චේතනා චක්කය:
ශික්ෂා පද රැකෙන්නේ සිත නිස යි
තථාගත බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙන් ඉතා ම ආනුභාව සම්පන්න ක්‍රමයක් පැහැදිලි කළා. සති යනු සිහි ය යි. පට්ඨාන යනු එළැඹීම යි. සිහිය එළැඹීම, සිහියෙන් කටයුතු කිරීම සතිපට්ඨාන යනුවෙන් සඳහන් කරයි. සතිපට්ඨාන භාවනාවෙන් දීර්ඝ විස්තරයක් පසුගිය ලිපි මඟින් සඳහන් කළෙමු. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳ විස්තර සඳහන් කළෙමු.
ධම්මානුපස්සනාවේ කොටස් ලෙස ස්කන්ධ , නීවරණ, බොජ්ඣංග, ආයතන සම්පූර්ණ කළා. දැන් සඳහන් කරන්නේ සත්‍ය නිර්දේශය යි. එයින් ද සමුදය සත්‍ය පිළිබඳවයි, විස්තර කරන්නේ. සමුදය යනු දුක් හට ගැනීම යි. එයට හේතු වන්නේ තණ්හාව යි. එය ප්‍රහාණය කිරීමට චක්‍ර වශයෙන් හයේ කොටස් දහයක් වෙනවා. ඉන් එකක් වන්නේ චේතනා චක්කය යි. චේතනාව යනු සිත නො වෙයි. සිතිවිල්ලක්. චෛතසික පනස් දෙකෙන් එකක් වන්නේ චේතනාව යි. චේතනාවෙන් තණ්හාව හට ගන්නා ක්‍රමය යි, පැහැදිලි කරන්නේ. රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්භ සංචේතනා, ධම්ම සංචේතනා යනුවෙන් චේතනා හය යි.
රූපයක් කියා දැනගෙන එහි පවත්නා සිතිවිලි, සිතිවිල්ල චේතනාව යි. ඒ දෙක එකතු වුණහම රූප සංචේතනා නම් වෙයි. එහි ප්‍රිය ස්වභාවයක් ඇත්තේ ය යනුවෙන් ගත් විට තණ්හාව වැඩෙයි. ‘මේ රූපය හොඳයි, මේ රූපය හොඳයි’ යනුවෙන් චේතනාවෙන් ගන්නා විට රූප සංචේතනා නම් වෙයි. එයින් තණ්හාව හට ගනියි. මේ රූපය මධුර වූ ස්වභාවය ඇත්තේ ය , මේ රූපය බොහොම හොඳයි යනුවෙන් තෘෂ්ණා ආශ්වාද ලබා ගනි යි. එවිට මේ තෘෂ්ණාව චේතනාවේ බැසගෙන ම සිටීමෙන් රූප සංචේතනාවෙන් තණ්හාව හට ගනි යි.
ලෝකයේ සත්ත්වයා දිගින් දිගට ම උපත ලබන්නේ තණ්හාව නිස යි. ඒ නිසා කවුරුත් තණ්හාව අවබෝධ කරගෙන , නැති කරගන්න මහන්සි විය යුතු යි. එය සැමටම බැහැ. ලෝක සත්ත්වයා තණ්හාවෙන් මුසපත් වෙලා. තණ්හාව අතහැර ගන්න බැහැ. දූ දරු, මුණුබුරන්, නිවහන, ඉඩකඩම්, යානවාහන, රන් අභරණ, අඳින පළඳින දේ ආදියෙහි චේතනාව, මිහිරි, ආශ්වාද ජනක, ප්‍රිය ස්වභාවයෙන් ගන්නවා නම්, එය රූප සංචේතනාව නම් වෙයි. එසේනම් චේතනාව නිසා තණ්හාව හට ගනි යි. චේතනාවක් නැතිනම්, තණ්හාව හට නොගනි යි. ඒ නිසා කවුරුත් හැකිතාක් පරිත්‍යාග චේතනාවෙන් අනුන්ට කරදරයක් පීඩාවක් නොවන සේ යහපත් චේතනාවකින් කටයුතු කළ යුතු යි. සමහරුන් තුළ ඉඩ කඩම් පිළිබඳව බොහොම අර්බුදයක් හට ගෙන තිබෙන්නේ රූප සංචේතනාව නිස යි.
