඒ නිසා සම්මා වාචා යනු ශීල ශික්ෂාව යි. මුලින් සඳහන් කළ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප නම් වෙයි. ඒ ශික්ෂා දෙකම වචනය හොඳ වෙනවිට තම සිතෙහි පහළ වෙයි. එසේනම්, බුද්ධාදී උතුමෝ නිවන් මඟට බැසගෙන යහපත් වචන මාලාවක් ඇතිකරගත් නිසා ලොවුතුරා ධර්මය සෝවාන්, සකදාගාමී, අනාගාමී, අර්හත් මාර්ග ඵල සහ නිවන යන නව ලොවුතුරා ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබුණේ. කොපමණ වෙහෙසුණත් වචනය හොඳ නැතිනම්, ධර්මය අවබෝධ කරගන්න අපහසු යි. ඇතැම් විට තමන් නරක කෙනෙක් වෙන්න පුළුවන්. දැන, තේරෙන වයසට පැමිණි විට සමාව ගෙන , ආයති සංවරයේ පිහිටා එතැන් පටන් තමන්ගේ ගුණ දියුණු කළොත්, මාර්ග ඵල අවස්ථාවට පත් වන්නට අපහසුවක් නැහැ. 

චුලකාල උපාසක තැන

 

 චුලකාල උපාසක තැන 

අත්තනා’ව කතං පාපං අත්තනා සංකිලිස්සති

අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති

සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤමඤ්ඤො විසොධයෙ.

තමා විසින් ම පව් කරණ ලද නම් (සිවුඅපාහි ඉපිද දුක් විඳින්නේ) තෙමේ ම කෙලෙසෙන්නේ ය (තැවෙන්නේ ය). තමා විසින් ම පව් නො කරණ ලද නම්, එයින් තෙමේ ම විශුද්ධ වන්නේ ය. ශුද්ධිය ද අශුද්ධිය ද තමා පිළිබඳ ය. අනෙකෙක් අනෙකකු ශුද්ධ නො කරන්නේ ය.

මහාකාල උපාසකයා සේ චූලකාල උපාසක ද බණ අසන්නට රාත්‍රියෙහි විහාරයට යන්නේ ය. එසේ රෑ වෙහෙරට ගොස් බණ අසන මේ උපාසක තෙමේ බණ අවසානයෙහි ඉතා උදෑසනින් වෙහෙරෙන් නික්ම පෙරළා ගෙය බලා යයි. මේ මොහුගේ සිරිති. මොහු දිනක් බණ අසා උදෑසනින් සැවැත් නුවර බලා වෙහෙරින් පිටත් ව ගියේ ය. එ දවස එහි ගෙවල් කිහිපයක් බිඳ බඩු පැහැර ගත් සොරු ගෙහිමියන් විසින් පසුපස ලුහුබඳනා ලද්දේ පැහැර ගත් බඩු සැවැත් නුවර, බලා යන උපාසකයා ඉදිරියෙහි හෙළා පැන ගියහ. 

හොරුන් පස්සේ එළ වූ මිනිස්සු චූලකාල උපාසකයා දැක “මේ හොරා, පෙණේ ද මූ, රෑ හැකි තරම් ගෙවල් බිඳ හොරකම් කොට මේ එළි වන ජාමෙහි උපාසකකම් කරන්නකු සේ හැසිරෙයි. මූට තළමු” යි අල්ලා ගෙණ තැළූහ. එ තැනින් දිය ගෙණෙන්නට යන ගෑණු, උපාසකයාට තළනු දැක ඔවුනට කරුණු කියා, යන්තමකින් බේරා හැර ගොස් ඒ බව භික්‍ෂූන් වහන්සේලාට දැන්වූහ. උන්වහන්සේලා බුදුරජානන් වහන්සේට එය සැළකළහ. බුදුරජානන් වහන්සේ එය අසා “මහණෙනි! චූලකාල උපාසක තමන් එ බඳු වැරදි වැඩක් නො කළ නිසා ඒ ගෑණුන්ගේ වහළින් යන්තමකින් නො මැරී ගැලවුනේ ය. ලෝකවාසී බොහෝ සත්ත්‍වයෝ පව්කම් කොට සතර අපායෙහි ඉපිද දුක් විඳිති. මෙලොව දී කිලිටි වෙති. අපවාදයට මූණ දෙති. ගුටිබැට කන්නෝ වෙති. පින් කළෝ මරණින් පසු සුගතියෙහි උපදිති. නිවන් ලබති. එයින් ම නිවී යති” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක. 

අත්තනාව කතං පාපං අත්තනා සඞ්කිලිස්සති, 

අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ඣති, 

සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤො අඤ්ඤං විසොධයෙති. 

තමන් විසින් ම පව් කරණ ලද නම්, (එයින්) තෙමේම කෙලෙසෙන්නේ ය. තමන් විසින් පව් නො කරණ ලද නම්, තෙමේ ම පිරිසිදු වන්නේ ය. පිරිසිදු බව හා අපිරිසිදු බව තම තමා පිළිබඳ වේ. අනෙකෙක් අනෙකකු පිරිසිදු නො කරන්නේ ය. 

අත්තනා එව කතං පාපං = තමන් විසින් ම පව් කරණ ලද නම්. 

අත්තනා සඞ්කිලිස්සති = තෙමේ ම කෙලෙසෙනේ ය. 

යම් කෙනෙක් සතුන් මැරීම්, සොරකම් කිරීම්, පරදාර පරපුරුෂ සෙවුම්, බොරු ඈ බිණුම්, රහමෙරපීම් ඈ පව්කම් කළේ නම්, කරත් නම්, ඔවුහු, හැම, සිවු අපායයෙහි ඉපිද ඉමක් කොණක් නැති දුක් විඳිමින් කෙලෙසෙන්නෝ ය. මේ ඈ පව්කම් කරන කල්හි ද මේ අත්බව්හි ද කෙලෙසෙති. 

අත්තනා අකතං පාපං = තමන් විසින් පව් නො කරණ ලද නම්. 

අත්තනා එව විසුජ්ඣති = තෙමේ ම පිරිසිදු වන්නේ ය. 

යම් කෙනෙක් පවින් දුරු ව, පින් කළේ නම්, කරත් නම් ඔවුහු ස්වර්‍ග සම්පත්තියටත් නිර්‍වාණ සම්පත්තියටත් පැමිණ තුමූ ම පිරිසිදු වෙති. පින් කරණ කල්හි ද පිරිසිදු වෙති. 

සුද්ධි අසුද්ධි පච්චත්තං = පිරිසිදුබව, අපිරිසිදුබව තම තමා අයත් ය. 

සුද්ධි නම්, කුසල් ය. අසුද්ධි නම්, අකුසල් ය. ඒ ඒ සත්ත්‍වයන් විසින් කරණ ලද, කරණු ලබන කුසල් අකුසල් හැම එකෙක් ම කළවුන්ටත් කරන්නවුන්ටත් අයත් ය, යි මෙයින් වදාළ සේක. 

‘අත්තානං පති = පච්චත්තං’ යනු විවෘති යි. තමන් කරණ කුසල් අකුසල් දෙක්හි හිමියා තමන් ම බව ‘පති’ යන්න පැහැදිලි කරයි. ‘සුද්ධි අසුද්ධි අත්තානං පති (සියා)’ කුසල් අකුසල් තමන් පිළිබඳ වන්නේ ය යනු අරුත් ය. ‘කාරකසත්තානං අත්තනියෙව විපච්චති’ යනු අටුවා ය. 

න අඤ්ඤො අඤ්ඤං විසොධයෙ = අනෙකෙක් අනෙකකු පිරිසිදු නො කරන්නේ ය. 

එකකු කළ පවින් අනෙකෙක් අපායට නො යයි. එකකු කළ පිණින් අනෙකෙක් දෙව්ලොව ද නො යයි. සසර දුක් විඳිතත්, සසර දුකින් මිදෙතත්, එයට උපකාර ව සිටින්නේ තම තමන් කළ පව්පින් දෙක ය. තම තමන් කළ පින් පව් දෙකට විපාක තම තමන් ම විඳිය යුතු ය. අනෙකෙක් අනෙකකු පිරිසිදු කිරීමෙහි වත් අපිරිසිදු කිරීමෙහි වත් සමත් නො වේ. ඒ නො වන්නේ ය. තමන් කළ කම්හි විපාක තමන් කරා ම එන්නේ ය. තමන් කළ කම් අන්හු කරාත්, අත්හු කළ කම් තමන් කරාත්, පල විසින් කවදාවත් නො එන්නේ මය. “අනෙකෙක් අනෙකකු පිරිසිදු නො කරන්නේ ය” යි වදාළෝ එහෙයිනි. 

ධර්‍මදේශනාවගේ අවසානයෙහි චූලකාල සෝවාන් වී ය. දේශනාව පැමිණ සිටි පිරිසට ද වැඩ සහිත වූ ය. 

චූලකාලඋපාසක

Wednesday, January 5, 2022

සිහි නුවණින් යා යුතු ඍජු මාවතක්

 

සිහි නුවණින් යා යුතු ඍජු මාවතක්

තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ දී ප්‍රථමයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව අවසන් වෙද්දී දහඅට කෝටියක් පිරිස් රහත් භාවයෙන් නිවන් සම්පත් ලැබූහ. 

අසංඛ්‍යෙයක් පිරිස සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් මාර්ගත්‍රයෙන් නිවන් සම්පත් දුටහ. ප්‍රථම මංගල ධර්ම දේශනාවෙන් අසංඛ්‍යෙයක් නිවන් සම්පත් ලැබීම, දහඅට කෝටියක් රහත් වීම විශේෂාංගයක්. සියලු බුදුවරයන් වහන්සේලා අත නොහැර කරන දේශනය දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව යි. එහි දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය පැහැදිලි කර තිබෙනවා. සූත්‍ර ගණනාවකින් චතුරාර්ය සත්‍ය දේශනා කර තිබෙනවා. 

මාර්ග සත්‍ය බුදු, පසේ බුදු, මහ රහත් උතුමෝ ගමන් ගත් මාර්ගයක්. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. එය අංග අටකින් සමන්වාගත වෙනවා. ශීල, සමාධි, ප්‍රඥා යනු ආර්ය මාර්ගය ම යි. නිවන් මග, විශුද්ධි මාර්ගය, ත්‍රිවිධ ශික්ෂා මාර්ගය, මැදුම් පිළිවෙත් මාර්ගය, ආර්ය මාර්ගය ආදී නොයෙක් නාමයන්ගෙන් උගන්වනවා. සියලුම පින්කම් කරනවිට ආර්ය මාර්ගය සිතෙහි පහළ විය යුතු යි. සිහි නුවණින් කරන පින්කම ප්‍රධානත්වයක් උසුලන්නේ ඒ නිස යි. සිහි නුවණින් කරන පින්කම්වල සම්මා දිට්ඨි ආදී මාර්ගාංග පහළ වෙනවා. මෙය නිතර පහළ නොවුණත්, හොඳින් නුවණ යොදා කරන පින්කම්වල දී පහළ වෙයි. ඒ නිසා කවුරුත් දාන, සීල, පින්කම් කරන විට , මල්, පහන් , ගිලන් පස , දාන මාන පූජා කරන විට සම්මා දිට්ඨිය ආදී මාර්ගාංග පහළ කරගත යුතු යි. එනම්, ප්‍රඥාව යි. සම්මා සංකප්ප යනු හොඳ අදහස්. සම්මා වාචා යනු හොඳ වචන යි. සම්මා කම්මන්ත යනු හොඳ වැඩ කටයුතු යි. සම්මා ආජීව යනු හොඳ ජීවිකාව යි. සම්මා වායාම යනු හොඳ උත්සාහය යි. සම්මා සති හොඳ සිහිය යි. සම්මා සමාධි යනු සිතෙහි තැන්පත්කම යි. මේ කරුණු ටිකට නිවැරැදි , යහපත්, ශ්‍රේෂ්ඨ, උතුම් ආදී වචන රාශියක් සම්මා වදනට යෙදෙනවා. 

එසේනම්, සම්මා දිට්ඨි යනු නිවැරැදි ප්‍රඥාව යි. කර්ම ඵල විශ්වාස කිරීම, ධ්‍යාන , මාර්ග, මාර්ග ඵල ලබා ගැනීම, නිර්වාණය අවබෝධ කර ගැනීම, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම, පින් පව් පිළිගැනීම ආදිය සම්මා දිට්ඨිය නම් වෙයි. ‘කම්මස්සකත සම්මා දිට්ඨි, ධ්‍යාන සම්මා දිට්ඨි, මාර්ග සම්මා දිට්ඨි, ඵල සම්මා දිට්ඨි, චතුසච්ච සම්මා දිට්ඨි ආදිය හොඳින් ඉගෙන කවුරුත් හොඳින් දියුණු කරගත යුතු යි. සම්මා සංකප්ප යනු යහපත් වචන යි. යහපත් අදහස් ආදිය යි. අව්‍යාපාද, අවිහිංසා, නෙක්ඛම්ම වෙයි. අව්‍යාපාද යනු මෛත්‍රී අදහස් ය. අවිහිංසා යනු හිංසා , පීඩා නො කිරීම යි. නෙක්ඛම්ම යනු නික්මීම යි. ඒ අදහස් වලින් පිරිපුන් නම්, සම්මා සංකප්ප මාර්ගාංගය හොඳින් වැඩෙන අතර, එය දියුණු කරගැනීමට පුළුවන් වෙයි. සම්මා වාචා යනු බොරුවෙන්, කේළමෙන් , හිස් වචනයෙන්, නපුරු වචනයෙන් වැළකීම යි. වචනය හොඳනම්, පිවිතුරු නම්, සම්මා වාචා නම් වෙයි. මුව පරිස්සම් කරගත යුතු යි. එයට නුවණ යෙදවූ විට වචනය හොඳ යි, පිවිතුරු යි, තමන්ගේ ගුණ ධර්මයන් හොඳින් දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. සම්මා කම්මන්ත යනු නිවැරැදි කර්මාන්ත යි. එනම්, සතුන් මැරීමෙන් , සොරකමෙන්, කාමමිථ්‍යාචාරයෙන් වැළකීම වෙයි. හොඳ වැඩ වෙයි. බුදු දහමේ කෘෂිකර්මාන්තය , ගව පාලනය, වෙළෙඳාම ආදියත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළා. එලෙස තම වැඩ කටයුතු කරගත යුතු යි. මස් මාංශ වෙළෙඳාම, ආයුධ, මත්ද්‍රව්‍ය, වහල් වෙළෙඳාම ආදිය හොඳ දේ නො වෙයි. මේවා අත්හැර දමා නිවැරැදිව වැඩ කටයුතු කරනවා නම්, දැහැමිව වැඩ කටයුතුවල යෙදෙනවා නම්, එය සම්මා කම්මන්ත නම් වෙයි. සම්මා ආජීව යනු නිවැරැදි ජීවිකාව යි. වැරැදි ලෙස ජීවත් නොවී , ධාර්මිකව යමක් උපයාගෙන , දැහැමිව ජීවත් විය යුතු යි. බුද්ධාදී උතුමෝ ජීවත් වුණේ ධාර්මිකව යි. ඒ උතුමෝ දැහැමි පිළිවෙත් මගක් අනුගමනය කළා. එලෙස කවුරුත් ජීවමෝපාය ගෙන යා යුතු යි. 