එසේම නොයෙක් සම්පත් පිළිබඳ මහා තණ්හාවෙන් කටයුතු කරන්නේ වෙන කිසිම දෙයකින් නොව, චේතනාව හොඳ නැති නිස යි. ඒ නිසා අකුසල පාක්ෂික වූ චේතනාව පිරිසුදු කර ගන්නට කවුරුත් මහන්සි ගන්න. ඇස නිසා රූප චේතනාවෝ හට ගනියි. ඇස නැතිනම්, එය සිදු නොවෙයි. ඇස ඇති අයට රූප සංචේතනාව හට ගෙන, තණ්හාව නිෂ්පාදනය වෙයි.
එසේම මිහිරි ශබ්ධ, මධුර මනෝහර රාවයන් , පි‍්‍රය ස්වභාවයෙන් බැසගත් විට එයින් හට ගන්නවා කන ඇසුරු කරගෙන ශබ්ද සංචේතනාව. එසේම ගන්ධය පිළිබඳවත් මධුර ස්වභාවය, ප්‍රිය ස්වභාවය බැසගත්විට එයින් හට ගන්නේ ගන්ධ සංචේතනාව යි. රස ආහාර පිළිබඳව තිබෙන ගිජුකම, රස සංචේතනාව නම් වෙයි. ස්පර්ශය පිළිබඳව පොට්ඨබ්භ සංචේතනාව නම් වෙයි. ඉතිරි සෑම දෙයක් ම ධම්ම සංචේතනාව නම් වෙයි. මේ සෑම දෙයක් ම ප්‍රිය වූ ස්වභාවය ඇත්තේ ය, මධුර වූ ස්වභාවය ඇත්තේ ය යනුවෙන් ගත්විට තණ්හාව ඇති වෙයි. එසේනම්, ලෝක සත්ත්වයා තණ්හාවේ බැසගෙන යි වාසය කරන්නේ. ඒ නිසා චේතනා හය පිළිබඳ හොඳ දැනීමකින්, තණ්හාව හට ගන්නා චේතනා හයක් මෙයින් සඳහන් කරන්නේ. ඒ පිළිබඳ හොඳට දැන කියාගෙන , ධර්මය පිළිබඳ අවබෝධයෙන් මෙලෙස මෙනෙහි කළ යුතු යි.
පෙර ලිපි මඟින් සඳහන් කළා සේ ම රූප සංචේතනාව මම නොවෙ යි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා රූප සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ශබ්ද සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ශබ්ද සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ගන්ධ සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා ගන්ධ සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. රස සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා රස සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. පොට්ඨබ්භ සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි. එමනිසා පොට්ඨබ්භ සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, අනාත්ම යි. ධම්ම සංචේතනාව මම නො වෙයි, මගේ නො වෙයි, මගේ ආත්මය නො වෙයි, එමනිසා ධම්ම සංචේතනාව අනිත්‍ය යි, දුක්ඛ යි, ආනත්ම යි. මේ ක්‍රමයට චේතනා හය විපස්සනා භාවනාවට ගැනීමෙන් තමන්ගේ ඇලීම, ගැටීම දුරු කර දමා බොහොම හොඳ ජීවිතයකට යන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනා පැවැත්වූ විට තිස් දාහක් ස්වාමීන් වහන්සේ රහත් බව ලැබුවා. ඒ තරම් ප්‍රභල ආනුභාව සම්පන්න දේශනාවක් වුණේ. මෙහි සඳහන් වන්නේ භාවනාව ම පමණ යි. සෑම ඉරියව්වකම සිහිය පිහිටුවන්නැ’යි දේශනා කරනවා.