ඊළඟ කාරණය සම්මා වායාම යි. එය අවශ්‍යම දෙයක්. උතුම් වචන, උතුම් උත්සාහය, ආදිය යි. උතුම් උත්සාහය කාටත් අවශ්‍ය වෙයි. රැකියාවට, අධ්‍යාපනයට, ගමනට බිමනට, ආහාර පිළියෙළ කරගන්න, දාන- සීල- භාවනා පින්කම්වලට සැමටම අවශ්‍ය වන්නේ උත්සාහය යි. උත්සාහවන්තයා මනු ලොව, දෙව් ලොව, බඹ ලොවට නිවන් මගට යයි. කම්මැළි පුද්ගලයා පරාජයට පත්වන අතර, පිරිහීමට, සතර අපා දුකට වැටෙයි. 

එසේනම්, බුදු දහමට අනුව තමන්ගේ නූපන් කුසල් වැඩි දියුණු කළ යුතු අතර, උපන් කුසල් වැඩි දියුණු කළ යුතු යි. නූපන් අකුසල් නොඉපදීමටත්, උපන් අකුසල් ප්‍රහාණය කළ යුතු යැ’යි ව්‍යායාම සතරක් වෙයි. මේවා අප හොඳින් දැන කියාගෙන නිවැරැදි උත්සාහයෙන් වැඩ කටයුතු කරනවා නම්, නිවන් සුව ලබා ගැනීමට අපහසු නැහැ. දැන් නිවැරැදි සිහිය ගෙන බලමු. කායානුපස්සනා සතිපට්ඨානය, වේදනානුපස්සනා සතිපට්ඨානය , චිත්තානුපස්සනා සතිපට්ඨානය, ධම්මානුපස්සනා සතිපට්ඨානය ආදිය සම්මා සති නම් වෙයි. සෑම දෙයක් ම කළ යුත්තේ සිහි කල්පනාවෙනි. එය සම්මා සති නම් වෙයි. ඒ නිසා කවුරුත් සම්මා සතිය හොඳින් දියුණු තියුණු කරගනිමින්, එවිට කුමක්වත් අඩුපාඩුවක් නැතිව තමන්ට පැහැදිලිව නිවන් මග ඉදිරියටම යන්නට පුළුවන්. එසේම සම්මා සමාධි යනු උතුම් චිත්ත සමාධියක්. ප්‍රථම ධ්‍යානය, ද්වීතීය ධ්‍යානය, තෘතීය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, ආදී ධ්‍යාන සතරකට බෙදන අතර තවද පංචම ධ්‍යානය යනුවෙන් ද වෙයි. මෛත්‍රී භාවනා කරනවානම්, ධ්‍යාන තුනක් ද, ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන සතරක් ද , සමථ භාවනාවලට ධ්‍යාන වෙන්කර තිබෙන අතර සමථ භාවනාවෙන් පමණක් ධ්‍යාන අවස්ථාවන්ට පත් වෙයි. විදර්ශනා භාවනාවට ධ්‍යාන නොලැබෙන අතර, එය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වටහාගෙන වෙනම මගක ගමන් කරයි. 

සියලු පින්කම්වලදී මාර්ගාංග අටත් සමඟ නුවණ පහළ වුණොත්, නිවන් සුව පතා පින්කම කළොත්, අනිවාර්යෙන් ම මාර්ගාංග අට සිතෙහි පහළ වෙනවා. මේ ධර්මතා එකතු කළ විට සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප දෙක ප්‍රඥා ශික්ෂාව වන අතර , සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව තුන එකතු වූ විට ශීල ශික්ෂාව ද සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී තුන ම සමාධි ශික්ෂාව නම් වෙයි. ත්‍රිවිධ ශික්ෂාව යනු ද ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි. මෙලෙස කටයුතු කළොත් කාටත් නිවන් සුව ලැබීම අපහසු කරුණක් නො වෙයි. 

ඇසළ පුන් පොහෝ දවසේ ලොවට අමා බෙරය විවර කළා. ලොවටම අමා සුවය බෙදා දුන්නා, එදා සිටම මෙතරම් දිගු කලක් පුරාවටම දහම ලොවට ම ව්‍යාපත්ව ගියේ. දෙව් ලොව, බඹ ලොව ව්‍යාප්තව ගියා. අති විශාල පිරිසක් මාර්ග ඵල නිවනට පත් වුණා. සූවිසි අසංඛ්‍යෙයක් පමණ නිවනට පත් වුණේ මැදුම් පිළිවෙත, එනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරැදිව අනුගමනය කළ නිස යි. මේවා හොඳින් තේරුම් බේරුම් කරගෙන කවුරුත් බුද්ධාදී උතුමෝ ගමන් ගත් මාර්ගය බව සිතමින් දියුණුවෙන් ගුණ ධර්ම තමන්ටත් ධර්මය අවබෝධ කරගැනීමට අපහසු කරුණක් නො වෙයි.

ඇසළ පුන් පොහෝ දින ඇරැඹුණු මාර්ග ප්‍රතිපදාව අද දක්වා ම විනාශ නොවී දිගින් දිගටම සිව් වණක් පිරිසම රැකගෙන පැමිණි නිසා බොහෝ පිරිසකට ආර්ය තත්ත්වයට පත් වන්න පුළුවන්කම ලැබුණා. එසේනම් කවුරුත් ආර්ය තත්ත්වයට පත්වීමේ බලාපොරොත්තුවෙන් මේ සඳහන් කරනු ලබන සීලය, සමාධිය, ප්‍රඥාව ගුණ ධර්මයන් දියුණු කරන්නේ. බුදු කෙනෙක් ලොව පහළ වන දුර්ලභ අවස්ථාව ඔබ, අප සෑම දෙනාටම ලැබුණා. මේවා ගැන සිතා, හොඳ වාසනාවන්ත ජීවිතයක් ම ගත කරමින් නිවන් සුව පතාගෙන ම යන්න. එවිට කාටත් ලැබෙන බලය, ශක්තිය, ගොඩනගාගන්න පුළුවන්. මෙවන් ප්‍රතිපදාවන් ගැන සිතා. මෙය එක්, එක්කෙනා පසුපසම යා යුතු මගක්. දෙතුන් දෙනාට කතා කරමින් යන්න පුළුවන් ගමන් මගකුත් නො වෙයි. සිහි නුවණින් මේ ගමන යා යුතු ම යි. ඒ නිසා ඍජු මාවතක් වූ මෙහි ගමන් ගන්නා ඕනෑම කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. කපටි, කෛරාටික පැවැතුම් නැහැ. අවංකකම, නිහතමානීකම, අවිහිංසාව ආදී හොඳ ගුණාංගයන්හි පිහිටාගෙන මේ ගමන යන බැවින් බොහොම හොඳින් නිවන දෙසට එනම්, චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම යා හැකි යි.

නිවන වූ දුක්ඛ නිරෝධ සත්‍ය

 

නිවන වූ දුක්ඛ නිරෝධ සත්‍ය

බුදුරජාණන් වහන්සේගේ පළමුවෙනි ධර්ම දේශනාව වූ ධම්මචක්කපවත්වන සූත්‍ර දේශනාවේ දී දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව උන්වහන්සේ වදාළ සේක. 

මහණෙනි, උපාදානස්ඛන්ධ සංඛ්‍යාත භවය නැවත නැවත ඇතිකරන ඒ තෘෂ්ණාවෙහි නිරවශේෂය නිරෝධය වූ යම් නිවනක් වේද, යම් නිවනක් නිසා, ඒ තෘෂ්ණාව අතහැරීමත් නැතිකරගැනීමත් දුකින් මිදීමක් ය. පංචකාම ගුණ සංඛ්‍යාත ඇළෙන තැන් නැති, ඇළෙන ස්වභාවය නැති, ස්වභාවයක් වේ ද, එය දුක්ඛ නිරෝධ සත්‍යයි යනුවෙන් දුක්ඛ නිරෝධ සත්‍ය පිළිබඳව අර්ථ දැක්විය හැකි ය. ඒ අනුව නිවන නිරෝධ සත්‍ය ලෙස කෙටි අර්ථයකින් ද හඳුනාගත හැකියි. සත්ත්වයා භවය පුරා සැරිසරන ගමනේ කෙළවර නිවනයි . ලෝකයේ සසර සැරිසරන සත්ත්වයා ගේ එකම අරමුණ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ නිවනට සම්ප්‍රාප්තවීමයි. බෝධිය යනු අවබෝධයයි. සම්මා සම්බුද්ධත්වය, පච්චේකබුද්ධත්වය හා මහරහත් බව එම තුන්තරා බෝධියයි. තුන්තරා බෝධියෙන් එක් බෝධියක් ප්‍රාර්ථනා කරගෙන සිටින පුද්ගලයන් කෙතෙකුත් සිටිය හැකියි. ඔවුන් තම උතුම් අරමුණ සිතෙහි දරාගනිමින් සිත, කය, වචනයෙන් සුචරිතයම වඩයි. තුන් දොරින්ම සමාජයට අර්ථය හිත සුව පිණිස කටයුතු කිරීමට පෙළඹෙන්නේ ද, තමන් ප්‍රාර්ථනා කරගත් බෝධියකින් නිවන් දැකීමේ අරමුණ පෙරදැරිවයි. නිවන බලාපොරොත්තු වන සත්ත්වයා. සංසාරයේ සැරිසරමින් ගමන් කරනා විට තමන්ගේ මනස තුළ තිබෙන තෘෂ්ණාව නමැති බැඳීම අඩුකරගැනීමට කටයුතු කළ යුතුයි. තණ්හාව නමැති වඩුවා නිවස සාදන නිසා පුද්ගලයා සසර උපදියි. තණ්හාව නමැති වඩුවා සොයාගත් බුදුරජාණන් වහන්සේ, නැවත එම ගෙය නොසාදන බවට ද වදාළ සේක. එනිසාම සියලු සත්ත්වයෙක් ම පරතෙරක් නොපෙනෙන සංසාර ගමනේ සැරිසරනා විට තෘෂ්ණා ස්වභාවය, නිරවශේෂයෙන්ම ක්ෂය කළ යුතුයි. බුදු දහමෙහි ‘අතහැරීම්’ යන සංකල්පය උගන්වා ඇත්තේ ද, අතහැරීම තුළ නිවනට යන පාර ළගා වන නිසයි. අල්ලා ගැනීම නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා සංසාරයේ දුක ඇතිවන බව මහා නිදාන සූත්‍රයෙහි දී සඳහන් වේ. 

‘ඉති ඛො පනෙතං ආනන්ද වෙදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියෙසනා. පරියෙසනං පටිච්ච ලාභො, ලාභං පටිච්ච විනිච්ඡයො , විනිචඡයං පටිච්ච ඡන්දරාගො ,ඡන්දරාගං පටිච්ච අජෙඣසානං, අජෙඣාසානං පටිච්ච පරිග්ගහො, පරිග්ගහං පටිච්ච මච්ජරියං, මච්ඡරියං පටිච්ච ආරකෙඛා, ආරක්ඛාධිකරණං පටිච්ච දණිඩදාන සත්ථාදානකලභවග්ගහ විවාදතුචං තුවං පෙසුඤ්ඤමුසාවාදා අනෙකෙ පාපකා අකුසලා ධම්මා සමහවෙන්ති” 

ආනන්දය,මෙසේ මේ වේදනාව නිසා තෘෂ්ණාව වේ. තෘෂ්ණාව නිසා පර්යේෂණ (අරමුණු සෙවීම) වේ. පර්යේෂණය නිසා ලාභය (අරමුණු ලැබීම) වේ. ලාභය නිසා විතර්ක විනිශ්චය (අරමුණෙහි ඉටු අනිටු බව විතර්කයෙන් නිශ්චය කොට ගැනීම) වේ. විනිශ්චය නිසා ඡන්දරාගය (විතර්කිත වස්තුව කෙරෙහි ඇල්ම) වේ. ඡන්දරාගය නිසා අධ්‍යවසානය (මම ය, මගේ යැයි බලවත් සනිටුහන) වේ. අධ්‍යවසානය නිසා පරිග්‍රහය (තෘෂ්ණා දෘෂ්ටි විසින් මගේ යැයි අයත් කර ගැන්ම) වේ. පරිග්‍රහය නිසා මසුරුබව වේ. මසුරුබව නිසා රැක්ම වේ. රැක්ම කරණකොට ගෙන දඬුමුගුරු දැරුම්,අවි දැරුම්, කලහ, විග්‍රහ (විරෝධ භූමි) විවාද තවංතුවං ( ඇණුම් බැණුම්) කේලාම්, මුසාබිණුම් නොයෙක් ලාමක අකුසල් දහම්හු පහළ වෙත් 

නිවන අති රමණීය උතුම් ප්‍රාප්තියක් ලෙස දක්වන්නේ ද, තෘෂ්ණාව සම්පූර්ණ වශයෙන්ම විනාශකර දමන නිසයි. සංසාරයේ ජීවත්වන සත්ත්වයා විසින් නිවන බලාපොරොත්තු වන නිසාම මානසික, කායිකව. වාචසික සියල්ල අතහැර දමයි. සසර බලාපොරොත්තු වන පුද්ගලයා සියල්ල අල්ලා ගනී. එම අල්ලා ගැනීම තුළ සසර දිග්වේ. කායික, මානසික, වාචසික අල්ලාගැනීම තුළ තෘෂ්ණාව වැඩිවේ. එවිට නිර්වාණය ලබාගැනීම අපහසුවෙයි. බෞද්ධ සම්ප්‍රදාය තුළ, බෞද්ධ දර්ශනය විසින් මනුෂ්‍යයා හුරුපුරුදු කරන්නේ ද ලද දෙයින් සතුටු වීමටය. ලද දෙයින් සතුටුවීමට හුරුවූ පුද්ගලයා තමන් ලබන දෙයින් උපරිම තෘප්තියක් ලබයි. තෘෂ්ණාධික පුද්ගලයාට තමන් ලද දෙයින් සතුටු විය නොහැකියි. ලද දෙයින් සතුටු නොවී නො ලද දෙය ම ප්‍රාර්ථනා කරයි නො ලද දෙය ම සිතමින් එය ම ප්‍රාර්ථනා කිරීම සාමාන්‍ය සත්ත්වයාගේ ස්වභාවයයි. 