එක්තරා සිටු පුත්‍රයෙක් ස්වාමීන් වහන්සේ දැක පැහැදී පැවිදි ව , තෙරුවන් සරණ යාම, පන්සිල් , අටසිල් දීම දස සිල් දීම , මහණ කිරීම, භාවනා කමටහන් කියා දීම, උපසම්පදා කිරීම් ආදිය ද කළා. උපසම්පදාවේ දී වැරැදී ගියා. ශික්ෂා පද සංඛ්‍යාව වැඩියි. එය රැක ගන්න අපහසු යි. ඒ නිසා මා නැවත නිවසට පැමිණ පන්සිල්, අටසිල් රැකගෙන සිටිනවා යැ’යි ගුරු ස්වාමීන් වහන්සේට වදාළා. ගුරු ස්වාමීන් වහන්සේ , ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ සමඟ බුදුරදුන් හමුවට වැඩම කර, මෙලෙස වදාළා. ‘ස්වාමීනි, බොහොම සැදැහැ සිතින් මේ නම මහණ වුණා. නමුත් ශික්ෂා පද වැඩි යැ’යි රැක ගැනීමට නො හැකිව නැවත නිවසට යන්නට සූදානම් වෙනවා. බුදුපියාණන් වහන්සේගේ මහා කරුණාව කෙතරම් දැ’යි පැවසුවොත්, මෙවැනි උපදේශයක් දුන්නා. ‘මහණ, ඔබට පුළුවන්ද එක ශික්ෂා පදයක් රැක ගන්න. එකක්නම් පුළුවන් බව ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වදාළා. එසේනම්, මේ කියපු ශික්ෂා පද ගැන අවධානය යොමු නො කර, ‘සිත’ නමැති ශික්ෂා පදය පමණක් රැක ගන්නැ’යි වදාළා. දැන් රැකගන්නේ සිත පමණ යි. සංවරව වඩිනවා. සංවරව දානය වළඳනවා, සංවරව සිවුරු පොරවනවා. සැතපෙන්නේ, සක්මන් කරන්නේ සංවරව යි. මෙලෙස සෑම ඉරියව්වක්ම සංවරව ගත කළා. සතිපට්ඨානය ලැබුණා. නොබෝ දිනකින් ම මහ රහත් භාවයට පත් වුණා. දැන් මහ රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ දුන්නේ එක ශික්ෂා පදය යි. සිත නමැති ශික්ෂා පදය රැකගන්න කියනවා. ඒ සිත නිසයි , සියලුම පව් හට ගන්නේ. සිත නිසා තමයි, සියලුම ශික්ෂා පද බිඳෙන්නේ. සිත නිසා තමයි, සියලුම ශික්ෂා පද රැකෙන්නේ. මෙය හොඳින් තෙරුම් ගෙන සිත දිහා බලාගෙන කටයුතු කළා. තණ්හා, තරහ, මද , මාන්නවලට ඉඩ දුන්නේ නැහැ. සිහි නුවණින් වාසය කළ නිසා රහත් භාවයෙන් නිවන් පසක් කරගන්න පුළුවන්කම ලැබුණා.
මේ පිළිබඳ හොඳ දැනීම් ඇතිකරගෙන අපේ ජීවිතවල ද අඩුපාඩුකම් තිබුණ ද ඒවා සකසා ගෙන ඉදිරියට යා යුතු යි. අඩුපාඩු නැති අය ලොවේ කොහේවත් නැහැ. අඩුපාඩු නැත්තේ මහ රහතන් වහන්සේට පමණ යි. එවැනි උත්තරීතර භාවයට පත්වීම සඳහා අප ද අඩුපාඩු සකසාගෙන ඉදිරියට යා යුතු යි. එයට යි සංවරකම අවශ්‍ය යි කියන්නේ. සිත පිළිබඳව අවබෝධයෙන් , සිතෙන් හටගන්නා තණ්හාව පිළිබඳ අවබෝධයෙන් , තණ්හාව නැති කරන්න කවුරුත් මහන්සි ගත යුතු යි. නැතිනම්, තණ්හාව ම පොදි බැඳගෙන සිටියොත් තමාගේ සංසාර ගමන අඳුරු කරගත්තා වෙනවා.