සසර සැරිසරන මගට වඩා වෙනස් වූ වෙනත් අර්ථකතනයක් නිවන් මඟ තුළ ගැබ්ව පවතියි. සත්ත්වයා පංච ඉන්ද්‍රියන් පිනවීමෙන් තෘප්තියක් ලැබුව ද, එය පිනවීමෙන් ලබන තෘප්තිය සදාකාලික වූ තෘප්තියක් නොවෙයි. කාලයාගේ ඇවෑමෙන් එම පිනවීම ම දුකක් බවට පත්වෙයි. පංචස්කන්ධය පිනවීම සඳහා ම පුද්ගලයකුට පංචස්ඛන්ධයක් අවශ්‍ය නොවෙයි. තමාගේ ජීවන අරමුණ සාර්ථක කරගැනීම සඳහා ම පංචස්කන්ධය අවශ්‍ය වෙයි. නිර්වාණගාමී මාර්ගයට පත්වුණ යෝගාවචරයා සිත, කය. වචනය යන තුන්දොරම සමාජයට ද, තමනට ද අර්ථය පිණිස යොදවයි. එම කාරණා දෙකම සසර ගමන අඩුකර ගැනීම සඳහා පුද්ගලයා විසින් භාවිත කරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ නිරෝධ සත්‍ය යන උතුම් ප්‍රාප්තිය බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් ශ්‍රී සද්ධර්මය තුළ නිවන ලබාගැනීම සඳහා ගමන් කරන පුද්ගලයකුට ඒ සඳහා ළඟාවිය හැකි ය. සසර මම ය, මාගේ ය, මම නිසා පවතින්නේ ය, මට අයිතිවන්නේ ය යන ස්වභාවයට වඩා මම නොවේ ය. මගේ නොවේ ය මෙය ආත්ම වශයෙන් ගත නොහැකි ය යන ස්වභාවයන්ට පත්විය යුතුයි. බුදුදහමින් ශික්ෂණය වුණ, දහමෙහි හැසිරෙන, දහමට අවනත යෝගාවචරයා බොහෝ සෙයින් අවබෝධ පූර්වකව සමාජයෙහි ජීවත්වෙයි. සාමාන්‍ය පුද්ගලයා සමාජයෙහි ජීවත්වන විට රූප, ශබ්ද ගන්ධ, රස, ස්පර්ශ යන බැඳීම් ආත්මීය වශයෙන් අල්ලා ගනී. තමාට රුචි රූපයක් දුටු විට එය මනසින් අල්ලා ගනී. ඇද බැඳ තබාගනී. එම රූපය තුළ ජීවත්වීමට පටන් ගනී. මේ ආකාරයෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් ඇළීමට පටන්ගැනීම සාමාන්‍ය සත්ත්ව ස්වභාවයයි. සාමාන්‍ය ලෝක ස්වභාවයයි. දහමින් අනූන පුද්ගලයා එම ස්වභාවයට වඩා උඩුගම්බලා යන ගමනක් ආරම්භ කරයි. සමාජය ගමන් කරන රැල්ලට අනුව, ආශාවන් පසුපස හඹා නොගොස්, තෘෂ්ණාධික බවින් තොරව, අවබෝධයෙන් නිවන කරායාම සාමාන්‍ය බෞද්ධයාගේ ලක්ෂණයයි. ප්‍රඥාව පුරුදු පුහුණු කළ පුද්ගලයකුට පමණක් එබඳු තත්ත්වයට පත්විය හැකියි. පුද්ගලයා තුළ ප්‍රඥාව වැඩිදියුණු කරගන්නා ආකාරය බුදුදහමෙහි උගන්වයි. 

පුද්ගලයා හැමදාමත් එකම තැනක රැඳෙනවා නම්, බුදුදහම ඇදහීමෙන් ඵලක් නොවෙයි. දවසින් දවස තමන්ගේ දැනුම, අවබෝධය, වර්ධනය කරගත යුතු බවට බුදුදහම අවධාරණය කරයි. බුදුදහමෙන් උගන්වන විශිෂ්ට ඉගැන්වීමක් වන නිරෝධ සත්‍ය අවබෝධයෙන් ම ජයගත හැකි ධර්මතාවක් ලෙස දැක්විය හැකියි. අවබෝධ පූර්වක පුද්ගලයා නිවන අරමුණ කරගනී. නිවන ආගමික බව ඉක්මවා ගිය දාර්ශනික බවට පත්වෙන තත්ත්වයක් .බෞද්ධ සාහිත්‍යයෙහි නිවන. ස්වර්ණමය පුරයක් ලෙස, අතිරමණීය භූමියක් ලෙස හඳුන්වා ඇත්තේද, සාමාන්‍ය පුද්ගලයාගේ අවබෝධය පිණිස තේරුම් ගැනීමේ පහසුව සඳහා ය. දාර්ශනික වශයෙන් නිවන විග්‍රහ වන විට සියල්ල නැති බව, හඳුනාගැනීමට හැකියාව ලැබෙයි.

සමුදය සත්‍ය: දුක හටගන්නේ කෙසේද

 

සමුදය සත්‍ය: දුක හටගන්නේ කෙසේද


බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ බෝධිසත්ව අවධි පසුකරමින්, පැමිණ, එදා වෙසක් පුර පසළොස්වක පෝදා අවබෝධ කරගත්තේ මේ ලෝකයේ යථා ස්වභාවය යි. එය හඳුන්වන්නේ චතුරාර්ය සත්‍ය හැටියටයි. උතුම් ශ්‍රේෂ්ඨ ධර්මතා හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ මෙහි දී අපට පෙන්වා වදාළ සේක. එනම් දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය සහ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය වශයෙනුයි.

දුක්ඛ ආර්ය සත්‍යය යනු, දුක පිළිබඳව තිබෙන යථා ස්වභාවය යි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය යනු දුක හට ගැනීම පිළිබඳ යථා ස්වභාවයයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය යනු දුක නැති කිරීම පිළිබඳ යථා ස්වභාවය යි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය නම් දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ යථා ස්වභාවය යි.

සමුදය යන්නෙන් හඳුන්වන්නේ හට ගැනීම පිළිබඳව යි. එනම් ඉපදීම පිළිබඳව යි. උප්පත්තිය ලැබීම පිළිබඳව යි. කුමක් ඉපදීම පිළිබඳව ද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳව යි. දුක්ඛ සමුදය පිළිබඳවයි. දුක හට ගන්නා හේතු. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිසා දුක හටගන්නවා නෙමෙයි. දුක හට ගන්නේ කොහොමද කියන කාරණය බුදුරජාණන් වහන්සේ යථාර්ථවාදීව සොයා, පරීක්ෂා කර නිගමනයකට පැමිණ අපට දේශනා කළා.

උන්වහන්සේ විසින් සොයා ගත් දහම එනම්, ලෝකය ක්‍රියාත්මක වන ආකාරය උන්වහන්සේ දකිනවා. ඉතාමත් හොඳින් දකිනවා. සත්වයා දුකට පත්ව ඉන්නවා. දුකට පත්ව සිටිනවා නම් දුක හටගන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ඊළඟ පර්යේෂණය ඒ සඳහායි. එනම්, දුක්ඛ සමුදය ආර්ය සත්‍යයි. ආර්ය සත්‍ය නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කළත්, වෙන කෙනෙක් දේශනා කළත් මේ ලෝකයේ යථා ස්වභාවය යි. අදටත් අප කොයිකවුරුත් මේ දුකෙහි වෙළී ඉන්නේ දුක හට ගන්නා දේ අප ළගින් ඉවත් කර ගැනීමට නොහැකි නිසයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දුක හට ගන්නේ කොහොමද කියන කාරණාව ධම්මචක්කපවත්වන සූත්‍රයේ දී දේශනා කොට වදාළ සේක. එනම් බුද්ධත්වයෙන් පසුව ලෝකයා ඉදිරියේ තමන් වහන්සේගේ පළමු ධර්මානුශාසනාව මංගල දේශනාව පවත්වන තැන දී දේශනා කළ සේක. 

මේ ලෝකයේ යම් කිසි සත්වයෙක් තණ්හාවෙන්, නන්දිරාගයෙන් ඒ ඒ දේ් පිළිබඳව ඇලීම් ඇතිකරගෙන කටයුතු කරනවා නම්, එනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන මේවා කෙරෙහි ඇලීමෙන් කටයුතු කිරීමෙන් මේ දුක හට ගැනීම සිදුවන්නේ ය යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

මේ ලෝකයේ “සමුදය සත්‍යය” නැතිනම් “දුක්ඛ සමුදය සත්‍යයෙන්” ප්‍රධාන වශයෙන් අදහස් වන්නේ තෘෂ්ණාව යි, දුක්ඛ සමුදය නම් දුක හට ගැනීම සිදුවෙනවා. දුක හටගන්නේ කුමක් නිසා ද? තෘෂ්ණාව නිසා. අකුසල මූල ධර්මවල දී ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මුල් ගත් විට මුල් ම කරුණ හැටියට සලකන්නේ ලෝභය යි. එනම් ලෝකයේ දුක හට ගැනීමට තෘෂ්ණාව වගේ ම තවත් සමහර කරුණු අනුසංගික වශයෙන් බලපෑවත් ප්‍රධාන වශයෙන් ඉලක්ක වන්නේ තෘෂ්ණාවයි. ඒ නිසා “තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බාණං” තෘෂ්ණාව ඉවත් කිරීම, තෘෂ්ණාව ක්ෂය කිරීම. නිර්වාණය හැටියට භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක දී සඳහන් කරනවා. තෘෂ්ණාව වැඩිවෙන්න, වැඩිවෙන්න ගැටලු වැඩියි. තෘෂ්ණාව අඩුවෙන්න, අඩුවෙන්න ගැටලු අඩුයි. තෘෂ්ණාව සම්පූර්ණයෙන් ඉවත් කළාම අපට ගැටලුවලින් සම්පූර්ණයෙන් ම විනිර්මුක්ත විය හැකියි. යම් කිසි කෙනෙක් පවසනවා නම් අපට හරියට ගැටලු, ප්‍රශ්න කියා එහි යටි අදහස නම් ඔහුට බැඳීම් තිබෙනවා. තෘෂ්ණාව තිබෙනවා. අත්හැරීමේ දක්ෂතාවය පුරුදු කර නැහැ කියන එකයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ සියලු ම දේ පිළිබඳ ව ආශ්වාද වශයෙන් ගැනීම ඒ ගන්නා වූ විරාගය නිරෝධ යැයි පවසන්නේ. අපට පුළුව න් නම් තෘෂ්ණාව නිරෝධයක් බවට පත්කරගන්න, මේ ආශ්වාදය නිරෝධයක් බවට පත් කර ගන්න. එවිට දුක අඩුකර ගැනීම සඳහා, එනම් දුක්ඛ සමුදය සඳහා නොවෙයි දුක්ඛ නිරෝධය සඳහා කටයුතු කරන්න පුළුවන් වෙනවා.

ගිහිවේවා, පැවිදි වේවා, දිව්‍ය වේවා මේ කාටත් අංශු මාත්‍රයකින් හෝ තෘෂ්ණා ශක්තියක් තිබෙනවා. මේ තෘෂ්ණාව ලියලන්න ලියලන්න ඒ ඒ අයගේ ඕනෑ එපාකම් වැඩිවෙනවා. පංචස්කන්ධය ගත් විට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සංචිත්තේන පංචු උපාදානස්ඛන්ධා දුක්ඛා” මේ පංචස්කන්ධයම දුකක්. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්භ, ස්පර්ශ මේ සියල්ලම දුක මතම පිහිටා තිබෙන්නේ දුකින් ම ය. මේ දුක විනිවිදව දකින්න පුළුවන් තරමට අපගේ මනස දියුණු කර නොමැතිකම නිසා ඉන්ද්‍රියන් පිළිබඳව වර්ණනා කරනවා. නමුත් ඒ ඇතුලේ පවතින භයානක දුක පේන්නේ නැහැ. 

උදාහරණයක් වශයෙන් යම් කිසි රසවත් කැවිලි විශේෂයක් පවතිනවා. එයට කවුරු හෝ විෂ වර්ගයක් කවා තිබෙනවා. නමුත් මතුපිටින් පෙනෙන රසවත් පෙනුම නිසා අපට මේ පිළිබඳව තෘෂ්ණාවක් ඇතිවෙනවා. එය අනුභව කිරීමෙන් දීර්ඝකාලීනව අපට ලබන්න තිබෙන දුක වැසී අර ඉන්ද්‍රියන් පිනවීම සඳහා කටයුතු කරනවා. එනම් එය ආහාරයට ගන්නවා. අවසානයේ දී මාරාන්තික විය හැකියි. මරණාසන්න විය හැකියි. දින කිහිපයක අසනීප නැතිනම් දීර්ඝකාලීන අසනීප තත්ත්වයකට පත්විය හැකියි. ඒ වගේ ම ඉන්ද්‍රියයන් සතුටු කිරීම සඳහා, පංචකාමය දියුණු කිරීම සඳහා අප ගන්නා උත්සාහයත්, බලාපොරොත්තු සංසාරිකව දීර්ඝකාලීන දුකකට අප පත්කරන්න පුළුවනි.

ඒ නිසා අප දක්ෂවෙන්න ඕනේ මේ ඉන්ද්‍රියයන් පිනවීමේ දී ඉන්ද්‍රිය අවශ්‍යතා සපිරීමේ දී මේවා මොනතරම් අපේ සංසාර ගමනට බලපානවාද? මේ තුළින් අපගේ දුක කෙතරම් අඩුවැඩි වෙනවාද? දැන ගැනීමට ඒ ගැන පැහිදිලි කිරීමට අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසා මේ දුක්ඛ සමුදයය එසේ නැතිනම් දුක ඉපදීමට පළමුවන කරුණ ලෙස දකින්නේ තෘෂ්ණාව යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට කාම තණ්හාව එනම්, මේ කාම ලෝකයේ කාම වස්තූන් පිනවීමට අප ගන්නා උත්සාහය යි. ඇස් දෙක පිනවන්න කොතරම් උත්සාහ ගන්නවා ද? කය පිනවන්න කොපමණ වෙහෙස ගන්නවා ද? සමහර විට වැස්සෙ තෙමී, අව්වෙ වේලී, අනුන්ගෙන් බැනුම් අසාගෙන, නොයෙකුත් දුක් විඳගෙන මේ සියල්ලම විඳින්නේ ඉන්ද්‍රිය සංතර්පනය සඳහායි. නමුත් මේ ඉන්ද්‍රිය සන්තර්පනයට ගන්නා සමහර දේ සමහර විට වංචනිකව, බොරු කියා, සොරකම් කර ලබා ගන්නවා. මේ සියල්ලම සිදු කරන්නේ තෘෂ්ණාව නිසා මයි. මේ නිසා දුක් ගොඩක් එකතු කර ගන්නවා. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාම තණ්හාව, ඒවගේ ම භව තණ්හා, සමහරවිට බලාපොරොත්තු ගොඩාක් තබාගෙන කටයුතු කරනවා. ඊළඟ භවයන් සුවපත් කර ගැනීම සඳහා. ඊළඟ භවය මීට වඩා දියුණු කර ගැනීම සඳහා ආදී වශයෙන්. භවයන් පිළිබඳව ඇලීමෙන් කටයුතු කරනවා. එයත් එක අතකින් ගත් විට තෘෂ්ණාවක්. ඒ නිසා මේ කවර ආකාරයකින් වේවා කාම, භව, විභව ආදී ආකාර තුනකින් යුක්ත තෘෂ්ණාවන් අයින් කර ගන්නට උත්සාහ කරන්නට පුළුවන් නම්, එය ඉතාමත් වැදගත් වෙනවා. ඒවගේ ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයෙහි ජීවත්වන සත්වයාට හොඳින් ධර්ම ඥානය, නැතිනම් ධර්ම ඥාන චක්සුතය, එනම් ධර්ම ඇස දියුණු කර ගන්න පුළුවන්නම් ඔහු මේ ගන්නා වූ අරමුණුවල දුර්විපාක මොනවාද කියා විනිවිදව දකිනවා.