සත්ත්වයා බහුලව ම තණ්හාවෙන් මිය ගොස් ප්‍රේත ලෝකවල උපත ලබනවා. සා පිපාසාදී දුකෙන් පෙළෙනවා. ඒ නිසා තමන්ගේ වස්තු සම්පත්, ගේ දොර, වාහන , ඉඩකඩම් තිබිය යුතු යි. මේවා නොමැතිව ජීවත් වන්නට අපහසු යි. නමුත් මේවා මගේ යනුවෙන් දැඩි උපාදානයකින් නොගෙන , ඒවා බහු සාධාරණ දෙයක් සේ කටයුතු කළ යුතු යි. දරුවන්ට, දරුමුනුබුරන්ටවත් මේවා නොදී මගේ යනුවෙන් ගන්නවානම්, බලවත් තෘෂ්ණාවෙන් වාසය කරනවා නම්, එබඳු කෙනාට දහමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කමක් නැහැ.
යහපත් මනුෂ්‍ය ජීවිතයක් ලබාගත් අය නුවණින් යුතුව කටයුතු කරගන්නවා නම්, තම ජීවිතය බොහොම වටිනවා. යන එන විට පවා මේ කරුණු හය මෙනෙහි කළ හැකිනම්, හරියටම වටිනවා. දැන උගත්කම දියුණු කරගත හැකි යි. දහමේ දැනුම වැඩි කළ හැකි යි. එසේම තණ්හාව නැතිකරගන්න, දුක අවබෝධ කරගන්න පුළුවන්. එයයි වැදගත් ම කාරණය. ගිහි ගෙදර සිටියදී ම සෝවාන්, සකෘදාගාමී, අනාගාමී වූ අය බොහෝ සිටියා. ඒ අය ගිහි ගෙදර කටයුතු කරමින් ම ශාසනික වැඩ ද සිදු කළා. සෝවාන් වුණා යැ’යි නිවසේ කටයුතු පැහැර හැරියේ නැහැ. කුඹුරු වතු පිටි වැඩ, රැකී රක්ෂා, දරුවන්ගේ කටයුතු සියල්ල ම කළා. හැබැයි, ශ්‍රද්ධාවෙන් අධික යි. අපායෙන් සම්පූර්ණයෙන් අත්මිදිලා. ශාසනික ගුණ හොඳින් වඩනවා. එසේම තුනුරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් කටයුතු කරනවා. එයට අවශ්‍ය වන්නේ භාවනාව යි. එය කවුරුත් දියුණු කරගන්නට අවශ්‍ය යි. දාන මාන පින්කම් පමණක් නිවන් සම්පත් ලබන්න හොඳටම මදි. තණ්හාව දුරු කරන්න දානය අත්‍යවශ්‍යය යි, එය උපනිශ්‍රය වෙනවා. භාවනාව අනිවාර්යෙන් ම දියුණු කරගනු ලැබුවොත්, තණ්හාව නැති කරගන්න ඉතා පහසුවක් වෙනවා.
සතිපට්ඨාන භාවනාවෙන් උගන්වන සති, සමාධි, ඤාණ දියුණුවෙන්, තණ්හාව , තරහව ආදී බලවත් අකුසලයන් සම්පූර්ණයෙන් නැතිකර දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය , නිරෝධ සත්‍ය , මාර්ග සත්‍ය ආදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීම සඳහා අවබෝධයෙන් කටයුතු කළ යුතු යි.