මුලින් සඳහන් කළ රස කැවිල්ල කන්නට කලින් ඒ පිළිබඳව විශේෂඥයෙකුට, නිගමනයක් කරන්න පුළුවන් මේ රස කැවිල්ල කෑමට ගැනීම තුළින් මේ වගේ ආදීනවයන්ට අනාගතයේ දී මුහුණ දෙන්නට සිදුවෙනවා කියා, එය බැලූ බැල්මෙන් ඒ පිළිබඳව අවබෝධයක් නැති, ඒ පිළිබඳ දැනීමක් නැති අයෙකුට හිතළුවක් හැටියට පෙනුණත් එය විහිළුවක් හැටියට පෙනුණත් ඒ පිළිබඳව නියමාකාරයෙන් සිත දියුණු කළ අයෙකුට, ඒ තාක්ෂණය, ඒ විද්‍යාව දියුණු කළ අයෙකුට ඒ පිළිබඳ බියක් ඇතිවෙනවා.

අන්න ඒ වගේ ධර්ම ඤාණය, ධර්ම චක්සුතය දියුණු කළ කෙනෙක් මේ පංච ඉන්ද්‍රියයන් පිනවීමට යෑමේ දී ඔහු අනෙකෙකුට වඩා එහි ප්‍රතිවිපාක දකින්න පටන් ගන්නවා. ඒ නිසා ඔහුට පුළුවන්කමක් ලැබෙනවා, අනෙකා පත්වුණ දුකෙන් මිදෙන්නට. ඒ නිසා හැම වෙලාවක දී ම දුක්ඛ සමුදයට හේතු මොනවාද? දුක් ගොඩකර ගන්නා හේතු මොනවාද? දුක් උපදවන හේතු මොනවා ද? යැයි බලා ඈත්වෙන්න පුළුවන්නම්, දුක්ඛ නිරෝධය සඳහා මාවතක් සකස් කර ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ මුලින් සඳහන් කළ ආකාරයට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් ආකාර තුනකින් ගොඩනගා ගන්නවා. එයට හේතුව ධර්මය පිළිබඳව කිඳා බැසගත් නුවණක් නොමැතිකම යි. කිඳා බැසගත් නුවණින් අපට බලන්නට පුළුවන්නම්, මේ දුක්ඛ සමුදය කුමක් ද කියන කාරණය හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා.

පිරිසිඳ අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්‍යය

 

පිරිසිඳ අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්‍යය 

අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ නො මැතිව, ස්වයංභු ඤාණයෙන් චතුරාර්ය සත්‍යය පරිපූර්ණ වශයෙන් ම අවබෝධ කොට වදාළහ. එහිදී දුක නම් වූ ආර්ය සත්‍යය පිරිසිඳ අවබෝධ කළ ශාස්තෘන් වහන්සේ දුක්ඛ සමුදය වූ තණ්හාව ප්‍රහාණය කළ සේක. 

දුක්ඛ නිරෝධය හෙවත් අමා මහ නිවන පරිපූර්ණ වශයෙන් සාක්ෂාත් කළ භාග්‍යවතුන් වහන්සේ ඒ අමා නිවන් මඟ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ සේක. වෙසක් පුන් පොහෝ දින චතුරාර්ය සත්‍යාවබෝධයෙන් ඒ උතුම් සම්බුද්ධත්වය සාක්ෂාත් කළ අපගේ ශාස්තෘන් වහන්සේ, අදවන් ඇසළ පුන් පොහෝ දිනක පස්වග භික්ෂූන් වහන්සේලා අරභයා ඒ විස්මිත අවබෝධය ප්‍රථම වතාවට දම්සක් පැවතුම් සූත්‍රය තුළින් දේශනා කොට වදාළ සේක. 

එහි දී භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළයුතු දුක්ඛාර්ය සත්‍යය පෙන්වා දුන්නේ මේ ආකාරයෙනි. “පින්වත් මහණෙනි” දුක නම් වූ ආර්ය සත්‍යය යනු මෙයයි. ඉපදීම ද දුකකි. ජරාවට පත්වීම ද දුකකි. රෝගපීඩා වැළඳීම ද දුකකි. මරණය ද දුකකි. අපි‍්‍රය පුද්ගලයින් හා අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීම ද දුකකි. පි‍්‍රය පුද්ගලයන්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගෙන් වෙන්වීමද දුකකි. කැමැති වන්නා වූ යමක් ඇද්ද, එය නොලැබීම ද දුකකි. සංක්ෂේපයෙන් කීවොත් පංචඋදානස්කන්ධයෝ ම දුකකි. 

“ඉදං ඛෝ පන භික්ඛවේ දුක්ඛං අරියසච්චං, ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ජං නලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදනක්ඛන්ධා, පි දුක්ඛා) 

මෙසේ වදාළ භාග්‍යවතුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ දී දුක්ඛාර්ය සත්‍යය තවදුරටත් විග්‍රහ කොට වදාළා. එහි දී භාග්‍යවතුන් වහන්සේ ඉපදීම පිළිබඳව පෙන්වා දී ඇත්තේ මෙලෙසයි. “පින්වත් මහණෙනි, ඉපදීම යනු කුමක් ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ලෝක තුªළ, යම් උපතක් වේ ද, යම් හටගැනීමක් වේ ද, මව්කුසක බැසගැනීමක් වේ ද, විශේෂ උපතක් වේ ද, උපාදානස්කන්ධයන්ගේ පහළවීමක් වේ ද, ඇස්, කන් ආදී ඉඳුරන්ගේ ලැබීමක් වේ ද, මෙය වනාහී ඉපදීම යැයි කියනු ලබන්නේ ය. 

ඉපදීමත් සමඟ දුකක් ඉපදෙන බව බුදුරජාණන් වහන්සේ උප්පාද නම් සූත්‍රයේ දී ඉතාම පැහැදිලි ලෙස මෙසේ වදාළ සේක. “පින්වත් මහණෙනි, රූපයේ, වේදනාවේ, සඤ්ඤාවේ, සංස්කාරයන්ගේ, විඤ්ඤාණයේ යම් ඉපදීමක්, යම් පැවැත්මක්, යම් විශේෂ උපතක්, යම් පහළවීමක් වේ ද, එය වනාහී දුකෙහි ඉපදීම වේ. එය වනාහී රෝගයන්ගේ පැවැත්ම වේ. එය වනාහී ජරා මරණයේ පහළවීම වේ. ජරා මරණයට පත්වන්නේ ඉපදුන දෙයක් ම ය. හටගත් දෙයක් ම ය. යමක හට ගැනීමක් නැතිනම් ජරා මරණයක් නැත. යමක හට ගැනීමක් ඉපදීමක් ඇත්නම් ජරා මරණයන් තිබේ ම ය. ජරා මරණයන්ට හේතුව ‘ඉපදීම’ බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කර ගත්තේ යෝනිසෝමනසිකාරය තුළින් ම ය.

දුක්ඛ ආර්ය සත්‍යයට අයත් ජරා දුක හෙවත් වයසට යෑමේ දුක යනු කුමක් ද? භාග්‍යවතුන් වහන්සේ එය මෙලෙසින් පෙන්වා දුන් සේක. “පින්වත් මහණෙනි, ජරාවට පත්වීම යනු කුමක් ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්ව ලෝක තුළ යම් දිරීමක් වේ ද දිරායන ස්වභාවයක් වේ ද, දත් ආදියෙහි කැඩීමක් වේ ද, කෙස් ආදියෙහි පැසීමක් වේ ද, සමෙහි රැළි වැටීමක් වේ ද, ආයුෂයාගේ ගෙවීමක් වේ ද, ඇස් ආදී ඉඳුරන්ගේ මෝරා යාමක් වේ ද, මෙය වනාහිී ජරාවට පත්වීම යැයි කියනු ලබන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම විග්‍රහයේ සඳහන් වන්නේ ජීවිතයක මුහුණ දිය යුතු ඒකාන්ත සත්‍යයකි. මෙය අපටනම් අදාළ නැතැයි කිසිවෙකුටවත් අවංකව පැවසිය නොහැක. මේ ජරා, මරණ දුක සමස්ත සත්ත්ව ලෝකය පුරාම වෙනසක් නොමැතිව දකින්නට ලැබෙන සත්‍යයකි. කාලයකට පමණක් වලංගු නො වන අකාලික සත්‍යයකි. ජරාව යනු සැපක් නොව දුකක් ම බව නුවණින් විමසා බලන කෙනෙකුට පැහැදිලිව දැකිය හැකි සත්‍යයකි. 

ජරාවට පත්වන ජීවිතය මරණයෙන් නිමා වේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මරණයත් අවබෝධ කළ යුතු ‘දුක’ නම් වූ ආර්ය සත්‍යයට අයිති බවයි. එමෙන්ම සියලු සත්ත්වයෝ මරණයට බියපත් වන බවයි. (සබ්බේ භායන්ති මච්චුණෝ) මරණය ඉදිරියේ සත්ත්වයා ජීවිතය ඉල්ලා හඬා වැටේ. අන්ත අසරණභාවයට පත්වේ. භාග්‍යවතුන් වහන්සේ මරණ දුක විස්තර කර වදාළේ මෙලෙසිනි. “පින්වත් මහණෙනි, මරණය යනු කුමක් ද? ඒ ඒ සත්ත්ව ලෝකවල ජීවත්වන්නා වූ, ඒ ඒ සත්ත්වයින්ගේ ජීවිතවලින් යම් චුතවීමක් වේ ද, චුත වී යන ස්වභාවයක් වේ ද, ජීවිතයේ බිඳී යන ස්වභාවයක් වේ ද, (ජීවිතය නොපෙනී ගොස්) අතුරුදහන් වීමක් වේ ද, මරණයට පත්වීමක් වේ ද, කලුරිය කිරීමක් වේ ද, පංච උපාදානස්ඛන්ධයන්ගේ බිඳී යාමක් වේ ද. ශරීරය අත්හැරදැමීමක් වේ ද, මෙයටයි මරණය කියා කියන්නේ.” 

එමෙන්ම සසර සැරිසරන සත්ත්වයා හට නිරන්තරයෙන් ම අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීමේ දුකට මුහුණපාන්නට සිදු වේ. සියලු දුකෙන් නිදහස්වී වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ ඒ පිළිබඳ වදාරා ඇත්තේ මේ අයුරින් ය. තමා අකැමැති වූ, අපි‍්‍රය, අමනාප වූ, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණු සමග එක්වන්නට සිදුවෙයි, එමෙන්ම යම් කෙනෙකු වනාහී තමා විපතට හෙලනු කැමැති වූ, තමාගේ අයහපත කැමැති වූ, තමන්ට පීඩා කරනු කැමැති වූ යම්බදු පුද්ගලයෝ සිටිත්ද එබඳු පුද්ගලයන් සමග යම් මුණගැසීමක් වේ ද, එකට හමුවීමක් වේ ද, එකට වාසය කරන්නට සිදුවේ ද, පින්වත් මහණෙනි මෙය වනාහී අපි‍්‍රය පුද්ගලයින් හා අපි‍්‍රය වස්තූන් සමඟ එක්වීමේ දුක යැයි කියනු ලබන්නේ ය.” 

තව ද, සංසාරගත සත්ත්වයා මුහුණදෙන තවත් බැරෑරුම් දුක් පීඩාවක් වන්නේ පි‍්‍රය පුද්ගලයන්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගේ වෙන්වීමේ දුකයි. සියල්ල අවබෝධ කළ අනාවරණය ප්‍රඥා ඇති භාග්‍යවතුන් වහන්සේ එය ද අවබෝධ කළයුතු දුක්ඛ ආර්ය සත්‍යය යටතේ මෙසේ විවරණය කළ සේක. “යම් කෙනෙකු වනාහි ඉතා යහපත් වූ, සුන්දර වූ, පි‍්‍රයමනාප වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණුවලින් වෙන්වන්නට සිදුවේ ද, එමෙන්ම යම් කෙනෙකු වනාහී තමාගේ යහපත කැමැති වූ, තමාට සෙත සලසනු කැමැති වූ තමාගේ පහසු විහරණය කැමති වූ, මව්පියන් හා සහෝදර සහෝදරියන් ද, යහළුවන් හා ඥාතීන්ද යන මෙබඳු පුද්ගලයෝ සිටිත්ද, මෙබඳු පුද්ගලයන්ගෙන් වෙන්වීමක් වේ ද, එක් නොවී ජීවත්වන්නට වේ ද, එක් නොවී සිටීමක් වේ ද, එකට වාසය කිරීමක් නොවේ ද මෙය වනාහී පි‍්‍රය පුද්ගලයින්ගෙන් හා පි‍්‍රය වස්තූන්ගෙන් වෙන්වීමේ දුක යැයි කියනු ලබන්නේ ය.” 

මේ අයුරින් අනේක ප්‍රකාර දුක් දොම්නස් විඳින එයින් පීඩිත වූ සත්ත්වයන්හට එම දුක්දොම්නස් තමා කරා නො පැමිණෙන්නේ නම්, කොතරම් හොඳද? කියා සිතෙහි කැමැත්තක් උපදින්නේ ය. එනම් ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, සෝක පරිදේව, දුක්, දොම්නස්, උපායාංග උරුමකරගත් සත්ත්වයන් හට එම දුක් තමන් කරා නො පැමිණෙන්නේ නම් කො තරම් හොඳදැයි කියා කැමැත්ත උපදින්නේ ය. එනමුත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදාකරගන්නට නො හැක්කේම ය. මෙය කැමැති වන්නා වූ දෙය නො ලැබීමේ දුකයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ කෙටියෙන් පැවසුවහොත් පංච උපාදානස්ඛන්ධය ම දුකක් බවයි. 

භාග්‍යවතුන් වහන්සේ මෙසේ හේතුඵල දහම තුළ හටගන්නා සමස්ත දුක්ඛස්කන්ධය ම පෙන්වා දුන්නේ දුක පිරිසිඳ අවබෝධ කොට, එයින් නිදහස්වීම පිණිස යි. දුක හටගන්නා ත්‍රිවිධ තණ්හාව ප්‍රහාණය කළ යුතු බව ද, දුක්ඛ නිරෝධය සාක්ෂාත් කළයුතු බව ද, ඒ සඳහා ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල, සමාධි, ප්‍රඥා වශයෙන් වැඩිය යුතු බව ද ශාස්තෘන් වහන්සේ පෙන්වා දුන් සේක. එමනිසා ගිහි, පැවිදි ශ්‍රාවකයන් වූ අපත් ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස තව තවත් උත්සාහවත් වෙමු.

පහාරාද සූත්‍රය

බුදුසමිදාණෝ පහාරාද අසුරයන් ගේ් පැමිණීම පිළිබඳ සතුට ප්‍රකාශ කරමින් පසෙක සිටි අසූරේන්ද්‍ර සම¼ග තමන් වහන්සේගේ එක් දේශනා ශෛලියක් වූ ප්‍රශ්නෝත්තර...